Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






මහ සයුරේ හෝ හඩ පරදා සිතුමිණිගේ හැඩුම් හඩ උස්ව නැගෙන්නට විය.. ඈ උන්නේ රඛිතගේ උරයේ හිස හොවා ගනිමිනි..

“මට ගෙදර යන්න බෑ රඛිත.. මාව කොහේ හරි අරගෙන යන්න..”

ඈ අවසන් මොහොතේ ඉල්ලීමක් කළාය.. තමා සිතුමිණීට ආදරය කළද මෙතරම් ඉක්මනට ඇයව තමා ළගට ගැනීමට හැකියාවක් නොමැති බව රඛිත දැන උන්නේය.. ඔහුගේ සිතේ වූයේ වෙනස්ම සැලැස්මකි.. ඔහු එම සැලැස්ම කපා කොටා සාධාරණිකරණය කර සිතුමිණීට පවසා තිබිණි..


“මං කිව්ව විදියට වැඩ කරන්න සිතූ.. අපේ වෙන්වීම තාවකාලිකයි.. මං ඉක්මනට ඔයාව මගේ ළගට ගන්නවා..”

“ඒත්.. ඒත් ඔයාට කවදහරි බාර ගන්න වෙන්නෙ කසාද බැදලා ඩිවෝස් වෙච්චි ගෑණියෙක්..”

අගේ කතාවට රඛිතගේ මුවග සිනාවක් ඇදී මැකී ගියේය..

“නෑ.. කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්.. මතකනේ මං කියපු දේවල්..”

රඛිත කී දෑ ඒ ආකාරයෙන්ම පිළිපැදිය හැකි වේ දැයි සිතුමිණී තුළ වූයේ අවිශ්වාසයකි.. නමුත් තම දෙමාපියන්ට පාඩමක් ඉගැන්වීමට නම් එය එසේ කළ යුතු බව ඈ දැන උන්නාය..

“ඔයාලගෙ ගෙදරින් මට කැමති නැත්තෙ මං තාම නිකමෙක් කියලනෙ.. මං හැදෙන්නං සිතූ.. ඔයා වෙනුවෙන් මං තැනකට එන්නම්..”

සිතුමිණී අත රැදි ඔරලෝසුව මත දෑස් දිවෙව්වාය..

“ඔයා දැන් යන්න පැටියො.. මං වෙඩින් එකට එන්නම්..”

තමා වෙනකෙකුගේ අත ගෙන රඛිත දෙස බලන්නෙ කෙසේදැයි සිතුමිණිට සිතාගත නොහැකි විය.. නමුත් දැන් වෙනත් විකල්පයක් ඉතිරිව ඇත.. එහෙයින් සමුගැනීමට පෙර අවසන් වතාවට ඈ රඛිතගේ නළලත හාදුවක් සටහන් කළාය..

ත්‍රීවිලයක නෑගි සිතුමිණි නැවතත් රූපලාවන්‍යාගාරය වෙත පැමිණෙද්දී ඈ කැටුව යාමට රියදුරු පැමිණ නොතිබිණි.. තමා වෙලාවට පැමිණීම ගැන ඈ සතුටු වූවද රඛිත සිහිවෙද්දී ඇගේ පපුව පිච්චී ගියේය.. තමා රඛිතට ආදරය කරන තමට ඔහු තමාට ආදරේ නැතැයි වරෙක ඇයට සිතේ.. නොවේනම් මෙතරම් දුක් විය යුතු මොහොතක ඔහුගේ ඇසින් එකදු කදුළක් හෝ නොවැටුණේ ඇයි..?

“පොඩි බේබි.. වැඩේ ඉවරද..?”

ඈ පියවි සිහියට පැමිණියේ නිවසේ රියදුරුගේ කටහඩිනි.. ඔහු විමසා සිටි වැඩය වූයේ තමාට අදට නියමිතව තිබූ පේෂල් එක වුවද තමා අවසන් කළේ වෙනත් වැඩක් බව සිතුමිණිට සිහිවිය..

“ඔව් සිරිපාල මාමා.. සේරම ඉවරයි..”

ඇය පිළිතුරු බැන්දේ හැම දේටම සරිලන පරිද්දෙනි.. සිතුමිණි කළ හොර වැඩය නොදැන උන් සිරිපාල සිනාසී රිය පණ ගන්වා ගත්තේය..

“කෝ බං.. අද නං ෆේෂල් කරපු පාටක් පේන්න නෑ.. මට පේන්නෙ උඹ අඩලා වගේ..”

නිවසට පැමිණ රථයෙන් බැස ගත් පසු සිතුමිණිගේ මුහුණ පිරික්සූ අංජුලා කීවාය.. ඈ සිතුමිණීගේ සමීපතම යෙහෙළියකි..

“මං අඩපු ඇති එකක් නෑ.. උඹට පිස්සු..”

සිතුමිණි එසේ කීවද දහතුන් වසරක් පුරාවට ආශ්‍රය කළ තම මිතුරියගේ පුංචි වෙනසක් වුවද හදුනා ගත හැකි ඉවක් අංජුලාට තිබිණි..

“සිතූ.. මට ඇත්ත කියපං.. උඹ රඛිතව මීට් උනාද..?”

සිතුමිණි සිනාසුනා පමණයි.. ඒ දුටු අංජුලා මුහුණට තරවටු බැල්මක් නගා ගත්තාය..

“ඕක තමයි මං මෙච්චර එන්න හදද්දිත් එන්න එපා කිව්වෙ.. සිතූ.. උඹ සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක..”

මිතුරිය යමක් පවසන්නේ දුර දිග කල්පනා කිරීමෙන් බව දන්නා සිතුමිණි ඇය සමග තර්ක කිරීමට ගියේ නැත.. ඉන් අංජුලා වඩාත් දිරි ගත්තාය..

“ඇන්ටිලගෙ හිත රිදෙන වැඩ කරන්න එපා බං.. පව් ඒ මිනිස්සු..”

“ඒ මිනිස්සු විතරද පව්..? ඇයි මං පව් නැද්ද..? ආ අංජු.. මං පව් නැද්ද..?”

සිතුමිණී එය ඇසූ තාලයට අංජුලාට දුක නොසිතුනා නොවේ.. තම මිතුරිය රඛිතට පණ මෙන් ආදරය කළ වග වඩාත් හොදින් දැන උන්නේ ඇයයි..

“උඹ ඔච්චර අකමැත්තෙන් ඉදලත් අන්තිමේදි මේ කසාදෙට කැමති උනේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ..”

ඒක ඇත්තක් විය හැක.. රඛිත හා තමා අතර වූ සැලැස්ම සිතුමිණී, අංජුලාගෙන් වසන් කළාය..

“තව දවස් දෙකකින් උඹ සංදීපගෙ.. ඒක අමතකන කරන්න එපා..”

සංදීප.. ඒ නම ඇසෙත්ම සිතුමිණි තිගැස්සී ගියේය.. මෙතුවක් හරි හැටි මුහුණවත් බලා නොතිබූ ඔහු වැන්නෙක් සමග ජීවත් වීම කෙසේ විය හැකිද..? සිතුමිණි මොහොතකට සංදීපගේ රුව මවා ගැනීමට උත්සාහ කළාය.. නමුත් ඒ උත්සාහය සාර්ථක වූවා නොවේ.. ඇගේ සිතේ ජීවත් වූ එකම මිනිසා රඛිත පමණයි..

“සිතූ.. මට ඇත්ත කියපං.. අවංකවම..”

අංජුලා අසන්නට යන වැදගත් කාරණය කුමක්දැයි සිතුමිණීට වැටහුනේ නැත.. ඈ සිය යෙහෙළිය දෙස බලා උන්නේ කුතුහලය මිශ්‍ර දෑසෙනි..

“වෙඩින් එක අනිද්දා.. උඹ රඛිත එක්ක පැනලා යන්න ප්ලෑන් කළේ නෑ නේද..?”

සිතුමිණිට තම මිතුරිය ගැන අප්‍රමාණ සෙනෙහසක් දැණුනි.. ඈ තම ආත්ම ගරුත්වය මෙන්ම තමන්ගේ දෙමාපියන් ගැනද සිතන බව සිතුමිණී දනී..

“උඹ පැදුරටත් නොකියා මාරු උනොත් අර මිනිස්සු දෙන්නගෙ පපුව පැළෙයි.. එහෙම දුක්ක ඒ හිත්වලට දෙන්න එපා සිතූ..”

“උඹ බොරුවට බය වෙලා.. මං සංදීපව බදිනවා..”

ඈ ඒ කීවේ බොරුවක් නොවේ.. ඒ බව වටහා ගත් අංජුලා හදවතින්ම සිනාසුනාය.. නමුත් සිතුමිණීගේ මුවගට සිනා නැගුනේ නැත.. ඈ දෑස් පියාගෙන තම දෙමාපියන්ගේ දරදඩු තීරණය ගැන නැවතත් මෙනෙහි කළේය..

                                            ****************************

සුන්දර පුංචි මනාලියක වූ සිතුමිණී සුදු ඔසරියකින්ද කඩවසම් පෙනුමැති සංදීප නිළමේ ඇදුමින්ද සැරසී.. විවාහ දිවියට එලඹ උන්හ..

ඒ ගෙවී යමින් පැවතියේ ඔවුන් දෙපලගේ විවාහ මංගල්ලයේ අවසන් හෝරා කිහිපයයි.. දවස පුරාමට සැමගෙන් තරහා පිරිමහන්නට මෙන් ඔරවාගෙන උන් සිතුමිණී පිටත්ව යන හෝරාව ළං වෙද්දි වුවද හිත දැඩි කරගෙන උන්නාය.. ඇගෙන් වන අඩුපාඩුව පිරිසට නොදැනෙණ සේ සංදීප සැමටම සුහද සිනාවකින් සංග්‍රහ කළේය..

“සිතූ ඇයි මේ..? හිතේ දෙයක් තියෙනවා නම් මට කියපං.. දුකයි නං කෑ ගහලා අඩපං.. ඒත් ඔහොම ගල් ගැහිලා වගේ ඉන්න එපා..”

අවසන් මොහොතේත් අංජුලා ඇගෙන් දයාබර ඉල්ලීමක් කළාය.. නමුත් සිතුමිණී ගල් ගැසී බලා උන්නෙ ඈත හිදින රඛිත දෙස බව ඈ දැන උන්නේ නැත..     

“අම්මලට වැදපං සිතූ.. නැකත ළගයි..”

එදින සැමගේ ඔවදන් වලට යන්ත්‍රාණුසාරයෙන් ප්‍රතිචාර දැක්වූවා විනා සිතුමිණි කතාබහ කළේවත් සිනාසුනේවත් නැත.. නමුදු ඈ වෙන්ව යන මොහොතේ රඛිතගෙන් සමුගැනීම නම් අතපසු නොකළාය..

                                           *****************************

සිතුමිණි වාහනයේ පැති වීදුරුවට මුහුණ හොවාගෙන අවට පරිසරයේ වූ සුන්දරත්වය හා සීතල විද ගැනීමට වෙර දැරුවාය.. නමුත් ඇයට සීතල දැනුණා නොවේ.. ඇගේ ශරීරය ඇතුළාන්තයේ මහා ගින්නක් හටගෙන ඇති බව නෙත් කෙවෙනි අගින් ගලා හැළුණු කදුළු බිදු මනාවට කියා පෑවේය..

මීට වසරකට පෙරාතුව ළද බොළද පාසල් ශිෂ්‍යාවක් වූ තමා අද නන්නාදුනන අයෙකුගේ පතිනිය වී මංගල ගමන් යාම විටෙක සිතුමිණිටම පුදුම සහගතය.. පාසල් සමයේ පටන් ඇගේ සිතගත් දගකාරයා වූයේ රඛිතයි.. ඔවුන් දෙපලගේ සෙනෙහස දළු ලා වැඩෙද්දී සිතුමිණි තම දෙමාපිය ඇසට වැලි ගසා රඛිත සමග එහෙ මෙහෙ යාමට පෙළඹුණි.. ඒ බව දැනගත් දෙමාපියන් ඇයව ඔහුගෙන් මුදවා ගැනීමට නොගත් උත්සාහයක් නැත.. රඛිතගේ සැබෑ තතු දැනගත් සිතුමිණීගේ දෙමාපියන් අවසානයේ ගත් දරුණු තීරණය මෙයයි..

අතීතයේ සැරිසරමින් උන් සිතුමිණීගේ මුවගට සරදම් සිනාවක් නැගුණි.. තමාව සංදීපට විවාහ කර දීමෙන් අනතුරුව තම දෙමාපියන් දිනුවා යැයි සිතා සිටී නම් එය නිවැරදි නොවන වග සිතුමිණි සිතෙන් සිතුවාය..

“සිතූ.. දැන් වත් මගෙත් එක්ක කතා කරන්න හිත හදාගන්න බැරිද..?”

සංදීප.. බොහෝ වේලාවක් සිතුමිණී දෙස බලා හිදීමෙන් අනතුරුව සිය හඩ අවදි කළේය.. එය සිතුමිණීට ඇසුණේ ඈත ඉසව්වකින් වගේය.. නමුත් ඈ ඔහුව ගණන් ගත්තේ නැත.. තමා අකමැති බව දැන දැනම ඔහු තමාව විවාහ කරගත්තා නම් ඔහුද තම දෙමාපියන් තරමටම ඊට දඩුවම් විදිය යුතු බව ඇය සිතුවාය..

“ඔයා ආදරේ වෙන කෙනෙක්ට කියලා ඔයා කටින්ම කිව්වනෙ.. ඒ දැනගෙනත් මං ඔයාව බැන්ද එක ගැන ඔයාට පුදුම ඇති නේද..?”

මෙම මංගල්ලය ගැන කතිකා කළ මුල් අවදියේම සිතුමිණී, සංදීපට දුරකථන ඇමතුමක් දී තම අකමැත්ත හෙළි කළාය.. තවද පාසලෙන් සමුගත් සැනින් විවාහයක් කර ගැනීමට හිත හදාගත නොහැකි බවද ඈ කීවාය.. නමුත් ඒ ඇමතුම ගගට කැපූ ඉනි මෙන් වූ බව සිතුමිණී දැන ගත්තේ සංදීප කැමැත්ත ප්‍රකාශ කර එවීමෙනි.. ඈ රඛිත සමග පැන යාමට උත්සාහ කළද එයට රඛිත කැමති වූයේ නැත.. ඔහු නිතරම කීවේ තමා සිතුමිණී විවාහ කරගන්නේ දෙමාපියන්ගේද කැමැත්ත ඇතුව බවය.. නමුත් තම දෙමාපියන් කිසිදා රඛිතට කැමති නොවද බව ඈ දැන උන්නාය..

“මං ඔයාව බදින්න බෑ කිව්වනං ඔයාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා.. ඊට වඩා මං හොදයි කියලා හිතෙන්නෙ නැද්ද සිතූ..? හස්බන්ඩ් විදියට නෙමේ.. අඩු ගානෙ යාළුවෙක් විදියටවත් ආශ්‍රය කරන්න..”

යාළුවෙක් ලෙස ඇසුරු කිරීමට නම් විවාහ වූයේ මන්දැයි අසන්නට සිතුනද සිතුමිණී නොදොඩා උන්නාය.. තමා මේ විවාහයට කැමති වූයේ දෙමාපියන්ට කොන්දේසියක් දැමීමෙන් අනතුරුව බව ඇයට සිහි විය.. එනම් මංගල්ලය හා දෙවෙනි ගමන එක් දිනකට සීමා විය යුතුය යන්නයි.. කෙසේ හෝ සිතුමිණී කැමති වූ නිසා දෙමාපියන්ද ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක කළහ..

විවාහයෙන් පසු කෙලින්ම සංදීපගේ නිවසට යෑමට ඈ සිතා උන්නද ඔවුන් හොර රහසේම මධුසමය සදහා හෝටලයක් වෙන් කර ඇත.. මේ බව අවසන් මොහොත වන තෙක්ම සියළු දෙනා ඇයගෙන් වසන් කළහ.. ඉතිං.. මේ රිය ඇදී යන්නේ එකී මනරම් කණ්ඩලම හෝටලය වෙතටයි..

“මේ හෝටලය හරි ලස්සනයි බබා.. ඔයා ආස වෙයි..”

සංදීපට අකමැති වූවාට.. මධුසමයට අකමැති වූවාට.. හෝටලයට නම් ඇගේ අකමැත්තක් නොවිණි.. ස්වභාවිකත්වයට මුල් තැන දෙමින් ගස් වැල් වටකර තනා තිබූ එම අපූරු හෝටලය දුටු වනම සිතුමිණීගේ සිත ඇදී ගියාය.. ඔවුන් දෙපළ හෝටලයට ඇතුලු වෙද්දී ඔවුන්ව පිළිගැනීමට බලා උන් සංදීපගේ මිතුරන් පිරිසක් පෙර මගට පැමිණියහ..

“ෂා.. උඹගෙ වයිෆ් ඒන්ජල් කෙනෙක් වගේනේ.. ස්විට් ආ..”

සිතුමිණි දුටු විගස එක් කටකාර මිතුරෙක් කෑගැසුවේය.. සංදීප සමග තරහක් වූවද මිතුමිණි එම පිරිස ඉදිරියේ වෙනසක් පෙන්වුයේ නැත.. මිතුරාගෙ කතාවට ඇගේ මුහුණේ ලැජ්ජාබර මදහසක් නැගුණි.. ඇය මෙම විහිළු තහලු සිනහා මුහුණින් ඉවසා සිටීම සංදීපට නම් අදහාගත නොහැක්කක් විය..

“ඔයාලා සංදීපව ඇති තරම් වෙලා මඩවන්න.. මේ කෙල්ලට මහන්සි ඇති.. අපි යමු නංගි චේන්ජ් එකක් දාගන්න..”

මිතුරන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙක් ඇයව කාමරයට රැගෙන ගියහ.. ඔවුන් ඇගේ කොණ්ඩා විලාසිතාවද ප්‍රවේශමට මුදා හැර ඇදුම් ගැලවීමටද සහය වීම නිසා සිතුමිණිට දැනුණේ මද අස්වැසිල්ලකි.. නොවේ නම් ඇයට පිහිට පැතිය යුතු වන්නේ සංදීපගෙනි..

“ඔයා ගොඩක් පුංචි බ්‍රයිඩ් කෙනෙක්නෙ.. වයස කීයද නංගි..?”

ඔවුන් සිතුමිණීගෙන් එසේ ඇසුවේ ඇය තවමත් පාසල් යන වයසක් පෙන්නුම් කල නිසාය..

“විස්සයි.. ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කළේ..”

ඒ ඇසි ඔවුන්ගේ දෑස් විසල් වුනි..

“ඉතිං ඇයි මෙච්චර ඉක්මනට බැන්දෙ..?”

ඔවුනට දීමට උචිත පිළිතුරක් සිතුමිණී  සතු නොවිය.. තමා බැන්දා නොව දෙමාපියන් බැන්දෙව්වා යැයි කියන්නද..? එහෙයින් ඈ සිනාසුනා පමණයි..

“බයවෙන්න එපා.. සංදීප හොද එකා.. කොටින්ම කියනවනං අපේ හස්බන්ඩ්ලට වඩා හොදයි..”

තමා යුග දිවියක් ප්‍රාර්ථනා කළේ රඛිත සමග මිස සංදීප සමග නොවන නිසා ඔහුගේ හොදින් තමාට වැඩක් නොවන වග සිතුමිණී සිතුවාය..

“ඔය මහන්සිය යන්නත් එක්ක වොෂ් එකක් දාගන්න.. එතකොට සනීපයි..”

ඇයටද අවශ්‍ය වී තිබුණේ ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලින් මිදී නිදහස් වීමටය.. එහෙයින් එය ඇසුණු වහාම සිතුමිණී නාන කාමරයට වැදුනාය.. මද උණුසුම් ජලයෙන් තමා කොතෙක් වේලා දිය නෑවාදැයි ඇයට හැගීමක් තිබුණේ නැත.. සිත් සේ නාගත් ඈ එළියට එන විට කාමරය තුළ වූයේ පෙර මෙන් මිතුරියන් දෙපළ නොව සංදීපය.. ඒ දුටු සිතුමිණීට දැණුනේ නොරිස්සුමකි.. ඔහු බොහෝ උවමනාවෙන් තමා දෙස බලා ඉන්නවා දුටු ඈ ඉවත බලාගත්තාය..

“ඔයා එළියට යන්න..”

ඒ සිතුමිණී දිනයේ මුල් වරට ඔහු සමග කතා කළ කතා බහ වුවද ඉන් සංදීප පුදුමයට පත් උනි..

“මං මොකටද එළියට යන්නෙ..? මං ඔයාගෙ හස්බන්ඩ්..

සංදීප ඇයට යමක් මතක් කර දීමට උත්සාහ ගත්තේය.. නමුත් ඔහුගේ පිළිතුරට සිතුමිණී කෝප වූ වග ඔහුට නොදැනුණා නොවේ.. ඉක්මන් ගමනින් ගොස් ට්‍රැවලින් බෑගය ඇවිස්සූ ඈ ඇදුම් කිහිපයක් රැගෙන නැවත නාන කාමරයට වැදෙනවා ඔහු නිහඩව බලා උන්නේය..

ජංගම දුරකථනය නාද වනවා ඇසුණු සංදීප එය රැගෙන සදැල්ලට පා නැගුවේ කාමරය තුළ හිදීමට අසීරුවක් දැණුන හෙයිනි..

පුතා.. ඔයාලා හොදින් නේද..?”

ඇමතුම සංදීපගේ අම්මාගෙනි.. ඔහු සැහැල්ලු බවක් මවා පෑමට උත්සාහ ගත්තේය..

ඔව් අම්මා.. අපි හොදින් ඉන්නවා.. දැන් නම් මාර යටඩ්.. කොළඹ ඉදලම ඩ්‍රයිව් කළානෙ..”

මව සතුටින් සිනාසෙනවා සංදීපට ඇසුණි..

කෝ අපේ දෝණි..?”

ඔය මෙච්චර වෙලා කියව කියව ඉදලා වොෂ් එකක් දාගන්න කියලා ගියේ..”

ඔහු කීවේ මුසාවකි.. 'ඔයා එළියට යන්න' කීවා හැරුණු කොට ඈ තමා සමග වචනයක්වත් කතා කළේ නැත.. නමුත් දෙමාපියන් ඉදිරියේ ඈ වරදකාරියක කිරීමට ඔහුට අවැසි නොවුණි..

මොකෝ කෙලී කියන්නෙ..?”

විශේෂ දේවල් නෙවේ අම්මා.. අපි ඔහේ නිකන් කියව කියව හිටියා..”

මෙවන් සුන්දර දිනයක තම මවට මුසාවක් කීම සංදීපට වේදනාවක් ගෙන දුන්නේය..

පුතා.. අපි හෙට උදේ හෝටලේට එන්න කියලා බැලුවෙ..”

ඈ කීමට තනන්නේ කුමක්දැයි වටහා ගැනීම ඔහුට අසීරු නොවුණි.. අනෙක් අතට තම මව සම්ප්‍රදායික ගැහැණියක් වනවා දකින්නටද ඔහු කැමති වූයේ නැත..

අම්මා.. හෙට එන්න ඕනෙ නෑ.. කෙලින්ම අනිද්දා එන්න.. එතකොට අපි එක්කම යන්න පුළුවන්..”

ඒත් දරුවො.. මේවා චාරිත්‍ර..”

අම්මා.. මට සිතූව විශ්වාසයි.. අනික එයා තාම පොඩි කෙල්ලෙක්..”

මමත් මේ අවිස්වාසෙකින් කිව්වා නෙමෙයි ළමයො.. හරි.. දැන් ඒවයින් කාරි නෑ.. කෝ.. දුවට ෆෝන් එක දෙන්නකො..”

සංදීප මොහොතක් වටපිට බැලුවේය.. සිතුමිණි කාමරයේ ඉන්නා බව ඔහුට දැනුණි.. එහෙයින් ඔහු සිය හඩ අවදි කළේය..

තාම බාත් රූම් එකේ.. නානවද මංදා..”

ඔහු එය කීවේ එතරම් හඩ නොඇසෙන අයුරිනි..  

මේ රෑ නාන්න දෙන්න එපා පුතා.. ගිහින් බලන්න.. මං තියන්නම් එහෙනං..”

මව කතා කර අහවර වීමෙන් සංදීපට මහත් අස්වැසිල්ලක් සේම දැඩි හිස් බවක් දැනෙන්නට විය.. ඔහු සදැල්ලෙන් එපිට අවකාශය වෙත නෙත් යොමා උන්නේ එකී නොසන්සුන්බව මග හරවා ගැනීමටය..

ඇදුම් මාරු කර ගත් සිතුමිණී යළි කාමරයට පැමිණියේ සැහැල්ලු ටී ෂර්ටයක් හා දිගු කලිසමක් ඇදගෙනය.. කවුරුන් හෝ තම ඇදුම් බෑගයට අළුත්ම නිදන ඇදුමක් දමා ඇතත් සිතුමිණී එය අතටවත් ගත්තේ නැත.. සංදීප කාමරයේ පෙනෙන්නට නොවූ නිසා ඔහු මිතුරන් හමුවීමට පිටව යන්න ඇතැයි සිතූ ඇය සදැල්ලට පිවිසියාය.. සංදීප සැදැල්ලේ කොනකට වී ඈත බලා සිටිනවා ඈ දුටුවාය.. මෙතෙක් ඔහු දෙස උවමනාවෙන් බලා නොතිබූ නිසා ඈ හොර බැල්මෙන් ඔහුව නිරීක්ෂණය කරන්නට විය.. ඔහු රඛිතට වඩා උසින් වැඩි බව දැනී තිබුණද මෙතරම් කඩවසම් බවක්.. මෙතරම් පෞරෂයක්.. ඔහු සතුවේයැයි ඇය දැන උන්නේ නැත...

අමුතු ආකාරයේ මෘදු විලවුන් සුවදක් නාසයට දැණුන බැවින් සංදීප වහා හැරී බැලුවේය.. සිව් නෙත් මොහොතකට මුණ ගැසුණි.. සිතුමිණී විශේෂයෙන් බැලූ බව නොඇගවීමට මෙන් දෙනෙත් බිමට බර කර ගනිද්දි සංදීපගේ මුහුණ සිනාවකින් ඔපවත් විය..

                                            ****************************

සිතුමිණීගේ පියා වූ ගුණතිලක මහතා සේපාලිකා ගස යට වූ පුටුවකට බර වී කල්පනා කරමින් උන්නේය.. තම දුවණිය මේ වන විට සංදීප සමග කුමන ආරවුලක් ඇති කරගෙන ඇත්දැයි ඔහුට අනිතයත බියක් දැණුනි.. ඇයව රඛිත වැනි වැදගැම්මකට නැති අයෙකුගෙන් වෙන් කර සංදීප වැනි නිවුණු ගති ඇති තරුණයෙකුට විවාහ කර දුන්නේ ඇයගේම යහපතට වුවද ඈ ඊට උරණ වූ බව ගුණතිලක මහතා දැන උන්නේය.. සිතුමිණී අමනාව මුහුණින් පසු වුවද මංගල කටයුතු සාර්ථක ලෙස නිවාමීම ගැන ඔහු පියෙකු ලෙස සෑහීමකට පත්විය..

අපේ මහත්තයා.. මොකෝ මේ මිදුලට වෙලා..?”

ගුණතිලක මහතාගේ බිරිද මාලනි අඩ අදුරේ උන් සිය දයාබර සැමියා වෙත පා නැගිය..

කෙලීව පිටත් කලාට මොකෝ මගේ හිතට හරි නෑ හාමිනේ..” 

එම සිතුවිල්ල තමාටද දැනෙනා බව මාලනි නොකියා උන්නේ සැමියා කලබල වෙතැයි සිතූ හෙයිනි.. තම හුරතල් දියණිය ගෙදරින් පිට කලා කල් වේලා වැඩිදැයි ඇයට වරෙක සිතේ.. නමුත් තමුන් ඉක්මන් නොවුනා නම් ඈ රඛිත සමග රහසේ පැන යාමට වුව ඉඩ තිබූ නිසා හිත හදා ගන්නවා හැර වෙන කල හැකි යමක් නොවිය..

දූ අපිට නොකිව්වට අර රඛිත කියන එකාටත් මගුලට එන්න කියලනෙ.. ඌව දැකලා මගේ ඇගේ ලේ රත් උනා අම්මපා.. වෙන වෙලාවක වගේ නම් දනී මං කරන දේ..”

දැන් ඕවට තරහා අරගන්න කාරි නෑ අපේ මහත්තයා.. කෙල්ල බෑ කිය කිය හරි අන්තිමට සංදීප ළමයව බැන්දනෙ.. ටික කාලෙකින් දෙන්න දෙමහල්ලන්ගෙ ඔය විරසකේ හරියාවි..”

එසේ වන්නේ නම් කොතරම් හොදදැයි ගුණතිලක මහතාටද සිතුණි.. තමා මාලනීව විවාහ කරගන්නා අවධියේ ඇයටද හොද්දක් බතක් පිළියෙල කිරීමේ හැකියාවවත් තිබුණේ නැත.. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගැහැණුන් වඩා හොදින් නිවසේ කටයුතු කළමණාකරණයට හුරුවන ඔහු බව හොදින් දැන උන්නේය..

නරකද හාමිනේ කෙලීට කෝල් එකක් දීලවත් බැලුවොත්.. ගියාද කියලවත් පණිවිඩයක් නෑතෙ තවම..”

ඇයට සැමියා පිළිබදව මහත් අනුකම්පාවක් දැනුණි.. දියණිය නිවසේ උන් සමයේ ඇයට නීති දමා තද හිතක් පෙන්වා උන්නද තම සැමියාට ඇය නොමැතිව දිනක් හෝ ගත කිරීමට අසීරු බව මාලනී දැන සිටියාය.. නමුත් දියණිය එතරම් සංවේදී අයෙකු නොවේ.. විටෙක පියාගේ ඇකයේ හුරතල් වන ඇය විටක දින දෙක තුන ඔහු සමග විරසක වී හිදී.. ඈ එතරම්ම මුරණුඩය.. අද උදෑසන මංගල ගමනට සහභාගි වීමට යාමේදී දියණිය ඇගේ ජංගම දුරකථනය රැගෙන ගොස් නැති බව මාලනී දුටුවද ඈ එය තම සැමියාගෙන් වසන් කළහ..

ගියයි කියලා සංදීප පුතා කෝල් කලා.. අනික දැන් රෑ වෙලානෙ අපේ මහත්තයා.. අපි උදේට කෝල් කරමු..”

තම දුවනිය අවසන් මොහොතේ මංගල රථයට නැගීමේදී තම මුහුණවත් හරි හැටි නොබැලූ බව මතකයේ තිබුණද ඇයගේ කටහඩ නො අසා තමන්ට ඇහැ නොපියවෙන බව දැන උන් ගුණතිලක මහතා සුසුමක් හෙලුවා පමණි..

ලොකු පුතාලත් හෙට දූ බලන්න හෝටලේට යනවයි කියලා කිව්වෙ..”

නිවස තුළට යාමට හැරුණු මාලනී එසේ කීවේ සැමියාගේ සිත සනසන අටියෙනි.. නමුත් ඔහු එය නෑසුණ සේ ඈත බලා උන්නේය..

                                            ****************************

රාත්‍රී එකොළහට ආසන්න වන තෙක් සිතුමිණී උන්නේ රූපවාහිනියේ විකාශය වූ හින්දි චිත්‍රපටයක් නරඹමිනි.. සංදීපද කාමරයේ කොණක වූ පුටුවකට බර වී දෑස් පියා උන්නේය.. ඔහු නිදිමතේ පසුවනවාද නැතහොත් යමක් කල්පනා කරනවාදැයි සිතුමිණිට සිතා ගත නොහැකි විය.. ඔහුට රිදවීමේ අරමුණින් ඈ රූපවාහිනියේ දුරස්ථ පාලකය ගෙන එහි හඩ තරමක් වැඩි කළාය.. සංදීප දෑස් ඇර බලනා ඇයට පෙණුනද ඈ එය සැලකිල්ලකට ගත්තේ නැත..

බබා.. ඕකෙ සද්දෙ අඩු කරන්න..”

ඔහු කී දෑ නෑසුණ විදස ඈ ඇදේ තවත් හරි බරි ගැසී හිද දුරස්ථ පාලකය උකුල මත තබා ගත්තාය.. ලාබාල පුංචි කෙල්ලෙක් විවාහ කරගෙන තමා කළ ගොන් කමක තරම ගැන සංදීපට පසුතැවිල්ලක් දැනුණි.. ඈ තවම පාසල් වයසේ යුවතියක මෙන් හිතුවක්කාරය, මුරණ්ඩුය..

ඉද උන් පුටුවෙන් නැගිට ගත් සන්දීප ඇගේ උකුල මත වූ දුරස්ථ පාලකය ගෙන රූපවාහිනිය නිවා දැම්මේය..

මේක ගමටම ඇහෙන්න දාලා අපේ ප්‍රශ්න ලෝකෙට අගවන්න එපා සිතූ..”

එහි අරුත වහටා ගැනීමට ඇයට අවැසි වූවා නොවේ.. රූපවාහිනිය නිවා දැමීම ගැන තරහෙන් පසුවූ ඈ සංදීප දෙස බැලුවේ ඔහුව දවා අළු කරවන තරමේ රුදුරු බැල්මකිනි..

දැන් රෑ වෙලා.. නිදියමු..”

ඇගේ බැල්ම පුංචි එකෙකුගේ හුරතලයක් සේ ඉවල ලූ ඔහු කාමරයේ ප්‍රධාන විදුලි බුබුළ නිවා දැම්මේය.. ඇදේ පසෙක තමා තිබූ පුංචි කබඩය මත වූ විදුලි ලාම්පුවේ මද එළියෙන් කාමරයට සන්සුන් බවක් එක්ව තිබුණි..

සෙමෙන් පියවර තබා ඇද ළගට පැමිණි සංදීප මොහොතක් දෙකක් සිතුමිණීගේ වත දෙස බලා උන්නාය.. තම පුංචි මනාලිය කෙතරම් සුන්දරදැයි ඔහුට සිතුණි.. නමුත් මේ මංගල රාත්‍රියට ඇය කෙසේ මුහුණ දේ දැයි ඔහු තුළ වූයේ සැකයකි.. සරමේ ගැටය බුරුල් කර යළි හැදගත් සංදීප සිතුමිණී උන් දෙසට විරුද්ධ දෙසින් ඇදට ගොඩවිය.. ඒ දුටු සිතුමිණී තිගැස්සී ගිගාය.. වහා ඇදෙන් නැගිට ගත් ඈ තම කොට්ටය හා පොරෝනය ගෙන බිමට බැස ගත්තාය..

සංදීප ඇගේ පුදුමාකාර හැසිරීම් දෙස බලා උන්නේ දැඩි කලකිරීමකින් හා වේදනාවකිනි.. ඇද පාමුල පොරෝනය එළාගත් ඈ ඒ මත වැතිරෙනු ඔහුට බලා සිටිනු නොහැකි විය.. එනිසා ඔහු කාමරය තුළ වූ මන්දාලෝකයද නිවා දැම්මේය..

බබා.. බිම සීතලයි.. ඔයා මෙතනට එන්න.. මං බිම නිදියන්නම්..”

සිතුමිණිට, සංදීපගේ කටහඩ ඇසුණේ නිදි වර්ජිතව ගෙවුනු අඩ පැයකට පමණ පසුවය.. ඈ ඇත්තටම උන්නේ සීතලේ ගැහෙමිනි.. මේ සීතල දෙසැම්බරය කණ්ඩලම හෝටලයේ ටයිල් පොළව මුදවා ඇති සේය.. නමුත් හිතුවක්කාර ඈ නැගිට්ටා නොවේ.. ඇයට නින්ද යන තෙත් ඇහැරී උන් සංදීප රෑ මැද හරියේ ඇයව ඔසවා ඇදෙන් තබා බිමට බැස නිදාගත්තාය..       



No comments:

Post a Comment