Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






රඛිතගේ දැඩි ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා සිතුමිණී දිනක් ඔහුව මුණ ගැසීමට පැමිණියාය.. නමුත් ඈ උන්නේ බියපත් වූ මුවැත්තියක පරිද්දෙනි..

“ඇයි සිතූ මේ වෙව්ලන්නෙ..? ඔයාට දැන් මාව මීට්වෙන්නත් බයද..?”

ඇයට හෙල්මටය පැළදූ රඛිත ඒ මුහුණට එබී බැලුවාය..

“කවුරු හරි දකී රඛිත.. අනේ අපි ඉක්මනට මෙතනින් යමු..”


කතා කිරීමට පමා නොවූ ඈ රඛිතගේ බයිසිකලයට නැග ඔහුගේ පිටට හිස තබා ගත්තාය.. කලකට පසු ඈ හමුවීම නිසා රඛිතගේ හිත පවා නොසන්සුන් වී තිබුණි.. ඔහු කෙලින්ම බයිසිකලය පැදවූයේ මිතුරෙකුට අයත්ව තිබූ කුඩා තානායමක් වෙතය..

“මේ යන්නෙ කොහෙද..?”

බොහෝ වේලාවකට පසුව හිස එසවූ සිතුමීණීට අවට මං සළකුණු හුරු පුරුදු නොවූ බැවින් ඇය තැතිගත් ලෙස විමසුවාය..

“ඔයා මිනිස්සුන්ට පේන්න ඉන්න බයයිනෙ.. මං ඔයාව ගෙනියන්නෙ කාටවත් පේන්නෙ නැති තැනකට..”

“අනේ රඛිත..”

තානායමේ නාම පුවරුව දුටු සිතුමිණීගේ බිය දෙගුණ තෙගුණ විය.. ඔවුන් දෙදෙනා මීට පෙර මුණ ගැසී ඇත්තේ මුහුදු වෙරලේ හෝ චිත්‍රපටි ශාලාවෙදි පමණි..

“තත්පරයක් ඔහොම ඉන්න..”

බයිසිකලයෙන් බැසි රඛිත පලපුරුදු කරුවෙකු සේ පිළිගැනීමේ අංශය වෙත යද්දී සිතුමිණී දස අතේ හිස හරවා බැලුවාය.. තමා හදුනන කිසිවෙකු හෝ නොවිය නිසා ඇගේ සිතට යම් සහනයක් දැනුණි..

“යමු..”

ඇගේ අත අල්ලාගත් රඛිත පටු කොරිඩෝවක් දිගේ ගොස් සුව පහසු කාමරයකට ඇතුලු විය.. සිතුමිණීට සිය මධුසමය දා ගිය හෝටලය වහා සිහියට නැගුණි.. එදා තමා සංදීපට පිටුපා තනිවම නිදාගත්ත හැටිත් උදෑසන අවදිව බලන විට තමා ඇද මත තබා සංදීප බිම දිනා උන් සැටිත් ඇයට කිසිදා අමතක කළ නොහැකි විය..

“බැදපු ගෑණු උනාම ඔහොම බෑ..”

සිතුමිණීට කාමරය තුළට ඇද ගත් රඛිත දොර වසා එහි අගුල ලා ගත්තේය.. ඇයට ඉහළට ගත් හුස්ම පොද පවා හිස්මොලයේ ගිය බවක් දැනුණි..

ඇගට ඇලෙන සේ නිමවා තිබූ කළු ඩෙනිමත් ලා කහ පැහැති ටී ෂර්ටයත් හැදි සිතුමිණීගේ දෙස රඛිත බොහෝ ආසාවෙන් බලා උන්නේය.. මේ මල සංදීපට පෙර තමා අයිති කරගත යුතු බව ඔහුට ක්ෂනිකව සිතුණි..

“ඇයි ඔය විදියට බලන්නෙ..? අනේ මට බයයි රඛිත..”

පුංචි පූස් පැටියෙකු සේ ඈ කෙදිරි ගෑවේ රඛිතගේ දෙනෙත් වෙනදාට වඩා අමුතු වී තිබූ නිසාය..

“මොකක්ද සිතූ ඔයාට වෙලා තියෙන්නෙ.. දැක්ක වෙලේ ඉදලා බයයි, බයයි ගානවා.. හරියට යකෙක් දැකලා වගේ..”

ඔහුට තරහා ගිය බව හැගුණ නිසා සිතුමිණී නිහඩ වූවාය..

“රිලැක්ස් වෙන්න බාබා.. ඔහොම ගල් ගැහිලා ඉන්න එපා..”

ඇගේ දේඋරහිසින් ඇල්ලු රඛිත ඇයව ඇද මත ඉන්දෙව්වාය..

“බය වෙන්න එපා පැටියො.. ඔයා මගේ.. ඔයා මගේ විතරමයි.. හරි..”

සිය දබරගිල්ලෙන් ඇගේ නාසයට තට්ටුවක් දැමූ රඛිත කාමරයට අල්ලා තිබූ නාන කාමරයට වැදී දොර වසා ගනිද්දි සිතුමිණි සැහැල්ලු හුස්මක් පිට කලාය.. ඇයට අවැසි වූයේ රඛිත මුණ ගැසී නිදහසේ කතා කිරීමට මිසක මෙවන් ගමනක් පැමිණිමට නොවේ.. සංදීපගෙන් නිදහස් වී රඛිත සමග යන දිනය එළඹෙන තෙක් තමා නොකැළැල්ව සිටිය යුතු බව ඈ ඇදහුවාය..

“සිතූ ඔයා වොෂ් එකක් දාගන්නවද..?”

රඛිත නාන කාමරයේ සිට පිටතට පැමිණියේ සුදු තුවායක් පමණක් හැදගෙන බව දුටු ඇය පුදුම සිතුණි.. ඈ දෑස් ලොකු කර ඔහු දෙස බැලුවාය..

“මේ මොකෝ මේ..”

“රස්නෙයි බබා..”

ඔහුගේ කතා විලාසය ඇයට නම් රිස්සුවේ නැත.. මේ වෙනදා තමාට මුණ ගැසුනු රඛිත නොවේ.. තමා විවාහ වී සිටීම ඔහු අමතර වාසියකට හරවා ගන්නට තනන බවක් ඇයට දැනුණි..

“මට වොෂ් එකක් දාගන්න ඕනෙ නෑ.. මම එද්දි නාලා ආවේ..”

ඇය නානකාමරය දෙසටවත් නොයාමට වග බලා ගත්තාය..

“මට ඔයාව ඕනෙ සිතූ..”

තවත් ඉවසිය නොහැකි වූ ඔහු ඇද මත වාඩි වී උන් සිතුමිණිගේ වතට බර විය.. ඔහුගේ ලන්ගතු පහස ඇයට මිහිරියාවක් වූයේ මොහොතකට පමණි.. තමාව සිප ගැනීමටවත් රඛිතට ඉඩ නොදුන් සිතුමිණී වහා ඔහුගෙන් මිදුනාය..

“ප්ලීස් බබා..”

ඔහු නැවත වරක් ඇය සිය ග්‍රහණයට ගනිද්දි සිතුමිණිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියාය..

“රඛිත ඔයා හැසිරෙන්නෙ ඔහොම නං මේ අපි හම්බවෙන අනිත්ම දවස අද වෙයි.. ඔයාට කවදාවත් මාව බලෙන් ලබා ගන්න බෑ.. මං දැන් සංදීපගෙ වයිෆ්.. අමතක කරන්න එපා මං එයාගෙන් වෙන් උනොත් මිසක එයා කවදාවත් මගෙන් වෙන් වෙන්නෙ නෑ කියලා..”

“මොනවද සිතූ මේ කියවන්නෙ..?”

ඇගේ වේගවත් කටහඩත් සමග ඔහු පියවි සිහියට පැමිණියේය.. අද දිනයේ සිතුමිණිව තමාට යටත් කරගත හැකි බව රඛිත දැන උන්නද ඈ යළි නොපැමිණියොත් තම සැලසුම් සියල්ල වතුරේ යයි.. එහෙයින් ඉක්මන් නොවිය යුතු බව තම සිතට දැනුම් දුන්නේය..

“ඔයාට මං කරදරයක් කරන්න හැදුවෙ නෑ බබා.. අද මං ඔයාව මෙතනට ගෙනාවෙත් වෙනද වගේ බීච් එකට ගෙනියන්න බැරි නිසා.. අනික අපි අතර මීට වඩා දේවල් වෙලා නැද්ද..? මං කවදහරි ඔයාගෙ විශ්වාසෙ කඩලා තියෙනවද..?”

ඔවු මවාගත් දුක්බර හඩකින් කියද්දී සිතුමිණිගේ සිතට කණගාටුවක් දැනෙන්නට විය.. තමා රඛිතට කී දෑ සැර වැඩි දැයි ඇයට සිතුණි.. ඔහු තමාට ආදරේ නැති නම් විවාහ වූ පසුවත් තමා ගැන සිතන්නේ මන්දැයි ඇයට කල්පනා විය.. අනෙක ඔහුට අවැසි වී ඇත්තේ දෙමාපිය ආශිර්වාදය ඇතුවම තමාව ඔහු ළගට ගැනීමට බව රඛිත කොතෙකුත් කියා ඇත..

“හරි.. දැන් රණ්ඩුවෙන්න ඕන නෑ.. අපි යමු..”

ඔහුගේ ඇස් දෙස සෘජුව බලා සිතුමිණි සිනාසී කියද්දී රඛිතට යම් සැහැල්ලුවක් දැනුණි..

“රයිට්.. මං ටක් ගාලා ඇදුමක් දාගෙන එන්නම්..”

නැවත නාන කාමරයට වැදුණු ඔහු ඉක්මනින් ඇදුම් මාරු කර පිටතට පැමිණියේය..

“දැන් මං ඔයාව කොහෙටද දාන්න ඕනෙ..”

“අපේ හන්දියට දාන්න..”

සිතුමිණීගේ ඉල්ලීම අනුව රඛිත ඇයව නිවස ආසන්න හන්දියට ගෙන ගොස් දැමුවේය.. ඔහු සමග වදනක් හෝ කතා කිරීමට පමා නොවූ ඈ හනික ගොස් ත්‍රීවිලයකට නැගුණි..

“මොකෝ පුංචි නෝනෙ ගිය පයින්ම ආවෙ.. ඇදුම් ගත්තෙ නැතෙයි..?”

සිතුමිණිව දුටු විගස අයිරම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය.. ඈ පිටව ගියේ ඇදුම් ගැනීමට යන බව අගවමිනි.. නමුත් අයිරම්මා අසන තෙක් ඇයට එම බොරුව සිහිවූයේවත් නැත..

“මට පරණ යාළුවෙක් හම්බ උනා අයිරම්මෙ.. එයා එක්ක ටිකක් කතා කරලා මං ආවා.. ඇදුම් ගන්න ගියේ නෑ..”

සිතුමිණී බොරුවක් නොවන බොරුවක් කියා නිවස තුළට රිංගා ගත්තාය..

“අංජු නෝනා කෝල් කලා..”

උඩුමහලට නගින ඈ දෙස බලා අයිරම්මා කීවේ උස් හඩිනි.. සිතුමිණී තම අත් බෑගය විවර කර ජංගම දුරකථනය අතට ගෙන බැලුවද එය තවමත් ක්‍රියා විරහිත කළ ගමන්ය..

ඇද උන් ඇදුම් පිටින්ම ඇදට වැටුණු සිතුමිණි මද වේලාවක් අද සිදු වූ සිද්ධිය සිහිපත් කර බැලුවාය.. ඇයට සිතුණේ රඛිත තමා රවටන බවකි.. නමුත් පිරිමියෙකු ලෙස කුළුදුලේම සිය සිත සොරකම් කළ ඔහු කෙරෙහි ඇගේ සිතේ පවතින ආදරය තවමත් පිවිතුරුය.. එසේ වුවද ඔහු පෙර දින වලදී මෙන් තමාව සිප ගැනීමට වෙර දරද්දි තමාට ඊට විරුද්ධ වූ හේතුව සිතුමිණීට වටහා ගත නොහැකි විනි..

“අයිරම්මා..”

තමාගෙ ගතටත් සිතටත් අධික වෙහෙස්ක දැණුන හෙයින් ඈ අයිරම්මා ඇමතුවාය..

“ඇයි පුංචි නෝනෙ..?”

“අනේ අයිරම්මා.. මට කූල් මෙනා හරි හදලා දෙන්නකො.. හරි තිබහයි..”

තම පුංචි ස්වාමි දුවගේ අණට කීකරු වූ ඈ අඩියට දෙකට කුස්සියට ඇතුලු උනි..

“කොහෙද අයිරම්මෙ මේ කෙල්ල වගේ දුවන්නෙ..?”

සුපුරුදු ලෙස පඩි ගැට්ටේ ඉද උන් පොඩ්ඩේ, අයිරම්මාගෙන් විමසුවේ හාස්‍ය සහගත ලෙසය..

“පුංචි නෝනට බීම ඕනලු බං..”

“හෑ.. පුංචි නෝනෙ ආවද..? මං හිතුවා හවස් වෙයි කියලා..”

“උඹ මොකටද පුංචි නෝනෙගෙ දේවල් ඔය හැටි හොයන්නෙ..?”

අයිරම්මා විමසුවේ සැකමුසු හඩකිනි.. පොඩ්ඩෙ ඊට කොක් හඩ ලා සිනාසුනි..

“මං මොකටද අයිරම්මෙ ඕවා හොයන්නෙ.. ඒකට සංදීප මහත්තයා ඉන්නෙ.. මං කිව්වෙ ඒ ගැන නෙමෙයි..”

“එහෙනං..”

“පුංචි නෝනෙ ඉද්දි මේ ගේ පිරිලා වගේ.. හරිම සිරියාවයි..”

ඊට විරුද්ධ යමක් කීමට අයිරම්මා උත්සුක නොවුනේ එම හැගීම ඇයටද දැනී තිබුණ බැවිණි.. ඈ නිහඩවම දොඩම් වීදුරුවක් සදා එය සිතුමිණී වෙත රැගෙන ගියේය.. 

                                            ****************************

නිවසට පැමිණ බොහෝ වේලාවක් ගතවනතුරු රඛිතට සිත සන්සුන් කර ගැනීමට නොහැකි විය.. ඔහු සිතුමිණීගේ වෙනස ගැන දැඩිව සිතමින් උන්නේය.. විවාහයට පෙර දින පවා තමාව කොහේ හෝ රැගෙන යන ලෙස තමාගෙන් ඉල්ලා සිටි ඇය මේ ගත වූ කෙටි කාලය තුළ වෙනස් වී ඇත්තේ පුදුමාකාර ලෙසින් නොවේදැයි ඔහුට සිතුණි.. තමා ඇයට ළං වූ විට ඈ බියවී තමාගෙන් මිදුනු අයුරු පටිගත කරන ලද රූප රාමුවක් සේ ඔහුට විටින් විට සිහිපත් විය.. සිතුමිණීව හා සංදීපව කෙසේ හෝ වෙන් නොකලහොත් තම සිතැගි කිසිදා ඉටුකරගත නොහැකි බව රඛිත දැන උන්නේය.. තමා මේ වෙහෙසෙන්නේ විවාහක ගැහැණියක් ගැන වුවද ඇගේ වත්කම් හා රූ ස්වභාවය ගැන සලකා බලන විට එම විවාහය නොසලකා හැරිය හැකි මට්ටමේ තිබුණි..

“රයිට්.. දැන් තියෙන්නෙ සංදීපයගෙ පැත්තෙන් ගේමට බහින එක..”

බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව රඛිත තීරණයක් ගත්තේ තමාටම එසේ මුමුණා ගනිමිනි..

ඔහු සිය ජංගම දුරකථනය අතට ගෙන එහි සටහන් කර තිබූ සංදීපගේ දුරකථන අංකය පරික්ෂා කර බැලුවේය.. විවාහයට පෙර තමා සිතුමිණීගෙන් ඉල්ලාගත් එම අංකය තවම භාවිතයේ තිබේදැයි ඔහු තුළ වූයේ සැකයකි.. කෙසේ වුවද වැඩි දුර කල්පනා නොකර එම අංකය අමතා බැලුවේය..

“හෙලෝ..”

එහා ඉමෙන් ඇසුණ එම හඩ සංදීපගේ බව රඛිතට වටහා ගැනීමට අපහාසු නොවිය.. ඔහු බොහෝම සීරු මාරුවට කථාව ඇරඹුවේය..

“හෙලෝ.. ඔය සංදීප නේද..?”

රඛිතගේ කටහඩ ඇසුණු සංදීප මදක් කල්පනා කලද එම හඩ ඔහුට හුරු පුරුදු එකක් නොවිය..

“ඔව්.. මං සංදීප තමයි.. ඔයා කවුද..?”

එම තරුණයා තමාගේ නමින්ම ඇමතූ නිසා සංදීප ආචාරශීලී ලෙස විමසුවේය.. එම තේජවන්ත හඩ හමුවේ රඛිත මදක් තිගැස්සුනද යළි ඉක්මනින් යථා තත්වයට පත්විය..

“මං රඛිත.. නම කිව්වම ඇතිද.. නැත්තං තව අදුන්වල දෙන්න ඕනෙද..?”

සංදීපගෙ සිත තරමක් නොසන්සුන් වූයේ ඔහු කවුදැයි හරියටම සිහිවීම නිසාය.. නමුදු ඔහු රඛිතට වෙනසක් නොදැනෙන ලෙස කතා කළේය..

“මං ඔයා ගැන අහලා තියෙනවා.. ඉතිං ඇයි ඔයා මට කතා කළේ..?”

“කතා කලේ ඇයි කියලා ඉතිං ඔහේ දන්නවා ඇතිනෙ..”

“මිස්ටර් රඛිත මට කතා කලෙත් අදමනෙ.. ඉතිං මං කොහොමද කතා කරපු කාරණේ ගැන දන්නෙ..?”

සන්දීප, මිස්ටර් රඛිත කියා ඇමතීමත් සමග රඛිත ගොළු වී ගියේය.. මක්නිසාද යත් එතරම් වැදගත් ලෙස කෙනෙකු අමතා කතා කිරීම ඔහුටු නුපුරුදු බැවිනි.. ඊටත් වඩා තම ජීවිතයේ තිබූ වටිනාම වස්තුව වූ සිතුමිණීව උදුරාගත් මිනිසාගෙන් එවැනි ආචාරශීලීත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත..

“මං එහෙනං කෙලින්ම කාරණේට බහින්නම් මිස්ටර්.. කෙටියෙන්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. සිතුමිණී මගේ.. කරුණාකරලා එයාව මට දීලා ඔහේ මේ ට්‍රැක් එකෙන් අයින් වෙන්න..”

කෙනෙකු දෑත බදා තම හිසට පොලු පාරක් එල්ල කලා වැනි කම්පනයකින් සංදීපගේ හිස රිදුම් දුන්නා වුවද ඔහු පසුබට නොවිය..

“කවුරු මොනවා කිව්වත් සිතුමිණී කියන්නෙ මගේ වයිෆ්.. මං එයාව කාටවත් දෙන්නෙ නෑ..”

“තමුසෙ ඔහොම කියන්නෙ අර වෙඩින් එක දවසෙ අත්සන් කරපු කොල කෑල්ල නිසානෙ.. ඒ ඇරුනම වෙන මොනවද තියෙන සාක්කි.. සිතුමිණී තමුසෙට ආදරේ කරනවද..? අඩු ගානෙ සිතූ තමුසෙත් එක්ක..”

කීමට කටට ආ දේ රඛිත අසීරුවෙන් ගිල ගත්තද එම වදන් සංදීපට වහා වැටහුණි.. එම සිද්ධීන් රඛිත දන්නේ සිතුමිණී ඔහුට මේවා කියන නිසා වන්නට ඇතයි සංදීප අනුමාන කළේය.. ඔහුට තමා ගැනම දැඩි ලැජ්ජාවක් හා ආත්මානුකම්පාවක් දැනෙන්නට විය..

“සිතූව දැන් නීතියෙන් අයිති මට.. තමුසෙ පුළුවන් දෙයක් කරනවා..”

තම ඉවසීමේ සීමාව ඉක්මවා යාමට ආසන්න වෙද්දී සංදීප රඛිතගේ භාෂාවෙන්ම පිළීතුරු දුන්නේය..

“එහෙනං තමුසෙ මේකත් අහගන්නවා.. තමුසෙට එක දවසක්වත් සිතූව ළගට ගන්න බැරි උනාට එයා අද දවසත් ගෙව්වෙ මගෙත් එක්ක.. ග්‍රීන් පාක් රෙස්ට් එකේ.. තව තමුසෙගෙ වයිෆ් ඇදලා ආවෙ කළු ඩෙනිමයි කහ පාට ටී එකයි.. තව..”

“ඇති.. ඇති..”

සංදීප කෑගැසුවේය.. ඔහුට දුරකථනය හයියෙන් පොළවේ ගසන්නට තරම් ආවේගයක් දැනුණි..

“ඇයි මස්සිනා.. අහගෙන ඉන්න අමාරුද..? තමුසෙට මං කියපුවා ෂුවර් නැත්තං හොයලා බලනවා.. මං ආපහු ගන්නං.. ඕකේ.. බයි..”

සංදීපව දස අත කරකවා රඛිත ගහෙන් ගෙඩි එන්නා සේ ඇමතුම විසන්ධි කර දැමුවේය.. සිතුමිණි අද දින තමා සමග කල කාලය හැරුනු කොට අනික් සියලු කාරණා තම වාසියට පවතින බව රඛිතට සැකයක් වූයේ නැත.. එහෙයින් ඔහුට කුරිරු සතුටක් දැනෙන්නට විය..

රඛිතගේ ඇමතුමෙන් පසුව සංදීප කාර්යාලීය රාජකාරි කල හැකි තරම් යහපත් මානසික මට්ටමක් නොවීය.. ඔහු තම ප්‍රධානියාට දැනුම් දී පිටතට ආවේ ඒ නිසාවෙනි.. රඛිතව හා සිතුමිණීව මරා දැමිය හැකි ආවේගශීලීත්වයක් ඔහුට දැනුණද.. ඒ ගැහීම පැවතියේ මොහොතකට පමණි.. ඔහුට තමා ගැන දැඩි අනුකම්පාවක් දැනෙන්නට විය.. සිතුමිණී තමාට කොතරම් වෙනස්කම් කළද ඈ තවමත් රඛිත සමග සබදතා පවත්වනු ඇතැයි සංදීප සිතුවේ නැත.. බොහෝ වේලා වාහනයට වී කල්පනා කලද යා හැකි තැනක් සිහිපත් නොවූ හෙයින් සංදීප තම නිවසට පැමිණයාය.. ගේට්ටුව විවර කල පොඩ්ඩේ ඇරුණු කොට සිතුමිණි හෝ අයිරම්මා පෙනෙන්නට නොවීම ඔහුගේ සැනසිල්ලට හේතුවක් විය..

“පොඩ්ඩෙ මොකද මේ මිදුලට වෙලා කරන්නෙ..?”

සංදීප පොඩ්ඩෙව කතාවට අල්ලාගෙන යමක් දැන ගැනීමේ උත්සාහයක නිරත උනි..

“මං මල් පැල වලට වතුර දැම්මා මහත්තයා.. පුංචි නෝනා ආවට පස්සෙ ගස්වල මල් පිපිලා..”

“ඒ මොකෝ..?”

පොඩ්ඩෙ කී කතාව ඔහුට වටහා ගත නොහැකි විය..

“අපේ පුංචි නෝනෙගෙ සිරියාව තමා ඉතිං..”

ඒ ඇසුණු සංදීපගේ පපුවේ දැවිල්ලක් හට ගත්තේය.. සිතුමිණී තමාට වෙනස්කම් කළද ඈ සැමගේ ශ්‍රියා කාන්තාව වී තිබේ.. අයිරම්මා සමග කතා කළද තම මව හා කතා කලද කිසිවෙක් ඇගේ නරකක් නම් කියන්නේ නැත..

“කෝ.. පුංචි නෝනා ගෙදර ආවද..?”

රඛිත කී දෑ ඇත්තක් නම් සිතුමිණී ගෙදරින් පිටව ගිය බව පොඩ්ඩේ දැන ගත යුතුය.. එනිසා සංදීප වැඩි උනන්දුවක් නොදක්වන බව අගවමින් එසේ ඇසීය..

“ආවා මහ්තතයා.. මං හිතන්නෙ කාමරේ ඇති..”

“බලන්නකො පොඩ්ඩෙ.. මං පුංචි නෝනා කියලා හිතලා පාරෙ හිටපු වෙන නෝනා කෙනෙක් ළග වාහනේ නතර කලානෙ..”

“නෑහ්..”

තම හාම්පුතා කවදාවත් නැති තරම් සුහද ලෙස තමා සමග කතා කිරීම පොඩ්ඩේට පුදුමයක් ගෙන දුන්නද ඔහු එම කතාව සාවධානව අසා උන්නේය..

“නෑ නෙමෙයි.. ඩෙනිම් ගවුමක් ඇදපු නෝනා කෙනෙක් හිටියා.. අපේ සිතුමිණී වගේමයි..”

“එහෙනං මහත්තයා රැවටිලා තමයි.. අපේ නෝනා ඇදගෙන ගියේ කළු කලිසමකුයි කහ පාට ටී ෂර්ට් එකකුයි.. හරියට නිකං කාජොල් වගේ..”

සංදීපට තම හිස ගිනි ගත්තා සේ දැණුනි.. රඛිත කීවේද සිතුමිණි කළු ඩෙනිමක් සමග කහ පැහැති ටී ෂර්ටයක් හැද ඔහු සමග ග්‍රීන් පාක් රෙස්ට් එකට ගිය බවය.. මෙතෙක් තරමක් දුරට යටපත්ව තිබූ නොසන්සුන්තාවය යළි හිස ඔසවද්දී සංදීප නිවස තුළට ගමන් ගත්තහ..

හොදින් කතා කරමින් උන් සංදීපගේ ක්ෂණික වෙනස පොඩ්ඩේට මහත් ප්‍රහේලිකාවක් වුනි.. තමාගේ මුවින් වැරදි යමක් කියවුනේදැයි ඔහු මොහොතකට කල්පනා කර බැලුවේය.. තමා සිතුමිණී නෝනව නිළියකට සමාන කිරීම නිසා ඇතැම් විට සංදීප මහතාට තරහා යන්න ට ඇතැයි ඔහුට සිතුණි..

“ආ.. අද මහත්තයා කලින්ම ඇවිත්..”

අවේලාවේ නිවසට වැදුණු සංදීපගේ රුව අයිරම්මාට අමුත්තක් ගෙන ආවේය.. ඔහු කිසිදා මෙලෙස කලින් එන අයෙකු නෙවේ.. එයින් ඔහුට යමි කිසි අසනීඵයක් ඇතැයි අයිරම්මාට සිතුණි..

සිතුමිණී කාමරයට වී නිදා උන්නද සංදීපගේ හදිසි පැමිණිම ඇයට දැනුම් දීමට අයිරම්මා උත්සුක නොවිය.. ඔහු පැමිණි බව දැන ගත්තද ඈ කාමරයෙන් පිටතට නොපැමිණෙන බව අයිරම්මා දනී..

“කෝ අයිරම්මා සිතුමිණි..?”

ඇගපත සෝදා සරමකට මාරු වූ සංදීප පහළ මාලයට පැමිණීයේ එසේ අසාගෙනය..

“අව්වෙ ගිහින් ඇවිත් හිසරදේ කියලා ඕං නිදි..”

“සිතූ අද කොහෙද ගියේ අයිරම්මෙ..?”

තමා හා සිතුමිණී අතර ඇයි හොදයියක් නැති බව ඇයට රහසක් නොවූ නිසා සංදීප විමසුවේය..

“ගියේ නං ඇදුම් ගන්න කියලා..”

“ඉතිං..?”

“ඒත් ඇදුම් අරගෙන නෑ.. යාළුවෙක් මුණ ගැහිලා කතා කරාලු..”

සිතුමිණි තමාට කී දෑ අයිරම්මා හැකි පමණින් විස්තර කළාය.. නමුත් සංදීපට ඉන් එහා දැනගත යුතු යමක් නොවුණේ රඛිත කී දෙය සියයට අසූවක් පමණ ඔප්පු වී තිබු නිසාවෙනි.. ඔහුට දැනගත යුතුව තිබූ අනෙක් කරුණ නම් සිතුමිණි සැබෑවටම රඛිත සමග එකී තානායමට ගියාද නැද්ද යන කරුණ පමණි.. ඇතැම් විට එය රඛිතගේ බොරුවක් වීමටද ඉඩ ඇත.. සිතුමිණි ඇදුම් ගැනීමට ගිය විට මගදී රඛිත මුණ ගැසුණ බැවින් ඈ ඇදුම් නොගෙන පැමිණියා විය හැකියැයි සංදීප අනුමාන කළේය.. දහසක් දේ කල්පනා කරමින් සිටින අතරතුර තිලංකගෙන් ඇමතුමක් ලැබුණි..

“මචං සංදීප.. උඹ කලින් ගියා කියලා ලොක්කා කිව්වා.. මොකද මචං අසනීපයක්ද..?”

“නෑ බං.. අපේ මේ නංගි කෙනෙක්ට පොඩි අවුලක් වෙලා කෝල් කලා.. ඒකයි මං ආවෙ..”

ඔහු සිතුමිණිගේ වැරදි වසා ගැනීමට දස අතට බොරු කියමින් උනන්ද තිලංක එය විශ්වාස කළේ නැත..

“නංගි කෙනෙක්ගෙ වැඩක් වෙන්න බෑ මචෝ.. උඹ එහෙම නිවාඩු දාන පොරක් නෙමෙයි කියලා අපි දන්නවනෙ..”

“සීරියස් මචං.. මං දවසක සින් එක කියන්නම්කො..”

“ඕකේ.. ඕකේ.. උඹ ඉතිං සේරම පස්සෙ කියන එකානෙ.. කැමති දවසක කියපංකො එහෙනම්..”

තරහා නැගුණ තිලංක ඇමතුම විසන්ධි කර දැමිය.. නමුත් නොසන්සුන්ව උන් සංදීපට එය බැරෑරුම් සිද්ධියක් ලෙස හැගුණේ නැත..  




No comments:

Post a Comment