Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






“මචං හිරූ.. ප්ලූටො ඉක්මනට වරෙන් මෙහෙට..”

චමිලයා උදේ පාන්දර කාමරේ ඇතුළෙ ඉදලා බෙරිහන් දෙනවා.. කවුරු හරි උගේ බෙල්ල මිරිකනවද මංදා.. මමයි ප්ලූටොයි අඩියට දෙකට ඌ හිටපු කාමරේට දුවගෙන ගියා..

මිනිහා කලිසමක් විතරක් ඇදගෙන ඒක බඩ හරියෙන් ඉස්සරහට ඇදගෙන ඒකට එබිලා බලන් ඉන්නවා.. ඒ හිටපු විදියටනං උගේ කලිසම ඇතුළට මොකක් හරි රිංගලා.. එහෙමත් නැත්තං බොඩි පාට්ස් මොනවා හරි අඩු වෙලා..


“ඇයි.. ඇයි.. මොකද..?”

ප්ලූටො මටත් කලින් ඌ ලගට ගිහින් කලිසම ඇතුළට එබුනා.. මූටත් ලැජ්ජ නෑනෙ අම්මපා..

“මුකුත් නෑ බං..”

ප්ලූටො එබෙද්දි බඩා පස්සට පැන්නා..

“මුකුත් නෑ.. ඇයි මොනව වෙලාද..? උඹ නාද්දි එහෙම තදට ඇතිල්ලුවද..?”

ප්ලූටොත් අහන්නෙ මාරු කතා.. ඒ කතාව අහලා මට වගේම චමිලටත් හිනා..

“එහෙම දෙයක් නෙමෙයි යකෝ.. මං පෙන්නන්න හැදුවෙ මේක.. බලපංකො කලිසම ලොකු වෙලා තියෙන තරමක්..”

ඌ ආයෙත් කලිසම ඉස්සරහට ඇද්දා.. කිව්වත් වගේම ඒක අගල් තුන හතරක් විතර ලොකුයි.. එහෙනං මිනිහා ජිම් එකට ගිය එකේ ප්‍රතිඵල තියෙනවා..

“මං හිතුව උඹ බෙරිහන් දීපු විදියට කවුරු හරි කෑලි ගලවගෙන ගිහින් කියලා..”

ප්ලූටොට විතරක් නෙමෙයි මටත් හිතුනෙ එහෙමයි..

“දැන් උඹලට බඩා කියන්න වෙන්නෙ නෑ.. මං ළගදිම මේ ටිකත් අඩු කරගෙන උඹලා දෙන්නගෙ ගාණටම ඇග හදා ගන්නවා..”

දැන්නං මිනිහගෙ ඉන අපිට වඩා අගල් දෙක තුනක් විතර වැඩි ඇති.. මූ ඒත් ගේම අතාරින පාටක් නෑ.. කොහොමටත් නළුවෙක් උනාම කැප කිරීම් කරන්න පුළුවන් වෙන්න ඕන කියලා සර් කිව්වනෙ.. එහෙම බැලුවාම අපි තුන්දෙනාගෙන්ම හොදම කැපකිරීම කරලා තියෙන්නෙ චමිල..

“කාලෙකින් ගෙදර යන්නත් බැරි උනා බං.. දැන් අපේ අම්මා මාව දැක්කත් අදුරන එකක් නෑ..”

චමිලට මොලේ හොද නැද්ද කොහෙද.. ඇයි දෙයියනේ අගල් තුනක් බඩ බැස්සම මනුස්සයෙක්ව අදුරන්න බැරි වෙනවද..? අනුක මුගේ ගොරකා මූණ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනෙ..

“බේබි.. මෙන්න ෆෝන් එක වදිනවා..”

චමිලයගෙ කලිසමේ හුටපටේ බලන් හිටපු මට ෆෝන් එක රින්ග් වෙනවවත් ඇහුනෙ නෑ. මං අඩියට දෙකට පහළට දුවද්දි බණ්ඩයියා ෆෝන් එක ගෙනත් අතට දුන්නා.. ඒකෙ තිබුණෙ තාරුකගෙ නොම්මරේ..

“හෙලෝ.. හිරූ.. වැඩේ හරි.. නයෝමි සමාඡිගෙ ඇඩ්රස් එක ඉල්ලගෙන මට ගෙනත් දුන්නා.. අද නිවාඩුනෙ.. පොඩි සර්ච් එකක් දාලා බලමුද..?”

මට හලෝ කියන්නවත් ඉඩ නොතියා තාරු එක හුස්මට කියාගෙන ගියා..

“උඹලා දෙන්නා අද ෆ්‍රී ද..?”

“ඔව් අපි ගෙදර.. පුළුවන් නම් අදම යමු..”

“ඕ..කේ.. එහෙනම් අපි දහය වෙද්දි හන්දියට එන්නම්.. එතනදි සෙට් වෙමු..”

ඒ කෝල් එකෙන් පස්සෙ මං ප්ලූටොවයි චමිලවයි සෙට් කරගෙන පාරට ආවා..

“දැන් ඔය කියන ගේ තියෙන්නෙ ආලෝක වර්ශ කීයක් එහායින්ද..?”

ප්ලූටො හිතුවද දන්නෑ සමාධි පදිංචි වෙලා ඉන්නෙ වෙන ග්‍රහලෝකෙක කියලා.. නැත්තං ආලෝක වර්ශ කතාවක් මොකටද..?

“මං තාම ඇඩ්රස් එක දන්නෙ නෑ.. උඹ ඔය ප්‍රශ්නෙ තාරුගෙන් අහපං..”

කිව්වත් වගේම මේ යකා ඒක තාරුගෙන් අහයිද මංදා.. මූණ කට ලස්සනට තිබුණට මිනිහට තියෙන මේ ඒලියන් දිස්ටිය අඩුවෙන පාටක් නම් නෑ..

“මෙන්න තියෙනවා තැන.. ගිහිල්ලම බලමු..”

අපිව දැක්ක ගමන් තාරුක මගේ අතට කොලයක් දුන්නා.. ඒකෙ තිබුණෙ අතුරුගිරියෙ ඇඩ්රස් එකක්..

“ඔය කියන මාවත තියෙන්නෙ කොයි හරියෙද දන්නෑ..”

මං තාරුගෙන් අහද්දි මිනිහා ටිකක් ඒ පැත්ත දන්නවා කිව්වා..

“මං අපේ මාමා කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ඒ පාරට හැරෙන පාරෙ කාර් සේල් එකක් තියෙනවා කියලා.. අපි හොයාගෙන යමුකො බලන්න..”

බස් එකෙන් ගිහින් සෑහෙන දුරක් පයිනුත් කැරකිලා අපි අන්තිමට ඔය කියන සමගි මාවත හොයාගත්තා.. දැන් තියෙන්නෙ ගෙදර අංකෙ හොයන එක..

“අපි දැන් ගේ හොයාගත්තා කියමුකො.. ඊට පස්සෙ මෙකාද කරන්නෙ..? අපි ගෙරදට යනවද..?”

ප්ලූටෝ ඒක අහනකල් කරන්න ඕන දේ මගේ ඔළුවෙ තිබුණෙ නෑ..

“අපි එහෙම ගිය ගමන් නයෝමිව මාට්ටු වෙනවනෙ බං.. ඒකි ඇඩ්රස් එක ඉල්ලගෙන තියෙන්නෙ ඊයෙ හවස..”

“මොනවා කියලද දන්නෑ ඉල්ලුවෙ..”

“වෙසක් කාඩ් එකක් එවන්න කියලලු ඉල්ල ගත්තෙ..”

නයෝමිත් මාර බඩුවක් තමයි.. වෙසක් එකට මාස එක හමාරකට විතර කලින් වෙසක් කාඩ් යවන්න ඇඩ්රස් එක ඉල්ලන්නෙ..

“අනික කෙල්ල මට දෙතුන් සැරයක්ම කිව්වා අපි සමාධිලගෙ ගෙදර යන දවසට එයාවත් එක්ක යන්න කියලා..”

ඇත්තටම අපි එහෙ ගියොත් ප්‍රශ්න දෙක තුනක්ම ඇති වෙනවා.. අපිට ඇඩ්රස් එක දුන්නා කියලා සමාධි, නයෝමි එක්ක තරහා වෙයි.. එයාව දාලා තනියම ගියා කියලා නයෝමි අපි එක්ක තරහා වෙයි..

“අපි මෙහෙම කරමු.. දැනට ෂේප් එකේ ගේ බලාගෙන එමු.. ඒ අතරෙ සර්ගෙ ගේ තියෙන තැනත් හොයාගමු..”

මං සර්ගෙ ගේ හොයාගමු කිව්වට ඒක මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ.. එයාගෙ ගේ අපේ තාත්තා හොදට දන්නවා ඇති.. ඒත් තාත්තගෙන් ඕක අහන්න බැරි කමනෙ ප්‍රශ්නෙ..

“එයාගෙ ගේ තියෙන තැන නළු නිළියො ඕන කෙනෙක් දන්නවා ඇති..”

මතීෂ කියන විදියට නළු නිළියන්ගෙන් ඕක අහලා වැඩක් නෑ.. ඒකත් අපිම හොයාගත්තම ඉවරයි..

“අපි මෙහෙම කරමු.. හෙට පංති ඇරිලා අපි සර්ව ෆලෝ කරමු.. හැබැයි ඉතිං ඒකට බස් එකේ ඇවිත් බෑ.. සර් යන්නෙත් වෑන් එකේනෙ..”

මගේ අදහසට කට්ටිය එකග උනාට හැමෝටම තිබුණ ප්‍රශ්නෙ යන්නෙ මොකේද කියන එක.. බණ්ඩයියට කියලා වෑන් එක ගෙන්නගන්න බැරිවෙන එකක් නෑ.. ඒත් ඒත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. නිකං හරි සර් අපිව දැක්කොත්..

“අපේ අයියා කෙනෙක්ගෙ බයික් එකක් තියෙනවා.. අපි හෙට ඒක ඉල්ල ගන්න බලන්නං..”

ඒ කියන්නෙ තාරුයි, මතීෂයි එයාලගෙ බයික් එකේ එයි.. මගේ බයික් එක තිබුණට අපේ කට්ටිය තුන්දෙනෙක් ඉන්නවනෙ..

“උඹ දැන් ඔය කල්පනා කරන්නෙ අපි තුන්දෙනාට එන්න විදියක් ගැනනෙ.. ඒක ගෙදර ගිහින් කතා කරමු.. දැන් ගිහින් මේ ගේ හෙයාගමු..”

චමිලයා කතා ලකේ පරිචිත්ත විඥානය තියෙනවා වගේ.. ගෙදර ගිහින් කතා කරගන්න තරං දෙයක් නෑ.. මිනිහව හලලා යන එක තමා හොදම දේ..

අපි කතාව පැත්තකින් තියලා සමගි මාවත දිගේ ඇවිදගෙන ගියා.. මේ පාර හැරුණ තැන ඉදලම තියෙන්නෙ සුපිරි පැලැන්තියෙ ගෙවල්.. තනි තට්ටුවෙ ගෙයක් බෙහෙතකටවත් හොයාගන්න නෑ.. සමාධිත් නයෝමි වගේ පෝසත් ගෙදරක කෙල්ලෙක් වෙන්න ඇති.. ඒකනේ වාත්තු කලා වගේ සැපට හැදිලා තියෙන්නෙ..

“මමත් කවද හරි ලොකු උනාම හදන්නෙ මේ වගේ ගෙයක් තමයි..”

චමිල කියපු කතාවට අපි හතර දෙනාටම හිනා.. උගේ තවත් මොනවා ලොකු වෙන්නද..?

“ගෙදර අංකෙ මොකක්ද බං..? මේ හරිය හැට ගණන්..”

“අංකෙ හැට අට.. මේ හරියෙම තමා ඇත්තෙ.. හොදට බලපං..”

අපි ගෙවල්වල අංක දිහා බලද්දි ඔය කියන අංක හැට අට මගේ දර්ශනපථයට අහු උනා.. ඒක ගහලා තිබුණෙ පත සයිස් තාප්පෙක..

“ඔන්න තියෙනවා තැන.. ඒත් මේ තාප්පෙයි ගේට්ටුවයි උසට මෙලෝ සසරක් පේන්නෙ නෑ..”

අපේ කට්ටිය ගේට්ටුවෙන් අල්ලලා හොල්ලලා බැලුවා.. ඒත් වැඩක් උනේ නැ.. ඒක රිමෝට් කන්ට්‍රෝල් එකකින් අරින ගේට්ටුවක්..

“මහා සීනු රාජයෙක් ඉන්නවා.. මොකද කරන්නෙ.. ඔබලා බලං ඉමුද..? ඔබලා දුවමුද..?”

චමිලට බෙල් පේන්න බෑ.. දැක්ක තැන ඔබනවා.. ඌ මේකත් ඔබලා වැඩේ වන කරන්න කලින් මිනිහව පස්සට ඇද්දා..

“හිරූ උඩ තට්ටුවෙනං ජනෙල් දොරවල් වහලා.. ගෙදර කවුරුව්ත නෑ වගේ..”

මමත් පාරෙන් එහා පැත්තට පැනලා ගේ දිහා බැලුවා.. මේක නං නයෝමිලගෙ ගෙදරටත් වඩා ගති.. මහා ධනවතෙක්ට මිසක් සාමාන්‍ය මිහිහෙක්ටනං මෙහෙම ගෙයක්  හදන්න බෑ.. සමාධිගෙ තාත්තා ෂුවර් එකට තද පොරක් වෙන්න ඕන..

“සමාධි මේ වගේ තැනක ඉන්න ඇහැට කණට පේන කෙල්ලෙක් නිසා සර්ට උනත් එයාගෙ වයස අමතක වෙන්න ඇති හිරූ..”

ඔන්න ඒ පාර චමිලයා සර්ව සුද්ධ කරන්න හදනවා.. මිහිනහටත් මේ ගේ දැක්කට පස්සෙ සමාධි ගැන මොනවත් හිතුනද මංදා..

“හිරූ.. අපි අද හෙටම මේ සී අඩි ඩී වැඩේ ඉවර කරමු.. සර්ගෙ ගේ හොයාගෙන අපි කෙලින්ම එහේ යං.. ගිහින් පස්දෙනාම ඔය උඹ දැක්කයි කියන සිද්ධිය හොයමු.. ඔව් නං එහෙමයි.. නැත්තං ඒත් එහෙමයි.. එතකොට හිත සුද්ධයි බං..”

ප්ලූටො ඕක අමුතුවෙන් කියන්න ඕන නෑ.. මමත් මේ හදිස්සියෙ දුවන්නෙ ඕකෙ දෙකෙන් එකක් ඉවර කරගන්න තමයි..

“ඔය ප්‍රශ්නෙදි සර් වැරදිනං අපිත් උඹේ පැත්තට ඉන්නවා.. ඒ කිව්වෙ අපිත් මේ පංතියෙන් අයින් වෙනවා.. ඒත්.. එහෙම දෙයක් නැත්තං උඹ ආපහු පංති එන්න ඕන හරි..”

 තාරුක ඒක කියලා උගේ දකුණු අත මගේ දිහාට දික් කලා.. කතාව මගේ බොක්කටම වැදුනු නිසා මමත් පහක් දැම්මා.. මගේ අත උඩයි මතීෂයි, ප්ලූටොයි, තුන්දෙනාමත් අත් තියලා තද කලේ මේ ප්‍රශ්නෙදි උන් ටිකත් මං එක්කම ඉන්නවා කියලා කියන්න..

                                                     *******************************

“මට නං තේරෙන්නෑ බේබි මොනවා කරන්න හදනවද කියලා.. පංති යන්නෙත් නැතුව මෙහෙම රස්තියාදු ගැහුවම හරි යනවද මං අහන්නෙ..”

චමිලයි, ප්ලූටොයි පංති ඇරෙන වෙලාවට කලින්ම කෝල් කරපු නිසා මම බයික් එක ස්ටාර්ට් කර ගත්තා.. කොහෙද ඉතිං.. බණ්ඩයියා සුපුරුදු ලෙස අඩන්න ගත්තනෙ..

“අද විතරයි බණ්ඩයියෙ.. අද විතරයි. එක්කො මං හෙට ඉදන් පංති යනවා.. එහෙම නැත්තං ගෙදර යනවා..”

“එහෙමනං බේබි යන තැනක මමත් එනවා.. ඔහොම ඉන්නකො..”

බණ්ඩයියා දෙකට නමලා ගැට ගහගෙන ඉදපු සරමත් ගසලා දික් කරගත්තා.. මේ මනුස්සයට මොලේ හොද නැද්ද කොහෙද.. අපි තුන්දෙනාටත් බයික් එක ඉඩ මදි වෙලා ඉන්නවා.. ඒ අස්සෙ මෙයත් එන්න හදනවා..

“බණ්ඩයියෙ.. මම යන්නෙ ක්ලාස් එකට.. අර දෙන්නව එක්කගෙන එන්න.. නැතුව වෙන කොහේවත් නෙමෙයි..”

“බොරු කියන්නෙ අහවල් එකටද බේබි.. මේ බයික් දණ්ඩෙ ගිහින් කොහොමද දෙන්නෙක් ඇන්න එන්නෙ..?”

මෙයාට කාරණේ කියන්න ගියොත් සර් පංති ඇරිලා ගෙදර ගිහින් කාලා බීලා දොයියගෙනත් ඉදී.. ඊට වඩා ලේසියි මේ මගුල ගෙදර දාලා යන එක..

“එහෙනං බණ්ඩයියා මේක අරගෙන ඔයාට කැමති තැනක යන්න.. ආ.. මෙන්න යතුර.. මං ගියා..”

එයා තව එක වචනයක් කියන්න කට අරින්න කලින්ම මං වත්තෙන් පිට උනා.. දැන් ඉතිං ප්ලෑන් සේරම අප්සට් ගහලා.. තාරුලා එක්ක බයික් එකේ යන්න ලෑස්ති උනාට මෙයා වැඩේ වන කරානෙ.. මං පාරට ඇවිත් ත්‍රී විලර් එකක නැග්ගා..

පංතිය ළගටම ගියාට ඒ වෙද්දිත් එක ඇරලා තිබුණෙ නැති නිසා මං වීල් එක මග නවත්තගෙන තාරුටයි, ප්ලූටොටයි එස් එම් එස් කලා.. දැන් පංතිය ඇරුනම කට්ටිය මෙතනට සෙට් වෙයි..

සුපුරුදු වෙලාව ළං වෙද්දි මුලින්ම පාර පැත්තට ආවෙ කොල්ලො ටික.. කොහොමටත් කෙල්ලො ඇදුම් මාරු කරගෙන කේෂ කලාප පීරගෙන එළියට බහිද්දි පරක්කු වෙනවනෙ.. මමත් ඉවසා වදාරගෙන බලන් හිටියා.. ක්ලාස් එකේ ඇන්ටිලා නංගිලා කට්ටියම ගිහින් ඉවර උනාම තමයි නයෝමියි, සමාධියි එළියට ආවෙ.. තද නිල් පාට ඩෙනිම් සායකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදලා ආපු සමාධි දිහා ත්‍රීවිල් කාරයත් කට අරන් බලන් ඉන්නවා මං දැක්කා..

ලොකු කෝප්පයක් හෝද හෝද ආපු කෙල්ලො දෙන්නා ත්‍රී විලර් එක පහුකරගෙන ඉස්සරහට ගියත් මාව දැක්කෙ නෑ..

“කෝ.. අයින් වෙයන් බං..”

සමාධි ගිය දිහා බලාගනෙ හිටපු මාව තල්ලු කරගෙන චමිලයි, ප්ලූටොයි ත්‍රීවිලර් එකට නැග්ගා..

“කෝ මතීෂලා.. තාම පංතියෙද..?”

“ඔය එන්නෙ උන් දෙන්නා බයික් එකේ..”

චමිල කියද්දිම කළු පාට සිඩී හන්ඩ්‍රන් එකක් අපි ළගට ඇවිත් නතර කලා.. ඒකෙ හිටපු බඩල ජැකට් ඇදලා ෆුල් ෆේස් හෙල්මට් දාලා අදුර ගන්නත් බෑ..

“මෙහෙම ආවෙ නැත්තං සර් අපිව සයිඩ් කන්නාඩියෙන් දැක්ක ගමන් අදුරගන්නවනෙ බං..”

තාරුක ඒක කිව්වෙ වීල් එකේ  හිටපු කොල්ලට ඇහෙන්නෙ නැති වෙන්න..

“අයියෙ.. කට්ටිය හරිද.. කොහෙටද යන්න ඕනෙ..?”

බලාගෙන ඉදලා බැරිම තැන වීල් එකේ පොර සිය කටහඩ අවදි කලා.. සර් ආවෙ නැතුව අපි කොහෙ යන්නද..? 

“තව විනාඩි පහක් ඉන්න මල්ලි..”

අපිට ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ.. සර්ගෙ වෑන් එක අපි හිටපු තැන පහු කරන් ගියා..

“අන්න අර වෑන් එක පස්සෙ යමු.. හැබැයි ඒකට කිට්ටු කරන්න එපා.. යන තැන විතරයි බලාගන්න ඕනෙ..”

මං මිනිහට විස්තරේ පැහැදිලි කරද්දි තාරු බයික් එක අරන් වෑන් එක පස්සෙ ගිහිල්ලත් ඉවරයි..

“අයියෙ.. මේක.. ගුටිකන වැඩක් නෙමෙයි නේද..?”

මූ තාම වීල් එක ස්ටාට් කරගත්තෙ නෑ.. මෙහෙම ගියොත් සර්ගෙ වලිගෙවත් අල්ලන්න බැරි වෙනවා..

“උඹට ගුටි කන්න වෙන්නෙ අපි කිව්ව දේ නොකලොත් තමයි.. මොකද කියන්නෙ යනවද..? නැද්ද..?”

චමිල වීල් එකෙන් බහින්න හදද්දිම කොල්ලා වීල් එක ස්ටාට් කරගෙන වෑන් එක ගිය පැත්තට ෆුල් ස්පීඩ් ගියා.. ඒත් ඒක ඒ වෙද්දි හන්දිය පහු කරලා ගිහින්..

“කෝ අයියෙ.. නෑනෙ..”

“අර පැත්තට යං..”

අරූ ගුටි කන්න වෙන බයම වට පිට බලලා වෑන් එක හොයද්දි මං අතුරුගිරිය පැත්තට යන පාර පෙන්නුවා.. මොනවා උනත් මිනිහගෙ ඩ්‍රයිවින් මරු..

“අන්න තියෙනවා මචං.. අර ඉන්නෙ තාරුලත්..”

කලර් ලයිට්ස් වලට සර්ගෙ වාහනේ නතර කරලා තිබ්බ තැනම වගේ තාරුලත් නවත්තගෙන ඉන්නවා.. මේ බඩල ලව් කරන්න වගේ වෑන් එකේ ඇතිල්ලි ඇතිල්ලි ගිහින් සර්ට නෝට් වෙයිද මංදා.. අපි කොයි හරියෙද බලන්න වගේ මතීෂ දෙපාරක්ම පිටිපස්ස හැරිලා බලනවා මං දැක්කා.. මං වීල් එකෙන් එළියට අත දාලා මහපට ඇගිල්ල උස්සද්දිම වාහන ටික ආපහු ඉස්සරහට ඇදුනා.. 

හෝල්ට් හතරක් පහක් ගිහින් තුන්මන් හන්දියක් ළං වෙද්දි සර් වෑන් එක නතර කලා..

“මේ මොනවද බං මේ වෙන්නෙ.. මාව ටිකක් කොනිත්තපං..”

චමිලට විතරක් නෙමෙයි ඒ දැක්ක දේ අපිටත් හීනයක් වගේ.. කඩයක් අයිනෙ ඉදලා දුවගෙන ඇවිත් ඒ වෑන් එකට නැග්ගෙ වෙන කවුරුවත් නෙමෙයි.. සමාධි.. දැන් නං වැඩේ සීරියස් වේගෙන යන්නෙ.. සමාධි උදේට එන්නෙ විතරක් නෙමෙයි හවසට යන්නෙත් සර් එක්ක.. එයාගෙ හිතේ හොරයක් නැත්තං ක්ලාස් එක ළගදිම වෑන් එකට නගින්න එපැයි.. මොකටද හොරෙන් නගින්නෙ..

“උඹ කිව්ව දේ හරි හිරූ.. මේ කරුවල වැටීගෙන එන වෙලාවෙ ඒකි මොකටද සර්ගෙ වෑන් එකට රිංගුවෙ..”

ප්ලූටො මෙච්චර කල් සමාධිගෙ පැත්තට කතා කලාට දැන් මිනිහටත් ඇත්ත තෙරිලා වගේ.. ඒ අස්සෙ මතීෂත් කෝල් කලා..

“මචං.. වැඩේ අතාරින්නෙ නෑනෙ.. දිගටම යනවා නේද..?”

“ඔව්.. ඔව්.. උන් යන තැනකට අපිත් යං..”

“රයිට්..”

ඌ ෆෝන් එක කට් කලා.. 

“මල්ලි වැඩිය ළං නොකර යමු.. කෙල්ල අපිව දැක්කොත් අදුරගනී..”

මං එහෙම කිව්වෙ සමාධිව දැක්ක ගමන් මිනිහා ස්පීඩ් කරපු නිසා..

“මං හිතුවෙ නෑනෙ අයියලා මේ එළවන්නෙ කෙල්ලෙක් පස්සෙන් කියලා.. මං හිතුවෙ අර සර්ව ෆලෝ කරනවා කියලා.. හැබැයි අයියෙ ඒක නං පේදුරු තුඩුවට යනකල් හරි ෆලෝ කරලා දා ගන්න වටින අයිටම් එකක්..”

ත්‍රීවිල් මල්ලි දැන් නං අපි නැතුව හරි සමාධිව ෆලෝ කරන තත්වයක් තියෙන්නෙ.. ඒත් චමිල ආපහු සත්තමක් දැම්මා විතරයි මිනිහා කට වැහුවා..

“හිරූ.. මට මේ පාර නිකං දැකලා පුරුදුයි වගේනෙ..”

චමිලයා දෙපැත්තෙ ඉදගෙන හිටපු අපි දෙන්නවත් පෙරලගෙන හතර වටේට ඇන්ටනාව දානවා.. මේ පාර කොහොමත් අමතක වෙන්න තරං කාලයක් නෑ.. මේක අපි දැන් දවස් දෙක තුනකට කලින් ඇවිත් ගිය සමාධිලගෙ ගෙවල් පාරනෙ..

“මොනවා.. මේන් බොලේ සමගි මාවත..”

සමාධිලගෙ ගෙව්ල පාරෙ බෝඩ් එක දැක්කට පස්සෙ චමිලගෙ වගේම ප්ලූටොගෙත් කටවල් ඇරිලා.. ඒත් මේ වෑන් එක පිඹගෙන ආපු වේගෙට එන්නෙ මෙතනට තමයි කියලා මම නං දැනගෙන හිටියා..

“මේ තරම් ග්‍රහලෝක, උල්කාපාත පහුකරගෙන මේක ඇවිත් තියෙන්නෙ ප්ලූටො ළගටමනෙ බං..”

ප්ලූටො ඒ කිව්වෙ ඉස්මුරුත්තාවෙන් වගේ.. හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කියලා කතාවකුත් තියෙනවනෙ.. අපිත් බලමු මොකද වෙන්නෙ කියලා.. සමගි මාවත ඇතුළට ගිය වෑන් එක ආපහු හරවගෙන එයි කියලා අපි දෙගොල්ලොම පාර අයිනට වෙලා බලං හිටියා.. ම්හු.. ඒක එන පාටක් නං නෑ..

“මොකද කියන්නෙ.. ගිහිල්ලම බලමුද..?”

දැන් නං මට විතරක් නෙමෙයි.. හැමෝටම තිබුණෙ පුදුම නොසන්සුන් කමක්..

“ෆිට් තමයි.. යං..”

අපි පස්දෙනාම සමාධිලගෙ ගේ තිබුණ පැත්තට ගියා..   



    

No comments:

Post a Comment