Thursday, April 5, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






ගුඩ්ෂෙඩ් එකට යන්න පල්ලෙහා පාරට දාලා, කාර් පාක් එක  හරියට එනකොට ඊට ඩිංගක් එහායින් පල්ලම් බහින කොල්ලො සෙට් එක මං දැක්කා.. චැලිය එහෙම්ම පාර අයිනෙ නවත්තලා මං ඇගිලි දෙකක් කට ඇතුළට දාලා කව්බෝයි විසිල් එකක් ගැහුවා..

"මේන් මේකා කලින්ම ඇවිල්ලා.."


"ඇති යාංතන්.."

"මොකද බං ඊයේ වුණේ..?"

"අපි උඹව හොයලා හොයලා බැරිම තැන ගෙදරටත් ගියා.. උඹ ගෙදරවත් ඇති කියලා බලන්න.."

එහෙනම් අක්කා කිව්වා හරි.. මුන් ටික ඊයෙ අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා..

"උඹ අපිත්තෙක්ක තරහද බන්ටි..?"

ඉස්සෙල්ලා අහපු කිසිම දේකට මං උත්තර දුන්නෙ නැති නිසා ලොකු පුතා මං ඉස්සරහට ආවා..

"තරහ කතාවක් මෙතෙන්ට ඕන්නෑ චාමික.. දෙයක් කරනවා නම් ඔක්කොම එකතුවෙලා ඒ වැඩේ කරමු.. මං විතරක් තනියම ඉස්සරහට ගිහින් ප්‍රශ්නෙට මූණ දුන්නම, ඒකි පව්, ඒකි අහිංසකයි, ඒකිට කක්ක බර හැදෙයි.. ඔය වගේ කතන්දර කියන්නෙපා.."

අපහු ප්‍රශ්න ටිකත් ඔලුගෙඩි අස්සෙ හිර කරගෙන කොල්ලො එක එකාගෙ මූණු දිහා බලන්න ගත්තා..

"ප්‍රශ්නෙ මොකක්ද ලොකු පුතේ..?"

"ප්‍රශ්නෙ මොකක්ද කියලා මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. රවීන් ඊයෙ අසික්කිත කෙල්ලව පෙන්නුවහම ඒකිගෙ අලුගුත්තේරු වැඩේ ගැන, ඒකිගෙන් අහන්නෙ නැතුව වෙන කාගෙන්ද අහන්නේ..? ඒකිගෙ තාත්තගෙන්ද..? ඕන දෙයක් උනාවෙ කියලා ඇහුවාම, උඹලා මෙතන මරණ පරික්ෂනේ තියන්න හදනවා.."

"හරි බන්ටි.. වෙච්ච දේට අපි හැමෝම උඹෙන් සමාව ඉල්ලනවා.. වෙරි සොරි මචං.."

"මට ඕන ඇති කෙහෙල්මල් සමාවක් නෑ සුරේන්.. අඩු ගානෙ උඹලට අපේ බින්දුවගෙ අහිංසක මූණවත් මතක් වෙන්නෙ නැද්ද..? බලපං.. දැන් දවස් කීයක්ද..? උගේ ආරංචියක්වත් නෑ.. යාලුවෙකුට දෙයක් උනාම, උඹලා දන්නෙ බලන් ඉන්න විතරද..? ඌට මොනව වෙලාද කියලවත් කල්පනා කරන්නෙ නැද්ද..? බලන් ගියාම මට දෙයක් උණත් ඔච්චරනේ බං.. උඹලා හිනාවෙවී ඔහේ බලන් ඉදියි.. කොයි වෙලාවක හරි බන්ටියා චැලියත් අරන් මතුවේවි කියලා.. යාලුකම, ෆ්‍රෙන්ඩ් ෂිප් එක කියන්නෙ ඕකද බං..?"

"ඔහොම කතා කරන්නෙපා බන්ටි.."

"වෙන කොහොමද කතා කරන්නේ..? ආදරයේ වේදනාව මොකක්ද කියලා මං දන්නෑ.. ඒත් අපේ බින්දුවා අපෙන් ඈත්වෙලා ගියේ ඒ වේදනාව හින්දයිකියලා මට නම් හිතෙන්නේ.. අඩුගානෙ උඹලා ඌ ඉන්න තැනක් ටෙලිෆෝන් නම්බර් එකක්වත් හොයාගත්තද..? නෑ..! ටිකක් හිතපල්ලා.. ඌ අපි හැම එකාම ළගින් ඕනම දේකට හිටපු එකෙක් නේද..? ඌට තනියෙම විදවන්න දීලා අපි හිනාවෙවී බලන් ඉන්න එකද යාලුකම කියන්නේ..?"

"උඹ කියන්නෙ අපිට මොනව කරන්න කියලද බන්ටි..?"

"මං මොනවත් කියන්නෑ.. මෙච්චර දවසක් උඹලා මුකුත් කරෙත් නෑනේ.."

"ඔහොම කතා කරන එක හරි නෑ බන්ටි.. අපි මොනවද කරන්න ඕනෙ කියලා කියපං.. අපි ඒ දේ කරන්නම්.."

සරිගමයයි, ලොකු පුතයි සැරින් සැරේට කතාව නිරවුල් කරන්න දත කනවා.. ඒත් මේක නිරවුල් වෙන පාටක් මට නම් පේන්නෑ..

"ගෙදරින් පනින්න ලේසිම කාටද..?"

හිටපු ගමන් මං අහපු ප්‍රශ්නෙන් කොල්ලොන්ගෙ සියලු කතාබහ නැවතුනා..

"ලේසිම කාටද කියලා නම් මං දන්නෑ.. ඒත් අමාරුම කාටද කියලා නම් මං දන්නවා.."

ලොකු පුතා මූණ අමුතු කරගෙන කිව්වා..

"කාටද චාමික..?"

"කාටද ඉතිං.. අපේ බන්ටිට මිසක්.. පැය දෙකක් තුනක් මූ ගැන ඩිටේල්ස් නැති වුණහම මුගේ අප්පච්චි පොලිස් මැසේජ්නේ යවන්නේ.. මතකනේ එක පාරක් මහියංගනේ ගිහින් වෙච්ච දේ.."

"මේ.. පරණ කෑලි මෙතෙන්ට ඕනෙ නෑ.. මං අහපු දේට උත්තර දීපල්ලා.. මට ගෙදරින් පනින්න ලේසි නම් මං මෙහෙම උඹලගෙන් අහන්නෙත් නෑ.. චාමික කිව්වා වගේ මට ගෙදරින් පනින්න අමාරුයි.. මං ගැන හොයනවා.."

"මං හිතන්නෙ සුරේන්ට අවුලක් නැතිවෙයි.."

"ඇත්තද සුරේන්..?"

"මට පුළුවන්..! කරන්න ඕන මොකක්ද බන්ටි..?"

"උඹ හෙට උදේම හැටන් බස්සෙකක නැගපන්.."

"හැටන් බස්සෙකක..?"

"ඔව්.. නාවලපිටි යන්න.."

එතනින් එහාට මගේ කතාව හැමෝටම තේරුණා..

"අදහස නම් හොදයි.. ඒත් මෙච්චර දවසක් බින්දු ඇයි අපට කතා නොකරේ..? අතීතය අමතක වෙච්ච මිනිහෙක් වගේ ඌ අපිව අමතක කරලම දාලනේ.."

"මටත් තියෙන ප්‍රශ්නෙ ඒකයි.. උන්ගෙ දෙරින් අහලත් වැඩක් නෑ.. අහන දේට නෙමේනේ උත්තර දෙන්නේ.."

"ඔව් බන්ටි.. චාමික ඊයෙත් බින්දුලහට කතා කරලා ඌ ගැන අහුවාම මුගේ ඇගට කඩන් පැන්නලු.. හරියට යකෝ, අපි බින්දුව නාවලපිටි ඇරියා වගේ.."

"ප්‍රශ්නෙට උත්තරේ නුවර නැත්තං, නාවලපිටියෙන් හරි හම්බ වෙයිනේ.."

"බින්දු ඉන්න තැන බන්ටිට ෂුවර්ද..?"

"ඔව්.. නාවලපිටියෙ ඉදලා තලවකැලේ පාරෙ කිලෝ මීටර් පහක් විතර යන්න ඕන.."

"මූව අතරමං වෙයිද දන්නෑ බන්ටි..?"

"ඔව්.. ඔව්.. එපාර බින්දු හෙවිල්ල පැත්තක දාලා මූවව හොයන්න වෙයි.."

"ප්‍රශ්නයක් නෑ.. මූ නැති උනත් මුගේ ගිටාර් එකේ සද්දෙ හරි ඒවිනේ.."

චාමික, සරිගමයව පෙන්නලා හිනාවුණා..

"එහෙනම් සුරේන්, හෙට උදේම ගිහින් හවස් වෙද්දි ඉක්මනට වරෙන්.. මං හවසට ගුඩ්ෂෙඩ් එක ළගට එන්නම්.."

"බන්ටි මට හවස ස්ටේෂන් එක ළග පොඩි වැඩක් තියෙනවා.. උඹ එතෙන්ට වරෙන්.."

හැම දෙයක්ම තීරණේ කරගෙන ඉවරයි.. මං ගෙදර ආවා..

                                            ****************************

"බන්..ටී.."

ගෙට ගොඩවෙන්න හම්බ වුණේ නෑ.. අක්කගෙ සද්දෙ මට ඇහුණා.. බන්ටි කියලා කියන්නෙ මට නෙමෙයි වගේ මං ගේ ඇතුළට ගියා.. ඉනටත් පල්ලෙහයින් අත් දෙක ගහගෙන අක්කා මං දිහා බලන් හිටියේ, ලොකු මස් කෑල්ලක් දිහා බලන් ඉන්න දඩෝරි සයිස් බලු රාළහාමි කෙනෙක් වගේ..

"මොකක්ද මේ ෆෝන් එකට වෙලා තියෙන්නෙ බන්ටි..?"

"මොන ෆෝන් එකටද..?"

"මගෙන්ද අහන්නේ..? මේ හැමදේම කරන්නෙ ඔයා තමයි.."

"අක්කේ මේ.. කියන බම්බුවක් තේරෙන විදියට කියන්න.. මොන අවමගුලක්ද මේ..?"

මට ඇට්ටි හැලෙන්නයි, ඊට තව චුට්ටක් වැඩියෙනුයි තදවුණා.. ඇයි යකෝ.. හිතේ එකයි.. බඩේ එකයි තියාගෙන පුංචි කෑල්ලක් විතරක් කියලා දානවා.. අපි ඉතිං ශබ්ද කෝෂ පෙරලන්න ඕන ඒවා තේරුම් ගන්න..

"කවුද මේ දිගට හරහට කෝල් දෙන්නේ..?"

"මොන කෝල්ද..? කාටද..?"

"ඒක තමයි මාත් අහන්නේ..?"

"මගෙන්ද ඔයා අහන්නේ..?"

"තැන්නං මං මේ කතා කරන්නෙ කාටද..?"

"ඔයා කතා කරන්නෙ බන්ටිට.. ඇයි අක්කේ.. මේ ගෙදර මං ඇරුනාම තව පිරිමි පරාණ දෙකක් ඉන්නවා.. මේ අහිංසක, අසරණ මාව ඔය කෙහෙල්මල් ෆෝන් ප්‍රශ්නවලට ගාවගන්නෙපා.."

"අනේ.. කියන සිරියාව විතරක්.. අහිංසකලු.. අසරණලු.. ගිහි්ලා ගහන්න බැනර් එකක් වැව රවුම ඉස්සරහ.."

ෂිහ්.. අම්මපා එක්කා ඒක කියපු කැත.. මට බැනර් ගහන්නලු.. කාට පේන්නද මන්දා.. අර පොරි ඇට ගිලින තඩි මාලුන්ටද..?

"අකේකේ.. මට පිස්සු හැදෙන්න තියෙන්නෙ තව ඩිංග වෙලාවයි.. කරුණාකරලා, එක්ස්කියුස්මී කරලා මට කියනවද මොකද වෙලා තියෙන්නෙ කියලා.."

"වෙලා තියෙන්නෙද..? කවුද මංදා බූරු තඩියෙක් දැන් සතියක වෙලේ ඉදන් කෝල් කරනවා.. ෆෝන් එක උස්සල හලෝ කිව්වහම කට් කරනවා.. අපි ගත්තහම කට් කරන්නයි, ඔයා ගත්තහම කතා කරන්නයි මේකෙ මොකක් හරි හොරයක් තියෙන්න ඕනනේ.."

"මම ගත්තහම කතා කරනවා..?"

අටවෙනි පුදුමෙ දැක්කටත් වැඩිය පුදුම වෙලා මං අක්කගෙන් ඇහුවා.. ඇයි යකෝ.. පුදුම කතානේ මේවා..

"ඔව්.. මතක නැද්ද ඊයෙ රෑ.. ලොකුයි, මායි දිගටම ගනිද්දි කෝල් එක කට් වුණා.. ඔයා ගත්තු සැනින් එක දිගටම කතා කරා.."

හප්පොච්චියේ.. ඔය ඇදිල තියෙන්නේ ජයවිරු සම්පතම.. මේ අර ලොකු පුතා කතා කරපු සිද්ධියනේ.. ඒක දැන් මුළුමනින්ම මගේ ගිණුමට වැටිලා..

"දන්නවද..? බන්ටි.."

"මොනවද..?"

"අද දවසෙදි විතරක් කෝල්ස් දහ අටක් ආවා.."

"අම්මප.."

මගේ අම්මප එකට අක්කගෙ මූණ, සලාද ගෝවා ගෙඩියක් වගේ ලොකු උනා.. එයාට උපරිමේටම මල පැන්නා කියලා මට තේරුණා.. පව් අප්පා.. කෝල් කරන එකා මොකා උනත් ඌ අපේ අක්කව සිරාවටම බයිට් කරලා.. අනේ දෙවියනේ.. කවුද ඒ පින්වන්ත ඉලන්දාරියා.. අම්මපා ඌ වෙනුවෙන් මලක් පූජා කරලා පානක් පත්තු කරන්නෝන..

                                           *****************************

වෙනදට උදේ දහය, එකොළහ වෙනකන් නිදාගන්නව උනත් උදේ හතාමාර වෙද්දි මට අහැරුණා.. ගෙදර මිනිස්සු අමුතු දෙයක් දැක්කා වගේ මගේ දිහා බලද්දි මං මට නෙමෙයි වගේ හිටියා.. ෂුවර් එකට මේ ඩිංගට අක්කා, අයියට කියලා ඇති ආන් අර වසවර්තියා කවදාවත් නැතුව උදෙන්ම නැගිටලා කියලා.. අද නම් මොකක් හරි විශේෂ දවසක් වෙන්න ඕන කියලා..

"බන්ටි අද කොහේ හරි යනවද..?"

"ඇයි අයියේ..?"

"මං ඇහුවෙ ප්‍රශ්නයක්.. මට ඒකට උත්තරයක් දෙන්න.."

"ඇයි අයියත් කොහේ හරි යනවද..?"

"බන්ටි.. ඔයා ළගකදි ඉදලා ගානට වැඩියි.. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.. වැඩිය උඩ පනින්න ආවොත්, ඔය දවස පුරා කරන රස්තියාදු ගැහිල්ල, මං තාත්තට කියලා නවත්තලා දානවා.. තේරුණාද..? එතකොට තමුසෙට බින්කුන්ඩෙක් වගේ ගේ ඇතුළට වෙලා ඉන්න වෙයි.. අන්න ඒක හොදට මතක තියාගන්නවා.."

යකෝ.. මේ උදේ පාන්දර මොන අවනඩුවක්ද මේ.. අයියාකාරයා උදේ ඇදේ විට්ටම පැත්තෙන්වත් බැහැලද..? මූ මගෙත් එක්ක ජාති ජාතිත් ඔරොප්පු විදියටනේ කතා කරන්නේ.. මං මූට මොනව කරාටද..?

"මං කොහේවත් යන එකක් නෑ.."

"ඒක හොදයි බන්ටි.. අද දවසෙම ගෙදරට වෙලා ඉන්න ඕන.."

"ඇයි..?"

"ඇයි කියන්නේ.. එක දවසක්වත් ඔයාට ගෙදරට වෙලා ඉන්න බැරිද..?"

"මං අහන්නේ.. ඇයි මං ගේ ඇතුළට වෙලා ඉන්නෙ කියලා.. මං සතෙක්ද..?"

"ඔව්.. සතෙක් තමයි.. මහා කැත සතෙක්.. තමුසෙගෙ ඔක්කොම සෙල්ලම් මං අල්ල ගන්නම්කෝ.."

මූට උදේම මල පැනලා.. මොන හත්තිලව්වක්ද මේ..? එක්කො උදේ පාන්දරම කවුරු හරි මේකව බයිට් කරලා.. එහෙමත් නැත්නම් දවස් ගානක පරණ කේන්තියක් තමයි මේ අයියාකාරයා මගෙන් පිරිමහන්න හදන්නේ.. සිද්ධිය ගැන මුකුත්ම දන්නැත්නම් බන්ටි හරි අහිංසකයි.. ඒක හින්දා මං සෑහෙන්න තැන්පත් වුණා..

"ඔයාට ඔච්චර උඩ පනින්න දෙයක් මං කිව්වෙ නෑ අයියේ.. ප්‍රශ්නෙ මොකක්ද කියලා හරියට අහනවා නම් කැත නැතුව උත්තරයක් දෙතෑකි.. ඔයත් වෙලාවකට වටෙන් වටේ ඇවිත් පිස්සු නේ නටන්නේ.."

"බන්ටි.. ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්නවා.. මොකක්ද මං නටපු පිස්සුව..? තමුසෙනේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච දවසෙ ඉදන් රස්තියාදු ගහන්නෙ කොල්ලොත් එක්ක.. ඉන්නවකෝ මං ඕකුන් එකෙකුටවත් මං මේ ගෙදෙට්ට අඩිය තියන්න දෙන්නෑ.. තමුසෙට උන්ව ආශ්‍රය කරන්න දෙන්නෙත් නෑ.. එතකොට බලමුකෝ තමුසෙගෙ ඔය කියම් කෙරුම් ඉබේම නවතින හැටි.."

බලන් ගියාම කැත සතා මම නෙමේ මූනේ.. සහෝදරයට උනත් මගෙ ප්‍රජාතන්ත්‍රවාදේ නැති කරන්න දෙන්න බෑනේ..ඇයි යකෝ මොන අවමගුලක්ද මේ..?

"ඒවට ඔයා කලබල වෙන්නෙපා.. අම්මයි, තාත්තයි බේබි නැන්දයි තාම ඉන්නවනේ.. එයාලා මං ගැන බලාගනියි.. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.."

"එහෙමද..?"

"ඔව් එහෙම තමයි.."

"එහෙනම් තමුසෙගෙ ඔය දහ පදුරු කෙල්ලට කියනවා මට ෆෝන් කරන්නෙ නැතුව ඉන්න කියලා.. තමුසෙගෙ ඔලුවට ආදරේ කියන පිස්සුව ගැහුවට මට තාම එහෙම නෑ.. තේරුණාද..? ආදරේ කරන්න කලින් මට කරන්න වැඩ ඕන තරම් තියෙනවා.."

පිස්සු හැදෙනවා. මොකක්ද බං මූ කියපු අලුගුත්තේරු කතාව..? මං මගෙන්ම අහගත්තා.. මූට උදේම අලි බෙට්ටක් වගේ මොකක් හරි දෙයක් පෑගිලා.. මොන කෙල්ලෙක් ගැනද මූ මේ කියන්නේ..? මූට නම් හොදටම පිස්සු.. අනිත්තෙක බලපල්ලකෝ.. මගේ ඔලුවට ආදරේ කියන පිස්සුව ගහලලු.. මූව යකාම කන්න එපාද..? මේ කියන නොසන්ඩාල කතා වලට.. 

"මොන දහ පදුරා කෙල්ලද..?"

"ඒක මගෙන්ද අහන්නේ..? අපොයි මුකුත් නොදන්න තොත්ත බබා.. ඒකියි, තමුසෙයි එකතුවෙලා මාව අල්ල ගන්නද හදන්නේ..? ඒව නම් හීනෙන්වත් වෙන්නෑ.."

"ඔයා කියන කිසි දෙයක් මට තේරෙන්නෑ.."

"තේරෙන්නෑ.. එනවා හරහට තියලා කිරි බෝතලයක් පොවන්න.."

ඇත්තටම මේකා උදේම නැගිටලා තියෙන්නේ, මගෙත් එක්ක ඔරොප්පුවක් දාගන්නවා කියලා එක සිතින්, එක පයින් හිතාගනෙ වෙන්න ඕන.. නැත්තං මොන ගිනි ගෙඩියක්ද අප්පේ මේ..? මායි, දහ පදුරා කෙල්ලයි එකතුවෙලා මූව අල්ල ගන්නලු හදන්නේ.. අපෝ වැඩේමයි.. අම්මප.. මොනවද මුගේ අල්ල ගන්න තියෙන්නේ.. බලන් ගියාම මූ මහ කක්කා පැකට් එකක්නේ.. 

"ඉස්සෙල්ලම කියනවා මගේ ෆෝන් නම්බර් එක ඒකිට දුන්නෙ ඇයි කියලා..?"

"මොන එකීටද..?"

"ඒක තමයි මිනිහො මාත් අහන්නේ..? කතා කරන්නෙ කවුද කියලා දන්නව නම් හොම්බ කට සමතලා කරලා දානවා මිසක් තමුසෙ ළගට එන්නෑ.. රෑට නිදාගන්න දෙන්නෑ ඔෆිස් එකේ වැඩක් කරන්න දෙන්නෑ.. පුදුම මල වදයක්නේ මේක.."

"ඔයාගෙ නම්බර් එක මං කාටවත් දුන්නෑ.. ඔයා වැරදි බොත්තම ඔබාගෙන ඉන්නේ.. අනිත්තෙක ඔයාට කෙල්ලෙක් සෙට් කරන්න මට පිස්සු නෑ.. ඔයා වගේ මල පනින කෙනෙකුට ගෑනු ළමයෙක් යාලු කරවලා පස්සෙ මටනේ අර්ෂස් අමාරුව හැදෙන්නේ.. ඒක හින්ද කරුණාකරලා ඔයාගෙ ඔය චෝදනාවෙන් මාව නිදහස් කරන්න.. නැත්තං මට වෙච්ච අපහාසෙට මං නඩු දානවා.."

"එහෙමද..? මං හැමදේම හොයා ගන්නම්කෝ.. අනිවාර්යයෙන්ම මේකට තමුසෙගෙ අර ගෝත යාලුවො ටිකයි, අර බේබි නැන්දයි හවුල් ඇති.. ඇයි උන්නේ තමුසෙට වාතයක් ගියත් දුවගෙන එන්නේ.."

"මේ.. මේ.. මේ.. කරුණාවෙන් කියන්නේ.. ට්‍රැක් එකෙන් පනින්නෙපා.. මොකා අල්ල ගත්තත් කමක් නෑ.. මගෙන් කෑල්ලක් කෑවත් කමක් නෑ.. හැබැයි බේබි නැන්දව අල්ලගන්නෙපා.."

"එයාට මොනවා හරි කිව්වම තමුසෙට හරි අමාරුයි නේද..?"

"ඔව්.. ඇයි ඒක ප්‍රශ්නයක්ද..?"

මං සිරාවටම ඇහුවා.. ඇයි යකෝ.. මෙච්චර වෙලා එක කුසේ උපන් සහෝදරයා කියලා හිතාගෙන ඔලුව පාත් කරන් හිටියට, ඔලුවට අත හෝදන්න එනවා.. කොටින්ම කියනවා නම් මට තදවුණා.. බන්ටිට කේන්ති ගියාම අනිත් අයගෙ කේන්ති වලට හම්බවෙන්නේ බොහොම අඩු ස්ථානයක්.. සාමාන්‍යයෙන් කිව්වොත් අගයක් නෑ වගේ තමයි.. බන්ටිගෙ කේන්තියට කවුරුත් බයයි..

"හොදයි මං බලාගන්නම්කෝ.."

"කොච්චර බැලුවත් ඔච්චර තමා.. ඔයා වගේ දවසින් දවසට මාරු කරන්න මූණත් තාඩු බන්ටිට නෑ.. හැමදාටම එකම මූණයි තියෙන්නේ.."

කාමරේට ආවා වගේම මූණ කලු කරගෙන අයියා යන්න ගියා.. දොර රෙද්ද ළගට වෙලා කතාව අහන් ඉදපු අක්කගෙ ඇගේ මිනිහා තව ඩිංගෙන් හැපෙනවා..

"මොකද ලොකූ වෙලා තියෙන්නේ..? බන්ටි මොකද කරලා තියෙන්නේ..?"

"කරන දේ හෙට අනිද්දම මිනිහා තේරුම් ගනියි.. මං මේක ලේසියෙන් අතාරින්නෑ.."

"ඇයි.. ඔයාගෙ මොනවා හරි දීලද කවුරු හරි හිගන්නෙකුට.. මෙයා ඒ වගේ වැඩ නේ කරන්නේ.. මතකනේ ගිය පාර අවුරුද්දට තාත්තා අරන් දීපු අලුත්ම කමීසෙ අර හිගන පැටියෙකුට දීළා තිබුණේ.."

"හිගන්නෙකුට දීලා නම් කමක් නෑ.. මේකා දීලා තියෙන්නෙ හිගන්නියෙකුට.."

"දෙයියනේ.. මගේ අලුත්ම සල්වාර් එකද දන්නෑ.. අනේ ලොකූ.. ඒකත් එක්ක මගේ සිල්වර් ජුවලෙරි ටිකත් තිබ්බා.. ඒක දීලා නම් මං බන්ටිව තියන්නෑ.."

එතනින් එහාට මට කතාව ඇහුණෙ නෑ.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. මට හිතෙන විදියට අපේ අම්මට මට කලින් හම්බ වුණු දරුවො දෙන්නම මහා භයානක පිස්සො දෙන්නෙක්.. උන් දෙන්නා කතා කරන දේවල් මොනවද කියලා උන් දෙන්නම දන්නෑ.. දැන් කරුමෙට හරි ඔය සල්වාර් එකයි.. ජුවෙලරි ටිකයි නැති වුණොත් ඒකටත් මේ අහිංසක බන්ටිම තමයි අහුවෙන්නේ..  



   
      

No comments:

Post a Comment