Wednesday, April 25, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






සංදීප දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කල පසු හා සිතුමිණීගේ මානසික කම්පනය අවම වූ පසු අංජුලා, සංදීපගේ අනතුරේ සැබෑ තතු හෙලි කර සිටියාය.. සංදීප අනතුරට මුහුණ දුන් දා සිටම දිනපතා රෝහලට ගිය සිතුමිණී එය දැනගත් පසු රෝහල් ගමන ක්‍රමයෙන් අඩු කළාය..


“සිතූ උඹ මෙහෙම මුළු ගැන්විලා හිටියට මේ ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑනෙ.. සංදීප අයියට හොද උනාම උඹලා දේනනා කතා කරලා තීරණයක් ගනිං..”

සිතුමිණී අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරනු දුටු අංජුලා ඇයට අවවාද කළාය..

“උඹටත් මාව සැකයිනෙ අංජු.. මං එදා රඛිතව මීට් උනේ නෑ.. මං ගියේ පන්සල්..”

සිතුමිණීගේ හඩ බොහෝ අසරණව තිබිණි.. ඈ අංජුලා දෙස බැලුවේ දෑසේ කදුළු පුරවාගෙනය..

“ඒක ඇත්ත වෙන්න ඇති.. ඒත් උඹ ඊට කලින් රඛිතත් එක්ක රෙස්ට්  හවුස් එකකට ගිහින් තියෙනවනේ.. ඒක නෑ කියන්න බෑ උඹට..”

අංජුලාගේ හඩේ කිසිම තෙතමනයක් ගැබ්ව තිබුණේ නැත.. ඇයට අවැසි වූයේ හොදින් හෝ නරකින් සිය හෙහෙළියට යථාර්ථය අවබෝධ කරලීමටය..

“ඒ උනාට උඹ කියන විදියෙ දෙයක් එදා උනේ නෑ.. මං දන්නෙ නැතුවයි රඛිත මාව එතනට අරන් ගියේ..”

“රඛිත ගෙදරට ඇවිත් අරන් ගියේ නෑනෙ.. උඹනේ ඌව මීට් වෙන්න ගියේ.. අනේ මන්දා.. උඹ මගේ යාළුවෙක් කියන්නත් මට දැන් ලැජ්ජයි..”

සිතුමිණීගේ සිතටදැඩි ලෙස වදින්නට සේ අංජුලා හැසිරුනාය.. ඒ ඇසුණු සිතුමිණීගේ සුදු මුහුණ රෝස පැහැයට හැරුණේ නිමේෂයකිනි..

“සංදීප අයියගෙ තියෙන හොදකමට මිනිහා උඹේ ඔය බලු වැඩ ගැන තාම කියලා නෑ.. මිනිහා කට්ටිය ඉස්සර තාමත් උඹට සුදු හුණු ගානවා..”

“හරි.. මං දැන් මොනවද කරන්න ඕනෙ කියපං..?”

අංජුලාගේ කර්කශ වදන් තවදුරටත් අසා සිටිය නොහැකි වූ සිතුමිණී ඇගේ මුහුණට එබී ඇසුවාය..

“උඹ සංදීප අයියව බැන්දෙ මොකක් හරි යටි කූට්ටු වැඩක් හිතේ තියාගෙන.. තවත් ඒ මිනිහට රිද්දන්නෙ නැතුව කෙලින් තීරණයක් ගනිං.. උඹ අතෑරියා කියලා එයාට මේ ලෝකෙ වෙන ගෑනු නැති වෙන්නෙ නෑ.. කොටින්ම සංදීප අයියා වගේ හොද කෙනෙක්ව බදින්න මම උනත් කැමතියි..”

“අංජු..”

සිතුමිණීට තම දෙසවන් අදහා ගන්නට බැරි ගතියක් දැනුණි.. එමෙන්ම අංජුලා කෙරෙහි ඊරිසියාවක්ද ඇගේ සිතට දැනෙන්නට විය..

මිතුරියගේ මුහුණේ ඉරියව් වෙනස්ව යනවා දුටු අංජුලාට දැනුනේ සතුටකි.. ඇය සංදීපට කැමති යැයි කීවේ සිතුමිණීගේ ප්‍රතිචාර දැන ගැනීමට මිසක බැසෑවට නොවේ.. මිතුරියගේ පවුල එක් කරන හැගීම මිස ඇගේ ස්වාමියා තමාට අයිති කර ගැනීමේ චේතනාවක් අංජුලාගේ සිතේ කොනකවත් වූයේ නැත..

“මට තව හිතන්න දෙන්න අංජු.. ප්ලීස්.. මට බනින්න එපා..”

“මං උඹට බැන්නෙ තරහට නෙමෙයි නෙතූ.. ටිකක් තේරුම් ගනිං.. මමත් කියන්නෙ හොදට හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න කියලයි..”

අංජුලා අදහස් කරන බුද්ධිමත් තීරණය සංදීප මිස රඛිත නොවන බව සිතුමිණී දැන උන්නාය.. රඛිතට වඩා බොහෝ උසස් ගතිගුණ සංදීප සතුව ඇති බව සිතුමිණි පවා දැන උන්නද ඇයට සිය කුළුදුල් පෙම අමතක කල හැකි වූයේ නැත..

“ටිකක්  හිතපං සිතූ.. උඹ එදා කණ්ඩලම ගිහින් කරපු දේ රඛිත වගේ එකෙක්ට කලා නං ඌ උඹට නිදහසේ නිදාගන්න දෙයිද.. අනික උඹ මේ කරන වෙනස්කං වලට වෙන මිනිහෙක්නං උඹව මෙලහකට ඩිවෝස් කරලා ගොඩක් කල්..”

අංජුලා කතා කරන්නේ තාම පවුල් ජීවිතයේ ඇතුළාන්තය පිළීබද හොද අවබෝධයකින් බව සිතුමිණීට මනාව වැටහුණි.. ඊට එරෙහි වීමට යමක් නොවූ නිසා සිතුමිණී සාවධානව එවදන් අදා උන්නාය..

                                            ****************************

අනතුරින් දැඩි තුවාල ලැබූ සංදීප ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් සිටියේය.. නමුදු සති තුනක් පමණ යනතුරු ඔහුට රෝහලෙන් පිටවී යෑමට අවකාශ ලැබුණේ නැත.. ගතේ වූ තුවාල කොතරම් රිදුම් දුන්නද ඔහු උන්නේ සතුටිනි.. ඊට හේතුව තම පුංචි බිරිද පෙරට වඩා අනුකම්පාවෙන් ඔහුට සැලකීමයි..

“මේ ඇක්සිඩන්ට් එක උනේ මගේ පෙර කල පිනකට වෙන්න ඇති අංජු නංගි..”

දිනක් සංදීපව බලන්න පැමිණි අංජුලාට ඔය සිය සිතැගි හෙළි කර සිටියේය..

“පෙර පිණකට මේ වගේ දෙයක් වෙන්නෙ කොහෙමද අයියෙ.. අනික මේ තරම් තුවාල වෙන්න..”

සංදීප අදහස් කරන්නේ කුමක්දැයි නොවැටහුණු අංජුලා තෙපලූවාය..

“අපි බැදපු මාස ගාණටම සිතූ මගේ මූණවත් හරියට බලලා නෑ.. ඒත් දැන් එයා මාව බලන්න දවස ගානෙ ඉස්පිරිතාලෙත් එනවා..”

“අයියට වෙච්ච දේ ගැන සිතූ හරි අප්සට් එකෙන් ඉන්නෙ.. කෙල්ල හිතන්නෙ මේක උනේ එයාගෙ වරදින් කියලා..”

“මං කෙයාර්ල්ස් ඩ්‍රයිව් කලාට එයා මොනවා කරන්නද.. අනික ඉතිං මමනේ එදා සිතූ ගැන වැරදි දෙයක් ඔළුවට දාගෙන හිටියෙ..”

එදා සිතුමිණී ගොස් තිබුණේ රඛිත මුණ ගැසීමට නොවන බව අංජුලාගෙන් දැනගත් සංදීප පසුතැවීමෙන් යුතුව කීවේය..

“රඛිතට ඕනෙ සිතූව එයාට නැතිවෙච්ච තරහට ඔයාලගෙ පවුල් ජීවිතේ කඩාකප්පල් කරන්න.. ඒ නිසා අයියා රඛිත කියන දේවල් සීයට සීයක්ම විශ්වාස කරන්න එපා.. එයා ඉස්කෝලෙ යන කාලෙත් කෙල්ලො දෙතුන් දෙනෙක්ම ආශ්‍රය කලා.. සමහර විට එදා රෙස්ට් හවුස් එකට රඛිත අරන් ගිය කෙල්ල සිතූ නොවෙන්නත් පුළුවන්..”

ලෙඩ ඇදට වී උන් සංදීපගේ සිත සුවපත් කරන අටියෙන් අංජුලා බොහෝ දේ පැවසුවාය..

“නංගිට බෝයි කෙනෙක් නැද්ද..?”

සංදීප හිටි ගමන් ඇසූ දෙයින් අංජුලාගේ මුහුණේ ලැජ්ජාශිලි මදහසක් නැගුණි..

“සිතූ අපි හැමෝටම කලින් බැන්දා තමයි.. ඒත් අපිට තාම වයස විස්සයිනෙ..”

“මං බලාපොරොත්තු වෙන උත්තරේ ඒක නෙමෙයි..”

“මාව තේරුම්ගන්න  පුළුවන්.. මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක් මට තාම මුණගැහිලා නෑ.. ඉතිං මං තාම තනිකඩයි..”

ජීවිතය දෙස පුළුල් අවබෝධයකින් බලන සිතුමිණීගේ හෙහෙළිය ගැන සංදීපට දැනුණේ පැහැදීමකි.. ඔහු මොහොතක් අංජුලාගේ අවංක මුහුණ දෙස බලා උන්නේය..   

ඈත පටු කොරිඩෝව දිගේ අයිරම්මා සමග එමින් සිටි සිතුමිණී, සංදීප සමග සිනා සිසි කතා කරන සිය යෙහෙළිය දුටුවාය.. කිසියම් අපැහැදිලි හැගීම් ගොන්නක් ඇගේ සිතේ ක්ෂණිකව ඉපදිනි.. ඉන් ප්‍රබල වූයේ  ඊරිසියාවයි.. සංදීප විවාහ  කර ගැනීමට පවා තමා කැමති බව අංජුලා දිනක් කී අයුරු සිතුමිණී මෙනෙහ කළේ වේදනාවෙනි.. තමා සංදීපව අත් හැරීමට සූදානම් වන්නේ නම් ඈ එම හිස්තැන පුරවන බවට පෙර නිමිති කියා පාන්නේදැයි සිතුමිණී සිතුවාය..

“ආ.. සිතූ අද ඔයාලා පරක්කු වෙලා නේද..? මං මේ සංදීප අයියා එක්ක ටිකක් කතා කර කර හිටියා..”

අංජුලා වෙනසක් නොමැතිව සැහැල්ලු ලෙ හැසිරුනද සිතුමිණී ඇතුළතින් කැළඹී උන්නාය.. කොටින්ම ඈ අංජුලාට මුහුණ දී කතා කලේවත් නැත..

“ලොකු නෝනලත් හවස එනවා කියලා කතා කලා මහත්තයො.. මං හිතන්නෙ සංකේත් මහත්තයත් ටික දවසකට නතර වෙන්න බලාගෙනම එයි..”

සංදීපට ළං වූ අයිරම්මා කීවාය.. සංදීපට සිය දෙමාපියන් ගැන අනුකම්පාවක් නොදැනුණා නොවේ.. පසුගිය සති තුනට ආසන්න කාලයක් ඇතුළත ඔවුන් කොළඹ හා කුරුණෑගල අතර රස්තියාදු වූ වාර ගණන නිමක් නැත.. ටික කලක් සංදීපගේ නිවසේ නතරව හිදීමට ඔහුගේ මව කැමති වූවද පියා මහ ගෙදරටම පුරුදු වී උන්නේය..

“මල්ලි ආවොත් ලේසියි.. එතකොට ඔයාට උනත් ත්‍රීවිල් වල රස්තියාදු වෙන්න ඕනෙ නෑ මගේ වෙහිකල් එක තියෙනවනේ..”

සංදීප, සිතුමිණීගේ මුහුණ බලා කීවාට ඈ සිටියේ දෑස් බමට බර කරගෙනය.. එම වෙනස අංජුලා නම් අවබෝධකරගෙන තිබුණි..

“අයියා ටිකට් කැපුවාම මමත් ටික දවසකට ඔයාලගෙ ගෙදර ඉන්න එන්නං.. සිතූටත් තනියෙම වැඩ ටික කරගන්න අමාරු ඇතිනේ..”

අංජුලා කීවේ සිතුමිණීගේ ඊරිසියාව වර්ධනය කිරීමේ අරමුණ් මිස සැබෑවටම එහි යාමේ බලාපොරොත්තුවකින් නොවේ..

“මං එහෙනං ගිහින් එන්නං අයියෙ.. සිතූටත් ඔයා එක්ක කතා කරන්න දේවල් ඇතිනේ..”

අංජුලා, සිතුමිණීට යමක් සිතීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී රෝහලෙන් නික්ම ගියාය..

                                           *****************************

මසකින් පමණ සංදීපට නිවස බලා යාමේ වාසනාව උදා වූයේය.. නමුදු කකුලේ තුවල සනීප වන තුරු ඔහුට කිහිලිකරු භාවිතා කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි.. ඔහුව නිවසට රැගෙන යන දවසේ සිතුමිණීලා පමණක් නොව සංදීපගේ මිතුරු දෙපල වූ අමිල හා තිලංකද සිටියහ..

“උඹ එදා දුම් දාගෙන ගියපු විදියට මට තේරුණා මේ වගේ තැනකින් තමයි නවතින්නෙ කියලා..”

කිහිළිකරු තවම නුහුරු වූ තම මිතුරාට වාරු දෙන ගමන් අමිල පැවසිය.. නමුත් තිලංක, සංදීපගේ සිත රිදෙන වදනක් හෝ දෙඩුවේ නැත..

“මල්ලියා.. ඔයා මෙහෙ නතර උනාම ජොබ් එකට යන්නෙ නැද්ද..? මෙහෙ ඉදලා කුරුණෑගලට දුරයිනෙ..”

සංදීපගේ බඩු බාහිරාදිය රැගෙන රෝහල් කොරිඩෝව දිගේ පිය මනින සංකේත්ගෙන් තිලංක විමසා සිටියේය..

“මට ජොබ් එක ඒ තරම් ලොකු නෑ අයියෙ.. මං මේ ටිකෙ අපේ අයියා ළගට වෙලා ඉන්නවා.. ජොබ් එකක් පස්සෙ හොයා ගන්න බැරියෑ..”

සංකේත් ලබා දුන්නේ සංදීපගේ දෑසට කදුළු නංවන තරමේ පිළිතුරකි..

“ජොබ් එක අවුලක් කරගන්න එපා මල්ලි.. අයියා උනත් මේ ටිකේ නාවට ජොබ් එක නැති වේනනෙ නෑනෙ.. අපි ඔයාටත් අපේ කම්පැනියෙ ජොබ් එකක් සෙට් කරලා දෙන්නං.. සනීප උනාම අයියා මලෝ දෙන්නම එන්න..”

සංදීප,  සංකේත්ව සිය ආයතනයට දමා නොගත් කාරණාව පිළිබද කිසිවක් නොදැන සිටි තිලංක කීවේ අමිලගේද අනුමැතිය අපේක්ෂාවෙනි..

“ඔව්.. ඔව් මල්ලි.. බය වෙන්න එපා.. ඕන දේකට අපි ඉන්නවා හරි..”

සංකේත් සැහැල්ලු ලෙස සිනාසී බඩු බාහිරාදිය රථයට දමා ගත්තේය..

“අපි එහෙනං මෙහෙම්ම කැපෙන්නං මචං.. වීක් එන්ඩ් එකේදි සෙට්වෙමු..”

සංදීපව රථයට නැංවූ දෙමිතුරෝ රථගාලේදී ඔවුන්ගෙන් සමුගත්හ.. සිතුමිණී හා අයිරම්මාවද නංවා ගත් සංකේත් නිවස බලා පිටත් උනි..

“අයියට උඩට නගින්න අමාරු නිසා මමයි, සිතූ නංගියි පහළ කාමරේ ඇරේන්ජ් කලා..”

සංකේත් නිවසට ගොඩ වූයේ එසේ කියමිනි.. සංදීප සිය ගමන මොහොතකට නතර කර සිතුමිණී දෙස බලා උන්නේය..

ඔහුට සිහිපත් වූයේ තමා අවසන් වරට මෙම නිවසින් නික්ම ගිය දිනයයි.. එදින සිතුමිණී සමග එක කාමරයේ නිදා ගැනීමේ සතුට වින්දද අද තමාට පඩිපෙළ නැග යාමට තරම්වත් වාරුවක් නැත.. තමාගේ කුමක්දෝ පෙර අකුසල කර්මයකට තම දෛවය පෙරළ පෙරළා පහර දෙන බව පමණක් ඔහුට පසක් වෙමින් තිබුණි..

“කාලෙකට පස්සෙ ගෙදර ආව නිසාද මංදා හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා..”

එසේ කී සංදීප, සංකේත්ගේ හා පොඩ්ඩේගේ වාරුවෙන් සෙටියට බර වී කිහිලිකරු දෙක පසෙකට කර තැබීය..

“අනේ මහත්තයො.. මං වැඩිය ආවෙ නැතුවට තරහා ගන්න එපා.. කොහෙද මේ අයිරම්මලා මාව එක්කගෙන ගියේ නෑනෙ..”

පොඩ්ඩේ සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කලේ සංදීපගේ දෙපා මුල ඉදගනිමිනි.. ඊට සිනහවකින් පමණක් පිළිතුරු දුන් සංදීප පොඩ්ඩේගේ හිස දයාබරව අතගෑවේය..

“මොනවා උනත් ඉතිං මහත්තයා මෙහෙම ඉන්නවා දකිද්දි මගේ හිත වාවන්නෙ නෑ.. මට..”

“හා.. හා.. ඔය ඇති.. ගිහින් මහත්තයගෙ ඇගපත හෝදන්න වතුර ටිකක් රත් කරපං..”

අයිරම්මා පොඩ්ඩේට වැඩක් බාර දුන්නේ ඔහුගේ කියවිල්ල නැවතීමේ අරමුණින්ය නමුත් ඔහු කුස්සියට යන අතරතුරදී තව මොන මොනවදෝ තනිව මුමුණනවා ඇසුණි..



  

No comments:

Post a Comment