Friday, April 27, 2012

| ගිම්හාන පාරමී | ගයනා එස්. ලක්මාලි |






පහුවෙනිදා උදේ නැගිට්ටත් හිත නිකං ෆිට් නෑ වගේ.. මූණ කට හෝදලා ෂෝටක් එහෙම දාගෙන මං ආපහු ඇදට ආවා.. තාත්තා කාමරේට ආවෙ ඒ වෙලාවෙ..

“ඇයි පුතා තාම ඇදේ..? මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

“එහෙම මුකුත් නෑ තාත්තා..”


මං ඒක කියපු විදියෙන්ම මුකුත් නැත්තෙ නෑ කියලා තාත්තට තේරෙන්න ඇති.. එයා මගේ මූණ දිහා බැලුවෙ ගොඩක් ඕනකමින්..

“ඇයි පාරමී එක්ක රණ්ඩු උනාද..?”

තාත්තත් මං වගේ ඇස් වහගෙන ඊතලේ එව්වෙ හාවගෙ කණ හිල්වෙන්න.. ඒ මූණ බලන් බොරුවක් කියන්න බැරිකමට මං හිනාවෙලා නිකං හිටියා..

“කොහොමටත් පුතා ඔය පාරමීව ටිකක් අතේ දුරින් ආශ්‍රය කරන්න.. සන්ධනායක මගේ යාළුවා උනත් සල්ලි උඩ පිනුම් ගහන් මිනිහෙක්නෙ.. එයාගෙ හිතේ දුව ගැන මොන මොන බලාපොරොත්තු තියෙනවද කියලා කවුද දන්නෙ..”

හරිම තැන්පත් හඩකින් තාත්තා කිව්වෙ මගේ හිත ගිනිගන්න කතාවක්.. පාරමි අතේ දුරින් හිටියට හිතේ කොයි තරම් ළගින් ඉන්නවද කියලා තාත්තට කොහොම කියන්නද..? ඊයෙ අන්කල් මගේ හිත කැඩුවා.. අද තාත්තා.. ඒත් එයා මේ අවුරුදු විසි ගානටම කවමදාකවත් සන්ධනායක අන්කල්ගෙ වැරැද්දක් කතා කරනවා මට ඇහිලා තිබුණෙ නෑ.. අද ඔහොමවත් කතාවක් කිවව් එක ගැන මට හරි පුදුමයි.. තාත්තා ළග වාඩිවෙලා ඉද්දිම ඇද උඩ තිබුණ මගේ මොබයිල් එක රින්ග් උනා.. අතට අරන් බලද්දි ඒ පාරමී.. ඒත් දැන් තාත්තා කියපු කතා අහලා එයාගෙ ඉස්සරහ ඉදගෙනම කොහොමද පාරමී එක්ක කතා කරන්නෙ..

“ඔයා කල්පනා කරලා වැඩ කරන්න පුතා මං යනවා..”

මං දෙලොවක් අතර තනිවෙලා කියලා දැනගෙන මට ෆෝන් එක ගන්න ඇරලා තාත්තා එතනින් ගියා.. දෙතුන් පාරක් හිතලා හිතලා අන්තිමට මං කෝල් එක ගත්තා..

“අයියා.. ඔයා එන්නෙ නැද්ද..?”

ගොඩක් දුක හිතෙන විදියට පාරමීගෙ කටහඩ ඇහෙද්දි මගේ පපුව කඩාගෙන වැටුණ වගේ.. මෙච්චර දේවල් කනට ඇහෙද්දි මං කොහොමද පැටියො ඔයා ළගට එන්නෙ.. මං වගේම පාරමිත් ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං දන්නවා.. ඒත්..

“එන්නෙ කොහොමද බබා.. ඔයාගෙ තාත්තා කියපු කතාවට මගේ හිත අප්සට්..”

හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියලා වැඩක් නෑනෙ.. ඒ නිසා මං ඇත්තම කියලා දැම්මා.. පාරමී දිග හුස්මක් ගන්න සද්දෙ ඇහුනට එයා කතා කලේ නෑ..

“තරහා වෙන්න එපා නංගි.. මං අද එන්නෙ නෑ.. ඔයා හෙට ට්‍රයල් එක හොදට කරන්න.. පරිස්සමින් ගිහින් එන්න..”

මං ඒ ටික කියද්දි පාරමී ලාවට ඉකිබිදිනවා වගේ සද්දයක් ආවා.. මගේ හිතට දුක දැනුනා උනාට කරන්න දෙයක් නෑ.. තාත්තලා දෙන්නගෙම කතා ගැන හිතද්දි ඕක තමයි දෙන්න තියෙන අන්තිම උත්තරේ..

“ඔයාට මාව බලන්න ඕනෙ නැද්ද අයියා..?”

පාරමිත් අහන්නෙ මාර කතා.. ඕවට ඔව් කියනවා ඇරෙන්න දැනට වෙන උත්තරයක් නෑ.. ඒත් වැඩේ කියන්නෙ පාරමීටත් මාව නොබලා ඉන්න බැරි එකයි.. මං වගේම එයත් ආදරේ හිතේ තියාගෙන ඉන්නවද දන්නෙ නෑ..

“කතා කරන්නකො.. මං දුවන්නෙ මිරිගුවක් පස්සෙද..?”

“ඕවා ගැන ෆෝන් එකෙන් කතා කරන්න බෑ බබා.. අපි දවසක මීට් වෙලාම කතා කරමු..”

“කවදද..?”

“ළඟදිම..”

ෂෝට් ඇන්ඩ් ස්විට් උත්තරයක් දීලා මං පාරමීව ෂේප් කරගත්තා.. ෆෝන් එක තිබ්බට පස්සෙ හිත හරි බරයි වගේ.. ඕස්ට්‍රේලියාවෙ ඉද්දි කොහොම නිදහසේ තිබුණ හිතක්ද මේ දැන් දුක් විදින්නෙ..හිත ටිකක් හරි හදාගන්න තිබුණා පබයට කතා කරා නං.. මං නිකමට වගේ ඌට රින්ග් කරලා බැලුවා..

“මොකද බං වද දෙන්නෙ..? උඹලා ගෙවල් වලට වෙලා සැප ගත්තට අපි වැඩ කරන ජනතාව හරිද..?”

මල ඇඩියාවකින් ෆෝන් එක ආන්සර් කරලා මූ හිනා වෙනවා.. දෙන්න හිතයි දත් ඇන්ද බඩට යන්න..

“ඕකේ.. ඕකේ.. එහෙනං උඹ වැඩ කරපං.. මං තියන්නං..”

“ඔච්චර කේන්ති ගන්න එපා යකෝ.. උඹට අර්ශස් හැදෙයි..”

ඒ පාර තවත් ඉලව්වක් කියවනවා..

“මේ අර්ශස් ගැන කතා කරන්න නෙමෙයි මං උඹට ගත්තෙ.. මට අද උඹව හම්බවෙන්න ඕනෙ.. පුළුවන්ද බැරිද කියපං..”

“රයිට් මචං.. මං එන්නං ඕනෙ කොහොටද කියපං.. ගෙදරටද..? නැත්තං..” 

“නෑ නෑ ගෙදර එන්න එපා.. ඉට්ස් අ ප්‍රයිවෙට් මැටර්. වී විල් මීට් සම්වෙයාර් එල්ස්..”

“ඔබෙ සැප මගෙ සතුටයි..”

“හරි එහෙනං උඹ වැඩ ඉවර වෙලා මට කෝල් එකක් දීපං.. මං එන්නං..”

පබසර කොයිතරම් පිස්සු නැටුවත් උදව්වක් ඉල්ලුවම කවදාවත් පස්ස ගහන්නෙ නෑ.. ඕන මගුලකට බොක්කෙන්ම සපෝට්..

හවස පබයා කෝල් කරලා කිව්වෙ බීච් සයිඩ් එකට එන්න කියලා.. ඌත් හරියට මාව හම්බවෙන්න හදන්නෙ කෙල්ලෙක්ව හම්බවෙනවා වගේ.. කමක් නෑ.. කොහොම උණත් මොකෝ වැඩේ කෙරෙනවනං.. මං තාත්තටත් කියලා කා එක අරගෙන පබයගෙ ඔෆිස් එක ළගට ගියා.. ඒක තිබුණෙ ගාලු පාරෙ සී සයිඩ් එකේ තිබුණ බිල්ඩින් එකක.. ඌ ඒකෙ මැනේජර් කෙනෙක් නිසා විධායක බලතල පාවිච්චි කරලා වේලපහ පනින්න ඇති.. අපි දෙන්නගෙම කාර් දෙක ඔෆිස් එකේ මිදුලෙන් දාලා ත්‍රී වීළ් එකක් අරගෙන අපි බීච් එක පැත්තට ගියා..

“බලපංකො බං ඉදගන්න බංකුවක්වත් නෑනෙ.. මුන් කලින් ඇවිත් සේරම බුක් කරගෙනනෙ..”

හතර වටේ බංකු වල වාඩිවෙලා ඉදපු කපල්ස් දිහා බලලා පබය කියෝනවා.. මූ කියන කිසි දෙයක් උන්ට ඇහෙන්නෙ නෑ.. හැමෝම තම තමන්ගෙ ලෝක වල අතරමං වෙලා.. අව්ව වැස්ස කියන ඒවා පොදක්වත් තිබුණෙ නැති උනාට තුන්කාලක්ම හිටියෙ කුඩ දිග ඇරගෙන..

“මේ වගේ තැන්වල ඩීසන්ට් පිට හිටියම අපි නිකං ෂෝකේස් වල දාපු රිලව් වගේ..”

එහෙම කියලා පබයා මෙච්චර වෙලා දාගෙන හිටපු ටයි එක ගලවලා සාක්කුවෙ දාගෙන ෂර්ට් එකේ අත්දෙක වැළමිට ළගට වෙනකල් නවා ගත්තා.. මං නං ඉතිං එවරෙඩි පූසා වගේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි දාගෙන ආපු නිසා අවුලක් නෑ.. පැය ගාණක් බංකුවක මුකුළු කර කර හිටපු කපල් එකක් අකමැත්තෙන් වගේ යන්න නැගිටිද්දි අපි දෙන්නා දඩි බිඩි ගාලා එතනට එන්ටර් උනා..

“අම්මෝ.. බං මුන් දෙන්නා අවම වශයෙන් මෙතන පැය හයක්වත් ඉදගෙන ඉන්න ඇති.. බලපං, මෙච්චර කූල් එකට හුළං එද්දිත් මේ බංකුව සෙල්සියස් අංශක පනහට විතර රත් වෙලා..”

පබයා හිතන විදියට උන් දෙන්නා මළගිය ප්‍රාණකාරයො දෙන්නෙක් වෙන්න ඕනෙ.. මූයි මායි දන්න සෙල්සියස්..

“කෝ බං ආපු වෙලේ ඉදලා මං විතරනේ කියවන්නෙ.. උඹට අද යකෙක් වැහිලද..?”

“වැහිච්ච යකා ගැන කියන්න තමයි උඹට එන්න කිව්වෙ.. අයිම් වෙරි කන්ෆියුස් මචං..”

ඒ පාර පබසර සීරියස් විදියට මගේ මූණ බැලුවා..

“මොකක්ද කියපං අවුල..? අනික ගෙදර කතා කරන්න බැරි තරම් දෙයක්..”

“ඔව්.. පාරමී ගැන..”

මූ මහා හයියෙන් හිනාවෙයි කියලා මං හිතං හිටියට ඒ මූණෙ හිනාවෙන පාටක්වත් තිබුණෙ නෑ.. පොර හෝ ගාලා කල්පනා කරනවා..

“මට මීටර් වෙන්නෙ නෑ බං.. කවුද ඔය පාරමිතාව..?”

“එදා රොහාන්ගෙ හෝම් කමින් එක දවසෙ මාත් එක්ක ඩාන්ස් කරපු ගර්ල්ව උඹට මතකද..?”

“අම්මට ඩෙඟ.. ඒකිද..? ඉතිං ඉතිං..?”

පබයා එක කකුලක් නමලා උඩට අරන් මගේ පැත්තට හැරුණා..

“ඒකි අපේ සන්ධනායක අන්කල්ගෙ එකම දුව බං..”

“නෑ..හ්..”

අඩි තුන්කාලක් විතර දිගට දිව එළියට දාලා ඌ ඒක කියපු තාලෙට වටේ පිටේ හිටපු තුන් හතර දෙනෙක් හිනාවෙලා අපි දිහා බැලුවා.. මූටත් දෙයක් කියපුවාම ඉන්න තැන මතක නෑ..

“මට පහුගිය දවස් දෙක තුනක් විතර කෙල්ලව මීට් උනා බං..”

“ඉතිං.. තුම් පයාර් හෝ ගයා..”

“මොකක්..?”

“උඹට කෙල්ල ගැන ආදරයක් ඇති උනා.. එහෙම නේද..?”

හූ හින්දියෙනුයි සිංහලෙනුයි ඇහුවා.. ඕකත් දන්නෑ කිව්වොත් මූ ඔය ප්‍රශ්නෙම තවත් පකිස් භාෂාවකින් කරකවලා අහයි..

“එහෙම නෑ කියලා කිව්වා නං ඒක බොරුවක්.. ඒකි මගේ බොක්කටම වැදුනා..”

“ඉක්මනටම මොනවා හරි කරන්න බලපං.. ඒකි දැනටම ගොඩක් එවුන්ගෙ බොක්කට වැදිලයි තියෙන්නෙ..”

“මොකක්ද ඒ හරුපෙ තේරුම..?”

“ඔය කියන කෙල්ල තමයි නිලූගෙ බ්‍රයිඩ් මේඩ්ස්ට හිටියෙ.. වෙඩින් එක දවස් වල කොල්ලො ඕකිට පැණි පෙරුවා..”

දන්නෑ වගේ හිටියට පබයත් යමක් කමක් දන්නවා.. වෙඩින් එකට පස්සෙ මායි පාරමියි හම්බ උන විස්තර සේරම මං ඌට කිව්වා.. සන්ධනායක අන්කල් වගේම අපේ තාත්තත් කියපු හැම දෙයක්ම කියලා මං ඌ දිහා බැලුවෙ ඒ ගැන අදහස් දැනගන්න.. 

“මට මුලින්ම කියපං අන්කල්ලා කියපු කතා අහලා පාරමීව අත අරින්නද උඹට ඕනෙ නැත්තං ඒකිට ආදරේ කරන්නද..?”

“මං දැනටමත් පාරමීට ආදරේ කරනවා බං.. මට ඒකිව ඕනෙ..”

මගේ අතිජාත මිත්‍රයට හිතේ තියෙන දේ හංගලා වැඩක් නෑනෙ.. මං ඇත්තම කිව්වා..

“රයිට්.. ගොඩ ඉදලා පීනන්න බෑනේ මචෝ.. ඉස්සෙල්ලා වතුරට බැහැලා බලපං.. ඊට පස්සෙ බලමු කොයි පැත්තට පීනන එකද හොද කියලා..”

“වතුරට බහින්න අමාරු නෑ බං.. ඒත් කවදා හරි වතුරෙන් ගොඩට එන්න උනොත් එදාට ඒක සෑහෙන අමාරු වෙයි..”

සන්ධනායක අන්කල්ගෙ වචන හිත ඇතුලෙ දෝංකාර දෙද්දි මං හෙමීට කියලා දැම්මා.. හතර වටෙන් ලාවට අදුර ගලාගෙන එද්දි අපි වටේ හිටපු එකා දෙන්නා කැපුනා.. ඒත් අපි තාම ස්ටොරිය පටන් ගත්තා විතරයි..

“උඹ කියන විදියට මට හිතෙන්නෙ පාරමිත් උඹට කැමතියි වගේනෙ.. අනික අන්කල් කාරයා උනත් උඹ එක්ක අවුලක් නෑනෙ.. ඒ නිසා උඹ පාරමීව මීට් වෙලා දවසක මේක ඕපන්ලි කතා කරපං.. ඊට පස්සෙ බැරියෑ ඉතුරු ටික ප්ලෑන් කරන්න..”

ඒ කතාවනං සම්පූර්ණ ඇත්ත.. පාරමීගෙ අර දිලිසෙන ඇස් වල උතුරන්නෙ ආදරේ නෙමෙයිනං වෙන මොනවද..?

“ඒක හොදයි මචං.. ඒත් ඊට කලින් දවසක උඹයි මමයි නිලූලගෙ ගෙදර යං.. පාරමී ඒකි එක්ක හෙන ෆිට්නෙ.. නිලූගෙන් අපිට විස්තර දැනගන්න පුළුවං..”

“උඹ කියන්නෙ පාරමී උඹට කැමතියි කියලා නිලූට කියන්න ඇති කියලද..? අනේ යකෝ.. උඹ දන්න තරම තමයි.. ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ගත්තත් කෙල්ලෙක්ගෙන් වචනයක් ගන්න ලේසි නෑ.. උන් හැම රෙද්දම හිත් වල තියාගෙන තම්බ තම්බ ඉන්නවා..”

කෙල්ලො ගැන පශ්චාත් උපාධියක් තියෙනවා වගේ පබයා ලෙක්චර් දෙන්නෙ..

“උම කියන්නෙ ඒ වැඩේ සක්සස් වෙන එකක් නෑ කියලද..?”

“එහෙමම නෙමෙයි අපිට කෙල්ල ගැන ඩීටේල්ස් ටිකක් ගන්න පුළුවං ඒ වැඩෙන්.. ඒත් මේන් රෝල් එක තියෙන්නෙ උඹේ අතේ..”

මූ මේන් රෝල් ගැන කතා කරාට චයිනීස් රෝල් එකක්වත් කා ගන්න බැරි තරම් මගේ උගුර හිරවෙලා.. මට කල්පනා කරන්න ඇරලා පබයා ගිහින් කෝක් දෙකක් අරගෙන ආවා..

“අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි මචං.. සන්ධනායක ගෘප් එකේ එකම උරුමක්කාරයා උනාට කෙල්ල තාම තැලිලා පොඩි වෙලා නෑ.. හරිම අහිංසක පාටයි.. ඒ නිසා වෙන එවුන් ස්විප් එක හූරන්න කලින් උඹ ගේමට බැහැපං..”

ඌ කෝක් එකත් එක හුස්මට බීලා චැප්ටර් එක ක්ලෝස් කරා.. තවත් පැය භාගයක් විතර වෙන වෙන දේවල් කතා කරලා අපි ආවෙ කළුවරත් වැටුනට පස්සෙ.. පබයගෙ ඔෆිස් එකෙන් කා එක අරගෙන මං ගෙදර ආවෙ රෑ අට හමාරට විතර..

                                            ****************************

දවස් දෙක තුනක්ම පාරමීටවත් කෝල් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඉදල එපා වෙලා.. මං පබයව මීට් වෙන්න යන්න එළියට බැස්සා..

“ලොකු පුතා ඔයා කොහේ හරි යන්නද..?”

“ඔව් තාත්තා මං පබසරත් එක්ක රොහාන්ලඟෙ දිහා යන්න හැදුවෙ..”

“පුතා ඔයා සන්ධනායක අන්කල්ට රට ඉදන් ඇවිත් මුකුත් දුන්නෙ නෑ නේද..? ඔයා අර මට දිපු ගෝල්ඩ් වොච් එක මං දෙන්නං.. ඔයා ඒක හෙට ගිහින් දීලා එන්න..”

ඒ වොච් එක ගොඩක් වටිනවා.. මං එකවගේ වොච් තුනක් ගෙනාවෙ තාත්තටයි, මටයි, මල්ලිටයි.. ඉතිං මං එයාට දීපු වොච් එක සන්ධනායක අන්කල්ට දෙන්න කියලා කිව්වෙ මොකටද..?

“ඇයි තාත්තට එපාද ඒක..?”

“නෑ පුතා.. මං ඒකට හරි කැමතියි.. ඒත් හෙට අන්කල්ගෙ බර්ත් ඩේ එක.. ඒක එයාට දුන්නොත් එයා මටත් වඩා සතුටු වෙයි..”

තාත්තා මෙහෙම කතා කියන්නෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. ඇයි මං ඒ තරම් වටින දෙයක් අන්කල්ට දෙන්නෙ.. අනික මං ගෙනාව බඩු වලින් ගොඩක් දේවල් අම්මා සන්ධනායක අන්කල්ගෙ ගෙදරට යැව්වනේ..

“ඉතිං තාත්තා එයාගෙ බර්ත් ඩේ එක නං අපි හැමෝම එහේ යන්න එපැයි.. අපි වෙන මොනා හරි ගිෆ්ට් එකක් දෙමු..”

“ඔයාට තේරෙන්නෙ නැහැ පුතා.. අන්කල් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයා රට හිටපු කාලෙ ඔයාගෙ වියදම් ගොඩක් දැරුවෙ මම නෙමෙයි සන්ධනායක.. ඉතිං ඔයා වෙනම තෑග්ගක් දුන්නට කමක් නෑ.. කොහොමටත් අම්මයි මමයි ගෙදරට දෙයක් ගෙනියනවා..”

“එහෙනං තාත්තගෙ වොච් එක එපා.. මට ගෙනාපු එක මම අන්කල්ට දෙන්නම්..”

ඔරලෝසුව දිහා බලලා මං කියලා දැම්මෙ කතාව තවත් දුරදිග ගියොත් පබයා අරහෙ ඉදන් අපේ අම්මව මතක් කරන්න ගන්න නිසා..

“හරි හරි.. ඔයා යන ගමන ගිහින් එන්න.. අපි රෑට කතා කරමු..”

මං යතුරත් අරගෙන කා එක ළගට ගිහින් කල්පනා කලා.. පබයගෙ ගෙදරට ගිහින් ඌවත් අරගෙ රෙහාන්ව මීට් උනානං හරි.. එතකොට කට්ටියගෙන්ම අදහස් දැනගන්න පුළුවන්..

අපි රොහාන්ලගෙ ගෙදර යද්දි රොහානයා ෂෝටකුත් ඇදගෙන මිදුල අතුගානවා..

“ආ.. ම..චා..ං, කෝ උඹේ ප්‍රියංබිකාව..?”

පබසරයා වාහනෙන් බැස්සෙම සද්දෙ දාගෙන.. අපිව දැකලා රොහාන් දාඩිය පිඹ පිඹ ඉස්සරහට ආවා.. උගේ මූණ මැලවිලා..

“නිලූට ටිකක් සනීප නෑ බං..”

“මෙච්චර ඉක්මනට..?”

පබයා දඩාස් ගාලා අහපු විදියට මට හිනා ගියා.. ඒත් රොහාන්ට නං තද වෙලා වගේ..

“එහෙම එකකට නෙමෙයි යකෝ.. එයාට උණ ගැනෙන්න වගේ..”

“එහෙම තමයි අලුත බැදපු වයිෆ්ලට නිතරම උණ ගැනෙනවා.. ෆිට් හස්බණ්ඩො ඉද්දි එහෙම තමයි..”

රොහාන් කියන කියන දේට පබයා හින්ට් එකක් ගහනවා.. එතකොටම වගේ නිලූ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අපේ ටකරං වල සද්දෙ ඇහිලා වෙන්න ඇති..

“ආ.. ඔයාලනේ.. සද්දෙ ඇහෙද්දි මට හිතුණා..”

“කොහොමද නිලූ..? ඔයාට උණද..?”

මං අහද්දි ඒකි ඔව් කියන්න වගේ ඔළුව වැනුවා.. එතකොටම පබයා නිලූ ළගට ආවා..

“ඉතිං.. වමනෙ යනවද..? ඔළුව කරකැවිල්ල නැද්ද..?”

නිලූට හිනා.. අපි කට්ටියම හෙට ගිහිල්ලා ඉදගත්තා.. ලන්ච් ගන්න බලාගෙන මෙහෙ ආවට අද හුළං තමයි..

“මේ.. මගෙ ගෑණීගෙ ලෙඩ ගැන උඹ වොරි වෙන්න ඕනෙ නෑ.. ඒක මං බලාගන්නම්..”

එහෙම කියලා රොහානයා ගියා ‍වොෂ් එකක් දාගෙන එන්න.. මං පබයා දිහාත් බලලා නිලූ එක්ක ෂේප් එකේ කතාවට එන්ටර් උනා..

“නිලූ.. පාරමී ආවෙ නැද්ද ළගදි..?”

“ඇයි ගිම්හාන ඔයයි පාරමියි දෙන්නා ළගදි ආවෙ..”

මං කතාවට එන්ටර් වෙන්න හදද්දිම නිලූ වැඩේට බාධා කරානෙ.. නිලූට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං පබයගෙ මූණ දිහා බැලුවා.. ඌ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා නිලූගෙ ළගට ගිහින් හරි බරි ගැහිලා ඉදගත්තා.. මූ දැන් රොහාන්ගෙන් ගුටි කනවා..

“මේකයි බං වෙන්න ඕනෙ.. උඹලගෙ ප්‍රේම පුරාණෙ ගොඩ දාගත්තා වගේ මේකත් ගොඩ දාගන්න සප් එකක් දීපං.. අපේ මේ ගිමා..”

“පාරමී නංගිට කැමතියි..?”

පබයා කතාව ඉවර කරන්න කලින් නිලූ මැද්දට පැන්නා.. එහෙනං ඒකිටත් වැඩේ නෝන්ඩි වෙලා වගේ..

“නිලූ මට මුලින්ම පාරමී ගැන දැනගන්න ඕනෙ.. මං එයාව පොඩි කාලෙ ඉදලා දන්නවා.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මේ වෙනකල්ම අපිට අපිව මග ඇරුනා..”

“පාරමීගෙ අම්මා නිල්මිණී ආන්ටි අපිට දුරින් නෑයො වෙනවා.. ඒත් ඒ නෑකමට වඩා යාළු කමක් පාරමී නංගියි මගෙයි අතර ඉස්කෝලෙ යන දවස් වල තිබුණා.. හැබැයි එයා හොස්ටල් හිටපු නිසා වැඩිය ආශ්‍රය කලේ ෆෝන් එකෙන්..”

ඒ පාර අපිට කතා කරන්න ඇරලා පබයා ගොළු වත රකිනවා..

“එයා මේ වෙනකල්ම කාටවත්ම ආදරේ කරලා නෑ කියලා මට ෂුවර්.. අනික සන්ධනායක අන්කල් දුවව කොයිතරම් පරිස්සම් කලාද කියලා ඔයාම දන්නව ඇතිනේ..”

නිලූ මගේ මූණ දිහා බලාගෙනම ඒක කියද්දි රොහානුත් ඇවිත් එතනින් ඉද ගත්තා.. එදා පබයට කිව්වා වගේම මං ස්ටෝරිය නිලූයි රොහානයයි දිහා බලාගෙන කිව්වා..

“උඹලගෙ තාත්තා කියන කතාවත් එක අතකින් හරි බං.. මේ අවුරුදු හතර පහ ඇතුළත සන්ධනායක කාරයා මාර නැගිල්ලක් නැග්ගෙ.. මිනිහගෙ බඹරෙ දැන් වැල්ලෙත් කැරකෙනවා.. පොර ගොඩ ලොකු කරගන්න හිතාගෙන බර තැනකටම හේත්තු වෙන්න බලයිද දන්නෙත් නෑ..”

“නෑ මං එහෙම හිතන්නෑ.. අන්කල් පාරමීට හරි ආදරෙයි.. පාරමී කැමති කෙනෙක්ට අන්කල් කැමති වෙයි..”

රොහාන් කියලා ඉවර වෙද්දිම මගේ හිත හදන්න වගේ නිලූ එහෙම කිව්වා.. සන්ධනායක අන්කල් පාරමීට ගොඩක් ආදරෙයි කියලා මමත් දන්නවා.. ඒත් අපේ තාත්තා කිව්වා වගේ එයාගෙ හිතේ පාරමී ගැන මොන මොන බලාපොරොත්තු තියනවද දන්නෙ නෑනෙ..

“හරි.. ඔය සේරටම කලින් කියපං කෙල්ල උඹට කැමතිද කියලා..? උඹ තාම වර්ඩ් එක දැම්මෙ නැද්ද..?” 

මං රොහාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කට අරින්න හදද්දිම පබයා උත්තරේ දුන්නා..

“මොන පිස්සුද බං.. මූ තාම අහලා නෑ.. මේ ගොනා පස්මහ බැලුම් බල බල ඉද්දි පෙරහැර ගිහින් තියෙයි..”

“ඔය මොනවා උනත් උඹලා දෙන්නා රූපෙන් නම් සිරාවට මැච් වෙනවා.. ඒකිත් හින්දි නිළියක් වගේනෙ.. වෙඩින් එක දවසෙ මටත් අපරාදෙ කියලා හිතුනා..”

නිලූගෙ දිහා බලලා ඇහැකුත් ගහලා රොහාන් එහෙම කිව්වෙ ඒකිව අවුස්සන්න වෙන්න ඇති.. ඒත් නිලූ කියන්නෙ ඔය පොඩි පොඩි ජෝක් වලට තදවෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. හැබැයි නිලූට නැති රුදාවක් පබයට තියෙන්නෙ..

“උඹට මොකද අපරාදෙ කියලා හිතුනෙ..?”

“ඇයි බං මෙච්චර ලස්සන දෙවනි මනමාලියක් ඉද්දි මං මොකටද මේ කෙල්ලව බැන්දෙ කියලා ඕනම මනමාලයෙක්ට හිතෙනවනේ.. උඹට උනත් බැන්ද දවසට ඔහොම හිතෙයි..”

“මට එහෙම ප්‍රශ්නයක් වෙන එක්ක නෑ.. මං ඓශ්චර්යා රායිව බැදලා දෙවනි මනාලිට කුස රජ්ජුරුවන්ගෙ නංගිව ගන්නවා..”

“යකෝ ඊට කලින් අභිෂේක් උඹව මරලා හංගයි..”

කතාකරන්න ආවෙ වෙනම දෙයක් ගැන.. ඒත් දැන් කතාව ටික ටික වෙන පැත්තකට යනවා මේ මෝඩ ජෝඩුව හින්දා..

“ප්ලීස් මචං.. දිස් ඊස් නොට් අ ජෝක්..”

“ඕකේ.. ඕකේ..”

කියලා පබයා කටත් තදරගෙන පුටුවට හේත්තු උනා..

“රයිට්.. උඹට වෙන්න ඕනෙ මොකක්ද කියලා කෙලින්ම කියපංකො..”

“මට පාරමීව ෆිට් කර ගන්න උඹලගෙ සප් එක ඕනෙ..”

“යකෝ උඹ ඒකිව මේ තරම් ෆිට් කරගත්තෙ අපි සපෝට් කරලයෑ.. ඉතුරු ටිකත් උඹටම ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.. අවුලක් උනොත් බොක්ක දෙන්න හරි අපි ඉන්නවා..”

කොයි තරම් කට වහගෙන ඉන්නවා කියලා කිව්වත් පබයා ආපහු හොම්බ දැම්මා.. ඌ ලැජ්ජාව බෙදන වෙලාවෙ අහල ගං හතකවත් ඉදලා නෑ..

“මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.. උඹ මුලින්ම කෙල්ල මීට් වෙලා කතා කරපං.. ඊට පස්සෙ බලමු ඉතුරු හරිය..”

අවුරුදු ගානක් රට ඉදපු මේ තරං කෙල්ලො ආශ්‍රය කරපු මගේ හිත පාරමී ළග මේ විදියට නතර උනේ ඇයි දන්නෑ.. දෛවයේ සරදමක් වගේ ලංකාවට ආපු ගමන්ම තාත්තගෙ හොදම යාළුවගෙ දුව, එහෙමත් නැත්තං මගේ පුංචි කාලෙ ඉදලා දැනගෙන හිටපු කෙල්ල මට මුණගැහුණෙ එයා මගේ ඉරණම්කාරි නිසා වෙන්න ඇති..

බැරි මරගාතෙ රොහාන්ගෙ උරහිසට ඔළුව තියාගෙන හිටියට නිලූත් පාරමී ගැන දන්න හැම දෙයක්ම මට කිව්වා.. ඒ හැමදෙයක්ම අහලා හිත ෆිට් උනාට තාම සන්ධනායක අන්කල්ගෙ වචන හිතේ දෝංකාර දෙනවා වගේ දැනෙනවා..

කොහොම උනත් එදා පබසර කිව්වා වගේම ගොඩ ඉදලා පීනන්න බෑනෙ.. ඒ නිසා වතුරට බැහැලා බලන්න හිතාගෙන මං ගෙදර ආවා..



         

No comments:

Post a Comment