Sunday, April 8, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






මොරීන් අක්කා කිව්ව කතන්දරේ ගැන කල්පනා කරද්දි මට එකපාරටම මතක් උනේ අයියයි, අක්කයි මුතූ ගැන කතා කරපු විදිය.. ඇයි අක්කා කිව්වෙ පංඩිතයා වගේ, සපෝර්ට් එකක් ඕන නම් ඉල්ලන්න කියලා.. අම්මපා සහෝදරයින් කියන කතාද මේවා.. හැබැයි ඉතිං ඔය මුතූ කියන නමට ඉස්සරහින් තවත් මොකක්දෝ කෑල්ලක් තිබ්බා වගේ බන්ටිට මතකයි.. නිකං නිකං පින්නක් ගැන කියනව වගේ කතන්දරයක්.. මොනව උනත් මොරීන් අක්කා හිතන විදියට අයියා මුතූත් එක්ක සම්බන්ධයක් පටන් අරන් නම්, එඑක අංශුමාත්‍රයක තොරතුරක්වත් මට කියන එකක් නෑ.. මිනිහා හිතන්නෙ මට කිව්වොත් හෝදා පාලුවෙලා යයි කියලනේ.. හැබැයි මෑන් දන්නෑ වැඩිය හෝදා පාලුවෙන්නෙ මට නොකිව්වාම කියලා..


"බන්ටි මහත්තයෝ.. ටෙලිෆෝන් එක වදිනවා නේද..?"

මගේ කල්පනාවෙ තරම කොයි තරම්ද කියනව නම් බේබි නැන්දා කතා කරන කල් මට කිසිම සද්දයක් ඇහුණෙ නෑනේ.. අම්මප මට මොනව වෙලාද..? අනුන්ගෙ වහුකුණු ගැන ඇයි මං මේ වැටීගෙන කල්පනා කරන්නේ..? මට කල්පනා කරන්න දේවල් නැද්ද..? මේ කොහේවත් ඉන්න අපතයො ගැන හිතන්නේ..

"හෙලෝ.."

"බන්ටි.. මං අමිල.."

අමිල කියන්නෙ ලේසියකට දුරකතන ඇමතුමක් දෙන එකෙක් නෙමෙයි.. ඌ ඇමතුමක් දුන්නා කියන්නෙ එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියනෙක.. හදිස්සියක්වත් වෙලා බින්දු නාවලපිටියෙ ඉදන් ඇවිල්ලද දන්නෑ.. මට හිතුණෙ එහෙමයි..

"මොකද හදිස්සියෙ උඹට මාව මතක් උනේ..?"

"උඹව නම් නිතරම මතක් වෙනවා.. බලන් ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට වරෙන්.."

බලන් ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට වරෙන්ලු.. මොකක්ද බං ඒ අඩුපාඩු සහිත කතාව.. මං මගෙන්ම අහගත්තා..

"කොහේටද..? මොකක්ද අවුල..?"

"ඇටකිච්චා, නිරෝෂිවත් අරගෙන මල් වත්තට ගිහින්.. මේ දැන්.. විනාඩියක්වත් පරක්කු වෙන්නෙපා බන්ටි.. ආයෙ මේ වගේ අවස්ථාවක් අපිට උදාවෙන්නෑ.. කරන මගුලක් අදම කරන්න ඕන.."

"මං මේ දැන් එනවා.. හැබැයි අමිල මම එනකල් ඇටකිච්චට අතක් උස්සන්නෙපා.. ඌට ඉස්සෙල්ලම නෙලන්නෙ මමයි.. මට ඒ චාන්ස් එක තියපං.."

තවත් හැරි හැරී ලතවෙන්න වෙලාවක් මට තිබ්බෙ නෑ.. මගේ හිතේ තිබ්බ එකම දේ පුළුවන් තරම් ඉක්මනට පේරාදෙණි හාඩ්න් එකට යන එක.. දනි පනි ගාලා මං ෆුල් ඔප්ෂන් චැලිය හරව ගත්තා.. මේකෙ පැට්‍රල් තියෙයිද මන්දා..

"ඔය ගමන යන්නෙපා මහත්තයෝ.. මං කතාව අහගෙනයි හිටියේ.. ඔය යන ගමනෙ හොද දෙයක් වෙන්නෑ කියලා මගේ හිත දන්නවා.."

මගේ ඉස්සරහ හිටියෙ බේබි නැන්දා.. අම්මට, තාත්තට මොන දේ කිව්වත් මේ වයසක මනුස්සයට කටක් ඇරලා දෙයක් කියන්න තරම් හිතක් මට තිබුණෙ නෑ.. අනික මේ මොහොත උදාවෙනකල් මං දවස් කීයක් නම් බලන් හිටියද..? වෙන කෙනෙක් නම් මං මෙලහකට කට හතර පැත්තට නවලා..

"මොනව උනත් මං මේ ගමන යන්නෝන බේබි නැන්දේ.. මෙතන තියෙන ප්‍රශ්නෙ ඉවරයක් කරලා දාන්නෝන.. එහෙම නොවුණොත් මීට ඉස්සරහට තව හුගාක් ලොකු ප්‍රශ්න එයි.. ඔයා බයවෙන්නෙපා බේබි නැන්දේ.. ගියා වගේම මං ආයෙ යහතින් එනවා.."

තවත් වචනයක්වත් කියාගන්න බැරිව බේබි නැන්දා මගේ දිහා බලන් ඉද්දි මං චැලිය ගේට්ටුවෙන් එළියට ගත්තා.. දැන් ඉතිං පලයං පුතා.. ගජබා සුපර් ක්‍රෝස් එකට පදිනවා කියලා හිතාගෙන.. ටිකක් දුර යනකොට මට හිතිලා තිබ්බෙ මං මේ 250R යමහා ට්‍රේල් දන්ඩක් උඩ කියලා.. යන්නෙ චැලියෙ උනත් ට්‍රේල මවාගෙන මං උපරිම වේගෙන් පියාඹන්න ගත්තා.. වෙනද පැය බාගයක් විතර යන ගමන මං විනාඩි විස්සකින් විතර ඉවර කරා.. ගාඩ්න් එකේ ගේට් එක ළග ඉදන් අත් දෙකම වනන සරිගමයව මං ඈතටම දැක්කා.. ඊට ටිකක් එහායින් අමිලයි, රවීනුයි, ලොකු පුතයි එතකුවෙලා වට මේස සාකච්ඡාවක්..

"යකෝ උඹ පියාඹලානේ..?"

ලොකු පුතා මගේ දිහාට එනගමන් කෑගැහුවා..

"කෝ දැන් ඩබල..?"

"ආන් අර පැත්තට ගියා.. අද නම් දෙන එක දෙමු බන්ටි පැණි බේරෙන්න.. වැඩිය ඕන්නෑ.. නිරෝෂිටත් හොදවයින් කම්මුල් පාරවල් දෙක තුනක් දෙමු.."

සරිගමයා දැන්මම වැඩේ ප්ලෑන් කරනවා.. උගේ කතාවෙ පළවෙනි කොටස හොදයි.. ඒත් දෙවනි කොටස අතාත්විකයි.. ඒක හින්දා මං මගේ තාත්වික කොටස ඉදිරිපත් කලා..

"සුරේන්.. අපි ඇටකිච්චට නෙලන්න ඕනෙ නිරෝෂිව අයින් කරලා.. ඒකි ඉන්න තැන ගැහුවොත් මේ නිවුස් එක අපේ බින්දුවට ඉබේම යයි.. අපි ඇටකිච්චට නෙලලා මුකුත් දන්නැති තොත්ත බබාලා වගේ ඉදිමු.. ඊට පස්සෙ අපිට පුළුවන්නේ නිරෝෂිගෙ ඊළග පිම්ම මොකක්ද කියලා දැනගන්න.."

"වැඩේ නම් සිරා තමයි බන්ටි.. ඒත් අපි කොහොමද ඇටිකිච්චව තනිකර ගන්නේ..?"

"අපි උං ඩබල ගාවට රවීන් යවමු.. මුගේ මූණත් තහඩුව නිරෝෂිට නෝට් නෑනේ.. අපිව නම් ඒකි යංතන් හරි දැකලා තියෙනවනේ.. මොකද රවීන් කියන්නේ..? වැඩේට බහිමුද..?"

"මොනව කියන්නද බන්ටි අයියා.. එක පාරට දෙපාරක් මං වැඩේට බහින්නම්කෝ.. එතෙන්ට ගිහින් මං මොනවද කරන්න ඕන කියලා විතරක් කියන්න.. ඉතුරු හරිය මං බලාගන්නම්.."

"උඹට බලාගන්න දෙයක් අපේ බන්ටි ඉතුරු කරන එකක් නෑ.."

"කපල් එක ටිකක් කැලේට වෙන්නයි ඉන්නේ.. අපේ වැඩේට ඒක ලේසියි.."

නිරෝෂියි, ඇටකිච්චයි පිටිපස්සෙන්, රහස් පරික්ෂක වැඩේ කරපු අමිලත් අපි ළගට දුවගෙන ආවා.. ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවර් දෙක තුන වගේ නියම උණුසුමක් ඒ වෙනකොට පේරාදෙණිය ගාඩ්න් එකේදි දැනෙන්න පටන් අරන් තිබුණා.. දැන් තියෙන්නෙ හයේ හතර පාරවල් නෙලන වෙලාව..

"රවීන්.. උඹ ගිහින් ඇටකිච්චට කියපං.. උගේ යාලුවො වගයක් ඉන්නවා ඌව හම්බවෙන්න කියලා.. ලොකු හදිස්සියක් කියපං.. වැරදිලාවත් නිරෝෂි ඌත් එක්ක එන්න හැදුවොත් දන්න ශිල්ප ඔක්කොම දාලා ඒකිව නවත්තපං.. දන්නවනේ.. ඒකි ආවොත් වැඩේ වල් වෙනවා කියලා.."

මං අන්තිම උපදෙස් ටික රවීන්ට දුන්නා.. හැමදෙයක්ම අකුරටම ඔලුවට ගත්තා වගේ ඌ ඔලුව දෙපැත්තට වැනුවා..

"විනාඩි පහයි කියපං.. නිරෝෂිට නැගිටින්න දෙන්න එපා.. ඒ විනාඩි පහට අපි කරන්න ඕන හැම දෙයක්ම කරන්නම්.."

සරිගමයා ඒ පාර මැරවර මූණක් හදාගෙන.. මූට තේරෙන්නෙ නැද්ද මන්දා මේ විදියට බුම්මගෙන ඉන්නකොට මැරවරයෙක් නෙමෙයි ජෝකර කෙනෙක් වගේ කියලා.. මට හිනාවකුත් ගියා සරිගමයගෙ මූණ දැකලා..

"බන්ටි එහෙනම් අපි මූව යවමු.. අරුන් දෙන්නා කැලේ අස්සෙ මොනව කරනවද දන්නෙත් නෑනේ.. ඇඩෝස් ඔන්ලි ෂෝ එකක් තිබුණොත් හෙම රවීන් පළාතක යන එකක් නෑ.."

"එහෙනම් අපි අනිත් පැත්තට යමු.. රවීන් වැඩේ දශමෙට කරයිනේ.."

හැම එකාගෙම මූණුවල තිබ්බෙ මහා ලොකු උනන්දුවක්.. ඒ උනන්දුව, ඒ කැපවීම බින්දුට තියෙන අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හින්දා කියනෙක මං හොදටම දැනගෙන හිටියා.. ගාඩ්න් එකේ පදුරු ගොන්නකට මුවා වෙලා අපි කට්ටියම බලන් හිටියෙ ඇටකිච්චා එනකල්.. වැඩේ කියන්නෙ මේ හෝතම්බුවා නිරෝෂිව එක්ක ඇවිල්ලත් තිබුණෙ මෙලෝ මනුස්සයෙක් නැති හරියකට.. උගේ අවාසනාවට හිටියෙ ඒකයි..

වැඩිම උනොත් විනාඩි දෙකක් යන්නැති.. රවීන් එක්කම ඇටකිච්චා ඈත එනවා අපි දැක්කා.. අඩෝ හෝතම්බුවා.. වෙල් කක්කුට්ටා.. වරෙන්කෝ.. අද තමයි උඹ දැනගන්නෙ තහනම් ගහේ ගෙඩි කෑවාම බඩ යනවා කියලා..

"බලපංකො මූ පැණියා වගේ හිනා වෙවී එන හැටි.."

බින්දුගෙ අහිංසක මූණ මතක් වේදදි ටිකෙන් ටික අපිට ලංවෙන ඇටකිච්චව සම්බෝල හදලා, පාන් එක්ක කැත නැතුව කන්න තරම් මට ආස හිතුණා.. අම්මපා මූ අලි මෝඩයා වගේ අපි ළගටම ආවනේ.. අද දෙන්නම් උඹට ජම්බුයි, පිණි ජම්බුයි දෙකම.. අමිලයි, ලොකු පුතයි පැනපු ගමන් ඇටකිච්චා අපි හිටපු පදුර අස්සට ඇදලා ගනිද්දි සරිගමයා උගේ කට අතින් වැහුවා.. තැන්තන් මූ ගිරිය යටින් කෑගහනවනේ..

"රවීන්.. උඹ ආයෙත් ගිහින් අරකිට කියපං මූට හදිස්සියක් කියලා.. ඒකිට ගෙදර යන්න කියලා.. ඕන නම් කියපං මුගේ තාත්තා ගාඩ්න් එක ළගට ඇවිත් කියලා.. ඒක හින්දා ෂේප් එකේ පුලුවන් තරම් ඉක්මනට ගාඩ්න් එකෙන් එළියට යන්න කියලා.."

හිතට ආපු දේ රවීන්ට කියන ගමන් මං ඇටකිච්චගෙ හොම්බට පාරක් ඇන්නා.. මගේ පාර ඇටකිච්චගෙ තොල කට පුරාම වදිනකොට තමයි සරිගමයා අත ගත්තේ.. නැත්නම් උගේ අතටනේ ඒ පාර වදින්නේ..

"උඹ අද ඉදලම මේ සම්බන්දෙ නවත්තන්න ඕන.. නැත්නම් මං උඹව මරණවා.."

අමිලයි, සුරේනුයි ඇටකිච්චගෙ බඩ පුරවලා පාර දෙද්දි මං ඇයෙත් මැද්දට පැන්නා.. අපේ අහිංසකයගෙ කෙල්ලව අතෑරපං කිය කියා මං ඌට බිම වැටෙනකන්ම ගැහුවා.. කෑගහන්න බැරි කමටද කොහෙද ඇටකිච්චා පොලව බදාගෙන අඩනවා අන්තිමට මං දැක්කා.. මූණ පුරාම ලේ හලාගෙන යද්දි ඇටකිච්චා මගේ කකුල් දෙක අල්ලලා මට වැන්දා..

"අ.. අනේ.. ම.. මට ගහන්නෙපා.. ම.. මට යන්න දෙන්න.. හොදටම රිදෙනවා.. බුදු අයියේ.."

"උඹට රිදෙනවා යකෝ.. අපේ කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ව ජෝඩු දාගෙන තෝ මල් වත්තට රිංගද්දි අපේ එකාට කොයි තරම් රිදෙනවද..? ආ.. කියපං.. කියපං.. තෝ ආයෙ ඒකිත් එක්ක රවුම් ගහනවද..?"

දෙකට තුනට නැමිලා මට වදින ඇටකිච්චගෙ බෙල්ලෙන් අල්ලලා ආයෙත් හයියෙන් හොලවන ගමන් මං ඇහුවා.. හතර අතින්ම ලේ ගලාගෙන ගිහින් උගේ සුදු මූණ රතු මල් වඩමක් වගේ වෙලා තිබුණා..

"අ.. අනේ නෑ.. බුදු අයියේ.. මට ගහන්නෙපා.. ම.. මං ඔයා කියන ඕනම දෙයක් කරන්නම්.."

"වැඩි දෙයක් නෑ.. උඹට කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ තමයි අද උඹ ජෝඩු දාලා මෙහෙට එක්කං ආපු මල පෙරේති එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන එක.. මොකද කියන්නේ..? තෝ ඒක කරනවද..? නැත්නම් මගෙන් තව කනවද..?"

ඇටකිච්චගෙ වම් අත අනිත් පැත්තට අඹරන ගමන් මං උගෙන් ඇහුවා.. රතු පාට වෙච්චි ඇස්වලින් තවත් කදුළු ගලාගෙන එද්දි ඌ මං දිහා පුංචි එකෙක් වගේ බැලුවා..

"ආ.. ආයෙ ගහන්න නම් එපා අයියේ.. ම.. මං සම්බන්ධෙ නවත්තන්නම්.. අයියා එයාටත් කියන්න ආයෙ මාව හම්බවෙන්න එන්නෙපා කියලා.."

"මේ.. උඹ ඒකත් අපිට කියන්නද කියන්නේ..? දැනගනිං.. අපට උඹව මරලා හංගන්න උනත් පුළුවන්.. ඒක හින්දා නවත්තන වැඩෙත් උඹම බලාගනිං.. තේරුණාද..?"

ඇටකිච්චගෙ පිටිපස්සෙන් පයින් පාරක් ගහන ගමන් අමිල කෑගැහුවා..

"හැබැයි තෝ මේ ගැන පොලීසියට එහෙම කියලා තිබ්බොත්.. තෝයි, තොගේ පවුලෙ ඔක්කොමයි බාවනවා.. ඒක හොදට මතක තියාගනිං.."

ඇටකිච්චගෙ ඇස් දෙක නළලටත් උඩින් යවන ගමන් සරිගමයා කිව්වා.. ඌ දැන් තනිකරම මැරයා වෙලා.. ඇටකිච්චා කොයි තරම් බයවෙලාද ඉන්නෙ කියලා කියනවා නම් තව විනාඩියකින් නැත්නම් දෙකකින් ඌට සිහිය නැතිවෙයි කියලා මට හිතුණා..

"ගෙදරින් ඇහුවොත් කියපං බයිසිකලෙන් වැටුණා කියලා.. හැබැයි පුතෝ තෝයි, අරකියි ආයෙ කොතැනක හරි එකට ඉන්නවා දැක්කොත් ඒකිටයි, තොටයි දෙන්නටම මීට වැඩිය කන්න වෙයි.. තේරුණාද..? පුළුවන් නම් අද හෙටම මේ පළාත අතෑරලා පලයං.. විහිලුවටවත් අපේ ඇස් වලට පේන්න එන්නෙපා.."

ඇත්තටම ඇටකිච්චට නැගිටගන්නවත් පණක් තිබුණෙ නෑ.. ඇයි ඉතිං අපි තුන් හතර දෙනාම ඌට වටකරන් ගැහුවනේ.. කමක් නෑ.. දැන් ඒ වැඩෙත් ඉවරයි.. ගුටි කාපු එකා ඒවා මතක තියෙනවා නම් ඌ ආයෙ විහිලුවටවත් නිරෝෂි දිහා බලන එකක් නෑ.. 

"පුළුවන් තරම් ඉක්මනට මෙතනින් මාරු වෙමු බන්ටි.. සමහර විට නිරෝෂිට සැක හිතිලා මෙතෙන්ම ආවොත් හැමදේම අතේ මාට්ටු.."

"මූ මෙතන මැරෙයිද අමිල.. අර ටැප් එකෙන් වතුර ටිකක් ගෙනැල්ලා මුගේ ඔලුවට වක්කරමු.."

"ඕන්නෑ බන්ටි.. කොයි තරම් ගුටි කෑවත් මූට නැගිටින්න පණ තියෙනවා.. කොහොමටත් කාපු කෑමෙ හැටියට මූට සතියක් දෙකක් විතර බෙඩ් රෙස්ට් තමයි.."

"ආදරයයි, ගුටි කෑමයි රිය සක වගේ එකට යන දෙයක් කියලා කුමාරෝදයෙ තුන්වෙනි පරිච්ඡේදෙ ලියලා තිබුණා.."

ලොකු පුතා මේ තරම් බැරෑරුම් අවස්ථාවක කිව්වෙ අහස පොළව උහුලන්නැති කතාවක්.. මූ කයිය ගැහුවට ජීවිතේට කුමාරෝදය අතින් අල්ලලවත් නැතුව ඇති.. ඇටකිච්චා අදිද්දි අපි කොල්ලො ටික ගාඩ්න් එකේ ගේට්ටුව දිහාට ඇවිදගෙන ආවා.. එතකොට තමයි මං දැක්කෙ අපේ පිටිපස්සෙන් දුවගෙන එන රවීන්ව..

"මොකද මල්ලි පරක්කු..?"

"කෙල්ල ආපහු ඇටකිච්චා ගාවට ගියාද..?"

"නැත්නම් නිරෝෂි උඹට සෙට් උනාද..? උඹත් ඉතිං අපේ බන්ටි තරම්ම හැන්ඩියනේ.."

"ඔයා පිස්සු කතා කරනවා සුරේන් අයියේ.. මං හිතුවට වඩා වැඩිය ඒකි මාර මීටරේ.. මුලින් විශ්වාස කරේම නෑ.. මං කිව්වා ඇටකිච්චගෙ තාත්තට ඔයා මාට්ටු උනොත් හොද නෑ.. එතකොට හැම දෙයක්ම අනාථයි කියලා.. ඇටකිච්චා උනත් හීන් සීරුවෙ ගාඩ්න් එකෙන් පැන ගනියි.. ඔයා පුළුවන් තරම් ඉක්මනට මෙතනින් මාරු වෙන්න කියලා.."

"ඊට පස්සෙ මොකද උනේ..?"

"කෙල්ල මාව විශ්වාස කරේ නෑ කියලා මට තේරුණා.. මට පේන්න කෙල්ල ගාඩ්න් එකේ ගේට් එක දිහාට ඇවිදන් ඇවිත් හොදට වටපිට බලලා ඒකියි, ඇටකිච්චයි මුලින් ඉදපු තැනට ආපහු ගියා.. ඔන්න තව විනාඩියකින් නැත්නම් දෙකකින් ඒකි ඇටකිච්චා හොයා ගනියි.. ඊට කලින් දෙයියනේ කියලා අපි කට්ටිය මාරුවෙමු.. ශරීර සෞඛ්‍යට ඒක හැම අතින්ම ගුණදායකයි.."

රවීන් කියන කතාවෙ ලොකු ඇත්තකි තිබුණා.. අපි තර්ජනේ කරේ ඇටකිච්චටනේ.. නිරෝෂිට නෙමේනේ.. ඒ හින්දා මේ වෙලාවෙ නිරෝෂි මොනව කළත් අපට ඉවසන්න වෙනවා.. 

"කොහොමත් සතියක් දෙකක් යනකල් රවීන් එළියට බහින්නෙ නැතුව ඉන්නවා නම් හොදටි.."

"ඒ මොන බම්බුවටද..? ඇටකිච්චට ලැජ්ජාවක් තියෙනවා නම් මේ පැත්ත පලාතෙ පස් පාගන එකක් නෑ.. නැද්ද බන්ටි අයියේ.."

"ඇටකිච්චගෙ ප්‍රශ්නයක් නෑ රවීන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ නිරෝෂීගෙන්.."

"ම.. මට තේරුන් නෑ.."

"ඒකිට උඹව අන්තිම දශමෙට නෝට් වෙන්නැති.. අපි මොන බයිල ගහලා ඇටකිච්චව බය කරත්, ඒකා නිරෝෂිට වෙච්ච කතන්දරේ කියයි.."

"දැන් එහෙනම් ලොකු පුතේ මොකේද දන් වලදන්නේ..? පාත්තරෙත් කුඩු වෙලානේ.."

"කරන්න කිසිම දෙයක් නෑ.. දැන් වැඩේ කරලා ඉවරයි.. හැබැයි නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි පස්සෙන් පන්නන එක අපි නවත්තන්නෙ නෑ.. ඒ සෙවුම් බැලුම් තව ඉදිරියටත් සිද්ධ වෙනවා.. දැන් මේ සිද්ධියට අපි බැහැල ඉවරයි.. අපේ බින්දු වෙනුවෙන් අපි මේ හිටිය වගේම ඉස්සරහටත් ඉන්නෝන.."

කොල්ලො හැම එකාගෙම මූණු දිහා බලලා මං කිව්වා.. හැම එකාම මාපටැගිල්ල උස්සලා වැඩේ ෆිට් කියලා කියද්දි අමිල මගේ ළගට ආවා..

"ඇටකිච්චට ගැහුවා කියලා කතන්දරේ ඉවර වෙන එකක් නෑ බන්ටි.. නිරෝෂි තවත් ඌට ලංවෙයි.. ඒක හින්දා අපිට තවත් මොනවා හරි කරන්න වෙනවා.."

"කරන්න නම් තියෙන්නෙ එක දෙයයි.."

"ඒ මොකක්ද බන්ටි.. ආයෙත් ඌට නෙලන එකද..?"

"නෑ.. අපි නිරෝෂිට දැනගන්න තියමු, ඇටකිච්චා ඔය ගුටි කෑවෙ උගේ වෙන ලව් එකක් අහුවෙලා කියලා.. ඒ යාලුවෙච්ච කෙල්ලගෙ අයියලගෙන් කියලා.."

"විශිෂ්ටයි බන්ටි.. අන්තිම උත්කෘෂ්ටයි.. උඹ නම් අදහන්න වටින එකෙක්.. ඔය වැඩෙන් ඇටකිච්චා නන්නත්තාර වෙනවා.. ඌට ඇපත් නැතිවෙනවා.. නිරෝෂි ඌ ඉන්න පැත්තට හැරිලා නිදාගන්නෙ වත් නැතිවෙයි.."

"ඒ වැඩෙත් මට බාරදෙන්න බන්ටි අයියා.. මං අමිලත් එක්ක එකතු වෙලා නිරෝෂිට මැසේජ් එක යවන්නම්.. ඔය කතන්දරේ ඇහුනම ගෑනිට සිහිය නැතිවෙයි.."

රවීන් පැනලා වැඩේ බාරගත්තා.. මූ නම් මාර පොරක්.. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙනවා වගේ මේකා කවද හරි මාවත් පහු කරලා යයි.. එහෙම හිතෙද්දි මට මාර ගතියක් ආවා.. ඔය වගේ පස්සට යන්නැතුව කෙලින් ඉන්නවා නම් මොනවද අප්පා කරන්න බැරි.. බොක්ක කපලා බඩවැල් ටික උනත් දෙන්නම්කෝ.. අතපත ගගා ඉන්න..

                                            ****************************

හුටු හුටු යන්තරේට නැගලා ආපහු ගෙදර එද්දි මගේ හිතේ තිබ්බෙ පුදුම තරමෙ ලොකු සතුටක්.. බින්දුගෙ ආදරේට තිබ්බ මහා ලොකු බාධකේ, කිසිදු අවුලකින් තොරව අයින් කරා කියන හැගීමම මට මාර ගතියක් ගෙනාවා.. මීට පස්සෙ ඇටකිච්චා විහිලුවටවත් නිරෝෂි දිහා බලනෙකක් නෑ.. අනිත්තෙක ඇටකිච්චා තව කෙල්ලෙක් හන්දා අම්බානෙක ගුටි කෑවා කියන පණිවිඩේ නිරෝෂිට ගියාම ඒකි තරහකට වත් මූ දිහා බලනෙකක් නෑ.. අනුන්ගෙ කෙල්ලෙකුට ලව් කරා කියනෙකට කරන්න තියෙන එකම දේ අම්බානකට ගුටි දීම නම් ඒ වැඩේ සිරාවටම කරා කියන හැගීම හිතේ තියා ගෙන මං ගෙට ගොඩ උනා.. ගෙදර ඉස්සරහ පඩියට අත තියනකොටම මට මොකක්දෝ අවුලක් දැනුණා.. මං බැලුවෙ බේබි නැන්දා පේන්න ඉන්නවද කියලා.. මොකක් හරි අවුලක් නම් එයා එළියෙ ඉදගෙන හරි මට අනතුරු අගවනවනේ.. ඒක හින්දා මේ දැනෙන අමුත්ත මං සම්බන්ධ එකක් නෙමෙයි කියලා මං හිතාගත්තා..

"බන්ටි.. ඔහොම නවතිනවා.."

සාලෙ පුරාමත් කිසිම කෙනෙක් නැති හින්ද මං හෙමින් සීරුවෙ පඩිපෙළ දිගේ උඩට යන්නයි හැදුවේ.. ඒත් කෑම කාමරේ පැත්තෙන් මට අම්මගෙ කටහඩ ඇහුණා.. වෙනදා මේ වගේ වෙලාවට කීයටවත් ගෙදර ඉන්නැති අම්මා දකිද්දි මට පුදුමත් හිතුණා.. අනික අම්මා හයියෙන් කතා කරපු තාලෙත් මට ඇල්ලුවෙ නෑ.. පොතේ හැටියට නම් ලෙඩක් පාටයි පුතේ..

"ඇයි අම්මා..?"

"ඇයි අම්මා තමයි.. එක විනාඩියක් ඔයාට ගෙදරට වෙලා ඉන්න බැරිද..? කොයි වෙලාවෙ බැලුවත් රෝන්දෙ ගැහිල්ලම තමයි.. ඔයා හදන්නෙ අපිට ලැජ්ජ කරන්නද බන්ටි.. මොකක්ද මේ රස්තියාදු ගැහිල්ලෙ තේරුම..?"

"මං උදේ ඉදන් ගෙදරනේ අම්මා හිටියේ.."

"බොරු කියන්නෙපා.. අර එක පාරක් බොරු කියලා මහියංගනේ ගිහින් ආවට පස්සෙ මට ඔයාව බින්දුවක්වත් විශ්වාස නෑ.. මට කියන්න දැන් ඔයා කොහෙද ගියේ කියලා..?"

ඕනම කෙනෙකුට  ඕනම දෙයක් කියන විදියක් තියෙනවා.. ඒක බන්ටි හදවතින්ම අදහපු දෙයක්.. ඒත් මාව එක බින්දුවක්වත් විශ්වාස නෑ කියල ඉවර වෙලා මං කොහෙද ගියේ කියල අහපු ප්‍රශ්නෙට මගෙන් හරි හමන් උත්තරයක් හම්බවෙයි කියලා අම්මා කොහොමද තීරණේ කලේ..? එහෙම නම් අම්මා කතන්දරේ පටන් ගත්තෙම වැරදි තැනකින්.. ඔහොම ගිහිල්ලා නම් මගෙන් ජීවිතේට දෙයක් අහගන්න බෑ, අම්මේ..

"ඇයි බන්ටි කතා කරන්නැත්තේ..? මං අහපු දේට උත්තර දෙන්න බැරිද..?"

"දෙන්න බැරිකමක් නෑ.. ඒත් මං කියන දේ අම්මට විශ්වාස නැත්නම් මං මොනව කිව්වත් වැඩක් නෑනේ.."

මගේ කතාවට අම්ම විනාඩියක් දෙකක් විතර ගොලු උනා.. සමහර විට ඊළගට අහන්න තියෙන දේවල් හිතේ පෙළ ගහ ගන්නවා ඇති..

"විශ්වාස කරන්න බැරි දේවල් කරේ ඔයානේ.."

මං හිතුවෙ නැති තැනකින් කතාව ආයෙත් මතුවුණා..

"ඔය කියන්නෙ මහියංගනේ ගියපු ගමන ගැන නම් ඒක සම්පූර්ණ වැරැද්ද මම බාර ගන්නවා.. ඒත් ඒක දැන් වෙලා ඉවරනේ.. ඇයි එතනින් එහාට මං කරන දේවලුත් ඒ මිම්මෙන්ම මනින්නේ.. ඒක හරි අසාධාරණයිනේ.."

"ඒ කියන්නෙ ඔයා අපිට නොකියා මහියංගනේ ගියපු එක හරි..? ඒකද ඔයා ඔය කියන්නේ..?"

අම්මපා මේවට තමා ඉතින් පොල් පරාල පයින් යනවා කියන්නේ.. අම්මා අද ඔෆිස් එකෙන් ඇවිල්ලා තියෙන්නෙ අනිත් මැනේජරයත් එක්ක රංඩු කරගෙනද මන්දා.. ඇයි හත්තිලව්වේ.. පරණ බඩකඩිත්තුවක් මතක් කරගෙන අම්මා මේ හදන්නෙ මගෙත් එක්ක රංඩු වෙන්නද..? මේ ගෙදර මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ..? පහුගිය දවස්වල අයියයි, අක්කයි මාව මරන් නොකෑවා විතරයි.. අද අම්මත් ඒකට එකතු වෙලා..

"ඒ ගමන මගේ පැත්තෙන් නම් හරි අම්මේ.. ඒත් ඔයාගෙ පැත්තෙන් වැරදි ඇති.. අනික ඒ ගමන ගිහින් ආවට පස්සෙ මට පැලෙනකන් බැන්නා මිස මං ගියේ මොකටද කියලවත් ඔයා ඇහුවෙ නෑ.. අදත් ඒ කතන්දරේම ඇදල අරගෙන මට හින්ට් ගහනවා.."

"මං මේ කරන්නෙ ඔයාට හින්ට් ගහන එකද බන්ටි.. මට ඔයාගෙන් මුකුත් අහන්න බැරිද..? මට ඒකට අයිතියක් නැද්ද..? මං ඔයාගෙ කවුරුත් නෙමේද..?"

ඒ අන්තිම වචන හත අට අම්මා ඇහුවෙ හරි පුදුම විදියට.. මොකක්දෝ හිතා ගන්න බැරි ආගන්තුකකමක් ඒ වචන ටිකේ රැදිලා තිබුණා.. වෙනද නම් මේ වගේ කතාවක් ඇදිල යද්දි බෙබි නැන්දා හත් අට වතාවක් මැද්දට පැනලා.. ඒත් අද ඇයි එයා පේන්නවත් නැත්තේ.. මගේ හිතට ඒ දේත් ලොකු බරක් ගෙනාවා..

"අම්මා ඔය කතා කරන දේවල් නම් මට තේරෙන්නෑ.. අනික ඔය කියන දේවල් මේ කතාවට අදාලත් නෑ.. මට පේන විදියට අම්මට ප්‍රශ්නෙ තියෙන්නෙ මං අද ගෙයින් එළියට බැහැපු එක නෙමේ.. වෙනින් එකක්.."

"නෑ.. මට ප්‍රශ්නෙ තියෙන්නෙ අද ඔයා ගියපු ගමන.. මට ඒකට කෙලින් උත්තරයක් ඕන.."

ඇත්ත කියලා වැඩක් නැති උනත් අන්තම පාරට වෙච්ච දේ ගැන කියන්න මං තීරණේ කරා..

"බින්දුට සල්ලි හදිස්සියක් වෙලා.. මං බැංකුවට ගියා දාලා එන්න.."

"ඔයාට කොහෙන්ද සල්ලි..?"

"ලැබුනු තැන අහන්නෙපා.. අම්මා මුලින් අහපු ප්‍රශ්න වලට මං උත්තර දුන්නනේ.."

"ලැබුණු තැන අහන්නෙපා කියන්නෙ ඒ සල්ලි හොරකම් කරපුවද..?"

අම්මගෙ මූණෙ තිබ්බෙ මහා රලු පෙනුමක්.. මීට කලින් තුන් හතර පාරකදිත් මං ඒක දැකලා තිබ්බා.. ඒ අයියයි, අක්කයි එක්ක මං රණ්ඩු කරපු වෙලාවල් වල..

"අම්මා හොදටම දන්නවා මං ඒ වගේ පහත් වැඩ කරන්නෑ කියලා.."

"නෑ.. මං ඔයා ගැන කිසිම දෙයක් දන්නෑ.. කලින් නම් හුගාක් දේවල් දැනන් හිටියා.. ඒත් දැන් ඔයා මගෙන් ඈතට ගිහිල්ලා.. ඇත්තටම මං දැන් ඔයා කරන කියන කිසිම දෙයක් දන්නෑ.."

අම්මා මොනවද මේ කියවන්නේ..? අම්මා හදන්නෙ අද හවස් වරුවෙම මගෙත් එක්ක රංඩු කරන්නද..?

"අනිත්තෙක ඔයා දැන් කිව්වෙ ලොකු බොරුවක් බන්ටි.."

"බොරුවක්..?"

"ඔව්.. ඔයා ගියපු බැංකුවක් නෑ.. ඔයා ගියේ පේරාදෙණිය ගාඩ්න් එකට.."

අම්මගෙ කතාවට මං උඩ ගිහින් බිම වැටුණා.. හරියට නකං දෙකේ දෙකේ පොල්ලකින් ඔලුව මැදට පත බෑවා වගේ.. දැන් ඉතිං කාලා වරෙන්කෝ.. අම්මා කොහොමද ඒ විස්තරේ දන්නේ..? 

"මං මොනවටද ගාඩ්න් එකට යන්නේ..?"

"ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ.. ඔයා උදේ ඉදන්ම ඉදලා තියෙන්නෙ එතන.."

යකෝ.. මේ තරම් අමූලික පට්ට කෙබර ඇද බාන්න, අම්මා කොහෙන්ද ඉගෙන ගත්තේ..? 

"අම්මා හරියට බලන් හිටියා වගේනේ කියන්නේ.. ඕන නම් බේබි නැන්දගෙන් අහන්න.. මං ගෙදරින් එළියට බැස්සෙ කීයටද කියලා.."

"හොරාගෙ අම්මගෙන් පේන අහන්න ඕනෙ නෑ බන්ටි.. ඔයා ගාඩ්න් එකේ හිටිය කතාව මට විශ්වාසයි.. මං අහන්නෙ ඇයි ඔයා ගාඩ්න් එකට ගියේ කියලා..?"

හොරාගෙ අම්මගෙන් පේන අහන්න ඕන්නෑ කියලා අම්මා කිව්වේ, බේබි නැන්දා හරියට මගේ අම්මා වගේ ස්ථිර විශ්වාසයෙන්.. එනත හොරාටයි, අම්මටයි වැඩිය එහා ගියපු කතාවක් තියෙනවා කියලා නිකමට වගේ මට හිතුණා.. මොලේ බාගයක් විතර අවුල් උනාම බන්ටිට ඔය වගේ විකාර සිතුවිලි එනවා.. ඒවා නවත්තන්න බන්ටිටවත් බෑ..

"මං ගියේ නෑ අම්මා.."

වෙනදා මාව හැම මරාලයකින්ම බේරගන්න බේබි නැන්දා ඉන්නෙ කොහෙද කියලා බලන්න මං වටපිට බැලුවා.. ඒත් එයා පේන්නවත් හිටියෙ නෑ.. අම්මපා මේ බේබි නැන්දා කොහේ ගිහින්ද මන්දා..

"ගියේ නැත්තෙ නෑ.. ඔයා ගාඩ්න් එකට ගියා.. ඔයාට බෑ බන්ටි මගේ කනින් රිංගන්න.. තාත්තයි, බේබි නැන්දයි රවට්ටන්න පුළුවන් උනාට ඔයාට බෑ මාව තම්බන්න.. තේරුණාද..? ඔයා සමහර වෙලාවට උඩ කාමරේට ගිහිල්ලා අපිට හිනාවෙනවා ඇති.. ඒත් ඔයා හොදට මතක තියාගන්න අන්තිමට රැවටෙන්නෙ ඔයයි කියලා.."

"අම්මා කියන දේ මට තේරෙන්නෙ නෑ.."

"මං කියන ඒවා නොතේරෙන්න ඔයා තොත්ත බබානේ.. ඔව් ඉතිං.. අර කොල්ලයි, කෙල්ලයි මායි ඇරෙන්න මේ ගෙදර ඉන්න හැමෝම තොත්ත බබාලනේ.. ඒක හින්දා ඒකෙ පුදුමෙකුත් නෑ.."

මේක මේ අම්මා මගෙත් එක්ක විතරක් කරන රංඩුවක් නෙමෙයි.. ඒ හින්ට් එක ගැහුවෙ කෙලින්ම තාත්තටයි, බේබි නැන්දටයි, මටයි.. අනික අම්මා තාම ඇදුම් මාරු කරලවත් නෑ.. ඔෆිස් එකෙ ඉදල ආපු ගමන්මද මන්දා ඉන්නේ.. වෙනදට අම්මා අහන හැමදේටම සං සං ගාලා උත්තර දෙන මගේ හිත අද සම්පූර්ණයෙන්ම අවුට් ඔෆ් ඕඩර් ගිහිල්ලා..

"ගාඩ්න් එකට රිංගුවෙ ගෑනු ළමයෙක් එක්ක නේද..?"

අම්මා හැම කතාවම නවත්තලා ඒ අලුත් කතාව එක්ක මගේ මූණටම එබුනා.. බුදු සන්තෝ.. මොකක්ද ඒ අසමජ්ජාති කතාව.. ඔය වගේ ලැජ්ජ නැති කතාවක් මං ඇහුවමයි..

"ගාඩ්න් එකට තියා පාරෙ යන්නවත් මට ගෑනු ළමයෙක් නෑ අම්මා.. ඔයා දන්නවනේ මං ඒ පැත්තට නෑ කියලා.."

"හොදයි මං හොයා ගන්නම්කෝ.. ඔයා මට මොනව කිව්වත් මං දන්නවා ඔයා ගාඩ්න් ගියා කියලා.. ඒ ගියේ ඇයි කියලා මට ඉක්මනට දැනගන්න පුළුවන් වෙයි.. හැබැයි බන්ටි ඔයා එකක් මතක තියාගන්න.. මට බොරු කරපු කිසිම කෙනෙකුට මං සමාවක් දීලා නෑ.. ඒක ඔයාටත් පොදුයි.. තේරුණාද..? ඔයා මොන සෙල්ලම නැටුවත්, අන්තිම සෙල්ලම නටන්න වෙන්නෙ මං ඉස්සරහ, තේරුණාද..?"

වෙනදා වගේ නෙමෙයි.. අම්මා අද කියාගෙන කියාගෙන ගියපු දේවල් වලින් තුනෙන් පංගුවක් මට තේරුණේ නෑ.. වෙනදටත් අම්මා මගේ පස්සෙන් එලෙව්වට ඔය වගේ කතා කියල නෑ.. අනික විනාඩියෙන් දෙකෙන් කතාව ඉවරයි.. ඒත් අද පැය බාගෙටත් වැඩියෙ මං ඉස්සරහ කියෙව්වනෙ.. කෝකටත් කියලා අම්මා ඩිංගක් එහෙට මෙහෙට වෙනකල් ඉදලා මං බේබි නැන්දගෙ කාමරේට එබුණා.. මුළු කාමරේ පුරාම තිබ්බෙ මහා පාලු මූසල ගතියක්.. ඒ මූසල ගතිය මැද්දට වෙලා බේබි නැන්දා අඩ අඩා හිටියා..

"ඇයි.. ඇයි බේබි නැන්දේ අඩන්නේ..?"

එකපාරටම දැකපු දෙයින් මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා.. දෙයියනේ.. කවදාවත් නැතුව ඇයි මේ බේබි නැන්දා අඩන්නේ..? 

"බ.. බන්ටි මහත්තයා කාමරේට යන්න.. ම.. මං පස්සෙ කියන්නම්.."

"නෑ.. නෑ.. බේබි නැන්දා.. මට දැන්ම කියන්න ඕන.. ඔයා දන්නවනේ බේබි නැන්දේ, මං ඔයා අඩනවා දකින්න ආසම නෑ කියලා.. මොකද උනේ කියලා විතරක් මට කියන්න.."

"ලොකු නෝනා මට හොදටම බැන්නා.. බන්ටි මහත්තයට යන්න දුන්නා කියලා.. නෝනට කවුද කියලා බන්ටි මහත්තයා මල් වත්තට ගියා කියලා.. ඒකයි ඔය කුලප්පු වෙලා තියෙන්නේ.."

"කවුද කියලා..?"

බේබි නැන්දගෙ ඒ කතාව මට බින්දුවක්වත් දිරෙව්වෙ නෑ.. ඒක මහ පුදුම කතාවක්නේ.. මං ගැන කවුද අප්පා අම්මට කියන්න ඉන්නේ.. අනික අම්මගෙ ඔෆිස් එකට ගිහින් කියන්න තරම් දෙයක් මං මල්වත්තට ඇතුල්වෙද්දි සිද්ධ වුණේ නෑනේ.. ඇටකිච්චට මං ගැහුවෙත්, මල්වත්ත කොනේදි වගේනේ.. එතකොට කියපු එකා හරි, ඒකි හරි කවුරු වුණත් ගහපු සීන් එක ගැන අම්මට කියලා නෑ.. ඒක බුදු ශුවර්..

"ඔව්.. කවුරු හරි තමයි කියලා තියෙන්නේ.. දෙයියම්පා ඔය ගමන යන්න කලින් මං කිව්වනේ එපා කියලා.. ඒත් ඉතිං මං කියන දේ අහන්න බන්ටි මහත්තයා ලෑස්ති උනේ නෑනේ.. අන්තිමට හැමදේටම උත්තර දෙන්න උනේ මට.."

"දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.. හැමදේම වෙලා ඉවරයි.. ඒත් ඉතිං මං මල්වත්තෙ ඉන්නවා කියලා දැන ගත්තා නම් ඇයි අම්මා එතෙන්ට එන්නැතුව ගෙදර ආවේ.. ගාඩ්න් එකට ආව නම් මාව අල්ල ගන්න තිබ්බනේ.."

"ඔව්.. ඒකත් මං කරා.. ඔයා හිතන්නෙ බන්ටි මං අලි මෝඩයෙක් කියලද..? මං ලොකූව ගාඩ්න් එකට යවලයි ගෙදර ආවේ.. එයා හවස ආවහම මට විස්තර දැනගන්න පුළුවන් වෙයි.."

එකපාරටම අම්මගෙ කටහඩ මගේ පිටිපස්සෙන් ඇහුණා.. ඒ කියන්නෙ එයා මගෙයි, බේබි නැන්දගෙයි කතාව හොරෙන්ම අහගෙන ඉදලා.. එහෙනම් මං හිතුවට වඩා කතන්දරේ සෑහෙන්න දුර ගිහින් තියෙනවා.. අම්මා, අයියාකාරයව එතෙන්ට යැව්වා නම් වැඩේ තවත් සීරියස්.. මිනිහා මොන වෙලාවෙ එතෙන්ට ගියාද, මිනිහා දැක්කෙ මොනවද.. දෙයියො තමා දන්නේ.. වැරදිලාවත් ඇටකිච්චට අල්ලගෙන නෙලනවා මිනිහා දැකලා නම් හෙම, බන්ටිට සදා සොත්ති භවන්තුතේ තමයි.. එහෙනම් ඉතිං මේ ගෙදර ඇතුලෙදි බන්ටිගෙ වීසා කැන්සල් වෙනවා.. ඒක බේරගන්න තාත්තටවත්, බේබි නැන්දටවත් විහිලුවටවත් බෑ..



             

No comments:

Post a Comment