Friday, April 6, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






උදේ පාන්දරම කඩන් පාත්වෙච්ච මරාලෙ හින්දා, හවස දෙක විතර වෙනකල් මං ගේ ඇතුළටම වෙලා හිටියා.. අද හවස නම් නහුතෙටම අපලයි වගේ.. එහෙන් අයියා කාරයා වයින් වෙලා.. මෙහෙන් අක්කා ජාති ජාතිත් ඔරොප්පු පිට බලන් ඉන්නවා.. බලන් ගියාම අසරණ බන්ටිගෙ මරු සිටින දිශාවවත් දැනගන්න විදියක් නෑ.. ඉතිං කොහොමද හත්තිලව්වේ මං එළියටවත් බහින්නේ.. මොනව උනත් ඇදගෙන  හිටපු ෂෝට පිටින්ම මං ඩෙනිම දාගත්තා.. ඊයෙ ඇදපු කැප් ටී ෂර්ට් එක දාගන්න බැලුවත් ඒක එතන තිබුණෙ නෑ.. ෂුවර් එකටම බේබි නැන්දා ඒක හොදන්න ඇති..


"බ..න්..ටී.."

ඩෙනිමෙ බෙල්ට් එක අතේ තියාගෙනම මං හැරුණා.. මෙන්න බොලේ තාත්තා කාමරේ දොර ගාව..

"තාත්තා අද වැඩට ගියේ නැද්ද..?"

"මං කලින් ආවා බන්ටි.. ඒක නෙමෙයි.. ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද..?"

"ඇයි තාත්තෙ එහෙම ඇහුවේ..?"

"මට ඒ වගේ තේරුණ හින්දා.."

"නෑ තාත්තේ.. එහෙම මුකුත් නෑ.."

"නැත්නම් කමක් නෑ.. ඒත් වෙනද වගේ ඔයාගෙ ලොකු හිනා සද්දයක් මේ ගේ ඇතුළෙන් ඇහුණෙ නෑ.. අඩු ගානේ ඔයා අර පඩිපෙල් ඇන්දට ගහලා තියෙන ලීයට පස්ස තියලා පල්ලෙහාට ලිස්සගෙන ආවෙත් නෑ හුග දවසකින්.. කෑම කන වෙලාවෙ හයියෙන් කෑගහලා මගෙන් බැනුම් ඇහුවෙත් නෑ.. වැඩිය ඕන්නෑ.. ඔයාගෙ අක්කගෙ එක මල් පෝච්චියක්වත් පහුගිය දවස්වල බිදලා තිබ්බෙ නෑ.. ඒකයි මට අමුතුයි වගේ දැනුණේ.."

තාත්තා එක දිගටම කියවගෙන ගියා.. කොහොමටත් මේ ගේ ඇතුලෙ මට ආදරේ කරන අය අතරින් තාත්තයි, බේබි නැන්දයි ඉස්සරහින්ම ඉන්නවා කියලා මං දැනන් හිටියා.. මං පිට කරපු  හුස්මකින් පවා එයාල මගේ හැසිරීම් තේරුම් ගත්තා.. ඒත් අම්මයි, අක්කයි, අයියයි ඒ අතින් හුගාක් පල්ලෙහායින් හිටියේ..

"මං මේ ඔයාට දෙන අවවාදයක්.. මොන ප්‍රශ්නෙ ඔයාට ආවත් තනියෙම ඒක විසදගන්න යන්නෙපා.. ඔයා ළගින් මමයි, බේබි නැන්දයි ඕන වෙලාවක ඉන්නවා.. තේරුණාද..?"

"ඇ.. ඇයි තාත්තා මේ..? කවදාවත් නැතුව මෙහෙම කියන්නේ..?"

"නෑ.. මං උදේ ලොකූගෙයි, ඔයාගෙයි කතාව අහන් හිටියා.. සමහර විට ඒකමත් නෙමෙයි.. මං කියපුවා ඔයාට වැදගත් වෙන්නෙ තව ඉස්සරහට කියලයි මට නම් හිතෙන්නේ.. ඒක හින්දා කරන දෙයක් පරිස්සමින්, කල්පනා කරලා කරන්න.."

මහ විසාල බරක් ඔලුව උඩ තියාගෙන වගේ තාත්තා කිව්වා.. ඒ බරම අඩුවක් නැතුව බන්ටිටත් දැනුණා.. කොහොමටත් අම්මට වැඩිය තාත්තා මං ගැන හොයනවා කියලා මං දැනන් හිටියා.. ඇත්තටම ඒ හෙවිල්ලට මගේ හිතෙත් ලොකු කැමත්තක් තිබුණා.. ගැන්සියෙ කොල්ලො  හැමෝටම ලොකු නිදහසක් තිබුණත් මට ඒක ගෙදරින් අඩුවුණා කියලා මගේ හිතේ කහටක් තිබුණෙ නෑ.. මං වගේ නාහෙට අහන්නැති දගයෙකුට ඕනවට වඩා නිදහසක් දෙන්න බෑ කියලා මමම තේරුම් අරන් හිටියා.. සමහර වෙලාවට මං කරන අපස්මාර වැඩ වලට මගේ ජීවිතේ උනත් අවදානම් කියලා මටම තේරුම් ගියපු අවස්ථා බොහොමයක් තිබුණා..

ඒත්.. 'ඕන වෙලාවක බේබි නැන්දයි, මායි ඉන්නවා' කියලා තාත්තා කිව්වෙ ඇයිද කියලා, ගුඩ් ‍ෂෙඩ් එක ළගට යනකන්ම මට හිතාගන්න බැරිවුණා.. ඒ කියන්නෙ මේ ගෙදර ඉන්න අනිත් අය මගේ ළගින් නෑ කියන එකද..? ඇත්තටම මොන දේ ගැන සැහැල්ලුවට හිතුවත්, ඒ වගේ දෙයක් මගේ හිතට ගෙනාවෙ හරිම පාලු මූසල හැගීමක්..

"මොකද බන්ටි අවුල් වෙලා..?"

අනුරාධපුර බස් ගහන තැනට එද්දි, මගේ ඉස්සරහටම ආවෙ ලොකු පුතා..

"අවුල් වෙලා කිව්වේ..?"

"උඹට මං කී පාරක් නම් කතා කරාද ලොකු පුතේ..? උඹ දාර සයිස් කල්පනාවක් කරේ තියාගෙන ආවේ.. අම්මපා මොකද බං උනේ..?"

"මොනවා වෙන්නද චාමික..? කෝ අපේ සුරේන් ආවද..?"

සරිගමයා එන්න ඕන වෙලාවත් පහුවෙලා ගිහින් තිබුණ හන්දා මං ඇහුවා.. ඒ වගේම මට ඕන වෙලා තිබුණෙ ලොකු පුතා කරගෙන ආපු කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න..

"තාම නෑ බං.. මේකා කොහේ ගියාද මන්දා.. නාවලපිටියට දෙපාරක් ගිහින් එන්නත් වෙලාව හරි.. මං දැන් පැයක් විතර මෙතන බලන් ඉන්නවා.."

"කෝ අනිත් කොල්ලො ටික..?"

"උං ටික අද දවසෙ චර පුරුෂ සේවාවේ.."

"ඒ කිව්වේ..?"

ලොකු පුතාගෙ කතාව මට තේරුණේ නෑ.. කතා කර ගත්තු විදියට සුරේන්ව, නාවලපිටි යැව්වට පස්සේ, මොකක්ද මේ චර පුරුෂ කතාව..? 

"උඹ අපිට ඊයෙ වැලේ වැල් නැතිවෙන්න බැන්නනේ බන්ටි.. බින්දු ගැන ඩිංගක්වත් හොයන්නෙ නෑ කියලා.. අපි බින්දුගෙ යාළුවොද, මට මොනවා හරි උනත් ඔච්චරයි කියලා රටේ නැති ඒවා කිව්වනේ.."

"ඉතිං..?"

"උඹට විතරක් බර දීලා ඉන්නැතුව අපිත් ගේමට බහිනවා කියලා අපි හිතාගත්තා.. උඹ බින්දු වෙනුවෙන් කියපුවා අපේ හිත්වලට හුගාක් වැදුනා බන්ටි.. ඒක හන්දා නිරෝෂිගෙ පිටිපස්සෙන්, දළදා මාළිගාව ළග රවීනුයි, ශිහානුයි ගාඩ් කරනවා.. අමිලයා තනියෙම පේරාදෙණිය ගාඩ්න් එක ළග.. මායි සරිගමයයි වැව රවුමයි, වේල්ස් පාක් එකයි ගාඩ් කරනවා.."

"ඇයි ඒ..?"

ලොකු පුතාගෙ කතාව මට හරියට තේරුණේ නෑ.. මුං මොකක්ද මේ කරන්න හදන්නේ..?

"ඇයි කියලා අහන්නේ..? ඇටකිච්චවයි, නිරෝෂිවයි අතටම අල්ල ගන්නනේ ලොකු පුතේ.."

"අල්ලගෙන..?"

"අල්ලගෙන අපි උං දෙන්නට නෙලමු ලොකු පුතේ.. අර උඹ හැම වෙලාවෙම කියන විදියට ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට එක්ක යන්න.."

චාමිකගෙ කතාවෙන් මගේ හිතට මාරම ගතියක් ආවා.. අර උදේ ඉදලා තිබ්බ පාලු මූසල හැගීම කොහේ ගියාද දන්නෑ.. මුංට මං කට කැඩෙනකල් එදා ඉදන්ම කිව්වෙත් ඕකමනේ..

"පහුවෙලා හරි උඹලා අන්තිමේට මගේ තීරණේට ආපු එක ලොකු දෙයක්.."

"හප්පට සිරි.. අර බලපං ලොකු පුතේ..?"

ලෝකෙ තියෙන පුදුම හතම එකපාර දැක්කා වගේ පුදුම වෙලා චාමික මගේ අතින් අල්ල ගත්තා.. ඌ පෙන්නපු දිහා බැලුවාම මටත් උන් හිටි තැන් අමතක වුණා..

"යකෝ.. මේ පයිතගරස් නේද..?"

"පයිතගරස් තමයි බන්ටි.. ඒත් කවුද අර උගේ ළගින් මලට වැල සේ ලතාවකට පද්ද පද්ද එන අප්‍රසන්න කාන්තාව..? මට නිකං දැකලා පුරුදුයි වගේ.."

දැකලා පුරුදු නැතුව තියේයෑ.. පයිතගරස් ළගින් ඒ සියුමැළි විදියට අඩිය තිය තියා ආවෙ මොරින් අක්කනේ.. හප්පොච්චියේ.. මුං දෙන්නා කොහොමද මෙහෙම පෑල් උනේ.. මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා.. හරියට නිකං තද කහට කෝපි එකක් බිව්වහම පටස් ගාලා බඩ ගියා වගේ.. මොන නස්පැත්තියක්ද මේ..? 

"ආ බන්ටි.. අර බාගෙට හෙලුවෙන් ඉන්න දිරිය කාන්තාව අපේ පයිතගරස්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද..?"

"කෑනොගහ මෙන්න මෙහාට වරෙන්.. උං දෙන්නා අපිව දැක්කොත් හොද නෑ.. උංගෙ ආදරේ තව ෆේමස් වෙනවා.."

"තව මොනවා ෆේමස් වෙන්නද..? දෙනෝදාහක් ගැවසෙන මේ පට්ට හවස් ජාමේ, උං කිසි විලි ලැජ්ජාවක් නැතුව ගුඩ් ෂෙඩ් එක මැදින් ඇවිදන් යනවා කියන්නේ, හෙළුවෙන් ප්‍රවෘත්ති කිව්වා වගේ තමයි.. නැද්ද ලොකු පුතේ..?"

වේගෙන් ආපු ඩී.එස් ගුණසේකර දොර දෙකේ බස් එකක් අපිට ඉස්සරහින් නවත්තද්දි මං චාමිකවත් ඇදගෙන ගුඩ් ෂෙඩ් එකෙන් එළියට ආවා.. තවත් මෙතන බලන් ඉන්නෙක තේරුමක් නෑ.. මරි සිටින දිශාව කොහෙද කියලා මං දැන් හරියටම දැන ගත්තනේ.. හැබැයි වැඩේ තියෙන්නේ, පයිතගරස් මං කියපුව මොරින් අක්කත් එක්ක කියලා තිබුණොත් තමයි.. එහෙම උනොත් මොරින් අක්කටත් හිතාගන්න බැරිවෙනවා එයාගෙ තිස් නම වැනි කුලුදුල් ප්‍රෙමෙට මොකද වෙන්නෙ කියලා..

"ඔච්චර වයසක ගෑනියෙක් එක්ක යාලුවෙන්න අපේ එකාට පිස්සුද මන්දා.. ඇයි යකඩෝ.. මේ නුවර මූට හරියන එක ගැටිස්සියෙක්වත් නැද්ද..? වැලකුණු පස්සෙ යන්නේ.."

ඒ පාර චාමිකයා හෙණ විස්සෝපෙන් කියවනවා.. අනේ අම්මපා මූට ඩිංගක් හිතෙන්නැද්ද අනුන්ගෙ ප්‍රේම කතා අපට මොකටද කියලා.. මොකෝ අපි ගෙදරින් අරන් ගිහින් උයාගෙන කන්නද..?

"අපිට ඔය මගුල් වැඩක් නෑ චාමික.. අපි බලමු සුරේන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා.."

"පේන විදියට නම් ලොකු පුතේ අපිට බින්දුව විතරක් නෙමේ සුරේන්වත් හොයන්න වෙන පාටයි.."

මොනව නැතත් චාමික අන්තිමට කිව්ව කතාව ඇත්ත කියලා මටත් හිතුනා.. ඇත්තටම සුරේන්ට මොකද වුණේ..? අපි ඊයෙ ඌට කිව්වනේ, ගුඩ් ෂෙඩ් එකට එනවා කියලා..

"හල්ලෝ.. බන්ටි.. කවකටුවයි, පැන්සලයි වගේ ඉදපු උඹලා දේනනා ඇයි මේ ඈත්වෙලා.. දාර ප්‍රශ්නයක් වගේ.."

ගුඩ් ෂෙඩ් එකෙන් එළියට ආවේ, පයිතගරස් ගෙන් ගැලවෙන්න.. ඒත් මෙන්න මේකා දැන් මූණ ඉස්සරහම.. මං හොදට වටපිට බැලුවා.. මලට වැල සේ මුගේ ළගින් ඉදපු මොරින් අක්කා කොහෙද කියලා බලන්න.. බන්ටි පිදුරුතලාගල කන්ද මුදුනෙ හරි ඉන්නව දැක්කා නම් ගෑනි පණ කඩාගෙන මගේ ළගට එනවා කියලා මං දැනන් හිටියා..

"ඔව්.. අපිට ප්‍රශ්නයක් තමයි.. හැබැයි ඒ උඹ ගැන..?"

"මං ගැන..?"

"ඔව්.. කවුද අර උඹත් එක්ක ඉදපු සුන්දර කාන්තාව..?"

"ආ.. ඒ අපේ බන්ටිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ.."

"බ.. බන්ටිගේ..?"

අපහු කතාවෙ අප්පිරියා කමටද කොහෙද චාමිකට වචන ටික ඉස්මොල්ලෙ ගියා.. මටත් නිකං වමනෙට එන්න වගේ ආවා..

"ඇයි උඹට බන්ටි කිව්වෙ නැද්ද..? බන්ටියි, මේ චාම් අහිංසක කෙල්ලයි වීජ ගණිතයයි, ශුද්ධ ගණිතයයි වගේ එකට එක්කහු වෙලා දළදා වදින්න ගියා කියලා.."

"මොකක්ද බන්ටි මේ කතාව..?"

"මං ඒක උඹට පස්සෙ කියන්නම්.. ඒක නෙමේ මිලාන්, උඹට කොහේදිද එයාව හම්බවුණේ..?"

"ස්ටේෂන් එක ළගදි.. කෙල්ලව දැකපු ගමන් මං හිතුවා උඹ ඇති කියලා.. පස්සෙ තමයි දැන ගත්තේ උඹ එතන නෑ කියලා.. කෙල්ල හිටියෙත් උඹව හම්බවෙන්න හෝප්ස් තියාගෙන.. පව් බන්ටි.. උඹ ගැන ඒකිගෙ හිතේ මාර විදියට තියෙනවා.."

හප්පොච්චියේ.. මුගේ ගද කතාව බලපල්ලකෝ.. මොරින් අක්කගෙ හිතේ මං ගැන තියෙනවලු.. මොන කුණුහරුපයක්ද මේකා මේ දොඩවන්නේ.. ලොකු පුතාගෙ ඇස්බෝල දෙක ගැලවිලා ඉස්සරහට වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවා මං දැක්කා.. ඌ බලනවා ඇති මේ මොන අපස්මාර කතාද කියලා..

"මං ගැන..?"

"ඔව් බන්ටි.. මං බන්ටි කෝ කියලා ඇහුව විතරයි ඒකි මට වචනයක් කියන්න දුන්නෑනේ.. උඹේ හොද ගැන ඒකි මට සෙන්ටි මීටරෙන් සෙන්ටි මීටරේට කියලා දුන්නා.. උඹලු ඒකිගෙ දුක ගැන වටහාගත්තු එකම එක පුද්ගලයා.. උඹට පුදුම විදියට ආදරෙයිලු ඒකිගෙ හිත තේරුම් ගත්තට.. ඔය වගේ නානාප්‍රකාර දේවල්.."

අම්මපා මොරින් අක්කට නම් නහුතෙටම පිස්සු.. පයිතගරස් එක්ක ඔය වගේ රෙද්දවල් මොකට කියන්න ගියාද මන්දා.. කියනවා නම් කියන්න ඕනා අයියා ගැනනේ.. මං පයිතගරස් දිහා හොදට බැලුවා.. මේකා මොන ක්‍රමේ හරි දාලා උගේ කතන්දරේ ඔප්පු කරනවා කියලා මං දැනන් හිටියා..

"මොනවද බන්ටි මේකා මේ කියවන්නේ..?"

"කියන්නෙ ඉතිං අපේ බන්ටිගෙ ආදරේ ගැන තමයි.. ඒක නෙමේ.. උඹලගෙ අර සංගීතකාරයා ඇයි ස්ටේෂමේ බංකුවක බුදියාගෙන ඉන්නේ..?"

මොරීන් අක්කගෙ කතන්දරේ කෙසේ වෙතත් පයිතගරස් අන්තිමට කියපු දේ නම් මට දිරවගන්න බැරිවුණා..

"මේ අපේ සුරේන්..?"

"ඔව්.. ඔව්.. අර නිතරම සරිගම ගගා ඉන්න එකා.. ඌ අන්න ඒකාකාරී ප්‍රවේගයෙන් බංකුවක නිදි.."

"ඉතිං උඹ ඌව ඇහැරෙව්වෙ නැද්ද..?"

"හැරි නෑනේ බන්ටි.. ඌ සමහර විට ඔය දවස් තුන හතරකින් වෙන්නැති  බුදිය ගන්නේ.. සංගීත සංදර්ශන වලට ගිහිල්ලා.. මං ඉතිං ඌට කරදර කලේ නෑ.."

පයිතගරස් කියවද්දි මං චාමිකවත් ඇදගෙන ස්ටේෂන් එක පැත්තට ආවා.. ඒ එන අතරෙ මං පයිතගරස්ව අන්දපු හැටි, චාමිකට එහෙන් මෙහෙන් කිව්වා.. ඔන්න දැන් තමයි උගේ අර එලියට පැනලා වගේ තිබ්බ ඇස් බොල දෙක නිරවුල් තත්වෙට ආවේ..

"මං ඒත් බැලුවා උඹේ ඔලුව කොහේ හරි හයියෙන් වැදුනද කියලත්.. අර වගේ ශ්‍රියා කාන්තාවක් ලං කරගන්න.."

"වැදුණත් කමක් නෑ චාමික.. ඒත් අපේ සුරේන් මොනවද ස්ටේෂන් එකේ කරන්නේ..? මට තියෙන ප්‍රශ්නෙ ඒකයි.."

"අපි මෙතන ඌ එනකන් පිස්සු හැදිලා වගේ බලන් ඉද්දි, ඒකා බංකුවක නිදි.. බලපං ලොකු පුතේ.. මොන තරම් අසමජ්ජාතී වැඩක්ද කියලා.. ඌ හොදටම දන්නවනේ අපි හැමෝම බින්දුවා ගැන නිව්ස් එකක් දැන ගන්න කට ඇරන් ඉන්නවා කියලා.. ඌ ඇයි අම්ම අප්පා වගේ ඉන්න අපිට මෙහෙම කරන්නේ..? මූ මේ තරම් කැතයි කියලා දන්නවා නම් මං මේ ගමන යනවා.. බින්දුවා හොයන්න.."

චාමිකත් කට ඇරියම නවත්ත ගන්නෙ කොහෙන්ද කියලා ඌවත් දන්නෙ නෑ.. වෙලාවකට, තියෙන හිසරදේ ඩබල් වෙනවා මූ හින්දා..

"කෝ බං.."

ස්ටේෂන් එකට ඇතුල් වෙලා මං වටපිට බැලුවා.. ඒත් සුරේන් පේන්න හිටියේ නෑ..

 "අර ගල් උගුඩ්ඩා අපිට ලණුවක්වත් දුන්නද..?"

"මටත් ඒ වගේ තමයි තේරෙන්නේ.."

"හැබැයි ලොකු පුතේ.. ඕකා කිව්වෙ බොරුවක් නම් මං ඕකව සමච්ජේදනය කරලා අලුත් ප්‍රමේයක් හදනවා.. මේ දක්වා කවුරුවත් හොයාගෙන නැති.. අන්න එතකොට පයිතගරස්ට හිතෙයි සම්ප්‍රප්පලාප දෙසෑබෑමේ ආතල් එක.."

"නෑ නොගහ වරෙන් චාමික.. කෑ කෝ ගහන්න මේක ටොරින්ටන් පාක් එක නෙමෙයි.."

"හප්පට සිරි.. මෙන්න මේකා.."

සසර කලකිරිලා, තව ඊටත් එහා දේවල් සිද්ධ වෙච්චි එකෙක් වගේ කම්මුල් දෙකට අත් දෙකත් තියන් සුරේන් බයවෙලා වගේ ඈත බලන් හිටියා.. යස අපූරුවට ඊයෙ බන්ටි කියල කතා කරපු එකාට අද මොකද මේ වෙලා තියෙන්නේ..

"සුරේන්..?"

තුන් හතර පාරක්ම නම කියලා කතා කරහම තමයි, සුරේන් මං දිහා බැලුවේ.. ඒ මුළු මූණ පුරාම තියෙන දුක මං එක තත්පරෙන්ම තේරුම් ගත්තා..

"මොකද සුරේන් මේ..? අපි ගුඩ් ෂෙඩ් එකේ බලන් ඉන්නවා උඹ එනකන්.. උඹ මෙතන පිස්සු නටනවා.. අර පයිතගරසා කිව්වෙ නැත්නම් අපි තාමත් එතන.."

චාමික ආයෙත් කට අරිද්දි මං ඌ දිහා රවලා බැලුවා.. වෙලා තියෙන දේ බලන්නෙ නැතුව මූ මෙතන කටේ හොල්ලනවා..

"ප්‍රශ්නෙ මොකක්ද කොල්ලෝ..?"

"කතා කරලා වැඩක් නෑ බන්ටි.. කේස් එක අපි හිතුවට වැඩිය බරපතලයි.."

"ඒ කිව්වේ.. උඹට බින්දුව හම්බ වුණේ නැද්ද..?"

"හම්බ වුණා.."

"ඇයි ඌ නාවලපිටි ගිහින් තියෙන්නේ..? ඇයි ඌ අපිට කෝල් එකක්වත් දුන්නැත්තේ..?"

"කෝල් එකක් දීලා තියෙනවා බන්ටි.. දහ දොලොස් පාරක්ම උඹලගෙ ගෙදරට.."

"අපේ ගෙදරට..?"

"ඔව්.. උඹලගෙ ගෙදරින් ෆෝන් එක උස්සලා කට් කරලා දානවලු.. වචනයක් වත් කතා කරන්න කලින්.. ආයෙ දෙපාරක් විතර හොදටම බැන්නලු ආයෙ කතා කරලා අහුවුණොත් අඩු කඩනවා කියලා.."

"මේ.. අපේ ගෙදරින්..?" 

"ඔව් බන්ටි.. මටත් හිතාගන්න බැරිවුණා.. මොන අවමගුලක්ද කියලා.."

පහුගිය දවස්වල අපේ ගෙදර තිබ්බ ටෙලිෆෝන් හුටපටේ මට පටස් ගාලා මතක් වුණා.. මේකත් එහෙනම් ඒකෙම අතුරු කතාවක් වෙන්න ඕන.. අයියයි, අක්කයි මරු වැල පෑගිලා වගේ මට යුධ ප්‍රකාශ කරෙත් ඔය ටෙලිෆෝන් කතන්දරේටනේ.. මේක නම් ලේසියෙන් අරින්න හොද නෑ..

"ඊට පස්සෙ බින්දු කතා නොකර ඉදලා.."

"හරි.. ඒ කතාව පැත්තකින් තියමු.. මං ගෙදර ගිහින් ඒක බලාගන්නම්.. බින්දුට මොකද වෙලා තියෙන්නෙ කියපං..?"

"අපි නොදන්නවා උනාට ඌට සෑහෙන ප්‍රශ්න තිබිලා.."

"නිරෝෂිගෙන්..?"

"නෑ චාමික.. අපේ බින්දුවා පුංචි කාලේ ඉදලම ඉදලා තියෙන්නෙ නාවලපිටියෙ පුංචි අම්මා ළග.. පස්සෙ තමා නුවරට ඇවිත් තියෙන්නේ.. බින්දුගෙ අම්මලගෙ මහ ගෙවල් නාවලපිටියේ.. අම්මයි, තාත්තයි දෙන්නම නුවර ජොබ් කරපු හින්දා ඒ පුංචි අම්මා තමයි මූව බලාගෙන තියෙන්නේ.. එහේ ඉදන්.. කොහොම හරි මූ වෙනුවෙන් කැපවුණු හන්දා ඒ මනුස්සයට කසාදයක්වත් කරගන්න බැරිවෙලා.."

"ඉතිං..?"

"අපේ එකා ඒ මනුස්සයට ගොඩක් ආදරෙයි.. ඒත් බින්දුගෙ අම්මලා, ඌ පුංචි අම්මව බලන්න යනවටවත් කැමති නෑලු.. ගෙදරින් රන්ඩු කරගෙනලු ඌ නාවලපිටි යන්නෙත්.."

"ෂිහ්.. බින්දුලගෙ අම්මලා මහ කැත මිනිස්සු වගයක් නේද බන්ටි..?"

"තමන්ට අමාරු කාලේ උදව් කරපු ඒ මනුස්සයට ජීවත් වෙන්න අද අඩුම ගානෙ මාසෙකට ගානක්වත් යවන්නෑලු.. මේ ඊයෙ පෙරේදා බින්දුගෙ පුංචි අම්මට හොදටම අසනීප වෙලා.. ඉස්පිරිතාලෙ නවත්තලා.. ඒකලු බින්දුවා පණ කඩාගෙන එහේ ගිහින් තියෙන්නේ.. පව් බන්ටි.. ඌ සෑහෙන්න අවුල් වෙලා ඉන්නේ.. අපිට මොනවා හරි කරන්න වේවි.."

"ඒකෙ වගකීම මං ගන්නම් සුරේන්.. අපි මේ වෙලාවෙ බින්දුට උදව් කරමු.. එතකොට ඒ ප්‍රශ්නෙ ඉවරනේ.. එතකොට නිරෝෂිගෙ ප්‍රශ්නෙ ගැන බින්දු දන්නෙ නැද්ද සුරේන්..?"

"කිසිම දෙයක් දන්නෑ බන්ටි.. මං එහේ ඉන්දෙද්දිත් නිරෝෂිට බින්දු කතා කලා.. කොමියුනිකේෂන් එකකට ඇවිත්.. මට පේන විදියට නිරෝෂිගෙ බඩල් ඇක්ටින් එක ගැන ඌ මෙලෝ දෙයක් දන්නෑ.. ඌ පුදුම තරම් ආදරේකින් ඒකි ගැන කතා කලේ.. මට පේන විදියට ඒකි අපේ එකාව හොදට අන්දනවා.. අපේ එකත් කැත නැතිව හොදට ඇද ගන්නවා.."

"ඒ ඔක්කොම හරි.. උඹ මොකද මෙතන කරන්නේ..? බලපං ලොකු පුතේ මූ හින්දා අපිට තියෙන ප්‍රශ්න.."

"මං මෙතන ඉන්නෙ මොකද කියලද ඇහුවේ..? ආ චාමික.. උඹ ඩිංගක් හිතපං.. නිරෝෂි ගැන මහා ආදරේකින් කතා කරන බින්දු, ඒකි කසාද බැදලා නාවලපිටි ගිහින් පුංචි අම්මව බලා කියාගෙන ඉන්නවා කියල හිතන බින්දු, තමන්ගෙ ජීවිතේ දීලා හරි නිරෝෂිව රැක ගන්නවා කියලා හිතන බින්දුගෙ අහිංසක ප්‍රාර්ථනා ටික් ඇස් ඉස්සරහම හේදෙනවා දැක්කහම මට යන්න ඕන පැත්ත තෝර ගන්නත් බැරිවුණා.."

"උඹ ඔය කියන කුණුහරුප මට නම් තේරෙන්නෑ.."

"උඹට ඉතිං මෙලෝ දෙයක් තේරෙන්නෑනේ.. මං මේවා කියන්නෙ බන්ටිට.. ඌට තේරුණා නම් මට ඇති.."

"බයිලා නැතුව කතාව කියපං සුරේන්.."

"ඔර්ලෝසු කණුව ගාවින් එනකොටම මං ඇටකිච්චයි, නිරෝෂිවයි දැක්කා බන්ටි.."

"අද..?"

"ඔව්.. උං දෙන්නා වීල් එකක නැගලා කොහෙද ගියා.. උං හිටපු හැටි දැකලා මට මේ තරම් අමාරු නම් අපේ බින්දුවට ෂුවර් එකටම පපුවෙ අමාරුව හැදෙනවා.. අපි මොකද මේකට කරන්නෙ බන්ටි.. නිරෝෂි ගැන බින්දු හිතන් ඉන්න හැටියට, ඒකි අර ඇටකිච්චත් එක්ක යාලුයි කියලා කිව්වොත් ඌ පිළිගන්නෙකක් නෑ.. අනික නිරෝෂි කියලනේ පුංචි අම්මව බලන්න නාවලපිටි එනවා කියලත්.. අපේ බූරු තඩියා එහේ ඉදන් ඒකි එනකල් බලන් ඉන්නවා.."

"එහෙනම් නිරෝෂි අද ඇටකිච්චත් එක්ක යන්නැත්තේ නාවලපිටි වෙන්නැති.."

මෙච්චර වෙලා කට වහගෙන ඉදපු චාමිකයා කට ඇරියා..

"ඔව්.. ඒකත් කියන්න බෑ.. ඒකිට තියෙන දැගලිල්ලට ඇටකිච්චයි, බින්දුවයි දෙන්නම උනත් ඒකිට වැඩි නෑ.."

"සුරේන් මේ.. උඹ දන්නවනේ ඔය වගේ කැත කතාවලට මං කැමති නෑ කියලා.. කෙල්ලො ගැන, උං නැති තැන කැත විදියට කතා කරන්නෙපා.. කියන දෙයක් මූණට කියපං.."

"මූණට කියන්නත් උං අපිට මීට් වෙන්නෙ නෑනේ බන්ටි.. ලිස්සලා යනවනේ හැම වෙලේම.."

"ලිස්සනවද නැද්ද කියන්න මං දන්නෑ.. හැබැයි මේ කතන්දරෙන් මං ඇටකිච්චව බොහොම ඉක්මනට අයින් කරනවා.. ඒක අර බහිරව කන්ද වගේ ස්ථිරයි.."

"ඔව් බන්ටි.. අපි මේකට ඉක්මනටම මොනවා හරි කරන්නෝන.."

"දැන් බින්දුවා කවදද එන්නේ..?"

"දවසක් නෑ.. මට හිතෙන විදියට තව සතියක්වත් ඌ එහේ ඉදියි.. නිරෝෂිත් අද හෙටම නාවලපිටි යයි.. අපිට තාමත් ක්‍රියාත්මක වෙන්න කාලය තියෙනවා.."

"එතකොට අපි මේ ප්‍රශ්නෙ ගැන බින්දුට කවදාක්වත් කියන්නැද්ද ලොකු පුතේ..?"

"එච්චර දුර හිතන්න ඕනෙ නෑ චාමික.. අපි ළග තියෙන දේ කරමු.. බින්දුට කියන්න අවස්ථාවක් ආවොත් ඌට කියමු.. මොනව උනත් ඌ නිරෝෂි ගැන සැබෑ තත්වය දැනන් ඉන්න ඕනනේ.. ඌ නිරෝෂිව කසාද බදින්නත් ලෑස්ති නම්, ඒකි ගැන තව හුගාක් දේවල් ඌ දැනගන්න ඕනේ.. නැත්තං උගේ කසාදෙට ඒ තරම් ආයුෂ නෑ.."

එතනින් එහාට අපි තුන්දෙනා අතරෙ වැඩි කතා බහක් සිද්ධ වුණේ නෑ.. බින්දු ගැන, නිරෝෂි ගැන ඒ වගේම බින්දුගෙ අහිංසක පුංචි අම්මා ගැන කල්පනා කරන්න  හුගාක් දේ තිබුණා.. මොන විදියකින් හරි මේ ප්‍රශ්නෙ හොද විදියට විසදුනොත් හොදයි කියන ධනාත්මක පැත්ත මගේ හිතේ තිබුණා..

                                            ****************************

"මොකද බන්ටි මහත්තයො මූණ සවුත්තු කරගෙන..?"

වෙනදා පුරුද්දට කුස්සියට එබෙනකොටම බේබි නැන්දා මගෙන් ඇහුවා.. ඒ කියන්නෙ මගේ හිතේ තියෙන හැමදේම මූණෙ ලියැවිලා තියෙනවා කියනෙකද..?

"කියලා වැඩක් නෑ බේබි නැන්දේ.. මේ ගෙදර ඉන්නේ මහා හිතක් පපුවක් නැති මිනිස්සු.."

"අර මොකද අප්පේ ඒ.. කවදාවත් නැතුව.. බන්ටි මහත්තයා ඔහොම කතා කරනවා මං අහලම නෑ.."

"බේබි නැන්දට කියන්න, මගේ යාලුවෙක් එයාගෙ හදිසි පණිවිඩයක් දෙන්න විසි තිස් ගමනක් මෙහෙට කෝල්ස් අරගෙන.. මේ ගෙදර මිනිස්සු ඌට වචනයක්වත් කතා කරන්න දීලා නැතුව පලු යනකන් බැනලා.. ඒ අහිංසකයා පණිවිඩේ කියන්නැතුව නිකං ඉදලා.. අනික ඉතිං බේබි නැන්දේ.. මෙයාලගෙන් බැනුම් අහන්න ඌ අතපල්ලෙන් වැටිලද..? මෙයාලගෙන් කාලා ඇදලා ඉන්නවද..?"

"පහුගිය දවස්වල නම් ඔය ටෙලිෆෝන් එක ගැන නානා ප්‍රකාර කතන්දර ගියා.. බන්ටි මහත්තයට කේන්ති යයි කියලා මං මුකුත් කිව්වෙ නෑ.."

"දැන් ඉතිං කේන්ති ගියත් වැඩක් නෑ.. වෙන්න ඕන හරිය වෙලා ඉවරනේ.."

"බන්ටි මහත්තයට කියන්න, ඔය ටෙලිෆෝන් එකේ කරදර වැඩ ඔක්කොම කෙරුවෙ මහත්තයා කියලා පෙරේදා සමුදිනී නෝනා බෙරිහන් දුන්නා.."

"මේ... මම..?"

බේබි නැන්දගෙ කතාව මගේ ඔලුව තවත් ටිකක් කැරැකෙව්වා.. ඇයි හත්තිලව්වේ.. අපේ අක්කගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිලද මන්දා ඔය වගේ අපත කතා කියන්නේ..

"ඔව්.. බන්ටි මහත්තයලු මේ හැමදේම කරන්නේ.."

"අනේ මන්දා.. මේ ගෙදර මිනිස්සුන්ට පිස්සුද කියලා.. එහෙන් අයියා කෑගහනවා.. මං එයාට දහපදුරා කෙල්ලෙක් සෙට් කරන්න හදනවලු.. ඔයා දන්නවනේ බේබි නැන්දේ.. මට තාම පිස්සු හැදිලා නෑ කියලා, එයාට කෙල්ලො සෙට් කරන්න.. ඇයි යකඩෝ.. මේ නතරම මල පනින අර්ෂස් කාරයෙකුට කෙල්ලො ලං කරන්න එයා මට මොනවා කරලද..? පස්සෙ ඒ කෙල්ල මගේ ජාතකේනේ උදේ හවස මතක් කරන්නේ.."

"ඔය කතා බන්ටි මහත්තයා ඒ තරම් ගණන් ගන්නෙපා.."

"මං ගණන් ගන්නෑ.. ඒත් මේ ගොල්ලො හිතන් ඉන්නෙ අර පිනෝකියෝ වගේ මාත් ලී කොටයක් කියලා.. අඩු ගානෙ ඒ ළමයට හිනාවෙන්න අඩන්න හිතක්වත් තිබුණා.. මෙයාලා හිතන්නෙ මට එහෙමවත් නෑ කියලා.."

"එහෙම හිතන්නෙපා බන්ටි මහත්තයෝ.. ඔයා හින්දා තමයි මේ ගෙදර මිනිස්සු කොච්චරවත් හිනාවෙලා ඉන්නේ.. ඔයා කරන වැඩ වලින් මේ ගෙදර තියෙන සිරියාව, සන්තෝසෙ කොයි තරම් වැඩි වෙනවද..? මහත්තයා ගෙදර නැතිවුණාම මේ ගේ කොයි තරම් මූසල වෙනවද..? ඒක මේ ගෙදර ඉන්න හැමෝම දන්නවා.. මම උනත් මෙහේ ඉන්නෙ මහත්තයා හන්දා.."

"මේ දෙන්නගෙ වැඩේම මුල්ලකට වෙලා කුටු කුටු ගගා ක්‍රමන්ත්‍රණේ කරන එක.. මේ පාර මොකක්ද ප්ලෑන් එක..?"

අක්කා ළගට එනකල්ම මං දැක්කෙත් නෑ.. බේබි නැන්දා දැක්කෙත් නෑ.. කොටින්ම වැදගත් විදියට කෙරුණු කතාබහක් මැද්දට පැනලා එයා තප්පුලනකන් අපි දන්නෙම නෑ.. හැබැයි අක්කා නෙමෙයි, මහප්පා උනත් කමක් නෑ.. ඒ අසික්කිත කතාවට මට මල පැන්නා.. මෙයා අපිව නිකං දෙකයි පනහට දාලනේ කතා කරන්නේ..

"ඇයි දොර රෙද්දට එළියෙන් ඉදන් හොරෙන් අහන් ඉද්දි ඇහුණෙ නැද්ද..? එනවා මෙතන ප්ලෑන් ගැන අහන්න.."

"බන්ටි.. ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න.. මං අම්මයි, තාත්තයි ආව ගමන් කියනවා.. ඔයාගෙ නැහැදිච්ච වැඩ ගැන.."

"කියලා මට කොරයි.."

"එහෙමද හිතන් ඉන්නේ..? ඉන්නවකෝ අද හවස් වෙනකන්.."

"ඇයි හවස් උනාම මාව ගෙදරින් එළවන්නද..?"

"ඇයි බෑ කියලා හිතුවද..?"

"අනේ බන්ටි මහත්තයෝ.. ඔය වැඩකට නැති කතාව නවත්තලා කාමරෙන් යන්නකෝ.. නිකාං බොරුවට නේ මේ කෑගහන්නේ.."

මගෙයි, අක්කගෙයි කතාව ටුවෙන්ටි ටුවෙන්ටි ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ වගේ උණුසුම් වෙද්දි බේබි නැන්දා කෑගැහුවා..

"මේක මගෙයි, මල්ලිගෙයි කතාවක්.. ගෙදර අම්මා, තාත්තා වගේ බේබි නැන්දත් හැමදේටම කට දානවා.."

"අක්කෙ මේ.. ඔයාට අයිතියක් නෑ බේබි නැන්දට වචනයක්වත් කියන්න.. ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙත්එක්ක නම් මාත් එක්ක හැප්පෙන්න.. අනිත්තෙක ඔයා මේ උඩ පැනගෙන කෑගැහුවට මෙතන ඔයා හිතන විදියෙ කුමන්ත්‍රණ නෑ.. අනික මටයි, බේබි නැන්දටයි මේ ගේ ඇතුළෙ කතා කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕනද..?"

මගේ ප්‍රශ්නෙට අක්කා සම්පූර්ණයෙන්ම ගොලු වුණා.. ඇත්තටම එයාට කතා කරන්න දෙයක් තිබුණෙම නෑ.. බලන් ගියාම අක්කගෙ කතාවත් මොණර නැටුමක් වගේ තමයි.. නැටුම නම් ලස්සනයි.. ඒත් හෙලුවෙන්නෙ නටන්නේ..

"ඔයා මගේ නැහැදිච්ච වැඩ ගැන අම්මටයි, තාත්තටයි කියනවා කිව්වා.. හරි නම් මමයි ඒ කතාව එයාලට කියන්න ඕන.. මොකද නැහැදිච්ච වැඩ කරේ මම නෙමේ ඔයා.."

"මම..?"

අක්කගෙ ඇස් දෙකේ කලු ඉංගිරියාව ලොකු වෙනවා මං දැක්කා.. මූණ මොන තරම් ලස්සන උනත් තව ඩිංගකින් ඔය ඇස් බෝලෙ අම්මපා බිමට වැටෙනවා.. එතකොට කණ වැල අල්ලන්න වෙන්නෙ මට..

"අනේ බන්ටි මහත්තයෝ.. ඔය කතාව නවත්තන්නකෝ.."

"නවත්තලා බෑ බේබි නැන්දේ.. මෙයා හිතන් ඉන්නේ, ඔයයි මායි දෙකයි පණහෙ පොරවල් කියලා.. ඒ උනාට මෙයා කරන්නෙ සත පණහෙ වැඩ.."

"ම.. මං.. මොකක්ද කරේ..?"

අක්කගෙ ලොකු ඇස්වලට කදුලු උනාගනෙ එන හැටි මං දැක්කා.. ඔහොම යං බන්ටි ඔහොම යං.. කතන්දරේ තව ඩිංගකින් සමාප්තයි.. බෝවෙන රෝග නිට්ටාවටම සුවයි..

"ඔයා මොකක්ද මේ ටෙලිෆෝන් බම්බුවක් අල්ලගෙන මැරෙන්න හදන්නේ..? ඔයාට කෝල්ස් දීලා, කතා කරන්නැතුව ඉන්න තරම් පිස්සුවක් මට නෑ.. මගේ අතේ සල්ලිත් නෑ.. මං මගේ චැලියට ප්‍රෙට්‍රල් ගහන්නෙත් අමාරුවෙන්.."

"හො.. හොදයි ඔයා නෙමෙයිද කාට හරි කියලා මේ ගෙදරට ටෙලිෆෝන් කෙරෙව්වේ.. අයියගෙ නම්බරෙත් කාට හරි කෙල්ලෙකුට දීලා එයාට ඔෆිස් එකේවත් වැඩක් කරගන්න බැරි කරේ..?"

අම්මපා මෙන්න මේවට තමයි පොල් පරලායි, තේක්ක ලීයි පයින් යනවා කියන්නේ.. මෙලෝ වගතුවක් නෑ..

"ඔයාට හොල්මන්ද අක්කේ..? පහුගිය දවස්වල බින්දු තමයි මෙහෙට දහදොලොස් ගමනක් කෝල් කරලා තියෙන්නේ.. ඌ නාවලපිටි ගිහින්, ඒ පණිවිඩේ මට දෙන්න.. ඔයාල තමයි උගේ කෝල්ස් වලට ආන්සර් නොකර පලු යන්න බැනලා තියෙන්නේ.. එහෙම නැතුව ඔයා හිතන තාලෙ හොරර් ෆිල්ම් එකක් මෙතන නෑ.."

"එතකොට කවුද අර ගෑනු කෙනෙක් කතා කෙරුවේ..?"

"අක්කෙ මේ.. ඔන්න ඕවට නම් මට නහුතෙට මල පනිනවා.. අනුන්ගෙ කුණු ගොඩවල් මගේ ඔලුවට අතාරින්න එපා.. ඒවා ඔයාලා විසදගන්න.. අනික අපේ බින්දුගෙ කටහඩයි, ගෑනියෙක්ගෙ කටහඩයි අදුනගන්න බැරි තරමට ඔයා මෙන්ටල් වෙලාද..? කරුණාකරලා අදම ගිහින් ඇහැ, කන්, නාස පිළිබදව ඩොකෙක් හම්බවෙන්න.. අපට වද නොදී.."

"එ.. එතකොට අයියට ආපු කෝල්..?"

"ඒවා ඉතිං එයාගෙන්ම අහන්න.. එයාගෙ නම්බර් එක කෙල්ලොන්ට දෙන්න තරම් මට පිස්සු නෑනේ.. මේක මාර අවනඩුවක්නෙ යකෝ.. හම්බන්තොටට වැස්සත්, මේ නුවර ඉන්න මමයි අහුවෙන්නේ.."

"අනේ බන්ටි මහත්තයෝ.. අපි දැන් ඔය කතාව නවත්තමු.. දැන් හැමදේම විසදගත්තනේ.."

"මොනව විසදෙන්නද බේබි නැන්දේ.. මෙයාලා තාම එතනමයි.. හිතේ තියෙන කැත කමට, ඉන්න තැනින් ඩිංගක් එහාට ගිහිල්ලා කල්පනා කරන්නවත් හිතෙන්නෑ.. ඕන දේකට බන්ටි තමයි කරේ කියලා ලස්සනට අත පිහදා ගන්නවා.. කමක් නෑ බේබි නැන්දේ.. මෙයාටයි, අයියටයි මගේ සහෝදරකම වටින්නෙ නැතුව ඇති.. ඒකට වටිනාකමක් දෙන්න හිතෙන්නැතුව ඇති.. මොනව උනත් ඔයයි, අයියයි ලස්සනට සහෝදර සහෝදරියො වගේ ඉන්නකෝ.. මේ කැත බන්ටි හැමදාම පැත්තකට වෙලා ඉන්නම්.."

"බ..න්..ටී.."

අක්කගෙ ඇස්වලට උනලා තිබ්බ කදුළු, කම්මුල් දිගේ බේරෙන්න අරන් තිබුණා.. ඒත් ජීවිතේ ගැන කොයි තරම් සැහැල්ලුවට හිතුවත්, මගේ හදවතත් දියවෙන්න පටන් අරන් තිබුණා.. මුළු ලෝකෙම එකට එක්කහු වෙලා මාව විතරක් තනි කරා වගේ හැගීමක් එක තත්පරේට දෙකට හිතට ඇවිල්ලා නැතිවෙලා ගියා..

"ඔ.. ඔහොම කතා කරන්නෙපා බන්ටි.. මං ඔයා ගැන කවදාවත් එහෙම හිතලා නෑ.."

බේබි නැන්දා බයවෙලා වගේ බලන් ඉද්දි මගේ සුපුරුදු පුංචි කාමරේට යන්න මං පඩිපෙල නැග්ගා.. මොන තරම් විනෝදෙන් හිටියත් අනවශ්‍ය දේටත් ගෙදර මිනිස්සු මාව සැක කරන එක තරම් හිතේ අමාරුවක් මට තවත් තිබ්බෙ නෑ..   



               
                                                                                    

No comments:

Post a Comment