Friday, April 27, 2012

| ගිම්හාන පාරමී | ගයනා එස්. ලක්මාලි |






හිර කූඩුවෙ දාලා වගේ දවස් දෙකක්ම කාමරේ ඇතුළට වෙලා ඉද්දි මොන හේතුවකටද මන්දා මට මතක් උනේ මගේ පරණ යාළුවව.. මිනිහට කෝල් එකක් දීලා බැලුවොත් නරකද..? මං පරණ පුරුද්දට නම්බර් එක වඩල් කරා.. නියමයි ෆෝන් එක වැඩ..

“හෙලෝ..”

මගේ වෙලාව කියන්නෙ ෆෝන් එක ඉස්සුවෙ පබසරමයි..


“හෙලෝ.. කුඩ් අයි ස්පීක් ටු පබයා..?”

“හූ ඊස් ස්පීකිං..?”

“මචං ගිම්හාන හියර්..”

“අඩෝ.. උඹ ආවද..? කවදද ආවෙ..?”

“ආවෙ පෙරේදා හවස.. වස කම්මැලියි බං.. උඹට බැරිද අපේ ගෙවල් පැත්තෙ එන්න..?”

“රායිට්.. මං හතර වෙද්දි එන්නං.. උඹ පොඩි ගමනක් යන්නත් එක්ක ලෑස්ති වෙලා ඉදපං..”

එහෙම කියලා පබසරයා ෆෝන් එක තිබ්බා.. ගේ අස්සට වෙලා ඉන්නවට වඩා කොහෙ හරි යන්න තියෙනවා නං හොදයි.. පබයා එන්නත් කලින් තුන හමාර වෙද්දි මං ලෑස්ති උනා..

“ලොකු පුතා.. මේ කොහෙ යන්නද..?”

මං සෙටි එකට වෙලා ඉදගෙන ඉන්නවා දැකලා අම්මා ඇහුවා..

“දැන් පබසර එනවා කිව්වා.. මං ඌ එක්ක ටිකක් එළියට ගිහින් එන්නං..”

“පහුගිය කාලෙ ඔයා ගෙදර හිටියෙ නැති උනාට ඒ ළමයා මේ පැත්තෙන් ගියොත් ගෙට ගොඩවෙලාමයි යන්නෙ..”

ඉස්කෝලෙ ගිය කාලෙ ඉදලම මමයි, පබසරයි, රොහානුයි හෙන ෆිට්.. ඕන ගමනකට එකට තමයි.. ඒ උනාට තාම රොහාන්ට කෝල් කරන්න වත් බැරි උනා.. පබසර එක්ක උගේ ගෙදර ගිහින් ඌව සප්‍රයිස් කරානං හරි..

පබසරයගෙ කාරෙකේ සද්දයක් ඇහුනා විතරයි මං එළියට ගියා.. ඌ ඉස්කෝලෙ යන කාලෙ හිටපු චූ කොල්ලා නෙමෙයි දැන්.. මහත්වෙලා උස ගිහින් සිරා ලුක් එකක් ඇවිත්.. පොර කාර් එකෙන් බැහැලා ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියා.. ඊට පස්සෙ දුවගෙන වගේ ඇවිත් මාව බදාගත්තා..

“උඹ මාර හැන්ඩියා වෙලානෙ බං.. මොකෝ මේ චීන ඌරෙක් වගේ සුදු වෙලා.. ඕස්ට්‍රේලියාවෙ සැප වැඩියිද..?”

“මොන සැපද..? මම බුදු කට්ටක් කෑවෙ එහෙට වෙලා.. අම්මෝ ආයෙනං යන්නෑ බං..”

“එතකොට එහෙ දාලා ආපු සුදු කෑල්ලට මොකෝ වෙන්නෙ..?”

“එහේ සුදු කෑලි නං ඉන්නවා ඕල් සේල් ගානට.. පැනලා දෙන්නෙ.. උන් අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ..”

“ඒ කියන්නෙ උඹ තාම බැචලර් ද..? අනේ පල බං අපිට කොලේ වහන්නෙ නැතුව..”

“අයිම් සීරියස් මචං.. මම එහේ හිටියේ ශ්‍රී ලංකන් ෆැමිලි එක්ක එක්ක.. එහෙත් අන්කල්ට කොල්ලොම දෙන්නෙක්.. අපිට ෆිට් කෙල්ලො සෙට් එකකුත් හිටියා.. හැබැයි උන් සේරම යාළුවො.. නතිං එල්ස්..”

“හරි හරි උඹ කියනවා අපි අහනවා.. මේ.. ඒක නෙමෙයි උඹ දන්නවද රොහාන්ගෙ සීන් එක.. ඌ පෙරේදා මැරි කලා.. හෙට හෝම් කමින් එක..”

“නෑ.. බලපං ඉතිං.. ඌව මරන්න එපැයි.. මට නිකංවත් කිව්වෙ නෑනෙ..”

එකට බඩ බැදගෙන හිටපු අපි තුන්දෙනා මේ වෙද්දි ගොඩක් දුරස් වෙලා වගේ මට දැනුනා.. පබසර කියපු කතාව විශ්වාස කරන්නත් බැරි තරම්..

“උඹ ඌට විතරක් බනින එක අසාධාරණයි.. රොහානයා උඹලගෙ ගෙදරටත් පණිවිඩයක් තියලා.. ඌ ගිය සතියෙ දෙපාරක් උඹට රින්ග් කලාලු..”

ඇත්තනෙ.. මං ගිය සතියෙ ලංකාවට එන සිහියෙන් එහේ මෙහේ දිව්වා මිසක් ෆෝන් එක ගැන බැලුවෙ නෑනෙ.. අන්තිමට ඒකත් ජයසිරි මංගලම් වෙලා..

“කියන්න තියෙන දේවල් මෙහෙම තදියමේ කියන්න බෑ බං.. වරෙන්කො යන ගමන් කියන්නං..”

“හිටපං.. මොනව හරි බීලා යං..”

“දැන් බෑ.. එද්දි බොමු..”

එහෙම කියලා පබසර උගේ අතේ තිබුන යතුර මගේ පැත්තට විසි කලා..

“මේ මොකද මේ..?”

“මල්ලිට ඉතිං ලංකාවෙ පාරවලුත් අමතක වෙලා ඇතිනෙ.. මතක් වෙන්නත් එක්ක උඹ ඩ්‍රයිව් කරපං..”

“දැන් කොහෙද යන්න හදන්නෙ..?”

“හමීඩියාස්.. හෙට හෝම් කමින් එකට කිටක් හදන්න දුන්නා.. ඒ ගමන්ම උඹටත් එකක් මැච් කරලා බලමු..”

“ආ යූ මෑඩ්..? මට යන්න බෑ..”

“මේ පිස්සු නැතුව යමං.. ඌ උඹව දැකලා පුදුම වෙයි..”

මූ දෙයක් කියලා පහදන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි.. රොහාන් බලන්න තියෙන කැමැත්තටම මමත් කැමති උනා.. හමීඩියා එකේ පැයකට වඩා ඉදලා අපි දෙන්නා ඇදුම් දෙක හදා ගත්තා.. පබයා කෝට් කිට් එකක් ගත්තට මම ගත්තෙ කළුවට හුරු කුර්තා එකක්..

“හෙට උඹ මේද ඇදලා ෂාහිඩ් කපූර් වගේ ඉදියි..”

මේකා දැන්මම මට බර බරේ දානවා.. හෙට හෝටලේ ප්ලේට් එක්ක වැඩි උනා කියලා රොහාන් ෂාහිඩ් කපූර්ට ගහලා එළවයිද මන්දා..

“මචං ගිම්.. ඔය කොහෙහරි සෙල්ලම් බඩු කඩේකින් නවත්තපං.. අපේ අක්කගෙ කොලු පැටියට වෝටර් ගන් එකක් ඕනෙ කිව්වා..”

“පොඩ්ඩට දැන් වයස කීයද..?”

“අවුරුදු තුනයි.. මාර යස්ස පැටියෙක්..”

“ඔව් ඉතිං මාමා වගේ නැතැයි..”

අපි මගින් නවත්තලා වෝටර් ගන් එකකුයි තව සෙල්ලම් බඩු දෙක තුනකුයි අරගත්තා.. කාරෙකට නැග්ගා විතරයි පබයා ගන් එකට වතුර දාලා ටෙස්ට් කරන්නයි ලෑස්තිය..

“මචං ඒ සී ඕෆ් කරලා ෂටර්ස් ඇරගෙන යං..”

“ඒ පාර මොකද උඹ සෙල්ලං කරන්න පටං ගත්තද..?”

“ඔන්න බං සිරා කෑල්ලක් එද්දි ස්ලෝ කරපං හරිද..?”

පෙරුම් පුරලා පුරලා ලංකාවට ආවා විතරයි මූ බෙදාගෙන කන්න කතා කරනවා.. කෑලි වලට වතුර විදලා අන්තිමට උන් අපේ කෑලි ගලවයි..

“උඹට ඕනෙනං ගුටි කාපං.. මම ඕවට නෑ හරි..”

“මොන රෙද්දටද ගුටි කන්නෙ..? මං වතුර පාර යවද්දිම උඹ ලෑල්ලට පාගලා යමං..”

ඔය කිව්වෙ ඉතිං කතාවක්.. ඒත් ඌ කියපු දේ ගැන හිතන්න කලින්ම දණිස්සට අගල් හතරක් විතර උඩට සායකුයි ලා කහ පාට ස්කිනියකුයි ගහපු දිව්‍ය භාරතී වගේ කෙල්ලෙක් පැද්දි පැද්දි එනවා.. මේක ඇදගෙන මේකි කොහොම පාරෙ යනවද මංදා.. දැන් ලංකාවත් ඕන්ට්‍රේලියාව තරමටම දියුණු වෙලා.. රට බල්ලට ගියා බල්ලා රට ගියා කියන්නෙ ඕවට තමයි..

“ගිම්.. ස්ලෝ කරපං බං..”

පබයා මගේ අතටත් ගහලා කෑ ගැහුවෙ අර කෙල්ල දිහා බලාගෙන.. කද බඩ උස මහතට ගියාට මූ තාම ඉස්කෝලෙ ගිය කාලෙ වගේමයි.. ළගට එද්දි ඒ ලස්සන මූණ නිකං දැකලා පුරුදුයි වගේ.. මට බ්‍රේක් පෑගුනේ ඉබේටමයි.. ඒ තත්පරේට පබයා ගන් එකට පුරවලා තිබුණ වතුර ටික කෙලලා ඇරියා කෙල්ලගෙ මූණටම.. ෂිහ්.. මෙහෙමත් නොසන්ඩාලයෙක්..

“යමං යකෝ යමං.. උඹ භාවනා කරනවද..?”

මූ අස්ස කුලප්පුව හැදිලා වගේ කෑ ගහනවා.. මට වාහනේ මීටර් පනහක්වත් ඉස්සරහට ගන්න උනේ නෑ කණ ගාව හෙණ ගැහුවා වගේ ඩෝං ගාලා සද්දයක් ආවා.. අපි දෙන්නා තත්පරේට දෙකට පිටිපස්ස හැරිලා බලද්දි කාර් එකේ පිටිපස්සෙ ග්ලාස් එක කුඩු.. සීට් එක උඩ අලි ගඩෝල් බෑයක්..

“මොකද බං උනේ..?”

කතාකරගන්න පුළුවන් උන ගමන් මං පබසරගෙන් ඇහුවා..

“මොනවා වෙන්නද..? අර දුවන්නෙ අරකි හැටට හැටේ..”

ඇත්තම තමයි කෙල්ල අම්මා මෝ නැතුව එකසිය ගානට පාර දිගේ දුවනවා.. මූණට වතුර ටිකක් ගැහුවා කියලා මේ තරම් දරුණු දඩුවමක් දෙන එක හරිද ආ..

“මොන ඉට්ටක්ද බලං ඉන්නෙ.. ෆලෝ කරපං පරට්ටිව..”

පබයට නහුතෙටම නැගලා.. මං හතර වටේම එවුන් හෝන් කරද්දි පාර මැද්දෙන්ම දාලා වාහනේ හරව ගත්තා.. ඒත් ඒ තත්පරේට කෙල්ල මිසිං.. ඉස්සරහට යද්දියි දැක්කෙ ඒකි දුවපු හරියෙ පොඩි දෙවැට පාරක් තියෙනවා.. කෙල්ල ඕකට හැරෙන්න ඇති.. වැඩේ කියන්නෙ ඒ පාරෙ වාහන යන්න බෑ..

“ඔහොම්ම යමං මහ පාරට.. ඔය පොඩි පාර තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එක ළගට විතරයි..”

පබයා තදියමේ කෑ ගැහුවට වාහනේ මහ පාරට හරව ගන්න ලේසි උනේ නෑ..

තුම්මං හන්දියෙන් දකුණට දාලා පබයා කියපු බස් ස්ටෑන්ඩ් එක ළගට එද්දි කෙල්ල ගිහිං..

“මචං ඒකි ෂුවර් එකටම අර යන බස් එකට නගින්න ඇති.. උඹ ඒක ඉස්සර කරපං..”

මූ අණදෙන නිලධාරියා වගේ කෑ ගහනවා.. මමත් ඌ ගහන පදේට නටනවා.. මේකා කොච්චර කෑ ගැහුවත් කෙල්ල ඔය බස් එකට නැගලා නෑ කියලා මගේ යටි හිත කියනවා.. ඒත් පාඩුව උනේ මට නෙමේ ඌටනේ.. ඒ හින්දා මං බස් එක ෆලෝ කරා.. බස් එක පහුකරද්දිම ඉස්සරහට තිබුණ හෝල්ට් එකෙන් බැහැලා පබසරත් ඒ බස් එකටම නැග්ගා.. කාට කියන නඩුද මේවා.. මමත් බස් එක පස්සෙන් හෝල්ට් දෙකක් විතර ගියාමයි පබයා බස් එකෙන් බැස්සෙ.. පව් අප්පා මූණ නිකං අලියට පෑගුණ යෝගට් කෝප්පෙ වගේ..

“කෝ කෙල්ල හිටියද..?”

ඒ මූණ දැකලා කෙල්ල නෑ කියලා දැන දැනත් මං ඇහුවා..

“හිටිය නං මං ඕකිගෙ කණෙන් ඇදං බහින්නෙ..”

කොල්ලගෙ මූණ තරහට ඉදිමිලා.. මට නං වෙච්ච සීන් එකට හිනා.. ගෑණු ළමෝ ඇයි නපුරු මේ තරම් කියලා මං තාලෙට කියද්දි මුගේ මල උච්චතම අවස්ථාවට නැගලා..

“ඒකි ෆෝසස් වල ඉලක්කෙට වෙඩි තියන එකියක් වෙන්න ඇති බං.. බලපංකො ග්ලාස් එක මැදටම කෙළලා තියෙන ලස්සන..”

පොර තවත් නග්ගන්න හිතාගෙන මං කිව්වා..

“ආයෙ අහුවෙච්චදෙන්කො මට, මං ඕකිට හොද පාඩමක් උගන්නන්න..”

“උඹට ඔය කෙල්ලගෙ මූණ මතකද..?”

“මූණ ඇරෙන්න මට අනිත් හැමදේම මතකයි..”

ඌ ඒක කිව්වෙ සවුන්ඩ් එක ටිකක් බාල කරලා.. මට මැරෙන්න හිනා..

“යකෝ මූණ ඇරුණම ඉතුරු ටික හැම කෙල්ලගෙම එක වගේනෙ.. උඹ ඒකවත් දන්නෙ නැද්ද..?”

ඒ මූණ ඇඹුල් වෙලා.. හැබැයි ඉතිං කෙල්ලගෙ මූණ පබසරයට මතක නැතුවට මට නං ෆොටෝ එකක් ගත්තා වගේ මතකයි.. ඒ තරම් ගති මූණක්..

“දැන් උඹට හැමදාම ඒ සී ඕෆ් කරන් යන්න පුළුවං.. කෙල්ල උඹට වාහනේ ඒ සී කරලා දුන්නනෙ..”

මං එහෙම කිව්වට මුන්ට තියෙන සල්ලි වල තරමට ඔය ග්ලාස් එක දාගන්න එක මහ කජ්ජක් නෙමෙයි..

අපේ ගේ ළගට ආවට පස්සෙ මූ ගෙටවත් එන්නෙ නැතුව යන්න ගියා.. වෙච්ච සීන් එකට මටත් අප්සට්.. ඒත් හරියට බැලුවොත් වැරැද්ද ඒ කෙල්ලගෙ නෙමෙයි අපේ එකාගෙ අතේමනේ.. මට මතක් උනේ උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොද පාඩං කියන සිංදුව..  



      

No comments:

Post a Comment