Friday, April 20, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






පොඩි රවුමක් එහෙම දාලා කෑමත් අරන් අපි ගෙදර යද්දි බණ්ඩයියා වත්ත බාගයක්ම එළකිරි වෙන්න සුද්ද කරලා.. අපිත් කාලා බීලා එයාට පොඩි සප් එකක් දීලා ඉතුරු ටිකත් ඉවර කලා.. දැන්නෙ අප්පා සෙවනෙ එළිය පේන්නෙ..

"හිරූ මේ පොන්ඩ් එකේ නිල් මානෙල් පිපිලා ගතියට තියෙන එකේ අපි මාළු ටිකක් ගෙනත් දාමුද..?"


ඊයෙ ටොයිලට් එකේ පෝච්චියට මාළු දැම්මනං ගති කියපු එකා අද පොන්ඩ් එකට මාළු දාන්න කතා කරනවා.. මූ සමහර විට ගිය ආත්මෙ සාරි ගප්පියෙක් නැත්තං හැට්ට ගප්පියෙක් වෙලා ඉන්න ඇති.. ඒකනේ ඔය තරම් මාළුන්ට ආදරේ..

"හරි හරි.. අපි හෙට අනිද්දා දිහාට කාෆ්ලා ටිකක් ගෙනත් දාමු.."

"ආ බේබි.. උදේ ලොකු මහත්තයා කොහෙද යන ගමන් සුපු පාට ෆෝන් එකක් ගෙනත් දීලා ගියා.."

"මොකක්ද බණ්ඩයියෙ සුදු පාට ෆෝන් එක..?"

මං ඇහුවෙ ඒ කතාව තේරුම් ගන්න බැරි නිසා.. මේ මනුස්සයා ෆෝන් එකත් විස්තර කරන්නෙ හරියට ගෑණු ළමයෙක් විස්තර කරනව වගේනෙ..

"ඇයි බේබි අර උඩ තට්ටුවෙ දොර ගාව තිබුණ ෆෝන් එක.. අන්න ඒක දීලා ගියා හදිස්සියකට ඕන උනොත් තියාගන්න කියලා.."

මේ මිනිහා මේ අමාරුවෙන් විස්තර කරලා තියෙන්නෙ ගෙදර තිබුණ 'කුරු කුරු ලස්' ෆෝන් එකනෙ.. ඒ කිව්වෙ අපේ සී.ඩී.එම්.ඒ එක.. ඕක තාත්තා දීලා යන්න ඇත්තෙ අපේ හොර අල්ලන්න වෙන්න ඇති.. ඒත් ඉතිං මේ බෝ පැල වගේ ඉන්න අපි හොර වැඩ කරනවයෑ අල්ලන්න..


"කෝ දැන් ඒක..?"

"ආං මම බේබිලගෙ කාමරේ ළගින් හයි කරලා දැම්මා.."

ඒ කතාවට මගේ විතරක් නෙමෙයි අපේ චමිලයගෙයි, පූටෝගෙයි මූණත් බෙරි වෙලා ගියා..

"දැන් කළුවරත් වෙනවා.. බේබිලා ගොහින් ඇගපත හෝදගෙන එන්න.."

බණ්ඩයියගෙ කටින් වචනෙ පිට උන ගමන් අපේ ශරීර හොරා හෙවත් චමිලයා පටස් ගාලා ගෙට රිංග ගත්තා..

පහුවෙනිදා උදේම අපි සුපුරුදු වෙලාවටම එළියට බැස්සට ගියේ බස් එකේ.. ඒත් බස් ගමන මට නං එක දවසින්ම එපා උනා. කෙනෙක් ලොකු කමට කියලා හිතුවට ඒකට එකම හේතුව උනේ පුංචි කාලෙ ඉදලා මට බස්වල ගිහින් පුරුද්දක් නැති එක..

"මොකෝ බං මේ කෙල්ලෙක් වගේ රතු වෙලා..?"

දාඩිය දාලා චප්ප වෙච්ච මගේ මූණ දැකලා චමිලයට හිනා.. මට හිනා උනාට උන් දෙන්නගෙත්  කන් දෙක පිටි පස්සෙන් දොල පාර ගලාගෙන යනවා..

"හිරූ අර බලපං ඉස්සරහ.."

අමාරුවෙන් බෙල්ලත් හරවලා චමිලයා පෙන්නපු දිහා බලද්දි මං දැක්කෙ ඇස් දෙක පිනා යන දසුනක්.. උරහිස් දෙකට ලස්සන බෝ දෙකක් ගැටගහපු ලා කොළ පාට ගවුමක් ඇදගෙන ඉන්න චාමි කෙල්ලෙක්.. එයාගෙ මූණත් හැබැයි දෙයියනේ කියලා මගේ වගේම රතු වෙලා තිබුණා..

"මේ.. පැණි හැලිල්ල පැත්තකට තියලා වරෙන් බහින්න.."

ප්ලූටොගෙ අදෝනාව කණ ගාව ඇහෙද්දි මං පාත් වෙලා වට පිට බැලුවා.. බස් එක ෆුල් ඒ සී පිටින් ක්ලාස් එක ළගටත් ඇවිත්.. අපි තුන්දෙනා අපේ අතපය හතර හොයාගෙන යාන්තං බැහැ ගත්තා.. මෙච්චර වෙලා දාපු දාඩිය එක හුළං පාරකින් නිවිලා ගියේ අර ලස්සන කොළ පාට බබාත් බස් එකෙන් බහිනවා දැක්කට පස්සෙයි..

"මල්ලි.. මාරසිංහ සර්ගෙ ඩ්‍රාමා ක්ලාස් එක තියෙන්නෙ මේ පාරෙ නේද..?"

කොළ බබා ඒ කැත නැතුව මල්ලි කියලා කතා කලේ අපි තුන්දෙනාට නේද..? අනේ කාලේ වනේ වාසා කිව්වලු.. ඊයෙ අවුරුදු විසි පහක ඇතින්නක් අයියෙ කිව්වා.. අද අවුරුදු දහ අටක සයිස් බෝනික්කෙක් මල්ලි කියනවා.. අපරාදෙ උදේ රැවුල කැපුවෙ කියලා මට හිතුණා.. අඩු ගානෙ රැවුලවත් තිබුණනං මෙයා අයියෙ කියයිනෙ..

"අපිත් යන්නෙ ඒ ක්ලාස් එකට තමයි.. ඔයා ඊයෙ ආවෙ නෑ නේද..? ළමයි බදවගෙන ඉවරයි.."

මං පොඩි පොර ටෝකක් දීලා බැලුවා.. මොන.. කෙල්ල ඒක අධෝ මුඛයෙන් ගිහ හුළං බෝලයක් තරමටවත් ගණන් ගත්තෙ නෑ..

ප්ලූටො, චමිල එක්ක ටිකක් හෙමින් ඇවිදගෙන යන අතරෙ කෙල්ලගෙ රූපෙ රස විදිනවා.. තනි කරලට ගොතලා පිට මැද්දට දාලා තිබුණ ඉත්තෑකූරු කොණ්ඩෙ එයා ඇවිදින තාලෙට දෙපැත්තට පැද්දෙනවා.. ඒක දැකපු ගමන් හදවත ඊටත් වඩා තාලෙට පැද්දෙන්න ගත්තා..

"නංගි ඊයෙත් පරක්කු වෙලා ආපු ළමයිව සර් බදවගත්තෙ නෑ ඉඩ නෑ කියලා.. ඔයාට ඉතිං සොරිම තමයි.."

චමිල උගේ දේහධාරී පුස් නාම්බු ශරීරෙ ඉස්සරහට දාලා කෙල්ලට සද්දයක් දැම්මා.. ඒත් මේකි ජොල් ඇගට බය උනේ නැති පාටයි..

"මං ගිය සතියෙ සර්ලගෙ ගෙදරට ගිහින් රෙජිස්ටර් උනේ.. ඊයෙ එන්න වෙන්නැති නිසා.. සර් මට අද ඉදලා එන්න කිව්වා.."

"එහෙමනං බබෝ නම ලියපු කොල කෑල්ලකුයි හොටු පිහින්න ලේන්සුවකුයි ඇගේ ගහගෙන සර් එනකල් වාඩි වෙලා ඉන්න.."

මමයි චමිලයි විතරක් මේ ඉටි රූපෙ එක්ක කතා කරන එකට ඊරිසියා හිතිලද කොහෙද ප්ලූටොත් සිය කටහඩ අවදි කරා..

අපි තුන්දෙනා අළුත් නගා එක්ක පංතියට යද්දි නයෝමි අපි ඊයෙ හිටපු ඩෙස් එකට වෙලා ඉදගෙන ඉන්නවා.. අපි හතරදෙනාව දැකලා එයාට නැගිටලා ඉස්සරහට ආවා..

"මේ කවුද මේ..?"

නයෝමි ගැන මේ වේදදි දන්න නිසා හිතාගන්න පුළුවන් බලාගෙන ඇත්තෙ මේ ගෑණු දරුවා දිහා වෙන්න ඇති කියලා.. කෙල්ලගෙ ලස්සන දැකලා ෂුවර් එකටම නයෝමිට ඊරිසියා හිතෙන්න ඇති..

"මේ අපේ නංගි කෙනෙක්.."

"මෙයා ඊයෙ ආවෙ නෑනෙ.. අද අලුත් ළමයිව ගන්නෙ නෑ.."

ඊයෙ සර් නයෝමි එළවගන්න හැදුවා වගේ අද නයෝමි මේ ළමයව එළවගන්න  හදනවා... 

"මචං මේ දෙන්නට නිවාඩු පාඩුවෙ පැත්තකට වෙලා ආශ්‍රය කරන්න කියලා අපි ගිහින් චේන්ජ් එකක් දාගමු.."

ප්ලූටො අපිවත් ඇදගෙන පිරිමි ළමයින්ගෙ ඩ්‍රසින් රූම් එක පැත්තට ගියා.. ඒක ඇතුළෙ හිටපු එකා දෙන්නා එනවා ටී ෂර්ට් වල නම් ගහගෙන.. මැදැයි අවුරුදු විස්සකුත් උනාට පස්සෙ ආපහු මොන්ටිසෝරි යන්න උනා..

අපි ඇදුම් මාරු කරලා කැත නැතුව නම් ටිකත් ඇදුමෙ ගහගෙන අනිත් පිරිමි ළමයින්ව ටිකක් ආශ්‍රය කරලා බැලුවා.. සමහරු තාම ඉස්කෝලෙ යන අය.. සමහරු අවුරුදු හතලිහෙ, පනහෙ විතර අන්කල්ලා.. අපේ වයසටම කිට්ටු කොල්ලො තුන් හතර දෙනෙකුත් පංතියෙ හිටියා..

ස්ත්‍රී පාර්ශවය ගත්තහම ආන්ටිලා තුන් දෙනෙකුයි පොඩි නංගිලා කට්ටියකුයි, කෙල්ලො පස් හය දෙනෙකුයි වගේ පිරිසක් තමයි හිටියෙ.. මේ කට්ටිය වැඩි දෙනෙක් ඇවිත් තියෙන්නෙ රගපාන්න තිබුණ ආසාවට.. රගපාන්න ඉහටත් උඩින් අවස්ථා ලැබිලා ඒවා බාර නොගෙන රගපෑම් ගැන ඉගෙන ගන්න ආපු මැට්ටෙක්ට හිටියෙ මං විතරයි..

"ඒයි චමී මේ අර අපි එක්ක ආපු කෙල්ල නේද..?"

මිස් නයෝ එක්ක චේන්ජ් කරගෙන ලා රෝස පාට ටී ෂර්ට් එකකුයි කළු පාට බොටම් එකුයි ඇදගෙන  හිටියෙ ඒ කොළ පාට ගවුම ඇදගෙන හිටිය බෝනික්කිම තමයි..

"හිරූ.. කෙල්ලගෙ නම සමාධි.."

එයාගෙ ටී ෂර්ට් එකේ තිබුණ නම ප්ලූටෝ අපිටත් ඇහෙන්න කියෙව්වෙ මහා ලොකු සොයාගැනීමක් කරා වගේ.. අපිත් අකුරු දන්නවා මල්ලි.. අපි තුන්දෙනා සමාධියි, නයෝමියි ළගට ගියා..  

"සමාධි.. මේ අයියලා මගේ යාළුවො.."

නයෝමි අපිව පෙන්නලා කියද්දි සමාධිගෙ ලස්සන නිල් පාට ඇස් දෙක නළලටම ගියා.. මේකි මේ දවස් දෙකකට කලින් අපිව අදුරගෙන, යන යන තැන වර්චස් කරනවා..

"මෙයාල අයියලද..?"

"ඔව් මෙයාලට වයස විසි හයයි.."

සමාධිගෙ ප්‍රශ්නෙට හැරෙන තැපෑලෙන් උත්තර ලැබිලත් ඉවරයි..

"ඔයාට වයස කීයද නංගි..?"

මෙතන හිටපු හැමෝටම දැනගන්න ඕනකම තිබිලත් හිතේ තියාගෙන හිටපු ප්‍රශ්නෙ ප්ලූටො ඇහුවා..

"මට විසි එකයි.. මං ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ඒ ලෙවල් කලේ.."

හපොයි දෙයියනේ.. මොකක්ද මේ වෙච්ච නස්පැත්තිය.. අවුරුදු දහ අටක් විතර ඇති කියලා හිතාගෙන ආශ්‍රය කරන්න ගත්තු කෙල්ල අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා විතරයි ප්ලූටො මිඩ්ල් එක ගැලවුන බැට්ස්මන් කෙනෙක් ක්‍රීඩාගාරයෙන් යනව වගේ හෙමීට එතනින් කැපුණා..

"මචං සර් එනවා.."

කවුදෝ කොල්ලෙක් කෑ ගහලා කියද්දි අපි නැගිටලා ක්ලාස් එකෙන් ඉදගත්තා.. සර් ආපු ගමන්ම ඇහුවෙ ඊයෙ ගේන්න කියපු පොත ගෙනාවද කියලා.. 

"අපි ගෙනාවා සර්.."

පංතියෙ ළමයි වැඩි පිරිසක් කොහොම හරි පොත හොයාගෙන තිබුණා..

"ගේන්න බැරි උන අය අත උස්සන්න.."

සර් ඒක කිව්වා විතරයි රබර් බෝලයක් වතුරෙන් උඩට එනවා වගේ නයෝමි හෙමීට නැගිට්ටා..

"සර් පෝත් සේරම හොයාගන්න බැරි උනා.. නම් පොත විතරයි ගෙනාවෙ.."

"කෝ බලන්න ඒක.."

කෙල්ල බෑග් එක ඇරලා ටිකක් ලොකු සයිස් පොතක් එළියට ගත්තා.. ඊට පස්සෙ ගිහින් අත් දෙකෙන්ම අල්ලලා සර්ට දුන්නා.. 

"මොකක්ද දරුවො මේ..? අලුත උපන් බබාලට නම් දාහක්.."

පිස්සු හැදෙයි.. මේකි මේ උණ විකාරෙන්ද කොහෙද ගෙනත් තියෙන්නෙ පොඩි එවුන්ට දාන නම් පොතක්නෙ.. සර් පොතේ නම කියවද්දි පංතියෙ සේරම ළමයින්ට බකස් ගාලා හිනාවක් ගියා.. කොටින්ම කියනව නං සර්ටත් හිනාව නවත්තගන්න බැරුව ගියා.. 

"නම් පොතේ තියෙන්නෙ බබාලගෙ නම් නෙමෙයි පුතේ.. ලංකාවෙ නගරවල පූජනීය ස්ථානවල නම්.."

නයෝමිගෙ චූටි මූණ රතු වෙලා යද්දි කෙල්ල කාගෙවත්ම මූණු බලන්නැතුව ගිහින් ඉදගත්තා. උදේ පැයකට වඩා සර් ළමයින්ව තියාගෙන ව්‍යායාම කලා.. බඩ අඩු කරගන්න කියලා දීපු ඒවානං හරිම උනන්දුවෙන් අහගෙන හිටියෙ අපේ චමිල බඩා.. ඌ කොහොමටත් බඩ අඩුකරගන්නවා කියලා ප්‍රසිද්ධ මාධ්‍යයකට කියලනෙ තියෙන්නෙ.. ඒත් ඒ කියපු ව්‍යායාම අපි කරපු තරම් පහසුවෙන් චමිලට, නයෝමිට එහෙම කරගන්න බැරි උනා.. ඒකට හරස් උනේ උන්ගෙ බඩවල්ම තමයි..

ඊට පස්සෙ ව්‍යායාම හම්බ උනේ කටට.. සර් හැමෝම රවුමට බිම වාඩි කරලා පුළුවන් උපරිමයෙන් ශබ්ද නගලා පොත කියවන්න දුන්නා.. ගසම.. පස්ගම.. අරත්තන.. කියලා අපි කෑගහද්දි හෝල් එකේ ජනෙල් පවා හෙළවෙන්න ගත්තා..

"ෂිට්.. මීට වඩා හොදයි බං රෑට වහලෙ උඩ පැදුරක් එලාගෙන තරු දිහා බලන් ඉන්නවා.. දැන් ඉතිං පාඩං කරපංකො කවි.."

පංති ඉවර වෙලා පාරට බැස්සා විතරයි ප්ලූටො ඌගෙ සුපුරුදු අදෝනාව පටන් ගත්තා..

"උඹ වහලෙ උඩට වෙලා බඩ උලාගෙන හිටියට උඹේ සුපෙම්වතිය පියවි ඇහැට පේන්නෙ නෑ මචං.."

"ඇයි ඔයාට මේ කට්ටිය ප්ලූටො කියන්නෙ..?"

උදේ ඉදලා අපේ කතා අහගෙන හිටපු සමාධි ප්ලූටොගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා.. ඇත්තනේ ඉතිං.. මූ පැය හයක් විතර යනකල් වෙනුෂ්ක කියලා ඇගේ ගහගෙන හටියට අපි නිකටමවත් ඒ නමින් කතා කලේ නෑනෙ..

"ඒ මගෙයි ප්ලූටොගෙයි තියෙන අකලංක, අමරණිය, සද්ගුණවත්, පිවිතුරු, ප්‍රජාතාන්ත්‍රික, ස්වෛරී ප්‍රේමය නිසා.."

පොර ආයෙ නෑ බොක්කෙන්ම උත්තර දුන්නා.. හැබැයි ඒ කියපු වචන ටික පාඩං කරගෙන තියෙන්නෙ දේශපාලන රැස්වීමකදිද කොහෙද..

"ඒත් ප්ලූටො දැන් සෞරග්‍රහ මණ්ඩලයට අයිති නෑ නේද..?"

"මේ හලෝ ඕනෙ නැති කතා අහන්නෙපා හරිද..? කවුරු ප්ලූටෝව පිටමං කලත් ඌ තාම මගේ  හිතේ ගැඹුරුම තැනක නිදන් වෙලා ඉන්නවා.. මං පොරව එහෙම ලේසියෙන් අමතක කරන්නෑ.."

මූට ප්ලූටෝව මතකෙට ආවම අමුතු බහුශ්‍රැත වචන තමයි කටට එන්නෙ.. නයෝමියි, සමාධියි ඒවා අහලා මූණට මූණ බලාගෙන හිනාවෙනවා..

ප්ලූටොව හොයගත්තු ක්ලයිඩ් ටොම්බෝවත් හිතන්න නැතුව ඇති ලංකාවෙ හාදයෙක් කවද හරි ඒ අයිස් ගුලියට මේ තරම් ආදරේ කරයි කියා..

"අපේ බස් එක එනවා.. අපි යන්නං.."

කෑලි හලාගෙන ආපු ෆුල් ඔප්ෂන් බස් එකක නැගලා කෙල්ලො දෙන්නා මාරු උනා.. අපි තුන්දෙනාට නගින්න උනෙත් කට කපලා සෙනග පටවන් ආපු බස් එකක.. අපි පිටිපස්සෙ දොරෙන් නැගලා පස්සෙම සීට් එකට කිට්ටු උනා..

"මචං ඔය සීට් එකේ කට්ටිය ඉස්සරහ හන්දියෙන් බහිනවා.. හෙමීට එන්ටර් වෙයන්.."

චමිල නැග්ග ගමන් වටිනා කියන ඔත්තුවක් දුන්නා.. අපි හිර වෙවී එතනටම වෙලා  හිටියෙ ඉදගන්න බලාගෙන.. චමී කිව්වත් වගේම දෙතුන් දෙනෙක් නැගිටිද්දි අපි කට්ටිය පෙරළගෙන ඉදගත්තා..

"අම්මෝ ඇති යංතං.. මං ඇදේට හිටගෙන හිටියෙ.."

ප්ලූටො කොණටම වෙලා අපිටත් ඉඩ දුන්නා.. ඔන්න ඉතිං අපිත් යාංතමට ගියයි කියමුකො.. කරුමෙට හෝල්ට් දෙකක් යද්දි තරමක් වයසක ආච්චි කෙනෙක් නැගලා අපි ගාවම හිටගත්තා..

"ඔය පිටිපස්සෙ මල්ලිලා ළං වෙලා මේ අම්මටත් ඉඩ ටිකක් දෙන්න.."

කොන්දා මාමා මුළු බස් එකටම ඇහෙන්න බෙරිහන් දෙනවා.. මමයි චමිලයි කකුල් ළං කරගෙන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙද්දිම ආච්චි පටස් ගාලා අපි දෙන්නා මැද්දෙන් ඉද ගත්තා.. ඇත්තම කියනවනං එතන තව මනුස්සයකුට ඉදගන්න තරම් ඉඩක් තිබුණෙ නෑ.. ආච්චි ඉදගත්තෙ අපේ කකුල් උඩ.. ප්ලූටො තව තව ජනේලෙ අයිනට චප්ප වෙද්දි ආච්චි ටික ටික පස්සට වෙලා හරි බරි ගැහුණා.. මගේ දණිස් පොල්කටු දෙක එකට ගෑවෙන තරම් තද වෙලා තිබුණෙ.. මං එහෙට මෙහෙට දගලද්දි ආච්චිට එහා පැත්තෙ හිටපු චමිල මගේ මූණට එබුණා..

"වට් හැපන්ඩ් මචං..?"

චමිලගෙ කතාව ආච්චිට ඇහුණා විතරයි එයාගෙ යකා ටොප් ගියර් එකටම නැග්ගා..

"හහ්.. වට්ටපං මචං.. වට්ටපංකො බලන්න තොපිලා දෙන්නා මාව.. මං බොලාගෙ අඩු කඩනවා.."

මොකද බොලේ මේ..? මේ මනුස්සයා වලිගෙ පාගගෙන චමිලගෙ 'වට් හැපන්ඩ්' ආච්චිට ඇහිලා තියෙන්නෙ වට්ටපං කියලා.. කඩ්ඩ නොදන්නව නං කට වහගෙන ඉන්න එපැයි.. අනේ මන්දා මේ මනුස්සයගෙ කොණ්ඩෙ පැහිලා තියෙන්නෙ පීනසේටද කියලා..

"උඹ නිසා මං තව පොඩ්ඩෙන් අර ආච්චිගෙන් ගුටි කනවා.."

බස් එකෙන් බැස්සා විතරයි මං චමිලයට බැන්නා.. තව ඩිංගෙන් කන්න වෙන්නෙ අර නණ කැඩිච්ච කුඩෙන්..

"උන්දෑ උතුර, දකුණ මාරු කරගත්තට උඹ මට දෙහි කපලා හරියනවද..?"

"ඔව් ඉතිං උඹට දෙහි කපලා හරියන්නෑ  කියලා මං දන්නවා.. ඔය ඇගේ සයිස් එකට ඔරොත්තු දෙන්න නං ජම්බෝල ගෙඩියක්වත් කපන්න වෙනවා.."

මගේ කතාවට ප්ලූටො උඩ පැන පැන හිනා උනා..

"උඹේ කටට මසුරන් දාන්න විටනවා හිරූ.."

"හරි හරි.. උඹලට ඔහොම හිනාවෙන්න වෙන්නෙ තව ටික දවසයි.. ඊට පස්සෙ බලමුකෝ.."

එතන ඉදලා ගෙදරට එනකල්ම චමිලයා වචනයක්වත් කතා කරේ නෑ.. 



           

No comments:

Post a Comment