Saturday, April 28, 2012

| ගිම්හාන පාරමී | ගයනා එස්. ලක්මාලි |






අපි කට්ටිය බන්ගලාවට යද්දි නිල්මිණී ආන්ටියි පාරමියි, ලයිසම්මා කියන දෙමළ මනුස්සයා එක්ක කුස්සියෙ උයනවා.. උයනවා කියලා කිව්වට එයාලා වැඩිපුරම කලේ කෝප්ප හෝදපු එක.. ලයිසම්මා පාරමීගෙන් ප්‍රශ්න තොගයක් අහනවා.. කෙල්ලත් ගිරවි වගේ කියවනවා.. කුලගන සමිතිය මැද්දට රිංගලා වැඩේ දෙල් කරන්න ඕනෙ නැති නිසා මං රූම් එකට ගියා පබයට කෝල් එකක් ගන්න හිතාගෙන.. උගේ ෆෝන් එක නං දෙයියනේ කියලා පැය විසිහතරෙම වැඩ..


“ඈ යකෝ උඹලා නුවර එළියෙ සැප ගන්න යද්දි නිකමටවත් අපිව මතක් උනේ නෑ නේද..?”


හැමදාම වගේ මුලින්ම ඇහුනෙ උගේ බර බරේ.. මූ ටෙලිෆෝන් මැනර්ස් කියන ඒවා ගැන අහලවත් නැද්ද කොහෙද..? ඒත් මං ඒ ගැන කියලා දෙන්න ගියේ නෑ.. කියලා දෙන්න හැදුවනං අහයි ඒ කන දෙයක්ද කියලා..

“උඹ කොහොමද දන්නෙ මං ඉන්නෙ නුවරඑළියෙ කියලා..?”

“දවල් උඹේ ෆෝන් එකට ගත්තම චාරයක් නැත කිව්වා.. ඒ පාර ගෙදරට ගත්තා.. ආන්ටි තමයි සීන් එක කිව්වෙ..”

ඒ කියන්නෙ මූටත් කම්මැලි වෙලාවට මාව මතක් වෙනවා කියන එකනේ..

“කියලා එන්න වෙලාවක් තිබුණෙ නෑ බං.. මමත් දන්නෙ අද උදේ.. ඒක නෙමෙයි උඹ මේ දවස් වල ෆ්‍රී ද..?”

“අපි කොහොමත් ෆ්‍රී බර්ඩ්ලා වගේ තමයි.. මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා කියපංකො..”

“පුළුවන්නං මෙහෙ වරෙන්.. පොඩි ජොලියක් දාන්නත් පුළුවං.. මේ එස්ටේට් එකේ බැරි උනොත් අපි හොටෙල් එකක නවතිමු..”

“අරුන් දෙන්නවත් දක්කගෙන ආවොත් අප්සට්ද..? පව්නෙ බං අළුත බැදපු ජෝඩු සීතලට කැමති ඇතිනේ..”

ඌ ඒ ඇහුවෙ නිලුයි, රොහානුයි ගැන.. කොයි තරම් පිස්සු වැඩ කරත් පබයට තියෙන්නෙ උණුවෙන හිතක්.. ඌ හරියට යාළුවො ගැන හිතනවා.. ඒත් දෙතුන් දෙනෙක්ට ඉන්වයිට් කරන්න තරම් මට බලතල නෑනෙ.. ඒකට චාන්ස් එකක් ගන්න පුළුවන් එකම කෙනා පාරමී.. මං එයාගෙන් අහලා කෝල් කරන්නම් කියලා කිව්වා විතරයි පබයා කැත විදියට හැක හැක ගාන්න ගත්තා..

“උඹ යාළුවෙන්නත් කලින්ම ඒකිගෙ පදේට නටන්න අරන්ද..? තව පස්සට කොහොම වෙයිද..?”

“ආදරේ එක වෙනම දෙයක්.. ඒත් උඹ කියන විදියට මං ගෑණුන්ගෙ පදේට නටන්නෙ නෑ.. මේවයෙ අයිතිකාරයො ඒ ගොල්ලො නිසයි මං එහෙම කිව්වෙ..”

“හරි හරි.. තව ටික දවසකින් ඩව්රියට ලියලා දුන්නම තේ වත්ත උඹේනෙ..”

මේකා පරාජය බාරගන්න කැමතිම නෑ.. කෝල් එකෙන් පස්සෙ පාරමීගෙ ලස්සන ඇස් දෙක ඉල්ලලා මගේ හිත කෑ ගහන්න ගත්තා.. මං එයාව හොයාගෙන එළියට යන්න  හදද්දි ඉස්සරහ පුටුවක ඉදගෙන අන්කල් කෝල් එකක්..

“ඒකනේ ජයේ.. ඔයාට තේරෙනවනේ මං ඉන්න තත්වෙ.. තරහා වෙන්න එපා..”

ඒ ටික ඇහෙද්දි මං දැනගත්තා ලයින් එකේ ඉන්නෙ අපේ තාත්තා කියලා.. අන්කල් ඉන්න තත්වෙ තාත්තට තේරුණා උනාට මට නං තේරුණේ නෑ.. ඒ ගැන තිබුණ කුතුහලය නිසාම ඒ හරියට යද්දි මගේ කකුල් දෙක නතර උනේ ඉබේටම..

“ඔව් ඔව් දැක්කා.. අප්පුහාමි කතාත් කලා..” 

“ඒක තමයි ජයේ.. ආපහු අපේ අතීතෙට ගියා වගේ දැනෙනවා..”

“කොල්ලට ඔහේ හදිස්සි වැඩ මුකුත් නෑනෙ.. මං දවසක් දෙකක් තියාගෙන එවන්නං..”

“මං දන්නවා ජයේ නොහිටින්න අද මං මේ විදින සතුට හීනයක් විතරයි..”

අන්කලුයි අපේ තාත්තයි දෙන්නම කතා කලේ මගේ ගැන.. ඒත් ඒ මොනවද කියලා හරියටම තේරුණේ නෑ.. අන්කල්ගෙ පුටුවට පිටිපස්සෙ තිබුණ කුලුනකට හේත්තු වෙලා හිටිය මට එක පාරමට කිඹුහුමක් ගියා.. ඒ සද්දෙට ගැස්සිලා ගිය අන්කල් තියන්නං කියන්නෙවත් නැතුව කෝල් එක කට් කලා.. මාව දැකලා ඔය තරම් අන්කල් බය උන එකනම් ප්‍රශ්නයක්..

“මං පුතාව දැක්කෙ නෑනෙ..”

අන්කල් පැටලි පැටලි ඒක කියපු තාලෙට මට හිනා ගියා.. එයා මාව කොහෙ දකින්නද..? මං හිටියෙ එයාට පිටිපස්සෙනෙ..

“මං දැනුයි මෙතනට ආවෙ අන්කල්..”

ඒ නොසන්සුන්කම මගඅරින්න හිතාගෙන මං කිව්වා.. මේ ගමන්ම පබයා ගෙන්න ගන්න වර්ඩ් එක දැම්මනං හරි..

“ඇයි පුතා..?”

“නෑ අන්කල්, මගේ යාළුවෙක් කෝල් කරා.. එයාට මේ දවස් ටිකේ ෆ්‍රී ලු.. මං අහන්න හැදුවෙ දවසකට දෙකකට එයාවත් ගෙන්නගත්තට කමක් නැද්ද කියලා..”

“ඉට්ස් ඕකේ පුතා.. ඕක අහන්නත් දෙයක්ද..? ඔය වයසෙ කොහොමත් එන්ජෝයි කරලා ඉන්න එපැයි.. එයාට අදම එන්න කියන්න..”

ඒ වෙලාවෙම අත්දෙකත් සීතලට ගුලි කරගෙන පාරමිත් අපි ඉන්න පැත්තට ආවා.. සන්ධනායක අන්කල් පාරමීගෙ අතින් අල්ලගෙන එයා ඉදගෙන හිටපු පුටුවෙ ඇන්දෙ වාඩිකරව ගත්තා.. ඒක දකිද්දි මටත් ආස හිතුනා ඒ පුටුවෙම අනිත් ඇන්දෙන් ගිහින් වාඩිවෙලා එයාට ළංවෙලා ඉන්න..

“දූගෙ යාළුවො එහෙම නැද්ද මෙහෙ ගෙන්නගන්න..”

අන්කල්ගෙ කතාවට පාරමී හොල්මන් වෙලා ගියා.. අපි කතා කර කර හිටියෙ මොනවද කියලා එයාට ඇහුනෙ නෑනෙ.. ඕක තව තේරුම් කරන්න ගියොත් ඉස්කෝලෙ කෙල්ලො බාගෙකම නම් කියයිද දන්නෙ නෑ..

“අපි හෙටම යන්නෙ නෑ නේද තාත්තා..?”

“නෑ නෑ.. තව දවස් දෙකක් ඉදලා යමුකො.. ඔයාගෙ ඉල්ලීමනේ ඒක..”

“තෑන්ක්ස් තාත්තා..! අපි එහෙනං නිලූ අක්කවයි, අයියවයි ගෙන්න ගමු.. එයාලා ළගදිනේ මැරි කලේ..”

මං පාරමීට කියල කරව ගන්න හිටපු වැඩේ කෙල්ල ෆ්‍රී ඔෆ් චාර්ජ් කරලා දුන්නා.. මොනව උනත් පාරමී එක්ක ජීවත් වෙන්න ලේසි වෙයි වගේ.. එයාට හිතෙන්නෙත් මට හිතෙන දේවල්මයි.. එහෙනං වැඩ සේරම හරි.. අදම එන්න කිව්වනං හෙට උදේ වෙද්දි ගැන් එක මෙහේ..

“තාත්තා අපි ටිකක් වටේ ඇවිදලා එන්නං..?”

“දැන් රෑ වේගෙන එනවා දරුවො.. හෙට කට්ටිය එක්කම ඇවිදින්න පුළුවන්නෙ..”

හැබැයි ඒක යන්න එපා කියලා තදබල විදියට කරපු විධානයක් නෙමෙයි.. ඒ නිසා අපි බංගලාව පේන හරියෙ ටිකක් ඇවිදින්න ගත්තා.. අපි දිහා ටිකක් වෙලා බලන් ඉදලා සන්ධනායක අන්කල් ඇතුළට ගියා..

ඉතිං.. ගොඩක් දවසකට පස්සෙ ආපහු පාරමීව මට තනියම මුණගැහිලා.. නිකම්ම නෙමෙයි ලස්සනම ලස්සන සීතල පරිසරයක.. මං එයාලගෙ ලස්සන ඇස් දිහා බලද්දි ඒ ඇස් තිබුණෙ මගේ පැත්තෙ..

“අයියා.. සීතලයි..”

ඉස්සර වෙලා කතා කරපු කටහඩයි දැන් කටහඩයි සෑහෙන්න වෙනස්.. සීතලට කරන්න කොයිතරම් දේවල් තියෙනවද..? මට නං රට හිටපු නිසා සීතල පුරුදුයි.. ඒත් පාරමී වෙව්ලනවා..

“ඔයා එහෙනං ඇතුළට යන්න නංගි..”

කෙල්ලගෙ සීතල නැති කරන්න ගිහින් අන්කල්ගෙන් ගුටි කන්න උනොත් කියලා මං දෙන්න තියන හොදම විසදුම දුන්නා..

“ම්හු.. මට බැහැ..”

බලාගෙන යද්දි මෙයත් හරිම හිතුවක්කාරයි.. මං හිත හදාගෙන මෙයාට ඇතුළට යන්න කියද්දි මගේ හිත පිස්සු වට්ටන්න වගේ එළියෙම ඉන්න හදනවා.. බෝ පැළ වගේ තියන අපේ හිත් නරක් කරන්නෙ කෙල්ලොමයි.. අන්තිමට කියන්නෙ කොල්ලො නරකයි කියලා..

“සීතලේ ඇවිදින්න බැහැනේ.. එහෙනං ගිහින් අතනින් ඉදගමු..”

පහළ ලොකු මල් පදුරක් ළග තිබුණ බංකුවක් පෙන්නලා මං කිව්වා.. ඒකටනං කෙල්ල එක පයින් නෙමෙයි දෙපයින්ම හා කියලා මටත් කලින් ගිහින් එතනින් ඉදගත්තා.. ඒ හරියෙ පැති දෙකකම තේ ගස් ගානට වැටිය වගේ වවලා.. අනිත් පැත්තෙ මල් හිටවලා.. ඒ බංකුවෙ ඉදගත්තම වටේ ගස් වලට කවර් වෙනවා.. එතනට බංගලාව පෙනුනට බංගලාවෙ ඉදලා බලද්දි වටේ තියෙන ගසුයි කළුවරයි හින්දා අපිව පේන්නෙ නැහැ.. ඉතිං වට පිට තත්වෙ හොදට නිරීක්ෂණය කරලා මං දෙයියනේ කියලා පාරමිගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ඉදගත්තා..

මට මුලින්ම දැනුනෙ පිච්ච මල් සුවදක්.. ඒක ආවෙ වටේ තියෙන ගහකින්ද පාරමී ළගින්ද දන්නෙ නෑ.. එයා කිසි කතාවක් නැතුව පාඩුවෙ වාඩිවෙලා අත්දෙකත් ගුලි කරගෙන ඉන්නවා..

“නංගි පාරමී.. මොනව හරි කියන්න..”

“මොනවත් කිව්වට වැඩක් නැහැනෙ අයියා.. ඔයා මං කියන දේවල් අහන්නෙ නෑනෙ..”

ඒ පාර මොකක්ද යකෝ මේ අවනඩුව.. මං කවදද එයා කියන දේවල් අහන්නෙ නැතුව හිටියෙ..

“ඔයා මොනවා ගැනද ඔය කියන්නෙ..?”

“ඔයාට මං එදා අපේ ගෙදර එන්න කිව්වා.. ඔයා ආවෙ නෑනෙ.. ඉතිං ඒ මං කියන ඒවා අහන්නෙ නැති නිසානෙ.. ඒකයි මෙහෙ එන්න කියලත් මං තාත්තටම කියන්න ඇරලා නිකං හිටියෙ..”

“ඒ කිව්වෙ..?”

“ඇයි ඉතිං, මං කිව්වට ඔයා එන්නෙ නෑ කියලා මම දන්නවනෙ..”

ඔයා කිව්වොත් මං එන්නෙ නිකං නෙමෙයි ඉගිලිලා.. ඒත් බබා මුලින්ම ඒකට පසුබිම හදාගන්න එපැයි..

“ඔයා මං ගැන හිතන් ඉන්න විදිය වැරදියි නංගි.. ඔයාව දකින්න එන්න මමත් කැමතියි.. ඒත්.. අපි අම්මලා තාත්තලා ගැනත් හිතන්න ඕන නේද බබා..?”

“අපේ අම්මලා කවදාවත් ඔයාට එන්න එපා කියන්නෙ නෑ අයියා.. ඒක මට ෂුවර්..”

“අපි අදම නිලූලට එන්න කියමු නේද නංගි..? එතකොට එයාලට හෙට කලින් එන්න පුළුවං වෙයි..”

පාරමී එක්ක ගේම ඉල්ලන එක වැඩක් නැති නිසා මම ට්‍රැක් එක මාරු කලා..

“අයියා රොහාන් අයියට කියන්න.. මමත් නිලූ අක්කට කෝල් එකක් දෙන්නම්.. ඒත් අයියා..”

කෙල්ල මොකක්ද කියන්න වගේ හදලා ඒක ගිල ගත්තා.. ඒ මූණ දිහා බැලුවත් එයා හිටියෙ බිම බලාගෙන.. මං එයාගෙ නිකටට අත තියලා මූණ මගේ පැත්තට හරව ගත්තා.. කළුවරේ උනත් ඒ ඇස් දිලිසෙනවා..

“කියන්න බබා.. ඇයි ඒත් කිව්වෙ..?”

මගේ ප්‍රශ්නෙට පාරමීගෙ ඇහෙන් කදුළක් වැටුණා.. මගේ අතටම වැටුණ ඒ කදුළ නිසා මගේ හිත හෙල්ලිලා ගියා.. සීතල රෑක ලස්සන පුංචි කෙල්ලෙක් ළගට වෙලා අඩද්දි කොල්ලෙක්ගෙ හිතට කොයි තරම් දේවල් හිතෙනවද..?

“ඔයාට මාව තේරෙන්නෙ නෑ අයියා..”

අපහු ප්‍රශ්නෙට අදාල නැති වෙනමම උත්තරයක් පාරමීගෙන් පිට උනා.. එයා එහෙම හිතුවට මට එයාව හොදට තේරෙනවා.. හෙට නිලූලා එන එක ගැන කතා කරද්දි අඩන්න ගත්තෙ ඇයි කියලා කියන එක තමයි මට නොතේරුනේ.. එක අතකට ඒකෙ ඒ තරම් හිතන්න දේකුත් නෑ.. කෙල්ලො කොහොමත් ඉන්නෙ ටැප් එක අරින්න බලාගන්න ගමන්මනේ..

එක් පාරටම ගස් කොලන් හෙල්ලිලා යන විදියෙ සීතලම සීතල සුළගක් හැමුවා.. තදයා වගේ හිටියට මොකද ඒ හුළගටනං මගේ ඇගෙත් හිරිගඩු පිපුණා..

හුළග ඉවරවෙනවත් එක්කම ටිකක් ඈතින් ලොකු සද්දයක් ඇහිලා වටේම කළුවර උනා.. මං බංගලාව පැත්ත බලද්දි එකේ කරන්ට් එක ගිහින්.. කෑලි කපන්න තරම් ඝණට තිබුණ කළුවරේ පාරමී ඉදගෙන හිටපු තැනින් තව ටිකක් මගේ පැත්තට ආවා.. බයේ ගැහෙන පුංචි කෙල්ලගෙ කර වටේ අත දාලා මං එයාව ළගට ගනිද්දි ඒ දේ බලාපොරොත්තුවෙන් හිටියා වගේ කෙල්ල තවත් මට තුරුළු උනා.. මෙච්චර වෙලා මට දැනුණ පිච්ච මල් සුවද ආවෙ පාරමී ළගින් කියලා මං දැනගත්තෙ දැන්..

මට තුරුළු වෙලා හිටපු පාරමී ටික ටික ගැස්සෙනවා වගේ.. ඒ කියන්නෙ කෙල්ල ආපහු අඩනවා.. ඉතිං කිසි දෙයක් ගැන දෙපාරක් නොහිත මං අත්දෙකෙන්ම එයා මගේ ළගට ළං කරගත්තා.. මම කරපු කිසිම දේකට කෙල්ල විරුද්ධ උනේ නෑ.. එයා කලේ පුංචි හා පැටියෙක් වගේ මගේ උණුසුමට ගුලිවෙලා හිටපු එක විතරයි.. මං කළුවරේම ඒ ඇස් දිහා බැලුවා.. අවුලක් නෑ අපි දිහා බලන් හිටපු හද උනත් හැංගිලා.. දැන් ඉතිං පාරමී මගේ කියලා හිතලා මං එයාගෙ නළලට හෙමින් හාදුවක් දුන්නා.. කෙල්ල මගේ පපුවෙ ඔළුව ඔබා ගනිද්දිම වගේ ලන්තෑරුමක් අරන් බේබි කියාගෙන අපේ පැත්තට එන අප්පුහාමි අන්කල්ගෙ කට හඩ ඇහුණා..

ෂිට්.. මේ මිනිහට දෙයක් තේරෙන්නෙ නැති හැටි.. පාරමී ගැන ආදරෙන් පිරිලා තිබුණ මගේ හිතට අප්පුහාමි ගැන දැනුනෙ පට්ට තරහක්.. පාරමී තාම මට තුරුළු වෙලා.. මං එයාව තව පාරක් ඉම්ඹා..

“පැටියො.. අප්පුහාමි අන්කල් එනවා..”

“අනේ අයියා.. මට බෑ..”

මොනවද බැරි කියලා කිව්වෙ නැතුවට එයාට බැරි මගෙන් ඈත් වෙන්න කියලා මං දන්නවා.. ඒත් අප්පුහාමි ළග ළගම එනවා.. අකමැත්තෙන් උනත් පාරමීව නැගිට්ටවලා මමත් එතනින් නැගිට්ටා.. අප්පුහාමි ළගට එනකොට අපි දෙන්නා හිටියෙ දෙතැනක..

“කරන්ට් ගියා බේබි.. මෙහේ ඉතින් නිතරම ඔය වගේ තමා..”

එහෙම කියලා එයා අපි දෙන්නගෙ මූණු දෙක දිහා ලන්තෑරුමේ එළියෙන් හොදට බැලුවෙ කළුවරේ මෙතැන මොකද උනේ කියලා දැනගන්න වෙන්න ඇති.. මගේ මූණ නම් අවුලක් නෑ.. ඒත් අපේ ගෑණු ළමයා බිම බලාගෙන..

“හා හා යමුකො.. ලොකු මහත්තයා බේබිලව එක්ක එන්න කිව්වා..”

ලන්තෑරුම අරන් අප්පුහාමි ඉස්සර උනා.. ඒ තත්පරේට පාරමී මගේ වම් අත අරගෙන එයාගෙ තොල් වලට තියලා ලාවට ඉඹලා අතෑරියා.. ඒ කියන්නෙ කෙල්ල මට ආදරෙයි.. ආයෙ ඒකෙ කන්ෆර්ම් කරන්න දෙයක් නෑ.. එදා පබසර කිව්ව විදියට මං හිතපු නැති වෙලාවක ගේම පටන් අරන්.. දැන් ඉතිං පණ ගියත් මගේ පුංචි කෙල්ල මං කාටවත් දේනනෙ නෑ.. පාරමීගෙ පිටිපස්සෙන් මං බංගලාවට යද්දි සන්ධනායක අන්කල් නිල්මිණී ආන්ටි එක්ක බර කතාවක්..

“මොනවද පුතා අපේ කෙල්ල කියන්නෙ..?”

අන්කල් මගෙන් අහද්දි මං පාරමී දිහා බැලුවා.. ඒත් පාරමී එතන නතර වෙන්නෙ නැතුව කෙලින්ම ඇතුළට ගියා..

“හෙට කට්ටියම ආවම ඇවිදින්න යන්න ප්ලෑන් කරා අන්කල්..”

“අපේ කෙල්ලටත් ඉතිං ඊට වඩා දෙයක් නෑනෙ.. ඔයාගෙ යාළුවන්ටත් ඉතිං එන්න කියන්න..”

අන්කල් එක්ක කතා කරාට මගේ හිත තිබුණෙ වෙනම ලෝකෙක.. තනිවෙන් තිබුණ ඕනකම නිසා මං පබසරට කෝල් කරන්න එනව වගේ කාමරේට ආවා.. ඒ ලොකු බංගලාව වටේටම ලාම්පු පත්තු කරල එල්ළලා හරිම චාමි නිස්කලංක පරිසරයක් තිබුණෙ.. මං මුලින්ම කලේ ඇදට පැනලා කොට්ටයක් බදාගත්තු එක..

මීට ටිකකට කලින් ගෙවිලා ගිය විනාඩි කීපය මගේ මුළු ජීවිතේම වෙනස් කලා වගේ.. යාළුවො විදියට කෙල්ලො සෑහෙන පිරිසක් ආශ්‍රය කරලා තියෙන මං ජීවිතේ පළවෙනි වතාවට ප්‍රේමවන්තයෙක් වෙලා.. බලන බලන හැම අතකම මට පෙනුනෙ පාරමීගෙ හුරතල් සුදු මූණ විතරයි.. තාම පපුව හයියෙන් ගැහෙනවා වගේ.. එයා ඉඹපු මගේ වම් අත අරගෙන මං තොල් දෙකට තද කරගත්තා.. පාරමීගෙ ළග තිබුණ සුවද කිසි අඩුවක් නැතුව මං ඇදගෙන හිටපු ජර්සි එකේ තැවරිලා තිබුණා..

දැන් නිකං පබසරලට එන්න කියන්න බෑ වගේ.. උන් තුන්දෙනා ආවොත් මට පාරමී එක්ක තනිවෙන්න තියන අවස්ථා නැතිවෙලා යනවා.. සමහර විට පාරමීත් මට කියන්න ලෑස්ති උනේ ඒකම වෙන්න ඇති.. මටත් ගොනාට වගේ ඒක දැනුයි තේරෙන්නෙ.. ඒත් දැන් පමා වැඩියි.. පාරමී සමහරවිට නිලූට කෝල් කරනවද දන්නෙත් නෑ.. ඒ නිසා මං පබසරට කෝල් එකක් ගත්තා..

“හලෝ මචං ඇදුම් ටික රෙඩී.. අපි කීයටද එන්න ඕනෙ කියපං..”

වචනෙ පිට උන ගමන්ම මූ ලෑස්ති වෙලත් ඉවරයි.. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ..

“උඹ රොහානයට කිව්වද..? මං තාම කෝල් කලේ නෑ..”

“මම නිකමට කිව්වා.. උඹත් කෝල් කරලා කියපං..”

ඊට පස්සෙ මං රොහාන්ටයි නිලූටයි කතා කරලා.. ඒ වෙද්දි පාරමී නිලූට ඉන්වයිට් කරලා ඉවරයි.. උන් තුන්දෙනා අද රෑට පබසරගෙ කාර් එකේ එන්න සෙට් වෙලා..

“බේබි කෑම ලෑස්තියි එන්න කන්න..”

අප්පුහාමි අන්කල් කාමරේ දොර රෙද්ද අල්ලගෙන කතා කලා.. මං කෑම මේසෙට ගියේ කන්න යන්න ඕනකමට මිසක් බඩගින්නට නෙමෙයි.. මගේ හිතයි බඩයි හැම එකක්ම ඒ වෙද්දි පිරිලා තිබුණෙ.. අන්කලුයි, ආන්ටියි එතන ඉදගෙන බලාගෙන හිටියෙ අපි එනකල්..

“අන්කල් කෝ නංගි..?”

“ඔය කාමරේට වෙලා ඉන්නෙ.. කතා කලාට තාම නෑ.. පුතා ගිහින් එක්කගෙන එන්න.. නැත්තං ඔහොමම නිදා ගනියි..”

නිල්මිණි ආන්ටි තව පොඩි චාන්ස් එකක් හදලා දුන්නා.. ඉක්මනට පලයං කියලා හිත බල කරාට මං වැඩි හදිස්සියක් පෙන්නන්නෙ නැතුව හෙමීට කාමරේට ගියා.. කෙල්ල කොලු කොට්ටෙකුත් තුරුළු කරගෙන ඇස්දෙක වහගෙන ඇදේ.. ඒ උනාට එයා නිදි නෑ කියලා මං දන්නවා.. මම වගේම සිහින ලෝකෙ පාවි පාවි ඇති..

“නංගි බබා එන්න කෑම කන්න..”

මගේ සද්දෙට ඒ ඇස්දෙක හිමීට ඇරුණා.. ඊට පස්සෙ ඇදෙන් හැබැලා එන්න  හදද්දි මම එළියට යන්න හැරුණා.. ඒත් හිතපු නැති විදියට පාරමී මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ ඉන වටේ අත් දෙක දාලා පිටට හේතතු උනා.. එයාගෙ පුංචි පපුව තාලෙට ගැහෙන විදිය මට හොදට දැනුණා.. දැන් මෙතනට කවුරු හරි ආවොත් බඩු තමා. එයාව අත්දෙකෙන් අල්ලලා මගේ පැත්තට අරගෙන රෝස පාට කම්මුල් දෙකම කිස් කරලා මං කාමරෙන් එළියට ආවා.. මට අවුරුදු විසි පහක් උනාට තාම අවුරුදු දහනමයෙ හිටපු පුංචි කෙල්ලට මේ දේවල් දරාගෙන ඉන්න පුළුවන්ද මංදා.. හැබැයි පාරමීට ආදරේ කරන්න උගන්වන්න ඕනෙ නෑ.. ඒ තරම් ලොකු ආදරයක් අර ලස්සන ඇස් ඇතුලෙ හිරවෙලා තියෙනවා..   

මං කෑම මේසෙන් ඉදගත්තට පස්සෙ පාරමී ඇවිත් මගේ ළගට පුටුවෙ ඉදගත්තා.. එයාටත් මට වගේම බඩගිනි නෑ කියලා මං දන්නවා.. ඒත් ලයිසම්මා කියන ගෑණු කෙනා පාටියකට වගේ රස කෑම ජාති ගොඩක් හදලා නිසා හැමෝම අමාරුවෙන් හරි කෑවා.. හැමෝම කතා බහ නැතුව තමන්ගෙ ලෝක වල ඉදගෙන කෑම කාලා ඉවර වෙනකල්ම පාරමී හිටියෙ එයාගෙ එක කකුලක් මගේ කකුල උඩ තියාගෙන.. එ යටිපතුල අයිස් කැටයක් වගේ සීතල වෙලා තිබුණෙ..

“පුතා ඔය මදිනේ කෑවා.. තව බෙදාගන්න..”

“ඇති අන්කල් බඩ පිරුණා..”

“මේ පේනවනේ.. මෙයත් බෙදාගත්ත එකෙන් බාගයයි කාලා තියෙන්නෙ.. අනේ මන්දා දැන් හැදෙන ළමයි..”

අන්කල්ගෙ කතාවට පාරමී මගේ කකුල උඩ තිබුණ එයාගෙ කකුල තද කලා.. එතකොටම අන්කල්ට කෝල් එකක් ආව නිසා අපි පටස් ගාලා කෑම මේසෙන් කැපුනා.. නිල්මිණී ආන්ටිත් මහන්සියි කියලා කාමරේට ගිය නිසා මමත් කාමරේට ආවා.. මම ඇදෙන් ඉදගනින්ද්දි මගේ පිටිපස්සෙන්ම වගේ ආපු අප්පුහාමි අන්කලුත් කාමරේට ඇවිත් තිබුණා.. මේ මිනිහා සී අයි ඩී කාරයෙක් වගේ හැමවෙලේම පිටිපස්සෙ.. මොන එහෙකම මාව මේ තරම් ෆලෝ කරනවද මංදා.. හැබැයි ඉතිං වැඩේ කියන්නෙ මනුස්සයා අහිංසක විදියට බලලා හිනා වෙද්දි මගේ හිතේ තියෙන කේන්තිය බින්දුවටම හිදිලා යනවා..

“බේබි මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද..?”

ඉදගත්තටනං මගෙන් අවුලක් නෑ.. ඒත් ඉදගෙන විතරක් ඉන්නෙ නැතුව ප්‍රශ්න අහද්දි තමයි ආපහු මල පනින්නෙ..

“බේබිගෙ මල්ලිව එක්ක ආවෙ නැත්තෙ ඇයි..?”

මං කිව්වෙ නැද්ද.. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගත්තා..

“මල්ලි මේ දවස්වල ප්‍රැක්ටිස් යනවා අන්කල්.. වැඩිය ගෙදර නෑ..”

“ජයරත්න මහත්තයා දකින්නත් ආසයි බේබි.. ඉස්සර මාත් එක්ක හරි හිතවත්.. හරි හිත හොද මහත්තයා..”

“අපේ තාත්තා ඇයි මෙහෙන් ගියේ..? සන්ධනායක අන්කල් එක්ක ප්‍රශ්නයක් උනේ නෑනෙ..”

හාමුදුරුවො කෙනෙක්ගෙන් උනත් කමක් නෑ වැඩක් ගන්න පුළුවන්නං කියලා කතාවක් තියෙනවනේ.. ඉතිං මං දන්නෙ නැති දේවල් අප්පුහාමිගෙන් හරි දැනගන්න මම ට්‍රයි එකක් දිලා බැලුවා..

“පිස්සුද.. ජයරත්ත මහත්තයයි, සන්ධනායක මහත්තයයි පණට පණ වගේ.. ඒක පුදුම යාළුකමක්.. ජයරත්න මහත්තයා ගියේ අපේ ලොකු මහත්තයගෙ කොළඹ තියන බිස්නස් වලට හවුල් වෙන්න..”

“අප්පුහාමි අන්කල් කසාද බැදලද..?”

මටත් ඕනෙ නැති මගුලක් නෑ කියල හිතුනෙ ඒ ප්‍රශ්නෙ කටින් පිට උනාට පස්සෙ..

“මං ඒ කාලෙ ඉදලම මේ බංගලාව බලා කියාගෙන හිටියා මිසක ඔය ගැන හිතන්න වෙලාවක් උනේ නෑ..”

පිරිමියෙක් වයසට යනකල්ම කසාද බදින්නම නෙමෙයි කසාදයක් ගැන හිතන්න වෙලා තිබුණෙ නෑ කියලා මං ඔය ඇහුවමයි.. ඒකට දැන් හැදෙන පරම්පරාව.. යන්තං අවුරුදු දොළහ දහතුන වෙද්දිම ඒ ගැන හිතලා ඉවරයි..

අප්පුහාමි අන්කල් එක්ක කතා කර කර ඉද්දි පබයා කෝල් කරා මෙහෙට එන පාර අහගන්න.. ඌ පාර ඇහුවට මං දන්න ඇති පාරක් නෑ.. කොහොමටත් අද මගේ මීටරේ අවුට්නෙ.. ඒ නිසා මං අප්පුහාමි අන්කල්ගෙන් පාර අහගෙන ඌට කිව්වා..

අන්කල් කියවලා කියවලා නිදාගන්න ගියාට පස්සෙ ෆෝන් එකෙන් හරි පාරමී එක්ක ටිකක් කතා කරන්න හැදුවට එයා ෆෝන් එක ගන්නෙ නෑ.. සමහර විට නිල්මිණී ආන්ටි ළග ඇති.. කමක් නෑ හෙටත් පාරමී මගේ ළග ඉන්නවනේ කියලා හිත හදාගෙන නිදාගන්න හැදුවට මට නින්ද ගියේ පාන්දර..    



                                          

No comments:

Post a Comment