Monday, April 23, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






සර් වෑන් එක වත්ත ඇතුලෙම දාලා.. මෙයා ඇවිත් තියෙන්නෙ කෙල්ලව ඇරලවන්න නෙමෙයි බින්න බහින්නමද කොහෙද..?

“සමාධිලගෙ ගෙදර මහ එවුන් නැද්ද බං.. මේ වගේ අසික්කිත දේවල් ඇස් පනාපිටම වෙනවනෙ අම්මපා..”

හැමෝම සමාධිලගෙ ගේ දිහා බලාගෙන නානාප්‍රකාර අදහස් දක්වනවා..


“අයියෙ.. මමත් ඇතුළට එන්නද..?”

වීල් එකේ මල්ලිටත් උණද කොහෙද..? නැතුව හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහයියෑ..

“තෝ මොකටද ඇතුළට එන්නෙ.. කජු වේලන්නද..? ඔන්න ඔතනට වෙලා ඉදපං කට පියාගෙන..”

“පරක්කු වෙයිද අයියෙ..?”

දැක්ක වෙලේ ඉදලම චමිල මැර පාට් එක දාපු නිසාද මංදා කොල්ලා බය වෙලා..

“පරක්කුනං ගෙදර පලයං.. අපි පයින් යන්නං..”

“එතකොට හයර් එක..?”

ඌත් අතාරින පාටක් නෑ.. මිනිහා පුස් පාට් එකෙන් අපේ පොකට් එකට විදින්න හදන්නෙ.. අපි මිනිහට තර්ජනේ කරලා සමාධිලගෙ වත්ත ඇතුළට ගියා..

“අනාථ සාගරේ.. මේක ගෙයක්ද බං..?”

චමිලයට ගේ දැක්ක ගමන් කියවුනා.. ඇතත්ටම ගේ නං ගති තමයි.. අපි එදා දැක්කෙ බාගෙටනේ..

“ඩබල සෙටියට වෙලා මුකුළු කර කර ඇති නේද..?”

තාරුකටනං හොරු අතටම අල්ල ගන්නකල් ඉවසුමක් නෑ.. ලිහලා බලන්න පුළුවන් දේ මොකටද ඔබලා බලන්නෙ.. අපි කට්ටිය අනවසරයෙන්ම ඇතුළට ගිහින් සාලෙට එබුණා.. ඒත් බලු බල්ලෙක් පේන්න නෑ..

“ගෙදර කවුද..?”

මං දොරට තට්ටු පාරක් දාන්න හදද්දිම චමිලයා බෙරිහන් දුන්නා.. උගේ සද්දෙට මුලින්ම දුවගෙන ආවෙ හොදට ඇද පැළදගත්තු ගෑනු කෙනෙක්..

“ආන්ටි සමාධි ඉන්නවද..?”

මම එහෙම අහද්දි එයා මගේ උඩ ඉදලා පල්ලෙහාට යනකන් බැලුවා..

“ඔයාලා කවුද..?”

“අපි සමාධිගෙ පංතියෙ යාලුවො.. ආන්ටි එයාට ටිකක් කතා කරනවද..?”

ආන්ටි එක්ක කතා කලා උනාට මගේ ඇස් හතර වටේ කැරකි කැරකි හෙව්වෙ මාරසිංහ සර්ව.. එයා කොහේට අතුරුදන් වෙලාද..? අපිට ඉදගන්න කියන්නෙවත් නැතුව ආන්ටි ආපහු ගේ ඇතුළට ගියා.. ටික වෙලාවක් යනකල් එයාගෙයි සමාධිගෙයි කටහඩවල් ගේ ඇතුළෙන් ඇහුණත් කවුරුවත් එළියට ආවෙනං නෑ..

“අර මිනිහා මොනවද බං මෙච්චර වෙලා කරන්නෙ..?”

“එයා සමහර විට සිංදුවක් කියන්න යන්න ඇති බං..”

ප්ලූටො අහද්දි මතීෂ උත්තර දුන්නෙ සුළැගිල්ල පෙන්නලා.. මේ වගේ වෙලාවකත් මුන් ජෝක් කරනවා.. අපි විනාඩි දහයක් විතර හිටගෙන ඉදලා ආපහු එහෙට මෙහෙට සද්ද බද්ද දාද්දි සමාධි එළියට ආවා..

“හිරූ.. දෙයියනේ ඔයා..?”

කෙල්ල මාව දැක්ක ගමන් කෑ ගැහුවෙ අමුතු සතෙක් දැක්කා වගේ.. එයා කොහොමටත් හිතන්න නැතුව ඇති මං මේ වෙලාවෙ මෙතනට එයි කියලා..

“බයඋනා නේද..? කොහොමත් ඔය වගේ කැත වැඩ කරාම බය වෙන්න වෙනවා..”

සමාධි කිරිමැටි ගිලපු කිඹුලා වගේ හිටියා මිසක් එක වචනයක් කිව්වෙ නෑ..

“අපි කෙලින්ම ආපු කාරණේට බහින්නම්කො.. කෝ සර්..?”

කෙල්ල ආපහු ගැස්සිලා බැලුවා.. මුලින්ම මගේ ළග නතර වෙලා තිබුණ ඒ ඇස් හිමීට අපේ කට්ටිය දිහාට හැරෙනවා මං බලාගෙන..

“සර් එයි.. ඔයාලා එන්න ගෙට..”

දැන් නං ඒ කටහඩ ඤාව්වෙක්ගෙ වගේ.. ලාමක ටිං ටි..

“අපිට වැරදිලා හිරූ.. සර් යාළුවෙලා ඉන්නෙ මේකි එක්ක නෙමෙයි.. මේකිගෙ අම්මත් එකක්ද කොහෙද.. බලපං බොරුද කියලා.. දෙන්නම පේන්න නෑනෙ..”

මහා සිංහ සෙයියාවෙන් ගේමට බැහැපු තාරුකගෙත් හුළං බැහැලා.. හැමෝම බලාගෙන හිටියෙ මේ නාඩගමේ අගමුල හරියට දැනගන්න..

“අපි හිතුවෙ තමුසෙගෙ මූණ කට ලස්සනයි වගේම වැඩත් ලස්සනයි කියලා.. බලාගෙන ගියාම තමුසෙ මහා..”

“ප්ලීස් චමිල.. ඔහොම මට කතා කරන්න එපා..”

චමිලගෙ කතාව ඉවර වෙන්න කලින්ම සමාධි එයාව නැවැත්තුවා.. ඒක එහෙම උන එක හොදයි.. නැත්තං මූ මොන මොන දේවල් කියයිද මංදා..

“තමුසෙගෙ මේ බලු වැඩ නිසා අපේ හිරූගෙ පංතියත් අතරමග නැවතුනා..”

“මේ මං නිසා..?”

සමාධි ඒක ඇහුවෙ ඇස් දෙක ටොඹු සයිස් කරගෙන..

“මොකක්ද මෙතන මේ වෙන්නෙ ආ..?”

එහෙම අහගෙන දොර ළගට ආවෙ මාරසිංහ සර්.. මෙන්න බොලේ මෙයා සරමකට මාරු වෙලා.. ඒක දැකලා අපි ටිකට උතුර දකුණ මාරු උනා.. කිව්වත් වගේම මොනවද මෙතන මේ වෙන්නෙ..

“ඔයාලගෙ මූණ දැක්කම මට පේනවා ඔයාලට ප්‍රශ්න ගොඩක් තියෙන විත්තිය.. හැමෝම ගෙට එන්නකො..”

මාරසිංහ සර්ගෙ පස්සෙ සමාධිත් ඒ පිටිපස්සෙන් අපි පස් දෙනත් ගෙට ගියා.. සර් අපිව එක්කගෙන ගියේ දිගම දිග සෝෆා සෙට් දෙක තුනක් දාලා තිබුණ චාමි ආලින්දෙකට.. ඒකෙ බිත්තිය කොණකට වෙන්න තිබුණ අඩි දෙක් විතර උස රාමු කරපු පින්තූරයක් දැකලා මගේ ඇස් උඩ ගියා.. ඒකෙ හිටියෙ සමාධියි, මාරසිංහ සර්රුයි, අපිත් එක්ක මුලින් කතා කරපු ඇන්ටියි..

“දැන් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හම්බ උනාද..?”

මං ඉදගන්නෙවත් නැතුව ඒ පිංතූරෙ දිහා බලන් ඉන්නවා දැකලා සර් ඇහුවා.. එතකොට මාරසිංහ සර්, සමාධිගෙ තාත්තද..? සමාධිත් මෙච්චරකල් රගපාලා ගියෙන්නෙ මං රගපෑවා වගේ සෙල්ලමක්ද..?

“මේ ඉන්නෙ මගේ එකම දෝණි..”

සර් සෙටිය උඩ වාඩි උනේ එහෙම කියලා සමාධිව තුරුල් කරගෙන.. අපි නං ඉදගත්තා නෙමෙයි ඉන්දුනා..

“ඔයාලා මෙයා එක්ක තරහා වෙන්න ඇත්තෙ මෙයා මුල ඉදන් බොරු කියපු නිසා නේද..? ඒත්.. ඔයගොල්ලො කොහොමද සමාධි ඉන්නෙ මෙහෙ කියලා දැනගත්තෙ..?”

ඔය අහපු එක් ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න තරං නිදහස් මනසක් මට තිබුණෙ නෑ.. මුල ඉදලම වලිගෙ පාගගෙන දගලපු මං, සමාධිවයි, සර්වයි කොයි තරම් සැක කලාද..? ඒ දෙන්නා ගැන මොන තරම් නරක දේවල් හිතුවද..? කොටින්ම අපේ හතර දෙනාවත් මේ ප්‍රශ්නෙට ඇදලා ගත්තෙ මමනෙ.. මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා..

“සොරි සර්.. මේ හැමදේම උනේ මං නිසා.. මට සමාවෙන්න..”

“හිරූෂ පුතා.. ඇයි ඔයා සමාව ගන්නෙ.. වැරැද්ද කලේ අපේ කෙල්ලනෙ..”

සර් හිතාගෙන ඉන්නෙ අපි මෙහෙ ආවෙ සමාධි කියපු බොරුව හොයාගන්න කියලා.. ඒත් අපි ඇත්තටම ආවෙ මේ දෙන්නගෙ හොර අල්ලන්න..

“මොකක්ද හිරූ මං හින්දා ඔයාගෙ පංති නතර උන කතාව..?”

ගොඩක් වෙලාවට පස්සෙ සමාධි කට ඇරියා.. ඒත් ඒ ලස්සන ඇස් දිහා කෙලින් බලන්න තරං ෆිට් එකක් මගේ හිතේ තිබුණෙ නෑ..

“ඇත්තම සිද්ධිය කියපං බං.. එතකොට කාගෙ කාගෙත් හිත සුද්ධයිනෙ..”

ඔන්න චමිල ඒ පාර මහදැනමුත්තා වෙලා..

“ඉස්සරවෙලා ඔයා කියන්නකො ඇයි අපිට මේක හැංගුවෙ කියලා..”

මගේ ප්‍රශ්නෙට සමාධි සක්වල ගල සසල වෙන ටයිප් එකේ හුස්මක් පිට කලා..

“අනේ තාත්ති.. ඔයාම කියන්නකො..”

කෙල්ල මහා හුරතල් තාලෙට මාරසිංහ සර්ගෙ මූණ බැලුවා.. මෙයා පන්තියෙදි සර්ව අදුරන්නෙවත් නැති විදියට හැසිරුන හැටි මතක් වෙද්දි මට තාමත් පුදුමයි වගේ..

“ඔවා යාළුවො අතර ප්‍රශ්න.. ඒ නිසා ඔයාලා  කට්ටියම විසදගන්න.. මං ටික් ඇතුළට ගිහින් එන්නම්..”

සර් සමාධිගෙ ඔළුවත් අතගාලා එතනින් ගියා.. සමාධි අපි දිහා බැලුවෙ ජීවතේ පළවෙනි වතාවට කොල්ලො සෙට් එකක් දැක්කා වගේ ලැජ්ජාවකින්..

“අපේ තාත්තා ෆිල්ම් කරාට මට කවදාවත් ඒ ෆීල්ඩ් එක ගැන ආසාවක් තිබුණෙ නෑ.. මට මුල ඉදලම ඕන උනේ ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න.. අඩුම ගානෙ මං ෆිල්ම් එකක ෂූටිං බලන්නවත් ගිහින් තිබුණෙ නෑ.. ඒත් විබාගෙ ඉවර වෙලා ගෙදර හිටපු කාලෙ මං තාත්තගෙ වැඩ වලට උදව් උනා.. ස්ක්‍රිප්ට් කියෙව්වා.. තාත්තා හම්බවෙන්න එන සමහර නළු නිළියො එක්ක කතා කරලා.. ඉතිං..”

සමාධිගෙ ඉතිං එක කල්පනාවකට පෙරලෙද්දි මං ආපහු සැරයක් එයාගෙ ගේ දිහා බැලුවා.. ඒකත් බොහෝ දුරට අපේ ගේ වගේමයි.. හරිම කලාත්මක ගෙයක්.. එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ.. මාරසිංහ සර් අපේ තාත්තා වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්නෙ..

“අන්තිමට මම දන්නෙම නැතුව මගේ හිත මේ ෆිල්ඩ් එකට යොමු උනා.. ඒ උනාට මට චිත්‍රපට අධ්‍යක්ෂනය ගැන සාමාන්‍ය දැනුමක්වත් තිබුණෙ නෑ.. ඒකයි මං තාත්තගෙ ක්ලාස් එකට ජොයින් වෙලා මේ ගැන ඉගෙන ගන්න හිතුවෙ..”

සමාධි බොහොම කෙටියෙන් එයාගෙ කතාව කියලා ඉවර කලා.. ඒත් මට දැනගන්න ඕන වෙලා තිබුණෙ ඒ ගැන නෙමෙයි.. එයා මොකද මාරසිංහ සර්ගෙ දුව කියන එක අපට හැංගුවෙ..

“එහෙනං මිස් මාරසිංහ අපි මෙච්චර වෙලා ඔයාට බැන්නට සමාව භාජනේකට දානවා.. අපිට ඉතුරු ටිකත් කියන්නකො..”

බොහොම සාවධානව කතාව අහගෙන හිටපු චමිල එහෙම කියද්දි සමාධි ඇස් පුංචි කරලා බැලුවෙ ඉතුරු ටික මොකක්ද කියලා අපෙන් අහන්න වගේ.. 

“ඔයා ඇයි මිස්ටර් මාරසිංහගෙ උප ග්‍රහයෙක් කියලා අපිට හැංගුවෙ..?”

ඒ පාර ප්ලූටො ප්‍රශ්නෙ විග්‍රහ කලා..

“මං සර්ගෙ දුව කියලා ප්‍රසිද්ධ කරලා අනිත් අයගෙ විශේෂ අවධානයක් ගන්න මං කැමති උනේ නෑ.. ඒකයි මමත් සාමාන්‍ය ළමයෙක් වගේ පංතියට සහභාගි උනේ..”

මම දුනුවිලගෙ පුතා කියනෙක හංගන්න කොයි තරම් ගේමක් දෙනවද..? ඒත් එකම ක්ලාස් එකේ ඉදලත් සමාධි, මාරසිංහ සර්ගෙ දුව කියන එක බොහොම සිම්පල් විදියට හංගගෙන හිටියනෙ.. මෙයානං ෆිල්ඩ් එකට ආවොත් බොහොම ඉක්මනට වසරේ නැගී එන නිළිය සම්මානෙ ගන්නවා..

“මචං හිරූ.. අපි හොයන්න ආවෙ වෙන දෙයක්.. ඒත් හොයා ගත්තෙ වෙන දෙයක්.. නිකමට වගේ අර කාරණෙත් දැනගමු නේද..?”

තාරුක ඒ මතක් කලේ සමාධි සර්ට තුරුල් වෙලා හිටපු සිද්ධිය.. ඇත්තටම මෙච්චර කල් සර්ව අදුරන්නෙවත් නෑ වගේ හිටපු කෙල්ල එදා ඒ වගේ දෙයක් කලේ ඇයි කියන එක මට මාර කුතුහලයක් උනා..

“තව මොනවද ඔයාලට දැනගන්න ඕන..?” 

මාරසිංහ සර් එහෙම අහගෙනම අපි ළගට එද්දි එයාගෙ නෝනත් ඒ පිටිපස්සෙන් ආවා.. නිකම්ම නෙමෙයි.. කන්න බොන්න දේවලුත් උස්සගෙන..

“එදා ඒ ලෙවල් ප්‍රතිඵල ආපු දවසෙ අපේ හිරූෂ දැකලා තියෙනවා සමාධි සර්ට තුරුල් වෙලා ඉන්නවා.. ඒ වෙද්දි අපි මේ තාත්තලා දූලා ප්‍රශ්නෙ දැනගෙන හිටියෙ නෑනෙ.. ඒක නිසා හිරූ හිතලා තියෙන්නෙ වෙන දෙයක්.. ඒ ගැන කලකිරිලා තමයි එයා පංති එන එකත් නතර කරලා තියෙන්නෙ..”

මට කියාගන්න බැරිව හිටපු කාරණේ මතීෂ සර්ගෙ මූණටම කියලා දැම්මා.. ඒ කතාව අහලා සමාධිගෙ සුදු මූණ තත්පරේට දෙකට රතු උනා.. හැබැයි මට නං දැනුණෙ පොළවය පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්..

“මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නෙ කියලා.. මේ ෆිල්ඩ් එකේ හැටියට පුතා එහෙම හිතපු එක සාධාරණයි..”

මාරසිංහ සර් කිව්වෙ මගේ ළගින්ම ඉදගන්න ගමන්.. මං හිමීට සමාධි දිහා බැලුවා.. ඒ ඇස් වල කදුළු දිලිසෙනවා.. 

“තාත්තා.. මට කියන්න බැරි උනා.. මං මෙයාලට කියලා තිබුණෙ මට වයස විසි එකයි කියලා.. එදා රිසාල්ට් බැලුවෙ අපේ නංගි කෙනෙක්ගෙ කියලා..”

“මොකක්ද කිව්වෙ.. ඒ කියන්නෙ සමාධි ඔයා..”

මට කතා කරන්න වචන අමතක උනා වගේ.. අපට මෙච්චර කල් කට පුරෝලා මල්ලි, මල්ලි කියලා කතා කලේ අපට වඩා බාල කෙල්ලෙක්ද..?

“ඔව්.. මං ඔයාලට කිව්වෙ බොරුවක්.. මම එහෙම කලේ ඇත්ත වයස කිව්වොත් ඔයාලා මං සර්ගෙ දුව කියලා දැනගනියි කියලා බයට..”

“අයියෝ.. රම්ප ගහේ දෙල් කිව්වලු..”

මහා දිග හුස්මක් පිට කරන ගමන් චමිල ඒක කියපු විදියට සර්ට බකස් ගාලා හිනාවක් ගියා.. ඒ වෙලාවෙ හිනා වෙන්න නෙමෙයි මං හිටියෙ තක්බීර් වෙලා..

“එදා අපේ කේලල ඒ තුනක් අරන් විභාගෙ පාස් කියලා දැනගත්තට පස්සෙ මට හැමදේම අමතක උනා පුතා.. මං මෙයාව තුරුළු කරගත්තෙ සතුට වැඩි කමට..”

ඒ කියන්නෙ සමාධි මේ පාර විභාගෙ කරපු කෙනෙක්.. එයා මෙච්චර හොදට ප්‍රතිඵල අරන් විභාගෙ පාස් උනාම එයාටත් කොන්දේසි අමතක වෙන්න ඇති.. අනික මාරසිංහ සර් කියන්නෙත් තාත්තා කෙනෙක් නෙ..

කතාවෙන් කතාව අපේ කට්ටිය කේක් බිස්කට් වලට වැඩේ දීලා.. මං තේ එකක් විතර්ක අතට අරගෙන පුටුව පිටිපස්සට හේත්තු උනා..

“මට ඒත් හිතාගන්න බැරි උනා මේ තරං උන්නදුවෙන් ඉගෙන ගත්තු ළමයා මොකද එක පාරම පංති එන එක නතර කලේ කියලා..”

සර් එහෙම කියද්දි මං හෙට ඉදලා ආපහු පංති එනවා කියලා සර්ට පොරොන්දු උනා.. දැන් ඉතිං ප්‍රශ්න සේරම ඉවරයිනෙ..

“මට සමාවෙන්න හිරූෂ.. මං නිසා ඔයාලට ලොකු පාඩුවක් උනා නේද..?”

මෙයාටත් පිස්සුද මංදා.. මට මොකක්ද උන පාඩුව..? ටික කාලයක් පංති මිස් වෙච්ච එකද..?  මේ හේමාල් දුනුවිලගෙ පුතාට ඕවා ප්‍රශ්න නෙමෙයි සමාධි නංගි.. ඔයා මට අවුරුද්දක් හරි බාලයි කියලා දැනගත්තු එකම මදිදි..

“වෙන දැනගන්න දේවල් නෑනෙ බං.. අපි එහෙනං යමු..”

පැය ගාණක දීර්ඝ සාකච්ඡාවක් නිමා කරලා මුලින්ම නැගිට්ටෙ චමිල..

“අනේ අද මේ වෙච්ච දේවල් පංතියෙ වෙන කාටවත් දැනගන්න තියන්න එපා.. මේක අපි හයදෙනා අතරෙ විතරක් තියාගනිමු..”

සමාධි අන්තිම මොහොතෙ කලේ මාර ඉල්ලීමක්.. එයා තව දුරටත් සර්ගෙ දුව නොවී නිකම්ම නිකං සමාධි විදියට ඇක්ට් කරන්නයි හදන්නෙ..

“කවදා වෙනකල් මේවා හංගන්නද හලෝ.. කොච්චර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිටනෙ..”

චමිල ඒක කිව්වෙ සමාධිට උනත් හින්ට් එක පාස් කලේ මට.. ඌ ඒ නොකියා කිව්වෙ අද සමාධිට මෙච්ච දේ ළගදිම මටත් වෙනවා කියනෙක වෙන්න ඇති..

“අඩුගානෙ මේ පංතිය ඉවර වෙනකල්වත් අපි මේක නොකියා ඉදිමු.. ඊට පස්සෙනං දැනගත්තත් කමක් නෑ..”

“ඔව්.. ඔව්.. නොකියා ඉමු.. කොහොමත් පංතිය ඉවර උනාම පංතියෙ ළමයින්ට මාර දේවල් දැනගන්න ලැබෙයි.. නේද හිරූ..”

ඒ පාර ප්ලූටොත් මූට පොර දානවා.. වැඩේ වන වෙන්න කලින් මං තේ එක බීලා ඉවර කලා..

“එහෙනං සර් අපි ගිහින් එන්නං..”

අපි ටික සර්ට වැදලා එළියට එද්දි සමාධිත් අපේ පිටිපස්සෙන් දොර ළගට ආවා..

“අපි යන්නං නංගි.. බායි..”

කට්ටියම කතා වෙලා වගේ නංගි කියද්දි කෙල්ල හැරිලා ගෙට දිව්වා..

“බුදු අම්මෝ.. මචං රෑ වෙලා..”

මතීෂගෙ සද්දෙට එළියට බහිද්දි තමයි අපි මේ ගේ අස්සෙ කොච්චර වෙලා ඉදලද කියලා කට්ටියට තේරුණේ..

“මචං අපි ආවෙ ත්‍රීවිල් එකක නේද..? කෝ ඌ.. ගිහින්ද..?”

කට්ටියට එකින් එක කාරණා මතක් වෙන්නෙ දැන් තමයි.. හරියට මෝහනය කරලා ඉදලා පියවි සිහිය ලැබුණා වගේ.. මතීෂයි තාරුයි කරුවලේම ගිහින් බයික් එකට නැග්ගා..

“මේ තියෙන්නෙ බං ත්‍රී වීල් එකත්..”

මං ත්‍රී විල් එක ළගට ගිහින් එබිලා බැලුවා.. ඒකෙ හිටපු පොර කට කපලා නිදි..

“මචං මූව නැගිට්ටොත් මේ පැය ගාණටම හරියන හයර් එක දෙන්න වෙයි.. ඉදපංකො මං වැඩක් කරන්න..”

මම චමිලලවත් ත්‍රීවිල් එක ළගින් අයින් කර ගත්තෙ සද්ද බද්ද ඇහිලා කොල්ලා නැගිටියි කියන බයට..

“උඹ ඔය මොකක්ද කරන්න හදන්නෙ..?”

“කරන දේ බලා ඉදංකො.. කෝ මට කොළයක් දීපං..”

චමිලගෙ පොතකින් ඉරපු කොල කෑල්ලක මං මෙහෙම ලිව්වා..

“මල්ලි -  අපේ හයර් එකට මේ රුපියලා දාහ තියාගන්න.. අපි යනවා..”

“යකෝ උඹ ඒ පාර මේ කුම්භකරණයට රුපියල් දාහක් පුදන්න යන්නෙ..? මොලේ නරක් වෙලාද..?”

වැඩේ ඉවර වෙන්නත් කලින්ම චමිලයා බෙරිහන් දෙනවනෙ.. පැත්තකට වෙලා බලන් ඉදපං මල්ලි.. මං ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරලා ඒ කොලේ ත්‍රී විල් එකේ සීට් එක උඩ තියලා ගල් කැටයක් තිව්වා..

“දැන් ඉතිං මූ ඇහැරෙන්න කලින් යං.. තාරු උඹත් පුළුවන් නං බයික් එක මහ පාර පැත්තට තල්ලු කරන් යං..”

මං එහෙම කිව්වෙ බයික් එක ස්ටාාට් කරන සද්දෙට ත්‍රීවිල් මල්ලි අහැරෙයි කියලා..

“එතකොට සල්ලි..?”

“සල්ලි තියන්න පිස්සුද බං.. අනික කා ගාවද දාහෙ ඒවා තියෙන්නෙ..”

පාරෙ නිදන් ඉන්න බල්ලෙක්ටවත් කෝට්ටකින් අනින්න එපා කියලා කවුදෝ මන්දා පණ්ඩිතයෙක් කියලා තියෙනවලුනෙ.. ඒ නිසා අපිත් ත්‍රීවිල්කාරයගෙ නින්දට බාධා නොකර හිමීට පාර පැත්තට ආවා..

“දැන් උඹලා තුන්දෙනා යන්නෙ මොහොකෙද..?”

තාරු බයික් එක ස්ටාට් කරන ගමන් මතීෂවත් නග්ගගන්න ගමන් ඇහුවා..

“මූ අර කොලේ කූටු ගාන වෙලාවෙ, මං බණ්ඩයියට කෝල් එකක් දුන්නා.. එයා දැන් එයි..”

ප්ලූටොටත් ගොනාට වගේ හොද මොළයක් තියෙනවනෙ අප්පා.. අපි ප්ලෑනක් හිතන්නත් කලින් ඌ වැඩේ කරලත් ඉවරයි..

“ඕ..කේ.. එහෙනං උඹ හෙට පංති එනවනෙ... අපි ගියා.. ගුඩ් නයිට්..”

තාරුලා ඉගිල්ලිලා යන්න ගියාට පස්සෙ අපි තුන්දෙනා පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ආවා..

“අදනං මහ චාටර් සීන් එක බං උනේ.. උඹ මෙච්චර කල් සර්ව සැක කලා.. පංති නොගිහින් ඉදලා.. ගෙවල් හොයන්න ගිහින් අන්තිමට මොකද උනේ..”

චමිල මොකද උනේ කියලා අහද්දි මමයි ප්ලූටොයි දෙන්නම ඌ දිහා බැලුවෙ ඇත්තටම මොකද උනේ කියලා දැනගන්න..

“මදැයි අන්තිමට ලබ්බෙ තොවිලෙ බලන්න කියලා සී අයි ඩී ගේමක් දුන්නා.. අන්තිමට පලලා බලද්දි ලබ්බ පුස්..”

චමිලගෙ අන්තිම වචන දෙක ඇහුණ මිනිස්සු දෙතුන් දෙනෙක් හිනාවෙවී යන්න ගියා..




No comments:

Post a Comment