Wednesday, April 4, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






එදා මුළු රෑ පුරාම ඇදේ පෙරලි පෙරලි හිටියා මිසක නින්ද ගියේම නෑ.. නිරෝෂියි, අර ඇටකිච්චියි හිටපු ආදරණිය විලාසය මගේ හිතට හතර වටින්ම එබෙන්න ගත්තා.. දෙයියනේ.. බින්දුවා මේක කොහොම දරා ගනියිද..? ගැන්සියෙ කොල්ලො හැම එකාටම මේ නිව්ස් එක ගිහිල්ලා තියෙද්දි උං කොයි තරම් අවුල් වෙලා හිටියද..? අපි කවුරුවත් කටක් ඇරලා බින්දුට මේක කියන්නෙ කොහොමද..?


පහුවෙනිදා මං උදේම ඇහැරුනේ කාගෙදෝ කුටු කුටු සද්දෙකින්.. බැලුවහම වෙන කවුරුත් නෙමෙයි.. අපේ අම්මගෙයි, තාත්තගෙයි, ලොකු ළමයයි, දෙවනි ළමයයි..

"පුදුම ලස්සනක්නේ නංගි.."

"අපේ අය එහෙම තමයි.."

"කොහෙද ඉන්නේ..?"

"-----------------"

"මං දන්නෙත් නෑ.. ඔයාවයි හොයාගෙන ආවේ.. මීට කලින් මං දැකලත් නෑ.."

"ඔව්.. මෙහේ වැඩිය ඇවිල්ලම නෑ.. එයා අර ෂැම්පු ප්‍රෝගෑම් එකේ බියුටි ක්වීන් උනානේ.."

කණ හතර අතටම හරවලත් මගේ ළගට පැහැදිලි තරංග ආවෙ නෑ.. මේ දෙන්නා කවුරු ගැනද අප්පා මේ තරම් රහසිගතව සාකච්ඡා කරන්නේ.. මොකෙක් හරි කැත සතෙක් ගැනවත්ද..? එහෙමත් නැත්නම් මුන් දෙන්නා කාටවත් වැඩක් දෙන්නවත්ද..? ඔව්.. ඔව්.. ඒවා කියන්න බෑ..

"එයා හරි හොදයි වගේ.."

ඔන්න, මට දැන් තමයි තෙරුනේ.. මුන් දෙන්නගෙ සතර කන්මන්ත්‍රනේ ගැන.. මේ කතා කරන්නෙ අපේ මොරින් අක්කා ගැනනේ.. ෂිහ්.. අම්මප මට ඕක තේරුම් ගන්න මේ තරම් වෙලාවක් ගියානේ.. ඒත් කවදද යකඩෝ එයා බියුටි ක්වීන් කෙනෙක් වුණේ.. සමහර විට දැනට අවුරුදු විස්සකට, විසිපහකට කලින්ද දන්නෙ නෑ.. දැන් උනත් පුත්තලම් බූරුවො කී දෙනෙක්ගෙ වයසද අප්පා.. 

"එක පාරටම ඒ ගැන ඇහුවෙ ඇයි..?"

"නෑ නිකං.."

"නැතිවෙන්න බෑ.. ඔයා එහෙම දෙයක් ලේසියෙන් අහන කෙනෙක් නෙමෙයිනේ අයියේ.. කියන්නකෝ.. මං පුළුවන් දෙයක් කරන්න බලන්නම්.."

යකඩෝ... අපේ අක්කට ගිය කළ.. පුළුවන් දෙයක් කරන්නම්ලු.. තනියම, විහිලුවටවත් පාරෙ හැබැලා යන්න බැරි ගෑනි, පුළුවන් දෙයක් කරන්නම්ලු.. සුද්ධ සිංහල සහෝදර ප්‍රේමය කියන්නෙ මේක වෙන්නැති නේද..?

"නෑ.. නෑ.. නෑ.. මං නිකං ඇහුවේ.."

"කමක් නෑ.. ඔයාට උදව්වක් ඕන උනොත් මට කියන්න.. මොකද මමත් එයාට හුගාක් කැමතියි.."

දෙයි හාමුදුරුවනේ.. අපේ අක්කා, මොරින් අක්කට කැමතියිලු, අම්මපල්ලා.. මං මේ දකින්නෙ හීනයක් වෙන්න ඕන.. ඔය තොරොම්බල් කරත්තෙ ඇස් දෙකට දකින්නෙ නැතුව ඉන්න තියෙනවා නම් හොදයි කියලා අපේ අක්කා කිව්වෙ දැන් හරියටම දවස් තුනකට කලින් නොවෑ..

"තැන්ක් යූ නංගි.. ඒත් අපේ පෝරිසාදයට නම් ඩිංගක්වත් අගවන්න එපා.. මහා විනාසයක් කරල දායි.. අපි දෙන්නටම වෙන්නෙ මේ ගේ අතෑරලා දාලා යන්න.."

"අපොයි ඔව්.. බන්ටි ගෑවුනොත් ඉතින් ප්‍රදේශයක්ම ඉවරයිනේ.."

ඇහිච්ච වචන වල සයිස් එකට මට ඇදෙන් වාඩි වෙන්න සිද්ධ වුණා.. ෂිහ්.. කොයි තරම් අසමජ්ජාතී ප්‍රකාශ කිහිපයක්ද..? ඔයිට වැඩිය වැදගත් දෙයක් ප්‍රවෘත්ති විකාශනේට කියන්න තිබුණෙම නැද්ද..? හැබැයි ඉතිං මේ බන්ටිගෙන් සපෝර්ට් එක එපා නම් බන්ටි බලෙන් සපෝර්ට් දෙන්නෙත් නෑ.. වෙන කාටවත් දෙන්න දෙන්නෙත් නෑ.. දැන් එතකොට මේ දෙන්නගෙ කාලගුණ වාර්ථාව තමයි මම නැතුව නුවරට උපරිම වර්ෂාපතනයක් ලැබුණා කියනෙක.. කමක් නෑ.. ඔහොම යමුකෝ.. මේක කොහේ හරි ඉවරවෙන තැනකුත් ඇතිනේ.. අන්න ඒ ඉවරවෙන තැන අවුලක් නැතුවම බන්ටි හිටගෙන ඉන්නවා..

එතන ඉදලා ආයෙත් මගේ කණට ඇහුනෙ ලාවට මුමුණන සද්ද කීපයක් විතරයි.. ඒ පාර දෙන්නගෙ කතාවට මොකද වුණේ අප්පා.. මං හෙමින් සීරුවෙ බැහැලා කාමරේ දොර ළගට ආවා..

"න්.. නෑ.. ඔයා ගියේ අපේ බන්ටි එක්ක..? ඔ.. ඔයාට පිස්සුද නංගි.. බලනවා අං දෙකක්වත් එනවද කියලා.."

"වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ අයියේ.. අනික ඒ වෙලාවෙ මට තනියෙම යන්නත් බෑ.."

"මට නම් හිතාගන්න බෑ අපේ බන්ටි කිසිම බාල්දියක් පෙරලන්නෙ නැතුව, ඔයාව බයිට් නොකර, නිවාඩු පාඩුවෙ ගෙදර ආවා කිව්වහම.. මට නම් මේක අදහගන්නත් බෑ.."

"මටත් පුදුමෙ ඒකනේ.. ඔයා කිව්වට විශ්වාස කරන්න අයියේ.. වෙනද ඔහොම ගමනක් එක්ක ගියොත් මගේ පර්ස් එකේ අන්තිම සතෙත් සුද්ධ කරනවනේ.."

"ඔව්.. ඔව්.. මිනිහට කන්න බඩගිනි නැත්නම් වැව රවුමෙ ඉන්න මාළුන්ට පොරි ඇට හරි අරන් දෙයි.. ඒ ජාතියෙ බඩ්ඩ.."

කතාව මොරින් අක්කගෙන් පසසෙ කෙලින්ම ඊයෙ ගමන දිහාට හැරුණා.. වගේ වගක් නැතුව, මට නෙමෙයි වගේ මං කතන්දරේ අහගෙන හිටියා..

"ආපහු එද්දි තමයි අයියෙ හොදම හරිය.. වැව රවුමට ඔන්න මෙන්න කියලා තියෙද්දි බන්ටි එක පාරටම වීල් එකෙන් බැස්සා.."

"හොදටම වහිද්දි..?"

"ඔව්.. අනෝරා වැස්සේ.. මටත් මුකුත් හිතාගන්න බැරිවුණා.. මං හිතුවෙම අයියා අර මුලින් කිව්වා වගේ මොකක් හරි ලෙඩක් කියලා.."

"ලෙඩක් නෙමෙයිද..?"

"අනේ මංදා.. මට හිතාගන්න බෑ.. බන්ටි වීල් එකෙන් බැහැලා වළාකුලු බැම්ම ගාව ඉදපු කපල් එකක් දිහායි බලන් හිටියේ.. අම්මෝ.. ඒ වෙලාවෙ බන්ටිගෙ මූණෙ තිබ්බ නපුරු පාට.. බන්ටි ඒ තරම් නපුරු වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නෑ.."

"කපල් එක දිහා..?"

"ඔව්.. ඒ ගර්ල් නම් හරි ලස්සනයි.. ඒත් ඒ බෝයි නම් ඒ තරම් ලස්සන නෑ.."

"සමහර විට අපේ බන්ටිගෙ ගර්ල් ද දන්නෙත් නෑ.. වෙන කොල්ලෙක් එක්ක හිටියේ.. ඔයා  හිටපු හින්දා රන්ඩුවට නොගිහින් බන්ටි ආපහු හැරෙන්න ඇති.."

"ඇත්තමයි.. ඔයා කියනකල් මං ඩිංගක්වත් ඒ ගැන හිතුවෙ නෑ.. ඒත් ඉතිං මට නම් හිතෙන්නෙ බන්ටිට ගර්ල් කෙනෙක් නෑ කියලයි.. අනික මුන්දෑ කිසිම දෙයක් සත පහකට ගණන් ගන්න මිනිහෙක්ද..?"

ඔනන් ඉතිං වැඩේ කියන්නේ, අපේ අම්මගෙයි, තාත්තගෙයි, ලොකු ළමයයි, දෙවනි ළමයයි එකතු වෙලා මට ගෑනු ළමයෙක් හොයලා දීලා ඉවරයි.. මොනව උනත් දෙයියො බැලුවා වගේ තමයි, ඊයේ මං ඇටකිච්චට නොගහපු එක.. වැරදිලාවත් මං ගැහුවා නම් ඇටකිච්චා හොදටම ගුටි කයි.. හැබැයි අපේ අක්කා දකින දේවලුයි, අක්කට හිතෙන දේවලුයි, අක්කගෙ හිතේ තියෙන දේවලුයි අමතක කරවන්න මට අවුරුදු ගානක් යයි..

"දැන් කෝ..?"

"එලාම් එකේ සද්දෙ නම් ඇහුණෙ නෑ.. දන්නවනේ පුත්‍රයගෙ තරම.. දහයෙන් මෙහා නැගිටින එකක් නෑ.."

"වතුර පාරක් ගහලා දුවමුද..?"

මාර ගති අදහසක් අයියා, අක්කාගෙන් ඇහුවා.. දවසේ ආරම්භයට කියාපුම දේ.. බිංදුගෙ ප්‍රශ්නෙ තියෙද්දිත් මට මාර ගතියක් ආවා..

"ඔයාට පිස්සුද අයියේ.. බන්ටිට ඔය වගේ වැඩක් කරලා ඔයාටයි, මටයි නිවි සැනසිල්ලෙ ඉන්න පුළුවන්ද කියන්න.. බන්ටි අපි දෙන්නව සදාකාලයටම නාවයි.."

අර මගේ හිතට ආපු ගතිය එහෙම් පිටින්ම ලොප් වුණා..

ෂිහ්.. අම්මපා මෙයාලගෙ කිසි ක්‍රියේටිව් අදහසක් නෑ.. වැරදිලා  හරි එහෙම එකක් තිබුණොත් ඒක ක්‍රියාත්මක කරන්නෙත් නෑ..

                                             *****************************

"බන්ටී... ඔයාට කෝල් එකක්.."

බිංදුගෙ ප්‍රශ්නෙ ගැන ආයෙමත් අලුතින් හිත හිතා ඉන්දෙද්දි තමයි අක්කගෙ සද්දෙ ඇහුණේ.. මේ ලොම්පොල්ලා දෙන්නා එකතුවෙලා අර කිව්වත් වගේ මට වතුර පාරක් වත් දෙන්නද දන්නෑ යන්නේ.. කෝකටත් කියලා මං නිදි වගේ හිටියා..

"බන්ටි.. ඔයාට රවීන් කියලා කෙනෙක් කතා කරනවා.."

කලින්ටත් වැඩිය සද්දෙට අක්කගෙ කටහඩ ඇහුණා.. රවීන්..? කවුද බං ඒ.. මං මගෙන්ම අහගත්තා.. මතක පරිපතයේ එහා කොනේ ඉදලා මෙහා කොනට ඇවිදගෙන ගියත් ඔය කියන විදියෙ නමක් තියෙන හාදයෙක් හීනෙන්වත් මගේ ළගක ඉදලා නෑ.. කවුද අප්පා මූ..?

"බන්ටී.. ඔයා තාම නිදිද..? අයියෝ.. මේක හදිසි කෝල් එකක්ලු.. අනේ මන්දා ඔයා නම්..? මරණ ගෙයක් ගැන ඔයාට කියන්න ගියොත් ඒකේ වැඩේ කරලත් ඉවර වේවි.."

අඩේ අප්පා.. කාගෙද මලගෙදර.. ලව් වැඩිවෙලා මොරීන් අක්කා මැරිලද දන්නෙත් නෑ.. එහෙනම් ඉතිං සිරාවටම නයිට් එකක් අදිතැහැකි.. අවුලක් නෑ.. ප්‍රේමය වෙනුවෙන් උපන් අසෙනිය කුසුම.. කියලා මං ලොකු කටවුට් එකක් අදිනවා.. ආයෙ දෙකක් නෑ..

අක්කා දොරට තඩිබාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මං කාමරෙන් එළියට ආවා.. කෑගහලා කෑගහලා වැඩිවෙලාද කොහෙද එයා මං දිහා බලන් හිටියෙ කේන්තියෙන් වගේ..

"හෙලෝ.."

"බන්ටි අයියා.. මං රවීන් කතා කරන්නේ.."

කවුද බං රවීන් කියන්නේ..? මං මගෙන්ම අහගත්තා.. ඇත්තටම මූ මොකාද දෙයියනේ..

"කවුද රවීන් කියන්නේ..?"

"ඇයි බන්ටි අයියා මතක නැද්ද..? එදා සරිගමයලහදි සෙට් උනේ.."

හප්පොච්චියේ... දැන්නේ මේකව මතක් උනේ.. අපේ බිංදුවගෙ ආදරේ ගැන, සජීවි විස්තර දුන්නෙ මේ පෝරිසාදයනේ..

"සොරි මල්ලි.. අදුනගන්න බැරිවුණාට.. මොකද මේ හදිසියෙන්ම..?"

සරිගමයට නැත්නම් අමිලට බාල්දිවත්තෙ කොල්ලො සෙට් එක එකතුවෙලා ගහලද දන්නෙත් නෑ.. ඇයි ඉතිං අමිලයා කරන්නෙම නාහෙට අහන්නැති වැඩනේ.. ඒත් රවීන්ගෙ කටින් පිටවුණේ මං හීනෙකින්වත් නොහිතපු දෙයක්..

"බින්දු ගෙදර නෑ.."

"මොකක්....... බින්දු ගෙදර නෑ.."

"ඔව් බන්ටි අයියා.. මට හිතෙන විදියට නිරෝෂිගෙ සීන් එක බින්දු දැනගෙන තියෙනවා.. ඒකයි කොල්ලා අපි කාටත් හොරෙන් නාවලපිටියෙ ගිහින් තියෙන්නේ.."

"නාවලපිටියේ..?"

"ගෙදරට ෆෝන් කරහම තමයි දැනගත්තේ.. වැඩි විස්තරයක් ගෙදරින් කිව්වෙත් නෑ.. සමහර විට බින්දු ගෙදර මිනිස්සුන්ට නොකියා යන්නැති.. කුණු වෙච්චි ලව් එකක් ගැන අහිංසකයා ගෙදරට කොහොම කියන්නද බන්ටි අයියා..?"

රවීන්ගෙන් පිටවෙන වචනෙන් වචනෙට මගේ හිතේ හැංගුනේ මහ විසාල කේන්තියක්.. ඇටකිච්චයි, නිරෝෂියි මේ වෙලාවෙ මෙතන හිටියා නම් අවමගුලක් තමයි.. හොද වෙලාවට උං දෙන්නා අතට අහුවෙන හරියක නැත්තේ..

"බින්දු මටවත් ෆෝන් කලේ නෑනේ රවීන්.. අඩු ගානේ බින්දුට තිබුණනේ අපි කාට හරි ෆෝන් කරලා කියන්න.. මොකද අපි ඌව මරන් කනවද..?"

"ඒකනේ බන්ටි අයියා කියන්නේ.. අනික, බින්දු ගෙදරට මොනවා කියලා නාවලපිටි ගියාද කියලා දන්නෙත් නෑනේ.. අපි වැඩිය හාර අවුස්සන්න ගියොත් ගෙදර මිනිස්සු කලබල වෙයි.."

"එහෙම කියනා නිකන් ඉන්න බෑනේ රවීන්.. මේකට මොනවා හරි කරන්න වෙනවා.. නාවලපිටියේ ගියා කියලා කිව්වට බින්දු වෙන කොහේ හරි ගියාද දන්නෙත් නෑනේ.. වෙන එකක් තියා නාවලපිටිම ගියා උනත් අපි කොහොමද ඉන්න තැනක් හොයා ගන්නේ..?"

"අපි කට්ටියම එකතුවෙලා ඕකට උත්තරයක් හොයමු.. එහෙනම් හවසට ටොරින්ටන් පාක් එක ළගදි සෙට් වෙමු.."

රවීන් ෆෝන් එක තිබ්බා.. කවුරු හරි වට දහයක් පහළොවක් විතර වේගෙන් කරකවල, මාව එක තැන හිටවලා තිබ්බ වගේ කරකැවිල්ලක් මට දැනුණා.. බින්දුවා මොනවද මේ කරන්නේ..? වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති.. මට හෙල්ලෙන්න උනේ නෑ.. ෆෝන් එක ආයෙන් රින්ග් වුණා..

"බන්ටි.. මං සුරේන් කතා කරන්නේ.. උඹලගෙ ෆෝන් එකට ගන්න බෑ.. බින්දු ගැන නිව්ස් එක හම්බ උනාද..?"

"ඔවු බං.. දැන් රවීන් කතා කරා.."

"බලපං.. අපේ බින්දුවත් පිස්සුනේ නටන්නේ.. අඩු ගානෙ අපි එකෙකුටවත් කියලා ගියා නම් දුක නෑ.. ඕන දේකට අපි බොක්ක උනත් ගලවලා දෙනවනේ.. ඒක නෙමේ.. තව අලුත් නිව්ස් එකක් තියෙනවා.."

"ඒ මොකක්ද..?"

"නිරෝෂිටයි, ඇටකිච්චටයි සපෝට් කරන්නෙ කෙල්ලෙක්.."

"කෙල්ලෙක්..?"

"ඔව්.. ඒකි තමයි ෆුල් ගාඩ් එක දෙන්නේ.. ලස්සන කෙල්ලෙක් බන්ටි.."

"ලස්සන කන්නද සුරේන්.. මොනව උනත් මට පේන්නේ මුලින්ම ඒකිව අභාවප්‍රාප්ත කරන්න වෙයි වගේ.."

මං කිව්ව දේට මුකුත් නොකියා ලොකු පුතා ෆෝන් එක තිබ්බා.. ඔලුව යකාගෙ කම්මල වගේ උනත් 'මේවට කලබල වෙලා බෑ බන්ටි' කියලා මගේ හිත මට කිව්වා..  

"බන්ටි මහත්තයෝ.."

"ඇයි බේබි නැන්දේ..?"

"හවස් වෙන්න කලින් මාව මාළිගාවට එක්ක යනවද..?"

තියෙන ප්‍රශ්නෙත් එක්ක වෙන දවසක යමු කියලා කියන්න හිතට ආවත් බේබි නැන්දගේ අහිංසක මූණ ඉස්සරහ ඒ වචන ටික හැංගිලා ගියා.. අනික තමයි තරහකාරයෙක් උනත් බන්ටිගෙන් උදව්වක් ඉල්ලුවොත් නෑ බෑ කියන වචනේ බන්ටි ළග නැති එක.. ලොකු පුතා නම් ඕකට කියන්නෙ අටලෝ දහම කියලා..

"හරි බේබි නැන්දේ.. වැඩේ ෆිට් කියලා හිතාගන්නකෝ.."

බේබි නැන්ද එහෙම්ම ඉන්දෙද්දි, මං පඩිපෙළත් එක්ක තියෙන අත් ඇන්ද උඩ වාඩිවෙලා දෙපැත්තට කකුල් දෙක දාලා පල්ලෙහාට ලිස්සගෙන ආවා.. මෙහෙම එනකොට තියෙන ගතිය දන්නෙ මේ වගේ ආතල් ගමනක් ගියපු අය විතරයි.. ඇයි හත් දෙයියනේ.. පල්ලෙහාම තියෙන අත් ඇන්දෙ හයි කරලා තියෙන ලී බෝලෙ 'මුළු අනාගතේම වදීවි' කියලා ගිනි පත්තු වෙවීනේ එන්නේ.. මොනව උනත් ඒ ගමන ඉක්මන්.. ෂෝට් ඇන්ඩ් ස්වීට්..

"යන තැනක් අම්මට කියලා යන්න බන්ටි.. නැත්නම් අම්මා මගෙනුයි අහන්නේ.."

ෆුල් ඔප්ෂන් චැලිය මිදුලට දානකොටම අක්කා කෑගැහුවා.. අම්මපල්ලා, මේ ගෙදර නිවි සැනසිල්ලෙ දළදා මාළිගාවටවත් යන්න විදියක් නැති හැටි.. ඒකටත් හෙනහුරෙක් අතේ දුරින්ම ඉන්නවා.. ඇයි දෙයියනේ.. මේ ලෝකේ මේ තරම් කුරිරු.. මේ තරම් දරුණු..

"අම්මට කියන්න දෙයක් නෑ අක්කේ.. මං මේ වැව රවුම ළගට යන්නේ.."

"වැව රවුම ළගට..?"

"ඔව්.. මට පුංචි ප්‍රශ්නයක් වෙලා.."

"ප්‍රශ්නයක්..?"

"ඔව් අක්කේ.. මං මේ ඔයාට හින්දයි කියන්නේ.. ඔයා අයියට ඇරෙන්න වෙන කාටවත් කියන්නෙ නෑ නේද..?"

"නෑ.. නෑ.. බන්ටි මං අයියටවත් කියන්නෑ.."

මං දන්නවා.. තව ටිකකින් අපේ අක්කගෙ කලු ඉංගිරියාව බිමට වැටෙනවා.. මගේ කතන්දරේට එයා ඒ තරම් පුදුම වෙලා.. පුදුම වෙන්නැතුව තියේයෑ දෙයියනේ.. බන්ටි කවදද බන්ටිගෙ ප්‍රශ්නයක් ගෙදර මිනිස්සුන්ට කිව්වේ.. පට්ට තනියෙම විසදගත්තා මිසක..

"දැන් මාස දෙක තුනක ඉදලා මට ගෑනු ළමයෙක්ගෙන් හරිම කරදරේ.. යාලුවෙන්න අහනවයි, අපේ ගෙදර එන්නද අහනවයි.. මල විකාරයක්.."

"ඉත්..තිං...."

අක්කා අත් දෙකම කම්මුල් වලට තියාගත්තා.. මං කටහඩට තව ටිකක් සෝකය එක්කහු කරගත්තා.. මං දන්නවා මේ වොයිස් එකට පුළුවන් ඕන කෙනෙක් අඩවන්න.. ඒ මනුස්සයගෙ පපුව කඩාගෙන යන්න.. දුක හොදි වගේ වත්කරන්න..

"බට බේරිල්ලක් ඇත්තෙම නෑ.. යන යන තැන පස්සෙන් එනවා.. ඔයාට කිව්වට අක්කේ.. මට ලියුම්ම අසූ තුනක් දීලා තියෙනවා ඔය ටික කාලෙට.."

"න්.. නෑ.."

"නැත්තෙ නෑ අක්කේ.. ඇත්තටම පුදුම කරදරයක්.. මට එ..පා.. වෙලා තියෙන්නේ.."

"ගෑනු ළමයා ලස්සනයිද..?"

"ඔව්.. ගිය අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා එකේ ෆයිනල් රවුන්ඩ් එකට ආවලු.."

අක්කගෙ ඇස් දෙක නළලටම ගියා.. කලු ඉංගිරියාවෙ බෝල තඩියා දැන් බිමට වැටෙයි, දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා මං බලාන හිටියා..

"ඉතිං ඇයි ඔයා, එයාට අකමැති..?"

"මගේ පස්සෙන් එන කෙල්ලොන්ට මං කැමති නෑ.."

"ඉතිං එයාට කැමති නැත්නම් ඇයි වැව රවුම ළගට යන්නේ..?"

"එයා නිතරම මට කියනවා අපේ අම්මව බලන්න ඕන කියලා.."

"අම්මව..?"

"ඔව් අක්කේ.. දන්නැද්ද ඉතිං.. කෙල්ලොන්ට හැදෙන පිස්සුනේ.. මං කිව්වා අපේ ගෙදර නම් එන්නෙපා.. මං අම්මව ඔයා ළගට එක්කං එන්නම් කියලා.."

"ඉතිං ඔයා අම්මව කැමති කරගත්තද..?"

"පිස්සුද අක්කේ.. ඔයා හිතුවද මං මැටි ගෝනියක් කියලා.. මං අම්මා වෙනුවට බේබි නැන්දව එක්කන් යනවා.."

"දෙයියනේ.. බේබි නැන්දව.. ඉ.. ඉතිං බේබි නැන්දා කැමති උනාද..?"

"කැමති උනේම නෑ අක්කේ.. පස්සෙ මගේ ගැන දුක හිතිලද කොහේද කැමති වුණා.. ආ.. මේ එන්නේ.. එහෙනම් අපි යමු බේබි නැන්දේ.."

"ඔන්න බන්ටි මහත්තයෝ.. ඔය අස්ප කරත්තෙට නගින්න කලින් මේ කියන්නේ.. පුළුවන් තරම් හිමීට යන්න ඕනෑ හොදද..?"

"ඔව් ඉතිං.. නැත්නම් බේබි නැන්දගෙ හෙයාර් ස්ටයිල් එක පාරෙ කොහේ හරි තියේවි.."

අක්කා ඉනට අත් දෙකත් ගහගෙන කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉන්දෙද්දි මං බේබි නැන්දව නග්ග ගත්තා.. මුතු ඇට මාලෙ දාලා, ලොකු හවරියක් කොන්ඩෙ උඩට කරල බැදලා, බෝරිච්චි අත් හැට්ටෙට මැච් වෙන සාරියක් ඇදලා, බේබි නැන්දා ඉන්නෙකේ, මං කිව්ව කතාව සීයට දෙසීයක් අක්කා විශ්වාස කරන්නැති.. මෙච්චර ජැන්ඩි පහට ලෑස්ති වෙලා බේබි නැන්දා යන්නේ, බන්ටිගෙ ගෑනු ළමයා බලන්න කියලා..

"මොනවද බන්ටි මහත්තයෝ.. ගෙයින් එළියට බහිද්දිම සමුදිනී නෝනා මං දිහා බල බලා කුටු කුටු ගෑවේ..?"

බේබි නැන්දව දළදා මාළිගාව ඉස්සරහ බැරියර් එක ගාවින් බස්සලා එන්න හදද්දි මගෙන් ඇහුවා..

"බලන්නකෝ බේබි නැන්දේ.. අක්කා අහනවා ඔයයි, මායි මේ ජෝඩු දාලා යන්නෙ කෙල්ලෙක් බලන්න නේද කියලා..?"

"බුදු සන්තෝ.. කෙල්ලෙක් බලන්න..?"

"ඔව්.. එයාගෙ හිතේ මගේ ලව් එකට සපෝර්ට් බේබි නැන්දා කියලා.."

"හත් දෙයියනේ... මේ.. මං..? සමුදිනී නෝනට පිස්සු හැදීගනෙවත් එනවද..?"

"ඒකනේ බේබි නැන්දේ.. පොල් පරාල පයින් යනවා කියලා කියන්නෙ ඔය වගේ කතාවලට තමයි.."

"හරියට හරි.. ඒ කතාව නම් ටක්කෙටම ගැළපෙනවා.. ඒත් ඉතිං මහත්තයට ගෑණු ළමයෙක් නෑනේ.."

"නැති එකනේ මේ හැමෝටම පුරස්නයක් වෙලා තියෙන්නේ.. අනික මං වගේ නොසන්ඩාලයෙක් එක්ක එන ගෑනු ළමයා කවුද අප්පා.."

"ආ..නේ.. එහෙම කියන්නෙපා.. මට නම් බන්ටි මහත්තයා තමයි මේ ලෝකෙන්ම හොදම.. හො..ද. ඉන්න.. මං අද ප්‍රාර්ථනා කරන්නම්කෝ ඉටි රූපයක් වගේ ලස්සන ගෑනු ළමයෙක් මහත්තයට ලැබෙන්න කියලා.."

"ඉටි රූපයක් හම්බවෙලා පත්තු කරලා තියා ගන්නද බේබි නැන්දේ.. එහෙනම් බේබි නැන්දා මාළිගාවට ගිහින් එන්න.. මං හරියටම පැය එකහමාරකින් එන්නම්.. ඔයාව එක්කන් යන්න.. ඒ වෙලාව ඇතිනේ.."

බේබි නැන්දා තවත් මොනව හරි කියන්න කලින් මං චැලිය හරව ගත්තා.. නැත්නම් මට වෙන්නෙ එයත්තෙක්ක මාළිගාව ඇතුළට යන්න.. 



                

No comments:

Post a Comment