Sunday, April 8, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






මුළු හවස් වරුව පුරාම අම්මා මගෙත් එක්කවත්, බේබි නැන්දා එක්කවත් වචනයක්වත් කතා කලේ නෑ.. අම්මා ඉන්නෙ මගෙත් එක්ක සෑහෙන තරහකින් කියලා මට තේරුණා.. ඒත් අද දවසෙ වෙච්ච දේවල් ගැන කතා කරන්නවත් මට කිසිම කෙනෙක් හිටියෙ නෑ.. බේබි නැන්දත් එක්ක කුටු කුටු ගාන්න ගියත් අම්මා, බේබි නැන්දට අල්ලගෙන බනීවි කියලා මට හිතුණා..


පල්ලෙහා මිදුලෙ, තාප්පෙ අයිනෙම තිබ්බ කොල පාට කොන්ක්‍රීට් බංකුවෙ වාඩිවෙලත් මං කල්පනා කෙරුවෙ මං ගැන අම්මට කේලම කියපු වහුකුණා කවුද කියලා.. අම්මපා ඌට නම් හොදක් සිද්ධ වෙන්නෑ.. මේ කරපු පජාත, කුජීත වැඩේට.. දැන් තව ටිකකින් අයියා ආවහම බලන්න බැරියෑ මෙතන නටන දහ අට සන්නිය.. අර පහුවුණු දවසක මං මිනිහට කියෙව්ව ඒවටත් එක්ක මට පොරියල් අල්ලයි..

"අද නම් හොදටම ඇණ ගත්තා නේද..?"

වාත වෙවි දිගට හරහට කරපු කල්පනා ලෝකෙ බිදලා දැම්මෙ කවුද කියලා මං හැරිලා බැලුවා.. මෙච්චර දේවල් වෙද්දෙ මෙයා කොහෙද අප්පා හිටියේ..

"ඔයාටත් කතන්දරේ ආරංචිද අක්කේ..?"

"ඔව්.. අම්මා තාමත් ඔයාට බනිනවා.. ඇයි බන්ටි ඔයා ඒ ගර්ල් එක්ක ගාඩ්න් එකට ගියේ..? ඔයාට පිස්සුද..? අම්මගෙ හැටි දැන දැනත් ඔය වගේ වැඩ කරන්න.."

"මොන ගර්ල්ද අක්කේ..?"

"ඔන්න ඉතිං.. ඔයා මටත් බොරු කරන්න හදනවා.. ඇයි බන්ටි ඔයයි, බේබි නැන්දයි අර බලන්න ගියපු ගර්ල්.. අර ඔයා මට කිව්වෙ අපේ අම්මව හම්බ වෙන්න ඒ ගෑනු ළමයා බලන් ඉන්නවා කියලා.. ඉතිං අම්මා වෙනුවට බේබි නැන්දව ඔයා එක්කන් යනවා කියලා කිව්වේ.."

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.. බන්ටිට මෙහෙම වෙලා මදි.. හැමවෙලාවෙම කවුරු හරි අන්දන්න යනවට.. දැන් ඉතිං මේක කොහේ කොහේ ගිහින් කෙලවර වෙයිද කියලා දෙයියොවත් දන්නැතුව ඇති..

"දැන් ඔයා හිතන්නෙ මං ඒ ගර්ල් එක්ක ගාඩ්න් එකට ගියා කියලද..?"

"නැත්තං ඉතිං.. අම්මට ඔය තරම් කේන්ති යන්න වෙන හේතුවක් නෑනේ.."

"ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න.. මට තාම ගර්ල් කෙනෙක් නෑ.. අම්මා කොහේ හරි තැනක් වරද්දගෙන.. ඒක පහදන්නවත් මට එයා ඉඩ දෙන්නෑ.. මගෙත් එක්ක රංඩුවටමයි එන්නේ.."

"මට ඕවා තේරෙන්නෑ බන්ටි.. ඔයා ඔහේ කටට ආවට මොන මොනවා හරි කියනවා.. මමත් ඒවා විශ්වාස කරනවා.. දෙයක් සිද්ද උනහම ඒ ඔයා කියපු දේවල් දිගේ මං හිතන්න ගන්නවා.. එතකොට හිතෙන් නෑ ඔයා මට කියලා තියෙන්නෙ බොරුවක් කියලා.."

අක්කා කියන්නෙ සීයට දෙසීයක් ඇත්ත.. මගේ ඔලුවටයි දැන් දෙකේ දෙකේ පොල්ලකින් පැණි බේරෙන්න ගහන්න ඕන..

"අනිත් එක ඔයා තව දෙයක් හිතන්න ඕන.."

"ඒ මොකක්ද අක්කේ..?"

"අපේ පවුලෙ සමගිය ගැන.."

"මං ඒක නැති කරලා නෑ අක්කේ.. මං හැමදාම බැලුවෙ මුළු පවුලම සන්තෝසෙන් හිනාවෙලා තියන්න.. මං ඔය එක එක දේවල් කියලා විකාර කරන්නෙත් ඒකයි.."

"ඒ උනාට බන්ටි.. ඔයා ඩිංගක් හිතන්න දැන් අද උන ප්‍රශ්නෙ එක්ක, ඔයා වැරැද්දක් කෙරුව උනත් තාත්තයි, බේබි නැන්දයි ගන්නෙ ඔයාගෙ පැත්ත.. ඒක අර කන්ද පහළින් ඉර බහිනවා වගේ ස්තිරයි.. අම්මා විතරක් තනියෙම කෑගහවි.. අන්තිමට වෙන්නෙ අම්මයි, තාත්තයි රංඩු වෙන එකනේ.. බලන්න.. ඔයා මටත් වැඩිය ආදරේ කරන බේබි නැන්දත් අඩනවා.. ඒ හැමදේම ඔයා හින්දා නේද..? ඇයි ඔයා ඒ ගැන හිතන්නැත්තේ.. අරහෙ අම්මයි, තාත්තයි රංඩු වෙද්දි පැත්තකින් බේබි නැන්දා අඩද්දි ඔයා සංතෝස වෙනවද බන්ටි.. ආ.. ඒකද ඔයාගෙ සන්තෝසේ..?"

අක්කා අහගෙන අහගෙන ගියපු දේවල් වලට උත්තරයක් දෙන්න තරමෙ හිතක් මට තිබුණෙ නෑ.. මේ හැමදේටම මුල මම අද ඇටකිච්චට ගහන්න ගියපු එක ද කියලා පළවෙනි පාරට මට හිතුණා.. අනික බින්දුගෙ කෙල්ලෙත් එක්ක යාලු උනා කියලා මං ඇටකි්චචට හොදටම ගහපු එක සාධාරණද කියලා ලොකු ප්‍රශ්නයක් ඒ වෙනකොට මට ඇවිල්ලා තිබුණා.. ලේ පෙරාගෙන, පාංකඩ හිගන්නෙක් වගේ බිම දිගාවෙලා හිටපු ඇටකිච්චගෙ අසරණ මූණ මට සැරින් සැරේට මතක් වෙන්න ගත්තා.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මං කරපු දෙයක් ගැන ආපහු පසුතැවිලි වෙන්න මගේ හිත පටන් අරන් තිබුණා..

අද උදේ බින්දුට සල්ලි යවලා, ගේ ඇතුළට වෙලා හිටියා නම් ඉවරයි කියලා හිතට හිතෙද්දි මට දැනුණෙ ලොකු වේදනාවක්.. නිරෝෂීගෙ තියෙන චපලකමට, කොහේවත් ඉන්න අහිංසක ඇටකිච්චෙකුට අල්ලගෙන තඩිබාපු මගේ මනුස්සකම ගැන මට ආවෙ ලොකු තරහක්.. ඇයි මං මේ දේවල් ගැන කලින් හිතුවෙ නැත්තේ..

"දැන් ඉතිං කල්පනා කරලා වැඩක් නෑ බන්ටි.. දෙයක් වෙන්න කලින් ඒ දේ නවත්තන්න බලන්න.. රෑත් වෙලා.. අපි ගෙට යමු.."

"ඔයා යන්න අක්කේ.. මං පස්සෙ එන්නම්.." 

ඝන අදුර ටිකෙන් ටික වැඩි උනත් ගේ ඇතුළට යන්න තරමෙ හිතක් මට තිබුණෙ නෑ.. තව ඩිංගකින් අයියා ආවහම ගෙදර මේ තියෙන නිහැඩියාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාවි කියලා මට හිතුණා.. ගාඩ්න් එකේදි ඇටකිච්චට ගහද්දි අයියා දැකලා තිබුණ නම් මට අද රෑට අම්මට දෙන්න උත්තර නෑ කියලා මං දැනන් හිටියා.. අම්මා රංඩුවට බහින්නෙ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් එක්ක කියන එකේ සැකයක් මට තිබ්බෙ නෑ..

"බන්ටි මහත්තයෝ.."

තණකොල උඩ තිබ්බ වේලුණු අඹ කොළ පෑගෙන සද්දෙට මං හැරිලා බැලුවේ වැඩි ඕනෑකමකින් නෙමෙයි.. ඒ එන්නෙ බේබි නැන්දා කියලා මං දැනන් හිටියා..

"අපි ගෙට යමු මහත්තයෝ.. මෙච්ච දේවල් ගැන කල්පනා කරලා වැඩක් නෑ.. හෙට උදේ වෙද්දි හැමදේම හරියයි.."

"හැමදේම හරියන්නෙ කොහොමද බේබි නැන්දේ..? අයියා දැන් වැඩ ඇරිලා ඇවිත් මෙතන ගිනි තියයි.. එයාලා අහන ප්‍රශ්න වලට දෙන්න තරම් හොද උත්තර මං ගාව නෑ.. මං කොහොමත් පරාදයි.. මට ආයෙ ඔලුව උස්සන්නවත් වෙන්නෑ.."

"මේ බේබි නැන්දා ඉන්නකල් කවදාවත් මහත්තයා පරාද වෙන්නෑ.. ඔය ප්‍රශ්නෙ ගැන ආයෙ කතාවක් ඇතිවෙන්නෙ නෑ.. දැන් මහත්තයා ගෙට ගිහින් වොෂ් එකක් දාගන්නකෝ.."

"බේබි නැන්දත් මාර කතානේ කියන්නේ.. ඔයා හිතන්නෙ අයියා කියන දුෂ්ඨයා නිකම් ඉදීවි කියලද..? මිනිහා තව ටිකකින් ආපු ගමන් බන්ටිට සොරි ඩොට් කොම් තමයි.."

"ලොකු බේබි දැන් ඩිංගකට කලින් ආවා.."

"අයියා ආවා.."

බේබි නැන්දගෙ කතාව මට විශ්වාස කරන්නත් බැරිවුණා.. අයියා ආවා නම් ඇයි බෝම්බ පත්තු වුණේ නැත්තේ..? අඩු ගානෙ ගේට්ටුව අරින සද්දෙවත් මට ඇහුණෙ නැත්තෙ ඇයි..?

"ඔව්.. එයා වැඩි දෙයක් දැකලා නෑ.. බන්ටි මහත්තයා යාලුවො පස් දෙනෙක් එක්ක ගාඩ්න් එක ඉස්සරහ පාර්කින් එක ළග ඉන්නවා විතරයි දැකලා තියෙන්නේ.."

මොකක්ද අප්පේ ඒ අංගවිකල කතාව.. ඒකෙ සෑහෙන කොටසක් බලධාරියා විසින් කපලා දාලා වගේනේ..

"එච්චරද..?"

"ඔව්.. ලොකු බේබි එච්චරයි කිව්වේ.. හැබැයි ඉතිං ප්‍රශ්නෙ ඔය තරම් ගොඩින් බේරෙනවා කියලා දන්නව නම් මං ලොකු මහත්තයට කතා කරන්නෙත් නෑ.."

"මොනවා.. බේබි නැන්දා තාත්තට කතා කලාද..?"

"ඔව්.. ලොකු නෝනට කේන්ති ගිහින් හිටපු විදියට මට ටිකක් විතර බය හිතුණා.. මං ඒක හින්දා ලොකු මහත්තයට විස්තරේ කිව්වා.. නැත්නම් මහත්තයා වැඩ ඇරිලා ආපු ගමන් නෝනා මේ ප්‍රශ්නෙ හින්දා ඇගට කඩන් පැන්නොත් මහත්තයට වුණත් කේන්ති යනවනේ.."

ඔලුව උඩ තිබ්බ මහා විශාල බරකින් අංශු මාත්‍රයක් විතර හෙමීට පැත්තකින් තිබ්බා වගේ නොසන්සුන් හැගීමක් මගේ හිතට ආවා.. මං සෑහෙන්න ආරක්ෂා සහිතයි කියලා බේබි නැන්දාගෙ කතාවෙන් තේරිලා තියෙද්දිත් මං සැනසීමක් දැනෙන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ මහ විශාලෙට මගේ පපුව මැද්දෙ තිබුණා.. ඒත් වැඩිවෙලා යන්න කලින් මට ඒ ප්‍රශ්නෙට අංග සම්පූර්ණ උත්තරයක් හිත ඇතුළටම හම්බ වුණා.. ඒ තමයි ඇටකිච්චගෙ ලේ වලින් පෙගිලා තිබ්බ මූණ.. මං කෙරුවෙ මහා විසාල වැරැද්දක් කියන එක සිය දහස් වරේ මට වද දෙන්න ගත්තා.. ඒ නරකාදි හැගීමෙන් මිදෙන්න මං බේබි නැන්දා දිහා බැලුවා..

"මල් වත්තෙදි වෙච්ච දේවල් මොනව උනත්, ලොකු බේබි ඒ මුකුත් දැකලා නෑ.. බන්ටි මහත්තයා ගිහින් කෙරුවෙ තවත් ළමයෙකුට ගහපු එක කියන්න මං විතරයි දන්නේ.. අම්මා අප්පා කිව්වත් බන්ටි මහත්තයට විරුද්ධව මේ වයසක කටින් වචනයක්වත් පිටවෙන්නෑ.. ඒක හින්දා ඒ වෙච්චි දේවල් ගගේ මුහුදෙ දැම්මා වගේ තියෙයි.. හැබැයි බන්ටි මහත්තයෝ.. ආයෙ ඔය වගේ වැඩ නොකරනවා නම් තමයි හොද.."

බේබි නැන්දා කියපු දේවල් වලට මං මුකුත්ම කියන්න ගියේ නෑ.. ආයෙ ඔය වගේ වැඩ විතරක් නෙමෙයි.. විහිලුවකටවත් බොරුවක් කියන්නෑ කියලා මං හිතාගත්තා.. අමතක කරලා දාන්න බැරි තරමට ඇටකිච්චගෙ මූණ මතක්වෙද්දි මං කොන්ක්‍රීට් බංකුවෙන් නැගිට්ටා.. හතර අතින් ලේ ගලා ගෙන යද්දි 'අනේ අයියෙ ගහන්නෙපා' කියලා ඌ බැගෑපත් වෙච්චි හැටි තත්පරේට දෙකට ආයෙත් මගේ ඔලුවට ආවා.. ෂිහ්.. මොන තරම් පව්කාර වැඩක්ද මම කරේ..? 

                                           *****************************

මම හිතුවෙ රෑ කෑම මේසෙදි හවස වෙච්ච සිද්ධියෙ දෙවනි කොටස විකාශනේ වෙයි කියලා.. මොන පිස්සුද අපේ ගෙදර කට්ටිය එකේ වගේ වගක්වත් නැතුව බඩ පැලෙනකල් මිසක විහිලුවකටවත් මං දිහා බැලුවෙ නෑ.. අනික බේබි නැන්දම කිව්වනේ තාත්තට වෙච්ච සිද්ධිය ගැන කිව්වා කියලා.. ඒත් තාත්තා හැසිරුණේ එහෙම දෙයක් සිද්ධ වෙලා තියා ජීවිතේටවත් මල් වත්තක් දැකලා නැති විදියට.. අයියයි, අම්මයි උනත් පාඩුවෙ කෑම කෑවා උනත් අම්මගෙ මූණෙ හවස තිබ්බ හැගීම් එහෙම්මම තියෙනවා මං දැක්කා.. ඒ කියන්නෙ අලු යට ගිනි තියෙනවා කියනෙකනේ.. කමක් නෑ.. ඕවා වැඩිය දකින්න වෙන්නෙ අලුවලට පිඹින්න ගියොත්නේ.. ඒක හන්දා බන්ටිට තියෙන්නෙ බන්ටිගෙ පාඩුවෙ ඉන්න..

වෙනදට හැමෝටම ඉස්සෙල්ලා කාලා ඉවර වෙන්නෙ මං උනත්, ටිකක් වෙලා ගිහින් වටපිට බලද්දි, හැමෝම කාලා ඉවර වෙලා මගේ දිහා බලන් ඉන්නවා මං දැක්කා.. යකෝ.. බන්ටිගෙ කෑම කෑමේ දක්ෂතාවයට අද මොකද උනේ.. හිතා ගන්නවත් බැරි විදියට බන්ටි අද ලාස්ට් මෑන් වෙලා.. කන්න ආස කෑම ජාති පිගාන උඩ තිබ්බත් ඇතත්ටම මට කෑමෙ පිරියත් තිබුණෙ නෑ.. කන්නෙ කොහොමද අප්පා.. ඇටකිච්චගෙ අඩන මූණ මතක් වෙද්දි.. අම්මප ඌට මොකද දන්නෑ උනේ..? මං නිතරම කිය කිය හිටිය විදියට ගුරුදෙණියෙ කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට ගිහින් පත්තු බදිනවද දන්නෑ..

"ඉක්මනට කනවා මනුස්සයෝ.. අපිට වෙන වැඩ තියෙනවා.."

හෙණ ගහන්න වගේ ඒ වචන ටික ආවෙ අයියාකාරයා ගෙන්.. මං ඇස් දෙක පුංචි කරලා මිනිහා දිහා බැලුවා.. මූට මොනවද යකෝ මේ පට්ට රාත්‍රී යාමයේ තියෙන වැඩ.. නිකාං කලර්ස් පෙන්නන්න හදනවා.. සරිගමයා නම් ඕවට කියන්නෙ පඩ ෂෝ කියලා.. ඒ වචනෙ නිකං කැතයි කැතයි වගේ හින්දා බන්ටි වැඩිය පාවිච්චි කරන්නෑ..

"කාලා ඉවර නම් යන එකනේ ඇත්තේ.. ජම්මාන්තර වෛරක්කාරයෙක් වගේ මාව මරන් කන්න හදන්නේ..?"

"බන්..ටී.."

අම්මගෙ කටහඩ අයියගෙයි, මගෙයි සද්දෙ පරද්දලා ඇහුණා.. ඒත් ඊට වැඩිය හයියෙන් ටෙලිෆෝන් එක වදින සද්දෙ මට ඇහුණා.. කවුද යකෝ.. මේ නිසන්සල රෑ යාමයේ ජාතිය අමතන්න හදන එකා.. මට නම් කීයටවත් වෙන්න බෑ.. ඒක අපේ අයියා, මොරින් අක්කට ජීවිතේටවත් කැමති වෙන්නෑ වගේ මට ස්ථීරයි..

"කෝල් එක බන්ටිට.."

අක්කා රිසිවර් එක මගේ දිහාට දික් කලා.. කිරි බුදු හප්පච්චියෝ.. මේ මල රෑ මාව අමතන එකා කවුද..? සමහර විට නුවර පොලීසියෙන්ද දන්නෑ.. වීරයා වගේ ඇටකිච්චට නෙලුවා වගේ නෙමෙයි.. ඌ මැරිලා පොලීසිය මගේ පස්සෙ එළවනවද කොහෙද..? ගෙදර මිනිස්සුත් බලන් ඉන්නෙ කොයි වෙලාවෙද මට ෂොට් එක දෙන්නෙ කියලා.. මගේ හිතට ආවෙ කවදාවත් දැනුණෙ නැති කරමෙ අවුල් සහගත හැගීමක්.. කට්ටියම මැජ්ක් එකක් දිහා බලනවා වගේ බලන් ඉද්දි මං රිසිවර් එක අතට ගත්තා..

"බන්ටි.. මං බින්දු කතා කරන්නේ.."

හම්බේ.. ඔන්න දැන් තමයි හර්ද ස්පන්දනේ යහපත් එඩේරෙක් උනේ.. ඒත් ඉතිං මේකා මොන බඩකඩිත්තුවටද මේ අවමගුල් වෙලාවෙ කතා කරන්නේ.. මට අඩුගානෙ එක වචනයක්වත් කට ඇරලා මෙතන කතා කරන්න පුළුවන්ද..? 

"හා කියපං.. මං අහගෙන ඉන්නේ.."

"සල්ලි හම්බවුණා බන්ටි.. අනේ උඹ ලොකුම උදව්වක් කලේ.. උඹ මේ ළගක හිටියා නම් ඇත්තමයි මං උඹට වදිනවා බන්ටි.. උඹ දන්නවද..? පුංචි අම්මට ගන්න තියෙන බෙහෙත් ඔක්කොම මං අරන් දුන්නා.. තව එයා කීප දෙනෙකුට ණය වෙලත් හිටියා.. මං ඒවත් ගෙවලා දැම්මා.. තව සස්ටජන් එකකුත් අරගෙන ඒකෙන් හිරි එකකුත් එයාට හදලා දීලා ඇවිල්ලයි මං මේ උඹට කතා කරන්නේ.. උඹ දන්නවද පුංචි අම්මට ඕන  හැම දෙයක්ම වගේ අපි දෙන්නා ගිහින් ගත්තා.."

"අපි දෙන්නා.."

"ඔව්.. මායි නිරෝෂියි.. ඇයි බන්ටි මං උඹට ඊයෙ කිව්වේ නිරෝෂි අද එනවා කියලා.."

බින්දු කියපු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා.. මූ මොනවද මේ දොඩවන්නේ..? නාවලපිටි ගිය ටිකට මුගේ සිහිය විකල් වෙලාද..? ඇයි යකඩෝ එතකොට මේ ගෙවිලා ගියපු හවස් වරුවෙ පේරාදෙණි කාඩ්න් එකට වෙලා ඇටකිච්චත් එක්ක ආදරේ කෙරුවෙ නිරෝෂිගෙ ආච්චිද..? අහන්න ඕන ලක්ෂ ගාණක් ප්‍රශ්න පොත් දත් දෙක ඉස්සරහටම ආවත් ඉතාම අසීරුවෙන් මං කට වහගත්තා.. පවුලේ සියලු දෙනාගෙම ඇස්, කන්, නාසා ඇතුලු තියෙන තරමක් ඉන්ද්‍රියෝ මගේ දිහාවට ඇන්ටනා දාගෙන කියලා මං තේරුම් අරන් හිටියා.. ඒත් දෙයියනේ බින්දුවා කිව්ව අලුගුත්තේරු කතාවෙ තේරුම නම් මට තේරුණේම නෑ..

"උදේ ද ආවේ..?"

අහන්න පුළුවන් කෙටිම ප්‍රශ්නෙ මං ඇහුවා.. අහගෙන ඉන්න අයට ඒ ප්‍රශ්නෙ ගන්න තරමෙ දෙයක් නෑ.. කිව්ව දේ බින්දුවට තේරුනොත් හොදයි..

"සල්ලිද..?"

"නෑ බං අනිත් එක.."

"ආ.. නිරෝෂිද..? උඹට කියන්න බන්ටි.. එයා උදේම ආවනේ.. මට පුදුමත් හිතුණා.. කෙල්ල මං හිතනවටත් වැඩිය මට ආදරෙයි.. නැත්නම් මොන කෙල්ලද බන්ටි ගෙදරට හොරෙන් ඔහොම එන්නේ.. එහෙම අමාරුවෙන් ඇවිත් එයාට කිසිම නෑදෑකමක් නැති අසරණ ගෑනියෙක් වෙනුවෙන් කාලය කැප කරන්නේ..?"

"හුගක් වෙලා හිටියද..?"

"නිරෝෂි හරියටම මගෙත් එක්ක පැය දෙකක් හිටියා.. ඒත් ගෙදරින් හොයාවි කියන බයටයි එයා ආපහු ඉක්මනටම නුවර ගියේ.. නැත්නම් කෙල්ලගෙ හිතේ ආපහු නුවර එන්න නම් පුංචි කැමැත්තක්වත් තිබුණෙ නෑ.. පව් බන්ටි.. බස්වල තැලිලා පොඩිවෙලා යන්න කවදා බස් වල ගියපු කෙල්ලෙක්ද..? මං හින්දා උඹලට වගේම නිරෝෂිටත් කරදරයි බං.."

කෙල්ලොන්ගෙ තියෙන හැට හතර මායම් ගැන එක අංශු මාත්‍රයක්වත් නොදන්න බින්දු ගැන මට මහා දුකක් හිතුණා.. නිරෝෂි කියන්නෙ කොයි තරම් කපටි වංචාකාර කෙල්ලෙක්ද..? උදේ වරුව නාවලපිටියෙ බින්දුත් එක්ක ආදරේ කරලා හවස් ජාමෙ ඇටකිච්චත් එක්ක ගාඩ්න් එකේ පෙම් කෙලින්නනේ හැදුවේ.. ඇත්තටම බලන් ගියාම නිරෝෂි කියලා කියන්නෙ මාර මීටරයක්.. මොලේ කියන ඒක ඕනවටත් වැඩිය තියෙනවා.. ඇයි දෙයියනේ තමන්ගෙ කොල්ලව ඔය වගේ අන්දවනවා කියන්නේ..? එතනින් එහාට තවත් මොනවද.. අපි ළං උනොත් හෙම ඕකි අපේ බඩ මාලුත් කයි..

"දැන් උඹ කවද්ද එන්නේ..?"

"තව ටික දවසක් යයි බන්ටි.. අනික දැන් නම් නුවර එන්න මට ඒ තරම් හදිස්සියක් නෑ.. නිරෝෂිත් මෙහේ ආවනේ.."

ෂිහ්.. පෙනේද මුගේ අසමජ්ජාතී කතාව.. මූ හින්දා කොහේවත් ඉන්න ඇටකිච්චෙකුට නෙලලා, තව නූලෙන් මට ගෙදරිනුත් යන්න වෙනවා.. තියෙන අවාසනාව කියන්නෙ ගෙදර හැමෝම ඉස්සරහ වචනයක්වත් කියාගන්න බැරි එකයි.. නැත්තං ඉතිං මගේ කට ඇරියොත් වත්තෙ හතර මායිම් බලලා කතා කරන්නෑ.. දැන් එතකොට නිරෝෂි නාවලපිටි ආවහම උගේ ලෙඩේ සනීපවෙයි.. ඌ නැතුව, උගේ ගැන දවස තිස්සෙම කතා කරන අපිට අසනීපයි.. 

"හරි.. එහෙනම් මං තියනවා.."

තවත් කතා කරන්න දෙයක් නෑ.. මට තද වුණා.. ඇයි අප්පා.. යාලුවෙක් කතාකරන්න ඕන වචන ටිකක්ද බින්දු ඒ කතා කරේ.. ඌට අපි කොල්ලො හැමෝටම වැඩිය අර එන එකත් එක්ක ජවුසන් නටන අවලං කෙල්ල ලොකු වෙලා..

"කවුද බන්ටි කතා කරේ..?"

"යාළුවෙක් තාත්තා.."

අත හෝදන ගමන් ඒ උත්තරේ දීලා මං පඩිපෙල නැග්ගා.. ඒ වෙනකොටත් ගෙදර හැමෝම කෑම මේසේ වාඩිවෙලා ඩෙසර්ට් එකට මාව කන්න වගේ මග බලන් ඉන්නවා.. අම්මපා.. අපේ ගෙදර මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද..? කෑව බිව්වා නම් තම තමන්ගෙ කාමර වලට ගිහිල්ලා නිදාගන්නැතුව..

"ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද බන්ටි..?"

පඩිපෙලේ උඩම පඩියට අඩිය තියද්දි තාත්තගෙ කටහඩ ආයෙම මට ඇහුණා..

"තාම නම් නෑ.. සමහර විට ඉස්සරහට තියෙයි.."

ගෙදර හැමෝම ඒ උත්තරෙන් මූණින් මූණ බලාගන්නවා මගේ ඇස් කොණට පෙනුණා..

                                             ****************************

පහුවෙනිදා මං ඇහැරුණේ වෙනදා වගේ හොද නින්දක් නිදාගෙන ඉදලා නෙමෙයි.. තද බල හිසේ කැක්කුමක් එක්කම මට මතක් උනේ ඇටකිච්චව.. ඇත්තටම ඌට මොකද දන්නෑ උනේ.. ගුටි කෑවා වැඩිවෙලා මග මැරිලද දන්නෙත් නෑ..

"බන්ටි මහත්තයෝ.. මෙන්න අර සංගීත ළමයා ඇවිත්.."

පඩිපෙලේ මැදක් හරියෙ විතර ඉදන් කෑගහන බේබි නැන්දාගෙ කටහඩ මට ඇහුණා.. බේබි නැන්දා ඔය සංගීත ළමයා කියන්නෙ සරිගමයට.. මේකා සාමාන්‍යයෙන් මෙහෙම කඩාගෙන පාත්වෙන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි.. නැත්නම් කීය ගියත් කොල් එකක් දීලා වැඩේ නිරවුල් කරගන්නවා..

"පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා බන්ටි.. මම උදේම ආවේ එකයි.."

වත්ත කෙලවරේ මගේ සුපුරුදු කොන්ක්‍රීට් බංකුව ළගට ඇවිදන් යද්දි මට සුරේන් කිව්වා..

"මොකක්ද අවුල..?"

"ඇටකිච්චට හොදටම ආමරු වෙලා හොස්පිට්ල් නවත්තලා.."

පිස්සු හැදෙනවා.. මට ඊයෙ රෑ නින්ද ගියේ නැත්තෙ ඕකනේ.. දැන් මොකද කරන්නේ..?

"ඌ පොලීසියට ගිහිල්ලද..?"

"එච්චර විස්තරයක් දන්නෑ බන්ටි.. අපි ගාඩ්න් එක ගාවින් ආවට පස්සෙ අමිල ආපහු ගිහිල්ලා.. කතන්දරේ ඉතිරි හරිය බලා ගන්න.."

"එතකොට රවීන්..?"

මට පොඩි එකාව මතක් වුණා.. ඌනේ මේ සිද්ධියෙ සෑහෙන වැඩ කොටසක් කරේ.. මම කෙරුවෙ පැන පැන නෙලපු එක විතරනේ..

"උඹ ගියාට පස්සෙ මායි, රවීනුයි ගුඩ් ෂෙඩ් එක ළගට ආවා.. අමිල විතරයි ගාඩ්න් එක ළග නැවතුනේ.."

"ඉතිං..?"

"නිරෝෂි කෑගහන අඩන ගමන් වීල් එකක දාගෙන ඇටකිච්චව හෝස්පිට්ල් එකට අරන් ගිහින්.. ඇටකිච්චා හිටියෙ මැරෙන්න පණ ඇදල වගේලු.."

සුරේන් ඒ අන්තිම හරිය කියවද්දි මාව හීතල වෙලා ගියා.. වීරයා වගේ ගිහින් නෙලුව වගේ නෙමෙයි.. ඇටකිච්චා මළොත් එහෙම.. බන්ටිට වෙන්නෙ සදාකාලයටම යකඩ කූරු ගණන් කර කර ඉන්න..

"හරි.. ඒ කතාව අපි පැත්තකින් තියමු.. තවත් ප්‍රශ්න තියෙනවද..?"

"ඔව්.. ඊයෙ මං පේරාදෙණිය ගාඩ්න් එකේ හිටියා කියලා අපේ ගෙදර හැමෝම දන්නවා.."

"මොනවා..?"

"ඔව් බන්ටි.. උම කියන්නෙ මං යන එන තැන් බිංදුවක්වත් හොයන්නෙ නැති අපේ ගෙදර මිනිස්සු, ඔය ගැන ප්‍රශ්න කරද්දි මං උඩ ගිහින් බිම වැටුණා.."

එහෙනම් ඒ කතන්දරේ මට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි.. සුරේන්ටත් සිද්ධ වෙලා..

"අපේ ගෙදරත් ඊයෙ ගෝරි ගොඩයි සුරේන්.. අපේ අම්මට කවුද ෆෝන් කරලා මං ගාඩ්න් එකේ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා.."

"න්.. නෑ.." 

සුරේන්ගෙ ඇස් දෙක නළලට ගියා..

"නෑ නෙමෙයි බං.. ඔව්.. පස්සෙ අපේ අයියා ගාඩ්න් එකටත් ගිහින් මාව හොයන්න.. උඹ දන්නවනේ අර මහියංගනේ ගමනෙන් පස්සේ අපේ ගෙදරින් මට කිසිම බුරුලක් දෙන්නෑ කියලා.. කොහොම හරි මිනිහට අපේ වැඩේ මාට්ටු වෙලා නෑ.. ඒත් මිනිහා අපි කට්ටිය එතන ඉන්නවා දැකලා.. ගෙදර ඇවිත් වැඩිය නොකිව්වට හුගාක් දේවල් මිනිහා හිතාගන්නැති.."

"කවුද බං ඔය අලුගුත්තේරු වැඩේ කරපු එකා..?"

"මාත් මේ එළිවෙනකල් කල්පනා කලේ ඒකම තමයි.. අපේ අම්මට කෝල් එකක් දීලා කියන්නයි, උඹලගෙ ගෙදරට කතා කරන්නයි තරම් තද උණක් තිබ්බ එකා මොකාද..? ඒ කියන්නෙ සුරේන් අපි නොහිතුවට අපි ගැන සෙවිල්ලෙන් මොකෙක් හරි අපතයෙක් ඉන්නවා.. ඒක පැහැදිලියි.."

"මටත් එහෙම හිතෙනවා බන්ටි.. දැන් මේ සිද්ධියත් එක්ක අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙයි.."

"පරිස්සම් වෙන්න කිව්වේ.. ඇටකිච්චට ගහපු සීන් එකටද..?"

"ඔව්.. කෝකටත් බන්ටි ටිකක් මගෑරලා ඉන්න.. මං රවීන්ටත් ඊයෙ කිව්වා.. වැඩිය එළියට යන්නෙපා කියලා.."

"ඒවා ඉස්සරහට බලමුකෝ.. දැනට අපි සාමදාන වෙලා පාඩුවෙ ඉම්මු.. මොකද මේ දවස්වල මට ගෙදරින් ඇටෑක් කරනවා වැඩියි.. උඹ කියන්නෙ සුරේන්, කවදාක්වත් නැතුව බේබි නැන්දත් මට වෝනිං කරා.."

මං දිගටම කියවන් ගියත් සුරේන්ගෙ මූණෙ තිබ්බෙ බරම බර කල්පනාවක්.. කරවල කට්ටක් හරස් අතට ගිලපු පූසෙක් වගේ මූ අවුල්වෙලා ඉන්නෙ ඇයි..? කියන්න හිතන් ආපු සියලුම ප්‍රශ්න මේකා ආ වෙලාවෙ ඉදලම කියල ඉවර කරානේ.. 

"ඇයි උඹට තවත් කියන්න මොනව හරි තියෙනවද..?"

"ඔව් බන්ටි.. ඒත් ඒක වෙන්න බැරි දෙයක්.."

"වෙන්න බැරුව හරි, වෙන්න පුළුවන් හරි ප්‍රශ්නෙ මොකක්ද කියලා කියල ඉදපං.. ඊට පස්සෙ ලිහා ගන්න බලමු.. සමහර විට අදින ගැටේ හරි, සමනල ගැටේ හරි වගේ එකක් නම් ලේසිනේ බං.."

"බින්දු මට කතා කරා.."

"ඉතිං.."

ඕක නම් මොකක්ද..? බින්දුවා මටත් කතා කරේ.. කතා කරලා උගේ තුන් කුළුදුල් ආදරේ ගැන මගෙත් එක්ක කියෙව්වේ.. අම්මපා සුරේන් එක්කත් ඌ ඔය මලඉලව් ආදරේ ගැන කියවලද දන්නෑ..

"නිරෝෂි ඊයෙ නාවලපිටි ගිහින්නේ බන්ටි.."

"ඉතිං ඒකෙ අවුලක් නෑනේ.."

"නැතිවෙන්නෙ කොහොමද..? ඒකිගෙ තියෙන අමාරුවට ඒකි යාපනේ හරි යයි.. ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. නිරෝෂි නාවලපිටි ගියා නම් කවුද ඇටකිච්චත් එක්ක හිටියේ..?"

මුලදි මටත් පොට වැරදුනා වගේ මූත් අවුලක් නැතුව වරද්දගෙන.. ඇයි හත් දෙයියනේ.. එක ශරීරයක් එකම වෙලාවෙ කොහොමද දෙතැනක ඉන්නේ..

"මටත් බින්දු කතා කරා බං.. නිරෝෂි නාවලපිටි ගියේ උදේ.. ඒ ගිහින් පැය දෙකක් විතර බින්දු එක්ක ඉදලා හැරෙන තැපෑලෙන් ආපහු නුවර ඇවිත්.. ඒකිගෙ ප්ලෑන් එක තිබුණෙ හවස් වරුවෙ කොහොම හරි ඇටකිච්චව හම්බවෙන්න නේ.."

"නිරෝෂි, ඇටකිච්චව හම්බවුණ එක හරි බන්ටි.. ඒක අපි හැමෝම දැක්කනේ.. ඒත් අපි දැක්කෙ නෑනේ ඒකි බින්දුව හම්බවෙනවා.."

"උ.. උඹ කියන්න හදන්නේ..?"

"ඔව් බන්ටි.. උඹ හිතන දේ හරි.. මං කියන්නෙ බින්දු අපිට බොරුවක් කරන්නේ කියලා.. නිරෝෂි ඌට ආදරෙයි.. මෙච්චර ආදරෙයි, එහෙමත් නැත්නම් ඌ ගැන මාර විදියට හොයලා බලනවා.. ඔය වගේ බයිලා ගොඩක් බින්දු අපිට කියනවා.. අපිත් ඒවා කැත නැතුව ගිලිනවා.. ඇයි ඉතිං ගැන්සියෙ ඉන්න අහිංසකම කොල්ලනේ.."

"ඇයි ඉතිං ඌ අපිට බොරු කරන්නේ..? කවද හරි රැවටෙන්නෙ ඌනේ.. අනික අපට බොරු කරල ඌ ලබන ලාබෙ මොකක්ද..?"

"ලාබෙ තමයි ඌ නිරෝෂිව තෝරගත්තු එක ඉතාම නිවැරදියි කියලා අපිට කියන්න තියෙන හැකියාව.. අනික තමයි නිරෝෂි වගේ පොෂ් කෙල්ලෙක්ව හැන්ඩ්ල් කරන්නෙ මෙහෙමයි, අරහෙමයි කියලා අපි ඉස්සරහ කයිවාරු ගහන්න පුළුවන් එක.. ඕවයින් මේවයින් වෙන්නෙ ඌ අපි ඉස්සරහ පොරක් වෙන එකනේ.. ඌ ඒකට කැමති ඇති.."

"බින්දු අපිට ඒ වගේ මහ විසාල බොරුවක් කරයි කියලා මට හිතෙන්නෑ බං.. ඌ අපිට කවදාවත් බොයියක් දීලා නෑනේ.."

"අපේ පැත්තෙන් එහෙම හිතන එක සාධාරණයි.. අපි ඌ ගැන බොක්කෙන්මනේ හිතන්නේ.. ඒත් ඌ එහෙම හිතුවද කියනෙකයි ප්‍රශ්නේ.. අනික මං කීයටවත් හිතන්නෑ නිරෝෂි නාවලපිටි ගියා කියලා.."

"එහෙනම්..?"

"නිරෝෂිට පිස්සුද බං.. මුගේ ලෙඩ වෙච්ච පුංචි අම්මයි, මූයි වෙනුවෙන් පැය හයක් නාස්ති කරලා දාන්න.. අනික ඒකිගෙ ගෙදරින් කොහොමද බං ඒකි පනින්නේ.. ඩිංගක් හිතපං බන්ටි.. උඹලගෙ ගෙදරින් උඹ ගැන ඔය තරම් හොයනවා නම් පවුලෙ එකම දරුවා වෙච්චි නිරෝෂි ගැන කොහොම හොයනවා ඇතිද..? හොදයි ඒකි නාවලපිටි ගියාම කියමුකෝ.. ඊට පස්සෙ ඒකි හවස පේරාදෙණි ගාඩ්න් ගියානේ.. කෙල්ලෙකුට කොහොමද බන්ටි ඔය වගේ නිදහසක් ලැබෙන්නේ.. එහෙම නම් ඒකිගෙ දෙමව්පියො අලි පත මෝඩයො වෙන්න ඕන.."

සරිගමයා කියපු කතාවෙත් අති විශාල ඇත්තක් තිබුණා.. ඒත් මගේ හිත ඒ දේ විශ්වාස කරන්න කැමති වුණේ නෑ.. මට හිතුනෙම නිරෝෂි නාවලපිටි ගියා කියලා.. අනික බින්දු, නිරෝෂිගෙ ගමන ගැන කිව්ව විස්තරේ ලොකු අවංකකමක් මට දැනුණා.. ඒති නිරෝෂි නාවලපිටිගියා නම්, හවස පේරාදෙණිය ගඩ්න් එකේ ඉදපු එක නම් ටිකක් විතර හිතන්න ඕන දෙයක් කියලා සුරේන්ගෙ කතාවෙන් මට තෙරුණා..

"උඹේ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ සුරේන්.. එක්කො නිරෝෂි නාවලපිටියෙයි, පේරාදෙණි ගාඩ්න් එකටයි දෙකටම කොහොම හරි ආවා.. එහෙමත් නැත්තං ඒකි ගියේ නාවලපිටි විතරයි හරි පේරාදෙණි ගාඩ්න් එකට හරි විතරයි.."

"ඔය ක්‍රම තුනෙන් පළවෙනි විදිය ටිකක් හිතන්න අමාරුයි බන්ටි.. තැන් දෙකක අවස්ථා දෙකකදී වුණත් ඒකිට ඉන්න බෑ.. ඉන්න විදියක් නෑ.. ඒකිගෙ ගෙදරින් ඉඩක් නෑ.. මං ඉස්සේලත් කිව්වෙ ඒකයි.. උදේ නාවලපිටියෙයි, හවස ගාඩ්න් එකෙයි කියලා නිදහසක් නිරෝෂි වගේ කෙල්ලෙකුට ගන්න බෑ.. දෙවෙනි එක ඒකි නාවලපිටි ගියා කියන එක.. ඒ කතාව බින්දු විතරක් කියන හින්දා අපට ඒකත් අයින් කරන්න පුළුවන්.. එතකොට ඉතිරි වෙන එක තමයි හරි දේ.. ඒකි ගාඩ්න් එකේ ඉදපු එක.. අනිත් දේ තමයි බන්ටි මට හිතෙන විදියට නිරෝෂිගෙ ඩබල් ඇක්ටින් එක බින්දු දන්නවා.. ඒකෙන් අත් මිදෙන්න තමයි ඌ නාවලපිටි ගියේ.."

"උඹට පිස්සුද සුරේන්.. බින්දු මොකටද අපිට බොරු කියන්නේ..? නිරෝෂිගෙ මේ අවලම් වැඩේ ගැන මට හිතෙන විදියට ඌ ඩිංගක්වත් දන්නෑ.. දන්නවා නම් පුංචි අම්මට කොයි තරම් ආදරේ කරත් ඌ නුවර දුවගෙන එනවා.. ඇවිල්ලා ඉස්සෙල්ලම විස්තරේ අපට කියයි.."

"අනේ මංදා.. උඹටත් ලේසියෙන් දෙයක් පහදන්න බෑ.. උඹ කෙනෙක් ගැන තියන් ඉන්න විශ්වාසයක් මොනව විදියකින්වත් නැති කරගන්න කැමතිත් නෑ.."

"ඒක හරි සුරේන්.. බන්ටි එහෙම තමයි.. හැබැයි මං විශ්වාස කරන් ඉදපු එකා මගෙ විශ්වාසෙ කැඩුවොත් ආත්ම සීයක් ගියත් මං ඌට සමාවක් දෙන්නෑ.."

තවත් ටිකක් වෙලා අනන් මනන් කතා කර කර ඉදලා සුරේන් යන්න ගියා.. පව්.. හිත හොද එකා.. මොන විදියට තර්ක කර කර හිතුවත් සුරේන් කියන්නෙ දාහකින් හොයාගන්න බැරි හිත හොද යාලුවෙක් කියලා මං දැනන් හිටියා.. 




No comments:

Post a Comment