Tuesday, April 17, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






දැන් ගෙදර පරිසර තත්වය නොසෑහෙන්න වෙනස් වෙලා.. වෙනදට කට්ටිය හැමෝම කෑම මේසෙදි හම්බවෙනවා උනත් මේ වෙනකොට ඒකත් නෑ.. ඒ කියන්නෙ ගෙදර හැමෝම කර්යය බහුල වෙලාද..?

හුග දවසකට පස්සෙ ඕන බන්ටිත් අද ගෙදර.. මටත් ඉතින් අර කාටද වගේ, ඇති වැඩකුත් නෑ.. නිකං ඉදිල්ලකුත් නෑ.. අඩු ගානෙ රස්සා කට්ටක්වත් තිබ්බා නම්..? ඒත් අම්මයි, තාත්තයි කලින් දවසක වෙච්ච සිද්ධියෙන් පස්සෙ ඒ ගැන එක වචනයක්වත් තාම කතා කෙරුවෙ නෑ.. මමත් ඔහේ පාවෙවී හිටිය මිසක රස්සාවක් ගැන විහිලුවටවත් හිතුවෙ නෑ..


කුරුණෑගල පොල්වත්ත මගේ නමට ලියලා, ඒකෙ වැඩ කටයුතු ටික මට බාරදෙන්න තාත්තා කැමැත්තෙන් ඉන්නවා කියලා මං දැනන් හිටියා.. ඒත් ඉතිං ආයෙ පොල් වත්තක අමුතුවෙන් මේන්ටේන් කරන්නෙ මොනවද..? පොල් කඩන අයට හෑන්ඩ් ෆෝන් දෙක තුනක් අරන් දෙන එකනේ තියෙන්නෙ.. එතකොට එයාල ගහ උඩ ඉදලම අහවිනේ, මහත්තයො මේ වල්ලෙන් කඩන්නද නැත්නම් අනිත් වල්ලෙක් කඩන්නද කියලා..

"බන්ටි මහත්තයො.. මොකද මේ අහස පොළොව ගැට ගහන්න වගේ.."

"මුකුත් නෑ බේබි නැන්දෙ.. කෝ අද ගෙදර අයගෙ සද්දයක් බද්දයක් නැත්තෙ ඇයි..?"

"සද්ද බද්ද දාන්නෙ නම් ඉතිං බන්ටි මහත්තයනේ.. සමුදිනී නෝනයි, ලොකු නෝනනයි, මහත්තයයි වැඩට ගිහින්.."

"අයියා..?"

"පාන්දර ඉදලම නෑ බන්ටි මහත්තයො.."

"පාන්දර ඉදලම නෑ.."

"ඔව්.. ලොකු නෝනා බනියි කියලා මං කිව්වතේ නෑ.. මං උදේ නැගිටිනකොටත් කාමරේ නෑ.. ඉස්සරහ දොර නිකම්ම වහලා ගිහින් තිබුණා.. බලන්නකො මහත්තයො.. හොරෙක් හතුරෙක්වත් ඇතුල් උනා නම්.. අනික ඔහොම හොර රහසෙ ගමන් බිමන් යනවා නම්, තමන් දන්න විශ්වාසවන්ත කාට හරි යාංතමට හරි කියලා යන්න ඕන නේද..? අනේ මංදා.. මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.. යස අගේට තිබ්බ මේ පවුලටත් කවුදෝ කොඩිවිණයක් කරලා.."

හූල්ල හූල්ල වගේ බෙබි නැන්දා කියද්දි මගේ පපුවත්තෙක්ක ඇදුම් කන්න ගත්තා.. 'කවුදෝ කොඩිවිණයක් කරලා..' කියන වචන ටික දහ දොළොස් අතේ හිත ඇතුළෙන්ම ඇහෙන්න ගත්තා..

"මං මොනවද බේබි නැන්දෙ කරන්නොන..?"

"මගේ රත්තරං මහත්තයා මොනවා කරන්නද..? රසික මහත්තයා විලි ලැජ්ජ නැතුව වගේ ගෑනු ආස්සරේ කොරන්න ගියාම, මහත්තයටයි හොද නැත්තෙ.. ඔය  හැදිල තියෙන කුලප්පුව නම් ඉතිං, ජරා ගොඩක් ගාගෙනම තමයි නතර වෙන්නෙ.."

අයියාකාරයා ගැන අහන එව්වට, මට බේබි නැන්දගෙ මූණ බලන්නත් බැරි තරම් ලැජ්ජයි.. ෂිහ්.. අම්මපා.. මේ වහුකුණාව ගස් බැදලා තමයි තියන්න වෙන්නෙ..

"දැන් ඔය උදේ පාන්දරම කුකුළත් අතේ තියාගෙන කොහෙද දන්නෑ ගිහින් තියෙන්නෙ..?"

"හනේ මං දන්නෑ මහත්තයො.. ඒකට නම් ඉතිං රසික මහත්තයගෙ පස්සෙම දවසක් යන්න වෙයි.."

මහා විස්සෝපයකින් මූණත් පාලු කරගනෙ බේබි නැන්දා ආපහු ගියා.. ඒ එක්කමයි මට ඇහුණෙ ඉස්සරහ පැත්තෙන් කවුදෝ කතා කරනවා..

"බන්ටි අයියා.."

කටහඩ ඇහෙන විදියට නම් රවීන්ගෙ වගේ.. මං බැල්කනියෙන් පහළට එබුණා.. හරි නේන්නම්.. මේ ඉන්නෙ මේකා දිලිසි දිලිසි..

"රවීන්.. උඩට එන්න.. මං කාමරේ ඉන්නෙ.."

"බෑ බන්ටි අයියා.. මේක ෆුල් හදිස්සියක්.."

රවීන්ගෙ වචනවල තිබ්බ හදිස්සිය හන්දම මං පඩිපෙළ බැහැගෙනම සාලෙට ආවා.. රවීන් එතකොටත් එළියෙ..

"රවීන් ගෙට එන්න.."

"ගෙට එන්න වෙලාවක් නෑ.. ඩිංගක් එළියට එන්නකො.."

කටහඩේ වගේම ඉරියව්වලත් තිබබ් නොඉවසිලිවන්තකම හන්ද, මගේ හිතට අමුත්තකුත් දැනුණා..

"ඇයි රවීන්..?"

"රසික කියන්නෙ බන්ටි අයියගෙ කවුද..?"

"මගේ අයියා.."

"එයා සුදුහුම්පල පැත්තෙ කවුරු හරි ගෑනු ළමයෙක් එක්ක යාලුද..?"

රවීන්ගෙ කතාවට මගේ ඇග සීතල වෙලා ගියා.. සුදුහුම්පල ඉන්නෙ නෙත්මිනේ.. ඒත් නෙත්මි, අපේ එකත් එක්ක යාලුවෙයි කියලා හීනෙකින්වත් හිතන්න බෑ.. මේ පහු උන දවස්වල රසික කියන නම විහිලුවටවත් නෙත්මිගෙ කටින් පිට උනේ නෑ.. එක්කො නෙත්මි මට කොලේ වහනවා.. නැත්තං අයියා අපි කවුරුත් රවට්ටනවා..

"මං දන්න තරමින් නම් නෑ.."

"එහෙනම් මේක අහන්නකො.. කටුගස්තොට කොල්ලො සෙට් එකක් රසිකට ගහන්නයි ලෑස්තිය.."

රවීන්ගෙ කතාවෙන් මගේ ඇගේ හරිගඩු පිපුණා.. මේකා ඒ පාර මොන ටිංකිරි කෝප්පයක්ද හලාගෙන තියෙන්නෙ.. කිසිම හොද ආරංචියක් මූ ගැන මට අහන්න ලැබෙන්නෙම නැද්ද..?

"ඇයි ඒ..?"

"ගෑනු හුටපටේකට.."

"ගෑනු හුටපටේකට මූට ගහලා හරියනවද රවීන්.. ඒක ඒ කෙල්ලත් එක්ක බලා ගන්න ඕනනේ.."

"ඒකි කෙල්ලෙක් නෙමෙයි බන්ටි අයියා.."

"එහෙනම්..?"

"ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.."

දෙයි හාමුදුරුවනේ.. මේකා ඒ පාර මොන නස්පැත්තියක්ද මේ කරගන්න දගලන්නෙ..? සුලු පටු පාපකර්මයක්ද මූ ඒ ගමන කරන්න යන්නෙ.. යස අගේට තියෙන පවුල් පංසල් කඩන්න යන්නෙ.. ඇත්තමයි මගේ හර්දය වස්තුවත් නැවතුණා වගේ..

"උඹ ඇවිල්ලා ඕක කියපු හන්දා මං විශ්වාස කරනවා.. නැත්නම් මං කීයටවත් විශ්වාස කරන්නෑ රවීන්.. ෂිහ්.. මේකා ගැන මොනවද මං මේ අහන්නෙ..?"

"කලබල වෙන්නෙපා බන්ටි අයියා.. දැන් කරන්න තියෙන්නෙ, ෂේප් එකේ අයියකාරයව ඒ ගෑනිගෙන් ගලව ගන්න එකයි.. වැරදිලාවත් ගුටි කෑවොත් හතර විලි ලැජ්ජාවනේ.."

"දැන් ඔය කියන ගෑනු මනුස්සයා ඉන්නෙ කොහෙද..?"

"කටුගස්තොට.. හැබැයි මේ වැඩේට පුලුවන් තරම් ඉක්මනට බහින්න වෙනවා.. මොකද ඒ කොල්ලො සෙට් එකත් එළකිරි බඩු ටිකක්.. රසිකව නවත්ත ගත්තෙ නැතන්ම්, ෂුවර් එකටම හෙට අනිද්දම නුවර ඉස්පිරිතාලෙ ලගින්න වෙයි.. ඒකෙ ආයෙ දෙක්ක නෑ.."

"මට තව ඩීටෙල්ස් ටිකක් දීපන් රවීන්.."

"ඔය කියන ගෑනු මනුස්සයට ගෙට්ස් එකක් තියෙනවා.. ස්ටේෂන් එකට ඩිංගක් උඩින්.. සල්ලි වලින් නම් ගෑනිට අවුලක් නෑ.. ඒත් කතාව හැටියට නම් දෙන්නා සෙට් වෙලා තියෙන්නෙ බෑන්ක් ලෝන් එකක් ගන්න ගිහින්.. ලෝන් එක ඇපෘ උනා වගේම ලව් එකත් ඇපෘ වෙලා.."

එහෙනම් අයියකාරයා බෑන්ක් එකෙන් ලෝන් එක දෙන ගමන්ම, මේකටත් කොක්ක ගහලා.. අනේ අම්මපා මූ වගේ හොරිකඩයෙක්.. මේකා එතකොට බෝධි සත්වයා වගේ කලින් දවසක මට කිව්වෙ, මාලු ගාමිණිගෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියලා හොයන්න.. එතකොට බලන් ගියාම මේ මාලු ගාමිණිගෙ පවුලද..? බේබි නැන්දා නම් කි්වවෙ මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක තමයි යාලු කියලා.. මේ අහන ඒවට මගේ නම් ඔලුවත්තෙක්ක අවුල් වෙලා..

"දැන් එතකොට කටුගස්තොට කොල්ලො සෙට් එක අපේ එකාට ගහන්නෙ ඇයි..?"

"ඒක වෙනමම කතන්දරයක්.."

"ඒ කියන්නෙ..?"

"පැහැදිලි ඉරිසියාව.. පැහැදිලි ඉරිසියාව.. වෙන මුකුත්ම නෙමෙයි.. මේ ගෑනි හුගක් ලස්සනයි.. බැලූ බැල්මට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ.. බැදලා ඉන්න මනුස්සයා ඒ තරම් පණක් තියෙන එකෙක් නෙමෙයි.. ඉතිං ඒ වටපිටේ කොල්ලො නිතරම ඇහැ දීගත්ත ගමන් ඉන්නෙ.. ඒත් ඒගෑනි හෙණ රෙස්පෙක්ට්.. එහෙම ලේසියෙන් කාටවත් අල්ලන්න බෑ.. ගමේ වැල ගමට නොතියා මේ පිට එකෙක් කන හන්දයි උංට තියෙන අමාරුව.."

ඒකත් එහෙමද..? බලන් ගියාම අපේ එකාට මල් සරා ඊතල දෙක තුනක්ම ඇනලා තියෙනවා, ආදරේ ඉස්මුරුත්තා වෙලා යන්න.. ඒකනේ මේ තරම් ගෑනු උදවිය වටේ කරකැවෙන්නෙ..

"රවීන්.. තකහනියක්  ආවෙ මේ කතන්දරේ මට කියලා යන්නද..?"

"ඔව් බන්ටි අයියා.. ඔයා දැන් මොනවද කරන්න හිතන් ඉන්නෙ..?"

"ඔක්කොටම කලින් අයියකාරයා ගුටිකන එක නවත්තන්න ඕන.. ඒකට මට උඹේ සප් එක ඕන.."

"ඊගාවට..?"

"අර ගෑනිත් එක්ක තියෙනවයි කියපු ලව් එෆෙයාර් එක නවත්තන්න ඕන.."

"ඒක නම් මං හිතන්නෑ.."

"ඒ මොකද..?"

"රසිකගෙයි ඒ ගෑනිගෙයි කතන්දරේ රෝමියො - ජුලියට් වගේ යනවලු.. කොල්ලො කතාවට කියන්නෙ රෝමියෝ - ජුලියට් නැවත ඉපදිලා කියලලු.."

"ඒ කතාවෙ අවසානය ශෝකාන්තයක්නේ රවීන්.."

"මේකත් එහෙමම තමයි.. මොකෝ මේක කියලා සතුටින් ඉවර වෙයි කියලා අපිට හිතන්න බෑනේ.."

"එහෙනම් අදම වැඩේට බහින්න වෙනවා.."

"අදම නෙමේ බන්ටි අයියා.. දැන්ම.."

මට මේ පුංචි එකාගෙ අල්ලල යන දේ තමයි හැමදේම ඉක්මන් කරන්න ඕන කියන සිතුවිල්ල.. කියල වැඩක් නෑ.. මාවත් නිකම්ම පිකප් වෙලා එනවා..

"හරි.. ඩිංගක් ඉදපං.. මං ඇදුමක් දාගෙන එන්නම්.."

ඩෙනිමයි, ටී ෂර්ට් එකයි පටලව ගන්න, මට විනාඩි දෙකක්වත් ගියේ නෑ.. බේබි නැන්දටවත් වචනයක් කියන්නැතුව මං රවීන් එක්ක එළියට බැස්සා.. සද්ද බද්ද නෑහෙන්න චැලියත් ගේට්ටුව ළගටම අරගෙන ගිහින් මං ස්ටාර්ට් කර ගත්තා..

"බන්ටි මල්ලි.. හෝව්.. හෝව්.. හෝව්.."

ස්ටාර්ට් කරලා මීටර් දෙක තුනක් යන්න උනේ නෑ.. සුපුරුදු පරිදි මාර්ග බාධකේ මෙන්න මෙගේ ඉස්සරහ..

"මොකක්ද මොරීන් අක්කෙ.. මං දවසකුත් කිව්වා, හෝව් හෝව් කියන්නෙපා කියලා.. මේක බර කරත්තයක් නෙමෙයිනේ.. මලකඩ කාල වගේ තිබුණත් මේක මට වටිනවා.."

"සමාවෙන්න බන්ටි මල්ලි.. සමාවෙන්න.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.. මේ පිටිපස්සෙ වාඩිවෙලා ඉන්න ඔයාගෙ යාලුවා හිටියට කමක් නැද්ද..?"

"කමක් නෑ මොරීන් අක්කෙ.. කමක් නෑ.. කියන දෙයක් ඉක්මනට කියන්න.. අපි මේ වැදගත් වැඩකට යන ගමන්.. අපිට පරක්කු වෙනවා.."

"මේකත් අතිශය වැදගත් තමයි බන්ටි මල්ලි.."

"හරි.. හරි.. ඉතිං කියන්නකො.."

"මං අර මාලු ගාමිණිගෙ කතන්දරේ ඔයාට කිව්වා නේද..?"

"ඔව්.. මට මතකයි.."

"මං ඒක විනාස කරලා දැම්මා.."

"මොකක්..?"

"ඔව්.. මං ඒ කෙල්ලව හම්බවෙලා, මට රසික ගැන තියෙන අයිතිවාසිකම් ගැන කතා කලා.. ඔයාට කියන්න බුදු බන්ටි මල්ල.. ඒකි ලතෝනි දීගෙන හැරිලා දිව්වනේ.."

අම්මපා කියලා කියවෙන්න දිව අගටම ආවත් මං යටිතොල තද කරලා විකා ගත්තා.. බලන් ගියාම මොරීන් අක්කා මට වැඩිය ස්පීඩ් පොරක්නෙ.. මං මාලු ගාමිණිගෙ ගෙදර හොයාගන්න යනකොට මොරීන් අක්කා ඒ කතන්දරේ ඉවර කරලත් ඉවරයි..

"ඊට පස්සෙ..?"

"ඒකි දුවන්න කලින් මගේ නම ඇහුවා.. මං කිව්වා 'රුචිරා' කියලා.."

"මොකක්..?"

"ඔව් බන්ටි මල්ලි.. ඒ වෙලාවෙ මගේ කටට ආවෙ ඒ සුන්දර රජ කාලෙ නම.. මං වැඩි දුරටත් කිව්වා, රසික මට කතා කරනනෙ, 'ආදරියේ රුචිරාණනියේ' කියලා.."

"ඒක සිංදුවක්නෙ මොරීන් අක්කෙ.."

"හැබෑද..? කොහොම හරි මං කියපුවා කෙල්ලට ඉවසගන්න බැරි උනා.."

"ඔයා මොනවද කිව්වෙ..?"

"ඒවා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.."

"මාත් වැඩිහිටියෙක්නේ.."

"පිස්සුද..? ඔයා සදාකාලයටම මගේ පුංචි සහෝදරයා.. මම ඔයා ඉස්සරහ වැදගත් විදියට හැසිරෙනවා වගේම, වැදගත් විදියට කතා කරනවා.. ඔයා ඒක තේරුම් ගන්න.."

මොරීන් අක්කා ඒ ටික කිව්වෙ බොක්කෙන්මයි.. ඒක පිටිපස්සෙ වාඩිවෙලා හිටපු රවීන්ටත් තේරුණා..

"සමහර වෙලාවට ඔයාගෙ ගෙදරින් මට කවදාවත්  හරියක් ගන්න බැරිවෙයි.. ඔයාගෙ සුදු රසික අයියාව මට කවදාවත් හම්බවෙන්නෙ නැතිවෙයි.. ඒත් ඔයා හැමදාටම මගේ බන්ටි මල්ලිම තමයි.."

"මං ඒක දන්නවා මොරීන් අක්කෙ.."

"මේ හිතන පතන දේවල් කවදාවත් ඉෂ්ඨ වෙන්නෑ කියලා හදවත ඉවරක් නැතුව කියද්දි.. හද ඉල්ලල අඩන පුංචි එකෙක් වගේ මාත් හැමදාම අඩනවා බ්නටි මල්ලි.. ආදරේ කියන දේ මේ තරම් මායාවක්, වේදනාවක් කියලා මං දන්නවා නම්, මං කවදාවත් ආදරේ කරන්නෙත් නෑ.."

"කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මට කියන්න මොරීන් අක්කෙ.. බෙල්ල ගහලා ගියත් ඔයා වෙනුවෙන් මේ බන්ටි ඒ දේ කරනවා.."

ඒ වෙනකොට මොරන් අක්කගෙ ඇස් දෙකේම කදුළු පිරිලා තිබුණා.. මගේ හිතට වැඩියක්ම දුක දැනුණෙ ඒකයි..

"හ්ග්.. මම දන්නවා බන්ටි මල්ලි.. මං දන්නවා.. ඔය පවුලෙන් හොද ඔයයි, බේබි නැන්දයි විතරයිනේ.. අනිත් හැමෝම මහ ඉහළින් හිතන පතන මිනිස්සු.. ඒ කාටවත් මාව වටින්නෙ නෑ.. ඒ කවුරුවත් මාව ගණන් ගන්නෑ.."

"හරි මොරීන් අක්කෙ.. ඔයා අඩන්නැතුව ඉන්නකෝ.. අඩල ප්‍රශ්න විසදගන්න පුළුවන් නම්.. හැම එකාම අඩයිනේ.."

"මට හුගාක් දුකයි.. ඉවරයක් නැති ගින්දරක් මගේ පපුවෙ පත්තු වෙන්නෙ.."

"දැන් ප්‍රශ්නයක් නෑනේ.. මාලු ගාමිණිගෙ කතන්දරේට ඔයා ෆුල්ස්ටොප් තිබ්බනේ.."

"වැඩක් නෑ.. වැඩක් නෑ.. ඔය රසික හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.. හැබෑ ආදරේ මොකක්ද කියලා එයා දන්නෑ.. ඔහොම අත්තෙන් අත්තට පැනලා ගිහින් එයා කවද හරි තෙමිල නහිනවා.. පිහදාලව්ත බේරගන්න බෑ.. උණ සන්නිපාතෙම හැදෙනවා.."

ඒක නම් ඇත්ත තමයි.. ඒ කතාවට මොරීන් අක්කගෙ කටේ රුපියල් සීයක් විතර ඔබන්න ඕන..

"හැබැයි ඔහොම ගිහිල්ල ගිහිල්ල එයාට කවද හරි ආපිටට මං ළගට එන්න වෙයි.. ඒත් එදාට මේ මොරීන්ගෙ හිතේ ආදරේ මැරිලා තිබ්බොත්, රසික සදාකාලයටම පරාදයි.. මොකද මං තරම් එයාට ආදරේ කරන කෙනෙක් මේ තුන් ලෝකෙ කොහේ හෙව්වත් එයාට හොයාගන්න බෑ.."

"ඒක මං දන්නවා.."

"ඔයා දන්නවා උනාට, රසික ඒක දන්නෑනෙ බන්ටි මල්ලි.. රසික කියන්නෙ මහ කැත මනුස්සයෙක්.. මට ආරංචියි ඔන්න දැන් කටුගස්තොට පැත්තෙ ගෙස්ට් හවුස් එකක ගෑනියෙක් එක්ක ගජරාමෙට ආදරේ කරනවලු.."

මං කරකවල අතෑරියා වගේ උනා.. පිටිපස්සෙ ඉදගෙන ඉදපු රවීන් උඩ බිම බලනවා මං දැක්කා.. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න.. මොරීන් අක්කා මේ නිව්ස් කොහෙන් හොයා ගන්නවද මංදා..

"ඕවා කැත වැඩ බන්ටි මල්ලි.. ඕවා සහගහන අපාරාධ.. අනුන්ගෙ කුරුළු කූඩු අස්සට හොට දාලා මෙදා සැරේ නම් රසික අතක් පයක් කඩාගන්නවා.."

"ඔයාට ඔය කතාව කවුද කිව්වෙ..?"

"කවුරු කියන්නද මල්ලි.. මුළු නුවරම දන්නකොට.. මං හිතන්නෙ මං වෙන්නැති අන්තිමටම දැනගත්තු කෙනා.. ඇත්තටම රසිකට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? එයා අපිට වැඩිය අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නේද..?"

අනේ උගේ රෙද්දෙ අධ්‍යාපනේ.. මේ දෙක පාස් කිව්වත් ඔයිට වඩා හොදට ජීවිතේ අරගෙන යනවා.. මට නම් දැන් මූව ගාත් දෙකෙන්ම අල්ලලා පොළවෙ ගහන්න තරම් කේන්තියි..

"මං යනවා බන්ටි මල්ලි.. මේවා ගැන තවත් කතා කරන්න යෑමෙන් වෙන්නෙ මං පපුවෙ අමාරුකාරියක් වෙන එක.."

පපුවට අත් දෙකම තියාගෙන මොරීන් අක්කා එයාලගෙ ගෙවල් පැත්තට ගියා.. කරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව, මං රවීන්ගෙ මූණ දිහා බැලුවා.. ඒ මූණෙ මං දැක්කෙ කවදාවත් දැකල තිබුණෙ නැති තරමෙ කණගාටුදායක පෙනුමක්..

"පව් බන්ටි අයියා.. ඇත්තටම පව්.. බලන් ගියාම මේ ආදරේ කියන්නෙ මහා හෙණයක්.. ගෑවිච්ච ගෑවිච්ච තැන පිච්චෙනවා.. වැඩි විස්තර නම් මං දන්නෑ.. ඒත් ඔය කියාපු ටිකෙන් හුගාක් දේ මං හිතාගත්තා.. තමන්ට හිමි නැති වුණත්, ඒ හිමි නැති දේට ඔයාකාර කැපවෙන අය හුගාක් අඩුයි.. ඒ අතින්, රසිකට ඒ අක්කගෙ අහලකටවත් ලංවෙන්න බෑ.."

"මොරීන් අක්කා මගෙ නෑනා වෙනවා නම් මං කැමතියි.. ඒත් ඔය විදියට මේ සම්ම කපේ ඒක වෙන්නෑ රවීන්.."

"දැන් අපි මොකද කරන්නෙ බන්ටි අයියෙ..?"

"මගේ ඔලුවෙ පුංචි ප්ලෑන් එකක් තියෙනවා.. හැබැයි ඒක කරන්න වෙන්නෙ මොරීන් අක්කා එක්ක.."

"මට තේරුන්නෑ.."

"කතන්දරේ යනකොට උඹට තේරෙයි.. ඊට කලින් මට ඒ ගෙස්ට් එකේ ගෑනිගෙ නමයි, නිදහසේ හම්බවෙන්න පුළුවන් වෙලාවකුයි සෙට් කරලා දීපං.."

"සිම්පල් කේස් එකක්නෙ බන්ටි අයියා.. අද හවස් වෙනකොට මං රිප්ලයි දෙන්නම්.. එතකොට රසිකගෙ කතන්දරේට මොකද වෙන්නෙ..?"

"අපි ක්‍රියාත්මක වෙන්න කලින් ඌ ගුටි කෑවොත් අපිට කරන්න දෙයක් නෑ.. ඒත් හෙට වෙනකන්, කටුගස්තොට කොල්ලො සෙට් එක වැඩේට නොබැස්සොත් හොදයි.."

යන්න ගියපු ගමන මොරීන් අක්කගෙ කතාබහෙන් වෙනමම පැත්තකට ඇදිලා ගියා.. මටත් තිබ්බෙ චැලිය ඩිංගක් රේස් කරන් ආපහු ගෙදරට යන්න..

                                             ****************************

කාමරේට යන්න ගියපු මං, නතර උනේ ටෙලිෆෝන් එක දැකලා.. නරකද නිකං තියෙන එකේ, නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඔබල වෙනදේ බැලුවොතින්.. ඒ කල්පනාවට තවත් එහාට මෙහාට යන්න දෙන්න නැතුව මං රිසිවරේ අතට ගත්තා..

නෙත්මි තාමත් අර මල පනින කේන්තියෙන්ද දන්නෑ ඉන්නෙ.. එහෙම උනොත් නම් ඉතිං මේ බන්ටි, ඔය ග්‍රැහැම්බෙල්ගෙ අදෝනාව පැත්තකින් තියලා නිකන් ඉන්නවා..

තුන් හතර පාරකට වැඩිය එහා පැත්තෙන් රින්ග්ස් ගියේ නෑ.. කාගදෙ ගොරෝසුවට වගේ කටහඩක් ඇහුණා.. මොන අවනඩුවක්ද අප්පා මේ..? නෙත්මිලගෙ තාත්තා ටෙලිෆෝන් එක උඩ තාමත් නිදිද..? දැන් නම් දවස් කීයක්ද..? මේ මනුස්සයා කන්න බොන්නවත් යන්නෙ නැද්ද මංදා..

මගෙත් එක්ක තියෙන කේන්තියට නෙත්මි ෆෝන් එක පැත්ත පළාතක එන්නෑ කියලා මං තේරුම් ගත්තා.. ගෙදරට ගියා කියල උනත්, මෙලෝ සංසාරෙක දෙයක් විසදගන්න බැරි උනානේ.. තිබ්බටත් වැඩිය හිත නරක් කරගෙන ආපහු එන්න ආවා..

"බන්ටි.."

මගේ සිතුවිලි ලෝකෙ පෙණ බුබුලු පටස් ගාලා පුපුරලා ගියා.. සයිඩ් බෑක් එක පැත්තකින් එල්ලන් වැටෙද්දි ඉනටත් අත් දෙක ගහගෙන අක්කා මගේ දිහා බලන් හිටියා.. එයා ඔෆිස් ගිහි්න ආව විතරයි වගේ..

"ඇයි මේ ෆෝන් එකට රවාගෙන ඉන්නෙ..?"

"මුකුත් නෑ.."

"මුකුත් නැතිවෙන්න බෑ.. මෙහෙ එන්න බන්ටි.. ඔයා දැන් හරි අමුතුයි.. අඩුම ගානෙ ඔයාගෙ හිනාවක සද්දයක්වත් හුග දවසකින් ඇහුනෙ නෑ.."

"හැමදාම එකම විදියට ජීවිතේ ගලාගෙන යන්නෙ නෑනෙ අක්කෙ.. ඒත් ඔයා නම් වෙනදට වැඩිය සතුටින් ඉන්න බව නම් පේනවා.. මොකද මල්සරා ගුරුන්නාන්සෙ ඊතලයක්වත් එව්වද..?" 

"ඔයාට පිස්සුද..? රසික අයියට වගේ මට එහෙම කැක්කුමක් නෑ.."

"එහෙනම් මොකක්ද මේ වෙනස..?"

බාගෙට අප්සට් නෙමෙයි, වලකජ්ජ ගහලා ගියත් බන්ටිට ඔව්වා පේනවා.. මේ බයිනෝකියුලර් එකක් වගේ තියෙන ඇස් දෙකෙන් බේරෙන්න කාටවත් බෑ..

"නෙත්මි මගෙත්තෙක්ක තරහා වෙලා නෑ බන්ටි.. එයා දැන් මගෙත් එක්ක කතා කරනවා.."

ඇස් ඉස්සරහ අකුණක් ගහලා ගියා වගේ මං හෙල්ලිලා ගියා.. මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් අහන්න මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ..

"ඔ.. ඔයා මට කිව්වෙත් නෑනෙ.."

"කියල වැඩක් තියෙනවද බන්ටි.. මං ඔයාට ඒ කෙල්ලත් එක්ක කතා කරන්න කියලා කීපාරක් නම් කිව්වද..? ඒත් ඔයාගෙ ආඩම්බරකම ඉස්සරහට දාගෙන, මගේ වචන සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.. ඇත්තටම වැරැද්ද කරේ ඔයානෙ.. නෙත්මි ඔයාට කතා කරන කල් ඔයා බලන් ඉදලා හරියන්නෙ නෑනේ.. ඔයානෙ නෙත්මිට කතා කරන්න ඕන.."

අක්කා වයින් වුණා කියලා මට තේරුණා.. වෙලාවකට උන්දත් දුම්මල වරම ගත්තු කපු හාමිනේ වගේ.. මෙලෝ සිහියක් පතක් නැතුව පරල වෙනවා..

"මට සංතෝසෙ වැඩි නෙත්මි මට කතා කරපු හින්දා.. මං කතා කරනකොට දවස් කීයක් නම් එයා මගෑරියද..? ඒත් සැන් ඒ හැම දෙයක්ම ඉවරයි.. අපේ යාලුකම දැන් ඉස්සර වගේම තියෙනවා.."

"ඔයා එහෙමද හිතන්නෙ..?"

"ඇයි බන්ටි.. මං එහෙම හිතන එකේ වැරැද්දක් තියෙනවද..?"

"වැරැද්දක් තියෙනවද නැද්ද කියලා කියන්න නම් මං දන්නෑ.. ඒත් මං චාමිකත් එක්ක නෙත්මිව හම්බවෙන්න ගෙදරටම ගියා.."

"මො..න..වා.."

එතන ඉදලා නෙත්මිලාගෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් මං අකුරක් නෑරම අක්කත් එක්ක කිව්වා.. මගෙන් පිටවෙන දේවල් අදහගන්න බැරුව වගේ අක්කගෙ කට ඇරුණා..

"දෙ..දෙයියනේ.. මට විශ්වාස කරන්නත් බෑ.. මේ කෙල්ලට මොනව වෙලාද..? ඇ.. ඇයි බන්ටි ඔය විත්තියක් මට කලින් නොකිව්වෙ..? එහෙනම් මට මේක නෙත්මිත් එක්ක කෙලින්ම කතා කරන්න තිබ්බා.."

"වැඩක් නෑ අක්කෙ.. නෙත්මි බලන් ඉදලා තියෙන්නෙ මාව බාල්දු කරන්න තමයි.. හැබැයි ඉතිං ඔය තරම් උඩ පනින්න දෙයක් එයාට උනේ නෑ.. ඔයා මට බල කරපු හන්දයි, මගෙන් එයාට වැරැද්දක් උනා කියාල ඔයා කියපු හන්දයි මං එයාලගෙ ගෙදරටම ගියේ.."

"අනේ බන්ටි.. නෙත්මිට වටින්නෑ ඔයාට එහෙම කරන්න.. මගේ හොදම යාලුවා උනත් මං ඒ වැඩේට ඩිංගක්වත් කැමති නෑ.. අනික මොන තරම් තරහක් තිබ්බත්, තමන්ගෙ තැනට ආපු කෙනෙක්ට ඔහොමත් කතා කරනවද..?"

"මං කිව්ව කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. එයා මාව සත පහකට තරම්වත් මායිම් කරේ නෑ.. කොටින්ම මගෙන් පිටවෙච්ච හැම අකුරක්ම එයා අවිශ්වාස කරා.. අඩුගානෙ මං එයාට ෆෝන් කරා කියනෙකවත් එයා පිළිගත්තෙ නෑ.."

"ඔ.. ඔයා නෙත්මිට ෆෝන් කරා..?"

"ඔව්.. සෑහෙන වාර ගාණක්.. මේ දැනුත් එයාටයි මං කෝල් එකක් ගත්තෙ.."

"හෑන්ඩ් ෆෝන් එකටද..?"

"එයා ඒක ඕෆ් කරලා අක්කෙ.. මං දිගටම ගත්තෙ ලෑන්ඩ් එකට.. අඩුගානෙ ඒකටවත් එයා අන්සර් කරන්න එන්නෑ.. එයාගෙ තාත්තමයි ගන්නෙ.."

මගේ කතාවෙන් අක්කගෙ ඇස් ලොකු වෙනවා මං දැක්කා.. තාත්තා ෆෝන් එක ගත්තා කිව්වාම ඔය තරම් පුදුම වෙන්න ඕනද..? අක්කටත් වෙලාවකට නුහුගුණේද මංදා..

"තාත්තා..? මොන තාත්තද..?"

"මොන තාත්තද අහන්නෙ..? නෙත්මිට තාත්තලා දෙතුන් දෙනෙක් නෑනෙ.. ගෙදර ඉන්න තාත්ත තමයි ගත්තෙ.."

"ඔයා මොනව කියනවද කියලා මට තේරෙන්නෑ බන්ටි.. නෙත්මිගෙ තාත්තා රටනේ ඉන්නෙ.. ඔයා මේ වෙන කාටද කතා කරලා.. අනික ඉතිං තාත්තා ආව නම් නෙත්මි මට නොකිය ඉන්නවද..?"

ඔය බලපල්ලකො ඉතිං.. නෙත්මි විතරක් නෙමෙයි අක්කත් දැන්, මේ බන්ටි කිය දෙයක් පිළිගන්නෙ නෑනෙ.. බලන් ගියාම බන්ටිගෙ නරක කාලෙද මංදා..

"එතකොට මං නෙත්මිලහට කෝල් කරාම ගත්තෙ නෙත්මිලගෙ තාත්ත නමෙයි.."

"කිව්වම අහන්න බන්ටි.. නෙත්මිලගෙ තාත්තා රට ඉන්නෙ.. එයා තාම ලංකාවට ඇවිත් නෑ.."

"එතකොට මේ නම්බර් එක නෙත්මිගෙ ගෙදර එක නෙමෙයිද..?"

නෙත්මිගෙ නම්බර් එක තිබ්බ කාඩ් එක මං අක්කට පෙන්නුවා..

"ඔව්.. නම්බර් එක නම් හරි.."

"එහෙනම් ඉතිං ආයෙ මොනවද..? මං ඕකටමයි ගත්තෙ.. ඔයාට අවිශ්වාස නම් ආයෙත් ඩයල් කරලා බලන්නකො.."

කියන පරක්කුවට අක්කා නම්බර් එක ඩයල් කරා.. බන්ටිගෙ වෙලාව හොද නම්, එහා පැත්තෙන් නෙත්මි රිසිවරේ උස්සයි.. එතකොට හැබැයි මට අක්කට දෙන්න උත්තර නැතිවෙනවා..

"ම.. මට පිණිමුතුට කතා කරන්න පුළුවන්ද..?"

අක්කගෙ කටහඩ අවුල් උනා කියලා මට තෙරුණා.. ඒ කියන්නෙ ෆෝන් එක ගත්තෙ නෙත්මි නෙමෙයි, නෙත්මිගෙ තාත්තා..

"ආ.. ම.. මමද..? මං සමුදිනී.. පිණීමුතුට කියන්නකො මං කතා කරනවා කියලා.."

අක්කගෙ මූණත්තෙක්ක රතු වෙලා.. කිසිම සැකයක් නෑ.. නෙත්මිගෙ තාත්තා කියන්නෙත්, ශලනිගෙ තාත්තා වගේම තද නීතිකාරයෙක් වෙන්නැති.. තව තත්පරයක් ගියේ නෑ.. අක්කා බයවෙලා වගේ ෆෝන් එක තිබ්බා..

"ඇ.. ඇයි අක්කෙ..?"

"ඔයා කිව්ව හරි.. කවුරු හරි පිරිමි කෙනෙක් තමා කතා කරන්නෙ.."

"මං කිව්වෙ ඒකනෙ අක්කෙ.. නෙත්මිගෙ තාත්තා ඇවිත් කියලා.."

"තාත්තා වෙන්න බෑ බන්ටි.. ඒ අංකල් ඔය තරම් සැර නෑ.. මේ කතා කරපු කෙනා, මහ එපා කරපු විදියට කතා කරන්නෙ.. අඩුගානෙ හරියකට කතා කරන්නවත් දන්නැති මනුස්සයෙක්.."

අක්කා කල්පනාවට වැටුණා.. මට නම් කල්පනා කරන්න බින්දුවක්වත් දෙයක් තිබ්බෙ නෑ.. ආයෙ ඕකෙ මොනවා කල්පනා කරන්නද..? හරියට වෙන වැඩ නැතුව වගේ.. නෙත්මිලගෙ ගෙදර ඉන්නෙ, නෙත්මිගෙ තාත්තා නැත්නම් වෙන කවුද..? මොකෝ අපේ පයිතගරස්වත් එහේ ඉන්නව කියලා කියන්නද..? හැමදේම අමතක කරල දාලා වගේ පඩිපෙල නගිද්දි මොකක්දෝ අපැහැදිලි චායාවක් මගේ හිතේ ඇදිලා ගියා.. ඒත් ඒක එහෙම වෙන්නෙ කොහොමද..? හිතට අහම්බෙන් වගේ දැනුණ දේ කීයටවත් ඇත්තක් වෙන්න බෑ කියල මගේ හිත මට දිව්රලා කිව්වා..

"ඇ.. ඇයි බ.. බන්ටි.."

පඩිපෙලේ මැද හරියෙ නතර වෙච්ච මගෙන්, අක්කා ඇහුවෙ පුදුමවෙලා වගේ.. මං ආයෙත් පඩිපෙළ බැහැලා අක්ක ළගට ආවා..

"නෙත්මිලගෙ ලෑන්ඩ් ෆෝන් එකට ආන්සර් කරන්නෙ පිරිමියෙක් කියලා දැන් ඔයාට ෂුවර් නේද..?"

"ඔව් බන්ටි.."

"සමහර විට ඒ නෙත්මිම වෙන්න බැරිද..? එයා කටහඩ වෙනස් කරල කතා කරනව වෙන්න බැරිද..?"

අක්කගෙ මූණ ලොකු කල්පනාවකින් වැහිල ගියා..

"මට එහෙම හිතන්න අමාරුයි බන්ටි.."

"මං එදා චාමිකත්තෙක්ක එහේ ගියාම, නෙත්මිගෙ තාත්තා ගෙදර හිටියෙ නෑ.. මට දැන් හිතෙනවා මං මහ මෝඩ වැඩක් කරේ කියලා.."

"ඒ කියන්නෙ..?"

"මට තිබුණෙ නෙත්මිලගෙ ගෙදරදිම, එහේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගන්න.. ෂිහ්.. මං මටම ගහගන්න හිතෙනවා.. ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කල්පනා කරන්න බැරි උන එක ගැන.."

"ඔයාටත් මහ පුදුම දේවල් තමා කල්පනා වෙන්නෙ.. හැබැයි ඔයාට තාමත් චාන්ස් එක තියෙනවා.. ඒක හින්දා ඔයාට, ඔයාගෙන්ම ගුටි කන්න ඕන වෙන්නෙ නෑ.."

"මට තෙරුන්නෑ.."

"හැමදේම පැත්තකින් තියලා ඔයා හෙට නෙත්මිව හම්බවෙන්න යන්න.. ඔය කිව්ව දේම ක්‍රියාත්මක කරල බලන්න.. වෙන දෙයක් වෙයිනෙ.."

අක්කගෙන් ආවෙ ඉතාම හොද යෝජනාවක්.. ඒත් ඒකෙ සෑහෙන්න අඩුපාඩු තිබුණා..

"නෙත්මි හම්බවෙන්න මං ගිහින් හරියන්නෑ.."

"එහෙනම්..?"

"නෙත්මි හම්බවෙන්න ඔයා යන්න.."

"මං ගිහින්..?"

"බයවෙන්නෙපා.. ඔයාගෙ පස්සෙන් මාත් එනවා.. මොකද ඔය ටෙලිෆෝන් කතන්දරේ ගැන මට ලොකු අවිශ්වාසයක් තියෙනවා.. ඒක හන්දා නෙත්මිත් එක්ක කතා කර කර ලෑන්ඩ් ෆෝන් එක ළගට වෙලා ඉන්න.. මං කෝල් එකක් ගන්නම්.. එතකොට, නෙත්මිගෙ තාත්ත හරි, පිරිමි කටහඩකින් කතා කරන නෙත්මි හරි කරලියට එන්න වෙනවනේ.."

මගේ කතාවට අක්කගෙ මූණෙ ලස්සන හිනාවක් පිපුණා..

"ඔයා හරි බන්ටි.. ඔයා කියන දේවල් හැමදාම හරි.. අපි දෙන්නා හෙට උදේම නෙත්මිලහ යමු.."

අක්කයි, මායි වැඩේ ෆිට් කරගත්තා.. හෙට එළිඋනාම බලමුකො නෙත්මි දාන කලර්ස් වලට මොකද වෙන්නෙ කියලා..  



                
              

No comments:

Post a Comment