Monday, April 30, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






චේතිය එදින උදෑසන අවදි වූයේ තරමක් පමා වී නිසා ඔහුට පාසල් යෑමට නොහැකි වුණි.. ඔහු ඇදේ සිටම පෙරදා වූ සිද්ධිය යළි සිහිපත් කළේය..

රංග සමග ඔහුගේ නිවසට ගොස් ඇදුම් මාරු කර තමා නිවසට ආවේ රාත්‍රී නවයට පමණ බව චේතියට මතක තිබිණි.. ඒ වන විට අම්මා පිල් කණ්ඩිය මත වාඩි වී පාර බලා උන් අතර සිය නැගණිය තද නින්දකට වටී සිටියාය.. තමා පමා වීමට හේතුව මව අසාවි යැයි බලා උන්නද ඈ කිසිවක් නෑසිම චේතියට තවත් ගැටළුවකි..


“පුතේ.. තේ කහට එක නිවෙනවා.. මේක බීලා හිටියනං..”

දොර රෙද්ද මෑත් කර කාමරයට එබුන මව කී දෑ අසා ඔහුගේ කල්පනාව බිදී වැටිණි.. ඊයෙ ප්‍රශ්ණය මග හැර උන්නද අද නම් ඇයට පිළිතුරු බැදීමට සිදු වේ යැයි චේතියගේ සිත කීවේය..

“චූටි ඉස්කෝලෙ ගියාද අම්මා..?”

ඔහු මවගේ සිත වෙනතකට යොමු කිරීමේ අටියෙන් ප්‍රශ්නයක් නැගුවේය..

“රෑ ඩිංගක් උණ වගේ තිබුණා.. ඒ උනාට මං ඉස්කෝලෙ ගිහින් දැම්මා.. ගෙදර හිටියනං කෙල්ල තවත් ලෙඩ වෙනවා..”

සරම බුරුල් කර යළි හැදගත් චේතිය ඇදේ ඉදගත්තේ මව සමග දිගු කතාවකට අර අදිමිනි..

“ඊයෙ රංගලගෙ අහ ගිය නිසා ටිකක් රෑ උනා අම්මා.. අම්මලා වලව්වෙ පාටියට ගියාද..?”

සූදානම් ශරීරය කොයි දේටත් හොදයැයි හැගුණ චේතිය මව කිසිවක් විමසීමට පෙර කියා දැම්මේය.. නමුත් තම පුතුගේ කතාව සියට සියක් විශ්වාස නොකළ ගුණවතී ඔහුව පිරික්සන ආකාරයේ බැල්මක් හෙලීය.. පෙරදා වලව්වේ උත්සවයට පැමිණ උන් කණ්නාඩි දැමූ උස තරුණයා චේතියදැයි යන සැකය ඇගේ සිතින් තවමත් තුරන් වූයේ නැත.. ඔහුට තිබූ රැලි කොණ්ඩය වැනිම බොරු කොණ්ඩයක් චේතිය ළග තිබෙනවා ඈ දැක තිබිණි.. එහෙයි ඇගේ සැකය තවත් වැඩි විය..

“මොනවද අම්මෙ ඔය තරම් කල්පනා කරන්නෙ..?”

චේතිය විමසුවේ තමාගේ පැණයට ඇගෙන් පිළිතුරක් නොලද හෙයිනි..

“මුකුත් නෑ..”

“අම්මා මගෙන් මොනවද හංගනවා..”

ඔහු කීවේ මව තම නැගණිය ගැන යමක් සිතනවා කියාය..

“ඉතිං පුතත් මට කරුණු කාරණා වහං කරනවනෙ..”

ඇගේ කතාවට ඔහු තිගැස්සී ගියේ මවගෙන් එවැනි කතාවක් ඔහු අපේක්ෂා නොකල නිසාවෙනි..

“මං අම්මට මොනව හංගන්නද අම්මෙ.. අම්මගෙ මනස්ගාත..”

“හංගන්නෙ මොනවද කියලා මගේ පුතා දන්නවා ඇතිනේ.. උඹට මේ අම්මව විශ්වාස නැත්තං කාරි නෑ පුතේ..”

ඈ චීත්තයේ කොණකින් තම දෑස් පිසදා ගත්තාය.. ඒ දුටු චේතිය ඇදෙන්බැස මව ළගට පැමිණ ඒ උරහිස් වල දෑත් රැදෙව්වේය..

“මං කවදාවත් අම්මව රවට්ටන්න හිතුවෙ නෑ අම්මෙ.. මං මේ හැමදේම කරන්නෙ මේ නරා වලෙන් ගොඩ එන්න..”

තමා මේ හැමදේම ලෙස හැදින්වූයේ මොනවාදැයි චේතිය මවට කීවේ නැතුවා සේම ගුණවතී තම පුතුගෙන් ඒ පිළිබදව ඇසුවේද නැත.. නමුත් මවට සියළු දේ කිව යුතුය යන සිතුවිල්ල මේ වන විට ඔහුට පහළ වී තිබිණි..

“මං මූණ කට හොදං එන්නකො..”

මවට කිව යුත්තේ මොනවාද දැන්ම නොකිව යුත්තේ මොනවාදැයි පෙළ ගැසිය යුතු නිසා චේතිය මොහොතකට ප්‍රශ්නය මග හැරියේය.. එහෙත් නැගණිය නිවසට පැමිණීමට පෙර මේ පිළිබදව සාකච්ඡා කල යුතු යැයි ඔහු තීරණය කර උන්නේය..

චේතිය වත්ත පහළ ළිදට ගියේ නතාලි දුන් ජංගම දුරකථනය සගවා ගෙනය.. පෙරදා රංග සමග ගොස් සිම් කාඩ් පතක් මිලදී ගත් නිසා ඔහුට මේ වන විට ඇමතුම් ගැනීමේ හැකියාව තිබිණි.. ඔහු සිය අංකයෙන් පළමු ඇමතුම ලබාගත්තේද නතාලිටමය..

“හෙලෝ.. නතාලි අක්කෙ.. මම චේතිය..”

“මල්ලි.. ඔයා සිම් එකක් ගත්තද..? ඉතිං..”

ඇගේ හඩ පුදුමයෙන් හා සතුටින් පිරී තිබිණි..

“ඔයාට අද ලෙක්චර්ස් තියෙනවද අක්කෙ..? මට ඔයාව මීට් වෙන්න ඕනෙ..”

“මට ලෙක්චර්ස් තියෙන්නෙ නං හවස.. උදේ වරුවෙ නං ෆ්‍රී.. මං කොහෙටද එන්න ඕන..”

නතාලිගේ පිළිතුරෙන් චේතියට දැණුනේ සතුටකි..

“එන්න ඕනෙ අපේ ගෙදරට..”

“ගෙදරට..? ඇයි පුංචි නැද්ද..?”

“ඉන්නවා අක්කෙ.. එයා එක්ක තමා කතාව තියෙන්නෙ.. සාක්කියට ඔයත් ඕනෙ..”

ඔහු තරමක් බැරෑරුම්ව කියා දැම්මේය.. ඊයේ වලව්වේ උත්සවයේදී මොනවා හෝ සිදුවන්නට ඇතැයි නතාලිට ඉවෙන් මෙන් දැණුනි..

“මං හොස්ටල් එකේ ඉන්නෙ මල්ලි.. ඔයාලගෙ දිහා එන්නනං ටිකක් පරක්කු වෙයි..”

“ඒකට කමක් නෑ.. ඔයා ටවුන් එක කිට්ටුවට එද්දි මට රින්ග් එකක් දෙන්න.. මං පාරට එන්නම්..”

වැඩි විස්තර පසුවට කල් තබා චේතිය කීවේය.. ඔහු ඇගපත සෝදා ඇදුමක් දා ගත්තේ හන්දියටත් යා යුතු වූ හන්දාය. රංග හා කලන පාසල් ගොස් තමන්ව සිහි කරනවා ඇතැයි චේතියට විටින් විට සිහිපත් විණි.. පාසල් යාමට නොහැකි වුවද දුරකථන ඇමතුමක් දී හෝ ඔවුන් සමග කතා බහ කිරීමට තරම් අවශ්‍යතාවයක් චේතියට දැනිණ.. නමුත් පාසල අවසන් වන වේලාව වන තුරු එයටද ඉවසා සිටිය යුතුය..

“අම්මා උයන්න මොනවත් තියෙනවද..?”

ඔහු මවගෙන් ඇසුවේ දහවල් කෑමට නතාලිද සිටින හන්දාය..

“කීරමින් වගයක් තිබුණා.. ඒක තෙල් දාලා පරිප්පුවකුයි මැල්ලුමකුයි හදලා ගන්නම්..”

ඈ සුපුරුදු ආහාර වට්ටෝරුව නම් කලේ කරවල පරිප්පු හැර කිසිවක් කුස්සිය අහලක නොවූ නිසාය.. එවන් ගැමි ආහාර වේලකට නතාලි වුව කැමති බව දන්නා හෙයින් චේතිය කිසිවක් කීවේ නැත..

“මං ටිකක් පාරට ගිහින් එන්නම් අම්මා..” 

පැයකට පමණ පසු නතාලිගෙන් ඇමතුමක් ලැබුණ බැවින් චේතිය හනිකට  පාරට බැස්සේය.. නිවසට පැමිණීමට පෙර නතාලිට ඊයේ සිදු වූ සිදුවීම සවිස්තරව පැවසීමට ඔහුට අවැසි වී තිබිණි..

“පුංචි ඊට පස්සෙ ඊයෙ සිද්ධීය ගැන කතා කළේම නැද්ද..?”

හන්දියේ සිට පයින් එන අතර තුර චේතියගේ කතාවට සවන් දුන් නතාලි විමසුවාය..

“අම්මා මුකුත්ම නොකියා මට අහන්නත් බෑනෙ අක්කෙ.. මං එතන හිටියා කියලා එයාට කිව්වෙ නැති නිසා මම දන්නෙ කොහොමද බලයි..”

“ඔයා එහෙ ගිය බව පුංචිට කියන්න මල්ලි.. අනික ඔයාට හැමදාමත් ඔය විදියට හොරෙන් යන්න බෑනෙ.. පුංචි ඕක ඉක්මනටම දැනගනී..”

“මං අද ඒ ගැන කියනවා අක්කෙ.. අම්මගෙන් චූටිගෙ විස්තරේ අහගන්න ඕන ඊට පස්සෙ..”

ඔවුන් දෙදෙනා කතාවෙන් කතාව නිවස අද්දරටම පැමිණියහ.. චේතිය සමග මිදුලට පා නගනා නතාලි දුටු ගුණවතී ඉදිරියට දිව ආවේ පුදුමයෙනි..

“දූ.. කොහේදිද ඔයාට මල්ලිව මුණ ගැහුනෙ..?”

චේතියට ඇය මුණ ගැසුණේ අහම්බෙන් යැයි සිතූ ගුණවතී ප්‍රශ්න කළාය..

“ටවුන් එකේදි පුංචි.. ඉතිං.. චූටි ඉස්කෝලෙ ගිහින්ද..?”

ඈ දෙපැත්තටම සරිලන පිළීතුරක් දුන්නේ චේතිය තවම ජංගම දුරකථනය ගැන කියා නොතිබූ බැවිනි..

“කෙල්ලට ටිකක් උණ වගේ තිබුණා.. ඒත් ඉස්කෝලෙ නොයවා බැහැනෙ..”

වටෙන් ගොඩින් විමසීමට පෙර ගුණවතී විසින්ම මාතෘකාවට පිවිසීම පිළීබද නතාලිට දැනුණේ සතුටකි.. ඈ ඉදිරිපස පුටුවකින් අසුන් ගෙන ගුණවතීවද ඒ අසලින් හිදුවා ගත්තාය..

“චූටිට ආපහු ඒ අසනීපෙ හැදුනද..? ඇයි පුංචි.. අද මොනව හරි උනාද..?”

ඈ අද යන්න බර කර විමසුවේ ඊයෙ යන්න කිව නොහැකි නිසාය..

“අද නං මුකුත් උනේ නෑ.. ඉන්නකො.. තාම ආපු ගමන් නොවැ.. මං තේ කහට එකක් හදාන එන්නං..”

ඈ නතාලිගේ හිස අතගාමින් නැගිට මුළුතැන් ගේ දෙසට ගමන් ගත්තාය..

“පුංචි කියන එකක් නැති වෙයිද..?”

නතාලි චේතියගෙන් විමසුවේ ගොළු බසිනි..

“ට්‍රයි එකක් දීලා බලන්න.. බැරිම උනොත් මං කතාව පටන් ගන්නං..”

ඔහුද පහත් හඩින් පිළිතුරු බැන්දේය..

“මං අද හදිසියෙම ආපු එක පුංචිට සැක ඇති..”

“බලමුකො..”

ඉන් පසු ඔවුන් දෙදෙනා මොහොතක් යනතුරු විශ්ව විද්‍යාලය ගැන කතාබහක නියැලුනි.. ගුණවතී තේ පිළිගැන්වීමෙන් අනතුරුවද කිසිව් නොකියන බව හැගුණ නිසා චේතිය සිය කටහඩ අවදි කළේය..

“මං.. මං මේ අම්මට කියන්න හිටියෙ..”

චේතිය ඔවැනි කතාවකට එළඹෙන බව ඉවෙන් මෙන් දැන උන් ගුණවතී කුස්සියට යාමට ගොස් යළි හැරුණාය..

“අම්මා මෙතනින් ඉදගන්නකො..”

ඈ ඔහුට අවනත වූයේ අකමැත්තෙනි..

“මං ඊයෙ ගල් කන්ද වලව්වට ගියා..”

ඒ ඇසි මව පුදුම වෙතැයි සිතා උන්නද ගුණවතී අමුතුම ආකාරයේ සිනාවක් පෑවාය..

“ඊයෙ උඹ එතන හිටියා කියලා මං දන්නවා.. නිකං නෙමෙයි.. බොරු කොණ්ඩෙකුත් දාගෙන..”

ගුණවතීගේ කතාවට නතාලි ගල් ගැසුනාය.. නමුත් ඊයේ වූ සිදුවීම යළි සිහිපත් කරද්දී චේතිය එතරම් පුදුම නොවුනි.. ඇතුගල මහතා සම්මානිව හදුන්වා දුන් වේලේ තම මවද එතනට පැමිණි බව කලන කීවා ඔහුට මතකය..

“මං එහෙම ගියේ වලව්වෙ අය මාව අදුරගනී කියලා සැක හිතුන නිසා..”

“ඔයා කොහොමද මල්ලි ඒ පාටියට ගියේ..?”

නතාලි කිසිත් නොදන්නා විලස විමසුවේ චේතියට කරුණු පැහැදිලි කිරීමට පහසු වන්නටය..

“හාමු මහත්තයා අපේ බාල දක්ෂ ටීම් එකට ඉන්විටේෂන් එවලා තිබුණා.. ඒකයි අපි තුන්දෙනා එහෙ ගියේ..”

“උඹ වලව්වට කැමති නැති එකා වෙච්චි.. ඉතිං උඹ අහවල් එහෙකටද එහේ රිංගුවෙ..? අනික මටත් නොකියා..”

මව කිසි දිනෙක තමාට මෙසේ තදින් කතා කරනු චේතිය අසා නැත.. එනිසා ඔහු පුදුම වී බැලීය..

“වලව්වට ළගම ඉන්න කෙනා මං නිසා මහින්ද සර් මටත් යන්න කිව්වෙ.. කොහොමටත් ඒක මහ ගුප්ත තැනක්..”

ඒ බොරුව කීවේ ගුණවතීගෙ මුහුණ මගහරිමිණි..

“ඒවයින් කාරි නෑ.. උඹ ආපහු ඒ පැත්තෙ යන්න ඕනෙ නෑ..”

“අම්මා ඒකට හේතුව කියනවානං මං නොගිහින් ඉන්නං..”

“උඹ බොරුවක් කලා කියලා දැන ගත්තොත් හාමු මහත්තයා උඹට නපුරක් කරයි මගෙ පුතේ..”

ඈ කීවේ පිණ්සෙන්ඩු වෙමිනි.. එයට චේතියගේ තරහව ඉහ වහා ගියේය..

“එහෙනං ඉතිං මේ එයාට ගිය රටනේ..”

චේතිය කීවේ තරමක උස් හඩිනි.. ඒ දුටු නතාලි ඔහුට සන්සුන් වන ලෙස අතින් සන් කළාය..

“අපිට කලු ගල් වල ඔළුව ගහ ගන්න බෑ පුතේ.. ඒ ඇත්තො කවුද..? අපි කවුද..?” 

මව වලව්වේ උදවියට මෙතරම් බය ඇයිදැයි චේතියට වැටහුණේ නැත.. ඔහු වලව්වටම ගොස් යටගියාව අගිස්සන්නට තීරණය කළේ එහෙයිනි..

“හරි.. අපි දැනට ඒ කතාව පැත්තක තියමුකො.. අපේ චූටිගෙයි වලව්වෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද..?”

චේතියගේ පැනයට ගුණවතීගේ මුහුණ යකෙක් දුටු කලක මෙන් සුදුමැලි වී ගියේය.. ඇයට වචන පවා අමතක විණි..

“පුංචි ඇත්ත කියන්න.. මටත් ඒ ගැන දැන ගන්න ආසයි.. ඇයි පුංචි චූටිව වලව්වට ගෙනියන්නෙ නැතුව හංගලා වගේ තියන් ඉන්නෙ..?”

චේතියට පිළීතුරක් නොදුන්නද ඈ තමාට යමක් කියතැයි යන විශ්වාසය නතාලි තුළ තිබිණි..

“කෙල්ල පුංචි කාලෙ ඉදලම අනිත් ළමයින්ට වඩා හරි වෙනස් පුතේ.. එයාගෙ කතාබහ.. ඇවිදීම උනත් හරි ඉක්මන්.. අනික.. කෙල්ල කතා කරන්න ගත්ත දවස් වල ඉදලම වැඩිපුර කිව්වෙ වලව්ව ගැන..”

තවත් මේවා වසාලිය නොහැකි බව වැටහුණ ගුණවතී නතාලි හා චේතිය ඉදිරිපිට මෙය පැවසීමට තීරණය කළාය..

“මං එයාව පුංචි සන්ධියෙ උනත් වලව්වට ගෙනිච්චෙ ඉදලා හිටලා.. ඒ ගියපු දවසක තමයි මෙහා හාමු මහත්තයගෙ මූණට කෙල ගහපු සිද්ධිය උනේ.. එදා මං හොදම බය උනා.. කෙල්ල වලව්ව ගැන දොඩෝන එකට වඩා මං බය උනේ හාමු මහත්තයා මේ පොඩි එකීගෙන් පළි ගනී කියලා.. ඒත් එහෙම උනේ නෑ.. කොයිකටත් කියලා මං එදයින් පස්සෙ කෙල්ලව වලව්ව පැත්තටවත් අරන් ගියේ නෑ.. මං ඒකීව ඇලිසගෙ අහට හුරු කලා..”

ඈ මොහොතක් කතාව අතරමැද නවතා කල්පනා කළාය.. ඒ අතර නතාලි, හාමු මහතාගේ මුහුණට චූටි කෙල ගැසූ සිද්ධිය චේතියගෙන් අසා දැන ගතී..

“වලව්වට යන එක අඩු කලාට පස්සෙ කෙල්ල වලව්ව ගැන කියවන එක තරමක් අඩු කලා.. ඒත් ඉදලා හිටලා එයා මහා පුදුම දේවල් කියනවා.. ඊට පස්සෙ හිතලා හිතලා උණ හැදෙනවා..”

“මොනවද පුංචි පුදුම දේවල් කිව්වෙ..?”

“කෙල්ල කියවන්නෙම ළමාතැනීගෙ විස්තර.. දවසක් එයාගෙ උපන් දිනේට ලේස් ගවුමක් මහලා දෙන්න කිව්වා.. මට බය හිතුනා පුතේ..”

ඈ කීවේ චේතිය දෙස බලා ගෙනය.. ඔහු පුදුම වී උන්නේ තමා නිවසේ උන්නද මෙතරම් දෑ නොදැන උන් නිසාය..

“ඇයි ඒ..?”

ඒ පැනය නතාලිගෙනි..

“ළමාතැනි හැමදාම වගේ ඇන්දෙ ලේස් ගවුම්..”

නතාලි ගැඹුරු කල්පනාවකට පිවිසියේ මෙය දිගින් දිගටම පැටලිලි සහගත වන බැවිනි..

“අනික ඒ ඇත්ති කොණ්ඩෙ බැන්දෙ පාට පාට රිබන් පටි වලින්.. අපේ කෙල්ලත් එළියට බැස්සොත් රිබන් පටි ඉල්ලලා බේරුමක් නෑ..”

නැගණිය සතුව පාට පාට රිබන් පටි එකතුවක් ඇති බව චේතියටද සිහිපත් විණි..

“අම්මා අශේන්ගෙ බර්ත්ඩේ එක ගැන චූටිට කිව්වද..? නැත්තං චූටි ඉන්න තැන ඇලිසා නැන්දා එක්කවත් කතා උනාද..?”

චූටි අශේන්ගේ උපන්දිනය ගැන තමා සමග පැවසූ අයුරු සිහිපත් වූ චේතිය මවගෙන් විමසුවාය..

“නෑ පුතේ.. මං කටේ කෙල බිදක් හෙලුවෙ නෑ.. මං ඇලිසටත් කියලා තියෙන්නෙ අපේ කෙල්ල ඉන්න තැන වලව්ව ගැන කතා වෙන්න එපා කියලා..”

“එතකොට එයා කොහොමද ඒක දැනගත්තෙ..?”

“මට තියෙන පුදුමෙ ඒක තමයි.. මේ ළමයා ඊයෙ තනි පංගලමෙ වලව්වට ඇවිත් තියෙන්නෙ ඇලිසටත් හොරෙන්නෙ..”

“එතකොට ඇලිසා නැන්දා දැකලා නැද්ද චූටි එනවා..?”

“නෑ.. මං එද්දිත් එයාලා අපේ ගේ දිහාවෙ චූටිව හොයනවා..”

මව දිනපතා මේ සුවිසල් වත්ත හරහා ගල් කන්ද වලව්වට ගියද මතක ඇති කලකින් එහි නොගිය තම සිගිති නැගණිය අදුර වැටෙනා වෙලේ තනිව වලව්වට යාම සිතා ගත නොහැකි තරම්ය..

“චූටි ඊයෙ අශේන්ගෙ මූණ ඉම්ඹ වෙලේ අම්මට මොකද හිතුණෙ..?”

ඔහු විමසුවේ අඩ සිනහවක් මුව රදවාගෙනය.. තමා දැන් සිනාසුනද ඒ මොහොතේ තමා කොතරම් කැළඹී උන්නේදැයි චේතියට යළි සිහිපත් විනි..

“මට උන් හිටි තැන් අමතක උනා දරුවො.. ඒකයි මං හේතුහාමිට කියලා විගහින් දරුවා ගෙන්න ගත්තෙ..”

“චූටි නංගි මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් කියලද පුංචි හිතන්නෙ..?”

ගුණවතීගේ මතය කුමක්දැයි විමසුවද නතාලිනම් මේ වන විට යම් නිගමනයකට එළඹී උන්නාය..

“අපේ කෙල්ලට ළමා තැනීගේ දිෂ්ටිය වැටෙනවද කොහෙද..? ඒකනේ විටින් විට ඔහොම ලෙඩ වෙන්නෙ..”

ඇගේ මානසික මට්ටම අනුව එය සිතා බැලිය හැකි මට්ටමේ තිබුණි.. නමුත් එයට පරස්පර කරුණු රාශියක්ද නතාලිට සිහිපත් විය..

“හරි.. අම්මා කියන දේ ඇත්ත කියලා අපි හිතමුකො.. එතකොට අපේ චූටි කොහොමද ළමා තැනීගෙ හැඩරුව ගත්තෙ..? එයාගෙ මූණ.. කොණ්ඩෙ.. පාට.. මේ හැමදේම ළමා තැනීගෙ වගේනෙ..”

තමාට වටහාගත නොහැකි වූයෙත් එයම නොවේදැයි ගුණවතී සිහපත් කළාය..

“ඒත් පුංචි.. චූටි නංගිට තියෙන්නෙ දිෂ්ටියක්.. ආවේශයක් වගේ දෙයක් නමං ඒකට මුහුණුවර සම්බන්ධ වෙන්න විදියක් නෑ.. අනික මං අහලා තියෙන විදියට මැරුණ කෙනෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වැහුණම එයා කතා කරන්නෙ අර මැරුණ කෙනාගෙ කටහඩින්..”

“අපේ කෙල්ලගෙ එහෙම වෙනසක් නෑ පුතේ..”

“ඒක තමයි මං කියන්නෙ.. මේක දිෂ්ටියක් නෙමෙයි..”

නතාලි පැවසුවේ සියට සියක්ම නැත්ත සියට අනූවක තරමේ විශ්වාසයකිනි..

“අපේ චූටි කලින් ආත්මෙක අශේනගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.. නැත්තං එයාගෙ උපන් දිනේ මතක තියාගනෙ ඉදලා එදාටම ගිහින් මූණ ඉඹීයෑ..”

චේතිය එය කීවේ හිතා මතා නොවේ.. එය ඔහුගේ මුවින් ඉබේටම පිටවුණි.. නමුත් ඒ ඇසුණු නතාලිගෙ ඇස් දීප්තිමත් විය..

“අන්න මල්ලි ඔයා පොයින්ට් එකට ආවා..”

ඈ කීවේ සිය දකුණතේ ඇගිලි තුනක් එකිනෙක තෙරපා ශබ්දයක් පිට කරමිනි..

“ඒ කිව්වෙ..?”

“මට හිතෙන හැටියට මේක පෙර බවය පිළිබද සිද්ධීයක්..”

“මට තේරෙන්නෙ නෑ දරුවො..”

ගුණවතී සැබැවින්ම පටලැවී උන්නාය..

“මේකයි පුංචි.. මමත් පහුගිය ටිකේ මේ සිද්ධිය ගැන ස්ටඩි කලා.. මට දැනෙන විදියට ළමාතැනීගෙ යළි ඉපදීම තමයි අපේ චූටි නංගි.. ඒ කියන්නෙ පුනරුත්පත්තිය..”

“නියමයි නතාලි අක්කෙ.. මටත් ඕකම හිතුනා..”

චේතිය කීවේ පෙරේදා පාන්දර එක දෙක පමණ වන තුරු කල්පනා කර ගොඩ නගාගත් අනුමානයක් පිළිබදවය..

“සයිකොලොජි වලට උගන්වන තවත් එක් පැත්තක් තමයි ඔය පුනර්භාවය කියන්නෙ.. මං අපේ සයිකො කරන යාළුවෙක්ගෙන් ඔය පොත් වගයක් ඉල්ලගෙන කියවලා බැලුවා.. ඒවා මාර ඉස්ටරස්ටින්..”

චේතිය දෙසට නෙත් යොමා නතාලි කීවේ බොහෝ උනන්දුවෙනි..

“ඕවා බොරු මනස්ගාත දරුවො.. ඒ වගේ රජ මැදුරක උනන් ඒ ඇත්ති මේ වගේ දුප්පත් පැලකට එන්නෙ අහවල් එහෙකටද..?”

සිය ඥාති දියණියගේ කතාව ගුණවතී බැහැර කළේ එසේ කියමිනි..

“පුනරුත්පත්තියට ඕවා අදාල නෑ පුංචි.. රජ මැදුරු වල අය මැරිලා පැල්පත් වල ඉපදෙනවා.. පැල්පත් වල අය මැරිලා රජ මැදුරු වලත් ඉපදෙනවා.. ඒකෙදි ඔය මිල මුදල් සැප සම්පත් කියන දේවල් වටින්නෙ නෑ.. කර්ම ශක්තිය වගේම කලින් ආත්ම වල තිබුණ බැදීම් නිසයි එහෙම වෙන්නෙ..”

නතාලිගෙ පැහැදිලි කිරීම චේතියට වැටහුණද එය ගුණවතීට නම් එතරම් වැටහුණේ නැත..

“කර්ම ශක්තිය ගැන කිව්වට ළමාතැනී පැලක ඉපදෙන්න තරම් පව් කරපු කෙනෙක් නෙමෙයි.. ඒ කාලෙ ඒ ඇත්ති කළේම දාන මාන දීපු එක..”

“ඒක තමයි මං කිව්වෙ.. මෙතනදි අපට ගන්න පුළුවන් පෙර භවයේ බැදීම කියන දේ.. ළමාතැනී මැරෙන මොහොතෙ එයාගෙ හිත තිබුණෙ ඔයාලා ළග.. ඉතිං මේ ගෙදර දරුවෙක් වෙලා ප්‍රතිසන්ධිය ලබන්නත් ඒ හැගීම බලපෑවා වෙන්න පුළුවන්..”

“අනේ මන් දන්නෑ ඕවා.. හිටිං පුතේ බත් ඩිංගක් කාලා යන්න..”

ගුණවතී කතාව මග හැරියේ ප්‍රතිසන්ධිය හෝ පුනර්භාවය යන කරුණු කාරනා ගැන දැනීමක් නොතිබූ හන්දාය..

“පුංචිට මේවා විකාර වගේ තේරෙනවා ඇති මල්ලි.. ඒත් මං මේවා කියන්නෙ ලොකු විශ්වාසෙකින්.. මට හිතෙන විදියට වෙලා තියෙන්නෙ ඒක.. ඔයා කොහොමවත් තව ටිකක් හොයලා බලන්න.. පුළුවන් තරම් චූටිව නිරීක්ෂණය කරන්න.. අපිට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙයි..”

“මට තේරෙනවා අක්කෙ.. මමත් ඉස්කෝලෙ පුස්තකාලෙන් සෑහෙන මනෝ විද්‍යාව.. පුනර්භවය.. ගැන පොත් කියවලා තියෙනවා.. එහෙම ඉපදෙන අය සමහර වෙලාවල් වලට පෙර භවයෙ එක්කෙනාගෙ රූප කාය ගන්නවා කියලා ඒවයෙ තිබුණා මටත් මතකයි..”

“මං කිව්වට විශ්වාස කරන්න එපා මල්ලි.. අපි තව ටිකක් මේ ගැන හොයමු..”

කතාව තාවකාලිකව නතර කල ඔවුහු දිහා ආහාරය භුක්ති වින්දහ.. කටට රසට යමක් සෑදීමට නොහැකි වීම පිළීබදව ගුණවතී පසු තැවුණද එම ආහාර වේල නතාලිට නම් ඉහටත් උඩින් සෑහුණි.. 




No comments:

Post a Comment