Thursday, April 19, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






          මිදුල මගේ මේ..
          නෑ මේ ඔබගේ..
          මිදුල නොවේ..
          ඉදහිට ඩිංගක්
          අතු ගෑ පමණින්
          ඔබගෙ මිදුල නොවේ..
          ඔබගෙ මිදුල නොවේ..

ටකරං වහලෙට ඇණ ටින් එකක් හැලෙනව වගේ ඒ මිහිරි වොයිස් එක එන්නෙ කොහෙන්ද බලන්න මං බැල්කනියෙන් එබුනා.. මෙන්න අපේ චමිල බඩා මිදුල අතුගාන ගමන් සින්දු කියනවා..


හිටපංකො.. මං උඹට පෙන්නන්නං මිදුල උඹේද මගේද කියල.. ආයෙ දෙපාරක් හිතුවෙ නෑ.. මං මගේ අතේ තිබුණ වතුර බාල්දිය චමිල දිහාට විසි කලා.. උගේ ඔළුවෙනුයි, කන් දෙකෙනුයි කළු පාටට වතුර වැක්කෙරෙද්දියි මට මතක් උනේ මං ගැහුවෙ ගේ හෝදපු ජරා වතුර කියල..

"යකෝ උඹට.. මං.. ෂික්.. තුහ්.. තුහ්.."

බඩා ඒලියන් බාසාවෙන් මොකක්දෝ හරුපයක් කියන්න හදනවා.. මං පටස් ගාලා කවර් උනා..

"හිරූ.. මොකක්ද බං මේ කරපු නොසන්ඩාල වැඩේ..?"

එන පොට හොද නෑ වගේ.. ඌ ගේ ඇතුළට එන්න කලින් මං එළියට ආවා..

"ආ..නේ.. මචං.. උඹ තෙමිලනේ.. වතුර එක හැලුනෙ උඹේ ඇගටද..?"

චමිල මොනව හරි කියන්න කලින් මං ඉස්සර උනා.. ඌ මගේ දිහා බැලුවෙ උස්සලා පොළොවෙ ගහන සයිස් එකකින්..

"සොරි කිව්වනේ බං ඉතිං.. බිම හෝදන්න පස්සෙන් පස්සට එද්දි කකුල වැදිලා වතුර එක පෙරලුනා.. කවුද හිතුවෙ උඹ යට ඉදී කියලා.."

ගේ පිහදාන්න ගෙනාපු පරණ තුවායක් උගේ අතට දෙන ගමන් මං කිව්වා.. ඌ මොනවද මංදා විදේශ බාසාවකින් මුමුණන ගමන් තුවාය ගත්තෙ උදුරලා වගේ..

"බේබි මොනව උනත් ඒ කරපු වැඩේ නං එච්චර හොද නෑ.."

මං ආපහු ගෙට යද්දි බණ්ඩයියා මගේ පස්සෙන් ඇවිත්.. මිනිහටත් මට වඩා පස්සෙ ආපු අග ලොකු වෙලා..

"මොන වැඩේ ද..?"

මම කිරි සප්පයා වගේ ඇස් දෙකත් ලොකු කරලා අහපු තාලෙට බණ්ඩයියා හිනාව හංගගත්තා.. මං දන්නවා බොරුවට කෑ ගැහුවට මෙයා මට ආදරෙයි කියලා..

"ඔය ඇදුම් ඇදගෙන අර දරුවා පාරෙ යන්නෙ කොහොමෙයි..?"

"හරි ඉතිං ඒකා බස් එකේ යනවයෑ.. මං එක්කනේ යන්නෙ.."

ඔය දෝස් මුරේ අහගෙන ඉන්න බැරි නිසා මං ගෙට රිංගගත්තා.. ඉක්මනට මේ වැඩ ටික ඉවර කරන්න ඕනෙ.. දැන් ඇගටත් හොද ගණන්..

මං පහල තට්ටුව අතුගාලා දූවිලි පිහලා හෝදන්න ලෑස්ති වෙද්දිම බඩා ඇතුලට ආවා.. ඌ මේ ටිකට නාවර පිහදගෙන පරණ ටී ෂර්ට් කබලකටත් මාරු වෙලා..

"ඇග වෙව්ලීම.. බඩයාම.. දෝ පාචනේ.."

පරණ තුවා කෑල්ලෙන් අත පය පිහදන ගමන් ඌ තනියම මුමුණනවා.. මගේ කුණු වතුර නාලා මිනිහගෙ පිස්සු තදවෙලාද කොහෙද.. නැත්තං මේ බඩයන සිංදු කියයිද.. 

"හිරූ අදට මේ ඇති බං.. දැන්නං මගේ මුළු සර්වාංගෙම රිදෙනවා.."

මූ සුපුරුදු අදෝනාව දාගෙන ඇවිත් දඩාං ගාලා පුටුවකට කඩන් වැටුණා.. මං කොයිකටත් කියල පහත් වෙලා බැලුවෙ පුටුවෙ තත්වෙ දැනගන්න.. අවුලක් නෑ.. තාම කිරි කිරි ගානව විතරයි..

"මොනවද බං, පහල තට්ටුවත් හෝදලා දාලා යං.. එතකොට ඉවරයි නෙ.."

"අපි දෙන්නා විතරක් නැහෙන්නෙ මොකටද..? අරූටත් ටිකක් ඉතුරු කරමු.."

දෙයක් පටන් ගන්න හැදුව විතරයි මුගේ පංගු පේරුව.. ඉතිං කොහොමත තව ඉස්සරහට මුං එක්ක ඉන්නෙ..

"බේබිලා දැන් ගෙදර යන්න.. මං මේ ටික අහවරක් කරල එන්නං.."

අපේ සද්දෙ වත්ත සුද්ද කර කර හිටපු බණ්ඩයියටත් ඇහිලා වගේ.. මනුස්සයා ඉතුරු වැඩ ටික බාර අරන් අපිව නිදහස් කරා..

"දැන් ඉතිං දෙයියනේ බුදුනේ කියලා යමං.. මට ගමකට කන්න බඩගිනියි.."

නාවර පෙරාගෙන බාගෙට තෙමුණු ඇදුම් පිටින්ම අපි දෙන්නා බයික් එකට නැග්ගා.. දැන් නං දෙන්නගෙම ඇදුම් වලින් චාලි සුවද වැක්කෙරෙනවා.. පුසුඹේ බෑ..

"බණ්ඩයියා.. ඔයාව ගන්න මං ආපහු එන්නද..?"

මං ගේ දිහා බලලා හයියෙක් කෑ ගැහුවා.. මිනිහා අපි හින්දා තනියම කටු කන එක හරි නෑනෙ..

"එපා බේබි.. මට බස් එකේ එතෑකි.."

"ආ මේ සල්ලි ගන්න.. බස් වල එන්න බෑනෙ ඔහොම.. ත්‍රීවිල් එකක එන්න.."

මනුස්සයා සල්ලි ගන්නෙ නෑ කියල දන්න නිසාම මං රුපියල් පන්සීයක් පුටුව උඩට විසි කරා.. දැන් ඉතිං කැපෙන්නයි තියෙන්නෙ..

මේ මස් කොත්තුවා පිටිපස්සෙ ඉදගත්තම බයික් එක අද්දන්නෙ අඩ අඩ.. ඌගෙ චූටි ඇග වැඩිය නෑ කිලෝ සීයක් විතර බර ඇති..

"හිරූ.. ඒ ගේ නම් මරු බං.. හරියට ආරණ්‍යකට ගියා වගේ.."

බයිසිකලේ පාරට දාද්දිම ඌ සතුට ප්‍රකාශ කලා.. ඒත් ඉතිං දාහක් කතන්දර අහල ඕක ගන්න මං දීපු ගේම මූ දන්නෑනෙ..

"ඕක ඉල්ලගන්න මං අපේ තාත්තට නොවදිනා වැදුම් වැන්දා.."

"පුදුමයි අන්කල් දෙන්න කැමති උනා.."

"නිකම්ම දුන්නා නෙමෙයි.. ඇග්‍රිමන්ට් එකක් සයින් කරවගෙන දුන්නෙ.."

"පිස්සු හැදෙනවනෙ බං.. උඹ ඔය අරින්නෙ නයෙක් නෙමෙයි නේද..?"

මේකා මේ වෙඩින් එකක් කතා කරනවා.. ඌට නයි ඇරියා කියලා මට ලැබෙන සෙතේ මොකක්ද..?

"ඇත්ත මචං ඇත්ත.. මං මේ කියන්නෙ අමූලික ඇත්ත.."

බඩා එක්ක කයිය දාගෙන එද්දි තප්ප දෝරු සයිස් කෙල්ලෙක් එක පාරටම පාරට පැන්නෙ නැතෑ.. මාත් ඉතිං වැඩ දන්න නිසා එහෙට මෙහෙට කපලා යාන්තං බේරුණා.. තව පොඩ්ඩෙන් බඩුම තමයි.. 

"බලහංකො කැත නැතුව බැනපු හැටි.. තව පොඩ්ඩෙන් අපි දෙන්නට සදා සොත්ති භවන්තුතේ වෙනවා.."

ඒකිගෙ ඇගේ වැදුනනං අපි දෙන්නට නෙමෙයි ලොතරැයිය ඇදෙන්නෙ මගේ මේ අහිංසක බයිසිකලේට.. මං කොයි එකටත් කියලා බයිසිකලේ පාර අයිනට කරල නතර කලා.. හප්පට සිරි මට සයිඩ් කණ්නාඩියෙන් පේනවා අර කෙල්ලත් ලතා වගේ පැද්දි පැද්දි අපි ළගට එනවා.. යකෝ වරැද්ද කරලත් තව බය නැතුව ළගටම එන හැටි විතරක්.. වලියකට ද කියන්න බෑනෙ.. මං අපේ චමිල බඩා හෙවත් චමිලයා එක්ක බයිසිකලෙන් බැස්සා.. ඒකි අමුතු මෝංගල් පාට හිනාවක් දාගෙන ආවෙ මටද බඩාටද දන්නෑ..

"අනේ සොරි.. හොදේ.. මගෙන් පොඩි මිස්ටේක් එකක් උනේ.."

මොකක්ද බොලේ මේ හරුපෙ..? බයිසිකලේ එළවගෙන ආවෙ මං.. අමාරුවෙන් හැප්පෙන්න නොදී බේර ගත්තෙ මං.. මේ කෙල්ල සොරි කිව්වෙ මට නෙමෙයි බඩාට.. ඌ නං දෙයියනේ කියල ලාමක ටිං ටිං හිනාවක් දාලා ජීවිතේ පළවෙනි පාරට ගෑණු පරාණයක් දැක්ක වගේ කැත නැතුව ඒ ඩෝසරේ දිහා බලන් ඉන්නවා..

"ඔච්චර නපුරු විදියට බලන්නෙපා මෙයා.. ඉතිං මම සොරි කිව්වනේ.."

මගේ ඇගට ලාවට තට්ටුවකුත් දාලා ඒක කියපු තාලෙට මගේ ඇගේ මයිල් සේරම ඉස්මයිල් උනා.. එහෙම නොවුනනං තමා පුදුමෙ.. කෙල්ල තට්ටුව දැම්මෙ මට උනාට බලන් හිටියෙ බඩා දිහා.. මං කොයි එකටත් ඇස් කන් සේරම හායි ගාලා ඇරලා දාලා ඒ මූණට එබුණා.. තේරුණේ.. දැන් තමයි.. මෙයා මේ බොම්බෙ ලුකින් කල්කටා ඩයල් එකක්නෙ.. තේරෙන බාසාවෙන් කියනව නං කෙල්ල වපරයි.. එහෙනං අර කලින් කිව්ව ටික කියන්න ඇත්තෙ මට වෙන්නැති..

"සොරිය බලාගන්න තිබුනා හැප්පුනා නං.."

කෙල්ල මෙච්චර වෙලා බලන් හිටියෙ ඌ දිහා නෙමෙයි කියලා තේරුණ නිසාද මන්දා බඩාට ඩෝං ගිහින්..

"මම පිළිගන්නව ඒක මගේ මිස්ටේක් එකක් කියලා.."

"ඔයාගෙ මිස්ටේක් එක නිසා තව පොඩ්ඩෙන් අපි සේරම බිස්ටේක් වෙනවා.."

මං පොඩ්ඩක් වීර පුරන් අප්පු චරිතෙකට පණ පොවන්න උත්සාහ කලා.. බඩත් මට ඇහැක් ගහලා චියර් පාර දුන්නෙ වැඩේ තව ටිකක් ඉස්සරහට ගෙනියන්න කියලා..

"අපි මේ උදේ ඉදල ෆුල් සමාජ සේවා පාරක් දීලා දිව කට ගිලිලා ගෙදර යනවා.. ඒ අස්සෙ ඔයා මේ.."

මට ඉතුරු ටික කියාගන්න උනේ නෑ.. කෙල්ල මැද්දට පැන්නා..

"අනේ ඉතිං ඔයාලට තිබහ නං අපි මොනව හරි බොන ගමන් කතා කරමුකො.."

අපිට මේ නාදුනන ස්ත්‍රී පරාණයක් එක්ක මොන කතාද..? ඒත් වැඩේ කියන්නෙ අර මැද හරියෙ කියවෙච්ච වචන දෙක තුන නිසා ඒ වාක්‍ය්‍ය නොසලකා අරින්න විදියක් නෑ..

"ඔය තරම්ම කියනව නම් යමුකො.. ඉතිං.."

දැන් වහීද කියලා දැනගන්න උඩ බලනව වගේ ගානකට නැතුව උඩ බලාගෙන චමිලය කිව්වා.. ඌටත් හිතිලා තියෙන්නෙ මට හිතුන දේමද කොහෙද..

"එහෙනං අපි අර පේස්ට්‍රි ෂොප් එකට යමු.."

ළගම තිබුණු කඩයක් පෙන්නලා කෙල්ල කියද්දි මට ඇදන් හිටපු ඇදුම දිහා ආපහු බැලුණා.. නගර සභාවෙ වැඩට ගිහින් වගේ මේ නාවර කිට ගහගෙන කඩයක් ඇතුළට රිංගන්න පුළුවන්යෑ..

"මචං හිරූ.. මගේ නං සන්තකේටම තියෙන්නෙ අර ගේ අස් කරද්දි අහුලගත්තු සත පනහෙ කාසි දෙකක් විතරයි.."

පේස්ට්‍රි ෂොප් එකේ බෝඩ් එක දිහා බලලා චමිලයා හෙමීට කෙදිරි ගෑවා..

"අපි මොකටද සල්ලි වියදං කරන්නෙ..? අපිට ඉන්වයිට් කලේ එයානේ.. ඉතිං එයාම ගෙවයි.."

උගේ අතින් ඇදගෙන මං කෙල්ලගෙ පස්සෙන් කඩේට ගියා.. කෙල්ල කෙලින්ම කවුන්ටරේ ළගට යද්දි මං චමිල එක්ක කොනේම මේසෙන් ඉදගත්තා.. මොකද ඉතිං වැඩිය සෙනග ඉන්න හරියක ඉදගත්තොත් කකා ඉන්න මිනිස්සුන්ට අපිව දැකලා ඔක්කාරෙට එන්න පුළුවන්නෙ..

"ඇග කැත උනාට ඒකිගෙ හිත ලස්සනයි නේද හිරූ..?"

"හිත නෙමෙයි චමී ඒකිගෙ පර්ස් එක ලස්සන ඇති.. ඒකනේ ඔය දාන පාරමිතා පුරන්නෙ.."

"ඒකනං ඇත්ත.. මොනර රැගුම්, සීගිරි බිතු සිතුවම් සේරම පර්ස් එකේ ඇති.. ආස හිතෙනව අප්පා.."

කෙල්ල අපි දිහාට උස්සගෙන ආපු ප්ලේට් එක දැකල චමිලයට කතා කර කර හිටපු වචන ටික ඉස්පොල්ලෙ ගියාද කොහෙද..? ඒකෙ රෝල්ස්, කට්ලට්, පැටිස්, හෝග් ඩෝග්ස් කට කපල එකයි..

"මේ.. මේ.. නංගි මේ සේරම අපිටද..?"

බන්ටි ටික දැක්ක විතරයි මූ මේ ඩෝසරේට නංගි ලු.. 

"ඔව් අයියා, ඔයාලා කන්න.. මං ඩ්‍රින්ක්ස් අරන් එන්නම්.."

කෙල්ලත් හැරෙන තැපෑලෙන් සහෝදරත්වය ප්‍රකාශ කරලා ආපහු කවුන්ටරේ පැත්තට ගියා.. ඒ පාර ජින්ජර් බියර් තුනක් උස්සන් එනවා.. එයා හිතුවද දන්නෑ අපි ඊ.ජී.බී නැතුව කෑම එපා කියයි කියලා.. මොන පිස්සුද ඊ.ජී.බී තිබුණත් නැතත් අපි කනවා..

"ඉත්..තිං.. ඔයාලා මේ කොහේ ගිහින් එන ගමන්ද..? මොකක්ද අර කියපු සමාජ සේවා වැඩේ..?"

"ආ.. ඒකද..? අපි මේ යාළුවෙක්ගෙ ෂොප් එකක් අස් කරන්න ගිහින් එන ගමන්.."

චමිලයා මොකක්දෝ මන්දා කියන්න කට අරිද්දිම මං ඉස්සර උනා.. නැත්තං මූ පුදපු ගමන් කාපි යකා වගේ අපේ රහස එළිකනවා..

"ඇයි අනේ.. ෂොප් එකට මොනා වෙලාද..? හොරු කඩලද..?"

"හොරු කැඩුවා නං බැරියා.. මේක ඊට වඩා සීරියස් කේස් එකක්.."

මගේ කතාවට බය වෙච්ච පාර කෙල්ල හොග් ඩෝග් බනිස් දෙකක්ම කටවල් දෙකට ගිලල දැම්මෙ නයගරා ඇල්ලෙන් පහළට වතුර ගලාගෙන හැලෙන තරම් වේගෙන්..

"අපේ යාළුවගෙ ෂොප් එකට අල්ලපු බිල්ඩින් එකට ආපු කස්ටමර් කෙනෙක් මේකට රිංගලා කඩේ බඩු ටික පොඩි කරලා.. ඒකෙ තිබුණ වීදුරු බාගයක්ම ඉවරයි.."

මගේ ටොම් පචේට චමිලට කකා හිටපු පැටිස් එකත් හිරවෙලාද මන්දා කැස්සකුත් ඇවිත්..

"ඉතිං එයාව පොලීසියට අල්ලලා දෙන්න එපැයි.. එහෙම අනුන්ගෙ බඩු කඩන්න එයාට තියෙන අයිතිය මොකක්ද..?"

ෆුල් සීරියස් පිට කතාව අහගෙන හිටපු කෙල්ලට තද වෙලාද කොහෙද..? මට නං දැන් හිනා යන්නත් එනවා.. ඒත් ඉතිං අනාගත නළුවෙක් විදියට හිනා වෙලා මේ සීන් එක කට් කරගන්න ඕනෙ නෑනෙ..

"ඇත්තටම කවුද ඒ කස්ටමර්..? අල්ලපු බිල්ඩින් එකේ තියන ෂොප් එක මොකක්ද..?"

කලින් ප්‍රශ්නෙට මගෙන් කිසි ප්‍රතිචාරයක් නැති නිසා කෙල්ල වැදගත් ප්‍රශ්න දෙකක් යොමු කලා.. මෙතන ඉදන් කතන්දර ආතාගෙ චරිතෙ විතරක් ඇක්ට් කලොත් මගේ බඩට හුළං තමයි.. මම කොයි එකටත් පේස්ට්‍රියත් කාලම ඒකට උත්තර දුන්නා..

"උන්ගෙ අල්ලපු බිල්ඩින් එකේ තියෙන්නෙ ඇනිමල් ක්ලීනික් එකක්.. ඉන්ජක්ෂන් විදින්න ගෙනාපු පිස්සු බල්ලෙක් තමයි ඒ ෂොප් එකට රිංගලා තියෙන්නෙ.."

මගේ කතාවට කෙල්ලට හිචිස් ගාලා ටිකිරි හිනාවක් පිට උනා.. මං තව බනිසක් කාලා ඊ.ජී.බී එක අතට ගත්තෙ ගෙදර යන්නත් වෙලාව හරි නිසා..

"ඔයාලා දෙන්නගෙ නම් මොනාද කියලා කියන්නකො.. මගේ නම නයෝමි.."

බලන් යද්දි මේකි හෙන ෆෝවර්ඩ් කැරැක්ටර් එකක්නෙ.. කොල්ලො වෙච්ච අපි අහන්න ඕන දේවල් කෙල්ලෙක් වෙලා මෙයා අහනවා..

"මම අමිල.. මෙයා හිරූ.."

මං නයෝමිට තව නයෙක් අරින්න හදද්දිම අමිලයා ඇත්ත කිව්වා..

"ඉතිං නයෝමි ඔයාගෙ නම කිව්ව වගේම වයසත් කියන්නකො.."

ටිකකට කලින් අපි දෙන්නට කට පුරෝල අයියෙ කියපු නිසා මං නිකමට වගේ ඇහුවා.. වයස කීය උනත් එයා අපිට වඩා වැඩිමල් කියලා නම් මට ෂුවර්..

"මට.. මට.. විසි පහයි.. එතකොට ඔයාලට..?"

මං කිව්වෙ නැද්ද.. මේ සදාදර නයෝ අපිට වඩා අවුරුදු පහක්ම වැඩිමල්..

"අපිට විසි හයයි.."

මටත් කලින්ම අමිලයා ඒක කියද්දි කෙල්ල අපි දෙන්නගෙන් කාගෙ දිහාද මන්දා බලලා පැණි හිනාවක් දැම්මා..

"ඒක තමයි.. මට හිතුණා මං බාලයි කියලා.."

අනේ ඒකිගෙ සිරික්කිය.. අපිට  ඔහොම කිව්වට මොකෝ උප්පැන්නෙ තියෙන වයස ඕකටත් වඩා අවුරුදු දෙක තුනක් වැඩි ඇති..

"ඔයා ජොබ් එකක් කරනවද නයෝමි..?"

අපිට කන්න අරන් දීපු නම්බුවටවත් නම කියලා වැදගත් විදියට කතා කරන්න ඕනනෙ.. ඒක නිසා මං එහෙම ඇහුවා..

"නෑ අයියා.. මං කැමති නිලියක් වෙන්න.."

ඒ කතාවට මට උණ්ඩුකපුච්ඡෙනුත් හිනා යන්න ආවට මම බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා.. 

"ඔයාල දෙන්නා කොහෙද ජොබ් කරන්නෙ..?"

බැංකු පනහක විතර නම් මගේ කටට ගලාගෙන ආවත් මං දුන්නෙ වෙනම උත්තරයක්..

"අපි දෙන්නද..? අපි මේ එළිෆන්ට් හවුස් එකේ වැඩ කරන්නෙ.."

මං කියද්දි කෙල්ලගෙ ඇස් දෙක ලොකු උනා..

"ඒකෙ අයිස්ක්‍රීම් හදනවද..?"

"නෑ අනේ.. අලියන්ට ජංගි මහනවා.."

ඒ පාරනං කෙල්ලට ගිය හිනාවට බනිසෙ තිබ්බ සොසේජස් නහයෙන් ආවද කොහෙද..

"ඒත් ළගදිම ඒකත් නැතිවෙන පාටක් තියෙන්නෙ.."

"ඇයි ඒ..?"

"උන් හැම වෙලාවෙම තෙමාගන්න නිසා දැන් ඒ වෙනුවට පැම්පස් අදින්න තීරණය කරලා.."

හිනාවෙන අතරෙ ප්ලේට් එකේ තිබුණ අන්තිම රෝල්ස් එකත් අතට අරන් කෙල්ල මගේ පැත්තට පුටුව ඇදගත්තා..

"ඔයාලා හරි ජොලි මෙයා.. ඔයාලා එක්ක කතා කරද්දි වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.."

"අනේ නයෝමි.. අපිට නං වෙලාව යනවා හොදට දැනෙනවා.. අපි දැන් යන්න ඕනෙ.. ඔයා යන ගමන් හන්දියෙ ඔරලෝසු කඩෙන් ඔය වොච් එකට අලුතෙන් බැටරියක් දාගන්න.. එතකොට වෙලාව යයි.."

තල් ඉත්තට ඉක්කා වැටෙනව වගේ දඩි බිඩි ගාලා කියෝගෙන ගිය චමිලයා මාවත් ඇදගෙන ෂොප් එකෙන් එළියට ආවා.. අඩුගානෙ මනුස්සකටම කන්න බොන්න දීපුවට ස්තුති කරන්නවත් මට වෙලාවක් තිබුණෙ නෑ..

"යකෝ අපිට කලින් බණ්ඩයියා ගෙදර ගියොත් එහෙම උඹලගෙ තාත්තා අපි දැන්මම ඩිස්චාර්ජ් කරයි.."

චමිලයා කියද්දි තමයි මට ඒ සීන් එක මීටරේට ආවෙ.. බණ්ඩයියට කලින් ගෙදර යන්න ඕන නිසා මං චමිලයවත් දාගෙන විදුලි වේගෙන් ඉගිල්ලිලා ගියා..

[පහල පුංචි දෙයක් ලියලා ඇති. ඒකත් කියවලම යන්න.]





මේ බ්ලොග් එකේ කතා කියවන අයට පුංචි දෙයක් කියන්න තියෙනවා.. ඔයාලා දන්නව ඇති අපි කලින් කතාවක කොටසින් කොටසට ඒකෙ කවරය වෙනස් කලා.. ඒත් අපි අද ඉදන් පොඩ්ඩක් ඒක වෙනස් කරන්න තීරයණය කලා.. අද ඉදන් එක කතාවක මුල් කොටසෙ සිට අවසාන කොටස දක්වාම එක කවරයම තියන්න තීරණය කලා.. උදාහරණයක් ලෙස ගත්තොත් මේ කතාවට දාලා තියෙන කවරයම තමයි මේ කතාවෙ අවසානය දක්වාම තියෙන්නෙ.. අපි මේක කියන්න හිතුවෙ ගොඩක් අය සින්ඩි වලට ගිහිල්ලා තමා අලුත් බ්ලොග් පොස්ට් බලන්නෙ.. එකම කවරය දාන නිසා ඒකෙ එතකොට පෙන්නන්නෙ මේ කවරයම විතරයි.. ඔයාල එතකොට හිතන්න පුළුවන් අපි කතාවෙ අලුතින් කොටසක් එකතු කරල නැහැ කියලා.. මේක කියන්න හිතුවෙ ඔයාලට එකම කවරය දැක්කොත් පටලැවෙන නිසා.. කොහොම උනත් හැමදාම වගේ කවරයට යටින් අපි කතාවෙ කොටස දාලා තියෙනවා.. ඒකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.. කියපු දේ කාට හරි පැහැදිලි නැත්නම් ප්‍රතිචාරයකින් අහන්න.. අනිත් දේ තමා අපි ඔයාලට ඉක්මනටම කතාව දෙන්න ඕන නිසා ටිකක් කලබලෙන් ටයිප් කරන්නෙ.. අපිට ආයෙම කියවලා බලන්න වෙලාවක් නැහැ මේකෙ අකුරු නිවැරදිද නැද්ද කියලා.. ඒක නිසා සමහර වෙලාවට වචන වල පොඩි වැරදීම් සිද්ධ වෙනවා ඇති.. ඒකට සමාව ඉල්ලනවා.. මොකද ලියලා වැරදි පරික්ෂා කරන්නත් ගියොත් ඔයාලට කතාව ඉක්මනට දෙන්න අමාරුවෙනවා..

ඒ වගේම බොහොම ස්තුතියි පුංචි හරි වෙලාවක් වෙන් කරගෙන මේ බ්ලොග් එකේ කතා කියවන හැමෝටම.. අපි මේ බ්ලොග් එක කරන්නෙ කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. මේකෙ කිසිම ඇඩ් එකක් දාලා නැහැ.. ඒක ඔයාලට පේනවා ඇති. අපි දන්නවා ගොඩක් අයට කතා පොතක් අරගෙන කියවන්න වෙලාව නැහැ කියලා.. ගොඩක් අය රැකියා හෝ අධ්‍යාපන කටයුතු වල නිරතවෙන නිසාවෙන්.. අන්න ඒකයි තීරණය කලේ ඔබේ පහසුව සදහා මේ වගේ බ්ලොග් එකක් කරන්න.. හැමෝටම ජය..! ඉදිරියටත් කතන්දර පොත බ්ලොගය සමග රැදී සිටින්න කියල ඉල්ලාසිටිනවා.. 

පුළුවන් නම් කියවලා ඉවරවෙලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා (කරදරයක් නැත්නම්) මොකද ඒක පණ දාගෙන ටයිප් කරන අපිට ලොකු ශක්තියක්..

 ස්තුතියි..!

3 comments:

  1. atththamai oyala nam karanne marama sevayak,mata nam hithat marama sahutak danenne

    ReplyDelete
  2. හරිම ලස්සනයී.මං ඔයාගේ හැම පොතක්ම වගේ කියවලා තියෙනවා හරිම තාත්විකයි.

    ReplyDelete