Thursday, April 5, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






වෙච්ච පොරොන්දුව හැටියටම මං ආයෙත් ටොරින්ටන් පාක් එකට ආවා.. දැන් බලාගමුකෝ මොකද වෙන්නෙ කියලා.. ඩෙවෝන් එකේ වගේ නෙමෙයි.. මෙතන ඇතිවෙන්න ඉඩ තියෙනවා.. ගහ මරා ගන්නව නම් පෙරලි පෙරලි වුණත් ඒ දේ කරගතෑකි..

"මං හිතුවට වැඩිය තමුසෙට කොන්ද පණ තියෙනවනේ.."


පිටිපස්සෙන් ඇහුණු ගෑනු කටහඩ අදුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. ඒ කියන්නෙ වැඩේ හැරෙන තැපෑලෙන්ම ඇවිත්.. නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි ලව් එකට සපෝර්ට් කරන කෙල්ල මං පිටිපස්සෙ දිලිසි දිලිසි හිටියා.. එහෙනම් අර ඩෙවෝන් එකේදි මගෙත් එක්ක ගේම ඉල්ලපු කොල්ලො ටික මේකිගෙ යාලුවො වෙන්න ඕන.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. උං ගැන්සියත් වෙන දේ බලාගෙන මේ අහල පහළම ඇති කියලා මට තෙරුණා.. ඒත් උං සෙට් එක ඩෙවෝන් එකේදි වගේ මං ඉස්සරහට ආවෙ නැති එක ගැන නම් මට තිබ්බෙ ලොකු ප්‍රශ්නයක්..

"ඇයි තමුසෙට ප්‍රශ්නයක්ද..?"

කෙල්ලෙක් වෙලා මේකිට මේ තරම් උඩ පනින්න පුළුවන් නම් බන්ටිට ඒ වගේ දෙගුණයක්වත් පුළුවන් වෙන්න ඕනනේ..

"ප්‍රශ්නයක් තමයි හලෝ.. මං තනියෙම ඉද්දි තමුසෙ මට අලි පාට් දැම්මනේ.. ඔන්න දැනුත් තමුසෙට ඒ පාට් දාතැහැකි.. මොකද මගේ මිනිස්සුත් හැම තැනම ඉන්නවා.."

කෙල්ල කතා කෙරුවෙ අලි උනකින්.. ඒක ෆැරන්හයිට් සීයක් නෙමෙයි.. සෙන්ටිග්‍රෙඩ් සීයක් වගේ.. හැබැයි ඔය ඔක්කොම උනවල් බහිනවා බන්ටිගෙන් හොද කම්මුල් පාරක් කෑවා නම්..

"තමුසෙට මිනිස්සු එකෙක් නෙමෙයි.. තුන් හතර දෙනෙක්ම ඉන්නවා කියලා මූණ බලපුවාම තේරෙනවා.."

"මොකක්ද තමුසෙ කිව්වේ..?"

"ඇයි තමුසෙට ඇහුණෙ නැද්ද..?"

කේන්තිය මුළු මූණෙම පුරවගෙන කෙල්ල වටපිට බැලුවා.. එතකොටයි මං දැක්කෙ අර කොල්ලො සෙට් එක අපිට ඩිංගක් එහායින් කැරකෙන විත්තිය.. ඕන වෙලාවක ගේමට ලෑස්තිවෙලා හිටපු උං හතර දෙනා මායි, කෙල්ලයි ගැන හොද අවධානයෙන් ඉන්නෙ කියලා මට තෙරුණා..

"හොදට ඇහුණා.. ඒත් තමුසෙට කොන්දක් තියෙනවා නම් කෙල්ලෙකුට කලර්ස් පෙන්නයිද..?"

"මං තමුසෙට විතරක් නෙමෙයි.. තමුසෙගෙ කොල්ලන්ටත් ඩෙවෝන් එකේදි කලර්ස් පේනනුවා.. ඇයි ලැජ්ජාව වැඩි කමට උං තමුසෙට ඒක කිව්වෙ නැද්ද..?"

"තමුසෙට අපි ඩෙවෝන් එකේදි මුකුත් කරේ නැත්තෙ අර ගෑනු කෙනා හින්දා.. අන්න ඒක මතක තියාගන්නවා.."

පිස්සු හැදෙනවා.. නුවර කෙල්ලො මේ තරම් දයියා කියලා මට තේරිච්ච පළවෙනි වතාව මේක.. අඩුගානෙ ධර්මරාජෙ යන කාලෙවත්, බිග්මැච් ගහද්දිවත් මට මේ වගක් දැනිලා තිබුණෙ නෑ..

"තමුසෙගෙ නිහතමානී කමට ස්තුතියි.. ඒ මගේ අම්මා.."

"අම්මා..?"

"ඔව්.. ඇයි ඒකෙත් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද..?"

විශ්වාස කරන්න බැරි තරමෙ කතාවක් මගෙන් පිටවුණා වගේ කෙල්ල රවුම් ඇස් දෙක තවත් ලොකු කරල මං දිහා බැලුවා.. අම්පා කළුවරේ එහෙම නම් ඔහොම බලන්නෙපා.. මොන තරම් ෆිට් බුවෙක් වුණත් මං බයවෙනවා..

"ඒ.. ඒ.. ගෑනු කෙනා මං දැකලා තියෙනවා.."

"දැකලා තියෙනවා..?"

බේබි නැන්දා වැඩිය එළියට පහළියට යන්නැති හින්දා කෙල්ලගෙ කතාව මට ඒ තරම් ඇල්ලුවෙ නෑ.. මේකි මේ විකලෙන්ද කොහේද කතා කරන්නේ.. සමහර විට අදම වෙන්නැති බේබි නැන්දව දකින්න ඇත්තේ..

"ඔව්.. මිස්ටර් විජේරත්නලගෙ ගෙදරදී.."

හුටා.. කාපිය කොබෝ නයි කිව්වලු.. අම්මපා.. පොල් පරාල පයින් යනවා කියන්නෙ මේවට තමා.. මිස්ට විජේරත්න කියන්නෙ, බන්ටි කියන හාදයගෙ ආදරණීය තාත්තානේ දෙයියනේ.. යකෝ බන්ටි කියන්නෙ මටනේ..

"මිස්ටර් විජේරත්න ලහදි..?"

"ඔව්.. එහේ තමයි.. ඇයි මං වැරදිද..?"

දැන් නම් ඉතිං බන්ටිට අඹ සරණයි.. ඔයින් මෙයින් පෙනීයන්නෙ කෙල්ල අපේ ගෙදර ඇවිත් තියෙනවා කියනෙකනේ.. මොනවට ආවද කියලා දෙයියො තමා දන්නේ.. සමහර විට මේ දයියා කටර් එක අපේ අක්කගෙ යාළුවෙක්ද දන්නෑ.. නැත්තං අක්කා විහිලුවට වගේ අපේ ගෙදර පෙන්නන්නවත් එක්කං ආපු වාතයක්ද දන්නෑ.. මොකද අක්කා සාමාන්‍යයෙන් ඔය වගේ හොදා පාලු වැඩ කරනවනේ..

"නෑ.. නෑ.. කිව්ව එක හරි.. විජේරත්න මහත්තයලහ තමයි අම්මා වැඩ කරන්නේ.."

"වැඩ කිව්වේ..?"

"වැඩ කියන්නෙ උයනවා, පිහනවා, අතුගානවා, දෙරි හෝදනවා.. කොටින්ම කියනවා නම් හැම වැඩක්ම කරනවා.. තමුසෙ දැන ගන්නවා.. මට ඕව කියන්න ලැජ්ජ නෑ.. ඒ මගේ අම්මා.. තමුසෙට ඕන මේ විස්තර අහගෙන මට ලැජ්ජා කරන්නනේ.. හා ඉතිං කරනවා.. දැන් ඉතිං කරනවා.."

කෙල්ලගෙ ඇස් දෙක උඩ ඉන්දුනා.. මං කියන ඒවට මොනවද කියන්නෙ කියලා හිතාගන්න බැරුව කෙල්ල ලතවෙන හැටි මං දැක්කා.. ඔහොම යං.. ඔහොම යං.. මේ බන්ටිගෙ හැටි ඔයා තාම දන්නෑ බබා.. හොදම රගපෑම වෙනුවෙන් මට හම්බවෙලා තියෙන සම්මාන තියන්න අපේ ගෙදර ඉඩත් මදිවුණා..

"ඒ.. ඒ.. උනාට එයා කසාද බැදලා නෑනේ.."

අම්මපා.. බලන් ගියාම මේ කෙල්ලො දන්න රෙද්දකුත් නෑ.. නොදන්න මගුලකුත් නෑ.. කිසිදු අවුලකින් තොරව මෙයා නම් සියල්ල දන්නවා වගේ.. බන්ටි.. දැන් නම් පිට කරන වචන ගැන ටිකක් පරිස්සම් වෙන්න වෙයි..

"අම්මා කැමති නෑ මට ලැජ්ජ කරන්න.. ඒ ගෙදර නෝනලා මහත්තයලා මං ගැන මුකුත්ම දන්නෙ නෑ.. මං ගැන කිව්වොත් තවත් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් නේ.. මාත් ඉතිං ඔය කීයක් හරි අතට හම්බ වුණහම අම්මට මේ වගේ එළියට එක්කං ඇවිත් සලකනවා.."

කියන මුසාවාද වලට පොළව පලාගෙන යනවා නම් මේ වැඩිත්තෙක්ක.. බලන් ගියාම කෙල්ලගෙයි මගෙයි වලිය පැත්තක.. දැන් වෙනම දිහාවකටනේ කතාව යන්නේ..

"සො.. රි.."

ඒ වචනෙ කිව්වෙ කෙල්ලමද කියලා හිතාගන්න බැරිව මං ඒකි දිහා බැලුවා.. ඒ මූණට අමුතුම එළියක් ඇවිල්ලා තිබුණා.. මොනව වුණත් මං කියපුවයින් කෙල්ල ඉන්නෙ සෑහෙන්න අවුල් වෙලා කියලා මට තේරුණා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. අවුල් වෙන්නෙ නැතුව ඉදියිද දෙයියනේ.. අයිශ්චර්යා වුණත් අහුවෙනවා මේ ගහන ටොම් පචවලට.. ඒ තරම් තාත්විකයි..

"හැබැයි.."

සොරි එකෙන් පස්සෙ හැබැයි එක ආවෙ කොහෙන්ද කියලා බලන්න මං කෙල්ල දිහා බැලුවා.. ඒ මූනෙ තිබ්බෙ අමුතුම කතන්දරයක්.. කෙල්ලොන්ට මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද..?

"මට පුස් පාට් දාපු මනුස්සයගෙ ජීවිතේ ඇතුල් පැත්ත මං දැන් දන්නවා.. ඒක නිකං උඩින් වේලිලා, ඇතුල කුණුවෙච්ච තුවාලයක් වගේ.. හැබැයි එක දෙයක් තියෙනවා.. තමුසෙ ඔහොම නෙමේ.. ඔලුවෙන් හිටගෙන කියෙව්වත් මං මගේ යාලුවගේ ආදරේට උදව් කරනෙක නවත්තන්නෙ නෑ.."

"නවත්තන්නෙ නෑ.. හරි එහෙනම් බලාගමු.." 

"බලාගන්න දෙයක් නෑ හලෝ.. දැන් හොදට බලාගෙනයි තියෙන්නේ.."

"එහෙමද.. එහෙනම් වැඩි දවසක් යන්න කලින් යාලුවගෙ කේන්දරේ බලනවා.. මොකද ඉස්සරහට මාරක අපලයක් තියෙනවා.."

"අපලෙ තමුසෙට.. මගේ යාලුවට නෙමෙයි.."

"තමුසෙ මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ.. තමුසෙ මහ පිස්සු කරත්තයක්.. මට පේන විදියට නම් තමුසෙගෙ මුළු ඇගටම පිස්සු.."

"ඒක නම් හරි ඇත්ත.. මොකද කොල්ලොන්ට මගේ ෆිගර් එක දැක්කම පිස්සු හැදෙනවා.."

මේකිගෙ නම් කටක් නෙමෙයි තියෙන්නේ.. තනිකර වක්කඩයක්.. බන්ටිට මේ වගේ ෆේස්ටු ෆේස් ඇටෑක් වෙන කෙල්ලෙක් හම්බවෙලා නෑ ජීවිතේටවත්.. හම්බවෙච්ච ඔක්කොම ඈයෝ ඩිංගක් ඇත්නම් හොට්ට පෙරාගෙන අඩන බබාලනේ.. මං හිතන්නෙ මේකි ඉපදිලා තියෙන්නෙ ටී.වී එකේ ප්‍රවෘත්ති යන වෙලාවකද කොහෙද..?

"තමුසෙගෙ චාටර් ෆිගර් එක බලලා පිස්සු වැටෙන්න හදන කොල්ලො අද ලංකාවෙ නෑ.. තමුසෙට හොල්මං.. හැබැයි තමුසෙ ඔය කියන සපෝර්ට් කිරිල්ලෙන් මගේ යාලුවගෙ ආදරේ නැතිවෙලා ගියොත් මං තමුසෙටත් යහතින් ඉන්න තියන්නෑ.."

"ඒක නම් මට ගැටලුවක් නෑ.. මට තියෙන්නෙ මිස්ටර් විජේරත්නට තමුසෙ ගැන කියන්න විතරයි.."

වැඩේ කියන්නෙ මෙච්චර වෙලා කෙල්ලත් එක්ක කටින් ගහගත්තත් අර කොල්ලො සෙට් එක පැත්ත පළාතක ආපු නැති එක..

"දැන් එහෙනම් තමුසෙ හදන්නෙ කතන්දරේ ලීක් කරලා දාන්නද..?"

"ඔව්.. තමුසෙ වැඩිය උඩ පනින්න ආවොත් මං ගෙදරට විතරක් නෙමෙයි, මුළු රටටම ලීක් කරලා දානවා.. ඒක හන්දා බොහොම පරිස්සමට කටයි අනිත් ඒවයි වහන් ඉන්නවා.. අනිත්තෙක මේක චැලේන්ජ් එකක්.. පුළුවන් නම් දිනල බලනවා.."

"චැලේන්ජ් එකක්..?"

"ඔව්.. තමුසෙ කිව්වනේ මගේ යාලුවට යහතින් ඉන්න දෙන්නෑ කියලා.. කොන්දක් තියෙනවා නම් ඒක කරලම පෙන්නනවා.."

කොල්ලො ගැන්සියට අතකුත් වනාගෙන කෙල්ල පැත්තකින් නවත්තල තිබ්බ ස්කුබී ඩූ ස්කූටරයෙ නැගලා යන්න ගියා.. මම හිටියෙ ඒ තරම් හොද මූඩ් එකක නෙමෙයි.. කෙල්ලගෙ කතාවෙන් හිතට එබිලා තිබ්බ තරහා, අර කොල්ලො ගාවින් හරි පිට කරන්නයි මට ඕන වුණේ.. ඒත් මගේ දිහා හැරිලවත් බලන්නෙ නැතුව කොල්ලො හතර දෙනත් අර ස්කුබී ඩූ එක පිටිපස්සෙන් ගියා... අන්තිමට බන්ටි විතරක් ටොරින්ටන් පාක් එකේ අජීවී වස්තුවක් බවට පත්වුණා..

                                            ****************************

දීර්ඝ විදේශ සංචාරයකින් පස්සෙ මං ගෙදර එනකොට සෑහෙන්න හවස් වෙලා.. ඊයෙ කුණු වෙන්න වැස්සා උනත් අද නම් විහිලුවටවත් වහින පාටක් නෑ.. අම්මප බලන් ගියහම පැස්සත් නිකං ගෑනු ළමයි වගේ තමයි.. එක වෙලාවකට පැණි පෙරාගෙන හිනාවෙලා ඉන්නවා.. පස්සෙ මරාගෙන කන සයිස් එකට ඇරගන්නවා.. අනේ කාලේ වනේ වාසේ.. මට නම් කෙල්ලෙක් නොහිටපු එකම හොදයි..

"අද මොකක්ද පෙරලපු බාල්දිය..?"

ගෙට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. අක්කා මේන් ඉස්සරහ දොර ගාවම.. ඇයි හත් දෙයියනේ.. දවසේ කාරණා කාරණා කටයුතු කරලා වෙහෙස මහන්සි වෙලා ගෙදරට එනකොට ඕන් බලාපියව් සහෝදරියො අහන ප්‍රශ්න වල කැත..

"ඇයි අක්කේ..?"

"හැයි තමයි.. අන්න ඔයාගෙ අහිකුන්ටක පරම්පරාව, පැය ගානක් මෙතන තැපලා තැපලා යන්න ගියා.."

"අහිකුණ්ටකයෝ..?"

"ඔව්.. ඔයාගෙ අතිජාත මිත්‍ර පාර්ෂිකයෝ.." 

ෂිහ්.. අම්මපා අක්කා ඒක කියාපු කැත.. මට නිකං බඩේ අමාරුවත් හැදෙන්න වගේ.. හැබෑටම කොල්ලො සෙට් එක මෙහේ ආවද..? ආව නම් ඒ ඇයි...?

"නිකං අහප පොළව උහුලන්නෙ නැති කතා කියන්නෙපා අක්කේ.. උංට මෙහේ එන්න තරම් පිස්සුවක් නෑ.."

"පිස්සු තියෙනවද නැද්ද කියලා නම් මං දන්නෑ.. මට පේන හැටියට මණ්ඩලේ කචල් එකක් වගේ.. ඒක නෙමේ අද ගිය ගමන මොක..? ඒකෙයි, මේ ප්‍රශ්නෙයි අතරේ මුකුත් නමුත් ඥාති සම්බන්ධයක් තියෙනවද..?"

"මොන ගමනද අක්කේ..?"

අපේ අක්කත් එක්ක කතා කරනව නම් සෑහෙන්න මීටර් ගතව තමයි කතා කරන්න ඕන.. නැත්නම් ඉතිං එයා ඔලුවයි, මූණයි දෙකම අතගාලනේ ටොක්ක අනින්නේ පැණි බේරෙන්න..

"මොන ගමනද අහන්නේ..? ඇයි බන්ටි.. ඔයාට මතක නැද්ද උදේ යනකොට බේබි නැන්දව එක්කරන් ගියපු ගමන.. කට්ට කමටද කොහෙද බේබි නැන්දව මුලින් එව්වා.. දැන් මෙයා හොර පූසා වගේ ගෙදර ආවා.."

යකෝ.. බලපල්ලකෝ මේකිගෙ අපත කතාවෙ තරම.. කට්ට කමට බේබි නැන්දා කලින් එව්වලු..

"ඔයා මොනවද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෑ.."

"ඔව් ඉතිං.. බේබි නැන්දගෙන් ඇහුවාමත් මට ගස්සගෙන ගේ ඇතුළට ගියා.. දැන් ඉතිං මෙයාගෙන් අහනවා කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.."

මගේ හිතට කාලෙකින් ආපු නැති තරමේ ගතියක් දැනුණා ඒ කතාව අහපුවාම.. අම්මප බේබි නැන්දා මරුනේ.. ඔන්න ඔහොමනේ ඉන්න ඕන.. 

"ආ.. මගේ මාධ්‍ය ප්‍රකාශක මුකුත් කිව්වෙ නැද්ද..? එහෙනම් ඉතිං සොරිම තමයි අක්කේ.. මටත් මුකුත් කියන්න අයිතියක් නෑ.."

ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් අක්කා බලන් ඉද්දි මං එයාවත් තල්ලු කරගෙන ගේ ඇතුළට ගියා.. දැන් ඉතිං කොල්ලො ටික ආවෙ ඇයිද කියන එකේ මරණ පරීක්ෂනේ තියන්න ඕන.. ඒත් ඒකට මේ වෙලාව හොද වෙලාවක් නෙමෙයි කියනෙක මං දැනන් හිටියා..

                                           *****************************

"බන්ටි මහත්තයෝ.."

මං අහැරුනේ බේබි නැන්දගේ කටහඩින්.. ඒ වෙනකොට මුළු පළාතම කළුවර වෙලා තිබුණා.. මේ උදේද..? දවල්ද..? රෑද..? එහෙමත් නැත්තං පාන්දරද..? ආපු ගමන්ම ඇදට වැටෙනවා විතරයි මට මතක.. හත්තිලව්වේ.. එහෙම්ම මට නින්ද ගිහින්නේ..

"බේබි නැන්දේ..?"

"හවස කිරි එක එකවත් බිව්වෙ නෑනේ.. දැන් ඉතිං රෑටම කන්න යමු.."

"දැන් නම් කන්න බෑ.. කිරි එකක් තිබ්බා නම් හොදයි.."

"අනේ එහෙම හොද නෑ බන්ටි මහත්තයෝ.. ගෙදර හැමෝම බලන් ඉන්නවා.."

ඒකත් එහෙමද..? එහෙනම් හැමෝම කෑම මේසෙට වාඩිවෙලා මූණින් මූණ බලාගෙන ඇති.. කොහොමටත් රෑ කෑමට හරි ගෙදර හැමෝම එකට වාඩිවෙලා කෑම කන එක අපේ ගෙදර සිරිතක්.. ඒක මට මතක ඇති කාලෙක ඉදන්ම තිබුණා..

"බේබි නැන්දා දවල් එද්දි අමිලලා මෙහේ ඇවිත් හිටියද..?"

"නෑ.. කවුරුත් නෑ.. හැබැයි සමුදිනී නෝනා නම් ප්‍රශ්න කෝච්චියක් ඇහුවා.. මං ඒ එකකටවත් උත්තර නොදී ගෙට ආවා.."

"ඒක හොදයි.. නැත්තං හෙට උදේට එයා මෙතන පෝස්ටරුත් ගහලා කටවුට් දෙක තුනකුත් ගහලා තියෙයි.."

එතකොට කොල්ලො සෙට් එක ආවෙ නැද්ද..? අක්කා මාව කුලප්පු කරන්න මට බොරුවක්ද කිව්වේ..? කොල්ලො ටික ආවා නම් ඒ ඇයි..? මං ටොරින්ටන් පාක් එකේදි උන්ව හම්බවෙලානේ ආවේ.. ප්‍රශ්න දෙක තුනක්ම ඔලුව වටේ කරකැවෙද්දි මං පඩිපෙල බැස්සා.. ඇන්දට අල්ලලා තියෙන ලීයට පිටිපස්ස තියලා ආතල් එකේ පහලට ලිස්සගෙන එන්න තරම් හයියක් ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ නෑ.. අනික ඉතිං ඒ ලීය කවදාවත් පොලිෂ් කරන්න ඕන නෑ කියලයි අපේ ගෙදර අය කියන්නේ.. මගේ වැඩේ හන්දා නිතරම ඒ ලීය පොලිෂ් වෙලාලු තියෙන්නේ.. 

"එනව මනුස්සයෝ.. ඉක්මනට.. අපිට හොදටම බඩගිනියි.."

පඩිපෙළ කොනෙන් මතුවෙනකොටම අයියා කෑගැහුවා..

"ආ.. පෝ.. මේ වෙලාවේ, රෑ වෙලා තියෙන එකත් හොදයි.. නැත්නම් මෙයාව උදේක දැක්කා නම් කැදත් නෑ.. පේන්නැද්ද කබ කඩ කඩා එන හැටි.."

ඔය වගේ කතාවක් කියලවත් අක්කා හිත සනස ගත්තාවේ.. පව් අප්පා.. අපි, අසරණයෝ ගැන අනුකම්පාව උපදවල බලන්න ඕන.. එහෙමයි බුදු බණේ වුණත් තියෙන්නේ..

"බන්..ටී.. මොකද අද.. සයිලන්ස්..?"

"ඒක තමයි මාත් බැලුවේ.."

"හොදට ඇග පත දිහා බලන්න තාත්තේ.. කවුරු හරි අල්ලගෙන ගහලද දන්නෙත් නෑ.."

"ඒ ඇයි සමුදි..?"

"හවස ආපු ගමන් ඇදට වැටුණා.. ඔන්න තාත්තෙ අපේ බන්ටිගෙයි, බේබි නැන්දගෙයි මොකක් හරි ලොකු හොරයක් තියෙනවා.. මං දැන් ටිකක් අල්ලගෙනයි තියෙන්නේ.. අනිත් ටිකත් අල්ල ගත්තහම කෑම මේසෙදිම කියන්නම්.."

හප්පට සිරි.. අපේ අක්කට ගියපු කල.. එයා ඒ තරම් පොරක් උනාද අප්පා.. ගෙදර කට්ටිය අනේක දේවල් කියද්දි මං පාඩුවෙ කන්න ගත්තා.. වැදගත් ළමයි, කන ගමන් කතා කරන්නෙ නෑ.. කවුරු හරි කතාව අඩු මොකද කියලා ඇහුවොත් එහෙම කියනවා කියලා මං හිතාගත්තා.. ඒත් කවුරුවත් මගෙන් එහෙම ඇහුවෙ නෑ..

                                           *****************************

එදා මට නින්ද ගියේ හුගක් රෑ වෙලා.. ටොරින්ටන් පාක් එකේදි චැලේන්ජ් කරපු කෙල්ලව, හුගාක් වෙලාවට මට මතක් වුණා.. උන්දෑ මහ පිස්සු කේස් එකක්.. ඒකිගෙ ෆිගර් එක දැක්කහම කොල්ලො පිස්සු වැටෙනවලු.. මල සමයංනෙ යකෝ.. කවුද දන්නෑ අර ඒකිත් එක්ක ඉදපු වල් කක්කුට්ටෝ හතර දෙනා.. උංට පුළුවන්ද අප්පා ඒකිව හැන්ඩ්ල් කරන්න.. දැක්කනේ දිගට හරහට කතා කරනකොට ඒකිගෙ කටේ තිබ්බ සිරියාව.. අනික ඉතිං උං බාල්දිවත්තෙ කොල්ලොලුනේ.. එතකොට ඒකිත් බාල්දි වත්තෙද..? වෙන්න බෑ.. ඒකිගෙ තිබ්බෙ බාල්දිවත්තෙ ලක්ෂන නෙමෙයි..

"මොන කරදරකාරයෙක්ද මන්දා.."

කාටදෝ වැලේ වැල් නැතිවෙන්න බැණ බැණ අයියා සාලෙට එන සද්දෙ මට ඇහුණා.. මං හොදට කන්දෙක උස්ස ගත්තා.. අම්මපා.. මේ පට්ට රාත්‍රී යාමයේ මිනිහා මටද දන්නෑ බනින්නේ.. ටිකකින් මට ඇහුණා. රිසීවර් එක දඩෝං ගාලා ෆෝන් එකේ ඔබන සද්දේ.. ඒ පාර නම් ෆෝන් එකට බඩුම තමා.. ලොකු කෑල්ල මට කියලා කියන්නත් හදලා මං හෙමින් සීරුවෙ ඇදෙන් නැගිට්ටා.. මොකාක් නමුත් ලොකු අවමගුලක් පාටයි..

"පිස්සුද මංදා.. කොහේද යන පිස්සෙක්.."

කාටදෝ හතර අතේ පලු යනකල් බැණ බැණ අයියා සාලෙ පුරාම ඇවිදිනවා.. නිදිමතත් නැති එකේ මට ආවෙ මාර ගතියක්.. අම්මපා.. අපේ අයියා බයිට් කරපු පින්වන්තයා කවුද..? මට ඕන වුණේ වෙන මුකුත් නෙමේ.. ඒක දැනගන්න.. මොකද උගේ පැත්තට මලක්, පානක් පත්තු කරලා තියන්න..

"කවුද ලොකු.. මොකද උනේ..?"

අඩුවක් කියලා තිබේබෙ ඔච්චරයි.. ඔන්න අක්කත් ආවා අයියා ළගට..

"මොන කාළකන්නියෙක්ද මන්දා.. ෆෝන් එක රින්ග් කරලා හලෝ කිව්වම කට් කරනවා.. දැන් දහ දොළොස් ගමනක් විතර.. ෂිහ්.. මගේ ඔලුවත් එක්ක අවුල් වුණා.. කතා කරන්න බැරි නම් මොනවට ගන්නවද මන්දා.."

අනේ අප්පේ.. ඔය මනුස්සයගෙ ඔලුව අවුල් වෙලාම තියෙනවා නම් කොච්චර හොදද..? මොන තරම් යහපතක්ද..?

"මුකුත්ම කියන්නෙ නැද්ද ලොකූ..?"

"මුකුත් නෑ හලෝ.. ඒකනේ තද වෙන්නේ.. හැබැයි හුස්ම ගන්න සද්දෙ හිටන් ඇහෙනවා.. කවුරු හරි ඕන කමින් කරන්නේ.."

අම්මප.. හුස්ම ගන්නවත් ඇහෙනවලු.. බලන් ගියාම අපේ එකා මාර සංවේදී මනුස්සයෙක්නේ.. මූව යවන්න ඕන කාළගුණේට.. එතකොට හම්බන්තොට පැත්තට වහිනවා නම් මූට නුවර ඉදන් කියතැහැකි.. මොනව උනත් අපේ අයියව බටිට් කරන එකා අල්ලගෙන ඉඹින්න පවා මට හිතුණා.. ඌ කොයි තරම් ෂෝක් කොල්ලෙක් වෙන්නැතිද..? මේකා වගේ අමනුස්සයෙක් බයිට් කරන..

"බ..න්..ටි.. වත්ද දන්නෑ.."

ඔන්න.. ඔන්න.. කැරකිලා කැරකිලා අන්තිමට.. අලියා වතුර බොන්නෙ හොඩෙන්ලුනේ.. මටත් ඒ සෙතේම තමයි..

"බන්ටි.. කොහොමද කරන්නේ.. මිනිහා කාමරේ අතුලෙනේ.."

"කාමරේ උනාට, මට නම් ඔය මනුස්සයා ඩිංගක්වත් ෂුවර් නෑ.. හොර පූසා වගේ දැන් ඩිංගකට කලින් හිටපු විදිය නම් මට ඇල්ලුවෙම නෑ.."

ඇල්ලුවෙ නැත්නම් අල්ලපියව්කෝ.. මේ බන්ටි ඉන්නෙ දිලිසි දිලිසි.. ආයි ඕකට මං මුකුත්ම කියන්නෙ නෑ.. වැඩේ කියන්නෙ වැඩිම උනොත් විනාඩියක් දෙක්ක යන්න ඇති.. ආයෙත් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. අයියයි, අක්කයි තරගෙට වගේ මූණින් මූණ බලා ගන්නවා මං දැක්කා.. විනාඩියක් දෙකක් විතර එක දිගට රින්ක් ගියත් දෙන්නගෙන් කවුරුවත් ෆෝන් එක ඇල්ලුවෙ නෑ.. තවත් බලන් ඉදලා බෑ.. මං කාමරෙන් එළියට පැන්නා.. මාව දැක්ක ගමන් දෙන්නම කැත නැතුව අහක බලා ගත්තා.. යකෝ.. මේක මාර අවමගුලක්නේ.. ඇයි අප්පා ඔය තරම් වේදනාකාරී විදියට අහක බලාගත්තේ.. මං ඔයාලගෙ තරහාකාරයෙක්ද..? නැත්නම් පරණ ණයකාරයෙක්ද..?

"හෙලෝ.."

"බන්ටි නේද..?"

එහා පැත්තෙන් රහසින් වගේ ඇහුවා.. හත්තිලව්වේ මේ ලොකු පුතා නේද..? මූ මොකද මේ යක්කු ගස් නගින වෙලාවේ..? 

"කවුද මේ..? කාටද කතා කරන්න ඕන..?"

මං නිකන් දේශපාලන විද්‍යාව හදාරන එකෙක් වගේ කතා කලා.. නැත්නම් දෙයි හාමුදුරුවනේ, මටනේ බඩු හම්බ වෙන්නේ.. ඇයි කියලද ඇහුවේ.. ඇයි ඕයි.. මෙච්චර වෙලා එහා පැත්තෙන් ආන්සර් නොකරපු එකා, මගෙත් එක්ක ආන්සර් නම් අපේ ගෙදර වසවර්තියො හිතන්නෙ මේක මගේ මාස්ටර් ප්ලෑන් එකක් කියලනේ..

"කවුද මේ කියල අහන්නේ..? මං ලොකු පුතා යකෝ.. මං ලොකු පුතා.. උඹට මාව අදුනගන්න බැරිද..? ඩිංගක් කොනිත්තගෙන බලපං.. මේ මං..! උඹලගෙ ගෙදර ඈයොන්ට මොකද වෙලා තියෙන්නේ..? ෆෝන් එක උස්සපු ගමන් අම්මා, තාත්තා මතක් කරන්නේ..?"

අම්මපා.. මූ ළගපාතක හෙම හිටියා නම් දෙකට තුනට නමලා වොෂින් මැෂින් එක ඇතුළටවත් ඔබනවා.. මූ හදන්නෙ මට උන් හිටි තැන් නැති කරන්න.. අනිත්තෙක මුගේ ගද කතාව බලපල්ලකෝ.. අපේ ගෙදර ඈයොලු කතා නොකරන්නේ.. දැන් ඇහුනනේ අයියා දිව්‍ය ලෝකෙටත් එහා ඇහෙන්න බැනපු හැටි..

"හෙලෝ.. කාටද කතා කරන්න ඕන කිව්වේ..?"

අක්කයි, අයියයි දිහා බලන ගමන් මං හෙමීට ඇහුවා.. මූට මොලේ කියලා මංචාඩි එක්ක හරි තියෙනවා නම් මේ අවස්ථාවෙ හැටි තේරුම් ගනියි..

"උඹ මොන කුණුහරුපයක් කියනවද කියලා මට නම් තේරෙන්නෑ ලොකු පුතේ.. අපිත් එකක් තරහා වෙලා උඹ කොහෙද ගියේ..? හැම එකාටම අප්සට් බං.. හොද එකා වගේ හෙට උදේම ගුඩ් ෂෙඩ් එකට වරෙන්.. මං තියනවා.."

ලොකු පුතා ලොස් නැතුව ෆෝන් එක තිබ්බා.. මං මුකුත් දන්නෑ වගේ අක්කා දිහාට හැරුණා.. 

"අක්කෙ ඔයාට.."

"ම.. ට..?"

"ඔව්.. ඔයාට තමයි.."

"වෙන්න බෑ.."

"වෙන්න බැරියක් නෙමෙයි.. මේ ගෙදර වෙන සමුදිනියෙක් නෑනේ.."

අක්කට ෆෝන් එක දීලා මං අයියට ළංවුණා..

"බලන්න ලොකූ.. අක්කට එන කෝල්ස් හින්දා තියෙන මල වදේ.. කතා කරාට කතා කරන්නෙ නෑ.. පිරිමි ඇලජික් එකෙක්ද කොහේද එහා පැත්තෙ ඉන්නේ.."

"මටත් පේන්නෙ ඒ වගේ තමයි.. මෙයා අපිට කොලේ වහනවා.."

අක්කට ඔරව ඔරව අයියා සාලෙන් ගියා.. විසන්ධි වෙලා ගියපු අකුසල දුරකතන ඇමතුමත් එක්ක, අක්කා අන්ද මන්ද වෙලා බලන් ඉද්දි මාත් කාමරේට පැන ගත්තා..    



                           

No comments:

Post a Comment