Tuesday, April 17, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






"දැන් මොකේද ලොකු පුතේ දන් වළදන්නෙ..?"

සුදුහුම්මල පාරෙ ඉදලා ගුඩ් ෂෙඩ් එක පැත්තට චැලිය දාද්දි, චාමික මගෙන් ඇහුවා..

"ඇයි..?"

"පාත්තරේ කුඩු වෙලා යන්න හෙණ ගහපං කියලා, අරකි කැත නැතුව කිව්වා උඹට ඇහුණෙ නැද්ද..?"


"ඔක්කොම ඇහුණා චාමික.."

"එතකොට..?"

"අපි අලුත් පාත්තරයක් හොයාගමු.."

කටේ තොලේ නොගෑවි මං කිව්වා.. චාමික මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා තද කරා..

"නියමයි ලොකු  පුතේ.. නියමයි.. උඹ ඔහොම ෆිට් එකේ කතා කරනකොට මගේ ඇග කිළිපොලා යනවා.. මට මේ ගතිය පිටින්ම වළාකුලු බැම්මෙන් පහළට පනින්න හිතෙනවා.. ඒ ගැන උඹේ අදහස මොකක්ද බන්ටි..?"

"පිස්සු නැතුව යමං චාමික.."

"බන්ටි.. අර බලපං.."

එකපාරටම චාමික කලබල උනා කියලා මට තේරුණා.. කකුල් දෙකේ බ්‍රේක් වලිනුයි, බයික් එකේ බ්‍රේක් වලිනුයි සුපුරුදු විදියටම මං බයික් එක නවත්ත ගත්තා..

"දෙන දෙයියො දෙනකොට උඩ පැන පැන දෙනවා කියන්නෙ ඕකට තමයි.. එකක් යනකොට තව එකක් එනවා.. ඕකට පයිතගරස් නම් කිව්වෙ ස්වභාව ධර්මය පිළිබද මූලික ප්‍රමේයය කියලා.."

අපේ ඇස් මායිමේම ඇවිදගෙන ආවෙ ශලනි.. මොකක්දෝ බර කල්පනාවක් හිතේ පුරවගෙන අඩි තිය තියා ආපු එයා අපිව දැක්කෙ නෑ කියලා මට තෙරුණා..

"අපි යමු චාමික.."

"මේ.. පිස්සු නටන්න නම් එපා ලොකු පුතේ.. දළදා හාමුදුරුවො දීපු මේ අසිරිමත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගනිං.. මට එතකොට පුළුවන් අරකිගෙ මූණ කට බෙරි වෙනවා දකින්න.."

ශලනි විතරක් නෙමෙයි.. වෙන කිසිම කෙල්ලෙක්ව ළගින් ආශ්‍රය කරනවට නෙත්මි ඩිංගක්වත් කැමති නෑ කියන්න මං හොදටම දැනගෙන හිටියා.. ඒත් දැන් උද්ගතවෙලා තියෙත තත්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්නේ.. නෙත්මි එයාගෙ ලෝකෙන් මාව එළියට ඇදලා දාලා ඉවරයිනේ.. ඒ ඇදල දැම්මෙත් හෙණ ගහපං කියලා නොකියා කියලනේ.. එහෙම මතක් වෙද්දි නම් මට මහා දුකක් දැනුණා..

"හා..නේ.. බන්ටි.."

පුංචි එකෙකුට තමන් ආස කරන විදියෙ සෙල්ලම් බඩුවක් හම්බ උනා වගේ ලොකු සතුටකින් මූණ පුරවගෙන ශලනි අපි ළගට ආවා.. පුදුමයි.. කෙල්ලට ලොකු පුචා කියලා කියවෙන්නෙ නැතුව බන්ටි කියලා කියවුණ එක..

"ඉතිං කොහොමද..?"

"කොහොමද කියලා අහන්නෙ, ඔයා තමයි විස්තර කියන්නෝන.. එදා අපේ ගෙදර ඇවිත් ගියාට පස්සෙ මට ඔයාව හම්බ උනේම නෑනෙ.. නිරෝෂිත් ඔයා ගැන හරියට කියෙව්වා.."

කෙල්ල ඒ ටික කියද්දි නම් චාමිකගෙ මූණ ඇඹුල් උනා.. ඒත් ඉතිං මට කරන්න දෙයක් නෑ.. ඒ කතන්දරේ පුරාවටම ලුණු, ගොරක දාලා හොදට තිබුණා..

"මගේ කියන්න අමුතු විස්තරයක් නෑ.."

"අ..නේ.. ඇයි ඔයා ඔහොම තරහෙන් වගේ කතා කරන්නෙ..?"

"මගේ තරහක් නෑ ශලනි.."

"නැත්තෙ නෑ.. අපි එදා අන්තිමට හම්බ උන දවසට වැඩිය ඔයා හුගාක් වෙනස්.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද බන්ටි..?"

මේ කෙල්ලගෙ ඉව ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරි උනා.. ඩොක්ටර්ස්ලටවත් ලෙඩක් හරියට අල්ල ගන්න බැරි නම් මේ කාලෙ කෙල්ලගෙ චැනල් කිරිල්ල නම් මාරයි..

"මට මුකුත් ප්‍රශ්නයක් නෑ.."

"එහෙනම්..?"

මූණත් ලතාවකට පැත්තකට ඇල කරන ගමන්, ශලනි චැලිය උඩින් අතක් තිබ්බා.. මුදු තුනක්ම දාලා තිබ්බ ඒ දිග ඇගිලි වල අමුතුම ලස්සනක් තිබ්බා.. කොහොමටත් ශලනිගෙ ඇගපත නිරෝෂිට වැඩිය ලස්සනයි..

"අපේ බන්ටිට නම් ප්‍රශ්නයක් නෑ ශලනි.. ඒත් මට නම් ප්‍රශ්නයක් තියෙනවා.."

චාමික මෙච්චර වෙලා වක්කඩේ වහන් ඉන්න ඇත්තෙ පුදුම අමාරුවකින්.. ඒකනේ අවස්ථාව ආපු ගමන් කට ඇරියෙ..

"ප්‍රශ්නයක්..?"

"ඔව්.. ගුණමගුභාවය පිළිබද ගැටලුවක්.."

"මොනභාවය පිළිබදවද..?"

"පවුලක්ම එක්කහු වෙලා, හැදි ගෑවිලා යන්න වගේ අපේ බන්ටිගෙන් උදව් අරගෙන, දැන් පැත්තකට කරල දාලා ඉන්නෙක ගැන.."

"දෙයියනේ.."

"දෙයියන්ට කියලා වැඩක් නෑ ශලනි.. ඔයා හරිම කැතයි.. ඔයාගෙ අනිත් කිඹුලි ඊටත් වැඩිය කැතයි.. ඔයාගෙ තාත්තා ඉතිං කොහොමත් කැතයිනෙ.. ඔයාගෙ අම්මා ගැන නම් මං කියන්න දන්නෑ.. හුගාක් වෙලාවට එයත් ඔයාලා වගේම කැත ඇති.."

"චාමික.. ඔය අනවශ්‍ය කතා නවත්තපං.."

ලොකු පුතාගෙ කතාවෙන් කෙල්ලගෙ මූණ ඇදවෙනවා මං හොදටම දැක්කා.. මෙච්චර වෙලා මලක් වගේ පිපිලා තිබ්බ මූණ පරවෙලා ගියා.. මූත් කියවන්නෙ මහ ඕන්නැති ඒවනේ..

"අනේ බන්ටි.. මෙයා මේ කියන්නෙ ඔයාගෙ හිතේ තියෙන දේවල්ද..?"

"මගේ හිතේ නම් ඔය බහුභූත නෑ.. ඒත් ඔයාලට යුතුකමක් තිබුණා, මේ බන්ටි කියන නොවැදගත් පුද්ගලයට ඔයාලගෙ ෆැමිලි එකට මොකද උනේ කියලා දැනුම් දෙන්න.. මොකද මං හැමදේම කෙරුවෙ, ඔයාලගෙ ෆැමිලි එක එකතු කරන්නනෙ.."

"ඔයා වැදගත් නෑ කියලා කවුද කිව්වෙ බන්ටි..? ඇනේ ඇයි ඔහොම කතා කරන්නෙ..?"

දිලිසෙන නිල් ඇස්වල කදුළු පිරිල තිබුණා.. බයික් එකේ සීට් එක දිගේ ඉරි ඇද ඇද තිබ්බ අත අරගෙන ශලනි මගේ අතකින් අල්ල ගත්තා..

"වෙන කොහොමද ශලනි කතා කරන්නෝන..? මං හිතුවා අඩුගානෙ ඔයාවත් කෝල් කරලා මට කියයි කියලා.."

"අනේ.. මං ඔයාගෙ නම්බර් එක දන්නෑනෙ.. ඉතිං මං කොහොමද ෆෝන් කරන්නෙ..?"

ඒක නම් ලේසි උත්තරයක් තමා.. ඒත් තවත් මෙහෙම දිගින් දිගටම කුල කියවන්න ගියොත් මේ කපේ මේ කතාව ඉවර වෙන්නෑ..

"හරි.. මේ බන්ටිට වෙච්ච අසාධාරණේ ගැන කතා කරල වැඩක් නෑ.. දැන් ගෙදර තත්වෙ කොහොමද..? ඔයයි, තාත්තයි ආපහු රට යන එක ගැන කතාව මොකද..?"

"මං ඔයාට අසාධාරණයක් කලේ නෑ බන්ටි.. ඇයි ඔයා ඔහොම කතා කරලා මගේ හිත රිද්දන්නෙ..?"

"ඔයාගෙ  හිත රිදුන නම් මට සමාවෙන්න.. මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බ උනොත් නම් හොදයි.."

"හුග කාලයක් ඈත් වෙලා ඉදපු දෙන්නෙක්ව, ආයෙත්එක්කහු වෙන්න ටිකක් කල් යනවා බන්ටි.. පිට ඔපේට හොදයි.. දැන් කිසි ප්‍රශ්නයක් නෑ කියලා වගේ පෙනුණට, හිත ඇතුළෙන් ඒක එහෙම වෙන්නෑ.. අම්මයි, තාත්තයි මේ විදියට ඈත්වෙලා ඉන්න ඇත්තෙත් ප්‍රශ්න හුගාක් තිබ්බ හන්දා වේනනැතිනේ.. ඉතිං ඒ ප්‍රශ්නෙයි, තව අලුතෙන් එක්කහු වෙන ප්‍රශ්නයි එකතු උනාම, ඕවා මේවා විසදෙන්න තව ටික කාලයක් යයි.."

"මොනව උනත් අනාගතේ ගැන හොද පැත්තට බලාපොරොත්තු තියාගන්න පුළුවන්නේ.."

"ඔව්.. මාත් එහෙම හිතනවා.. ආපහු යන්න, අර කලින් තිබ්බ හදිස්සිය තාත්තගෙ දැන් නෑ.."

"එහෙනම් ඉතිං අවුලක්, ආබාධයක් නෑනේ.. ඉතිං මේ දවස්වල අලුතින් මුකුත් පටන් ගත්තෙ නැද්ද..?"

"අලුතින් මුකුත් කිව්වෙ..?"

බලන්න අප්පා.. ගෑනු ළමයින්ගෙ තියෙන මොත්තෙ.. කරන්න පුලුවන් හැමදේම කරනවා.. ඒත් ඔය වගේ දෙයක් දන්නෑ.. මට ඉතිං අහන්න වෙන්නෙ 'උඹ බබානේ' කියලා තමයි..  

"මං ඇහුවෙ එෆෙයාර්ස් ගැන.. ආදර සම්බන්ධතා ගැන..?"

"නෑ බන්ටි.. නලින්දගෙ එෆෙයාර් එකෙන් පස්සෙ මං කාවවත් ළං කර ගත්තෙ නෑ.. මට තවත් දුක් විදින්න බෑ.. අනික, ඔයා තරහා වෙන්නෙපා මං මෙහෙම කිව්වට.. හුගාක් පිරිමි ළමයි හරිම අවස්ථාවාදියි.. එයාලා කරන්න ඕන හැමදේම කරනවා.. ඒත් අපිට නීති දානවා.."

"දැන් ඔය නීති දාන අය කවුද..?"

"නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ අය.. හරිම සවුත්තුයි.. පුදුම සැකයකින් තමයි ජීවත් වෙන්නෙ.."

කෙල්ල නන්ස්ටොප් කියවනවා.. මේ කතාවට මෙතන වගේම, මේ පරිසරෙත් ඒ තරම් මැච්වෙන්නෑ කියලා මේ වෙනකොට මට තේරිලයි තිබුණෙ.. ඒ විත්තිය ලොකු පුතාටත් තේරිලා වගේ, සැරින් සැරේට මිනිහත් මගේ මූණ දිහා බලනවා මං දැක්කා.. ඒ කියන්නෙ බින්දුවා ගැන පලවෙච්ච පරීක්ෂන වාර්තා ඔහොම තමයි.. බලන් ගියාම මූ හත්පොලේම ගාගෙනනේ.. වැරදිලාවත් තව එක පොලක් හරි තිබ්බා නම් ඌ ඒ පොලෙත් ගාගන්නවා..

"අද බොඩි ගාඩ් නැද්ද..?"

"කවුද චාමික..?"

"ඔයාලගෙ තාත්තා..  මතකනේ කලින් දවසක මටයි, බන්ටිටයි නෙලන්න හැදුවා.. ගැටඹෙ පන්සල ගාවදි.."

"අනේ.. හරිම නරකයි ඔයා නම්.. දැන් තාත්තා එහෙම නෑ.. හරිම හොදයි.."

ඔව් ඉතිං.. බන්ටිගෙ අතුරු කතාවල ප්‍රතිඵල තමයි.. ශලනිගෙ තාත්තට මං බැනපු හැටි දන්නෙ මායි, ඒ මනුස්සයයි විතරනේ.. අඩු ගානෙ අතේ දුරින් ඉදපු ශලනිවත් දන්නෑනෙ.. දුවට හොදින් කතා කරනවා, තාත්තට රිස්ස යන්න දෙහි කපපු හැටි..

"මට බන්ටිට ණයක් ගෙවන්න තියෙනවා.."

"ණයක්..?"

හිටපු ගමන් ශලනි කතාව මාරු කලා.. ඒ ගමන කෙල්ල මොනවද දන්නෑ කරන්න හදන්නෙ..? සමහර වෙලාවට මං උදව් කරපු ඒවයෙ වටිනාකම මොකක් හරි ද්‍රව්‍යයකින් මනින්න හදනවද දන්නෑ.. එහෙම උනොත් නම්, මූණ කට කොයි තරම් සිරියාවට තිබුණත්, මේ බන්ටි මල යකාම තමයි.. ආයෙ හොදි බේරෙන්න කතා කරනවා..

"ඔව්.. එදා මමයි, නිරෝෂියි ඔයාට ලන්ච් එකක් අරන් දෙන්න පොරොන්දු උනානේ..  ඒත් මාළිගාවට ළගට අපේ තාත්තා ආපු එකෙන් ඒ වැඩේ සම්පූර්ණයෙන්ම මිස් වෙලා ගියානෙ.. පස්සෙ ගෙදර ගිහින් වෙච්ච දේවල් කල්පනා කරලා බැලුවාම තමයි, මට මතක් වුණේ, දෙයියනේ අද බන්ටි බඩගින්නෙ තියලා නේද අපි ආවෙ කියලා.."

ඒක නම් ඉතින් අවුලක් නෑ.. නෙත්මි එදා කොහෙදෝ ඉදලා ඇවිත් මගේ බඩගින්න නිව්වනේ..

"වැඩේ හරි ගියාම හැමෝම ඉතිං ඔහොම තමයි.."

"අ..නේ.. ඔහොම කතා කියන්නෙපා බන්ටි.. එන්න ඉතිං අපි යමු.."

"කොහෙද..?"

"ලන්ච් එකක් ගන්න පුළුවන් තැනකට.."

"තාම දොළහටවත් නෑනෙ.."

"කමක් නෑ.. එන්න.. නැත්නම් මගේ  හිතට හරි කරදරයි.."

යනවද, නැද්ද කියලා තීරනේ ගන්න බැරුව මං චාමික දිහා බැලුවා.. ඌ හිනාවෙලා ඇහැක් ගැහුවා..

"ඔයාගෙ හිතට මං කරදරයක් උනේ කොහොමද..?"

"මං ඒක කියන්නම් චාමික.. ඔයා බයික් එක පැදන් අපේ පස්සෙන්ම එන්න.. මට බන්ටිත් එක්ක කතා කරන්නෝන.."

කෙල්ල ලොකු පුතාට ඕඩරයක් දීලා මං දිහා බැලුවා.. නිල් කැට දෙකක් වගේ ඒ ඇස් දිලිසෙන්න සිවිකාචවත් දාලද මංදා.. හරියට බලන්න නම් මූණටම ලංවෙලා බලන්නෝන.. එතකොට කෙල්ල, බන්ටි ගැන මොනවා නොහිතාවිද..? 

"එන්න.."

කතාවක් බහක් නැතුවම පාර දිගේ ඇවිදන් ගියපු ශලනි නතර වුණේ, මං කවදාවත් ගොඩ වෙලා තිබුණෙ නැති රෙස්ටුරන්ට් එකක් ළග.. දැන් එතකොට මට කියනවයි කියපු කරදර කතාවත් කෙල්ල පැනඩෝල් ගිලිනවා වගේ ගිල ගත්තා..

"ලොකු පුතේ.. මං චැලිය අර අයිනෙන් දාලා එන්නම්.."

මායි, ශලනියි ඇතුළට යනකොට චාමික අත වැනුවා.. කොහොමටත් ඌ ළග ඉදපු එක සෑහෙන්න හොදයි.. එහෙම නොවුණා නම් ශලනිත් එක්ක මේ වගේ තැනකට ආපු එක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා..

"මොනවද බන්ටි කල්පනා කරන්නෙ..?"

ඩිම් ලයිට් එළියට අදුරු වෙලා තිබ්බ, ටේබල් එකක මායි, ශලනියි වාඩිවෙලා හිටියෙ.. එතන තෝර ගත්තෙ ශලනිමයි. මොනව උනත් එයාගෙ තෝරා ගැනීම නම් ඉස්තරම් කියලා මට හිතුණෙ, මුළු රෙස්ටුරන්ට් එකේම අස්සක් මුල්ලක් නෑරම අපි හිටපු තැනට පෙනුන හන්දා..

"බන්ටි.. මාර වැඩේ.."

කලබලෙන් වගේ අපි ළගට ආපු චාමික මගෙයි, ශලනිගෙයි මූණු වලට එබුණා..

"ඇයි..?"

"අන්න අරකා පස්ස කඩාපු කඩියා වගේ එනවා.."

"කවුද..?"

"පයිතගරස්.."

රෙස්ටුරන්ට් එකට ඇතුල්වෙන දොර දිහා බලාගෙනම චාමික අපේ ටේබල් එකේම වාඩි උනා..

"උඹට ෂුවර්ද ඌ එන්නෙ මේකටමයි කියලා.."

"ඔව් ලොකු පුතේ.. දාඩිය පොල්ලක් දාගෙන, වරුවක් වැඩ කරපු එකා වගේ ඌ එනවා.. ඔය.. ඔය කියනකොටම එන්නෙ.."

කිව්වත් වගේ, දවසම කුඹුරක් කොටපු ගොවි මහත්තයෙක් වගේ වෙහෙස මහන්සි වෙලා ඉදපු, පයිතගරස් අපි හිටපු රෙස්ටුරන්ට් එකටම කඩන් පාත්වුණා.. අම්මප මූට යන්න වෙන තැනක් තිබුණෙම නැද්ද..? අපිව මරාගෙන කන්න මේකටම ගොඩ උනේ.. 

"කවුද බන්ටි ඒ..?"

මගේ ළගට තවත් ටිකක් ළංවෙලා ශලනි ඇහුවා.. මොකක්දෝ නුහුරු වත්සුනු සුවදක්, හිත ඇතුළටම ගලාගෙන යද්දි මං ඒ සොදුරු රූපෙට එබුණා..

"ගණිතය සම්බන්ධ මහාචාර්යවරයෙක්.. ඇල්බට් අයින්ස්ටයින්ගෙ මට්ටමට හිතන්න පුළුවන් කීර්තිමත් ලංකා පුරවැසියෙක්.. ප්‍රමේයවල් කීපයක් හොයාගත්තු ගගනගාමියෙක්.."

ගගනගාමියා කොහෙද බං ප්‍රමේයවල් හොයාගත්තෙ.. මං මගෙන්ම අහගද්දි ශලනිගෙ මූණෙ පුංචි හිනාවක් ඇදිලා ගියා..

"බන්ටි.. අපි මූව ඩිංගක් සනසලා අරිමු.."

හිටපු තැනින් නැගිටලා, චාමික සීරු මාරුවට කවුන්ටරේ පැත්තට ගියා.. එතන හිටපු වේටර්ට ඌ මොනවද කියනවා මං දැක්කා.. කොහොමටත් අපි හිටපු තැන, පයිතගරස්ට වැඩි ඕනකමකින් බැලුවොත් මිසක පේන්නෙ නම් නෑ කියලා මට තේරුණා..

"තව ටිකකින් නියම කොමිටල් එකක් යයි.."

ගියා වගේම ෂේප් එකේ අපි ළගට ආපු චාමික කිව්වා.. ශලනිගෙ කට බාගෙට ඇරිලා තියෙන හැටි දැක්කම මට හිනා නොවී ඉන්න බැරිවුණා..

"ඔයා මොනවද චාමික වේටර්ට කිව්වෙ..?"

"බලන් ඉන්නකො වෙන දේ.."

ලොකු පුතා කතන්දරේ අගය කරනවා.. මං ආයෙත් පයිතගරස් දිහා බැලුවා.. ඌ හිටියෙ හොන්දු මාන්දු වෙලා වගේ.. ටිකකින් උගේ ළගට සුදු ඇදගත්තු වේටර් කෙනෙක් යනවා මං දැක්කා.. වැඩේ කියන්නෙ උංගෙ කතාබහ අපි ඉන්න තැනටත් ඇහෙන එක.. කොහොමටත් පයිතගරස් කතා කරන්නෙ ලව්ඩ්ස්පීකර හයි කරල වගේනේ..

"මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"

මං හිතුව හරි.. මූ හොදටම පිපාසයෙන් ඉන්නෙ.. පයිතගරස් කියන විදියට දැන් උගේ දිව ඇත්තෙ පුරස්චාර්වක දත් හරියෙ..

"සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

"ම්.. මට තේ එකක් ගේනවා.."

"සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

"ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

"සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

"ම්.. කිරි දාලා ගේනවා.."

"සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

"ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා..  හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

"සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?" 

"වැනිලා හලෝ වැනිලා.."

වැඩේ නියමෙට නැගලා යනවා.. වේටර් මල්ලි, පයිතගරස්ව එකසිය ගානට බයිට් කරනවා.. බලන් ගියාම වේටර් මල්ලිත් අං ගිලපු එකෙක්නේ.. ඔය වගේ කෙන්ඩ පෙරලෙන ප්‍රශ්න කොහෙන් හොයාගෙන අහනවද මංදා.. ශලනියි, මායි හිටියෙ පිපිරෙන්න හදන හිනාව අමාරුවෙන් තද කරගෙන.. ලොකු පුතා නම් බොහොම උනන්දුවෙන් ඒ දෙබසට ඇහුම්කන් දීගෙන හිටියා.. මූත් මේක ටක්කෙටම සෙට් කරපු හැටිනේ වැඩේ කියන්නෙ..

"සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

"ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

"සර්.."

"මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

"සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

"නිකං එකක් ඕයි.. නිකං එකක්.."

"සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

"ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල  මිරිකන්නම හිතෙනවා.. තෝ  මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

"වහ ටිකක්..?"

"ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

"සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

"අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

"සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"

එතනින් එහාට මෙච්ච දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.. පිස්සු හැදිච්ච මිනිහෙක් වගේ පයිතගරස් විලාප දීගෙන රෙස්ටුරන්ට් එකෙන් පැනලා දිව්වා.. මමයි, ශලනියි, චාමිකයි හිනා උනේ තරගෙට වගේ.. ඇත්තටම ඉතිං ඔය වගේ ප්‍රශ්න ටිකක් මගෙන් ඇහුවා නම් මටත් පිස්සු හැදෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ..

"ඒ.. පයිතගරස් කියන කෙනා හරිම පව් බන්ටි.."

ඕකට පව් කියනවා නම් වෙන පව් කියන්න ඈයොත් නෑ.. ඒත් ඒ ගැන වැඩිය කතා කරන්න මට හිත නොදුන්න හන්දා මං නිහඩ වුණා.. වේටර් මල්ලිත් මහපටැගිල්ල උරුක් කරලා රෙස්ටූරන්ට් එක ඇතුළට ගියා..

"අර කරදර කතාව ඔයා මට කිව්වෙ නෑනෙ.."

කෑම කද්දි, කලින් කතාව නතර වෙච්ච තැනට මං ගියා.. ශලනිගෙ  මූන රතු පාට වෙනවා මං අහම්බෙන් වගේ දැක්කා.. කෙල්ලට ලැජ්ජ හිතුණවත්ද මංදා..

"මෙතන චාමිකත් ඉද්දි මං කොහොමද බන්ටි ඒක කියන්නෙ..?"

මගේ වම් උරහිස පැත්තෙන් කනට ලංවෙලා ශලනි කෙදිරුවා.. එයාගෙ උණුසුම් හුස්ම ඇබින්දක් මගේ කම්මුලේ තැවරිලා කොහෙදෝ හැංගුණා..

"ඌ හිටියට කමක් නෑ.. ඔයා අහන් ඉන්න බැරි එකක් නෙමේනෙ කියන්නෙ.."

"ඒ.. ඒ උනාට බන්ටි.."

"කමක් නෑ කියන්න.. ඌයි මායි අතරෙ රහසක් නෑ.."

"ලොකු පුතේ.. මං මෙතන ඉදගෙන ආහාර අනුභවේ උඹලගෙ කතාවට බාධාවක්ද..?"

මගෙයි, ශලනිගෙයි කුටු කුටු ගෑවිල්ල, චාමිකටත් ඇහුණා වගේ.. කොහෙද ඉතිං ශලනි එක්ක මොලෝ දෙය්ක කරන්න බෑනෙ.. හැම තැනම කොස්සක් තමා..

"නෑ.. නෑ.. උඹේ අවුලක් නෑ.. ඔය ඉන්න තැනම ඉදගෙන කාපං.. ඉතිං ශලනි..?"

කෙල්ලගෙ මූණ තාමත් රතුවෙලා.. ඒක කෑම එකේ සැරටද නැත්නම්, කතාව මට කියන්න වෙන හන්දද කියලා මට තේරුණේ නෑ..

"නිරෝෂි.."

"ඉතිං..?"

"එයා, ඔයා ගැන කතා කරනකොට මට ඉරිසියයි බන්ටි.."

"මං ගැන..?"

"ඔව්.. මගෙත් එක්ක වචන සීයක් කතා කලොත් වචන හැත්තෑ පහක්ම ඔයාගෙ ගැන.."

ඒක නම් හොද ලෙඩක් නෙමෙයි පුතේ.. ඔය සුළුවෙන් පටන් ගන්න වෛරස් උණ, අන්තිමේදි උනසන්නිපාතෙටත් ගිහිල්ලයි නතර වෙන්නෙ..

"මං ගැන මොකටද නිරෝෂි, ඔයත්තෙක්ක කතා කරන්නෙ..? හරි නම් නිරෝෂි කතා කරන්නෝන බින්දු ගැනනේ.."

"ඒක තමයි මාත් හිතුවෙ.."

"හිතන්න දෙයක් නෑ ශලනි.. ඔයා නිරෝෂිට කියන්න බින්දුත් එක්ක තියෙන ප්‍රශනෙ ඉවර කරගන්න කියලා.. නැත්තං මේ මගුලට අහක ඉන්න මාවත් පැටලෙනවා.."

"අනේ බන්ටි.. මට ඕවා තේරෙන්නෑ.."

"හරි.. තේරෙන්නෙ නැත්නම්, ඒක පැත්තකින් තියමු.. එතකොට දැන් නිරෝෂි, මං ගැන කතා කරනකොට ඔයාට ඉරිසියා හිතෙන්නෙ ඇයි..?"

කතාවෙන් කතාවෙන් මං කෙලින්ම ඇහුවා.. ඕන අවමගුලක් උනාවෙ.. ඔය කතන්දරේ හිතේ තියන් හිටියහම ප්‍රශ්න වැඩියි..

"මංදා බන්ටි.."

ඔන්න ඕවට තමා බන්ටිට මල පනින්නෙ.. හංගලා ගහන ඒවට බන්ටි කොහොමත් කැමති නෑ.. කියන මගුලක් එක්කො කෙලින්ම කියන්න ඕන..

"ඔයා මං ගැන මොනවා හිතනවද කියලං මං දන්නෑ.. ඒත් මං හිතන්නෙ අපි හොද යාලුවො කියයලා.. ඔයත්තෙක්ක ලන්ච් එකක් ගන්න පවා මං මෙතෙන්ට ආවෙ ඒකයි ශලනි.. අපේ ජීවිත ඉස්සරහට ගලාගෙන යද්දි යම් යම් අවස්ථාවලදි අපිට කාත්තෙක්ක හරි මග නතර වෙන්න වෙනවා.. ඒ නතරවෙලා එයත් එක්ක ඉස්සරහට යනකොට, කොයි තරම් හොද අය මුණ ගැහුණත් අපිට ඒ හැමෝම එක්ක නතර වෙන්න බෑ.. අපි කෙනෙක්ව තෝරගෙන ඉවරයි.. ඒකයි අර කතාවටත් කියන්නෙ.. තමාගෙ පළමු තෝරා ගැනීම, විශිෂ්ඨ එකක් විය යුතුයි කියලා.. එතකොට පසුතැවිලි වීම අඩුයි.."

ශලනිගෙ මූණ තවත් රතු වුණා.. කෙල්ල කෑම කන එකත් නැවැත්තුවා.. මං කියපුවා අහල කෙල්ලට කෑම කන්නත් එපා උනාද..?

"ඔය ඉතිං කාලා ඉවරද..?"

"ඔව් බන්ටි.."

"මං කියපු හන්දද කෑම නොකෑවෙ..?"

"නෑ.. ඔයා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.. හැමදේම ඇත්ත.. මට මගේ ජීවිතේ වැරදිලා.. මට දැනෙන්නෙ මං අතරමං වෙලා වගේ.. ලංකාවට එන්නෙම නැතුව මං තාත්තත් එක්ක ඕස්ට්‍රේලියාවෙම හිටිය නම් ඉවරයි කියලා මට හිතෙනවා.."

"ජීවිතේ ගැන ඔහොම අවතක්සේරුවෙන් කතා කරන්නෙපා.."

"මට ජීවිතේ කියා දෙන්න කවුරුවත් නෑ බන්ටි.. මං ලංකාවට ආපු ගමන්ම, නලින්ද එක්ක යාලු උනෙත් ඒකයි.. එයාගෙ ලස්සනට මගේ හිත ඇදිලා ගියා.. එයා මොන වගේ කෙනෙක්ද.. මට ගැළපෙයිද කියලා මං හොයන්න ගත්තෙ එයයි, මායි යාලු උනාටත් පස්සෙ.."

"දැන් ඉතිං ඒ හැමදේම ඉවරයිනේ.."

"ඔව්.. ඒත් ජීවිතේ වැරදුනා.. මං බාල්දු උනා වගේ හැගීමක් මගේ හිතේ තියෙනවා.. ඕන කොල්ලෙක් බලන්නෙ, යාලු කරගෙන දවස් දෙක තුනකින් කෙල්ලව කොහේ හරි අරගෙන යන්න.. ඒ අතින් ඔයා කොයි තරම් හොදද බන්ටි.."

කතාව තවත් ඇදිලා ගියොත්, මාව හිරවෙන තැනටම එනවා කියලා මට තේරුණා.. ඒක හන්දම මං චාමිකටත් නැගිටින්න කියන ගමන්, මං පුටුවෙන් නැගිට්ටා..

"ඇ.. ඇයි බන්ටි.. ඔයා ඔය යන්නද..?"

"ඔව් ශලනි.. ගෙදරින් ආවෙත් උදේම.. මාව හොයනවත් ඇති.. දැන් එකත් පහුවෙලානෙ.."

"දෙ.. දෙයියනේ ඇත්තම නේන්නම්.. වෙලාව යනවා මට තේරුනේවත් නෑ.. තාත්තා මාව හොයනවත් ඇති.. එහෙනම් බන්ටි මං යනවා.. අපි ඉක්මනටම හම්බවෙමු.."

රෙස්ටූරන්ට් එකෙන් එළියට යනකොටම ආපු ත්‍රීවීල් එකට ශලනි නැග්ගා.. වීල් එක ටික්ක දුරට යනකන්ම එයා ඇතුළෙ ඉදන් අත වනනවා මං දැක්කා..

"ලොකු පුතේ.."

"ඇයි..?"

"මට නම් කාපු ඒවත් එළියට එනවා වගේ.. ඒකි කියපුවා මතක් උනාම.."

"මමත් වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ ඒකයි බං.. කෙල්ල ටිකක් මගේ පැත්තට බර වෙනවා කියලා මට තේරුණා.."

"ඒකි නම් බර උනත් කමක් නෑ.. ඕන කොල්ලෙක්ගෙ හිතේ ඉපදෙන්න පුළුවන් තරමෙ සිහින කුමාරියක් තමයි ශලනි කියන්නෙ.. හැබැයි බන්ටි.. මග කියා දීලා, ආදරෙන් තියාගන්න පුළුවන් නම්, ශලනි කියන්නෙ, ඕන රජ කෙනෙක්ගෙ රැජිනක් වෙන්න සුදුසුකම් තියෙන කෙල්ලෙක්.."

හුග කාලෙකට පස්සෙ චාමික හිතට වදින හොද කතාවක් කිව්වා.. ඒක කිව්වොත් ඇස් දෙක නටව නටවා..

"එතකොට නෙත්මිට මොකද වෙන්නෙ චාමික..?"

"අපි ඒක අනාගතේට බාර දෙමු බන්ටි.."

"උඹ කියනෙක හරි චාමික.. හැමදේම මෙහෙමයි මෙහෙමයි කියලා නෙත්මිට තේරුම් කරලා දෙන්න මට බෑ.. එයත් එයාගෙ ඔලුව පාවිච්චි කරලා දේවල් තෝරගන්න ඕන.. මගේ අතින් වරදක් උනා තමයි.. ඒත් ඒ වැරැද්ද මං කෙරුවෙ නෙත්මියි, මමයි යාලුවො වගේ ආශ්‍රය කරන්න කලින්.. බේබි නැන්දා මගේ අම්මා කියලා කිව්වෙ, එයාව බයිට් කරන්න.. එහෙම නැතුව මං  මේ, දහ අතේ ප්ලෑන් ගහල කරපු දෙයක් නෙමෙයි.."

"මට තේරෙනවා ලොකු පුතේ.. මට තේරෙනවා.. ඒත් ඉතිං අවුලකට තියෙන්නෙ, ඒකිට දේවල් තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියේවිද කියලා.."

එක පාරක් විතරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන දෙයක් චාමික කිව්වෙ.. මං ඒ හැම වචනයක්ම හිතේ තියාගෙන ගෙදර එන්න ආවා..     



 

No comments:

Post a Comment