Tuesday, April 17, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






කට්ට කළුවර කෑලි කපල බෙඩ් ෂිට් මහන්න පුළුවන් සයිස් එකට වැඩිවෙලා.. වැඩිය සද්දයක් නොකරම මං එළියට බැස්සා.. ඒ වෙනකොටත් උදේ පාන්දර කිරි එකවත් නොබී ගෙදරින් ගියපු අයියා කියන මනුස්සයා ගෙදර ඇවිත් තිබුණෙ නෑ.. රවීන් අර කිව්වත් වගේ, මේකා කටුගස්තොට කොල්ලො සෙට් එකෙන් ගුටි කාල කාණුවක් පල්ලෙ වැටිලද දන්නෙ නෑ.. හොද වෙලාවට තමයි අම්මයි, තාත්තයි ඇවිල්ල නැත්තෙ.. හිටිය නම් හෙම එයාලා අහන ප්‍රශ්නවලට මුන්දට දෙන්න උත්තර නැතිවෙයි..


මහසෝනා ඇවිල්ලා ඇගේ හැප්පුණත් පේන්නැති කළුවරේ මං එළියට බැස්සෙ, හේතුවක් ඇතුව.. ඒ මොරීන් අක්කව හම්බවෙන්න.. මේ ගමනට හවස් වරුව දාගෙන හිටියත්, හවස් වරුවම මොරීන් අක්කා ගෙදර  හිටියෙ නෑ.. කොහේ හරි චරපුරුෂ සේවාවක ගිහින්.. ඒකෙ ආයෙ හොයන්න බලන්න දෙයක් නෑ..

මොරීන් අක්කගෙ ගේ ළගටම ගිහිල්ල කතා කෙරුවත් මෙලෝ හැල හොල්මනක් මට ඇහුණෙ නෑ.. ටිකකින් මොරීන් අක්කගෙ අම්මා එළියට එනවා මං දැක්කා..

"මොකෝ බන්ටි පුතේ කලබලෙන් වගේ..?"

"මොරීන් අක්කා කෝ නැන්දෙ..?"

"අනේ පුතේ.. මාත් බලන් ඉන්නෙ ඒක තමයි.. කටුගස්තොටට ගිහිල්ලා එන්නම් කියලා ගියා තාම නෑ.."

"කටුගස්තොටට..?"

"ඔව් පුතේ.. ගියපු වෙලාවත්තෙක්ක බලපුවම දැන් දෙගමනක් විතර ගිහින් එන්න වෙලාව හරි.."

මං ආපහු  හැරුණා.. තවත් බලන් ඉදීමේ තේරුමක් නෑ.. මට හිතාගන්න බැරි මොරීන් අක්කා, මොන මගුලකට කටුගස්තොට ගියාද කියලයි.. වැලිපාර දිගේ අපේ ගෙදර දිහාට එද්දි, මගේ පිටිපස්සෙන්ම වගේ වාහනයක ලයිට් එළියක් මං දැක්කා.. මේ වෙලාවෙ කවුරු වෙන්න පුළුවන්ද..? වැඩිය හිත හිතා ඉන්න වෙලාවක් ලැබුණෙ නෑ.. මං කෙරුවෙ ළගම තිබ්බ ලොකු ලයිට් කණුවට මුවාවෙච්ච එක.. ආපු වාහනේ කාර් එකක්.. ඒක මං ඉදපු ලයිට් කණුවට සමාන්තරව නතර උනා.. හුටා.. මාව දැකලවත්ද..? 

"මේ ටික ඔයාට යන්න පුළුවන් නේද බබා..?"

තොදොල් වෙලා, දොදොල් උනු ගෑනු කටහඩක් මට ඇහුණා.. ඒක නම් කීයටවත් මොරීන් අක්කගෙ වෙන්න බෑ.. එයා කවදාවත් බෙල්ල මිරිකගෙන ඉන්නකොට කතා කරනව වගේ කතා කරන්නෑ..

"අපොයි පුළුවන්.. මේ ඉස්සරහනෙ ගෙදර.."

කාර් එකේ ඇරුණු දොරෙන් එළියට බැස්සෙ, අද උදේ කුකුලගෙ බාප්පා නැගිටින්නත් කලින්, ගෙදරින් එළියට බැහැපු අයියා.. හැදිච්ච දෙමව්පියන්ගෙ නැහැදිච්ච මේ ලොකු එකා පැලෙනකල් ආදරේ කරල ගෙදර එන වෙලාවයි මේ.. අනේ අම්මපා මට තොරන් දෙක තුනක් ගහල තියන්න බැරිවුණානෙ..

"ඔයා හින්දා අද මම ගොඩක් සංතෝස උනා රසික.. ඒකය ඔයාට හුගක් පිං.. ඔයා හෙටත් එනව නේද..?"

"සොරි කෙල්ලෙ.. හෙට මන්ත්ලි එන්ඩ් එකනෙ.. කට කපලා වැඩ.. අදත් මේ ලීව් ගන්න පුලුවන්කමකට ආව නෙමෙයි.."

"මං දන්නවා බබා.. මං දන්නවා.. පුළුවන් නම් උදේට විතරක් ඇවිල්ලා ඔය සුදු සූණ මට පෙන්නලා යන්න.. මට එතකොට කොහොම හරි දවස අරගෙන යතෑකි.."

ලයිට් කණුවෙන් ඩිංගක් ඈත්වෙලා මං කාර් එක දිහාට එබුණා.. ඒ ඇතුළෙ ඉන්නෙ කවුද කියලා බලන්න.. ඇත්තටම හිටියෙ කවුද කියලා මං දැක්කා.. ඒත් ඒ මං කවදාව්ත දැකල පුරුදු කෙනෙක් නම් නෙමෙයි.. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා හිටපු පොෂ් ගෑනු ළමයෙක්..

යකෝ.. අපේ එකාව කොටියම කන්නෙපැයි.. මූට ගෑනුම කීදෙනෙක්ද දෙයියනේ.. මූට වෙන වැඩවලට නිවාඩුවක්, වෙලාවක් නෑ කියන්නෙ සහතික ඇත්ත.. මං දැන් ඒ කතාව සිරාවටම පිළිගන්නවා..

"මං උදේට ඔයාට ෆෝන් කරන්නම් කෙල්ලෙ.. එහෙනම්.. සී.යූ.. ගුඩ් නයිට්.."

"සී.යූ.."

රටක් රාජ්ජයක් ලැබුණා වගේ එඩිතරකමින් අයියා ගේ දිහාට ඇවිදගෙන ගියා.. කාර් එකේ ආපු ගෑනු කෙනත් දන්න ඔක්කොම වැඩ ටික දාලා කාර් එක හරව ගත්තා.. වැඩ දැම්ම කිව්වෙ තව නූලෙන් කාර් එක, මොරීන් අක්කගෙ ගෙදරට යන පාරෙ තිබ්බ තඩි ගලක වදිනවා.. අපේ එකාට ඒවයෙ මේවයෙ ගානක් තිබ්බෙම නෑ.. ඒකා කෙලින්ම ගේ ඇතුළට ගියා..

පව් අප්පා.. පෙම් සුව විදලා නොසෑහෙන්න මහන්සි ඇති.. කාර් එක ගියාට පස්සෙ මං යිට් කණුවෙන් මෑත් වුණා.. ඒ එක්කම දැකපු දෙයින් මාව ගැස්සිලා ගියා.. මං මුවාවෙලා හිටපු ලයිට් කණුවට එහා ලයිට් කණුව ළගින් අදුරු ඡායාවක් පාරට ආවා.. පපුව වේගෙන් ගැහෙද්දි මං හොදට ඒ දිහා බැලුවා.. කවුද මේ..?

"බන්ටි මල්ලි.."

මං උඩ ගිහින් බිම වැටුණා.. යකඩෝ.. මේ මොරීන් අක්කනේ.. බන්ටි ෆිට් බුවා හින්දා හොදයි.. නැත්නම් මෙලහකටත් ෆිලමන්ට් එක පිච්චිලා ගිහින්.. ඇයි හත්දෙයියනේ.. පට්ට කළුවරේ ඉදගෙන, වගේ වගක් නැතුව ජාතිය අමතනව වගේ, නමෙන්ම අමතන කොට, පණ නොගිහින් තියෙන්නෙ කාගෙද..?

"මොරීන් අක්කෙ.."

"ඔයා මොකද මෙතන කරන්නෙ..?"

"ඔයා කරපු දේම තමයි.. ආයෙ කිසිම වෙනසක් නෑ.."

"අයියෝ බලන්න බන්ටි මල්ලි.. රසික කියන්නෙ කොයි තරම් කැත මිනිහෙක්ද කියලා.. කසාද බැදපු ජෝඩුවක් වගේ කිසිම හිතක් පපුවක් නැතුව, කාරේ එකෙන් ඇවිල්ලා බැහැපු හැටි බලන්නකො.. මේ මොරීන්ට පපුවක් කියන නාමයක් ඉතිරි වෙනවද ඔහොම කරාම.. වනේ වන හතුරෙකුටවත් කරන දේවල්ද මේ රසික මට කරන්නෙ.. ඕව සහගහනවා.. බන්ටි මල්ලි.. ඕවා සහගහනවා.."

මොරීන් අක්කා සුපුරුදු භක්ති ගීතෙ පටන් ගත්තා.. අම්මපා.. මේකත් මරු වැඩක් තමයි.. පට්ට කළුවරේ ඉදගෙන කාටහරි වැලේ වැල් නැතිවෙන්න බැන බැන ඉන්නෙක..

"දැන් මේ ඇවිත් ගියපු කාන්තාව කවුද මොරීන් අක්කෙ..?"

"ඔය අර මං කිව්ව ගෑනිනේ.."

"මොන..?"

"ඇයි බන්ටි මල්ලි.. ඔයාට අතීතය, ඔය තරම් ඉක්මනට අමතක වුණාද..? මං අර කටුගස්තොට ගෑනු ළමයෙක් ගැන කිව්වෙ.. අන්න ඒ ගෑනි තමයි ඔය.."

අම්මට සිරි.. එතකොට අර රවීනුත් කිව්ව ගෙස්ට් හවුස් එකේ කුල කාන්තාවද මේ..? එහෙනම් වැඩේ හිතුවටත් වැඩිය නොසෑහෙන්න දුර දිග ගිහින්..

"කතන්දරේ එහෙනම් නැගලම යනව වගේ.."

"ඔව් බන්ටි මල්ලි.. ඒකනේ ගේ ළගටම ගෙනල්ල ඇරලල යන්නෙ.. මට මේවා දකිනකොට ඇස් දෙක උගුල්ල ගන්න හිතෙනවා.."

"ඔයාට පිස්සුද මොරීන් අක්කෙ.. යස අගේට තියෙන ඇස් දෙකට මුකුත් කරගන්න ඕන නෑ.. අපි ඒකට ඔරිජිනල් ජපන් පාට්ස් දාමු.. රෙපෙයාර් කිසි එකක් නොඑන විදියට.."

"මට තේරුන්නෑ.."

"අපි ඔය කුල කාන්තාව හම්බවෙන්න යමු.."

"අපි කියල කිව්වෙ..?"

"ඔයත් තදවෙන ප්‍රශ්නනෙ අහන්නෙ.. මෙතන හතර පස් දෙනෙක් නෑනෙ.. අපි කියලා කිව්වෙ අපි දෙන්නට මිසක් වෙන කාටවත් නෙමෙයි.."

"හරි බන්ටි මල්ලි.. හරි.. මොලේ අවුල් වෙලා තියෙන මේ ගැත්තිට අනුකම්පා කරලා කතාව කියන්න.."

"අපි දෙන්න ගිහින්, රසික ගැන අපිට තියෙන අයිතිවාසිකම් ගැන උන්දට පහදලා දෙමු.."

"අපි මොනවද ඔය ගෑනිට කියන්නෙ.. ඔය අම්මන්ඩි මිනිස්සු හතර පහක් එක්ක ගියපු අං ගිලපු ගෑනියෙක්.. අයියෝ.. බන්ටි මල්ලි.. පිවිතුරු හදකින් පෙම් කරපු මට උරුම වෙන්නෙ මේ කදුළද..? ආ.. රසික කොයි තරම් කැත මනුස්සයෙක්ද.? මට එයාව පිරිසිදු කෙනෙක් කියල මගේ ළගට ගනන් පුළුවන්ද..? එයා ගෑනු අය කී දෙනෙක් නම් ළගට ගියාද..? අනේ මට දැන් නම් මේ හැමදේම එපාවෙලා.."

"අපේ අයියව මුලු සංසාරෙ පුරාම ප්‍රාර්ථනා කරන්න කියලා මං ඔයාට කියන්නෑ මොරීන් අක්කෙ.. අයියා ගැන ඔයාගෙ හිතේ පිළිකුලක් තියෙනව නම් ඒක දිගටම තියාගන්න.. ඒ දේ ඔයාගෙ ඉස්සරහ ජීවිතේට හොද දෙයක් වෙයි.."

"දැන් බන්ටි කියන්නෙ මට මොනව කරන්න කියලද..?"

"අපි අන්තිම අවසාන වතාවටත්, අයියව ගලව ගන්න බලමු.. එතනින් එහාට වෙන දේවල් ගැන ඔයාගෙයි, මගෙයි වගකීමක් නෑ.. කරන්න ඕන දේ මං කියන්නම්.. හැබැයි හෙට ඉතාම කාර්ය බහුල දවසක්.. ඒ දවස ඇතුළදි කොහෙන් හරි පුංචි වෙලාවක් මේකට යොදා ගන්න වෙනවා.."

"ඔයා කියන ඕනම දේකට මං ලෑස්තියි බන්ටි.. අපි මේ රසිකට හොදක්නෙ කරන්නෙ.. මට හම්බ උනේ නැති උනත්, එයා මේ ලොකෙ කොතැනක හරි සතුටින් ඉන්නව නම් ඒක තමයි මගෙත් සතුට.. මේ මොරීන් කියන්නෙ ආදරේ හින්ද ජීවිතේ උනත් දෙන්න පුළුවන් කෙල්ලෙක්.. ඒත් රසික ඒ බව දන්නෑ.. ඒක මගේ අවාසනාව.. මට කාර් බාර් නෑ තමයි.. ඒත් මට ඕනම තැනකදි ආඩම්බරයෙන් කියන්න පුළුවන් හොද හදවකතුයි, කලු පැල්ලම් ගෑවිලා නැති ලස්සන චරිතෙකුයි තියෙනවා.. ඒ මැදෑ බන්ටි මල්ලි, මේ ගෙවන පාලු ජීවිතේට.."

නහයෙන් කතා කරන ගමන්, ඇස්වල තිබ්බ කදුළු ද කොහෙද පිහදාගෙන මොරීන් අක්කා යන්න ගියා.. මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.. සියලු සංස්කාර ධර්මයේ සංස්කරණය කරන්න ඕන කියල හිතාගෙන මාත් ගේ දිහාට හැරුණා.. නැත්නන් උන් හැමදාම අනිත්‍යයිනේ..

                                            ****************************

අද දවසට කරන්න තියෙන දේවල් ගැන හිතල බැලුවම මොනවයින් මොනව වෙලා නතර වෙයිද මංදා.. උදේ පාන්දරම ඇහැරෙද්දි මගේ හිතට ආපු පළවෙනි සිතුවිල්ල ඒක..

"ලොකු පුතා.. ඔයා ඊයෙ හුගාක් රෑ උනානෙ.. ඇයි ඒ..? ඔෆිස් එකේ වැඩ ටික ඉවරයක් කරන්න බැරි උනාද..?"

මගේ කාමරේට ඩිංගක් එහායින් අම්මගෙ කටහඩ ඇහුණා.. ඊයෙ කාපු දුන්තෙල් බත්වලට මේකා අද ද කොහෙද අහුවෙලා තියෙන්නෙ..

"ඊයෙ කොම්පරන්ස් මීට්න් අම්මා.. හරිම මහන්සියි.. මං මේ බැලුවෙ අද වැඩට නොයා ඉන්න.. ඒත් අද මන්ත්ලි එන්ඩ් එකනෙ.. කොහොමත් ඔෆිස් යන්න ඕන.. නැත්නම් හෙට අනිද්දට වැඩ එකට එකක් වැඩිවෙලා තියෙයි.."

දෙයියනේ.. පෙනේද මේ යකා කෙලින පට්ට කෙබර.. මූට හදන්න වෙන්නෙ වෙනමම අපායක්.. අංග පුලාවකට නැතුව අම්මගෙ මූණටම දීපු උත්තරේ බලපංකො.. අපේ අම්මටත් ඉතිං ඕවා ඔක්කොම ඇත්ත..

ගෙදරින් හැමෝම යනකල් ඉදලා මායි, අක්කයි එළියට බැස්සා.. මුන්දත් එක්ක පාරක බැහැල යන්න නම්, ඉවසීම කියන දේ අනන්තයට ප්‍රගුණ කරල තියෙන්න ඕන.. ඇයි අප්පා.. දකින දකින එකා, කෙල්ලො දැකල නෑ වගේ අක්කා දිහා දෙපාර තුන්පාර බලනවනේ.. මේ බන්ටිට නම් ඕවා දිරවන්නෑ.. මේ කුණු ශරීරවලට ආස කරල අනාගතේට ප්‍රශ්නයක් ඇති කරගන්නෙ ඇයි..?

"ලොකූ මේ දවස්වල හරියට වෙනස් නේද බන්ටි..?"

"මේ දවස්වල මොකක්ද අක්කෙ.. මිනිහා එදා ඉදන්ම වෙනස්නෙ.. ස්වභාව ධර්මයේ නීතියට අනුව, වෙනස් වෙන්නෙ නැතිදේ පැවතෙන්නෑ කියනව වගේ අයියා එකසිය ගානට වෙනස් වෙනවා.."

එතනින් එහාට ඒ කතාව ඇදිල ගියේ නෑ.. කතාවක් ගොඩ නගන්න මාත් උත්සාහයක් ගත්තෙ නෑ.. අනික ඒකෙ කතා කරන්න දේකුත් නෑ..

"මං නෙත්මිලහට ගියාම ඔයා කොහෙද ඉන්නෙ බන්ටි..?"

"ඒවා සිම්පල් කේස්.. මං ඔය පාර අයිනෙ ඉන්නම්.. ඔයා ගේ ඇතුළට ගිහින් හරියටම විනාඩි පහකදි මං කෝල් එකක් ගන්නවා.. ඔයා ඒ වෙලාවෙ ඉන්න ඕන අනිවා ෆෝන් එක ළග.. එහෙම නොවුනොත් වැඩේ කරටිය ළගින්ම ගහල යනවා.."

"දැ.. දැන්නම් මට බයත් හිතෙනවා බන්ටි.. මේ දේ නොකර අපිට වෙන දෙයක් කරන්න බැරිද..?"

ඔන්න ඕකනෙ.. අම්මපා මෙයාලා එක්ක දෙයක් කරන්න බැරි.. උපදිනකොටම අරගෙන එන සහජ ගෑනු ගතිය කියන්නෙ ඕක වෙන්නැති.. මුලින් දේකට එන පයින් කැමැත්ත දීලා පස්සෙ කකුල් දෙකෙන්ම අකමැති වෙන එක පුරාණයෙ ඉදලම තිබ්බ සිරිතක්ලු..

"වෙන කරන්න කිසිම දෙයක් නෑ.. මට මේ කතන්දරේ දෙනෙක් එකක් අද බේරගන්න ඕන.. එක්කො නෙත්මිගෙ තාත්තා.. එහෙමත් නැත්නම් මේ බන්ටි.. අවුල් කරන්නෙ නැතුව ඔයා මං කියල දීපු විදියට වැඩේ කරන්න.. හරිනෙ අක්කෙ.. එහෙනම් ෆිට් තමයි.."

නෙත්මිලගෙ ගෙදරට මීටර් දෙක තුනක් මෙහයින් මං නතර වෙද්දි, අක්කා පොළොවට රිදෙන්නැති වෙන්න අඩිය තිය තියා, ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුළට ගියා.. මෙතනින් එහාට බන්ටිට මුකුත් පේන්නෑ.. මනසින් තමා හැමදේම කරන්න වෙන්නෙ.. හොදට හිතල මතල වැඩ කරන බන්ටිට ඕවා ගේම් නෙමෙයි..

විනාඩියෙන් විනාඩිය කාලෙ ගෙවිලා යද්දි, කතා කරගත්තු විදියටම මං නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඩයල් කරා.. හගාක් වෙලා රින්ග්ස් ගියත් කවුරුවත්ම ආන්සර් කරේ නෑ.. තවත් තුන් හතර පාරක්ම කෝල්ස් ගත්තත් නෙත්මිලගෙ ගෙදර කවුරුවත්ම ෆෝන් එකට ආවෙ නෑ.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා.. මොන අවමගුලක්ද මේ..? අඩු ගානෙ අක්කා හරි ෆෝන් එක උස්සන්න ඕනනේ..

ගෙදර කවුරුවත් නැතිවෙන්න විදියක් නෑනෙ.. වැඩේ කියන්නෙ අක්කා ඇතුළෙ ඉද්දි බන්ටිට ගේ ඇතුළට යන්න බැරි එක.. නැත්නම් මෙලහකටත් දෙතුන් පාරක් බන්ටි ගේ ඇතුළට ගිහින් ඉරවයි..

ඕන කෙහෙල් ගෙඩියක් වෙන්න කියලා මං තවත් පාරක් නේතමිලගෙ ගෙදර නම්බර් එක රී ඩයල් කරා.. රින්ග්ස් ගිහිල්ලා ගිහිල්ලා ඉවරවෙන්න ඔන්න මෙන්න කියල වගේ තියෙද්දි ඒ පාර නම් කවුරු හරි කෝල් එක ගත්තා කියලා මට තේරුණා.. ඔය තියෙන්නෙ..  උත්සාහවන්තයා හැමදාම උත්සාහ කරයි වගේ කොහොම හරි වැඩේ හරි ගියා.. ඒත් නෙත්මිලගෙ ගෙදර පැත්තෙන් ෆෝන් එක ඉස්සුවත් කිසිම හැල හොල්මනක් මට ඇහුණෙ නෑ..

කෝකටත් කටහඩ ටිකක් වෙනස් කරල කතාකරන්න මං හිතාගත්තා.. ඒක කොහොමත් සරීර සෞඛ්‍යට ගුණදායකයිනෙ..

"හෙ..ලෝ.."

මගේ කටහඩේ තිබ්බෙ, අවුරුදු හැටක විතර මනුස්සයෙක්ගෙ වොයිස් එකක්.. අඩුගානෙ ඒක මටවත් අදුනගන්න බෑ.. ඒත් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.. මං ආයෙත් කටහඩ තව ටිකක් බැරැන්ඩි කරලා හෙලෝ කියලා කිව්වා..

"කවුද ඔය..?"

කලින් දවසක ඇහුණු පිරිමි කටහඩම මට ඇහුණා.. ඒ කියන්නෙ කතා කරන කෙනා කවුරු උනත්, නෙත්මිලගෙ ගේ ඇතුළෙ මනුස්සයා ඉන්නවා.. එක්කො මේ නෙත්මිලගෙ තාත්තා.. එහෙමත් නැත්නම් නෙත්මි.. කමක් නෑ.. ඔය දෙකෙන් මොකක් උනත්.. අක්කත් මේ වෙලාවෙ ෆෝන් එක ළගටට වෙලා ඇතිනෙ..

"මට පිණීමුතුට කතා කරන්න ඕන.."

අහපු ප්‍රශ්නෙට මං උත්තර දුන්නෑ.. ඒත් කලින් දවසක කාපු පනිෂ්මන්ට් එක හන්ද. නෙත්මිට හැමෝම භාවිතා කරන නමම මං භාවිතා කරා..

"පිණිමුතු මේ වෙලාවෙ නිදි.. කවුද මේ කතා කරන්නෙ.."

එහා පැත්තෙන් ගලාගනෙ ආපු උත්තරෙත් එක්ක මගෙ හිතට ලොකු අමුත්තක් දැනුණා.. මේ නෙත්මිගෙ තාත්තවත්, නෙත්මිවත් වෙන්න බෑ කියනෙක.. අනික ඉතිං කෝල් එකක් ගත්ත හැම වෙලාවෙම නෙත්මි නිදි නම්, එයාට එක්කො අලුත් ලෙඩක්  හැදිලා තියෙන්නෝන නිදාගෙන වැඩිවෙලා..

"මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර්.. මං කතා කරනවා කියලා කියන්න.. මට එයාව කන්ටැක්ට් කරගන්න ඕන.."

සුපුරුදු ගොරෝසු කටහඩින්ම මං කතා කරා..

"පිණිමුතුට ටිකක් සනීප මදි ටීචර්.. මං එයා නැගිට්ටහම කතා කරන්නම්.. කොහොමටත් එයා තව සතියකටවත් මෙහා ක්ලාසස් එවන්න වෙන්නෑ.." 

"මට දැනගන්න පුළුවන්ද මේ කතා කරන්නෙ කවුද කියලා.."

"ම.. මං එයාගෙ තාත්තා.."

හිතුවෙවත් නැති තරම් ඉක්මනට කෝල් එක කට් වෙලා ගියා.. ඒ මොකක්ද බං ඒ උනේ..? ඇයි හත්වලාමෙ.. මේ හොදට පණ ගහලා ඉන්න කෙල්ලට අසනීපයි කියලා කියන්න නෙත්මිගෙ, තාත්තට පිස්සුද..? මෙතන නම් මොකක් හරි ලොකු හොයක් තියනෙවා.. මට තේරුණ එකම දේ ඒකයි..

අක්කත් ගියා ගියාමයි.. කිසිම ආරංචියක් නෑ.. කෝකටත් කියලා මං ආයෙමත් නෙත්මිලගෙ ගෙදරට කෝල් එකක් ගත්තා.. ඒ පාර නම් වැඩිවෙලාවක් යන්නැතුව ෆෝන් එක ඉස්සුවා.. කලින් පාර වගේම මේ පාරත් එහා පැත්තෙ කිසිම සද්දයක් නෑ.. වැඩය වනන්නෙ නැතුව කෙලින්ම කතා කරන්න මං හිතාගත්තා..

"පිණීමුතුට තව මැසේජ් එකක් දෙන්න පුළුවන්ද..?"

"මං කිව්වනේ මිස්ටර්, එයාට සනීප නෑ කියලා.."

"ඇයි එයාට උණ සන්නිපාතෙද..? කක්කල් කැස්සද..? ගලගන්ඩයද ආ..? අමනුස්සයෙක් වෙන්නැතුව ඔය ෆෝන් එක ඒ ළමයට දෙනවා.."

දෙකක් නෑ.. මං වනාගෙන වනාගෙන ගියා.. ඒ වැනිල්ලෙ තරම කොයි තරම්ද කියලා කියනව නම් එහා පැත්තෙන් කතා කරපු මනුස්සයා ආයෙත් කෝල් එක කට් කරලා දැම්මා..

"ර..න්..දි..ක.."

ඒ ඇහිච්ච කටහඩට තව ඩිංගෙන් මගේ අතේ තිබ්බ ෆෝන් එක බිමට වැටෙනවා.. දෙයි හාමුදුරුවනේ.. මෙන්න නෙත්මි මගේ ඉස්සරහ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..? 

"ඔ.. ඔයා මොකද මෙතන කරන්නෙ..?"

කතාව කොතනින්ද පටන් ගන්න ඕන කියලා මං ඩිංගක් නිවි සැනසිල්ලෙ කල්පනා කරා.. මේ වෙලාවෙ කලබල උනොත් ඒක ඉල්ලගෙන කෑමක් කියලා මං දැනන් හිටියා..

"ම.. මං මෙතන මොනව හරි කරමහ ඔයාට ප්‍රශ්නයක්ද..?"

මගේ ප්‍රශ්නෙන්, සුදු මූණ තවත් සුදුමැලි උනා.. පහුගිය දවස්වල අඩලද මංදා.. මූණත් එක්ක ඇදිල ගිහිල්ලා..

"න්.. නෑ මට මුකුත් ප්‍රශ්නයක් නෑ.. ගෙදර ඉස්සරහ හිටපු හන්ද මං ඇහුවෙ.."

"ඉස්සරහ නැත්නම් පිටිපස්සෙ මං ඉන්නද..? ඔයාව හම්බවෙන්න අක්කා ආවා.. මං එයාගෙ තනියටයි ආවෙ.."

මට හිතාගන්න බැරි උන එකම දේ, නෙත්මි කොහොමද අපි ආපු පැත්තෙ ඉදලම ආවෙ කියලා.. ඒ කියන්නෙ එයා ගෙදර ඉදල නෑ.. එතකොට නෙත්මිලගෙ ගේ ඇතුළෙ ඉදන් අක්කා මොනවද කරන්නෙ.. මගෙත් එක්ක මේ ෆෝන් එකෙන් කතා කරපු මනුස්සයා, එතකොට ගේ ඇතුළෙ නේද ඉන්නෙ..? මගෙ පපුව හීතල වෙලා ගියා..

"සමුදිත් එක්ක ආව නම්, ඔයා මෙතන මොනවද කරන්නෙ..? පිස්සු වැඩ කරන්නැතුව එන්න රන්දික ගේ ඇතුළට.."

"ගේ ඇතුළට එන්නෙ කොහොමද ගෙයින් එළියට ඇදල දාලා තියෙද්දි..?"

"රන්දික මෙතන රණ්ඩු වෙන්න බෑ.. මිනිස්සුත් බලනවා.. මං මෙතන තව ටික කාලයක් හරි ජීවත්වෙන්න ඕන.. හ්ම්.. හොද ළමය වගේ එන්න ඇතුළට.. අපි රණ්ඩුවෙන්න වෙන වෙලාවක් හොයාගනිමු.."

"මේ වෙලාවෙ කවුද ගෙදර ඉන්නෙ..?"

"ඇයි ඒ..?"

"ප්‍රශ්න අහන්නැතුව අහපුදේට උත්තර දෙන්න.."

"කවුරුත් නෑ.. අම්මයි, සර්වන්ට් ගෑනු ළමයයි විතරයි.."

"ඔයාට ෂුවර්ද..?"

නෙත්මිටත් කකලින් මං එයාලගෙ වත්තට ඇතුල් උනා.. අඩියට දෙකට ගේ දිහාට දුවල යද්දි නෙත්මි මගේ පස්සෙන් දුවන් එනවා මං දැක්කා..

"රන්දික.. ඔ.. ඔහොම ඉන්න.. ඇ.. ඇයි මේ කලබලේ..? කොහෙද ඔයා ඔය දුවන්නෙ..?"

"අ.. අක්කේ.. අ.. අක්කේ.."

හිතාගන්න බැරි මොකක්දෝ බයකින් මාව හෙම්බත් කරලා තිබ්බා.. ඒකයි මං නෙත්මිට උත්තරයක්වත් නොදී, කෑගහගෙන ගෙට ඇතුල් උනේ.. ඇත්තටම මගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලයි තිබුණෙ.. සිද්ධ වේගෙන යන සිදුවීම් එකක්වත් අනුපිළීවෙලකින් හදා ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.. හැම එකම තිබ්බෙ අග මුල පටලැවිලා..

"අ..ක්..කේ.."

මං අක්කව ලොකු අනතුරකට දැම්මා කියන සිතුවිල්ල හිතින් මැකිල ගියේ, තාමත් ෆෝන් එක ළගට වෙලා බලන් ඉන්න අක්කව දැක්කම.. ඔන්න දැන් තමයි මේ බන්ටිගෙ හර්දය වස්තුව හරියාකාරව වැඩ කරන්න ගත්තෙ.. මහා දිහ හුස්මක් පපුව ඇතළටම ඇදල අරගෙන මං අක්කගෙ මූණට එබුනා.. අහන්න ඕන දාහක් ප්‍රශ්න ඒ මූණෙ ලියවිලා තිබුණත්, මගේ පිටිපස්සෙන් දුවගෙන ආපු නෙත්මිව දැකලා, අක්කගෙ ඇස් දෙක ලොකු උනා.. ෂුවර් එකටම එයා හිතන්න ඇති මේ බන්ටි වැඩේ අවුලක් නැතුවම අල කරගත්තා කියලා.. මං හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් 'කලබල වෙන්නෙපා' කියන සංඥාව අක්කට දුන්නා.

"ඇ.. ඇයි සමුදි.. ඔ.. ඔයා රන්දිකව ගේට් එක ගාව තියලා ආවෙ..? ම.. මං පල්ලෙහා කඩේට ගිහින් එද්දි, රන්දික ගේට් එක ළගට වෙලා ඉන්නවා.. අනේ ඔහොම දේවල් ආයෙ කරන්නෙපා සමුදි.."

මාවත් පහුකරගෙන අක්කා ළගට ගියපු නෙත්මි, අක්කගෙ අතකින් අල්ල ගත්තා..

"අක්කට මුකුත්ම කියන්නෙපා.. මමයි ගේට් එක ළග නැවතුනේ.. මට අයිති නැති තැන්වලට මට එන්න පිස්සු නෑ.."

"රන්දික.. තවත් මගේ හිත රිද්දන්න එපා.. සමුදි ඉස්සරහ ඔයා හදන්නෙ මගේ කදුළු බලන්නද..?"

කතාව තව කෙරීගෙන ගියොත් ඒකෙ සෝබර පැත්ත වැඩියි.. ඒක හන්ද මං කච කචේ නවත්ත ගත්තා.. ඊටත් වැඩිය මේ අහස පොළව ගැටගහලා තියෙන පුරස්නෙ බේරගන්නත් ඕනෙනේ.. ෆෝන් එකට ආන්සර් කෙරුවෙ මොන අලගෙඩියද කියලා දැනගන්න මට මහ විසාල කුතුහලයක් තිබ්බෙ.. පපුව නිකම්ම පත්තුවෙලා තිබ්බෙ, අක්කවයි ඒ කල්ලතෝනියවයි එකට මේ ගෙ ඇතුළෙ ඉන්න ඇති කියල හිතුවම..

"රන්දික චුට්ටක් වාඩිවෙන්න.. මං බොන්න මුකුත් ගේන්නම්.."

කියලවත් කරගන්න බැරි වැඩක් උනේ.. තියෙන ලොකුම ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න මීට වැඩිය හොද අවස්ථාවක් එන්නෑ කියන්න මට තේරුම් ගත්තා.. ඒත් මට කලින් අක්කා කතාව පටන් ගත්තා..

"බන්ටි.. කෝ ඔයාගෙ කෝල් එක.. මං කොච්චර වෙලා බලන් හිටියද..?"

"කෝල් එක..?"

මට පිස්සු හැදෙන්න තිබ්බෙ තව ඩිංගයි.. ඇයි යකෝ.. මෙච්චර වෙලා මං කතා කෙරුවෙ නෙත්මිලගෙ ගෙදරට නෙමෙයි නම් වෙන කොහේටද..?

"ඔව්.. මට මෙතනින් නැගිටින්න විදියක් නෑ.. කොයි වෙලාවෙ කෝල් එක එයිද කියලා.. නෙත්මිගෙ අම්මත් බාත්රූම් එකේ.. නෙත්මිත් එළියට ගිහිල්ලා.."

"මං කී සැරයක් නම් කෝල් ගත්තද අක්කෙ..?"

"මොනවා.. ඔයා කෝල් ගත්තා..?"

"ඔව්.. අර මනුස්සයා කතා කරා.. මං හිතුවෙම මේ ගේ ඇතුළේ ඒකා ඇති කියලා.."

"අනේ බන්ටි.. මේ ෆෝන් එක නිකමටවත් රින්ග් උනේවත් නෑනෙ.. අනික මේ ගෙදර කිසිම පිරිමි කෙනෙක් නෑ.. ඒක මට හොදටම විශ්වාසයි.. රෑ උනාම, ගෙදර අයගෙ ආරක්ෂාවට නෙත්මිලගෙ නෑදෑ වෙන වයසක මනුස්සයෙක් නිදාගන්න එනවා.. එච්චරයි.."

"අනේ මංදා අක්කෙ.. මට මුකුත් හිතාගන්න බෑ.."

ප්‍රශ්නෙ නම් තවත් පඹගාලක පටලැවිලා කියලා මට තේරුණා.. නෙත්මිලගෙ ගෙදර නම්බර් එකට කතා කරාම ෆෝන් එක ආන්සර් කරන්නෙ කවුද..? මේ ගෙදර පිරිමි පුලුටක්වත් නෑල්ලු.. නෙත්මිලගෙ තාත්තා රට ඉදල එන්න තව කල් තියෙනවලු.. අනේ මංදා.. දැන් නම් බන්ටිගෙ ඔලුව පිස්සු කෙලිනවා.. මෙතනින් එහාට ප්‍රශ්නෙ ලිහා ගන්නෙ කොහොමද..?

"ඉතිං සමුදි..?"

අඩියක් විතර උස වීදුරු දෙකකට කහම කහ පාටින් ලෙමන් පුරවගෙන නෙත්මි අපි ළගට ආවා.. මේචචර ගොඩක් කොහොම බොන්නද මංදා.. මෙයත් කහ පාටින් කහ පැලේ වගේ ඉදගෙන අපිවත් කහ පාට කරන්නද දන්නෑ හදන්නෙ..? 

"ඔයා අපේ බන්ටිත් එක්ක තාමත් තරහ වෙලාද ඉන්නෙ..?"

දෙකක් නෑ.. පොල්ලෙන් ගැහුවා වගේ අක්කා ඇහුවා.. නෙත්මිගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතුපාට වුණා.. කෙල්ල උත්තරයක් දීගන්න බැරුව ඇඹරෙද්දි ඔය ගැන තවත් කතා කරල වැඩක් නෑ කියලා මට හිතුණා.. තරහ, තරහපිටම තියෙනව නම් හොදයි.. එතකොට හැමදේම ඒක උඩින් තියාගෙන මේ ජීවන ගමන යන්න පුළුවන්..

"ඕවා දැන් කතා කරලා වැඩක් නෑ අක්කෙ.. අනික මේ වෙලාව ඒකට සුදුසු වෙලාවකුත් නෙමෙයි.. ඒත් අක්කත් ඉස්සරහම මට නෙත්මිගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා.."

මෙච්චර වෙලා බිමට බරවෙලා තිබ්බ නිල් පාට ඇස්  දෙක එක පාරටම මගේ දිහාට යොමු වුණා.. බයවෙච්ච මුව පැටියෙක් වගේ එයා බලන් ඉන්නකොට, මගේ හිතට ආවෙ, අගක් මුලක් හොයාගන්න බැරි ලොකු දුකක්.. ඒ අපි දෙන්නට කොයි තරම් සතුටින් ඉන්න තිබ්බද කියලා.. අනික ඉතිං ඔය ඇස් දෙකෙන්මනේ, මෙතනදිම, මං දිහා ගිනි පිටවෙවි ලෙලි යන්න බැන්නෙ..

"මොනවද රන්දික..?"

වෙනදට වැඩිය කොහොමත් නෙත්මි කූල් වෙලා තිබුණා.. සමහර විට ඒ අක්කා අපි දෙන්නා ඉස්සරහ හිටපු නිසා වෙන්න ඇති කියාල මට හිතුණා..

"ඔයාලගෙ තාත්තා ගෙදර ඉන්නවද..?"

මගේ ප්‍රශ්නෙන් නේතමි අන්දුන් කුන්දුන් උනා කියලා මට තේරුණා.. ඒකෙන්ම මං හිතාගත්තා මගේ ප්‍රශ්නෙ මෙලෝ වැදගැම්මක් නැති එකක් කියලා.. 

"තා.. තාත්තා රටනේ රන්දික.. ඇ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ..?"

"මේ ලෑන්ඩ් ෆෝන් එකට පහුවුන සතියෙ ඉදලා අද වෙනකන් කෝල් කීයක් නම් ආවද..?"

"ම්.. මේ ෆෝන් එකට නම් වැඩිය කෝල්ස් එන්නෑ.."

"කෝල්ස් එන්නැති කතාවක් නෙමෙයි මං ඔයාගෙන් ඇහුවෙ, කෝල්ස් කීයක් ආවද කියලා..?"

"මට මතක හැටියට නම් එකක්වත් නෑ.."

"එකක්වත් නෑ.."

"ඔව්.. සමහර දවස්වලට එන්නෙම නෑ.. ඇයි.. ඇයි රන්දික ඔයා මේ වගේ ප්‍රශ්න අහන්නෙ..?"

"ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.. මේ ලෑන්ඩ්ෆෝන් එකට ඔයයි, අම්මයි ඇරෙන්න තව කවුරු හරි ආන්සර් කරනවද..? සර්වන්ට් ඇරෙන්න.."

"නෑ.. හුගාක් වෙලාවට මම තමයි ආන්සර් කරන්නෙ.. ඇ.. ඇයි රන්දික..? ඔයා මාවත් බය කරනවා මේ ප්‍රශ්න අහලා.."

"ඔයා කියන්නකො මෙතන ඉදන් කතන්දරේ.. මොකද මං කියන ඒවා මෙයාට විශ්වාස නැතිවෙන්න පුළුවන්නේ.."

බලන් ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු උනා.. ඒත් ඒ සුදු මූණ උඩ පැහැදිලි තරවටුවක් ලියවිලා තිබුණා.. ඒ තමයි 'පස්සෙ අල්ල ගන්නම්' කියනෙක..

"බන්ටි කිව්වා පහුගිය දවස්වල ඔයාට කෝල්ස් ගත්තා කියලා.."

"බන්ටි මට කෝල්ස් ගත්තෙ නෑ සමුදි.."

"ඔය මං කිව්වෙ.. කතාව කියන්නත් කලින්ම මෙයා තීරණේ දීලා ඉවරනේ.."

"අනේ බන්ටි.. ඔයා චුට්ටක් ඉන්නකො.. නෙත්මි අපු නැති හින්දනේ එයා නෑ කියන්නෙ.. ඉතිං නෙත්මි.. බන්ටි කිව්වා, ඔයාට ගත්තු හැම කෝල් එකකටම උත්තර දුන්නෙ පිරිමි කෙනෙක් කියලා.." 

"දෙයියනේ.. පිරිමි කෙනෙක්.. ඇත්තමයි රන්දික මං ඔයාට දෙකක් දෙනවා, මේ කියන ජරා කතා වලට.. ගෑනු ළමයි එක්ක පැල් බැදගෙන කතා කරන්නෙ ඔයානේ.. මමද..? දැන් එනවා ඒක මගේ පැත්තට වක්කරන්න.."

අල වගේද ගෝවා කිව්වලු.. මට රාබුත් එක්කම ගද ගගහ හරි බත් කන්න හිතෙන්නෙ මේ වගේ කතා ඇහෙනකොට තමයි.. මේ ප්‍රශ්නෙ බේරගන්න, විසදගන්න හදන්නෙ නෙත්මි වගේ කෙනෙක් එක්කනේ.. අම්මපා.. කිසිම වියදමක් නෑ.. කොහොල්ලෑ ගුලිය වගේ නහුතෙටම ඇලෙනවා..

"මං කියන දේ අහන්නකෝ.. පස්සෙ, මාත් ඔයාගෙ මේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගත්තා.."

"ඉතිං ඔයාගෙන් මට කෝල් එකක් ආවෙ නෑනෙ.."

"ඒක තමයි මං මේ කියන්නෙ.. කතා කරේ පිරිමි කෙනෙක්.. මහා නපුරු විදියට මට බැන්නා.."

"න.. නම්බර් එක හරිද..?"

ඔන්න දැන් තමා වැඩේ පත්තු උනේ.. නෙත්මිගෙ ඇස් දෙක උඩ ගියා.. තොල්පෙති උඩින් දාඩිය බින්දු දෙක තුනක් මතුවුණා.. මූණ සුපුරුදු විදියටම සුදුමැලි උනා.. එළ.. එළ.. හොදම වැඩේ පණ්ඩිත ආච්චිට.. බය කරලා සිහිය නැති කරන්නෝන.. නිකං වෙලාවට බලන්නෝන කටේ තියෙන සවුදම..

"නම්බර් එක හරි.. ඒකෙ ආයෙ වරදින්න විදියක් නෑ.. මොකෝ අපි ඉස්කෝලෙ ගියපු නැති මිනිස්සු නෙමේනෙ.. ගියේ නුවර ධර්මරාජෙට.. උසස් පෙළ මාක්ස් තියෙනවා කැම්පස් යන්න තරම්.. ආ..යෙ නම්බර් එක හරිද අහන්නෙ.."

"බන්..ටී.. ඔයා මොනවද මේ කියවන්නෙ..? මේ කෙල්ල හොදටම බයවෙලා ඉන්නෙ.. ඔයාලා රණ්ඩු වෙනව නම් පස්සෙ රණ්ඩු වෙන්න.. ඊට කලින් මේ ප්‍රශ්නෙ විසදගන්න බලන්න.. මෙතන මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා.."

"වැරැද්දක් වෙන්න විදියක් නෑනෙ අක්කෙ.. මෙයා මොකක් හරි අටමගලයක් කරගනෙ ඇති.. නැත්නම් මෙයාගෙ ෆෝන් එකට කොහොමද පිට මිනිස්සු කතා කරන්නෙ.."

"ර..න්දික.. අම්මත් ඉන්නවා.. ඔයා මාව අඩවන්නද හදන්නෙ..? අම්මා අහන ඒවට මට උත්තර දීලා පණ යයි.."

"හරි.. එහෙනම් ඔහොම ඉන්නකො.. මේ නම්බර් එක ඔයාලගෙ ගෙදර නම්බර් එක නේද..? ආ.. හරිනේ.. ඔන්න මම මේක ඩයල් කරා.. චුට්ට්ක් ඉන්න.. ලව්ඩ් ස්පීකර් ඔන් කරන කල්.. හරි.. ඔන්න ආයෙත් බලන්න.. මේ ඔයාගෙ ගෙදර නම්බර් එකනේ.. වෙන එකක් එහෙම නෙමෙයි.. හා.. ඔය ඇහෙන්නෙ රින්ග්ස් යන සද්දෙ.. කෝ.. මේක වැඩ කරන්නෑනේ..ඒ උනාට රින්ග්ස් යනවා.."

"අ.. අනේ මට හිතාගන්න බෑ.."

"නෙත්මි.. කෑගහන්න එපා.. දැන් එහා පැත්තෙන් ආන්සර් කරයි.."

අක්කා කිව්වත් වගේ ඊළග තත්පරේ එහා පැත්තෙන් රිසිවරේ උස්සන සද්දෙ ඇහුණා.. කලින් කතා කරපු කටහඩම උගුරෙ සෙට් කරගෙන මං උගුර පාද ගත්තා..

"හෙලෝ.. මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර් කතා කරන්නෙ.."

"මිස්ටර්.. මං කිව්වනේ පිණීමුතුට සනීප නෑ කියලා.. එයාව ක්ලාස් එවන්න විදියක් නෑ.."

"එහෙනම් මං ක්ලාස් එකේ ළමයි ටිකකුත් අරගෙන පිණිමුතුව බලලා යන්න එන්නම්.. මොකද අපේ කොන්සර්ට් එකත් ළගයිනෙ.."

"ඕන කුදයක් ගහගන්නවා.. කියන දේ අහන්නැත්නම්.."

"පිණීමුතුට ගොඩක් අමාරුද මිස්ටර්..?"

"මේක තමුන්ගෙ ෆෝන් නම්බරේද..?"

"ඔව්.."

"එහෙම නැතුව වෙන කෙනෙක්ගෙ එකක් නෙමෙයි නේද..?"

එහා පැත්තෙන් ඇහුණ ගොරෝසු කටහඩ, ටිකාක් විතර හුරු පුරුදු ගතියක් මට ආවා.. එත් ඒ කටහඩේ හිමිකාරයා කවුද කියලා හිතාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ..

"නෑ.."

"නිකං බන්ටි කියලා කෙනෙක්ගෙ වගේ.."

මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. මෙන්න යකෝ ඒ පාර මගෙ නමත් මේ හුටපටේට ගෑවිලා.. 

"නෑ.. නෑ.. මේක මගේ ෆෝන් නම්බර් එක.."

"හරි.. එහෙනම් දුවව බලන්න එන්න ඕන්නෑ.. නිතරම මේකට අරගෙන මට කරදර කරන්නෙපා.. තේරුණාද..? මගේ ළමයා ගැන මං බලාගන්නම්.."

එහා පැත්තෙන් ආයෙම ඇමතුම විසන්ධි කරලා දැම්මා.. ඔන්න වැඩේ  හැටි.. කියලා කියන්න වගෙ මං නෙත්මි දිහායි, අක්කා දිහායි බැලුවා.. දෙන්නම හිටියෙ තක්කු මුක්කු වෙලා වගේ.. ඒකෙ කිසිම ඇදක් කුදක් නෑ..

"මෙ.. මේ මොනවද රන්දික මෙතන වෙන්නෙ..? ක.. කවුද ඒ කතා කරේ..?"

"කවුද කතා කරේ කියලා දන්නවා නම් මාත් මචං කියලා කතා කරනවනේ.."

"ඒ උනාට ඔයාගෙ පෙට් නේම් එක ඒ මනුස්සයා දන්නවා.. අනික මෙහාට එන කෝල්ස් ඒ මනුස්සයා ළගට යන්නෙ කොහොමද..?"

"මට බන්ටි කියලා කතා කරන විත්තිය, මේ නුවර ටවුන් එකෙන් බාගයක් විතර දන්නවා.. ඒක හින්ද ඒකෙ ඇති අවුලක් නෑ.. ඔයා අහපු දෙවනි ප්‍රශ්නෙට නම් උත්තරේ බොහොම ලේසියි.."

"මොකක්ද..?"

අක්කගෙනුයි, නෙත්මිගෙනුයි ඒ ප්‍රශ්නෙ ඇහුණෙ එක සැරේටම..

"ඔයාලගෙ ගෙදර ෆෝන් එක 'ඩයිවර්ට්' කරලා.."

"ඒ.. ඒ කියන්නෙ..?"

"ඔයාලගෙ ගෙදර නම්බර් එකට එන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ වෙන මිනිහෙක්.. මිනිහා, එයාගෙ ෆෝන් එකට මෙහෙට එන කෝල්ස් හරවගෙන ඇති.."

"දෙ.. දෙයියනේ.. ඒ.. ඒ කොහොමද එහෙම කරන්නෙ..? මට.. මට මේක අදහගන්නත් බෑ.. ඒ කියන්නෙ මට එන හැම කෝල් එකක්ම ඒ මිනිහටද යන්නෙ..?"

"ඔ.. ඔව්.."

"අ.. අනේ මට බ.. බයයි රන්දික.."

නෙත්මි මගේ අතකින් අල්ලගත්තා. ඒ දේ එයාට උනේ ඉබේටම වගේ.. පස්සෙ තත්පර ගානකින් කෙල්ලට මතක් උනා අපි දෙන්නා තරහකාරයො විත්තිය.. මෙන්න කෙල්ල පටස් ගාලා අත ඈත් කරගත්තා.. ඒක දැකලා අක්කට ලොකු හිනාවක් ගියා..

"ඔයාලගෙ අනුදැනුමක් නැත්නම්, ඔය ඩයිවර්ට් කරන කතන්දරේ මොකක් හරි ගැජ්ට් එකක් හරහා කරන්න ඇති.. අපි බලමුකො ලෑන්ඩ් ෆෝන් එක.."

මං පන්ඩිතයා වගේ කිව්වා.. නෙත්මි ඇස් දෙකත් ලොකු කරන් මං දිහාම බලන් ඉන්නවා.. එළ.. එළ.. මේ වගේ අවස්ථා බන්ටිට දෙයියො දෙන්නෙ පොරක් වීම සදහා.. ඉතිං බන්ටි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නෑ කියලා කවුද හිතන්නෙ..

"හරි මේ තියෙන්නෙ.."

නෙත්මිගෙ ලෑන්ඩ් ෆෝන් එක යටින්ම වගේ හයි කරලා තිබ්බ අලු පාටට හුරු පුංචි උපකරණයක් මං ගලව ගත්තා.. ඒකෙ වැඩි කෑල්ලක් තිබුණෙ නෑ.. ඔන් ඕෆ් ස්විච් එකක් විතරයි තිබුණෙ.. මං ඒ ගැජට් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරා..

"ඔක්කොටම කලින් මේක ඇන්ටිට කියලා ඉන්නෝන.."

"අ.. අනේ ප්ලීස් රන්දික.. අම්මට නම් කියන්නෙපා.."

"කියන්නෙපා.. ඇයි ඒ..? තියෙන හොර හිතනේ.. නැත්නම් ඇන්ටි දැන ගත්තහම මොනව වෙනවද..?"

"අනේ සමුදි.. රන්දිකට කියන්න අම්මට කියන්නෙපා කියලා.. මට හදිසියකට ගෙයින් එළියට බහින්න දෙන එකක් නෑ.."

නෙත්මිගෙ මූණ දැක්කම මට පව් කියලා හිතුණා.. හිතුවෙවත් නැති විදියට ඒ මූණ අන්ත අසරණ වෙලා තිබුණා.. කොයි තරම් කට ගහගෙන ආවත් ලොකු ප්‍රශ්නයක් මූණ ඉස්සරහට එද්දි හුගාක් කෙල්ලො අන්ත අසරණ වෙනවා.. ඒකට හොද උදාහරණයක් තමයි මේ නෙත්මි..

"හරි.. හරි.. මෙතනින් එහාට අවුලක් වෙන එකක් නෑ.. ගැජ්ට් එක මගේ සාක්කුවෙනෙ.. දැන්වත් ඉතිං දෙයියනේ කියලා මතක් කරගන්න, පහුගිය දවස්වල මේ ගෙදරට ගෙන්න ගත්තු කට්ටිය ගැන.."

"කට්ටිය..?"

නෙත්මිගෙ ඇස් දෙක තවත් ලොකු උනා..

"ඔව්.. කොල්ලො, බල්ලො එහෙම.. ඒ ආපු එකෙක්නෙ ඕක හයි කරලා යන්නැත්තෙ.."

"අ.. අනේ රන්දික.. ඇ.. ඇයි ඔයා මට ඔය තරම් කැත විදියට කතා කරන්නෙ..? මං කවුරුවත් මේ ගෙදරට ගෙන්නගෙන නෑ.. මට ඔහොම දේවල් කියන්නෙපා.."

"එහෙනම් ඉතිං අහසින් පාත්වෙච්ච දේව දූතයෙක්, ඔයාගෙ ලස්සන දැකලා මේක හයි කරලා යන්න ඇති.. මං යනවා අක්කෙ.. ඔයා කතා බහ කරලා එන්න.. මං එළියෙන් ඉන්නම්.. තවත් මට මෙතන කතාවක් නෑ.."

"බ..න්..ටී.."

"ර..න්..දි..ක"

අක්කයි, නෙත්මියි දෙන්නම තරගෙට වගේ අමතද්දි මං මිදුලට බැස්සා.. මොකටද නිකං.. එදා මං මෙතෙන්ට ආවම මාව, කුණු කොල්ලෙට දාලනේ කතා කරේ..

"අ.. අනේ රන්දික මේ බීම එකවත් බීලා යන්න.."

"මට එපා.."

"මගෙන් ඔය තරම් පළිගන්නෙපා දෙයියනේ.. මේවට වස විස දාලා නෑ.. හොද ළමයා වගේ මේක ගන්න.."

"බෑ.. බෑ.. වහින්න වගෙත් එනවා.. හෙණ ගහයිද කියල බයෙත් බෑ.. දැන් කට්ටිය සාප කරන්නෙ වහින වෙලාවට එළියට බහින්න එපා කියලනේ.."

බලාගෙන ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු වෙලා ගියා.. නිල් පාට ඇස් දෙක පුරවලා කදුළු පිරුණා.. එළියෙ වැස්ස කොහොම වෙතත් මේ වැහි වලාව නම් මෙතනදිම කඩාගනෙ වැටෙයි කියලා මට හිතුණා.. ඒ මොන දේ උනත් මං බීම එකට අතවත් තිබ්බෙ නෑ.. ගල් කරගත්තු හිත එහෙම්ම තියාගෙන, මං ගේට්ටුවෙන් එළියට ආවා.. අඩුගානෙ මං හැරිලවත් බැලුවෙ නෑ..        



 

No comments:

Post a Comment