Friday, April 20, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






ටික දවසක් යද්දි ක්ලාස් එකේ හිටපු නයෝමියි, සමාධියි අපි තුන්දෙනා ඒක මාර ෆිට් උනා.. වයස ගැන කවුරු මොන විදියට හිතුවත් අපේසෙට් එකේ හිටපු බාලම එවුන් ටික අපි.. ඒ නිසා කෙල්ලො දෙන්නව ආශ්‍රය කරන්න අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණෙ නෑ..

"ළමයි ඔයාලා කැමති නැද්ද ෆිල්ම් එකක් ෂූට් කරනවා බලන්න..?"


දවසක් උදේම සර් වටිනා කියන ප්‍රශ්නයක් ඇහුවා.. ඒ වගේ චාන්ස් එකක් එනකල් ළමයි ටික සැදී පැහැදී බලාගෙන  හිටියෙ..

"අනේ.. මං ආ...සයි සර්.."

අපේ නට් එක නයෝමි පැනපු ගමන් උත්තර දුන්නා.. මම නං ඕවා ඇති වෙනකල් දැකලා තියෙනවා.. ඒත් මෙතන ඉද්දි බෝඩ් කාරයා වගේ ඉන්න ඕන.. 

"රයිට්.. අපි හෙට උදේම යමු ෂූට් එකක් බලන්න.. මගේ  හිතවතෙක් මේ කිට්ටුව ෂුටින් දාගෙන තියෙනවා.."

බුද්ධ ගජ්ජයයි වදන් කවියයි පාඩම් කරලා ඇතිවෙලා හිටපු මට ඒ කතාවට නං සතුටක් ඇති උනා.. ඒ කියන්නෙ හෙට දවස යංතං ෂේප්.. එහෙම හිතලා සතුටු වෙන්න හැදුවට අද දවසනං ෂේප් උනෙ නෑ.. සර් 'මුහුදු පුත්තු' වේදිකා නාට්‍යයේ පිටපත  හැමෝටම බෙදලා ඒකෙ දෙබස් පාඩම් කරන්න දුන්නා..

"මේවට තමයි බං සුද්ධ සිංහලෙන් ඉල්ලං කෑම කියලා කියන්නෙ.."

"ඒ මොකෝ එහෙම කියන්නෙ..?"

"උඹලගෙ තාත්තගෙ නාට්ටියක හරි ෆිල්ම් එකක හරි කෑල්ලක් ඉල්ලගෙන කරලා පාඩුවෙ ඉන්නෙ නැතුව උඹේ තනියට ඩ්‍රාමා ක්ලාස් ඇවිත් කවියි, දෙබසුයි පාඩං කරන්න උනා.." 

චමිලයා කතා කරේ හරියට ඌ මට ඕනවට ආවා වගේ.. ඉස්සර ඉදලම ටීවි එකකට හොම්බ දා ගන්න මූට පුදුම උණක් තිබුණෙ.. බැරිම තැන මං අපේ තාත්තට කියලා මිනිහව බිස්කට් ඇඩ් එකකට දැම්මෙව්වා.. ඌට ඇගේ සයිස් එකට කරන්න පුළුවන් එකම දේ ඕකනේ..

                                           *****************************

පහුවෙනිදා උදේ පංති යන්න ලෑස්ති වෙද්දිම තාත්තා කෝල් කලා.. එයාට අද හදිස්සි වැඩ වගයක් තියෙනවා කියලා බණ්ඩයියව ගෙනියන්න ඕනෙලු.. අද කඩෙන්වත් කනවා කියලා හතලා මං බණ්ඩයියව යවලා චමිලයි, ප්ලූටොයි එක්ක පංති ගියා..

ෂූටින් තියෙන්නෙ ළග කියලා කිව්වට සර් එතනට යන්න බස් එකකුත් ගෙනැත්.. කොහොමටත් තිස් පහක් විතර යන්නත් ඉන්නවනෙ..

"සර්.. කොහෙද ෂූටින් තියෙන්නෙ..?"

කට්ටිය වල්පල් කියවද්දි මං සර්ගෙන් ඇහුවා.. නැත්තං එදා චමිලයගෙ කතාව වගේ කොළඹට චුට්ටක් එහා මහනුවරද දන්නෙ නෑනෙ ෆිල්ම් එක කරන්නෙ..

"ඒක තියෙන්නෙ පුතා වාද්දූවෙ.. බීච් සයිඩ් එකේ.."

"අපරාදෙ සර්.. ඔය කතාව ඊයෙ කිව්වනං නාන්න රෙඩි වෙලා එනවනෙ.."

ප්ලූටො කියද්දි මටත් මතක් උනේ ඒකම තමයි.. හැබැයි නානවා කිව්වා විතරයි සමාධිගෙ සුදු මූණ ඇඹුල් වෙලා ගියා.. මේකි සමහර විට නාන්නෙ පරණ අවුරුද්ද සදහා ස්නානය කරන දවසට විතරද මංදා..

"කට්ටිය සේරම රෙජිස්ටර් එකේ සයින් කරලා බස් එකට නගින්න.."

මං පිටිපස්ස හැරිලා බලද්දි ප්ලූටො සමාධි එක්කයි, චමිල එක්කයි, නයෝමි එක්කයි කතා කර කර බස් එක පැත්තට එනවා.. ඉස්සර චමිලට වහකදුරු වෙලා හිටපු නයෝ දැං හිතට අල්ලලා ගිහින්ද කොහෙද..

"හිරූ වරෙන් වරෙන්.. වාද්දූව පොඩි දුරකුත් නෙමේනෙ.. අපි සින්දුවකට සෙට් වෙමු.."

අපේ කට්ටිය වතුර බෝතල්, පෑන්, පැන්සල් පෙට්ටි එහෙම එළියට ඇදලා මියුසික් දෙන්න ලෑස්ති වෙනවා.. සර් හිනාවෙලා ඉදගත්තා මිසක් වැඩේට බකට් අදින්න ආවෙ නෑ..

"ස්ත්‍රී පාර්ශවය මොකද කියන්නෙ..? අපි ගෑණු පිරිමි බෙදිලා ගීතයෙන් ගීතය කරමුද..?"

පංතියෙ හිටපු අන්කල් කෙනෙක් ලස්සන ඇන්ටි කෙනෙක් දිහා බලලා ඇහුවා..

"හරි.. ඕන විදියකට අපිත් ලෑස්තියි.. නේද දුව..?"

ඇන්ටි සමාධිගෙ අතිනුත් අල්ලගෙන නැගිට්ටා.. අපේ රටේ ගෑණු මාර ෆෝවර්ඩ්නෙ බලාගෙන යද්දි.. ඒ විතරක් නෙමෙයි ඒ ඇන්ටිම අර අන්කල්ට කිව්වා 'අ' යන්නෙන් සිංදුවක් කියන්න කියලා..

"ඈ.. තාරකාවී..
මේ.. රාත්‍රියේ.."

අන්කල්කාරයා එයාටම හරියන සිංදුවක් කියලා ඉවර කලා විතරයි ප්ලූටෝ මැදට පැන්නා..

"අන්කල් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.."

"අහන්න පුතා.."

"මේ තරම් කන්න දේවල් තියෙද්දි ඈ මොකද තාර කෑවේ..?"

"ඒ කිව්වෙ..?"

අපේ ප්ලූටොගෙ ප්‍රශ්නෙ අන්කල්ට එක පාරටම තේරුණේ නෑ.. ඒත් සමාධිටනං පටස් ගාලා හිනා ගියා..

"ඇයි දැන් අන්කල්මනෙ කිව්වෙ ඈ තාර කාවි කියලා.."

"ආ.. මේකනෙ පුතා ඕක රෑ දොගොඩහරි ජාමෙ වෙච්ච දෙයක්නෙ.. කළුවරට පේනනෙ නැති නිසා එයා කන්න ඇති.."

මූ මේ ගොන් ප්‍රශ්න අහලා ඒවට හරියන ගොන් උත්තර ගන්නවා.. ඒ කතාව නතර කරලා අපි කෙල්ලන්ට 'ස' යන්න දුන්නා සින්දුව කියන්න..

"සද මිදුලට එනවා..
ඇගෙ වත සිහිවෙනවා.."

අර ඇන්ටි සින්දුව පටන් ගද්දිම මට වෙන කතාවක් මතක් උනා.. දවසක් කොල්ලෙක් හැන්දෑවෙ මිදුලට වෙලා ඔය සින්දුව දාගෙන ඉද්දි ආච්චි කෙනෙක් ගේ ඇතුළෙ ඉදලා කෑ ගැහුවලුනෙ 'පුතේ ඔය දොර ජනෙල් වහලා දාලා ගෙට වරෙන්.. නැත්තං ඔය සද ගේ ඇතුළටත් එයි' කියලා.. ඒත් ඔය කතාව මං මෙතන කියන්න ගියේ නෑ.. කිව්වනං කට්ටිය හිතයි මටත් ප්ලූටොට වගේ පිස්සු කියලා..

ගීතයෙන් ගීතය නැගලා යද්දි අපේ ප්ලූටො තව මල්ලිලා දෙතුන් දෙනෙක් එක්ක නටන්න පටන් ගත්තා.. ඒ උනාට ඩ්‍රයිවර් අයියා ආපු වේගෙට අපි පැය බාගෙන් වාද්දූවෙ..

"ළමයි ඔයාලා පොතක් අරගෙන බහින්න.. එතන වැඩ කටයුතු කෙරෙන විදිය ගැන මම පැහැදිලි කරලා දෙන්නම්.. ඒවා සටහන් කර ගන්න.. චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන පාඩම කරද්දි ඒ දේවල් වැදගත් වෙයි.."

සර් බහින්න කලින් ළමයින්ව දැනුවත් කලා.. මම බෑග් එකේ තිබුණ නෝට් බුක් එකයි පෑනයි සාක්කුවෙ දාගෙන චමිල එක්ක බැස්සා.. ළමයි සේරම ටික බැහැලා ආවම සෙට් එක පේන දුර තියලා සර් ආපහු දේශනේ දුන්නා..

"ඔයාලට නොකිය මේ එක්කගෙන ආවෙ ලංකාවෙ අංක එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්ගෙ චිත්‍රපටියක් බලන්න.. නම කිව්වොත් ඔයාලා හැම කෙනෙක්ම එයාව දන්නවා.."

ඒ වචන ටික ඇහුණා විතරයි මට නිකං ඕක්කාරෙට ආවා වගේ.. සර් එතකොට මේ ඇවිත් තියෙන්නෙ අපේ තාත්තගෙ අලුත් ෆිල්ම් එක කරන තැනටද..?

"මචං හිරූ.. ගම ඊටින් වගේ.. අර බලපං වතුර බෝතලේකුත් උස්සගෙන සෙට් එක පැත්තට යන්නෙ කවුද කියලා.."

චමිල මගේ කණට කරලා කුටු කුටු ගාද්දි මගේ දර්ශන පථයට කෙලින්ම අහුවුනේ අපේ බණ්ඩයියව.. දැන් නං ඉතිං හොදි ඕන්නෑ.. අපේ තාත්තත් ඔතන මොකක් හරි අට්ටාලයක් උඩට වෙලා දිලිසි දිලිසි ඇති..

"කට්ටිය වැඩිය සද්ද නොකර යමුකො මගෙත් එක්ක.."

සර් පරණ තොප්පියකුත් දාගෙන පෙරමුණ ගත්තා.. මට නං ඇවිදගන්න කකුල් දෙකත් පණ නෑ වගේ.. අපේ තාත්තා මාව දැක්කට නං අවුලක් නෑ.. ඒත් මං හේමන්ත දුනුවිලගෙ පුතා කියලා සර් දැනගන්නවට මං කැමති උනේ නෑ..

මගේ වාසගමත් දුනුවිල කියලා සර් කිව්වොත් අපේ තාත්තත් කියයි ඔව් මේ අපේ පුතන්ඩියා කියලා.. එහෙම උනොත් මේ අසරණ හිරූෂයා බොරු කාරයෙක් වෙනවා.. ළමයි සේරම මාව පහුකරගෙන යද්දි මං හිටපු තැනම බලාගෙන හිටියා..

"ඇයි මල්ලි බයවෙලා වගේ..? මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

ප්ලූටොයි, චමිලයි සර්ත් එකක්ම ඉස්සරහට යද්දි සමාධි ඇවිත් ඇහුවා.. ප්‍රශ්නයක්නම් තමයි.. ඒත් ඒක කොහොම කියන්නද කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ..

"මට ටිකක් ඇගට හරි නෑ වගේ සමාධි.."

ඒකිට අක්කා කියන්න දිව නැමෙන්නෙ නැති නිසා මං නම කියලා කතා කරා..

"ඇයි ඔයා උදේ හොදට හිටියනේ.."

ඇයි යකෝ.. උදේ හොදට හිටියට මට දැන් ලෙඩක් හැදෙන්න බැරිද..? සමහර මිනිස්සු හොදට කතා කර කර ඉන්න ගමන් හග් ගාලා පපුව අල්ලගෙන කූරියා ගහන්නෙ..

"හේමන්ත දුනුවිල සර්ගෙ ෆිල්ම් එකක් කරන්නෙ.. ඒක දැක්කම ඔයාගෙ ලෙඩේ හොද වෙයි.."

මෙයා පිස්සු කියවනවා.. ෆිල්ම් එක කරන්නෙ හේමන්ත දුනුවිල නිසා තමයි මට ලෙඩේ හැදුනෙ..

"හපොයි බේබි.. මං කී පාරක් කෝල් කරාද..? කෝ ඔය ෆෝන් එක වැඩ කරන්නෙ නෑ නොවෑ.."

හිතපු නැති වෙලාවක බණ්ඩයියා මගේ ළගට දුවගෙන ආවා.. මං සාක්කුවෙන් අරන් ෆෝන් එක දිහා බැලුවෙ ඒ වෙලාවෙ.. කිව්වත් වගේ ඒක තාම ඕෆ්..

"ලොකු මහත්තයා පණිවිඩේ කියපු හැටියෙ මං..."

"ෂ්.."

මං ටක් ගාලා කතාව නැවැත්තුවා.. ඇයි දෙයියනේ මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරයෑ.. සමාධි හොල්මන් වෙලා වගේ බණ්ඩයියයි මගෙයි දිහා බලන් ඉන්නවා.. මං සමාධිට හොරෙන් බණ්ඩයියට ඇහැක් ගහලා වැඩේ ෂේප් කරා.. නැත්තං මිනිහා මෙතන වන කරනවා.

"අපි යමු සමාධි අර පැත්තට.. එන්න.."

මං සමාධි එක්ක ගිහින් හිමීට කට්ටිය අතරට රිංග ගත්තා.. සර් අපේ තාත්තා එක්ක බර කතාවක්.. නළු නිළියො තැන් තැන් වල ඉදගෙන කතාව.. ඔහොම වටපිට බලාගෙන යද්දි මං දැක්කෙ ඇස් පිනා යන මනරම් දසුනක්.. ලස්සනම ලස්සන පොඩි කෙල්ලෙක්.. මේ පොඩි කිව්වට අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙක් මුහුද පැත්තට වෙන්න වාඩි වෙලා කෝල් එකක් ගන්නවා.. එයා ඇදගෙන හිටියෙ හාමුදුරුවරු සිවුර අදින ටයිප් එකේ ගවුමක්.. ඒ කිව්වෙ එක උරහිසක් එළියෙ..

"ඔය තමයි බේබි මේ කතාවෙ ප්‍රධාන නිළිය.."

මගේ ඇස් තිබුණ දිහා බලලා බණ්ඩයියා කිව්වා.. ඒ කියන්නෙ මේ මනුස්සයා ආපහු පස්සෙන් ඇවිත්.. සමාධිත් මගේ ළගටම වෙලා හිටියට එයාගෙ සුදු මූණ ගොඩක් නොසන්සුන් පාටයි..

"මට වෙලාවට ඔයාව තේරෙන්නෑ මල්ලි.."

සමාධි මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන ඒක කියපු විදියට මාව හොල්මන් වෙලා ගියා.. ඒත් මෙයා මේ හැම වෙලාවෙම මල්ලි කියලා කියන එක තමයි ඊටත් වඩා දිරවන්න අමාරු..

"ඇයි මට හැම වෙලාවෙම මල්ලි කියන්නෙ..? මට නම කියලා කතා කරන්න සමාධි.." 

"ඔයාලට විසි හයයි කියලා නයෝමිට බොරු කලාට මට බොරු කරන්න බෑ. ඔය තුන්දෙනාම මට වඩා බාලයි කියලා මම දන්නවා.."

මෙයා හරියට අවුරුදු පහක් හයක් වැඩිමල් ගානට තමයි කතාව.. විසි එකයි කියන්නෙ අපිට වඩා අවුරුද්දයිනෙ වැඩි..

"හරි හරි.. අපි වයස ගැන පස්සෙ කතා කරමුකො.. එන්න සර් කට්ටියටම කතා කරනවා.. අර.."

සමාධි සර් ඉන්න පැත්තට අත දික් කලා.. පිස්සු හැදෙනවා.. ටී ෂර්ට් එකකුත් ගහලා කැප් එකකුත් දාගෙන හිටපු අපේ තාත්තා සර් එක්ක කතාව..

"ඔයා යන්නකො.. මං තව ටිකකින් එන්නම්.."

තාත්තටයි සර්ටයි එක සැරේ මූණ දෙන්න බැරිකමට මං සමාධිව විතරක් යවලා එතන තිබුණ පොල් ගහකට හේත්තු උනා.. හැබැයි ඒකම විතරක් නෙමෙයි හේතුව.. මේ කෝල් කර කර ඉන්න පුංචි සුරංගනාවිගෙ දිහා නිදහසේ බලන් ඉන්නත් හිතට ලොකු ඕකමක් තිබුනා.. 

"මචං හිරූ.. උඹ මෙහෙම සයිඩ් ගහලා ඉද්දි සර් සැක කරනවා.. අනික අන්කල්ට පේන්න නැති උනාම එයා හිතයි උඹ ක්ලාස් කට් කරලා කියලා.. අන්තිමට අන්කල් අපිව ඒ ගෙදරිනුත් එළවයි.. ඒ නිසා ගිහින් පොඩ්ඩක් පිටිපස්සට වෙලා ඉදපං.."

මං පාවි පාවි හිටපු කල්පනා ලෝකෙ බිදලා දාලා එතනට ආපු චමිලයා මට දේසනයක් දුන්නා.. හැබැයි ඉතිං උගෙ කතාවෙන් ගත යුතු යමක් තියෙනවා.. ඒ නිසා මං ඌ එක්කම සර් හිටපු පැත්තට කිට්ටු කරා..

"ඔන්න දුනූ ඔයාගෙ ඊළග ෆිල්ම් එකේ මේන් රෝල් එකට හරියන කොල්ලෙක් මගේ පංතියෙ ඉන්නවා.. මිනිහා දක්ෂයා.."

ළමයි ටිකත් වට කරගෙන සර් තාත්තා එක්ක කතාව..

"කෝ ඒ හාදයා..? දැන් ඇවිත් ඉන්නවද..?"

"හිටියා.. හිටියා.. ඔයත් කොල්ලට කැමති වෙයි.. මොකද මිනිහගෙ වාසගමත් දුනුවිල.."

යටිපතුල් සීතල වෙලා යද්දි මං අඩි දෙකක් විතර පස්සට ගිහින් බඩත් අල්ලගෙන පාත් වෙලා බොරු ඔක්කාර ගතියක් පෙන්නුවා.. මගේ ඇක්ටින් පාර කොහොමද කියනවනං මගේ 'ඕග්..' සද්දෙට ළමයි බයවෙලා.. චමිලයි, ප්ලූටොයි දුවලා ඇවිත් මාව වත්තං කර ගද්දි මං අනිත් අයට හොරෙන් ප්ලූටොට ඇහැක් ගැහුවා..

"පුතා ඔයාට අසනීපද..? අනේ දරුවො මෙයාව බස් එකෙන් වාඩි කරවන්න.."

මගේ අති විශිෂ්ඨ රංගනය දැකලා සර් ෆුල් අප්සට් ගිහින්..

"සර් එයා උදෙත් කිව්වා ඇගට හරි නෑ වගේ කියලා.."

ප්ලූටොගෙ උරහිසට වරු වෙලා බස් එක පැත්තට යද්දි මට ලාවට වගේ සමාධිගෙ කටහඩ ඇහුණා.. එහෙනං කෙල්ලත් වැඩේ සීරියස් අරගෙන..

"මචං දැන් ඔය බඩ අතෑරපං.. කවුරුවත් පේන්න නෑ.."

බස් එක කිට්ටුවටම ආවම ප්ලූටො මාව අතෑරියා..

"උඹට නං බං නෑගි එන නළුවා සම්මානෙ දෙන්න වටිනවා.. ඒ තරං සිරා ඇක්ටින් පාර.."

චමිලත් හිනාවෙවී ප්ලූටොට සෙට් උනා.. ඒත් මගේ හිත නං තාම අප්සට්.. තව පොඩ්ඩෙන් සර් ගම කනවනෙ..

"උඹ වෙලාවට බඩ අල්ලන් පාත් උනේ.. තව නූලෙන් සර් උඹව අන්ලක්ට පෙන්නනවා.. අන්කලුත් කට අරියනං උඹේ පටි හතම රෝල්.."

"අපේ තාත්තා කලිනුත් කිව්වනෙ බං සර් ඇහුවොත් එයා ඇත්තම කියනවා කියලා.. මං වැඩිපුර බයඋනේ ඒකයි.."

"ඒක නෙමෙයි බං වැඩේ කියන්නෙ.. සර් අපිට නොකිව්වට දැනටමත් උඹව මේන් රෝල් එකට සිලෙක්ට් කරගෙන ඉවරයි වගේ.."

ඇත්තටම සර් එහෙම කිව්වා නේන්නං.. ඒ කියන්නෙ පටන් ගත්ත ස්ටෙප් එකෙන්ම මගේ ප්ලෑන සාර්ථක වෙලා.. මට කොහොමටත් ඕන උනේ අපේ තාත්තගෙ නම විකුණගෙන නැතුව ස්වාධිනව තැනකට එන්නනෙ..

"හිරූ.. අන්න බණ්ඩයියා දුවගෙන එනවා.."

ප්ලූටො කිව්වත් වගේම බණ්ඩයියා හැටට හැටේ දාඩියත් පෙරාගෙන අපි ඉන්න පැත්තට එනවා.. 

"බේබි.. කොහොමෙයි දැන් අපේ බේබිට..?"

මනුස්සයා බොහොම කලබලෙන් ඒක අහපු විදියට මට දුකත් හිතුනා.. එයා ඇත්තටම හිතන්න ඇති මට ලෙඩක් කියලා..

"මූට ඇති අමාරුවක් නෑ බණ්ඩයියෙ.. මේ ඉන්නෙ සිකුරු තරුව වගේ බැබළි බැබළි.."

ප්ලූටො අහසෙන්ම උපමාවක් අරගෙන බණ්ඩයියට කාරණේ පැහැදිලි කලා.. ආඩිය දාලා තිබුණ ඒ මූණට ලස්සන හිනා පොදක් ආවෙ ඒ කතාව ඇහුවට පස්සෙ..

"ඒත් මට හිතුණා බොරුවක්ද කියලත්.. ඒ උනාට බේබි බඩ අල්ලගෙන දගලපු තාලෙට මට හීන් දාඩියත් දැම්මා.."

"රගපෑම මුගේ ජානවල තියෙනවනේ බණ්ඩයියෙ.. කොටින්ම මුන්ගෙ අම්මට මූව හම්බවෙලා තිවෙන්නෙ අන්කල් කරපු ෆිල්ම් එකක ෂුටින් බල බල ඉන්න වෙලාවකලුනෙ.."

මගේ උපත ගැන මමවත් බණ්ඩයියවත් නොදන්න දෙයක් චමිලයා පණ්ඩිත විදියට කියලා දැම්මා.. එහෙම කියනවනං උන්ගෙ අම්මට ඌව හම්බවෙලා තියෙන්නෙ යගුලිය විසි කරද්දි වෙන්න ඇති.. ඒකනේ මූට පාටයි සයිස් එකයි අඩුවක් නැතුව පිහිටලා තියෙන්නෙ.. අපි හතර දෙනා මහ සද්දෙට හිනා වෙවි කතා කර කර හිටපු තැනට සර් එනවා දැක්ක නිසා මං ආපහු පොඩි ඇඩ් එකක් දානන් ගත්තා..

"මොකද දරුවො එකපාරටම උනේ..?"

සර්ගෙ ප්‍රශ්නෙට මටත් කලින් උත්තර දුන්නෙ චමිල.. 

"සර් හිරූ ඊයෙ කොත්තු රොටියක් කාලා.. ඒකට බඩ අප්සට් වෙලා.."

මූත් අතාරින්නෙ මාර නයි තමයි.. දැන් බණ්ඩයියා බලයි අපි කොහොමද රෑ එයාට හොරෙන් කොත්තු කෑවෙ කියලා.. හිනා යන්න ආවත් සර් මෙතනින් යනකල් ඉවසා වදාරන්න වෙනවා..

"එතන සෙට් එකේ තව කියලා දෙන්න දේවල් ටිකක් තයෙනවා. ඔයාට වැඩි අමාරු නැත්තං මං මේ දෙන්නගෙන් කෙනෙක්ව එක්කං යන්නං පුතේ.. එතකොට ඔයාලටත් අහගන්න පුළුවන්නෙ.."

හා කියලා මං බොහොම අමාරුවෙන් ඔළුව වනද්දි සර් චමිලයවත් ඇදගෙන ආපහු ගියා..

"මට නං ඇහුනෙ සර් මේක අවුට් ඩෝ ෂූටිං එකක් කියලා කියපු ටික විතරයි බං.."

ප්ලූටො සර් යන දිහා බලාගෙන නහයෙන් අඩනවා..

"බේබි.. ලොකු මහත්තයා මාව හොයයි දැන්.. මං විගහට ගිහින් එන්නං.."

අපි ළග හිටපු බණ්ඩයියා එකපාරම වයින් කරපු කුරුමිණියා වගේ දුවන්න ගත්තා.. දැන් ඉතිං පාඩමත් නෑ ෂූටිං බලන්නත් නෑ.. බඩ උලාගෙන ඉන්නයි තියෙන්නෙ.. 

"අපරාදෙ හිරූ.. අතන හිටියා නං අර සිවුර ඇදගෙන හිටපු සූකිරි කැටේ දිහාවත් බලන් ඉන්න තිබුණා..0"

මූ මේ මතක් කලේ ප්‍රධාන නිළියව.. ඒකිනං ඇත්තටම සූකිරි කැටයක් තමයි..

"මටත් දැන් තමයි බං හිතෙන්නෙ මේ ක්ලාස් ගානෙ බඩගාන්නෙ නැතුව ඔය ෆීල්ම් එකට ජොයින්ට් වෙන්න තිබුණ නම් කියලා.."

ඈතින් පේන කට්ටිය දිහා බලන් ඉද්දි මට ඉබේටම වගේ කියවුණා.. ඒ කතාවෙන් ප්ලූටො අන්දුන් කුන්දුන් උනා..

"මොන වසල කතාවක්ද බං ඒ..? උඹ කිව්ව නිසානෙ අපිත් ක්ලාස් ආවෙ.. දැන්නං පිස්සු කෙලින්න හදන්නෙපා.."

"මේක පිස්සුවක් නෙමෙයි බං.. අපේ තාත්තා ඔය දැන් ෂූට් කරන ෆිල්ම් එකේ මේන් රෝල් එකට තමයි මාව ගන්න හැදුවෙ.. මමත් ගොනා වගේ බෑ කිව්වා.. ඒත් බලපංකො මෙයා පාට්නර්ට හොයාගෙන තියෙන  කෑල්ල.."

"ෂිට්.. උඹත් බලාගෙන යද්දි එළ හරකෙක්නෙ.. දැන් කවුද ඕකෙ කොල්ලා..?"

"දන්නෑ බං.. කවුරු උනත් මොකෝ දැන් පෙරහැර ගිහින් ඉවරයි නේ.."

මගේ සෝක ජනක කටහඩ හින්දාමද මන්දා ප්ලූටො ආපහු ඒ ගැන ඇහුවෙ නෑ.. මමත් චැප්ටර් එක ක්ලෝස් කරලා දැම්මා..  



                   

No comments:

Post a Comment