Monday, April 2, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |


සුපුරුදු කිරි එක තාම ආවෙ නැති හින්දා මං ඇද උඩට වෙලා හිටියා. තාම කාමරේ එක ජනේලයක්වත් ඇරලා නෑ.. මං හෙමින් සීරුවෙ ඇද ළගම තිබ්බ ජනේලේ පියන ඇරලා දැම්මා.. ඒ ජනේලෙන් පල්ලෙහා පාරේ හැම දෙයක්ම අපූරුවට පේනවා.. කොහොමටත් කම්මැලි හිතුණ හුගාක් වෙලාවට මං කරන්නෙ උඩ තට්ටුවෙ ඉදන් පල්ලෙහා පාරේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්න එක..


මූණවත් හෝදන්නෙ නැතුව නිකමට වගේ පාර දිහා බලන් ඉදපු මං දැක්කෙ හිත පිනා යන දර්ශනයක්.. කොටම කොට ටයිට් ස්කර්ට් එකකුයි, ලා දම් පාට චූටි ස්කිනියකුයි ඇදගෙන තාලෙට පද්ද පද්දා මොරීන් අකිකා ඈත එනවා.. මොරීන් අක්කගෙ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට ගෙවල් හය හතක් එහායින්.. වැඩිම උනොත් එයාට අවුරුදු හතලිහක් විතර ඇති.. ඒත් එයා හිතන් හිටියෙ තාම අවුරුදු විසි හතේ ඇබිත්තන් කෙල්ලෙක් කියලා.. ඒකනේ ඇදුම් උනත් ඔය විදියට අදින්නේ.. මුළු ඇගෙන් බාගයක් එළියෙ.. බලන් ඉන්න අප්පිරියයි..

පහුගිය අවුරුදු හය පුරාම මොරින් අක්කා මාර ට්‍රයි එකක් දුන්නා.. වෙන මොකකටවත් නෙමෙයි.. මැරි කරන්න.. ඒත් වැඩක් උනේ නෑ දෙයියනේ.. එයාව බලන්න ආපු එකෙක්වත් එයාට කැමති උනේ නෑ.. ඇයි හත්තිලව්වේ.. තොරොම්බල් කරත්තයක් කරේ තියන් ඉන්න මොන මනුස්සයද කැමති.. හැබැයි ඉතිං ඩිංගක් ඇත්තන් එකසිය ගානට චාර්ජ් වෙන එක්සයිට් බැටරියක්.. මොනවා උනත් ගෑනි මගෙත් එක්ක නම් ෂේප්..

කාමරේ ජනේලෙහ එහායින් තිබ්බෙ බැල්කනි එක.. කටින් හෙමින් සූ සද්දයක් දාන ගමන් මං බැල්කනියට ගියා.. මං දන්නවා දැන් එයා සිරාම විදියට හැරෙනවා කියලා.. මගේ සද්දෙත් එක්කම මොරින් අක්කගෙ ලාලිත ගමන නැවතුණා.. ඊට පස්සෙ ටෙනිස් බෝලෙට නිල්වෙන්න බැට් පාරක් දීලා 'මාරියා ෂැරපෝවා' හැරෙන්නේ, අන්න ඒ විදියට කට පාඩම් කරලද කොහෙද මොරින් අක්කා ෂෝ එහෙක වගේ ස්ලෝමෝෂන් හැරිලා මං ඉදපු උඩ තට්ටුව දිහා බැලුවා..

"ගු..ඩ්.. මෝනිං.. මොරින් අක්කේ.."

මගේ ගුඩ් මෝනිං එකට මෙලෝ උත්තරයක් ආවෙ නෑ.. බලන් ඉද්දිම ගෑණිගෙ මූණ සවුත්තු වුණා.. ෂිහ්.. මං මුකුත් වැරදි වචනයක්වත් කිව්වද මංදා.. සමහර විට අක්කා කියලා කිව්ව හන්දා වෙන්නැති.. ඇයි හත්තිලව්වේ.. අක්කා නොකියා නංගි කියන්නයෑ.. පුත්තලම් බූරුවො හතර පස් දෙනෙක්ගෙ වයස ගෑනියෙකුට..

"ගුඩ් මෝනිං.."

ඒ ගුඩ් මෝනිං එක මොරින් අක්කගෙන් හම්බ වුණේ එපා වාහෙට හොදි බෙදන්න වගේ.. ඉදපංකෝ.. මනුස්සකටම ගුඩ් මෝනිං කිව්වහම තියෙන පුස් පාට් එක.. මේකිගෙ ගනං බලපංකෝ..

තත්පරයක් ඉන්න කියලා මොරින් අක්කට අතින් කියන ගමන් මං දඩබඩ ගාලා කාමරේට රිංගලා හාෆ්ෂිට් කොලයක් අතට ගත්තා.. මොරින් අක්කගෙ හදවත ගැලවිලා බිමට වැටෙන සයිස් එකට මොනවා හරි ලියලා බලමුකෝ.. මං වැඩේ පටන් ගත්තා..

"මොරින්.. අයි ලව් යූ..! අයි ලව් යූ සෝ මච්..! අයි කාන්ට් ලයිව් විතවුට් යූ..! යු ආ මයි ඩ්‍රීම් ගල්ර් බේබි..!"

තත්පරේට දෙකට කැපිටල් අකුරුවලින් ලියලා ඉවරවෙලා, මං ඒ කොලෙන් කඩදසි ප්ලේන් එකක් හැදුවා.. ඒකත් අරන් බැල්කනියට යද්දි මෙන්න මොරින් අක්කා තාමත් උඩ බලාගෙන.. පව් අප්පා.. එයාගෙ චූටි බෙල්ල රිදෙනවත් ඇති..

"මේක අපේ අයියා ඔයාට දෙන්න කිව්වා.."

වැඩිය සද්ද බද්ද නැතිවෙන්න තොල් වලින් විතරක් කියන ගමන් මං ප්ලේන් එක පෙන්නුවා.. ඔන්න ගෑනිගෙ මූණෙ දැන් හිනා කෝච්චියයි.. ඕන බෝම්බයක් අත් දෙක උඩට වැටුණත් කමක් නෑ කියලා වගේ ගෑනි බැල්කනිය දිහා බලන් හිටියා. එකායි.. දෙකායි, තුනායි.. 'පියඹා.. යනවා මා ආකාශයේ.. අවසානයි ප්‍රේමාදරේ..' කියලා මං ප්ලේන් එක බැල්කනියෙන් පහළට යැව්වා.. වත්ත පහලට වැටුණොත් සොරිම තමයි.. ජීවන කුසුම තියෙන්නෙ තාප්පෙන් එහා පැත්තේ.. පලයං පුතා..

ප්ලේන් එකටත් මොනව හිතිලද මන්දා.. මොරින් අක්කගේ කකුල් දෙක ළගටම පාවෙලා ඇවිත් වැටුණා.. හොර පූසියෙක් වගේ වටපිට බලලා කැත නැතුව කරවල කෑල්ලකට වැඩේ දෙන වගේ මොරින් අක්කත් සීරු මාරුවට ප්ලේන් එක ඇහිද ගත්තා.. ගෑනි ගෙදර ගිහිල්ල බලලා සනීපෙ ගනියි.. මොන පිස්සුද..? ගෑනි එතනම ඉදන් ප්ලේන් එක දිගෑරියා.. තත්පරයක් ගියේ නෑ.. ගෑනිගෙ මූණෙ ආයෙත් හිනා කෝච්චියයි.. අඩේ අප්පා.. ඔය ලියපු වචන ටිකට ඔච්චර හරියක් කරන්න පුළුවන්ද..? දන්නව නම් තවත් මොනව හරි අට මගලයක් ලියලා යවනවා..

මළ කෙලියයි.. අර මොකක්ද මොරින් අක්කා කරන්න යන්නේ.. මං තව ටිකක් බැල්කනියෙන් පහළට එබුණා.. දෙයියෝ සාලේ.. මං ඉස්තෝප්පුවේ.. ගෑනි හාෆ්ෂීට් කොලේට කිස් එකක් දීලා පපුවට තද කර ගත්තා නේද..?

"ආ.. නේ.. සුදු කොල්ලෝ.. මේක ඔයාගෙ අයියද දෙන්න කිව්වේ..?"

හප්පට සිරි.. ඒ ගමන මං සුදු කොල්ලා වෙලා.. තව ටිකකින් තව මොනවා කියයිද දන්නෑ.. කමක් නෑ.. කමක් නෑ.. මොනව කිව්වත් කමක් නෑ.. මොකෝ මගේ අතින් පයින් යනවද..? මං ටිකක් හයියෙන් කටත් උල් කරලා 'ඔව්' කියලා කිව්වා.. අයියා කාරයා මේ මස් පර්වතේ එක්ක වැඩේ ගොඩින් හරි මඩින් හරි බේරගන්නෙ නැතෑ..

"ඔව්.. ඔව්.. අයියා මේ දවස් වල මාරෙට බිසී.. ඒකයි මගේ අතේ ඕක එව්වේ.. ඕකට රිප්ලයි එක ඉක්මනට ඕන හොදේ.. පව්නේ අයියා.. එයා මග බලාන ඉන්නවා ඇති.. හැබැයි පරක්කු උනොත් සොරිම තමා.."

"ආ..නේ.. ඇත්තද..? ඔයා හරිම ස්විට්.. ඔයා හරිම ෂෝක්.. ඔයාගෙ අයියත් ඔයා වගේම ලස්සනයිනේ.. මං කැමතියි.. මං හොදටම කැමතියි.. ඔයා දන්නවද දන්නෑ ස්විට්.. මං හුග කාලකෙ ඉදලා ඔයාගෙ අයියා ගැන හෝප්ස් තියාගෙන ඉන්නේ.. අනේ ප්ලීස්.. මාත් ඔයාගෙ අයියට ට්රූ ලව් කියන්න.. මං අදම හාෆ්ෂිට් බන්ඩලයක් අරන් යනවා එයාට ලියුම් ලියන්න.."

ගෑනි නන්ස්ටොප් කියවගෙන යනවා.. උදේ පාන්දරම මේක කොඩිවිනයක් උනානේ.. ගෙදර කවුරු හරි කාමරේට ඇවිත් බැල්කනිය දිහා බැලුවොත් කාඩ් කුඩුම තමා.. මේ මල හෝන්තුව යන පාටක් නෑ.. ඕන ඉලව්වක්.. මං කාමරේට ඇවිත් දොරයි, ජනේලෙයි දෙකම වහලා දැම්මා.. දැන් මොරින්ට ගෙදර යන්න බැරි නම් අපේ තාප්පෙ ගාව බුදිය ගත්තාවේ..

"කවුද බන්ටි කතා කරේ..?"

තත්පරේට දෙකට මං හැරුණා.. හත්තිලව්වයි.. අද අයියා ඔෆිස් ගිහිල්ලා නෑ වගේ.. දැන් මෙතන විකාශනය වෙච්චි බුරුම ෆිල්ම් එක මෙයා දැක්කා නම් මට වීසා හදන්න වෙන රටකටයි යන්න වෙන්නේ.. මොනව උනත් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය පාලනේ කරේ නැත්නම් අම්බානෙක කන්න වෙනවා..

"කවුරුත් නෑ.."

"නැතිවෙන්න බෑනේ.. මට හොදටම ඇහුණා ඔයා කාත්තෙක්ක හරි කතා කරනවා.."

"අයියට උදේම වයර් මාරුවෙලා.. මං මේ නැගිට්ටා විතරයි.. බොරු නම් බලන්නකෝ.. තාම බෙඩ්ෂිට් එකවත් නමලා නෑ.. ජනේලෙවත් ඇරලා නෑ.. අඩුගානෙ මං තාම මූණ හෝදලවත් නෑ.."

"මූණ හෝදපු කතාව ඇරෙන්න ඔය අනිත් ඒවා කවදාවත් කෙරෙන දේවල් නෙමේනේ.."

"ඒ කිව්වේ අයියේ..?"

මං බොහොම අහිංසකව, විනීතව ඇහුවා.. නැත්නං බෑනේ..

"ඔය ජනේලෙ ඇරපු දවසක් මං ජීවිතේට දැකලා නෑ.. ඔය බෙට්ෂිට් එක නවලා තියනවවත් මං දැකලා නෑ.. ඕක නිතරම ගුලිවෙලානේ තියෙන්නේ.. මට නම් බන්ටි ඔයා කියන දේවල් පිලිගන්නම බෑ.. මූණෙ තියෙන්නෙ මහා හොර පූස් පාට් එකක්.. මොකාක් හරි මගෝඩි වැඩක් කරලා තියෙන පාටයි.."

ඔය බලපංකො ඉතිං.. යකෝ.. මූව කොටියම කන්න එපැයි.. මනුස්සකමට කතා කරහම, වස්තරෙත් ගලවගෙන යන්න හදනවා.. අයියා හින්දා ඉවසනවා.. වෙන එකෙක් කිව්වා නම් දෙන්නෙ හොම්බෙන් පැණි බේරෙන්න..

"ඔයාට නම් පිස්සු.. මං මේ තාම දවස පටන් ගත්තා විතරයි.. හැබැයි ඔන්න උදේ පාන්දරම මං ඔයාවයි දැක්කේ.. අද දවසෙ මට වෙන හැමදේටම ඔයයි වගකියන්න ඕන.. මතකනේ එක දවසක්.. උදේ පාන්දරම නැගිටිනකොට මං ඔයාව දැක්කේ.. එදානෙ අර කලු දඩෝරියා මාව පන්න පන්නා කෑවේ.. මගේ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගැහුවේ.." 

ඒ පාර නම් අයියගෙ මූණ බෙරිවුණා.. මිනිහා සද්දයක් බද්දයක් නැතුවම මාරු වෙලා ගියා.. කොහොමටත් තව දවස් දෙක තුනකට මිනිහා උදේට මේ පැත්තෙ එන එකක් නෑ..

උඩ තට්ටුවෙ ඉදලා පඩිපෙල බහිද්දිම මං සාලෙ දිහා බැලුවා.. අම්මයි, තාත්තයි, අක්කයි ටී.වී එක දිහා බලාගනෙ බර කතාවක්.. දැන් ඩිංගකට කලින් මං ගාව ඉදල ගියපු අයියත් ඒ කතාවට එකතු වෙලා.. ඒ කියන්නෙ අද කවුරුවත් ගෙදරින් එළියට ගිහිල්ලා නැද්ද..? හත් දෙයියනේ.. මං මොරින් අක්කා එක්ක දැවැන්ත ප්‍රේම සාකච්ඡාවක් දැම්මෙ මේ හැමෝම ගෙදර ඉද්දිද..? හප්පොච්චියේ.. මාව අහු වුණා නම් මෙයාලා ගල් ගහලා මරයි..

"ඔන්න හැමෝටම ගුඩ් මෝනිං කිව්වා.. පස්සෙ කුණු කුණු ගාන්න එපා.. අනේ බන්ටිගෙන් මට උදේට ගුඩ් මෝනිං හම්බ උනේ නෑ, දවසම අප්සට් කියලා.. මං දන්නවා.. මං දන්නවා ඔය හැමෝම බලාගෙන ඉන්නෙ මගේ සිරියාවන්ත මූණ දකිනකල් කියලා.."

පඩිපෙළේ තවත් පඩි දෙක තුනක් ඉතුරු වෙද්දි මං නැවතුනා..

"අ.. පෝ.. වැඩේමයි.. අපූරු.. සිරියාවන්ත මූණු පොඩ්ඩ.. දැක්කොත් කැ..ද..ත් නෑ.."

අක්කගෙ කුණු කට මට ලාවට ඇහුණා.. කමක් නෑ.. කමක් නෑ.. හිතේ සෝකෙට ඔය කියනවා ඇත්තේ..

"දැන් ගුඩ් මෝනිං වෙන්නෙ කොහොමද බන්ටි.. දොළහත් පහුවෙලානේ.."

"මං කැමති නෑ තාත්තෙ වචන දෙකේ මිනිහෙක් වෙන්න.. අපේ අක්කා නම් උදේටයි, දවල්ටයි, රෑටයි ජාති තුනක් කියන්නෙ.. හැබෑට මොනවද දන්නෑ කන්න තියෙන්නේ..? අද විශේෂ යමක් තියෙනවද..?"

"බ..ල..න්න අම්මා.. බන්ටි මූණවත් හෝදන්නෙ නැතුවයි කන්න හදන්නේ.. ඔයා කොයි තරම් කැතද බන්ටි.. ඔයා මැනර්ස් බිංදුවක්වත් දන්නෑ.."

අක්කගෙ මූණෙ අප්පිරියාව දොරෙ ගලනවා.. පව් අප්පා.. ඔය මැනර්ස් කියන ජාතිය කන්නවත් පුළුවන් දෙයක්ද..? 

"ඔය මනුස්සයට දැන් දවල් කෑම කතෑකි.."

මොනවා උනත් තාත්තගෙ කතාව නම් ඇත්ත කියලා මට හිතුණා.. තව කවුරු හරි අදහස් ප්‍රකාශ කරයිද කියලා මං කන් දෙක උස්සගෙන අහගෙන හිටියා.. ම්හු.. කිසි සද්දයක් නෑ.. කිසි ගතියකුත් නෑ.. මං ෂේප් එකේ කෑම කාමරේට එබුණා.. ලොකු ප්ලාස්ටික් වට්ටිය උස්සලා බලපුවාම එතන තිබ්බෙ ඉදි ආප්පයි, චිකනුයි, අල හොදියි, කට්ට සම්බෝලයි.. ඔය තියෙන්නේ කෑම.. දෙන්නම්කෝ ඇග රිදෙන්න.. ඉදි ආප්ප දාලා තිබ්බ භාජනේටම මං චිකනුයි, අලයි, කට්ට සම්බෝලය ටිකකුයි දාගත්තා.. මෙහෙම කනකොටත් මාර ගතියක් තියෙනවා.. ඕක අපේ ගෙදර කට්ටිය දන්නැති එකනේ වැඩේ..

"හප්..පො..ච්..චියේ.. බන්ටි මහත්තයෝ.. මොකක්ද ඔය කරන වැඩේ.. පිගානකට බෙදාගෙන කන්නැතුව... ලොකු නෝනා දැක්කොත් හෙම මටත් එක්ක සෝලි තියයි.."

බේබි නැන්දා ඇස් දෙකත් උලුප්පගෙන කිව්වා.. එයාගේ කටත් බාගෙට ඇරිලා.. නහයත් පැත්තකට ගිහිල්ලා.. බලන් ඉන්න ලස්සනයි..

බේබි නැන්දා කියලා කිව්වේ, මං දන්න කියන කාලෙ ඉදන්ම අපේ ගෙදර වැඩට හිටපු මනුස්සයා.. ගෙදර අයත් එක්ක එයා කොහොම උනත් මගෙත් එක්ක නම් එයා බුදු ෆිට්..

"කට්ටියම අරහෙ ටී.වී බලනවා නැන්දේ.. අනික ඉතිං ඔයා දන්නවනේ මං කනකොට එයාලා පැත්ත පලාතක එන්නෑ කියලා.. එයාලා ඔය මැනර්ස් ද මොනවද දන්න අයනේ.."

"ඒක නම් ඇත්ත තමා.."

"බේබි නැන්දේ.. මං ප්‍රශ්නයක් අහන්නද..?"

කට පුරෝලා චිකන් කෑල්ලක් ඔබා ගන්න ගමන් මං ඇහුවා..

"ඒ මොකක්ද බන්ටි මහත්තයෝ..?"

"පිරිමි අයට අර ඉස්සරහ තියෙන දත් දෙක තියෙන්නෙ ඇයි කියලා බේබි නැන්දා දන්නවද..?"

"ඉස්සරහ කිව්වේ..?"

"ඇයි බේබි නැන්දේ.. කටේ ඉස්සරහම අර පොල්ලෙලි දෙකක් වගේ තියෙන දත් දෙක.. සම්භාව්‍ය විදියට කියනවා නම් කෘන්තක දත් කියලා කියන්නේ.."

"අ..නේ... මං ඕවා දන්නෑ බන්ටි මහත්තයෝ.. දත් තියෙන්නෙ හපලා කන්න.."

"අපොයි.. බේබි නැන්දා විහිලුවකට වත් ඉස්කෝලෙ ගිහිල්ලා නැද්ද..? හා.. හා.. තමක් නෑ.. එහෙනම් කියමුකෝ බලන්න ගෑනුන්ට ඇයි ඔය දත් දෙක තියෙන්නෙ කියලා..?"

"දත් දොස්තරලටවත් ගලවන්නද බන්ටි මහත්තයෝ..?"

මගෙත් එක්ක කතා කරන ගමන් බේබි නැන්දා එක පාරටම කෑම කාමරේ කර්ට්න් එක දිහා බැලුවා.. කර්ට්න් එක යාංතමට පැද්දෙනවා.. ඒ කියන්නෙ කවුරු හරි රට හාවෙක් කර්ට්න් එක ළග ඉන්නවා..

"ෂේහ්.. බලන් ගියාම බේබි නැන්දා මෙලෝ දෙයක් දන්නෑනේ.. අඩු ගානේ ඔයා ගෑනියෙක් හින්දවත් දැනගන්න එපායෑ.. කෘන්තකයො දෙන්නෙක් ඉන්නෙ ඇයි කියලා.."

"හොදා.. හොදා.. මහත්තයම කියන්නකෝ ඔය කරුන්තකයො ද මොකුන්ද දෙන්නෙක් ඉන්නෙ ඇයි කියලා..?"

"ඔයාගෙ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි බේබි නැන්දේ.. අම්මපල්ලා.. මං මේ ඔයාට හින්දයි කියන්නේ.. වෙන කාටවත් නම් කියන්නෑ.."

කර්ට්න් එක තවත් ටිකක් පැද්දෙන්න ගත්තා.. ඒ කියන්නෙ අපේ ගෙදර හත්මුතු පරම්පරාවම එතෙන්ට එකතුවෙලා වගෙයි.. කමක් නෑ.. කමක් නෑ.. ඔහොම හොරෙන් හරි මගෙයි, බේබි නැන්දගෙයි රාජ්‍යය තාන්ත්‍රික කතාබහ අහගෙන ඉදපුවාවේ..

"මං ඒක දන්නවා බේබි මහත්තයෝ.. අනේ ඉතිං අගේ නොකර කියන්නකෝ.. පිරිමි අයට අර කරුන්තක දත් තියෙන්නෙ ඇයි කියලා.."

"උදේ පාන්දර වැඩට යන්න යට කලිසම අදිද්දි, සරම ඉස්සරහ දත් දෙකෙන් අල්ලගන්න.."

බේබි නැන්දට හිචිස් ගාලා හිනාවක් පැන්නා.. කර්ට්න් එනට එහා පැත්තෙ ඉන්න කට්ටියත් අමාරුවෙන් හිනාව හිර කරන් ඉන්නවා කියලා මට තේරුණා.. 

"ම්.. එතකොට ගෑණු අයට..?"

"ආ.. ඒක නම් මේ පිරිමි අය බීල ආපුවාම බඩට යන්න ගහන්නනේ.."

ඒ පාර නම් කර්ට්න් එකට එහා පැත්තෙ ඉදපු ගෙදර කට්ටියටම හිනා ගියා.. බේබි නැන්දත් බිම බලාගනෙ හිනාවෙනවා.. මං පුටුවෙන් නැගිටලා ඉදුල් අත පිටින්ම කර්ට්න් එක පැත්තකට කරලා බැලුවා.. 

අයියා මහා සද්දෙට හිනාවෙවී උඩ තට්ටුවට දුවනවා මං දැක්කා.. අක්කා, අම්මගෙ අතකින් අල්ලගෙන හිනා වෙනවා.. තාත්තා හිනාව අමාරුවෙන් හිර  කරගෙන බලන් ඉන්නවා.. ඒත් වැඩක් නෑ.. එයාට හිනා යනවා..

යකෝ.. මං මෙතන හිනා යන දෙයක් ගැන කිව්වයෑ.. සම්භාව්‍ය දෙයක් ගැන කතා බහ කරා විතරනේ..

"බන්ටි මහත්තයා නම් දවස පටන් ගන්නෙ හිනාවෙන්.. අනේ අප්පේ.. ඔයාට නම් කිරි උතුරන්න ඕන.. ඔයා හින්දා මේ ගෙදර හැමෝම සන්තෝසෙන් ඉන්නවා.."

ඇස් දෙකට උනපු කදුලුත් අත් දෙකෙන්ම පිහිද පිහිද බේබි නැන්දා කෑම කාමරෙන් ගියා.. අන්තිම ඉදි ආප්ප කටත් කාල මං කෑම මේසෙන් නැගිට්ටා.. අද දවසට තව කොයි තරම් වැඩ කන්දරාවක් තියෙනවද අප්පේ කරන්න..




No comments:

Post a Comment