Monday, April 9, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |





දවසේ පැය විසි හතරටත් එහා ගියපු රාජකාරි වැඩ තොගයක් කරා වගේ මහන්සියක් හවස් වෙද්දි මට දැනුණා.. ඇයි ඉතිං.. ජෝයි බෝට් යාඩ් එක ගාවදි අර කෙල්ලත් එක්ක කියව ගත්තු කියව ගැනිල්ලම මැදැයි, ඕනම නිරෝගී පුද්ගලයෙකුගෙ ඔලුව කැක්කුම වැඩි කරන්න..

"බන්ටි මහත්තයෝ.."


වත්ත කොනේම හයි කරලා තිබ්බ සිමෙන්ති බංකුව උඩ වාඩිවෙලා ඉදපු මං ඔලුව ඉස්සුවා.. බේබි නැන්දා මං දිහා බලන් හිටියෙ ඒ තරම් හිත හොදකින් නෙමෙයි..

"මොකද බේබි නැන්දෙ රවන්නේ..?"

"රවන්නෙ නෙමෙයි.. බන්ටි මහත්තයට දෙකක් දෙන්නයි ඕන.."

"ඇයි..?"

"ඇයි කියලා අහන්නේ.. මොනවද මහත්තයො මේ කරන වැඩ..? ඇයි ලොකු නෝනත් එක්ක කතා නොකරන්නේ..? ඇයි රසික මහත්තයත් එක්ක කතා නොකරන්නේ..? එයාලා මොන වැරැද්දක් කරාටද..?"

"අයියයි, අම්මයි එක්ක මං කතා නොකර හිටියෙ නෑනෙ.. ඔයා ඊයෙත් මං යස අගේට කතා කෙරුවේ.."

"ඒ කතා කිරිල්ලයි, වෙනදා බන්ටි මහත්තයා කතා කරන කතා කිරිල්ලයි මං නොදන්නවයෑ.. ඔහොම බුම්මගෙන ගේ ඇතුලෙ ඉදලා මහත්තයා කාටද වද දෙන්නේ.. මේ අසරණ මටද..?"

අම්මපා මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි ඔලුව කොහේ හරි තුන් හතර පාරක් හයියෙන් ඇනගන්න හිතෙන්නේ.. මොන අවනඩුවක්ද මේ..?

"මම ඇයි බේබි නැන්දට වද දෙන්නේ..?"

"බන්ටි මහත්තයා ඔහොම කතාවක් බහක් නැතුව කල්පනා කර කර ඉන්නකොට ඒක මට කොයි තරම් වදයක්ද කියලා දන්නෙ මං විතරයි.. ඉස්සර මේ මුළු ගෙදරම පිරිලා ඉතිරිලා ගියේ බන්ටි මහත්තයගෙ හිනාවෙන්.. මහත්තයා කොයි තරම් දග වැඩ කරාද..? මං ඒවා දිහා කොයි තරම් සංතෝසෙකින්ද බලන් හිටියේ.. මහත්තයා කියන කරන ඒවට මේ ගෙදර අය කොයි තරම් හිනාවුණාද..?"

"ඔය ඔක්කොම හරි බේබි නැන්දේ.. ඒත් මනුස්සයෙකුට හැමදාමත් එකම විදියට ඉන්න බෑනේ.. මේ සමාජය වෙනස් වෙන විදියට වෙනස් වෙන්න වෙනවා.. එහෙම නැති වුණොත් වෙන්නේ, මං විනාශ වනෙ එක.. බේබි නැන්දා ඒකට කැමතිද..?"

"මට ඔය හරස් පද තේරෙන්නෙ නෑ මහත්තයෝ.. දෙයියන්ගෙ නාමෙට ඔය හිතේ තියෙන තරහ මරහ අමතක කරලා දාන්න.."

"මං කාත් එක්කවත් තරහා නෑ.."

"බන්ටි මහත්තයා ගැන නොදන්න කෙනෙකුට ඔහොම කිව්වට කමක් නෑ.. ඒත් මහත්තයා ගැන පුංචි කාලෙ ඉදලම දන්න මට ඔහොම කිව්වට වැඩක් වෙන්නෑ.. බන්ටි මහත්තයා ඉන්නේ, ලොකු නෝනයි, රසික මහත්තයයි එක්ක තරහින් කියලා මං හොදටම දන්නවා.. මේ ගෙදර කාට ඒක නොතේරුණත්.."

"සමහර විට බේබි නැන්දා හරි ඇති.. ඇත්තටම අම්මයි, අයියයි මහ හුගාක් රිද්දනවා.. එයාලා නිතරම මං දිහා බලන්නෙ කැලෑ සතෙක් දිහා බලන විදියට.. එයාලා හිතන්නෙ මට දුක කියන දේ දැනෙන්නෑ කියලා.. සන්තෝසෙන් හිනාවෙලා හිටියට මටත් හැගීම් දැනීම් දැනෙන පුංචි හිතක් තියෙනවා කියලා එයාලා හිතන්නෑ.. එදා අර මට කෑගහපු දවසෙත් අම්මා මොනවදෝ කියවගෙන ගියා.. මට ඇත්තටම ඒවා තේරුණෙ නෑ බේබි නැන්දේ.. මාව නිකං වෙනම පැත්තකට දාලයි කතා කලේ.. හරියට මං මහ වැරැද්දක් කරා වගේ.. අයියට ගාඩ්න් එකට යන්න කියලා, අම්මා කලින් ගෙදර ඇවිත්.. මගේ මොන හොරයක් අල්ලන්නද.. බේබි නැන්දෙ අනික මට පේරාදෙණි ගාඩ්න් එකට යන්න බැරිද..?"

"බන්ටි මහත්තයගෙ හිත රිදිලා කියන්න මං දන්නවා.. අනේ අපි ඕවා අමතක කරලා දාලා ඉස්සර වගේ ඉදිමුකො දෙයියනේ.. හ්ම්.. එන්න අපි ගෙට යමු.. හොදටම හවස් වෙලා.. තව ටිකකින් ලොකු නෝනත් එයි.."

බේබි නැන්දා, මගේ අතකින් අල්ලගෙන ගේ ඇතුලට යන්නයි හැදුවෙ.. ඒත් ඒ එක්කම වගේ කලුපාට ලොකු යකඩ ගේට්ටුවෙ කොක්ක පහලට වැටෙන සද්දෙ මට ඇහුණා.. ආයෙ හෝදන්න දෙයක් නෑ.. ෂුවර් එකටම අම්මා වෙන්නැති.. මට එහෙම හිතෙද්දි බේබි නැන්දා ඉක්මනට අඩිය තිය තියා ගේ පැත්තට ගියා.. බේබි නැන්දයි, මායි වැඩිපුර කතා කරන එක අම්මට කොහෙත්ම දිරවන්නෙ නෑ..

ගේට්ටුවෙ කොක්ක පහලට වැටෙන සද්දෙ ඇහිලත් තාම කවුරුවත් වත්තට ඇතුල් වුණේ නෑ.. මං බංකුවෙ වාඩිවෙලාම ඒ පැත්ත දිහා බලන් හිටියා.. අම්මා ආව නම් මෙලහකට වත්තට එන්න ඕන.. එහෙනම් මේ ඇවිල්ලා ඉන්නෙ අම්මා නෙමෙයිද..? මං ගේ පැත්ත දිහා ආයෙත් බලද්දි බේබි නැන්දා ගේ ඇතුලට ගිහිල්ලත් ඉවරයි.. හරියට නිකං උසේන් බෝල්ට් මීටර් සීය දිව්වා වගේ බේබි නැන්දා වාෂ්ප වෙලා ගියේ..

තවත් විනාඩියක් විතර යද්දි සද්දයක් බද්දයක් නැති හන්දා ගේට්ටුව පැත්තට යන්න මං බංකුවෙන් නැගිට්ටා.. ඔන්න එතකොටම තමයි ගේට්ටුවෙ පලුවක් බාගෙට වගේ වත්ත පැත්තට හැරුණෙ.. ඒ ඇරිච්ච ඉඩකඩෙන් ඇතුලට ආපු කෙනා දැක්කහම මට ආයෙත් බංකුවෙ ඉන්දවුණා.. එමෙකස් ගේමට රිටර්න් එක හැරෙන තැපෑලෙන්ම ඇවිත්.. ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. ඇටකිච්චගෙයි, නිරෝෂිගෙයි ආදරේට උදව් කරන කෙල්ල.. අද උදේ ජෝයි බෝට් යාඩ් එක ගාවදි මගෙන් අහගත්තු දේවල් වලට අමු අමුවෙම පනිෂ්මන්ට් එක දෙන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ.. දැන් ඉතිං මොකද කරන්නේ..? මාව නැති කරලා දානවා කියලා කිව්වා වගේම මේකි මේ ඇවිල්ලා තියෙන්නෙ කැත නැතුවම ඒ වැඩේ කරන්න කියලා මට තේරුණා..

කෝකටත් කියලා මං හෙමින් සීරුවෙ කෙල්ල පිටිපස්සෙන්ම  ගේ ඇතුළට ආවා.. දැන් ඉතිං මෙයා කියන කරන හැමදේම නොවුණත් ඩිංගක් හරි බන්ටිටත් දැනගන්න පුළුවන්නේ..

මොනව උනත් මේ කෙල්ල ඇවිල්ලා තියෙන්නෙ නම් හොදකට නෙමෙයි කියනෙක මට තේරුණා.. වැඩේ ඔක්කොටම වැඩිය අවුල් වෙන්නේ සමුදිනී කියන්නෙ මගේ අක්කා කියලා කේලල දැන ගත්තහම.. කවුද අප්පා මෙහෙම දෙයක් හිතුවේ.. මේ හොල්මන ඇඩ්‍රස් නැතුව මේ වගේ කඩන් පාත් වෙයි කියලා..

කෙල්ලට ගේ ඇතුළට යන්න දීලා මාත් හෙමීට ඒ පිටිපස්සෙන්ම ගියා.. මේකත් නියම හොරා පොළිස් සෙල්ලමක් තමයි.. බේබි නැන්දා ෂුවර් එකටම මේ වෙලාවෙ ඉන්නෙ එයාගෙ කාමරේ.. තව ටිකකින් එයා බුදුන් වදින හන්දා, මේ කෙල්ල ඉස්සරහට බේබි නැන්දා ඒවි කියලා හිතන්න බෑ.. බන්ටිට සදාකාලික ලෙඩක් වැටෙනව නම් වැටෙන්නෙ, අම්මා වැඩ ඇරිලා එනකොට මේ චාරයක් නැති කෙල්ල හිටියොත් තමයි..

"........ කොයි තරම් හොදද ඔයා ආපු එක.."

"........"

"නෑ.. නෑ.. පැටියො මං එහේ එන්නමයි හිටියේ.."

"........"

"හරි.. හරි.. කියන්නකො මොකක්ද අප්සට් එක කියලා.. ඔයාගෙ මූණත් එක්ක වෙනස් වෙලා.."

අක්කගෙ කාමරේ කතා කරන දේවල් යාන්තමට වගේ කොරිඩෝ එකට ඇහෙනවා.. ඒත් හරියටම පැහැදිලි නෑ.. තවත් හොදටම කතාව අහගන්න නම්, අක්කගෙ කාමරේ දොර ළගටම වගේ යන්න වෙනවා.. ඒත් එහෙම යනවා කියන්නෙ හදිසි ආපදාවකදී බන්ටි කාමරේ ඇතුළෙ ඉදලා එන කෙනාගෙ අතටම අහුවෙනවා කියනෙකයි.. 

"කවුද අනේ අර ඔයාලගෙ ගෙදර ඉන්නේ..?"

කාමරේ ඇතුළෙන් එහෙම ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. ඒ කියන්නෙ කෙල්ල මාව දැකලා කියනෙකද..? පපුවෙ ස්පීඩ් එක එකසිය ගානට වැඩි වෙද්දි මං තව අඩියක් අක්කගෙ කාමරේ දිහාට තිබ්බා..

"කවුරු ගැනද ඔයා ඔය අහන්නේ..?"

"අර වැඩට ඉන්න වයසක අම්මා.. එයා ඔයාලගෙ කවුද..?"

කතා දෙක තුනක් නෑ.. මේ කෙල්ල අන්තිම කපටියි.. සද්ද බද්ද නැතුවම නියම තැනට අඩිය තිබ්බා.. දැන් ඉතිං අපේ අක්කා වැඩියෙන් බිව්වහම දාන හෝටල් පාර වගේ කැත නැතුව ඔක්කොම එළියට දාවි..

"ඔයා ඔය අහන්නෙ බේබි නැන්දා ගැනද..?"

"ඔව් එයා ගැන තමයි.."

"ඇයි මේ හදිස්සියෙ ඔයා බේබි නැන්දා ගැන අහන්නේ..?"

බලන් ගියාම අපේ අක්කටත් ටිකක් විතර මොල දණ්ඩක් තියෙනවා.. මං හිතුවෙ පුදනකොටම කාපි යකා වගේ ඇරලා දාවි කියලා..

"නිකං.."

"නිකං වෙන්න බෑ.. අනික ඔයා අද හරි අමුතුයි.. මට කියන්න ඔයා අම්මා එක්ක රණ්ඩු වුණාද..?"

"අයියෝ නෑ බබා.. එහෙම දෙයක් නෑ.. මට ඔයාලගෙ බේබි නැන්දා ගැන ආරංචියක් ලැබුණා.."

"මේ අපේ බේබි නැන්දා ගැන..?"

මේ කෙල්ල හදන්නෙ මොන ගිනි ගෙඩියක් මෙතන පත්තු කරන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.. මොනව උනත් මේකි නම් කිසිම දෙයක් ලේසියෙන් අතාරින්නෙ නැති කෙල්ලෙක් කියලා මේ වෙනකොට මට තේරිලා තිබුණෙ.. මේකි මගෙත්තෙක්ක තියෙන තරහා අසරණ බේබි නැන්දා ළගින් පිට කරයිද කියලත් මට සැක හිතුණා.. එහෙම උනොත් නම් දුවේ මං උඹව මග්ගොන ඇරලයි නතර වෙන්නේ.. අම්මපා ආයෙ දෙකක් නෑ..

"ඔයාලගෙ ගෙදර ඉන්න බේබි නැන්දා ගැන හැම විස්තරයක්ම ඔයා දන්නවද සමුදි..?"

"ඔව්.. අපි පුංචි කාලෙ ඉදලමනේ එයා අපි ළග හිටියේ.."

"ඒක වෙන්න පුළුවන්.. ඒත් මං ඇහුවෙ එයාගෙ පෞද්ගලික තොරතුරු ගැන..?"

"පෞද්ගලික විස්තරයක් කියලා කියන්න නම් දෙයක් එයාගෙ නෑ.. එයා අපිත් එක්කමනේ ඉන්නේ.."

"ඔයාලත් එක්ක හිටියට, ඔයා දන්නැති වුණාට, බේබි නැන්දා ලොකු රහසක් හංගගෙනයි ඉන්නේ.."

පිස්සු හැදෙනවා.. කෙල්ල, ෂර්ලොක් හෝම්ස් වගේ සිරා විදියට කිව්වා.. අපේ අක්කගෙ/ත් දැන් ඇස් බෝල දෙක බිමට වැටෙන සයිස් එකට උඩට ගිහිල්ලා ඇති.. ඇයි යකෝ.. මේක ඇග කිලිපොලා යන ත්‍රාසජනක සිද්ධියක් නේ..

"රහසක්..? මේ අපේ බේබි නැන්දා..?"

කාගෙ හරි කතාවක් මෙහෙම අඩමානෙට ඉදගෙන, හොරාට අහගෙන ඉන්නකොටත් මාරම ගතියක් තියෙනවා.. හැබැයි ඉතිං ඒ ගතිය වැඩිවෙන්නෙ ඔය රහසෙ නිර්මාතෘ බන්ටි කියලා කවුරුවත් දැනගත්තහම තමයි..

"ඔව්.. ඔයාලගෙ බේබි නැන්දා තමයි.. ඔයා දන්නවද.. ඔයා දන්නවද සමුදි.. එයාට ළමයෙක් ඉන්නවා.."

"ළමයෙක්.. මොන ළමයෙක්ද..?"

කෙල්ල කියපු කතාව අක්කා සත පහකටවත් විශ්වාස කලේ නෑ කියලා මට අක්කගෙ කටහඩින්ම තේරුණා..

"මොන ළමයෙක්ද අහන්නෙ සමුදි.. ඔයාලගෙ බේබි නැන්දගෙ පුතා.."

මහා ලොකු රහමක් හෙලි කාරා වගේ මහා ලොකු ආඩම්බරේකින් කෙල්ල කියවන් ගියා.. පිස්සු හැදෙනවා.. මේක දැන් සිංහල හඩ කවපු දෙමළ පිච්චර් එකක් වගේ.. වචන ඇහිල ඉවර වුණාට පස්සෙ තමයි රූපවල කටවල් හෙල්ලෙන්නේ..

"ඔයාට පිස්සුද අනේ.. බේබි නැන්දට කොහෙන්ද ළමයෙක්..? අනික එයාට ළමයෙක් ඉන්නවා නම් අපි දන්නෙ නැද්ද..?"

"ඔයාට මං කියන දේ විශ්වාස නැද්ද සමුදි..?"

"අනේ මංදා.. විශ්වාස කරන්න තියා හිතාගන්නවත් බැරි කතාවක්නේ ඔයා කියන්නේ.. හොදයි.. ඔය කියන ළමයා කොහෙද ඉන්නේ..?"

"ඉන්නෙ කොහෙද කියලා නම් මං දන්නෑ.. හැබැයි අපේ වයසෙ විතර පිරිමි ළමයෙක්.."

"පිරිමි ළමයෙක්..?"

අක්කගෙ කටහඩ පිරිලා තිබුණෙම අවිශ්වාසෙකින්..

"ඔව්.. ස්මාට් කොල්ලෙක්.. බේබි නැන්දගෙ පුතෙක් කියලා හිතාගන්නවත් බෑ.. ඒ තරම් හැන්ඩ්සම්.. මූණ, ඇග, අතපය වාත්තු කෙරුවා වගේ.. හැබැයි ඒ බෝයිගෙ කට නම් අන්තිම සවුත්තුයි.."

බන්ටි ඇදලා හිටියෙ ටීෂර්ට් එකක් හන්දා කරන්න දෙයක් නෑ.. නැත්නම් කොලර් එකවත් උස්ස ගන්න තිබුණා.. අඩේ.. ඒ කියන්නෙ බන්ටි ස්මාට් පොරක් හරිද.. මගේ හිතට ආවෙ අමුතුම ගතියක්.. එහෙනම් කෙල්ල මගෙත් එක්ක පෙරලගෙන රංඩු කළාට, මගේ හැම අවයවයක්ම දිහා හොදට බලලා තියෙනවා..

"කොහොමද ඔයා ඔච්චර විස්තර දන්නේ..?"

"ඒක ටිකක් දිග කතාවක් සමුදි.."

"දිග උනත් කමක් නෑ.. ඒක මට අහන්න ඕන.. බලන් ගියාම මේක මහ පුදුම කතාවක්නේ.. අපිත් දන්නැතුව බේබි නැන්දට කොහොමද පුතෙක් ඉන්නේ..? හරිම පුදුමයි.."

"ඒකනේ සමුදි.. බලන්න ඉතිං මිනිස්සුන්ගෙ හිත් වල කොයි තරම් රහස් ගොඩක් හැංගිලා තියෙනවද නේද..?"

අම්මපා.. මේ විකාශනේ වෙන දෙමළ චිත්‍රපටියෙ ඇඩ් කෑලි වැඩියි..  කෝ යකෝ කතාව..? අපිට බලන්නත් එපා වෙනවනේ.. තව කොයි තරම් වෙලා මෙතන්ට වෙලා ඉන්නද..? කොයි තරම් ඇහැයි, කනයි අක්කගෙ කාමරේ පැත්තට දාලා තිබ්බත් එකෙන් දහයෙන් පංගුවක් විතර මං ඉස්සරහ දොර දිහාටත් දාලා තිබ්බෙ.. ඇයි ඉතිං අම්මා, දේවදත්තයෙක් වගේ ඉන්න අයියයි කොයි වෙලාවෙ කඩන් පාත්වෙයිද දන්නෑනේ.. එතන ඉදලා ගෑනු ළමයි දෙන්නගෙ කතාව සෑහෙන්න රහසිගත එකක් උනා.. අවුලක් නෑ.. තරංග ආයාමයද මොකක්ද එක ඩිංගක් වැඩි කරලා මං කණ තවත් ඒ පැත්තට හැරෙව්වා..

"ඔයාට මතකද නලින්ද..?"

"නලින්ද කිව්වේ..?" 

"ඇයි සමුදි.. මං ඔයාට අර කලින් කිව්වේ, අපේ කසින් වෙන බෝයි කෙනෙක් ගැන.."

අප්පට සිරි.. දැන්නේ තොරණෙ විස්තරේ පත්තුවෙන්නේ.. මේ දැන් දෙවනි කොටුව කිව්වා විතරයි.. ඒ කියන්නෙ ඇටකිච්චයි මේ කෙල්ලයි නෑදෑයො.. එහෙනම් ඒකයි මේ කෙල්ල ඇටකිච්චගෙ ආදරේට සපෝට් කලේ..

"ඉතිං..?"

"අන්න එයා යාලුවෙලා ඉන්න ගර්ල්ට, ඔයාලගෙ බේබි නැන්දගෙ පුතා ට්‍රයි.."

මං උඩ ගිහින් බිම වැටුණා.. මොකක්ද යකෝ මේකි මේ කියපු අලුගුත්තේරු කතාව.. ඒ කියන්නෙ මං නිරෝෂිට ට්‍රයි.. අම්මප මේකි කියන කතාවලට කොස් ගහෙත් හැපිලා, දෙල් ගහෙත් හැපිලනේ නතර වෙන්නේ..

"පස්සේ..?"

"මේ ළගදි දවසක අපේ නලින්දට ඔය බේබි නැන්දගෙ පුතා හොදටම ගහලා.. දැන් නලින්ද ඉන්නෙ නුවර හොස්පිටල් එකේ.."

"අනේ.. හරි පව් වැඩක්නෙ කරලා තියෙන්නේ.."

"ඒකනේ සමුදි.. මට නම් පුදුම තරහයි.. බේබි නැන්දගෙ පුතා කරපු ඒ ජරා වැඩේට.. මං මිනිහට හොද පාඩමක් උගන්වන්නයි හිතන් ඉන්නේ.. බලන්නකෝ.. නලින්දගෙ ගර්ල් කැමති උනේ නෑ කියල නලින්දට ඉස්පිරිතාලෙකට යන්න තරම් ගහන්න ඕනෙද..? අනික නලින්දගෙ ගර්ල් හරිම හොද කෙනෙක්.. මං එයාලව ආශ්‍රය කරන හන්ද දන්නේ.. දෙන්නා අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා.."

හරිම හොද කෙනෙක් වෙන්නෙ කොහොමද, මෝඩ තකතීරු කෙල්ලේ..! නිරෝෂි, නලින්ද එක්ක වගේම අපේ බින්දුත් එක්කත් යාලුයිනේ.. හැබැයි ඉතිං දැන් නම් අපේ බින්දුවට සොරි ඩොට් කොම් තමයි කියලයි බන්ටිට නම් හිතෙන්නේ.. ඇයි හත්තිලව්වේ, උං දෙන්නා ජෝඩු දාලා, මේ කෙල්ලගෙ ගෙදර ගියා කියලා මේකිගෙම බෝක්කු කටින් කියලා තාම විනාඩියක්වත් ගියේ නෑනෙ.. හොද හොද ඒවා ඉතිං බලාගතෑකි..

"ඔය බේබි නැන්දගෙ පුතා හරිම කපටියි.. දැන් මිනිහා ගෙනියන අලුත්ම ආරංචිය මොකක්ද කියලා ඔයා දන්නවද..?"

"මොකක්ද..?"

"අපේ නලින්දට තව ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා.. හොදටම ගහලා ඉවර වෙලත් ලව් එක බ්‍රේක් කරන්න බැරිවුණාම දැන් වෙන ප්ලෑන් එකකට මෑන් බැහැලා.. මම නම් ඔය කතා බින්දුවක්වත් විශ්වාස කරන්නෑ.."  

"නලින්දගෙ ගර්ල් විශ්වාස කරයිද..?"

"ඒක තමයි මට බය.. එහා හරිම අහිංසක ගර්ල් කෙනෙක්.. ඩිංග ඇත්නම් ඇස් දෙකේ කදුළු පුරව ගන්නවා.. බනින්න ඔන්නෑ.. රවලා බැලුවත් ඇති අඩන්න.. ඉතිං ඔය වගේ නිව්ස් එකක් එයාට ගියොත් මොනවයින් මොනවා වෙයිද දන්නෑ.."

හප්පොච්චියේ.. මේකි කියන පට්ට කෙබරවල සයිස් එකට මටත් කලන්තෙ වගේ.. ඇයි යකෝ මිනිස්සුන්ට මේ තරම් බොරු කියතෑකිද..? නිරෝෂිගෙ කොහෙද අහිංසකකමක්.. ඒකිට එකසිය ගානටත් එහා ගියපු උණක්නේ තියෙන්නෙ.. පිස්සු හොද එක.. රවල බැලුවත් ඇතිලු අඩන්න.. මොන පිස්සු.. දෙකේ දෙකේ පොල්ලකින් දෙකක් දෙන්න ඕන ඒකිව අඩවන්න.. කොටින්ම අපේ බින්දු ඇඩුවත් ඒකි අඩන එකක් නම් නෑ..

"ඒක තමයි.. මට නම් පේන විදියට ඒ කොල්ලා මහ වස නපුරෙක් වෙන්නැති.. නැත්නම් ඉතිං  ඔය වගේ වැඩ කරයිද නේද..?"

"අ..පෝ.. සමුදි.. ඒකා ගැන නම් මතක් කරන්නවත් එපා.. මහා ගල් කාෂ්ටක මිනිහෙක්.. තෙතමනයක් කියලා නාමයක් ඒකගෙ පපුවෙ නෑ.. අර අහිංසකයට අල්ලගෙන තඩි බාල තියෙන හැටි දැක්ක නම්.. ඔයා කියන්නෙ මට ඒකව මරන්න තරම් හිතයි.."

"ඔයාට පිස්සුද..? මේ එක එක රස්තියාදුකාරයො එක්ක මරාගන්න යන්නේ.. ඒකා ඔයාව උස්සගෙන කොහේට හරි යයි.."

ඉදලා ඉදලා අපේ අක්කා කිව්වෙ ටොයිස් වගේ එලකිරි කතාවක්.. දැන් බලමුකො මේ ඇට පඩත්තල කෙල්ල මොනවද කියන්නෙ කියලා.. අනික ඉතිං මේ බන්ටි නම්, කොයි තරම් ලස්සන උනත්, අතට සල්ලි දුන්නා උනත්, චැලියට ෆුල් ටෑන්ක් ප්‍රෙට්‍රල් ගහලා දුන්නා උනත්, ඔය මල හෝන්තුව නම් උස්සන්නෙ නෑ.. ඊට වැඩිය දාහෙන් සම්පතයි අර මොරීන් අක්කව උස්සන එක.. නැත්නම් හස්ත කර්මාත්නය අරඹන එක..

"හ්ම්.. බලමුකෝ.. මං ඌට හොද රිටර්න් එකක් දෙනවා සමුදි.. ඌ මටත් චැලේන්ජ් කරා.."

"මොනවා.. ඒකා ඔයාට හම්බවුණාද..?"

"නැත්තං.. මං ඒකත් එක්ක හොදටම බැණ ගත්තා.."

"දෙයියනේ.. ඔයාට නම් පිස්සු.. ඇයි බබා නරකයොත් එක්ක ඔහොම පැටලෙන්නේ.. ඔයා ගෑනු ළමයෙක් නේද..? ඇයි ඔයා පාඩුවෙ ඉන්නැත්තේ..? බලන්න ඉතිං ඒකා දැන් ඕක ලේසියෙන් අතාරින එකක් නෑ.."

"කමක් නෑ.. ඒකා අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෙ නෑ.. මං ඒ නරකාදි කොල්ලට මේ නුවර ඉන්න ඉඩ දෙන්නෑ.. ඔයා බලන්නකෝ මං කරන වැඩේ.."

"........  ඔයා මොනවද කරන්න හදන්නේ..? ........ "

අක්කා කතා කරපු ඒ වචන ටිකේ මුලයි අගයි මට ඇහුණෙ නෑ.. මං හිටියෙ සාලෙ ඉස්සරහ දොර දිහාටත් අවධානය දිනාගෙන.. ඒත් අක්කා ඒ කෙල්ලට නම කියලා කතා කරා කියලා ඉවෙන් වගේ මට තෙරුණා.. ඒකිගෙ නම දැනගන්න මගෙ හිතේ කැමැත්තක් තිබුණත් අවශ්‍යම වෙලාවෙ මට ඒක මගෑරුනා..

"තාම නම් මුකුත් අදහසක් මගේ ඔලුවෙ නෑ.. ඒත් ඔය වගේ කැත කොල්ලෙකුට රිද්දන්න ඕන හිතට.. ඇගට පතට රිද්දලා වැඩක් නෑ.."

"දෙයියනේ.. ඔයා මොනවද මේ කියවන්නේ..? ඔයා හදන්නෙ ඒ ළමයත් එක්ක ගහගන්න යන්නද..?"

"නෑ.. නෑ.. ඔයාලගෙ බේබි නැන්දට ටිකක් රිද්දුවොත් ඒකට හොදටම රිදෙයි.. මොකද ඒකා බේබි නැන්දට හුගාක් ආදරෙයි කියලා මට තෙරුණා.."

මම ප්‍රචාරය කරපු බේබි නැන්දගෙ දරුවගෙ කතාව දැන් කෙටි චිත්‍රපටියකටත් ගහලා.. වැඩේ හිතුවටත් වැඩිය දුර දිග යනවා කියලා මට තෙරුණා.. කෙල්ල කියපු කතාවට අක්කා කටහඩ අවදි කරේ ටිකක් වෙලා ගියාට පස්සේ..

"ඔයා බේබි නැන්දට රිද්දන එක නම් මං අනුතම තරන්නෑ.. ඒක මේ දේට ගැළපෙන එකක් නෙමෙයි.."

"එහෙනම් ඒකා නලින්දට ගැහුවේ.. නලින්දගෙ ගර්ල් එක්ක ප්‍රශ්නයක් නම් ඒක එයත් එක්ක බේරගන්න ඕනනේ.. ඇයි නලින්දව ගාව ගත්තේ..?"

කෙල්ල ඇහුවෙ හුගාක් හොද ප්‍රශ්නයක්.. ඒත් මේ හැමදේම අහගෙන තව කොයි තරම් වෙලා මට මෙතන ඉන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙත් පැත්තකින් තිබුණා..

"මං කොහොමත් හෙට නලීන්ව බලන්න යනවා.. ඒ ගිහින් මේ ගැන තීරණයක් ගන්නවා.."

අහපු ප්‍රශ්නෙ පැත්තකින් තියලා කෙල්ල ආයෙත් කිව්වා.. සමහර විට අපේ අක්කා කතා කරපු නැති හින්දා වෙන්නැති..

"ඔයා බේබි නැන්දට රිද්දන්න හදන්නෙ කොහොමද කියලා මං දන්නෑ.. හැබැයි එහෙම උනොත් තවත් ලොකු ප්‍රශ්නයක් ඔයාට එනවා.. ඔයාට හැප්පෙන්න තියා, හිතන්නවත් බැරි කෙනෙක් මේ ප්‍රශ්නෙට ගෑවෙනවා.. ඒක ඔක්කොටම වැඩිය භයානකයි.."

"ඒ.. ඒ.. ඒ කවුද සමුදි..?"

කෙල්ලගෙ කටහඩ වෙව්ලලා ගියා කියලා මට තේරුණා.. ඒ එක්කම තමයි සාලෙ තියෙන ලොකු ජනේලෙකින් මං දැක්කෙ අම්මා ඈතින් එන හැටි.. ඒත් අක්කා කිව්ව භයානක පුද්ගලයා කව්ද කියලා දැනගන්න මට ලොකු ආශාවක් තිබුණා.. සමහර විට අලි මුඩුක්කුවෙ සෝමෙ අයියද දන්නෑ..

"වෙන කවුරුවත් නෙමේ.. අපේ බන්ටි.. ඔයා ඔය කියන බේබි නැන්දගෙ පුතාට වැඩිය ලක්ෂ වාරයක් අපේ බන්ටි බේබි නැන්දට ආදරෙයි.. බන්ටි ඉන්නකල් ඔයාට බේබි නැන්ද ගාවට කිට්ටු වෙන්නවත් ලැබෙන්නෙ නෑ.."

"බ.. බන්ටි කිව්වේ.. ඔ.. ඔයාගෙ අයියා රසිකද..?"

"පිස්සුද අනේ.. අපේ පවුලෙ බඩපිස්සා ඔයා දන්නැද්ද..? එයා ගෑවුණොත් ඇති පළාතක්ම හෝදා පාලුවෙලා යන්න.. හැබැයි ඉතිං එයාගෙ හිතට ඇල්ලුවොත් හදවත ගලවලා දෙයි.."

"ම.. මං එයාව දැකලා නෑනේ.."

දැක්කා නම් ඔයාට නූල්  හතරක් විතර බදින්න වෙනවා.. මෝඩ කෙල්ලේ.. අම්මා ගෙට ඇතුල්වෙන්න තිබ්බෙ තව තත්පරයක් නැත්නම් දෙකයි.. මං අඩියට දෙකට පඩිපෙළ දිගේ උඩට නැග්ගා.. පඩිපෙළේ ඇන්ද දිගේ පස්ස තියලා පහළට ලිස්සලා එනවට වැඩිය වේගෙන් බන්ටිට පඩිපෙළ දිගේ උඩට දුවන්න පුළුවන්.. එහෙම දුවලා බන්ටි හෝම් රෙකෝඩ් දෙක තුනක් තියලයි තියෙන්නේ..

ෂිහ්.. අම්මා ආවෙ කතන්දරේ හොදම හරියෙදිනේ.. අක්කයි, ඒ කෙල්ලයි තව මොනවා මොනවා කතා කරයිද දන්නෑ.. කරුමෙට හරි අක්කා මගෙ කාමරේට කඩන් පාත් උනොත් සොරිම තමයි.. එයාගෙ යාලුවට මාව පෙන්නන්න ඇවිත් ඊගාවට අපේ අක්කටයි නූල් බදින්න වේනනේ.. ඇයි ඉතිං මේ අලුගුත්තේරු වලියෙ නිර්මාතෘ බන්ටි කියලා දැනගත්තාම කරන්න ඕන මොනවද කියලවත් එයාට අමතක වෙලා යයි..

කොහොම කොහොම හරි මං හොද ඕනෑකමින් අහගෙන හිටියෙ අක්කා තියා කිසිම කෙනෙක් මගේ කාමරේ පැත්ත පළාතක ආවෙ නෑ.. වැඩිය ඕන්නෑ.. අර බෝක්කු කට තියෙන කෙල්ලගෙ කටහඩවත් මට ඇහුණෙ නෑ.. එහෙනම් ෂුවර් එකටම අම්මා එනවත්තෙක්කම වගේ කෙල්ල ආපහු යන්න ඇති.. මොනව උනත්, අක්කගෙයි, ඒ කෙල්ලගෙයි කතන්දරේ තව කැරකෙන්න ගියා නම් බන්ටිට සොරිම තමා.. එහෙනම් අර කෙල්ල අනිවා අක්කා එක්ක මගේ කාමරේට එනවා.. ඒ ඇවිත් මේ තමයි මගේ වන් ඇන්ඩ් ඔන්ලි මල්ලි, මිස්ටර් බන්ටි කියලා අක්කා උන්දැට මාව ඉන්ට්‍රොඩියුස් කරහම බන්ටිට දුවන්න පඩිපෙලත් මදි වෙනවා.. දැන් ඉතින් කම් නෑ.. එහෙම දෙයක් උනේ නෑනේ.. මං හිත හදාගත්තා..

                                            ****************************

හිතේ තිබ්බ අවුල හින්දම රෑ කෑමත් බාගටෙ කාලා මං ඇදට පැන්නා.. බන්ටි තමයි රෑ කෑම සාමාන්‍යයෙන් උපරිම විදියට භුක්ති විදින්නේ.. ඒත් අද ඒක එහෙම නොවුණු හන්දා ගෙදර අය බාගෙට කටවල් ඇරගෙන බලාගෙන ඉද්දි බන්ටි කැත නැතුව පුටුවෙන් නැගිට්ටා.. ඇත්තටම කන්න තරමේ පිරියක් මට තිබුණෙ නෑ.. වෙච්ච දේවල් වල හැටියට අහපු දේවල් වල හැටියට මෙහෙම හරි හුස්ම ඉහල පහල දාන එක මැදැයි..

                                            ****************************

යාංතමට වගේ නින්ද යාගෙන ආවත් මොකක්දෝ අමුතු සද්දයක් ඇහිලා මං ඇහැරුණා.. සද්දෙ ආවෙ කොහෙන්ද, මොකකින්ද කියලා හිතාගනන් බැරිවුණා.. ඇදේ වාඩිවෙලා මං හොද ඕනෑකමින් ඇහුම්කන් දුන්නා.. දෙවෙනි පාරට ඒ සද්දෙ ආවෙ මගේ කාමරේ බැල්කනිය පැත්තෙන්.. ඒ තවත් විනාඩියක් දෙකක් ගියාට පස්සේ.. ඇදගෙන හිටපු ෂෝට පිටින්ම මං බැල්කනි කෑල්ලට ඇතුල් වෙන දොර ළගට ගියා..

එළියෙ මොකක් නමුත් සිද්ධවෙන හැඩයි.. හැබැයි ඒ සිද්ධ වෙන දේ හොද දෙයක් නෙමෙයි කියලා මට තේරුණා.. කරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරි උනත්, මං හෙමින් සීරුවෙ බැල්කනියෙ දොර ඇරියා.. බන්ටි කියන්නෙ සාමාන්‍යයෙන් යකෙකුටවත් බය කොල්ලෙක් නෙමෙයි.. ඒත් මේ වෙලාවෙ බයක් එක්ක මිශ්‍ර වුණු අමුතුම හැගීමක් මගේ හිතේ තිබුණා..

හද එළියටයි, පල්ලෙහා තට්ටුවෙ දාලා තිබුණු ලයිට්ස් වලිනුයි මං දැකපු දේ මට හිතාගන්න බැරිවුනා.. මගේ කාමරේ බැල්කනියට මිහ ඉදල හේත්තු කරලා තිබ්බෙ දිග ඇලුමිනියම් ඉනිමගක්.. මොකාද යකෝ මේ අලුගුත්තේරු වැඩේ කරපු එකා.. අද මුළු දවසෙම මෙහෙම ඉනිමගක් අපේ වත්තෙ තිබුණෙ නෑනේ.. වීරයා වගේ දොර ඇරගෙන බැල්කනියට ආවට මේක හොරෙක්ගෙ වැඩක්ද දන්නෑ.. අපේ මුළු ගෙදරටම සුද්දෙ දාන්නන ආපු එකෙක් උනොත් කතන්දර ගොඩයි.. කෝක උනත් කියලා බැල්කනිය මුල්ලෙ දාලා තිබ්බ මගේ පරණ ක්‍රිකට් බැට් එක මං අතට ගත්තා.. දැන් ඉතිං ඕන අලි දන්ඩෙක් වරෙන් පුතා.. මං දෙන්නෙ ඉස්මුදුණෙන්ම පැණි බේරෙන්න.. 

[ඒ මගේ මලයි පළමු කොටස මෙතනින් අවසන්ය. ඉතිරි කොටස කියවීම සදහා ඒ මගේ මලයි 2 ලේබලය කොටන්න]            




No comments:

Post a Comment