Wednesday, April 4, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






ටොරින්ටන් පාක් එකට මෙහා පාරෙ අයිනෙ මං යනකොටත් කොල්ලො ටික සෙට් වෙලා.. අඩේ අප්පා.. මං අදත් පරක්කුයිද..?

"බින්දුවා කෝල් කරාද..?"

මගේ ප්‍රශ්නෙට එකෙක්වත් උත්තර දුන්නෙ නෑ.. අම්මප මුංගෙ කතා පෙට්ටි වෙලට මොනව වෙලාද..? මට තදවුණා..


"යකෝ.. බින්දු කෝල් කරාද..?"

"නෑ බන්ටි.. අපි කාටවත් කතා කරේ නෑ.."

"එහෙනම් තවත් බලන් ඉදලා බෑ.. අපිට දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.."

"මොකක්ද ඒ..?"

"අපිට නාවලපිටි යන්න වෙනවා.."

"නාවලපිටි..?"

"ඔව්.. නැතුව මේක විසදන්න බෑ.."

"අපි තවත් ටිකක් ඉවසුවොත් හොද නැද්ද බන්ටි..?"

"මට පේන විදියට නම් සුරේන්.. නහයටත් උඩින් දැන් වතුර ගලලයි තියෙන්නේ.. දැන් කෝකත් එකයි.. ඉතා ඉක්මනට අපිට ගේමට බහින්න වෙනවා.. මොකද කියන්නේ..?"

මගේ ප්‍රශ්නෙට එකෙක්වත් උත්තර දුන්නෑ.. හැම එකාම හිටියෙ ගල් ගිලලා වගේ.. එහෙම වෙන එකත් ඉතිං අහන්න දෙයක්ද අප්පා.. බින්දුයි, අපියි හිටපු විදියට මේ වගේ ඇඩ්‍රස් නැති ගමන් ගියාම කාගෙ කාගෙත් හිත් වලට අමාරුයි..

"බන්ටි අයියා අර.."

හැම කතාවක්ම නතර වෙලා තියෙද්දි රවීන්ගෙ කටහඩ මට ඇහුණා.. උගේ ඇගිල්ල දික් වෙලා තිබ්බෙ අපිට ඩිංගක් එහායින් ඇවිදන් ගියපු කෙල්ල දිහාට..

"කවුද රවීන්..?"

"ඕකි තරමයි නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි ලව් එකට සප් එක දෙන්නේ.."

හිත ඇතුලෙ මෙච්චර වෙලා එහෙට මෙහෙට පිනුම් ගගහ තිබ්බ හැගීම් ඔක්කොම පැත්තකට දාලා මං රවීන්ගෙ ඇස් දෙකට එබුණා..

"උඹට හොදටම ෂුවර්ද..?"

මං ඇහුවෙ රවීන්ගෙන් වුණාට ඔලුව වැනුවෙ චාමික.. තවත් බල බලා ඉදලා අතපත ගාන්න දෙයක් මට තිබුණෙ නෑ.. අඩියට දෙකට මං කෙල්ල ළගට දුවගෙන ගියා..

"බන්..ටී.. ඕකිව අතෑරපං.. අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ ඇටිකිච්චත් එක්කනේ.. මොනවද රවීන්.. උඹලා බන්ටිව කුලප්පු කරානේ.. බලපං.. ඌ මොනව කරගනියිද දන්නෑ.."

කෙල්ලගෙ මූණ ඉස්සරහට යනකොටම මට ශිහාන්ගෙ කටහඩ ඇහුණා.. ඒත් මං ඒ කතන්දරේ සත පහකට ගණන් ගත්තෙ නෑ.. ඌ එදා ඉදලම මේ සම්බන්ධයෙන් සෝක ගීත වාදනේ කරපු එකානේ..

"මේ හලෝ.."

මගේ සද්දෙට කෙල්ල සුරුස් ගාලා ආපිට හැරුණා..

"ඇ..යි..?"

ඒ කටහඩේ කිසිම බයක් තිබුණෙ නෑ.. තමන් කරන්න ගියපු සුභ කටයුත්ත බාධා කරහම මූණක ඇතිවෙන නොරිස්සුම්කම හරි අපූරුවට කෙල්ලගෙ මූණෙ රැදිලා තිබුණා.. සරිගමයා කිව්ව දේ සීයට දෙසීයක් ඇත්ත.. මේ කෙල්ල සෑහෙන්න තරම් ලස්සනයි.. ඒත් ඉතිං ලස්සන කන්නද කියලා ඇරිස්ටෝටලුත් අහලා තියෙනවලුනේ.. ඇපල් ගෙඩිය බිම වැටෙද්දිම අයිසෙක් නිව්ටනුත් ඇහුවයි කියන්නේ..

"තමුසෙ ඔය කරන වැඩේ හරිද..?"

ආයෙ දෙකක් නෑ.. මං කෙලින්ම ඇහුවා.. අනික ඉතිං මිස් ඉන්ඩියා මෙතන හිටියත් බන්ටි කියන්නෙ කෙල්ලෙක්ගෙ ලස්සනට ඇඹරෙන කොල්ලෙක් නෙමෙයි..

"මොන වැඩේද..?"

බැලුවහම කෙල්ලත් හෙණ ෆෝවඩ්.. ප්‍රශ්නෙට උත්තරත් හම්බවෙලා ඉවරයි..

"මොන වැඩේද අහන්නේ..? රෙදි ඇදගෙන කැත වැඩ කරන්නෙපා හලෝ.. තමුසෙට ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද..? ලස්සනට තියෙන කුරුළු කූඩුවලට ගල් හගන්නේ..?"

"කුරුළු කූඩු..?"

"ඇයි තමුසෙට මං කියන ඒවා ශ්‍රීක් වගේද..? බලන් ගියාම තමුසෙ මහ තොත්ත බබෙක් නේ.."

"මේ හලෝ.. මට පේන විදියට තමුසෙට මොකක් හරි පෑගිලා.. තමුසෙ ඔය කතා කරන්නෙ හරි කෙනාටද..?"

"හරි කෙනාට තමයි හලෝ.. තමුසෙ ඔය කරන කැත වැඩේ වහගන්න සද්ද දාලා වැඩක් නෑ.. මේක තමුසෙට දෙන ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනින් එක.. අනුන්ගෙ ලව් කඩන්නෙ නැතුව, දෙයියනේ කියලා පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා.. එහෙම නොවුණොත් තමුසෙට වෙන දේ තමුසෙවත් දන්නෑ.."

"තමුසෙට නම් පිස්සුද කොහෙද..? මං තමුසෙව දන්නෙත් නෑ.. තමුසෙ මේ කියවන්නෙ මොනවද කියලා මට තේරෙන්නෙත් නෑ.."

මට වගේම කෙල්ලටත් මල පැනලා කියලා මට තේරුණා.. ඒත් මගේ කේන්තිය තවත් වැඩිවුණේ කෙල්ල බබා වෙන්න හදනකොට.. ඇයි යකෝ.. උඹ බබා නම්, මං බබාගෙ මල්ලි..

"තේරෙන්නෑ.. රවීන්.. මෙහාට වරෙන්.. මේකි නේද ඇටකිච්චගෙ ලව් එකට සපෝර්ට් කරන්නේ..?"

මං කෙල්ලට ගහන්න පිනනව වගේ තේරුණ හින්දා සරිගමයයි, අමිලයයි දුවගෙන ආවා.. රවීන් පැත්තකට වෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා මං දැක්කා..

"ආයෙ එහෙම බලු වැඩ කරලා අහුවෙන්නෙපා.. උංගෙ මල ඉලව් ආදරේට තමුසෙ සපෝර්ට් කරනවා මට අහුවුණොත් මං තමුසෙව සතියක් මේ ටොරින්ටන් පාක් එකේ කකුල් දෙකෙන් එල්ලනවා.. අන්න ඒක හොදට මතක තියාගන්නවා.. තේරුණාද..?"

බලන් ඉද්දිම කෙල්ලගෙ ඇස් දෙක නළලටම ගියා.. ඒකි හොදටම බය වුණා කියලා මට තේරුණා.. තරහෙන් පිපිරලා උතුරලා ගියමු දිග ඇස්වල කදුළු බින්දු එක්කහු වෙන හැටි මං අහම්බෙන් වගේ දැක්කා.. ඔව් ඉතිං.. ඔන් කාඩ වැඩක් ඕන පඩත්තල වැඩක් කරලා ඉවරවෙලා කෙල්ලො දන්නෙ හොට්ට පෙරාගෙන අඩන්නනේ.. කමක් නෑ අඩපං.. මොකෝ මගේ ඇස් වලින් කදුළු ගලනවද..?

"ප්ලීස් මචං.. ඔය හොදටම ඇති.. සෙනගත් පිරෙනවා... කියන දේ අහලා යමංකෝ.."

අමිල ළගට ඇවිත් මගේ අත් දෙකෙන්ම ඇද්දා.. සරිගමයා ඒ පාර වීරයගෙ චරිතෙ රගපාන්න හදනවා..

"පොලීසියෙ බාප්පලා එන්න කලින් මාරු උනොත් හොදයි මචං.."

"උඹ පැත්තකට පලයං.. මං වැරැද්දක් කරේ නෑ.."

"වැරැද්දක් කෙරුවෙ නැති එක ඇත්ත.. අර බලපං.. අරකි මුස්පේන්තුකමට අඩ අඩා කාටද ෆෝන් කරනවා.. සමහරවිට අද දවසෙ පලාපල වල මගේ ලග්නෙට කිව්වද දන්නෑ මචං, අද හොදට කන්න හම්බවෙනවා කියලා.. ඒක හින්දා දෙයියන්ගෙ නාමෙට යමු.."

කොල්ලො සෙට් එක තරගෙට වගේ මාව පස්සට අදිනවා.. ඒ අදින ඇදිල්ලට මට මාර ගතියක් ආවා.. ඒ ගතියත් එක්කම මං උන්ව පැත්තකට තල්ලු කරලා දාලා, ආයෙත් කෙල්ල ඉස්සරහට ගියා.. ටොරින්ටන් පාක් එක ළගින් එහේ මෙහේ ගියපු දෙනෝ දාහක් දෙනා වෑන් ඩෑම්ගෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලනවා වගේ මාර ගතියක් ගන්නවා.. ෆෝන් එක කනේ තියාගෙනම කෙල්ල මං දිහා බැලුවෙ බයයි, ඔරොප්පුවයි දෙකම කලවම් කරගෙන..

"තමුසේ... තමුසෙ යාලුවන්ට සපෝර්ට් කරනවා වගේම තමයි මං මගේ යාලුවන්ට සපෝර්ට් කරන්නේ.. හැබැයි හොදට මතක තියාගන්නවා තමුසෙගෙ ඔය එකසිය ගානට උන තියෙන යාලුව වගේ නෙමෙයි, මගේ යාලුවා අන්තිම අහිංසකයෙක්.. උගේ මුළු ජීවිතේම ඉන්නෙ තමුසෙගෙ ඔය කැත යාලුවා විතරයි.. ඒත් ඒක තමුසෙගෙ ඔය හිත් දෙකක් තියෙන ජරා යාලුවා දන්නෑ.. කෙනේ මේ කොහේවත් ඉන්න ඇටකිච්චෙක් ඔලුව උඩ තියන් ඉන්නේ.. මේවා හෙණ ගහලා පිච්චෙන අපරාධ හලෝ.. තමුසෙට ලව් එකක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් තමුසෙ ලව් එකක් කරපු දවසක හරි මේවගේ පව් ආපිට එයි.."

බින්දු වෙනුවෙන් කියන්න ඕන දාහක් දේවල් හිත ඇතුළෙ හතර දිග්බාගේ පෙරි පෙරී ඇදෙද්දි, කොල්ලා මාව පාක් එකෙන් එළියට ඇදගෙන ආවා..

"යකෝ.. අර ඩෝප් වයිමා තව හොදයිනේ.. මොනවද බං උඹ ඒ කරේ..?"

"ඔය කිව්ව කතන්දර ඔක්කොම කියන්න තිබුණෙ නිරෝෂිට නේ.. ඇයි මේ කොහේවත් ඉන්න අහිංසක කෙල්ලෙකුට ඕවා කියන්න ගියේ.."

"මොකක්ද චාමික උඹ කිව්වේ..? ආයි කියපං.. කරුණාකරලා මට ඇහෙන්න තව පාරක් කියපං.."

කෙල්ලත් එක්ක තද වෙලා තිබ්බටත් වැඩිය මට චාමික එක්ක තද වුණා.. ඇයි යකෝ.. මුං එකෙකුටවත් කොන්දක් තිබ්බෙ නෑ.. බින්දු වෙනුවෙන් ඒකි ඉස්සරහට ගිහින් කෑගහන්නවත්.. දැන් එනවා මෙතන අහිංසක කතන්දරයක් කියන්න..

"නෑ.. ලොකු පුතේ.. ම.. මං.. මේ.."

"ගොත ගහන්න දෙයක් නෑ චාමික.. මං මේ උඹලගෙන් අනිත්ම කරුණාවෙනුයි ඉල්ලන්නේ.. මාව මළ යකෙක් කරන්නෙපා.. දැනගනිල්ලා.. බින්දු වෙනුවෙන් මට ඔයිට වඩා දේවලුත් කරන්න පුළුවන්.."

කොල්ලො එක එකාගෙ මූණු බලා ගනිද්දි මං චාලිය ස්ටාර්ට් කරගත්තා..

"උ.. උඹ අපිත් එක්ක තරහා වෙලාද යන්නේ..?"

"නෑ.."

හිතේ තියෙන ඒවා කියන්න ගියොත් තව කොහේ ගිහින් නතර වෙයිද දන්නෑ.. ඒක හන්දා දුකට සැපට හැමදේටම තියෙන තනි අකුරෙ උත්තරේ දීලා මං චැලිය ඉස්සරහට ගත්තා..

බේබි නැන්දට මං එනවා කිව්වෙ පැය එකහමාරකින්.. තවත් විනාඩි හතලිස් පහක් විතර එහෙම්ම තියෙනවා.. කොහෙද ඉතිං යාලුවො කියලා මෙච්චර දවසක් හිතන් හිටපු අපතයො ටික මුළු හවස් වරුවම කෑවනේ.. දැන් ඉතිං බින්දුව බලන්න යන්න, නාවලපිටි තනියෙම යන්නයි තියෙන්නේ.. ෂිහ්.. අම්මපල්ලා අද උදේ පාන්දරම මොකාද මන්දා දැක්කේ.. මාළිගාව ළගට එනකල්ම මං කල්පනා කරේ උදේ දැකපු නරකාදි සත්වයා කවුද කියලා.. දැක්ක එකා මොකා උනත් ඌ නම් මහ අමුම අමු මූසල දණ්ඩෙක්.. ආයෙ ඒකෙ හොදන්න දෙයක් නෑ..

චැලිය පාකින් එකට දාලා මාළිගාවට මීටර් දෙක තුනක් මට යන්න උනේ නෑ.. සුදුම සුදු පාටින් ඇදගෙන, මල් වට්ටියකුත් අත් දෙකෙන්ම උස්සගෙන, මට එහා පැත්තෙන් ආවෙ මොරීන් අක්කා.. දෙයි හාමුදුරුවනේ.. මේ මස් පර්වතේ මොකට මෙතෙන්ට ආවද..?

"බන්ටි මල්ලි... මාළිගාවට ආවා වගේ.."

'නෑ මේ නාන්න යන ගමන්..' කියලා කියන්නත් හදලා මං බොහොම අමාරුවෙන් හිනාවක් මූණ මැදට ගත්තා..

"මොරින් අක්කා.. හද්ස්සියෙම..?"

"හදිස්සියක් නෑ මල්ලි.. මගේ සදාකාලික බලාපොරොත්තු ඉටු නොවන තැන මං දළදා හාමුදුරුවොන්ට මගේ දුක කියන්න ආවා.."

"මල් වට්ටියක් අරගෙන..?"

මං ඇහුවමයි යකෝ මල් වට්ටි අරන් දුක කිය කියා යනවා.. මට නම් දැන් පිස්සු වගේ.. 

"නැත්නම්.. ඔයා මට කියන්නෙ මගේ පරම පූජනීය හදවතේ කදුළු ගංගාව පනිට්ටුවක දාලා මෙතෙන්ට අරගෙන එන්න කියලද..?"

"ඔව්.. ඒක නම් කමක් නෑ.. අපිට එකතුවෙලා වලාකුළු බැම්ම හරි හෝදතැහැකිනේ.."

"ඔයාට නම් විහිළු.. මං මේ පුදුම වේදනාවක් විදින්නේ.. හැබැයි ඒ වේදනාවෙන් එතෙර කරන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි.."

"ඒ කවුද අප්පෙ ඒ..?"

"වෙන කවුරුත් නෙමෙයි.. ඒ ඔයා.."

"මේ මම..? ඇයි දෙයියනේ.. හයක් හතරක් නොතේරෙන කිරි සප්පයා.."

"ඔව් බන්ටි.. ඔයා මගේ දුක අහලා, ඒ දුක ඔයාගෙ සුදු අයියට කිව්ව නම් මේ හැම දුකක්ම ඉවරයි.. මං දන්නවා ඔයා කියන ඕනම දේකට එයා කැමති වෙනවා කියලා.. අනේ ප්ලීස් සුදු බන්ටි.. මට ඔයාගෙ අයියව ලං කරලා දෙන්න.."

ඔයාගෙ හැම දුකක්ම ඉවර කරන්න නම් ඔයා පරලෝ සැපත් වෙන්න ඕන මොරින් අක්කේ.. මට දස වද දෙන්නෙ නැතුව.. මොන අකුසල කර්මයක්ද මේ.. පස්සෙන් පන්න පන්නා වද දෙන්නේ.. පුදුම අවමගුලක්නේ යකෝ..

"ලං කරලා දෙන්න නම් පුළුවන් මෙරින් අක්කේ.. ඒත්.."

"අනේ.. ඇයි ඔයා ඒත් කියන්නේ.. දෙයියන්ගෙ නාමෙට මට ඔයාගෙ සුදු අයියව ලං කරලා දෙන්න.."

"ලං කරපු ගමන් එයා ඈත් වෙයි.. ඒක මට ෂුවර්.. මොකද එයා කැමති කෙට්ටු ළමයින්ට.."

අපේ එකා මේ විත්තිය දන්නවා නම්, ලංවෙනවා තියා ඌ මොරින් අක්කගෙ ගෙවල් පැත්තට හැරිලවත් නිදාගන්නෙ නෑ.. ඌට මෙයාව ඒ තරම් අප්පිරියයි..

"ඉතින් මටත් කෙට්ටු වෙන්න පුළුවන් නේ.."

මේ මස් පර්වතේ කෙට්ටු වෙනකොට අපේ එකා කසාද බැදලා ළමයින්ගෙත් ළමයි ඉදියි..

"ඕවා මේවා මං දන්නෙ නෑ මොරින් අක්කේ.. මං යනවා.. මට පරක්කු වෙනවා.."

"ඒ කියන්නෙ ඔයා මට උදව් කරන්නෙ නෑ..?"

"උදව් කරන්න කලින් ඔයා මල් පූජා කරලා එන්නකෝ.. මං ඔයා එනකල් ඉන්නම්.."

"ඔය ඇත්තමද වස්තුව..?"

මොකෙක් හරි අහගෙන හිටියා නම් හතර විලි ලැජ්ජාවෙ පණ යනවා.. මොරින් අක්කගෙ මුළු ආත්මෙම පිරිල තියෙන්නෙ ආදරෙන්ද මන්දා.. උඹට මාව එපා නම් උඹ විහිලුවටවත් එපා කියලා අත පිහදාගනන් බැරිද..? අම්මප බන්ටි නම් එහෙමයි.. මොන හත්තිලව්වක්ද යකෝ.. සංසාරේ පුරාම එකෙක් පස්සෙ යන්නේ.. මට නම් මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා.. මුන්ට ඇයි මේ යතාර්ථෙ තේරුම් ගන්න බැරි.. කිව්වට නාහන අසමජ්ජාති හැත්ත.. මොන පවකට මේ සංසාරෙට ජාතක වෙලාද මන්දා..

"අ..ඩේ.. බන්ටිටත් එහෙනම් අංශක අනූවටම හරි ගියා.. ඈ.."

දළදා වීදිය ඉස්සරහම හිටගෙන හිටියෙ පයිතගරස්.. දෙයියන්ට ඔප්පු වෙච්චාවි.. මේ වෙල් කක්කුට්ටා කොහෙන් ජාතක උනාද මන්දා.. ඕනම දේකදි ගණිතය සම්බන්ධ කරලා කතා කරන් හන්දා, පයිතගරස් කියලා කිව්වට උගේ උප්පැන්නෙට තියෙන්නෙ මිලාන් කියලා..

"උඹ එහෙනම් ඔක්කොම දැක්කා.."

"නැතුව.. පැය භාගයක් විතර මං උඹලගෙ ප්‍රේම ජවනිකාව බලන් හිටියේ.. කෙල්ලෙක් විහිලුවටවත් ලං කරගන්නෑ කියපු උඹ, අපිටත් කලින් සමචතුරස්‍රයක් උනා.. ඈ.."

"මොකක්..?"

"සමචතුරස්‍රයක් බන්ටි.. හැබැයි මට නම් පෙනුණෙ කෙල්ල සෘජුකෝණාස්‍රයක් වගේ.."

"ඒ කිව්වේ..?"

"උඹට වැඩිය වයසින් වැඩියි වගේනේ බන්ටි.."

"වයස වැඩියි.. අඩෝ මිලාන්.. උඹ මහ කැත මිනිහෙක්.. මගේ කෙල්ලට ඇයි උඹ ඔහොම කතා කරන්නේ..? ෂිහ්.. උඹ මගේ මූණටමයි ඒක කිව්වේ.."

"බන්ටි.. උඹ ඒක සීරියස් ගත්තද..? මං නිකන් කිව්වේ.. ගණන් ගන්නෙපා.. හිත ගිය තැන මාළිගාව කියන්නෙ ඕවට තමයි.."

"ඔව්.. ඒකනේ අපි දළදා මාළිගාවට ආවේ.."

වැඩේ නැගලා යනවා.. දැන් ඉතිං පයිතගරසා මාව මොරීන් අක්කට බන්දලම දෙයි.. හෙට වෙනකොට මේ සතුටුදායක ආරංචිය මුළු නුවර ටවුන් එකේම පැතිරිලා තිබ්බෙ නැත්නම් මං මගේ කණ කපනවා.. මූ වීජ ගණිතයයි, ජ්‍යාමිතියයි දාලා හැම තැනටම ආරංචිය කෙටි ක්‍රම වලින් දෙයි..

"මොනවා උනත් කෙල්ල චාමි.. වැඩිය උනත් නෑ.. උඹට හොදට මැච් වෙනවා.. හරිම අහිංසක පාටයි.."

යකෝ.. මුගේ කට කබරයම කන්න එපාද..? මුගේ මූණ දිහා බලාගෙන අර මස් පර්වතේ ගැන මෙහෙම කියන්නේ..?

"ඔව්.. මාත් හිතනවා.."

"මචං.. පියෝමැත්ස් කරත්, ඇප්ලයිඩ් මැත්ස් කරත් මට තියෙන ප්‍රශ්නෙ ඒ කෙල්ලගෙ ඉලිප්සාකාර බව උඹට ප්‍රශ්නයක් උනේ නැද්ද..?"

"මොකක්..?"

"මහත මචං... මහත.."

"නෑ.. බං.. මං ඕවා ඒ තරම් ගණන් ගන්නෑ.."

"හැබැයි කෙල්ල හුගාක් උඹට ආදරේ පාටයි.."

"අම්මප.. උඹ කොහොමද දැනගත්තේ..?"

"ඇයි බන්ටි.. කෙල්ල උඹට, වැවේ මාළුන්ටත් ඇහෙන්න එක්ක වස්තුව කියලා කිව්වේ.. ඒකි ඒක කියපු තාලෙට මාව  හිරිවැටිලා වගේ ගියා මචං.."

"බන්ටි මහත්තයා හුගක් වෙලාද ඇවිල්ලා.."

බේබි නැන්දා ළගමට එනකන් මං දැක්කෙ නෑ.. පයිතගරස්ට එහෙම්ම ඉන්න දීලා මං බේබි නැන්දත් එක්ක චැලිය ළගට ආවා.. 

"කවුද බන්ටි මහත්තයෝ අර අමුතු විදියෙ හාදයා..?"

ඔය අහන්නෙ පයිතගරස් ගැන.. ඌ ගැන බේබි නැන්දට කියලා දෙන්න ගියොත් මටයි පිස්සු හැදෙන්නේ..

"සත්තු වත්තට යන්නෙ කොහොමද අහනවා.."

"සත්තු වත්තට..?"

"ඔව්.."

"ඒක තියෙන්නෙ දෙහිවලනේ.."

"ඒක තමයි.. ටිකක් ඔලුව අප්සට් වෙච්ච එකෙක්.. සුදුහුම්පල පාරෙ ගියාම සත්තු වත්තට යතෑකිද අහනවා.. පව් නේද බේබි නැන්දේ.. ඇගපත දැක්කහම දාලා පිච්චිලා යනවා.."

මං පයිතයා කපලම දැම්මා.. දැන් ඕකා වැරදිලාවත් අපේ ගෙදර ආවොත් බේබි නැන්දා කිය දේවලුයි, අහන දේවලුයි තේරුම් ගන්න ඌට මොන ප්‍රමේයවල් වත් දාලා බෑ.. ඕකා උදේට ටොයිලට් යන්නෙත්, ත්‍රිකෝණයක් සමච්ජේදනය කරලා, ඒ හරි මැද්දෙන් කියලා, සරිගමයා දවසක් මට කිව්වෙ කට කහනවට නෙමෙයි කියලා මට දැනුයි තේරෙන්නේ.. හැබැයි මට උහුලන්න බැරි මූ මොකටද දළදා වීදියට ආවෙ කියලයි..

"මේ කොහෙද බන්ටි මහත්තයෝ යන්නේ..?"

බේබි නැන්දවත් ඇදගෙන ඩෙටෝන් රෙස්ටුරන්ට් එකට යද්දි එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවා..

"අපි ලන්ච් එකත් අරගෙනම ගෙදර යමු.."

"අනේ අප්පොච්චියේ.. ගෙදර උයපු කෑමත් තියෙනවනේ.."

"කමක් නෑ බේබි නැන්දේ.. ඔයා හැමදාම අපිට උයනවනේ.. මං අද මගේ ගානේ ඔයාට ස්පෙෂල් ලන්ච් එකක් දෙනවා.. එන්න ඉතිං.."

ලී පුටුවක වාඩිවෙච්චි බේබි නැන්දගෙ මූණෙ තිබ්බෙ මං ගැන ඉපදුණු මහ විසාල ආදරයක්.. ඒ වියපත් ඇස් දෙක යාන්තමට වගේ තෙත්වෙලා තියෙන හැටි මං දැක්කා.. තමන්ගෙ මුළු ජීවිතේටත් වැඩිය ආදරේ කරන වස්තුවක් ළග ඉදිද්දි දැනෙන ආදරණිය හැගීම කදුළු වලට පෙරලනවා කියලා මං දැනන් හිටියා.. අනිත් දේ තමයි කොල්ලොත් එක්ක එකතු වෙලා හෝටලේකට වැදිලා බඩකට පුරා කනවට වැඩිය පුංචි කාලෙ ඉදලා මං ළග ඉදපු බේබි නැන්දට කෑම වේලක් අරන් දෙන එක සිතට සැනසීමක් කියනෙක, කවුරුවත් මට කියන දෙන්න ඕන වුණේ නෑ..

"අපොයි බන්ටි මහත්තයෝ මේ ඇති.. මහත්තයා හදන්නෙ මාව මරන්නද..?"

කෑම කාලා ඉවර වුණාට පස්සෙ දෙවෙනි වටලප්පන් කප් එකත් එයා දිහාට තල්ලු කරලා දාද්දි බේබි නැන්දා කෑගැහුවා..

"හැබැයි බේබි නැන්දේ.. කෑවේ නැත්නම් මං කවනවා.. අද නම් දෙයියනේ කියලා කන එක කන්න ඕන ඇග රිදෙන්න.. අම්මප බේබි නැන්දෙ මම නම් එහෙමයි.."

"අනේ බන්ටි මහත්තයෝ වටපිටේ අයත් බලනවා.."

"අපිට මොකද බේබි නැන්දේ.. ඉන්නකෝ මං තව සැලඩ් කප් එකක් ගේන්න.."

"අනේ දෙයියනේ.. කෑම කවලා කවලා මාව මරන්නද හදන්නේ.. ඇත්තමයි.. මේ නම් හොදටම ඇති.."

බේබි නැන්දා පොළවෙ හැපිලා බැගෑපත් වෙන හැටි දැක්කම මං සංග්‍රහය නැවැත්තුවා.. බිල් එක සෙට්ල් කරන ගමන් මං ඩෙවෝන් එකේ එන්ට්‍රන්ස් එක දිහා බැලුවෙ නිකමට වගේ.. කොල්ලො තුන් හතර දෙනෙක් හතර වටේ බල බල ඒ හරියෙ කරකැවෙනවා මං දැක්කා.. ඒක අමුතු දෙයක් නොවුණත්, ඊළග තත්පරේදි උන් සෙට් එක මං ඉන්න දිහාට එන්න හදනවා කියලා මට තේරුණා.. හැබැයි ඉතිං ලෙඩේ කොයි තරම් අසාධ්‍ය උනත් මට නම් අවුලක් නෑ.. තිබ්බ එකම අවුල බේබි නැන්දා මගේ ළග හිටපු එකයි.. 

"බන්ටි මහත්තයෝ.. මට ඩිංගක් ටොයිලට් එකට ගිහින් එන්න ඕනේ.."

දෙයියො අත පෑවා වගේ බේබි නැන්දා කියද්දි මං එයාව ටොයිලට් එක තියෙන පැත්තට එක්කරං ගිහින් හැරෙන තැපෑලෙන් ආපහු ආවා.. ඒ වෙද්දි අර කොල්ලො තුන් හතරදෙනා මං හිටපු ටේබල් එක ළගට ඇවිල්ලා ඉවරයි..

"උඹ උදේ ලොකු පාට් එකක් දැම්මලු නේ..?"

තත්පරයක් ගියේ නෑ ඉස්සරහම ඉදපු බෝල සයිස් එකා මගේ කොලර් එකෙන් ඇල්ලුවා.. එහෙනම් බන්ටි හිතුවා හරි.. මේක මොකක් හරි අවුලක්.. බන්ටිත් ආස මේ වගේ තොග වෙළදාම් වලට තමයි.. ඒත් ප්‍රශ්නෙ මොකක්ද අප්පා..? 

"කතා කරන දෙයක් කොලර් එක අතෑරලා කතා කරපං.."

"එහෙම නැත්නම්..?"

"නැත්නම් මෙච්චරයි.."

කොලර් එක අල්ලන් ඉදපු එකාගෙ අත අනිත් පැත්තට අඹරන ගමන් මං ඌව පැත්තකට තල්ලු කරලා දැම්මා.. පුටු දෙක තුනක් පෙරලගෙන ඌ බිමට පාත් වෙද්දි අනිත් ඈයෝ මාව වට කරගත්තා..

"උඹ එහෙනම් එහෙමයි ඈ..?"

"මං කවදත් එහෙම තමයි ඩෝ.."

ඩෙවෝන් එකේ හිටපු මිනිස්සු තරගෙට වගේ කලබල වෙද්දි තව ඩිංගක් වැඩේ අල වෙනවා කියලා මට තේරුණා.. මැනේජ්ර්කාරයා, කිසිදු අවුලකින් තොරව පොලීසියට ෆෝන් කරන හැටි මට මැවිලා පෙනුණා.. ඒ එක්කම තමයි මං දැක්කේ අපි දිහාට ඈතින් ඇවිදගෙන එන බේබි නැන්දව..

"මේකව එළියට ඇදලා ගමු.."

කොල්ලො තුන් දෙනෙක් මට තවත් ලංවෙද්දි මගේ ළගටම ආපු එකාගෙ අතකින් මං අල්ලගත්තා..

"උඹලට මගෙත් එක්ක අවුලක් තියෙනවා නම් ඉඩ තියෙන තැනකට ගිහිල්ලා හැප්පෙමු.. පිටිපස්සෙන් මගේ අම්මා එනවා.. එයා රංඩු සරුවල් වලට කැමති නෑ.. එයා මගෙත් එක්ක කනවා බොනවා උඹල දකින්න ඇතිනේ.."

ඇස් කොනෙන් බේබි නැන්දව පෙන්නන ගමන් මං කිව්වා.. හැබැයි ඉතිං බේබි නැන්දා ඇවිත් යං බන්ටි මහත්තයෝ කියලා කිව්වෙත් වැඩේ අල වෙනවා..

"උඹේ අම්මද ඒ..?"

"ඔව්.. උඹලට ප්‍රශ්නයක්ද..?"

"නෑ.. අපිට ප්‍රශ්නයක් නෑ.. අපි බාල්දිවත්තෙ කොල්ලෝ.. මොන දේ කරත් මව් සෙනෙහස චාටර් කරන්න අපි කැමති නෑ.. අපි උඹව පස්සෙ අල්ලගන්නම්.."

"පස්සෙ අල්ලගන්න දෙයක් නෑ.. අම්මව බස්සෙකට දාලා මං එනවා.. තැන කියපල්ලා.."

මගේ කතාවට උං සෙට් එක අවුල් උනා.. උං එකෙක්වත් කතා කරේ නෑ.. ඒකට හේතුවක් තිබුනා.. ඒ වෙද්දි බේබි නැන්දා අපි හිටපු තැනට ඇවිල්ලා ඉවරයි.. 

"හරි මචංලා.. මං තව ටිකකින් ටොරින්ටන් පාක් එකට එනවා.. එහෙනම් වැඩේ සෙට්නේ.."

හෙමින් සීරුවේ ළගම ඉදපු එකාගෙ බඩටත් ඇනලා, මං බේබි නැන්දගෙ අතින් අල්ල ගත්තා.. අම්මා තාත්තා ඉස්සරහ කොල්ලො එක්ක මරාගත්තත් බේබි නැන්දා ඉස්සරහ ඒ දේවල් කරන්න මං කැමති වුණේ නෑ.. මේ ලෝකෙ කාත් කවුරුවත් නැතුව තනිවෙලා ඉදපු ඒ කරුණාවන්ත හදවත කලුළු වලින් පුරවන්න, මට දැනුම් තේරුම් තියෙන වයසෙ ඉදන්ම මං කැමති වුණේ නෑ.. ඒක ගෙවල නිම කරන්න බැරි පවක් කියලා මං දැනන් හිටියා..

"බන්ටි මහත්තයට යන යන තැන යාලුවො නේද..? අද දවසටම කී දෙනෙක්ද..?"

"ඒවා එහෙම තමයි බේබි නැන්දේ.. එන්න මං ඔයාව බස්සෙකට දාන්නම්.."

"ඇයි බන්ටි මහත්තයා එන්නැද්ද..?"

"මේ කට්ටියත් එක්ක මට පුන්චි වැඩක් තියෙනවා.. බේබි නැන්දා යන්න.."

බාල්දිවත්තෙ කොල්ලො සෙට් එක පාඩුවෙ බලන් ඉද්දි මම බේබි නැන්දව චැලියෙ තියාගෙන ගුඩ්ෂෙඩ් එකට ආවා..

"මට මෙහෙම කන්න බොන්න දීලා සැලකුවට බන්ටි මහත්තයට ගොඩක් පින්.."

"පින් නම් වැඩක් නෑ.."

"එහෙනම්.."

"හිතට දුකක් නැතුව ඉන්න ලැබෙන්න කියන්න.."

බේබි නැන්දගෙ මූණෙ පුංචි හිනාවක් ඇදිලා යද්දි මං චැලිය ආපහු හරව ගත්තා..  



                                         

No comments:

Post a Comment