Monday, April 9, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |








තියෙන මළ ඉලව් ප්‍රශ්න කන්දරාව ඔලුවෙන් බිමට ඇදල දාන්න ඕන වුණත් මට තාමත් ඒ දේ කරගන්න බැරිවුණා.. අනිත්තෙක මේවා මගේ ප්‍රශ්නත් නෙමෙයි.. ඇයි මං මේවට මේ තරම් මැරෙන්නේ..? එහෙම හිතෙද්දි මට බින්දුගෙ අහිංසක මූණ මැවිලා පෙනුණා.. කමක් නෑ.. මං ඇටකිච්චට ගැහුවෙත්, මේ හැමදේම කලෙත් බින්දු වෙනුවෙන්නේ.. මොන ප්‍රශ්නෙ ආවත් ඉස්සරහටත් බින්දු වෙනුවෙන් ඉන්නවා කියලා මං හිතාගත්තා..


දවසක් දෙකක් හෙමින් සීරුවෙ ගෙවිලා යද්දි මං ගෙයින් එළියටවත් බැස්සෙ නෑ.. පැයක් එක හමාරක්වත් එක තැනක ඉන්න බැරි මං වගේ මනුස්සයෙක් ගේ අස්සට වෙලා ඉන්නෙක අපේ ගෙදර අයට නම් ලෝක පුදුමයක් උනා.. ඒත් අයියා නම් කිව්වෙ ෂුවර් එකටම ඔය හාදයා අලිපත බාල්දියක් පෙරලල ඇති කියලා.. මිනිහගෙ කල්පනාව ඔහොම උනාට අක්කා නම් කිව්වෙ අනිවාර්යෙන්ම ගෑනු ළමයෙක්ගෙ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.. ඇත්තටම බලන් ගියාම ඔය කතන්දර දෙකම මට සම්බන්ධයි.. ගෙදර අය මං ගැන මොනවා හිතුවත් මගේ හිතෙ තිබුණෙ ඇටකිච්චට මොකද උනේ කියනෙක.. ඒත් ඒකට උත්තර හම්බ වුණේ තවත් දවසක් පහුවෙලා.. ඒ ජෝයි බොට් යාඩ් එක ළගදි..

"ඇටකිච්චා තාම හොස්පිට්ල් එකේලු ලොකු පුතේ.."

මාව දැකපු ගමන් චාමික අතත් වනාගෙන ඉස්සරහට ආවා.. ගැන්සියෙ අනිත් කොල්ලො ටිකත් මං එක්කයි හිටියේ..

"ඌට ඒ තරම් අමාරුද චාමික..?"

"නහ්නං.. නහ්නං.. අපේ බන්ටි ඌට ගැහුවෙ හරියට සමුරායි කෙනෙක් පරණ තරහා කාරයකුට ගහනවා වගේනේ.."

"ඔබ බයිලා නවත්තලා අලුත්ම තත්වෙ කියපං.."

"අලුත්ම තත්වෙ නම් දන්නෙ අමිල තමයි.. රවීන් එක්ක එකතුවෙලා ඌ සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්ථාව අරගෙන.. දැන් තියෙන්නෙ ඇටකිච්චව මිහිදන් කරන්න තමයි.."

එක්කො සරිගමයට ජැපනීස් එන්සෙපලයිටීස්.. එහෙමත් නැත්නම් සූකර උණ.. නැත්තං මූ මෙහෙම මරු කියවන්නෙ නෑ..

"උඹට කියන්න බන්ටි මාර කතන්දරයක් තියෙනවා.. වැඩේ ඒ තරම් ෆිට් නැති හින්දා මං නොකියා හිටියේ.. මේ වලිය සම්පූර්ණයෙන්ම උඹේ බාරෙ තියෙන හන්දා කොල්ලො හැම එකාටම කලින් උඹටයි කියන්න ඕන.."

මේ වලිය කියලා විශේෂණයක් දාපු හින්දා අමිල කියන්න හදන්නෙ ඇටකිච්චා ගැන කියලා මං තේරුම් ගත්තා.. ඒත් ඌ ඒ කතන්දරේට දාපු වර්ණනා කෑලි ටික හින්දා මේක හිතාගන්න බැරි අමුතු ගතියක් ඇති කියලා මට හිතුණා..

"බන්ටිට ඉස්සෙල්ල කියනවා කිව්වට අපිටත් කිව්වා වගේ තමයි.. ඇයි යකෝ අපිත් මෙතනනේ ඉන්නේ.. අපිටත් ඇහෙන්න කියපං කැත නැතුව.. අපිත් ආසයි අනුන්ගෙ කුණු අහන්න.."

ලොකු පුතා ඒ පාර මැද්දට පැන්නා.. හැම එකාටම නිශ්ශබ්ද වෙනන් කියලා මං අමිල දිහාට හැරුණා.. මෙහෙම ගියොත් මේක අහගන්න වෙන්නෑ..

"මොකක්ද අමිල වෙලා තියෙන්නේ..?"

"ඇටකිච්චට තවත් කෙල්ලෙක් ඉන්නවා.."

අමිලගෙ කතාවෙන් හැම එකාගෙම කටවල් ඇරුණා.. ඒ කියන්නෙ මං නිකමට වගේ කියපු දේ අද ඇත්ත වෙලා..

"පිස්සු හැදෙනවා බං.. මූ එතකොට සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්ද..? මූව උල තියන්න එපැයි.."

"ඔන්න ඕක තමයි අසාමාන්‍යතාවය කියන්නේ.. දුප්පත් පොහොසත් භේදය කියන්නේ.. අපිට මෙතන විහිලුවටවත් කෙල්ලෙක් නෑ.. ඇටකිච්චට ස්ටෑන්ඩ් බයි එකකුත් ඉන්නවා.."

"අපිට වැඩිය ඕකා ගාව වෙන මොනවා ඇතිද අමිල.. නැත්තං අපිටත් කෙල්ලො දෙන්නා දෙන්නා ඉන්න එපාද..? ඕකගෙ මොකක් හරි වැඩි දෙයක් ඇති.."

කොල්ලො ටික රටේ නැති කතා කියද්දි වැදගත්ම කතාව කිව්වෙ සුරේන්..

"හැබැයි මචංලා.. ඕකෙන් මේකෙන් නිරෝෂිට ඇඩ්‍රස් නැති වෙනවා.. අපිට දැන් තියෙන්නේ, ඇටකිච්චගෙ ඒ අලුත් ලව් එකට සපෝර්ට් කරන්න.."

"ෂිහ්.. මේ විත්තිය කලින් හොයා ගත්ත නම් අපිට ඇටකිච්චට නෙලන්න ඕනෙ නෑ.. අඩු ගානෙ ඌ හරි අපිව හොයාගෙන ඇවිත් මං ලව් දෙකක් කරනවා කිව්වා නම් ඌ ඉස්පිරිතාලවල් වල ලගින්න ඕනෙත් නෑනේ.."

"පිස්සුද ලොකු පුතේ.. ඌට ගහපු එකයි කාරිය.. ඌ කැත නැතිව අපේ බන්ටිගෙන් ගුටි කාපු හින්දනේ උගේ අනිත් රහස් ප්‍රේමය එළියට ආවේ.. නැද්ද බන්ටි.. ඒක හින්දා මේ ක්‍රියාන්විතයේ සියලුම ගෞරවය අපේ බන්ටිටයි යන්න ඕනේ.."

"එහෙනම් ඇටකිච්චා තව ලව් එකක් කරන ගමනුයි අපේ බින්දුගෙ ආදරේට හොම්බ දාලා තියෙන්නේ.. දැන් ඒ කෙල්ලත් අනාථ වෙනවනේ චාමික.. ෂිහ්.. මට තිබ්බෙ මූට තවත් නෙලන්න.. අපරාදෙ මෙන්න මේ සුරේන් තමයි මාව ඇදගෙන ආවේ.. ඒකා මැරෙයි, ඕකා මැරෙයි කිය කියා.."

"මැරෙයි කියන්නේ.. ඇත්තටම උඹ ගහපු ගැහිල්ලට මට බය හිතුණා.. අන්තිමට ඌ වැටිලා හිටියෙ හුස්ම ගන්නත් බැරිව.."

"ඒක නෙමෙයි බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..? නිරෝෂි හම්බවෙලා ඇත්ත තත්වෙ කියමුද..?"

"කියන එක කෙසේ වෙතත් බන්ටි එදා ඇටකිච්චට ගහපු දවසෙම කිව්වෙ අපි ආරංචියක් යවමු ඇටකිච්චට තව කෙල්ලෙක් ඉන්නවා කියලා.. දැන් බලපංකො බන්ටි.. අපි මවන්න හදපු වැඩේ සිරාවටම සිද්ධ වෙනවනේ.."

ඇටකිච්චට ඉන්න තවත් කෙල්ලෙක් ගැන නිරෝෂිගෙ කනට ආරංචිය යවන්න කියලා මං වැඩේ බාර දුන්නෙ රවීන්ට.. ඒත් අද මෙතන ඌ නෑ.. ඒ මොනව උනත් මං ප්ලෑන් කරපු විදියටම වැඩේ සිද්ධ වෙලා.. දැන් තියෙන්නෙ මේ කතන්දරේ නිරෝෂිගෙ අතටම අල්ල දෙන එකයි.. ඒත් ඒක කොහොමද කරන්නේ..? මගේ ඔලුවෙ ඊගාවට තිබුණ ප්‍රශ්නෙ ඒකයි..

"කොහොමටත් බින්දු එන්න කලින් මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕන.."

"තමුසෙට වැඩ ඉවර කරන්න දෙයක් නෑනේ.. තමුසෙ හොදටම වැඩේ කරානේ.. ජරා සතා.."

වෙඩි බේත් ගබඩාවක් පුපුරලා ගියා වගේ එක පාරටම චට පට ලාගා පත්තු වුණේ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. වටපිට බලද්දි ගල් ගැහිලා වගේ බලන් ඉන්න කොල්ලො සෙට් එකයි, කේන්තියෙන් උපරිමේටම පිස්සු වැටිලා ඉන්න ඇටකිච්චට සපෝර්ට් කරපු කෙල්ලවයි මං දැක්කා.. කෝ.. මේ මල හොල්මන කොහොමද මෙතෙන්ට ආවේ..

"තමුසෙ කාටද කතා කරන්නේ..?"

"කතා කරන්නෙ තමුසෙට.. ගෙවල්වල කුලී වැඩ කරන වට්ටි අම්මා කෙනෙක්ගෙ ජරා සතෙකුට.. තමුසෙ එහෙනම් නලින්දට ඉස්පිරිතාලෙ ලගින්න වැඩේ සිද්ධ කරා.."

එළ.. එළ.. ගෑනිට කතා කරගන්නත් බෑ.. තරහ කියන්නේ.. එකසිය ගානටත් එහා.. ඇස් දෙක යකෙක්ගෙ වගේ රතුවෙලා.. මුළු මූණම රතුයි කලුයි අතරෙ පාටක් වෙලා.. මේකි මේ නලින්ද කියලා කිව්වෙ ඇටකිච්චට වෙන්න ඕන.. අපි ඇත්තටම උගේ ඇත්ත නම දන්නෙ නෑනේ..

"ඔව්.. ඌට ඉස්පිරිතාලෙ ලගින්න වැඩේ කරේ මං තමයි.. ඇයි තමුසෙ මට මොනවා කරන්නද..? නිකං බෙලෙක්කෙ වගේ කට තිබ්බට හතර වටේට වනන්නෙපා.. තමුසෙ දන්නැති උනාට තමුසෙ හරි ගදයි.. හොදට මතක් කර ගන්නවා.. තමුසෙ එදා මට චැලේන්ජ් එකක් දාලායි ගියේ.."

"චැලේජ්න් එකක්..?"

"ඔව්.. තමුසෙගෙ මල විකාර ඔලුවට ඒවා මතක් වෙන්නැද්ද..? තමුසෙ මට කිව්වනේ කොන්දක් තියෙනවා නම් වැඩේ කරලම පෙන්නනවා කියලා.. ඔන්න මං දැන් වැඩේ කරලම පෙන්නුවා.. තමුසෙට දැන් කියන්න කිසිම දෙයක් නෑ.. පාඩුවෙ අකුල ගෙන යනවා මිසක.."

"ඒ කියන්නෙ තමුසෙට කොන්දක් තියෙනවා කියලා පෙන්නන්න අර අහිංසකයට ගැහුවා..?"

"හලෝ මේ.. වැඩිය උඩ පනින්නෙපා..! මං වැඩිය ඉවසන කෙනෙක් නෙමෙයි තේරුණාද..? තමුසෙගෙ කක්කුස්සි කටේ සැර ටිකක් අඩු කර ගන්නවා.. ඔය සද්ද බද්ද කොහේ හරි ටොයිලට් එකකට ගිහින් දා ගන්නවා.. තමුසෙ දන්නැත්නම් දැනගන්නවා.. චැලේන්ජ් එකක් කියන්නෙ චැලේන්ජ් එකකට.. ඒකෙ ඔය අහිංසකකම් ලියැවිලා නෑ.."

කෙල්ල එන්න එන්නම වයින් උනා වගේ තේරුණ හින්දා මං ටිකක් සැරට කතා කලා.. ඔව් අප්පා.. කෙල්ලොන්ට ඩිංගක් බුරුල දුන්නොත් ඔලුව උඩ නගින්න එනවා.. මොනව උනත් කොයි තරම් කට ගහගෙන ආවත් මගේ කතාවට කෙල්ල හොදටම බය වුණා කියලා මට තේරුණා..

"හො.. හොදයි.. මං පස්සෙ බලාගන්නම්කො.. ම.. මං මේක ලේසියෙන් අතාරින්නෑ.." 

"ආයෙ පස්සක් හෝදන්න දෙයක් නෑ.. හෝදන දෙයක් දැන් හෝද ගන්නවා.. නැත්නම් තමුසෙවත් නලින්දයගෙ ඇදට එහා වෝඩ් එකේ ඇඩ්මිට් කරවන්න ඕනද..? නැත්නම් තමුසෙටත් ආසද ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයගෙ මූණ බලලා එන්න.. ආ.."

"ඒ.. ඒ කියන්නෙ.. තමුසෙ මටත්  ගහනවා කියලද චැලේන්ජ් කරන්නේ..?"

"පස් යට ඉන්න ගැඩවිල් පනුවො උඩට ආවම හරියට දගලනවා.. ආයෙ උන්ට අමුතු චැලේන්ජ් එකක් දෙන්න ඕන නෑ.. තමුසෙත් ඒ වගේ කැද හැලියක් හලෝ.. තමුසෙට ගහනවා කියල මගේ වචන නිකං නාස්ති කරන්න මං කැමති නෑ.. හැබැයි වැඩිය උඩ පනින්න ආවොත් කම්මුල් දෙපැත්තටම පාරවල් දෙක තුනක් දීලා මෙතනින් පල්ලෙහාට තල්ලු කරලා දානවා.. තේරුණාද..?"

කෙල්ලට තවත් ලංවෙන ගමන් මං වලාකුළු බැම්ම පෙන්නුවා.. ඒකිට එකපාරටම 'හ්ග්' ගාලා කියැවුණා.. අර මුලින් මුලින් දාගෙන ආපු රියැලිටි ෂෝ එක පේන මානෙකවත් නෑ.. පව් අප්පා.. කෙල්ල අනාථ වෙලා ඉන්න හැටි දැක්කම පපුව දාලා පිච්චිලා යනවා.. ඒත් ඉතිං මොනවා කරන්නද අප්පේ.. තනිකරම ඉල්ලගෙන නේ කෑවේ.. ගැන්සියෙ කොල්ලො ටිකත් නිවාඩු පාඩුවේ, සම්භාව්‍ය චිත්‍රපටියක් බලනව වගේ බොහොම සාමකාමීව වටවෙලා බලන් ඉන්නවා.. 

"ත.. තමුසෙ ම.. මහ කැ.. කැත සතෙක්.. ඉන්නවා මං.. මං තමුසෙගෙ අම්මා හම්බවෙලා කියන්න.. තමුසෙ මේ කරලා තියෙන තිරිසන් වැඩේ ගැන.."

"තිරිසන් වැඩේ ගැන..? මේ හලෝ.. තමුසෙට මේ අන්තිම හොදින් කියන්නේ.. මාව තිරිසනෙක් කරන්නෙපා කියලා.. එහෙම උනොත් නලින්දයගෙ අතට ගහලා තියෙන සේලයින් බටේ උගේ බෙල්ල වටේ ඔතනවා තේරුණාද..? එතකොට තමුසෙට වෙන්නෙ ඌ මැරෙන හැටි බලන් ඉන්න.."

"හ්.. ග්.. ම.. මං තමුසෙට හොද.. හොද වැඩක් කරනවා.."

"ඒක හොදයි.. නරක වැඩ නොකර හොද වැඩ කරන එක.. මාත් ඒවට කැමතියි.. අනික තමුසෙට මොකක්ද නලින්දයා ගැන ඔය තරම් තියෙන පණු අමාරුව.. මොකද උගේ තුන්වෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නවත් ආස හිතිලද..?"

"තුන්වෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ්..?"

කෙල්ලගෙ ඇස් දෙක නළලටම ගියා.. ඒකිට හිතා ගන්න බැරිවුණා මං මොකක්ද කිව්වෙ කියලා.. කෙල්ලො ඔහොමමයි අප්පා.. වෙලාවකට මහ ටියුබ් ලයිට් එකක්.. පත්තු වෙන්නෙ ටිකක් වෙලා ගිහින්..

"ඔව්.. ඇයි තමුසෙ ඒක දන්නැද්ද..? තව ටික දවසකින් ඌව බෙදාගන්න බැරිව අනිත් ඈයො දෙන්නා කෙහෙවලු පටලව ගත්තාම ඉතුරු වෙන්නෙ තමුසෙනේ.. අන්තිටම සපෝර්ට් කරන්න ගිහින් තමුසෙ ඌ වගේ ජරා සතෙක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන හැටි අපිටත් බලන්න පුළුවන් වෙයි.."

"ෂිහ්.. ත.. තමුසෙ මහ කැත සතෙක්.. න.. නලින්ද මට සහෝදරයෙක් වගේ.. එහෙම කෙනෙකුට ඔහොම කියන්නෙ.. ඉන්නවකේ.. තමුසෙ මේ කරපු නරකාදි වැඩේට මං තමුසෙට කරන දේ..  හොදට මතක තියාගන්නවා..! මං තමුසෙගෙ අම්මටත් ඉන්න දෙන්නෑ.. ම.. මං.. මේකෙ පළිය ගන්නවා.. ගන්නවාමයි.."

ආව වගේම ඇඩ්‍රස් නැතුව කෙල්ල යන්න ගියා.. අම්මප වැහැල වැහැල පායල ආයෙත් වැහැල පෑයුවා වගේ.. බලන් ගියාම ඒකිට තිබ්බෙ තනිකරම කක්කුස්සි කටක්.. ඒකි ගිහිල්ලා ටික වෙලාවක් යනකන් කොල්ලො එකෙක්වත් කතා කරේ නෑ..

"අම්මපා ලොකු පුතේ.. ඒකි මහ නොසන්ඩාල කෙල්ලෙක් නේ.. බලපංකෝ.. උඹට මරණිය තර්ජන එල්ල කරපු හැටි.."

"ඕව ගණන් ගන්නෙ කවුද චාමික.. ඔය මොණරා වගේ පස්ස උඩ දාගෙන නැටුවට ඕකිට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ.."

"ඒ උනාට උඹ ටිකක් පරිස්සම් වෙයන් බන්ටි.. කොයි තරම් අහිංසක විදියට හිටියත් ගෑනු කියන්නෙ පලිගන්න ගියාම හරි දරුණුයි.. උං ඒ වෙලාවට උංගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නෑ.. තමන්ගෙ අරමුණ ඉෂ්ඨ වෙනකන් කෑල්ලක් ගියත් කාගනෙ ඉන්නවා.."

පිස්සු හැදෙනවා.. ඒ ඔවදන සරිගමයාගෙන්.. ඌ හරියට ගෑනු සීයක් විතර ආශ්‍රය කරලා තියෙන එකෙක් වගේ ඒ කතාව කිව්වේ.. මං දන්න තරමට ඌ ගෑනියෙක් ළගින්වත් යන්නෑ.. ඉතිං ඒ වගේ එකෙක් තමයි අර වගේ කතන්දරයක් මට කියන්නේ..

"ඒකිට කාගෙන ඉන්න කියපං සුරේන්.. මට මොකද.. ඕකිගෙ ඔය එකසිය ගානටත් එහා තියෙන උණ බහින්නෙ ඇටකිච්චයි, උගේ අනිත් ලව් එකයි එකට ඉන්නවා අහුවුණාම.. කොහොමටත් කොයි වෙලාවක හරි නිරෝෂියි, ඒ කෙල්ලයි එකට මීට් වෙයිනේ.. හොස්පිට්ල් එකේ නර්ස්ලටයි, මල පනින ඇටෙන්ඩන්ලටයි, ලෙඩ්ඩුන්ටයි නියම ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් සල්ලි නොදීම බලාගතෑකි.. මම නම් හිතන්නෙ ඒ දවස අද හෙටම උදා වෙයි කියලා.."

"උදා වෙන්නෙ නැතිනම් අපි උදා කරලා දෙමු බන්ටි.. එතකොට ඇටකිච්චට වෙන්නෙ සාගත කාරයෙක් වගේ මැරෙන්න.."

"ඇයි නිරෝෂිට..? ඒකිට වෙන්නෙ පස්ස විකාගෙන වලාකුලු බැම්මෙන් පනින්න.."

"ඒක නෙමේ බන්ටි.. අරකි මොකක්ද අර උඩ දාගෙන කෑගැහුවෙ උඹලගෙ අම්මා ගැන කියලා.. ගෙවල්වල කුලී වැඩ කරනවා කියලා.. මට ඒක පැහැදිලි නෑ.."

ඔන්න දැන් තමයි අමිලට යථාර්තෙ අවබෝධ වෙලා තියෙන්නෙ.. අනිත් ඈයො පිස්සු කියවද්දි මූට අර හොල්මන කියපුවා මතක හිටපු එකනේ වැඩේ කියන්නේ.. ඒ කියන්නෙ මේකා හොද උවමනාවෙන්, සාවධානව ඒකිගෙ කතාව අහගෙන ඉදලා.. බලන් ගියාම මුගේ ඇහුම්කන් දීම ඉතා හොදයිනේ.. 

"ඒ මොකක්ද බං ඒ කතාව.. අපටත් පැහැදිලි නෑ.."

"ඔව්.. ඔව්.. ඒකි ඒ කතාව දිගින් දිගටම කිව්වෙ බන්ටිගෙ අම්මට කියනවා කියලා.. මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒකි ඕවා උඹලගෙ තාත්තා එක්ක කියන්නැත්තෙ කියලා.."

"ඒකි සමහර විට බන්ටිගෙ අම්මව දන්නවා ඇති.."

"නෑ.. නෑ.. ඒකි බන්ටිට බයයි වගේම බන්ටිගෙ තාත්තටත් බය ඇති.."

"ආ බන්ටි.. කියපංකෝ මොකක්ද ඒ කතාව කියලා.."

"ඔය කෙල්ල මට දවසක් ටොරින්ටන් පාක් එකේදි චැලේන්ජ් කලානේ.. ඒ චැලේන්ජ් එකට කලින් ඒකි දැකලා තියෙනවා මායි බේබි නැන්දයි ලන්ච් ගන්න, ඩෙවෝන් එකට යනවා.. ඉතිං චැලේන්ජ් එක අස්සෙම ඒකිට දැනගන්න ඕන වුණා බේබි නැන්දා මගේ කවුද කියලා.. මං කිව්වා ඒ මගේ අම්මා කියලා.."

"පිස්සු හැදෙනවා ලොකු පුතේ.. උඹ නම් මාර බුලට් එකක්.. කෙල්ලොන්ව අන්දන්න ඕන ඔහොමම තමයි.. ඒත් බන්ටි මොකක්ද අර කුලී වැඩ කතාව..?"

"වැඩේ කියන්නෙ චාමික.. ඔය කෙල්ල අපේ ගෙදර මේ වලියට කලින් ඇවිත් තියෙනවා.."

"හප්පට සිරි.. කාපංකො රබර්.. ඕකි මොකටද බං උඹලගෙ ගෙදර ආවේ..?"

"මං හිතන විදියට ඔය කෙල්ල අපේ අක්කගෙ යාලුවෙක්.. ඒත් ඒකි දන්නෑ සමුදිනී කියන්නෙ මගේ අක්කා විත්තිය.."

කොල්ලො ටික කම්මුල්වල අත තියාගෙන කල්පනා කරන්න ගත්තා.. කතාව කියලත් ඉවර වෙලා මොනවද අප්පා මුං කල්පනා කරන්නේ..

"මට පේන විදියට නම් වැඩේ සීරියස් පාටයි බන්ටි.. වැරදිලාවත් මේකි උඹලගෙ ගෙදර ඇවිත් හැමෝම ඉස්සරහ මේ කතන්දරේ ලීක් කලොත්.., උඹට ලොකු ප්‍රශ්නයක් වෙයි.. උඹට මේ යාන්තමට තියෙන නිදහසත් නැතිවෙලා යයි.."

"ඔව් බන්ටි.. චාමිකගෙ කතාව හරි.. උඹලගෙ අම්මා කොහොමත් සැරයිනේ.. උඹේ සියලු ප්‍රතිපාදන මේ සිද්ධියත් එක්ක කපලා දාවි.. උඹට කොයි තරම් ආදරේ කරත් තාත්තටත් උඹව බේරගන්න බැරිවේවි.."

"ඒ කියන්නෙ දැන් කතන්දරේ යන විදියට බන්ටිව බේරගන්න අපිට ගේමට බහින්න වෙනවා.. ඒකි ඉස්සර වෙන්න කලින් ඒකිගෙ ගේ හොයාගෙන අපි ඒකිව විනාස කරලා දාමු.."

අමිල අන්තිමට ගෙනාපු යෝජනාව හොද එකක් උනත්.. ඒකට මං කැමති වුණේ නෑ..

"එපා අමිල.. ප්‍රශ්නයක් ආවොත් මං ඒකට මූණ දෙන්නම්.. මමනේ ඒකිත් එක්කත් වලිය දාගත්තේ.."

"ඔහොම කතා කරන්නෙපා බන්ටි.. මේක උඹ විතරක් නෙමෙයි.. අපෙත් ප්‍රශ්නයක්.. තනියෙන් මූණ දෙනවට වැඩිය කට්ටියම එක්ක මූණ දෙන එක කොහොමත් හොදයි නේ.."

"හරි එහෙනම් වැරදිලාවත් මාව ගෙදරින් එළියට දැම්මොත් මට යන්න තැනක් හොයලා තියපල්ලා.. ඔන්න එතකොට උඹලත් මේ ප්‍රශ්නෙට දායක වෙලා.."

කොල්ලො ටික මූණින් මූණ බලා ගනිද්දි මං හිනාවෙලා කිව්වා.. මුං නිකං බයවෙලා.. බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ කියලා හොදටම දැන ගෙනත් මුං පිස්සු නටන එකනේ වැඩේ.. අනික මේ බන්ටි ඔහොම තර්ජන නෙමේ.. මරණිය තර්ජන ආවත් බයවෙන්නෑ කියලා දැන දැනත් මුං ඇඹරෙන එකනේ දිරවන්නෙ නැත්තේ.. ඕවා මොනවද අප්පා වෙලා තියෙන දේවල් වල හැටියට..

                                             ***************************

ඇටකිච්චා ගැන හිතට දාහක් දේ එද්දි මං ඒවා එකක්වත් පිට කෙරුවෙ නෑ.. අනික ඌටයි, නිරෝෂිටයි උදව් කරන කෙල්ලට පස් පඩංගුවෙ බැන්නට මගේ හිතේ ඇටකිච්චා ගැන ලොකු දුකක් තිබුණා.. මැරෙනකල් ගුටි කෑවත් ඌත් කොල්ලෙක් නේ.. අනික උගේ තියෙන හොදකම කියන්නෙ ඌ තාම පොලීසියට මුකුත්ම කියලා නැති එකනේ.. එහෙම කිව්වා නම්, බන්ටිට ඉතින් සොරිම තමා..

මගේ සිහි කල්පනාවෙ තරම කොච්චරද කියලා කියනවා නම් මං බස් එකෙන් බැස්සෙ ගෙදරට හුගක් මෙහායින්.. ගෙදරට හැරෙන හංදිය වගේ හංදියක් පහුවෙද්දි මං හිතුවෙ ගෙදර අත ළග කියලා.. දනි පනි ගාලා බෙල් එක ඇදලා ඉවර උනාමයි දැක්කෙ බහින තැන නෙමේ කියලා.. මොනව උනත් වලක වැටෙන එක මොළේට ලාබයක් හන්දා මං පයින්ම ගෙදර එන්න තීරණය කරා.. ඒ තීරණේ කොයි තරම් නිවැරදිද කියලා මට හිතුනෙ ඩිංගක් මෙහායින් තිබ්බ මෙගා කොමියුනිකේෂන් සෙන්ටර් එකට රිංගන මොරීන් අක්කා දක්කමයි.. මේ අන්ත සියමුලි ගෑනු ශරීරෙ මොකද මෙතන කරන්නේ..? මගේ ඔලුවට ආපු පළවෙනි ප්‍රශ්නෙ ඒකයි..

මම දන්න විදියට නම් මොරීන් අක්කා කොමියුනිකේෂන් අස්සෙ රිංගන්නෙ නෑ.. එයා සාමාන්‍යයෙන් ඉන්නෙ බියුටි කර්චල් සෙන්ටර් අස්සේ.. සමහර විට මොකක් හරි උවමනාවකට එන්න ඇති.. නිකං ඔය ෆොටෝ කොපියක් වගේ දෙයක් ගහගන්න.. කෝකටත් ඉතිං දන්න අදුනන මනුස්සයෙක්නේ.. වාතයක් උනත් කතා කරලම යනවා කියලා මං හිතාගත්තා.. වැඩිම උනොත් ගෙදර ගාවට යනකල් හරි කම්මැලි කමටත් එක්ක ඔහේ මොනව මොනව හරි කියව කියව යතෑකිනේ.. අනිත අපේ අයියව බදින්න ඉන්න සීදේවි ගෑනු පරාණෙනේ..

කොමියුනිකේෂන් එක ඇතුළට ආවත් මං මොරීන් අක්කව දැක්කෙ නෑ.. ඈ බං.. කෝ මේ මස් පර්වතේ..? මං මගෙන්ම අහගත්තා.. ඒ ඩිංගට කොහෙට වාෂ්ප උනාද..? වටපිට බලද්දි තමයි ඊගාවට මං දැක්කෙ ටෙලිෆෝන් බොක්ස් එක ඇතුලෙ ඉන්න මොරීන් අක්කව.. ගෙදර පැලෙනකල් ටෙලිෆෝන් තියෙද්දි මෙයා මොකද බං මේක ඇතුළෙ කරන්නේ..? ඒ ප්‍රශ්නෙට නම් මට උත්තර තිබ්බෙ නෑ.. හැබැයි මට දෙලෝ රත්වුනේ එයා ඉදපු බොක්ස් එකේ උඩ හරියෙන් රතු පාටට සටහන් වෙලා තිබ්බ දුරකථන අංකෙ දැක්කාම.. අපේ ගෙදර නම්බරේට ඇයි මෙයා කතා කරන්නේ..? මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා.. අපේ ගෙදරින් ලාවට හරි මෙයාට කැමති මං විතරයි.. අනිත් අය මෙලෝ විදියකට මොරින් අක්කට කැමති නෑ.. එහෙව් එකේ මෙයා මේ කතා කරන්නෙ කාටද..?

ටිකකින් මොරීන් අක්කා හතරපස් පාරක්ම රින්ග්ස් යන්න දීලා, කෝල් එක කට් කරලා, ආයෙත් අපේ ගෙදර නම්බරේ ඩයල් කරා.. ආයෙත් කෝල් එක කට් කරලා, ආයෙත් ඩයල් කරන හැටි මං දැක්කා.. පුදුම පිස්සුවක්නේ යකෝ.. මේ මල හෝන්තුව මොකක්ද මේ කරන්නේ..? කෝල් එකක් ගත්තා නම් කතා කරපංකෝ.. රින්ග්ස් යන්න දීලා කට් කරලා දාන්නේ.. මොරීන් අක්කා කරන වැඩේ මං දැක්කෙ මහ පිස්සු විකාරයක් විදියට.. ඒත් ඒ පිස්සුව මැද්දෙන් මට එක දෙයක් පටාස් ගාලා මතක් වුණා.. දෙයියනේ.. අපේ ගෙදරට පහුගිය දවස්වල දිගට හරහට කෝල්ස් දුන්නේ මෙයාවත්ද..? එහෙම හිතෙද්දි නම් මාව හීතල වෙලා ගියා..

"බ.. බන්ටි මල්ලි..?"

ෆෝන් බොක්ස් එකෙන් එළියට එද්දිම මොරීන් අක්කා ගල් ගැහුණා.. ගෑනි කීයටවත් හිතන්නැතුව ඇති බන්ටි කියන නරකාදි සත්වයා මූණ ඉස්සරහටම හම්බ වෙයි කියලා.. 

"මොකක්ද මොරින් අක්කෙ ඔයා කරන බලු වැඩේ..?"

දෙකක් නෑ.. මගෙ ප්‍රශ්නෙන් ගෑනිගෙ මූණ සුදුමැලි වෙලා ගියා.. මාත් ඉතිං ඕන දෙයක් අහන්නෙ පොල්ලෙන් ගැහුවා වගේනේ.. 

"අ.. අනේ බන්ටි මල්ලි.. මෙතන කෑගහන්න එපා.. අපි එළියට යමු.. මෙතන මිනිස්සු ඉන්නවා.."

මොරීන් අක්කා මගේ අතින් ඇදගෙන කොමියුනිකේෂන් එකෙන් එළියට ආවා.. දිග කොන්ඩෙ මුල ඉදන් අගටම එක එක පාට වූල් බෑන්ඩ් දාලා, කොන්ඩෙ ඉස්සරහට අනේක වර්ණ කොන්ඩ කටු ඉවරයක් නැතිවෙන්න ගහලා ඉදපු මොරීන් අක්කා මට පෙනුණෙ ජීවමාන තොරණක් වගේ..

"දිගට හරහට කොල්ස් දීලා සද්ද නැතුව කට් කලාම එහා පැත්තෙ ඉන්න අයට මතක් වෙන්නෙ මොනව කියල ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.."

"අනේ වෙරි සොරි බන්ටි මල්ලි.. ම.. මං හිතලා නෙමෙයි ඒක කරේ.."

හිතල නෙමෙයිලු කරේ.. මෙන්න මේවට තමයි කියන්නෙ මරු කියවනවා කියලා..

"එහෙනම් අවසිහියෙන්ද..? මේ මොරින් අක්කේ..? ඔයාගෙ අවමගුල් සහගත වැඩ වලින් මටයි ගෙදර ඉන්න නැතිවෙන්නේ.. අපේ ගෙදර මිනිස්සු හිතන්නෙ මමයි මේ වැඩේ කරන්නෙ කියලා.. දැනටමත් මම ගෙදරට බයිට් වෙලා ඉවරයි.."

"අ.. අනේ ඇයි එහෙම හිතන්නේ..? ඔයාගෙ අක්කා, අම්මා එහෙමත් නැත්නම් බේබි නැන්දා ෆෝන් එක ආන්සර් කරහම මම කෝල් එක කට් කලා තමයි.. ඒත් ඔයාගෙ සුදු අයියා ෆෝන් එකට ආවහම මං කට් කලේ නෑනේ.."

"ඔයා මොනවද මොරීන් අක්කෙ මේ කරන ගන්දස්කාර වැඩ.. ඕවයින් මේවයින් මටයි පත්තු වෙන්නේ.. ෂිහ්.. පහුගිය දවස්වල අපේ ගෙදර ඈයො මාව අල්ලගෙන කාපු හැටි මතක් වෙනකොට මට ඔයාගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා.."

"අනේ එපා බන්ටි මල්ලි.. එතකොට මට රිදෙයිනේ.. දැන් කවුද කියන්න ඔයාට බන්නේ.. මං ඔයාලහට ඇවිත් මේක විසදලා දෙන්නම්.."

"විසදන්න..? අනේ මේ කියන තැනකට වදින්නම්.. ඔයා ටිකක් පාඩුවෙ ඉන්නවද..? අනික ඔය කරන අසමජ්ජාති වැඩේ කරුණාකරලා අදින් පස්සෙ නවත්තන්න ඕන.. තේරුණාද..? තැන්නං බන්ටි වගේ කැත සතෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ කියලා ඔයාට තේරෙයි.."

"ඔය තරම් නපුරු වෙන්නෙපා බන්ටි මල්ලි.. ඔයා දන්නැති වුණාට මං ඔයාගෙ අයියට ආදරෙයි කිව්වා.."

"හීනෙන්ද..?"

මෙයා කොහෙද ඒ වගේ වාර්තාගත වැඩක් කරන්නේ.. ඔහොම දෙයක් කිව්වා නම් අපේ එකා දෙයි මෙයාගෙ කන් බෝල ගැලවෙන්න.. තැන්නං කනේ ඇගිලි ගහගන්න කතා කරයි..

"නෑ මල්ලි.. පට්ට දවල්.. මං කියපුවා සේරම අහගෙන එයා ෆෝන් එක තිබ්බා.. ඒ කියන්නෙ අහගත්ත ඒවට ඔයාගෙ අයියා කැමතියි කියන එකනේ.."

"හරි.. ඔයා අයියට මොනවද කිව්වේ..?"

මං එහෙම ඇහුවා විතරයි ගෑනිගෙ මූණ මහා පැණි හිනාවකින් වැහිලා ගියා.. බලපංකෝ.. ආදරේ පුරෝලා එකයි..

"අයි ලව් යූ ඩාර්ලින්.. යූ ආ මයි ඩ්‍රීම් බෝයි කියලා.."

පිස්සු හොද එක.. කියපු වචන ටිකේ තිබ්බෙ පලපුරුදු ගතිය, හෙණ ගහන්න වගේ මට මතක් කරා.. දෙයියො සාලෙ.. මං ඉස්තෝප්පුවෙ.. මේ කලින් දවසක මහා ගොරෝසු කටහඩකින් මං අහගත්තු වචන සෙට් එක නේද..? අර එදා මගේ මුළු දවසම මුස්පේන්තු වුණේ..?

"ඔයාට නම් පිස්සුව හොදටම ඩබල් වෙලා මොරීන් අක්කේ.."

"ඇයි බන්ටි මල්ලි.. ඒ වචන වල ව්‍යාකරණ දෝෂ එහෙම තියෙනවද..? නැත්නම් මං ඒ වචන කියලා තියෙන්නෙ අතීත කාලයෙන්ද..?"

"ඔයා මගුලක් කියනවා.. ඔය වචන ටික ඔයා අයියා කියලා හිතාගෙන කියලා තියෙන්නෙ මට.."

"න්.. නෑ.. හ්.."

මොරීන් අක්කගෙ නෑ එකේ තිබ්බ ශෝකය මහවැලි ගගටත් වඩා දිගයි.. ඒ තරම් ඛේදජනකයි.. ආදරේ කියන්නෙ ඉතිං කොහොමටත් බේදවාචකයක් නේ.. හොට්ට පෙරාගෙන අඩන එකනේ ඒකෙ ප්‍රධාන අවයවය.. අතුරු අවයවේ තමයි හෙම්බා නොහොත් හෙම්බිරිස්සාව..

"ම.. මං.. මං එතකොට ඔයාටද මගේ හද පතුලින්ම මගේ සදාතනික ප්‍රේමය පූජා කරලා තියෙන්නේ.. අයියෝ.. අයියෝ.. එතකොට මං මෙච්චර දවසක් ජීවත්වෙච්චි පරම පවිත්‍ර හීන ලෝකෙ බිදිලා යනවා.. අයියෝ.. ඇයි.. ඇයි.. දෛවය මට මේ තරම් නපුරු කම් කලේ.."

පරල වෙච්ච ණයකාර කපුමහත්තයෙක් වගේ කෑගහන මොරීන් අක්කා පාර දිගේ දුවගෙන ගියා.. ඇත්තමයි.. අම්මපල්ලා මට එයා කියවපු කිසිම දෙයක් තේරුණේ නෑ.. මට හිතිච්ච එකම දේ තමයි ගෑනිට පිස්සු හැදිලා කියනෙක.. ෂිහ්.. අම්මප.. මේ ආදරේ කියන එකට නම් හිටෝලා මැටි ගැහුවත් මදි.. මිනිස්සු මේ තරම් වේදනාකාරී විදියට හැසිරෙන්නෙ ඔය අටමගලෙ නිසානේ.. ඇයි මේ කාලකන්නි හැත්තට මේ දහම නොතේරෙන්නේ..? ඇයි බන්ටි වගේ මේකෙ යථාර්තය අවබෝධ කර නොගන්නේ.. මේකෙ අවසානය දුක්ක කියලා ඇයි තේරුම් නොගන්නේ..

එහෙනම් අපේ ගෙදරට සිද්ධ වෙච්ච ටෙලිෆෝන් කතන්දරේ නිර්මාතෘ තමයි සදාදර මොරීන්.. මෙච්චර දවසක් ටෙලිෆෝන් අදෝනාවට දාලා සියලු වැඩ කටයුතු බාධකයකින් තොරව කරලා තියෙන්නෙ මේ මල හොල්මන තමයි.. කවුද අප්පේ ඔහොම දෙයක් හිතුවේ.. මෙයා මේ තරම් පිස්සු විකාරයක් කරයි කියලා බන්ටි කීයටවත් හිතුවෙ නෑනේ.. ඒහෙනම් අයියා කාරයගෙ ෆෝන් එකටත් පැලෙනකන් කෝල් දෙන්න ඇත්තෙ මෙයා තමයි.. සමහර විට එහෙම කෝල් දීලා මේ බන්ටි ගැනත් වචනයක් දෙකක් දාන්න ඇති.. ඒකනේ අයියාකාරයා මට එදා පැලෙනකන් බැන්නේ.. අනික උගෙත් ඉතිං අලි ඔලුවනේ.. කෙල්ලෙක්ගෙන් කෝල් දෙක තුනක් ආව කියලා ඔය තරමට නැට්ට පාගගන්න ඕන නෑනේ.. හරියට නිකං උගේ හොදම අවයවේ කපාගෙන ගියා වගේනේ එදා මට කඩං පැන්නේ.. 



                                                             

No comments:

Post a Comment