Tuesday, April 24, 2012

වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






වෙහෙසකර දෙසතියකට පසුව උදා වූයේ සංදීප විවාහයෙන් පසුව රැකියාවට යන මුල්ම දිනයයි.. එදිනවත් සිතුමිණී කලින් අවදි වේ යැයි සංදීප සිතා උන්නද ඈ නැගිට්ටේ ඔහු පිටව යන්නට ඔන්න මෙන්න තිබියදීය.. ඒ වන විට අයිරම්මා ඔහුගේ කෑම වේල් දෙකම සූදානම් කර තිබිණි..

“අයිරම්මා මගේ තේ එක කෝ..?”


වෙනදාට තමා අවදිවන විට අයිරම්මා කාමරයට ගෙනෙන තේ එක අද නැත්තේ මන්දැයි සිතමින් සිතුමිණී පහළට බැස ආවාය..

“ගුඩ් මෝනිං සිතූ..”

නිවසින් යාමට පෙර තම පුංචි බිරිදගේ සුන්දර මුහුණ දැකීම වාසනාවක් යැයි ඇදහූ සංදීප ඇයට සුබ උදෑසනක් පැතුවේය.. නමුත් ඈ ඇස් කොණකින් හැරී බැලුවා පමණි..

“අද ඉදලා ආපහු වැඩ බබා..”

ඈ තමාව ගණන් නොගත්තද තමා කියනා දෑ ඇයට ඇසෙන හෙයින් සංදීප නැවතත් කීවේය 'හ්ම්' සද්දයක්වත් පිට නොකල ඈ නිහඩවම තේ කෝප්පය තොල ගෑමට පටන් ගත්තාය.. ඔහුට මහත් අනුකම්පාවක් දැනුණි..

“මං එහෙනං ගිහින් එන්නම් අයිරම්මෙ.. පුංචි නෝනව හොදින් බලාගන්න..”

ඔහු පිටව යද්දි අයිරම්මාට එසේ කීවේ සිතුමිණීටද ඇසෙන ලෙසය..

“හොදයි මහත්තයො රත්නත්තරේ සරණයි..”

සංදීප එම ආශීර්වාසය බලාපොරොත්තු වූයේ අයිරම්මාගෙන් නොවේ.. තම බිරිද සිතුමිණී තමාට කිසිවක් කියතැයි බලා ඔහු උන්නේය.. සිතුමිණී ඔහුගේ එම අදහස වැටහුනාක් මෙන් වහා කුස්සියට ඇතුල් වුනි.. මොහොතකින් සංදීපගේ රිය නික්ම යන හඩ හා පොඩ්ඩෙ ගේට්ටුව අරින හඩ ඇසුණු ඈ සැනසුම් සුසුම් හෙලුවාය..

“මහත්තයා ගියා නෝනෙ..”

අයිරම්මා කුස්සියට අතුළු වූයේ සිතුමිණී සමග තරමක නොරිස්සුමකිනි.. එය නොවැටහුණු සිතුමිණී අයිරම්මා දෙස බලා සුහදව සිනාසුනාය.. ඒ දිගැටි නිල් දෑස් දුටු අයිරම්මාට ඇය කෙරෙහි මහත් ලෝභකමක් දැනුණි.. ඇගේ තරහා අමතකව ගියා සේය..

“අයිරම්මා.. අපි සමපෝෂ හදමු..?”

සිතුමිණී උන් හිටි ගමන් කී දෙයින් අයිරම්මා පුදුම වුනි.. ඇය කෑමට කැමති යමක් ඔය ඉල්ලුවාමය..

“අනේ නෝනෙ.. මේ ගෙදර කොයින්ද සමපෝෂ..?”

“කඩේ තියෙනවද දන්නෑ.. මං බලලා එන්නම්..”

“කඩේ යන්න.. නෝනෙ..?”

සිතුමිණී තමා සමග විහිළු කරනවාදැයි ඇයට සිතාගත නොහැකි විය.. පොඩ්ඩෙ සිටියදී ඈ කඩයට ගියොත් සංදීප මහතාගෙන් තමාට බේරුමක් නොවේ.. එහෙයි අයිරම්මා පොඩ්ඩේව කඩයට පිටත්කර හැරියේය..

“අග්ගලා හදන්න අයිරම්මෙ.. ඔන්නු පුංචි නෝනට විතරක් නෙමෙයි මටත් ඕනෙ හරිද..?”

පොඩ්ඩේ කඩයට යාමට සැරසුනේ අයිරම්මාට කොන්දේසියක්ද දමමිනි..

“පොඩ්ඩෙ..”

ඔහු ගේට්ටුව වසද්දිම සිතුමිණී කෑ ගැසුවාය..

“ඇයි පුංචි නෝනා..?”

“ඔයාට මොනව හරි ඕන දේවල් තියෙනවා නම් ගන්න.. ආ..” 

සිතුමිණී පොඩ්ඩෙ දෙසට රුපියල් පන්සීයෙ නෝට්ටුවක් දිගු කළාය.. ඔහු එය අතටවත් නොගෙන බලා උන්නේ පුදුමයෙනි..

“මට.. මට මුකුත් ඕනෙ නෑ පුංචි නෝනා..”

“කමක් නෑ.. මේක ගන්නකො..”

මොහොතක් දෙකක් බලා හිද අවසානයේ ඔහු එය අතට ගත්තේ ඇයට තරහා යාවි යැයි හැගුණ නිසාය..

පොඩ්ඩෙ ගෙනා සමපෝෂ පැකට් දෙකෙන් එකක් සිතුමිණී තනිවම සාදා ගත්තේය.. ඈ අයිරම්මාට පොල් ගෑමට හෝ ඉඩ දුන්නේ නැත..

“අයිරම්මෙ.. ආ.. කන්න..”

ඈ අග්ගලා තුන හතරක් තැබූ පීරිසි දෙකෙන් එකක් අයිරම්මාට දී අනෙක පොඩ්ඩේට දුන්නාය..

“මේ තරම් දුන්නම නෝනෙට තියෙනවයි..?”

“අපෝ මට ඇති.. ඔය දෙන්නා කන්න..”

තමාගේ අතින් තේ එකක්වත් සාදා සංදීප මහතාට නොදෙන පුංචි නෝනා තමාට හා පොඩ්ඩේට අග්ගලා සාදා දීමට අයිරම්මාගේ පුදුමයට හේතු උනි.. සංදීප නිවසේ සිටියදී සිතුමිණී වැඩ නොකලේ හිතා මතාම බව ඈ දැන උන්නේ නැත..

“පුංචි නෝනා.. ආං ෆෝන් එක වදිනවා..”

කුස්සියේ පඩි ගැට්ට මත වාඩි වී සමපෝෂ කන සිතුමිණීට අයිරම්මා කීවේය.. ඈ සාලයේ පුටුවත් මත තිබූ ජංගම දුරකථනය දෙසට අඩි දෙකට දිව ගියේ පොඩ්ඩේගේ මුවගට සිනාවක්ද නංවමිනි..

“සංදීප මහත්තයා දාන රෙස්පෙක්ට් වල හැටියට පුංචි නෝනා මේ තරම් හොදයි කියලා හිතාගන්නවත් බෑ..”

පොල් සීනි හා ලුණු පදමට දමා තනා තිබූ අග්ගලා බෝලයක් කටේ ඔබා ගත් පොඩ්ඩේ අයිරම්මාට කීවාය..

                                            ****************************

තම දුරකථනයේ රඛිතගේ අංකය සටහන්ව තිබෙනු දුටු සිතුමිණීගේ සතුට නිම්හිම් නැති විය.. සමපෝෂ පිගාන ඔඩොක්කුවේ තබා ගත් ඈ සෙටියේ හරිබරි ගැසී ඉද ගත්තේ දිගු සංවාදයකට මුල පුරමිනි..

“සිතූ..”

රඛිතගේ හඩ වඩා හොදින් ග්‍රහණය කරගන්නට මෙන් ඈ දුරකථනය තවත් කණට ළං කර ගත්තාය..

“රඛිත.. අනේ රඛිත..”

කතා කිරීමට කොතෙකුත් දේ තිබුණද ඒ හැම එකකටම පෙර සිතුමිණීගේ කදුළු ඉස්සර විය.. ඇයට මොහොතක් දෙකක් සිත් සේ වැළපීමට ඉඩ හල රඛිත සිය කටහඩ අවදි කලේය..

“ඇයි සිතූ මෙච්චර දවස් ගාණක් ෆෝන් එක වැඩ කලේ නැත්තෙ..? මං දවස් ගානක්ම ට්‍රයි කලා..”

“ෆෝන් එක තිබුණෙ ගෙදර රඛිත.. අංජුලා තමයි ළගදි දවසක ෆෝන් එක ගෙනත් දීලා ගියේ..” 

“ඒකට කමක් නෑ.. කෝ සංදීප..?”

“වැඩට ගියා..”

සිතුමිණී පිළීතුරු දුන්නෙ ඕනවාට එපාවට මෙන්ය.. රඛිතට ඒ බව මනාව වැහටිණි..

“මං කියපු විදියට වැඩ වේගෙන යනවනේ බබා..?”

“හ්ම්..”

“ගෙදර සර්වන්ට්ලා ඉන්නවද..?”

“ඔව්.. දෙන්නෙක්..”

තමාගෙන් මිදුණු සිතුමිණී ඉතා සුබෝපභෝගි දිවියක් ගෙවීම ගැන රඛිතට සියුම් ඊරිසියාවක්ද දැනෙන්නට විය.. ගැහැණුන් සැප සම්පත්වලට ප්‍රිය කරන බව රඛිත අසා තිබිණි.. එහෙයින් යම් දිනක සිතුමිණී මේ ගෙවන දිවියට ප්‍රිය කිරීමේ ඉඩකඩක්ද ඇත..

“ගොඩක් දේවල් කියන්න තියෙනවා සිතූ.. ඔයාට බැරිද මාව ඇවිත් මීට් වෙන්න..?”

තමා සංදීපට ප්‍රිය නොකරන බව සැබෑවකි.. නමුත් තමා දැන් ලෝකය හමුවේ විවාහක ගැහැණියක් බව සිතුමිණීට සිහි විය.. එනිසා ඈ උන්නේ චකිතයෙනි..

“ඔයාම නේද රඛිත කිව්වෙ කාටවත් සැක හිතෙන විදියට හැසිරෙන්න එපා කියලා..?”

තම සිතැගි ඒ ලෙසින්ම පිට කලහොත් ඔහුට තරහා නැගේ යැයි නැගුණු සිතුමිණී එය වෙනද් විදියකට පැවසුවාය..

“සැක හිතෙන්නෙ නෑ බබා.. ඔයා ගෙදර ඉන්න කම්මැලි නිසා මොනව හරි කෝස් එකක් කරන්න යනවා කියලා කියන්න.. එතකොට අපිට දිගටම උනත් මීට් වෙන්න පුළුවන්..”

පාසල් ගමන අවසන් කළ තම යෙහෙළියන් නම් විවිධාකාර පාඨමාලා හදාරණ බව සිතුමිණී දනී.. එහෙත් විවාහ වූ තමාට මොන පාඨමාලාදැයි ඇයට නොසිතුනා නොවේ..

“බලමු..”

ඈ එයට පිළිතුරු සැපයුවේ ඇසූ ප්‍රශ්නයද ඔහුට අමතක වුන තරම් කල් වේලා ගතවූ පසුවය.. සිතුමිණීගේ සිත වෙනස් වී ඇත්දැයි රඛිතට සැක සිතුණි..

“මට ජොබ් එකක් ලැබුණා සිතු.. ඔෆිස් එකෙන් බයික් එකකුත් දුන්නා..”

“ෂෝක්නෙ..”

ඈ එය කියූ තාලයට තමා දැන් මොහොතකට පෙර සිතූ දෙස නිවැරදි නොවන බව රඛිත වටහා ගත්තේය.. පෙර දිනවල මෙන් සිතුමිණිව තුරුළට ගෙන ඒ මෘදු පහස විද ගැනීමට ඔහුට දැඩි උවමනාවක් දැනුණි.. ඔහු ඇයව නිවසින් පිටතට ගැනීමේ දැඩි උත්සහයක යෙදුනේ ඒනිසාය..

“මට ඔයාව බලන්න ඕන සිතූ.. මට ඔයා ළගට වෙලා ඉස්සර වගේ ඉන්න ඕන..”

ඔහු ඇයව නතු කර ගැනීමට විවිධාකාර දේ කීවේය.. නමුත් සිතුමිණී උන්නේ දොලොවක අතරමං වී ගෙනය..

“මං ඒ නිසා තමයි කිව්වෙ වෙඩින් එකට කලින් මාව අරන් යන්න කියලා..”

“එහෙම ගෙනාව නං මං කොහෙද නිතූ ඔයාව තියාගන්නෙ..? අපේ දුප්පත් ගෙදර ඔයාට පහසුකම් මදි..”

“ඉතිං මං ආපහු ආවත් අපිට ඉන්න වෙන්නෙ ඒ ගෙදරමනේ..”

ඔවුන්ගේ සැලැස්ම වූයේ යලි එක්වීම හෙයින් ඇය අසා සිටියාය..

“ඒත් දැන් ඔයාට ලොකු ඉඩමකුයි සල්ලියි තියෙන නිසා අපිට ගෙයක් හදාගන්න බැරියෑ..”

ඔහු ඒ කීවේ තව දෑවැද්ද පිළිබදව බව සිතුමිණී වටහා ගත්තාය.. ඇයට රඛිත පිළිබදව පිළිකුලක් දැනුණි..

“මට කොහෙද රඛිත ඉඩම්..?”

රඛිතගේ සිතැගි දැන ගැනීමේ මුවාවෙන් ඇය තෙපළාය..

“ඇයි ඔයා සංදීපව බැන්දොත් අර මාලඹේ පැත්තෙ තියෙන ලොකු ඉඩම ඔයාට දෙනවා කිව්වලු නේද..?”

රඛිත එසේ පැවසුවේ එය තවමත් ඈ නමට ලියා ඇත්ද යන දෙගිඩියාවෙනි.. එම කටයුතු නිමා වී නැති නම් ඔහුගේ සැලැස්ම තව කල් දැමීමට සිදුවේ..

“එහෙම එකක් නං දුන්නෙ නෑ.. තාත්තා පොතට නං සල්ලි ටිකක් දැම්මා..”

“කීයක් විතරද..?”

තමාගේ  හඩ වේගවත් වූවා වැඩිදැයි රඛිතට සිතාගත නොහැකි විය..

“ලක්ෂ පහළවක් විතර..”

සිතුමිණී එය කීවේ ඇගට පතට නොදැනෙන ලෙසය.. කුඩා කල සිට සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුණු ඇයට එය එතරම් ලොකු මුදලක් නොවූවද රඛිතට නම් එය මහ මෙරක් සේ දැනුණි.. ඔහු සැනසුම් සුසුමක් හෙලුවාය..

“අපේ ප්ලෑන් එකේ ඉඩම් කතාවක් තිබුණෙ නෑනේ රඛිත..”

සිතුමිණී සිය අප්‍රසාදය යටපත් කර ගැනීමට වෙරදරමින් විමසුවාය.. රඛිතට තම කට ඉස්සර වීම ගැන මහත් පසුතැවීමක් දැනුණි..

“නෑ බබා.. මං ඒ කතාව විහිලුවට කිව්වෙ..”

“රඛිත.. සංදීප එනවා..”

සිතුමිණී කීවේ මුසාවකි.. සංදීප තවම වැඩට ගොස් පැය දෙක තුනක්වත් ගතව නැත.. නමුත් ඇයට රඛිතගෙන් මිදී මදක් කල්පනා කිරීමට අවැසි වූවාය..

“ඌ ආවට මොකෝ.. මිනිහ කොහොමත් අපි දෙන්නා ගැන දන්නවනෙ..”

“මං පස්සෙ ගන්නම්..”

ඔවු තවත් මොනවදෝ කියන්නට මුව විවර කරද්දිම සිතුමිණී ඇමතුම විසන්ධි කළාය.. ඇයට දැනුණේ දැඩි මානසික කම්පණයකි.. රඛිත තමා මලු කර ඇත්දැයි ඇයට වරෙක සිතුණි..

ඔවුන් මුලදී කතා කර ගත්තේ දෙමාපිය කැමැත්තට ඉඩ දී සංදීපව විවාහ කර ගෙන පසුව ක්‍රමයෙන් සංදීපගෙන් ඈත් වීමටය.. සංදීපට, සිතුමිණීව එපා වූ කල ඔහුට ඇයට දික්කසාදය දේ යැයි රඛිත පැවසුවේය.. ඒ අතර තුර කාලයේ තමා රැකියාවක් සොයා ස්ථාවරයකට එන බවද ඔහු ඇයට පොරොන්දු වී තිබිණි.. රඛිත කෙරෙහි වූ දැඩි ආදරය නිසා සිතුමිණී මෙතෙක් සංදීපට තම හුස්මක්වත් වැදීඩේ ඉඩක් ලබා දුන්නේ නැත.. නමුදු දැන් සැලැස්ම ගලා යන්නෙ වෙනම ඉසව්වකට බව ඇයට දැනෙමින් තිබිණි..

“පුංචි නෝනෙ.. ආයෙත් හිසේ ඇම්මද..?”

තමා කොතෙක් වෙලා පුටුවට වී දෑස් පියා උන්නාදැයි සිතුමිණීට නිනව්වක් නොවිය.. ඈ අයිරම්මාගේ හඩට තිගැස්සී ගියේ ඒ නිසාවෙනි..

“නෑ අයිරම්මෙ.. කම්මැලි හිතුණා..”

“ඒක මිසක්.. අග්ගලා ටිකත් කාලා නැති කොට මං බය හිතුණා..”

ආසාවෙන් සාදා ගත් සමපෝෂ පිගාන සිතුමිණීට මුලින්ම අමතකව ගියාය.. ඈ ඉන් එකක් ගෙන මුවගට ළං කළද පෙර වූ කෑම රුචිය පළා ගොස් තිබිණි..

“අයිරම්මා.. පොඩ්ඩෙ කෝ..?”

ප්‍රශ්න අමතක කරලීමට අවැසි වූ ඈ අළුත් උද්යෝගයකින් මෙන් විමසුවාය..

“ඔන්න ඔය කුස්සියට වෙලා හිටියෙ.. ඇයි නෝනෙ මොකක් හරි හදිස්සියක්ද..?”

සිතුමිණී සිය අවශ්‍යතා අයිරම්මාට පැවසුවා මිසක කිසිම දිනක පොඩ්ඩේට යමක් නොකියන බව අයිරම්මා දනී.. එහෙයින් ඈ පුදුම වී බැලුවාය..

“ටිකකට එන්න කියන්න..”

සිය ස්වාමි දියණියගේ අණට කීකරු වෙනවා හැරෙන්න හරස් ප්‍රශ්න ඇසීම උචිත නොවේ යැයි හුගුණු අයිරම්මා උස් හඩින් පොඩ්ඩේ ඇමතුවාය.. ඔහු දිව ආවේ බාගෙට කන ලද අඹ ගෙඩියක්ද සුරතේ ගුලිකර ගනිමිනි..

“ඇයි අයිරම්මෙ.. අඹ කෑල්ලක් ඕනෙද..? ඒත් ඉතිං අයිරම්මා අඹ කන වයස දැන් පහුවෙලානෙ..”

සිතුමිණි සැටියේ වාඩි වී ඉන්නවා නුදුටු පොඩ්ඩේ අයිරම්මාට කවටකමක් කර සිනාසුනේය..

“මට ඕන ඇති අඹයක් නෑ.. ඕං මේ පුංචි නෝනා උඹට කතා කරා..”

තමා කල විහිළුව ගැන පොඩ්ඩේ තැති ගත්තේ සිතුමිණීව දැකිමෙනි.. නමුත් ඈ එය තැකීමක් කළේ නැත..

“පොඩ්ඩෙ මේ හරියෙ වීඩියෝ සෙන්ටර් එකක් නැද්ද..?”

“ම්.. ඒ කිව්වෙ අර ටෙලිෆෝන් කෝල් ගන්න කඩයක් නේද../ තියෙනවා තියෙනවා නෝනෙ.. හන්දියෙ එකක් තියෙනවා..”

ඔහු වීඩියෝ සෙන්ටර් හා කොමියුනිකේෂන් යන වදන් දෙක පටළවා ගෙන ඇති බව සිතුමිණීට වැටහුණි.. ඈ එහි වෙනස ඔහුට පහදා දුන්නාය..

“අන්න එහෙම කියන්න එපැයි නෝනෙ.. පිචර් තැටි තියෙන කඩයක්නෙ ඔය කියන්නෙ.. එහෙම එකකුත් තිබුණා මයෙ හිතේ..”

“මට සීඩි දෙක තුනක් ගන්න ඕනෙ.. පොඩ්ඩෙ මගෙත් එක්ක යමුද..?”

“හප්පේ.. මොකෝ බැරි.. එක පාරට දෙපාරක් යමුකො නෝනෙ..”

සිතුමිණී කිසිම දෙයක් බරක් පතලක් නොගන්නා හැටි අයිරම්මාට පුදුම සහගතය.. ඇයව පොඩ්ඩෙ සමග තනිව හන්දියට යැවීමට අයිරම්මාට සිත් දුන්නේ නැත..

“පොඩ්ඩෙ හිටපුවාවෙ නෝනෙ.. අපි දෙන්නා ගිහින් අරන් එමු..”

“අයිරම්මා දන්නවද වීඩියෝ සෙන්ටර් එක තියෙන තැන..?”

සිතුමිණීගේ පැනයට ඈ ගොළු වී ගියෙත් පොඩ්ඩේගේ මුවේ සරදම් සිනාවක් නැගුණේත් එක විටය..

“ඉන්න මං සායක් දාගෙන එන්නං..”

ගෙදරට ඇද උන් කොට කලිසම හැද පාරට බැසීම උචිත නොවන හෙයින් ඈ උඩු මහලට දිව ගියාය..

“පොඩ්ඩෙ.. උඹ මෙතන පාර ගාවට ගිහින් වීල් එකක් අරන් වරෙන්.. පුංචි නෝනට පයින් ගිහින් පුරුදු නෑ..”

“එතකොට දැන් පුංචි නෝනා එක්ක හන්දියට යන්නෙ මමද අයිරම්මද..?”

පුංචි නෝනා වැනි ලාබාල පෙනුමැති සුරූපිනියක සමග ගමනක් යාමට ලැබීම වාසනාවක් සේ ඇදහූ පොඩ්ඩේ එම ගමනට අයිරම්මා හරස් වේ යැයි බියෙන් උන්නේය..

“මං තැන දන්න එකක්යෑ.. උඹම පලයං..”

ඇගේ වදන් පොඩ්ඩේගේ නොමද සතුටට හේතු විය.. අඩියට දෙකට පාරට පිවිසි පොඩ්ඩේ අත වූ අඹ ගෙඩියද විසි කර දමා ත්‍රීරෝද රථ නැවතුමට දිව ගියේය..

“අයිරම්මා අපි පැය භාගයක් යන්න කලින් එනවා..”

සිතුමිණී, අයිරම්මාගේ හිස අතගා කීවේ ඇය මෙහෙකාරියක ලෙස නොව මවක ලෙස සිතාගෙනය.. ඇගේ එවැනි ලෙංගතු හැසිරීම් අයිරම්මාගේ දෙනෙතට කදුළු ගෙන ඒමට සමත් විය..

“පොඩ්ඩෙ.. පුංචි නෝනව පරිස්සමින් බලාගනිං..”

කදුළු සගවාගත් අයිරම්මා පොඩ්ඩේට අවවාද කලේ සිතුමිණිට රහසිනි.. නමුත් අයිරම්මා කී දෙය පොඩ්ඩේට ඇසුනේවත් නැත.. ඔහු ත්‍රීරෝද රියට ගොඩ වූ සිතුමිණී දෙස වශිකෘතව බලා උන්නාය..

“පොඩ්ඩෙ නගින්න..”

සිතුමිණිගේ ගීතවත් කට හඩට පොඩ්ඩේ ඉක්මනින් නැග ගත්තද ඇගේ ඇදුමේ කොනකටවත් නොවැදීමට ඔවු වග බලා ගත්තේය.. ඒ දුටු සිතුමිණීට සිනහා නැගුණේ නිරායාසයෙනි.. තමාගේ වයසටම කිට්ටු වයසක් පෙන්නුම් කළ පොඩ්ඩේ තුළ තමා කෙරෙහි ගෞරවයක් ඇති බව ඈ වටහා ගත්තාය..

“නෝනෙ කාටුන් කතන්දර ගේන්නද යන්නෙ..?”

පොඩ්ඩේ එසේ ඇසුවේ ඈ කාටුන් බැලීමට මනාප බව දන්නා නිසාවෙනි..

“නෑ පොඩ්ඩෙ.. චිත්තර පටි ටිකක් අරන් එන්න යන්නෙ..”

ඇය පොඩ්ඩෙගේ බාසාවෙන්ම පිලිතුරු දුන්නාය.. එය ඇසුණු ත්‍රී රෝද රථ රියදුරු පස පස හැරී සිනාසෙනු සිතුමිණීට පෙනුණි..



                                                                             

No comments:

Post a Comment