Tuesday, April 3, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






කොයි තරම් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා පෙන්නගෙන හිටියත්, බින්දුගෙ ප්‍රශ්නෙන් මගේ හිත හෙල්ලිලයි තිබුණේ.. ලස්සනට ගියපු අහිංසක ආදරයක් මැද්දට හොම්බ දාපු ඇටකිච්චා ගැන නම් මගේ හිතේ තිබ්බෙ කියලා ඉවර කරගන්න බැරි තරහක්.. දෙයියනේ.. මූ මගෙන් ගුටි කාල මැරෙන්න නිරෝෂිට ලංවුණානේ..


"සුදු කොල්ලෝ.."

කන ගාවින්ම ඇහුණ සද්දෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. මං මේ ඉන්නෙ කොහෙද කියලත් මට හිතාගන්න බැරිවුණා.. අඩේ.. මං මේ තාම චැලිය උඩ නේද ඉන්නේ.. අපේ ගෙදරට හැරෙන පාර ඉස්සරහ බෝක්කුව ළග..

"මං මේ ඔයා එනකන් මග බලන් හිටියේ.."

"ඇයි.. මො..රින් අක්කේ.. හදිසියක්ද..?"

පිස්සු හොද වෙලා ආයෙත් හැදෙනවා.. මං මේ කැරොල් කරත්තෙ කර මුලටම අහුවුණානේ..

"හද්ස්සියි කියන්නේ.. හොදටම හදිස්සියි පැටියෝ.. ඔයාගෙ සුදු අයියා උදේ වැඩට යනකන් මං ඇස් රිදෙනකල් බලන්  හිටියා.. අනේ එයා ඇස් දෙකම වහලා මෙතනින් ගිහිල්ලනේ.. හරිම හොර ගෙඩියෙක් තමයි.."

දෙයියන්ට ඔප්පු වෙච්චාවී.. මේ වෙස්සන්තර ජාතකේ විකාශනය වෙච්ච දාට, මට රට අතෑරලා යන්න වෙන්නේ.. බලන් ගියාම මේක මල ඇනයක් උනානේ..

"ඔයා කලබල වෙන්නෙපා මොරින් අක්කේ.. ඔය ඉන්ටර්සිටි වැඩ අපේ අයියට අල්ලන්නෙ නෑ.. මං කොහොමටත් සීග්‍රගාමී හින්ද මට නම් ඕවා අවුලක් නෑ.. හැබැයි ඔයා ඔය යන විදියට ගියොත් වැඩේ අල වෙනවා.. මේ වගේ දේවල් හිමින් සීරුවෙ කරන්න ඕන වැඩනේ අප්පා.. ඔයා ඔහොම කුලප්පු වෙච්චි නාලාගිරි ඇතා වගේ කොඩේ වන වනා ඉන්නවා දැක්කොත් අපේ අයියා කීයටවත් ඔයාට කැමති වෙන්නෙ නෑ.. නිකං හිතන්නකෝ මොරින් අක්කේ.. කොයි කොල්ලද හදිසිකාරයොන්ට කැමති.. එපා වෙනවනේ.."

"අයියෝ තව ඩිංගෙන් එහෙනම් හරි වැඩේ තමයි වෙන්නේ.. අනේ සුදු බන්ටි.. ඔයා හරිම හොදයි.. ඔයා ඔහොම නොකිව්ව නම් මට වෙන දේ මංවත් දන්නෙ නෑ.."

ඔයාට වෙන දේ නම් මං දන්නවා මොරින් අක්කේ.. ඔාට මේ ගමෙත් ඉන්න වෙන්නෑ.. අපේ අයියා ඔයාව බිස්ටේක් කරයි.. පව් අප්පා.. මොරින් අක්කගෙ අවංක අකලංක ආදරේ.. තව ඉස්සරහට පරණ පත්තරයක් වගේ වේලි වේලි තියෙයි..

"මං යන්නද මොරින් අක්කේ..?"

"ගියාට කමක් නෑ.. අනේ ඔයාට මාව හවසට ඩිංගක් හම්බවෙන්න බැරිද..?"

හුටා.. මේ කැරොල් කරත්තෙ හවසට හම්බවෙන්න.. මට නම් පිස්සු නෑ ලොකු පුතේ.. මගේ ඔලුව කොහේවත් හයියෙන් වැදුනෙත් නෑ..

"ඔයාව හම්බවෙන්න..?"

"ඔව් අනේ.. ඔයාගෙ අයියා ගැන මගේ හිතේ තියෙන අකලංක ආදරේ ගැන මං ඔයාට කියන්න ඕන.."

"ඔයාට පිස්සුද මොරින් අක්කේ.. ඔය කෙහෙම්මල් ආදරේ ගැන මට කියලා වැඩක් තියෙනවද..? ඒක කියන්න ඕන අපේ අයියටනේ.."

"ඉතිං අනේ... මං කොහොමද මගේ මෙව්වා එක ගැන එයාට කියන්නේ..?"

"මෙව්වා එක..?"

"ඔව් පැටියෝ.. මගේ ආදරේ ගැන.. අනේ ඔයාට බැරිද මට සපෝර්ට් කරන්න..?"

"සපෝර්ට්..?" 

දැන් නම් සපෝර්ට් නෙමේ කරන්න වෙන්නේ.. මේකිත් එක්කම මටත් බෙල්ලෙ වැලක් දාගන්න..

"අනේ ඔව්.. ඔයාගෙ අයියා අර ලෙටර් එක එවපු වෙලාවේ ඉදලා මට පිස්සු හැදිලයි තියෙන්නේ.."

"මොන ලෙටර් එකද..?"

"ඇයි පැටියෝ.. ඔයා මට අද උදේ දුන්නේ..? අර පියාඹන පීරිසියක් වගේ කැරකි කැරකි බැල්කනියෙ ඉදලා මං ළගට පුදුම ආදරේකින් පාත් උනේ.."

"කතන්දරේ මේකයි මොරින් අක්කේ.. ඔය ලියමු තිබුණෙ අයියගෙ මේසේ උඩ.. මං හිතුවා එයා, ඔයාට දෙන්න වෙන්නැති මේක ලියලා තියෙන්නෙ කියලා.."

"එතකොට අයියා කිව්වෙ නැද්ද මේ ලියුම මට දෙන්න කියලා..?"

"ඔයාට පිස්සුද මොරින් අක්කේ.. එයා එහෙම දෙකේ පංතියෙ වැඩ කරන කෙනෙක් නෙමෙයි.. හොඩියෙ පංතියෙ වැඩ කොලොත් මිසක.."

"මොනව උනත් එයා මටමයි මේක ලියලා තියෙන්නේ.. මගේ පපුවට ඒක දැනෙනවා.."

ගෑනි පපුවට අත් දෙකම තියා ගත්තා.. පුළුවන් නම් කකුල් දෙකත් තියා ගනියි.. බැහැයි ඉතිං මොරින් අක්කගෙ පරම පවිත්‍ර ආදරේ අපේ අයියට පුද කරන්න ආපු දාට තමයි සිංහල භාෂාවෙ තියෙන සියලුම සංස්කෘතික වචන ටික අපේ ගෙදර අයයි, අහල පහළ අයයි හැමෝම දැනගන්නේ..

                                              ***************************

එතැන ඉදලා දවසක් දෙකක් යනකන් පරිසරේ සාමකාමී වෙලා තිබුණා.. මාත් ගෙදරින් එළියට බැස්සෙ නෑ.. ඇත්තටම ඒකට හේතු දෙකක් තිබුණා.. එකක් මොරින් අක්කගෙ සදාදරණීය ප්‍රේමය.. අනිත්තෙක තමයි හතර අතින්ම කලුකරගෙන චිරි චිරි ගගා වහින වැස්ස, හැමදේම එපා කරලා තිබුණා.. නුවරට වහිනවා කියන්නෙ ඉතිං සොරිම තමා.. ඒ වහින වෙලාවට එළියට බහිනවා කියන්නෙ මේ කුනු සංසාරේ මොන තරම් දුකයිද කියලා කවුරුවත් කියලා දෙන්නෙ නැතුවම තේරෙන එකයි..

"බන්.. ටී.."

වැස්ස හින්දා මං හිටියෙ කාමරේට වෙලා.. මගේ අලිපත බූල් බෙඩ් ෂිට් එකෙන් මුළු ඇගම පොරවගෙන.. දර මිටියක් දෙපැත්තෙන් බැදලා, කකුලෙන් තද කරලා පාගලා මැද්දෙනුත් බදිනවා වගේ.. කිසිම හිරිකිතයක් නැතුව කවුදෝ මාව හොල්ලනවා දැනිලා මං ඇස් ඇරියා.. අම්මපා.. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල කියපු එකාගෙ කටේ ගෙඩිම දාන්න ඕන..

"බන්ටි ඩිංගක් නැගිටින්නකෝ.."

"මොකද අක්කේ..?"

"අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා එමුද..?"

"එළියට යන්න.. ඔයාගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදුණද..? ආ..! අවමගුලකට වගේ මෙච්චර වහිද්දි හීනෙකින්වත් එළියට යන්න පුළුවන්ද..?"

"අනේ බන්ටි.."

මේක නම් මොකක් හරි සදාකාලික අවුලක් වගේ.. එහෙම නත්නම් මෙයා කවදාවත් මං ඉස්සරහ මෙහෙම බැගෑපත් වෙන්නෑ.. මං දන්නවනේ මුන්දැගෙ රාජ ඌස්නෙ ගැන.. අපේ ගෙදර ලේසියෙන් ගෑස් ඉවරවෙන්නෙ නැත්තේ මෙයාගෙ ගෑස් තියෙන හින්දා කියලා මං ඒකමතිකව සහා සම්මත කරලා තියෙන්නෙ නිකං නෙමෙයිනේ..

"අනේ පනේ නෙමෙයි මොනවා කිව්වත් මේ වෙලාවෙ නම් එළියට බහින්න බෑ අක්කේ.. ඔයා දන්නෑ තව ඩිංගකින් හොදටම ගොරවලා අකුණු ගහනවා කියලත් කිව්වා.."

අක්කා  හිටපු තත්වෙ හින්දා මං කියපු එක තේරුණේ නෑ.. කවදද අප්පා ගොරවලා ඉවරවෙලා අකුණු ගැහුවේ.. අකුණු ගහලා ඉවරවෙලා ගොරවනවා මිසක..

"කවුද කිව්වේ..?"   

"කවුද අහන්නේ.. කාළගුණේ ඇරෙන්න වෙන මොකාද..? ඌ දැන් ඩිංගකට කලින් කිව්වෙ කාටවත් කියන්න එපා කියලා.."

"අනේ බන්ටි.."

"හරි.. හරි.. ඔයාගෙ සෝක මූණත් එක්ක මට කාලගුණේගේ වචනෙ අහන්න බෑනේ.. කමක් නෑ.. ඕන අවමගුලක යං.. මං රෙඩී.."

මං එක පයින් එක සිතින් අක්කට කැමැත්ත දුන්නා.. අක්කා මං දිහා බැලුවෙ ජීවිතේට දැකලා නැති සතෙක් දිහා බලනවා වගේ.. 

"ඔ.. ඔයා ඔය ඇත්තමද කියන්නේ..?"

"නැත්තං මේ ගොරවලා වහින වෙලාවේ, ඔයා හිතනවද මං විහිලුවට වත් බොරුවක් කියයි කියලා.."

"මගේ හොද බන්ටි.. ඔයා එහෙනම් ඉක්මනට ලෑස්ති වෙන්න.. මං වීල් එකකට කතා කරන්නම්.."

එළියෙ කුණු වෙන්න වහිනවා.. මෙහෙම එළියට ගියොත් නම් අපි දෙන්නා විනාඩියෙන් තෙත බරියම් වෙලා කොහේට හරි පතබරියන් වෙයි.. ඒත් ඉතිං මේවා කාට කියන්නද අප්පා.. මට මේ අවස්ථාවෙ කටයුතු කරන්න සිද්ද වෙලා තියෙන්නෙ කුලප්පු වෙච්චි අස්පයෙක් එක්ක නේ..

"මේ කොහේද යන්නේ..?"

වීල් එකට නැගලා ටිකක් දුර යද්දි මං ඇහුවා.. අක්කගෙ අතේ ටිකක් විතර ලොකු පාර්සලයක් තිබුණා.. හැබෑටම ඒකෙ මොනවා තියෙන්න පුළුවන්ද..? සමහර විට මාළුයි, පරාටයි, චිකන් කරි එකකුයි වගේ දෙයක්ද.. නැත්නම් ඉදිආප්ප විස්සකුයි, අල හොද්දක් වගේ දෙයක්.. ඒවා මුකුත්ම නෙමෙයි නම් බිත්තර රොටි ටිකක්.. එහෙමත් නැත්නම් අඩුම ගානෙ බිත්තර පාන් දෙක තුනක්..

"සුදු හුම්පල පාරට දාන්න.."

මාව සත පහකට ගණන් ගන්නැතුව අක්කා වීල් එක එළවන මනුස්සයට කිව්වා.. ඔන්න ඉතිං දැන් නම් බන්ටිට තදවෙනවා.. ඇයි යකඩෝ.. මනුස්සකමට ගමනක් යන්න ආවහම එක්කො යන තැන කියපංකෝ.. අඩේ... සමහරවිට මෙයා මගෙත්තෙක්ක තිබ්බ පරණ තරහක් පිරිමහගන්න ආවද දන්නෙත් නෑ.. මාව කොහේ හරි මුල්ලකට දාගෙන ත්‍රීවිල් කාරයත් එක්ක මට නෙලන්නද දන්නෑ හදන්නේ..

"අක්කෙ මේ.. යන තැන නොකිව්වොත් වැස්ස කියලා බලන්නැතුව මං වීල් එකෙන් බහිනවා.."

"කෑගහන්නැතුව ඉන්න බන්ටි.. මේ එළවන මනුස්සයටත් ඇහෙනවා.. අපි මේ යන්නෙ මුතූලගෙ ගෙදර.."

"මුතූලගේ..?"

"ඔව්.. 'පිණිමුතු'.."
  
"මොකක්.. පිණි මුතු..?"

"ඔව්.. එයාගෙ නම පිණිමුතු තමයි.. ඇයි ඔයාට ප්‍රශ්නයක්ද..?"

"මට නම් ඇති ප්‍රශ්නයක් නෑ.. මේ ලෝකෙ නම් නැතුවට තියපු නමක්ද කොහෙද..?"

"ඔයා නම් හරි නරකයි බන්ටි.. බලන්න.. ඒ නම කොයි තරම් ලස්සනද නමක්ද..?"

"හරි.. හරි.. මට දැන් නමෙන් ඇති වැඩක් නෑ.. නම කන්නද..?"

"ඇයි බන්ටි එහෙම කියන්නේ.. කෙනෙකුට නම කොයි තරම් වැදගත්ද..? කෙනෙක් නම කියලා කතාකරන කොට කොයි තරම් හොද හැගීමක් හිතට එනවද..?"

"අම්මපල්ලා අක්කේ.. මට නම් ඔහොම එකක් ජීවිතේට දැනිලම නෑ.. මට නම් නමෙන් ඇති වැඩකුත් නෑ.. ඇයි ඉතිං උප්පැන්නෙ තියෙන නමෙන් මට එකෙක්වත් කතා කරන්නෙ නෑනේ.. හැම එකාම තරගෙට වගේ කියන්නෙ බන්ටි කියලනේ.."

"ඔව් ඉතිං.. බැලුවාම ඔයා කියනෙකත් හරි.."

අක්කා පර්සලේ අතට තවත් තද කරගත්තා.. අයියෝ.. අපරාදෙ ඉදිආප්ප විස්ස.. ඒ මදිවට චිකන් කරිය.. වීල් එක නුවර මහ ඉස්පිරිතාලෙ පහු කරලා ටිකක් දුර ගිහින් එතන තිබ්බ උඩ පාරට දැම්මා.. ඊගාවට වංගුව එක්කම වගේ තිබ්බ හුරු බුහුටි ගෙයක් ළග වීල් එක නතර වුණා..

"යං බන්ටි.."

තියෙන හදිස්සිය කොයි තරම්ද කියනවා නම් යං බන්ටි කියලා කිව්ව අක්කා කුඩෙත් ඉහලගෙන උසේන් බෝල්ට් වගේ දුවනවා.. අනේ අහිංසක බන්ටි කුණුවෙන්න තෙමෙනවා..

"පිණිමුතු.."

අක්කා ගෙට ලංවුණේම සද්ද පුජාව දාගෙන.. අම්මප.. ඒ සද්දෙට නම් මැරිච්ච ඈයොත් නැගිටලා එනවා.. හෑයි සමුදිනී කියාගෙන.. 

"ආ.. නේ.. මේ සමුදි දුවනේ.."

අක්කගෙ ඝාණ්ඨාරෙ සද්දෙට ගේ ඇතුලෙන් ඇන්ටි කෙනෙක් එළියට ආවා.. අනේ දෙයිහාමුදුරුවනේ.. අච්චර අලි පත බෙල් තඩියක් තියෙද්දි අක්කා, හංදියෙ ඩෝප් වයිමා වගේ කෑගහපු කෑගැහිල්ලක හැටි.. විලි ලැජ්ජාවෙ පණ යනවා..

"කෝ ඇන්ටි පිණිමුතු..?"

"ඇයි දුවව හම්බවෙන්න යනවා කියලනේ ගියේ.. කෝ පිණිමුතු ඔයත් එක්ක ආවෙ නැද්ද..?"

මෙන්න මේවට තමයි කියන්නෙ පොල් පරාල පයින් යනවා කියලා.. අම්මප මේ ලෝකෙ ඉන්නෙ පිස්සො විතරද..? ඇයි වදේ.. ගෙදර අයිති කෙල්ල කෝ කියල අහපුවාම, කෙල්ලගෙ අම්මා අහනවා අපිත්තෙක්ක ආවද කියලා.. කෝකටත් කියලා මං ඩිංගක් පස්සට උනා.. මොකද කොයි තරම් වලිකාපර් කෙනෙක් වුණත් මං පිස්සොන්ට බයයි..

"අනේ.. පිණිමුතු අපේ ගෙදර ගියාද..?"

"ඔව් දුව.. හෙට පාටි එකට අදින්න තියෙන සාරි බ්ලවුස් එක ඔයා අරගෙන ගියාලු.. බ්ලවුස් එක නැති වුණොත් හෙට පාටි එකට යන්න වෙන්නෑ කියලයි ඔයා හොයාගෙන ගියේ.. ඒත් මං කිව්වා, මේ වැස්සෙ යන්නෙපා කියලා.."

"සාරි බලවුස් එක මං ගෙනාවා ආන්ටි.. හදිසියෙන්ම මං ආවෙත් ඒකයි.. එහෙනම් පිණිමුතු ආවහම මේක දෙන්න.. මං යනවා.."

"අනේ.. ඔය යන්නද හදන්නේ.. ඉන්න දුව.. තව ටිකකින් පිණිමුතු එයි.."

"කමක් නෑ ආන්ටි.. ආපු වීල් එකත් එළියෙනේ.. පිණිමුතුට කියන්න මං ආවා කියලා.."

අසත්පුරුෂකමක හැටි කියන්නෙ, ආවෙ මං එක්ක නේද කියලවත් වගේ වගක් නැතුව අක්කා කුඩෙත් අරන් වීල් එක ළගට ගියා..

"ෂිහ්.. අම්මප මීට පස්සෙ ඔයත් එක්ක මං විහිලුවටවත් ගමනක් එන්නෙ නෑ.."

"ඇයි බන්ටි..?"

"හැයි බන්ටි තමයි.. පස්ස කඩාපු කඩියා වගේ උඩ පැනගෙන දුවගෙන ඇවිල්ලා, මට හෙම්බා හදන්නද හදන්නේ.. මාව හෝදගෙන යන්න තෙමෙනවා කියලා ඔයාට පේනනෙ නැද්ද..?"

"අනේ වෙරි සොරි බන්ටි.. හිතේ කලබලේට මගේ ඔලුවත්තෙක්ක අවුල් වුණා.. දැන් පිණිමුතු අප්සට් වෙලා ඇති.. එයා දන්නෑනේ මං බ්ලවුස් එක ගෙනාවා කියලා.."

"ඕක රත්තරන්ද..?"

සුදු හුම්පල පාරෙන් දකුණට දාද්දි මං අක්කගෙන් ඇහුවා..

"මොකක්ද..?"

"බ්ලවුස් එක.."

අක්කට බකස් ගාලා හිනා ගියා.. ඇයි හත්වලාමේ, ඒ වගේ කලබලේකින්නේ මෙයා දුවගෙන ආවේ..

"ඔයාට නම් පිස්සු බන්ටි.."

වැව රවුම හරියට එනකොට වැස්ස තවත් තදවෙන්න ගත්තා.. ත්‍රීවිල් එකේ දෙපැත්තෙන් රේන් කෝට් දෙක්ක වගේ පටි කෑලි වගයක් එල්ලලා.. මෙලෝ දෙයක් පේන්නෑ.. පාර උනත් පේන්නෙ අර පුංචි වයිපර් කෑල්ලෙන් ඉස්සරහ වීදුරුව පිහදැමිලා යනකොට විතරයි..

"ඔයා කියපු එක හරි අක්කේ.. මේ තරම් කුනු වෙන්න වහිද්දි ගෙදර වෙලා නිදාගන්නැතුව, මං ඔයත්තෙක්ක මේ වගේ අපත ගමනක් ආවෙ මට පිස්සු හින්දා තමයි.. ඒත්.."

ඉස්සරහ වීදුරුවට වැටෙන තද වැස්ස පිහිදැමෙන වයිපරේ අතරින් මං අහම්බෙන් වගේ දැකපු දෙයින් මගේ හිත හෙල්ලිලා ගියා.. දෙයියනේ.. 

"වීල් එක ඩිංගක් නතර කරන්න.."

ඇස් දෙක දැකපු දේ විශ්වාස නැති හින්දා මට ආයෙත් ඒ දේ දකින්න ඕන වුණා.. කියන පරක්කුවට වීල් එන නතර වෙද්දි මං වීල් එකෙන් එළියට බැස්සා.. තද වැස්ස මහා වැස්සක් වෙලා මාව තෙමෙද්දි හිත අසරණ කරපු ඒ දර්ශනේ දිහා මං ඔහේ බලන් හිටියා.. එහෙනම් සරිගමයයි, අමිලයයි, අමිලගෙ අඹයයි කියපු කතා ඔක්කොම ඇත්ත.. වැව රවුම ළගින්ම හෙමි හෙමීට අඩිය තිය තියා ඇවිදන් ගියේ නිරෝෂියි, තව සුදු කොල්ලෙකුයි.. මහ වැස්සෙ, එක කුඩයක් යටට වෙලා තුරුල්වෙලා යන ජෝඩුව දැක්කම මාව ගල් ගැහුණා.. දෙයියනේ.. බින්දු මේ දේ දැක්කනම්..? ඌ කොහොමද මේ වගේ ඇත්තක් දරා ගන්නේ.. ඌ මොන තරම් අවංකවද නිරෝෂිට ආදරේ කරේ..?

එහෙනම් ලොකු පුතා කියපු ඇටකිච්චා මූ තමයි.. ගල් ගැහිච්ච හිත අද්දරින් මගේ හිතට ආවෙ උහුලගන්න බැරි කේන්තියක්.. මේ වෙලාවෙම නිරෝෂිට කම්මුල් පාරවල් දෙක තුනක් ගහලා, ඇටකිච්චටත් හොදටම නෙලලා වළාකුලු බැම්මෙන් පල්ලෙහාට දැම්මනම් ඉවරයි.. ආයෙ කතා දෙකක් නෑ.. පයිප්ප බටේකින් වතුර වැක්කෙරෙනවා වගේ ඇග දිගේ වතුර ගලද්දි මං නිරෝෂි දිහාට ඇවිදන් ගියා.. ගෑනි මාව දැක්කහම මහසෝන දැක්කටත් වැඩිය බයවෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා..

"බන්ටි.. මොකද ඔයාට වෙලා තියෙන්නේ..? අපි ගෙදර යන්නෙ නැද්ද..?"

වීල් එකෙන් ඔලුව එළියට දාලා කෑගහන අක්කගෙ සද්දෙට තමයි මට මතක් වුණේ මං ආවෙ එයත් එක්ක කියනෙක.. අක්කා මෙතන බලන් ඉද්දි විහිලුවට වත් නිරෝෂියි, ඇටකිච්චයි ළගට යන්න බෑ..ඒත් එක සීරුවට වැටෙන  වැහි පොද අතරින් බින්දුගෙ ඇස් දෙක මතක් වෙද්දි ආපහු හැරෙන්න මට හිත දුන්නෙ නෑ.. මගේ අහිංසක යාළුවගෙ ආදරේ, අත් දෙකින් අල්ලගෙන, පුංචි එකෙක් වගේ හිනාවෙවී ඈතින් යන ඇටකිච්චව මං දැක්කෙ සදාකාලික වෛරක්කාරයෙක් වගේ..

"බන්ටි.."

ඒ පාර අක්කගෙ සද්දෙ කණ ළගින්ම ඇහුණා.. ආයෙ හැරිලා බලන්න දෙයක් නෑ.. එයා වීල් එකෙන් බැහැලා කියලා මට තේරුණා..

"මොකද බන්ටි..?"

"මුකුත් නෑ.. අපි යමු.."

"මුකුත් නැතිවෙන්න බෑ.. අර යන කපල් එක ඔයා අදුනනවද..? ඇයි එයාලා දිහා ඔය තරම් තරහෙන් බලන් ඉන්නේ..? ඒ අය ඔයා දන්න කියන කවුරු හරිද..?"

"නිකං දැකලා පුරුදුයි වගේ හින්දා මාත් බලන් හිටියේ.. ඒත් පස්සෙ තමයි තේරුණේ කවදාවත් දැකපු නැති දෙන්නෙක් කියලා.. අපි යමු අක්කේ.."

කතාවෙ චැප්ටර් එක එතනින්ම ක්ලෝස් කරලා දාලා මං අක්කත් එක්ක වීල් එකට නැංගා.. 



                                                  

No comments:

Post a Comment