Sunday, April 1, 2012

| ෂර්ලොක් හෝම්ස් - ලතින් ගුරුවරයාගේ ගැටලුව | චන්දන මෙන්ඩිස් |







































මද වැස්සක් තිබූ ගිම්හාන සෘතුවේ එක් දවසක, මම උදෑසනින්ම වෛද්‍ය පුස්තකාලය වෙත ගියෙමි. හැබැර දෙන අංශයෙන් පොත් කිහිපයක්ද රැගෙන, මම ආපසු බේකර් වීදියේ නිවහනට පැමිණියෙමි. හෝම්ස් හමුවීමට අමුත්තෙකු ඊට ස්වල්ප වේලාවක පෙර පැමිණි බව හඩ්සන් මහත්මිය මට දැනුම් දුන්නේය.


"මගේ හිතවත් මිත්‍රයා දොස්තර වොට්සන්" 

හෝම්ස් කීවේ අමුත්තාට මා හදුන්වා දෙමිනි. 

 "මහත්මයා ඔබ කියන්නට යන කතාව අහන්න මගේ මේ මිත්‍රයත් කැමති වේවි. ඒ මොකද ඔහු තමයි, සෑම පරීක්ෂණයක් සදහාම මට හවුල් වෙන්නේ. ඔබේ ඒ කතාන්දරය යළිත් වරක් මුල ඉදලම පටන්ගත හැකි නම් මං ඔබට කෘතඥවෙනවා."

අපේ අමුත්තාගේ මුහුණට මද සිනාවක් නැගිණි. ඔහු අවුරුදු විහිහතක හෝ විසිඅටක වයසේ තරුණයකු බැව් පෙනිණ. උසින් අඩි හයක් පමණ වූ ඔහුගේ, පුළුල් නළල් තලයද, සෘජු නාසයද, ඝන එහෙත් කෙටි උඩු රැවුළද නිසා, ප්‍රතාපවත් පෙනුමක් ඔහු වෙතින් දිස්විය.

"මහත්මයා මං කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ මීඨ අවුරුදු දෙකකට කලින්."

අමුත්තා කතාව ඇරඹිය.

"විශ්ව විද්‍යාලයෙන් පිටවුණ ගමන් හොද වැටුපක් ලැබෙන ඉහළම රැකියාවක් ලැබේවි කියල, මගේ ලොකු විශ්වාසයක් තිබුණා. නමුත් මගේ ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිද වැටුණා. හොද රැකියාවක් සොයා ගැනීම මොන තරම් අමාරු කටයුත්තක් ද කියන එක, දැන් තමයි මට පෙනී ගිහින් තියෙන්නේ. පුවත්පත් දෙකක, ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක, මුද්‍රණාලයක ආදී තැන් කිහිපයක මම තාවකාලික රැකියාවල යෙදුණා. ඒත් මගේ උගත්කමට සරිලන වැටුපක් හෝ පහසුකම් ඒ ආයතන වලින් ලැබුණෙ නැහැ. මම තවමත් විවාහ වී නොමැති නිසා, ජීවිතය ගෙවීමට ඒ හැටි විශාල බරක් මට නැහැ. තමුත් ලින්කන්ෂයරයේ පදිංචි මගේ අසරණ මෑණියන් හා නැගණියන් ගේ මාසික වියදම සදහා මුදලක් යැවීමට මට සිදුවී තිබෙනවා.

රැකියා සොයමින් මා පුවත්පත්ව ඇබෑර්තු පිටු පරික්ෂා කලා පමණක් නෙමෙයි, රැකියා ලබා දෙන ආයතන කිහිපයක ලියාපදිංචි වුණා. අධ්‍යාපන ආයතනයලට ගුරුවරුන් සපයන, ලම්ස්ඩන් සහ වෙස්ට්මාකොට් සමාගම ගැන ඔබ අහලා ඇති. සති කිහිපයකට පෙර ඔවුන්ගෙන් ලැබුණු කැදවීමක් අනුම මම ඒ ආයතනයට ගියා. ඒ සම්මුඛ පරීක්ෂනයක් සදහා. මා පරීක්ෂණයට ලක්කළේ ආයතනයේ ප්‍රධාන හවුල්කරුවා වන ලම්ස්ඩන් මහත්මයා. අයදුම් පත්‍රෙය් මා යවා තිබූ ජීව දත්ත ගැන, යළිත් සෝදිසි කර බැලීමට අවශ්‍ය බවයි ඔහු කීවේ. ඔහු ඇසූ ප්‍රශ්න හා ඒවාට මා පිළිතුරු දුන් ආකාරය මං ඔබට කියන්නම්. මේ ගැටලුව විසදීමේදී ඒවාත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා."

"ඇත්තෙන්ම ඔව් මහත්මයා.."

මෙතෙක් වේලා නිහඩව සිටි හෝම්ස් කීය.

"තොරතුරු වැඩියෙන් කියූ තරමට ඔබේ ගැටලුව විසදීමට අපට හැකි වෙනවා."

"ඔබේ නම..?"

ලම්ස්ඩන් මහත්මයා ඇසුවා.

"හැරල්ඩ් වෙල්ඩ්.."

"ඔක්ස්ෆඩ්ද, කේම්බ්‍රිජ්ද..?"

"කේම්බ්‍රිජ්.."

"ඔබට ගෞරව සමාර්ථයක් තියෙනවද..?"

"නැහැ.."

"ක්‍රීඩා වලට සහභාගීත්වය..?"

"කියන්න තරම් විශේෂ දක්ෂකම් නැහැ.."

"ක්‍රීඩා වලින් වර්ණ ලැබිලත් නැහැ..?"

"අපොයි නෑ.."

"පාසල්වල ගුරු තනතුරු වලට මේ දවස්වල ලොකු තරගයක් තියනවා වෙල්ඩ් මහත්මයා.."

ඔහු කීවේ මගේ බලාපොරොත්තු බින්දුවටම බස්සවමින්.

"ඇබෑර්තු තියෙන්නෙ ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. ඒත් අයදුම්කරුවන් අප්‍රමාණයි. ඔබ විශ්ව විද්‍යාලයේ විභාගයට ගෞරව සහිතව ඉහළින් සමත්වුණා නම්, එච්චර ප්‍රශ්නයක් නොවෙන්න තිබුණා. එහෙමත් නැත්නම් අංක එකේ මලල ක්‍රීඩකයෙක් වුණා නම්, එහෙමත් නැත්නම් අංක එකේ රුවල් ඔරු පදින්නෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයකු වුණා නම්, ගුරු තනතුරක් සහතිකයි. නමුත් දැන් මොකද කරන්නේ..? සාමාන්‍ය දක්ෂකම් තියෙන කෙනෙකුට.... මං එහෙම කියනවට අහිතක් හිතන්න එපා. සාමාන්‍ය උපාධිය තියෙන ඔබ වැනි කෙනෙකුට, මුහුණපාන්න වෙන දුෂ්කරතා ප්‍රමාණයයි. ඔබ වැනි අය සියදෙනෙක් පමණ අපේ ලේඛනයේ ඉන්නවා. ඔබ කැමති නම් ඔබගේ නම අපේ පොත් වල තවදුරටත් තබාගන්න පුළුවනි. එහෙත් කොපමණ කලක්....."

කිසිවෙකු දොරට තට්ටු කල හඩින් ඔහුගේ කතාවට බාධා වුණා. දොර ඇරගෙන ඇතුළු වුණේ ලියුමක් අතින් ගත් ලිපිකරුවෙක්. ලම්ස්ඩන් මහතා ලිපිය විවෘත කර බැලුවා.

"වෙල්ඩ් මහත්මයා.."

ඔහු කිව්වේ උද්‍යෝගයකින්. සිනහවකින් මව පුරවාගෙන.

"මේක නම් හරිම අහම්බෙන් වුණු දෙයක්. ඔබේ වාසනාවක් බව මං කිව යුතුයි. ඔබ උගත් විෂයයන් ඉංශ්‍රීසි භාෂාව කියලා නේද කිව්වේ..?"

"ඔව් ලතින්, ප්‍රංශ සහ ඉංශ්‍රීසි.."

"හරි.. මෙන්න මූලික පාඨශාලාවක ඇබෑර්තුවක් තියෙනවා. මේ ලියුම එවලා තියෙන්නෙ බොහොම කාලයක ඉදලා අපි එක්ක ගනුදෙනු කරන විදුහල්පතිතුමෙක්. බටහිර හැම්ස්ටෙඩ්හි, විලෝ ලී හවුස් විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ෆෙල්ප්ස් මැකාති.

ඔහු කියනවා තරුණ ගුරුවරයකු වහාම එවන්නලු. පහළ පංතිවල, ඒ කියන්නෙ අවුරුදු දහහතරට අඩු පිරිමි ළමයින්ගෙ පංතිවලට ඉංශ්‍රීසි සහ ලතින් භාෂා උගන්වන්න. ඔබට නවාතැන් සහ කෑමබීම නොමිලේ ලැබෙනවා. ඒ වගේමයි ඇදුම් පිරිසිදු කිරීමේ සේවයත්. හැන්දෑ වරුව ඔබට විවේකයි. ඒ වෙලාවෙදි තමන්ගෙ පොත් පත් කියවීමේ කටයුත්තක යෙදෙන්න පුළුවනි. වැටුප පවුම් හැටයි. කැමතිද..?"

"මං බොහෝම කැමතියි මහත්මයා.."

මං කීවෙ නොයිවසිල්ලෙන්.

"මෙහෙම දෙයකුත් තියෙනවා."

ලම්ස්ඩන් මහත්මයා කිව්වා.

"මං මෙහෙම තීරණය ගැනීම සාධාරණ ද මං දන්නෙ නෑ. ඒ මොකද දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ නම්, අපේ ලේඛනවල තබා ඇති, තවත් මහත්වරුන් හොබෝ ගණනක් ඉන්නවා. ඒ වුණත් ඔබ කැමති නම්.."

"මං හොදටම කැමතියි.."

"ආචාර්ය මැකාති ඔහුගේ ලියුමේ තවත් කාරණයක් සදහන් කරනවා. ඔහු කියනවා පත්වීම බලන ගුරුවරයා, ඉතාම හොද ඉවසීමක් තිබෙන කෙනෙකු විය යුතුයිලු.."

"මගේ ඉවසීම ඉතාම හොදයි."

මං වහාම කිව්වා.

"ඔය තනතුරට සුදුසුම පුද්ගලයා මම."

"හොදයි.."

ලම්ස්ඩන් මහතා කිව්වේ මා දෙස තියුණු බැල්මක් හෙළමින්.

"ඔබේ ඉවසීම ඔය කියන විදියට ඉතාම හොද තත්වයේ ඇති කියලා මං විශ්වාස කරනවා. ඒ වුණත් මං කැමතියි ඔබට අනතුරු ඇගවීමක් කරන්න. ඔය පාසලට යන ගුරුවරයෙකුට මුහුණ දීමට, මොනවා හරි දුෂ්කරතා මතුවෙලා ඇති. ආචාර්ය මැකාති ඒ වගේ ඉල්ලීමක් කරන්න, මොකක් හරි වීශේෂ හේතුවක් ඇති. ඒ ගැන මගේ හිතටත් නො ආවා නෙවෙයි....."

ඔහු එහෙම කියද්දි මගේ හිතට සතුටක් වගේම තිගැස්මකුත් ඇතිවුණා.

"ඇයි ඔබ එහෙම කියන්නේ..?"

මං ඇහුවා..

"මෙහෙම රැකියා සපයා දීමේදී අපි අනිවාර්‍යයෙන්ම දෙපක්ෂයටම අවංක විය යුතුයි."

ලම්ස්ඩන් මහතා කිව්වා.

"මෙන්න මේ නිසයි මගේ හිතට පොඩි සැකයක් ඇතිවුණේ පහුගිය අවුරුද්දක කාළය තුල අපි, විලෝ ලී හවුස් විද්‍යාලයට, ලතින් භාෂා ගුරු මහත්වරු හත්දෙනෙකුට නො අඩු ගාණක් යැව්වා. එයින් හතර දෙනෙක් තමන්ගෙ පළමුවැනි මාසයේ වැටුප ගන්නවත් එහි රැදිලා නෑ. අස්වෙලා ගිහින්. අනික් අයත් කිසිම කෙනෙක් මාස දෙකකට වඩා ඉදලා නෑ."

"එතකොට පාසලේ ඉන්න අනිත් ගුරුවරු..?"

"පාසලේ ගුරු මණ්ඩලයට ඉන්නෙ තවත් එකම ගුරු මහතකු විතරයි. ඔහුගෙ නම් කිසිම වෙනස්වීමක් නෑ වගෙයි."

ඔහු කීවේ පොත වසා දමමින්.

"වෙල්ඩ් මහත්මයා. අර ගුරු මහත්වරු ඔය තරම් ඉක්මනට හිත වෙනස් කරගෙන අස්වෙලා ගියේ ඇයි කියන කාරණා මම දන්නෙ නෑ. මට නම් කියන්න පුළුවන් එක දෙයයි. ඔබ ගිහින් ආචාර්ය මැකාති හමුවෙලාම තීරණයකට එන්න."

තමන්ට අහිමි වෙන්න කිසි දෙයක් නැහැ කියන හැගීමයි මගේ හිතේ තිබුණෙ. එහෙම හැගීමක් හිතට ආවාම, හිතට ලොකු ශක්තියක් හා ධෛර්යයකුත් ඇතිවෙනවා. ඒ හැගීමෙන් තමා විදුහල්පතිතුමා හමුවෙන්න, මම විලෝ ලී හවුස් විද්‍යාලයට ගියේ.

එය වීශාල ඉඩමක පිහිටා තිබුණේ පැරණි මෙන්ම විශාල ගොඩනැගිලි සහිත ආයතනයක්. නිල ඇදුමත් ඇදගත් සේවක ළමයෙක් මා වෙනුවෙන් දොර ඇරියා. ලම්ස්ඩන් මහතා මට කියූ විදියට මං දකින්න බලාපොරොත්තුවෙන් උන්නේ, දරුණු පෙනුමක් ඇති සැරපරුෂ කෙනෙක්. සුළු දෙයින් පවා කෝපාවිෂ්ඨ වෙන, ගොරෝසු කටහඩක්, උඩු රැවුලක් තිබූ හැඩි දැඩි කෙනෙක්. නමුත් මට දකින්න ලැබුණෙ සම්පූර්ණයෙන්ම ඊට වෙනස් විධියෙ කෙනෙක්. ඔහුට තිබුණෙ ඉතාම කරුණාවන්ත, ඉවසිලිවන්ත ගුරු මහත්මයෙකුගෙ හැසිරීම හා පෙනුම. ඔහුගේ සිරුර ඒ තරම් උස් නොවූ සිහින් එකක්. රැවුළ සම්පූර්ණයෙන්ම මුඩුකොට සිටි ඔහුගේ කටහඩ ඉතාම මෘදු එකක්. ඔහු කතා කළ විලාසය පවා ඉතාම ආචාරශීලීයි. ඔහුගේ වයස අවුරුදු හැටක් පමණ විය යුතුයි කියා මං අනුමාන කළා.

"වෙල්ඩ් මහත්මයා. අපේ පාසලේ අධ්‍යාපන කටයුතු සදහා ඔබට උදව්වෙන්න  හැකි බව ඇසීම මට ලොකු සතුටක්."

ඔහු කිව්වේ මගේ වෘත්තීය සුදුසුකම් ගැන ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් පසුවයි.

"පර්සිවල් මැනර්ස් නම් මහත්මයෙක් අපේ පාසලේ සේවය කළා. ඔහු ඊයේ අස්වෙලා ගියා. ඔබට ඒ රාජකාරිය හෙටම භාරගන්න පුළුවන් නම්, ඒක මට සතුටට කරුණක්.."

"ඔබ කියන්නේ සෙල්වින්හි පර්සිවල් මැනර්ස් ගැනද..?"

මං ඇහුවා.

"හරියටම හරි. ඔබ ඔහුව අදුනනවද..?"

"ඔව්. ඔහු මගේ මිත්‍රයෙක්.."

"ඔහු ඉතාම දක්ෂ ගුරුවරයෙක්. එකම වැරැද්ද ඔහුගේ ඉවසීම අඩුකම නිසා, ඉතා ඉක්මනින් තීරණ ගැනීමයි. හොදයි. වෙල්ඩ් මහත්මයා. ඔබේ ඉවසීම කොහොමද..? අපි මෙහෙම හිතමු. උදාහරණයකට හිතමු මට අමතක වෙලා. ඔබට බොහොම කෘර විදියට කතා කලා කියලා. එහෙමත් නැත්නම් ඔබේ සිත මොනම ආකාරයකට හෝ රිදෙන විධියට මං හැසිරුණා කියලා. එතකොට ඔබට තදින් කේන්ති යාවිද..? ඔබට ඉවසීමෙන් එය අමතක කරන්න හැකිවේවිද..?"

"මං හිතන්නෙ මට පුළුවන් වේවි.."

මං කිව්වා.

"මේ පාසල තුළ රණුඩු සරුවල් වෙනවා කියන්නේ. මගේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙන තත්වයක්."

ඔහු කිව්වා.

"මම නම් කැමතියි මගේ වහල යට, හැමදෙනාම සමගියෙන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා දකින්න. පර්සිවල් මැනර්ස් මහත්මයගෙ කේන්තිය අවුස්සන දෙයක් සිදුවුණේ නැහැ කියලා මං, මං කියන්නෙ නැහැ. මට උවමනා කරන්නේ, සාමදානයෙන් ජීවත්වීම උදෙසා ඉවසන්න පුළුවන් කෙනෙක්."

"මට ඔබට පුළුවන් සහයෝගයක් දෙන්නම් මහත්මයා.."

"බොහොම හරි වෙල්ඩ් මහත්මයා. ඕන කරන්නෙ අන්න එච්චරයි.. ඔබගේ බඩු බාහිරාදිය සූදානම් කරගෙන, අද රෑම මෙහේ පදිංචියට ඒවි කියලා මං විශ්වාස කරනවා."

මට හැමදෙයක්ම සූදානම් කරගන්න හැකිවුණා විතරක් නෙමෙයි, මට පර්සිවල් මැනර්ස් හම්බවෙන්නත් හැකිවුණා. ඔහු ලන්ඩන් නගරයේ ඉන්නවා නම්, නොවරදවාම පිකැඩලියෙ බෙනෙඩික්ට් සමාජශාලාවට එනවා. දුම් බොන්නන්ට වෙන්වුණු කාමරයේදී මට ඔහු හමුවුණා. ලැබුණු රැකියාව ඉක්මනින්ම අත්හැර දාමා ඒමට හේතුව මං ඔහුගෙන් විමසුවා.

"හැරල්ඩ්. ඔබ කියන්නේ ආචාර්ය ෆෙල්ප්ස් මැකාතිගෙ විදුහලේ පත්වීමක් ලබා, ඔබ එහි යන්න හදවනවා කියලද..?"

ඔහුට කෑ ගැසුණෙ පුදුමයෙන්.   

"මගේ හිතවත් මිත්‍රයා. ඔහේ කරන්නෙ මහ පිස්සු වැඩක්. එහේ ගියොත් ඔබ සති දෙකක් එහි රැදෙන්නෙ නෑ. මට ඒක හොදටම විශ්වාසයි."

"ඒ වුණාට මට ඔහු හමු වුණානේ."

මං කිව්වා.

"මට නම් පෙනුණෙ බොහොම අහිංසක, කාටවත් කරදරයක් නොකරන කෙනෙකු වගේ. ඒ තරම් ආචාරශීලී මහත්මයෙක් මට කවදාවත් හම්බවෙලා නෑ."

"ඔව්. ඒක හරි. ඔයාගෙ කිසි වැරැද්දක් නැති බව ඇතිත. ඔබට හම්බවුණාද තියෝෆිලස් සෙන්ට් ජේම්ස්..?"

"ඒ නම මං කවදාවත් අහලා නෑ. එයා කවුද..?"

"ඒ තමයි අනෙක් ගුරුතුමා. ඔබට ඉන්න ගුරු මිත්‍රයා."

"මට ඔහු හම්බවුණේ නෑ."

"එයා තමයි යක්ෂයා. මිනිහගෙ පිළිවෙළ ඉවසාගෙන ඔබට ඉන්න පුළුවන් නම්, ඔබට තියෙන්නෙ නියම ක්‍රිස්තු භක්තිකයෙකුගෙ ආත්මය. එහෙමත් නැත්නම් ඔබට කිසිම ආත්මයක් නෑ."

"ඇයි ඉතින් මැකාති ඒවා ඉවසාගෙන ඉන්නේ..?"

මගේ මිත්‍රයා උරහිස් හකුළුවමින් ඉගි කළේ, ඒකට හේතුව තමන්ට කියන්න අමාරු බව.

"ඒ ගැන ඔබට හැකිවේවි ඔබේම නිගමනයකට එන්න. ගිය ඉක්මනින් මටත් හැකිවුණා ඒ ගැන නිගමනයකට එන්න. ඒක වෙනස් කරගන්නවත් මට වෙලාවක් ලැබුණෙ නෑ."

"ඒක මට කියන්න පුළුවන් නම් ඔබ මට කරන ලොකු උදව්වක්.."

"ඔබට දකින්න ලැබෙනවා තමන්ට අයත් ස්ථානයෙදී පදිංචිවෙලා කෙනෙක් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. නමුත් ඔහු යටතේ සිටිය යුතු සේවකයෙකු මොකද කරන්නේ..? ප්‍රධානියගේ නියෝග වලට කීකරු වෙන්නෙ නෑ. හිතේ සනසීමෙන් ඉන්න ඉඩ හරින්නෙ නෑ. ප්‍රධානියගෙ ව්‍යාපාරය බංකොලොත් වන විධියට කටයුතු කරනවා. එතකොට ඒ සේවකයා ගැන ඔබට මොනවද හිතෙන්නේ..?"

පර්සිවල් මැනර්ස් මගෙන් විමසුවා.

"ඒ කියන්නෙ ලොක්කා බයයි සේවකයට..?"

මං කිව්වා.

"හරියට හරි..! නිවැරදි පිළිතුර එකපාරටම දෙන්න ඔබට හැකිවුණා. ඒකට හේතුවක් හිතාගන්න මටත් බෑ. මට හිතෙන හැටියට සිද්ධ වෙන්න ඇත්තෙ මෙහෙම දෙයක්. ජීවිතේ කවදා හරි දවසක අපේ ආචාර්යතුමා වැරැදි මාර්ගයක ගිහින් තියෙනවා. වැරදීම මනුෂ්‍ය ගතියක් නේ. නමුත් මේ වැරැදීම බොහොම බරපතල විදියෙ වැරැද්දක් වෙන්න ඇති. සේවකයා මේ ගැන දන්නවා. ඔහු ඒ කෙළවර අල්ලාගෙනයි ඉන්නේ. ඒ කෙළවර ඔහු කොහොමටවත් අත අරින්නෙ නෑ. අන්න ඒකයි ඇත්ත. ආචාර්ය මැකාතිගෙ රහස් හෙළි කරන බවට තර්ජනය කරමින්. සෙන්ට් ජේමිස්, විදුහල්පති තුමාව ප්‍රාණ ඇපකාරයෙකු කරගෙන. සෙන්ට් ජේම්ස්ට හැකිවුණේ නෑ එයාගෙ තර්ජන ගර්ජනවලින් මාව නටවන්න. එයාගෙ කතා වලට මං ඔළුව පාත් කලේ නෑ. මං රස්සාව අත්ඇරලා දාලා ආවා. මං හිතන්නෙ ඔබත් ඒක කරාවි."

අපි හුගක් වෙලා කතා කලා. ඒත් කිහිපවාරයක්ම ඔහු ආවෙ එකම නිගමනයකට. ඒ තමයි වැඩි දවසක් රැකියාවේ නොරැදී, මං ඉක්මනින් අස්වී ආ යුතු බව. මං එතැනින් පිටවෙලා ආවෙ ඒ තරම් සැනසුම් සිතකින් නම් නෙවේ.

අන්තිමේදි රැකියාව බාරගන්න මං තීරණය කළා. විලෝ ලී හවුස් විද්‍යාලයට ගිය මා, ආචාර්ය මැකාති විසින් පිළිගනු ලැබුවා. ඔහු එදා හැන්දෑවෙම මා අර පුද්ගලයාට හදුන්වා දුන්නා.

"සෙන්ට් ජේම්ස් මහත්මයා.. මේ ඉන්නෙ ඔබේ අලුත්ම වෘත්තිය සගයා. ඔබ දෙදෙනා අතර අන්‍යොන්‍ය සුහදතාවයක් සැමවිටම රැදේවි කියලා මං බලාපොරොත්තුවෙන් ඉන්නවා."

ආචාර්ය මැකාතිගෙ ඒ හොද අදහස්, දිගටම ආරක්ෂා වේවි කියන එකයි මගේ ප්‍රාර්ථනය වුණෙත්. නමුත් සෙන්ට් ජේම්ස් ගෙ මුහුණෙ නම්, මට ඒ බවක් දකින්න ලැබුණෙ නෑ. ඔහු තරුණයෙක්. වයස අවුරුදු තිහකට වැඩි වෙන්න බෑ. ඒ තරම් උස් නොවූ ඔහු. මදක් තරබාරුයි. නමුත් ඒ අලස අක්‍රීය තරබාරු බවක් නෙමෙයි. ඔහුට තිබුණෙ හරකෙකුගෙ වගේ ලොකු බෙල්ලක්. ඔහුගේ කෙස් කළුම කළුයි. ඇස් දෙකත් කළුයි. මුහුණ නිකං ඉදිමිලා වගේ. ඇස් කුහර ඇතුලට ගිළුන කුඩා ඇසි, ඉදිරියට නෙරා හකු හා විහිදුණු කන්පෙති වලින්, ඔහුට ලැබී තිබුණෙ බොක්සිං ක්‍රීඩකයෙකු ගේ පෙනුම.කොහොම වුණත් ඔහුගේ හැටි දුටුවාම, ඕන කෙනෙකුට සිතෙන්නෙ ඔහුගෙන් ඈත් වෙන්න. එවැනි බිහිසුණු මැරවර පෙනුමක් තමා සෙන්ට් ජේම්ස් වෙතින් දිස්වුණේ.

"ඔහේ මීට කලින් රස්සාවක් කරලා නෑලු. එහෙම නේද..? "

ඔහු මගෙන් ඇසුවෙ මහ නපුරු විදියට.

"මේක මහා දුක්ඛිත ජීවිතයක් බවයි මට කියන්න තියෙන්නෙ. ලැබෙන හිගන පඩිය මදි මට කෑමට බීමටවත්. ඒක ඔහේටම බලාගන්න බැරිය ටික දවසක් යද්දි."

විදුහල්පති තුමා ඉදිරිපිටම සෙන්ට් ජේම්ස් කිව්වා.

"ඒ කොහොම වුණත් මේ රැකියාවෙ හොද පැත්තකුත් තියෙනවා නේද සෙන්ට් ජේම්ස් මහත්මයා..?"

විදුහල්පති තුමා කීවා.

"ඒ ප්‍රතිලාබ ගැනත් අපි අමතක කරන්න හොද නෑ.."

"ඒ ප්‍රතිලාබ..? මොන ප්‍රතිලාබද..? මට නම් එහෙම දෙයක් කවදාවත් දකින්න ලැබුණෙ නෑ.."

"තරුණ වයසට පා තබන ළාබාල දරුවන් සමග ඉදීමට ලැබීඹ පවා ප්‍රතිලාබයක්. ඒකෙන් කෙනෙකුගෙ ආත්මයේ තරුණ බව රැකෙනවා. ඒ විතරක් නෙමෙයි. දරුවන් ජීවිතය දිහා බලන්නෙ බොහොම සැහැල්ලුවෙන්. ඒ සතුට අත්විදින්න ඔබටත් ඉඩ ලැබෙනවා."

"පුංචි තිරිසන්නු..!"

සෙන්ට් ජේම්ස්ට කෑගැහුණා.

"මහත්මයා. ඔබ ඔවුනට සලකන හැටි බොහොම දරුණු වැඩියි."

විදුහල්පතිතුමා කීවා.

"මට උන්ව පේන්න බෑ. උන්ගෙ ගල් ලෑලියි, පාඩම් පොතුයි, ශබ්ද කෝෂයි, උන් එක්කම එකම ගිනිගොඩකට දාන්න පුලුවන් නම්..? ඔහු එහෙනම් මං ඒක මේ රෑම කරනවා."

"සෙන්ම් ජේම්ස් මහත්මයා කියන දේවල් ගණන් ගන්න එපා.."

විදුහල්පතිතුමා කීවේ, කැලඹුණු මුහුණකින් මා දිහා බලමින්. 

"එයා කතා කරන්නෙ ඔය විදියටමයි. ඒක නෙමෙයි වෙල්ඩ් මහත්මයා. ඔය දන්නවනේ ඔබේ කාමරය තියෙන තැන..? ඒ බඩු අස්පස් කර ගැනීමේ වැඩත් ඔබට ඇති. ඒවා ඉක්මනටම ඉවර කරගන්න. එතකොට මේ පරිසරයට හැඩ ගැහෙන එක ඔබට පහසුවේවි."

විදුහල්පතිතුමාට උවමනා වී තිබුණේ, මේ අද්භූත ගුරුවරයාගේ බලපෑම්වලින් මා ඉවත්කරගැනීමට බව මට තේරුණා. අපේ කතාබහ සිදුවෙමින් තිබුණෙත් ඉතාම අප්‍රසන්න ආකාරයට. ඉතින් මං එතැනින් ඉවත්වෙලා ගියේ බොහොම කැමැත්තෙන්.

අපගේ සේවක ළමයා විසිත්ත කාමරයට ඇතුළු වූයේ. අමුත්තාගේ කථාවට බාධා කරමින්. හඩ්සන් මහත්මිය එවා තිබූ කෝපි පානය කිරීමෙන් පසු ඔහු තම කථාව යළිත් ඇරඹුවේය.

"ඒක මට ජීවිතේ කවදාවත් අත්විදින්න නොලැබුණු අත්දැකීමක් වුණා. කාරණා කිහිපයක් නිසාම ඒක ඉතා විශිෂ්ට පාසලක්. ආචාර්ය ෆෙල්ප්ස් මැකාති දක්ෂ විදුහල්පතිවරයෙකු බව මං කියන්න ඕන. ඔහු පාසලේ ඉගැන්වීමට යොදාගෙන තිබුණේ, ඉගැන්වීමේ නවීන ක්‍රමවේද. පාසලේ පරිපාලන කටයුතුත් හොදින් කළමනාකරණය කෙරුණා. ළමයින් හැමදෙනෙකුම වගේ වැදගත් පවුල්වල අය. ඔවුන් ඉතා ප්‍රසන්න වගේම කීකරු බව මට දකින්න ලැබුණා. ඒ හැම අතකින්ම යහපත් වාර්තාවරණය මැද්දේ, සෙන්ට් ජේම්ස් ගුරුතුමා මොකක්ද කළේ..? ඔහු හැසිරෙන්නෙ හැම දෙයක්ම අවුල් කරන පිස්සෙක් වගේ. නැත්නම් යක්ෂයෙක් වගේ..

ඔහුට භාරවෙලා තිබණේ ගණිතය සහ ඉංශ්‍රීසි ඉගැන්වීම. ඔහු ඒ කටයුතු වල යෙදුනෙ කොහොමද කියන එක මං දන්නෑ. ඒ මොකද අපේ පංතිකාමර අපටම වෙන්වූ ඒවා නිසා. නමුත් ශිෂ්‍යයන් ඔහුට බියක් දැක්වූ බවත්, ඔහු පිළිකුල් කළ බවත් මට කියන්න පුලුවනි. ඔහු යාබද පන්තියකට උනග්වන්න ආවොත්, මගේ ඉගැන්වීමට බාධා සිදුවුණා. ඒ ඔහු කෝපාවිෂ්ඨ වී සිසුනට කෑ ගහන හඩෙන්. එහෙමත් නැත්නම් ඔහු ළමයිනට පහර දෙන ශබ්දයෙන්. සමහර වෙලාවට ආචාර්ය මැකාතින් මේ පංතිවල රැදී හිටියා. ඒ සිසුන් ගැන විමසිලිමත් වීමට වඩා, ගුරුතුමා ගැන විමසිලිමත් වෙන්න බව මට විශ්වාසයි. ඔහුගේ හැසිරීම දුරුණු වුනොත් ඔහුගේ ප්‍රහාර වලින් සිසු දරුවන් බේරාගැනීම, විදුහල්පතිතුමාගේ අරමුණ වෙන්න ඇති.

කොහොම වුණත් සෙන්ට් ජේම්ස් ඉතාම නරක විදියට සැලකුවෙ විදුහල්පතිතුමාට. මා හමුවුණු මුල් වතාවෙම සෙන්ට් ජේම්ස් හැසිරුණු හැටි මං ඔබට කිව්වා. හැම වෙලාවකම ඔහු විදුහල්පතිතුමා අවඥාවට ලක් කළේ, එතුමාට නරක විදියට බැණ වැදුණේ, පාසලේ හැමදෙනෙකුම ඉදිරිපිට. කිසිම වෙලාවක  ඔහු විදුහල්පතිතුමාට ගෞරවයක් දැක්වූයෙ නම් නෑ. ඒත් ආචාර්ය මැකාති මේ ගැන කටයුතු කළේ බොහොම ඉවසිල්ලෙන්. සෙන්ට් ජේම්ස් බැණ වදින වෙලාවට ආචාර්ය මැකාතිගෙන් දකින්න ලැබුණෙ නිහඩ, යටහත් පහත් හඩක්.

මේ ගැන මගේ හිතේ ඇතිවෙලා තියෙන්නෙ දැඩි කම්පාවක්. මේකට හේතුව මොකක්ද කියලා මට හිතාගන්නවත් බෑ. ෂර්ලොක් හෝම්ස් මහත්මයා ඔබට හිතේවි, මං බොහොම සංවේදී කෙනෙක් කියලා. නමුත් මෙවැනි දෙයක් දුටුවාම මට දරාගන්න බෑ. වැඩිමහල් කාරුණික විදුහල්පතිතුමෙකු, මේ විදියට කාඩන පීඩන වලට ලක්වෙන හැටි, මට තවත් බලාගෙන ඉන්න බෑ. මටත් පුළුවනි කලින් අය කළා වගේ මෙතැනින් අස්වෙලා යන්න. ගිහින් වෙන රැකියාවක් හොයාගන්න. නමුත් ඒ විදියට කටයුතු කරන්න, මට හිත හදාගන්න බෑ. ආචර්ය මැකාති වෙනුවෙන් මං මේ ප්‍රශ්නය විසදිය යුතුයි. ඒක මගේ යුතුකම. පොලීසියකට කරන්න තරම් පැමිණිල්ලක් මගේ ළග නෑ. මේ ගැටලුව ඔබට නම් සුළු එකක් වෙන්න ඇති. ඒ වුණත් හොම්ස් මහත්මයා මේක විසදලා දෙන්න. ආචාර්ය මැකාති අර දුෂ්ඨයාගේ ග්‍රහණයෙන් බේරලා දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා.."

වෙල්ඩ් මහතා ඔහුගේ කතාන්දරය අවසන් කළ පසු අපි විසිත්ත කාමරය තුළ ඇති වූ නිහඩතාවය මද වේලාවක් පැවතිණ. වෙල්ඩ් ගැනත් ඔහුගේ විදුහල්පතිවරයා ගැනත් අපගේ සිත්වල ඇති වූයේ සානුකම්පිත හැගීම්ය. හෝම්ස්ගේ මුහුණෙන් මම ඒ බව තේරුම් ගතිමි. කෙසේ වෙතත් මෙයට මැදිහත්වීම හෝම්ස් ප්‍රතික්ෂේප කරාවි දැයි මගේ හිතේ සැකයක් ඇතිවිය. විසදා දීම සදහා ඔහු සෑම විටම භාරගත්තේ, අභීරහමක් බවක් පෙන්වන සංකීර්ණ ගැටලු පමණි. ලෙස්ට්‍රේඩ්ට පවා පහසුවෙන් විසදිය හැකි සරල "පටලැවිලි" වලට කාලය වැය කිරීමට, මගේ මිත්‍රයා නොකැමැති විය. හෝම්ස්ට දිවා රාත්‍රී වෙහෙසීමට සිදු වූ බැරෑරුම් ගැටලු කිසිවක්, මෙම දිනවල නොතිබුණ බැව් ද මම දැන සිටියෙමි.

"වෙල්ඩ් මහත්මයා"

අන්තිමේගේ මගේ මිත්‍රයා කීවේ අමුත්තා අමතමිනි. 

"මෙතැන අපට මැදිහත් වෙන්න තරම් අභිරහස් ගැටලුවක් හෝ, නීතිය කඩකිරීමක් තියෙන බවක්, මට නම් පෙනෙන්නෙ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය සදාචාරය පිළිබද එකක් බව මා කිවයුතුයි. මං ඔබ පොලීසිය වෙත යොමුකළත්, ඔවුන්ගෙන් ලැබෙන්නෙත් එවැනිම පිළිතුරක් වීඹට පුළුවන. ඔබේ විදුහල්පතිතුමා වෙනුවෙන් මට කළ හැක්කේ මොකක්ද..?

ඔබ ප්‍රශ්නයට දැනට නම් මට පෙනෙන්නේ මේ විදියටයි. ආචාර්ය මැකාති මෑතකදී නැත්නම් කලකට පෙර, මොකක් හරි වැරදි වැඩක යෙදෙන්න ඇති. අපි මොහොතකට හිතමු ඔහු අපරාධකාරයෙක් කියා. සෙන්ට් ජේම්ස් නම් පුද්ගලයා මේ රහස් දන්නවා විය හැකියි. ඉතින් ඔහුට පුළුවන් රහස් හෙළිකරන බවට ආචාර්ය මැකාතිට තර්ජනය කරන්න. එහෙම කරලා ඔහු ආචාර්ය මැකාතිව ප්‍රාණ ඇපකාරයකු බවට පත්කරගන්නවා. ඒ මට මතුපිටින් පෙනෙන හැටි. සත්‍ය තත්වය මේක නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් මං කැමතියි, තවත් කාරණා කිහිපයක් දැනගන්න. ඔය සෙන්ට් ජේම්ස් ගුරුතුමා ඔබ සමග ළග ආශ්‍රයක් ඇතිකරගන්න උත්සාහ කළේ නැද්ද.?"

"ඒ ගැන මම මුලදීම තීරණයකට ආවා හෝම්ස් මහත්මයා.."

අමුත්තා කීය.

"තියෝෆිලස් සෙන්ට් ජේම්ස් දකින්නත් කලිනුයි මං ඒ තීරණයට ආවෙ. ඔහු සමග ආශ්‍රයකට නොගියොත්, මා සමග පැටළෙන්න ඔහුට හැකියාවක් නැහැනේ. මං හිතුවෙ එහෙමයි. පහසුම දේ මට හැකි තරම් ඔහුව මග ඇරීමයි. මට හැකිතරමින් මං ඒ දේ ක්‍රියාත්මක කළා. අපට සමීපවෙන්න සිදුවුන අවස්ථා තිබුණා. එහෙම වෙලාවට මං හැකි තරම් නිශ්ශබ්ද වුණා. ඔහුට ආචාරශීලීව මගේ පාඩුවෙ හිටියා. නමුත් ඔහු පුළුවන් තරම් උත්සාහ කළේ මා සමග ආශ්‍රයක් ඇතිකරගන්න. රෑට කෑමට පෙර ඔහුගේ කාමරයට එන්න කියලා ඔහු දිගින් දිගටම කිව්වා. ඒ ඔහු සමග කාඩ් ක්‍රීඩා කරන්න සහ වයින් පානය කරන්න. ගුරුවරුන් හැටියට අපි ඒ දේවල් නොකළ යුතු බව මං ඔහුට කිව්වා.

"මැකාති නාකියට බය වෙන්න එපා" සෙන්ට් ජේම්ස් කීවේ අවඥා සහගත අයුරින් සිනාසෙමින්. "අපි කාඩ් ගැහුවට, වයින් බිව්වට ඔහුගේ අමනාපයක් නෑ. අපි කැමති ඕනම දෙක් කරන්න අපිට අයිතියක් තියෙනවා. ඒ ගැන මං සහතික වෙන්නම්."

ඔහුගේ කරදරයෙන් බේරෙන්න බැරි තැන, එක හැන්දෑවක මං එහි ගියා. ඔහුගේ පුරසාරම්වලට කන්දෙමින් මට ගත කරන්න වුනේ අප්‍රසන්න පැය කිහිපයක්. අන්තිමේදි මං එතැනින් පිටවී එද්දි සෙන්ට් ජේම්ස් සෝපාව මත වැතිරී හිටියේ, මළමිනියක් වගේ සිහිසන් නැතුව. ඒ අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා. ඊටපස්සෙ කිසිම දවසක මං ඒ පැත්තට අඩියක් තිබ්බෙ නෑ. මං විභාගයක් සදහා සූදානම් වෙමින් පාඩම් කරන නිසා, එන්න නොහැකි බව, නිදහසට කරුණු ලෙස ඔහුට කිව්වා."

"ඔහු ඔය විද්‍යාලයට ඇවිත් කොපමණ කලක් වෙනවද කියලා ඔබට දැනගන්න පුළුවන් උනාද..?"

"නැහැ මහත්මයා. ආචාර්ය මැකාතිගෙන්වත් සෙන්ට් ජේම්ස්ගෙන්වත් මට එය ගැන ඉගියක්වත් ලැබුණෙ නැහැ."

"ඔබට ඒ කාරණා අසා දැනගත හැකි කිසි කෙනෙක් නැද්ද..? ඒ කියන්නෙ සෙනට් ජේම්ස් ගැන සැගවුණු තොරතුරු අසා ගත හැකි කෙනෙක්..?"

"සුළු සේවකයන් කවුරුත් ඔහුට පණ බයයි. මැදිවියේ කාන්තාවක් ඉන්නවා. ඇය තමා මේට්‍රන්වරිය. නේවාසිකාගාරයේ කුඩා ළමයි භාර ඇයට. ඇය සෙන්ට් ජේම්ස්ගෙ පැත්තවත් බලන්නෙ නෑ."

"ඔබට හැකිවේවි සමහර විට ඔහුගැන තොරතුරු ඇයගෙන් දැනගන්න."

හෝම්ස් කීය.

"ඔහුගේ දරුණු ස්වභාවය නිසා, ඇය වත් එහෙම දේකට කැමති වේවිද මං දන්නෑ මහත්මයා."

"මේ චරිතයේ ගුප්ත බව වැඩි වෙද්දි, මා ඒකට ආකර්ෂනය වෙනවා"

හෝම්ස් කීය.

"වෙල්ඩ් මහත්මයා. ඉගැන්වීම හැරුණු කොට සෙන්ට් ජේම්ස්ට භාර අනෙක් කටයුතු මොනවාද..? මං අදහස් කරන්නෙ, ක්‍රීඩා සදහා ළමයින් පුහුණු කිරීමේ කටයුතු. කථිකත්වය හෝ ප්‍රථමාධාර වැනි වැඩ..?"

"ඔහු එවැනි කිසිම කටයුත්තක යෙදෙන්නෙ නැහැ."

වෙල්ඩ් කීය.

"ඔහු කිසිම ක්‍රීඩාවකට ළමයින් පුහුණු කරන්නෙ නැහැ. ක්‍රීඩා පිටියට ව්‍යායාම සදහා නම් යනවා, ඒ ඉතාමත් කළාතුරකින්. ඊට හේතුව ලෙස ඔහු කීවේ, දීර්ඝ කාලයකට පෙර ඔහුගේ දණ හිසේ ආබාධයක් ඇතිවුණු බවයි. ඒ නිසා ඇවිදීමෙන් ඔහුට දැඩි වේදනාවක් දැනෙනවලු. මට නම් හිතෙන්නෙ ඔහු ශාරීරික ව්‍යායාමයක නොයෙදෙන්නෙ, කම්මැලිකම නිසා කියලයි. ඔහු කොහොමටත් තරබාරු කෙනෙක්. ක්‍රීඩා හෝ අධ්‍යාපනික කටයුතු සදහා ළමයියන් පාසලෙන් ඉවතට කැදවාගෙන යන්න අපට සිදුවෙනවා. ඒ සදහා යන්නෙ ආචාර්ය මැකාති හෝ මම."

"ඔබ දෙදෙනා හැරුණු විට ඔහු කා සමගද කතා බහ කරන්නේ..?"

හෝම්ස් ඇසීය.

"ඔහු හමුවෙන්න කවුරු හෝ එනවද..? ඔහුට නිතර ලියුම් ලැබෙන්නෙ නැද්ද කාගෙන් හරි..?"

"මං උදෙන්ම අවදිවන කෙනෙක්."

අමුත්තා කීය.

"ඒ නිසා විදුහලට ලැබෙන ලියුම් පෙට්ටිය ඉස්සරවෙලාම දකින්න ලැබෙන්නෙ මට. අප කාට ලියුම් තිබුණත්, සෙන්ට් ජේම්ස්ට ලියුමක් තිබුණා නම් ඒ කලාතුරකින්. ඒවාත් ගෙවීමට තිබුණු මුදල් ගැන, වෙළද ආයතනවලින් පවා ඒවා තිබූ බිල්පත් බව මට විශ්වාසයි. දැන් ඔහුට වයස තිස්ගාණක් පමණ විය යුතු බව මං ඔබට කිව්වා. ඔහුට ලියුමක් එවන්න තරම් කිසිදු මිත්‍රයෙක් නැද්ද කියලයි මට හිතුණෙ. ඔහු හමුවීමට කිසිම කෙනෙක් පාසලට එන්නෙ නැහැ. ඔහු බැහැර යන බවක් මං දැකලත් නැහැ. ඔහු වැඩිපුර කතාබහක යෙදෙනවා නම් ඒ ආචාර්ය මැකාති සමග පමණයි."

"විදුහල්පතිතුමා ඔහුට අවවාද කරනවා ඇති."

"ඒ ගැන නම් මට කියන්න බැහැ මහත්මයා. ඔවුන්ගේ කතා බහට කන් දෙන්න මං කොයි වෙලාවකවත් උත්සාහ කළේ නෑ."

"වෙල්ඩ් මහත්මයා. මෙවැනි පරීක්ෂණ සාමාන්‍යයෙන් නම් මං භාරගන්නෙ නැහැ. නමුත් ඔබ පත්වී තිබෙන තත්වය දුටුවාම, මෙය ප්‍රතික්ෂේප කිරීමට මට හිත් දෙන්නෙ නෑ. අවසන් වශයෙන් මේ දෙදෙනාගේ ඡායාරූප ඔබ ළග තිබෙනවාද..?"

අපේ අමුත්තා තම අතේ තිබූ කුඩා මල්ල විවෘත කොට පොතක් එළියට ගත්තේය.

"මේක අපේ වාර්ශික සගරාව. අපේ විදුහල්පතිතුමාගේ ඡායාරූපයක් මේකෙ තියෙනවා. නමුත් සෙන්ට් ජේම්ස්ගෙ ඡායාරූපයක් නම් කොතැනකවත් නෑ. පසුගිය දිනවල අපේ පාසලේ ළමයින්ගෙ විවිධ ප්‍රසංගයක් පැවැත්වුණා. එය අවසානයේ ළමයින් සමග, පාසලේ කවුරුත් ඡායාරූපයට පෙනී හිටියා. සෙන්ට් ජේම්ස් ඔහු කාටත් දොස් පවරමින් යන්න ගියා."

"වෙල්ඩ් මහත්මයා. දැනට ඔබට කීමට තිබෙන්නෙ එපමණක් බැව් මට වැටහෙනවා."

හෝම්ස් කීය.

"හෙට උදේ සිට ඔබේ රාජකාරි යළිත් පටන් ගනීවි නේද නේ. හොද කල්පනාවෙන් හැමදෙයක්ම නිරීක්ෂනය කරන මෙන්, මං ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරම ඔහු ගැන තොරතුරු කාගෙන් හරි දැනගන්න පුළුවන්ද කියා විමසා බලන්න. ආචාර්ය මැකාතිගෙන් කිසිවක් අහන්න එපා. අලුත් යමක් තිබුණත් නැතත්, මට ලිපියකින් අලුත්ම තත්වය දන්වා එවන්න. හදිසි තත්වයක් නම් විදුලි පුවතකින් මට දන්වන්න ඔබේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්න මං පොරොන්දු වෙනවා."

අපේ අමුත්තා පිට වී ගිය පසු හෝම්ස් ඡායාරූපය අතට ගත්තේය. හෝම්ස් එය විමසිලිමත් ඇසින් බලද්දී, මම ඒ දෙසට නෙත් යොමු කළෙමි. අපට එහි දකින්නට ලැබුණේ වෙල්ඩ් මහතා කලින් විස්තර කළ ආචාර්ය මැකාතිගේ පෙනුමම ය. ඔහුගේ කාරුණික සාමකාමී බව එහි මනාවට පිළිබිඹු විණි.

"අපරාධ සම්බන්ධයෙන් නම් මෙහෙම කෙනෙකු දැක ඇති බවක් මට සිහිකරන්න අමාරුයි වොට්සන්. ඒ වුණත් මං මෙය ස්කොට්ලන්ඩ්යාඩ් වෙත ගෙන යා යුතුයි. ඔවුන්ගේ ඡායාරූප එකතුවේ මේකට කිට්ටු මුහුණක් තිබෙනවාද කියා පරික්ෂා කරන්න ඕන."

හෝම්ස් එදා සවස ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් මූලස්ථානය වෙත ගිය අතර, මම නිවහනේ රැදී සිටියෙමි. දින දෙකකට පසු අපට අපේ අනුග්‍රාහක වෙල්ඩ් මහතාගෙන් ලිපියක් ලැබිණි.

"ෂර්ලොක් හෝම්ස් මහතාණෙනි.

මා ඔබට කලින් සදහන් කල කුඩා දරුවන් අතර මේට්‍රන්වරිය කාර්ට් මහත්මිය සමග, කෙටි කතාබහකට අද හැන්දෑවේ ඉඩක් ලැබුනා.  ආචාර්ය මැකාති ගැන ඇය දන්නේ ඔහු කනවැන්දුම් කෙනෙකු බව පමණයි. ඔහුගේ බිරිද මිය ගිහින් තිබෙන්නේ කොයි කාලයේද ඔහුට ළමයින් සිටිනවාද නැද්ද යන කරුණු ඇය දන්නෙ නැහැ.

සෙන්ට් ජේම්ස් ගැන මං ඇයගෙන් විමසුවා. ඇය දන්නා කරුණු හෙළි කර ගැනීමට, අමතර ප්‍රශ්න නැගීමට මට උවමනා වුණේ නැහැ. ඇය පිළීතුරු දුන්නේ දෑත් ඉහළට ඔසවමින් කෝපයෙන් වෙව්ලමින්. 

"මේ ආයතනයට යක්ෂයාගේ බැල්ම වැටී දැන් අවුරුදු තුනක් විතර වෙනවා වෙල්ඩ් මහත්මයා." ඇය කිව්වා. "ඒක සිත් කළකිරවන මහා අප්‍රසන්න අවුරුදු තුනක්. ඒ දිනවල මේ පාසලේ සිසුන් පනස්දෙනෙකු සිටියා. දැන් ඉන්නෙ විසිදෙදෙනායි. ඒ තමයි ඔහු අවුරුදු තුනකට කළ හපන්කම. තවත් අවුරුතු තුනක් යද්දි, එක ළමයකු හෝ නැතුව මෙම පාසල වසා දමන්නට වේවි. විදුහල්පතිතුමා දෙවි කෙනෙක් වගේ ගුණ යහපත් කාරුණික කෙනෙක්. මං තවමත් මෙහේ රැදී ඉන්නෙ ඔහුගේ ආයාචනය නිසයි. සෙන්ට් ජේම්ස්ගෙ පිළිවෙළ කොහොමද කියා ඔබට දකින්න ලැබේවි. ඔහු ඉන්න මේ වහල යට, එක මොහොතක් හෝ රැදෙන්න මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. නමුත් තවත්  ටික කාලයක් ඉවසා සිටින මෙන්, විදුහල්පතිතුමා නැවත නැවතත් ඉල්ලනවා. මෙහෙම දේවල් අලුත් ගුරුතුමෙකුට හෙළි කිරීම වැරදිද මං දන්නෙ නෑ." ඇය කියූ තම කතාව එතැනින් නැවැත්තුවා. මට ඇයගෙන් දැන ගැනීමට හැකිවුණේ එපමණයි.

කියෝෆිලස් සෙන්ට් ජේම්ස් ගෙ පිළිවෙල ගැන මං විමසිලිමත්ව බලා සිටින බව, ඔහුට වැටහෙන්න ඇති. ඔහුගේ කාමරයෙන් පිටවී තරප්පු පෙළ පහළට බැස්සාම පිවිසෙන්නේ, දුර මැනීම පුහුණු වන පිනුම් පිටියට. ඒ අසලම විශාල බීච් ගසක් තියෙනවා. සංගීත කාමරය නමින් හැදින්වෙන පියානෝව තබා ඇති කාමරයට බැස යා හැකි, තරප්පු පෙළ තිබෙන්නේත් ඒ අසළමයි.

රෑ කෑමෙන් පස්සේ බීච් ගසට මුවාවී, මම සෙන්ට් ජේම්ස්ගෙ කාමරයේ දොර දෙස බලා සිටියා. ඔහුගේ ජනේලයෙන් කාමරය තුළ පහනක දීප්තිමත් ආලෝකය මට දකින්නට ලැබුණා. කවුරුන් හෝ ඔහු හමුවීමට එනවාද යන්න දැන ගැනීමටයි මට උවමනා වුණේ. පැය කාලක් පමණ ගතවෙද්දී කිසිවෙකුගේ පියවර හඩක් මට ඈතින් අසන්නට ලැබුණා. ඒ, මා ඔබට කලින් කියූ සංගීත කාමරය දෙසින්. පහළ සිට ඉහළට නැගුණු පුද්ගලයා කවුරුන් වුණත්, තරප්පු පෙළ ඉහළට නැගුනේ දෙපා ඉතා සෙමෙන් පරිස්සමින් තබමින්. බීච් ගස අසලම තිබූ තාප්පය නිසා කාටවත් නොපෙනෙන ලෙස සැගවී ඉන්නට මට හැකියාව ලැබුණා.

පහළ සිට ඉහළට ආවේ අන් කවරෙකුත් නොවෙයි. තියෝෆිලස් සෙන්ට් ජේම්ස් මයි. එක හුස්මට තරප්පු නැගීම නිසා ඔහු හති දමමින් මොහොතකට එතැනම නැවතුනා. ඊළගට හොදින් වටපිට බැලුවා. එතැන තිබුණ මද එළියත්, අසාමාන්‍ය පියවර හඩත් නිසා ඔහු හදුනාගැනීමට මට අපහසු වුණේ නෑ. මිනිත්තුවක් පමණ එතැන රැදී සිටි ඔහු, ඊළට සෙමින් සෙමින් තමන්ගේ කාමරය දෙසට ගියා. එතැන තරප්පු පෙළ නැග, ඔහු කාමරයේ දොර විවෘත කලේ ශබ්දයක් නොනැගෙන අයුරින්. ඊළගට ඔහු කාමරයට වැදී දොර වසාගන්න සූදානම් වුණා විතරයි, මට කිවිසුමක් ගියා. මගේ ලේන්සුව ඇද ගැනිමටවත් මට වෙලාවක් තිබුණෙ නැහැ. ඉක්මනින්ම කබායේ අතින් නාසය සම්පූර්ණයෙන්ම වසා ගත්තත් ශබ්දය පිටවුණා. ඒක ඒ තරම් උස් ශබ්දයක් කියා මං හිතන්නෙ නැහැ. නමුත් රාත්‍රියේ තිබූ නිහඩතාවය නිසා, එය ඔහුට ඇහෙන්නට ඇති. ඔහු දොර වැසීම තවත්වා යළිත් පහළට ආවා. තරප්පු පෙළ පාමුළ සිට මා සිටි දිහාවම බලාගෙන සිටියා. ඔහු මා සිටි තැනට නොඒම මගේ වාසනාවක්. දෙවියන් බැලුවා වගේ දෙයක්. ඔහු ආවා නම් මගේ කෑලිවත් ඉතිරි කරන එකක් නැහැ. නිතර පීනස් රෝගයට ගොදුරු වන මට, රෑ පින්න අගුණයි. පින්න වැදුණොත් තමා කිවිසුම් යන්නේ.

මා සැගවී සිටි විශාල බීච් ගසේ නොයෙක් කුරුල්ලන් කූඩු සදා තිබෙනවා. සමහර වෙලාවට ඒ දිරාගිය අතු කැබලි බිමට වැටෙනවා. ඒ කූඩුවල ලැග සිටින කුරුල්ලන්ගේ කලබල නිසා. ඒ භම්දය එවැන්නක් වෙන්න ඇති කියා ඔහු සිතන්න ඇති. කොහොම හරි මිනිත්තු දහයක් විතර ඔහු කාමරය තුළට ගොස් දොර වසා ගත්තා. එතැන තවත් ටිකක් රැදී සිට පසුව මම මගේ කාමරයට ගියා. දැනට තොරතුරු එපමණයි.

මේ හිතවත්
හැරල්ඩ් වෙල්ඩ්"

"අපට ඉදිරියට යාමට අළුත් කිසිවක් නැහැ."

හෝම්ස් කීවේ ලිපිය ආපසු කවරයට දමා ඉවතින් තබමිනි.

"ස්කොට්ලන්ඩ්යාඩ් වෙත මා ගිය ගමනෙත් වැඩක් වුණෙත් නැහැ. අපරාධකරුවන්ගෙ ඡායාරූප එතුවේ, ආචාර්ය මැකාතිට යාන්තමින් හෝ සමාන කිසිවෙකු නැහැ.

ඊ ළගට මා අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ, බ්‍රිතාන්‍ය ආචාර්ය - මහාචාර්ය වරුන් පිළිබද නාමාවලිය පෙරළා බැලූ බව ඔබ දකින්න ඇති. ඔහු හැම්ස්ටේඩ් පළාතේ පළපුරුදු එමෙන්ම ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ්යෙක්. ඔහු නිරතුරුවම විශ්ව විද්‍යාලවල ඉගෙනගනිමින් උගන්වමින් කාලය ගත කළ කෙනෙක්. එහෙම කෙනෙකු අපරාධකාරයින්ගේ ලෝකට හැරුණු බවක් ඔබ අහලා තියෙනවද වොට්සන්..?"

"ඇයි නැත්තේ..? ඔබේ පරම සතුරා මහාචාර්ය ටොරියාටිත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් නේ. ඒක ඔබට අමතක වුණාද..?"

මම ඇසිමි.

"විශ්ෂ්ඨයි මගේ හිතවත් මිත්‍රයා..!"

හෝම්ස් උස් හඩෙන් සිනාසෙමින් අත් පොළසන් දුන්නේය. 

"මට ඒක කොහොමටවත් අමතක වුනෙත් නෑ. ජීවිත කාලයටම අමතක වෙන එකකුත් නෑ. මට උවමනා වුණේ ඔබේ මතකය සතුටු දායකද කියා විමසා බලන්න. මේ ප්‍රශ්නය ගැන කියනවා නම්, අලුතෙන් තොරතුරු මොනවා හරි ලැබෙන තුරු අපට කළ හැකි කිසිවක් නෑ."

"හෝම්ස්.. නරකද අපි බටහිර හැම්ස්ටෙඩ්හි මේ පාසලට ගිහින් මේ පුද්ගලයින් හමුවෙලා කතා බහ කර බැලුවොත්..?"

"මේ වෙලාවෙදි ඔබ කියන ආකාරයට, ප්‍රශ්නයට මැදිහත් විය හැකි ක්‍රමයක් මට පෙනෙන්නෙ නෑ."

"ඒ ඇයි..?"

"ඔබට පෙනෙන්නෙ නැද්ද වොට්සන්..? ඒක විදුහල්පතිතුමා සහ ගුරුවරයෙකු අතර ඇතිවෙලා තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්. මොන හේතුවක් නිසාද කියන එක අපි දන්නෙ නෑ. ඒකට ඇගිලි ගහන්න අපට අයිතියක් නැහැ. නීති විරෝධී යමක් එතැන සිදුවෙන බවක් අපට පෙනෙනවාද..? නෑ. සෙන්ට් ජේම්ස් ඉතාම අයහපත් පුද්ගලයකු වෙන්න ඉඩ ඇති කියා මට හිතෙනවා. ඒ වුණාට ඔහු නීතිය බිද දැමූ බවට අපට සාක්ෂි ලැබිල නෑ. කිසිම සාක්ෂියක් නෑ. ඔන්න ඔහු අපේ වෙල්ඩ් මහතාට පහර දුන්නා නම්, එහෙමත් නැත්නම් ඔහු රැකියාවෙන් අස් කරන්න කියා ආචාර්ය මැකාතිට බල කලා නම්..? එහෙනම් වෙල්ඩ් වෙනුවෙන් පෙනී හිටින්න, බාහිර කෙනෙකුට සුළු ඉඩකඩක් තිබුණා...."

මෙහිදී හෝම්ස්ගේ කතාවට බාධා සිදුවිය. ඒ දොරට තට්ටුකොට අපේ කාමරයට පිවිසි බිලී නම් සේවක ළමයා නිසයි.

"හෝම්ස් මහත්මයා ඔබට විදුලි පුවතක්.."

බිලී ළමයා කීය.

මගේ මිත්‍රයා එය අතට ගෙන දිග හැරියේ එක් ක්ෂණයකිනි. එහි මෙසේ සදහන් විය.

"හෙට උදේ නවයට ඔබ හමුවීමට එමි. අලුත් අත්දැකීම් කිහිපයක්, ඔබ හමුවී සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍යයි.

වෙල්ඩ්."

අපේ අනුග්‍රාහකයා පැමිණෙන තුරු පසුවදා අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. ඔහු නියමිත වේලාවට පැමිණියේය.

"හෝම්ස් මහත්මයා. මට දකින්න අහන්න ලැබෙන දෙයින්, මගේ හිත සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකටයි පත්වෙලා තියෙන්නෙ.

ආචාර්ය මැකාති නම් ඉතාම ගුණ යහපත් පුද්ගලයාට, සෙන්ට් ජේම්ස් සලකන්නෙ කොහොමද කියලා මං ඔබට කිව්වා. ඔහු කොයි තරම් නරකට තමන්ට සැලකුවත්, ආචාර්ය මැකාති ඒවා ඉවසනවා විතරක් නෙමෙයි. ඔහු අර දුෂ්ඨ පුද්ගලයාට හරිම හිතෛසී බවක් දක්වනවා. දෙන්නා රහසිගත හඩෙන් රහසිත කතාබස්වල යෙදෙන හැටි මට දකින්න ලැබිලා තියෙනවා. ඒක වාරයක් නෙමෙයි. කීප වතාවක්. ඊ ළගට හැන්දෑවෙ හොදටම ඇදිරි වැටුණට පස්සෙ එකිනෙකාට බොහොම සමීපව කතා බහ කරමින් ඇවිදින හැටි. ඒ පාසලේ ක්‍රීඩා පිටියට එහා පැත්තේ, පාසලටම අයත් උද්‍යානයේ පටු මාවත්වල.

මේ දෙන්නා අතර තිනෙ මේ ළග සම්බන්ධය මොකක්ද..? ඒ ගැන මගේ හිතේ ඇතිවුණේ ලොකු කුතුහලයක්. ඒක කොයිතරම් බලවත් වුණාද කිව්වොත්, මට මගේ හිත පාලනය කරගන්න බැරිවුණා. අනෙක් හැම වැඩක්ම අමතක කරලා මේ දෙන්නා ගැන, විශේෂයෙන්ම සෙන්ට් ජේම්ස් මහත්මයා ගැන බලන්න, මං පටන් ගත්තේ මටත් නොදැනිම. පාසල් කාලය තුළදී පාසල තුළත්, පාසලෙන් පිටත, කෑම කන වෙලාවට, සවස විවේක කාලයේදී, හැමවිටම මගේ දෙනෙත් ඔවුන් වෙත යොමු වී තිබුණා. මට උවමනා වී තිබුණෙ මේ අභීරහස විසදගන්න.

නමුත් අවාසනාවක හැටි. මගේ දැඩි අවධානය දුර දිග ගියා වැඩියි. එක්කෙනෙකු අනිකා පාලනය කළ හැටි, මං මවිචයෙන් බලා හිටි ආකාරය තියුණු වැඩියි. එක් රාත්‍රියක සෙන්ට් ජේම්ස් ඔහුගේ කුරිරු දෙනෙත් මා වෙත යොමුකරගෙන බලාගෙන සිටියා. මට හිතුණෙ ඔහු ඇසිපිය නොහෙළාම මං දිහා බලාගෙන ඉන්නවා වගේ. මොකක් හරි භයානක දෙයක් සිදුවෙන්න එනවා කියලා මට ඉවෙන් වගේ වැටහුනා. ඒ හින්දා පහුවදා උදේ ආචාර්ය මැකාති ඔහුගේ කාර්යාලයට මාව කැදෙව්වාම, මං පුදුම වුණේ නෑ.

"මට බොහොම කණගාටුයි වෙල්ඩ් මහත්මයා." 

ඔහු මට කිව්වා.  

"ඔබට ලබා දුන් ගුරු පත්වීම අවසන් කරන්න මට සිදුවෙනවා." 

 "එහෙම කරන්නෙ ඇයි කියන එකට හේතුවක් ඇති." මං කිව්වා. "මං කැමතියි ඒක දැනගන්න. ඒ මොකද ශීෂ්‍යයින්ට ඉගැන්වීමේ කටයුතු මං මට හැකි උපරිම අන්දමින් කළා. මට විරුද්ධව ශිෂ්‍යයන්ගෙන් හෝ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් පැමිණිලි ලැබිලා තියෙනවද..?"

"ඔබට විරුද්ධව ඔවුන්ගෙන් කිසිම චෝදනාවක් නැහැ." ඔහු කිව්වෙ ලැජ්ජාවෙන් රතු වෙමින්."

"එහෙම වුණත් සෙන්ට් ජේම්ස්ගෙ කීමට ඔබ මාව රැකියාවෙන් අස් කරනවා.. එහෙම නේද..?"

මං ඇහුවා.

අහක බලාගත් ආචාර්ය මැකාති ඊ ළගට කථා කළේ ජනේලයෙන් ඉවත බලාගෙන.

"වෙල්ඩ් මහත්මයා. අපි ඔය ප්‍රශ්නය ගැන සාකච්ඡා නොර ඉමු. ඒක මට කතා කරන්න හරි අමාරු මාතෘකාවක්. මං ඔබට සාධාරණයක් කරන්නම්. ඔබට ඉතා ඉක්මනින් හොද රැකියාවක් ලබාගැනීම පහසු වෙන්න, මං දෙන්නම් හොද සේවා සහතිකයක්. ඔබ ගැන ඉතා විශිෂ්ට සහතිකයක් දෙන්නම්. ඊට වඩා දෙයක් මට කියන්න බෑ. ඉක්මනින් වෙනත් රැකියාවක් හොයාගන්න. ඒ වෙන තුරු දින කිහිපයක් මෙහි රැකියාව කළාට මගේ අමනාපයක් නෑ."

මට සිදු වූ අසාධාරණය ගැන මගේ හිතේ ඇතිවුණේ ඇඩි කෝපයක්. මා කළ වැරැද්ද ගැන සදහනක් කළේ නෑ. අභියාචනයක් කරන්න මට අවස්ථාවක් නෑ. මට කළ හැකිව තිබුණේ ඔහුට හිස නමා කාමරයෙන් පිටවී යාම පමණයි.

මට එක්වරම හිතුණේ. මගේ ගමන්මලු ට්‍රන්කපෙට්ටි වල බඩු අහුරාගෙන එහෙන් පිටවෙලා එන්න. ඒ වුණත් විදුහල්පතිතුමා ගෙන් මට එක් අවසරයක් ලැබී තිබුණ බව මට අමතක වුණා. ඒ, තවත් රැකියාවත් ලැබෙන තුරු ඒ විදුහලේ රැදි සිටීමට අවසරය. මාව එතනින් ඉක්මනින් පන්නා ගැනීමේ උවමනාව තිබුණේ සෙන්ට් ජේම්ස්ට. ඔහුට මාව පේන්න බැහැ. අන්න ඒ හින්දා මාත් මට පුළුවන් තරම් කාලයක් ඔතැන ඉන්න ඕන. මං එහෙම හිතාගත්තා.

මගේ හිතේ ඔහු ගැන ඇතිවුණේ වෛරයක්. ඔහුට කිසිම හිරිහැරයක් නොකළ මා, මේ හොද රැකියාවෙන් පන්නා දමන්න තරම් ඔහු කෘර මිනිහෙක්. මට පුළුවන් කමක් තිබුණොත් මං මගේ පළිය ගන්නවා කියලා හිතාගත්තා.

විදුහල්පතිතුමා යටත් කරගන්න පුලුවන් රහසක්, සෙන්ට් ජේම්ස් හොයාගෙන තියෙනවා නේ. ඔහුව යටත් කරගත හැකි රහසක් මං හොයාගන්නවා. මං ඉතා විමසිල්ලෙන් දැඩි අවධානයෙන් තමන් දිහා බලාගනෙ ඉන්න බව සෙන්ට් ජේම්ස් දැකලා. ඇයි ඉතිං ඔහු ඒකට බය..? ඒ කියන්නෙ ඔහුගේ මොකක් හරි රහසක්, දුර්වල කමක් තියෙන නිසානේ. මං මගේ නම යළිත් වරක් රැකිරක්ෂා සොයා දෙන ආයතනයේ ලියාපදිංචි කළා. ඒ වුණත් පාසලෙන් ඉක්මනින් ඉවත් නොවෙන්න මං තීරණය කලා.

දවසෙ වැඩ රාජකාරි ඉවර කළාට පස්සෙ, හැන්දෑවට ඇවිදින්න යාම මගේ පුරුද්දක්. මං ආපහු එන්නෙ ඇදිරි වැටුණටත් පස්සෙ. පෙරේදා රාත්‍රියේ තිබුණෙ දැඩි සීතලක්. ඒ වගේම වේගයෙන් සීතල සුළං හමා ගියේ වැස්සක් ළග එන බවට ලකුණු පළ කරමින්.

ක්‍රීඩා පිටිය හරහා අපේ නවාතැන පිහිටි ගොඩනැගිල්ල දෙසට මං ඇවිදගෙන ආවා.  මං පැළද සිටියේ රබර් අඩිය සහිත පාවහන්. ඒ නිසා තණකොල මතින් එද්දි ශබ්දයක් ඇහුණෙ නෑ. ඉදිරියට ආ මට දකින්නට ලැබුණෙ, මෙතරම් දිනකට දකින්නට නොලැබුණු දසුනක්. භෝජන ශාලාව පිහිටි අංගනයේ කොරිඩෝව ළග සැගවී, කවුදෝ නාදුනන මිනිහෙක්, වකුටු වී ජනේලයෙන් ඇතුළ බලමින් හිටියා. කාමරය ඇතුළත තිබූ ජනෙල් රෙද්දෙන් ජනෙල් වීදුරුව ආවරණය වී තිබුණා. නමුත් රෙද්දෙන් ආවරණය නොවී ඉතිරිව තිබූ තීරුවකින් තමයි අර මිනිහා බලාන හිටියේ. මගේ අඩ ශබ්දය ඇහිලා වෙන්න ඇති, වකුටු වී සිටි තැනින් නැගී සිටි ඔහු ඉක්මනින් එතැනින් පිටවී ගියා. ඔහු පාර දෙසට දිව ගිය අඩි ශබ්දය මට ඊළගට අහන්න ලැබුණා. මා දුටු දේ ගැන විදුහල්පතිතුමාට දැනුම් දීම මගේ යුතුකමක් බව මට සිහිවුණා. මං ඒවෙලේම එතුමා හමුවෙන්න ගිහිං ඒ බව දැනුම් දුන්නා.

මේ තොරතුරෙන් ඔහුගේ සිතේ යම් කලබලවීමක් ඇතිවෙන බව මං දැනගෙන හිටියා, නමුත් ඔහුගෙන් පළ වුණේ මං නොහිතූ ආකාරයේ බරපතළ, ක්ෂණික ප්‍රතිචාරයක්. ඔහු තිගැස්සුනේ මරණිය ප්‍රහාරයක් එල්ලවුණු කෙනෙක් වගේ. භිතියෙන් සුදුමැලි වූ ඔහු පුටුව මතට ඇද වැටුණේ, අමාරුවෙන් හුස්ම අල්ලමින්.

"මොන ජනේලයද වෙල්ඩ් මහත්මයා..? මොන ජනේලයද..?"

ඔහු වෙව්ළන කටහඩින් විමසුවේ නළලේ දහඩිය පිසදමමින්.

"කෑම ශාලාවට යාබද කාමරයේ, ඒ කියන්නෙ සෙන්ට් ජේම්ස්ගෙ කාමරයෙ ජනේලය."

"අනේ දෙවියනේ..! මොන තරම් අවාසනාවක්ද..? සෙන්ට් ජේම්ස්ගෙ ජනේලය ළග කෙනෙක් ඔත්තු බලනවා..!"

ඔහු තමන්ගේ දෑත් ඇඹරුවේ සිහිවිකල් වූ කෙනෙකු වගේ.

"මහත්මයා. මං ගිහින් මේ ගැන පොලීසියට දැනුම් දෙන්නද..?"

මං ඇසුවා.

"එපා! එපා!"

ඔහු කෑගැසුවා. 

"මේක සුළු දෙයක් වෙන්න ඇති. ඒ හිනිහා හිගන්නෙක් වෙන්න ඇති. ඔහු මුදලක් හිගාකන්න ආ කෙනෙක් වෙන්න ඇති. ඒ සිද්ධියේ කිසිම වැදගත් කමක් නෑ. වෙල්ඩ් මහත්මයා. ඔබට යන්න පුළුවනි. මං තවත් ඔබව රදවා ගන්නේ නෑ."

මෙතැන කිසිම ප්‍රශ්නයක් නොමැති බැව් ඔහු සහතික කර කිව්වා. නමුත් ඔහුගේ මුහුණෙන් පෙණුනේ, අතිශය භිතියට පත් ලකුණු. එතැනින් පිටවෙලා ටිකක් දුර ආවත් මං මග නැවතී ආපසු බැලුවා. මගේ දෙනෙත් යොමුවුණේ සෙන්ට් ජේම්ස්ගේ ජනේලය වෙත. මට දකින්නට ලැබුනේ කුමක්ද කියා ඔබට සිතිය හැකිද..? මං දුටුවෙ ආචාර්ය මැතිකාගේ ඡායාව. ඔහු වහාම ගිහින් සෙන්ට් ජේම්ස් හමුවෙන්න. ඔහු කාමරයේ දොර  විවෘත කොට ආචාර්ය මැකාති ඇතුළට කැදවා ගත් හැටි මං දුටුවා. මෙතැන තිබෙන අභිරහස කුමක්ද..? කිසිම අයුරකින් එකිනෙකාට සමාන කමක් නැති මේ මිනිස්සු අතර තිබෙන රහස් හිතවත් කම මොකක්ද..? කොයිතරම් කල්පනා කලත් මට පිළිතුරක් ලැබුණෙ නෑ. සති අන්තය නිසා කොහොමටත් හෙට ලන්ඩනය බලා එන බලාපොරොත්තුවෙන් මං හිටියේ. මේ ගැන ඔබට ඉක්මනින් දැනුම් දිය යුතු නිසා මං අදම ආවා."

"වෙල්ඩ් මහත්මයා. ඔබ ආපසු යන්න බලාපොරොත්තු වෙන්නේ කවද ද..?"

හෝම්ස් ඇසුවේය.

"ඉරිදා සවස හතරට මං පිටත් වෙනවා. ඒ මොකද සදුදා උදේ වරුවෙත් මට පන්ති තියෙනවා."

"ඒ දක්වා ඔබ රැදී සිටින්නේ කොහෙද..?"

"මගේ නවාතැනේ. මං එහි ලිපිනය ඔබට දෙන්නම්.."

හෝම්ස් එය සටහන් කරගත්තේය.

"මේ අවුල මොකක්ද කියා ඔබට පහදා දීමට, මට තවමත් හැකියාවක් නෑ. නමුත් එය ඉක්මනින් විසදීමට හැකිවේවි කියාල මං විශ්වාස කරනවා."

හෝම්ස් කීවේය.

"තවත් එක දෙයක් තියෙනවා හෝම්ස් මහත්මයා."

කී වෙල්ඩ් මහතා තම කබා සාක්කුවෙන් දිනපොතක් එළියට ගත්තේය. එය විවෘත කළ ඔහු දෙකට නමා තිබූ ලියුම් කවරයක් ගෙන විවෘත කළේය.

"සෙන්ට් ජේම්ස්ගේ ඡායාරූපයක් ගැන ඔබ මගෙන් විමසුවා නේද..? පසුගිය දවස් කිහිපයේ එවැන්නක් සොයා ගැනීමට මං මගේ සම්පූර්ණ උත්සාහය යෙදෙව්වා. මේක මට හමුවුනේ පුස්තකාලයේ පරණ ලිපි ගොනුවක තිබී. මේ පාසලේ සරෂ සංදර්ශනයක දර්ශන. ආචාර්ය මැකාති සමග සෙන්ට් ජේම්ස් මෙහි සිටිනවා. මේක ඔහු නොදැන ගත් ඡායාරූපයක් විය හැකියි. ඒ සමගම තිබෙනවා ඔහු ලියූ සටහනක්. ඒකත් මං පොතකින් ඉරාගෙන ආවා. පුස්තකාලය භාවිතයේදී පිළිපැදිය යුතු නීතිරීති නමින් ඔහු ශිෂ්‍යයන් සදහා ලියූ දැන්වීමක්. "

"ඔබට බොහොම ස්තුතියි වෙල්ඩ් මහත්මයා."

හෝම්ස් කීවේ එය භාර ගනිමිනි. 

"දැන් අපේ වැඩ කටයුතු පහසු විය යුතුයි. ළගදීම දිනයක ඔබේ පාසලට පැමිණිමට මං බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දිනය කවදාද කියා කල් තබා දැනුම් දීමට මට හැකියාවක් නැහැ."

අපේ අමුත්තා පිටවී ගිය පසු ඡායාරූපයත්, අත් අකුරු සහිත කඩදාසියටත් මගේ මිත්‍රයා අවධානය යොමු කළේය. සෑහෙන වේලාවක් ඒවා නිරීක්ෂණය කළ ඔහු, තම පරණ "ස්කැප්" පොත් කිහිපයක් පොත් රාක්කයෙන් ඉවතට ගෙන, එවායේ පිටු වේගයෙන් පෙරලාගෙන ගියේය. මීළගට කඩදාසි කැබැල්ලක යම් යම් දේ සටහන් කරගෙන, හෝම්ස් වහා නිවහනෙන් පිටවී ගියේය. තමා ආපසු එන විට තරමක් ප්‍රමාද වන බැවින්, ඔහු එනතුරු බලා නොසිට කෑම ගන්නා මෙන් මට දැනුම් දුන්නේය. මගේ මිත්‍රයා මේ අයුරෙන් කටයුතු කරන්නේ, ඔහුට යම් කරුණක් පිළිබදව ඉවක් වැටුණු විට බැව් මා දැන සිටියේය. එවැනි වේලාවකට මම ඔහුගෙන් ප්‍රශ්න ඇසීමෙන් වැලකී සිටියෙමි.

මද වැසි සහිත දිනයක් වූ එදා සවස, මම හාන්සි පුටුවට වී පුවත්පතක් කියවමින් සිටියෙමි. සවස දෙකට පමණ හෝම්ස් නිවසට පැමිණියේ කලබලයෙනි.

"වොට්සන්. ඔබ කැමතිද බටහිර හැම්ස්ටෙඩ් වෙත යන්න, මේ දැන්මම..?"

"අකමැත්තක් නෑ.."

"එහෙනම් ඉක්මන් කරන්න. මම දෙන්නම් ඔබට සූදානම් වීමට මිනිත්තු දහයක්... අමතක කරන්න එපා. ඔබේ රිවෝල්වරයත් සාක්කුවට දමාගන්න.."

මින්ත්තු විස්සක්  ගතවෙද්දි අපි දුම්රියෙන් බටහිර හැම්ස්ටෙඩ් වෙත ගමන් කරමින් සිටියෙමු. මට කිසිවක් කීමට කැමති නොවූ ඔහු, පයිප්පය දල්වාගෙන, කල්පනාවට වැටි සීටියේය. දුම්රිය පොළෙන් අපි කුලී රියක නැග්ගෙමු. මද වැස්සක් ඇද හැළුනද එයින් අපේ කටයුතුවලට බාධා නොවීය.

"මහත්මයා විලෝ ලී හවුස් විද්‍යාලයට පිවිසෙන්නේ මෙතනින්.."

කුලීරථ රියදුරා කීය.

"ඔබට උවමනා නම් මට පුළුවනි විදුහල්පතිතුමාගේ නිවසටම ඔබ ගෙන යන්න."

"උවමනා නෑ. ඔබට ස්තුතියි."

කී හෝම්ස් කුලීරථ රියදුරාට මුදල් ගෙවා ඔහු යැවීය.

"මගේ මිත්‍රයන් පිරිසක් එනවා කිව්වා මෙතනදී මා හමුවෙන්න. බලමු වෙලාව....... උවමනා නෑ. මේ එන්නේ ඔවුන් විය යුතුයි."

ඒ සමගම අප සමීපයට පැමිණි ලොකු කුලීරිය නවත්වන ලදී. එයින් බිමට බැස්සේ කලිස්ම් කබා සහිත සම්පූර්ණ පොලිස් නිල ඇදුමෙන් සැරසුණු තිදෙනෙකි.

"මේ මගේ මිත්‍රයා දොස්තර වොට්සන්. මේ ෆර්ගසන්, හේග් සහ හක්ස්ලි යන මහත්වරු, ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියෙන්, දැන් අපි පිටත් වෙමු. වෙලාව රෑ දහයට ළගයි."

විලෝ ලී හවුස් විද්‍යාලය පිහිටා තිබුණේ, එතැන සිට යාර දෙසීයක පමණ දුරින්, විද්‍යාල භූමියට අයත් කදුගැටයේ බැව් හක්ස්ලි මහතා පැවසීය. කලකට පෙර මෙම ප්‍රදේශයේ පොලීසියේ සේවය කර තිබූ ඔහු, මීට පෙර කිහිප වතාවක්ම මෙම පාසලට පැමිණ සිටි අයෙකි.

"මහත්වරුනි, හැකිතරම් නිශ්ෂබ්දව ගමන් කරමු."

හෝම්ස් කීය.

"අපට කටයුතු කරන්න සිදුවෙලා තියෙන්නෙ භයානක මිනිහෙක් සමග. ඔබේ ගිනි අවි සූදානම්ව තබාගන්න. මගෙන් අණ ලැබෙන තුරු කිසිවක් කරන්න එපා."

අපට මුලින්ම දක්නට ලැබුණේ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ ප්‍රමාණයෙන් විශාල ඝන්ඨාවකි. විද්‍යාලයේ ප්‍රධාන සීනුව ලෙස භාවිත කරන්නේ එය බැව් හක්ස්ලි කීය. පිට්ටනිය හරහා ගමන් කළ අපි ගොඩනැගිලි සංකීර්ණය වෙත ළගාවූයෙමු. එහි දකුණු කෙළවරේ වෙන්ව පිහිටි නිවස, විදුහල්පතිතුමාගෙ නිවස බැව් මග පෙන්වන්නා කීය.

"ඉස්සර වෙලා අපි බලන්න ඕන, සෙන්ට් ජේම්ස් ගුරුතුමා ඔහුගේ කාමරයේ ඉන්නවද කියල."

හොම්ස් කීවේ මෘදු හඩිනි. 

"මේ තියෙන්නෙ අර දුර පැනීම් කරන පිටිය. මේ බීච් ගස. අර තියෙන්නෙ භෝජන ශාලාව. ඒකට යාබද කාමරය තමයි සෙන්ට් ජේම්ස්ගෙ කාමරය. ඒකෙ කිසිම එළියක් නෑ. ඔහු නින්දට ගිහින්ද.? නැත්නම් කාමරයෙන් පිටවී ගිහින්ද.? මං ඒක බලාගන්නම්. එතෙක් ඔබ හැමදෙනෙක්ම මෙතැන ඉන්න. මං සංඥා කළොත් පමණක් එතැනට එන්න." 

දුර පැනීමේ පිටිය හරහා ගමන් කල මගේ මිත්‍රයා, තම පාවහන්වල පතුල් තණ බිස්සෙන් පිසදමා ගත්තේය. මීළගට ඔහු තරප්පු පෙළ ඉහළට නැගුනේ කිසිදු ශබ්දයක් නොනැගෙන අයුරිනි. මිනිත්තු දෙකක් පමණ ගත වෙද්දී, හෝම්ස් හෙමින් හෙමින් ආපසු ආවේය. මීලගට අපේ අනුග්‍රාහකයා වූ හැරල්ඩ් වෙල්ඩ්ගේ කාමරය දෙසට හෝම්ස් පා නැගුවේය. තවත් මිනිත්තුවකින් හෝම්ස් අප වෙත එද්දි වෙල්ඩ් මහතාද ඒ සමග විය. ඔහු අතේ සැරයටියක් විය.

"ඔහු කාමරය තුල නැහැ."

හෝම්ස් කීය.

"බොහෝ විට ඔහු විදුහල් බිමෙන් පිට ගිහින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙල්ඩ් මහතා අපට කියූ විදියට, විදුහල්පතිතුමාගේ නිවස තුළ කතා බහක වෙන්නත් පුළුවනි. අපි ඒ පැත්තට ගිහින් බලමු. ෆර්ගසන් ඔබ මේ ක්‍රෝටන් පදුරු පිටුපස සැංගී සෝදිසියෙන් සිටින්න. අනිත් අය එන්න මා සමග."

හක්ස්ලිගේ මග පෙන්වීම අනුව, අප විදුහල්පතිතුමාගේ නිවස දෙසට ගමන් කළෙමු. දෙදෙනෙකු බහින් බස් වෙන හඩ, මද දුරක් යද්දීඹ අපට අසන්නට ලැබිණ. එක් අයෙකුට තිබුණේ මෘදු හඩකි. අනෙකාගේ හඩ තියුණු සැරපරුෂ එකක් විය. අන්ධකාරයේ, අඩියෙන් අඩිය අපි ඒ දෙසට ළංවිමු.

"ඔතන තියෙන හැම පවුමක්ම මට ඕනේ. ඔබ ඒක දෙන්නේ නැත්නම් මං ඒක බලෙන් ගන්නවා. ඇහුණද මං කිව්ව දේ..?"

ඒ සැරපරුෂ හඩ සෙන්ට් ජේම්ස් ගුරුතුමාගේ විය යුතුය.

ඊට ආචාර්ය මැකාති දුන් පිළිතුර අපට නොඇසින. එහෙත් ඊට අනෙකා දුන් පිළිතුර පැහැදිලිව ඇසිණ.

"මං එහෙම කළොත් ඔබ හිගන්නෙක් වෙනවා..? මේ ඉස්කෝලෙ රත්තරන් ආකරයක් වගේ. නාකි මිනිහෙකුට ජීවත්වෙන්න ඒ මදිද..? අතට සෑහෙන මුදලක් ඇතුව, මං කොහොමද ඕස්ට්‍රේලියාවට යන්නේ..? එහෙට ගියත් රස්සාවක් කරන්න කොපමණ කාලයක් ගතවේවිද කියලා කවුද දන්නේ..? එතකං මං කොහොමද කන්නෙ බොන්නේ..? ඒකට දෙන්න උත්තරයක්.."

විදුහල්පතිතුමා ඊට පිළිතුරු දුන්නේ මෘදු මොලොක් හඩිනි. එහෙත් එයින් අනිකා කෝපයට පත් වූ බැව් අපි තේරුම් ගතිමු.

"මං වෙනුවෙන් හුගක් වියදම් කරලා තියෙනවා..? ඔව්. ඒ මගේ පරිස්සමට නෙමෙයි. ඔබේ හොද නම ආරක්ෂා කරගන්න. ඔය කතා කළා ඇති. හෙට එළිවෙන්න කලින් මං ඉන්න ඕන සුවුත් හැම්ටන් වරායේ. තව පැය ගණනයි තියෙන්නේ.. ඔබේ ඔය සේප්පුව අරිනවද නැද්ද..?"

"ජේම්ස්.. උඹ ඔය විදියට මට කතා කරන්නෙ මොන හිතකින්ද..? උඹේ හිතේ නැද්ද අනුකම්පාවක්..?"

විදුහල්පතිතුමා වේදනාත්මක හඩකින් විමසනු ඇසිණ. ඒ සමගම දෙදෙනෙකු පොර බදන හඩ හා කිසිවෙකු බිම වැටෙන ශබ්දය අපට අසන්නට ලැබිණ. හෝම්ස්ගේ සංඥාව අනුව අපි වහා කාමරයට කඩා වැදුණෙමු.

ඒ ශබ්දයෙන් ඔවුහු තිගැස්සුණහ. සෙන්ට් ජේම්ස් යයි සිතිය හැකි තරබාරු තරුණ පුද්ගලයා වෙල්ඩ් දෙසට කඩා පැන්නේ කෝපයෙන් ඝර්ජනා කරමිනි. සතුරාට පහර දීම සදහා වෙල්ඩ් සැරයටිය ඉස්සුවේය. එහෙත් පොලිස් භටයෝ ක්ෂනිකව ක්‍රියාත්මක වූහ. ඒ සැණෙකින් තක්කඩියාගේ දෑත් වලට විලංගු දැමීමට අප සමග සිටි පොලිස් භටයෝ සමත් වූහ.

සෙන්ට් ජේම්ස්ගේ පහරින් බිම ඇද වැටුණු ආචාර්ය මැකාතිට උදව් කර, ඔහු පුටුවක් වෙත ගෙන එන ලද්දේ වෙල්ඩ් මහතාය.

"ආචාර්ය මැකාති, මට මේ හැමදෙයක්ම අභිරහසක්.."

වෙල්ඩ් කීය.

"කවුද මේ මිනිහා..? ඇයි ඔබ ඔහු කරන හැම වැරැද්දක්ම ඉවසාගෙන හිටියේ..?"

"මහත්වරුනි, මං හැමදෙයක්ම කියන්නම්. මට වතුර උගුරක් දෙන්න."

ඒ ඉල්ලීම අනුව වෙල්ඩ් තරුණයා ලබා දුන් වතර වීදුරුව පානය කළ ආචාර්ය මැකාති, තම කථාන්තය අපට පැවසුවේය.

"මහත්වරුනි. මට දැන් ඔබට හංගන්න දෙයක් නැහැ. පොලීසිය මෙහි ඒමෙන් තෙරෙන්නේ, හැම දෙයක්ම එළි වූ වගයි. ඒ වුණත් වෙල්ඩ් මහත්මයා ඔබ ඇසූ ප්‍රශ්නයට මා පිළීතුරක් දිය යුතුයි. මට පහර දුන්, මෘගයෙකු වන් මේ අවාසනාවන්ත පුද්ගලයාගේ සැබෑ නම ජේම්ස් මැකාති. ඔහු තමයි මගේ එකම පුත්‍රයා..!"

"ඔබේ පුතා..?"

"ඔව් අවාසනාවක මහත. මේ වගේ දඩුවමක් ලැබෙන්න දෙවියනේ මං කළ වරද කුමක්ද..? ඔහු කුඩා කාලයේ සිටම කළේ මගේ ජීවිතය ඉතා අවාසනාවන්ත එකක් කිරීමයි. කුඩා අවදියේ සිටම ඉතාම නොහික්මුණු, අකීකරු, හිතුවක්කාර වුණු ඔහු, හරි මගට ගන්න මම මොන තරම් උත්සාහ දැරුවාද..? නමුත් කිසි වැඩක් වුණේ නැහැ.

දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට ඔහු හිරභාරයට ගැනුණේ වයස අවුරුදු විස්සෙදි. එයින් දැඩි කම්පාවකට පත්ව සිටියේ මගේ බිරිද අංශ බාගය සෑදි ඔත්පළව, ඉක්මනින් මියගියා. ඔහු කළ අපරාධ පිළිබද තොරතුරු මේ මහත්වරු ඔබට කියාවි. මරණ දඩුවම නියමිත වූ ඔහු සිටියේ ප්‍රින්ස්ටන් බන්ධනාගාරයේ. එතැනදී කොහොම හරි හිරෙන් පැනගන්න ඔහු සමත්වුණා. ඔහු ආවෙ මේ ගෙදරට ඒ අවුරුදු තුනකට කලින්.  ඔහු ආවෙ සාමාන්‍ය ඇදුමකින් සැරසිලා. ඒ නිසා ඔහුව අදුනගන්න කාටවත් හැකි වුනේ නෑ. පොලීසියෙ මූලික සෝදිසි කිරීම් අවසන් වන තුරුම, මං ඔහුව ගෙදර සෝල්දරයේ ගබඩා කාමරය සගවාගනෙ සිටියා. ඊට පස්සෙ ගුරුවරයෙකු ලෙස රැකියාවක් දී මේ විදුහලේම තබාගත්තා. සිතේ වේදනාවෙන් මියගිය ඔහුගේ අම්මා වෙනුවෙනුයි මං ඒ දේ කළේ. මට වෙන විකල්පයක් තිබුණෙ නැහැ. මං කොහොමද ඔහු පොලීසියට භාර දෙන්නේ..? ඔහු දවල් වෙලාවට විද්‍යාලයෙන් පිටතට ගියේ නැත්තෙ ඇයි කියලා, ඔයාලට දැන් තේරෙනවා ඇති.

කෙනෙක් රහසින් ඇවිත් ඔහුගේ කාමරය දෙස විමසිල්ලෙන් බලා හිටි බව ඔහු මට කිව්වා. පොලීසියට ඔහු ගැන ඔත්තුවක් ලැබී ඇති බව, මං එයින් තේරුම් ගත්තා. අන්තිමේදි ඔහුට මේ රටෙන් පිටවී ඕස්ට්‍රේලියාවට යන්න කීවේ මම. නමුත් ඔහුට උවමනා වුණේ මා ළග තිබූ අන්තිම පැන්සය දක්වාම අරගෙන යන්න. මං දන්නවා මං කළේ ලොකු නීතිවිරෝධී කටයුත්තක් බව. හිරෙන් පැන ගිය අපාරාධකාරයෙකු මෙහි හංගාගෙන සිටීමෙන් මටත් දඩුවම් ලැබෙන බව මං දන්නවා. මං ඒ දේ කළේ ඔහුගේ අසරණ අම්මා වෙනුවෙන්. නමුත් පසුගිය අවුරුදු තුනක කාලයක් මේ පාසලේ මං වින්ද දුක ගැන හිතෙනකොට, නීතියෙන් මට ලැබෙන දඩුවම හිතට එච්චර වේදනාවක් ගෙන දෙන එකක් නැහැ."

කී මැකාති තම මුහුණ දෑතෙන් වසාගත්තේය.

"මෙම සිදුවීමට අපරාධකාරයෙකු සම්බන්ධ බවට අපට මුලදී කිසිම සලකුණක් දකින්න ලැබුණෙ නැහැ. එහෙම නේද වොට්සන්..?"

මගේ මිත්‍රයා විමසුවේ පසුවදා සවස බේකර් වීදියේ අපේ නිවහනේ ගිනි උදුන අසලට වී කතා බහ අරඹමිනි.

"ඕනෑම සුළු සිදුවීමක ගැඹුරෙත්, අපරාධකාරයෙකු සැගවී ඉන්න පුළුවන්. මේක ඒකට හොද සාක්ශියක්. ජේම්ස් මැකාති ඒ කාලයේ සම්බන්ධ වූ සිද්ධි ගැන ඔභට තවමත් මතක ඇති කියා මං හිතන්නෙ නෑ. මෙන්න මේ ප්‍රවෘත්තිය කියවලා බලන්න."

කී හෝම්ස් පැරණි ස්ක්රැප් පොතක පිටුවක් පෙරලා දුන්නේය.

"ටර්නර් වීධියේ ද්විත්ව ඝාතනය"

ටර්නර් වීධියේ අංක 33 දරණ ස්ථානයේ පදිංචිව සිටි 77 හැවිරිදි ජෝන් ගුඩ්මන් ලේවි සහ නිවසේ මෙහෙකාරිය මූ මේරී ගේල් නම් තැනැත්තිය පෙරේදා රාත්‍රී ඝාතනයට ලක්වී ඇත. රන් බඩු උකස් ගන්නෙකු ලෙස දැන්වීම් පුවරුවක් එල්ලා තිබුණත්, ගුඩ්මන් ලේවී ගේ සැබෑ වෘත්තිය එය නොවේ. ඔහු කලේ සොරකම් කරන ලද රන් රිදී  දියමන්ති හා මැණික් මිළට ගැනීමයි. සොර බඩු ළග තබා ගැනීම ගැන ඔහු කිහිපවාරයක්ම පොලිස් අත්අඩංගුවට පත්වූ තැනැත්තෙකි. මෙම ඝාතනයට හේතුව, ගනුදෙනුවකදි සිදුවූ ආරවුලක් යන්න පොලීසිය සැක කරයි.

ඊට පහළින් මෙම පුවත අළවා තිබිණි.

දින දෙකකට පෙර ටර්නර් වීදියේ සිදු වූ ද්විත්ව ඝාතනය සිදුකළ අපරාදකරුවා අත්අංගුවට ගැනීමට වයිට්චැපල් පොලීසියේ සාජන්ට් වෙන්ස්ලි සමත්විය. විලියම් සීමන් නමින් ප්‍රසිද්ධ අපරාධකරු, නැගෙනහිර ලන්ඩනයේ රාත්‍රී සමාජශාලාවක සූදු ක්‍රීඩාවල යෙදෙන්නෙකි. ඝාතනයට හේතුව ක්ෂණික කෝපය බැව් අපරාධකරු පාපොච්චාරණය කරමින් කියා සිටියේය. මීට පෙරද නොයෙක් අපරාධ සදහා අත්අඩංගුවට පත් මොහුගේ සැබෑ නම, ජේම්ස් මැකාති බවට සාක්ෂි හමු වී ඇත.

"මේක සිදුවෙලා අවුරුදු හතරකටත් වැඩියි."

හෝම්ස් කීවේ මා පොත වසා දමද්දීය.

"මැකාත් අත්අඩංගුවට පත් වුණේ සිද්ධිය ඇසින් දුටු කෙනෙක් දුන් සාක්ෂි අනුවයි. බේරෙන්න ක්‍රමයක් නොමැති බව පෙනුණම ඔහු කිව්වා, ගුඩ්මන් තමාට පහරදී බෙල්ල මිරිකීමට උත්සාහ කළ බවත්, එවෙලේ ඇතිවූ ක්ෂනික කෝයප නිසා තමා අතින් ගුඩ්මන් මරණයට පත්වූ බවත්.

සිද්ධිය දුටු නිවසේ මෙහෙකාරිය විලාප නගමින් තමාට පිහියෙන් ඇනීමට උත්සාහ කළ නිසා, ඇය ද ඝාතනය කළ බව මැකාති කීවා. නමුත් මේ මිනීමැරුම ඉතාම සැලසුම් සහගතව කළ ඒවා බව රාජ නිතීඥ්වරයා ඔප්පු කළා. මරණ දඩුවම නියම වෙලා බෝඩ්මුවර් ගිරගෙදරට යැවුණු විලියම් සීමන් හෙවත් මැකාති දින දෙකක් යන්න කලින් හිරෙන් පැන්නා.

මේ බලන්න වොට්සන්. තවත් පුවත්පතක පළවුණු වර්ථාවකුත් මේකේ අලවලා තියෙනවා. ඒකෙ තියෙනවා තවත් විස්තර."

"අන්තිමට ඔහුට පිහිට වුණේ තමන්ගෙ පියා..?"

මම කීවෙමි.

"ආචාර්ය මැකාති ගැන මට ඇත්තෙන්ම ගණගාටුයි වොට්සන්." 

හෝම්ස් කීය.

"අපට හිතෙන්නෙ ඔහු තමන්ගෙ දරුවාට තිබුණු ආදරය නිසා එම කටයුත්ත කළ බව. නමුත් නීතිය ඒ දිහා බලන්නෙ අපි හිතන විදියට නෙමෙයි."

බරපතළ අපරාධකාරයකු සගවාගෙන සිටීම ගැන ආචාර්ය මැකානිටත් තුන් මසක සිර දඩුවමක් නියම විය. මෙවර දැඩි රැකවරණය මැද සිරකරගෙන සිටි සෙන්ට් ජේම්ස් ගුරුතුමා හෙවත් මැකාති පෝරකයේදී අවසන් හුස්ම හෙලුවේය.



      

2 comments:

  1. Niyamai me vade nam,tavath sherlock holmes ge poth dannakoooo

    ReplyDelete