Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






මධුසමය ලෙසින් හැදින්වූ අමිහිරි දින දෙක තුනක් ගෙවා දැමූ සංදීප හා සිතුමිණි යුවල ඔවුන්ගේ නව නිවහනට පැමිණයහ.. එය සංදීපට අයත් වූ හුරුබුහුටි දෙමහල් නිවසකි.. ඔවුන් දෙපල හැරුණු කොට එහි පදිංචිව උන්නේ අයිරම්මා නැමැති මැදිවිය පසුකරමින් උන් ගැහැණිය හා පොඩ්ඩෙ නම් කොලුවා පමණි.. අයිරම්මා බොහෝ කලක් සංදීපලගේ පවුල හා දැන හැදුනුම්කමක් තිබූ අයෙක් වුවද පොඩ්ඩේ එම නිවසට ආගන්තුකයෙක් විය.. ඔහුව ගෙන තිබුනේ වත්ත පිටියේ වැඩ කටයුතු හා කඩයට යාම ඒම වැනි සුළු වැඩ සදහාය..


සිතුමිණීගේ මුරණ්ඩුකම් හා ඇයගේත් සංදීපගේත් විරසක නොදැන් උන් අයිරම්මා සිතුමිණීව දුටු මතින් ඇයට ඇලුම් කළාය.. සංදීප මහතා වැනි විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු මෙතරම් ලාබාල සුරූපී පතිනියක් කැන්දාගෙන ඒවි යැයි ඈ සිහිනෙකින්වත් සිතා නොතිබුණි.. පොඩ්ඩෙගේ තත්වය වුව ඊට වෙනස් වූයේ නැත..

“අපේ අලුත් නෝනා අර චිත්තරපටි වල ඉන්න නිළියක් වගේ නේද අයිරම්මෙ..?

පොඩ්ඩෙ එසේ අසන්නට පෙර අයිරම්මාටද එය සිතී තිබූ නිසා ඈ නිහඩව සිනාසුනාය.. 

සංදීප මහත්තයා මේ නෝනව කොහෙන් හොයාගත්තද මංදා.. දෙන්නා ටක්කෙටම ගැලපෙනවා..”

හා.. හා.. නවත්ත ගනිං උඹේ ඔය කයිවාරුව.. නෝනට ඇහෙන්න එහෙම ඔය වාචාලකට කියවනවා නෙමෙයි..”  

අවවාදයක් නොකළොත් පොඩ්ඩෙ වක්කඩේ කැඩුවාක් මෙන් කියවන බව දන්නෑ ඈ ඔහුට තරවටු කළාය..

නෝනගෙයි මහත්තයගෙයි දෙපැත්තෙම නෑයො උනත් හරි හොදයි වගේ..”

අයිරම්මාගේ ගමේ සිට මෙහි ආ පොඩ්ඩේ මෙතෙක් ඔවුන්ව දැන හදුනාගෙන නොතිබූ නිසා පෙරදා රාත්‍රී සංග්‍රහය ඔහුට සුවිශේෂී විය.. තම දියණියව හොදින් බලා ගන්න යැයි කී ගුණතිලක මහතා පිටව යන මොහොතේ පොඩ්ඩෙට රුපියල් දාහක් දීම ඉහත ගුණ වරුණාවට හේතු වූ බව අයිරම්මා දැන උන්නේ නැත..

අයිරම්මේ.. මගේ ඔළුව රිදෙනවා..” 

සිතුමිණී දෑතින්ම නළලත පොඩි කරමින් කුස්සියට වැදෙනවා දුටු ඈ කළබල වූවාය.. සිතුමිණීව දුටු පොඩ්ඩේද හිද උන් පඩි ගැට්ටෙන් වහා නැගිට ගත්තේය..

මෙතනින් ඉදගන්න පුංචි නෝනෙ.. ඔය අමාරුව තෙහෙට්ටුවට වෙන්නැති..”

අයිරම්මා සිතුමිණීව පුටුවක හිදුවා සිද්ධාලේප හිස ගැල්වූවාය..

පොඩ්ඩෙ.. විගහට ඔය කේතලේ ලිප තියහං..”

අයිරම්මාගේ අණට පොඩ්ඩේ ක්‍රියාත්මක වූයේ වයින් කල බෝනික්කෙකු මෙනි..

අපි දුම් ටිකක් අල්ලලා කොත්තමල්ලි ඩිංගක් බොමු නෝනෙ.. එතකොට ඕක අරිලා යාවි..”

කොත්තමල්ලි..”

සිතුමිණි කට ඇඹුල් කළාය.. දෙමාපියන්ගේ වදයට බෙහෙත් පෙත්තක් ගිල දැමුවද කොත්තමල්ලි බීමට නම් ඇය කිසිදා ප්‍රිය කළේ නැත.. මෙම හුරතල් හැසිරීම් දෙස පොඩ්ඩෙ බලා සිටියේ ආශාවෙනි..

ඊයෙ ලොකු නෝනලත්  හිටපු නිසා පාන්දර වෙනකල් නින්දකුත් නෑනෙ.. නෝනා ඩිංගක් ඇහැ පියවගන්න.. මං කොත්තමල්ලි රත් කරලා කතා කරන්නං..”

අයිරම්මා එසේ කීවද සංදීප කාමරයේ නිදා උන් නිසා සිතුමිණී ඒ දෙසටවත් ගියේ නැත.. ඈ කුස්සියේ මේසයටම හිස තබා ගත්තාය..

උඹ මෙතන සද්ද බද්ද නොකර ගිහින් වත්තෙ වැඩක් බලලා කරපං..”

පොඩ්ඩෙ බොහෝ අනුකම්පාවෙන් සිතුමිණී දෙස බලා ඉන්නවා දුටු අයිරම්මා ඔහුට පිටත් කළේ නින්දට බාධාවක් වෙතැයි හැගුණු හෙයිනි..

අඩ නින්දේ උන් සංදීප අවදි වූයේ තද කොත්තමල්ලි සුවදක් ආග්‍රහණය වීමෙනි.. අයිරම්මා හෝ පොඩ්ඩේ අසනීපව ඇතැයි ඔහු සිතුවේය.. මද වේලාවක් ඇග මැලි කඩමින් උන් ඔහු ඇදෙන් නැගිට සිතුමිණි කොහෙදැයි විපරම් කර බලා අවසානයේ කුස්සියට ඇතුළු විය..

කාටද අයිරම්මා කොත්තමල්ලි..?”

ඔහු ඇසුවේ කුස්සියේ කොනක වූ මේසයට හිස තමා නිදා සිටින සිතුමිණීව නුදුට නිසාවෙනි..

අපේ පුංචි නෝනෙට හිසේ ඇම්මක් අල්ලලා..”

අයිරම්මා මේසය දෙසට හිස යොමා කියද්දි සංදීප බොහෝ කලබල විය.. ඈ පිළිබදව නොසොයා එක දිගට නිදා ගැනීමෙන් තමා කළේ වරදක් බව ඔහුට හැගුණි.. ඔහු ඉක්මන් ගමනින් මේසය වෙන යන්න තනද්දි අයිරම්මා එය වැළකුවාය..

මං හිතන්නෙ නින්ද ගිහින් මහත්තයො.. දැන්ම කතා කරන්න එපා..”

නින්ද ගිහින්.. මෙතන..”

ඔහු පුදුමයට පත්විය..

ඒක තමයි.. මං ඩිංගක් හාන්සි වෙන්න කිව්වම ඔතනම ඔළුව ගහ ගත්තා..”

ඇය ඇදට විත් නිදා නොගත්තේ මන්දැයි අයිරම්මා නොදැන උන්නද එයට හේතුව සංදීප දැන උන්නේය.. තමාගේ අහලකටවත් පැමිණිමට අකැති ඇය තමා නිදා සිටියදී යහන වෙත නොපැමිණීම අරුමයක් නොවේ..

බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙයි නේද අයිරම්මෙ.. ෂිට්.. මේ ළමයා මට කිව්වෙවත් නෑනෙ..”

ඔහු අන්තිමට එම වැකිය එක්කලේ අයිරම්මාට වෙනසක් නොඇගවීමට වුවද ඔහුගේ හඩ බිදී ගියේය..

දැන්ම හදිස්සි වෙන්න එපා මහත්තයො.. කොත්තමල්ලි ටික බිව්වාම ඇරිලා යයි..”

සිතුමිණීට ළංව ඇගේ හිස අතගෑමට ඇති ආශාව සංදීප මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි.. තමාගේ ස්පර්ශයට ඈ නැගිට ගතහොත් මහා කලබලයක් සිදු විය හැක.. එනිසා ඔහු මොහොතක් දෙක්ක ඈ දෙස බලා මිදුලට බැස්සේය..

මිදුලේ වූ ගස් කොළන් ඇඹරෙමින් තිබුණේ වැස්සක් අත ළග එන බව කියා පාන්නට මෙනි.. ඔහු මිදුලේ මල් ආරුක්කුව යටට වී වට පිට බලද්දී සිතුමිණිගේ ඇදුම් කිහිපයක් වැලක ලෙළ දෙමින් තිබෙණු දුටුවේය.. වහා එදෙසට දිව ගිය ඔහු එම රෙදි ටික තම දෝතට ගත්තේ බොහෝ ප්‍රවේශමෙනි.. සිතුමිණි ළගින් වහනය වන මෘදු විලවුන් සුවද එම ඇදුම් වලද තැවරී ඇත.. ඇයව සිප ගත නොහැකි හෙයින් ඔහු එම ඇදුම් කිහිපය නාසයට තද කර ගත්තේය.. ඔහුගේ දෑස් පියවුණේ නිරායාසයෙනි..

මිදුලේ පාත්තියක පස් බුරුල් කරමින් උන් පොඩ්ඩේ බොහෝ වේලාවක් මේ සිදුවීම දෙස බලා උන්නේය.. ඔහුට ලැජ්ජාවක්ද නොදැනුනා නොවේ.. නමුත් නව යුවලගේ මේ අපූරු ආදරය ඔහුට ගෙන ආවේ සතුටකි.. ගමට වී කුලී වැඩ කර දුක් විදිනවාට වඩා මෙවන් සොදුරු පුද්ගලයන් හමුවේ ගැවසීම ඔහුට නොමද ආශ්වාදයක් විය..

සංදීප දෑස් හැර බැලුවේ වැහි බිදු වැටෙනවා දැනුණු හෙයිනි.. ඔහු වහා ගෙට දිව ගියේය.. පොද වැස්ස මොහොතකින් මහා වරුසාවකට පරිවර්ථනය වූයේ නිදා උන් සිතුමිණිවද අවදි කරමිනි..

අයිරම්මා.. අනේ..”

ඈ ගෙදරි ගෑවාය.. නමුත් අයිරම්මා ඈ ළග උන්නේ නැත.. ඇය වැස්ස නිසා ජනේල් වසා දැමීමට නිවස තුළට ගොස් තිබිණි..

අයියෝ..”

තද හිසරදය දරාගත නොහැකි වූ සිතුමිණිගේ වසා තිබූ දෑස්පියන් අතරින් කදුළු වැල් දෙකක් ගලා ගියේය.. සංදීප කුස්සියට ඇතුලු වූයේ ඇගේ කෙදිරිය ඇසීමෙනි.. ඈ හඩනවා දුටු ඔහුට මහත් අනුකම්පාවක් හා සෙනෙහසක් ඇතිවිය..

සිතූ.. ඔයාට අමාරුද බබා..?”

නමුත් ඈ හිස ඔසවාවත් බැලුවේ නැත.. එය ගණනකට නොගත් සංදීප, අයිරම්මා වත් කර තිබූ කොත්තමල්ලි කෝපප්ය ඈ දෙසට ළං කළේය.. සංදීප සමග වූ තරහව, දැඩි වේදනාව හා කොත්තමල්ලි වලට වූ තම අකමැත්ත නිසාවෙන් ඇය කොත්තමල්ලි වීදුරුව පසෙකට තල්ලු කර දැමුවාය.. එය මේසය මත වූ මල් බදුනේ හැපී දසත විසිරුණි..

අපොයි නෝනෙ.. මොකෝ මේ උනේ..?”

අයිරම්මා කුස්සියට දිව ආවේ කෝප්පය හා මල් බදුණ ගැටුණ සද්දය ඇසුණු නිසාවෙනි..

මගේ අත වැදිලා මේක හැලුනා අයිරම්මා..”    

සිතුමිණී යමක් කීමට පෙර සංදීප පිළිතුරු බැන්දේය.. නමුත් අයිරම්මාට සැක සිතුනේ නැත.. පුංචි නෝනගේ හදිසි අසනීපය සංදීප මහතාව කළඹා ඇති බව වටහා ගැනීමට ඇයට අසීරු නොවිය..

පුංචි නෝනා ඇදට යන්න.. මං තව වීදුරුවක් වත්කරගෙන එන්නම්..”

මට ඇති අයිරම්මා.. මට බොන්න බෑ..”

ඈ ඇති යැයි කීවද කොත්තමල්ලි වීදුරුව අතටවත් නොගත් බව සංදීප දුටුවේය.. ඔහුට මද සිනාවක් නැගුණි.. 

හරි.. හරි.. නෝනෙ එහෙනං ගිහින් හාන්සි වෙන්නකො..”

සංදීප හා අයිරම්මා කුස්සියට වී බලා හිදිද්දී සිතුමිණී ඉහල මාලයට ඉක්මනින් ගියාය.. සංදීප නිදා උන් ඇදට වී හිදීමට ඇයට සිත් දුන්නේ නැත.. කොයි මොහොතක හෝ අයිරම්මා පැමිණිය හැකි බැවින් රාත්‍රියේ දී මෙන් බිම නිදා ගැනීමටද නොහැක..

එහෙයින් ඈ උඩු මහලේ වූ අනෙක් කාමරයට ඇතුලු වුනි.. ඉදිරිපස ගෙමිදුලද පෙනෙන සේ තනා තිබූ එම කාමරයේ වූයේ අපූරු සුන්දරත්වයකි.. දෙවරක් නොසිතූ ඈ එම කාමරය සිය අයිතියට පවරා ගත්තාය.. විදුලි පංකාවද උපරිමයට දමා ඇදට වැටුණු ඇයට නින්ද ළගා වූයේ නිරායාසයෙනි..

දින කිහිපයක් විටින් විට සිතුමිණී අසනීප වීම නිසා සංදීප උන්නේ සිත් පීඩාවෙනි.. වෛද්‍යවරයෙක් වෙත යාමට නොව වෛද්‍යවරයෙක් නිවසට ගෙන්වා ප්‍රතිකාර කිරීමටද ඈ අකමැති වූවාය.. හිසරදය උග්‍ර වූ බොහෝ වේලාවන් වල ඈ අයිරම්මාගේ උකුලේ හිස තමා ඉන්නවා ඔහු දැක තිබිණි.. අයිරම්මා බෙහෙත් තෙල් දමා ඇගේ හිස පිරිමදින අයුරු දුටු ඔහු සිතුමිණීට හොරෙන් තව බෙහෙත් තෙල් බෝතලයක්ද ගෙන විත් තැබුවේය..

මට හිතෙන්නෙ පුංචි මහත්තයො නෝනට සංකාව.. අම්මා, තාත්තා තුරුලෙම හුරතලේට හැදුන ළමයෙක්නෙ..”

දිනක් සිතුමිණී නිදා සිටියදී අයිරම්මා, සංදීපට පැවසුවාය.. ඈ සාංකාවෙන් පසු වන්නෙ ඇගේ දෙමාපියන් ළග නොමැති වීම නිසාද රඛිතගෙන් වෙන් වීමට සිදුවීම නිසාදැයි ඔහුට වටහා ගත නොහැකි විය..

“බෙහෙත් ගන්නවත් යන්න එන්නෙ නෑනෙ අයිරම්මෙ.. වෙලාවකට හරිම මුරණ්ඩුයි..

මේ දින කිහිපය තුළ දෙදෙනාගේ අමනාපය අයිරම්මාටද දැනෙන්නට ඇතැයි සිතුණු ඔහු කීවේය..

ඒක ඒ නෝනගෙ වැරැද්ද නොවේ මහත්තයො වයසෙ වැරැද්ද.. මං ඔය බෙහෙත් තෙලක්වත් ඔළුවට දානවට කැමති නෑ.. ගදයි කියලා..”

සංදීපට සිනා නැගුනි.. ඈ කොත්තමල්ලි වලටද අකමැති බව ඔහු එදා වටහා ගත්තේය.. 

ලබන සතියෙ ඉදලා මමත් වැඩට යන්න ඕන.. මගෙත් නිවාඩු ඉවරයි..”

අපොයි.. ඕක මොකක්ද..? මහත්තයා යන්න.. මට පුළුවන් පුංචි නෝනව බලාගන්න..”

සංදීප කියනා තරම්ම සිතුමිණී මුරණ්ඩු තැනැත්තියක නොවන බව අයිරම්මා දැන උන්නාය.. ගෙදර දොර වැඩ තවම නුහුරු ඈ තමා උයන පිහන වේලාවන් වල ළග දැවටී මොන මොනවා හෝ කියවයි.. සවස් යාමයේ නම් බොහෝ විට ඇය කාලය ගෙවා දැමුවේ රූපවාහිනියේ කාටූන් නරඹමිනි..

අපේ සංදීප මහත්තයා ගෙනවිත් තියෙන්නෙ නෝනා කෙනෙක් නෙමෙයි බබෙක්..”

දිනක් සිතුමිණී සූර පප්පා කාටූනය නරඹමින් ඉන්නා මොහොතක කුස්සියට පැමිණි පොඩ්ඩේ සිනාසෙමින් කීවාය.. ඒ ඇසුණු අයිරම්මාටද සිනා නැගුණි.. සංදීප හා අයිරම්මා තම තමන්ගේ ලෝක වල තනිව කල්පනාබරව හිදිද්දී නිවසේ දුරකථනය නාද දුන්නේය.. සංදීප ඉතා ඉක්මනින් එය අතට ගත්තේ එහි නාදයට සිතුමිණී අවදි වෙතැයි හැගුණු බැවිණි..

හෙලෝ..”

හෙලෝ සංදීප අයියා.. මං අංජුලා..”

සිතුමිණීගේ සමීපතම යෙහෙළිය ගැන සංදීප දැන උන්නේය.. මංගල්ලය දින වල ඔහු අංජුලා සමග සුහදව කතා බහ කර තිබිණි..

කොහොමද නංගි ඉතිං..?”

අපි නං හොදින්.. කොහොමද ඔයාලට..? කො අපේ අලුත ගෙනා මනමාලි..?”

එයා නිදි.. ටිකක් සනීප නෑ..”

සංදීපගේ අසරණ කටහඩ අංජුලාගේ සිතට අනුකම්පාවක් ගෙන ඒමට සමත් විය..

ඇයි ඒ..? මොනව වෙලාද..? ආ.. එක්කො ඔයාල අද ගෙදර ඉන්නවද කියන්න..” 

සිතුමිණීගේ ලෙඩ දුක් සංදීප හරහා ඇසීම උචිත නොවේ යැයි හැගුණු අංජුලා ඔවුන්ගේ නිවසට යාමට තීරණය කළාය..

ඔව්.. ඔව්.. අපි ඉන්නවා.. නංගිට පුළුවන් නම් ඇවිත් යන්න..”

ඕ..කේ..”

ඈ ඇමතුම විසන්ධි කළාය.. සිතුමිණී හා සංදීප අතර එතරම් ඇයි හොදයියක් නොවන වග වටහා ගැනීම අසීරු නොවන හෙයින් අංජුලා වහා හැද පැළද ගත්තාය.. පෙර දිනක සිතුමිණීගේ දෙමාපියන් සමග ඔවුන්ගේ නිවසට ගොස් තිබූ බැවින් ඇයට පාර සොයා ගැනීම ගැටළුවක් නොවිය..

ආ.. නංගි.. ඔයා ඉක්මනට ඇවිත්..”

සංදීප, අංජුලාව පිළිගත්තේ එසේ කියමිනි.. ඈ සිනා මුසුව නිවසට පා තැබුවාය.. මංගල දිනයේදී කලබලයේ දුටුවාට වඩා බොහෝ නිස්කලංක ගතියක් හා සුන්දරත්වයක් මෙම නිවසේ ඇතැයි ඇයට සිතිණි.. රඛිත වැනි දඩබ්බරයෙකුට අයිති නොවී සංදීප වැනි නිහතමානී අයෙක් ලද සිතුමිණී සැබැවින්ම වාසනාවන්තය.. අතට පයට සේවකයින්ද සමග මෙවන් නවීන මැදුරක රැජිණ වීමේ වාසනාව හැමෝටම උරුම නොවේ..

ඉදගන්න..”

සංදීප සෙටිය දෙසට අත දිගු කර කීවේය..

කෝ..?”

අංජුලා ඇසුවේ සිතුමිණීව බව දැන උන් සංදීප උඩු මහළ පෙන්විය.. ඈ අනවසරයෙන්ම එහි ඇතුළු උනි.. කාමර තුනෙන් එකක තිර රෙද්ද මෑත් කළ ඇයට දුටු දසුනෙන් සිනහා නැගුනේය.. කොට කලිසමක් හා ටී ෂර්ටයකින් සැරසුන සිතුමිණී නිදා උන්නේ විශාල පුළුන් වළහෙක් තුරුළු කරගෙනය.. ඒ මදිවාට මුහුණ වැසී යන පරිදි කොට්ටයක්ද තබාගෙනය..

අංජුලා ඈ නිදා උන් ඇදේ කොණකට බර විය.. මේ ඔවුන්ගේ නිදන කාමරය නොවන බව අංජුලාට වැටහිණි.. සිතුමිණීගේ පියා ගෙන දුන් නව යුගල යහනාව මෙය නොවේ.. තවද ඇගේ කණ්නාඩි මේසයද පෙනෙන්නට නැත..

නෝනා.. යමු පහළට.. තේ ඩිංගක් බීලම නෝනව ඇහැරවගන්න බැරියෑ..”

අංජුලා ළගට පැමිණි අයිරම්මා කීවේ බොහෝ යහටත් පහත් ලෙසය.. මෙවන් පිවපත් ගැහැණියක් තමා ඉදිරියේ මෙසේ හැසිරීම නිසා අංජුලාට දැනුණේ දැඩි අපහසුතාවයකි..

මේ.. අයිරම්මා නේද..?”

අංජුලා ඇගේ නම සිහි කිරීමට උත්සාහ ගත්තාය.. එයට අයිරම්මා සිනාසුණා පමණි..

බලන්නකො නෝනෙ, පුංචි දරුවෙක් වගේ නිදාගෙන ඉන්න හැටි..”

අයිරම්මා කීවා සේම සිතුමිණී නිදන ඉරියව්ව බලා හිදීමට ආස හිතේ.. කෙසේ වුවද ඈ නිදා උන්නේ කම්මැලිකමට නොව අසනීපයකට බව දැනගත් නිසා අංජුලා ඇය අවදි කෙරුවේ නැත..

නෝනා දවල්ට කාලා යන්න ඉන්නවයි..?”

කේක් හා තේ පැන් සංග්‍රහයකින් අනතුරුව අයිරම්මා, අංජුලාගෙන් අසා සිටියේය..  

ටිකක් ඉදලා යන්න හිතලා තමා අයිරම්මෙ ආවෙනං.. ඒත් කෝ ඉතිං.. මේ කෙල්ල නිදිනෙ..”

ඔහොම නිදාගෙනවත් ඉන්න එක හිතට සැනසීමක් නෝනෙ.. නැගිටලා ඉද්දි හිස කකියනවා කියලා අඩාගත්තු ගමන්මයි..”

ඉතිං.. බෙහෙත් ටිකක්වත් අරගත්තෙ නැද්ද..?”

අංජුලා ඇසුවේ පුදුමයෙනි.. ඈ දෙස දුක්මුසු බැල්මක් හෙලූ අයිරම්මා දිගු සුසුමක් පිට කලාය..

අපේ මහත්තයා කී වංගියක් බේත් ගේන්න හැදුවද..? ඒත් අහනවයි ඉතිං..”

අයිරම්මා කොත්තමල්ලි එහෙම දුන්නෙ නැද්ද..?”

සිතුමිණී කොත්තමල්ලි වලට වූ දැඩි අකමැත්ත දැන උන් අංජුලා ඇසුවේ සිනාසෙමිනි..

මොකෝ නොදුන්නෙ.. දවසක් ඒක මේසෙ පුරාම හලාගෙන..”

එය නම් ඉබේ සිදු වූවක් නොවිය හැකි බව ඈ අනුමාන කළාය.. සිතුමිණීගේ තරම ඈ දනී..

මේ කෙල්ල ඉස්කෝලෙ යද්දිත් ඔහොම තමයි.. පංතියෙ හිටපු දග මල්ල..”

එසේ කියූ අංජුලා අයිරම්මා පසුපසින් කුස්සියටම පැමිණියාය.. සංදීපද පෙනෙන මානයක නොවූ නිසා ඈ අයිරම්මාගේ මුහුණට එබුණි..

අයිරම්මා.. මං මේ කේලමක් අහනවා කියලා හිතන්න එපා.. මහත්තයයි නෝනනයි දෙන්නා සංතෝසෙන්ද ඉන්නෙ..?” 

අංජුලාගේ පැනයට තිගැස්සී ගිය අයිරම්මා මොහොතක් දෙක්ක බිම බලා ගත්තාය..

ඕවට මං උත්තර බදින එක හරිද මංදා..”

මං නරකට අහනවා නෙමෙයි අයිරම්මෙ.. සිතූ කියන්නෙ මං ළගින්ම ආශ්‍රය කරන හොදම යාළුවා.. එයා ගැන දන්න නිසයි මං අහන්නෙ..”

අංජුලා, සිතුමිණීට ලෙන්ගතු බව අයිරම්මා මේ වන විටත් වටහාගෙන තිබිණි.. එහෙයින් ඈ සිය කටහඩ අවදි කලාය..

විරසකේ මොකක්ද කියන්න නං මං හරියටම දන්නෑ නෝනා.. ඒත් දෙන්නගෙ ඇයි හොදයියක් නෑ මං දන්න තරමින්..”

ඒ කිව්වෙ.. දෙන්නා කතාබහ කරන්නෙ නැද්ද..?”

මහත්තයා කතා බහට මනාප උනාට පුංචි නෝනෙ පනාප නෑ.. කොටින්ම කියන්න..”

ඈ වටපිට බලා තවත් අඩියක් දෙකක් අංජුලාට කිට්ටු විය..

පුංචි නෝනා නිදියන්නෙත් ඔය දැන් හිටපු කාමරේ තනියෙම..”

අංජුලා ඉහළට ගත් හුස්ම පොද පහළට දමා ගැනීමට තරම්වත් සිහියක් නොවිය.. ඈ උන් තැනම ගල් ගැසී බලා උන්නාය.. සිතුමිණීගේ දෙමාපියන් සේම අංජුලාද සිතුවේ සිතුමිණී ටික දිනකින් වෙනස් වේවි කියාය.. නමුත් ඈ පෙරටත් වඩා දරුණු වී ඇති සෙයකි..

අපි මේකට මොකක්ද අයිරම්මෙ කරන්නෙ.. මට මේ කෙල්ල ගැන හරි බයයි..”

අංජුලා, අයිරම්මාගේ දෝතම තද කර ගත්තේ සැබෑ අසරණකමකිනි.. නමුත් ඒ වියපත් ගැහැණිය සතුව පිළිතුරක් වූයේ නැත..

මලක් වගේ හිනා වෙවී කියවද්දි මට උනත් කටක් ඇරලා දෙයක් කියන්න හිතෙන්නෙ නෑ නෝනෙ..”

අයිරම්මා කීවේ සැබෑවක් බව අංජුලා දැන සිටියාය.. ඇගේ දිලිසෙන ඇස් යුගල දෙස බලා බැන වැදීමක් කිසිසේත් කළ නොහැක්කකි..

මට ටිකක් කල්පනා කරන්න ඕන අයිරම්මෙ මේකට මොකක්ද කරන්නෙ කියලා.. මේ කුරුළු කූඩුව කැඩිලා බිදිලා යන්න දෙන්න බෑ..”

එය කියන විට අංජුලාගේ ඇස් තෙමි තිබිණි.. ඈ වහා ඇස් පසදා ගත්තාය..

නෝනවත් කරන්න පුළුවන් දෙයක් බලලා කරන්න.. ඒක ලොකු පිණක්..”

අයිරම්මා කීවේ සැබෑ සෙනෙහසකිනි.. මේ නව යුවලගේ සිනා හඩින් නිවස පිරී යනවා දකින්නට ඈ කෙතෙකුත් ආසා කළාය..

සිතූ නැගිට්ටම මේක දෙන්න.. මං ගිහින් එන්නම්..”

අංජුලා ඇගේ අත් බෑගයේ දමා උන් සිතුමිණීගේ ජංගම දුරකථනය මා චාජරය මේසය මත තැබුවාය..

බත් ඩිංගක් කාලා යන්න ඉන්න නෝනෙ..”

සිතුමිණීගේ ළබැදි මිතුරිය තව මොහොතක් රදවා ගැනීමට අයිරම්මාට අවැසි වුනි.. නමුත් අංජුලා බෑගය කර දමා ගත්තේය..

මං වෙන දවසක එන්නම්කො.. සිතූට කියන්න මං පංති යන ගමන් හදිස්සියෙ ඇවිත් ගියා කියලා.. නිදි නිසා ඇහැරෙව්වෙ නෑ කියලා කියන්න..”

තමාට හදිස්සි වැඩක් ඇතැයි සංදීපට මුසාවක් කී අංජුලා ඔවුන්ගේ නිවසින් නික්ම ගියාය.. ඇගේ සිත බොහෝ කලබලව තිබිණි.. සිතුමිණී, සංදීපට මේ තරම් වෙනස්කම් කරතැයි ඈ සිතුවේ නැත.. මෙම තත්වය සිතුමිණීගේ දෙමාපියන්ට කීමෙන් ඵලක් නොවේ.. කෙසේ වුවද සිතුමිණීගේ සිත රඛිතගෙන් මුදවා සංදීපට ළං කරනෙමියි අංජුලා දැඩිව අදිටන් කර ගත්තාය..       



               

No comments:

Post a Comment