Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






සංදීප එන තෙක් රාත්‍රී දහය පමණ වන තුරු ගේට්ටුව අසල බලා උන් පොඩ්ඩේ බැරිම තැන විත් පඩි ගැට්ටේ ඉදගත්තේය.. නමුත් වාහනයක හඩ ඇසෙන වාරයක් පාසා ඔහුට ගේට්ටුව දෙස බැලුණි..

“අද සංදීප මහත්තයට පාටියක්ද දන්නෑ නේ අයිරම්මෙ.. නැතුව කවදාවත් මෙච්චර පරක්කු වෙන්නෙ නෑනෙ..” 


තවත් පැය භාගයක් පමණ එතන උන් පොඩ්ඩේ සිය හඩ අවදි කළේය.. එය දොර ළග බලා උන් අයිරම්මාට මෙන්ම සෙටියේ පුටුවකට බරව උන් සිතුමිණිටද හොදින් ඇසුණි..

“පුංචි නෝනෙ.. මහත්තයට කෝල් එකක්වත් දීලා බැලුවොත් නරකද..?”

අයිරම්මා, සිතුමිණීගෙන් ඇසුවේ වෙන කිරීමට යමක් සිහිපත් නොවන නිසාය.. නමුත් සංදීපට දුරකථන ඇමතුමක් දීමට තරම් ශක්තියක් ඇය සතුව තිබුණේ නැත..

“තව ටිකක් බලලා කතා කරමු අයිරම්මා.. දැන් මග එනවත් ඇති..”

සිතුමිණී එසේ කීවේ තම හිත හදා ගැනීමටය.. නමුදු ඈ උන්නේ තරමක බියෙනි.. උදෑසන අවදි කරවා සංදීප තම මුහුණ බැලු දයාබර බව ඇයට විටින් විට සිහිපත් විය..

“ආං.. පුංචි නෝනෙ ෆෝන් එක වදිනවා.. මහත්තයා වෙන්න ඇති..”

කල්පනාවේ නිමග්ග වී උන් සිතුමිණී පියවි ලොවට පිවිසියාය.. ඈ අඩියට දෙකට දුරකථනය වෙත ගොස් රිසිවරය කණ තබා ගත්තාය..

“හෙලෝ..”

“හෙලේ.. මේ මිස්ටර් සංදීපගෙ ගෙදරද..?”

එහා ඉමෙන් ඇසුණේ බරැති පිරිමි කටහඩකි..

“ඔව්..”

“මේ කතා කරන මිස් කවුද..?”

ඔහු යළි විමසා සිටිද්දි සිතුමිණීට තරමක නොරිස්සුමක් දැනුණි..

“මං එයාගෙ වයිෆ්..”

ඈ බොහෝ අසීරුවෙන් එවදන් පිට කර දැමුවාය.. කටහඩ මොහතෙකට නිහඩ විය..

“ගෙදර වෙන කවුරුත් පිරිමි කෙනෙක් නැද්ද මිස්..?”

එම පැනයත් සමග ආගන්තුක බියක් ඇගේ සිත වෙලා ගත්තේය..

“නැහැ.. කවුද මේ කතා කරන්නෙ..?”

“මිස් කලබල වෙන්න එපා.. අපි රෝහල් පොලීසියෙන් කතා කරන්නෙ.. හවස මිස්ට සංදීප ඇක්සිඩන් වෙලා එයාව හදිසි අනතුරු ඒකකයට ඇතුල් කරලා තියෙනවා..”

ඈ මොහොතකට ගොළු වී ගියාය.. මෙතෙක් කලක් අඹුසැමි බැදීමක් තියා සුළු හිනාවක්වත් නොතිබුණද ඇයට සංදීප ගැන මහත් අනුකම්පාවක් දැනුණි..

“මිස්.. මිස්.. කතා කරන්න..” 

“ආ.. ඔව්.. කියන්න..”

ඇයට වචන පැටලිණි.. ඈ රිසිවරය වැටෙන්නට නොදී එය දෝතින්ම අල්ලා ගත්තේය..

“එයාට අමාරුද..?”

“එච්චරම නෑ.. ඒත් තාම සිහිය නෑ.. මිස්ලා කලබල වෙන්න එපා.. හෙට උදේ ආවම ඇති..”

තම මූලික කරුණු ස්වල්පයක් පමණක් හෙළි කල පොලිස් නිළධාරියා ඇමතුම විසන්ධි කර දැමුවේය.. නමුත් සිතුමිණී තවදුරටත් දුරකථනය අත දරා උන්නාය..

“නෝනෙ.. පුංචි නෝනෙ.. ඇයි මේ..? කවුද කතා කලේ..?”

සිතුමිණි නුදුටුවාට අයිරම්මා හා පොඩ්ඩෙ දෙදෙනාම උන්නේ ඇය ආසන්නයේය.. ඈ රිසිවරය තබා ගොස් පුටුවේ ඇන්දකට බර දී හිද ගත්තාය..

“පුංචි නෝනෙ.. ඇයි අඩන්නෙ..?”

ඒ ඇසුවේ පොඩ්ඩේය.. තමා අඩනවාදැයි සිතුමිණි පවා නොදත්තාය.. ඈ සිය කම්මුල් අතගා බැලුවේ එහෙයිනි.. සැබෑය.. ඒවා කදුළින් තෙත්ව ඇත..

“අයිරම්මා.. සංදීප..”

“ඔවු පුංචි නෝනා කියන්න..”

“සංදීප ඇක්සිඩන් වෙලා අයිරම්මා..”

“අයියෝ..”

සංදීපට අසීමිතව ඇලුම් කනල එම වියපත් ගැහැණිය එකී යථාර්ථය දරාගත නොහැකිව බිම ඉදගත්තාය.. නොදොඩා උන්නාට පොඩ්ඩේද උන්නේ දැඩි කම්පනයෙනි..

“දැන් අපි මොකද කරන්නෙ අයිරම්මා.. මට.. මට සංදීපව බලන්න ඕනෙ..”

සිතුමිණීද අයිරම්මා සමීපයේ හිද ගනිමින් කීවාය..

“මේ රෑ යන්න බෑනෙ නෝනා.. අපි පාන්දර යමු..”

පසු පස උන් පොඩ්ඩේ සිතුමිණීගේ සිත හදන අටියෙන් කීවද තම සිත සනසා ගත හැකි වූයේ නැත.. ඇයට පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ වදන් යළි යළිත් සිහියට නැගුණි.. තම සමීපයෙකුට වන කරදරයක් ගැන කියද්දී තමාට සංදීප සිහිපත් නොවීම ඇගේ පසුතැවිල්ලට හේතු විය.. ඇය සිහිපත් වූ සමීපතමයන් වූයේ දෙමාපියන් පමණි..

“අපි යමු අයිරම්මා.. මට සංදීපව බලන්න ඕනෙ..”

සිතුමිණී නැවත වරක් බැගෑපත් වූවාය..

“එහෙනං නෝනෙ සංකේත් මහත්තයට කතා කරලා විස්තරේ කියන්න.. එයා එයි.. ඒත් ලෝකු නෝනලට නං දැනගන්න තියන්න එපා..”

යමක් තීරණය කළ නොහැකි උන් සිතුමිණී අයිරම්මාගේ ඔවදන් ඔස්සේ ක්‍රියාත්මක උනි.. ඈ හේතුව පැහැදිලිව නොපවසා සංකේත්ට එන්න කීවාය..

“මෙහෙ එනවා කියලා දැන්මම අම්මලට කියන්න එපා අයියා.. වෙන දෙයක් කියලා ඉක්මනටම එන්න..”

සිතුමිණී කාරණය පැහැදිලිව නොකීවද එය සුලු කොට තැකිය නොහැකි බව සංකේත්ට වැටහුණි.. ඔහු මිතුරෙකුගේ හදිසි අවශ්‍යතාවයකට යන බව පවසා නිවසින් පැන ගත්තේය.. ඔහු මගදී සංදීපගේ දුරකථනයට කතා කර හරි විස්තරයක් දැන ගැනීමට උත්සහ කළද එය ක්‍රියා විරහිත කර තිබුණි..

සංකේත්, සංදීපලාගේ නිවසට යන විට තවත් පැය එකහමාරක් පමණ කල් ගතවිය.. නමුත් ඔහු රිය ධාවනය කලේ හැකි උපරිම වේගයෙනි.. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණද සංදීපලාගේ නිවසේ විදුලි පහන් දල්වා ගේට්ටුව විවර කර තිබුණි.. ඔහු රථය මිදුලට දමන විටම අයිරම්මා, සිතුමිණී හා පොඩ්ඩේ යන තිදෙනාම ඉදිරියට දිව ආහ..

“අයියා..”

සිතේ සිරව තිබූ කැළඹිල්ල පිටකරගත නොහැකිව උන් සිතුමිණී සංකේත්ව දුටු විගස ඔහුගේ සමීපයට දිව ගියාය..

“ඇයි නංගි මේ අඩන්නෙ..? මොකක්ද වෙලා තියෙන්නෙ කියන්න..”

දයාබරව ඇගේ හිස අතගෑ සංකේත් විමසා සිටියාය..

“අයියා.. සංදීප ඇක්සිඩන් වෙලාලු..”

“මොනවා අපේ අයියා.. දැන් කොහෙද එයා..? අමාරුද..?”

සංකේත්ව නිවස තුළට කැදවා ගිය අයිරම්මා ඔහුට සියළු තතු හෙළි කර සිටියාය..

“දැන් ගියාට බලන්න දෙන එකක් නැතිවෙයි.. කමක් නෑ අපි යමුකො..”

පොඩ්ඩේ නිවසේ නතර කළ සංකේත්, සිතුමිණී හා අයිරම්මා කැටුව හදිසි අනතුරු අංශය වෙත පිටත් උනි..

“නංගි ඔයාලා ටිකක් ඉන්න.. මං ගිහින් විස්තර අහලා එනන්ං.. බලන්න දෙනවා නං අපි කට්ටියම ගිහින් බලමු..”

සිතුමිණී කොතරම් පෙරැත්ත කළද සංකේත් ඇයව ඇතුළට රැගෙන ගියේ නැත.. ඔහු විමසීම් අංශය වෙත පිය නගද්දී සිතුමිණී හැගීම් විරහිතව බලා උන්නාය..

“රත්නත්තරේ සරණින් මහත්තයට කරදරයක් වෙන්නෙ නෑ නෝනෙ..”

අයිරම්මා තනිව මුමුණන හඩ ඇයට ඇසුණි.. නමුත් ඈ කිසිවක් කීවේ නැත..

                                           *****************************

අංජුලා හමුවී ආපසු එන අතරවාරයේ සංදීප වාහනය පදවාගෙන විත් තිබුණේ අධික වේගයෙනි.. එය ඔහුට වාරු නැතිව පාරේ අනෙක් පසින් පැමිණි ට්‍රක් රථයක ගැටීම නිසා සංදීප බරපතල ලෙස තුවාල ලද්දේය.. ඔහුගේ දෙපා වලට මෙන්ම දකුණු අතටද දැඩි හානි සිදුවී තිබුණු අතර හිස තරමක් තදින් වැදීම නිසා ඔහු සිහිසුන්වී තිබුණි.. සිද්ධිය දුටුවන් සංදීපව වහාම හදිසි අනතුරු අංශය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති.. මේ වනවිට ඔහු දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී උන්නේය..

ඔහුව බැලීමට පැමිණි සංකේත් විස්තර පවසා සිටියද ඔහුට සිය සොහොයුරා බැලීමට අවශාකයක් නොලැබිණි.. එයට හේතුව වූයේ ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය වීමයි..

“දැනට දෙන්න පුළුවන් ඔය ඩීටේල්ස් ටික විතරයි.. දැන් ලෙඩාව බලන්න පුළුවන්කමක් නෑ.. ඔයාලා උදේට එන්න..”

රෝහලෙන් ඔහුව පිටත් කර හැරියේය.. ඔහු රථගාල වෙත ගමන් කලේ සිතුමිණීට කුමක් කියන්නේදැයි කල්පනා කරමිනි..

“මොකද කිව්වෙ අයියා..? සංදීපව බලන්න දෙනවලුද..?”

සංකේත් වාහනය ළගට යාමටත් පෙර සිතුමිණී පෙර මගට දිව ආවාය.. ඔහුට සිය නෑනන්ඩිය ගැන දැඩි ලෙන්ගතුකමක් දැනුණි..

“දැන් බලන්න බෑලු සිතූ.. අපි ගිහින් උදේට එමු..”

ඈ බලාපොරොත්තු සුන් වූ විලස රථයට ගොඩ විය..

“අනේ මන්දා අයිරම්මෙ.. මේක අපේ අම්මලට කියලත් බෑ.. නොකියත් බෑ..”

සංකේත් මගදි අයිරම්මට කීවේ සිතුමිණී දිගටම මුණිවත රැකි නිසාය..

“කිව්ව ගමන් ලොකු නෝනලත් කොළඹ එන්න තියාගනියි.. ඒත් ඉතිං තමන්ගෙ දරුවෙක්ගෙ දෙයක් නොකියා කොහොමද..?”

“මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. අයියා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ ඔෆිස් එක ඇරෙන ටයිම් එකට කලින්.. අනික වෙන රූට් එකක.. මෙයා කලින් ආවෙ ඇයි දන්නෑ..”

“සංදීප මහත්තයා කොහෙදිද හැප්පිලා තියෙන්නෙ..?”

“සිතූ නංගිලගෙ ගෙවල් පාර කිට්ටුවදිලු.. ඒ පැත්තෙ ඉදලා එන ගමන්..”

ඒ ඇසුණු සිතුමිණී තිගැස්සී ගියාය.. සංදීප තම දෙමාපියන් බැලීඹට ගියාවත්දැයි ඇයට සැක සිතුණි.. නමුත් තමා හවස පන්සල් ගොස් පැමිණ නිවසට ඇමතූ විට මව එවන් කිසිවක් කීවේ නැත..

“සංදීපට ගොඩක් අමාරු නෑ නේද අයියා..?”

සංදීපගේ සංවේදි රුව සිය දෙනෙත් අභියස මැවී පෙනෙද්දී සිතුමිණී විමසා සිටියාය..

“හරියටම කිව්වෙ නෑ.. කකුල් දෙකයි අතකුයි තුවාල වෙලාලු.. ඉන්ටෙන්සිව් කෙයාර් එකේලු ඉන්නෙ..”

“ඉන්ටෙන්සිව් කෙයාර්..?”

ඇගේ හඩ බොල් වී තිබුනි.. ඈ සිතුවේ මෙවන් අනතුරක් සංදීපට සිදුවූයේ තමාගේ වරදින් කියාය.. නොවේ නම් කන්දේ පන්සලේ ලොකු හාමුදුරුවන් තම මුහුණ බලා එවන් අනාවැකියක් පවසන්නේ නැත.. අනෙක තමා සංදීපට දුන් මානසික පීඩනය සුළු පටු එකක් නොවන බව ඈ දනී..

“ගොඩක් හිතන්න එපා නංගි.. අපි උදේට ගිහිල්ලම බලමුකො..”

සංකේත් නැවත නිවසට පැමිණ පසුව සිතුමිණීට අවවාදයක් දුන්නේය.. ඊට හිස පමණක් සැලූ ඈ සංකේතට පහළ මාලයේ පිටත කාමරය සූදානම් කර දී උඩු මහළට නැගුණාය..

ඇගේ සිතට දැනුණේ මහත් හිස් බවකි.. මෙතුවක් තමා සංදීපව නොසලකා හැරිය නමුදු ඔහු නිවසේ උන් විට නිවස පිරී තිබුණි.. නමුත් එය අද මහා මූසල පෙනුමක් ගෙන ඇත.. ඇගපත සෝදා සැහැල්ලු ඇදුමක් ඇග ලා ගත් ඈ නිහඩවම සංදීපගේ විසල් කාමරය නොහොත් ඔවුන්ගේ ප්‍රධාන නිදන කාමරය වෙත පිවිසියේය.. එය සංදීපගේ සුවදින් පිරී ඇත.. නමුදු ඈ එය විද ගත්තේ ඔහු තමා සමීඵයෙන් එහෙ මෙහෙ යන විට පමණි.. පැය කාලකට ආසන්න කාලයක් කාමරය මැද තනිව සිටගෙන කල්පනා කල ඈ අවසානයේ නිදාගැනීම සදහා සංදීපගේ ඇදට නැගුණාය..

ඇයට මොහොතකට රඛිතව සිහිපත් විනි.. එහෙත් එය සුන්දර හැගීමකට වඩා සමීප වූයේ කිසියම් නොරුස්සනා සුළු බවකටය.. තමා හා සංදීප අතර රඛිත නොසිටියානම් මේ යුගල යහන කොයි තරම් සුන්දර විය හැකිද..?

“පුංචි නෝනෙ.. නෝනෙට තනියෙම නිදියන්න බෑ නෙව.. මං මෙතනින් ඇලවෙන්නම්..”

ආරාධනයකින් තොරවම පැමිණි අයිරම්මා සිතුමිණි නිදා උන් ඇද පාමුල පැදුරක් එලා ගත්තාය..

සංදීප මහතාගේ හදිසි අනතුරු ඇයව කම්පනයට පත් කර තිබුණද ඒ වියපත් දෑසේ වූයේ ආදරණිය මදහසකි.. එයට හේතුව සිතුමිණී ක්‍රමයෙන් ජීවිතයට අනුගතව හිදීමයි.. මෙම අමතුරේ ප්‍රතිඵලය ලෙස හෝ මෙම සුන්දර යුවතිපති දෙපලගේ ජීවිත වාසනාවන්ත වේවායි යදිමින් අයිරම්මා දෑස් පියාගත්තාය..

නමුත් සිතුමිණී පාන්දර යාමය වනතුරුම සිටියේ නිදි වර්ජිතවය.. ඒ අතරතුර ගෙවුණු කාලයේ ඈ යතාර්ථය අවබෝධ කරගනිමින් උන්නාය.. සංදීප වැනි ජීවිතය විදිය හැකි සුන්දර මිනිමෙක් හැර තමා නැවත රඛිත වෙත යාම නිශ්ඵල දෙයක් ලෙස ඇයට ප්‍රථම වරට පසක් වෙමින් තිබුණි.. තමා එවන් වැරදි තීරණයක් ගතහොත් තම දෙමාපියන්ට සංදීපට හා ඔහුගේ පවුලේ අයට ලෝකයට මුහුණ දිය නොහැකි වනු ඇත.. දිගු සුසුමක් පිට කල ඈ සිය සිතුවිලි දැහැන මදකට බිද දැමුවාය..

                                            ****************************

පසුදාට ඉර පහන් වූයේ සිතුමිණී නින්දත් නොනින්දත් අතර සැරිසරමින් සිටින විටදීය.. මුළු රෑ පුරාවටම ඇයට සුව නින්දක් ලැබුණේ නැත..

“පුංචි නෝනෙ නැගිටින්න.. නැගිටින්න.. උදේම ගියොත් අපිට මහත්තයව බලන්න පුළුවන් වෙයි..”

“කීයද අයිරම්මා වෙලාව..?”

“පහ පහුවෙලා මයෙ හිතේ.. ආං සංකේත් මහත්තයත් ලෑස්ති වෙනවා..”

සිතුමිණි බොහෝ කලබලයෙනන් ඇදෙන් බැස නාන කාමරයට වැදුනාය.. ඈ පැය කාලක් පමණ යාමට මත්තෙන් සූදානම් උනි..

ඔවුන් උදෑසන හයේ කණිසම වදින විටත් රෝහල් පරිශ්‍රයට ළගා වී සිටියහ.. සංදීපව දකින තුරු සිතුමිණී නොසන්සුන් වී උන්නද ඔවුනට රෝහලේ සුළු සේවකයින්ගෙන් එයට සහයක් ලැබුණේ නැත..

“ඉන්න මං ගිහින් ලොකු ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම්.. අදනං අයියව කොහොම හරි බලන්න ඕනෙ..”

එසේ කී සංකේත් පැය භාගයකට ආසන්න කාලයක් එකිනෙකා මුණගැසී එම අවස්ථාව උදාකර ගත්තේය.. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමට ප්‍රථම සිතුමිණීගේ අත තදට අල්වා ගත්තේ ඈ සිහිසුන් වේයැයි බියෙනි..

නමුත් ඔවුනට සංදීපගේ යහන සමීපයට යාමට ඉඩ ලැබුණේ නැත.. ඔවුනට සිදුවූයේ මදක් එපිට සිට ඔහුව නැරඹිමටය.. දෙකකුල්, දෑත් පමණක් නොව හිසද තදට වෙලා තිබූ සංදීපව දුටු මතින් සිතුමිණීගේ දෑස් කදුළින් තෙත්ව ගියේය..

“අඩන්න එපා නංගි.. අපි එළියට යමු..”

සංකේත්ගේ වතට බරව උන් සිතුමිණී දොරටුව ළගට පැමිණ නැවත වරක් හැරී බැලුවාය.. ඇයට දිව ගොස් සංදීපගේ මුහුණට එබී බැලීමට සිත් වුවද ඈ දරා උන්නේ ආයාසයෙනි..

“අනේ සංදීප.. මට සමාවෙන්න සංදීප..”

ඈ තනිවම මුමුනණ ගමන් සංකේත්ගේ උරයේ හිස හොවා ගත්තාය.. සිතුමිණීගේ හිස අතගා ඈව සැනසූ සංකේත්ද යටි හිතින් හඩා වැලපුණි.. දුර සිට මෙම දර්ශනය නැරඹූ අයිරම්මා නම් මේ වන විටත් උන්නේ වාට්ටුවෙන් පිටතය..

“සංදීපට ඇවිදින්න බැරිවෙයිද අයියා..?”

දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණී සැණින් සිතුමිණී විමසා සිටියේ හැඩූ කදුළිනි.. එම බිය ඒ ආකාරයෙන්ම සංකේත්ගේ සිතෙහිත් ඇතිව තිබුණද ඔහු එය සගවා සිතුමිණීව සැනසුවාය..

“මං දන්න කාලෙ ඉදලා අපේ අයියා කාටවත් වැරැද්දක් කරපු කෙනෙක් නෙමෙයි නංගි.. ඒ නිසා එයාට එහෙම වෙන්නෙ නෑ.. ඔයා බයවෙන්න එපා..”

සංකේත්ගේ වදන් වලින් සිතුමිණීට දැනුණේ ඇයට එල්ල කළ ඇනුම් පද සේය.. නමුත් ඈ දිගටම නිහඩව උන්නාය..




No comments:

Post a Comment