Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |




නයෝමි පිට පිට දවස් තුනක්ම පන්තියට ආවෙ නෑ.. පංතියෙ ඉන්නකොට අනිත් අයටත් වදයක් උනාට ඒකි නැති උනාමත් පාර පාළුයි.. ඇදේට බලන්නවත් කවුරුවත් නෑ..

සමාධි.. ඔයා නයෝමිලයි ගෙවල් දන්නවද..? එයා අදත් ආවෙ නැත්තෙ අමාරුද දන්නෙ නෑ..


ඉවසලා බැරිම තැන මං සමාධිට යෝජනාව දාලා බැලුවා.. එයත් කැමති උනොත් අපි කට්ටියම ගිහින් නයෝමිව බලලා එන්න පුළුවන්..

ගේ නං දන්නෑ.. අපි සර්ගෙන් ඇඩ්රස් එක ඉල්ලගෙන ගිහින් බලමු..

උඹලා දෙන්නා තනියෙම යන්නද හදන්නෙ..? අපිත් එනවා..

අපි දෙන්නගෙ කුටු කුටුව ඇහුණ චමිලත් බලෙන්ම අපිට සෙට් උනා.. සමාධි ගිහින් සර්ගෙන් ඇඩ්රස් එක ඉල්ලපුවම සර් කිව්ව මරු කතාවක්...

එදා මගේ වෑන් එකේනෙ ඒ ළමයා ගෙදරට ඇරලුවෙ.. අපේ ඩ්‍රයිවර් පාර දන්නවා.. යන්න කැමති අය අද හවසට වෑන් එකෙන්ම ගිහින් එන්න..

සර් එහෙම කිව්වට පස්සෙ නයෝමිව එදා ගෙදරට එක්කගෙන ගිය ඇන්ටියි තව ගෑණු ළමයි කීප දෙනෙකුයි ගමනට එකතු උනා..

මචෝ.. අද රෑට ගංගාරාමෙ පෙරහැර..

ප්ලූටොට එකපාරටම පෙරහැරක් මතක් උනේ ඇයි දන්නෑ..

ඒ කිව්වෙ චමීට අද අපි එක්ක එන්න වෙන්නෙ නෑ කියන එකද..?

ඒ මොකෝ මට යන්න බැරි..?

පෙරහැරේ කතාව ඇහුනෙ නැති චමිලයා මගේ කතාවට මාර විදියට කලබල උනා..

ඇයි මූ කිව්වෙ අද උඹට පෙරහැරේ කරඩුව වඩම්මවන්න යන්න තියෙනවා කියලා..

මං ප්ලූටොව පෙන්නලා කියද්දි බඩාට මල පැන්නා.. ඌ මාසෙකින් බඩ අඩු කරගන්නවා කිව්වට දැන් මාසෙ කෑලිත් නෑ.. තාම ඇතා වගේ තමයි..

මං හෙට ඉදලා හංදියෙ තියෙන ජිම් එකට යනවා..

ඔය හෙට එන හෙටක් නෙමෙයි.. මූට බලාගිරි දෝසෙ..

උඹලත් පොඩි එවුන් වගේනෙ බං.. මං කියන්න හැදුවෙ අපි මතීලාවත් සෙට් කරගෙන පෙරහැර බලමු කියලා..

අපි දෙන්න පොඩි වලියක් දාගන්න හදද්දි ප්ලූටො නියම යෝජනාවක් කලා.. එළකිරි තමයි.. කාලෙකින් පෙරහැරක් බලන්න බැරිවුණා..

ස්ත්‍රී පරාණ හතර පස් දෙනෙකුයි අපේ තුන් කට්ටුවයි මතීෂයි, තාරුකයි සේරම සර්ගෙ වෑන් එකෙන්ම නයෝමිලගෙ ගෙදර ගියා.. නයෝමි වගේ පිස්සු කෝච්චියක් පදිංචි වෙලා ඉන්න ගෙදරත් ඒ වගේම ඇති කියලා හිතුවට වෑන් එක නතර උනේ තට්ටු තුනේ නවීන පන්නයේ ගෙයක් ඉස්සරහ.. පිස්සු හැදෙනවා.. ඒක හරියට හොටෙල් එකක් වගේ..

වෑන් එක නතර කලාට පස්සෙ ගේ ඇතුළෙ ඉදලා ප්‍රියමනාප ගෑනු කෙනෙක් එළියට ආවා.. එයානං නයෝමිගෙ කවුරුවත් වෙන්න බෑ.. ඊජිප්තුවෙ පාරාවො රජ බිසවගෙ වගේ අමුතුම ලස්සනක් ඒ මූණෙ තිබුණෙ..

ඔය නයෝමිගෙ අම්මා..

අපි හැමෝම පුදුම වෙලා මූණට මූණ බලද්දි එයා නයෝමිව ඇරලන්න ආපු ඇන්ටි ඉස්සරහට ගියා.. ඒ කැත කෙල්ලට මෙච්චර ලස්සන අම්මෙක් ඉන්නවා කියලා හිතන්නවත් බෑ..

පුතාලා සේරම ගෙට එන්න..

කට්ටිය ඇන්ටි දිහා කන්න වගේ බලාගෙන ඉද්දි එයා අපිට ගෙට අඩගැහුවා.. පුහ්.. ගේ ඇතුළ එළියටත් වඩා ගතියි.. බලන් යද්දි නයෝමි සුපර් ලක්සරි ලයිෆ් එකක් ගෙවන කෙල්ලෙක් නෙ..

ආන්ටි කෝ.. නයෝමි ගෙදර ඉන්නවද..?

සමාධි අපි අහන්න බලාගෙන ඉදපු ප්‍රශ්නෙ ඇන්ටිට යොමු කලා.. එයා ගේ ඇතුළෙ පැත්ත බලලා ආපහු අපේ ඉස්සරහට හැරුනෙ ලොකු රහසක් කියන්න වගේ..

එයා නිදි.. මං තව ටිකකින් කතා කරන්නම්.. ඔයාලා එදා නාට්ටිය පෙන්නපු දවසෙ නයෝමිව ඉක්මනට ගෙදර එව්වට ගොඩක් ස්තුතියි.. එයා නිතරම අසනීප වෙනවා..

ඇන්ටි අපිට ස්තුති කලාට එයාව ඉක්මනට වෑන් එකේ දාලා ගෙදර එව්වෙ අපේ සර්.. හරිනං ස්තුතිය යන්න ඕනෙ එයාට..

ඔයාලට මං දෙයක් කියන්නම්.. ඒත් මේක අහලා නයෝමිට වෙනසක් අගවන්නෙපා කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා..

ඇන්ටි එයාගෙ ලස්සන ඇස්වලට කදුළු පුරවගෙන කියන්න හැදුවෙ මොකක් උනත් ඒක අපි නයෝමි ගැන නොදන්න දෙයක් වෙන්න ඕනෙ.. මං ප්ලූටොගෙ අත තදට අල්ලගෙන පුටුවට හේත්තු උනා.. ප්ලූටොගෙ ඇග ඒ වෙලාවෙ ඇත්තටම ප්ලූටො ග්‍රහලෝකය වගේ කූල් වෙලා..

අපි අද මේ තත්වෙ හිටියට ඉස්සර බොහොම දුප්පත් වෙලා හිටියෙ.. අපිට මුලින්ම හම්බවුන දුව අංගවිකලයි.. එයා.. එයා අවුරුදු දෙක හමාරක් යද්දි නැති උනා.. ඊට පස්සෙ තමයි අන්කල්ටයි මටයි නයෝමිව හම්බ උනේ.. එයා පුංචි කාලෙ ඉදලම අපට වඩා හැඩ රුව වෙනස්.. ඒ වගේම වපරයි..

ඇන්ටි හැඩරුව වෙනස් කියන එකෙන් අදහස් කලේ නයෝමි එයාලට වඩා හුගක් කැතයි කියනෙක වෙන්න ඇති.. අපේ කට්ටියත් කිසි සද්දයක් බද්දයක් නෑ පෝය දවසෙ බණ අහනවා වගේ සැදැහැ සිතින් ඇන්ටි දිහා බලන් ඉන්නවා.. මමත් ඉතින් කට වහන් හිටියා...

එයාට කැපී පෙනෙන රෝග තත්වයක් නැති උනාට එයා පුංචි කාලෙ ඉදල අනිත් ළමයින්ට වඩා වෙනස්.. ඕනෙ කෙනෙක්ට කරදරයක් උනොත් මගේ දුව ඒ අය ළගටම වෙලා උදව් කරනවා.. හිගන්නෙක් හරි බඩගිනියි කිව්වොත් එයාගෙ කෑම එක ඒ මනුස්සයට දෙනවා.. තමන්ගෙ ළග තියෙන සල්ලි එයා වැඩිපුර  වියදම් කරන්නෙ අනිත් අය වෙනුවෙන්..

අපිට නයෝමි හම්බඋන මුල්ම දවස මතක් උනා. එයා එදත් කලේ ඇන්ටි කියපු දේම තමයි.. අපිට බඩගිනියි කිව්වා විතරයි බලෙන්ම එක්කගෙන ගිහින් කන්න අරන් දුන්නනෙ..

ඒ විතරක් නෙමෙයි.. නයෝමි අපේ පවුලට වාසනාව ගෙනාවා.. එයා ඉපදුනාට පස්සෙ අපි බලාගෙන ඉද්දි දියුණු උනා.. අන්කල්ගෙ බිස්නස් සේරම සරු උනා.. ඒක අදටත් එහෙමයි.. ඒත්.. ඒත් නයෝමි ටික ටික ලොකු වෙද්දි එයාගෙ වෙනසක් තේරුණා.. එයා වෙලාවකට පොඩි ළමයෙක් වගේ.. කිසි දෙයක් ගැඹුරට හිතන්නෙ නෑ.. අපි ටිකක් සැරෙන් කතා කලොත් එයාට මී මැස් මොරේ හැදෙන්න පටන් ගත්තා..

ඇන්ටි කතාව අතරමග නතර කරලා කදුළු පිහිදා ගත්තා.. එයා ආපහු කතාව පටන් ගත්තෙ ස්ර්වන්ට් අපිට ලොකු ට්‍රේ එකක තියලා බීම වීදුරු ටිකක් ගෙනත් දීලා ගියාට පස්සෙයි..

මං ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වේදිකා නාට්ටිවල එහෙම රගපාලා තියෙනවා.. ඒ ෆොටෝ දැකලා නයෝමිටත් රගපාන්න ඕන උනා..

එයාගෙ පෙනුමත් එක්ක, එයාගෙ අසනීපෙත් එක්ක එයාට ඒක කරන්න බෑ කියලා තේරුම් ගන්න එයාට පුළුවන් උනේ නෑ.. අවුරුදු ගාණක් තිස්සෙ ඩ්‍රාමා ක්ලාස් යන්න ඕනෙ කිය කිය ඉදලා බේරගන්න බැරි තැනම තමයි අපි එයාට ඔයාලගෙ ක්ලාස් එකට යන්න ඇරියෙ.. ඩ්‍රයිවර් එක්ක කාර් එකේ යන්න කියලා අන්කල් කිව්වත් එයාට ඕන උනේ අනිත් ළමයි වගේ බස් එකේ යන්න..

මට ඒක අහලා පුදුම හිතුනා.. අපි මෙච්චර කල් නයෝමි ගැන මොනතරම් වැරදියටද හිතාගෙන හිටියෙ.. මේතරම් දේපල තියාගෙන නිහතමානී විදියට හිටපු ඒ කෙල්ලව අපි ගණන් ගත්තෙ නෑ.. බලාගෙන යද්දි නයෝමිට නෙමෙයි අපිටයි මෝංගල්..

මං මේ මෙච්චර වෙලා කියපුවා නයෝමිට කියන්න එපා.. ඔයාලා හැමෝම පංතියෙ එකට ඉන්න නිසා මේ ගැන දැනගෙන ඉන්න එක හොදයිනෙ.. ඉන්නකො මං දුවට කතාකරගෙන එන්නං..

අපිට කල්පනා කරන්න දෙයක් ඉතුරු කරලා ඇන්ටි පඩිපෙළ නැගලා උඩට ගියා..

නයෝමි පව් නේද මල්ලි.. අපි හිතාගෙන හිටියට වඩා එයා ගොඩක් හොද කෙනෙක්..

සමාධි මගේ දිහා බලලා කියද්දි මං ඒ මූණට එබිලා බැලුවා.. කෙල්ලගෙ ඇස්වල කදුළු පිරිලා..

එදා අපේ බයික් එකට හැප්පෙන්න ගිහින් අපි බැනපු වෙලෙත් ඒකි අපිට කන්න අරන් දුන්නනෙ.. ෂිට්.. මට ඇඩෙන්න වගේ..

චමිලත් ඥාව් හඩකින් උගේ සෝකය ප්‍රකාශ කරා.. බලාගෙන යද්දි නයෝමි මාර වාසනාවන්තයි.. ඒකි හදිස්සියෙ අසනීප උන එකෙන් පංතියෙ හැමෝගෙම ආදරය අනුකම්පාව දිනාගන්න පුළුවන් උනානෙ..

ආ..නේ.. ඔයාලා දැන්ද ආවේ..? මට ටිකක් නින්ද ගියා..

නයෝමි පඩිපෙළ බැහැගෙන අපේ පැත්තට එද්දි ළමයි හැමෝම පළවෙනි පාරට දැක්කා වගේ එයා දිහා බලන්න ගත්තා.. කොටින්ම කියනවා නං මමත් බැලුවෙ ඒ විදියට තමයි.. අප්පා මෙයාගෙ අම්මා දැන් කියපු දේවල් අහලා ඔළුව මඤ්ඤං වෙලානෙ..

ඇයි ඔයාලා ඔහොම බලන්නෙ..?

සමාධි ළග තිබුණ හිස් පුටුවකින් ඉදගෙන නයෝමි එහෙම අහද්දි මට හිනත් ගියා.. හරිනං අපියි ඒක අහන්න ඕන.. බාගෙට නිදිමතේ වපර ඇහෙන් අමුතු තාලෙට බලද්දි අපෙත් නට් ලූස් වෙනවා..

ඔයාට දැන් හොදයිද නයෝමි..?

ප්ලූටො අහද්දි නයෝමි ඔව් කියන්න වගේ ඔළුව හෙලෙව්වා.. ඒකි තාම බාගෙට නිදිමතේද කොහෙද..

ඉතිං ඇයි ක්ලාස් ආවෙ නැත්තෙ..? අපි හිතුවා ඔයා එයි කියලා..

මං වැගේ නැට්ටිච්චියෙක් ක්ලාස් එන එක වැඩක් නැහැනෙ.. මං ආපහු එන්නෑ..

ඒ කතාවට මගේ ඇස් දෙක උඩ ගියා.. ඒ කියන්නෙ නයෝමි ක්ලාස් ඇවිත් නැත්තෙ එදා මං නැට්ටිච්චියක් කියලා කියපු එකටද..?

කවදු කිව්වෙ ඔයා නැට්ටිච්චියක් කියලා..?

සමාධි, නයෝමිට යෝකර් පන්දුවක් එල්ල කලා.. ඒකට උත්තරේ ලැබුනොත් මේ හිරූෂයා නොකවුට්.. ඒත් නයෝමි මුකුත්ම කිව්වෙ නැතුව බිම බලාගත්තා.. කෙල්ලගෙ කම්මුල් දිගේ කදුළු බලාගෙන යනවා මං දැක්කෙ ගොඩක් වෙලාවකට පස්සෙ..

ඇන්ටි කිව්වා වගේ නයෝමිව ආශ්‍රය කරන්න ඕනෙ බොහොම පරිස්සමින්.. පුංචි වචනයක් ගැන මෙයා මේ තරම් දුර හිතයි කියලා මං හිතුවෙ නෑ..

මට සමාවෙන්න නයෝමි.. එදා මං ඒක හිතලා කියපු එකක් නෙමෙයි.. ප්ලීස් ඔයා පංති එන්න..

මං එහෙම කියද්දි ළමයි හැමෝම පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවා.. මොකද එදා වෙච්ච ඒ කතාව අපි දෙන්නා ඇරෙන්න කවුරුත් දැනගෙන හිටියෙ නෑ..

නෑ මං ආපහු එන්නෑ.. ඔයාලා මුල ඉදලම මාව රැවැට්ටුවා..

මේ කෙල්ල ගේමටමයි කතාව.. අපි කවදද එයාව රැවැට්ටුවෙ.. මේ කතා අපිට වගේම අනිත් අයටත් ප්‍රෙහෙලිකාවක්..

ඇයි ඔයාලා මට මුල්ම දවසෙ කිව්වෙ ඔයාලට විසි හයයි කියලා.. ඉතිං මං හිතුවා ඔයාලා කට්ටියම මට වඩා වැඩිමල් කියලා.. ඒත් ඔයාලා ඒ ලෙවල් කරලා තියෙන්නෙ ගිය අවුරුද්දෙලු..

ගම කනවා.. සදාදර නයෝ සියළු විස්තර හොයාගෙන.. දැන් ඕක වහන්න කවුරුවත් බොරු කියන එකේ තේරුමක් නෑ..

කවුද ඔයාට ඒවා කිව්වෙ..?

ඒ ප්‍රශ්නෙ අහද්දි මට සමාධි ගැනත් පුංචි සැකයක් තිබුණා.. මොකද ඉතිං එයා දැක්ක දවසෙ ඉදලම අපට කතා කලේ මල්ලි කියලනේ..

මං දැනගත්තෙ කුමාරසිංහ සර්ගෙනුයි, දුනුවිල සර්ගෙනුයි..

මොකක්..?

ඔව්.. එදා ඔයාලා මුහුදු පුත්තු රගපාන වෙලාවෙ සර් ඔය ගැන කතා උනා..

රණ්ඩුවට උනත් කෙල්ල දුන්නෙ හොද ඔත්තුවක්.. අපේ තාත්තා සර් එකක් අපේ වයස ගැන කතා උනේ මොකටද..? සමහර විට අපේ රහස එළිවෙලාද දන්නෑ.. එහෙමනං ඉතිං අපි පැස්බරා හැංගුණා වගේ ඔළුව විතරක් අස්සෙ ගහගෙන ඉන්න එක තේරුමක් නෑ.. මුළු පශ්චාත් භාගයම අනිත් එවුන්ට පේනවා ඇති..

හරි.. හරි.. වෙන දවසක නිදහසේ රණ්ඩු වෙමු.. ඔයා හෙට ඉදලා පංති එන්නකො..

වැඩේ දුර දිග ගියොත් නයෝමි අදත් සෙම පෙරාගෙන වැටෙයි කියලා වෙන්න ඇති චමිල කතාව යට ගැහුවා.. ඒක හොදයි.. නැත්තං මතීෂලා තාරුකලා ඉස්සරහා අපේ සායම යනවා..

අපි නයෝමිලගෙ ගෙදරින් පිට වෙන්න කලින් සමාධි අනික් ගෑනු ළමයි එක්ක එකතු වෙලා නයෝමිව පංති එන්න කැමති කරව ගත්තා..




No comments:

Post a Comment