Sunday, April 29, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






කන්නාඩිය ඉදිරියට ගිය චේතිය යළිත් වරක් තම රුව පිරික්සා බැලුවේය.. නමුත් ඔහුට තම කොණ්ඩය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවක් දැනුණි.. එහෙයින් එම බොරු කොණ්ඩය ගලවා දැමූ ඔහු ක්‍රේල් හිස කෙස් සහිත කොණ්ඩය පැළඳ ගත්තේය.. එය නම් ඔහුගේ හිසට මනාව ගැලපුණී..

“මොකද පුතේ ඔය කොණ්ඩ මාරු කරන්නෙ..? අදත් කොහේ හරි නාට්ටියකට යන්නද..?”


දොර රෙද්ද අතරින් මොහොතක් තම පුතු දෙස බලා උන් ගුණවතී විමසුවාය..

“ඔව් අම්මා.. හවස පොඩි රිහසල් එකක් තියෙනවා..”

මවගේ මුහුණ බලාගෙන එය කීමට නොහැකි නිසා චේතිය එය කීවේ බිම බලාගෙනය.. නමුත් ගුණවතීට එහි වෙනසක් දැනුණේ නැත.. ඈ තවත් මොහොතක් පුදු දෙස බලා  හිඳ හිමිහිට යන්න ගියාය..

ඉතා දුගී පවුලක එකම පුතු වූ චේතිය මෙම වෙස් ගැන්වීම් කළේ නාට්‍යය පුහුණුවකට හෝ මව රැවටීමට නොව තම අනන්‍යතාව සගවා ගැනීමටය.. පියාත් නොමැතිව තනිව පවුල ගොඩ ගැනීමට වෙර දරන අසරණ මව හා පුංචි නැගණිය රැකබලා ගැනීම තම යුතුකමක් සේ ඔහු සැලකුවේය.. බොහෝවිට නාට්‍යය පුහුණුවීම් ඇති බව මවට පවසා ඔහු පාසල අවසන් වූ පසු අමතර රැකියාවක හෝ කුලී වැඩක නියැලුණි..

“අයියා.. මමත් එන්නද ඔයාගෙ නාට්ටිය බලන්න..?”

තවමත් හත්  හැවිරිදි වියේ පසු වූ නැගණිය ඇගේ බෝල ඇස් පුංචි කර විමසද්දී චේතිය කල්පනා ලොවින් මිදුණි..

“නාට්ටිය පෙන්නන්න තව ගොඩක් කල් තියෙනවා චූටි.. මං ඔයාව එදාට ගෙනියන්නම්කො..”

නැගණියගේ නාසය මිරිකූ ඔහු බොරු කොණ්ඩය හා වෙස් ගන්වන උපකරණ කට්ටලය සිය ගමන් බෑගයේ දමා ගත්තේය.. පාසලේ බාල දක්ෂ ඇදුමද වෙනම නවාගත් ඔහු පාසල් නිල ඇදුමින් සැරසුණි..

“අනේ මංදා.. නිවාඩු දවසකවත් ගෙදර ඉන්නෙ නෑ නොවෑ.. ආ.. මේ බත් ඩිංගිත්ත කාලා යන්න..”

සුදු හාලේ බතට පොල් සම්බෝලයක් කොටා ගත් ගුණවතී එය මැටි කෝප්පයකට දමාගෙන පුතුට කැවීමට සූදානම් විය..

“අයියෝ අම්මා.. දැන් බත් කාලා ගිහින් මං ප්‍රැක්ටිස් කරන්නෙ කොහොමද..?”

චේතියගේ හඩට ගුණවතී ඇනූ බත්කට යළිත් මැටි කෝප්පයට දැමුවේ සිත් වේදනාවෙනි.. පුතු නොකන්නේ වෙනකක් නිසා නොව හොදි, මාළු නොමැති නිසා බව ඇය දනී.. කොතරම් අගගිඟකම් තිබුණත් චේතියට කටට රසට කෑම වේල තිබිය යුතුය.. රජ බොජුන් නොමැති වූවාට කරවල බැදුමක් සමග හෝ දැවිල්ලට යමක් ඔහු අපේක්ෂා කරයි..

“අම්මා ඕක චූටිට කවන්න.. මං යන්නම්..”

සිය මවට බාගෙට නැමී වඳින ලද චේතිය කඩුල්ල ළගට ගොස් යළි හැරුණේය..

“අම්මා අද වලව්වට යන්න එපා.. චූටිත් ගෙදර තනියමනේ..”

ඔහු එය නැවත මතක් කර දුන්නේ මව ගල් කන්ද වලව්වට ගියහොත් තම සැලැස්ම අපතේ යන නිසාවෙනි.. ඔහුගේ ඔවදනට මුනිවත රැකි ගුණවතී පුතු යන මග දෙසට නෙත් යොමා උන්නේ ඔහු නොපෙනී යන තුරුය..

ගල් කන්ද වලව්ව යනු එම පලාතටම තිබෙන විසල් වලව්වයි.. ගුණවතීලා වසන මෙම නිවසද ගල් කන්ද වලව්වට අයිති වූවකි.. ගුණවතීගේ මියගිය සැමියා වූ ධර්මතිලකද ජීවිතයෙන් හරි අඩක්ම කළේ වලව්වට ආවතේව කිරීමය.. ඔහු මියගිය දා පටන් ගුණවතී එම වගකීම කරට ගත්තාය.. ඈ එය කැමැත්තෙන් නොකලද තම පුංචි පුතු රැකබලා ගැනීමට හා වාසස්ථානය අහිමි කර නොගැනීමටද ඇයට ගත හැකිව තිබූ එකම හා හොදම තීරණය එයයි..

නමුත් ඉන් ඇයට හිමිවූයේ කුසට අහරක් හා හිසට සෙවනක් පමණක් නොවේ.. ඒ අදුරු යට ගියාව යළි සිහිපත් කිරීමට අකමැති වූ ඈ සුසුමකින් ලය සැහැල්ලු කර නිවසට පා තැබුවාය..

                                             ****************************

“අයියෝ චේති.. උඹ පරක්කුයි හොදටම..”

“ඒ මදිවට යුනිෆෝම් පිටින්..”

පාසල් ගේට්ටුවෙන් ඇතුළු වූ චේතිය දුටු සැනින් මිතුරෝ කෑ ගැසූහ.. ඒවා කනකට නොගත් චේතිය පාසල ඇතුළට ගොස් යොමා බැලුවේ බාල දක්ෂ කමිටුව භාරව කටයුතු කරන මහින්ද සර් පෙනෙන්නට ඇත්දැයි කියාය..

“විනාඩි දෙකක් දියන්.. මං පට ගාලා චේන්ජ් කරන් එන්නම්..”

මොහොතක්වත් පමා නොවූ චේතිය ළගම තිබූ පංති කාමරයට රිංගා බාල දක්ෂ ඇදුම ඇඟලා ගත්තේය.. ඔහු පිරිස අතරට එන විට මහින්ද සර්ද ඔවුනට එක් වුනි..

“අද මේ වැඩේට මං ප්‍රින්සිපල් සර්ගෙන් පර්මිෂන් ගත්තෙ හරි අමාරුවෙන්.. ඔයාලා මේ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ..”

පහළොස් දෙනෙක්ගෙන් යුත් නඩය අමතා සර් සර් පවසද්දී ළමෝ එය වටහාගත් විලස හිස් සැලූහ.. බාල දක්ෂ අරමුදල තර කර ගැනීමට ඔවුන් මෙම සෙනසුරාදා දිනය යොදා ගත්තේ එවිට පාසල් වැඩ කටයුතු අතපසු නොවන හෙයිනි..

“චේතිය මොනවද ඔයාලගෙ යෝජනා..?”

මහින්ද සර් එය චේතියගෙන්ම විමසා සිටියේ ඔහු බාල දක්ෂ කමිටුවේ නායකයා වූ නිසාය.. එපමණක් නොවේ.. ඔහුගේ අසාමාන්‍ය පෞරෂය හා සහජයෙන්ම උරුමව තිබූ නායකත්වයේ ගති ලක්ෂණ නිසා සෙසු පිරිස ඔහුගේ බසට අවනත වන ගතියක්ද  තිබිණි..

ගමේ පාසලකින් උසස්පෙළ සදහා නගරයේ පිරිමි පාසලකට ඇතුළත් වූ ඔහුට වසරක් ඉක්ම යාමට මත්තෙන් මෙම තනතුර හිමි වූයේ ඔහුගේ එම අසාමාන්‍ය ගති ලක්ෂණ නිසාය.. එහෙන්ම මහින්ද සර්ද සුදුස්සාට සුදුසු තැන දෙන ආකාරයේ මහත්මා ගති ඇති ගුරු භවතෙකි..

“සර්.. මට හිතෙනවා මෙතන පහළොවක් ඉන්න නිසා තුන්දෙනා ගානෙ කණ්ඩායම් හැදිලා පැති පහකට ගියානම් හොදයි කියලා.. ඒ වගේම අපි ඊයෙ කතා උනා මේ අවට තියෙන පැරණි බංගලා වලව් වගේ ඒවා පැත්තෙ ගිහින් බලන්න..”

“ඒ මොකද..?”

මහින්ද සර් හරස් ප්‍රශ්නයක් නැගුවේ ඔහුගේ එම කතාවේ යටි අරමුණ එකවර වටහාගත නොහැකි වූ නිසාය..

“මේකනේ සර්.. සාමාන්‍ය ගෙවල් වලට ගියාට ඒ මිනිස්සු අපෙන් වැඩ ගන්න කැමති නෑ.. ඇරත් ඒ ගෙවල් වල අපිට කරන්න තරම් වැඩත් නෑ.. එයාලා අපිට නිකං රුපියල් විස්සෙ පනහෙ ඒවා දෙනවා.. අපි එතකොට නිකං හිගන්නන්ගෙ තත්වෙට වැටෙනවනේ සර්.. අනික අපි වැඩ නොකර පිනට සල්ලි ගන්න එක නම් මේ යුනිෆෝම් එකටත් කරන අගෞරවයක්.. ඉතිං අපි  හිතුවා මේ පළාතෙ වලව් එහෙම කීපයක්ම තියෙන නිසා ඒවලට යන්න.. ඒවයේ අවුරුදු ගණන් පුස්කාපු දූවිලි තට්ටු ටිකක් හරි අපට සුද්ද කරන්න බැරුවයෑ.. අනික සර්.. ඔය වලව්කාරයො හරි ලොකු මාන්නයක් තියෙන අය.. එයාලා සල්ලි කීයක් හරි දුන්නත් දෙන්නෙ එයාලගෙ නම්බුව බේර ගන්න පුළුවන් විදියට..”

“ඒ කිව්වෙ..?”

“ඒ කිව්වෙ සර්.. ඔය මොණරු.. බෙරකාරයො වගේ කොළ වලින්..”

චේතිය එය කීවේ හඩ තරමක් බාල කරය.. ඒ කතාවට මහින්ද සර්ගේ පමණක් නොව සියළුම දෙනාගේ මුවේ සිනාවක් විසිරුණි..

“හරි.. චේතියගෙ යෝජනාව බොහොම හොද එකක්.. ඒකට විරුද්ධ කවුරු හරි මෙතන ඉන්නවද..?”

සර් පමණක් නොව චේතියද ඔවුන් දෙස බැලුවේ කුතුහලය මිශ්‍ර දෑසිනි.. ඔහු මෙම අදහස ඊයෙ පිරිස සමග කතා කල බව සර්ට කීවද ඔහු එය කතා කලේ තම සමීපතම මිතුරන් දෙදෙනා වූ රංග හා කලන සමග පමණක් වීම එයට හේතුවයි.. නමුත් ඔහුගේ අදහසට කිසිවෙකු එරෙහි නොවීම නිසා චේතියගේ සිතට දැනුණේ සහනයකි..

“හරි.. එහෙනං ඔයාලා කතා කරගත්ත විදියට වැඩේ කරන්න.. මගෙත් පොඩි අදහසක් තියෙනවා..”

මහින්ද සර් අමුතුම ආකාරයේ සිනහවක් මුව රදවා කියද්දි සැවොම එකිනෙකාගේ මුහුණු බැලුවහ..

“ඔයාලා කට්ටිය අද දවසට දහ දාහකට වඩා හොයන්න ඕනෙ.. මං කිව්වෙ එක කණ්ඩායමකින් අවමය දෙදාහක්..”

“අයියෝ සිම්පල්නෙ මචං..”

රංග සිය මිතුරා වූ චේතියගේ කනට කර කීවේ දැඩි ආත්ම විශ්වාසයකිනි..

“දැන් චේතිය කිව්ව විදියට මොණර කොළ හම්බ වෙනවානං එක ටීම් එකක් ගෙවල් දෙකකට ගියත් මැදැයි.. ඉතිං.. ඔයාලා මේ නිවාඩු දවසෙ පංති යන්නෙ නැතුව ගෙවල් වල වැඩත් පාඩු කරගෙන මේ ගමන ආපු එකේ වැඩක් වෙන්නත් එපැයි.. ඒ නිසා ඔයාලා අද දහදාහකට වඩා එකතු කරන හැම සතේම මං ඔයාල පහලොස් දෙනා අතරෙ බෙදලා දෙනවා..”

“හුරේ..”

ළමුන් පිරිස සතුටු සිතින් ජය ඝෝෂා නැංවූයේ එය එතරම් අසීරු ඉලක්කයක් නොවන හෙයිනි..

“හැබැයි එකක්.. මේ කතාව ඔයාලා පහළොස් දෙනාගෙන් පිට යන්න බෑ..”

මහින්ද සර් අවසන් මොහොතේ අනතුරු ඇගවීමක්ද කළේ බොහෝ දුරට කල්පනා කිරීමෙන් පසුවය.. ඔහුගේ තීක්ෂණ ඥාණය හා ළමුන්ට ඇති කරුණාව හොදින් දැන උන් චේතිය ඇතුළු කණ්ඩායම එයට එකගව හිස් සැලූහ..

                                            ****************************

“ඇත්තටම ඇයි උඹ අද අම්මට බොරුවක් කියලා මේ ගමන ආවෙ..? ආන්ටි දන්නවනේ උඹ බාල දක්ෂයෙක් කියලා.. ඉතිං කියලා එන්න තිබුනනේ..”

රංග චේතියගෙන් විමසා සිටියේ කුරුණෑගල නගරය මධ්‍යයටත් පැමිණි පසුවය.. එතෙක් ඔහු එය නොඇසුවේ චේතියගේ සැබෑ තතු දැන උන්නේ තමාත් කලනත් පමණක් හෙයිනි..

“කියලා එන්න තිබුණා අපි ගල් කන්ද වලව්වට නැතුව වෙන කොහේ හරි යනවනං.. කරුමෙට ඉතිං අපේ අම්මා වැඩ කරන්නෙත් එතනනෙ.. නිකං හරි අද එහෙට බාල දක්ෂයො ආවා කියලා එයා දැන ගත්තානං සැක  හිතනවා..”

තම මව ගල් කන්ද වලව්වේ මෙහෙකාරකම් කරන බව ගමේ පාසලට යන කාලයේ පටන්ම දැන උන් මේ මිතුරන් දෙදෙනාට බොරුවක් කීමේ අවශ්‍යතාවක් චේතියට නොවිණි..

“උඹ අම්මටත් රෙස්පෙක්ට් එක දාලා වලව්වට නොගිහින් හිටියට මොකෝ ඒකට රිංගන්න උඹේ යට හිත කැමතියි නේද..?”

මිතුරාගේ වදන් කොතරම් සත්‍ය දැයි චේතිය සිතා බැලුවේය.. සැබැවින්ම ඔහු ශීෂ්‍යත්වය කරන සමයෙන් පසු ගල් කන්ද වලව්වට පය ගැසුවානම් ඒ වරක් හෝ දෙකක් පමණි.. මතක ඇති මෑත ඉතිහාසයේ නම් ඔහු එහි නොගිය තරම්ය.. නමුත් කුමක්දෝ නොතේරෙන හේතුවක් මත ඒ වලව්වේ සැගවී ඇති ගුප්තභාවය රසවිදීමට චේතියගේ සිතේ කැමැත්තක් ඇති වී තිබිණි.. එය මෑත කාලයේ පෙරටත් වඩා ඔහුගේ සිතට වද දෙන්නට විය.. බාලදක්ෂ කමිටුවේ මුවාවෙන් ඔහු මෙම ගමන යොදා ගත්තේ එම සිතැගි ඉටු කර ගැනීමටය..

“මචං.. ඇතුලගකාරයා උඹව අඳුර ගනියිද..?”

කලන ඇසූවට චේතිය ඔලොක්කුවට මෙන් සිනාසුණේය..

“අඳුරගන්නෙ මං මේ විදියට ගියොත්නෙ.. ”

මිතුරාගේ වෙස් ගැන්වීම් පිළිබද දැන උන් රංග කලන දෙස බලා ඇසග් ඉගි කළේ චේතියගේ බෑගය පෙන්වමිනි..

“ආ.. උඹ අදත් ටූල් කිට් එක අරගෙනද ආවෙ..?”

චේතියගේ වේශ නිරූපණ කට්ටලය මිතුරන් දෙදෙන හැදින්වූයේ ටූල් කිට් එක ලෙසය.. ඔහුගේ බෑගය තරමක් විශාල නම් ඔහු නොවරදවාම එය රැගෙන එන බව දෙමිතුරෝ දැන උන්හ..

“උඹේ ඔය ඩබල් ඇක්ටින් පාර තාමත් ඉස්කෝලෙට මාට්ටු උනේ නැති එක හොදයි.. දැනගත්ත දාට උඹගෙ පටි රෝල්..”

රංග කියූවට චේතිය සැහැල්ලු ලෙස සිනාසුණේ එවැන්නක් කිසි දිනෙක සිදු නොවන බව දන්නා නිසාය.. චේතියලාගේ දුප්පත්කම නිසා මෙන්ම ඔහුගේ මවගේ රැකියාව නිසා ගමේ පාසලේදී මිතුරන්ගේ අවමන් වලට ලක් වූ චේතිය සාමාන්‍ය පෙළින් පසු පාසල මාරු කිරීමට තීරණය කළේ දෙවරක් නොසිතමිනි..

තමාට එම කඩඉම තරණය කිරීමට ඇති එකම මග හොදින් සාමාන්‍ය සමත්වීම බව දැන උන් චේතිය එම අවස්ථාව මග  හැරියේ නැත.. නමුත් පළමු වසරේ පටන් එකටම හැදී වැඩුණු තුන් යහළුවන්ට වෙන්ව සිටීමට හිත හදාගත නොහැකි වූහ.. රංග හා කලනත් විභාග ප්‍රතිඵල හා මුදල් යන දෙකේ සංකලනයෙන් පින් සිදු වෙන්නට චේතිය ඇතුළු වූ නගරයේ ජාතික පාසලටම රිංගා ගත්තේ එහෙයිනි..

ගමේ පාසලේ උන් සමයේ තම මිතුරා විදි මානසික පීඩනය දැන උන් මිතුරෝ මෙම පාසලේදී චේතියගේ දුප්පත්කම වසාලන්නට ඔහුට උදව් දුන්හ..

“මගේ පටි රෝල් වෙන්නෙ උඹලා දෙන්නා කට ඇරියොත් විතරයි.. මට උඹලා දෙන්නව මං තරමටම විශ්වාසයි.. ඒ නිසා අවුලක් නෑ..”

චේතිය එය කීවේ සිනාසෙමින් වුවද එය ඇසූ රංග හා කලනගේ මුහුණු බොහෝ හැගීම්බර වූහ..

“රා..යිට් කිට්ටුවටම ආවා.. දැන් මට පොඩි සපෝර්ට් එකක් දියන්..”

කතාවෙන් කතාව ගල් කන්ද වලව්ව කිට්ටුවටම පැමිණ තිබූ ඔවුන් වසා තිබූ පාළු කඩයක් අභියස මොහොතකට නතර විය.. කරේ දමා උන් බෑගය ගැලවූ චේතිය සිය බොරු කොණ්ඩය හා කණ්නාඩි කූට්ටම අතට ගත්තේ මිතුරන් දෙදෙන පුදුමයෙන් බලා හිදිද්දීය..

“දැන් කොහොමද..?”

ක්‍රේල් කොණ්ඩය පැළඳ කණ්නාඩි දැමූ පසු ඔහුගේ ස්වරූපය බොහෝ දුරට වෙනස් වී තිබිණි..

“කොණ්ඩෙනං එළ.. ඒත් ෆේස් කට් එක අදුරයිද මංදා..”

එසේ කීවේ රංගය..

“රැවුලක් දාගන්න තිබ්බා මචං.. ඒත් මේ ඇදුමෙ හැටියට ඒක කරන්න බෑ..”

එසේ කියනා අතරතුර චේතිය උපන් ලපයක් සේ පෙනෙන පොඩ් ස්ටිකරයක් තම වම් කම්මුලේ අලවා ගත්තේය..

“ෂා.. දැන්නං අයිසෙක් නිව්ටන් වගේ..”

ඔවුන් සිනාසෙමින් යළිත් පාරට පිවිසියහ.. ගල් කන්ද වලව්ව පිහිටා තිබුණේ අක්කර ගණනාවක අති විශාල පොල් වත්තක් මධ්‍යයේය.. එම සුවිසල් වත්තේ එක් පැත්තක් දිගටම විශාල කළු ගල් කන්දකට මායිම් වුනි.. වලව්වට එම නම ලැබී ඇත්තේ එකී කළු ගල් කන්ද නිසා බව ගම්මුන් කියනවා චේතිය අසා ඇත..

“ඇතුගලයට දුවෙක් නෑ නේද මචං..? වයස ප්‍රශ්නයක් නෑ.. නාඩි වැටෙනවානං එච්චරයි..”

සුවිසල් වලව්ව නෙත ගැටෙත්ම කලන කීවේ මිතුරන් දෙදෙන හිනස්සමිනි..

කොතරම් විහිළු කරමින් පැමිණියද වලව්වේ මිදුලට පය ගැසූ සැනින් චේතියගේ හිත අමුතුම හැගීමකින් හිරි වැටී ගියේය.. එය මේ යැයි පැහැදිලිව වටහාගත නොහැකි තරමට ඔහුගේ සිත අවුල් වී තිබිණි..

“චේති.. මෙහේ බල්ලො නෑ කියලා උඹට ෂුවර් නේද..?”

කෑ ගසමින් පැමිණි රංගගේද කටහඩ බොහෝ දුරට අඩු වී ඇත..

“බල්ලො මේ වෙලාවට ගෙදර නෑ බං.. ඌ දඩාවගේ ගිහින් ගෙදර එන්නෙ රෑට..”

චේතිය කීවේ ඒ හා සමාන පහත් ස්වරයකිනි..

“ඒ මොන බල්ලොද..?”

එයට පිළිතුරු දීමට පමා නොවූ චේතිය වටපිට බැලුවේ හේතු හාමි සිටීදැයි කියාය..

“වොචර්කාරයා කෝ බං..? මේ පට්ට දවාලෙ මිනිහා බුදිද..?”

එවර ප්‍රශ්නය නැගුනේ කලනගෙනි.. එයට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ කලන දෙස රවා බැලීමය.. ඈතින් දිව එන හේතුහාමි දුටු මිතුරන් තිදෙනා ප්‍රශ්න කිරීම් නවතා අඩියක් දෙකක් ඉදිරියට ඇවිද ගියහ..

“මේ දරුවො... ඉස්කෝලෙකින් වෙන්ටැති..”

බුලත් කහට රැදි දත් පෙලද පෙන්වා සිනාසුන හේතුහාමි ඔහුන් පිරික්සන ආකාරයේ බැල්මක් හෙළුවේය..

“කෝ අන්කල්.. වලව්වෙ කවුරුත් නැද්ද..?”

රංග විමසා සිටියේ මේ අවස්ථාවේ චේතිය කතා කළහොත් කටහඩ අදුරා ගනීවි යන සැකයෙනි..

“හාමු මහත්තයා ඔපීසියෙ වැඩ වගයක්.. ඩිංගක් ඉන්නකෝ..”

එසේ කී හේතු හාමි උරහිස රැඳි අඳුරු පැහැ තුවා කැබැල්ලෙන් තම කට පිසිමින් වලව්ව තුළට ගමන් ගත්තේය..

“මේක ටුවරිස් හොටෙල් එකකට මරු ප්ලේස් එක නේස චේති..? අර පහළට වෙන්න පූල් එකකුත් හැදුවනං මාර ඩිමාන්ඩ් එකක් තියෙයි..”

ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු වූ රංග වලව්ව දෙස බැලුවේද ව්‍යාපාරික ඇසිනි.. ඔහු එය නිකමට කියුවාක් වුවද ඒ කතාව කොතරම් සත්‍යයක්දැයි චේතියට වැටහුණේ ඈතට දිව යන බෑවුම් සහිත පොල් ඉඩම දකිද්දීය..

“උඹලගෙ අම්මා ඇවිත් නැතුව ඇති නේද..?”

“නෑ රංග.. අද චූටි ගෙදරනේ.. අම්මා එයාව වලව්වට එක්කගෙන එන්නෙ නෑ..”

මිතුරාට පිළිතුරු දුන්නද චේතිය උන්නේ වලව්ව තුළට යාමේ දැඩි ආශාවකිනි.. පුංචි සන්ධියේ තමාට ආදරය දැක්වූ වලව්වේ ළමාතැනී විටින් විට චේතියගේ අතීත මතකය අළුත් කලේය..

“මේ ළමයි..?”

වෙන වෙනම කල්පනා ලෝකවල සිරවී උන් තිදෙනා එම ගැඹුරු කටහඩින් සසලව ගිය තරම්ය.. ඒ පැමිණ උන්නේ අනෙකෙකු නොව වලව්වේ ඇතුගල හාමුය..  

තම පාසල හා බාල දක්ෂ අරමුදල ගැන කෙටියෙන් හැදින්වීමක් කළ කලන ඔවුනට කළ හැකි වැඩක් ඉල්ලා සිටියේය..

“හේතුහාමි.. මොනවද අපි මේ ළමයින්ට කරන්න දෙන්නෙ..?”

ඇතුගල හාමු හේතුහාමි දෙසට හැරී විමසිය.. උස මහත ශ්වේත වර්ණ සිරුරකින් යුතු ඇතුගල හාමු අභියස උන් හේතුහාමිව චේතියට පෙණුනේ ගලිවර් ළග ඉන්නා ලිලිපුට්ටෙකු ලෙසිනි..

“වැඩනං එමටයි හාමු මහත්තයා..”

ඇතුගල හාමු ඉදිරිපිටදී කොන්ද නමාගෙන හේතුහාමි පැවසුවේ බොහෝ බය පක්ෂපාතීවය..

“මම කියන්නද.. ඒබරං අසනීපයි කියලා පණිවිඩයක් එවලා තිබුණා.. ඒ නිසා අපි අර පොල් ටික ලෙලි ගස්සව ගමු..”

මිතුරන් තිදෙන එකිනෙකාගේ මුහුණු පිරික්සුවේ එවන් වැඩක් ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ බැවිණි.. නමුත් දැන් කළහැකි දෙයක් නැත.. තින්දුව දුන් ඇතුගල හාමු නොපෙනී ගොස්ද අවසන්ය..

“මේ පැත්තෙන් එන්න ළමයිනේ..”

වලව්වේ පිටතින් ඔවුන් තිදෙනාව කැදවාගෙන ගිය හේතු හාමි වත්තේ බෑවුමකට වෙන්න ගොඩගසා තිබූ විශාල පොල් කන්දක් අභියට නතර විය.. එහි පහළ සිට මුදුනට නෙත් යැවූ කලනගේ දෑස්ද පොල් ගෙඩි තරම්ම විසල් විනි..

“මේ පොල් කන්දටද බං අරූ පොල් ටික කියලා කිව්වෙ..?”

කලනගේ සිතැගි වටහා ගත්තාක් මෙන් චේතියද කියා සිටියේය..

“මේං මෙතන පොල් උලවල් දෙකක් තියෙනවා..”

පොළවටම ගසා තිබූ හැඩලයේ උල් දෙකක් පෙන්වූ හේතුහාමි ඔවුන්ව එතන තනිකර දමා නැවතත් වලව්ව දෙසට ගමන් ගත්තේය..

“ෂිට්.. අදනං රාහු කාලෙට එළියට ඇවිත් තියෙන්නෙ.. මදැයි කීයක් හරි වැඩියෙන් එකතු කරගන්න ආවා..”

“මූ කුණු නප්පියෙක්ද කොහෙද.. අර ඒබරංද අබරංද මොකාගෙද මන්දා වැඩේ අපේ කර පිටින් තියලා ෂේප් කළා..”

කලන හා රංග මැසිවිලි නගමින් පොල් ලෙලි ගැසීමට සැරසෙද්දී චේතිය වලව්ව හොදට පෙනෙන තැනකින් ඉද ගත්තේය..

“අප්පට සිරි.. මෙන්න ඒ පාර මූ හාමු වෙලා.. උඹේ ගොන් අයිඩියා එක නිසා තමයි අපිට අද පොල් ලෙලි ගහන්න උනේ..”

“හරි හරි බං.. උඹලගෙ අත රිදෙද්දි මට දියන්.. අපි මාරුවෙන් මාරුවට ලෙලි ගහමු..”

ඔවුන් විහිළුවෙන් විහිළුව පැය දෙකක් පමණ පොල් ලෙලි ගැසීමේ නිරත වුවද පොල් කන්දේ නම් කිසිම අඩුවක් පෙනෙන්නට නොවිය.. නමුත් ඒ වන විට තිදෙනාගේම දෑත් රෝස පැහැ ගැනිවී කර ගැට මතු වී තිබිණි..

“ළමයිනේ.. ආ මේක බීලා ඉමු..”

දහඩිය පෙරා වැඩ කරන ඔවුන් වෙත හේතුහාමි රැගෙන විත් තිබුණේ සීත කල කොකා කෝලා කෑන් තුනකි.. වෙලාවේ හැටියට ඔවුනට එය මහගු ඖෂධයක් විය..

“ඔය ළමයින්ට කන්න මොනව හරි හරිගස්සන්න තිබුණා ගුණවතීවත් හිටියනං.. කොහෙද වෙලාවටම ඒකිත් අද නෑනෙ..” 


හේතුහාමි කොකා කෝලා පිළිගන්වන අතරතුර කීවේ චේතිය දෙස විපරමින් බලමිනි.. ඔහු තමාව හදුනා ගනීදෝ යන සැකයෙන් චේතිය තරමක් පිරිස මග හැරියේය..


“කවුද අන්කල් ගුණවතී කියන්නෙ..?”


රංග කිසිත් නොදන්නා ලෙස විමසුවේ කොකා කෝලා කෑනය ඇගිල්ලෙන් විවර කරන අතරතුරය.. තරමක් ඈතක උන්නද චේතියද මෙම කතාවට දෙසවන් යොමා සිටියේය..


“ගුණවතී තමා මෙහෙ වැඩ කටයුතු බලා කියාගෙන උයලා පිහලා දෙන්නෙ..”


“එතකොට අන්කල්ගෙ නම..?”


“මම හේතුහාමි.. අපිත් ඉතිං මේ වලව්වට සින්න වෙච්චි උදවිය නොවෑ..”


එතරම් ළග පාත නොවුනද එකම ගමේ නිසා රංග හා කලනද ගල් කන්ද වලව්ව ගැන බොහෝ විස්තර දැන උන්හ.. නමුත් ඔවුන් හේතුහාමි සමග කතාබහ කළේ ඒ කිසිත් නොදන්නා අයුරිනි..


“හාමු මහත්තයගෙ නෝනා වලව්වෙ නැද්ද අන්කල්..?”


“අනේ.. අපේ ළමාතැනී සීදේවී නෝනා කෙනෙක්.. ඒත්.. ඒත්..”


හේතුහාමි එකවරම කතාව නවතා ගත්තේය.. ළමුන් සිතුවේ ඇතුගල හාමු තමන් සිටිනා ඉසව්වට එතැයි කියාය.. නමුත් ඔහු පෙනෙන ඉසව්වකවත් නොවිණි..


“ඇයි අන්කල්..?”


“ළමාතැනී.. නැති වුනා දරුවනේ..”


හේතුහාමිගේ කටහඩ වෙව්ලා යද්දී ඔහුගේ කතාවට කන් දී උන් චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..


“අදට ඔය ඇති ළමයිනේ.. මේං මේක දැනට තියා ගන්න..”


සිසිල් බීම පානයෙන් අනතුරුව ඔවුන් නැවත වැඩය පටන් ගැනීමට සැරසෙද්දී ඔවුන් අභියසට පැමිණි ඇතුගල හාමු එක් අයෙකුට රුපියල් දාහ බැගින් බෙදා දුන්නේය..


“හාමු මහත්තයා තරහා නැතුව දීපු ගාන මේ පොතේ ලියලා අත්සන් කරනවද..?”


කලන බෑගයෙන් එළියට ගත් බාල දක්ෂ කමිටුවේ සී ආර් පොත ඔහු වෙත දික් කළේය.. එය එතරම් මායිම් නොකළ ඔහු කලනගේ පිටට තට්ටුවක් දැම්මේ සිනාසෙමිනි..


“මං ඕක දුන්නෙ කමිටුවට නෙමෙයි.. ඔයාලා තුන් දෙනාට.. ඔයාලට ලියන්නම ඕනෙනම් කැමති විදියට ඕක ලියා ගන්න..”


ඊට ගෞරව පූර්වකව සිනාසුන කලන පොත වසා නැවත බෑගයට දමා ගත්තේය.. මිතුරන් දෙදෙනා අභියස උන්නද චේතිය වැඩිය හිස ඔසවා බැලුවේවත් කතාබහ කළේවත් නැත..


“ලබන සතියෙ විතර අපේ වලව්වෙ පොඩි උත්සවයක් තියෙනවා.. බැරිද ඔය ළමයි තුන් දෙනාට දවසකට දෙකකට ඇවිත් පොඩි උදව්වක් දෙන්න..?”


තිදෙනා විනිවිද යන බැල්මක් හෙලූ ඇතුගල හාමු කියා සිටියේය.. ඔවුන් මොහොතක් නිහඩව එකිනෙකා දෙස බැලුවේ එකවර තීරණයක් ගත නොහැකි නිසාවෙනි..


“මං කිව්වෙ මේ.. බාල දක්ෂයො විදියට නෙමෙයි.. තුන් දෙනක් එක්ක නිවාඩු වෙලාවක පොඩ්ඩක් ඇවිත් යන්න.. මං ඒවට සලකන්නම්..”


ඔහු හක හක ගා අමුතුම ලෙස සිනාසුනේ මිතුරන්ගේ සිත් වල ඇතිව තිබූ පැහැදීම මොහොතකට බිදලමිනි..


“අපි එන්නම්..”

බොහෝ කල් වේලා ගත් කලන අවසාන මොහොතේ කියා දැම්මේය..





No comments:

Post a Comment