Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






“දුවේ.. සිතුමිණී..”

කකුල් දෙක පුටුව උඩට ගෙන නවකතා පොතක් කියවමින් උන් සිතුමිණී තිගැස්සුණි.. ඈ වහා පුටුවෙන් නැගිට බලද්දී ළග උන්නේ සංදීපගේ මව හා සොහොයුරාය..

“අම්මේ..”


පොත නවා පසෙක තැබූ ඇය මවට දණ ගසා වැන්දේ යන්ත්‍රාණුසාරයෙන් මෙනි.. සංදීපගේ මව සිතුමිණීව නැගිට්ටවා ඇගේ නළලත සිප ගත්තාය..

“අම්මලා මොකේද ආවේ..?”

“කාර් එකේ ආවෙ දරුවො.. ඒ උනාට ඩිංගක් මහන්සියි..”

තමාට වාහනේක හඩක් නෑසුනේ මන්දයි සිතුමිණි තනිවම කල්පනා කළාය.. ඇතැම් විට තමා කියවමින් උන් පොතේ රසවත්භාවය නිසා එසේ වන්නට ඇත..

“නංගී කෝ අයියා..? වැඩට ගිහින්ද..?”

සංදීපගේ සොයුරු සංකේත් විමසුවේ සිතුමිණි දෙස ඕනෑකමින් බලමිනි.. තවමත් විසිතුන් හැවිරිදි වියේ පසු වූ ඔහු තම සොයුරාගේ පුංචි බිරිදට අසීමිතව ඇළුම් කළේය.. නමුත් ඒ ඇල්ම සොයුරු දමේ සීමා බිද දැමූවක් නොවන වග සංදීප සේම සිතුමිණීද දැන උන්හ..

“ඔව් අයියා.. සංදීප එද්දි හවස් වෙයි.. ඉදගන්නකො ඉතිං..”

සංදීපගේ මව සාරිපොටෙන් දහඩිය පිස දමද්දී සංකේත් රියෙහි තිබූ ඇදුම් බෑග් දෙකක් නිවසට ගෙන ආවේය.. ඔවුන් පැමිණ ඇත්තේ මෙහි නතර වීමට බව වැටහුණු සිතුමිණි තුළ ඇතුවූයේ නොසන්සුන්කමකි.. නමුත් ඈ ඔවුන් දෙදෙනාගෙන් එය වසන් කළාය..

“අයිරම්මා.. ටිකක් එන්නකො..”

සිතුමිණිගේ හඩට සාලයට පැමිණි අයිරම්මා සංදීපගේ මව හා සොයුරා දැකීමෙන් බොහෝ සතුටට පත් වූ බව සිතුමිණීට පෙනුණි..

“හානේ.. අපේ ලොකු නෝනලනේ මේ.. කොච්චර එකක්ද අප්පේ ආපු එක.. කෝ ලොකු මහත්තයා..?”

“මහත්තයා ආවෙ නෑ අයිරා.. මායි පොඩි පුතයි විතරයි ආවෙ.. ඉතිං.. අයිරට මෙහේ හොදද..?”

“මොනව අහනවද නෝනෙ.. මේ මහත්තයයි, නෝනයි මට සලකන්නෙ අම්මා කෙනෙකුට වගේ..”

අයිරම්මා කීවේ මුසාවක් නොවේ.. දෙන්නා දෙමහල්න් අතර විරසකයක් තිබුණට දෙදෙනාම ඇයට කරුණාවෙන් සලකන බව නොරහසකි..

“අයිරම්මා එහෙනං අම්මලා එක්ක කතා කර කර ඉන්න.. මං බොන්න මොනා හරි හදන්නම්..”

සිතුමිණීට අවැසි වූයේ තමා වැඩ කරන බව ඔවුන් ඉදිරියේ වා පෑමට නොව මේ සාක්ච්ඡා වලින් මිදීමටය..

“පුංචි නෝනා ඉන්න.. මං හදන්නම්.. අපේ ලොකු නෝනා බොන්න කැමති ඉගුරු දාපු තේ කහට..”

ඇයව ඔවුන් ඉදිරියේ තනිකර දැමූ අයිරම්මා නැවත කුස්සියට වැදුණි..

“අම්මා.. යං වොෂ් එකක් දාගෙන එමු..”

මවගේ ඇදුම් බෑගය අතට ගත් සිතුමිණි පඩිපෙළ නැගීමට සැරසුණාය..

“අනේ දූ.. මේ නාකි මට ඔය මහගිරි දඹේ නගින්න බෑ.. මං පහළින් හෝද ගන්නම්..”

“එහෙනං මං මේ කාමරෙන් බෑග් එක තියන්නම්.. අම්මා මේ මැද බාත්රූම් එකට යන්න..”

පහත මාලයේ වූ විශාලතම කාමරය සිතුමිණී ඇයට වෙන් කර දුන්නේ අනෙක් හිස් කාමරයේ දොර පිහිටියේ නිවසට පිටතින් බැවිනි.. කුස්සියට යාබද කාමරයේ අයිරම්මා උන් අතර පහත මිදුලට බසින තැන පිහිටි දිග කාමරය පොඩ්ඩේට වෙන්ව තිබුණි.. 

“මං එළියෙ කාමරේ ඉන්නම් අම්මා..”

සංකේත් ඔහුගේ බෑගය රැගෙන ඉදිරිපස කාමරයට යද්දී සිතුමිණි අයිරම්මා සොයා කුස්සියට ගියාය..

“කේක්, බිස්කට් මුකුත් එහෙම නැද්ද අයිරම්මෙ..?”

කඩිමුඩියේ සංග්‍රහයක් ලෑස්ති කරමින් උන් ඇගෙන් සිතුමිණී විමසා සිටියේ තමා කුස්සියේ අඩුපාඩු පිළිබද නොදන්නා බැවිනි..

“මං පොඩ්ඩෙව කඩේට යැව්වා නෝනෙ කේක් ගේන්න.. හැබැයි ඉතිං ලොකු නෝනා ඕවා කන්නෙ නෑ.. එයාට සීනි අමාරුව.. සංකේත් මහ්තතයට තමයි ඉතිං ඕවා ඕනෙ..”

තමා මේ ගෙදර පුද්ගලයන් ගැන නොදන්නා දේ කොතෙක්දැයි සිතුමිණිට සිතාගත නොහැකි විය.. නමුත් ඒ පිළිබදව දැන ගැනීමට උත්සුක වීමෙන් ඵලක් නොවේ.. තමා මේ පැමිණීයේ තාවකාලික නවාතැන්පොලකට බව ඇය දැන උන්නාය..

                                            ****************************

සංදීප නිවසට එන වේලාව ළං වන විට සිතුමිණි හා අයිරම්මා උන්නේ ඔහුගේ මව හා සොයුරා සමග සතුටු සාමිච්චියක යෙදෙමිනි.. තමා මේ මිනිසුන් සමග මෙතරම් සුහදව ගැවසී යම් දිනක රඛිත හා යන්නෙ කෙසේදැයි සිතුමිණීට සිතා ගත නොහැකි විය.. නමුත් ඒ පිළීබද සිතා මනස වෙහෙසීම ඈ මදකට කල් දැමුවාය..

“හෙට උදේ පොඩි පුතාට ඉන්ටවිව් එකක් තියෙනවා.. ඒකට යන්න ඕන නිසා තමයි අපි මේ තකහනියක්ම ආවෙ..”

සංදීපගේ මව විමසීමකින් තොරවම තමන් පැමිණි කාරණය හෙළි කළාය..

“කොච්චර එකක්ද අම්මා ආපු එක.. අපිත් මේ පාළුවෙන් හිටියෙ නේද අයිරම්මෙ..?”

“ඒක නේන්නං.. දවල් වරුවෙ ඉතිං අපි දෙතුන්දෙනා විතරයිනෙ..”

අයිරම්මා සැහැල්ලුවෙන් කීවාය..

“නංගි.. කැරම් අතක් ගහමුද..?”

සංකේත් හිටි හැටියේම අසද්දී සිතුමිණී පුදුම වී බැලුවාය.. මේ නිවසේ කැරම් බෝඩ් එකක් තිබෙනවාද කියාවත් ඈ දන්නේ නැත..

“ඉතිං කෝ බෝඩ් එකක්..?”

“ඇයි ළමයො.. අයියගෙ ස්පෝර්ට්ස් බඩු සේරම උඩ කාමරේ තියෙන්නෙ.. ඔයා ඒකවත් දන්නෙ නැද්ද..?”

සංකේත්ගෙ කතාවට සිතුමිණීට දැනුණේ පොළව පලාගෙන යන තරම් ලැජ්ජාවකි.. ඇගේ එම අපහසුව අයිරම්මාටද නොවැටහුණා නොවේ..

“මේ ළමයා ඕවා හොයන්නෙ නැතුව ඇති පුතා.. අනික අපේ ලොකුත් වැඩට ගියාම කාත් එක්ක කියලා සෙල්ලම් කරන්නද..?”

මවගේ කතාවට ඇයට මද සහනයක් දැනුණද සිතේ වූ චකිතය මුළුමනින්ම පහව ගියේ නැත.. සංතේක උඩුමහලට ගොස් යථාර්ථය දකිනවාට අකමැති වූ අයිරම්මා පොඩ්ඩෙ සමග එක්ව කැරම් බෝඩය සොයා දුන්නේ පවුලේ සාමය රැකිය යුතු නිසාවෙනි..

“මං නං අයියා තරම්ම කැරම් වලට දක්ෂ නෑ.. එයත් එක්ක සෙල්ලම් කළොත් මං හැමදාම පරාදයි..”

කැරම් බෝඩ්යට පඩුවර් දමා ඉත්තන් සකසන අතර වාරයේ සංතේක් සිනාසෙමින් කීවේය.. තමාද කුඩා කල සිටම කැරම් ගැසීමට දක්ෂ වග සිතුමිණී නොකියා උන්නේ එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන අදහසිනි.. තමා ලොකු අයියාව හෙවත් ලොකු මාමාගේ පුතාව කැරම් වලින් පැරදවූ වාර ගණන කොතෙක්දැයි සිතුමිණීට මතක නොමැති තරම්ය..

“මේ ළමයා ඇවිත් දුවට කරදර කරනවද මංදා..?”

“නෑ අම්මා.. මමත් කැරම් ගහන්න කැමතියි..”

සංකේත් ප්‍රථම වාරය සිතුමිණිට ලබා දුන්නේ ඈ කැරම් වලට කොතරම් දක්ෂදැයි දැනගැනීමටය.. සිතුමිණි සිය ලා රෝස පැහැ දිගු අතැගිලි විදා ඉත්තන් රවුම තමාට අවැසි සේ හරවා ගත්තේ සංකේත්ගේ මුහුණට බැරෑරුම් පෙණුමක් එක් කරමිනි..

“කඩන්න පුංචි නෝනෙ කුඩු වෙලා යන්න..”

කොහෙදෝ සිට හොරෙන් එබිකම් කළ පොඩ්ඩෙ කෑ ගැසුවේය.. සිතුමිණී දබරගිල්ල මැදගිල්ල මත තබා ඉත්තන්ට ගැසූ වේගවත් පහරට සුදු ඉත්තන් දෙදෙනෙක්ම සංකේත් උන් දෙසින් වලට වැටුණි..

“අන්න.. ජාති පාර..”

පොඩ්ඩෙ නැවතත් කෑ ගැසුවේ ඔවුන් දෙදෙනා ළගටම විත් බිම වාඩිගන්නා අතරවාරයේය.. සංකේත්ගේ සිතට පුංචි මදිකමක් සේම තම නෑනන්ඩිය ගැන ආඩම්බරයක්ද ඇතිවිය..

“මං ඉල්ලන් කෑවද මංදා..”

සිතුමිණී ඊළග වාරයේදි පිට පිටම ඉත්තන් වලට යවද්දී සංකේත් තමාටම මුමුණා ගත්තාය.. ඔහුත් තමාට හැකි උපරිමයෙන් සෙල්ලම් කලද ඔහුගේ ඉත්තන් තුන් දෙනෙක් ඉතිරිව තිබියදී සිතුමිණී ජයග්‍රහණය කලේ ඉතාමත් පහසුවෙනි..

“මෙච්චර හොදට කැරම් ගහන කෙල්ලෙක් මං දැක්කමයි.. අපේ අයියා උනත් ඔයාට පරදින්න බැරි නෑ..”

සංකේත් කී කතාව බොරුවක් නොවේ.. සංදීප කොහොමටත් මතු දිනක පරදින බව සිතුමිණී දැන උන්නාය.. නමුත් ඈ එය වචන වලට පෙරලුවේ නැත..

සංදීප ගෙට ගොඩ වූයේ නිවස තුළින් එන සතුටු සිනා හඩට කන්දෙමිනි.. මිදුලේ නතර කර තිබෙන කාරය දුටු ඔහු සිතුවේ තාත්තා පැමිණ ඇතැයි කියාය.. නමුත් සාලයේ උන් පිරිස දුටු ඔහුට පුදුම සිතුණි.. සිතුමිණීත්, සංකේත් සමග සිනා සිසී කැරම් ගහනවා දුටු විට දුක් මුසු ඊරිසියාවක් සංදීපගේ සිත වෙලා ගත්තේය..

“ආ.. පුතා එනවා දැක්කෙවත් නෑ..”

සංදීපව දුටු විගස මව කියද්දි සිතුමිණීගේ අත රැදි ඉත්තා ගිලිහී ගියේය..

“මොකද හලෝ උනේ..? ඇයි මේ බයවෙලා..?”

සංදීපව දුටු විටම සිතුමිණීගේ ඉරියව් වෙනස්ව ගිය බව සංකේත් වටහා ගත්තේ ඔහු හොදින් ඇයව නිරීක්ෂණය කල නිසාවෙනි.. පිරිස ඉදිරියේ තමා හැසිරිය යුත්තේ කෙසේදැයි වටහා ත නොවුණ සිතුමිණී ලත වූවාය..

“ඔන්න අයියා අදනං සිතූව රිලීස් කරන්න බෑ.. අපි ලොකු වැඩක්.. ඔයා අයිරම්මට කියලා තේ  හදාගන්න..”

සිතුමිණීගේ අපහසුව දුටු සංකේත් සිතුවේ ඈ මෙතනින් නැගිට යාමට තනනවා කියාය.. එනිසා ඔහු සිය සොයුරාගෙන් ඇයව මදක් ගලවා ගත්තේය..

සංදීපට නම් දැනුණේ දැඩි ආත්මාණුකම්පාවකි.. සිතුමිණි වැඩක නිරත උන්නද තැනද තමාගේ තේ එක පිළියෙල වන්නේ අයිරම්මාගේ අතින් බව සංදීප දැන උන්නේය.. ඔහු මහන්සි බව අගවමින් පිරිස මග හැර ගියේ එම නිසාවෙනි..

“ඔයාලා සෙල්ලම් කරන්නකො.. මං ගිහින් ලොකූට තේ හදන්නම්..”

එසේ කියූ සංදීපගේ මව අයිරම්මා සමග කුස්සියට ගියේය..

“අයියට තරහ ගියාද දන්නෑ නංගි.. මං පොඩි ජෝක් එකක් කලේ..”

“එයාට තරහා යන්නෙ නෑ..”

හිතා මතා නොවුනද සිතුමිණීගේ මුවින් එවදන් ගිලිහුණි.. සංකේත් සිතුවේ තම සොයුරාට ලැබී ඇත්තේ හොද තේරුම්ගැනීමක් සහිත බිරිදක් කියාය.. නමුත් සිතුමිණී අදහස් කලේ එය නොවේ.. ඈ එසේ කීවේ තමා කරන සෑම දෙයක්ම සංදීප ඉවසා සිටින නිසාවෙනි..

“මම කියනවට ඔයා අයියා එක්ක එක අතක් සෙල්ලම් කරන්න..”

සංකේත් කළ ඉල්ලීම ඉටුකිරීමට තමාට නොහැකි බව සිතුමිණී දැන උන්නද ඈ කිසිවක් පැවසුවේ නැත.. සංදීප ඇගපත සෝදා පැමිණි පසු සොයුරන් දෙදෙනාට සෙල්ලම් කිරීමට ඉඩ හැර ඈ කුස්සියට වැදුණාය..

“අම්මලත් ඇවිත් ඉන්න එකේ අපි ෆයිඩ් රයිස් හදමු අයිරම්මෙ..”

සිතුමිණීගේ යෝජනාව අයිරම්මා පුදුමයට පත් කිරීමට සමත් විය.. සංදීපට කරන වෙනස්කම් දෙස බලන විට සිතුමිණී ඔහුගේ පවුලේ අයට මෙලෙස සත්කාර කිරීම සැබැවින්ම අරුමයකි.. නමුත් සිතුමිණී අනුගමනය කරමින් උන්නේ රඛිතගෙන් ලැබුණු උපදෙස් බව කිසිවෙකුත් දැන උන්නේ නැත.. ඔහු ඇයට උපදෙස් දී තිබුණේ සංදීපගෙන් පමණක් දුරස් වී අන් අයගේ සිත් දිනා ගැනීමටය.. එවිට මතු දිනක ඈ එම පවුල අත හැර පැමිණියද ලෝකය හමුවේ ඈ වැරදිකාරය නොවේ.. වැරදිකරු වන්සේ සංදීපය..

                                            ****************************

රෑ කෑමෙන් පසු සංදීප හා සංකේත් මිදුලට වී කතාබහක නිරතව උන්හ..

“කොහෙද මල්ලි හෙට ඉන්ටර්විව් එක..?”

“රෙස්ටුරන්ට් එකක අයියා.. එකවුන්ට්ස් ඇසිස්ටන් පෝස්ට් එකක්..”

සංකේත් මේ වන විට වරලත් ගණකාධිකාරී ආයතනයේ අන්තර් මධ්‍ය විභාගයට සූදානම් සිසුවෙකි.. එනිසා එම තනතුර ඔහුට සුදුසු බව සංදීපට වැටහුණි..

“තැන කොතනද මල්ලි..? ඔයා යන්න දන්නවද..?”

“පාර හොයන් තමා යන්න වෙන්නෙ.. ග්‍රීන් පාක් රෙස්ට් කියලා තැනක්..”

ඒ කතාව ඇසුණු සංදීපගේ දෙකනින් ගිණි පිට විය.. ග්‍රීන් පාක් රෙස්ට් යනු රඛිත, සිතුමිණීව රැගෙන ගියා යැයි කී තානායමයි..

“ඔයා එතන දන්නවද අයියෙ..?”

සිය සොයුරා ක්ෂනිකව නිශ්බ්ද වූයේ මන්දැයි වටහා ගත නොවුණ සංකේත් විමසුවේය..

“ටිකක් විතර දන්නවා.. මේ.. ඔයා අම්මත් එක්කද යන්න හිතන් ඉන්නෙ..?”

“නෑ.. අම්මා ආවෙ ඔයාව බලන්න ඕන කමට.. මං තනියම යන්නෙ..”

“නෑ නෑ.. තනියම යන්න එපා.. මං එන්නම්..”

සංදීප එසේ කීවේ එය කෙබදු තැනක්දැයි දැනගැනීමට අවැසි වූ නිසාය..

“අයියට හෙට වැඩනේ..?”

“කමක් නෑ.. මං නිවාඩුවක් දාන්නම්.. කීයටද යන්න ඕනෙ..?”

“දහයට..”

“හරි එහෙනං.. අපි දෙන්නා යමු..”

සංදීප අවසන් තීන්දුව දුන් පසු සංකේත් සිතුමිණීව මාතෘකාවට ඈදා ගත්තේය..

“හරි මහන්සියි මල්ලි.. නිදියමු නේද..?”

තම පවුල් ජීවිතය ගැන හා සිතුමිණී ගැන වැඩිදුර කතාකිරීම සංදීප සිතා මතාම මගෑරියේය.. ඒ බව වැටහුණු හෙයින් සංකේත් ඉන් එහා කිසිවක් විමසුවේ නැත.. නමුදු.. ඉස්සර හැම දෙයක්ම තමා හා කීමට පුරුදුව සිටි සොයුරාගේ මෙම වෙනස සංකේත්ට ගෙන ආවේ කණගාටුවකි..




No comments:

Post a Comment