Wednesday, April 18, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






අයියගෙ පැණි ගැමන නවත්තල, මං ආපහු කාමරේට එද්දි, නෙත්මි අරන් දීපු ෆෝන් එක රින්ග්ස් යනවා මට ඇහුණා.. උදේ පාන්දරම මගේ අර්ෂස් තද කරන්න නෙත්මි අරගන්නවා ඇති.. මට එහෙම හිතුණත් ස්ක්‍රීන් එකෙ තිබුණෙ වෙනින්ම නම්බර් එකක්.. හිතට ආපු පුංචි සැකයක් හින්ද.. ෆෝන් එක ඔන් කෙරුවත් මං හලෝ කිව්වෙ නෑ..

"මේ රන්දික වෙන්නැති.."


කටහඩ මං අදුනගත්තා.. එහෙනම් උඹ බය නැතුව මගේ ෆෝන් එකටම කතා කරා..

"ඔව්.. මේ පිණිමුතුගෙ තාත්තා නේද..?"

ප්‍රශ්නයක් ඇහුව උනත්, මගේ හිතෙ තිබ්බ අනිත් ප්‍රශ්නෙ නෙත්මිගෙ තාත්තා විදියට රගපාන එකා, කොහොමද මේ බන්ටිගෙ ෆෝන් නම්බරේ දන්නෙ කියලා..

"තාත්තා තමයි.. මං රන්දිකට ගත්තෙ, පුංචි පණිවිඩයක් කියන්න.."

"මොකක්ද..?"

සුපුරුදු ගොරෝසු හඩ, යස අපූරුවට හතර අතේ ඇහෙද්දි මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙට මං උත්තරේ හොයාගත්තා.. ඒ තමයි මේ මොබයිල් එකෙන්, මං නෙත්මිගෙ ගෙදරට කෝල්ස් ගත්තු එක.. ඒ කෝල්ස් ඔක්කොම යන්නැත්තෙ, මේ කතා කරන එකා ළගටනේ.. ඉතිං මගේ නම්බර් එක ගැන දන්නෙ, ඌට වැඩිය වෙන කවුද..?

"මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන්න කියන්න.."

ඒ වචන ටිකත් එක්ක මගේ හිතට දැනුණෙ පුදුම සනීපයක්..

"නවත්තන්න තරමෙ සම්බන්ධයක් අපි අතරෙ නෑනෙ.."

"නැත්නම් කමක් නෑ.. මගේ දූට ගැළපෙන කොල්ලෙක් හම්බවෙලා තියෙන්නෙ ඒකයි.."

"මගේ ගැටලුවක් නෑ.. ඒ කොල්ලට දූව දීගන්න.."

"ඔය ඇත්තමද කියන්නෙ..?"

"ඔව්.. මේ රන්දිකගෙ වචන දෙකක් නෑ.."

"තමුසෙට දුක නැද්ද..?"

ඔන්න දැන් තමයි, කතාවෙ නියම ට්‍රැක් එකට ආවෙ..  ඔය මට්ටමින් කතාව ගෙනියන්න පුළුවන් නම් නියමයි..

"දුකක් නෑ.. කෙල්ලො චපලයි කියලා මං දන්නවනේ.."

"තව..?"

"තමුසෙ වගේ පිරිමිකමක් නැති හිගන්නො, උංට සපෝට් කියලා මං දන්නවනේ.."

"මො.. මොකක්ද කිව්වෙ..?"

මගෙන් වැදිච්ච පාරෙ සැරකමට, කතා කරපු එකාට කලින් විදියටම කටහඩ හදාගන්න බැරි උනා.. ඒ බැරි උන ටිකේ, මගේ හිතට දැනුණෙ ඒ කටහඩ මං කොහෙදි හරි අහල තියෙනවා කියලා..

"තමුසෙ පිණිමුතුගෙ තාත්තා නෙමෙයි කියලා මං දන්නවනෙ.."

"මොකක්..?"

"ඔව්.. තව වැඩි දවසක් යන්න කලින් මං තමුසෙව හොයාගන්නවා.. මොකද පිණීමුතුගෙ ඩාන්සින් ටීචර් වගේ කතා කරෙත් මං තමයි.."

"ඈ.."

"මොකද තමුසෙට ඒක දැන්ද මතක් උනේ.. මේ ෆෝන් එකෙන්ම තමයි මං තමුසෙට කෝල් කලේ.."

"හ්..ග්.. ඔ.. ඔව් නේන්නම්.."

"එහෙනම් තමුසෙ දැන් පරිස්සම් වෙනවා.. මෙන්න මේ වෙලාවෙ ඉදන් මං තමුසෙගෙ පස්සෙන් පන්නනවා.. මගේ ගැන දේවල් දන්නව නම් අහල ඇතිනෙ, බන්ටිගෙ ගුටි බැට පූජාව කොහොමද කියලා.. ගුරුදෙණියෙ වෙද මහත්තයා ළගට යන්න ලෑස්තිවෙලා ඉදපං.."

"හ්ග්.."

දුරකථන ඇමතුම එහා පැත්තෙන් කට් වෙලා ගියා.. කතා කරපු ගල් ඉබ්බා මොකා උනත් ඌ නොසෑහෙන්න බය උනා කියලා මට තේරුණා.. ගුරුදෙණිය වෙද මහත්තයා  ගාවට යන්න ගහනවා කියනෙක බන්ටිගෙ ෆේමස් දෙබස් කාන්ඩයක්නෙ.. ෂුවර් එකට මේකා ඒ වචන ටික හොදට දන්න කියන එකෙක් වෙන්නෝන.. හැබැයි පුතේ, මොන දන්න කියන එකා උනත්, අහු උනා නම් නෙලනවා, අම්මගෙන් බීපු කිරි මතක්වෙන්න.. ඒකෙ ආයෙ දෙකක් නෑ..

                                            ****************************

ගෙදර හිටියොත් දුරකථන ඇමතුම්වලට උතත්ර දීලා පිරිමහන්න බෑ.. අම්මා කීප සැරයක්ම මූණත් නරක් කරගෙන මං දිහාට රබර් ඇහැ දානවා මං දැක්කා.. මේ දවස් දෙක තුනේ නටපු නාඩගං ටික, අම්මට අතේම පත්තු වෙලාද මංදා.. තාත්තා මං ගැන හැම දෙයක්ම වගේ සැහැල්ලුවට හිතුවත්, අම්මා නම් සෑහෙන්න ඈතට කල්පනා කරා..

"බ..න්..ටී.."

චැලියත් හෙමින් සීරුවෙ තල්ලු කරගෙන ගෙයින් එළියට බහින්න හැදවා විතරයි.. මෙන්න අම්මා මගේ පිටිපස්සෙන් ඇවිත්.. ඇයි යකඩො.. අද අම්මා ඔෆිස් ගියේ නැද්ද..? හොර ගල් අහුල අහුල මගේ පස්සෙන් එන්නෙ..

"ඇ.. ඇයි අම්මෙ..?"

"මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්නෝන.. ඔහොම්ම ගේට්ටුද දිහාට යමුකො.."

මං අම්මගෙ මූණ දිහා බැලුවා.. ටිකාක් විතර බැරෑරුම් පෙනුමක් මුළු මූණ පුරාම පැතිරිලා තිබුණා.. ඒ කියන්නෙ බන්ටිගෙ මොකක් හරි අවමගුල් සහගත වැඩක්වත් හතර අතින් ලීක් වෙලාද..? එහෙමත් නැත්නම් මේ එළියට යන ගමන පිළිබදව අවුලක්ද..?

"රසික, බැදපු ගෑනු ළමයෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කියලා ඔයා දන්නවද..?"

කවුරු  හරි හොම්බට හැටක් විතර ඇනල, බෙල්ල මිරිකුව වගේ ගතියක් මගෙ හිතට දැනුණා.. හරිනෙ.. ඔය සිද්ධ කොරගෙන තියෙන්නෙ මහ කෙළියම.. දැන් ඉතිං දීපංකො උත්තර.. අනේ ඇත්තට අපේ අයියකාරයා වගේ කේප්ප වස්සෙක්..

"ඒ කතාව බොරුවක්.."

"මොනවා.. මගේ ඇස් දෙකට දැකපුදේයි, කන්දෙකට ඇහිච්ච දේවලුයි බොරු කියලද බන්ටි කියන්නෙ..?"

"බොරු නේන්නම් අම්මෙ.. ඔය කතන්දරේ සත පහකටවත් විශ්වාස කරන්නෙපා.. ඔහොම ආරංචියක් මටත් ආවා.."

"ඉ..තිං..?"

"මාත් කලබල වෙලා හෙව්වා.. අපේ ඔය චාමිකලගෙ කට්ටිය එක්ක.. එහෙම දෙයක් නෑ අම්මෙ.. මේක මේ අයියට මඩ ගහන්න හදපු කතාවක්.."

"ඔයා රසිකව බේරගන්නයි, මගේ හිත හදන්නයි නේද ඔහොම කියන්නෙ..? අනේ බන්ටි ඔයාට තේරෙන්නැද්ද මගේ හිතේ තියෙන අමාරුව.. වැරදි වැඩක් කරන්නෑ කියල මට මහා ලොකු විශ්වාසයක් ඔයා ගැන තියෙනවා.. ඒකයි මං ඔයාගෙන් මේ ගැන ඇහුවෙ.. මට රසිකව නම් ඩිංගක්වත් විශ්වාස නෑ.."

"මං ගැන එහෙම හිතපු එක ගැන මට හුගක් සතුටුයි අම්මෙ.. ඒත් අයියා ගැන ආපු අර කතාව හිතින් අයින් කරලා දාන්න.. ඒක තේරුමක් නැති කතාවක්.."

"ඒ උනාට බන්ටි.. ගින්නක් නැතුව දුමක් නගින්නෑනෙ.. නේද..? ඕවයෙ සුලුවෙන් හරි ඇත්තක් ඇති කියලා මගේ හිත කියනවා.."

"මොන ඇත්තක් තිබුණත්, ඔය කතන්දර අපි අමතක කරල දාමු.. මොකද රටේ ලෝකෙ මිනිස්සු වගේම අපිත් ඒවා ගැන උනන්දු වෙන්න ගියොත්.. අයියගෙ බය සැක තවත් නැතිවෙනවා අම්මෙ.. එයා ඔය කරන දේවල් එළිපිටම කරන්න ගනියි.."

"බන්ටි කියන්නෙ, මට මේවා අහල දැකල නිකම්ම බලන් ඉන්න කියලද..?"

"අම්මා දැන් කරපු කතාවක් දෙපාරක්ම කිව්වා.. ඒ කොහේදිද අම්මෙ..?"

"කටුගස්තොටදි.."

තවත් එතනින් එහාට ඒ ගැන කතා කරන්න යන එකත් මෝඩකමක් කියල මට තේරුණා.. අම්මා නොකිව්වට මං දන්න තරම්ම දේවල් අම්මත් දන්නවා කියලා ඒ මූණ බලපුවාම මට තේරුණා..

"දැන් ඒ හැමදේම ඉවරයි අම්මෙ.."

"ඉවරයි කියල කියන්නෙ, ඒ හැමදේම කලින් තිබ්බා කියලා නේද බන්ටි..?"

අම්මගෙ අඩන ඇස්දෙක දිහා බලාගෙන, බොරුවක් කියන්න පුළුවන් තරමෙ මානසික මට්ටමක් මට තිබ්බෙ නෑ..

"මාව විශ්වාස කරන්න අම්මෙ.. ඒ ප්‍රශ්නෙ ගැන ආයෙ බින්දුවක්වත් හිතන්නෙපා.. බන්ටි ඒ හැමදේම සුද්ධ කරලයි තියෙන්නෙ.. ඔයාට බයවෙන්න දෙයක් නෑ.. රසික අයියා ටික කාලෙකට හරි ආරක්ෂා සහිතයි.. මං ඒ ගැන වගකියනවා.."

"මං ඔයාට විශ්වාස කරනවා බන්ටි.. මේ ගෙදර හැමෝටම වැඩිය මං ඔයාව විශ්වාස කරනවා.."

අම්ම ආපහු හැරුනා.. අම්ම යන දිහා ටිකක් වෙලා බලන් ඉදලා මං චැලිය ස්ටාර්ට් කර ගත්තා.. වැඩේ කියන්නෙ අම්මා නිකමටවත් ඇහුවෙ නෑ, බන්ටි කොහෙද යන්නෙ කියලා..

                                            ****************************

නෙත්මිගෙ ගෙදර ඉස්සරහට එනකල්ම මගේ හිතේ තිබ්බෙ එක දෙයයි.. ඒ මගෙත්තෙක්ක අන්තිමට කරපු කතාබහ, නවත්තපු තැනින් පටන් ගන්න.. ඒත් ගෙදර ඉස්සරහට ආවම මගේ හිතට තවත් දෙයක් ආවා.. ඒ තමයි නෙත්මිව තව පාරක් දකින්න තියෙන ආසාව..

චැලිය ගේ ඉස්සරහම දාලා මං ගෙට ඇතුල් උනා.. සුපුරුදු විදියටම පැත්ත පළාතම පාලුවට ගිහින් තිබුණා.. නෙත්මි ගෙදර නැතුවාවත්ද කියලත් සැරින් සැරේට මට හිතුණා..

"නෙ..ත්මි.."

දෙපාරක් තුන් පාරක්ම කතා කෙරුවත්, ගේ ඇතුළෙන් නම් මෙලෝ හැල හොල්මනක් ආවෙ නෑ.. මං තවත් හයියෙන් කතා කරන ගමන් සාලෙ ඇතුළටත් ආවා.. 

"ඇ.. ඇයි මහත්තයා..?"

කොහෙදෝ මුල්ලක ඉදල ගෙදර වැඩට ඩන්න ගෑනු කෙනා මගේ ඉස්සරහට ආවා.. මූණෙ හැටියෙන් නම්, මේ මනුස්සයා දැන්ද කොහෙද නැගිටලා තියෙන්නෙ..

"කෝ.. නෙත්මි නැද්ද..?"

"පුංචි නෝනා නිදි.."

"තාම..? දැන් හතත් පහුවෙලානෙ.. කෝ ආන්ටි..?"

මාත් නැගිටින්නෙ දහය පහුවෙලා උනාට, අද උදේ නැගිට්ට ෆිට් එකට මං ඒ ප්‍රශ්නෙ ඇහුවා.. නැත්නම් ඒ වගේ වැදගැම්මට නැති පුරස්නයක් අහන්න මේ බන්ටිට කිසිම අයිතිවාසිකමක් නෑ..

"ලොකු නෝනා ඔෆිසියට ගියා.. මහත්තය වාඩිවෙන්න.. මං කතා කරන්නම්.."

"එපා.. මං නෙත්මිට කතා කරන්නම්.."

වීරයා වගේ මං කිව්වා.. වැඩට ඉන්න ගෑනු කෙනා පුදුම වෙලා වගේ බලන් ඉද්දි මං නෙත්මිගෙ කාමරේට ආවා..

"ඇතුළට එන්න රන්දික.."

කර්ට්න් එක පැත්තට තල්ලු වෙද්දි, මගෙ මූණ ඉස්සරහ හිටියෙ නෙත්මි.. අර වැඩට ඉන්න මනුස්සයා පට්ට බොරුවක්නෙ කියලා තියෙන්නෙ.. මූණ කට හොදගෙන මේ ඉන්නෙ බංගලිරෝස මලක් වගේ හිනාවෙවී..

"ප්‍රශ්නයක් නෑ.. මං එළියෙ ඉන්නම්.."

"ඔයා ආව කාමරේ ඇතුළට එන්නනෙ.. ඉතිං එන්න.."

"ඕන නෑ.. ඔයත් ආවෙ කාමරෙන් එළියට එන්නනෙ.. ඔයත් එළියට එන්න.."

"මට බෑ.."

"මටත් බෑ.."

කියල වැඩක් නෑ.. මේ කතාව නම් එළකිරි.. අත්තල, කිරිත්තල තකට තක කියල කියන්නෙ මේ වගේ ඒවට වෙන්නැති.. උඹ අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෑ පුතේ..

"ඇ.. ඇයි රන්දික, මේ ගේ ඇතුළටත් ඇවිල්ලා රණ්ඩු වෙන්න හදන්නෙ.. හවස අම්ම ආවම, සර්වන්ට් ඔක්කොම ටික කනේ තියයි.. මට කණක් ඇහිලා ඉන්න නැතිවෙයි.."

"ඒකට කමක් නෑ.. ඔයත් මට ගෙදර ඉන්න බැරිවෙන තැනටනේ වැඩ සිද්ධ කරන්නෙ.."

"ම.. මං..?"

"නැතුව මමද..? ගෙදර හැමෝම ඉන්න වෙලාවෙ කෝල් අරගෙන රටේ නැති ඒවා කියවන්නෙ..? උත්තර දෙන්න පුළුවන් වෙලාවක නම් කමක් නෑ.."

"මං මොනවද කියපු රටේ නැති ඒවා..?"

"මට ඔයාගෙන් අහන්න ප්‍රශ්න මහ හුගක් නෑ.. එත් මං දැනගන්න කැමතියි, මං පාත් උනේ කාටද කියලා..? ඔයා වටපිටින් බලල පාත් උණා කියලා කිව්වට, මේ බන්ටිගෙ කොන්ද තාම කෙලින්.."

මහ සවුත්තු හිනාවක් තොල් පෙති අගට අරගෙන නෙත්මි, කර්ට්න් එකත් පැත්තට කරන ගමන් මං හිටපු පැත්තට ආවා..

"ඒකද ශලනිගෙ ඉස්සරහ ඔය කෙලින් වෙනවයි කියන කොන්ද නැමුණෙ..?"

"ශලනි ඉස්සරහ..?"

"ඔව්.. ජෝඩු දාලා රෙස්ටුරන්ට් ගිහිල්ල තියෙන්නෙ.."

අම්මා.. මෙයා නම් ගිය ආත්මෙ කොහේ හරි රටක විශිෂ්ඨ ගනයේ ඔත්තුකාරියක්.. නැතන්ම ඉතිං මේ වගේ දේවල් දැනගන්න පුළුවන්ද..?

"රෙස්ටූරන්ට්..?"

"ඔව්.. ඔව්.. දෙන්නම ෆයිඩ් රයිස් කන්න පෙරේතයි කියලා මං දන්නවා.."

"පෙරේතකම පැත්තකින් තියන්න නෙත්මි.. මොකක්ද මේ පාත්වෙච්ච කතාව..? ශලනිත් එක්ක ලන්ච් එකකට ගියා කියල, මං එයාට පාත් උනා කියලා කියන්නෙ කොහොමද..?"

"කියන්නෙ පාත් උන හන්දනේ.."

ඔන්න දැන්නම් බන්ටිගෙ රතු කට්ට පනින්න ආසන්න තත්වෙ තියෙන්නෙ.. තමන්ගෙ මතයෙම, බෙල්ල කපලා දැම්මත් එල්ලිලා ඉන්න කෙනෙකුට, මොන දේ කිව්වත් වැඩක් නෑ කියලා ප්‍රායෝගික අත්දැකීම් වලින් මං දැනන්  හිටියා.. ඒ මනුස්සයට අපේ දේ ඔප්පු කරන්න යන එකෙන් වෙන්නෙ අපි මෝඩයො වෙන එකයි..

"හරි.. මං ශලනිට පාත් උනා තමයි.. දැන් ඒක ඔයාට ප්‍රශ්නයක්ද..?"

අන්තිමේදි කවුරුත් කතා කරන විදියටම, බන්ටිත් වැරැද්ද කර උඩ පටව ගත්තා.. වෙන ඉතිං කරන්න දේකුත් නෑනෙ..

"ආ..පෝ.. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.. මොකෝ මගේ දෙයක්යෑ.."

හිත අවුස්සන්න, කියන්න ඕන්නැති වචන දිව ළගටම බර ගානක් නෙත්මිගෙ වචන වලින් ඉපදුණත්, අන්තිම අමාරුවෙන් මං ඒ හැම දෙයක්ම හිර කරගෙන හිටියා.. එක නරක වචනයක් හරි මගෙන් පිටවුණොත් මං පරාදයි කියල කියන්න මහාචාර්යවරු ඕන වෙන්නෑ.. ඒක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. 

"ඔයාගෙ දෙයක් නම් නෙමෙයි කියලා මං දැනගෙන හුගක් කල්.. ඒකනෙ වහින වෙලාවට එළියට දාන්න හැදුවෙ.."

නෙත්මිගෙ මූණ බලන් ඉද්දිම වෙනස් උනා.. හිතේ පිරිලා තිබ්බ හැගීම් ගානක්, එයාටත් නොදැනිම උඩට මතුවුණා..

"රන්දික.."

මෙච්චර වෙලා කතා කරගෙන ගියපු කතාබහෙන් පිටට එයා පනින්න හදනවා කියලා මට තේරුණා.. ඒත් ඒ සාමදාන පැත්තකට නම් නෙමෙයි කියලා බන්ටිට ඕන ඔට්ටුවක් අල්ලන්න පුළුන්කම තිබ්බා..

"ඇයි..?"

"මේ උදේ පාන්දරම ඔයා ආවෙ, මගේ මුළු දවසම විනාස කරල යන්නද..?"

"අපොයි නෑ.."

"එහෙනම්..?"

"ඔය පාත් උන කතාව අහන්න.." 

"දැන් ඉතිං ඒක දැනගත්තනෙ.. වෙන..?"

"පහුගිය දවස්වල ගෙදරට ආව ගියේ කවුද කියලා දැනගන්න..?"

"මගේ ගෙදරට කවුරු ආව ගියත් ඔයාට ප්‍රශ්නයක් නෑනෙ.. ඒක මං බලාගන්නම්.."

අහන් හැමදේටම ලැබෙන උත්තර, මේ බන්ටිගෙ කේන්තිය ගිනි ජාලාවක් වගේ ඇවිස්සෙන ඒවා.. ඒත් එක වේලක් හරි කන්න අරන් දීලා තිබ්බ හන්ද වගේම, එක දවසක් හරි කැත නැතුව ආදරේ කරපු කෙල්ල නේද කියන සංකල්පෙ හිතට ආවම, මං කේන්තිය පාලනය කරගත්තා.. තවත් ටිකක් ඉවසමුකො..

"ඔයා බලාගත්තට මට ප්‍රශ්නයක් නෑ.. ඒත් මේකට මගේ නමත් ගෑවිල තියෙනවා.. ඒකයි.."

"ඔයාගෙ නම ගෑවිල නැත්තෙ කොහෙද රන්දික.. ඔයා ගැන කවුද හොද කියන්නෙ.. ඔයා මහ බොරු කාරයෙක්නෙ.. ඔයා ගැන දන්නැති මිනිස්සු නම් ඔයාව විශ්වාස කරයි.. ඔය ශලනිල වගේ මෝඩ ගෑනු ළමයි.. එයාලා  හිතන්නෙ උඩින් පේන ලස්සන ඇතුළෙන් තියෙනවා කියලා.."

ඕනම හිතකට උහුලගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා මං දැනගෙන  හිටියා.. අන්න ඒ ප්‍රමාණෙත් ඉක්මවාගෙන යද්දිත් මං ඉවසගෙන හිටියා.. කොටින්ම මං අද මේ ආවෙ, සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ගමනක් කියලා මට තේරුම් ගිහිල්ලා තිබුණා.. නෙත්මි එයා ළග තිබුණු පුංචි වැලි කැටයෙන් පවා මට දමල ගැහුවා..

"තව..?"

"තමන්ගෙ ගෙදර ඉන්න කුස්සි අම්මා, තමන්ගෙ අම්මා කියලා, මිනිහෙකුට කියන්න පුළුවන් නම් ඒ මිනිහා කොයි තරම් පහත් මිනිහෙක්ද..? අනික විහිලුවටවත් නෙමේනෙ.. මාස ගානක්නෙ.. ඇත්තටම ඔයා මහ කැත මනුස්සයෙක්.. මම නම් ඔයාව දකින්නවත් ආස නෑ.."

"ඔයාගෙන් ඔය හැමදේම අහගත්තු එක මට හුගාක් වටිනවා.. ඒත් තාමත් ඔයා ඉන්නෙ හරි තැන නෙමෙයි.. ඒක ඔයාට කවද හරි තේරෙයි.. ඒත් එදාට ඔයා පරක්කු වැඩියි.. ඔයා හැමදේම පටලවගෙනයි කතා කරන්නෙ.."

"මං පරක්කු වැඩියි කියල කියන්නෙ, පහුඋනාම ඔයාව මට හම්බවෙන එක්ක නෑ කියලද..? කමක් නෑ.. ඔයා වගේ පහත් පෙලේ මනුස්සයෙක් මට කොහොමටවත් ඕන නෑ.. මේ වගේ මං ඉස්සරහ දෙකට තුනට නැමෙන්නෙ නැතුව, ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටියනම් හොදයි.."

"නෙත්මි.. මේ..? මං මගේ පාඩුවෙ තමයි ඉන්නෙ.. ඒත් ඔහොම අනවශ්‍ය චෝදනා එල්ල කරනකොට කොයි මනුස්සයටත් වගේ මමත්, මගේ පැත්තට කතා කරන්න ගන්නවා.. ඒ මම හරි හන්දා.. ඒක ඔයාට වැරදි විදියට පේන්න පුළුවන්.."

මගේ කටහඩ ටිකක් උස් වෙන්න ඇති.. නෙත්මි ගැස්සිලා වගේ ඔලුව උස්සල බැලුවෙ ඒකයි..

"ඔයා හරි උනත්, වැරදි උනත් මට මොකද..? මගේ අතින් පයින් යන්නෑනෙ.. අපරාදෙ ඔයාගෙ ඔය කුස්සි අම්මා බොරුව, තවත් ටික දවසක් තියාගන්න තිබ්බෙ, හ්ග්.. මට මතකයි.. ඔයාට කෝල් එකක් ගන්න කොයි තරම් මහන්සි උනාද කියලා.. පනස් ගණනකට වඩා රින්ග්ස් යවල යවලත්, මට කෝල් එකක් ගන්න බෑ.. ෆෝන් එක මම දීලත්.. ඒ දවස්වල පුදුම ඩිමාන්ඩ් එකක් තිබුණෙ.. ඒත් අද මට හුගක් සංතෝසයි.. ඒ මනුස්සයා මගේ කකුල් දෙක ගාවට ඇවිල්ලා ඉන්නවා.. තමන්ගෙ වැරැද්ද නිවැරදි කරගන්න.."

"එතකොට ඔයා මේ කරන්නෙ පළිගැනීමක්ද..?"

මෙච්චර දවසකට හිතේ බින් අගලකටවත් ඇවිල්ල තිබුණෙ නැති කාලකණ්නි හැගීමක් මගේ හිතට ගලාගෙන ආවා.. නෙත්මි නැන හිත පුරා ඇතිරිලා තිබ්බ යෝධ ආදරේ හෙවැනැල්ල, හිත ඇතුලේම මැකිල යන්න පටන් අරගෙන තිබුණා..

"මං මොකටද ඔයාගෙන් පළිගන්නෙ..? මං ඔයාගෙ පස්සෙන් ආදරේ ඉල්ල ඉල්ල කොයි තරම් දුරක් ආවද..? ඒත් ඔයා මාව සත පහකටවත් ගණන් ගත්තද..? ඔයා ගණන් ගත්තෙ කොහේවත් ඉන්න ගෑනු.."

"ඒක බොරුවක්.. මං හැමෝටම උදව් කරා.. ඒකයි ඇත්ත.. ඔයා ඒ දේ තේරුම් ගත්තෙ වැරදි විදියට.. මේ දැන් උනත් මං ඇවිල්ල ඉන්නෙ.."

මං කතාව නැවැත්තුවා.. ඒ තවත් දුරට මං මෙතන ඉන්න ඕනද කියන දේ හරියටම දැනගන්න.. නෙත්මිගෙ ඇස් දෙක පුරාම පිරිල තිබ්බ, බන්ටි කියන පුද්ගලයව තව තවත් පල්ලෙහාට දාන්න ඕන කියන හැගීම විතරයි..

"මොකටද ඔයාව ඇවිල්ල ඉන්න..? ඔයාගෙ අදෝනාව මං ඉස්සරහ තියල යන්නනෙ.. මං වැරදි නෑ.. මං එහෙම කිව්වෙ ඔයාව රවට්ටන්න.. එහෙමනේ..?"

"නෑ.. ඔයා වැරදියි.."

"එහෙනම්..?"

"ඔයාගෙ ගෙදර ගන්න කෝල්ස් වලට මොකද වේනනෙ  කියල බලන්න.. එදා හොයාගත්තු දේ තවත් ඉස්සරහට අරනෙ ගිහින්, ඒ මිනිහ කවුද කියලා බලාගන්න.." 

"ඒක මං බලාගන්නම්.. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.. අනික ඔයාට උදව් කරන්නත් සෑහෙන කට්ටියක් ඉන්නවනේ.. නිරෝෂිල, ශලනිල, මොරීන්ල එහෙම.. ඔයා ගිහින් ඒ අයට උදව් කරන්න.. තව මං දන්නැති හුග දෙනෙකුත් ඇති.. එයාලටත් උදව් කරන්න බැරි නම් එයාලත් එක්ක ඕන දෙයක් කරගන්න මගේ අකමැත්තක් නෑ.."

වෙලාවකට මගේ ඉවසීමෙ ශක්තිය ගැන පුදුම හිතුණා.. ඇයි මං නෙන්මිගෙ කම්මුල පැලෙන්න ගහන්නෙ නැත්තෙ කියලා.. ඒත් මගෙ හිත කිව්වෙ 'නෑ බන්ටි.. මේ ඒකට වෙලාව නෙමෙයි.. තව ඉස්සරහට ඔයාට ඒකට වෙලාවක් එයි' කියලා..

"ඔයාට ඔච්චරද කියන්න තියෙන්නෙ..?"

"නෑ.. තව තියෙනවා.."

"කියන්න.. මං අහගෙන ඉන්නෙ.."

"ආය කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.. ඔය බොරුකාර මූණ දකින්න මං ඩිංගක්වත් කැමති නෑ.."

"එච්චරද..?"

සමහර විට නෙත්මිටත් පුදුම ඇති, මං කොහොමද මේ තරම් හිත රිදෙන දේවල් දරාගෙන, අහගෙන ඉන්නෙ කියලා.. මෙච්චර දේවල් කියලත් මේ යකාට රිදෙන්නැද්ද කියලා බලන්න වගේ නෙත්මි මං දිහා බැලුවා.. ඒ සුදු මූණ පුරාම පිරිල තිබ්බෙ මහ විසාල දුකක ලකුණු.. මගේ හිත පුපුරල විනාස වෙලා ගිහිල්ල තිබ්බා උනත්, ඒ දුක දැක්කම මගේ හිතට දැනුණෙ කියාගන්න බැරි තරමෙ සහනයක්.. ඔයාට ඕන කරන්නෙ මගේ මූණ සවුත්තු වෙලා, හිත රිදිල කියල දකින්න නම්, ඒක මේ කපේ වෙන්නෑ.. පැලෙනකන් ආදරේ කලා උනත්, කෙල්ලෙක් ඉස්සරහ කවදාවත් මේ බන්ටි පීචං වෙන්නෑ.. මං කොයි තරම් වේදනාවක් විදිනවද කියල, ඔයාට කවදාවත් මගේ මූණෙන් බලාගන්න වෙන්නෑ.. රන්දිකට ඇඩෙයි, මං ඉස්සරහ දනින් වැටෙයි.. හැමදේටම සමාව ගනියි කියල වගේ බොහොම ලාභ දේවල් නෙත්මි හිතන් ඉන්නව නම් ඒ තමයි නෙත්මිගෙ තියෙන ලොකුම දුර්වල කම.. ඒකට බන්ටිට කරන්න දෙයක් නෑ..

"දැන් මේ හැමදෙයක්ම මට කිව්වෙ, මං ඔයාට කියපු බොරුව හන්දද..?"

මං අහපු ප්‍රශ්නෙ නෙත්මිට තේරුන්නෑ කියන්න මට තේරුණා.. දෙයක් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි එයා හිටියෙ..

"බේබි නැන්දා මගේ අම්මා කියල කියපු එකද හැම දේටම මුල..?"

"ඔව්.."

"වෙන මුකුත් නෑ.."

"නැත්තෙ නෑ.."

"ඒ මොනවද..?"

"ඔය ශලනියි, නිරෝෂියි තුරුලු කරන් හිටපු ඒවා.. තවත් මේ පිටුපෑමට උරුමයි.."

"ඒ කියන්නෙ හැමදේම මෙතනින් ඉවරයි..?"

"ඉවර වෙලා නම් හුගක් කල්.."

"කමක් නෑ.. ඉවර උනා කියල මං තේරුම් ගත්තෙ පහුවෙලා.. ඒත් මං යන්න කලින් එක දෙයක් කියල යන්නම්.. ඒ දේ සමහර විට ඔයාට ප්‍රයෝජනවත් වෙයි.. තමන් ආදරේ කරන දේ ගැන කවදාවත් සැක කරන්නෙපා.. සැක කරත් ඒක පෙන්නන්න එපා.. මොකද ඒකෙන් වෙන්නෙ, ආදරයෙ විසාසවීමක් විතරයි.."

"ඔය බණ වලින් මට වැඩක් නෑ.."

"සමහර විට ඔයාට වයසට ගිහින් හරි ඕන වෙයි.."

"ඕන උනත් මට ඔයාගෙ බණ නම් ඕන වෙන්නෑ.."

"අපි ආයෙ කවදාවත් හම්බවෙන්නෑ නෙත්මි.. ඒක මේ රන්දික දෙන පොරොන්දුවක්.. බැහැයි..?"

මං ජීවිතෙ ඉස්සෙල්ලම වතාවට නෙත්මිට ඇගිල්ල උරුක් කලා.. මෙච්චර වෙලා සාමදානව, ශාන්ත දාන්තව, සංසුන්කමේ ප්‍රතිමූර්ථිය වගේ ඉදපු රන්දිකගෙ මේ වෙනස්වීම නෙත්මිව සම්පූර්ණයෙන්ම අවුල් කරා කියලා මට තේරුණා..

"ඔයා මට කිව්වා, ඔයාගෙ ඇස් දෙකටවත් පේන්න එන්නෙපා කියලා.. මං ඒක හැමදාටම රකිනවා.. ඒ වගේම ඔයත්, කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.."

මගෙන් පිටවෙච්ච වචනවල තිබ්බ ස්තීරත්වය, නෙත්මිගෙ ඇස් දෙකට කදුළු අරන් ආවා.. මෙච්චර වෙලා මවාගෙන හිටපු මහා සුරවීරකම හනි හනිකට එයා ළගින් දියවෙලා යන  හැටි මං දැක්කා.. තමන් දෙයක් කෙනෙකුට කියන එකයි, ඒ කිව්ව දේම ආපිටට තමන්ට ඇහෙනකොට දැනෙන වේනදාවයි අතරෙ තියෙන මහ විසාල පරතරය නෙත්මි වගේ කෙනෙක් කවදාවත් තේරුම් ගන්නෑ කියලා මං දැනන්  හිටියා..

"තව ඉස්සරහට හුගාක් දේ සිද්ධ වෙයි.. ඒවා ඔයාටත් දැනගන්න ලැබෙයි.. මොකද ඔයා හුගාක් දේවල් කියෙව්වනේ.. ඒ කියවපු හුගාක් දේවල් වල තියෙන ඇත්ත නැත්තත් ඔයාට තේරෙයි.. කමක් නෑ.. අපේ හැමදේම ඉවරනේ.. මෙතනින් එහාට ඒ ගැන තවත් කතා කරලා වැඩක් නෑ.."

නෙත්මිගෙ ඇස්වලින් කදුළු කඩාගෙන වැටුණා.. එයා වචනයක්වත් කතා කෙරුවෙ නෑ.. ජීවිතේ කවදාකවත් නොදැනුණ හිස් බවක් මුළු ජීවිතයම වෙලා ගනිද්දි මං ආපහු හැරුණා.. තවත් මෙතන ඉදීමෙ තේරුමක් නෑ..

"ය..න්..නම්.. නෙත්මි.."

හැම දෙයක්ම ඉවරෙටම ඉවර කරල දාලා මං ගේට්ටුව ළගට එනකල් ඇවිදගෙන ආවා.. ආයෙ හැරිල බලන්න දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා.. හදවත ඇතුළෙ ජීවමාන වෙච්ච නෙත්මිගෙ ආදරේ, එයාගෙ කටුක වචනවලින් දියවෙලා යන්න අරන් තිබුණා..

"දළදාවේ තේවා හඩ ඇහෙනකොට..
මට වාගේ ඔබටත් දුක දැනෙනවද..?
දළදා වීදියේ දෙපසක යනෙන සද..
පෙර අප සැරි සැරූ මතකය හඩනවද..?" 

                                            ****************************

චැලිය ස්ටාර්ට් කරලා ඉස්සරහට ගන්නකොටම කවුදෝ පස්සෙන් දුවගෙන එන සද්දෙ මට ඇහුණා..

"මහත්තයා.."

බයික් එක ගේට්ටුවෙන් එළියටත් ගත්තට පස්සෙ මං හැරිල බැලුවෙ.. මෙයාද මේ පණ කඩාගෙන දුවන් ආවෙ..

"මහත්තයට චුට්ටක් ඉන්න පුළුවන්ද..?"

නෙත්මිලගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා, වටපිට බල බලා මං ළගට ආවා.. මේ මනුස්සයා ඒ පාර මොකටද එන්න හදන්නෙ..?

"ඇයි..?"

"ම.. මහත්තයලගෙ ඔක්කොම කතාව මං අහගෙනයි හිටියෙ.."

"ඉතිං..?"

අවුරුදු පනහක්, පනස් පහක් වගේ වෙන ගෑනු කෙනා ගැන මගේ හිතට මුලින්ම ආවෙ ලොකු තරහක්.. අනුන්ගෙ කතා හොරෙන් අහගෙන ඉන්නෙක, මොන තරම් විලි ලැජ්ජ නැති වැඩක්ද..? ඒක මේ ගෑනිට තෙරෙන්නෙ නැද්ද..?

"ම.. මහත්තය මගෙත් එක්ක තරහෙන් නේද කතා කරන්නෙ..? ම.. මං මහත්තය අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්නයි යන්නෙ.."

මෙතන ගෙවිල ගියපු කාලය ඇතුළෙදි මං නෙත්මිගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියලා මගේ මතකයෙ තිබ්බෙ නෑ..

"මොකක්ද..?"

"පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ ගියේ කවුද කියල මහත්තය ඇහුවනෙ.."

"ඉතිං..?"

"මහත්තයට දැනගන්න ඕනද ඒ කවුද කියලා..?"

මං කීයටවත් හිතපු නැති තැනකින්, මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නයි යන්නෙ.. හිත ඇතුළෙ මේතතර වෙලා එහෙට මෙහෙට පාවෙලා ගියපු කලු වලාකුලු නැත්තටම නැති වෙලා ගියා.. දෙයියො එහෙනම් අන්තිම තත්පරයෙ බන්ටි දිහා බලල තියෙනව වගේ..

"ඔව්.."

"මහත්තය දන්නවද නලින්ද කියල කෙනෙක්ව..?"

මං උඩ ගිහින් බිම වැටුණා.. නලින්ද නොහොත් ඇටකිච්චා දන්නවද කියලා මේ බන්ටිගෙන්ද අහන්නෙ..? ඇයි හත්වලාමෙ, ඉස්පිරිතාලෙ ලගින්න ඌට නෙලුවෙ, මේ බන්ටිනෙ..

"ඔව්.."

"අන්න එයා තමයි.."

"තනියමද ආවෙ..?"

"නෑ.. තව කෙට්ටු ගැහිච්ච පිරිමි ළමයෙක් එක්ක.."

එහෙනම්, ඇටකිච්චා ආයෙත් ගේමට බැහැල.. ඌට කොහොමටත් ලස්සන ගෑනු ළමයි පේන්න බෑනෙ..

"නලින්ද කියන්නෙ නෙත්මිගෙ නෑයොනෙ.."

"ඒවා මං දන්නෑ මහත්තයො.."

"ඉතිං ඔයා ඇයි මේවා මට කිව්වෙ..?" 

"නෙත්මි නෝනගෙන් අර තරම් දේවල් කන්දරාවක් අහගෙන ඉවසන් ඉදපු හින්දා.. මහත්තය හොද කෙනෙක් වෙන්නැති කියලා මට හිතුණා.."

"වෙන්න ඇති නෙමෙයි.. එහෙම තමයි.."

වැඩ කරන ගෑනු කෙනාට පිටිපස්සෙන් තවත් කාගෙදෝ ඡායාවක් මගේ ඇස් දකිද්දි, මං චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. උපන්ගෙයිම මිහිදන් වෙලා ගියපු නොමේරූ ආදරයේ, මතක සටහන් හතරවටින්ම පෙරි පෙරී ඇදෙද්දි, හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මං පාර දිගේ එන්න ආවා..



                                   

No comments:

Post a Comment