Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |




අපි පෙරහැර බලන්න තියෙන නිසා ඉක්මනට ගෙදර ඇවිත් බණ්ඩයියත් එක්ක ඉක්මනට උයන්න ගත්තා.. වෙනදට නං වැඩිපුරම බණ්ඩයියා උයන්නෙ තනියම.. ඒත් අද එයාටත් පෙරහැර බලන්න ඕන වෙලා..

මචං මේ ලූණු ටික සුද්ද කරලා දීපංකො..


මං පොල් ගාන ගමන් ලූණු වට්ටිය චමිලගෙ දිහාට තල්ලු කලා.. ඌ ලූණු ගෙඩි වල උඩයි යටයි පිහියෙන් කපලා අතේ පුංචිම ඇගිල්ලෙන් ලූණු ගෙඩිය කොනිත්තනවා..

මොකක්ද බං ඔය කරන්නෙ..?

ලූණු ගෙඩියෙ පොතු අරිනවා..

ඉතිං ඔය ඇගිල්ලෙන්..

මේකෙ විතරනේ බං නියපොත්තක් තියෙන්නෙ..

ඌ මුළු අතම දිග ඇරලා පෙන්නුවා.. කතාව ඇත්තනෙ.. අනිත් ඇගිලි සේරමගෙම නියපොතු ටික ගෙවෙන්නම කාලා.. ඒත් පුංචි ඇගිල්ලෙ විතරක් තරමක් දිගට නියපොත්ත වවලා..

මොකද ඒක විතරක් නොකා තියෙන්නෙ..?

ඇයි බං.. හදිස්සියකට කන්න ඕනෙ උනා.. ඉතිං ඒකට නියපොත්තක්වත් තියෙන්න එපැයි..

මූ මේ නියපොත්ත තියන් ඉන්නෙ එහෙ මෙහෙ කසන්න.. වැඩේ කියන්නෙ මූ ඒකෙන් කොහෙ කොහේ කසනවද දන්නෙ නෑ.. ඈ..ක්කා.. මීට වඩා හොදයි ලූණු ටිකත් අපිම සුද්ධ කර ගත්තනං..

බේබි.. ලෙට්ටකොච්චි වගයක් ඇති.. හදලා ගන්නද..?

ඒ කතාවට ලූණු සුද්ද කර කර හිටපු බඩා කලබල උනා..

අපෝ.. බණ්ඩයියෙ මගේ කටේ තුවාලත් ඇවිත්.. කෝච්චි නං හදන්න එපා.. දැවිල්ල කන්න බෑ..

මේ රටහරකා ලෙට්ටකොච්චි අදුරන්නෙ නෑ.. ඌ  හිතන් ඉන්නෙ ඒකත් කොච්චි මිරිස් ජාතියක් කියලා.. බණ්ඩයියත් හිනාවෙලා ලෙට්ටකොච්චි ටික ෆිජ් එකෙන් එළියට ගත්තම චමිල පුදුම උනා..

කවුද බං දන්නෙ මේ කොට්ටං කොලයක් වගේ ජාතියකට කොච්චි කියනවා කියලා..

ඔය ඇති බණ්ඩයියෙ.. තව ජාති හැදුවොත් පෙරහැර බලන්න පරක්කු වෙනවා..

වෑංජය දෙකක් විතර හදලා අපි කුස්සියෙ ජරමරේ ඉවර කරලා දැම්මා.. දැන් ගිලලා යන එකයි තියෙන්නෙ..

ඇදගෙන කරගෙන පාරට බැහැපු අපිට බගදි මතීෂලව සෙට් උනා.. උන් දෙන්නත් දැන් අපිත් එක්ක ෆුල් ෆිට්.. ඕන ගමනක් යන්න කියන පරක්කුව විතරයි..

අපරාදෙ බේබි මේ පයින් ගාටන්නෙ.. ලොකු මහත්තයා වෑන් එක ඕනෙද කියලත් ඇහුවා..

පිස්සුද බණ්ඩයියෙ.. ගෑණු ළමයි වගේ වෑන්වල ගිහින් පෙරහැර බලන සිරිතක් තියෙනවද..? මෙහෙම යද්දිනෙ ගති..

බේබිලට නං කාරි නෑ.. ඒත් මොකක් හරි උනාම ලොකු මහත්තයා ගොඩ වෙන්නෙ මගේ කරට..

මෙයාගෙ කරට ගොඩ වෙලා උප්පු යන්නයෑ.. බණ්ඩයියටත් වෙලාවකට පිස්සු..

මචං හිරූ.. මට උඹලගෙ මේ බණ්ඩයියව දැකලා පුරුදුයි වගේ..

ගොඩක් වෙලා කල්පනා කර කර ආපු තාරුක එහෙම කියද්දි මාව උඩ ගියා.. ඇත්තනේ.. එදා ෂූටින් බලන්න ගිය දවසෙ බණ්ඩයියා අපේ තාත්තත් එක්ක ඉන්නවා තරුකලා දකින්න ඇති.. දැන් ඉතිං ගම කනවා..

ඔය කොහෙදි හරි උඹලා දකින්න ඇති.. මෙයා හිටපු ගමන් පොට් මාරු කරනවා.. වෙලාවකට යුරේනස් ළගට.. වෙලාවකට නෙප්චූන් ළග..

ප්ලූටොගෙ නෙප්චූන් කතාව අහලා මතීෂයි, තාරුකයි ෆුල් චූන් වෙලා.. උන් දෙන්නා ඒ පාර ප්ලූටොගෙන් සෞරග්‍රහ මණ්ඩලේ විස්තර අහන්වා..

ප්ලූටොට උප ග්‍රහයෙක් නැද්ද..?

ඔය අහන්නෙ හදක් නැද්ද කියලනේ..? ඉන්නවා.. ඉන්නවා.. චාරෝන් කියලා එකෙක් ඉන්නවා.. හැබැයි උගෙ හාවෙක් නෑ..

තාරුයි, මතීෂයි මුගෙන් ප්ලූටො ගැන අහන්න ගියොත් මූ ප්ලූටොට ගොඩබැහැපු පළමු මිනිස් ජීවියා වගේ එළිවෙනකල් නයි අරියි.. මූට ප්ලූටො හොයාගත්ත අවුරුද්ද මතක තිබුණට අම්මගෙ උපන්දිනේවත් මතක නෑ.. දවසක් ඉස්කෝලෙ ෆෝම් එකක් පුරවන්න ටීචර් අම්මගෙ උපන්දිනේ අහද්දි මූ කිව්වා තාත්තගෙන් අහලා කියන්නම් කියලා..

පුදුම සෙනගක්නෙ බං ඉන්නෙ.. මේ හරියෙ ඉදලා බලන එක ලේසි නෑ..

චමිලයා හතර වටේට ඇන්ටනාව දාලා කියපු කතාව ඇත්ත.. සෙනග පිරිලා හිටියා විතරක් නෙමෙයි.. වැඩිපුරම ඇවිත් හිටියෙ සුද්දො.. සුද්දො කිව්වෙ මේ මාළු ලෑල්ලෙ ඉන්න සුද්දො නෙමෙයි.. විදේශිකයො..

අපි මේක බලන්න ආවට මේක නාට්‍ය වලට අදාල වෙනවද හිරූ..

මෙච්චර පෙරුම් පුරලා හිර වෙලා මෙතනට ආවට පස්සෙයි තාරුට ඕක මතක් වෙලා තියෙන්නෙ.. අදාලා නොවුණා කියලා මොකෝ ආපහු හැරිලා යන්නයෑ..

අන්න අර හරියෙ ටිකක් සෙනග අඩුයි වගේ.. තාප්පෙකුත් තියෙනවා.. යමං..

පෙරහැර යන පාර දිගේ ගොඩක් දුර ඇවිදගෙන ගිහින් අපි සෙනග අඩු හරියකට සෙට් උනා.. තාප්පෙත් ටිකක් උස නිසා ඒකට නැගගත්තා නං නිදහසේ බලන්න පුළුවන්..

හිරූ.. උඹ උසයිනේ.. නැගලා බලපං තැන හොදයිද කියලා.. වීදුරු කටු.. යකඩ දැල්.. එහෙම ගහලා නෑ නේද..?

අම්මේ ඔව්.. හොදට බලපං.. පස්ස හිල් උනොත් එහෙම වැසිකිලි ගියාම දෙතුන් පොලකින්ම යයි..

අපේ කට්ටිය විවිධ අදහස් ප්‍රකාශ කරන අතරෙ මං තාප්පෙට ගොඩ උනා.. ඔය කියන විදියෙ අතුරු ආබාධ මුකුත් නෑ.. තාත්පෙ ෆුල් ක්ලීන්.. අපි එකා දෙන්නා අමාරුවෙන් නැග ගත්තට චමිලයවයි, බණ්ඩයියවයි උඩට ගන්න ලේසි නෑ.. චමිලව උඩට අදින්න ගිහින් තාප්පෙ උඩ නැගලා හිටපු මතීෂයා බිමට වැටුණා.. බැරිම තැන අපි කට්ටියම බිමට බැහැලා ඒ දෙන්නව නග්ගලා හිටියා.. නැත්තං පෙරහැර ඉවර වෙනකල්ම බඩාව උඩට අදින්න වෙනවා..

බේබි පරිස්සමට අල්ලගන්න ඕං..

බණ්ඩයියා තාප්පෙ උඩ ඉදගෙනත් වෝනිං දෙනවා.. මේ මනුස්සයා ඇවිත් තියෙන්නෙ පෙරහැර බලන්න නෙමෙයි.. මාව පරිස්සර කරන්නද කොහෙද..?

මේ වගේ හයේ හතරෙ අලියෙක්ට මොකද බණ්ඩයියෙ බේබි කියන්නෙ..? එතකොට බේබිලට කියන්න දෙයක් නැතිවෙනවනේ..

මතීෂටයි තාරුටයි මේ බණ්ඩයියා ගැන මාර කුතුහලයක් තියෙන්නෙ..

ඉතිං මං මේ පුංචි කාලෙ ඉදලා හදපු දරුවා නොවෑ..

ඒ පාර තාරු ආපහු කල්පනා කරන්න පටන් ගත්තා.. මට පේන්නෙ වැඩේ වන වෙනව වගේ..

ඔන්න පෙරහැර එනවා..

කස පුපුරණ සද්දෙ ළග ළගම ඇහෙද්දි තාරුලගෙ ප්‍රශ්න ඇහිල්ලත් නතර උනා විතරක් නෙමෙයි එහෙ මෙහෙ රංචු ගැහි ගැහි හිටපු සෙනග සේරම මුළු සංචේන්ද්‍රියම පාරට දික් කරගත්තා.. මේක නං කොච්චර බැලුවත් එපා වෙන පෙරහැරක් නෙමෙයි.. ඒ තරං ලස්සනයි..

කොයි තරම් නැටුම්, විශේෂාංග තිබුණත් මං බලන්න ආසම උනේ අලින්ව, සමහර අලි පැටව් ආවෙ තාලෙට නට නට.. සද්දත්න ඇගක් තිබුණ ලොකු අලියෙක් ඈත ඉදලම ආවෙ මාර දැගලිල්ලකින්.. මට නං ඌ ආපු විදිය වැඩිය දිරෙව්වෙ නෑ.. ඌ ටික ටික කිට්ටු වෙද්දි පාර අයිනටම වෙලා හිටපු මිනිස්සු පිටිපස්සට උනා.. ඒත් අපි තාත්තෙ උඩ නිසා හෙල්ලෙන්න විදියක් නෑ..

හිරූ හයියෙන් තාප්පෙ අල්ලගනිං..

ප්ලූටොට ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ ඒ අලියා උගේ දිග හොඩ චමිලයගෙ දිහාට දික් කලා.. මං දැක්කෙ මගේ ළගින් කකුල් දෙකක් උඩ යනවා විතරයි.. උනේ මොකක්ද කියලා තේරුණේ පස්සෙ.. අලියගෙ හොඩවැල දැක්කා විතරයි අපේ අලියා බයවෙලා උඩ කරණමක් ගහලා.. ඌ පිටිපස්සෙ තිබුණ වත්ත ඇතුළට පෙරලිලා වැටිලා..

යකෝ.. මගේ කොන්ද..

ඌ ඒ කොහෙ ඉදන්ද බං කෑගහන්නෙ..? මොකද උනෙ..?

මතීෂලා කොච්චර අවධානයෙන් පෙරහැර බලලද කියනවනං බඩා වැටෙනවා දැකලවත් නෑ.. දැන් ඉතිං බල්ලෙක් ඇවිත් මූට භක්ෂණය කරන්න කලින් උඩට ඇදලා ගන්න වෙනවා..

ඉක්මනට මාව ගනිං බං.. මේක අදුරු ගුහාවක් වගේ..

බඩාගෙ කරච්චලෙන් බේරෙන්න බැරි තැන මමත් ඒ වත්ත ඇතුළට පැන්නා.. නැත්තං මූව උඩට තල්ලු කරන්න කවුරුවත් නෑනෙ..

මෙහෙ බල්ලො නෑ වගේ.. පුදුමයි..

කිව්වත් වගේ බල්ලො නැතුව ඇති තමා.. නැත්තං මෙලහකට ඌගේ, ඌරු මස් වල රස බලලා.. විනාඩි දෙක තුනක ගේමක් දීලා අපි ආපහු තාප්පෙට නැගගත්තා..

දැන් ඉවර වෙන්න ළග ඇති නේද..? අපි යමු බං.. මගේ කොන්ද නෑ වගේ..

මූට කොන්දක් නෑ කියලා අපි දන්නෙ අද ඊයෙයෑ.. චමිල කොච්චර ගෙදරිගෑවත් අපි කට්ටිය බිමට බැස්සෙ පෙරහැර ඉවර උනාට පස්සෙ.. මූ නිසා මේ තරම් වටින පෙරහැරක් නොබලා ඉන්න පුළුවන්යෑ..

මේ වෙලාවට නං බස් නැති වෙයි.. සෙනගත් ඉන්නවනේ.. අපි පයින් යමු..

පාර පුරාම ඉන්න ලස්සන කෙල්ලො දිහා බල බල ප්ලූටො මරු යෝජනාවක් කලා.. බඩා ඇරුනම හැමෝම ඒකට කැමති උනේ උඩ පැනලා.. උඩ පැනලා කිව්වට බණ්ඩයියා නං උඩ පැන්නෙ නෑ.. වෙන දෙයක් නිසා නෙමෙයි.. සරම වැටෙයි කියලා..

අපි කට්ටිය පාරෙ විකුණන්න තිබුණ සාර විට එහෙම අර ගෙන කන ගමන් ටික දුරක් පයින් ආවා..

මචං මේ පැත්තෙන් ෂෝට් කට් එකක් තියෙනවා..

හරස් පාරක් පෙන්නලා මම කියද්දි කට්ටිය කිසිම කතාවක් නැතුව ඒ පාරට හැරුණා.. මහ රෑ වෙලා නිසා පාර සෑහෙන්න පාළුයි..

මේ පාර කොහෙටද හිරූ යන්නෙ..?

මේක කොහේටවත් යන්නෑ බං.. මං දන්න දවසෙ ඉදලා මේක මෙතනම තමයි තියෙන්නෙ..

මගේ උත්තරේට මතීෂට හිනා ගියා..

අන්න මචං මරු බඩුවක්..

පාරේ තුන්මං හන්දියක් ළග දාලා තිබුණ තොවිල් තටුවක් පෙන්නද්දි චමිලයා කුලප්පු වෙලා වගේ වට පිට බැලුවා.. ඌට කොන්දෙ අමාරුව අමතක වෙලා..

කෝ.. කෝ.. කොහෙද ඉන්නෙ..?

කවුද..?

දැන් උඹ කියපු බඩුව.. කෝ එයා..?

බඩා මේ ගාල කඩාගෙන හොයලා තියෙන්නෙ වෙන බඩුවක්..

මං පේනනුවෙ මෙන්න මේක..

මං පාර අයිනෙ තිබුණ තොවිල් තටුව ඇල්බීසියා කෝටු ටිකත් එක්කම උස්සලා ගත්තා..

බේබි.. මොලේ නරක් වෙලාද..? විසි කරන්න ඔය ජරාව.. ඕවයෙ මොන හොන හූනියං හියෙනවද දන්නෙ නෑ..

මේක ගෙදර ගෙනියන්නෙ නෑ බණ්ඩයියෙ.. අපි කාට හරි තෑගි දීලා යං..

මං තාරුලට ඇහැක් ගහලා පාරේ දාලා තිබුණ කෙහෙල් කොට වගයක් පෙන්නුවා.. අපේ දෙතුන් දෙනා කාරණාව තේරිලා වගේ ඒ ටික උස්සලා කරට ගත්තෙ බණ්ඩයියව තවත් බය කරන්න හිතාගෙන..

මේන් මේක අපි මේ ගෙයක් ඉස්සරහින් තියාගෙන යං.. එයාලට ඕන කරන දෙයක් තිබ්බොත් උනේට කන්නෙ නැතෑ..

පාරට කිට්ටුවෙන්ම තිබුණ ගෙදරක දොරක් ඉස්සරහින් මං ඒක තිබ්බා.. දැන් මාරු.. උදේට දොර අරින මිනිහට ෂුවර් එකටම උණ ගැනෙනවා..

බේබි ඕවා ඒ හැටි හොද විහිළු නෙමෙයි..

මේ මනුස්සයා හැම දේටම චුරු චුරු ගානවා ඤාව්වෙක් වගේ.. අපරාදෙ මෙයාව ගෙදර දාලා එන්න තිබුණෙ..

ඔය දෙක තුනක් ඔය ඉස්සරහ ගෙවල් වල දොරවල් වලට හේත්තු කරලා යං.. උදේට දොර අරින එකාගෙ ඇග උඩට කෙහෙල් කොටයක් පෙරලෙද්දි මාර චූන් එකක් දැනෙයි..

කියන පරක්කුවට කට්ටිය වැඩේ කරලත් ඉවරයි.. උදේ පාන්දර මේ ගෙවල් වල මිනිස්සු දොරවල් අරින වෙලාවට හැංගිලා හරි බලන් හිටියා නම් මාර ආතල් එකක් ගන්න තිබ්බා..

මේ මිනිස්සු ගතියට මල් හිටවලනෙ..

ප්ලූටො කිව්වා වගේම ලොකු වතු තියෙන මිනිස්සු මාර ලස්සනට ගාඩ්න් එක හදලා.. ඒවයෙ තිබුණ සමහර මල් ගස් ගොඩක් වටින ඒවා.. බණ්ඩයියා වචනයක්වත් කියන්න කලින් අපි කට්ටිය ඒ මිදුල් වල තිබ්බ පෝච්චි කීපයක් උස්සලා පාරට ගෙනාවා..

ඒ පාර ඕවා හොරෙන් ගෙනියන්නද හදන්නෙ..? ගුටි කාලා නතර උනොත් ඇති..

බණ්ඩයියා පිස්සු කියවනවා.. මේ ගෙවල් වල මිනිස්සු මෙලහට ලී ඉර ඉර නිදියනවා ඇති.. අනික අපි මල් පෝච්චි ඉස්සුවෙ හොරෙන් ගෙනියන්න නෙමෙයි..

මේ ටික ඉස්සරහ වත්තෙ තියපං.. ආ..

අපි කට්ටිය මිදුල් වල තිබුණ පෝච්චි මාරු කලා.. මේ ගෙදර ඒවා එහා ගෙදරටයි.. ඒ ගෙදර ඒවා මේ ගෙදරටයි..

හෙට මේ ගෙවල් වල ගෑණු කෙස් වලු පටලව ගනියි..

කේන්ති ගිහින් වගේ ඔරවගෙන හිටපු බණ්ඩයියට හිනා යනවා මං දැක්කා.. එයාටත් සමහර විට කොලු කාලෙ කරපුවා මතක් වෙන්න ඇති.. ඒ හරස් පාර පුරාවටම තිබුණ ගෙවල් වලට නානාප්‍රකාර අකරතැබ්බ කරලා අපි මහ පාරට සේන්දු උනා.. පාර අයිනෙම තිබුණ බැංකුවක මුර අන්කල් කෙනෙක් කට ඇරගෙන නිදි..

බලපංකො අර මනුස්සයා මුර කරන ලස්සන..

කිව්වත් වගේ මිනිහගෙ දිව බුරියෙ ගෑවෙනවා.. ඒ තරම් නින්ද සැරයි..

අනේ බේබි ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න ඇරලා අපි යමු.. මොනව හරි උනොත් ලොකු මහත්තයගෙන් මට විසුමක් වෙන්නෙ නෑ..

බණ්ඩයියගෙ ගෝරණාඩුව නිසා ඒ මුර අන්කල්ට මොනවා හරි කරන්න හිතට ආපු අදහස මං අතෑරලා දැම්මා..

උඹලගෙ තාත්තා දැන් ඇහැරලා බලන් ඇති නේද..?

මතීෂ ඒක ඇහුවෙ බණ්ඩයියා ලොකු මහත්තයෙක් ගැන මතක් කරපු නිසා වෙන්න ඇති..

අපොයි ඔව්.. මුගේ තාත්තා හරි වසයි.. දැන් පරක්කු උනා කියලා අපිටත් එක්ක බනියි..

මතීෂයි තාරුයි අපේ ගෙදර එන එක නතර කරන්න ඕන නිසා ප්ලූටො අදත් බොරුවක් කියලා මගෑරියා..




No comments:

Post a Comment