Friday, April 20, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






හිතේ තිබුණ ෆන් එක වැඩි නිසාද මන්දා මාව උදේ පාන්දරම ඇහැරුණා.. ඇදේ ඉදලම මං කල්පනා කලේ අද ඉදලා කරන්න තියෙන භාරදූර කාර්තව්‍ය ගැන.. පිටින් බලන කෙනෙක්ට මේක මහා ගොන්කමක් කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් මං කරන්නෙ මගේ හිතට හරියි කියලා හිතෙන දේ..


ලංකාවෙ අංක එකේ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච හේමන්ත දුනුවිලගෙ වන් ඇන්ඩි ඔන්ලි පුතා නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්න වෙනම ක්ලාස් එකකට යනවා කියන එක සමහර විට වැරදි වෙන්නත් පුළුවන්.. පුංචි කාලෙ ටෙලිනාට්‍ය දෙකයි, එක චිත්‍රපටියකයි රගපාලා තිබුණට මං ඊට පස්සෙ සම්පූර්ණයෙන්ම ඉගෙනීමයි ක්‍රීඩා වලටයි යොමු උනා.. තව නිර්මාණ වලට සම්බන්ධ වෙන්න දීගට හරහට ආරාධනා ආවත් මගේ මුරණ්ඩු හිත ඒවට කැමති උනේ නෑ.. කොටින්ම විභාගෙ ඉවර උන ගමන් තාත්තා එයාගෙ ෆිල්ම් එකේ රගපාන්න එන්න කිව්වත් මං ඒකටත් බෑ කිව්වා..

ඒකට හේතුව තාත්තම තමයි.. එයා නිතරම කිව්වෙ ආවට ගියාට රගපාන්නෙ නැතුව ඒ දේ හරියට ඉගෙනගෙන කරන්න කියලා.. ඉස්කෝලෙදි ඒ ලෙවල් වලටත් සයන්ස් කරපු මං රංගකලාව ගැන ඉගෙනගෙනම ෆිල්ඩ් එකට එන්න හිතුවෙ ඒකයි.. තාත්තා තරමටම නැතත් එයාගෙ මට්ටමට කිට්ටු වෙන්න පුළුවන් තත්වෙකට හිටපු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් උන මාරසිංහ සර්ගෙ පංතියට අද ඉදලා යන්නෙ ඒකෙ පළවෙනි පියවර හැටියට..

"මොකෝ බං මේ පට්ට පාන්දර ඇහැරගෙන..?"

ඇද විට්ටමට කොට්ටෙ හේත්තු කරගෙන කල්පනා කර කර හිටපු මගේ දිහා බලලා ප්ලූටො නින්දෙන්ම කිව්වා..

"මොන පාන්දරද මං නැගිටපං.. අද ක්ලාස් එකට ටිකක් කලින් යන්න වෙයි.."

"කෝ බඩා නැගිටලා නැද්ද..?"

"දන්නෑ බං ඌ තාම මේ පැත්තට ආවෙ නෑ.."

මං ඒකට උත්තර දුන්නෙ ඇදෙන් බහින ගමන්මයි.. මාත් එක්කම නැගිට්ට ප්ලූටො ඇදත් අස් කරලා පහළට බැස්සා.. මං කෙලින්ම ගියේ බඩාගෙ කාමරේට.. කිසි අවුලක් නෑ.. ඌ නාලාගිරි හාන්සිවෙලා වගේ දොයි..

"චමී.. නැගිටපං.. හොදටම දවල් වෙලා.."

බඩා කියලා කියවෙන්න ආවත් මං ඊයෙ රෑ කරපු ඉල්ලීම මතක් වෙලා නම වෙනස් කලා.. කොහොමටත් කට්ටිය ඉස්සරහ බඩා කියන එක ටිකක් චාටර් තමයි..

"උඹලා නැගිටලද ඉන්නෙ..?"

මොකක්ද බොලේ ඒ අසත්පුරුෂ ප්‍රශ්නෙ.. මූ හිතන්නෙ මං මේ දොරළග ඉන්නෙ නිදාගෙන කියලද..? හීනෙන් ඇවිදින ලෙඩක් තාම මේ හිරූෂයට හැදිලා නෑ..

"උඹට බැරිනං තව නිදාගනිං.. අපි දෙන්නා බයික් එකේ යනවා.."

ඒක කිව්වා විතරයි චමිලයා දඩි බිඩි ගාලා නැගිටලා ආවා.. ඌ බාත්රූම් එකට රිංගද්දි මම ඇදුම් අයන් කලා.. දුනුවිලගෙ පුතා කියලා හෙළි නොකලත් කොල්ලා ගතියට යන්න එපැයි.. කළු ඩෙනිමයි, අලුයි කළුයි ටී ෂර්ට් එකයිමැදලා රැක් එකට දාලා මමත් උදේම නා ගත්තා..

"බේබිලා ලෑස්ති නං එන්න කන්න. හිස් බඩ යන්න හොද නෑ.."

බණ්ඩයියා දෙයියනේ කියලා උදේම කිරිබත් හදලා.. ඒක කාලා අපි නමෝ විත්තියෙන් පාරට බැස්සා..

"බණ්ඩයියෙ අපි එද්දි ටිකක් පරක්කු වෙයි.. එතකල් ඔයා තනියමනෙ.."

"කාරි නෑ බේබි.. මං කොහොටමත් අද මේ වත්ත පිටිය සුද්ද කරලා දාන්නයි හිතාන උන්නෙ.."

මනුස්සයා කොහොමත් කතා කරන්නෙ ගමේ තාලෙට.. අපි බණ්ඩා කියලා කතා කරත් එයාගෙ ඇත්ත නම බණ්ඩාර.. එයාගෙ බස් වහර අපිට පුරුදු උනාට තාම ප්ලූටොටයි, චමිලටයි වැඩිය පුරුදු නෑ..

"බේබිලා දැන් යන්නෙ කොහොමෙයි..? මේකෙ යන්න බෑ නොවැ.."

මගේ බයික් දණ්ඩ පෙන්නලා බණ්ඩයියා අහද්දි ඒ ප්‍රශ්නෙම මූණෙ තියාගෙන චමිලත් මං දිහා බැලුවා..

"අද පළවෙනි දවස නිසා ත්‍රී විලර් එකක යනවා.. ඊට පස්සෙ දිගටම බස් එකේ.."

"බේබිලා එහෙනං ඉන්න.. මං වීල් එකක් අරං එන්නං.."

"නෑ නෑ බණ්ඩයියා ඉන්න.. අපි පාරට ගිහින් නගින්නං.."

ඒ අහිංසක මනුස්සයා රස්තියාදු නොකර අපි තුන්දෙනා පාර පැත්තට ආවා..

"ඇත්තටම හිරූ උඹ මොකටද ගෙදර ඉන්නෙ නැතුව අපිවත් අරන් මෙහෙ නතර වෙන්න ආවෙ..?"

පාරට බහිද්දිම ප්ලූටො වැදගත් ප්‍රශ්නයක් ඇහුවා..

"අපේ තාත්තා නිතරම කියන්නෙ බං එයාගෙ පුතා හින්දා ෆිල්ඩ් එකට ඇවිත් හරියට යමක් නොකර එයාගෙ නම්බුව කන්න එපා කියලනෙ.. ඉතිං මං දැන් ෆිල්ඩ් එකට එන්න ට්‍රයි කරන්නෙ එයාගෙ පුතා විදියට නෙමෙයි.. ස්වාදීන පුද්ගලයෙක් විදියට.. කොටින්ම මම දුනුවිලගෙ පුතා කියලා කාටවත්ම අගවන්නෙ නෑ.."

"ඒත් බං ඒ මිනිස්සු උඹව අදුනගනියිනෙ.. අනික උඹ කලින් රගපාලත් තියෙනවනෙ.."

"රගපෑවෙ මීට අවුරුදු අටකට දහයකට කලින්නෙ.. ඉතිං කාටවත් මාව වැඩිය නෝට් නෑ.. මේ අඩියියා එක ඔළුවෙ තිබුණ නිසා මං මෑත කාලෙ ෆීල්ඩ් එකේ කාටවත් මූණ දුන්නෙ නෑ.. මිනිස්සු මං ඉන්න වෙලාවකට ගෙදර ආවත් මං හැංගෙනවා.."

"උඹේ නම කිව්වම කවුරුත් දන්නවනෙ උඹ දුනුවිල අන්කල්ගෙ පුතා කියලා.."

"මේ ලංකාවෙ දුනුවිල කියලා කෙනෙක්ට ඉන්නෙ අපේ තාත්තා විතරද බං.. තව ඕන තරම් මිනිස්සු ඇති.."

කතාව අතරෙම ළගට ආපු හිස් ත්‍රීවිල් එකකට අපි කට්ටියම නැග ගත්තා.. මං කටට ඇගිල්ල තියලා මේ කතාව දැන් නතර කරන්න කියන ඉගිය දුන්නා.. නැත්තං මං දුනුවිලගෙ පුතා කියලා මුලින්ම දැනගන්නෙ මේ ත්‍රීවිල් කාරයා..

කොළඹ තියෙන ප්‍රධාන මංසන්දියක තිබුණ ක්ලාස් එට අපි යද්දිත් කෙල්ලො, කොල්ලො පිරිලා.. හැබැයි ඒ අතරෙ පොඩි එවුන් වගේම තරමක් වයසක අන්කල්ලත් හිටියා.. මේ මිනිස්සුන්ටත් රගපාන්න ආසාව එන්නෙ නහින දෙහින කාලෙටමනෙ අප්පා..

"මගේ හිතට නිකං කුරුළු පිහාටුවකින් පවන් සලනවා වගේ දැනෙනවා හිරූ.."

තත්පරේට දෙකට ඇස් දෙක අංශඛ එකසිය අසූවක්ම කරකවපු චමිලයා පටස් ගාලා කියලා දැම්මා.. මූ ආපු ගමන්ම අපෙත් කාඩ් කුඩු වෙනවා..

"ඔයාලා ක්ලාස් එකටද ආවෙ..? එහෙනං අර ෆෝම් එක ෆිල් කරලා ගිහින් සර්ට දෙන්න.."

සුදු පාට ෂර්ට් එකක් ඇදපු මනුස්සයෙක් කියද්දි මං අපේ ඩබල එක්ක ඇතුළට ගියා.. සර් එක කණ්ඩායමකට උපරිමව බදව ගන්නෙ තිහයි කිව්වට මෙතන දැනටමත් පනහක් විතර ඉන්නවා..

අපි තුන්දෙනා ෆෝම් තුන අරගෙන ගිහින් දිග මේසෙ කොනකින් ඉදගත්තා..

"ෂික් විතරක්.. බලපංකො චමී මේකෙ මුලින්ම අහලා තියෙන නොසන්ඩාල ප්‍රශ්නෙ.."

පෑන අරන් පළවෙනිම පේළිය පුරවන්න හදද්දි මට තද උනා.. ඒකෙ මුලින්ම අහලා තිබුණෙ වාසගම, ඊළගට සම්පූර්ණ නම..

"උඹ දැන් මොකද කරන්නෙ..? ඇත්තම ලියනවද..? නැත්තං..?"

"අනේ මන්දා බං.. ඇත්ත ලියලත් බෑ.. බොරු ලියලත් බෑ.."

"ඇයි දැන් මහලොකුවට චන්ඩියා වගේ කිව්වෙ මේ ලංකාවෙ දුනුවිල කියලා ඉන්නෙ අපේ තාත්තා විතරද කියලා.."

"ඇත්තද..? උඹට ෂුවර්ද මං එහෙම කිව්වා කියලා.."

චමිලයා රවලා වගේ මගේ දිහා බලද්දි මං දෙපාරක් හිතන්නෙ නැතුව ඇත්තම ලිව්වා.. ෆෝම් එක සේරම පුරවලා පාඨමාලා ගාස්තුවය එක්ක භාර දෙන්න තිබුණෙ මාරසිංහ සර්ටමයි.. මං සර්ව මීට කලින් හොදට දන්න නිසා අදුරගත්තට සර් මාව අදුරගත්තෙ නෑ.. ඒත් එයා කණා පොල්ලෙන් ගැහැව්වා වගේ ප්‍රශ්න කීපයක්ම ඩෝං ගාලා එල්ල කලා..

"හිරූෂ හේමන්ත දුනුවිල.. ම්.. මේ පුතා මිස්ටර් හේමන්ත දුනුවිලගෙ ඥාතියෙක්ද..?"

මොන ඥාතිකමක්ද මං උන්දැගෙ පුතා කියලා කියන්නත් මගේ කටට ආවා.. ඒත් ඉතිං කැත නැතුව 'නෑ සර්' කියලා මං අහක බලාගත්තා..

"මීට කලින් රගපාලා තියෙනවද..?"

"නෑ සර්.."

"වැඩිපුර කැමති රගපෑම ගැන ඉගෙන ගන්නද.. නැත්නම් අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගන්නද..?"

"දෙකටම කැමතියි සර්.."

මාරසිංහ සර්ගෙන් අධ්‍යක්ෂණය ගැන ඉගෙනගන්න ඇවිත් තියෙන්නෙ දුනුවිල අධ්‍යක්ෂතුමාගෙ පුතා කියලා දන්නවනං සර් මාව මැටි ගහලා එළවනවා.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..

"හරි පුතා ගිහින් පංතියෙන් ඉදගන්න.."

මං ගිහින් ඉදගෙන විනාඩි දහයක් පහළවක් විතර යද්දි අනික් කට්ටියත් ආවා.. සර් පංතියට මුලින්ම බදවගන්නෙ තිහයි කියලා කිව්වට අන්තිමේ තිස් පහක් බදව ගත්තා.. පන්තිය පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කාගෙදෝ මන්දා අඩන කටහඩක් පිටිපස්සෙන් ඇහුණා..

"අනේ සර් මං චුට්ටක් පරක්කු උනා.. මෙන්න මගේ ෆෝම් එක.."

කාගෙද යකෝ ඒ මුක්කං වොයිස් එක.. පිටිපස්ස හැරිල බලපු මට ඇස් දෙක අදහගන්න බැරි උනා.. මේ ඇවිත් ඉන්නෙ ඊයෙ අපිට බලු කපුටු දානයක් දීපු බොම්බෙ නගා හෙවත් සදාදර නයෝ.. එයා පංතිය මැදටම කඩන් පාත් උනේ බලන්නෙ කාගෙ දිහාද කියලා හිතාගන්න බැරි ලුක් එකක් දාගෙන.. ඒත් ඉතිං දැන්නං බලන්න ඇත්තෙ සර් දිහා වෙන්න ඇති..

"දරුවො ඔයා ගොඩක් පරක්කුයිනෙ.. අපි දැන් කට්ටිය බදවගෙන ඉවරයි.."

ඒක කිව්වා විතරයි ඒ කෙල්ලගෙ ස්විට් මූණ බෙරි උනා..

"එහෙම කරන්නෙපා සර්.. මට වෙන ක්ලාස් එකකට බැදෙන්න බෑ.. මට සර්ගෙන්ම ඉගෙනගන්න ඕනෙ.."

"ඉතිං පුතේ දැන් කරන්න දෙයක් නෑ.. ඔයා එහෙමනං අපේ ඊළග කණ්ඩායමට බැදෙන්න.."

නයෝමිගෙ මූණ දකිද්දියි මට තේරුණේ කෙල්ල කරාමෙට අත තියාගෙන ඉන්න විත්තිය.. තව ටිකකින් ටැප් එක අරිනවා කියලා ෂුවර්.. කදුළු පිරුණු ඇස් දෙකෙන් එයා පංතිය වටේම බැලුවා.. හැමෝම හිටියෙ එයා දිහා බලාගෙන..

"අනේ සර් මගෙ යාළුවො දෙන්නත් මේකට ඇවිත්.. එයාලා දෙන්න ඉන්න නිසා මටත් මේකටම එන්න ඕනෙ.."

ඒ පාරනං මේ බතල කෙල්ල බලන් ඉන්නෙ මගෙයි චමිලගෙයි දිහා කියලා මට නිකමට තේරුණා.. දැන් ඉතිං කාපංකො ටිංකිරි..

"කවුද ඔයාගෙ යාළුවො දෙන්නා..?"

සර්ත් හැරෙන තැපෑලෙන් අහද්දි නයෝමි අපි හිටපු ඩෙස් එක පැත්තට ටිකක් ළං වුනා..

"මේ හිරූෂ අයියයි, අමිල අයියයි.."

ඉකේයියා.. මේකි ගමම භක්ෂණය කලා නේද..? ඊයෙ අපිට කන්න අරන් දීලා අද අපි දෙන්නව අමු අමුවෙ කෑවා.. අපේ මේ ගොන් හරකා නම් දෙක කියපු එක තමයි හෙනේට හිටියෙ.. සේරටම වඩා මේ ළමයි තිස් පහකුයි සර්රුයි ඉස්සරහ ලැජ්ජ නැතුව අයියා කිව්වනෙ..

"මොකාද බං මේ කුලප්පු උන ඇතින්න..? උඹලා දෙන්නගෙ පරණ කෑල්ලක්ද..?"

සේරටම හපන් ප්ලූටො අහපු බලු ප්‍රශ්නෙ.. වෙන වෙලාවකනං දනී මූට කරන දේ.. ඒත් මේ තැනේ හැටියට මක්ක කරන්නද..?

"හිරූෂ පුතා.. මෙයාලත් ඔයා එක්ක ආපු කෙනෙක්ද..?"

"අපොයි නෑ සර්.."

මට කලින් චමිලයා හෙමීට කිව්වා.. සර්ට කෙසේ වෙතත් නයෝමිටනං ඒක අගේට ඇහෙන්න ඇති.. එයාගෙ ඇස් වපර උනාට කන් වපර නැතුව ඇතිනෙ..

"හරි හරි ඔය ළමයගෙ ෆෝම් එක මේ මේස උඩ තියලා දැනට පිටිපස්සෙන් වාඩිවෙන්න.. නැත්තං පංතිය පටන්ගන්න පරක්කු වෙනවා.."

කෙල්ලගෙ අදෝනාව ඇලජික් වෙලා සර් ට්‍රැක් එකෙන් පැන්නා.. හොද වෙලාවට පිටිපස්සෙන් වාඩිවෙන්න කිව්වෙ.. නැත්තං දෙන්නා දෙපැත්තේ -  ඇතින්න මැද්දේ කියලා මෙතනටම රිංගයි..

"ඔයාලා හැමෝම අනිත් දවසෙ එද්දි බොටම් එකකුයි සැහැල්ලු ටී ෂර්ට් එකකුයි අරන් එන්න ප්‍රැක්ටිස් වලට.. මට සතියට දවස් හතරයි පංති කරන්න පුළුවන් වේනනෙ.. අනිත් දවස්වල මගේ චිත්‍රපටි වල වැඩ තියෙනවා.. වැඩි විස්තර සේරම ඔයාලට දීපු විස්තර පත්‍රිකාවෙ තියෙනවා.."

සර් මූලික කරුණු ගැන උදේ වරුවෙ විස්තර කරලා දුන්නා.. ඒත් දවස ඇතුළත ලොකු ඉගැන්නිල්ලක් නං කලේ නෑ.. 

"අද කාලෙ කාලෙ ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා නාට්ටි කෑල්ලක දෙකක මූණ පෙන්නගත්තම නළුවො කියලා.. ඒත් පරිපූර්ණ නළුවෙක් බිහි වෙන්නෙ වේදිකාවෙන් කියලා මතක තියාගන්න.. මං ඔයාලට හෙට උගන්නන්සන පටන් ගන්නෙ වේදිකාවෙන්.."

සර් එහෙම කිව්වට අපිට ඒක අලුත් දෙයක් උනේ නෑ.. ඕ ලෙවල්, ඒ ලෙවල් කරන කාලෙ ඉදලම අපේ ගුරුවරු උගන්නන්න පටන් ගත්තෙ වේදිකාවෙන්.. එයාලා ආපු ගමන් කලේ හුණු කෑල්ලයි ෆයිල් ටිකකුයි අරගෙන වේදිකාවට නැගපු එක..

"හෙට ඉදලා උදේ ආපු ගමන්ම ඇදුම් මාරු කරගන්න.. ඔයාලා  හැමෝම තමන්ගෙ නම කොලේක ලියලා ඇදුමෙ ගහගන්න ඕනෙ ටික දවසක් යනකල්.. නැත්තං නම් අමතක වෙනවා.. තව.."

හපොයි දෙයියනේ.. අපි මේ ඇවිත් තියෙන්නෙ මොන්ටිසෝරි පන්තියකටද කොහෙද.. නැත්තං පොඩි එවුන්ට වගේ නම ගහගන්න කියයියෑ ඇදුමෙ.. සර් තව.. කියලා ටික්ක වෙලා යනකල් කල්පනා කලා.. ඊට පස්සෙ කියයිද දන්නෑ හොටු පිහදාගන්න ලේන්සුවකුත් එල්ලගන්න කියලා..

"ආ.. තව ඔයාලට ස්වර අභ්‍යාස කරන්න තියෙනවා.. ඒකට පොත් වගයක් ගන්න ඕනෙ.. නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුධගජ්ජය, සකස්කඩය, වගේ පොත් කීපයක් ඕන කරනවා.."

ඒ නම් ටික අහද්දිනං මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මා.. ඊට පස්සෙ ඕවා පාඩං කරන්නත් කිව්වොත් සොරිම තමයි.. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ගෙට වෙලා ඉන්නෙ නැතුව ඉල්ලං කන්න ආවට මේවා හොද පාඩං..

"මචං ඔය පොත් සෙට් එක ගන්න රුපියල් දාහකින්වත් බැරිවෙයි.."

ප්ලූටො මගේ කණට කරල කියපු දේ සර්ට ඇහුණ වගේ ඒකට හරියනම උත්තරේ සර්ගෙන් ආවා..

"ඔය පොත් සේරම එකට එකතු කරපු තනි පොතක් තියෙනවා..  ඒ පොත රුපියල් අසූවක් විතර ගාණකට ගන්න පුළුවන්.."

මං නෝණ්ඩියට වගේ ප්ලූටො දිහා බලද්දි ඌ හිමීට බිම බලාගත්තා.. දැන් ඉතිං ගෙදර යන්න කලින් පලකො නම් පොත හොයාගෙන.. සර් හැබැයි දෙයියනේ කියලා අද පැය එකහමාරක් යද්දි ක්ලාස් එක ඉවර කරා..

"හිරූෂ අයියෙ.. ඔයාලා කොහේටද යන්නෙ..? මමත් එනවා ඔයාලා එක්ක යන්න.."

කාලා වරෙන්කො ඉතිං.. මේ සදාදාර නයෝමිගෙන් කිසි ගැලවීමක් නැති පාටයි..

"අනේ සූටි නංගි.. අපි යන්නෙ ඔයා යන පැත්තට නෙමෙයි.. බොරලැස්ගමුව පැත්තට.."

චමිලයි, ප්ලූටොයි දිහා බලලා ඇහැක් ගහන ගමන් මං කිව්වා.. මෙන්න යකෝ ඒ පාර මේකි මගේ අතකත් එල්ලුනා..

"ඉතිං ෂෝක්නෙ.. මමත් යන්නෙ ඒ පැත්තට තමයි.."

අයියෝ යෝ යෝ කිව්වලු.. මගේ කටට ආවෙත් මාර නමක් තමයි.. මහ ලොකුවට කිව්වට මොකෝ බොරලැස්ගමුවට යන්න ඕන විදියවත් මං හරියට දන්නෙ නෑ..

"නංගි මේ බොරලැස්ගමුවට කිව්වට බොරලැස්ගමුවටම නෙමෙයි අපි ඉන්නෙ ඊට චුට්ටක් එහා.."

මේ මර උගුලෙන් බේරුනේ නෑ කියලා දැන දැනම චමිලයා තව තුරුම්පුවක් ගැහුවා..

"කොයි හරියෙද..?"

"මේ.. මේ පාදුක්ක හරියෙ.."

ඒ පාර කෙල්ලගෙ අර අමුතු තාලෙ ඇස් දෙක තවත් ලොකු උනා..

"කමක් නෑ.. මං එන්නං හන්දියට යනකල්.."

අනේ දෙවියනේ මීට වඩා හොදයි කතුරු මුරුංගා ගහකට නැගලා හරි ජීවිතේ චකබ්ලාස් කර ගන්නවා..

"අපි යන්නෙ අනිත් පැත්තට නංගි.. අපිට සර් අර කිව්ව වදන් කවි තියෙන පොත හොයාගන්න ඕනෙ.."

ඒ පාර නං පොල්තෙල් ඩිංගක් උලාගත්ත නිසා කොහොල්ලා ගුලිය ගැලවුනා..

"කොහෙන්ද බං ඒ මළ ඇණේ හොයාගත්තෙ..? මාර නට් එකක්නෙ.."

ප්ලූටො සුපුරුදු ප්‍රශ්නෙ අහ්දදිම චමිලයා කතාව මාරු කලා..

"අර බොරලැස්ගමුවට චුට්ටක් එහා පාදුක්ක හරියෙ කියද්දි මට කතාවක් මතක් උනා.." 

"කියපංකො බලන්න ඔය මහලොකු කතාව.."

ඔන්න ඉතිං චමිලයා රැල් බුරුල් කරලා කතාව පටන් ගත්තා..

"ඔන්න ලංකාවෙ මිනිහෙකුයි ඇමරිකාවෙ මිනිහෙකුයි ප්ලේන් එකේදි සෙට් වෙලා තමන්ගෙ රටවල් ගැන පම්පෝරි ගහන්න පටන් ගත්තලු.. ඒ අතරෙ ඇමරිකාවෙ මිනිහා ලොකු කමට කිව්වලු අපේ රටේ තියෙනවා අහසෙ ගෑවෙන්න තරම් බිල්ඩින් එකක් කියලා.."

"හ්ම්.."

"එතකොට ලංකාවෙ මිනිහා කිව්වලු ඇත්තද..? එච්චර උසද කියලා.. ඒ පාර සුද්දා ටිකක් සද්දෙ බාල කරලා කිව්වලු නෑ ඉතිං අහසෙ ගෑවෙනවා කිව්වට එච්චරම නෙමෙයි ඊට චුට්ටක් පහළට වෙන්න කියලා.."

"ඉතිං..?"

චමිලයා අරින ඕන බේගලයක් ප්ලූටො පටස් ගාලා ගිලිනවා.. ප්ලූටොගෙ ඉතිං කෑල්ල ඇහුණා විතරයි චමිලයා ඒ ගැම්මෙන්ම ඉතුරු ටික කිව්වා..

"ඊට පස්සෙ ඒකා අහලා ලංකාවෙ මිනිහා කිව්වලු දන්නවද, අපේ රටේ මිනිස්සු කෑම කන්නෙ නහයෙන් කියලා.. ඔන්න ඉතිං සුද්දා අහනවලු ඇත්තද කියලා..? නහයෙන් කන රටකුත් තියෙනවද..? මං දන්නෙ නෑනෙ කියලා.. එතකොට සුද්දා වගේම සැර බාල කරලා ලංකාවෙ එකා කිව්වලු නෑ ඉතිං නහයෙන් කිව්වට නහයෙන්ම නෙමෙයි ඊට චුට්ටක් පහළින් කියලා.."

ඔන්න ඉතිං කතාව ඉවර වෙලා චමිලයා අපි දෙන්නගෙම මූණු බැලුවා.. අපි හිනාවෙනවද කියලා දැනගන්න.. ඌව නග්ගන්න හිතාගෙන අපි දෙන්නා ගානකට නැතුව හිටියා..

"ඉතිං..?"

ඒ පාර ඉතිං කියලා ඇහුවෙ මං.. ඔන්න අපේ බඩාට අසූහාරදාහට නෙමෙයි අසූපන්දාහට විතර ජුවල් නැග්ගා.. 

"ඉතිං කියලා අහන්නෙ යකෝ කතාව ඉවරයි.."

"ආ ඉවරද..? ඒ කියන්නෙ අපි හිනාවෙන්න ඕනද..?"

"නෑ එපා.. අඩපං.."

ඒකටනං මටයි ප්ලූටෝටයි එක සැරේ හිනා ගියා.. කතාවෙන් කතාව අපි හන්දියටම ආවා..

"මචං ඇත්තටම අර පොත හොයාගන්න යනවද..?"

"ඔව් නේද චමී.. ආයෙ මොකටද කතා අහන්නෙ..? තව වෙලාවත් තියෙනවනෙ.. පොඩි රවුමක් දාලා බලමු.."

අපි ඒ හරියෙ තිබුණ පොත් කඩ කීපයකම බැලුවට සර් කියපු ජාති සේරම එකට තියෙන තනි පොතක් හොයාගන්න බැරි උනා..

"හිරූ ඕක අර මලලසේකර ඩික්ෂනරිය, නැත්තං පන්සිය පනස් ජාතකය විතර තඩි පොතක් වෙන්න ඇති නේද..? ඇයි බං පොත් හය හතක එකතුවක්නෙ.."

"මලලසේකර ඩික්ෂනරියෙ සයිස් පොතක් දෙයි මේන් කියලා රුපියල් අසූවකට.."

චමිලයටත් වෙලාවකට එන්නෙ සිරා බෆලෝ අදහස්..

හැබැයි උගෙ අදහස හිරු දුටු ඕඩික්ලොන් බිදක් සේ බොද වෙලා ගියේ ඊළග කඩේ ඔය කියපු පොතම පිටු හැටකට විතර ගන්න පුළුවන් උන නිසා..

"පව් බං බණ්ඩයියා හෝ ගාලා වත්තෙ වැඩ ඇති දැන්.. මනුස්සයට උයන්න වෙලා තිබුණද දන්නෑ.. අපි බත් අරන් යමුද..?"

මං කාරුණික යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සභා සම්මත කර ගත්තා.. ගෙදර යද්දි බණ්ඩයියා උයලා තිබුණත් ඉතිං නාස්තියක් වෙන එකක් නෑ..   




No comments:

Post a Comment