Wednesday, April 18, 2012

| බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක |






දවසක් දෙකක් පාඩුවෙ ගෙවිල යන්න දීලා මං ඔහේ බලන් හිටියා.. කොල්ලො කාටවත් කියන්නැතුව දළදා මාළිගාවට ගිහින් පැය දෙක තුනේ, උඩ මළුවෙ වාඩිවෙලා ඉන්න මං පුරුදු උනා.. හුගාක් වෙලාවට මං එහෙම කරේ හිත හදාගන්න.. වෙනද වගේ ක්‍රියාශීලී වෙන්න නම් හිත හදාගන්නෙක අනිවාර්යයි කියල මං දැනන් හිටියා.. නෙත්මි ඉස්සරහ ගල් කරගෙන හිටියත් බන්ටිගෙ හිතත් සංවේදී හිතක්නෙ..

"බන්ටි.. අලුත් ආරංචි මොනවද..?"


කොල්ලො කට්ටිය සෙට් උනේ හුග දවසකට පස්සෙ.. හැබැයි ඒ වෙනකොට, කටුගස්තොට ගෙස්ට් එකේ කුල කාන්තාවට අපි දීපු මිෂන් එක, කොල්ලො හැම එකාම දැනගෙන තිබුණා.. සරිගමයා, අත පිස්ටල් එක වගේ හදාගෙන, අපේ බන්ටි මෙහෙමයි කොකා ගැස්සුවෙ, මෙහෙමයි ගෑනිව බය කරේ කිය කියා නාට්ටි පෙන්නනවා..

"ගින්දර වගේ ආරංචියක් තියෙනවා.."

"ඒ.. ඒ මොකක්ද..?"

"ආරංචිය මොකක්ද කියල මං කියන්නම්.. ඒත් ඊට කලින් අපිට ඇටකිච්චව හම්බවෙන්න ඕන.."

කොල්ලො එක එකා මූණු බලාගත්තා..

"ලොකු පුතේ.. මට නම් දිරවන්නෑ.. උඹ ඒක කියපු ලතාව.. ආයෙ ලෙඩක්ද..? නැත්නම් ඇටකිච්චව ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකටවත් දානන්ද හදන්නෙ..?"

චාමික හරියටම කිව්වා.. බලන් ගියාම මූටත් යමක් කමක් තේරෙනවනෙ..

"ඔව් චාමික.. ඇටකිච්චා ආයෙමත් ගේමට බැහැලා.. ඌ තමයි පහුගිය දවස්වල නෙත්මිලහ රිංගල තියෙන්නෙ.. අර ඩයිවර්ට් කතන්දරේට මට හොදටම ෂුවර් මූ සම්බන්ධයි කියල.. මූ නෑයොත් වෙන  හන්ද ඇන්ටිවත් අන්දගෙන ගානට ගේම දෙන්න ඇති.."

"ගින්නක් නෑ බන්ටි අයියා.. ඇටකිච්චගෙ ෆෝන් නම්බරේ තියෙනවනෙ.. කෝල් කරලා ඌව ගෙන්න ගනිමු.. බෑ කියලා කිව්වොත් ගෙදරටම ගිහිල්ලා නෙලලා එමු.."

"ඔව් රවීන්.. මේක තවත් කල් දාන්න බෑ.. අදම ඉවරයක් කරන්නෝන.."

"එහෙනම් ලොකු පුතේ ෆිට් තමා.."

පහට පහක් දාලා අපි හැම එකාම වැඩේ ස්ථීර කර ගත්තා.. බෙල්ල ගහල ගියත්, ඕනම වැඩකට සෙට් වෙන මේ වගේ කොල්ලො සෙට් එකක් කොල්ලෙකුට ඉන්න එකත් ලොකු දෙයක්.. ඒ ලොකු දේ මේ බන්ටිටත් අඩුවක් නැතුවම ලැබුණා..

"බන්ටි.."

"ම්.."

"පයිතගරසයා කරල තියෙන වැඩක් දන්නවද..?"

මං හිටියෙ ලොකු කල්පනාවක.. ඒ කල්පනාවෙ කෙලවරින් මගෙන් ඈත්වෙලා ගියපු නෙත්මි කියන ආත්මාර්ථකාමී කෙල්ලත් හිටියා.. කොයි වෙලාවක හරි කොල්ලන්ට ඒ ගැනත් කියන්න වෙනවා.. ඒකට වචන හොය හොයා ඉන්නකොට තමයි අමිල, පයිතගරස් ගැන කිව්වෙ..

"ආරංචියක් නම් නෑ.. ඇයි, මාලු මාර්කට් එකේදි මිල සූත්‍රයක්වත් කියල දෙන්න ගිහිල්ලද..?"

පහුගිය ටිකේම පයිතගරස්ව හම්බ උනේ මාලු මාර්කට් එක ගාවදි හන්දා, මං ඇහුවා.. අමිලයට පුංචි හිනාවක් ගියා..

"නෑ බන්ටි.. මූ කඩේට ගිහින්.. 'හහ්.. හහ්.. හා..' කියල මහ හයියෙන් හිනාවෙලා සිලින්ඩරයක් ඉල්ලුවලු.."

"මොකක්..?"

අමිල කියාපු දේ එකපාරටම මට තේරුණේ නෑ.. ඒ සමහර විට මං වෙන කල්පනාවට හිටපු නිසා වෙන්න ඇති..

"ඔව්.. කඩේ මුදලාලියා හොල්මන් වෙන සයිස් එකට මූ මුලින් හිනාවෙනවලු.. ඊට පස්සෙ සිලින්ඩරයක් ඉල්ලනවලු.."

"ඒ කියන්නෙ අමිල..?"

"මෙහෙමයි සුරේන්.. හහ්.. හහ්..  හා.. සිලින්ඩරයක් දෙන්න... හහ්.. හහ්.. හා.. සිලින්ඩරයක් දෙන්න.. ඔන්න ඔය වගේ.."

අමිල ඒක කියන තාලෙට මටත් හිනාවක් ආවා.. පයිතගරස් හිටිය නම් උගෙන්ම ඕක ගානට අහගන්න තිබුණා..

"ඉතිං..?"

"පස්සෙ මුදලාලිට මල පැන්නලු.. මල කියන්නෙ මලේ මල.. ඇයි ඉතිං මූ හයියෙන් හිනාවෙලා සිලින්ඩරයක් ඉල්ලනවලු.. මේකෙ ඉවරෙකුත් නෑල්ලු.."

"පස්සෙ..?"

"මුදලාලි ඒ පාර පයිතගරස්ගෙන් ගේම ඉල්ලා.. තමුසෙට පිස්සුද කොල්ලො.. නුහුගුනෙන් වගේ හිනාවෙන්නෙ.. අනික සිලින්ඩර ඉල්ලන්නෙ.. මෙහේ තියෙන්නෙ ගෑස් සිලින්ඩර් විතරයි කියලා කිව්වලු.."

"අපේ එකා මොකද කියලා තියෙන්නෙ..?"

"පයිතගරසා කිව්වලු.. මාත් ඉල්ලුවෙ ගෑස් සිලින්ඩරයක් කියලා.."

"ඉතිං..?"

"මුදලාලියා ඒ පාර ඇහුවලු.. ඈ කොල්ලො.. උඹ එහෙනම් මී මැස්මොර කාරයා වගේ හිනාවෙවී ගෑස් සිලින්ඩර් ඉල්ලුවෙ මොකද කියලා.. මේකා ගත් කටටම කිව්වලු, මං ඉල්ලුවෙ ලාෆ් ගෑස් සිලින්ඩරයක් කියලා.."

මට හිනාව නවත්තගන්න බැරිවුණා.. කොල්ලොත් බක බක ගගා හිනාවෙනවා.. පයිතගරස් නම් කිව්වොත් කියන්නෙ ඔය වගේ පිස්සු ප්‍රමේයක් තමයි.. හැබැයි ඉතිං හොදකට තියෙන්නෙ, හිනාවෙලා හිනාවෙලා අපේ ඇගේ ලේ පිරිසිදු වෙන එක..

"දැන් බින්දු කොහොමද..?"

හුග දවසකින් බින්දු ගැන ආරංචියක් ආවෙ නැති නිසා මං ඇහුවා.. කොල්ලො කෙරුවෙ එක එකාගෙ මූණු බලාගත්තු එක.. ඒකෙන්ම මං තෙරුම් ගත්තා, උං කට්ටිය කීයටවත් මං ඒ වගේ ප්‍රශ්නයක් අහයි කියලා බලාපොරොත්තු උනේ නෑ කියලා..

"කොහොමද අහන්නෙ..?"

සරිගමයා අහුවෙ අප්‍රභංෂ ප්‍රශ්නයක්..

"ඌ දැන් මොනවද කරන්නෙ..?"

"අපි හිතුවෙ ඌ ගැන කතා කරන එක උඹට ඇලජික් කියලා.. කොහොටමත්, උඹේ හිත රිද්දපු හින්ද අපිත් ඌත්තෙක්ක වැඩි බජනයක් නෑ.."

"ළගදි ඌ නාවලපිටි ගිහින් කියලා ආරංචියි.."

"එතකොට නිරෝෂි..?"

"නිරෝෂිත් පැත්තකින් ඉන්නවා.. අපිට මේ ළගදි දවසකත් හම්බඋනා.."

"මොනවද ඒකි කියන්නෙ..?"

"මුකුත් නෑ බන්ටි අයියා.. මංතරේ වගේ ඔයා ගැනම තමා කියවන්නෙ.."

"මං ගැන.. මොනවද රවීන් ඒකි කියවන්නෙ..?"

"හොදම තමා.. ඔයාව හම්බවෙන්න ඕනලු.. ඒත් බින්දුත් එක්ක තියෙන පටලැවිල්ලට බනීද දන්නෑලු.."

රවීන් කියපු දේ මට හරියට තේරුණේ නෑ..

"පටලැවිල්ල කිව්වෙ..?"

"ඒකි දැන් බින්දුත් එක්ක ඔරොප්පුයිනෙ.. ඉතිං ඔයා හැදුවෙ හැම වෙලාවෙම උං දෙන්නා එකතු කරන්න නේ.. දැන් වර්ථමානෙ, උංගෙ එෆෙයාර් එකේ, වෙල්ඩින් ඩොට් එක ගැලවිලා ගිහින්.. ඒකයි.."

"මට දැනි නිරෝෂිට බැනලවත්, බින්දුට බැනලවත් උංගෙ එෆෙයාර් එක හදන්න ඕනකමක් නෑ අමිල.. ඒවා උං දෙන්නා බලාගන්න ඕන.."

"එතකොට අපේ බන්ටි ගැන කවුද බලාගන්නෙ..?"

ලාවට හිනාවෙවී සුරේන් හැමෝගෙන්ම ඇහුවා.. ඌ ඒක අහපු තාලෙට මටත් හිනාවක් ආවා..

"මොරීන් අක්කා.."

"මං නම් කියන්නෙ ශලනි.."

"නෑ  බං.. නෙත්මි.."

"පිස්සුද බං.. එතකොට නිරෝෂිට මොකද වෙන්නෙ..?"

මුංට කියවන්න තවත් නම් තියෙනවද මංදා.. කියන්න ඕන හැම නමක්ම මුං කියවල දැම්මනෙ..

"ආ.. බන්ටි.. දැන් නෙත්මිගෙ කතන්දරේ මොකද..?"

කරගෙන ගියපු හැම කතාවක්ම තල්ලු කරල දාලා, අමිල මගේ ඉස්සරහට ආවා.. උගේ මූන පුරාම තිබුණෙ හරිම අව්‍යාජ හැගීමක්..

"කලින්ටත් වැඩිය එයා, මාව මිස් අන්ඩස්ටෑන්ඩ් කරනවා.. කොයි තරම් පහදල දුන්නත් වැඩක් නෑ.."

"අතෑරල දාන්න බන්ටි අයියා.. මොන බම්බුවක්ද..?"

"ඔව් ලොකු පුතේ.. උඹ ආයෙ මහ ලොකු වැරැද්දක් කරලද..? ඒකිගෙත් නිකං ෂෝ එකනේ.."

"සමහර වෙලාවට නෙත්මිගෙයි, මගෙයි අතරෙ තියෙන මේ නමක් නැති සම්බන්ෂෙ ඉවරෙටම ඉවර වෙලා තියෙයි.. මොකද.. අදහස් ගැළපෙන්නෙ නැතුව, අනිත් කෙනාව තමන්ගෙ හිරකාරයෙක් වගේ කරගෙන ආදරේ කරාට ඒක සාර්ථක ආදරයක් නෙමෙයි.. කොයි වෙලාවෙ හරි ගැලවිලා යනවා.."

මේ වෙනකොටත් ඔය මං කියපු හැමදේම සිද්ධ වෙලා ඉවරයි කියලං මං දැනන් හිටියා.. ඒත් මං ඒක කාටවත් කියන්න ගියේ නෑ.. නිකං මොකටද කොල්ලො සෙට් එක කුලප්පු කරන්නෙ..

"මේ නුවර, ඔයාට ගැළපෙන කෙල්ලො නැතුවද බන්ටි අයියා.. ඔන්න ඔය මගුල අතෑරලා දාන්න.."

"කඩදාසියක් නැමිච්ච තැනින්, ඊළග මොහොතෙත් ආයෙත් නැමෙනවා.. ඒ වගේ තමයි.. උඹත්තෙක්ක අනවශ්‍ය විදියට රණ්ඩු උනා නම්, උඹට කැත විදියට කතා කරා නම්, විහිලුවට හරි සාප කරා නම්, ඉස්සරහටත් තවත් ඒ දේ සිද්ධ වෙනවා.. ඒ වගේ කෙල්ලො උඹට ඕන තරමක් හොයාගතෑකි.. පදුරකට පයින් ගැහුවත්.. මොකෝ.. මේ සංසාර ගමන අද හෙටම නිමා වෙන්නෙ නෑනෙ.."

මොනව නැතත් සරිගමයා ඉදලා ඉදලා කිව්වෙ එළකිරි කතාවක්.. ඒක මගේ පපුව ඇතුළටම වැදුනා.. ඌ බලන් හිටියා වගේ කියපු එකනේ වැඩේ කියන්නෙ..

"අනික බන්ටි.. පිහිය රත්තරං උනත්, අත කැපෙනව නම් වැඩක් නෑනෙ.. බැංකුවෙ තියල සල්ලි කීයක් හරි ගන්නව මිසක.."

"බන්ටි අයියට මැච් වෙන්නෙ කවුරු කියලද උඹල හිතන්නෙ..?"

රවීන් අහපු ප්‍රශ්නෙට කවුරුවත්ම උත්තර දුන්නෑ.. ඒත් හැමෝටම උත්තරයක් තියෙනවා කියලා නම් මට තේරුණා.. අපිට ගැළපෙන්නෙ කවුද කියල අපි දන්නව උනත්, පිටින් බලන් ඉන්න අයටත් අපිට ගැළපෙන්නෙ කවුද කියලා හරියටම කියන්න පුළුවන් කියන මතේක බන්ටි නම් කවදත් හිටියා..

"එකයි.. දෙකයි.. තුනයි.. හැමෝම එහෙනම් එක පාරටම කියමු.. රායිට්.."

අමිලගෙ කටහඩ අනිත් හැම කටහඩක්ම පැත්තකට දාලා මට ඇහුණා.. වැඩි වෙලාවක් බලන් ඉන්න මට ඕන උනේ නෑ.. කොල්ලො හැම එකාගෙන්ම පිටවුණේ එකම එක නමයි..

"ශ..ල..නි.."

"ඔය තියෙන්නෙ.. දැක්කනේ බන්ටි.. අපි හැමෝම හිතන්නෙ, උඹට සීයට හැත්තපහකටත් වැඩිය මැච් වෙන්නෙ ශලනි කියලා.. ඒකිත් උඹට නැහීගෙන ආදරෙයිනෙ.."

"මොකද කියන්නෙ බන්ටි.. අපේ ප්‍රාර්ථනාවට උඹ එකගද..?"

"බලමු සුරේන්.. ආදරේ ගැන තිරණ ගද්දි හුගක් හිතන්නෝන.. නැත්නම් අනිවා දුකක් තමයි.. නෙත්මි ගැන උනත්, මං වැඩිය හිතන්නැතුවයි, එයාව ලං කරගත්තෙ.. ඒත් අන්තිමට උනේ, හිත කැඩිච්ච එක.."

"හරි ලොකු පුතේ.. අපි ඒක අනාගතේට බාර දෙමු.. මොන දේ උනත් මං දන්නවා, උඹට බඩ බැදන් ආදරේ කරන්න ලස්සන කෙල්ලෙක් ඉක්මනටම හම්බ වෙනවා කියලා.."

"ඒ කෙල්ල ශලනි වෙයි කියල අපි හිතනවා.."

එතනින් එහාට කතාව ඇදිල ගියේ ඇටකිච්චා නුවර හොස්පිට්ල් එකේ නවත්තන්නෙ කොහොමද කියලා.. පුංචි සාකච්චා වටයක් දාලා අපි තීරණේ කරා ඌව වැව රවුමෙ ටෙනිස් කෝට් එක ළගට ගෙන්නන්න.. එතනදි තුන හතරක් ඇන්නම, ඌට ඕන නම්, නුවර හොස්පිට්ල් එකට හරි ගුරුදෙණිය වෙදා ළගට හරි යතෑකි..

"මොකද කියන්නෙ..?"

මං ෆෝන් එක රවීන්ට දීලා බලන් හිටියෙ, ඇටකිච්චා සම්බන්ධ වෙනකන්.. මේක අදම ඉවරයක් කරල දැම්ම නම් හොදටම හොදයි..

"ඌ සුප් එකක් බොනවලු කොළඹ වීදියෙ සුප් කඩේකට වෙලා.."

"ඉතිං..?"

"මං කිව්වා, ශලනි ගැන පුංචි විස්තරයක් දැනගන්න තියෙවා.. ටෙනිස් කෝට් එක ළගට එන්න පුළුවන්ද කියලා.. ගත් කටටම ඌ කිව්වා, සුප් එක බීලා ඉවරවෙලා එන්නම් කියලා.."

ඌ සුප් බොද්දි අපිට ඌව සූප්පු කරතෑකි.. කිසි අවුලක් නෑ.. මගේ හිතට ආවෙ පුදුම සැනසීමක්.. කලින් මූ ගුටි කෑවෙ ශලනියි, නිරෝෂියි නිසා.. දැන් ගුටි කන්න යන්නෙ නෙත්මි නිසා..

"ඇටකිච්චට නම් කෙල්ලොන්ගෙන් මාර අපලයක් තමයි තියෙන්නෙ.."

"අනේ අනිච්චේ.. ඌ අදත් සුප් එහෙම බීලා, ගුටි කන්න නේද එන්නෙ.."

"ලොකු පුතේ.. උඹ ඌට යටි බඩට එහෙම ගහන්නෙපා.. කලින් පාරක්, ඌට මුත්‍රා පිටවුණා.. ගාත්‍රා දිගේ ඕව ගෑවුනොත්, අපිට යාත්‍රා කරන්න වෙන්නෙ නුවර වැවේ තමයි.."

"රවීන්.. උඹ කිව්වද මං ඉන්නවා කියලා.."

"පිස්සුද බන්ටි අයියා.. ඌ මේ වැඩේට සම්බන්ධයි නම්, ඔයා ඉන්නවා කිව්වොත් කීයටවත් එන්නෑ.."

"කෝකටත් බන්ටි, උඹ අයින් ගහලා ඉදපං.. අපි ඌ මෙතනට ආපු ගමන් ඇදගෙන එන්නම්.."

මොන දේ උනත් ඇටකිච්චට නෙලනවා කියන මතයෙ තමයි මං හිටියෙ.. ටෙනිස් කෝට් එකේ මැස්සෙක්වත් නෑ.. වෙනද මේ වෙලාවට පුංචි එවුන් හරි ප්‍රැක්ටිස් කරනවා.. 

"බන්ටි.. ඇටකිච්චා ආවා.."

බලන් ගියාම මූ මාර ස්පීඩ් පොරක්නෙ.. මොනව කරන්නද අප්පා.. ගුටි කන්න තියෙන විශිෂ්ඨ ගණයේ කැමැත්තනෙ.. කාට කියන්නද ඕවා.. මං ටෙනිස් කෝට් එක පැත්තට එබුණා.. රවින්, ඇටකිච්චගෙ අතකින් අල්ලගෙන මොනවදෝ අහනවා.. සමහර විට මාව දැකලා ඇටකිච්චා පැනලා දුවයි කියලා වෙන්නැති, රවීන් ඔය අල්ලන් ඉන්නෙ.. තවත් බලන් ඉදල තේරුමක් නෑ.. ටෙලිෆෝන් කතන්දර හැම එකක්ම ඔලුවෙ තියාගෙන මං ඇටකිච්චා ඉස්සරහට ආවා.. නෙත්මිගෙ තාත්තා වගේනෙ මූ රගපෑවෙ.. අද මං උඹට තාත්තගෙ තාත්තා විදියට රගපාන්න දෙන්නම්..

"බ.. බන්ටි අයියා.. ඔයත් මෙතනද..? රවීන් මට නිකංවත් කිව්වෙ නෑනෙ.."

මං හිතුවෙ, මාව දැකපු ගමන් ඇටකිච්චට කලන්තෙ හැදෙයි කියලා.. ඒත් පුදුමෙ කියන්නෙ ඒකා මාර ෆිට් එකේ කතා කෙරුවෙ, කොල්ලොන්ටත් පුදුමයි.. ඒත් මගේ පුදුමෙ මං වැඩිදුරක් අරගෙන ගියේ නෑ.. මොකද ඇටකිච්චා කියන්නෙ නොම්මර එකේ නලුවෙක් කියලා මං දැනන් හිටියා.. ඇයි හත්වලාමෙ.. නැත්නම් කොහොමද ගෑනු ළමයි තුන් හතර දෙනෙක් එක්ක එකපාර යාලු වෙන්නෙ.. උන්ට පැලෙනකල් ආදරේ කරන්නෙ..?

"උඹත් එක්ක බේරගන්න ගණුදෙනුවක් තියෙනවා.."

මං ඇටකිච්චට තවත් ළංවුණා.. ඌට පැනල දුවන්න බැරිවෙන්න.. චාමිකයි, අමිලයි, සුරේනුයි ටිකක් පස්සට වෙලා හිටියෙ..

"ග.. ගණුදෙනුවක්..?"

ඇටකිච්චගෙ මූණ වෙනස් උනා.. දැන් ඒ මූණෙ පෙරහැරවල් රාශියක් යනවා.. ඉස්සෙල්ලම කස කාරයොයි, මල් බයිසිකල්  කාරයොයි..

"මගෙන් එදා අච්චර ගුටි කාලත්  උඹ හැදුනෙ නෑ නේද..?"

ඇටකිච්චගෙ කොලර් එකෙන් අල්ලල, මං ඌව මගේ ළගට ගත්තා.. මරන්න ගෙනියන හරකෙකුටත් අන්ත මූණක් හදාගෙන ඌ  මගේ දිහා බැලුවා.. ඒ ඩිංගට උගේ ඇස් වලට කදුළු ඇවිත් තිබුණා.. කොහෙද ඉතිං.. මූට ගහන්න කලින්ම ඇඩිලනේ..

"අ.. අනේ බන්ටි අයියා ගහන්නෙපා.. දෙ.. දෙයියන්ගෙ නාමෙට වෙලා තියෙන දේ කියන්න.. ම.. මං දන්න දෙයක් නම් කියන්නම්.."

ඇටකිච්චා බැගෑපත් වෙනවා.. මං සාක්කුවට අත දාලා අර ඩයිවර්ට් ගැජට් එක අතට ගත්තා.. ඒක දකිද්දි උගේ ඇස් බෝල දෙක එළියට පනින්න තරම් ලොකු උනා..

"උඹට මතකද මේක..?"

"ඔ.. ඔව්.. ඕක.. ම.. මගේ.. ඔ.. ඔයාට කොහෙන්ද ඕක..?"

මම ඒ වෙනකල්ම ඇටකිච්චට පාරක්වත් ගහල තිබ්බෙ නෑ.. සම්පූර්ණ විස්තරේම අහගෙන මුගේ මූණ කට සමතලා කරනවා කියලා මං හිතාගත්තා..

"මට කොහෙන්ද කියල අහන්නෙ..? ඇයි මේකට වෙච්ච දේ උඹ දන්නැද්ද..?"

"ඔ.. ඔය ගැජට් එක කවුරු හරි උස්සලා බන්ටි අයියා.. මාත් ඕක හැමතැනම හෙව්වා.."

"මේ.. උඹ අපිට බොයිය දාන්නෙපා.. උඹේ ඇට ටික කුඩු කරල නුවර වැවට දානවා.. මට ඇත්ත කියපං.. උඹ ඇයි නෙත්මිගෙ තාත්ත වගේ කතා කෙරුවෙ.. උඹට ඒකෙන් මොනවද ලැබෙන්නෙ..?"

"නෙ.. නෙත්මිගෙ තාත්තා වගෙ කතා කෙරුවා..? ම.. මට මේ මුකුත් තේරෙන්නෑ.. දළදා හාමුදුරුවන් පල්ල.. බන්ටි අයියෙ.. මේ කතන්දරේ කොහේ හරි පටලැවිලා.."

"උඹ කියනව නම් පටලැවිලා කියලා.. මං ඒක ලිහාගන්නම්.. ඉස්සෙල්ලා කියපං.. උඹට මේ ගැජට් එක කොහෙන්ද..? උඹ මේක පාවිච්චි කරේ ඇයි කියලා..?"

මේ වෙනකොට මං ඇටකිච්චගෙ ෂර්ට් කොලර් එක අතෑරලා දාලා තිබුණෙ.. මුල්ම වතාවට මගේ හිතට පුංචි සැකයක් ආවා.. මං මේ අල්ලන් ඉන්නෙ  හරි මාලුවද කියලා.. ඒත් ඉතිං මේ ගැජට් එක මුගේ කියල මූම කියනවනේ.. තවත් මොන කතාද කතා කරන්න තියෙන්නෙ..? තවත් ටිකක් බලල ඇනගෙන ඇනගෙන යනවා මිසක..

"අ.. අනේ.. ගහන්න නම් එපා බ.. බන්ටි අයියා.. ඔ.. ඔය ගැජට් එක මට තෑගි ලැබිච්ච එකක්.. චීනෙ ඉන්න අපේ මාමා කෙනෙක්ගෙන්.. ඒත් දැන් සති තුනක වගේ වෙලේ ඉදන්, ඕක මිස් ප්ලේස් වෙලා තිබුණා.."

"මිස් ප්ලේස් වලො තිබුණනේ.. ආ.. එතකොට උඹ මේකත් අරගෙන නෙත්මිලහ ගියේ නැද්ද..?"

"නෙත්මිලහ නම් ගියා.. ඒත් මං ඕක අරන් ගියේ නෑ.. ඔයා ඕනනම් අහන්නකො.. මං කියනෙක බොරුද කියලා.. ඔයාලගෙ යාලුවගෙන්.."

"යාලුවගෙන්..?"

මං උඩ ගිහින් බිම වැටුණා.. මේකා මොනවද මේ කියවන්නෙ..? ඈතින් ඉදපු සුරේනුයි, අමිලයි, චාමිකයි මේ කතන්දරේ ඇහිල අපි ළගට ආවා.. රවීන් නම් කොහොමත් හිටියෙ ඇටකිච්චයි, මායි ළගනේ..

"මොන යාලුවද..?"

"ඔයාලත් එක්ක  හිටපු අර කලු කෙට්ටු එකා.. ශිහාන්.."

ජීවිත තැනිතලාවෙ මගේ කන් දෙකෙන් අහපු, අදහගන්න බැරිවුණු දෙවනි කතාව තමයි මේ.. පළවෙනි එක, ගෙදර ඉන්න අම්මා, මගෙ අම්මා නෙමෙයි කියකෙ.. දෙවනි එක, අපේ ක්ලීක් එකේ හිටපු ශිහාන් ගැන කතාව..

"ශිහාන්..?"

"ඔව්.. මිනිහගෙ නම ඒක තමා.."

"තමුසෙ කොහොමද ඌව අදුනන්නෙ..?"

"එදා පේරාදෙණිය ගාඩ්න් එකේදි, ඔයාල මට ගැහුවයින් පස්සෙ මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලානෙ.. එතකොට දවස් දෙක තුනක් මිනිහ මාව බලන්න ආවා.. එහෙම තමා ශිහාන් ෆිට් උනේ.."

ඇටකිච්චට ගහනවට ශිහාන් මුලින්ම විරුද්ධ වෙච්ච හැටි, මගේ වචනවලට අකීකරු උන හැටි චිත්‍රපටියක රෑප පෙලක් වගේ හිත ඇතුළෙන් ගලාගෙන ආවා.. එහෙනම් මේ රාජකීය නාට්ටියෙ ප්‍රධාන නළුවා උඹයි.. ඇටකිච්චත් අල්ලගෙන, ඌව අන්දලා තියල මේකා ගානට වැඩේ දීලා.. නෙත්මිලගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනත් කිව්වෙ ඇටකිච්චත් එක්ක තව කලු කෙට්ටු එකෙක් ආවා කියලා.. එහෙනම් කතාව ඇත්ත..  

"බන්ටි.. මූ කියන විදියට කතන්දරේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. ශිහාන් කාරයා මුගේ ගැජට් එකට වැඩේ දීලා නෙත්මිලගෙ ෆෝන් එකට හයි කරලා.. ඇයි ඉතිං මේකා, ශිහාන්කාරයව නෙත්මිලහට එක්කරගෙන ගිහින් තියෙනවනෙ.."

"ඔය ඔක්කොමත් හරි.. ශිහාන්කාරයා පහුගිය දවස්වල කොළඹ මොකක්ද කෝස් එකක් කරානෙ බං.. ඌ කොයි වෙලාවෙද මේවට සම්බන්ධ උනේ.. අනික ඌට දෙක තුනක් අනින්න අපි ඌව හෙව්වත්නෙ.."

"මතකද බන්ටි.. උඹලගෙ අම්මටයි, සරිගමයලහටයි ගින්න දීලා තිබුණෙ ඕකනෙ.. දැන් ඉතිං පරණ ඒවත් වැල්පොලියට අරන්, මේ කතන්දරෙත් ඒකට එකතු කරලා, මූට කරන්න හිතුව ඒවා ශිහාන්ට කරමු.."

අමිලගෙ කතාවෙන් පස්සෙ ඇටකිච්චා බයවෙලා වගේ මං දිහා බැලුවා..

"අ.. අනේ බන්ටි අයියෙ මට මුකුත් කරන්නෙ නෑ නේද..? උගේ වදේටයි මං නෙත්මිලහ ගියේ.. ඇත්තමයි.. ඔයා.. ඔයා දන්නවනේ, මං ඔයා ගෑවිච්ච තැනකින්වත් යන්නෑ කියලා.. එ.. එදා කාපු ඒවා තාම රිදෙනවා.."

"හරි.. උඹට දැන් යන්න පුළුවන්.. හැබැයි ඊට කලින් උඹ හෙට උදේ නමය වෙද්දි, මට ශිහාන්ව මුණ ගස්සවන්න ඕන.. හැබැයි මේ මුකුත් ඌට කියන්න බෑ.. එහෙම උනොත් මං අල්ලගන්නෙ උඹව.. තේරුණාද..?"

"ඔ.. ඔව්.. ඔව්.. තේ.. තේරුණා.."

"උඹට අපි ගහපු තැන මතකයි නේද..? පේරාදෙණිය ගාඩ්න් එකේ ඒ ප්ලේස් එකටම ඌව එක්ක වරෙන්.."

"හා..! බන්ටි අයියේ..?"

"ඇයි..?"

"මට ගහන්නෑ නේද..?"

"නෑ.. උඹට ගහන්න හැදුවෙ මෙතනදි.. ඒත් උඹේ සම්බන්ධයක් නැති නිසා බේරුණා.. හ්ම්.. දැන් ඉතිං පලයං.. වැඩේ වන කෙරුවොත් වෙනදේත් මං උඹට කිව්වනේ.."

ඔලුවත් වන වනා පස්සෙන් පස්සට ගියපු ඇටකිච්චා මහමායා එක පැත්තට පාර පැනල, පාර දිගේ දුවනවා මං දැක්කා.. ඇත්තටම ඌ හිටියෙ සිහි නැතිවෙන තරමට බයවෙලා..

"නියමයි ලොකු පුතේ.. උඹ නියමෙට වැඩේ දුන්නා.."

"ෆැන්ටෑස්ටික්.. කියලා වැඩක් නෑ බන්ටි අයියා.."

"එහෙනම් මේ මළ  දානෙ පිටිපස්සෙ ඉන්නෙ ශිහාන් කාරයා.. ඕක තමයි එහෙනම් බන්ටිගැන වැරදි නෙත්මිට කියන්න ඇත්තෙ.."

ඒක නම් ඇත්ත කියල මටත් හිතුණා.. නෙත්මියි, මායි ඈත් කරන්න මූ පුලු පුලුවන් හැමදේම කරන්න ඇති.. මගේ නැති වැරදිත් නෙත්මිට දැනගන්න ඉඩ සලස්වන්න ඇති..

"අපේ ක්ලීක් එකෙන් ඕකව ඈත් කරපු එකට තමා ඕකා ඔහොම කරන්න ඇත්තෙ.. දැන් ඉතිං පරණ එව්වත් එක්ක නාගසලං කරලා දාමු.."

"එහෙනම් හෙට උදේ අටහමාරට ගාඩ්න් එක ළගදි සෙට් වෙමු.."

වැඩේ දශමෙට සෙට් කරගෙන, මං ගෙදර එන්න ආවා.. එහෙනම්, ශලනිත් එක්ක මං ලන්ච් එකක් ගත්තා කියලත්, නෙත්මිට කියන්න ඇත්තෙ මූ තමයි.. කමක් නෑ.. උඹේ කටින්ම, හෙට උදේට හැමදේම මං වමාර ගන්නම්කො..

                                            ****************************

වැලිපාර දිගේ ඇවි්ලලා, චැලිය ගේ පැත්තට දාන්න හැදුව විතරයි, මොරීන් අක්කා අත වනනවා මං දැක්කා.. ඒ පාර මොකද දන්නෑ..

"ඇයි මොරීන් අක්කෙ..?"

"ඔයාට පණිවිඩයක් කියන්නයි කතා කෙරුවෙ.."

වෙනදට මූණ පිරිල තියෙන හිනාවටත් වැඩිය ලොකු  හිනාවක් මොරීන් අක්කා ගාව තියෙනවා මං දැක්කා.. 

"මොකක් උනත් සුභ දෙයක් කියලා හිතනවා.. ඔයා අද හුගක් සතුටින් ඉන්නෙ.."

"ඔව් මල්ලි.. මං මගේ ජීවිතේ ගැන වැදගත් තීන්දුවක් ගත්තා.. ඒක මං ඉස් ඉස්සෙල්ලම කියන්නෙ ඔයාට.. මොකද ඔයා ගිය ආත්මෙත් මගේ මල්ලි, මේ ආත්මෙත් මගේ මල්ලි.. මට ඔයා ඇරෙන්න ඉන්නෙ අම්මා විතරයි.."

මොරීන් අක්කගෙ වචන ටික මගේ පපුව ඇතුලටම කිදා බැස්සා.. හැමදේම විහිලුවට අරන් හිනාවෙලා හිටියත්, මොරීන් අක්කගෙ හදවත කොයි තරම් ලස්සනද කියලා මං දැනගෙන හිටියා..

"මං රසික ගැන හුගාක් බලාපොරොත්තු තියන් හිටියා.. ඒත් ඒවයෙ කිසිම තේරුමක් නෑ.. එයා ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කෙනෙක්.. එයා ගෑනියෙක්ගෙ හිතට නෙමෙයි ආදරේ කරන්නෙ, ඇගට.. ඒත් මං එයාගෙ හොදට, බන්ටි මල්ලි වෙනුවෙන් අන්තිම උදව්වත් කරා.. ඒ කටගස්තොටදි.."

"දැන් ඇයි අක්කෙ මේ හදිසියෙ ඕවා කියන්නෙ..?"

"මං කියන්න යන දේට මේ හැම දෙයක්ම සම්බන්ධ හන්ද.. මං මැරි කරන්න තීරණේ කලා බන්ටි මල්ලි.. හැබැයි ඒ ඔයාගෙ රසික අයියා නෙමෙයි.. වෙන කෙනෙක්ව.."

කන් දෙක ළගම අකුණක් ගැහුව වගේ, මගේ මුලු හිතම අගුලු වැටුණා.. හිතට සංතෝෂයක් එන්න ඕන උනත් හිතට ආවෙ මහා අපැහැදිලි හැගීම් ගොඩක්.. ඒ හැගීම් ගොඩේ දුක කියන දේ උපරිම විදියට රැදිල තිබුණා.. මට කතා කරගන්නවත් වචන ආවෙ නෑ.. 

"වෙ.. වෙන කෙනෙක්ව..?"

"ඔව් මල්ලි.. තාත්තගෙ පැත්තෙන් මට මස්සිනා කෙනෙක් වෙන අයියා කෙනෙක් ඉන්නවා.. හුග කාලෙක ඉදලා එයා මං ගැන බලාපොරොත්තු තියාගෙනයි ඉන්නෙ.. හරිම හොද කෙනෙක්.. එයා මට කිසිම දුකක්, කරදරයක් නොදී බලාගනියි කියන විශ්වාසෙ මගේ හිතේ තියෙනවා.. ඒත් රසික ගැන මහ විසාල බලාපොරොත්තු කන්දක් තිබ්බ හන්ද, මං ඒ අයියට වචනයක් දුන්නෑ.. ඒත් මං එයාට අද උදේ කතා කරා.."

"ම.. මගේ සුභ පැතුම් මොරීන් අක්කෙ.. මගේ සුභ පැතුම්.. මං පුංචි එකා වගේ හිටිය නම් ඔයාගෙ පේජ් බෝයිටවත් එන්න තිබුණා.. කොහෙද ඉතිං.. දැන් බන්ටි මහ දණ්ඩෙක් වෙලානෙ.."

"පේජ් බොයිට නෙමෙයි, ඔයයි මගේ වෙඩින් එකේ බෙස්ට්මන්.."

මට හිතාගන්න බැරි උනා.. මොරීන් අක්කා ඒක කිව්වෙ ඇත්තටමද, බොරුවටද කියලා.. ඒත් එයාගෙ මුලු මූණම ඇත්තකින් තමා පිරිලා තිබ්බෙ..

"ආරාධනේ අත් දෙකෙන්ම පිළිගන්නවා මොරීන් අක්කෙ.. ඔයාගෙ ජීවිතේ ජයෙන් ජය වෙන්න ඕන.."

"ඇයි මට විතරක්..? ඔයාටත් එහෙම වෙන්න ඕන.. අපි එකට හිනා උනා, එකට ඇඩුවා.. ඔයාගෙ වචන වලින් කියනව නම් බාල්දිත් පෙරලුවා.. තවත් අනේක දේවල් කරා.. ඒවා හැමදාටම මේ මොරීන්ට මතක්  කර කර රස විදින්න පුළුවන්.. ඒ හැම මතකයකම මහා මේරු පර්වතේ වගේ ඔයා රැදිලා ඉන්නවා බන්ටි මල්ලි.. ගෙවිල ගියපු හුගාක් දවස්වල ඔයාගෙන් තොර මතකයක් මට තිබ්බෙ නෑ.. මං ආදරේ කෙරුවෙ රසිකට උනත්, මගේ මුලු හිත පුරාම සහෝදරයෙක්, යාලුවෙක් වගේ හිටියෙ ඔයා.. කවද හරි රසිකව අමතක කරන්න පුළුවන් උනත්, මට ඔයාව නම් අමතක කරන්න බැරිවෙයි.."

මොරීන් අක්කා කියවගෙන කියවගෙන යනවා.. හිතට මොකක්දෝ නුහුරු වේදනාවක් දැනෙද්දි මං එයා දිහා බැලුවා..

"ඔයා මැරි කරාට නුවරින් යන්නෑනෙ මොරීන් අක්කෙ..?"

"යන්නෑ තමයි.. ඒත මගේ නිදහස සීමා වෙයි.. කලින් වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට ඔයාලගෙ තාප්පෙන් පැනල, ඔයාව හම්බවෙන්න එනව වගේ එන්න බැරිවෙයි.. වගකීම් වැඩිවෙන්න වැඩිවෙන්න මගේ රස්තියාදු ගැහිල්ලත් නවතියි.. ඒත්.. මං ඒ හැමදේම සංතෝසෙන් බාරගන්නවා.."

"අන්තිමට එහෙනම්, බන්ටිගෙ සුදු රසික අයියට බින්දුව හම්බ උනා.. නේද..?"

"ඒක එයාගෙ වෙලාව බන්ටි මල්ලි.. අපිට ඒවට වෙන කරන්න දෙයක් නෑ.. එයාටත් කොයි මොහොතෙ හරි ආදරයෙ වේදනාව හම්බවෙයි.. ඒත් එතකොට කදුලක් හරි පිහදාන්න මේ මොරීන් එයා ළග නෑ.."

මොරීන් අක්කගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. තවත් දුරට මේ සාකච්ඡාව ව්‍යාප්ත උනොත් මොරීන් අක්කා අඩනෙක වලක්වන්න සක්කරයටවත් බෑ.. වැඩිය මුකුත් නොකියා මං මොරීන් අක්ක ගාවින් ආවෙ ඒකයි..

                                            ****************************

ගෙදරට ඇවිල්ලා මං කෙරුවෙ මුළු හවස් වරුවෙම නිදාගත්ත එක.. බේබි නැන්දට මං ලොකු ඕඩරයක් දුන්නා කවුරු ආවත් මට බාධා කරන්නෙපා කියලා.. ඒක එහෙම අගේට සිද්ධ උනත් හවස පහමාර වගේ වෙද්දි අක්කා මගේ කාමරේට කඩන් පාත් උනා.. මේ මොකද බං මේ..? මෙයා නිකං කුලප්පු වෙච්ච අශ්ව නාම්බෙක් වගේ..

"බ..න්..ටී.."

අක්කා ඔෆිස් ඇරිල ආපු ගමන් ඇදුම්වත් මාරු කරන්නැතුව, පණ එපා කියලා මගේ කාමරේට දුවගෙන ආවෙ නිකං වෙන්න බෑ.. මොකක්  හරි අවුලක් සිද්ධ වෙලා තියෙන්නෝන..

"මොකද මේ.. පිටිපස්සෙන් කොල්ලෙක්වත් එළවගෙන එනවද..?"

අහපු ප්‍රශ්නෙට උත්තර නොදීම අක්කා මගේ ඇස් දෙකට එබුණා.. ඒ මූණෙ තියෙන්නෙ තරවටුවක් කියලා මං තේරුම් ගත්තා..

"ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද..?"

හප්පට ඩෙන.. දැන් යකඩෝ බලන් ගියාම රහස් පරික්ෂකයො හැමතැනම.. මෙයත් දන්න දේවල්..

"කවුද ඔයාට කිව්වෙ..?"

"කියපු කෙනා වැඩක් නෑනෙ බන්ටි.. මං ඇහුවෙ ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද නැද්ද කියලා.. මට ඒකට උත්තරයක් ඕන.."

"ඔව්.. මං එයාව හම්බවෙන්න ගියා.. ඇයි..? දැන් මොකක්ද ප්‍රශ්නෙ..?"

මං වීරයා වගේ ඇහුවා.. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕන්නෑ කියල කියනවනෙ.. හැබැයි ඒ දෙකම කරන්න නම් වෙන්නෙ පොලීසියට ගියාම කියල පයිතගරස් තමයි වේල්ස් පාක් එක ඉස්සරහදි කිව්වෙ..

"ප්‍රශ්න නම් ගොඩයි බන්ටි.. ඇයි ඔයා ඕනනැති දේවල් කරන්න ගියේ.. බලන්න දැන් ප්‍රශ්න නම් කීයක්ද කියලා.."

"මම කරන්න නම් ගියේ කරන්න ඕන දෙයක්.. ඒක අනිත් අයට ඕන්නෑ වගේ පේනව ඇති.. මට ඒකට කරන්න දෙයක් නැ අක්කෙ.."

"ඔහොම නපුරු විදියට කතා කරන්නෙපා බන්ටි.. ගෙදර වැඩට ඉදපු ගෑනු කෙනා, පිණිමුතුගෙ අම්ම ආවහම, සෑහෙන විස්තර තොගයක් කියලා.. අම්මා කෙල්ලට හොදටම බැනලා.. ඊයෙ දවසෙම කෙල්ල කරල තියෙන්නෙ අඩපු එකලු.."

"කවුද ඔයාට කිව්වෙ..?"

"පිණිමුතු තමයි.. එයා අද උදේ ඔෆිස් එකට ආවා.."

ඒකත් එහෙමද..? එහෙනම් කතාව ජයටම ඉදිරියට ඇදීගෙන යන පාටයි.. කමක් නෑ.. ඔහොම යංකො.. 

"ඉ.. තිං..?"

"ඔයයි, පිණීමුතුයි හොදටම කියවගත්තා කියලා එයා මට කිව්වා.."

"ඒක බොරු අක්කෙ.. පිණිමුතු තමා හුගාක්ම මට කියෙව්වෙ.. මං කියපු කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. බේබි නැන්දා ගැන, මං කියපු බොරුව ඉස්සරහට දාගෙන එයා දැන් අමුතුම ගේමක් දෙන්නයි යන්නෙ.. එයා හරියට කිව්වා.. මමත්, මට කියන්න තිබ්බ දේවල් මූණටම කියල ආවා.."

"ඒ උනාට වැරැද්ද කෙරුවෙ ඔයාගෙ බන්ටි.. ඔයා ඒ කෙල්ලගෙ හිත රිද්දන එක හරි වැරදියි.."

"මොකක්ද මං කරපු වැරැද්ද..?"

"බේබි නැන්දා ගැන කියපු දේවල්.."

"බේබි නැන්දා මගෙ අම්මා කියල කියපු එකද..? ඒක නම් ඒ තරම් අවුලක් වෙන එක්ක නෑ අක්කෙ.."

"ඇයි..?"

"බේබි නැන්දා කොහොමත් මගෙ ආච්චි අම්මනෙ.. ඒක හරියට දැනගත්තු දවසට, පිණීමුතුට කලන්තෙ දායි.. එතකොට එයාගෙ ඔ්‍ය උඩ පැනිල්ලත් නවතියි.."

මගේ කතාවෙන් අක්කගෙ මූණ හොදටම වෙනස් උනා.. මං ඒ වගේ කතාවක් කියයි කියලා එයා බින්දුවක්වත් හිතුවෙ නෑ කියලා මට තේරුණා..

"බ.. බන්ටී.."

"ඔව් අක්කෙ.. ඔය එහෙටයි, මෙහෙටයි ඇද ඇද ඉන්නවට මං කොහොමටත් කැමති නෑ.. අර ඉස්සර හිටපු විදියට ඉන්න තිබුණ නම් මේ මොන දුකක්වත් නෑ.. ඇත්තමයි.. අපේ රසික අයියා, ආදරේ කරනව වගෙ ආදරේ කරන්න මට බෑ.. මං ඒ දේට කැමති නෑ.. ඒත් නෙත්මි, මගේ හිතේ හැම අස්සක් මුල්ලක් පීරගෙනම මට ලංවුණා.. මට ගැලවෙන්නම බැරි විදියට මට ලංවුණා.. ඒත්.. එයා මට ආදරේ කලේ හරිම ආත්මාර්ථකාමී විදියට.."

"බ.. බන්ටී.."

"ඉන්න අක්කෙ.. මට තවත් ටිකක් කියන්න තියෙනවා.. දැන් හැමදේම ඉවරයි වගේම, මේ ටික කියල ඉවර උනාම ආදරේ ගැන තියෙන වචනත් ඉවරයි..  අපි කෙනෙකුට ආදරේ කරාට, අපි එයාගෙ නිදහස සින්නක්කරේට ගන්න හොද නෑ.. එයාගෙ යාලුවො, එයාගෙ යන එන තැන්.. ඕවා හැමදේටම තහංචි දාගෙන ආදරේ කරන්න බෑ.. එතකොට ඒ ආදරේ මල විකාරයක් වෙනවා.."

"ඒ උනාට බන්ටි.. අපි කැමති කෙනාව අපි ළග තියාගන්න නෙ ඔය හැමදේම කරන්නෙ.. එක ආත්මාර්ථකාමිකමක් නෙමේනෙ.."

"මොන පිස්සුද අක්කෙ.. දැන් බලන්න.. මං මගේ යාලුවොත් එක්ක වැඩිය කතා බහ කරනවට නෙත්මි කැමති නෑ.. මට යාලුවෙකුට උදව්වක් කරන්න බෑ හින්ට් ගහනවා.. කෙල්ලෙක් එක්ක කතා කරන්න බෑ.. ඒ කෙල්ලට මාව පාවල දෙනවා.. මං විසිහතර පැයේම එයාව හිතේ තියාගෙන, එයත් එක්ක විතරක් කතා කර කර ඉන්න  ඕන.. මොන විකාරයක්ද අක්කෙ.. ආදරේ කරනව කියල, කූඩු කරපු සතෙක් ගානට වැටෙන්න මං කැමති නෑ.. අනිත්තෙක අල්පෙනෙත්තෙ ඉදල වෙච්ච දේවල් එයාට කියන්නෝන.. ඒවා වෙන කොහෙන් හරි ආරංචි උනොත් ගෝරි ගොඩයි.. ඕකද අක්කෙ ආදරේ කියන්නෙ..?"

අක්කත් එක්ක කවදාවත් කතා නොකරපු මාතෘකාවක් දිගේ මගේ කතාව ඇදිල ගියා..

"ම.. මට තේරෙන්නෑ බන්ටි.." 

"මටත් තේරෙන්නෑ අක්කෙ.. කොටින්ම මම නම් අදහන්නෙ, අපි දේකට ආදරේ කරනව නම්, අපි ඒ දේට වාතයක් වෙන්න හොද නෑ කියනෙක.. අන්තිමට වෙන්නෙ ඒ දේට අපිව එපා වෙන එක.. හරියට නෙත්මිව මට එපා උනා වගේ.."

"බ..න්..ටී.."

"ඔව් අක්කෙ.. හිත කුඩුපට්ටන් වෙලා ගියත් මං ලොකු තීරණයක් අරගෙනයි තියෙන්නෙ.. මං මොන දේ කිව්වත් එයාට වටින්නෑ මට කැත විදියට කතා කරන්න.. ඒකද එයාගෙ ඩීසන්ට් ආදරේ..? අනික මේ බේබි නැන්දගෙ කතන්දරේ අල්ලගෙන මාව ඉවරයක් නැතුව පට්ට ගහනවා.. හැබැයි එයා තවත් මං ඉස්සරහට ඇවිත් කියවන්න ගියොත්, ඔයාගෙ හොදම යාලුව කියල මං බලන්නෑ.. ඔයා දන්නවනෙ අක්කෙ, මේ බන්ටිට කේන්ති ගියොත්, මොන තරම් අසමජ්ජාතිද කියලා..?"

"අ.. අනේ බන්ටි.. අපි මේ කතාව නවත්තමු.. ඔයාට හොදටම කේන්ති ගිහින්.."

"ඔව් අක්කෙ.. මට කේන්ති ගිහින් තමයි තියෙන්නෙ.. ආ.. මෙන්න මේකත්, එයා හම්බ උන වෙලාවක දෙන්න.."

ඩෙනිමෙ සයිඩ් පොකට් එකෙන් ගත්තු හෑන්ඩ් ෆෝන් එක මං අක්කට දුන්නා..

"ඇ.. ඇයි බ.. බන්ටි මේ..?"

"මං හැම දෙයින්ම ඈත්වෙනවා අක්කෙ.. මට කියලත් ආත්මයක් තියෙනවා.. කාගෙවත් බලපෑමකට යටත් වෙලා මේ ජීවිතේ අරගෙන යන්න මං කැමති නෑ.. අනික මේ කොහේවත් ඉන්න කෙල්ලෙකුට.."

'කොහේවත් ඉන්න කෙල්ලෙකුට' කියල මං විශේෂන පද ටිකට අක්කගෙ මූණ තවත් අමුතු වෙලා ගියා.. 'කරන්න දෙයක් නෑ නෙත්මි.. ඔයයි මේ හැමදේම විනාස කරල දැම්මෙ..' මට අක්කට උනත් මේ හැමදේම කියන්න උනෙ ඒකයි.. 

"ඔයාල දෙන්නට මොනව වෙලාද කියලා මට නම් තේරෙන්නෑ බන්ටි.."

"ඔයාල දෙන්නට කියල මාවත් එතෙන්ට හවුල් කරගන්නෙපා අක්කෙ.. මේ බන්ටිට නම් මුකුත් වෙලා නෑ.. ඔයාට මේ කතාබහෙන් ඒක තේරෙන්න ඇතිනේ.. වෙලා තියෙන හැමදේම වෙලා තියෙන්නෙ නෙත්මිටයි.. එහෙම නැතුව මේ බන්ටිට නෙමෙයි.."

අක්කා ෆෝන් එකත් අතේ ගුලි කරගෙන, කාමරෙන් එළියට ගියා.. ජීවිතයේ කවදාවත් දැනුණෙ නැති තරමෙ තනිකමක් මිශ්‍ර තරහක් හිතට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තා..             



 

No comments:

Post a Comment