Tuesday, April 17, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






මහමායා ඉස්කෝලෙ ඉස්සරහ අත් පාලම ළග මං එනකොටත් පුරුදු විදියටම කොල්ලො සෙට් එක එකතු වෙලා තිබුණා.. අඩුවකට තිබුණෙ බින්දු නැති එක විතරයි.. තියෙන ප්‍රශ්න කන්දරාවත් එක්ක ඒගැන හිතන්නවත් මගේ හිත ඉඩ දුන්නෑ.. මොකටද නිකං..

චැලිය පේමන්ට් එක උඩට දාලා මං පඩිපෙළ නැග්ගා..

"බන්ටි අයියා.. අපි මේ බලන්  හිටියෙ ඔයා එනකන්.."


පහට පහක් දාන ගමන් රවීන් මගේ අතකින් අල්ල ගත්තා.. ඇයි කියන ප්‍රශ්නෙ මූණෙ ලියාගෙන මං රවීන් දිහා බැලුවා..

"ලොකු පුතා කිව්වා.. ඔයාට මොකක්දෝ කරදරයක් සිද්ධ වෙලා කියලා.. අපි මේ ඒක අහන්නයි හරිබරි ගැහිලා බලන් ඉන්නෙ.."

එහෙනම් ලොකු පුතා හැරෙන තැපෑලෙන් හැමෝටම වැඩේ ලීක් කරලා.. කොල්ලො හැම එකාම මෙතන ඉන්නෙ ඒකනේ..

"මොකද උනේ බන්ටි..? ගෙදර ප්‍රශ්නයක්ද..?"

"නෑ අමිල.."

"එහෙනම් මොරීන් අක්කවත් ලෙඩක් දැම්මද..?"

"නෑ.."

"එහෙනම්..?"

"නෙත්මිට මාව කරටිය මුලින්ම අහුවුණානේ.."

"න්..නෑහ්.."

"හප්පුච්චේ.."

"වලාමයි.."

"කාලා වරෙන්කො.."

කොල්ලො හැම එකාටම මොකක් හරි වචනයක් ඉස්මොල්ලෙ ගියා.. ඒ තරම් තදට, මට වෙච්ච සන්තෑසිය උංගෙ හිත්වල වැදුණා..

"කොහේදිද ලොකු පුතේ උඹ මාට්ටු උනේ..? ෂේප් එකක් දාගන්න බැරි උනාද..?"

"මොන ෂේප්ද චාමික.. මං මගේ කාමරේ ඇතුළෙ ඉදගෙන නෙත්මිට කෝල් එකක් අරන්, එයාව හම්බවෙන්න ඕන කිව්වා.."

"ඈ.. මොකක්ද බන්ටි ඒ කතාව..? උඹලා දෙන්නා මේ තරම් හම්බවෙද්දි, උඹ ඒකිව අමුතුවෙන් හම්බවෙන්න ඕන කියලා කිව්වෙ ඇයි..?"

"තවත් මේ විදියට බොරුව ගෙනියන්න බෑනේ අමිල.. තවත් ඉස්සරහට හුගක් ප්‍රශ්න එයි.. ඒක හන්දා මං හිතුවා නෙත්මිව ඉක්මනට හම්බවෙලා.. මේ හැමදේම එයාට කියන්න.."

"ඉතිං..?"

"උඹල දන්වනේ.. කෙල්ල මාව හම්බවෙන්න එක පයින් කැමතියි කියලා.. මගේ වචනෙ එනකල් ඒකි බලන් ඉන්නෙ කියලා.. ඒත් වැඩේ එක තත්පර කාලකින් ගහලා ගියා.."

"ඒ.. ඒ කොහොමද ලොකු පුතේ.. මොකෙක් හරි අපතයෙක් කුමන්ත්‍රණයක්වත් කරලද..?"

"නෑ.. චාමික.. නෙත්මිට කොල් කරලා ඉවරවෙලා අක්කව හම්බවෙන්න, මං අක්කගෙ කාමරේට ගියා.. මෙන්න බං කාමරේ ඇතුළෙ නෙත්මි.."

"එතකොට උඹ ෆුල් සීරියස් පිට කතා කරලා තියෙන්නෙ ගේ ඇතුළෙම ඉදපු කෙල්ල එක්ක.."

"ඔව්.. මට තියෙන ලොකුම හිතේ අමාරුවත් ඒකයි.. මං මේ හැමදේම කියන්න කලින්, මේ විදියට සිද්ධ වෙලා මාව වැරදිකාරයෙක් උනු එකට මං කැමති නෑ අමිල.."

"ඉතිං, බන්ටි.. උඹ ඒකිට පහදලා දුන්නැද්ද, මේක හින්දා මේක උනා කියලා.. අහනල් එක හන්දා අහවල් එක උනා.. ඒක හන්දා මං මේ විදියට කරා කියලා..?"

ඒ පාර සරිගමයත්, පයිතගරස්ගෙ ප්‍රමේයවල් දාන්න අරගෙන.. හිතේ අමාරුවක් තියෙද්දි. මට පුංචිම හිනාවක්  ආවා උගේ කතාවට..

"දන්න ශිල්ප ඔක්කොම දැම්මත් වැඩක් උනේ නෑ බං.."

"කොහොම උනත් බන්ටි අයියා මාර ගේමක් දීලා තියේනනෙ.. වෙන එකෙක් නම් හත්පොලේම ගාගන්නවා.. ඔය තරමින් හරි ගොඩදාගත්තා මැදැයි.."

"ගොඩ තමයි.. මට පුදුම, ඒකි අපේ බන්ටිගෙ බෙල්ල මිරිකුවෙ නැත්තෙ ඇයි කියලා.."

"මට නම් අමිලයා.. මැවිලා පේනවා.. එතන වෙන්න ඇතියි කියලා කියන සිද්ධිය.. හරියට නිකං රාජ් කපූරුයි, වෛජන්ති මාලයි වැළපෙන සීන් එකක් ලස්සනට ගතියට යන්න ඇති.."

ඒ පාර සරිගමයා, මගෙයි, නෙත්මිගෙයි කතන්දරෙන් මියුසික් වීඩියෝ එකක්වත් එළියට දාන්න හදනවද කොහොද..?

"පිස්සුද සුරේන්.. බන්ටි දැන් කියපුව අනුව, ඒක තනිකරම ඇට් කරලා තියෙන්නෙ, බැන්ඩිට් ක්වින් පාට් ටූ නේ.. අපේ බන්ටි බලන් ඉදලා.."

"බලන් ඉන්නවා ඇරෙන්න, වෙන මොනවා කරන්නද අමිල.. ඔය ඔක්කොමත් හරි.. මට ඔය හැමදේටම මූණ දෙන්න පුළුවන්.. ඒත් අපේ අක්කා ඔය ගැන සෑහෙන්න හිතේ අමාරුවෙන් ඉන්නෙ.."

"ඒ ඇයි බන්ටි..?"

"නෙත්මි එයාට සෑහෙන්න දොස් කියලා.. මේ හැමදේම මුල ඉදන් දැනගෙන, කිසිම දෙයක් කිව්වෙ නෑ කියලා.. අඩුගානෙ කෝල් එහෙකටවත් ආන්සර් කරන්නෑල්ලු.."

"හුටා.. ඒකත් එහෙමද..?"

එතන ඉදලා ඩිංගක් වෙලා යනකන් අපි අතර කිසිම කතාබහක් උනේ නෑ.. වෙනදට අපි කොයි තරම් කියවනවද..? ඕන එකයි එපා එකයි හැමදේම..

"දැන් අපේ පැත්තෙන් වෙන්න ඕන මොනවද බන්ටි අයියා..?"

හොද ප්‍රශ්නෙකුත් අරගෙන නිහැඩියාව ඉස්සෙල්ලම බින්දෙ රවීන්..

"කාටවත් කරන්න කිසිම දෙයක් නෑ.. අපිට බලන් ඉන්නයි වෙලා තියෙන්නෙ.."

"මොනවද ලොකු පුතේ උඹ මේ කියන අවමංගල කතා.. වෙනදට උඹ නේද අපිවත් පිකප් කරලා ගන්නෙ..? මං දැනුවත්වම නම්, උඹේ ගාව බලන් ඉදිලි නෑ.. සට සට ගාලා ක්‍රියාත්මක වෙනවා මිසක.."

"ඔව්.. ඔව්.. ක්‍රියාත්මක වෙලා මේ පුරස්නෙ විසදන්න ඕන.."

"මේකෙ විසදන්න දෙයක් නෑ සුරේන්.."

"නැත්තෙ නෑ.. අපි හැමෝගෙම ප්‍රශ්නවලට උම නැගීගෙන උදව් කරනවා.. ඒත් උඹට උදව් කරන්න අපිට බෑ.. ඔය අනං මනං පැත්තට දාලා අපි එකතුවෙලා වැඩේට බහිමු.. ඒකනේ යාලු ෆිට් එක කියන්නෙ.. උඹ ඔහොම කට්ට තනියෙම කන්න හදනකොට අපිට දුක හිතෙනවා.."

"හරි.. උඹලා දැන් මොනවද කියන්නෙ..?"

"අපි ගිහින් නෙත්මිව හම්බවෙමු.."

සරිගමයා ගෙනාවෙ හොද යෝජනාවක් උනත් ඒකෙ සෑහෙන්න අඩුපාඩු තිබුණා.. මොන දේ උනත්, නෙත්මි ඉස්සරහට කොල්ලො ටික යවන්න, මගේ හිතේ පොඩි චකිතයක් තිබුණා.. ඒ චකිතය එන්නත් හේතු දෙකක් තිබුණා.. එකක් මං නෙත්මිට ලොකු වැරැද්දක් කලා කියනෙක.. අනික, අපි හම්බ වෙච්ච අන්තිම දවසෙ, අන්තිම තත්පරෙයදි එයා අඩ අඩා කියපු දේවල් මගේ පපුව කුඩුපට්ටම් කරලා දාපු හින්දා..

"එහෙනම් වැඩේ ස්තීරයිනේ.. කතා කරගත්තු විදියටම වැඩේ කරමු.."

"අපි මොනවද ලොකු පුතේ කතා කරගත්තෙ..?"

ඉදල ඉදල හොදම ප්‍රශ්නෙ ඇහුවෙ රවීන්.. බලන් ගියාම ඒකත් ඇත්ත තමයි.. වැඩේ කරන්න ගියාට කතා කරගත්තු ඉලව්වක් නෑ..

"අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙපා.. එබ්බා අසමජ්ජාති දහ පදුරු කොල්ල.. අපි මේක කොහොම හරි කරන්න බලමු.."

"හැබැයි පුතෝ මං එකක් කියන්න.. මූණ අතපය ලස්සනට තිබුණට ඒකිගෙ කට නම් අක්කරයක් විතර දිගයි.. ඈ.. හප්පට සිරි.. අර බලපංකො.."

චාමික ටෙනිස් කෝට් එක පැත්තට අත දික් කලා.. අපේ ඇස් මායිමෙ ඇවිදන් ගියේ පයිතගරස්..

"ඔක්කොමත් හරි.. උගේ ගමන තමයි බලන්න ලස්සන.. කෙලින් යනවට වැඩිය ඌ කරන්නෙ හතර වටේ ඇවිදින එකනේ.."

"උඹ දන්නවද බන්ටි, ඔය පයිතගරසයා හරහට ඇවිදින්නෙ ඇයි කියලා..?"

ඒ පාර සුරේන්, පයිතගරස්ට චරිත සහතිකයක් දෙන්නයි යන්නෙ.. හොද වෙලාවට ඌ අපිව දැක්කෙ නැත්තෙ.. දැක්ක නම් මද කිපිච්ච ගොන් නාම්බා වගේ මෙතෙන්ට දුවගෙන එනවා නැට්ට උස්සගෙන..

"මොකද බං ඌ හරහට ඇවිදින්නෙ..?"

"ඕකගෙ අම්මට, ඕකව හම්බවෙන්න ඉද්දි, හැදුනලු දොළ දුකක්.."

"ඒ දොළ දුකෙයි මුගේ  හරහට ඇවිදිල්ලෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද සුරේන්..?"

මටත් තිබ්බ ප්‍රශ්නෙ ඒකයි.. ඒ කතන්දරේ නිකං අහසයි පොළවයි වගේ.. 

"දොළදුකට උංගෙ අම්මා කාලා තියෙන්නෙ මොනවද දන්නවද..?"

"දන්නැති හන්දනේ යකෝ, උඹේ කට දිහා අපි කට ඇරන් බලන් ඉන්නෙ.."

"උංගෙ අම්මා කකුලුවො කාලා.. ඒකයි.."

කොල්ලො හැම එකාම හිනාවෙනවා.. මූට නම් දෙක තුනක්වත් අනින්නෝන මේ කියන කතාවලට.. කොහොම හරි කතාව ඉවරවෙනකොට පයිතගරස් නොපෙනීම ගිහිල්ලා..

"චාමික.."

තවත් බලන් ඉදලා බෑ.. එහෙම උනොත් අද මෙතනම රෑ වෙයි.. මං ලොකු පුතාට කතා කරා..

"උඹ මට එන්න කිව්වෙ, ප්‍රශ්නයක් තියෙනවා කියලා.."

"ඔව් බන්ටි.. ප්‍රශ්නයක් නම් තියෙනවා.."

අම්මපා මේ ලෝකෙ පිරිලා තියෙන්නෙ ප්‍රශ්න වලින් විතරමද මංදා.. අහන, දකින හැම තැනම තියෙන්නෙ ප්‍රශ්න විතරයිනෙ..

"ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නොකියා, උම ඇම්ඩන්ගෙ කතා කිය කිය ඉන්නෙ ඇයි..?"

"සමාවෙයන් බන්ටි.. කොල්ලො ටික සෙට් උනාම, තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා.."

ඒක නම් සහතික ඇත්ත.. තනියම විළාප ගගහ ඉන්නවට වැඩිය කොල්ලොත් එක්ක සමූහ ගායනයක් හරි ඉදිරිපත් කරන එක ඇගට ගුණයි..

"දැන් මොකක්ද ප්‍රශ්නෙ..?"

"කලින් එකම තමයි.."

"කලින් එකම කිව්වෙ..?"

"බින්දුවගෙ ප්‍රශ්නෙ ලොකු පුතේ.."

චාමිකගෙ කතාවෙන මගේ ලේ කෝප උනා..

"බින්දුට ප්‍රශ්නයක් නෑනෙ චාමික.."

හතර පැත්තටම නැති මගේ කතාවෙන් චාමික අවුල් උනා.. ඌට එතනින් එහාට කතාව ගෙනියන්නත් බැරි උනා.. ඒක හන්දද මංදා, රවීන් කතාව පටන් ගත්තා.. ඕන එහෙකුට මූණ කට සමතලා වෙන්න මට කතා කරතැහැකි.. ඒත් මේ පුංචි එකාට මං බනින්නෙ කොහොමද..?

"බින්දු හදන්නෙ ආයෙත් නාවලපිටි යන්න.."

ඒ කතාවට වෙනද වගේ මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ.. ඇත්තටම ඒ වෙනුවට අර කලින් ඇවිල්ලා තිබ්බ කේන්තිය තව තවත් අලුත් උනා..

"ඌට නාවලපිටි යන්න බැරිනම්, ඕන තුම්පනේක යන්න කියපං.. මට අවුලක් නෑ.. ඌ ගැන හොයන්න තරම් මට කැසිල්ලකුත් නෑ.. උඹලා දන්නවද..? මේ පුහු උනු දවස් කීපයේම ඌ මට කතා කරලා සමාව භාජනේක දාන්න හැදුවා.. ඒත් මං ඌට සමාවක් දුන්නෑ.. ඌ මහ කැත මිනිහෙක්.. මගේ ඉස්සරහ තවත් ඌ ගැන කතා කරන්නෙපා.."

"අ.. අපි කියන්නෙ මේකයි බන්ටි.."

ඒ පාර සරිගමයත් කතාවට පැන්නා.. 

"තව කියන්න දෙයක් නෑ සුරේන්.. දැන් ඔක්කොම කතා කියලා ඉවරයි.. පහුගිය දවස්වල බින්දු මට කතා කරපු හැටි උඹලත් අහන් හිටියනේ.. දැන් උඹලත් මැරිලා ඉපදිලා වගේනෙ කතා කරන්නෙ.. ඔය  හැමෝටම වගේ දකින දකින පාරට, පාට වෙනස් කරන ජාතියෙ එකෙක් නෙමෙයි මම.. උඹ මොකද කියන්නෙ අමිල.. මේ බන්ටි හරිද..? වැරදිද..? වදාපු අම්මයි, ජාතක කරපු තාත්තයි, සැක කරනවා වගේ ඌ මාව සැක කෙරුවා.. අපේ යාලුකම කියන ජාතකේ පිරිසිදුකම ඇස් ඉස්සරහ පේන්න තියෙද්දිම.. නිරෝෂි එක්ක ඌට ජීවත්වෙන්න බැරි උනාට, ඒකිව ආන්බාන් කරන්න බැරි උනාට මං මොනවද කරන්නෙ..? මම ඒවට පළිද..? ආ.. අමිල මට ඉස්සෙල්ලා ඒක කියපං.."

"මුකුත් කියන්න දෙයක් නෑ බන්ටි.. උඹ හරි.."

ආයෙත් දෙකක් නෑ.. එහෙටත් නෑ.. මෙහෙටත් නෑ.. අමිල කෙලින්ම තීන්දුව දුන්නා..

"චාමික අද මට කතා කෙරුවෙ බින්දුගෙ ප්‍රශ්නෙකට කියලා මං දැනන් හිටියා නම්, මං අද කීයටවත් මේ ගමන එන්නෑ.. මීට පස්සෙ මං ඉස්සරහ බින්දු ගැන කතා කරන්නත් එපා.. මං ඒකට කැමති නෑ.. ඌට මං උදව් කෙරුවෙ කොහොමද කියන්න උඹල හැම එකාම දන්නවා.. ඒත් ඌ හැසිරුනේ, ඒ හැම දෙයක්ම අමතක කෙරුවෙ කොයි තරම් පහත් විදියටද..?"

"ඔය ඔක්කොම කතා ඇත්ත බන්ටි.. උඹේ ගතිගුණ එක්ක බැලුවාම, බින්දුවා බලු මයිලක් තම්වත් වටින්නෑ.. ඒක අපි හැම එකාම දන්නවා.. ඌ කැත සතෙක්.. ඒකත් හරි.. ඒත්.. ඒත්.. අපි මේකට මොනවම හරි කරන්නෝන.."

"උඹලට ඕන දෙයක් කරගනිල්ලා.. මේ බන්ටිගෙන් ඒකට කිසිම බාධාවක් නෑ.. මං යනවා.. මට ඔය ගැන කතා කරනකොටත් අප්පිරියයි.."

කොල්ලො එක එකාගෙ මූණු බලාගනිද්ද මං චැලිය ස්ටර්ට් කරගත්තා..

"බන්ටි අයියා.."

චැලිය අද්දද්දිම රවීන් ළගට දුවගෙන ආවා..

"ඇයි..?"

"මෙහෙම ගියොත් බින්දුගෙ ලව් එක බ්‍රේක් වෙයි.."

"උඹ කියන්නෙ උංගෙ ලව් එක මට රේස් කරන්න කියලද..?"

"නෑ.. ඔය හැම එකක්ම අමතක කරලා දාලා අන්තිම පාරට බින්දුට උදව්වක් කරන්න.."

අත් දෙකෙන්ම මගේ අත් දෙක අල්ලලා රවීන් කිව්වා.. බින්දුට වැඩිය පහුවෙලා මට ආශ්‍රය කරන්න හම්බ උනත්, මේ පුංචි එකාගෙ හදවත කොයි තරම් පිරිසිදුද..? මං තීරණයක් දීලා තියෙද්දිත්, මේ තරම්ම කියව කියව මගේ පස්සෙන් එන්නෙ යාලු ෆිට් එක වෙනුවෙන්නෙ..

"උදව්වක්..?"

"ඔව් බන්ටි අයියා.. ඔයා කිව්වොත් නිරෝෂි අහයි.."

"නිරෝෂි..?"

"ඔව්.. නිරෝෂි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාට විතරයි.."

මෙන්න මේවට තමයි වසරේ විහිලු කියන්නෙ.. 

"රවීන්.. ඔය උඹත් මගෙන් අහගන්නයි යන්නෙ.. මම කියන දේවල් අහන්න, නිරෝෂි මගේ කවුද..? බඩ බැදගෙන ආදරේ කරේ බින්දුයි, නිරෝෂියි මිසක් මායි, නිරෝෂියි නෙමෙයිනේ.. මං මේ උඹල හැමෝටමයි කියන්නෙ.. උංගෙ ප්‍රශ්න උං බේරගත්තාවෙ.. අපිට ඒවා අදාල නෑ.."

"ඕවා මේවා කොහොම උනත් ඔයාගෙ සපෝර්ට් එකක් නැත්නම් ඒ ආදර කතාව දවසක්වත් දුවන්නෑ.. ඒකෙ ආයෙ කිසිම ඇදක් කුදක් නෑ.."

"ඔව් බන්ටි.. ඔය තරහ මරහ පැත්තට දාලා පුංචි සපෝර්ට් එකක් දීපං.. ඌ කැත සතා උනත්, අවුරුදු ගානක්ම අපිත්තෙක්ක හිටපු එකානේ.."

"ඔව් බන්ටි අයියා.. බින්දු ඔහොම ගියොත් පිස්සෙක් වෙයි.. උගේ මුළු ඇග පුරාම දුවන්නෙ නිරෝෂිගෙ ආදරේනෙ.."

"උඹලා මොනවා කිව්වත්, මගේ හිත කැඩිලා තියෙන්නෙ.. මං යනවා.." 

බින්දුගෙ ආදරේ අලුත්වැඩියා කරන්න, කොල්ලො හැම එකාම උදව් බලාපොරොත්තු වෙන්නෙ මගෙන්.. ඒත් ඉතිං උදව්වක් කරන්න ඕන කෙළෙහිගුණයක් දන්න එකෙකුට.. බින්දු කියලා කියන්නෙ කිසිම කෙලෙහිගුනයක් දන්නැති බත්කූරෙක් කියලා බන්ටි දැන් දන්නවා.. නිරෝෂිව මට පාව දීලා කතා කිරීමම මැදැයි උගේ හැදියාව තේරුම් ගන්න..

                                            ****************************

සුපුරුදු විදියට දවස ගෙවිලා ගියත්, මොකක්දෝ ලොකු අඩුවක් මගේ හිත වටේම රැදිලා තිබ්බා.. මගේ ළගින් ඉදපු හැමෝම එයාලගෙ ප්‍රශ්න පත්තර බන්ටිගෙ ඔලුව උඩින් තිබ්බට, බන්ටිගෙ ප්‍රශ්නයකට උත්තර හොයන්න ඒ කාටවත් වෙලාවක් තිබ්බෙ නෑ.. එහෙම වෙලාවක් තිබ්බත් ඒ ලැබෙන උත්තර බන්ටිට හරියන්නෙත් නෑ..

"හෙට දවස ගැන සංතෝසෙන් හිතන්න.. ඒ සංතෝසෙ අතරෙ නෙත්මි ඉන්නවා කියලත් හිතන්න.."

මේ වෙනකොට ඔය වචන ටික ලක්ස වාරයක් විතර මං එහෙටයි, මෙහෙටයි පෙරලල බලලා තිබ්බා.. ඒ ඒ තනි වචන එකින් එක වෙන වෙනම අරගෙන මං තේරුම් ගන්න බැලුවා.. ඒත් මගේ හිත සැනසෙන විදියෙ උත්තරයක් ඒ වචන ඇතුළෙ තිබ්බෙ නෑ.. ඇත්තටම මං මෙච්චර දවසක් බලන් හිටියෙ නෙත්මි කතා කරයි කියලා.. වැඩිය ඕන්නෑ.. එයා මට අරන් දීපු ෆෝන් එකත් මං ඔන් කරලා තිබ්බා.. ඒත් වෙනද වගේ දවසට හැට හැත්තෑව ගානෙ මිස් කෝල් ඇවිල්ලා තිබුණෙත් නෑ..ඒ දේ මගේ හිතට ගෙනාවෙ කියන්න බැරි තරම් ලොකු අඩුවක්.. හැමදේම සීයට සීයක් හරියට තිබ්බත්, මේ අඩුවෙලා තියෙන දශම ගාන අර සීයම කපලා දාලා තිබුණා.. මේ බල්න ඉදිල්ලෙ අන්තිම සීමාවත් ඉක්මවලා ගියාට පස්සෙ, මං නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා.. හුගාක් වෙලා රින්ග්ස් ගියාට පස්සෙ, එහා පැත්තෙන් කවුරු හරි ෆෝන් එක ගත්තා.. ඒත් ඒ ආපු කටහඩ නෙත්මිගෙ නෙමෙයි.. ඒක පිරිමි කටහඩක්..

"මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"

"ම්.. කවුද මේ කතා කරන්නෙ..?"

"මං නෙත්මිගෙ යාලුවෙක්.."

"නෙත්මිගෙ යාලුවෙක්..?"

"ඔව්.."

එහා පැත්තෙන් කතා කරන්නෙ නෙත්මිගෙ තාත්තා කියලා මට තේරුණා.. එහෙනම්, අංකල් රට ඉදලා ලංකාවට ඊයෙ පෙරේදා අඩිය තියල වගේ.. ඒත් ඔය තරම් මගෙන් ප්‍රශ්න අහන්න තරම් මට වැරදුණේ කොතනද කියලා මට හිතාගන්න බැරි උනා..

"ඔයා නෙත්මිගෙ යාලුවෙක් වෙන්න බෑ.."

"ඇ.. ඇයි..?"

"එයාගෙ යාලුවො එයාට කතා කරන්නෙ එහෙම නෙමෙයි.."

වැරැද්ද කොතනද කියලා මට පටාස් ගාලා තේරුණා.. අම්මලගෙ කනෙන් රිංගුවත්, තාත්තලගෙ කනෙන් රිංගන්න බෑ කියන්නෙ ඕකයි එහෙනම්..

"එහෙනම් පිණිමුතුට ෆෝන් එක දෙන්නකෝ.."

නෙත්මිගෙ අන්තිම නම මං පාවිච්චි කරා..

"හරි.. දැන්වත් කියනවද කවුද මේ කතා කරන්නෙ කියලා.."

නෙත්මිගෙතාත්තගෙ කටහඩ ටිකක් සැරට ඇහුණා.. මිනිහා ඒ පාර කොච්චි මිරිස් වෙන්නයි යන්නෙ.. මං ඕනවට වැඩිය කලර්ස් පෙන්නන් ගියොත්, නෙත්මිට අවුලක් වෙයි කියලා මට හිතුණා..

"මං පිණීමුතුගෙ යාලුවෙක්.. නම රන්දික.. ම්.. තව එතනින් එහාට ගියොත් මං නලින්දගෙත් යාලුවෙක්.."

වැඩේට මං ඇටකිච්චවත් ගාව ගත්තා.. එතකොට කොහොමත් අවුලක් නෑ.. ඇයි ඉතිං ඇටකිච්චයි, නෙත්මියි නෑදෑයො වෙනවනේ..

"පිණිමුතුට සනීප නෑ.."

"ස..නී..ප නෑ.."

දෙයියනේ.. මේ කෙල්ල එතකොට අසනීප වෙලාද ඉදලා තියෙන්නෙ..? මට කතා කෙරුවෙ නැත්තෙ, මාව බලන්න ආවෙ නැත්තෙ ඒකයි එහෙනම්.. මං එයා ගැන කොයි තරම් වැරදි විදියටද හිතන් හිටියෙ.. 

"ඔව්.. මේ වෙලාවෙ පිණිමුතු නිදි.. පස්සෙ කතා කරන්න.."

හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට කෝල් එක කට් කරා.. කවුරු හරි හොදට මූණ දිහා බලලා, සැරට කණේ පාරක් ගැහුවා වගේ..

                                            ****************************

හොදටම කළුවර වැටිලා.. බැල්කනිය පැත්තෙ ඉදලා හමා ගෙන ආපු සීතල සුළගත් මගේ  හිතත් එක්ක හිරි වට්ටලා දැම්මා.. ඒ සීතල හුළගත් එක්කම තරග කරන්න බැරි හින්දා බැල්කනිය පැත්තට හැරිලා තිබ්බ නමයෙ පහේ ජනේල පලුව මං වහලා දැම්මා..

"බ..න්..ටී.."

අදුරට ඇස් දීගෙන ඉදපු මං ආපහු හැරුණා.. අයියගෙ අදුරු ඡායාවක් කාමරේ දොර ගාවින් මතුවුණා..

"බන්ටි.. මොකද මේ කළුවරේ.. බල්බ් එක ගිහිල්ලද..?"

"ඔව්.."

"ඉතිං එකක් දාගත්තා නම් හරිනේ.. කළුවරේ ඉන්නෙ.."

"ගිහින් එනකන් ඉන්නවා.."

මගේ හතරබීරි කතාවෙන් අයියගෙ ගමන නතර උනා.. 

"එනකං ඉන්නවා කිව්වෙ..?"

"ඌ චුට්ටක් ටවුමට ගියා.. ඒකයි.."

"ඌ කිව්වෙ..?".

"බල්බ් එක.."

අදුර මැද්දෙන්ම අයියගෙ මූණ ඇදවෙනවා මං දැක්කා.. ඔට්ටුයි.. මිනිහා හිතන්නෙ, මොනවද කියලා මට ටක්කෙටම කියතෑකි.. මේ සුන්දර සැදෑ ජාමෙ, මට කතා කරන්න උනේ පිස්සෙක් එක්ක කියලා..

"ඉතිං මේ අසිරිමත් හැන්දෑවෙ, ඔබතුමාට මොකද මගේ කුටියට සම්ප්‍රාප්ත වෙන්න හිතුණෙ..? මොකක් හරි අවුලක්ද..?"

හැමෝම බන්ටි හොයාගෙන එන්නෙ, ඒ අයගෙ ප්‍රශ්න පත්තරයක් රි, දුක් අදෝනාවක් පිට කරන්න හරි කියලා බන්ටි අත්දැකීමෙන්ම දන්නවා.. ඒක ඉතිං ඉර, හදටත් වැඩිය ෂුවර්.. මං කාමරේ ලයිට් එක දැම්මා..

"මු.. මුකුත් අ.. අවුලක් නෑ.. ඔයාගෙ සද්දයක් නැති හින්දයි බැලුවෙ.."

"සද්ද දාන්න මං ට්‍රම්පට් එකක්ද අයියෙ..?"

"නෑ මනුස්සයො.. අම්මයි, තාත්තයි කතා වෙනවා මට ඇහුණා බන්ටි ගෙදර නැතුවවත්ද කියලා.. ඒකයි.."

ඕන බලපල්ලකො.. මේකා කියන මුසාවාදා වල තරම.. මේකට පස්සෙ මං ඉපදුණත්, මේකා කොහෙද මාව තම්බන්නෙ.. මුගේ ලුණු, ගොරක වල ඩේට් එක්ස්පයර් වෙලා.. 

"ඇත්තට.. දැන් ඔයාට මේ කාමරේට එන්න හිතුණෙ මගේ සද්දයක් නැති හින්දා..?"

"ඔ..ව්.."

"එහෙම නැතුව මේ මාලු ගාමිණි හින්දා නෙමෙයි.."

මගේ කතාවෙන් අයියට පිස්සු නොහැදුනා විතරයි.. මිනිහගෙ මුළු මූණම වෙනස් වුණා.. අත්දෙකම ඔලුව උඩට ගියා.. ඊට පස්සෙ, පිස්සන් කොටුවෙ පිස්සා වගේ කොන්ඩ ගස් අදින්න ගත්තා..

"ඔ.. ඔයා මොනවද  කි.. කිව්වෙ..?"

පව් අප්පා.. සංසාර සාගරේ.. අපි මොකටද මාලු පාන් කෑවෙ අහුවලු.. මිනිහා බහ තෝරනවා වගේ කතා කරන්නෙ.. ගොත ගැසීමෙ සීමාවක් නෑ.. අම්මපා.. මේ උද්වේගකර, කලර්ෆුල් අවස්තාව විඩියෝ ගත කරගන්නවත් තිබුණ නම්..?

කොයි තරම් හොද උනත්, මගේ අයියා උනත්, කෙල්ලො ගැන දක්වන මේ පෙරේතකම නොහොත් සමස්ථ විලි ලැජ්ජා නැතිකම නම් බන්ටිට කවදාවත් දිරෙව්වෙ නෑ.. කෙල්ලො පස්සෙ ඔය තරම් බඩගාගෙන යන්න උං ළග මොන ඉටි ගෙඩියක් තියෙනවද කියලා බන්ටිට නම් කවදාවත් තේරුණේ නෑ.. බන්ටි කවදාවත් තේරුම් ගත්තෙත් නෑ..

"මං මුකුත් කිව්වද..?"

"කිව්වද..? කිව්වා නේන්නම් මනුස්සයො.. ඔයා යස අගේට කිව්වා.. ඔයා මාලු ගාමිණි ගැන කිව්වා.. ඔයා.. ඔයා කොහොමද ඒ වසවර්තියව අදුනන්නෙ..?"

අත් දෙකෙන්ම මගේ උරහිස් දෙක අල්ලලා මහ හයියෙන් හොලවන ගමන් අයිය කෑගැහුවා..මේකා මේ හොලවන හෙලවිල්ලට මගේ ජොයින්ට් වල බුෂ් උනත් යන්න පුළුවන්.. සප්පෙන්ෂන් බාර් එකත් ගැලවිලද මංදා..

"මාලු ගාමිණිව නොදන්නෙ කවුද.? මාකට් එකේ, එකම පිරිසිදු වීර චරිතෙ මිනිහනේ.. මේ පහුවුණ දවසක මිනිහා කොල්ලෙක්ව කපලා දාලා තිබුණා.. කෙලවල්ලො මාලු කපනවා වගේ.. අම්මප.. ඔව්.. ආයෙ බඩ බොකු හිටන් එළියෙ.."

"න්.. නෑහ්.."

අයියගෙ නෑ කියන එක ටිකක් දුර අප්සට් එකේ ඇදිලා ගිහින් මගදි හිර උනා.. මේකගෙ පණ ගියාද මංදා.. කමක් නෑ.. මේකගෙ තියෙන සමස්ථ විලි ලැජ්ජා නැතිකමට තව ටිකක් බය කරන්නෝන.. ඇයි අප්පා.. මේකා ඉවක් බවක් නැතුව මේ අපත වැඩ වලින් පවුලෙ හැමෝගෙම ආත්මගරුත්වෙ බල්ලට යනවනේ..

"නැහැනං.. ඉතිං ප්‍රශ්නයක් නෑ.. ඔයා එහෙම හිතලා හිත සනස ගන්න.."

කලින් දවසක මාලු මාර්කට් එකේ ඉදලා පණ කඩාගෙන දුවලා ගියේ මොකද කියලා දැනගන්නත් මට ලොකු උවමනාවක් තිබ්බා.. ඒත් ඒක කෙලින්ම ඇහුවා නම් මේකා කීයටවත් මට කියන්නෑ.. නිකම්ම මුදුනා වෙනවා..

"එහෙම හිත සනස ගන්න බෑ බන්ටි.. අපේ බ්‍රාන්ච් එකේ කොල්ලෙකුත් ඔය කතාවම කිව්වා.. මං හිතුවෙ බොරුවක් කියලා.. අනේ බන්ටි.. ඔයා ඔය ඇත්තම නේද කියන්නෙ..?"

"මං ඔයාට බොරු කියලා තෑගි ගන්නද..?"

"ඒ.. ඒ.. කියන්නෙ  මිනිහා හරිම භයානකයි නේද..?"

"භයානකද නැද්ද මංදා.. හැබැයි මිනිහා නිතරම බඩවැල් කපනවා.."

අන්තිම වචනෙ ළගින් මාලුන්ගෙ කියල මං කිව්වෙ නෑ.. අයියාකරයා එයාට කැමති දෙයක් හිතාගනියි..

"හරි.. ඔය ආගිය කතා නවත්තලා ඔයාට වෙලා තියෙන අවමගුල මට කියන්න.. ඔයා මේ කාමරේට ආවෙ නිකං වෙන්න බෑනෙ.. හැම ප්‍රශ්නෙටම මොකක් හරි උත්තරයක් තියෙන බන්ටි ළගට ආවෙ මොකාක් හරි අවුලකටනේ.. ඒකට මාලු ගාමිණිත් සම්බන්ධයනේ.. මොකද කියන්නෙ.. මං කියපු දේවල්වල මොනවම හරි අඩුපාඩු තියෙනවද..?"

"කි.. කිසිම දෙයක් නෑ බන්ටි.. ඔ.. ඔයා හරියටම කිව්වා.. ඇත්තටම ම.. මං ආවෙ ඔයාගෙන් පුංචි උදව්වක් ගන්න.."

මේකගෙ පුංචි ඒවා ගැන මං දන්නැද්ද.. අන්තිමට මහ කෙලියම වෙලානෙ නවතින්නෙ..

"ඔව්.. කියමුකො බලන්න.."

"ම.. මට මාලු ගාමිණිගෙ ගෙදර තියෙන තැන දැනගන්න ඕන.."

මේකා ඒ පාර මොන කස්තිරම අල්ලන්නද දන්නෑ මේ හදන්නෙ..? මාලු ගාමිණිගෙ දුවව, ගෙදරටම ගිහිල්ලා හම්බවෙන්න වත්ද..? අනේ ඇත්තට මේකා වගේ විලි ලැජ්ජාවක් නැති එකෙක්..

"මිනිහගෙ ගෙදර තියෙන තැන ඔයාට මොකටද..?"

"ප්‍රශ්න අහන්නෙපා බන්ටි.. ඔයා මට මේ උදව්ව කරනවද නැද්ද කියලා විතරක් මට කියන්න.. ඔයාට බැරි නම් මං වෙන අතක් බලාගන්නම්.."

ඕන් බලපං ඉතිං.. අයියා උනාට මුගේ තියෙන පැහැදිලි අසත්පුරුෂකමක හැටි.. මුලින් අඩන ගෑනි වගේ විලාප දීලා දැන් පොදු පරික්ෂකයා වෙන්න හදනවා.. 

"එහෙනම් ප්‍රශ්නයක් නෑ.. මාත් වෙන අතක් බලාගන්නම්.."

"අනේ බන්ටි.."

"අනේ පනේ කියලා හරියන්නෑ.. මාලු ගාමිණිගෙ හැටි මං ඩිංගකට කලින් ඔයාට කිව්වනේ.."

ලයිට් එළියට රතු පාට වෙලා තිබ්බ අයියගෙ මූණ ටිකෙන් ටික වෙනස් වෙන හැටි මං දැක්කා.. මොනව උනත් මිනිහා ඉන්නෙ අමු පරාණ බයකින් කියලා මට තේරුණා.. පේන විදියට නම් මේකා මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක හනිමූන් ට්‍රිප් එකක්වත් ගිහිල්ලා වගේ.. ඉතිං අප්පා.. මෙතනින් එහාට මුගේ අනාගතේ කොහෙටද..? ඒක ඉතිං දන්නෙ මූයි, මාලු ගාමිණිගෙ දුවයි තමයි..

"ඔ.. ඔයා ඔහොම කතා කරනකොට මට පරාණ බයයි බන්ටි.. ම.. මට මේ උදව්ව කොහොම හරි කරන්න.. මං මේක කවදාවත් අමතක කරන්නෑ.."

"මං කරන උදව්වෙන් ඔයා අමාරුවෙ වැටෙනවා නම්, ඒ උදව්වෙන් වැඩක් නෑ.. ඒත් ඔයාට ඕනෙම නම් මං ගෙදර තියෙන තැන හොයාල දෙන්නම්.."

"ඔ.. ඔයා හරි හොදයි බන්ටි.."

අයියා ඇවිත් මාව බදාගත්තා.. ඒ සහෝදරත්වය එහෙම්මම තියෙද්දි මං ආයෙත් කට ඇරියා..

"ඔයා මොනවද කරන්න යන්නෙ කියලා මට තේරෙන්නෑ.. ඒත් ඔය යන විදියට ගියොත් ඔයා අලි පත අමාරුවක වැටෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. බන්ටි කොයි තරම් වැඩකාරයෙක් උනත් එතකොට ඔයාව බේරගන්න බැරිවෙයි.."

"ඔ.. ඔයා මාව බයකරනවා බන්ටි.."

"බයක් නෙමෙයි.. මේක ඇත්තක්.. ඔයා කිව්වත්, නොකිව්වත් මං දන්නවා. ඔයා මාලු ගාමිණිගෙ දුවත් එක්ක යාලුයි කියලා.. ඒත් ඒ සම්බන්ධයෙන් ඔයා ලොකු කරදරේක වැටෙනවා කියලා මගේ හිත කියනවා.."

මං කිව්ව දේ මිනිහට අදහගන්න බැරිවුණා.. ඇස් ගෙඩි දෙක පට්ට සයිස් එකට ලොකු කරගෙන මං දිහා බැලුවෙ ඒකයි..

"ඔයා කොහොමද ඒක ද.. දන්නෙ..?"

"මං දන්නව උනාට, ඔයාට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නෑ.. ඒත්, තව ඔයා දන්නැති අය, මේක දැනගත්තම, ඔයාට වෙන හොදකුත් නෑ.. මගේ දැනුමෙ හැටියට මං කියන්නෙ.. මේක කරදර ගොඩක්.. අතක් පයක් කඩාගන්නැතුව මේකෙන් අයින් උනොත් හොදයි.."

ඔලුවත් කහ කහ කාමරෙන් පිටවෙලා යන අයියා දිහා මං බලන් හිටියා.. ඔහොම හරි හිතට වදින්න දේවල් කියපු එක හොදයි.. නැත්තං ඔය හාදයා සම්ම සකලෙම අනාගනෙ, ලතෝනි දීගෙන බන්ටිව හොයාගනෙ එන දවස වැඩි ඈතක නෑ..

                                            ****************************

නෙත්මිගෙ තාත්තත් එක්ක කතා කරලා, මං තවත් කීඵ සැරයක්ම නෙත්මිට ගත්තා, ඒත් ඒ හැම පාරම ෆෝන් එකට ආන්සර් කෙරුවෙ නෙත්මිගෙ තාත්තා.. අම්මපා මේ මනුස්සයා, ටෙලිෆෝන් එක උඩ බුදියගෙන ඉන්නවද මංදා.. දෙපාරක් තියා එක පාරක්වත් රින්ග්ස් යන්නෑ.. හලෝ කියාගෙන උස්සනවා.. මගේ හිතේ පත්තුවෙලා තිබ්බෙ සුලු පටු කේන්තියක් නම් නෙමෙයි.. ඒත් ඒ කේන්තිය අතරින්ම නෙත්මිට සනීප නෑ කියපු කතාව මගේ හදවතට වැදුණා..

මේ ජීවිත කාලෙ පුරාවටම, පවුලෙ කෙනෙක් ඇරුණාම මං ගැන උවමනාවටත් වැඩිය හොයාල බැලුවෙ නෙත්මි.. එයා මට හුගාක් ආදරේ කරා කියා මං දැන්න හිටියා.. මට කරදරයක් වෙන තරමටම මං ළගට ළංවුණා.. ඒත් ඒ ළංවීම අපි දේනනව මේ විදියට දෙපැත්තකට ඇදලා දාවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒක හින්දා මෙතනින් එහාට මොනවා කරන්න උනත් නෙත්මිව හම්බවෙලා ඉන්න ඕන කියලා මං හිතාගත්තා..

                                            ****************************

පහුවදා උදේම චාමිකට කෝල් එකක් දීලා මං ඌව මගට ගෙන්න ගත්තා.. චැලියට ඌවත් දාගෙන එක මීටරයක්වත් යන්න හම්බ උනේ නෑ.. සුපුරුදු විදියටම ඌ උගේ වක්කඩේ ඇරියා..

"ලොකු පුතේ.."

"ම්.."

"අපි මේ කොහෙද යන්නෙ..?"

"උඹ හිතන්නෙ කොහෙ කියලද..?"

"කොළඹ වීදියට ගිහිල්ලා සුප් කෝප්ප දෙක්ක බොන්න නේද..?"

"පිස්සුද චාමික..? මේ යන්නෙ නෙත්මිලහ.."

"නියමයි බන්ටි.. නියමයි.. පහුවෙලා හරි උඹ ඔය තීරණේ ගත්තු එක.. කෙල්ලගෙ හිතේ උඹ ගැන කොයි තරම් හෝප්ස් කන්දරාවක් තියෙනවද කියලා මං දන්නවා.."

"ඒත් ප්‍රශ්නයක් තියෙනවා.."

"ප්‍රශ්නවලට නාන්න කියපං ලොකු පුතේ.. අපි මේ සැදැහැ සිතින් යන්නෙ නෙත්මිව හම්බවෙන්නනේ.."

"උඹට තේරෙන්නෑ.."

"මොනවද..?"

"නෙත්මිගෙ තාත්තා ගෙදර ඉන්නවා.."

"ඉතිං ඒකා ගෙදර ඉන්නැතුව අල්ලපු ගෙදර ඉන්නද..?"

මූටත් දෙයක් ලේසියෙන් පහදන්න බෑ.. ලේ කෝප වෙනවා..

"නෙත්මිලගෙ තාත්තා රට ඉදලා ඊයෙ පෙරේදා ඇවිත් තියෙන්නෙ.."

"ඉතිං..?"

"ඉතිං කියන්නෙ.. ගන්න හැම කෝල් එකකටම ආන්සර් කරන්නෙ ඒ මනුස්සයා.. නෙත්මිගෙ කටහඩක්වත් නෑ.. මං ඊයෙ ෆෝන් කලාම කියනවා නෙත්මිට සනීප නෑල්ලු.."

"හුටා.. ඉතිං..?"

"අසනීපෙ මොකක්ද කියලා අහන්නත් කලින් මිනිහා ෆෝන් එක තිබ්බා.."

"ඊට පස්සෙ උඹ දුරකථනයට ඇනලා බැලුවෙ නැද්ද..?"

"ඇනපු එක නේන්නම් ඊයෙ ඉදලම කරේ.."

"ඉතිං..?"

"හැම වෙලාවෙම ෆෝන් එක ගත්තෙ නෙත්මිගෙ තාත්තා.."

"එහෙනම් ඒකා ෆෝන් එක උඩ බුදියගෙනවත් ඇති.."

මට හිතිච්ච දේම චාමිකටත් අඩුවක් නැතුව හිතිලා තිබුණා.. චැලියෙ යන ගමන් උනත්, ඉස්සරහට කරන්න තියෙන දේයි, දැන් හතර වටේට ඇනිල තියෙන විදියයි මං, චාමිකව දැනුවත් කලා..

"ඔයින් මෙයින් අපි කොහොමද ලොකු පුතේ කෙල්ලව හම්බවෙන්නෙ..?"

"තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි.."

"එහෙනම්..?"

"නෙත්මි මගේ ඉස්සරහට එයිද කියනෙක.."

"පිස්සු කතා නොකිය ඉදපං.. උඹේ ඉස්සරහට නොඑන්නෙ මොන රූප සුන්දරීද..? එයා අනවශ්‍ය කතා වලට ආවොත් මාත් කරලියට බහින්නම්කො.."

"ඔව්.. චාමික.. මම කෙලින්ම නෙත්මි ගාවට යනවා.. මොකද එයාලා මාව බැදගෙන තම්බගෙන කන්නද..?"

"අන්න හරි ලොකු පුතේ.. උඹ ඔහොම කතා කරනකොට මට මාර ගතියක් එනවා.. ඒ ගතිය පිරිහෙන්න කලින් අපි යමු.."

චැලිය නෙත්මිලගෙ පාරට හරවද්දිම, චාමික චැලියෙන් බැහැලා තල්ලු කරනන් ගත්තා.. මේක කදු අදින්න හොරයි කියලා, ඌ අත්දැකීමෙන් දන්නවා.. කලින් දෙපාරක් විතර ඇවිල්ලා තිබ්බ හන්ද මට මේ පාරෙ ගහක් ගලක් ගානෙ මතකයි.. ගේට්ටුව ගාව චැලිය නවත්තලා මං චාමිකත් එක්ක ගේ ළගටම ආවා.. ජීවිතේට දැකලා නැති නෙත්මිගෙ තාත්තා, මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්නත් මට ලොකු ආසාවක් තිබ්බා..

"ලේන් දොර ඕපන්.. ගල්ලෙන බ්‍රෝකන්.. සිංහ බා.. සිංහ බා.. හා.. හා.. ගෙදර කවුද..?"

මටත් කලින්ම උගුර පාදල, සෘතිය පිහිටල චාමික වැඩේ පටන් ගත්තා.. හිතේ මොන ගින්දරක් තිබ්බත්, මේකගෙ වැඩ වලින් හිතට පුංචි සනීපයකුත් දැනෙනවා..

"ගෙදර ක..වු..ද..?"

බෙල් එකත් ඔබලා.. කීප සැරයක්ම කතා කරලත් කිසිම සද්දයක් බද්දයක් ගේ ඇතුලෙන් ආවෙ නෑ..

"කවුරුත් නැතුව වත්ද..? ලොකු පුතේ අපි අද එළියට බැස්සෙ රාහු කාලය මග ඇරල නේද..? උඹට කියන්න.. ඔය නීච රාහුවා ඔහොම්මයි.. මග ඇරල ආවත්, ඌ අපිව අතාරින්න කැමති නෑ.."

ටිකක් වෙලා ගියාට පස්සෙ ගේ ඇතුලෙන් කවුරු හරි එන සද්දයක් මට ඇහුණා..

"ඔය සියුමැලි අඩි සද්දෙන් මට කියතෑකි නාලාගිරි ඇතා වගේ ඉන්න ගෘහ මූලිකයා තමයි එන්නෙ කියලා.."

මට ලොකු පුතා කොදුරනවා.. 

"උඹ කොහොමද එහෙම කියන්නෙ..?"

"බලහංකො අඩි සද්දෙ තියන ගාම්භීරත්වය.. මට නිකං ඇගට දැනෙනවා, උණ සන්නිපාතෙට එන්න වගේ.."

"උඹට ෂුවර්ද ගෘහ මූලිකයා කියලා..?"

"මං කිව්ව දෙයක් වැරදිලා තියෙනවද ලොකු පුතේ..?"

ගේ ඇතුළෙන් ආපු අඩි සද්දෙ නැවතුනා.. මං චාමිකගෙ මූණ දිහා බලද්දි ඌ බැලුවෙ අඩි සද්දෙ ආපු පැත්ත.. උගේ මූණ මුළුමනින්ම ඇද වෙලා, විරූපි වෙලා යනවා මං දැක්කා.. අපි දෙන්නා ඉස්සරහ හිටියෙ, අඩි තුනක් විතර දිග, බිම ඉදලා අඩි බාගයක්වත් උස නැති හොද සැපට හැදුන බිං බල්ලෙක්.. උංට ඉංශ්‍රීසියෙන් කියන්නෙ මොකක්දෝ අපත නමක්..

"ආ.. චාමික.. මූද ගෘහ මූලිකයා.."

පිපිරෙන්න ආපු හිනාව තද කරගෙන මං ඇහුවා.. චාමික පටාස් ගාලා අනිත් පැත්ත බලාගත්තා..

"කාව හම්බවෙන්නද..?"

චාමිකගෙයි, මගෙයි සියලු කතාබහ නතර උනා.. දවස් ගානකින් ඇහුණෙ නැති ඒ ආදරණිය කටහඩ මගේ කන්වල අහුමුලු අස්සෙ  හිටන් දෝංකාර දුන්නා.. ඒත් ඒ ප්‍රශ්නෙ තිබ්බ නන්නාදුනනාකම මාව සෑහෙන්න පල්ලෙහාට ඇදලා දැම්මා..

"නෙ..ත්..මි.."

"ඇ.. ඇයි මෙ.. මෙහේ ආවෙ..? ඔ.. ඔයාගෙ කවුද මෙහේ ඉන්නෙ..?"

ඒ වචනවල තිබ්බ නපුරුකම ගැන කියන්න මට වචන තිබ්බෙ නෑ.. මේ ඩිංග දවසට ඔයා ඔය තරම් වෙනස් වුණේ කොහොමද කෙල්ලෙ..?

"ම.. මං ආවෙ ඔයාව බලන්න නෙත්මි.."

"ඇ.. ඇයි මං මැරිලා කියල බලල යන්නද..?"

"නෙ..ත්..මී.."

"එහෙමත් නැත්නම් මගෙ හත් දවසෙ දානෙ දීලා යන්නද..?"

ඇහිච්ච වචන වල තියෙන කටුකකම, ප්‍රහාරය දරාගන්න බැරුම මං ළගම තිබ්බ පුටුවක් අල්ල ගත්තා.. අඩු ගානෙ මං චාමික දිහාවත් බැලුවෙ නෑ.. හිතුවෙවත් නැති විදියට මගේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි මං බිම බලාගත්තා..

මං මොනවද මේ අහන්නෙ..? මේවා අහන්නද මං නෙත්මිව බලන්න ආවෙ..? මගේ හිතට මං ගැනම ආවෙ ලොකු අනුකම්පාවක්.. ඒත් ඒ අනුකම්පාව වෙලා, බන්ටි කියන හාදයගෙ කේන්තිය ඒ හැමදේටම වැඩිය ඉස්සරහට එයි කියලා මට බයක් දැනුණා..

"ඔයා මොනවද නෙත්මි මේ කතා කරන්නෙ..? මං ආවෙ ඔයාව බලලා යන්න.." 

"බලලා යන්න..? නිකං බොරු කියන්නෙපා රන්දික.. අපි අන්තිමට හම්බවුණායින් පස්සෙ පැය කීයන් නම් ගෙවිලා ගියාද..? දවස් කීයක් නම් ගෙවිලා ගියාද..? ඔයාට දැන්ද මාව බලලා යන්න මතක් උනේ..?"

"ඔහොම කතා කරන්නෙපා.. මං ඔයාව කන්ටෑක්ට් කරගන්න සෑහෙන්න මහන්සි උනා.."

"අ..නේ.. හරි පව්.. ඕවා ගිහින් කියන්න ඕවා විශ්වාස කරන කාට හරි.. මං කලින් නම් ඉවක් බවක් නැතුව ඔයාගෙ බොරු විශ්වාස කරා.. ඒත් දැන් එහෙම නෑ.. ඔයා ඒක තේරුම් ගන්න.."

කතාව ඇදිලා යන පැත්ත ඒ තරම් හොද නෑ කියලා කියන්න වගේ චාමික මට ඇගිල්ලෙන් ඇන්නා.. ඒත් එක සැරේට හෝ ගාලා පහළට ගලන් යන මහවැලි ගංගාව දිගේ උඩට පීනන්න මට පුළුවන්ද..? ඒක ලොකු පුතාට නොතේරෙන එකනේ වැඩේ කියන්නෙ..

"ම.. මං ඔයාට ෆෝන් කරා.."

"ම.. මට..? ඔයා හීනයක්වත් දැකලද..? ඒත් ඔයා හීනෙකින්වත් මට ෆෝන් කරන්නෑ කියලා මං දන්නවා.. ඒකනේ ෆෝන් එකක් අරන් දීලවත් මට කතා කරේ නැත්තෙ.."

"මං කියන දේ විශ්වාස කරන්න නෙත්මි.. ඔයාගෙ හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කරලා තිබුණෙ.. මං ගෙදර නම්බර් එකට ගත්තෙ.."

"ෂිහ්.. ඔය තරම් පහත් විදියෙ බොරු කියන්නෙපා.. ඔයා මගේ මොබයිල් එකට ගත්ත නම්, ඒකෙ මිස් කෝල් ඇලර්ට් තියෙන්න ඕන.. ඒ මදිවට කියනවා ගෙදරට ගත්තලු.. හ්ග්.."

"මං කියන්නෙ ඇත්ත.. ඔය නම්බර් දෙකටම මං ගත්තා.."

"ඔව්.. ගන්න ඇති.. වෙන කාට හරි.. එක්කො ශලනිට, එහෙමත් නැත්නම් නිරෝෂිට.. ඒ දෙන්නටම නෙමේ නම් අඩුම ගානෙ අර ගෙවල් ගාව ඉන්න මොරීන්ට හරි.."

කිසිම හිතක් පපුවක් නැතුව වගේ නෙත්මිගෙන්, පිටවෙන වචනවලට මට ආවෙ මං ගැනම මහ විසාල දුකක්.. මං මොනවද මේ අහන්නෙ.. මං ආවෙ මේවා අහන්නද..?

"ඔ.. ඔයාට වැරදිලා නෙත්මි.."

"ඔව්.. මං ඒක පිළිගන්නවා.. ඔයාව හම්බවුණ දවසෙ ඉදලා තමයි මට වැරදුණේ.. තමන්ගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනාව, තමන්ගෙ අම්මා කියලා කියපු ඔයාට මොන වගේ හිතක් තියෙන්න ඕනද..? මට හිතාගන්නවත් බෑ.. ඔයා මොන තරම් කැත සතෙක්ද රන්දික..? තමන්ගෙ අම්මව ඒ තරම් පහත් තත්වෙට ඇදලා දාන්න.. ආ..?"

මොන තත්වෙට ඇදලා දාන්නවත් මේ බන්ටිට අම්මා කෙනෙක් නෑ කියලා, ඔයා දන්නෑ නෙත්මි.. මට අම්මා කියලා හරි පේනනන් ඉන්නෙ, මගේ ආච්චි අම්මා වෙච්චි බේබි නැන්දව..

"ම.. මට නම් ඔයාගෙ මූණ බලන්නත් කැතයි.. ඔයා බොරු කීයක් නම් මට කිව්වද..? ආ. එහෙම තොග ගානෙ බොරු කියන්නෙ, මේවයෙ අන්තිම ප්‍රතිඵලේ මොකක්ද කියලවත් ඔයා හිතුවද..? ඔයාට ඕන උනේ, උදාවේචච හැම අවස්ථාවකම මාව විහිලුවට ලක් කරලා හිනාවෙන්න.. ඒත් ඔයා මතක තියාගන්න.. ඔයාට මේ තරම් ළංවෙලත්, අප්‍රමාණව ඔයා ගැන හොයල බලලත්, ඔයා මට දුන්නු තෑගි කන්දරාව නම් ඉස්තරම්.. මං ඒකට කවදාවත් ඔයාට සමාවක් නම් දෙන්නෑ.."

තවත් මේ බන්ටිට කියන්න තරමෙ දෙයක් තිබුණෙ නෑ.. අහන්න ඕන තරම් දේ අහගෙන මං ආපහු හැරුණා.. මේ තරම් ජීවිතේ කඩාගෙන වැටිච්ච අවස්ථාවක් මගේ ජීවිතේ කොතනවකවත් තිබ්බෙ නෑ..

"අඩුගානෙ මේ වැරැද්ද මට හදාගන්නවත් බැරිද..?"

"කොහොමද..?"

නෙත්මි අහපු දේට දෙන්න තරමෙ හොද උත්තරයක් මගේ ළග තිබුණෙ නෑ.. මොන දේ උනත් මං මේ ආවෙ හරි ගමනක් නෙමෙයි කියලා මගේ හිත කිව්වා..

"ඔයාගෙන් මේ වගේ සමාව ඉල්ලල.."

"ඕන සවුත්තු වැඩක් කරලා සමාව ඉල්ලන එක තරම් කැත දෙයක් තවත් නෑ.. ඔයා හොදට මතක තියාගන්න රන්දික.. මං ඔයාට කවදාවත් සමාව දෙන්නෑ.. ඒක ස්තිරයි.."

මනුස්සයෙකුට කේන්ති යන එකෙත් එක්තරා හොදක් තියෙනවා කියලා මං දැනන් හිටියා.. හුගාක් වෙලාවට තමන්ට කරගන්න ආත්ම ශක්තියක් නැති දේවල් ඒ කේන්තිය හන්දා කරගන්න පුළුවන් වෙනවා.. ඒ නෙත්මි ගාව තවත් බාල්දුවෙලා බැගෑපත් වෙන්න නම් නෙමෙයි.. හැරෙන තැපෑලෙන් නෙත්මි ගෙන් ඈත් වෙලා යන්න..

"අපේ බන්ටිට සමාව දෙන්න බැරි ඇයි..?"

මෙච්චර වෙලා ගොලු කසාය බීපු එකා වගේ  හිටපු චාමික, මගෙයි නෙත්මිගෙයි කතාව මැද්දට පැන්නා.. දැන් බලමුකො මූ මොනවද මේ සීදේවි කටහඩින් අහගන්නෙ කියලා..? 

"දෙන්න බැරි නිසා.."

"දෙන්න බැරි නම් ඒක ඔයා තියාගන්න.. අපිට එපා.. ඒත් බන්ටිට සමාව දෙන්න හැරි හේතුව අපිට දැනගන්න ඕන.. ඒක දැනගත්තම අපි අන්න අර ගේට්ටුවෙන් බොහොම ඉක්මනට පිටවෙලා යන්නම්.."

ඒ පාර නම් ලොකු පුතා දුන්නෙ ප්‍රොපෙෂනල් කතන්දරයක්.. උගේ කතාවට නෙත්මි ටික්ක ඇඹරුනා කියලා මට තෙරුණා..

"අම්මා කියන උතුම් වචනෙට බන්ටි නිග්‍රහ කරා.. ඒකයි එයාට සමාව දෙන්න බැරි.."

"මොකක්ද මං කරපු නිග්‍රහය..?"

ලොකු පුතාව පැත්තකට ඇදල දාලා මං ආයතේ කතාව මැද්දට පැන්නා..

"කුස්සි අම්මව, අම්මගෙ තනතුරට දාපු එක.."

සමහර විට නෙත්මි ඒ වචන ටික ඒ තරම් හිතල කියන්න නැතුව ඇති.. ඒ ඒ වචන වලින් මගේ පපුව තුන හතරට පැලිලා ගියා.. මොන තරම් කැත කතාවක්ද එයා කිව්වෙ.. එයාට අයිතියක් තියෙනවද ඒ වගේ කතාවක් කියන්න..

"ඇති.. තවත් එක වචනයක්වත් කතා කරන්නෙපා.. ඔය දෙඩෙව්වා හොදටම ඇති.."

"ඇ.. ඇයි මං තව කතා කලොත් මට මොනවා කරන්නද..? ඔයා ඔය අනිත් අය කටින් බය කරගන්නවා වගේ මාව බය කරන්න ලේසි නෑ තේරුණාද..?"

"ඔයාව බය කරන්න මට ඕන නෑ.. ඒත් ඔය වගේ කැත විදියට කතා කරන්නෙපා.. මං කවදාවත් බේබි නැන්දව කුස්සි අම්මා කෙනෙක් විදියට දැකලා දාලා නෑ.. එහෙම හිතලවත් නෑ.. ඔය විදියට කතා කරද්දි, මං මේ තරම් හරි ඉවසුවෙ, මං ඔයාව දවසක් හරි ආශ්‍රය කරපු හින්දා.. ඒක ඔයා තේරුම් ගන්න.."

"මං මොකටද තේරුම් ගන්නෙ..? වංචාව කෙරුවෙ ඔයා..  අම්මා ගැන බොරු තොගයක් කිව්වෙ ඔයා.. මාව සත පහකට ගණන් ගන්නැතුව කොල්ලොත් එක්ක ඕනනැති තැන්වල රවුම් ගැහුවෙ ඔයා.. ආදරේ කරපු හිතකට දෙන්න තියෙන දස වද ටික ඔක්කොම දුන්නෙ ඔයා.. ඉතිං ඔයාට තව කරන්න දෙයක් නෑ.."

"එහෙනම් ඔයාගෙ තීරණේ ඒකයි.. ඔය විදියට ඔයා හැමදාම හිතනවා..?"

"ඔව්.. ඔයා වගේ කැත මනුස්සයෙක් මගේ ඇස් දෙකටවත් පේන්නැති වෙන්න ඉන්නවා නම් මං හුගාක් සතුටුයි.. මං කිව්ව ඒ කිසිම දෙයක් ඉටු නොකලට අඩුම ගානෙ, ඔයාට ඒකවත් කරන්න පුළුවන් වෙයි.."

පලයං කියලා නොකියා කියන ගමන් ගහන්න පුළුවන් හැම හින්ට් එකම ගහන ගමන්, නෙත්මි කැත විදියට හිනා උනා.. ඇත්තටම ඒ වෙනකොට තවදුරටත් නෙත්මි ළග රැදිලා සිටීමේ හිතක් මට තිබුණෙ නෑ.. කිසිම දෙයක් කියන්නැතුව මං හැරුණා..

"බලන් ගියාම ඔයාට රට වටේම අම්මලනේ රන්දික.. ආ.. ඔයා තමයි හැමෝටම උදව් කරන්න ඉන්නෙ.. යාලුවොන්ගෙ ගෑනු ළමයින්ට, පාරෙ යන බල්ලො, බලල්ලුන්ටයි හැමෝටම උදව්වට ඉන්නෙ ඔයා විතරයි.. බලාගෙන.. තව ටික දවසකින් මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකෙන් ඔයාට රන් පදක්කමක් දේවි.. අනුන්ගෙ දුක සැප හොයලා බලලා පැනලා උදව් කරනවට.."

චාමිකත් එක්ක ගේට්ටුව ළගට යනකල්ම මට නෙත්මිගෙ කටහඩ ඇහුණා.. එයා මොන දේ කිව්වත් ඉවසනවා කියලා මං ඒ වෙනකොටත් හිතාගනෙ තිබුණෙ..

"රන්දික.."

චැලියට නැගලා, ඒක ස්ටාර්ට් කරන්න හදනකොටම නෙත්මිගෙ කටහඩ ළගින්ම ඇහුණා.. මායි, චාමිකයි ගේට්ටුව පැත්ත බැලුවෙ එකපාරටම වගේ..

"ඔය යනවද..?"

ඒ වචන වල තිබ්බෙ පැහැදිලිවම සමච්චලයක්.. මෙච්චර දේවල් කියවල තවත් මට කියන්න තරම් දෙයක් නෙත්මිට ඇතිය කියලා මං හිතුවෙ නෑ..

"ඔව්.. නැත්නම් අපි මෙතන බුදියගන්න ආවෙ නෑනේ.."

ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උනත් උත්තරේ හම්බ උනේ ලොකු පුතාගෙන්.. ඌට ලෙල්ලටම තදවෙලා කියලා මට තේරුණා..

"මට ඔයත්තෙක්ක කතාවක් නෑ චාමික.. ඔයා මෙයාගෙ තනි රකින්න ආව නම් පාඩුවෙ ඉන්න.. මාව හම්බවෙන්නත් බොඩි ගාඩ්ලා එක්ක එන්නෙ, මොකද ඔයාගෙ යාලුවා පණ බයේද ඉන්නෙ..?"

"බ.. බන්ටි බලපං බං මෙයා කියන කැත කතා.. උඹට මේවා අහගෙන ඉන්න පළුවන්ද..? අපි යමු බන්ටි.."

"ආ.. මං කියන ඒවා අහගෙන ඉන්න අමාරුද..? එතකොට මෙයා කියපුවා මං අහගෙන ඉදලා, ඒවයෙන් අහස් මාලිගා හදල, ගෙටත් ගෙවදුනාට පස්සෙ මට තියෙන හිතේ අමාරුව මොකක්ද කියලවත් ඔයාලට තේරෙනවද..? අඩුගානෙ.. ගැනු ළමයෙක්ගෙ හිතක් මොන වගේද කියලවත් ඔයාලා දන්නවද..?"

"ඔච්චරද කියන්න තියෙන්නෙ..?"

"ඔයාට නම් කියන්න කිසිම දෙයක් නෑ රන්දික.. මහා චේතිය රජ්ජුරුවො වගේ බොරුවෙන්ම ජීවත්වෙන ඔයාට වෙනදේ බලන්න.. මං එක දවසක් හරි ඔයාට වැඩිය ජීවත් වෙනවා.."

"බන්ටි.. මොනවද බං මෙයා මේ කියන්නෙ.. විකාරෙන් වගේ.. තවත් මෙතන ඉන්නැතුව යමං.."

චාමිකත් ඇවිල්ලා චැලියෙ වාඩිවුණා.. හිතේ කේන්තියටත් එක්ක ඌ වාඩිවෙච්ච පාර තව පොඩ්ඩෙන් ඌයි, මායි දෙන්නම කාණුවට පතබරියන් වෙනවා.. 

"මට වැඩිය එක දවසක් නෙමෙයි.. අවුරුදු සීයක් ඔයා ජීවත්වෙන්න.. ඒත් ඔය තම් සාප කරන්න, ඔය තරම් කියවන්න, මේ බන්ටි ඔයාට වරැද්දක් කරලා නෑ.. අපි මුලින් රණ්ඩු උන වෙලාවෙ මං බොරුවක් කිව්වා තමයි.. ඊට පස්සෙ අපි ලංවුණාම, ඒ මං කියපු දේ බොරුවක් කියලා, ඔයාට කියාගන්න බැරුව මං හිටියා.. ඒකත් ඇත්ත.. අන්තිමේදි.. ඔයාට ඇත්ත කියන්න එනකොට ඔයා හැමදේම දැනගෙන තිබුණා.."

"මට ඔය බොරු තවත් අහන්න ඕනකමක් නෑ.."

"නෑ.. හැමදේම ඇහුව වගේ මේකත් අහගන්න.. ඔයා ඔය කිව්ව විදියට මං කෙල්ලොවත්, ගෑනුවත් ආස්සරේ කරේ නෑ.. මං බොරුකාරයෙක් කියලා හිතුවට කමක් නෑ.. ඒත් අර විදියෙ පහත් සිතුවිලි මං ගැන අති කරගන්නෙපා.."

"මං ඇති කරගත්තත් ඔයාට කරන්න දෙයක් නෑ.. මොකද මට ඔයාව බින්දුවක්වත් විශ්වාස නැති නිසා.. ඒ වගේම ඔයා කියන්නෙ කොයි තරම් පහත් මිනිහෙක්ද කියලා මං දන්න හින්දා.."

"නෙත්මි.."

"ඔයා ම‍ගේ නම කියනවටවත් මං කැමති නෑ රන්දික.. ඔයා ඔය කරපු සේරම දේවල්වල ප්‍රතිඵල ඔයාටම හම්බවෙයි.. ඒත් මං ඔයාට කියන්නෙ වහින වෙලාවට වැරදිලාවත් එළියට බහින්නෙපා කියලා.."

අහගන්න ඕන හැමදේම උපරිම විදියට අහගෙන, මං බොහොම ආමාරුවෙන් චැලිය හරව ගත්තා.. නෙත්මි කියපු ඒ අන්තිම වචනවල තේරුම මට හෙණ ගහයි කියලා ඇරෙන්න වෙන මොනවද..?

"මට හෙණ ගැහුවත් කමක් නෑ.. ඒ හෙණවල එළියෙන් හරි ඔයාගෙ ජීවිතේට එළියක් හම්බවෙනව නම්.."

නෙත්මිගෙ කට ආයෙත් ඇරෙන්න කලින්, මං ඒ ටික කියලා චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. ජීවන වන්දනාවෙ ආත්මයට ලංවෙච්ච, ආදරණිය මතක නටඹුන් විතරක් ගේට්ටු කණුව ගාව ඉතිරි වෙලා තියෙනවා මං දැක්කා.. හඩ හඩා වැටෙන හදවතට සිරි පොද වැස්සක් වෙන්න, නෙත්මිට බැරි උනාට, ඒ මතකය හරි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මට උදව් කරාවි අන්තිම තත්පරේදි මට හිතුණා..




No comments:

Post a Comment