Tuesday, April 3, 2012

| ෂර්ලොක් හෝම්ස් - රතු කවයේ අභිරහස | චන්දන මෙන්ඩිස් |







































"මට නම්  තේරෙන්නෙ නෑ වොරන් නෝනා ඔබට ඔය හැටි කලබල වෙන්න තියෙන කාරණාව මොකක්ද කියලා. ඒ වගේ ම මට හිතාගන්න බෑ, මගේ වටිනා කාලය නාස්ති කරන්න තරම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලත්.."


යැයි පැවසූ ෂර්ලොක් හෝම්ස්, යළිත් වරක් තමා නිරත වූ කාර්යය වෙත සිත යොමු කලේය..

ඔහු කළ අපරාධ පරීක්ෂණ පිළිබද විස්තර හා ඒ සම්බන්ධයෙන් පුවත්පත් වල පළ වූ තොරතුරු, ක්‍රමානුකූලව පොතක අලවා තැබීමට හෝම්ස් අමතක නොකළේය. එදින් ඔහු කාලය ගතකළේ මෑතකදී ඔහු විසින් කරන ලද පරීක්ෂණය පිළිබදව සුචියක් පිළියෙල කිරීම සදහායි..

අපේ අනුග්‍රහය පතා පැමිණ සිටියේ මැදිවියේ කාන්තාවකි.. නිවසේ කොටස් බදු දී, ඒ ලැබෙන මුදලින් ජීවත් වූ ඈ, හෝම්ස්ගේ ප්‍රකාශයෙන් අධෛර්යය වූ බවක් නොපෙනිණ.. කාන්තාවන් සතු උපායශීලී සටකපට ස්වභාවය යොදවා, ඇය පැමිණි කටයුත්ත කෙසේ හෝ ඉටුකරවා ගැනීමට වොරන් මහත්මිය උත්සාහ කළාය..

"මගේ ගෙදර නැවතිලා ඉදපු ෆොඩෝල් හෝම්බ් මහත්මයගේ මහා ගැටලුවක් ඔබතුමා විසදලා දුන්නා ගිය අවුරුද්දේ.."

"ආ.... ඒක බොහොම සුළු කාරණාවක්.."

"ඒ වුණාට ඒ මහත්මයා නම් ඒක සුළුවට ගණන් ගත්තෙ නෑ.. ඔහු හැමදාමත් ඔබේ දක්ෂකම ගැන කථා කළා.. තේරුම් ගන්න බැරි අද්භූත ගැටලුවක්ව තිබුණු ඒ සිද්ධිය ඔබ එළිකර දුන් හැටි ගැන, හෝබ්ස් මහත්මයාගේ කටින් පිටවුණු වචන පවා මට තවම මතකයි.. කිසි දෙයක් තේරුම් ගන්න බැරි තත්වයකට පත්වුණාම මට එක්වරම මතක් වුණේ ඔබතුමාව.. මේ කාරණය ගැන ටිකක් අවධානය යොමු කරන්න හෝම්ස් මහත්මයා.. හැම දෙයක්ම ඔබට පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා නම් කිසිම සැකයක් නැහැ.."

මේ ගුණ වර්ණනාව නිසා මෙන්ම, ඔහු සතු සහජ කාරුණික ස්වභාවය නිසා ද, වොරන් මහත්මියට සවන්දීමට හෝම්ස් අවසානයේ තීරණය කළේය.. අතේ තිබූ මැලියම් බුරුසුව පැත්තකට දැමූ ඔහු, පුටුවේ පිටුපසට හේත්තු වී හරිබරි ගැසී හිද ගත්තේය..

"හොදයි, හොදයි වොරන් මහත්මිය.. එහෙනම් අහමු බලන්න ඔබේ ගැටලුව.. ඔබ දැන් කිව්ව කාරණාවල හැටියට, ඔබට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය මේකයි, ඔබේ නිවසට අලුතෙන් පැමිණි නේවාසිකයා, කාමරය ඇතුළටම වෙලා ඉන්නවා.. ඔබට දකින්න ලැබෙන්නෙ නෑ.. ඇයි වොරන් නෝනා මං ඔබේ ගෙදර නවාතැන් ගත්තොත්, එක දිගට සති ගණන් ඔබට මාව දකින්න ලැබෙන එකක් නැහැ.." 

"ඒක ඇත්ත වෙන්න පුළුවන් හෝම්ස් මහත්මයා.. නමුත් මෙතැන වෙනසක් තිබෙනවා.. දැන් මගේ හිතට මහා භයක් ඇතිවෙලයි තියෙන්නේ.. ඒ භය නිසා මට රෑට නින්ද යන්නෙත් නෑ.. මහ රෑ දෙගොඩ හරි ජාමෙත්, පාන්දරට එළිවෙන ජාමෙත් ඔහු කාමරයේ ඇතුළේ එහා මෙහා ඇවිදිනවා.. ඇවිදිනවා, ඇවිදිනවා කෙළවරක් නෑ.. ඒත් මගේ ඇහැට පෙනෙන්න එන්නෙ නැහැ.. මේක මට තවත් ඉවසන්න බෑ.. මං වගේම මගේ මහත්තයත් මේකෙන් හොදටම භය වෙලයි ඉන්නේ.. මගේ මහත්තයා උදේ පාන්දරින් රස්සාවට ගිහින් හැන්දෑවෙයි ගෙදර එන්නේ.. දවල් දවසට ගේ හරියට ඉන්නෙ මමයි, වැඩට ඉන්න ගැහැනු ළමයයි විතරයි.. ඉතින් මේ තත්වය මට තවත් කොහොමවත් විද දරාගනන් හැකියාවක් නැහැ.."

ඉදිරියට නැමුණු හෝම්ස්, ඔහුගේ සිහින් ඇගිලි වොරන් මහත්මියගේ උරහිස මත තැබීය.. අවශ්‍ය වූ  විටෙක කෙනෙකුගේ සිතේ  ඇතිවන බිය පහ කිරීඹට සමත්, මොහනය කිරීමට සමාන බලයක් හෝම්ස් සතු විය.. භීතියට පත් ලකුණු වැඩිහිටි කාන්තාවගේ මුහුණෙන් ඉවත් විය.. හෝම්ස් විසින් පෙන් වූ අසුනේ ඇය හිදගත්තාය..

"මේ ගැටලුවය විසදන්න භාරගන්න නම් මේක ගැන හැම තොරතුරක්ම මං දැන හිටින්න  ඕන.. ටිකක් වෙලා අරගෙන ඔක්කොම මතක් කරගන්න බලන්න.. ඉතාම සුළු දෙයක් වුණත්, මට වැදගත් ආරංචියක් වෙන්න පුළුවන්.. ඔබ කිව්වා මේ පුද්ගලයා ඔබේ නිවසට ආවෙ දින හයකට කලින් කියලා.. ඊලගට ඔහු සති දෙකකට කෑම සහ නවාතැන් ගාස්තු අත්තිකාරම් වශයෙන් ගෙව්වා කියලා..?"

"ඔහු මුලින්ම මගෙන් ඇහුවා, අපි අයකරන ගාස්තු මොනවද කියලා.. මං කිව්වා සතියකට පවුම් දෙකහමාරයි කියලා.. අපේ නවාතැන උඩ තට්ටුවේ නිදන කාමරයයි, කුඩා විසිත්ත කාමරයක් සහ අනෙක් සියලු දෙයන් සම්පූර්ණයි.."

"ඉතින්.."

"ඔහු කිව්වා, මං ඔබට සතියකට ඒ වගේ දෙගුණයක්, ඒ කියන්නෙ පවුම් පහක් ගෙවන්නම්.. හැබැයි මං කියන පිළිවෙලට කැමති නම් කියලා.. මං බොහොම දුප්පත් ගැහැණීයක් හෝම්ස් මහත්මයා.. වොරන් මහත්මයාට හම්බ වෙන්නෙත් සුළු පඩියක්.. වැඩිපුර සල්ලි ලැබෙනවා කියන්නෙ අපට ලොකු දෙයක්.. මං ඉතින් ඔහුගේ කොන්දේසි වලට කැමති වුණා.. ඉතින් ඒ මනුස්සයා එවේලේම පවුම් දහයෙ නෝට්ටුවක් දිගෑරලා මට දුන්නා.. මට සුමාන දෙකක නැවතීමේ ගාස්තු ගෙව්වා, ඔහු කිව්වා...

"සති දෙකකට වරක්, මේ විධියට සෑහෙන කාලයකට මං ඔබට මුදල් ගෙවනවා.. හැබැයි මගේ මේ කොන්දේසි වලට එකග වෙනවා නම්.. එහෙම බැරි නම් අපේ මේ ගනුදෙනුව ඉවරවෙනවා.."

"මොනවද ඔහුගේ කොන්දේසි..?"

"නිවසට ඇතුළුවන දොරට තියෙන අමතක යතුරක් ඔහුට ඕනෑවුණා.. ඒකෙ ඉතින් ප්‍රශ්නයක් නෑ.. නේවාසිකව ඉන්න හුගාක් අය, එහෙම අමතර යතුරක් ඉල්ලනවා.. ඊළගට ඉල්ලුවා ඔහුට සම්පූර්ණයෙන්ම තමන්ගේ පාඩුවේ ඉන්න ඉඩ හරින්න.. කොයි වෙලාවකවත් මොනව හේතුවක් නිසාවත් බාධා නොකරන්න කියලා.."

"ඒකෙත් ඉතින් වැරැද්දක් නෑ..?"

"බලාගෙන ගියාම ඒකෙ වැරැද්දක් නෑ තමයි.. නමුත් මෙතැන තත්වය ඊට බොහෝ වෙනස්.. ඔහු ඇවිත් දැන් දවස් දහයක් වෙනවා, මගේ මහත්තයවත්, මමවත්, මගේ වැඩට ඉන්න ගැහැණු ළමයාවත් එදාට පස්සෙ ඔහුව ඇස් දෙකට දැකල නෑ.. උදේ, දවල්, රෑ, හැමතිස්සෙම ඔහු ඉහළ පහළ, ඉහළ පහළ ඇවිදින අඩිශබ්දය අපට නොකඩවා ඇහෙනවා.. පළමුවෙනි දවසෙ රෑ ගෙයින් පිටවෙලා ගිහින් ආවට පස්සෙ ඔහු තාම ගෙයින් එළියට බැස්සෙ නෑ.."

"පළමුවෙනි දවසෙ රෑ එහෙනම් ඔහු ගෙයින් එළියට ගියා..?"

"ඔව් මහත්මයා.. ඒ ගිහින්, ආවෙ හොදටෝම රෑ වෙලා.. අපි නිදාගන්න ගියාටත් පස්සේ.. කාමරය ගන්න කොටම ඔහු මට කිව්වා, ඒ වගේ රෑ වුණ වෙලාවට ගෙයින් එළියට ගිහිං එනවා, ඒ හින්දා ඇතුළෙන් දොර අගුළු දමන්න එපා, යතුරෙන් පමණක් වහලා තියන්න කියලා.. එදා රෑ ඔහු ආපසු එන ශබ්දය මට ඇහෙනකොට දෙගොඩහරි ජාමෙත් පහුවෙලා.."

"එතකොට ඔහු කෑම ගන්නෙ කොහොමද..?"

"ඔහු ඒ ගැන උපදෙස් දුන්නෙ මෙහෙමයි.. ඔහු සීනුව නාද කළාම, අපි කෑම ගෙනැත් කාමරය ඉදිරිපිට පුටුවක් මත තබා යා යුතුයි.. ඊළගට ඔහු කෑම කාලා අවසන් කළාම ආයෙත් සීනුව නාද කරනවා.. එතකොට අර පුටුව උඩ තිබෙන පිගන් හා හිස් භාජන අපි අරගෙන එනවා.. ඔහුට වෙනත් මොනවා හරි අවශ්‍ය නම් කඩදාසියක් ලොකු අකුරෙන් පැහැදිලිව ලියලා පුටුව උඩ තියනවා.."

"ලොකු අකුරෙන්..?"

"ඔව් මහත්මයා.. ඒ අවශ්‍ය දේට අදාළ වචනය පමණක්, පැන්සලෙන් බොහොම පැහැදිලි අකුරෙන් ලියනවා.. මෙන්න මං අරගෙන ආවා ඔබට පෙන්වන්නස.. SOAP - (සබන්).. මේ තව එකක් MATCH - (ගිනිකූර).. පළමුවෙනි දවසෙ ඔහු තැබුවා මෙන්න මේ කඩදාසිය.. DAILY GAZETTE - (ඩේලි ගැසට්).. ඔහු ඊට පස්සෙ හැමදාම ඔහුගේ උදේ ආහාරය සමග මම ඩේලි ගැසට් පුවත්පත ගෙනගිහින් තියනවා.."

"මේ බලන්න වොට්සන්.."

හෝම්ස් පැවසුවේ කාන්තාව ඔහු අතට දුන් ෆුල්ස්කැප් කඩදාසිය මහත් උනන්දුවෙන් නිරීක්ෂනය කරමිනි..

"මේක ටිකක් අසාමාන්‍ය වැඩක්.. කාගෙනුත් වෙන්වෙලා තනියෙම ඉදීම මට තේරුම් ගන්න පුළුවනි.. නමුත් ඇයි මේ විධියට ලොකු කැපිටල් අකුරෙන් ලියන්නේ.. මේ ගැන ඔබේ අදහස මොකක් ද වොට්සන්..?"

"මං හිතන්නෙ ඔහුට ඕන වෙලා තියෙන්නෙ ඔහුගේ සාමාන්‍ය අත් අකුරු සගවන්න.."

"ඒකෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද..? මේ වොරන් නෝනා ඔහුගේ අත් අකුරු වචනයක් දෙකක් දැකීමෙන් ඔහුට ඇතිවෙන හිරිහැරය කුමක්ද..? සමහර විට ඔබට කියන දේත් ඇත්ත වෙන්න පුළුවනි.. ඒ වුණත් ඇයි පණිවුඩය මේ තරම් කෙටියෙන්, එක වචනයෙන්..?"

"මට නම් හිතාගන්න බෑ.."

"අපට නොයෙකුත් දේ උපකල්පනය කළ  හැකි ක්ෂේත්‍රයක් මේකෙන් විවෘත වෙනවා.. ලිවීම සදහා භාවිත කරලා තියෙන්නෙ දම් පැහැය මිශ්‍ර පළල් තුඩක් ඇති පැන්සලක්.. ඒකෙ ඒ තරම් අසාමාන්‍ය බවක් නැහැ.. ඔබට පෙනෙනවා ඇති අකුරු ලිව්වට පස්සේ, කඩදාසියෙ මේ පැත්තෙන් ඉරා ඇති බව.. SOAP කියන වචනයේ S අකුරේ පැත්තක් ඉරී ගිහින්.. ඒකෙන් ඔබට හිතාගන්න පුළුවන් කුමක්ද..?"

"කරුණු සැගවීමට කරන උත්සාහයක්..?"

"හරියට හරි.. එතැන, මේ ලියන්නා හදුනාගත හැකි මොනවා හරි සලකුණක් තියෙන්න ඇති.. සමහර විට මහපටැගිලි සලකුණක් නැත්නම් වෙනත් යමක්.. වොරන් මහත්මිය ඔබට කිව්වා, ඔබේ නේවාසිකයා, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති, තරමක් දුඹුරු පැහැති සමක් ඇති, මුහුණ පුරා රැවුළක් වැඩුණු කෙනෙක් කියල.. ඔහුගේ වයස කීයක් විතරද..?"

"ලාබාලයි මහත්මයා.. අවුරුදු තිහක් වත් නැතුව ඇති.."

"වෙන මොනවද ඔබට ඔහු ගැන කියන්න පුළුවන්..?"

"ඔහු හොදට ඉංශ්‍රීසි කථා කලා.. ඒ වුණත් මට හිතුණා.. ඔහු විදේශිකයෙක් කියලා.. ඔහුගේ උච්චාරණයෙන් මට ඒ බවක් තේරුණා.."

"හොදට හැද පැළදගෙන සිටියා..?"

"නියම මහත්මයෙක් විධියට හොදට ඇදුමෙන් පැළැදුමෙන් සම්පූර්ණව සිටියා.."

"ඔහු නමක් සදහන් කළේ නැහැ..?"

"නැහැ මහත්මයා.."

"ඔහුට යොමු කළයුතු ලියුම් කිසිවක් ලැබුණෙත් නැහැ..?"

"නැහැ මහත්මයා.."

"ඔහුව හොයාගෙන, කවුරුවත් ඔහු හමුවෙන්න ආවෙත් නෑ..?"

"නැහැ.."

"නමුත් ඔබ හරි, සේවිකාව හරි, උදේට ඔහුගේ කාමරයට යනවා ඇති එය පිරිසිදු කරන්න..?"

"නැහැ මහත්මයා.. ඒ වැඩකටයුතු හැම දෙයක්ම ඔහු තනියෙම කරගන්නවා.."

"හැබෑට..? ඒක නම් හරි පුදුමාකාර තත්වයක්.. ඔහු එතකොට අරගෙන ආව ගමන් බඩු මොනවද..?"

"ඔහු දුඹුරුපාට විශාල බෑගයක් ගෙන ආවා.. එච්චරයි.."

"නිගමන වලට එනන් තරම් තවමත් අපට කාරණා මදි.. ඔබ කියන්නේ ඔහු කාමරයට ඇතුළු වුණාට පස්සේ කිසිම දෙයක්, කාමරෙන් එළියට ආවෙ නැහැ කියලද..?"

වොරන් මහත්මිය සිය අත් බෑගයෙන් කුඩා කවරයක් එළියට ගත්තාය.. ඒ තුළින් ඇය දැවී ගිය ගිනිකූරු දෙකක් හා සිගරැට් කොටයක් අතට ගත්තාය..

"අද උදේ හිස් කෑම බන්දේසිය මත මේ දේවල් තබා තිබුණා.. මං මේවා අරගෙන ආවේ මට අහන්න ලැබිලා තියෙනවා ඔබතුමාට මේ වගේ සුළු දේවල් වලින් කාරණා හුගක් වටහා ගන්න පුළුවන් කියලා.."

දෙවුර හකුළා අවිනිශ්චිත භාවය පළ කළ හෝම්ස්, ඒවා අතට ගෙන පරික්ෂා කළේය..

"මේකෙන් නම් මුකුත් කියන්න අමාරුයි.. ගිනිකූරෙන් දල්වලා තියෙන්නෙ සිගරට් බව කිව හැකියි.. එහි දැවී ගොස් තිබෙන්නේ කුඩා ප්‍රමාණයක් නිසා ඒ බව පැහැදිලියි.. පයිප්පයකින් හෝ සුරුට්ටුවක් දල්වද්දී ගිනිකූරෙන් භාගයක් පමණ දැවී යනවා.. ආ...... හරි පුදුමයි..! මේ සිගරට් කොටයේ විශේෂත්වයක් තියෙනවා.. වොරන් නෝනා ඔබ කිව්වා මේ පුද්ගලයා මුහුණ පුරා රැවුළ වැවූ කෙනෙක් කියලා..?"

"ඔව් මහත්මයා.."

"සිගරට් කොටයේ හැටියට නම් එහෙම හිතන්න අමාරුයි.. මේ දුම්වැටිය උරලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම රැවුළ මුඩුකළ කෙනෙක් විය යුතුයි.. ඇයි වොට්සන් ඔබේ කෙටි උඩු රැවුළ වුවත් සිගරැට්ටුව උරද්දි ස්වල්ප වශයෙන් දැවී යනවනේ.."

"ඔහු සිගරට් හෝල්ඩරයක රදවා සිගරට්ටුව ඉරුවාද දන්නෙ නෑ..?"

"නෑ.. නෑ.. සිගරැට්ටුවේ කෙළවර දෙතොලෙන් තද කිරීම නිසා පළුදු වෙලා.. වොරන් නෝනා ඔබට හොදටම විශ්වාසද කාමරයේ පුද්ගලයින් දෙදෙනෙක් නැහැ කියලා..?"

"..........මම නම් හිතන්නෙ නැහැ පුදගලයින් දෙදෙනෙක් ඇත කියලා.. ඔහු කෑම කන්නෙත් ඉතා ස්වල්පයයි.. මට වෙලාවකට හිතෙනවා මේ තරම් ටිකක් කාලා මනුස්සයෙක් කොහොමද ජීවත් වෙන්නෙ කියලා.."

"හොදයි, මං හිතන්නෙ තවත් තොරතුරු අපට ලැබෙන තුරු බලා ඉන්න සිදුවෙනවා.. ඔබට මොකුත් පාඩුවක් සිද්ධ වෙලා නැහැ.. ඔබේ නේවාසික ගාස්තු ලැබුණා.. ටිකක් අමුතු පිළිවෙළක කෙනෙක් වුණත් ඔහුගෙන් ඔබට කරදරයක් නැහැ.. ඔහු ඔබට හොදට මුදල් ගෙවනවා.. ඔහු වඩා කැමති සැගවී ඉන්න නම්, ඒකට ඔබට කළ හැකි දෙයක් නැහැ.. ඔහු යම්කිසි අපරාධයකට සම්බන්ධ බවට කාරණා හොයාගත්තොත් අපට කාමරයට ඇතුළුවෙන්න ක්‍රමයක් හොයාගන්න පුළුවනි.. එහෙම නැතුව අපට ගිහිං බලෙන් කාමරයට ඇතුළුවෙලා ඔහුට බාධා කරන්න විධියක් නැහැ.. මං ඔබේ පැමිණිල්ල භාරගත්තා.. මං මේ පරීක්ෂණ්‍ය අත්හැර දමන්නෙ නැහැ.. අලුතෙන් යමක් සිදුවුණොත් වහාම මට දැනුම් දෙන්න.. ඔබට මගෙන් උදව් අවශ්‍ය වෙනවා නම් එය ඕනෑම තැනක ඕනෑම මොහොතක ඉටුකරන්න මම සූදානම්.."

වොරන් මහත්මිය අපෙන් සමුගෙන පිටත්ව ගියාය..

"මේ සිද්ධියෙ කුතුහලය උපදවන කාරණා කිහිපයක්ම තියෙනවා වොට්සන්.. බාගවෙලාවට මෙය, කිසිම අභිරහසක් නැති, අමුතු විධියට හැසිරෙන පුද්ගලයෙකුට ආදාල සිදුවීමක් වෙන්නත් පුළුවන්..  එහෙමත් නැත්නම් මතුපිටින් පෙනෙනවට වඩා, ගැඹුරට මුල් විහිදුණු අභිරහසක් වෙන්නත් පුළුවන්.. මට මෙතැන හදුනාගන්න පුළුවන් ප්‍රධානතම කරුණ මං කියන්නද..? ඒ තමා දැන් කාමරයේ ජීවත්වෙන්නෙ මුලින් කාමරය කුලියට ගත් පුද්ගලයාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක්.. "

"ඇයි ඔබ එහෙම හිතන්නේ..?"

"සිගරට් කොටයේ වෙනස පැත්තකින් තියමු.. බලන්න ඔහු නිවසෙන් පිටවෙලා ගිය එකම වතාව, කාමරය කුලියට ගත් වහාම පමණයි.. ඊට පස්සෙ ඔහු ආවෙ නැත්නම් වෙනිං කෙනෙක් ආපහු ආවෙ ගෙදර කිසිවෙකුටත් නොපෙනෙන වෙලාවක, නොපෙනෙන විධියට.. ආපසු කාමරයට ආව පුද්ගලයා, පිටවී ගිය පුද්ගලයාමද..? ඒ බව පැහැදිලිව ඔප්පු වෙන කිසිම කරුණක් අපට පෙනෙන්නෙ නෑ.. ඊළගට කාමරය කුලියට ගත් තැනැත්තා හොදට ඉංශ්‍රීසි කතා කලා.. නමුත් දැන් ඉන්න තැනැත්තා ගිනිකූරු ඉල්ලුවෙ කොහොමද..?

ඔහු ලිව්වා MATCH කියලා, ඒක වචනයෙන්.. නමුත් නියම වචනය විය යුත්තේ MATCHES.. මම හිතන්නෙ මේ තැනැත්තා ශබ්ද කෝෂයක් පෙරළා බලල ඒකෙ තිබුණු වචනය ලිව්වා.. ශබ්ද කෝෂ වල ඒක වචනය මිසක් බහු වචනය දෙන්නෙ නැහැනේ..

ඔහුට උවමනා කරන දේ පිලිබදව දිග වාක්‍ය නොලියා, බොහොම කෙටියෙන් සදහන් කරන්නේ ඇයි..? පැහැදිලිවම ඔහු සතු ඉංශ්‍රීසි දැනුම දුර්වල නිසා.. ඒක සගවන්න, මේ කාමරයේ දැන් පදිංචි වෙලා ඉන්නෙ එය මුලින් කුලියට ගත්ත තැනැත්තා නොවනෙ බව ඔප්පු වෙන කරුණු සෑහෙන ගණනාවක් තියෙනවා වොට්සන්.."

"නමුත් මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ මොන අදහසකින්ද..?"

"අන්න ඒක තමයි අපේ ගැටලුව වෙලා තියෙන්නේ.. අපේ පරීක්ෂන තවදුරටත් ඉදිරියට ගෙන යා යුත්තේ කුමන පැත්තකට ද කියන එක දැන් පැහැදිලියි.."

ලන්ඩනයේ පුවත්වත්වල පෞද්ගලික තීරය යටතේ පළවන දැන්වීඹ් හෝම්ස් නිතිපතා එකතු කළේය.. ඔහු සිරිතක් වශයෙන් ඒවා විශාල පොතක පිළීවෙළින් අලවා තැබුවේය.. එම පොත අතට ගත් මාගේ මිත්‍රයා වොරන් මහත්මිය සදහන් කළ වකවානුවට අදාළ පිටු පරික්ෂා කළේය..

"මේ පුද්ගලයා වොරන් මහත්මියගෙ නේවාසිකාගාරයේ ඉන්නෙ තනියෙම.. ඔහු බලාපොරොත්තු වෙන රහසිගත භාවයත් ආරක්ෂා කරගෙන, ඔහුට ලියුම් ගනුදෙනු කරන්න හැකියාවක් නෑ.. එහෙම නම් පිටතින් දෙන පණිවුඩයක් හෝ ආරංචියක් කොහොද ඔහුට ළගාවෙන්නේ..? පැහැදිලිවම පුවත්පතේ පළවන දැන්වීමකින්.. ඒ මිස වෙන ක්‍රමයක් නෑ.. වාසනාවකට වගේ අපට හැම පුවත්පතකම පෞද්ගලික තීරුව පරික්ෂා කරන්න වෙන්නෙ නෑ.. මේ තියෙන්නෙ පහුගිය දෙසතියක කාලයේ ඩේලි ගැසට් පුවත්පතේ එම තීරුවෙන් කපාගත් කොටස්.. අපි ඒවා පරික්ෂා කරලා බලමු..

"කළු පැහැති මෆ්ලරයක් පැළැද සිටි ප්‍රින්සස් හිම ක්‍රීඩා සමාජයේ සිටි කාන්තාව.."

ඒක අපට අත්හරින්න පුළුවනි.. 

"ජිම් ඔබේ අම්මාගේ හදවත වේදනාවෙන් පාරන්නේ නැතිව.."

ඒකත් අදාළ නැහැ..

"බ්‍රික්ස්ටන් බස්රියේදී ක්ලාන්ත වූ තරුණ මෙනවිය.."

ඇයගෙනුත් අපට වැඩක් නැහැ..

ආ මෙන්න මේක තරමක් දුරට වෙන්න පුළුවනි.. මේ අහන්න..

"ඉවසා සිටින්න.. පණිවුඩ හුවමාරු කර ගැනීමට වඩාත් හොද ක්‍රමයක් සොයා ගන්නම්.. එතෙක් මේ තීරුව බලන්න..

ජී.."

ඒ වොරන් මහත්මියගේ නේවාසිකයා ඇවිත් දවස් දෙකකට පස්සෙ.. මේ අද්භූත පුද්ගලයාට වැඩිදුර ලියන්න බැරි වුණත් ඉංශ්‍රීස් තේරුම් ගන්න පුළුවනි.. අපි බලමු තව මොනවා හරි හොඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියලා.. ආ.... මෙන්න තියෙනවා, දවස් දෙක තුනකට පස්සේ..

"සාර්ථක වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටිමි.. ඉවසීමෙන් බුද්ධිමත්ව.. නරක කාලය ඉක්මනින් ගෙවී යාවි..

ජී.."

ඊළගට සතියක් ගතවෙන තුරු මොකුත් පණිවුඩයක් නැහැ.. මෙන්න ඊලගට වඩාත් පැහැදිලි එකක් තියෙනවා..

"බාධක ඉවත් වී මග පහසුවේගෙන යනවා.. මට හැකිවුණොත් සංඥා මගින් පණිවුඩයක් දෙන්නම්.. ක්‍රමය, කථාකරගත් පිළිවෙළයි.. එකක් A දෙකක් B වශයෙන්.. ඉක්මනින් ඔබට ආරංචිය ලැබේවි..

ජී.."

ඒ ටික තියෙන්නෙ ඊයෙ පත්තරේ.. අද පත්තරේ මුකුත් නැහැ.. මේ පණිවුඩය බොහොම දුරට වොරන් මහත්මියගෙන් නේවාසිකයාට අදාළයි කියල අපිට හිතන්න පුළුවනි.. වොට්සන් අපි තව ටිකක් ඉවසුවොත් මේ කටයුත්ත මොකක්ද කියලා අපට තේරුම්ගන්න පුළුවන් තත්වයකට පත්වෙනවා.. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ.."

එය එසේම විය.. පසුවදා උදේ මගේ මිත්‍රයා, ගිනි උදුනට පිටුපා වාඩිවී සිටියේ තෘප්තිමන් සිනාවකින් මුව සරසාගෙනයි..

"බලන්න වොට්සන් මේක කොහොමද කියලා.."

ඔහු අද උදෑසන පුවත්පත මා අත තැබීය..

"ඉදිරි බිත්තියේ සුදුපාට ගල් ඇල්ලූ, රතුපාට උස ගොඩනැගිල්ල.. තුන්වැනි තට්ටු.. වම් පැත්තේ සිට දෙවැනි ජනේලය.. ඇදිරි වැටුණු පසු..

ජී.."

මේකෙ කිසිම සැකයක් නෑ.. උදේට කෑම ටිකක් කාලා අපි යමු, වොරන් මහත්මියගේ නිවස සහ අවට ප්‍රදේශය නරඹලා එන්න..

වොනවා..! මෙන්න වොරන් නෝනා..! මොනවද නෝනා ඔබ උදේ පාන්දරම අපට ගෙනෙන ආරංචි..?"

අපේ අනුග්‍රාහිකාව කිසිදු දැනුම් දීමකින් තොරව අපේ කාමරයට කඩා වැදුණේ කෝපයෙන් පිපිරීමෙනි..

"මේක පොලීසි යන්න වෙන වැඩක් හෝම්ස් මහත්මයා..! දැන් ඉවසපු හරිය හොදටම ඇති.. මං හදන්නෙ එයාට බෑග් එකත් අරගෙන වහාම කාමරයෙන් එළියට බහින්න කියන්නයි.. මං ඒ වෙලාවෙම ඒ වැඩේ කරනවා.. නමුත් ආයෙ මට හිතුනා මේ ගැන ඔබෙන් අහලා ඉන්න එක වඩා හොදයි කියලා.. කොහොම වුණත් මහත්මයා දැන් මගේ ඉවසීමේ සීමාව පැනලයි තියෙන්නේ.. මගේ නාකි මනුස්සයටත් අනඩන්තේට්ටම් කරන්න පටන් ගත්තාම"

"....... වොරන් මහත්මයාට අඩන්තේට්ටම් කරන්න..?"

"ඒ කිව්වෙ එයාට බොහොම රළු විදියට සැලකුවා.."

"කවුද මේ රළු විදියට සැලකුවේ..?"

"අන්න ඒක තමා අපටත් දැනගන්න ඕන වෙලා තියෙන්නේ.. මේ දේ සිද්ධ වුණේ අද උදේ පාන්දරයි හෝම්ස් මහත්මයා.. අපේ මනුස්සයා ටොටන්හෑම් කෝට් පාරේ, මෝටන් සහ වේලයිට් සමාගමේ ටයිම් කීපර් කෙනෙක් හැටියට වැඩ කරනවා.. ඔහු උදේ පාන්දරින්ම රස්සාවට යා යුතුයි.. ඔහු ගෙදරින් එළියට බහින්නෙ උදේ හතටත් කලින්.. අද උදේ ගෙදරින් දොරට බැහැලා ඔහුට අඩි දහයක් යන්න හම්බවුණේ නෑ.. මිනිස්සු දෙන්නෙක් ඔහුගේ පිටිපස්සෙන්ම ඇවිත්, ඔහුගේ මුහුණ ඔක්කොම වැහෙන්න කබායක් දාලා, මහත්තයව ඔසවලා ළග තිබුණු අශ්ව කරත්තයට දාගත්තා.. පැයක් තිස්සෙ කරත්තෙන් එහෙ මෙහෙ ගිනිහින්, මෙන්න ඒ ගමන ඔහුව එළියට විසිකලා.. ඔහු පාර අයිනෙ වැටිලා හිටියෙ හොදටම භයවෙලා.. භයවුණු පාර, අර අශ්ව කරත්තයට මොකද වුණේ කියන්නවත් ඔහු දන්නෙ නෑ.. තව ටිකක් හොයලා බලනකොට ඔහුව දමලා ගිහින් තියෙන්නෙ හැම්ස්ටඩ් හීත් පැත්තේ.. ඉතින් බස් එකක නැගලා ගෙදර ඇවිත් ඔන්න සැටියෙ වැතිරිලා ඉන්නවා.. මං මේ වහාම ආවෙ ඔබට සිද්ධ වෙච්ච දේ කියලා යන්න.."

"හරි පුදුමාකාර සිදුවීමක් නේ, වොරන් මහත්මයා දැකලා තියෙනවද මේ මිනිස්සුන්ගේ පෙනුම කොහොමද කියලා..? ඔවුන් කතා කරපු දේවල් ඔහුට ඇහිලා තියෙනවද..?"

"නෑ..... ඔහු අප්‍රමාණ භයට පත්වෙලා.. ඔහු දන්නෙ ඇස්බැන්දුමකින් වගේ ඔහුව උස්සලා කරත්තයට දමාගනිපු බවත්, ඇස්බැන්දුමකින් වගේ එළියට විසි කරපු බවත් විතරයි.. ඔය වැඩේට දෙනනෙක් වත් හවුල් වෙන්න ඇති.. බාග වෙලාවට තුන් දෙනෙක් වෙන්නත් පුළුවන්.."

"ඔබ හිතන්නෙ මේකට ඔබේ නේවාසිකයා සම්බන්ධ ඇති කියලද..?"

"ඇයි හෝම්ස් මහත්තයෝ අපි මේ ගෙදර අවුරුදු පහළොවක් ජීවත්වුණා.. මෙච්චර කාලෙකට ඔහොම දෙයක් සිදුවෙලා නෑ.. මට දැන් ඒ මිනිහව ඇතිවෙලයි තියෙන්නේ.. සල්ලි හම්බවෙනවා කියලා මෙහෙම කරදර වෙන්න පුළුවන්ද..? අද කළුවර වැටෙන්න කලින් මං ඔහුට යන්න කියනවා.."

"ටිකක් ඉවසන්න වොරන් නෝනා.. ඔහොම කලබල වෙලා මොකුත් කරන්න බෑ.. මට දැන් හිතෙනවා මේ සිදුවීම අපට මුලින් පෙනුණාට වඩා බොහොම බරපතල, බොහොම වැදගත් කාරණයකට සම්බන්ධයි කියලා.. ඔබේ නේවාසිකයා මොකක් හෝ අන්තරාදායක තත්වයකට මුහුණපාලා ඉන්න බව දැන් පැහැදිලියි..

ඒ වගේම අපට පැහැදිලියි, වොරන් මහත්මයට මේ දේ වුණේ මොකද කියලත්.. උදේ පාන්දර, අවට මීදුමෙන් වැහිලා තියෙන වෙලාවෙ ඔහු ගෙයින් එළියට බැස්සා.. ගෙදර දොරටුව ළග ඔබේ නේවාසිකයගෙ හතුරො හැංගිලා හිටියා.. ඔවුන් හිතුවා ගෙයින් එළියට ආවෙ නේවාසිකයා කියලා.. ඔබේ මහත්තයව කරත්තයට දමා ගත්තෙ එහෙම හිතලා.. ඊලගට ඔහුව කරත්තයේ ගෙන ගියාට පස්සෙයි ඔවුන් තමන්ට වුණු වැරදීම වටහාගත්තේ.. ඒ නිසයි ඔවුන් ඔහුව නිදහස් කලේ.. මෙහෙම වැරදීමක් සිදුනොවුනා නම් ඔවුන් මොනවා කරන්න ඉඩ තිබුණද..? ඒක අපට අනුමාන කරන්න පුළුවනි.."

"මට දැන් මොකක් කරන්න කියලද හෝම්ස් මහත්මයා කියන්නේ..?"

"ඔබේ මේ නේවාසිකයා හොදට දැක බලාගන්න මං කැමතියි වොරන් නෝනා.."

"දොර කඩන්නෙ නැතුව ඒක කොහොම කරන්නද කියලා නම් මට තේරෙන්නෑ මහත්තයෝ.. මං කෑම බන්දේසිය පුටුව උඩ තියලා පිටවෙලා ගිහිං, තරප්පු පෙළ බහිද්දි ඔහු දොර අරින ශබ්දය මට නිතර ඇහෙනවා.."

"කෑම බන්දේසිය ඇතුළට ගන්න ඔහු දොර විවෘත කළ යුතුයි නේ.. ඔහු ඒක කරන හැටි අපි හැංගිලා බලන් ඉමු.."

වොරන් මහත්මිය මද වේලාවක් කල්පනා කළාය..

"මහත්මයා.. ඔහුගේ දොර ඉස්සරහම බරාදය අනෙක් පැත්තේ තිබෙනවා ගබඩා කාමරයක්.. ඔබට ඒක ඇතුළට වෙලා, දොර පිටපස හැංගිලා ඉන්න පුළුවන් නම් වැඩේ හරි.. මං ඒ කාමරය ඇතුළත ලොකු කණ්නාඩියක් තියන්නම්.. ඒකෙන් බලාගත හැකි.."

"විශිෂ්ඨයි..! ඔහු දවල් කෑම ගන්නෙ කීයට විතරද..?"

"දවල් එකට විතර.."

"එහෙනම් අපි දෙන්නා ඒ වේලාව කිට්ටු කරලා එන්නම්.. ඔබට ආයුබෝවන්.."

දවල් දොළහමාර වෙද්දි අපි, වොරන් මහත්මියගේ බ්ලූම්ස්බරි නම් නිවස අසලට පැමිණියෙමු.. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ඊසාන දිගින් පිහිටි ග්‍රේට් ඕම් වීදියේ ඇගේ නිවස පිහිටා තිබේ.. කහපාට ගඩොලෙන් තනා තිබූ එය, උස් ගොඩනැගිල්ලක් විය.. වීදියේ කෙළවර පිහිටි නිසා, මෙම නිවසේ සිට වඩාත් හොද නිවාස හා ගොඩනැගිලි වලින් සමන්විත වූ හෝව් වීදිය හොදින් දැකගත හැකිවිය.. එහි පිහිටා තිබූ තට්ටු නිවාස පේළියක් හෝම්ස් මට පෙන්වා දුන්නේ සිනාවක් නගමිනි..

"බලන්න වොට්සන් අර..! සුදුපාට ගල් ඇල්ලූ බිත්තියක් සහිත රතුපාට ගොඩනැගිල්ල.. සංඥා නිකුත් කරන්න පටන් ගන්නා තැන ඔන්න ඔතනයි.. දැන් අපි තැන දන්නවා.. සංඥා වල රහස් සූත්‍රය දන්නවා.. එහෙම නම් අපට කරන්න තියෙන රාජකාරිය ඒ තරම් අමාරු වෙන්න බෑ.. ජනේලයේ තිබෙනවා බදු දීමට ඇත කියලා බෝඩ් එකක්..පෙනෙන හැටියට මේ තට්ටු නිවාසය හිස් එකක්.. නමුත් උදව්කාරයා කොහොම හරි ඒක ඇතුළට රිංගාගෙන තියෙනවා..

හොදයි වොරන් නෝනා කොහොමද දැන් තත්වය.."

"මං හැමදේම සූදානම් කරලා තැබුවා මහත්මයා.. ඔබ දෙදෙනාගේ පාවහන් ඉවත් කරලා ශබ්දයක් නොකර උඩට නගින්න.."

සැගවී සිටීම සදහා අනගි තැනක් වොරන් මහත්මිය විසින් සූදානම් කර තිබිණි.. ගබඩා කාමරයේ දොර පිහිටා තිබුණේ නේවාසිකයාගේ දොරට හරි කෙළින්, ඉදිරියෙනි.. ගබඩා කාමරය තුළ ලොකු කණ්නාඩි මේසයක් තබා තිබිණි.. එම කාමරයේ දොර මුල්ලට වී සැගවුණු කල, ඉදිරිපස ජනේලයේ හොදින් ආලෝකමත් වූ දොර අවට පැහැදිලිව දැකගත හැකි විය..

අප දොර මුල්ලේ සැගවී ගත්තා පමණි.. සීනුවක් නාදවෙන ශබ්දයක් ඈතින් ඇසිණි.. තම අද්භූත නේවාසිකයා සීනුව නාද කළ බව කියමින් වොරන් මහත්මිය අප සිටි තැනින් පිටව ගියාය.. ස්වල්ප වේලාවකට පසු ඇය ආපසු පැමිණියේ දහවල් ආහාරයද සහින බන්දේසිය රැගෙනයි.. දොර අසල වූ පුටුවක් මත ඇය එය තැබුවාය.. මීළගට වොරන් මහත්මිය පාවහන් වලින් වඩාත් තියුණු ශබ්දයක් නැගෙන සේ දෙපා තබමින්, තරප්පු පෙළ බැස පිටවී ගියාය.. දොර මුල්ලේ වකුටු වී අපි කැඩපත දෙස නෙත් යොමු කළෙමු.. ගෙහිමි කාන්තාවගේ අඩි ශබ්දය ක්‍රමයෙන් අඩුවී ගොස් සුළු මොහොතක් ගතවිය.. ඉදිරිපස කාමරයේ දොර අගුලු විවෘත කිරීම සදහා යතුරක් ක්‍රියාත්මක වන ශබ්දය අපට ඇසිණි.. දොර විවෘත විය.. කෙට්ටු දෑතක්, විවරය තුළින් එළියට ආවේය.. පුටුව මත තබා තිබූ කෑම බන්දේසිය ඇතුළට ගෙන, වහාම දොර වසන ලදී.. මොහොතකට පසු විවෘත වූ දොරෙන් හිස් බන්දේසිය, කලබලයෙන් ආපසු තැබිණි.. භීතියට පත්, එහෙත් රූමත් තරුණියකගේ මුහුණක්, අඩක් විවෘත දොර දෙස මවිතයෙන් බලා සිටිනු අපි දුටුවෙමු.. එක්වරම තම දොර වේගයෙන් වසා දමා අගුළු දමන හඩ මීලගට අපට ඇසිණි.. යළිත් වරක් සියල්ල සන්සුන් විය.. හෝම් මගේ කබා අතෙන් ඇද සංඥා කළේය.. අපි ශබ්දයක් නොනගා තරප්පු පෙළ බැස ආවෙමු..

"වොරන් නෝනා.. අද හැන්දෑවට අපි ආයෙම එන්නම්.."

අප බලාපොරොත්තුවෙන් සිටි ගෙහිමි කාන්තාවට පැවසූ හෝම්ස්, ආපසු ඒම සදහා පාරට බැස්සේය..

"මං හිතන්නේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කරන එක ගෙදර ගිහින්ම කරන එක වඩා සුදුසුයි.."

"මං කරපු නිගමනය නිවැරදි බව ඔබ දැක්කා නේද..? නේවාසිකයාගේ මාරුවීමක් සිදුවුණා.. මට කලින් නොපෙනුණු එක දෙයක්  තිබුණා වොට්සන්.. මං බලාපොරොත්තු වුණේ නැහැ කාන්තාවක් දකින්න.. කාන්තාවක් පමණක් නෙමෙයි රූමත් තරුණියක්.."

"ඇය අපව දුටුවා.."

"ඇය තැතිගැන්මට පත්කළ යමක් ඇය දුටුවා.. ඒක ස්ථිරයි.. කාරණා එකින් එක සිදූවී ඇති පිළිවෙළ දැන් පැහැදිලියි.. එහෙම නේද වොට්සන්..? තරුණ යුවළක් ලන්ඩනයේ සැගවෙන්න තැනක් හොයනවා.. කුමකින්ද සැගවෙන්නේ..? බොහොම අන්තරායදායක බිහිසුණු උවදුරකින්.. ඔවුන් ප්‍රවේශම් වෙන ආකාරයෙන්ම තේරෙනවා ඒක මොන තරම් භයානක, ආන්තරාදායක තත්වයක්ද කියලා.. තරුණයාට සිදුවෙලා තියෙනවා මොනවා හරි භාරදූර කටයුත්තක යෙදෙන්න.. තමන් ඒකෙ යෙදෙන අතරේ තරුණිය ඉතාම ආරක්ෂා සහිත තැනක සගවලා යාමයි ඔහුගේ අරමුණ.. ඒක බොහොම අමාරු වැඩක්.. නමුත් ඒක ඔහු සාර්ථකව ඉටුකරගන්නවා.. කවුරුත් නොකරපු, නොහිතන විධියේ ක්‍රමයකින්, ඔහු ඒ අරමුණ සම්පූර්ණ කරගන්නවා.. නේවාසිකයාට කෑම සපයන ගෙහිමි කාන්තාව වත් දන්නෙ නෑ නේවාසිකයා කාන්තාවක් බව.. උවමනා කරන දේවල් ලොකු අකුරෙන් ලියලා තියෙන්නේ, අත් අකුරු වලින් කාන්තාවක් කියලා හදුනාගැනීම වැළැක්වීමට වෙන්න පුළුවනි.. තරුණිය හමුවීමට තරුණයාට එන්න හැටියක් නෑ.. ඒ මොකද ඒ මගින් ඔවුන්ගේ සතරුන් ඇය සිටින තැන සොයාගැනීමට ඉඩ තියෙන නිසා.. ලිපියක් යවන්නත් ක්‍රමයක් නැති නිසා ඔහුට සිදුවෙනවා පුවත්පතේ පෞද්ගලික තීරය යටතේ පණිවුඩ යවන්න.. ඒ තරම් දුරට ඔක්කොම පැහැදිලියි.. එහෙම නේද..?"

"ඔව්.. නමුත් මේකේ ආරම්භය කුමක්ද..? මුල කොනේ සැගවිලා තියෙන්නෙ මොකක්ද..?"

"ආ.... ඔව් මේකෙ මුල් කෙළවර..? මට මෙන්න මේ ටික කියන්න පුළුවනි වොට්සන්.. මේ දෙන්නා, සාමාන්‍යයෙන් දකින්න ලැබෙන, හොරෙන් පැනලා ගිය පෙම්වතුන් යුවලක් වෙන්න නම් බෑ.. ඔබ දැක්කා නේද ඇගේ මුහුණේ මතුවුණු භීතිය..? වොරන් මහත්මයා කොල්ලකාගෙන ගිය සිද්දීයත් අපට අහන්න ලැබුණා.. ඒකත් නේවාසිකයා එල්ල කරගෙන කළ භීෂණයක්.. ඒ ගැන කිසිම සැකයක් නෑ.. ඒ සිදුවීමෙනුත්, සියල්ල රහසිගතව තබා ගන්න දරන දැඩි උත්සාහයෙනුත් පෙනෙන්නේ, මේක ජීවිතයත් මරණයත් අතර සටනක් බව.. ඊළගට වොරන් මහත්මයා බලෙන් රියට පටවාගෙන ගිය මිනිස්සු දන්නෑ, මෙතනට ආ නේවාසිකයාගේ මාරුවීමක් සිදුවී ඇති බව.. මේක මහා පුදුමාකාර වගේම සංකීර්ණ ගැටලුවක් වොට්සන්.."

"ඉතින් මොනවටද ඔබ මේ පරීක්ෂනය දිගටම කරගෙන යන්නේ..? මේකෙන් මොකක්ද ඇතිවෙන ලාභ ප්‍රයෝජනය..?"

"ලාභ ප්‍රයෝජනය..? මේ ගැටලුව විසදීමෙන් මට ලැබෙන තෘප්තියම ඇති වොට්සන්.. මං හිතන්නෙ ඔබ වෛද්‍යවරයෙක් හැටියට සමර්ථ වුණාට පස්සේ, ඔබට සමහර විට හමුවෙන්න ඇති, රෝගය කොහොමටවත් හදුනාගනන් බැරි රෝගීන්.. ඔවුන්ගෙන් ඔබට ගාස්තුවක් නොලැබුණත් ඔබ ඒ රෝගීන් ගැන හොදින් අධ්‍යනය කරමින්, රෝගය සුව කිරීමට හැකි උත්සාහයක් දැරුවා..?"

"ඔව් හෝම්ස්.. ඒ මගෙ දැනුම වැඩිකර ගැනීමට, ඒ ලෙඩ රෝග ගැන ඉගෙන ගැනීමේ අරමුණෙන්.."

"අන්න හරි.. ඉගෙනීම කියන එක කවදාවත් අවසන් වෙන්නෙ නෑ වොට්සන්.. අපි දිගින් දිගටම හැමදාමත් පාඩම් ඉගෙන ගන්නවා.. අමාරු පාඩම් අපට දකින්න ලැබෙන්නෙ ජීවිතේ අවසාන කාලය ළං වෙනකොට..

මේක අපට හුගාක් කාරණා ඉගෙන ගන්න පුළුවන් සුවිශේෂ පාඩමක්.. මේකෙන් අපට මුදල් ලැබෙන්නෙ නැති බව ඇත්තයි.. ඒ වගේම අපට ලොකු අලාභ හානියක් වෙන්නෙත් නෑ.. අනික මේ වගේ දේකට අතගැහුවාම කෙනෙකුට හිතෙනවා, ඒකෙ කෙළවරක් වෙනතුරු ඒකට සහභාගි වෙන්න.. බලමු අපි ඇදිරි වැටෙනතුරු.. එතකොට අපට හැකිවේවි මේ පරීක්ෂනයේ තව අඩියක් ඉදිරියට යන්න.."

එදා හැන්දෑවෙ ඇදිරි වැටීගෙන එද්දී අපි වොරන් මහත්මියගෙ නිවස වෙත යළි ගමන් ගත්තෙමු.. ශීත සෘතුව වූ බැවින් ලන්ඩනයේ නගරය හරහා ගලා ආවේ අළු පැහැති ඝන මීදුමකි.. එය අවට දර්ශන පථය ක්‍රමක්‍රමයෙන් ආවරණය කිරීමට පටන් ගත්තේ තිර රෙද්දක් දිගහරින්නාක් මෙනි.. අන්ධකාරය මැද තැනින් තැන කහ පැහැති හතරැස් කොටු ලෙස අප දුටුවේ, උස් ගොඩනැගිලි වල ආලෝකමත් වූ කාමරයි.. මාර්ගය දෙපස තැනින් තැන ගෑස් ලාම්පු වලින් මද ආලෝකයක් විහිදිණි.. වොරන් මහත්මියගේ නිවසේ විසිත්ත කාමරයේ සිට, වීදියේ අනෙක් පැත්තේ ගොඩනැගිලි දෙස, අපි නෙත් යොමුකරගෙන සිටියෙමු.. අපේ අවධානය යොමු වූයේ, මා කලින් සදහන් කළ සුදු ගල් සහිත රතු උස් ගොඩනැගිල්ල වෙතයි.. එක්වරම අදුර මැදින් එහි තවත් කොටුවක් ආලෝකමත් විය.. එය එතරම් දීප්තිමන් නොවුනත්, කිසිවෙකු එම කාමරයේ සිටිනා බව දැකීමට එළිය ප්‍රමාණවත් විය..

"කවුරු හරි අර කාමරය ඇතුළේ එහා මෙහා යනවා.. අර බලන්න හෙවනැල්ල.. ඔහුගේ අතේ තිබෙනවා දැල්වූ ඉටිපන්දමක්.. ඔහු මේ පැත්ත බලාගෙනයි ඉන්නේ.. ඔහු බලනවා ඇත්තේ ඇය සූදානමින්ද කියලා.. ඔන්න ඔහු ඉටිපන්දම ජනේලයට ළං කරලා එළිය කරනවා.. වොට්සන් ඔබත් පණිවුඩය ලියාගන්න.. ඊට පස්සෙ බලමු අපි දෙන්නම හරියට පණිවුඩය ලියාගත්තද කියලා..

ඉටිපන්දම් දැල්ල එක්වරක් - නිසැකවම A අකුර, ඊළගට කීවරක්ද..? විස්සයි.. විස්සයි තියෙන්නේ T අකුර.. ඊළගට තවත් T එකක්.. හරි ඊළගට E, N තවත් T එකක්.. ආයෙත් A එම වචනය සම්පූර්ණයි.. මොනවද ඔබ ලියාගත්තේ..?

A T T E N T A

මේක තේරුමක් නැති වචනයක් නේ වොට්සන්.. සමහර විට AT TEN TA කියල වචන තුනක්ද..? ...... ආ ඔන්න යළිත් ඒ වචනයම.. ඒ මොකක්ද ඒ පණිවුඩයම යළිත් වරක්..? පුදුමයි වොට්සන් පුදුමයි.. ඔහු ඒක තුන්වෙනි සැරේටත් සංඥා කළා.. A T T E N T A තුන් වරක්.. ඔන්න ඔහු ජනේලය ළගින් ඉවත්වුණා.. මේකෙන් ඔබ තේරුම් ගන්නේ මොකක්ද වොට්සන්..?"

"රහස් සූත්‍රයක ආකාරයට සකස් කළ සංඥාවක්ද..?"

"රහසිගත එකක් නම් තමයි.. නමුත් තේරුම් කරන්න ඒ තරම් අපහසු එකක් නෙමෙයි වගේ.. ඇයි වොට්සන්, මේ ඉතාල් භාෂාව නේ.. මුලින්ම සදහන් කළ A අකුරෙන් කියන්නේ මේක කාන්තාවකට කරන ඇමතීමක් බව.. එතකොට..

ATTENTA  ATTENTA  A T T E N T A

කියන්නෙ ප්‍රවේශම්වෙන්න, ප්‍රවේශම්වෙන්න, ප්‍රවේශම්වෙන්න..

"මං හිතන්නෙ ඔබට අහුවුණා පොට.."

"ඒ ගැන කිසිම සැකයක් නෑ වොට්සන්.. බොහොම හදිසි පණිවුඩයක්.. එකම වචනය තුන්වරක් කීමෙන් පෙන්වන්නේ, ඒක හුගාක් වැදගත් කියන එකයි.. නමුත් මොනවායින්ද ප්‍රවේශම් විය යුත්තේ..? හරි ඔන්න ආයෙමත් ඔහු ජනේලය ළගට එනවා..

ජනේලය අසල හැකිලී සිටි මිනිසෙකුගේ ඡායාව යළිත් වරක් අපට දකින්නට ලැබිණි.. ඉටිපන්දමේ දැක්ක එහා මෙහා ගෙන යමින්, දර්ශනය කරමින්, ආවර්ණය කරමින්, ඔහු පණිවුඩයක් දීම යළිත් ඇරඹුවේය.. මෙවර සංඥාව නිකුත්වූයේ ඉතා වේගයෙනි.. ඒ නිසා එය තේරුම් ගැනීමට පවා තරමක් අපහාසු විය..

P E R I C O L O

මොකක්ද වොට්සන් ඒ වචනේ තේරුම.? PERICOLO කියන්නෙ අන්තරාදායකයි කියන එක නේද..? දෙයියෝ සාක්කි..! ඒ වචනෙත් දෙවරක්ම සංඥා කළා.. මෙන්න තුන්වෙනි සැරේ බලමු..

P E R I......."

"ඒ ගමන මොකද වුණේ..? පණිවුඩය එවීම එකවරම නැවතුණා.. සංඥා එවූ තැන සම්පූර්ණයෙන්ම අදුරු වුණා.."

අවදානම් තත්වය පිළිබදව එවු සංඥාව අතරමග නතර වූයේ ඇයි..? කිසිවෙකු ඊට බාධා කළාවත්ද..? එසේ නම් ඒ කවුද..? අප දෙදෙනාගේම සිත්වල එක්වරම මේ අදහස පහළ විය..

"මේක බොහොම බරපතල කාරණයක් වොට්සන්.. "

හෝම්ස්ගේ හඩින් පිටවූයේ උස් හඩිනි..

"එතැන මොනවා හරි දරුණු දෙයක් සිදුවෙන බවට කිසිම සැකයක් නෑ.. අන්තරාය පිළිබදව එවූ පණිවුඩය එක්වරම අතරමග නැවතුණා.. එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ.. මේ වැඩේ වහාම ස්කෝට්ලන්ඩ්යාඩ් පොලීසියට බාරදෙන්න ඕන.. නමුත් මේ වෙලාවේ අපි දෙන්නට මේ සියල්ල අත්හැර දාලා මෙතනින් යන්න හැටියකුත් නෑ.."

"එහෙනම් මං පොලීසියට යන්නද..? ඔබ දිගටම මෙතැන ඉන්න.."

"මෙතැන ඇතිවී තිබෙන තත්වය තවදුරටත් තේරම් ගන්න බලමු වොට්සන්.. සමහර විට සංඥා නැවතුණේ කාගෙ හරි දරුණු බලපෑමකින් වොවෙන්නත් පුළුවනි.. අපි එතැනට ගිහින් බලමු, සිද්ද වෙලා තියෙන්නෙ මොකක්ද කියලා අපට පුළුවන් තරමින් හොයලා බලමු.."

අපි ඉක්මනින් හෝව් වීදියේ ඉදිරියට ගමන් කළෙමු.. මද දුරක් යද්දි වොරන් මහත්මියගේ නිවස පිහිටි ගොඩනැගිල්ල දෙස මම ආපසු හරී බැලුවෙමි.. ඉහළ මාලයේ ජනෙල් විදුරුවේ කාන්තාවකගේ හිසෙහි ඡායාව මට යන්තමින් දක්නට ලැබිණි..

හෝව් වීදියේ තට්ටු නිවාසයට ඇතුලුවන තැන, ආලින්දයේ යකඩ වැටට හේත්තු වී සිටි යම්කිසි පුද්ගලයෙකි.. ඔහු විශාල කබායකින් සිරුර වසාගෙන, ඔහු කරලේන්සුවක් බෙල්ල වටා ඔතාගෙන සිටියේය.. ආලින්දයේ පහන්වල තිබූ ආලෝකය අපේ මුහුණුවලට වැටෙද්දී මේ මිනිසා කලබලයට පත්වූ බව අපි දුටුවෙමු..

"හෝම්ස්.."

ඔහු කෑගැසුවාය..

"දෙයියෝ සාක්කි.. මේ ග්‍රෙග්සන් නේ.."

හෝම්ස් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ මිත්‍රයාගේ සුරත ගෙන සෙලවුවේය..

"ඔබ මොනවද ග්‍රෙග්සන් මෙතන කරන්නේ..?"

"මං ආවෙත් ඔබ මෙහේ ආව කාරණයටමයි.. ඒත් ඔබ මේකට යොමුවුණේ කොහොමද කියන එක මට හිතාගන්නවත් බෑ.."

"නූල් කෙළවරවල් වෙනස් වුණාට, ඒවා යොමුවෙන්නෙ නූල පැටළිලා, ගැටගැසී ඇති තැනට..මං සංඥා නිරීක්ෂනය කරමිනුයි සිටියේ.."

"සංඥා..?"

"ඔව් අර ජනේලයෙන් සංඥා වගයක් නිකුත් වුණා.. ඒත් හදිසියේම ඒවා අතරමග නැවතුණා.. ඒකට හේතුව මොකක්ද කියලා හොයල බලන්නයි අපි මේ ආවේ.. නමුත් මට පෙනෙන හැටියට ඔබ දැනටම නිල වශයෙන් මේ වැඩේට අතගහලා.. ඒ නිසා මට දැන් මේත අත්හැරදාන්න පුළුවනි.."

"ඔහොම ටිකක් ඉන්න හෝම්ස් මහත්මයා.. මාව අත්ඇරලා දාලා යන්න එපා.."

ග්‍රෙග්සන් ආයාචනා කළේය..

"ඇත්ත කියනවා නම් හෝම්ස් මහත්මයා, ඔබත් මගේ පැත්තට ඉන්නවා නම් ඒක හිතට ලොකු හයියක්.. වෙන කවරදාටත් වඩා අද ඒක මගේ හිතට දැනෙනවා හෝම්ස් මහත්මයා.. මේ ගොඩනැගිල්ලේ පිටවෙන්න තිබෙන එකම දොරටුව මේකයි.. ඒ නිසා ඔහුට අපෙන් ගැලවීමක් නෑ.."

"කාටද..? කවුද මේ ඔහු..?"

"ඔන්න, ඔන්න ජීවිතයේ පළමු වතාවට ඔබට වඩා අපට ලකුණු වැටෙන්න අවස්ථාවක්.. ඒ නිසා ඔබේ සම්පූර්ණ සහයෝගයම අපට දෙන්න.."

එසේ පැවසූ ග්‍රෙග්සන් තම අත තිබූ සැරයටිය ශබ්ද නගා පොළොවේ ඇන්නේය.. විදීයේ අනෙක් පැත්තේ නවතා තිබූ ලොකු අශ්ව කරත්තයකින්, එහි රියදුරා බිමට බැස්සේය.. අත තිබූ කසය රැගෙනම ඔහු අප වෙත පැමිණියේය..

"මේ ෂර්ලොක් හෝම්ස් මහත්මයා.."

පැවසූ ග්‍රෙග්සන් අශ්වරථ රියැදුරා ලෙස පෙනී සිටි තැනැත්තා අපට හදුන්වා දුන්නේය..

"මේ ඇමරිකාවේ පින්කටන් අපරාධ පරීක්ෂන ආයතනයේ ලීවර්ටන් මහත්මයා.."

"ලෝ අයිලන්ඩ් ගල්ගුහාවේ අභිරහස සාර්ථක ලෙස විසදූ රහස් පරීක්ෂක ඔබ නේද..?"

හොම්ස් ඇසීය..

"මහත්මයා ඔබ හමූවීමට ලැබීම සතුටක්.."

හෝම්ස්ගේ වදන් ඇසූ රහස් පරීක්ෂකවරයාගේ මුහුණ සොම්නසින් රතු විය..

"මගේ ජීවිතේටම මා මුහුණ දුන් ඉතාම සංකීර්ණ පරීක්ෂනයේ අපරාධකරුවා පසුපසයි මං මේ එළවන්නේ, හෝම්ස් මහත්මයා.. ගෝගියානෝව අල්ලා ගැනීමට මට හැකිවුනොත්...."

"මොනවා..? රතු කවයේ ගෝනියානෝද..?"

හෝම්ස් ඇසීය..

"ඔහෝ..! ඔබ යුරෝපයෙන් ජනප්‍රියය් එහෙනම්.. ඔහු ඇමරිකාවේ කර තිබෙන අපරාධ හැම එකක් ගැනම තොරතුරු අපි අන්තයටම දන්නවා.. මිනීමැරුම් පනහක් පිටුපස සිටින්නේ ගෝගියානෝ.. ඒත් ඔහු ඒවාට කෙලින්ම සම්බන්ධයි කියලා ඔප්පු කරන්න විධියක් නැති කමෙන්, ඔහුව අපට අත්අඩංගුවට ගන්න ක්‍රමයක් නැහැ..

මං නිව්යෝක් නගරයේ ඉදන් ඔහු පස්සෙන්ම ආවා.. දැන් සතියක් තිස්සෙ මං ලන්ඩනයේ ජීවත්වෙනවා.. ගෝගියානෝ කරන හැම වැඩක් ගැනම අවධානය යොමු කරගෙන, ඔහු දිහා බලාගෙනමයි මං පසුගිය සතිය ගෙව්වේ.. ඔහුව අත්අඩංගුවට ගන්න කොයි මොහොතේ අවස්ථාවක් ලැබේද කියලා දැඩි සූදානමකිනුයි මං බලා හිටියේ..

ග්‍රෙග්සනුයි මායි ඔහුව වටකරගෙන, ඔහු පස්සෙන් පන්නාගනෙ ආවා.. ඔහු මේ රතුපාට විශාල ගොඩනැගිල්ලට රිංගා ගත්තා.. මේකට තියෙන්නෙ එකම දොරටුවයි.. ඒ නිසා ඔහුට අපෙන් බේරිලා යන්න ක්‍රමයක් නෑ.. ඔහු ඇතුළට ගියාට පස්සෙ මේකෙන් එළියට ආවෙ තුන්දෙනයි.. ඒත් ගෝගියානෝ නම් එතැන  හිටියෙ නෑ කියලා මට දිව්රන්න පවා පුළුවනි.."

"හෝම්ස් මහත්මයා මොනවද සංඥා වගයක් දැග කිව්වේ..? කිසිම සැකයක් නෑ.. හැමදාමත් වගේ ඔබ දන්නවා ඇති අපි නොදන්න කාරණා බොහෝමයක්.."

මෙම සිද්ධිය පිළිබදව අප නිරීක්ෂනය කළ කරුණුත්, අප ඒවා තේරුම් ගත් අයුරුත් හෝම්ස් කෙටියෙන් පැහැදිලි කලේය.. ඇමරිකන් රහස් පරීක්ෂකයා දකුණතේ මිට මොලවා වම් අත්ලට ගසා ගත්තේ බලාපොරොත්තු කඩ වූ අයුරිනි..

"ඔහු අප ගැන දැනගෙන.."

"ඇයි ඔබ එහෙම හිතන්නේ..?"

"ඒ වගේ නේද පෙනෙන්නේ..? ඔහු මෙහෙන් සංඥා මගින් පණිවුඩ යවන්නේ කාටද..? ඔහුගේ සගයකුට.. ලන්ඩනනේ ඉන්නවා ඔහුගේ කල්ලියේ අය සෑහෙන ගණනක්.. ඊළගට ඔබ අර කිව්ව වගේ මිනිහා අවදානම් තත්වය ගැන සංඥා මගින් පණිවුඩ යවනව ඇති.. ජනේලය ළග සිටි ඔහු එක්කෝ දකින්න ඇති පහළ වීදියේ අප සිටින අයුරු.. එහෙමත් නැත්නම් අන්තරායක් අතළග බව කොහොම හරි තේරුම් ගන්න ඇති.. ඒකෙන් ගැළවෙන්න ක්ෂණිකව ක්‍රියාත්මක වූ හැටියි ඔබ දුටුවේ.. හෝම්ස් මහත්මයා ඔබේ යෝජනාව කුමක්ද..?"

"මං කියන්නෙ අපි වහාම ගොඩනැගිල්ලට ඇතුළුවෙලා උඩ තට්ටුවට ගිහිං බලමු..?"

"ඒත් ඔහු අත්අඩංගුවට ගන්න අප ළග වරෙන්තුත් නෑ.."

"ඔහු ඉන්නෙ පාළු නිවසක.. ඊට අමතරව සැක සහිත විධියට හැසිරීමෙන්.."

ග්‍රෙග්සන් පැවසීය..

"දැනට ඒ කාරණාව හොදටෝම ඇති.. ඔහු අත්අඩංගුවට අරගෙන ඊට පස්සෙ බලමු, ඔහු සිරභාරයේ තබාගන්න, නිව්යෝක් අපරාධ පරීක්ෂන අංශයෙන් උදව්වක් ලැබෙන්නෙ නැද්ද කියලා.. දැන් ඔහු සිරභාරයට ගැනීම ගැන සම්පූර්ණ වගකීම මං බාරගන්නවා.."

බුද්ධීමත්ව කටයුත් කිරීම අතින් නම් ස්කෝට්ලන්ඩ්යාඩ් නිලෂාරින් අතින් නොයෙකුත් අඩුලුහුඩුකම් හා වැරදීමි සිදුවෙන බව සැබෑය.. එහෙත් ධෛර්යය හා නිර්භීත භාවය අතින් ඔවුන් කවදත් පෙරමුණ ගනිති..

ග්‍රෙග්සන් කිසිදු පැකිළිමකින් තොරව තට්ටු නිවාසයේ පියගැට පෙළ නැගීමට පටන් ගත්තේය.. ඔහු අඩියෙන් අඩිය ඉහළට නැගුණේ, තමාට පුරුදු පොලිස් මූලස්ථානයේ පියගැට පෙළ නගින්නාක් මෙන් නිහඩ සන්සුන් අයුරිනි.. පින්කටන් රහස් පරික්ෂකයා ඉදිරියට යෑමට තැත් කළත් ග්‍රෙග්සන් ඊට ඉඩ නොදුන්නේය.. ලන්ඩනයේ අති භීෂණයට මුහුණ දීම ලන්ඩන් පොලිස් හමුදාවේ වගකීමක් යැයි ඔහුට සිතෙන්නට ඇත..

තැන්වැනි තට්ටුවේ වම් පැත්තේ පිහිටි නිවසේ ප්‍රධාන දොර අඩවල්ව තිබිණි.. දොර තල්ලු කළ ග්‍රෙග්සන් එය හොදින් විවෘත කළේය.. ඇතුළත පැවතියේ ඝන අන්ධකාරයක් මෙන්ම දැඩි නිහඩතාවයකි.. මම ගිනිකූරක් දල්වා එයින් හෝම්සගේ ලන්තෑරුම දැල්වූයෙමි.. ගිනිකූරේ ආලෝකයෙන් දක්නට ලැබුණේ අප බලාපොරොත්තු නොවූ දර්ශනයකි.. එයින් තැතිගත් අප ඉහළට හුස්මක් ඇල්ලුවේ මහත් සේ විමතියට පත්වය..

බුමුතුරුණු කිසිවක් නොතිබූ විසිත්ත කාමරයේ, ලෑලි පොළොව හරහා ගලා ගියේ රතු පැහැති ලේ ගංගාවකි.. ඇතුළත කාමරයේ දොරට යටින් ගලා ආ එය, මේ දැන් කාගේ හෝ ශරීරයකින් පිට වූ රුධිරය බව හදුනාගැනීමට අපහාසු නොවීය.. ඇතුළත කාමරයේ සිට, අප සිටින විසිත්ත කාමරය දෙසට ආ කිසිවෙකුගේ සපත්තු අඩි සටහන්, රතු පැහැයෙන් බිම සලකුණු වී තිබිණි.. එම කාමරයේ දොර වසා ඇති බැව් අපි දුටුවෙමු.. ඉදිරියට ගිය ග්‍රෙග්සන් ඇතුළත කාමරයේ දොර විවෘත කොට, ලන්තෑරුමේ එළිය වැඩි කළේය..

ලී බඩු කිසිවක් නොතිබුණු කාමරයේ මැද වැටී සිටියේ දැවැන්ත සිරුරක් තිබූ මිනිසෙකි.. සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කළ ඔහුගේ මුහුණ, විදීමට සිදුවූ වේදනාව නිසා විරූපී වී තිබිණි.. ඉන් පැවසුණේ ඔහුට මුහුණ දීමට සිදුවූ ඛේදජනක ඉරණමේ කථාන්තරයයි.. ඔහුගේ හිස අවට ප්‍රෙද්ශය රතු පැහැති ලේ විලක් බවට පත්ව තිබිණ.. මදක් ඉහළට එසැවුණු ඔහුගේ ගැඹුරු පැහැති උගුර මත, තලය සිරුරට ඇතුළු වූ පිහියක, සුදු මිට පමණක් දක්නට ලැබිණි.. යෝධයකු මෙන් විශාල මේ පුරුෂයා, මාරාන්තික පිහිපාර නිසා කපා හෙළූ ගසක් මෙන් බිම ඇද වැටෙන්නට ඇති බැව් නිසැකය.. ඔහුගේ දකුණු අතට සමීපව බිම වැටී තිබුණේ දිගු තලයක් සහිත කිණිස්සකි.. සත්ව අගකින් තැනූ මිටක් සහ දෙපැත්ත කැපෙන තලයක් සහිත මේ කිණිස්ස සමග කළු පැහැති අත්මේස් එකක් ද විය..

"දෙයියෝ සාක්කි..! මේ සැරේ මැරුම් කාලා තියෙන්නෙ මිනීමරු ගෝගියානෝම නේ.. මේ පාර ඔහුට කලින් වෙන කවුරු හරි ක්‍රියාත්මක වෙලා තියෙනවා.."

ඇමරිකානු රහස් පරීක්ෂකයාට කෑගැසින..

"මේ බලන්න හෝම්ස් මහත්මයා.. ජනේලයේ ගහලා තිබුණ ඉටිපන්දම..... අරගෙන...... ඒ ගමන ඔබ මොකක්ද මේ කරන්න හදන්නේ..?"

ග්‍රෙග්සන් ඇසුවේය..

ජනෙල් වීදුරුව අසලට ගිය හෝම්ස් ඉටිපන්දම දල්වා, එය ඉදිරියට හා පිටුපසටත්, ඉහළ පහළත් ගෙනයමින් මිනිත්තු කිහිපයක් ගත කළේය.. ඉන්පසු අදුර දෙසට නෙත් යොමා සිටි ඔහු, ඉටිපන්දම නිවා බිමට දැමුවේය..

"මට හිතෙනවා ඒක වඩා ප්‍රයෝජනවත් වේවි කියලා.. "

හෝම්ස් පැවසුවේ මළසිරුර පරික්ෂා කරමින් සිටි රහස් පරික්ෂකයා වෙත පැමිණීමෙනි..

"ඔබ කිව්වා මේ තට්ටු නිවාසයේ ඉදලා තුන්දෙනෙක් පිටවෙලා යනවා දැක්ක කියලා.. ඔබ ඔවුන්ව හොදින්ම ළගටම දැක්කද..?"

"ඔව් මං දැක්කා.."

"ඒ අතර හිටියද මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් තිබුණු, මුහුණ පුරා රැවුළ වවා ගත් අවුරුදු තිහක පමණ කෙනෙක්..?"

"හරි.. ඔහු තමයි අන්තිමට මාව පහු කරලා ගියේ.."

"මං හිතන්නෙ ඔහු තමයි අපට ඕන කරන්නේ.. මං ඔහුගේ පෙනුම ගැන විස්තරයක් දෙන්නම්.. ඔහුගේ සපත්තු අඩියේ හොද ලාංඡනයකුත් මෙතැන තියෙනවා.. මිනිහව අල්ලා ගැනීම සදහා ඒ ටික ඔබට හොදටම සෑහේවි.."

හෝම්ස් කීය.. 

"ලන්ඩනයේ ඉන්න මිලියන ගණනක් සෙනග අතරේ ඔය ටික ප්‍රමාණවත් වෙන්නෙ නෑ හෝම්ස් මහත්මයා.."

"බාග වෙලාවට ඒ තොරතුරු මදි වෙන්නත් පුළුවන්.. අන්න ඒ නිසයි ඔබට උදව් කිරීම සදහා මේ තරුණ නෝනාව කැදවන එක වැඩිය හොදයි කියලා මං හිතුවේ.."

ඔහුගේ වදන් ඇසූ අපි දොර වෙත හැරී බැලුවෙමු.. දොරටුව අසල සිටිගෙන සිටියේ රූමත් කාන්තාවකි.. බ්ලූම්ස්බරි නිවසේ අද්භූත නේවාසිකයා ඇයයි..

ඇද වැටී තිබුණ මළසිරුර වෙතින් ඇස් ඉවතට නොගත් ඇය, සෙමින් ඉදිරියට ආවාය.. ඇයගේ මුහුණ සුදුමැලි වී තිබිණ.. මුහුණෙන් පළවූයේ භීතියයි.. මළසිරුර දෙස ඇසිපිය නොහෙළා බලා සිටි ඇය, මද අදුරේ ඉදිරියට ඇදුනේ ඉමහත් කැළඹිමෙනි..

"ඔබ ඔහුව මරා දමලා..!"

ඇය තොල් මැතිරුවාය..

"අනේ දෙවියනේ ඔබ ඔහුව මරා දැමුවාද..?"

මළ සිරුර දෙස තිගැස්මෙන් බලා සිටි ඇයගේ ස්වභාවය එක්වරම වෙනස්විය.. සැනසුම් සුසුමක් හෙළූ ඇගේ මුවෙන් නිකුත් වූයේ ප්‍රීතිය පළකෙරෙන හඩකි.. සතුට ඉවසාගත නොහැකි ඇය අත්පොළසන් දීමට පටන් ගත්තේය.. ඇගේ මුවෙන් විවිධ ඉතාලි ගීත දහසක් ගලා එන්නට ඇත.. ඛේදජනක මරණයක් දැක, මෙවැනි බොළද තරුණියක් ප්‍රීති ප්‍රමෝදයෙන් රංගනයේ යෙදෙනු දැකීම පුදුම සහගතය.. නැටුම් ගැයුම් එක්වරම නැවැත් වූ ඈ අපවෙත හෙළුවේ ප්‍රශ්නාර්ත බැල්මකි..

"ඔබ..? ඔබ හැමදෙනාම පොලීසියෙන් නේද..? ඔබ ගයිසෙප් ගෝගියානෝව මරා දැමුවා.. එහෙම නේද..? "

"ඔව්.. අපි පොලිස් නිලධාරීන් තමයි නෝනා.."

මීළගට කාමරයේ අදුරුව තිබූ අහුමුළු දෙස ඇය විමසිලිමත්ව බැලුවාය..

"එහෙනම් කෝ ගෙනාරෝ..? ඔහු තමයි මගේ ස්වාමිපුරුෂයා -  ගෙනාරෝ ලූකා.. මම එමිලියා ලූකා.. අපි දෙන්නම නිව්යෝක් වල අය.. කෝ ගෙනාරෝ කොහෙද ගියේ..? දැන් මොහොතකට කලින් මේ ජනේලයෙන් ඔහු මාව මෙහි කැදෙව්වා.. මං පුළුවන් ඉක්මනින් දුවගෙන ආවා.."

"නෝනා මමයි ඔබව මෙහි කැදෙව්වේ.."

හෝම්ස් කීය.. 

"ඔබ..? ඔබ කොහොම කරන්නද ඒක..?"

"ඔබේ සංඥා ක්‍රමය ඒ තරම් අමාරු එකක් නෙමෙයි.. ඔබ මෙහි කැදවීම ඉතාම වැදගත් බව මට පෙනුණා.. මට තියෙන්නෙ VIENNI කියලා සංඥා කිරීම පමණයි.. ඔබ නොවරදවාම මෙහි එන බව මං දැනන් හිටියා.."

සුරූපි ඉතාලි තරුණිය මගේ මිත්‍රයා දෙස බලා සිටියේ පුදුමයට පත් අයුරිනි..

"ඔභ මේ දේවල් දැනගත්තෙ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න බැහැ.. ගයිසෙප් ගෝගියානෝ.. ඔහුට කොහොමද මේ වගේ ඉරණමක්.."

ඇය කථාව නැවැත්තුවාය.. එක්වරම ඇගේ මුහුණ ප්‍රීතියෙන් ඔප වැටිණ..

"ආ..... දැන් මට තේරුම් ගන්න පුළුවනි.. මගේ ගෙනාරෝ.. මගේ අති දක්ෂ කඩවසම් ගෙනාරෝ.. කරදර හිරිහැර වලින් හැමදාමත් මාව ආරක්ෂා කරපු ආදරණිය ගෙනාරෝ.. ඔහුගේ ශක්තිමත් දෑත් වලින් තමයි ඔහු මේ භයානක යක්ෂයා මරන්න ඇත්තේ.. අහා..! ගෙනාරෝ ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද..? ඔබ වැනි උතුම් පුරුෂයන්ට සුදුසු කාන්තාවක් මේ ලෝකයේ කොහෙන් හොයන්නද..?"

"බොහොම හොදයි ලූකා මහත්මිය.."

පැවසූ ග්‍රෙග්සන්, ඇගේ ගවුම් අතින් අල්ලා ගත්තේ නොටිංහිල්හී පාතාල ලෝකයේ මැරවරයෙක් අල්ලා ගන්නා අයුරෙනි..

"මට තවමත් හරියට පැහැදිලි නෑ ඔබ කවුද කියලා.. ඒ වුණත් දැන් ඔබේ කටෙන් පිටවුණු දේවල් ටික ඇති ඔභට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට කැදවාගෙන යන්න.."

"මොහොතක් ඉන්න ග්‍රෙග්සන්.."

හෝම්ස් බාධා කළේය..

"අපි මෙතැන කාරණා හොයාගන්න බලා ඉන්නෙ බොහොම නොයිවසිල්ලෙන් නේද..? මට හිතෙනවා අපට උවමනා කරුණු හෙලිකරන්න, මේ කාන්තාව ඉන්නෙත් ඒ වගේම නොඉවසිල්ලෙන්..

නෝනා.. ඔබ තේරුම් ගතයුතුයි, ඔබේ ස්වාමියා මේ මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව මිනීමැරුමේ චෝදනාවට නඩු පැවරේවි.. ඔබ පවසන දේ ඔහුට විරුද්ධව සාක්ෂි හැටියට යොදාගන්න ඉඩ තියෙනවා.. නමුත් ඔබේ ස්වාමියා ක්‍රියා කරලා තියෙන්නේ, අපරාධ කිරීමේ චේතනාවෙන් නෙමෙයි නම්, ඔහු වෙනුවෙන් කරන්න තිබෙන හොදම දේ සම්පූර්ණ කතාව අපට කියන එකයි.."

"ගෝගියානෝ මැරුණට පස්සෙ අපි කිසිදේකට භය නෑ.. ඔහු තමා මේ ලෝකෙ ඉදපු භයානකම තිරිසණා.. බිහිසුණුම යක්ෂයා.. ඔහු මරාදැමුවාට මේ ලෝකෙ කිසිම විනිශ්චයකාරයෙක් මගේ සැමියට දඩුවම් කරන එකක් නෑ.."

ලූකා මහත්මිය පැවසීය..

"එහෙම නම් අප කළ යුත්තේ මෙයයි.. මෙතැන දොරවල් අගුළු දමලා වහලා, අපි යමු මේ කාන්තාවගේ කාමරයට.. ඊළගට ඇයට කියන්න තිබෙන දෙයට හොදින් සවන්දීලා අපට තීරණයකට එන්න පුළුවනි.. "

හෝම්ස් යෝජනා කලේය..

පැය භාගයකට පසු අපි සිව්දෙනා ලූකා මහත්මියගේ කුඩා විසිත්ත කාමරයේ අසුන්ගෙන සිටියෙමු.. ඇය තම කථාන්තරය ඇරඹුවාය..

"මං උපන්නෙ ඉතාලියේ නාපෝලියට නුදුරු පොසිලිපෝහි.. මගේ තාත්තා ඔගස්ටෝ බරෙලි.. ඔහු කාලයක් ඒ පළාතේ නීතිපති වෙලා හිටියා.. කාලයක් නියෝජ්‍ය ආණ්ඩුකාර තනතුරක් දැරුවා.. ගෙනාරෝ මගේ තාත්තා යටතේ වැඩකළ කෙනෙක්.. මගේ හිතේ ගෙනාරෝ ගැන ආදරයක් ඇතිවුණා.. ඔහු දුප්පතෙක්.. ඔහුට හොද රැකියාවක් තිබුණෙත් නැහැ.. ඔහුට තිබුණේ කඩවසම් පෙනුමත්, ශක්තිමත් සිරුරක් සහ දැඩි අධිෂ්ඨානයත් පමණයි.. මං ගෙනාරෝ සමග විවාහ වෙනවට මගේ තාත්තා කැමති වුණේ නැහැ.. ඒ නිසා අපි ගෙදරින් පැනලා ඇවිත් වෙනත් නගරයකට ගිහින් විවාහ වුණා.. ඊළගට මගේ රන් ආභරණ සියල්ල විකුණලා ඒ සල්ලි වලින් ඇමරිකාවට ආවා.. ඒක සිද්ධ වුණේ මීට අවුරුදු හතරකට කලින්.. ඇමරිකාවට ආව දවසෙ ඉදලා අපි ජීවත් වුණේ නිව්යෝක් නගරයේ..

මුල් කාලයේ දී අපේ ජීවිත බොහෝම වාසනාවන්ත වුණා.. ඉතාලි ජාතික මහත්මයෙක් චන්ඩින්ගේ ග්‍රහණයෙන් ගළවාගන්න ගෙනාරෝම අවස්ථාවක් ලැබුණා.. ඒකෙන් ඒ මහත්මයා මගේ සැමියාගේ හොද මිත්‍රයෙක් බවට පත්වුණා.. මේ මහත්මයාගේ නම විටෝ කැස්ටෙලෝ.. ඔහු නිව්යෝක් නගරයට පළතුරු ආනයනය කරන කැස්ටෙලෝ සහ සැම්බා නම් ප්‍රසිද්ධ සමාගමේ අධ්‍යක්ෂක වරයෙක්.. සමාගමේ පරිපාලන කටයුතු හැම එකක්ම කළේ කැස්ටෙලෝ මහත්මයා.. මේක සේවකයින් තුන්සියයකට වැඩි ගණනක් සේවය කළ විශාල සමාගමක්.. ඉතින් ඔහු මගේ ගෙනාරෝට එහි රැකියාවක් දුන්නා.. රැකියාවක් පමණක් නෙවෙයි, ගෙනාරෝව එක් අංශ ප්‍රධානියෙක් හැටියට පත්කළා..

කැස්ටෙලෝ මහත්මයා ගෙනාරෝට දැක්වූයේ දැඩි හිතවත් කමක්.. මේ මහත්මයා අවිවාහක, ටිකක් වයස්ගත කෙනෙක්.. ඔහුට හිතෙන්න ඇත්තෙ ගෙනාරෝ ඔහුගේ පුතා කියලයි.. ගෙනාරෝත් මමත් කැස්ටෙලෝ මහත්මයාට ආදරේ කලේ අපේ පියෙකුට වගේ..

අපි බෘක්ලීන් ප්‍රදේශයෙන් නිවසක් අරගෙන, ඒක බඩුබාහිරාදියෙන් සම්පූර්ණ කරගෙන එහි සතුටින් පදිංචි වුණා.. අපේ අනාගතය බොහොම සතුටුදායක විදියට සකස්වුණා කියලා අපි සැනසුම් සුසුම් හෙළුවා.. එහෙම හිතලා වැඩි දවසක් ගතවුණේ නෑ, ඔන්න අපට මහා අවාසනාවන්ත කාලයක් එලඹුනා..

එක් දවසක් රෑ ගෙනාරෝ වැඩ ඇරිලා එද්දි, ඔහු තවත් ඉතාලි ජාතිකයෙක් අපේ නිවසට කැදවාගෙන ආවා.. ඔහුගේ නම ගෝගියානෝ.. ඔහුත් අපේ ගම් ප්‍රදේශය වන පොසිලිහී කෙනෙක්.. ඔබ දකින්න ඇති ඔහු යෝධයෙක් වගේ දැවැන්ත පුද්ගලයෙක්.. ශරීර ප්‍රමාණයෙන් නොවෙන් අනෙක් හැම දෙයින්ම ඔහු හැඩි දැඩි, බිහිසුණු කෙනෙක්.. අහස ගොරවන්නාක් වැනි ඔහුගේ රෞද්‍ර කටහඩින් අපේ පුංචි නිවස දෙදෙරුම් කෑවා.. ඔහු කතා කරද්දි එහාට මෙහාට විසිවෙන අතපයට අපේ ගෙදර ඉඩකඩ තිබුණෙ නැති තරම්.. ඔහුගේ සිතුම් පැතුම් වගේම ක්‍රියාවනුත් බොහොම රෞද්‍ර වුණා.. ඔහු සිටින තැනක වෙන කිසිකෙනෙකුට කථා කරන්න ඉඩක් තැබුවෙ නෑ.. ඔහු කථාකරගෙන යද්දි අනෙක් අයට සිදුවුණේ නිහඩව ඔහුගේ කට දිහා බලා සිටීමයි.. ඔහු බොහොම භයානක, පුදුමාකාර මිනිහෙක්.. ඔහුගේ මරණය ගැන මම යළිත් වරක් දෙවියන්ට ස්තුති කරනවා..

ඔහු අපේ ගෙදර නිතර නිතර එන්න පටන් ගත්තා.. ගෝගියානෝගේ පැමිණිම ගැන මං වගේම මගෙ සැමියත් කැමැත්තක් දැක්වූයේ නෑ.. අපේ අමුත්තා සමාජ ප්‍රශ්න හා දේශපාලනය තොරතෝංචියක් නැතුව කතාකරද්දි, මගේ අහිංසක ගෙනාරෝට සිදුවුනේ නිහඩව ඒ කථාවලට සවන්දීමට පමණයි.. ඔහු අමුත්තාට විරුද්ධව කිසිවක් කිව්වෙ නෑ.. මගේ ගෙනාරෝගේ හැටි මං හොදින් දැන හිටියා.. ඒ වුණත් ඒ දිනවල ඔහුගේ මුහුණෙන් ප්‍රකාශ වුණු හැගීම් මට හරිහැටි තේරුම් ගන්න අමාරු වුණා.. මං මුලදි හිතුවෙ ඔහුගේ හිතේ ගෝගියානෝ ගැන තිබුණෙ පිළිකුලක් පමණක් කියලයි.. නමුත් පස්සෙ මට තේරුණා ඔහුගේ හිතේ තිබුණෙ භීතියක් බව.. එදා රෑ මං ගෙනාරෝගෙන් ඇහුවා ඔහු මේ මිනිහට මේ හැටි භය ඇයි කියලා.. අපේ නිදහස් ජීවිතේට කරදර වෙන විධියට ඇයි මේ මිනිහට ගෙදරට එන්න ඉඩ අරින්නෙ කියලා.. ඔහු ඒකට හේතුව කියද්දි මගේ ඇග සීතල වුණා..

"ඔයා මේ කිසිදෙයක් දන්නෑ එමිලියා.. ජීවිතේ ගැන කිසිදෙයක් නොදන්න තරුණ කාලේ, අතට මුදල් නැතිව මං හරියට දුක් වින්දා.. ඒ නිසාම ධනවත් අය සමග මගේ හිතේ ඇතිවුනේ හරි වෛරයක්.. දුප්පත් අපට පෙනුණෙ මේ මුළු ලෝකයම අපට විරුද්ධ වගෙයි.. මං වගේ යමක් කමක් නැති, දැන උගත්කමක් නැති, ඒ නිසාම රැකියාවකුත් නැති තරුණයෝ, කල්ලියට එකතුවුණා.. ඒ කල්ලියේ නම රතු කවය.. රහසිගතව පවත්වාගනෙ ගිය මේ ව්‍යාපාරය "කාබොනාරී" නම් ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධයි.. මේකෙ තිබුණු දිවුරුම් හා රහස් බොහොම භයානක ඒවා.. නමුත් ඒකට බැදුනට පස්සෙ කිසිවෙකුට ඒකෙන් ගැලවීමක් තිබුණෙ නෑ..

අපි දෙන්නා ඇමරිකාවට පැන ආවාම මං හිතුවා මේ රතු කවයෙන් සදහටම අපි ගැළවුණා කියලා.. නමුත් එක දවසක් හැන්දෑවෙ වැඩ ඇරිලා එද්දි කවුද මට හමුවුණේ..? මිනීමරු ගෝගියානෝ..! ඔහු ඉස්සරහට හම්බුණාම මගේ හිතේ ඇතුවුණු භය ඔයාට තේරුම් ගන්න පුලුවන්ද..? ඔහු තමයි නපෝලියේදි මාව රතු කවයට බදවා ගත්තේ.. ගෝගියානෝට දකුණු ඉදාලියේ මරණය නමින් විරුදාවලියක් ලැබී තිබුණා.. මිනීමැරුම් වලට ඔහුගේ සහභාගීතවය කොතරම්ද කිව්වොත් ගෝගියානෝගේ දෑත් වැළමිට ළගට යනකං ලේ වලින් වැහිලා රතුපාට වෙලා කියලයි මිනිස්සු කිව්වේ.. ඔහු පොලීසියෙන් බේරෙන්න ඉතාලියෙන් පැනලා නිව්යෝක් වලට ඇවිත්.. ඒ මදිවට ඔහුගේ මිනීමරු සංවිධානයේ ශාඛාවක් දැනටම මෙහෙත් ඇරලා.. මෙන්න බලන්න මට ලැබුණු කැදවීම.. ඉදිරි කාලයේ දවසක පැවැත්වෙන රතු කවයේ රැස්වීමට මගේ පැමිණිම අනිවාර්ය බව ඒකෙ සදහන් වෙනවා.."

ගෙනාරෝගේ මේ කතාව අහලා, මම බොහොම කම්පා වුණා.. නමුත් නරක හරිය එතැනින් ඉවර වුණේ නැහැ.. ගෝගියානෝ අපේ ගෙදර ඇවිත් නොනවත්වාම කථා කළත් ඔහුගේ තිරිසන් ඇස්දෙක හැරිලා තිබුණෙ මං දිහාවටයි.. එක දවසක් හැන්දෑවෙ ඔහු අපේ ගෙදර එනකොට මගේ සැමියා රැකියාව ඉවර වෙලා ගෙදර ඇවිත් හිටියෙ නෑ..

ගෝගියානෝ ඔහු සමග පැනල යන්න එන්න කියලා මට යෝජනා කලා.. මට ආයාචනා කලා.. මං ඒක ප්‍රතික්ෂේප කලාම ඔහු මාව බලෙන් අරන් යන්නයි හැදුවේ.. මං විලාප නගමින් ඔහුගේ ග්‍රහණයෙන් බේරෙන්න උත්සාහ කළා.. වාසනාවකට වගේ මගේ ස්වාමියා ඒ වෙලාවෙ ගෙදර ආවා.. ඔහු ගෝගියානෝට පහර දුන්නා.. නමුත් ගෝගියානෝ ගියේ තිරිසනා, මගේ සැමියට සිහි නැතිවෙනතුරු පහර දීළා, ගෙදරින් යන්න ගියා.. ඔහු ඊට පස්සෙ කවදාවත් අපේ ගෙදර ආවෙ නෑ.. ඒත් එදා රාත්‍රී අප දැනගත්තා අප හදාගත්තෙ මහා භයානක සතුරෙක් බව..

දින කිහිපයකට පස්සෙ රතු කවයේ රැස්වීමක් පැවැත්වුණා ගෙනාරෝත් එක්ට සහභාගි වූණා.. එය අවසන් වෙලා ගෙදර ආව ගෙනාරෝගෙ මුහුණ දැක්කාම, මොනවා හරි බරපතල දෙයක් සිදුවී ඇතිබව මට වැටහුණා.. මේ සංගමයට මුදල් සොයා ගත්තෙ ධනවත් ඉතාලි ජාතික ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමෙන්.. කප්පම් ඉල්ලලා, නොදුන්නොත් ඔවුන් මරා දමන බවට තර්ජනය කරමිනුයි කප්පම් එකතු කලේ..

"මේ අහන්න එමිලියා.. ඔවුන් අපේ කැස්ටෙලෝ මහත්මයාගෙන් විශාල කප්පමක් ඉල්ලා එවලා.. අපේ මහත්මයා ඒක ගෙවීම ප්‍රතික්ෂේප කලාලු.. එපමණක් නෙමෙයි ඔහු ඒ ලියුම පොලීසියට භාර දීලා.. මේ ගැන රතු කවයේ අය තදින්ම කෝපයට පත්වෙලයි ඉන්නේ.. අනෙක් ව්‍යාපාරිකයොත් මේ විධියට කප්පම් දීම ප්‍රතික්ෂේප කරලා, පොලීසියට දන්වන්න ගියොත් රතු කවය විනාශ වෙනවා.. කැස්ටෙලෝ දීළා තියෙන්නෙ නරක පූර්වාදර්ශයක්.. ඒ නිසා ඔහුට මරණ දඩුවම දිය යුතු යැයි කවයේ අය තීරණය කළා.. කැස්ටෙලෝ මහත්මයා ගෙදර ඉන්න වෙලාවක, ඔහුගේ නිවස ඩයිනමයිට් වලින් පුපුරවා දමන්නයි ඔවුන් තීරණය කලේ..

අපරාධය කිරීම සදහා යැවිය යුතු පුද්ගලයා ඔවුන් තෝරාගත්තේ තුන්ඩු ඇදීමෙන්.. ඒකට සූදානම් වෙද්දි අපේ හතුරා ගෝගියානෝගෙ කෘර මුහුණේ තිබුණු දුෂ්ඨ හිනාව මං හොදට දැක්කා.. ඔහු මොනවා හරි ප්‍රයෝගයක් කරලා රතු කවයක් ඇද තිබූ තුන්ඩුව, මගෙ අතට ලැබෙන්න සැලැස්සුවා.. මං කොහොමද මගේ හොදම හිතවතා මරන්නේ..? එහෙත් ඒක ඉටු නොකළොත් උන් ඔයාවත් මරලා දාවී.."

මේ භයානක අපරාධය කිරීම භාරවුණාම ගෙනාරෝට පිස්සු නොහැදුනා විතරයි.. ඒදා මුළු රෑම අපි සාකච්ඡා කළා අප ඉදිරියේ තිබෙන මේ භයානක අවුලෙන් බේරෙන්නෙ කොහොමද..? කැස්ටෙලෝ මහත්මයා මරා දැමීමට රතු කවය තීරණය කරලා තිබුණෙ ඊළග දවසෙ හැන්දෑවෙයි..

එදා දහවල් වෙනකොට මගේ සැමියාත් මමත් ලන්ඩන් බලා ඒමේ අරමුණින් නිව්යෝක් නගරයෙන් පැනගත්තා.. නමුත් ඊට කලින් ගෙනාරෝ ගිහින් කැස්ටෙලෝ මහත්මයා හමුවෙලා, ඔහුව මරා දමන්න සැලසුම් කර ඇති හැටිත්, ඉදිරි කාලයේදී ඔහුගේ ජීවිතයට එල්ල විය හැකි අන්තරාදායක තත්වයත් සම්පූර්ණයෙන්ම දැනුම් දුන්නා.. කැස්ටෙලෝ මහත්මයගේ ජීවිතය මින් ඉදිරියට ආරක්ෂා කරගැනීම සදහා පොලීසිය විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සියලු විස්තර මගේ සැමියා දැනුම් දුන්නා..

මහත්වරුනි, කථාවේ ඉතුරු හරිය සියල්ලක්ම වගේ ඔබ දන්නවා.. අපේ හතුරෝ අපව මරා දමන්න අප පිටපසින් එන බව අප හොදින් දැන සිටියා.. මට හිරිහැර කළ එකටයි, ඔහුට දරුණු ලෙස පහර දුන් එකටයි දෙකටම මගේ ස්වාමියා දැඩි කෝපයෙනුයි හිටියේ.. ඔහු ඒවාට මිනීමරු ගෝගියානෝගෙන් පළිගන්න බවට දිවුරලයි හිටියේ.. ඒ වුණත් මේ අපරාධකාරයා සෑහෙන කපටියෙක් ඒ වගේම උවමනාව ඉටුවන තෙක් අප ලුබුහැදීම අත්නොහරින බව අප දැන හිටියා.. ඉතාලියේ හා ඇමරිකාවේ ඔහු භීෂණය පතුරවපු හැටි ගැන කථා අපට අහන්න ලැබිලා තිබුණා.. ඒ නිසයි අපි ලන්ඩනයට එන්න තීරණය කළේ.. අපට ලැබුණු දින කීපය අතැළත මට සම්පූර්ණ ආරක්ෂාව සලස්වා ගත හැකි ක්‍රමයක් මගේ ස්වාමියා සැලසුම් කළා.. ඔහු මා සමග රැදී නොසිට වෙනම තැනක නැවතී සිටියේ, සතුරන්ට අහුනොවී ඔවුන් ගැන තොරතුරු ඉතාලි හා ඇමරිකන් පොලීසි වලට දැනුම් දෙන්නයි.. ඔහු ජීවත්වුණේ කොහෙද, කෑවෙ බිව්වෙ කොහොමද කියා කිසිම දෙයක් මම අද වනතුරුත් දන්නෙ නෑ.. මට යමක් දැනගන්න ලැබුණෙ ඔහු පුවත්පත් වල පළකළ දැන්වීම් මගින්..

නමුත් එක සැරයක් මම ජනේලයෙන් බලා ඉද්දි මං දැක්කා ඉතාලි ජාතිකයන් දෙදෙනෙක් මා සැගවී සිටි නිවස දෙස බලාගනෙ ඉන්නවා.. අපි හැංගුණු තැන ගෝගියානෝ කොහොම හරි හොයාගෙන ඇති බව ඒකෙන් වැටහුණා.. ඊට පස්සෙ අවසන් වශයෙන් ගෙනාරෝ මට පුවත්පත මගින් දැනුම් දුන්නේ, එක් තට්ටු නිවාසයක ජනෙල් වීදුරුව තුළින් මට සංඥා කරන බවයි.. නමුත් සංඥා වලින් කියවුනේ මට ප්‍රවේසම් වෙන්න කියලයි.. ඒවත් එක්වරම අතරමග නැවතුණා.. ගෙනාරෝ මට දැනුම් දුන්නේ ගෝගියානෝ තමන් පසුපස ලුහුබැද ඇවිත් හොදටම ළංවෙලා කියන එක බව පැහැදිලියි.. දෙවියන්ට ස්තුති වේවා..! අපරාධකාරයා එන මග ඔහු සූදානමින් සිටියා.. ඉතින් මහත්වරුනි මං ඔබෙන් අහන්න කැමතියි අප නීතියට භය විය යුත්තේ මොන හේතුවකටද කියලා..? මෙලොව කිසිම විනිශ්චයකාරයෙක් මගේ ගෙනාරෝ කර තිබෙන දෙයට ඔහුට දඩුවම් කරාවිද..."

"ග්‍රෙග්සන් මහත්මයා...."

ඇමරිකානු රහස් පරික්ෂකයා කතාව අරඹුවේය..

"මං දන්නෑ බ්‍රිතාන්‍ය අධිකරණය මේ සිද්ධිය පිළීබදව බලන්නෙ මොන ආකාරයෙන්ද කියලා.. නමුත් මට හිතෙන හැටියට නිව්යෝක් නගරයේ නම්, මේ කාන්තාවගේ ස්වාමිපුරුෂයාට, මහජනතාවගෙන් ගෞරව පූර්ව ස්තුතියක් හිමිවේවි.."

ඊට පිළිතුරු ලැබුණේ ග්‍රෙග්සන් ගෙනි..

"ඇය මා සමග පැමිණ පොලිස් මූලස්ථානයේ ප්‍රධානියා හමුවිය යුතුයි.. ඇය පැවසූ දේවල් සත්‍ය බව ඔප්පු වෙනවා නම් ඇයට හෝ ඇගේ සැමියාට භයවෙන්න කිසිම හේතුවක් නෑ.. නමුත් මෙතන මට තේරුම් ගන්න බැරි එක කරුණක් තියෙනවා.. ෂර්ලොක් හෝම්ස් මහත්මයා මොන ලෝකෙන්ද මේ ප්‍රශ්නෙ මැද්දට කඩා වැටුණේ..? ඇයි මේට පටලැවුණේ..?"

"ඉගෙන ගැනීම සදහා ග්‍රෙග්සන්.. ඉගෙන ගැනීම සදහා.. මම තවමත් දැනුම වැඩිකර ගැනීමේ අරමුණින් පරණ විශ්ව විද්‍යාලයෙන් මේ විධියට අධ්‍යාපනය ලබනවා.. ඔන්න වොට්සන් ඔබේ සටහන් පොතට ඉතා අසාමන්‍ය වගේම ඛේදජනක කථාන්තරයක් ලැබුණා.."

ඒක නෙමයි.. තවමත් රෑ අට වුණේ නැහැ නොවෑ.. කොවෙන්ට් උද්‍යානයේ රගහලේ වේග්නර්ගේ සංගීත ප්‍රසංගය නරඹන්න අපි තවමත් ප්‍රමාධ නැහැ.. වොස්ටස් ඉක්මන් කළොත් දෙවැනි ජවනිකාව පටන් ගන්න කලින් අපට එතැනට යන්න හැකිවේවි..  



                                     

No comments:

Post a Comment