Wednesday, April 18, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






අක්කයි, මමයි ආපහු ගෙදර එද්දි එයා මට රෙදි ගැලවෙන්න බැන්නා.. මං කරපු දේ හරිම කැතයි කියලා.. ඒත් ඉතිං චාමිකත් ඉන්න යෙවලාවෙ, නෙත්මි මට කොයි තරම් පහත් විදියටද කතා කරේ.. එයා දන්න ශිල්ප ඔක්කොම දාලා බන්ටිට නොක් අවුට් වෙන්නම වැනුවනේ..

"නෙත්මි හොදටම ඇඩුවා බන්ටි.."

"ඉතිං..?"


"ඉතිං කියන්නෙ ළමයො.. ඔයා කරේ හරිම පව් වැඩක්.."

"අපි දැන් ඔය කතාව නවත්තමු අක්කෙ.. ඕක වැඩිදුර අරගෙන යන එක අපි දෙන්නගෙම ශරීර සෞඛ්‍යයට හොද මදි.."

ගෙදරට ළංවෙනකොටම ඈත තියාම මං දැක්කෙ, වත්ත පහල බංකුවෙ වාඩිවෙලා ඉන්න ලොකු පුතයි, රවීනුයි.. මුං දෙන්නා මේ වෙලාවෙ ආපු එක නම් කියලවත් කරගන්න බැරි දෙයක්.. අක්කට එහෙම්මම ගෙට යන්න දීලා මං බංකුව ළගට ගියා..

"කොහෙද ලොකු පුතේ ගියේ..? අපි සෑහෙන වෙලාවක් මෙතන බලන් හිටියා.."

"මාර වැඩක් උනානෙ චාමික.. උඹට පුළුවන්ද මේක අදුනගන්න..?"

ලොකු පුතාට වැඩිය කතා කරන්න දුන්නොත්, ඌ අගයි මුලයි දෙකම පටල ගන්නවා.. ඒක හින්දා මමම ඉස්සර උනා..

"පොඩි එකෙක්ගෙ සෙල්ලම් බඩු කෑල්ලක්ද කොහෙද..?"

"පිස්සුවක් ඇතෑ.. කතන්දරේ මේකයි.."

වැඩිය අගය කරන්නැතුව, ටෙලිෆෝන් එකේ සීන් එක රවීනුයි, ලොකු පුතයි ඉස්සරහ මං තිබ්බා.. මං කියාගෙන ගියපු දේවල් උං දෙන්නට කොයි තරම් ඉන්ටරෙස්ටින් උනාද කියනවා නම් උං දෙන්නා ගල් ගිලල වගේ මං දිහා බලන්  හිටියා..

"පිස්සු හැදෙනවා බන්ටි අයියෙ.. කවුද එතකොට ඔය වැඩේ කරපු හාල්පාරුවා.."

"කවුද ඉතිං.. ඔය ගෙදරට එන එකෙක් වෙන්නැති.."

"වැඩේ කියන්නෙ ලොකු පුතේ, ඒකා උඹවත් දන්න කියන එකෙක් වීමනෙ.."

"ඒකෙ අවුලක් නෑ චාමික.. දැන් ගැජට් එක තියෙන්නෙ මගේ ළග.. මේ දගලන එකා කවුද කියලා, හුගාක් ඉක්මනට දැනගන්න පුළුවන් වෙයි.."

"ඒ කොහොමද..?"

"මං මේ ගැජට් එක අපේ ගෙදර ෆෝන් එකට සෙට් කරනවා.. ඊට පස්සෙ මං අපේ ගෙදර නම්බර් එකට කෝල් එකක් ගන්නවා.. ඇමතුම කෙලින්ම යන්නෙ, මේ ඩයිවර්ට් කරපු එකා ළගටනෙ.. හරි.. අපි ඒක ටිකක් පස්සට තියමු.. දැන් හවස් වරුවෙ මිෂන් එක කොහොමද..?"

මං ඊගාව කතාවට බැස්සා.. නැතුව බෑ බං.. මේ තියෙන ලට්ට පට්ට ටික පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා දාන්නෝන..

"ගෑනිගෙ නම නයනතාරා.. අවුරුදු තිස් දෙකයි.. ළමයි දෙන්නයි.. අනික්වා තිස් හතරයි.. තිස් දෙකයි.. තිස් හතරයි.."

රවීන් කියාගෙන යනවා.. මායි, ලොකු පුතයි දෙන්නම කටවල් ඇරගත්තා.. ඇත්තමයි මූ නම් යවන්න ඕන රහස් පරීක්ෂය දෙපාර්තමේන්තුවට.. මූ ඒ තරම් අති විශිෂ්ඨයි..

"අර තිස් ගණන් වගයක් කිව්වෙ මොකක්ද ලොකු පුතේ..?"

බලන් ගියාම චාමිකට නොතේරිච්ච එකම තැන ඕකයි..

"ආ.. ඒවා තමා මැෂිමන්ට් කියන්නෙ..? ඔයිට වැඩිය කියන්න ගියොත්, කුණුහරුප තමා කියන්න වෙන්නෙ.. ඒක හින්දා වැඩිය කතාබහ නැතුවම මේ වැඩේට සපෝර්ට් එක දීපං.."

එතන ඉදාලා හවස් වරුවෙ කරන්න තියෙන අති ප්‍රබල රංගනය ගැන අපි තුන්දෙනා චැට් එකක් දැම්මා.. ඒකෙ ඇත්තටම අපිට කරන්න දෙයක් නැති ගානයි.. මොරීන් අක්කට තමයි රූප රාමුවකටම පෙනී සිටින්න වෙන්නෙ..

"ලොකු පුතේ.."

"ම්.."

"මං මෙහෙම උඹත්තෙක්ක උද්යෝගයෙන් කතා බහ කර කර හිටියට, බොහොම වේදනාත්මක මතයකයි මං ඉන්නෙ.."

මොරීන් අක්කගෙ ගෙදරට හිමින් සීරුවෙ ඇවිදන් එද්දි චාමික අමුතු කතාවක් කිව්වා..

"උඹට වේදනාත්මක මතකයවල් එන්නෙ කොහොමද බං.. කෙල්ලෙක්වත් නැතිකොට.."

"ඔය බලපල්ලා ඉතිං.. උඹලට දෙයක් කියන්නෙ කොහොමද ඉතිං.. මං මේ කියන්න හැදුවෙ අපේ මාග්රට් පුංචි අම්මා ගැන.."

"අපොයි අර දොළහෙ දොළහෙ බැරල් බාගෙද..?"

ගත් කටටම මට කියවුණා.. ඒකෙ ඉතිං ඇති වැරැද්දකුත් නෑ.. මොකද මගේ ජීවිතේටම දැකපු මහතින් වැඩි කාන්තාව තමයි, චාමිකගෙ මාග්රට් පුංචි අම්මා.. ආයෙ දෙකක් නෑ.. අලි භාගයක් විතර සයිස්..

"ඔව්.. හැබැයි දැන්නම් උඹල කලින් දැක්කටත් වැඩිය මහතයි.."

"හරි.. හරි.. මොකක්ද කියපං අවුල.. මොරීන් අක්කගෙ ගේත් පේනවා.."

"ඊයෙ පුංචි අම්මගෙ ඇගේ මෝටර් සයිකලයක් හැප්පිලා.."

"ඌට ඩැමේජ්ද..? අන්තිමද..?"

"බයිසිකලේ කන්ඩෙම්ද..?"

"ඉදපල්ලකො කියනකල්.. හැප්පෙන වෙලාවෙ මාත් එතන හිටියා.. පුංචි අම්මව හැප්පුව විතරයි මං පැනල ගිහින් බයිසිකල්කාරයගෙ බෙල්ලෙන්ම අල්ල ගත්තා.."

"ඉතිං..?"

"ඇයි යකෝ පාර මේ තරම් ඉඩ තියෙද්දි උඹ අපේ පුංචි අම්මගෙ ඇග උඩින් ආවෙ.. බලපං දැන් මෙතන ප්‍රශ්න කීයක්ද..? උඹට තිබ්බෙ නැද්ද ඩිංගක් වටෙන් දාලා යන්න.. කියලා මං උගෙන් ඇහුවා.."

"ඌ හැරෙන තැපෑලෙන් උඹට නෙලුවා..?"

"නෑ බන්ටි.. ඌ මට කියනවා.. අනේ බුදු සර්.. වටෙන් ගියා නම් බයිසිකලේ පැට්‍රෝල් ටික ඉවරවෙනවා.. ඒකයි කෙලින්ම ගියේ කියලා.."

මටයි, රවීන්ටයි හිනාව නවත්තගන්න බැරිවුණා.. මේකා මේවා ඇත්තට කියනවද බොරුවට කියනවද මංදා. කොහොම උනත් ඒ වෙනකොට අපි මොරීන් අක්කගෙ ගෙදර ළගට ඇවිල්ලා ඉවරයි.. 

"බන්ටි මල්ලි.."

ගේට්ටුවෙන් ඇතුල්වෙන්න හම්බ උනේ නෑ.. මෙන්න මොරීන් අක්කා හොදට ඇද පැළදගෙන අපි ඉස්සරහට ආවා..

"ෂහ්.. මොරීන් අක්කෙ ඔයා අද හරිම හැඩයි.."

"කොයි තරම් හැඩ උනත් ඔයාගෙ රසික අයියට හැඩ පේන්නෙ නැත්නම් වැඩක් නෑ.. හ්ම්.. එන්න අපි යමු.. මං ත්‍රීවීල් එකකටත් එන්න කිව්වා.."

බලන් ගියාම මොරීන් අක්කත් මාරයි.. මගේ හිතෙත් තිබ්බෙ ත්‍රීවීලර් එකක් අරන් ගටුගස්තොටට යන්න.. එතකොට වැඩේ අවුලක් නෑ.. ඒකම මොරීණ් අක්කත් කල්පනා කරලා.. ඕවට තමයි කියන්නෙ අධි සංවේදී උපකරණ අපි ගාවත් තියෙනවා කියලා..

                                            ****************************

කටුගස්තොටට එන්න අපිට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.. 'නයනතාරා ගෙස්ට්' එක ළගට ඇවිල්ල අපි කෙරුවෙ ත්‍රීවිලර් එක හරවල යවපු එක..

"තැඹිලි ගෙඩියෙ අර තරම් වතුර කන්දරාවක් තියෙන්නෙ කොහොමද කියනෙක මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක්.."

ගෙස්ට් එකට ඇතුල්වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි චාමික අමුතු කතාවක් කිව්වා..

"මොකද උඹට එක පාරම තැඹිලි ගෙඩියක් මතක් උනේ..?"

"නෑ ඉතිං ඒ ප්‍රශ්නෙට උත්තරේ නිකම්ම හම්බ උනා.. අපි හතර දෙනාම ත්‍රීවිල් එක ඇතුළෙ පැක්වෙලා ආපු හැටි මතක් උනාම.."

මූත් පිස්සු කියවනවා.. මෙච්චර බරපතල වැඩක් කට ඉස්සරහ තියෙද්දි..

"මොරීන් අක්කෙ.. මං කියපුව මතකයි නේද..? ඕවර් යන්න බෑ.. මේ චාමික තමයි ඔයාගෙ මල්ලි.. අපි සපෝටර්ලා.. අනිත් ඒවා වගේ නෙමෙයි.. මෙතන තනියම හැන්ඩ්ල් කරන්න ගියොත් වැඩේ ඇනෙනවා.."

"හරි.. බන්ටි මල්ලි.. මං වැඩේ තිතට දෙන්නම්.."

අපි හතර දෙනාම පිළිවෙලට ගෙස්ට් එකට ඇතුල් උනා.. ඒ වෙනකොටත් රිසෙප්ෂන් එක තිබ්බ පුංචි හෝල් එකේ දහ දොලොස් දෙනෙක් විතර කෑම කකා හිටියා.. හිතුවටත් වැඩිය මෙතන පොෂ් පාටයි..

"ඔය.. ඔය ඉස්සරහ ඉන්න ගෑනි තමයි.."

රවීණ් මගේ කණට කෙදිරුවා.. ඒ වෙනකොටත් මං ගෑනිව අදුනගෙනයි හිටියෙ.. ඊයෙ රෑ ලාවට ෆේස්කට් එක දැක්කට, මේ බන්ටිට ඔය ගෑනිගෙ හැම ලතාවක්ම මතකයි..

"අපිට රූම් එකක් ගන්න පුළුවන්ද..?"

මගේ කතාවත්තෙක්කම ගෑනි මූණ උඩට ඉස්සුවා.. පේෂල් කරල වැඩි වෙලාද මංදා, ඒ මූනෙ තිබ්බෙ අමුතුම සුදුමැලි ගතියක්.. ඒත් ඒ සුදුමැලිකම මැද්දෙන්, තිබ්බෙ පිරිමි වශිවෙලා යන බාදුරා මලක ලක්ෂණ.. මට වැඩියක්ම බය හිතුණෙ ඒකයි..

"ඔයාලා හතර දෙනාටමද..?"

"ඔව්.."

ගෑනි ටිකක් පුදුම වෙලා වගේ අපි දිහා බැලුවා.. සමහර විට එයාගෙ මට්ටමෙන් අපි ගැන හිතන්න ඇති කියලා මට හිතුණා.. තනි කෙල්ලෙකුට කොල්ලො තුන්දෙනෙක් කියලා..

"අපිට පොඩ්ඩක් රූම්ස් බලන්න පුළුවන්ද..?"

"ඔව්.. බුකින් ඒවා කීපයක්ම තියෙනවා.. කෝ ඉන්න මං කවුරු හරි ඔයාලට දෙන්නම්.."

"කවුරුවත් එපා.. ඔයාම ඇවිල්ලා අපිට පෙන්නුව නම් වැඩේ ෆිට්.. මොකද අයිතිකාරයනෙ දන්නෙ හොදම කාමරේ මොකක්ද කියලා.."

"ඒකත් එහෙමද..? එහෙනම් එන්න.."

මගේ කතාවත් එක්කම ගෑනි අපිව එක්කන් යන්නෙ හොදම කාමරේට කියලා මං දැනන් හිටියා.. මං රවීන්ට මාපටැගිල්ල උරුක් කරද්දි ඌ මගේ පිටිපස්සෙන් වැටුණා..

"ඔයාලා හතර දෙනාටම එකක් ඕන හන්දයි මං මේ ඩබල් රූම් එක පෙන්නන්නෙ.. ඇටෑච් බාත්රූම් ඔක්කොම තියෙනවා.. හැබැයි චාර්ජ් එක නම් වැඩියි.."

කාමරේ ඇතුළට ඇවිල්ලා, නයනතරා හැම දෙයක්ම විස්තර කරද්දි, මං කාමරේට ඇතුල්වෙන දොර ඇතුලෙන් අගුල්දාලා ඒ දොරට හේත්තු වුණා..

"මේ.. මොකද මේ..?"

අහම්බෙන් උනත් ගෑනි ඒ දේ දැකලා එකපාරටම කඩාගෙන බිදගෙන මගේ ළගට එන්නයි හැදුවෙ.. මං මෙච්චර වෙලා ඉනේ ගහගෙන ඉදපු සෙල්ලම් පිස්තෝලෙ, භාගයක් එළියට පේන්න ඇදලා ගත්තා.. පිස්තෝල කට දැක්කා විතරයි, ගෑනිගෙ ඇස් ටොම්බා සයිස් එකට ලොකු උනා..

"සද්ද නැතුව ඔය ඇදෙන් වාඩිවෙන්න.. විලාප තියන්න ගියොත් මේක පත්තුවෙයි.. ඒ එක්කම අපිත් යන්න යයි.. තේරුණාද..?"

මගේ තිබ්බ සබ්බ සකල අහිංසක මූණත් තහඩුව පැත්තකට දාලා, මහා මැර මූණක් හදාගත්තා.. මං හොදාකාරවම දන්නවා, මේ මූණට අපේ ගෙදර මිනිස්සුත් බයයි කියලා..

"ත.. ත.. තමුසෙලා මාව මංකොල්ල කන්නද හදන්නෙ..?"

ගෑනිට කතා කරගන්නත් බෑ.. වචන හිටන් පටලැවෙනවා.. ඒ කියන්නෙ මගේ රගපෑම අති විශිෂ්ඨයි කියනෙකනේ.. දැන් ඉතිං ගේම පටන් ගන්න කියලා මං මොරීන් අක්කට ඉගියක් දුන්නා.. ගෙෑනි බයවෙලා ඉන්න ඉදිල්ලට හූවක්වත් කියාගන්න බෑ කියලා මට තේරුණා..

"අපි තමුසෙව මංකොල්ල කන්න ආවෙ නෑ.. තමුසෙ තමයි මංකොල්ල කෑවෙ.."

මොරීන් අක්කගෙ චීන පටස් වගේ කතාව, නයනතාරාට දිරවගන්න බැරිවුණා.. ඒකි බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියලා..

"ම.. මං මංකොල්ල කෑවා..? ඔයාලට වැරදීමක් වෙලා.."

"නිකං බබා වෙන්න හදන්නෙපා.. තමුසෙ නයනතාරා නේ..?"

"ඔ.. ඔව් මං නයනතාරා තමයි.. දෙ.. දෙයියනේ.. ම.. මගේ නමත් දන්නවා.. ක.. කවුද ඔ.. ඔයාලා..?"

"මං තමයි මාලු ගාමිණිගෙ දුව.."

"මා.. මාලු ගාමිණි..?"

"ඔව්.. තමුසෙ මංකොල්ල කෑවෙ මගේ ලොකුම වස්තුව.. මං ඒක ආපහු අරන් යන්නයි ආවෙ.."

"ම.. මට තේරුණේ නෑ.."

තවත් එහාට මේ කතන්දරේ අරගෙන ගියොත් වැඩේ අල වෙනවා කියලා මට තෙරුණා.. මං ලොකු පුතාට ඇහැක් වැහුවා.. ගෙට්ස් හවුස් එකේ වැඩ කරන ඈයො ඕනර්ව හෙව්වොත්, මේක පොලීසියෙනුත් එහා නතරවෙන කේස් එකක්.. අපි හතර දෙනාටම යකඩ කූරු ගණන් කරන්නයි වෙන්නෙ..

"තේරෙන්නෙ නැත්තෙ, තමුසෙ බබානෙ.. තමුසෙ තමයි මගෙ අක්කගෙ කොල්ලා අල්ලගෙන ඉන්නෙ.."

"කොල්ලව..?"

"ඔව්.. කොල්ලා තමයි.. මොකද ඌ තාම බැදපු එකෙක් නෙමෙයිනෙ.. ඌ වගේ වනචරයෙක් මගේ අක්කට ඕන නෑ.. ඒත් ඌව අතෑරල දාන්න බැරි තරමට දැන් වැඩේ සිද්ධ වෙලා.."

"ඒ.. ඒ කිව්වෙ..?"

"උගේ අතින්, මගේ අක්කට ළමයෙක් ලැබෙන්න ඉන්නවා.. තමුසෙ හින්ද ඌ  මගේ අක්කව මගාරිනවා.. දැන් තේරුණාද..?"

ඒ පාර චාමික මැරයා වෙලා.. ඌ උගේ පාට් එක අන්තිම ප්‍රශස්ථ විදියට කරනවා.. මට මූ ගැන හරි ආඩම්බරයි අප්පා.. රාජ්‍ය නාට්‍ය උළෙලට මූව ඉදිරිපත් කලා නම්, අවුලක් නැතුවම මේකා හොදට නලුවට හිමි සම්මානය ලබා ගන්නවා..

"කවුරු ගැනද ඔය කියන්නෙ..?"

"කියන්නෙ නම් තමුසෙ ඊයෙ රෑත් ගෙදර ළගින් බස්සල ගියපු රසික විජේරත්න ගැන.."

ගෑනිගෙ ඇස් දෙක ආයෙත් ටොම්බා සයිස් එකට ලොකු උනා.. කලින්, වාඩිවෙච්ච තැනින් නැගිට ගන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටපු ගෑනි, තවත් ඇදට බර උනා..

"ර..සි..ක..?"

"ඔව්.. රසික තමයි.. මගේ බඩේ ඉන්න දරුවගෙ තාත්තා තමයි ඌ.. මට ආරංචි හැටියට උඹ තමයි ඌව මෙතෙන්ට ගෙන්නගෙන එන්නෙ.. මතක තියාගනිං.. මං අපේ තාත්තව මෙතෙන්ට ගෙන්නුවොත්, මාලු කපන පිහියෙන්ම උඹව පෙති ගහයි.. උඹටත් පුංචි ළමයි දෙන්නෙක් ඉන්නවනේ.. ඒ ගැනත් හිතපං.."

පිස්සු හැදෙනවා.. මට හද හපන්න තිතෙනවා.. මෙන්න යකඩො ඇක්ටින්.. එකෙකුට එකෙක් දෙවනි නෑ.. කාට සම්මානෙ දෙන්නද මන්දා..

"තාත්තට දැනටමත් ඉව වැටිලා තියෙන්නෙ.. සමහර වෙලාවට, අද හෙටම මෙතෙන්ට ඇවිල්ලා ලොකු අඩව්වක් අල්ලයි, තමුසෙගෙ පටි හතම රෝල් වෙලා යන්න.. තාත්තා තුන් හතර පාරක්ම බෝගම්බර සිරි නරඹලා තියෙනවා.. තව පාරක් ගියා කියලා තාත්තට ප්‍රශ්නයක් නෑ.. තමුසෙට තමයි, රසිකයි ළමයි දෙන්නයි දාලා යටියන්තොටට යන්න වෙන්නෙ.."

ඒ පාර රවීන්, මොරීන්ගෙ බාලම මල්ලි වෙලා.. පුදුම සහෝදර ප්‍රේමයක්.. මට නම් හිතාගන්නවත් බෑ..

"ම.. මට මොනවද ක.. කරන්න කියන්නෙ..?"

"අදම.. මේ දැන්ම, රසිකත් එක්ක තියෙන සම්බන්ධෙ නවත්තනවා.. නැත්නම් අපි නරක මිනිස්සු කියන්නෙපා.. පේනවනේ බඩුව.. මූණ උඩින් කොට්ටෙ තියලා, මේක ලං කරලා පත්තු කරන්න විතරයි ඕන.. අර කිව්වත් වගේ, වැඩි සද්දයක් බද්දයක් නැතුවම යටියන්තොට දක්වා බලා යයි.."

ගෑනි විහිලුවටවත් පිස්තෝලෙ දිහා බලන්නෑ කියලා මං දන්නවා.. ඒ මදිවට ඒකි අත් දෙකෙන්ම මූණ වහගෙන හෝ ගාලා අඩන්න ගත්තා.. 

"තමුසෙගෙ ආත්ම ගරුත්වෙ ගැන හිතලයි, මෙහෙම කාමරේ ඇතුළට අරන් කතා කරේ.. මේ ගැන අරූට, මූට පොලීසිවලට කියල වැඩේ වණ කරන්නෙපා.. තේරුණාද..? මිනිය හංගන්නෙ, භූමදානෙට වත් හොයාගන්න බැරිවෙන්න.. තමුසෙ රසිකට මීට පස්සෙ මෙතෙන්ට අඩිය තියන්න දුන්නොත්, ඒ තමයි තමුසෙගෙ අවසන් රංගනය.. මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනිං කියලත් මතක තියාගන්නවා.. මීට පස්සෙ කිසිම දැනුම් දීමක් නෑ.."

"ම.. මං නවත්තන්නම්.. මට කරදර  කරන්නෙපා.."

ගෑනි තාමත් අත් දෙකෙන් මූණ වහගෙන.. බය කියන්නෙ පෙට්ටියෙන් එකයි.. 

"හැබැයි තමුසෙ බොරු කරලා අහවුණොත්, මුලින්ම බිත්තරේක හැංගිලා ඇසිඩ් පාරක් එයි.. ඔය ලස්සන මූන ඉඹල යන්න.. අනිත් ඒවා ඊට පස්සෙ.. හ්ම්.. අපි යමු.."

මං ආයෙත් සෙල්ලම් පිස්තෝලෙ ඉනේ ගහ ගත්තා.. හරියට පුරුදු නැති හින්දා, තුන්වෙන පාර ඔබනකොට තමයි, කලිසම ඇතුළෙන් පල්ලෙහාට ගියේ.. කවුරු හරි දැක්ක නම් ලැජ්ජාවෙ පණ යනවා..

"ඒ වගේම මේක රසිකට කියලා තිබුණොත්, තමුසෙ ළමයි ගැන තියෙන ආසාව අතෑරල දානවා.. තේරුණාද..?"

නයනතාරා, හතිය හැදිච්ච ගෑනි වගේ හූල්ලද්දි අපි හතර දෙනා, තත්පරේට කාමරෙන් එළියට ආවා.. ආපු ගමන්ම මං වටපිට බැලුවෙ, අපේ වැඩේ අවුලක්ද වෙලාද කියලා බලන්න.. කිසිදු අවුලක් නෑ.. එළියෙ හොදට ඉර පායලා.. තිබුණ වගේම අපේ වැඩේ අන්තිම පිළිවෙලට සිද්ධ වෙලා තිබුණා.. ඉතිං තවත් මොනවද..?

අතිශය කාර්ය බහුල දවසක් නිමාවෙන්න තිබ්බෙ තව ටික වෙලාවයි.. දණිස් පොල්කටු දෙකත් කට කට ගානවා.. ඒ තරමට ගෙවිලා.. බෙයාර්න් මුලුමනින්ම ගිහිල්ලා.. ඇග පතේ බුෂ් ටික සේරම තවුත්තු වෙලා..

                                            ****************************

මං රෑට කෑම කෑවෙත් බොහොම ඩිංගයි.. ගෙදර මිනිස්සු හැමෝම පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ, හරියට අදහගන්න බැරි දෙයක් සිද්ධ වුණා වගේ.. බලන් ගියාම ඒකෙ ඇති වරදකුත් නෑ කලින් පාරක් මට උණ හැදිල, වැලේ වැල් නැතුව කන්නවත් බැරුව ඉද්දිත්, බත් පිගන් දෙකට කැත නැතුව වග කිව්ව ඔර්ජිනල් බඩුවක් තමයි මේ බන්ටි කියන්නෙ..

කෑම මේසෙන් නැගිටලා එද්දි මං අයියා දිහා බැලුවා..අනේ අප්පුච්චෙ.. මේකා බොහොම සන්සුන්ව, කිසිම ප්‍රශ්නයක් නැති පිංගුත්තරයෙක් වගේ කෑම අඹරනවා.. කමක් නෑ.. ඔය සන්සුන්කම තව වැඩි දවසක් රැදෙන්නෑ.. ඒ කොහොම උනත් ඔය නැහැදිච්චකම නම් මේ බන්ටි සිරාවටම අද හෙටම නවත්තනවා..

"බන්ටි මහත්තයො.."

කුණු නිදිමතේ බෙඩ් ෂීට් එකට රෝල් උනා විතරයි මට බේබි නැන්දගෙ කටහඩ ඇහුණා..

"මට නින්ද ගිහින් බේබි නැන්දෙ.."

"ඒකට කමක් නෑ.. ගරහම්බෙල්ගෙන් පණිවිඩයක්.. හීනෙන් හරි ඇවිත් ගන්න.."

"මං ගෙදර නෑ කියන්න.. ගන්න එකෙකුට හෙට ගන්න කියන්න.."

"මෙච්චර රෑ වෙලා, මහත්තයා ගෙදර නෑ කියන්නෙ කොහොමද..? අනික ගෑනු ළමයෙක්නෙ කතා කරන්නෙ.."

මලා.. මේ වෙලාවෙ කවුද අප්පා මාව අමතන්නෙ..? ෂුවර් එකට නින්ද යන්නැති ලෙඩක් තියෙන එකෙක් වෙන්නැති.. වැනි වැනිම ගිහින් මං රිසිවරේ අතට ගත්තා.. ඒත් ඒ වෙලාවෙ එහා පැත්තෙ හිටියෙ මං හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්..

"රන්දික.."

"නෙත්මි ඇයි මේ රෑ.. මුකුත් කරදරයක්ද..?"

"නෑ.."

"එහෙනම්..?"

"මගෙන් වතුර එකක්වත් නොබී ඔයාට යන්න පුළුවන් උනානෙ නේද.. හ්ග්.."

"ඔව්.. ඒකෙ ඇති වරදක් නෑනෙ.."

"වැරදි තියෙනවද නැද්ද කියලා හොදට කල්පනා කරල බැලුවොත් තේරෙයි.."

"කල්පනා කරන්න මට කිසිම ඕනකමක් නෑ.. මේ වෙලාවෙ මම ඉන්නෙ ගෙදර.. ඒක  හින්ද වැඩිය කියවන්න බෑ.."

"ගෙදරට බයයි කියලා නම් මං දන්නවා.."

නෙත්මි එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.. මෙච්චර නිදිමතෙත් ඉන්න මගෙ නිදිමත කඩල දාලා එළිවෙනකල්ම ඇහැරගෙන ඉන්නද දන්නෑ වැඩේ සිද්ධ කරන්න හදන්නෙ..

"මං බය උනත් නැතත් ඔයාට ප්‍රශ්නයක් නෑ.. මට දැන් නිදිමතයි.. කියන දෙයක් ඉක්මනට කියන්න.."

"තියෙන නපුරුකම.."

"මගේ ඇති නපුරුකමක් නෑ.."

"නැත්තෙ නෑ.. මට විතරනේ ඔයා හැම ලොකුකමක්ම දාන්නෙ.. අනිත් අය ඉස්සරහ නම් හරියට පාත් වෙනවා.."

නෙත්මිගෙ කතාවට ඇත්තටම මට තද උනා.. මොන අටමගලයක් කියනවද මංදා මේ පට්ට රෑ.. එක්කො ටිකක් කලින් කියන්නෝන.. කතා කරන්න පුළුවන් වෙලාවක.. ගෙදර හැමෝම කට ඇරගෙන බලන් ඉන්න වෙලාවෙ, එනව මෙතන වරුනෙ ගහගෙන..

"දැන් කාගෙ ඉස්සරහද මං පාත් උනේ..?"

"මං ඇරෙන්න ඔය අනිත් හැමෝම ඉස්සරහ පාත්වෙන්නෙ..?"

"කවුද ඔය හැමෝම කියන්නෙ..?"

"කවුද කියලා ඉතිං ඔයාම දන්නව ඇතිනෙ.."

නෙත්මි හදන්නෙ මගේ අර්ෂස් වැඩි කරන්න කියලා මට තේරුණා.. කිව්වත් නැතත් තව ටිකකින් වෙන්නෙ ඒක තමයි.. කෝල් එක කට් කරලා රිසිවරෙත් පැත්තකින් තියලා මං කාමරේට ආවා.. බයිට් වෙනවා කියල තවත් බයිට් වෙන්න බෑනෙ.. හැබැයි පුතෝ.. ගෙදර කට්ටිය ඔක්කොම ඉද්දි කරපු මේ වැඩේට නම්, බන්ටි හෙටම රිටර්න් එක දෙනවා.. ඒකෙ ආයෙ කිසිම ඇදක් කුදක් නෑ.. ප්‍රශ්න මුකුත් ඇහුවෙ නැතුවට ගෙදර හැමෝම මගේ ගරහම්බෙල් සංවාදෙ අහන් ඉන්න ඇති.. ඒකෙ ආයෙ කොලේ වහල හගන්න දෙයක් නෑ..

                                            ***************************

කවදාවත් හදිස්සියක් උනොත් මිසක අට, නමයෙන් මෙහා නැගිටින්නෙ නැති මං, පහුවදා හය වෙද්දි ඇහැරුණා.. ඒ වෙනකොටත් අයියා ගෙදරින් පිට වෙන්න ඔන්න මෙන්න.. මිනිහා පුදුමාකාර හදිස්සියකින්නෙ දුවන්න හදන්නෙ.. මෙච්චර උදේම මූ ඔෆිස් යන්නෙ, ඒකෙ ඔය අතු පතු ගාන දේවල් කරන්න තියෙන්නෙ මූට හින්දද දන්නෑ..

"මොකද බන්ටි අද උදෙන්ම ඇහැරගෙන..? වෙලාව වැරදුණාද..?"

ගෙදරින් එළියට බහින්න හදනකොටම මෙන්න බන්ටි ඉස්සරහ දොර ගාව.. තේරුමක් නෑ.. මිනිහා අවුලක් නැතුවම ඇඹරුනා.. උඹට අද කලින් යන්න දේනනෑ කියලා මං හිතාගත්තා..

"වෙලාව නම් වැරදුනේ මට නෙමෙයි.."

"එහෙනම්..?"

"ඔයාට.."

"මට..?"

"ඔව්.. හොදටම වැරදිලා.."

"පිස්සුද බන්ටි.. හයයි දහයයි වෙලාව.. කෝ.. කෝ.. අයින් වෙන්න.. මට පරක්කු වෙලා.."

"පරක්කු උනාට නම් කමක් නෑ.. ඒත් ජීවිතේ පරක්කු කරගන්නෙපා.."

මගේ කතාව මිනිහට කොහෙත්ම තේරුණේ නෑ කියලා මට තේරුණා.. තේරෙන්න තරම් සිහියක් පතක් ඇතුව නෙමෙයිනෙ මිනිහා ඉන්නෙ.. නයනතාරව බලන්න පුදුම හදිස්සියකින් මේකා ඉන්නෙ..

"ඔයා ඔය කියන අංඩර දෙමළ මට තේරෙන්නෑ.. මං යනවා.. අම්මා නැගිටල ආවොත් මට ප්‍රශ්න සීයකට උත්තර දෙන්න වෙනවා.."

එහෙම වෙනව නම් කොයි තරම් හොදද දෙයියනේ.. මූ වගේ අප්‍රමාණ, කාමේසුමිච්චා කඩ කරන එවුන්ට, ගස් බැදලා දිමි ගොට්ටක් දණහිස් පොල්කටු දෙක හරියෙන් තියන්නෝන.. එතකොටවත් හැදෙයි.. මං ටිකක් ඔලුව උස්සල බලද්දි මිනිහා, මගෙන් ටිකක් ඈතට ගිහින්.. බලහල්ලකො බං මූට තියෙන හදිස්සිය..

"ඊයෙ ගෑනියෙකුට මල ජංජාලයක් වෙලා.. කටුගස්තොට පැත්තෙ.."

කතන්දරේ අන්තිම හරිය මං ටිකක් හයියෙන් කිව්වා.. කටුගස්තොට කියලා ඇහුණ විතරයි මිනිහා ඉද්ද ගැහුවා වගේ මග නතර උනා.. මං දැන් දන්නවා, පොර ක්ෂනිකව ආපහු හැරෙනවා කියලා.. මූඨ ඔය නමම ඇති මග මැරෙන්න..

"මො.. මොකක්ද බ.. බන්ටි..?"

"ඔයා සමහර විට දන්නවත් ඇති.. අර ගෙස්ට් හවුස් එකක් කරන ලේඩි කෙනෙක් ඉන්නෙ නයනතාරා කියලා.."

"ඉත්.. තිං..?"

අයියා, උපප්ත්තියෙ ඉදලා ගොත ගහන තාලෙට, ගොත ගහන්න ගත්තා.. ඔහොම යං.. ඔහොම යං.. ඔහොම ගිහින් වෙන්නෙ මොනවද කියලා ඔයා විහිලුවටවත් දන්නෑ..

"මැරි කරල ළමයි දෙන්නෙකුත් ඉන්න අම්මන්ඩි කෙනෙක්.. ඒ උනාට හිතන් ඉන්නෙ දහ අටේ සූටි කෙල්ලෙක් කියලා.."

"හ.. හරි.. හරි.. දැන් මොනාද වෙලා තියෙන්නෙ..?"

මූට ඔයාකාර තදියමක් තියෙනවා කියලා මං දන්නව නම් තව ටිකක් ලුණු ඇඹුල් දානවා.. ඒත් දැන් ඒකට වෙලාව මදි.. මේ ගොරකා ටික ඇතිවෙයි මූව පදමට තම්බ ගන්න..

"ඊයෙ මාලු ගාමිණි ගිහින්, ගැන්සියකුත් එක්ක නයනතාරව මරන්න.."

"ම්.. මොනවා.."

පපුව ඇතුළට ඇදල ගත්තු හුස්ම ටික, මිනිහගෙ එහෙමම නතර උනා.. මට බයෙත් බෑ මේකට හර්දයාබාධ්‍යක්වත් හැදෙයිද කියලා.. ඒත් මං දන්න තරමින් මුගේ පපුවෙ අවුලක් නෑ..

"මාලු ගාමිණි ගිහින් ගෙස්ට් එක, මළ ගේ කරලයි ඇවිත් තියෙන්නෙ.. වටේ පිටේ මිනිස්සු වටවෙලා තමයි ගෑනි යාංතන් බේරගෙන තියෙන්නෙ.. නැත්නම් වැඩේ සෙට්ට පෝච්චියි.."

"ඉ.. ඉතිං.. ඇ.. ඇයි බන්ටි මාලු ගාමිණි යන්නෙ ඒ ලේඩිව මරන්න..? මාලු ගාමිණි ඉන්නෙ කොහේවත්.. ඒ ලේඩි ඉන්නෙ තවත් කොහේවත්.. මේකෙ කිසිම අගක් මුලක් නෑනෙ.. අනික නයනතාරා කියන්නෙ වැදගත් ලේඩි කෙනෙක්.."

"ඔයා ඒ ගෑනිව අදුනනවද..?"

"න්.. නෑ.. නෑ.. මං දන්නෑ.."

අදුනන්නෙ නැති උනාට වැදගත්ලු.. අනේ අම්මපා මේවට තමයි කිය්නෙ පිස්සු නැත්නම් හොදයි කියලා.. දැන් බලන් ගියාම මූට, වැඩට යන්න කලින් තිබ්බ තදියම නෑ වගේ.. මේකා නිකම්ම මන්දගාමී වෙලා..

"ඔයාට කියන්න, එතන මිණි මරාගත්තෙ නැති ටිකලු.. අනිත් වෙන්න ඕන හැමදේම සිද්ධ උනාලු.."

"හ.. හරි.. හරි.. ඒත් මාලු ගාමිණි එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ ඇයි..?" 

"මිනිහා ඉතිං එතෙන්ට යන්නම එපැයි.."

"ඇ.. ඇයි බන්ටි ඒ..?"

"මිනිහනේ, ඔය ගෑනි එක්ක යාලුවෙලා ඉන්නෙ.."

"න්.. නෑහ්.."

මං හොදට අයියකාරයා දිහා බැලුවා.. මේ පාර නම් මං හිතුවෙ මිනිහගෙ හර්දය වස්තුව නැවතුණාම කියලා.. ඒ තරම් අඩුපාඩු සහිතවයි ඒ නෑ එක ආවෙ..

"නැට්ට ගහේ.. මාලු ගාමිණි ඇවිත් තිබුණෙ ගෑනිවයි, ගෑනි සෙට් වෙලා ඉන්න මිනිහවයි මරන්න.."

"මොකක්..? සෙට් වෙලා ඉන්න මිනිහව මරන්න..?"

"ඔව්.. ඔය ගෑනිට හතර වටේම මිනිස්සුනෙ.. මාලු ගාමිණීට අමතරව, ගෑනි ඔය මොකක්දෝ ප්‍රයිවෙට් බැංකුවක වැඩ කරන හාදයෙක් එක්කත් සෙට් වෙලාලු ඉන්නෙ.. මාලු ගාමිණි ආවෙ, ඒ හාදයයි මේ ගෑනිවයි දෙන්නම මරන්න.. හැබැයි ඊයෙ මිනිස්සු පැනල ගෑනිව බේරගත්තට හැමදාම බේරිලා ඉන්න විදියක් නෑනෙ.. කොයි වෙලාවක හරි, මාලු ගාමිණි අර හාදයට ෂොට් එක දෙනවා.. ඒක සීයට පන්සීයක් ෂුවර්.."

අයියකාරයගෙ ඇස් ගෙඩි දෙක ලොකු වෙන්න පුළුවන් උපරිමේටම ලොකු වෙලා තිබුණා.. මං බයේ හිටියෙ, හර්දය වස්තුව නවතින්න කලින් මිනිහගෙ ඇස් දෙක එළියට පනියි කියලා..

"මාලු ගාමිණි දන්නවද.. ඒ ලේඩි එක්ක යාලු කොල්ලා කවුද කියලා..?"

"දන්න හින්ද නේන්නම් මනුස්සයො ගෙස්ට් එකට පැනගෙන ඇවිල්ලා තියෙන්නෙ.. දෙන්නවම යටියන්තොට යවන්න බලාගෙන.. අර කොල්ලගෙ වෙලාව හොදයි.. ඌ ඒ වෙලාවෙ එතන ඉදලා නෑ.."

"හැබෑ..ද..?"

ඔලුවත් කහ කහ අයියකාරයා ආපහු ගේ පැත්තට ආවා.. මේකට ඒ පාර, පාර වැරදුනාවත්ද..?

"ඇයි ඔයා වැඩට යන්නැද්ද..?"

"නෑ බන්ටි.. ම.. මගේ බඩ ටිකක් රිදෙනවා.. ටොයිලට් එකට යන්න වෙයි වගේ.."

බඩ නෙමෙයි, පපුව වෙන්නැති රිදෙනව ඇත්තෙ.. එක ගලකින් කුරුල්ලො දෙන්නෙක්ව මරා ගත්තු එක ගැන මගෙ හිතේ තිබ්බෙ උහුලගන්න බැරි තරමෙ සතුටක්.. මට සංතෝස පිට කරන්න වෙන්නෙ, කොයි වෙලාවෙ  හරි මොරීන් අක්කා සෙට් උනාම තමා..

දැන් මිනිහට නයනතාරා ළගට වගේම, මාලු ගාමිණිගෙ දුව ළගට යන්නත් බෑ කියලා ඕන ඔට්ටුවක් මං අල්ලනවා.. ඒ තරම් ගති විදියට මේ බන්ටි, නූල් බොලෙ අවුල් කරා.. අඩු ගානෙ දැන් ඒ නූල් බෝලෙ බන්ටිටවත් හරිගස්සන්න බෑ.. ඒ තරම් පැටලැවිලා.. මං කොහොමත් අත්දැකීමෙන් දන්නවා අයියකාරයා පටලැවිලි වලට කැමති නෑ කියලා.. ඒක හන්දා මොන තරම් ප්‍රණිත උනත් ආදරේ ගෙනාපු ආයුෂ ඔච්චරයි.. සමහර විට අයියකාරයා ජීවිතාන්තය දක්වාම කටුගස්තොට පැත්ත පළාතක යන එකක් නෑ.. 



                   
                                                                         

No comments:

Post a Comment