Sunday, April 15, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






ෆෝන් එක ගැන අන්තිම කතාව ගියපු හන්දා මං කාමරේට ආපු ගමන්ම එබිලා බැලුවෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට.. අම්මප කවුරුවත් දැක්කට විශ්වාස කරන එකක් නෑ.. මිස්ඩ් කෝල් තිබ්බා  හැට නවයක්.. වැඩේ කියන්නෙ ඒ ඔක්කොම නෙත්මිගෙන්.. මොනව උනත් මං හොද වෙලාවට සයිලන්ස් මෝඩ් දාලා ගියේ.. නැත්නම් මේක එලාම් එක වගේ දිගට හරහට වද්දිද්, ගෙදර මිනිස්සුන්ගෙ පෙෂර් එකත් නගිනවා.. නෙත්මිට ගන්නවද නැද්ද, ගන්නවද නැද්ද..? මං දහ අතේ කල්පනා කරලා, අන්තිමේදි විසි අතෙත් කල්පනා කරලා, කාසියක් උඩ දාන්න තීරණේ කලා.. නෝනා වැටුණොත් ගන්නවා.. පොල්ල වැටුණොත් ඒත් ගන්නවා.. කාසිය හරි කෙලින් හිට්ටොත් ඒත් ගන්නවා.. මං නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා..


"බන්ටි මහත්තයෝ.."

දොර ගාවින් බේබි නැන්දගෙ කටහඩ ඇහෙද්දි මං ෆෝන් එක ඕෆ් කරලා දැම්මා..

"ඇයි බේබි නැන්දෙ කලබලෙන් වගේ..?"

"කලබලයක් නෑ.. මෙන්න මේක මහත්තයට දෙන්න කිව්වා.."

හතරටද, හයටද නමපු සුදු කොළ කෑල්ලක් බේබි නැන්දා මගේ දිහාට දික් කලා.. මේ මොකක්ද බං මේ..?

"කවුද බේබි නැන්දේ..?"

"ඕක කියෝලම බලන්නකෝ.."

මං කෝලේ දිගෑරියා.. හත්තිලව්වයි.. මේක ලියුමක්නේ.. කුරුමිනු අඩු වගේ එහෙට මෙහෙට ගියපු අකුරු අතරෙමං කොලේ පල්ලෙහා බැලුවා.. දෙයියනේ.. මොරීන් අක්කනේ මේක එවලා තියෙන්නේ.. පිස්සුද මන්දා.. මේතතර මූණට මූණ හම්බවෙන්න පුලුවන්කම තියෙද්දි, මොන කෙහෙල්මලකට ලියුම් එවනවද..? ඒත් හුගාක් දුරට ලියමු කියවගෙන යද්දි, මං මං ගැන ලොකු කලකිරීමක් දැනුණා.. මොරීන් අක්කගෙ පැත්තෙන් එයා ගැන මහ පුදුම දුකක් මට දැනුණා..

"බන්ටි මල්ලි.. මේ ලියුම ඔයාගෙ අතට ලැබෙනකොට මං නුවර නෑ.. මං හුගාක් ආසාවෙන්, සංතෝසෙන් ජීවිතේ ගත කරපු ලස්සන මතකයක් හිත ඇතුළෙ තියාගෙන මෙහෙන් පිටවෙලා යනවා.. එහෙම යද්දි 'මං යනවා' කියලා මට කියන්න ඉන්නෙ ඔයා විතරයි.. මගේ  හැම දේකදිම, රසිකට වැඩිය මගේ ළග හිටියෙ ඔයා.. වෙලාවක ඔයාට, මාව විහිලුවක් උනත්, මල වදයක් වුණත්, ඔයා මගේ ළග  හිටියා.. මට දක්වපු ඒ කරුණාවන්ත කමට හුගාක් පිං.. නොලැබෙන හුගාක් දේවල් වලට ආසා කිරීම, අන්තිමේදි හිතාගන්න බැරි තරමෙ දුකක් කියලා මං දන්නවා.. රසිකට ඒවා ගැළපෙන්නෙ නෑ කියලා අමාරුවෙන් හරි මං දැන් හිතනවා.. ඒක එහෙම වෙන්න ඇති.. ඔයා වගේම රසිකත් හුගක් ලස්සන හින්දා, රසික හිතනවා ඇති මොරීන් වගේ මහත කෙල්ලෙක්ව මොනවට ලංකර ගන්නවද කියලා.. සමහර විට දවසක රසිකට හිතෙයි, ඇගට වඩා හිත ලස්සන නම් ජීවිතේ හුගාක් සුන්දරයි කියලා.. හුගාක් වෙලාවට මං ආයෙ නුවර එන්නෑ මල්ලි.. ඔය ලස්සන මතකය එක්ක මං හැමදාම ජීවිතෙ අරගෙන යනවා.. හැබැයි එක දෙයක් තියෙනවා.. ඒ තමයි, රසික ආයි කවදා හරි මාව දකින දවසට, එයා මෙච්චර කාලයක් දැකපු මොරීන් නෙමෙයි එයා ඉස්සරහ ඉන්නේ.. ඒක ඔයාටත් තේරෙයි මල්ලි.. මං ඒ ගැන වැඩිය ලියන්නෙ නෑ.. මොකද මටත් කියලා හරි එකම එක ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනනේ.."

"ඉතිං බන්ටි මල්ලි.. මං ඔයාට හොද අක්කා කෙනෙක් උනාද නැද්ද කියලා මං දන්නෑ.. ඒත් අපි හොද යාලුවො වෙලා හිටියනේ.. ඔයාගෙ නම් කොහොමද කියලා මං දන්නෑ.. මගේ නම් හොදම යාලුවා උනේ ඔයානේ.. මං හැමදේම කිව්වෙ ඔයාට.. ඇත්තමයි බන්ටි මල්ලි.. මට, මගෙ දේවල් කියන්න කවුරුවත් හිටියෙ නෑ.. කන්කරච්චලයක් වුණත්, අමාරුවෙන් හරි මගේ දේවල් අහන් හිටියට ඔයාට හුගක් පින්.."

"මේ පුංචි රටේ.. මතු කවදා හෝ කොතැනකදි හේ..
යළි අප  හමුවේවි.. යළි අප හමුවේවී.."

"මං මොරීන් අක්කා.."

ඇස් දෙක පලාගෙන කදුළු කැට දෙකක් මතුවෙද්දි මං ලියුම ගුලිකරගත්තා.. දෙයියනේ, මේ හැම දේටම මමයි වැරදි.. මොරීන් අක්කගෙ ඔලුවට මුලින්ම මේ විසබීජ් දැම්මෙ මමනේ..

"ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"

"මොරීන් අක්කා ගිහින් බේබි නැන්දේ.."

"ඔ.. ඔව් මං දන්නවා.."

"ඉතිං ඔයා මට නොකිව්වේ..?"

"මං හිතන් හිටියෙ බන්ටි මහත්තයා ඒ ළමයට අකමැතියි කියලනේ.. ඉතිං වදයක් නොවී ගියහම කොයි තරම් හොදද..? කොයි තරම් සහනයක්ද..?"

"අනේ නෑ බේබි නැන්දේ.. මං මොරීන් අක්කට කැමතියි.. එයා හරිම පව්.. ඇත්තටම හරිම පව්.. එයා ඔය යන්න ගියපු එකට මාත් හවුල්.. මට වැඩියක්ම හිතට අමාරු ඒකයි.."

"මට ඕවා තේරෙන්නෑ මහත්තයො.. ඒත් ඔහොම මූණ එල්ලගෙන ඉන්නෙපා.. මං ඒකට ඩිංගක්වත් කැමති නෑ.. මොරීන් ඔය ගියාට ආපහු ඒවි.. මං ඒක සහසුද්දෙන්ම දන්නවා.."

"ඔයා කොහොමද බේබි නැන්දේ එහෙම කියන්නේ..?"

"මොරීන්, රසික මහත්තයට කැමති වුණාට, ලෙංගතුකම් පෑවට, එයා හුගාක් කැමැත්තෙන් හිටියෙ බන්ටි මහත්තයව ආස්සරේ කරන්න.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා.. එහෙව් එකේ.. ඔය ගෑනු ළමිස්සිට, බන්ටි මහත්තයා නොදැක ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි ඒවි.."

බේබි නැන්දා කියවන් ගියපු දේවල්වල සෑහෙන්න ඇත්තක් තියෙනවා කියලා ආයෙ තර්ක විතර්ක කරන්න ඕන වුණේ නෑ.. ඩිංගක් ආපස්සට කල්පනා කරලා බලපුවාම ඒ හැම දෙයක්ම ඇත්ත.. මොරීන් අක්කා, රසික අයියට ආදරේ කරාට එයා හුගාක් ලංවෙලා ආස්සරේ කරන්න කැමති වුණේ මාව.. ඒකත් හරිම පුදුම දෙයක්.. තමන් ආදරේ කරන්න කැමති දේ පැත්තක තියාලා වෙන දේකට කැමති වෙන එක.. ඒත් එදා මුළු රෑ පුරාම, මොරීන් අක්කා මේ නුවර අතෑරලා දාලා ගියපු එක මගේ හිතට හරියට වද දුන්නා.. තමන් කැමති අය, තමන් ආස කරන දේවල් දාල, ගම අතෑරලා යනවා කියන්නෙ කොයි තරම් විප්පයෝග දුකක්ද කියලා බන්ටිට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න කවුරුවත් ඕන නෑ.. මේ එක දිගට සිද්ධ වෙන හැම දෙයින්ම බන්ටිට ඒක සහසුද්දෙන්ම තේරුම් ගන්න පුළුවන්..

                                            ****************************

පහුවෙනිදා, උදේ පාන්දරම, ඇස් දෙක අමාරුවෙන් ඇරලා බලද්දි, මට අමුත්තක් දැනුණා.. නිකං නිකං මේ දවස පට්ට දවාලෙ උදා වුණා වගේ.. ඒ තරම් දාඩිය දාන ගතියක් ආවට වටපිටාව පුරාම තිබ්බේ.. ඒත් ඉතිං එහෙම උනා කියලා බන්ටිට ඇහැ කන පියාගෙන ඉන්න බෑ.. අද කොයි තරම් වැඩ කරන්න තියෙන දවසක්ද අප්පේ..

"උඹ, නෙත්මිට කතා කලේ නැද්ද..?"

චැලියත් අරගෙන වැව රවුටම එද්දි මගදිම චාමික හම්බවුණා.. ඌ අහපු දෙයින් මගේ හිතට මහ මොකක්දෝ වෙලා ගියා.. දෙයියනේ.. මිස්කේාල් අච්චර ගානක් තියෙද්දිත් මට කෙල්ලට කතා කරන්න බැරි උනානේ..

"ෂිහ්.. සිරාවටම අමතක උනා මචං.."

"මං උඹට එක අවවාදයක් දෙන්නම් ලොකු පුතේ.. ඔය නෙත්මිත් එක්ක තියෙන ඇයි හොදැයිය ගැන නිවැරදි තීන්දුවක් ගනිං.. අනිත් ඒවා පස්සෙ බලගනිං.."

"ඒ කිව්වේ..?"

"ඒකිට හිතෙන්න බැරි නෑනේ බන්ටි, ෆෝන් එකක් අරන් දීලා, ඒකට සිම් එකකුත් දාලා දීලා, පැකේජ් එකකුත් අරන් දීලා උඹ කතා නොකර හිටියාම, ඒකිව ගණන් ගත්තෙ නෑ කියලා.."

"එහෙම නෑ චාමික.. ඇත්තටම මං නෙත්මිට කතා කරන්න ගත්තා.. ඒත් බේබි නැන්දා කාමරේට ආවා.. මං ෆෝන් එක ඕෆ් කරලා කබඩ් එක උඩින් ති්බබා.. තාම ඒක එතන ඇති.."

"මට ඔය කුණුහරුප තේරෙන්නෑ ලොකු පුතේ.. පුළුවන් තරම් ඉක්මනට මේ මල ඉලව්වෙන් ඈත් වෙන්න බලපං.. මේවයෙන් ඒ තරම් හොද දෙයක් වෙන්නෑ.." 

කතා කර කර ඉදලා චාමික කිව්වෙ මහ අමුතු කතාවක්.. මං මේ හැමදේම කරන්නේ, දේවල් කරේ, යාලුකම වෙනුවෙන්.. ඒ කැපවීම මුංට තේරෙන්නෑ කියලද මට මේ එහෙන් මෙහෙන් කියන්නේ..

"මට හොදක් වුණත්, නරකක් වුණත් කමක් නෑ.. මං මේ දේ කරන්නෙ නිරෝෂි වෙනුවෙන්.."

"හරි.. මං ඔය ගැන ආයෙත් කතා කරන්නෑ.. කෝ ඉතිං ඕක ස්ටාර්ට් කරගනිං.."

එතන ඉදලා ගැටඹෙ පන්සල ළගට එනකල්ම චාමික වචනයක්වත් කතා කලේ නෑ.. මමත් කතා කරන්න කිසිම උත්සාහයක් ගත්තෙ නෑ..

"කෙල්ල එයිද ලොකු පුතේ..?" 

චාමික ආයෙත් කතා කෙරුවෙ ගැටඹෙ පන්සල ගාව චැලිය නවත්තලත් ටිකක් වෙලා ගියාට පස්සේ..

"එන නොඑන එක ඒකිගෙ වැඩක්..  මං, මගේ වැඩ කොටස කරා.. හැබැයි එක දෙයක් තියෙනවා.."

"ඒ මොකක්ද..?"

"බින්දුයි, නිරෝෂියි වෙනුවෙන් මං මේ කරන්නේ, අන්තිම උදව්ව.. මීට පස්සෙ මං නැතුව උං දෙන්නා ජීවිතේ අරගෙන යාවි.. බන්ටි, උන් දෙන්නගෙන් ටිකක් ඈත්වෙනවා.. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ.."

"බ.. බන්ටි.. උ.. උඹ මොනවද මේ කියවන්නේ..?"

"මං කියන්නෙ මට දැනෙන දේ.. මං නැතුව මේ ජීවන ගමන අරගෙන යන්න උංට පුළුවන් වෙන්නෝන.. මං හැමදාම උංගෙ ළග ඉන්නෙ නෑනේ චාමික.. අනික.. එහෙම හිටියා කියලා ඒකෙ වගතුවක් වෙන්නෙත් නෑ.. දෙයක් අපි ළග තියෙනකොට ඒකෙ වටිනාකමක් අපට දැනෙන්නෑ.. ඇයි ඉතිං දන්නවනේ කොයි වෙලාවෙත් මේක ළග තියෙනවා කියලා.."

"උඹ ඔය හින්ට් ගහන්නෙ, මං අර ඉස්සෙල්ලා කියපුව හින්දා නේද..? මං එහෙම කිව්වෙ ඇත්තටම උඹ ගැන හිතලා බන්ටි.. ඒකයි.. ආ.. හප්පට සිරි.. මෙන්න නිරෝෂි කඩාගෙන එනවා.."

පන්සල ඉස්සරහ තාර පාරෙ සීරුවට අඩි තිය තියා ආවෙ නිරෝෂි.. මෙයා කොහොම දැනගත්තද දන්නෑ මං අද ශලනිව හම්බවෙනවා කියලා.. කරුමෙට හරි බින්දුවා මෙතෙන්ට ආවොත් මල කෙලි දහ අටයි..

"එයා තාම අපිව දැක්කෙ නෑ චාමික.."

"එහෙනම් බන්ටි, අපි ටිකක් එහාට වෙලා ඉම්මු.."

"මොනවද බං එහාට වෙලා ඉන්නේ.. අපි මෙතනම ඉමු.. නිරෝෂි අපිව දැක්කොත්, අපි කතා කරමු.. මොකෝ අපි එයාට එන්න කිව්වෙ නෑනේ.."

"උඹ කියන එකත් ඇත්ත බන්ටි.. එයා අපිව දකිනකල් ඉන්න ඕන නෑ.. ඉදපං මං කතා කරන්න.."

මං වචනයක්වත් කියන්න කලින්, චාමික මහා සද්දෙට නිරෝෂි කියලා කතා කරා.. උගේ කටහඩ මං හිතන්නෙ පේරාදෙණියටත් ඇහෙන්න ඇති.. යකෝ.. බලන් ගියාම මේකගෙත් තියෙන්නෙ මහ ගාන්ඨාරයක්නේ.. කටහඩේ තිබ්බ සද්දෙටමද කොහෙද නිරෝෂි ඔලුව ඉස්සුවා.. ඒත් ඒ මූණෙ වෙනදා අපි දැක්කම ඇදෙන හිනාව තිබ්බෙ නෑ.. කහ ඉර පැනලා නිරෝෂි අපි දිහාට එනකොට ඒ මුණෙ තිබ්බෙ මහ මුරණ්ඩු ගතියක්.. මොකක්ද අපපේ මේ වෙන්න යන්නේ..?

"බ.. බන්ටි.. නිරෝෂි අද ටිකක් එක විදියක් වගේ.. බින්දුවත් එක්ක ඩිවෝස් වෙලාද දන්නෑ.."

"ඒක තමයි මාත් බැලුවෙ.. මූණෙ එක හිනා කෑල්ලක්වත් නෑ.. හුටා.. අපි දිහා බලන්නෙවත් නැතුව අර පන්සල පැත්තට නේද යන්නේ..?"

"ඒකනේ ලොකු පුතේ.. මේකි ඊයෙ රෑ ඇදෙන්වත් බිමට වැටිලා ඔලුව කොහේ හරි නරක තැනක වැදුනද දන්නෑ.. මෙලෝ වගතුවක් නැති විදියට බලපංකො අපිව පහු කරගෙන ගිය හැටි.. වරෙන් යන්න.. අපි ගිහින් අහමු, අපෙන් වෙච්ච වැරැද්ද මොකක්ද කියලා.."

වැරැද්ද කියලා චාමික කියනකොටයි මට හරි වැරැද්ද තේරුණේ.. අම්මපා.. මෙච්චර වෙලා මගෙ මොළේ කොහෙද තිබුණෙ.. ළග පාතක ඇලක්වත් තිබුණ නම් මට හිතන්න තිබුණා ඒකෙවත් වැටිලා ඇති කියලා..

"ශ..ල..නි.."

මං ටිකක් සද්දෙට කතා කරා.. අපිවත් පහු කරන් පන්සල පැත්තකට යන්න හිටපු කෙල්ල නතර වුණා..

"යකෝ.. මේ නිරෝෂි නෙමේ, ශලනි.."

චාමිකට නිකම්ම කියවුණා.. ඔව් ඉතිං.. මං ශලනි කියලා කතා කරපු හන්දා හොදයි.. නැත්නම් මූ තාමත් නිරෝෂි කිය කිය බෙරිහන් දෙනවා.. දැන් එනවා මෙතන කංකුන්ඩා වගේ රෝල් වෙන්න.. 

"ඔ.. ඔයා මටද කතා කරේ..?"

ආපහු හැරිලා කෙලින්ම මං ගාවට ආපු කෙල්ල මගේ මූණ ගිලින්න වගේ බැලුවා.. ඒ තරු ඇස්, මගේ ඇස් පලාගෙන ඇතුළට යද්දි, එයා අඩුවක් නැතුවම මාව පරික්ෂා කරනවා කියලා මට දැනුණා..

"ඔව්.. ඔයාට තමා.."

"ඒ කියන්නෙ ඔයා තමයි, ඊයෙ මට ෆෝන් කලේ..?"

"ආ.. ෆෝන් කලේ නම් මම නෙමෙයි.. මෙන්න මේ චාමික.."

ලොකු පුතාගෙ ඇස් දෙක නළලටම ගියා.. උගේ මුළු මූණෙම ලියැවිලා තිබ්බෙ වචන පේළියයි.. 'මොන සහගහන අපරාධයක්ද තෝ මේ කරේ..?' කියනෙක..

"එතකොට කවුද නිරෝෂිගෙ බොයි ෆ්‍රෙන්ඩ්..? ඒත් මෙයාමද..? එහෙමත් නැත්නම් ඔයාද..?"

"ආ.. නිරෝෂිගෙ බොයි ෆ්‍රෙන්ඩ් නම් මෙතන නෑ.. ඌට බඩේ අමාරුවක් හැදුනා.. ඔයා එනවා කියලා කිව්වාම.."

කෙල්ලට හිචිස් ගාලා හිනාවක් පැන්නා.. ඇස් දෙකත් පුංචි කරගෙන කෙල්ල  හිනාවෙනකොට අමුතුම ගතියක් තියෙනවා.. ඇටකිච්චා උනත් මේ තරම් පැණි පෙරන්න ඇතිතේ, මේ ලස්සන මීට කලින් දැකපු හින්දා වෙන්නැති..

"බඩේ අමාරුවක් හැදුණා..?"

"ඔව්.. ඔයාලා දෙන්නා මාරුවෙයි කියලා.."

"ඒක නම් එහෙම තමයි.. ඉතිං මට එන්න කියලා කිව්වේ..?"

දෙකක් නෑ.. මෙයත් නිරෝෂි වගේම තමයි.. ඇදකුද නැතුව කෙලින්ම කතාවට බහිනවා.. බන්ටි කොහොමත් කැමති ඒ වගේ ගෑනු දරුවොන්ට තමයි..

"ලොකු පුතේ.. අපි මෙතන ඉදන් කතා කරන්න ගියොත්, මේ යන වාහන කන්දරාවෙන් එකකට අඩයක් වෙනවා බුදු ෂුවර්.. ඒක හන්දා අපි පන්සල ළගටවත් යමු.."

චාමිකගෙ කතාව සීයට පන්සීයක් ඇත්ත හින්දා මං ශලනි දිහා බැලුවා..

"ඔව්.. චාමික කියනෙක හරි.. අපි අතෙන්ට යමු ලොකු පුතේ.."

ශලනි ඒක කියපු තාලෙට මට බකස් ගාලා හිනාවක් ගියා.. චාමිකත් හිනාව තද කරගෙන අනිත් පැත්ත බලාගත්තා.. බලන් ගියාම ශලනිත් මං වගේ තමයි.. ගැටඹෙ පන්සල ළගට ගිහිල්ලත් මං කල්පනා කරේ මේ කතාව කොතනින් පටන් ගන්නද කියලා..

"ඉතිං.."

ශලනි ආයෙත් මගෙ මූණට එබුණා.. නිරෝෂිගෙ මූණෙ තියෙන හැඩේට හුගාක් සමානකම්, එයා ළග තිබුණත්, හිතා ගන්න බැරි විදේශික ගතියක් ඒ මූණෙ තිබුණා.. ඒ දේ ශලනිට ලොකු සිරියාවක් ගෙනාවා.. ඒ සිරියාව විතරයි, නිරෝෂිගෙ අඩුවකට තිබුණෙ.. අනික ඉතිං මේ දෙන්නව මාරු නොවෙන්න මොකක් හරි අවයවයක් තියෙන්න එපැයි.. ඒතවත් ඉතිං එක වගේද මංදා..

"මට මුකුත්ම කියන්න නැද්ද ලොකු පුතේ..?"

"කියන්නෙ මොනවද කියලයි මං කල්පනා කලේ.."

"ඒ කියන්නෙ කියන්න දේවල් නැද්ද..? එහෙමත් නැත්නම් කියන්න තියෙන දේවල් හුගාක් වැඩිද..?"

"එච්චරම දෙයක් නම් නෑ ශලනි.. මට තියෙන්නෙ ඔයාගෙන් ප්‍රශ්න දෙක තුනකට උත්තර දැනගන්න.."                         

"ඒ මොනවද..?"

"ඔයාල ආයෙත් එක පවුලක් වගේ ඉන්න කැමති නැද්ද..?"

"පවුලක් වගේ කිව්වේ..?"

"ඔයයි, නිරෝෂියි, අම්මයි, තාත්තයි.."

මෙච්චර වෙලා ලස්සනට හිනාවෙන් පිපිලා තිබුණ මූණ අදුරු වෙලා ගියා.. මං වැරදි දෙයක්වත් කිව්වද..? කරුමෙට හරි ඒකෙ අසභ්‍ය දෙයක්වත් ගෑවිලා තිබුණද..? කෙල්ල මං දිහා බලන් හිටියෙ එහෙම දෙයක් කන් දෙකට ඇහුණා වගේ..

"ම.. මං කැමති උනත්, තාත්තා ඒකට කැමති නෑ.."

"ඇයි ඒ..?"

"තාත්තා හුගක් කළකිරීමෙන් ඉන්නේ.."

"කවුරු ගැනද..? මොකක් ගැනද..?"

"මට දැනෙන විදියට අම්මා ගැන.. ඒකනේ නිරෝෂිවයි, අම්මවයි මෙහේ දාලා තාත්තා මාව අරන් රට ගියේ.."

"අම්මා ගැන කළකිරෙන්න හේතුවක් තිබුණද..?"

"මනුස්සයෙක්, තවත් කෙනෙක් ගැන හුගාක් කළකිරෙන්න හේතුවක් තියෙන්න ඕනනේ.. ඇත්තටම තාත්තටත් හේතුවක් තිබුණා.. සහර විට මම නොදන්න තවත් හේතු ඇති.. ඒත් දැන් මේවා ආයතේ මතක් කරනෙකේ තේරුමක් තියෙනවද..?"

ශලනි ඇහුවෙ හොද ප්‍රශ්නයක්.. මේ වෙනකොට අපේ කතාවත් සෑහෙන්න ඉහළ තලයකට ඇවිල්ලා තිබුණා.. චාමික කතාවට සම්බන්ධ වුණේ නැතත ඌ සියල්ලම සාවධානව අහගෙන හිටියා.. ඒකම මැදැයි මේ වෙලාවෙ හැටියට..

"තේරුම් ඕනෙ තරම් තියෙනවා ශලනි.."

"හරි.. මටත් ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතාගෙන් අහන්න.."

කෙල්ල මට දිගින් දිගටම ලොකු පුතා කියයි වගේ.. ඒකගෙ ආඩම්බරකමටද මංදා මගෙන් නම ඇහුවෙ නෑනේ.. බන්ටි ඉතිං කොහොමත් පැනලා දෙන්නෙත් නෑනේ..

"ඒ මොකක්ද..?"

"ඊයෙ මට කෝල් කරපු වෙලාවෙ, කතා කරපු කෙනා කිව්වෙ, නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.. ඉතිං ඒ බෝයි ෆ්‍රෙන්ඩ්ට නැති කැක්කුමක්, අපේ ෆැමිලි එක එකතු කරන්න ඔයාලට තියෙන්නෙ ඇයි..? ඔයාල මට මේ බොරුවක් නෙමේ නේද කරන්නේ..? ඇත්තටම මං මෙතෙන්ට ආවෙ, ඒ කෝල් එකෙන් පස්සෙ, නිරෝෂිත් එක්ක ගෙවිලා ගියපු පුංචි කාලෙ ලස්සන දවස් මගේ හිතට ඊයෙ රෑ පුරාම වද දුන්නු නිසා.. ටෙලිෆෝන් කෝල් එකක් විශ්වාස කරලා මං මෙතෙන්ට ආවෙත් ඒ හින්දා.."

"කතා කරපු කෙනා, නිරෝෂිගෙ බොයි ෆ්‍රෙන්ඩ් කියලා කිව්වෙ නෑනේ.. ඔයා අහපු ප්‍රශ්නෙට එයා කිව්වෙ කැමති දෙයක් හිතාගන්න කියලනේ නේද..?"

"ඒ කියන්නෙ කෝල් එක දුන්නෙ ඔයා..?"

"ඒකටත් කැමති දෙයක් ඔයා හිතාගන්නකෝ.."

මං කිව්ව කතාවට කෙල්ලට ආයෙත් පුංචි හිනාවක් ගියා.. ඒ හිනාවත්තෙක්කම එයා තව ඩිංගක් මට ළංවුනා.. වෙන්න යන දේ හිතාගන්න බැරුවද කොහෙද චාමිකගෙ ඇස් දෙක ලොකු උනා.. මගෙත් නිකං ලාවට වගේ බට්ටා ගැහෙන්න ගත්තා.. බට්ටා කියන්නෙ කවුද කියලද ඇහුවේ..? අම්මපා ඒකවත් දන්නැද්ද හලෝ..? බට්ටා කියන්නෙ හර්දය වස්තුවටනේ.. 

"ඉතිං කියන්නකෝ.. මං තව පරක්කු උනොත් තාත්තා මාව හොයයි.."

ඔන්න ඔය වගේ කතාවලට නම් බන්ටිට නහුතෙට තදවෙනවා.. එකකොට අර ඇටකිච්චා එක්ක නුවර ටවුමෙ හතර වටේ රවුම් ගහනකොට ඔය තාත්තා කොහෙද දන්නෑ හිටියේ..

"කියන්න තියෙන්නෙ නම් මේකයි.. ඔයයි, නිරෝෂියි එකතු වෙලා අම්මවයි, තාත්තවයි එකතු  කරන්න.. ඔයාල දෙන්නට ඒක කරන්න පුළුවන්.."

"මං හිතන්නෑ ලොකු පුතේ.."

"හැම වෙලාවෙම බහින කලාවෙන් කතාව පටන් ගන්නෙපා ශලනි.. ඕනම දෙයක් බෑ කිව්වොත් බෑම තමා.. පුළුවන් කියලා පටන් ගත්තොත් වැඩේ නැගලා යයි.."

"මං තාම නිරෝෂිවවත් හම්බ වුණේ නෑනේ.. අනික අපි දෙන්නා අන්තිමට හම්බවෙලා අවුරුදුම කීයක්ද..? ඉස්සර පුංචි කාලමෙගේ ළග ඉදපු නිරෝෂි දැන් හුගාක් වෙනස්වෙලා ඇති.."

"වෙනස් වෙන එක කාටත් පොදු දෙයක් ශලනි.. ස්වභාව ධර්මයට අනුව, වෙනස් වෙන්නැති කෙනා වද වෙලා යනවා.. ඒක මිනිහටත් පොදුයි.. අන්න ඒ පොදු ධර්මතාවෙ ඇතුලෙ අපි ජීවිතේ හරි හමන් විදියට ඉස්සරහට අරගෙන යන්න ඕන.. ඔයාලට ඒක පුළුවන්.."

මං ටිකක් බර වචන දාලා සිරා විදියට කිව්වා.. මං දන්නවා මේ කතාව සෑහෙන්න ශාස්ත්‍රීයයි කියලා.. ඒත් කමක් නෑ.. ඔය වචන වලින් එක පේළියක් හරි කෙල්ලට තේරුණා නම් මට ඇති..

"මම කොහොමද ලොකු පුතා, තාත්තගෙ හිත වෙනස් කරන්නේ..? අවුරුදු ගානක් තිස්සෙ හිත ඇතුළෙ කැකෑරි කැකෑරි තියෙන තුවාලවල් එකපාරටම සනීප කරන්න පුළුවන්ද..? මට නම් තේරෙන්නෑ.."

"අපිටත් තේරෙන්නෑ තමයි.. ඒත් කැකෑරි කැකෑරි තියෙන තුවාලවල් වල බෙහෙත් ඩිංගක් දැන් ඉදන්වත් ගෑවොත් අනාගතේට හරි හොදවෙයි.. මොකද කැකෑරෙනවා කියලා දැන දැනත් නිකං ඉන්න ගියොත්, දන්නෙම නැතුව කුණුවෙලා යයි.."

"ඔයා කියන්නෙ බය හිතෙන කතානේ.."

"බය හිතෙනවද නැද්ද කියලා මං දන්නෑ.. ඒත් මං හිතනවා, ඔයා ඉක්මනට වැඩේ අත ගැහුවොත් හොදයි කියලා.."

"හොදයි.. මං ඔයා කියන දේ කරන්න බලන්නම්.. ඊට කලින් මට නිරෝෂිගෙ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න.. ඔක්කොටම කලින් මං නිරෝෂිව හම්බවෙලා ඉන්නෝන.."

"හරි.. එහෙනම් ඔයාල හැමෝටම එකට එක්කහු වෙලා සතුටින් සාමදානයෙන් ඉන්න ලැබේවා කියලා මායි, චාමිකයි ප්‍රාර්ථනා කරනවා.."

"ඔයාලා ඔය යන්නද හදන්නේ..?"

"ඔව්.. අපේ ඩියුටිය හරි.. දැන් තියෙන්නෙ ඔයාගෙ ඩියුටිය. ඒක හරියට කරන්න බලන්න.."

"තව දෙයක් ලොකු පුතේ.."

"ඒ මොකක්ද..?"

මේ කෙල්ල ලොකු පුතේ කියන තාලෙටත් හිනා යනවා.. චාමිකත් කට තද කරගෙන ඉන්නෙ, හිනා යන්න එන හින්දා වෙන්නැති..

"ඔයා මේ විදියට කැපවෙලා, කාලෙ නාස්ති කරගනෙ මේ දේවල් කරන්නෙ ඇයි..? ඔයාට මේකෙන් මොනවා හරි ලැබෙනවද..?"

"මේකෙන් මට කිසිම දෙයක් ලැබෙන්නෑ ශලනි.. ඇත්තටම මුකුත්ම නෑ.. මං මේ හැමදේම කරන්නෙ යාලුකම වෙනුවෙන්.. එච්චරයි.."

කෙල්ල එතනින් එහාට වචනයක්වත් කිව්වෙ නෑ.. හුගාක් තදට මගේ මූණ දිහාට එබිලා, ආපහු හැරිලා යන්න ගියා.. ඒක ඇත්තටම හරි සුන්දර සමුගැනීමක්.. අඩුම ගානෙ යනවා කියලවත් කිව්වෙ නෑ.. ඒත් ඒ ලස්සන ඇස්වල ආයෙත් මාව හම්බවීමේ උවමනාව තියෙනවා කියලා මං දැක්කා..

"කොහෙන්ද බං අර සංස්කෘත වචන හොයාගත්තේ..? මාව හිරිවැටිලා ගියා ලොකු පුතේ.."

"කෙල්ලෙක් ළග ඉන්නකොට බන්ටිට ඕවා ඉබේම එනවා චාමික.. ශලනිගෙ ළග  ඉද්දි, උඹ මොකද සද්ද වහලා හිටියේ.. මමම විතරනේ බං කතා කළේ.."

"කතා කරන්නෙ කොහොමද ලොකු පුතේ.. ඒකි තනිකරම මගේ රෝල් එකනෙ ඇක්ට් කරේ.."

"මට තේරෙන්නෑ.."

"ඇයි බං.. ඒකි ලොකු පුචා, ලොකු පුචා කියලා ඉවරයක් නැතුව කතා කරද්දි රුපියල් අස්සෙ සතේ එව්වා ගහන්න ඕන්නෑනේ.. මං පාඩුවෙ හිටියා.."

ලොකු පුතා කියන එකට චාමික කිව්වෙ ලොකු පුචා කියලා.. ඇත්තටම ශලනි ඒ වචනෙ කියද්දි ආවෙ එහෙම වොයිස් එකක් තමයි.. ඒක මතක් වෙලා මටත් හිනා ගියා.. ඒ හිනාවත් එක්කම මං චාමිකයත් ඇදගෙන කහ ඉර පනින්නයි හැදුවේ.. ඒත්..?

"තමුසෙලා දෙන්නගෙන් කවුද නලින්ද කියන්නේ..?"

සද්දෙ ආවෙ කොහෙන්ද කියලා බලන්න මං හැරුණා.. චාමික කහ ඉර මැද්දෙ.. හොදට ඇග පත තියෙන සුදු උස මනුස්සයෙක් කහ ඉර පටන් ගන්න තැන හිටගෙන ඉන්නවා මං දැක්කෙ එතකොට..

"මෑන් අපෙනුයි ප්‍රශ්නෙ ඇහුවේ.."

කහ ඉර මැද්දෙ හිටපු චාමික, මගේ ළගට ආවා.. වෙන වෙලාවක නම් පාඩුවෙ ඉන්නවා උනත්, නලින්ද කියන නම තිබ්බ හන්දා මං චාමික එක්ක මෑන් ළගට ආවා.. මේකා මොකාද මංදා.. ජීවිතේට දැකලා පුරුද්දක් නෑ..

"අපෙන්ද ඇහුවේ..?"

මටත් කලින් චාමික පැනලා දුන්නා.. මම නම් කතාව පටන් ගන්න හැදුවෙ ඔහොම නෙමෙයි..

"ඔව්.. තමුසෙලාගෙන් තමයි.."

"ඊට කලින් තමුසෙ කවුද කියලා අපිට කියනවා.."

චාමික ආයෙත් කතා කරන්න හදද්දි මං ඉස්සරහට පැන්නා.. චාමිකට මේවා තේරෙන්නෑ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි දෙන්න ඕන..

"මම කවුද කියලා තමුසෙලාට වැඩක් නෑ.. මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.."

"බලකිරීමක්ද..?"

ඒක නම් මං ඇහුවෙ කොක්කටම තමයි.. මොන නසරාණියෙක්ද මේ..? දැන් ඩිංගකට කලින්, හින්දි නිළියක් වගේ කෙල්ලෙක් එක්ක රසබර කතාබහක ඉදලා, දැන් මට නියැලෙන්න වෙලා තියෙන්නෙ කක්කා පැකට් එකක් එක්ක වගේ..

"කැමති විදියකට හිතාගන්නවා.."

"මූ හදන්නෙ අපට බලහත්කාරකමක්වත් කරන්නද ලොකු පුතේ..? බලපංකො ඇගේ සයිස් එක.. එන්නෙම නුහුරට වගේනේ.."

"බය නැතුව ඉදපං බං.. මූ වැඩිය උඩ පනින්න ආවොත් මං උගේ පිලමන්ට් එක ගලවනවා.. ඒකෙ දෙකක් නෑ.."

"මොනවද තමුසෙලා දෙන්නා කුටු කුටු ගාන්නේ..? මං අහපු ප්‍රශ්නෙ මතකද..? තමුසෙලා දෙන්නගෙන් කවුද නලින්ද කියන්නේ..?"

"තමුසෙ පොලීසියට ගියේ නැද්ද..?"

"ඇයි..?"

"ඇයි අහන්නෙ..? අතුරුදන් වීම්, හදුනා නොගත් මළසිරුරු එහෙම තියෙන්නෙ එහේ.. ඒකයි.."

"ඒ කියන්නෙ නලින්ද කියන එකා මෙතන නෑ.."

"මං හිතන්නෙ නෑ.. හිටියත් අපි කියන්නෙත් නෑ.."

"ඒකත් එහෙමද..? මට පේන්නෙ මේ කතන්දරේ තමුසෙලාත් එක්ක මේ විදියට කතා කරලා වැඩක් නෑ.."

ඒ කියන්නෙ, වලියකට සෙට් වෙමු කියලනේ.. ප්‍රශ්නයක් නෑ.. කොහෙන් ආපු අලගොඩුවෙක්ද මේකා..? 

"එහෙනම් හොද විදියකට කතා කරමු බලන්න.. අපිත් කැමතියි වෙනස් වෙනස් අත්දැකීම් බලන්න.."

මෑන්ගෙ මූණ කේන්තියෙන්ද මංදා රතුපාටට හැරිලා තිබුණා.. කරන්න දෙයක් නෑ සනා.. ඔයා වැරදි තැනෙන් කුඹුරට වතුර හැරෙව්වේ..

"තමුසෙලා නලින්දව අසුනනවද..?"

"ඉස්සෙල්ලත් කිව්වෙ, ඇදිනුවත් අපි කියන්නෑ කියලා.."

"තමුසෙත් එක්ක කොහොම කතා කරන්නද කියලා මට නම් තේරෙන්නෑ.. තමුසෙ දන්නවද මං කවුද කියලා..? මගේ කේන්තිය ඇවිස්සෙන්න කලින් මට උත්තරේ දෙනවා.."

"තමුසෙ කවුරු උනත් අපිට කමක් නෑ.. අපි තමුසෙට බයත් නෑ.. ණයත් නෑ.. අනික තමුසෙගෙ කේන්තියට වඩා මගේ කේන්තියෙ රස්නෙ වැඩියි.. ගෑවුනොත් පිච්චෙනවා.."

මං ටිකක් අලි කතාවක් කිව්වා.. නැතුව බෑනේ අප්පා.. මෑන්ම අපිට කතා කරලා, අපිට බයිට් වෙන්න බෑනේ..

"කෝ බලමු පිච්චෙනවද කියලා.."

කතාවත්තෙක්කම, විදිල්ල වගේ මගේ ඉස්සරහට ආපු මෑන් මගේ පපුවට අත තියලා, හයියෙන් තල්ලු කරලා දැම්මා.. මට බින්දුවක්වත් හිතන්න වෙලාවක් තිබු‍ණෙ නෑ.. ඇත්තටම මිනිහගෙන් මං ඒ වගේ ඉක්මනක් බලාපොරොත්තු උනෙත් නෑ.. ගැටඹෙ පන්සල ඉස්සරහදිම මං හතර ගාතෙ දාලා බිමට ඇදන් වැටුණා.. ඒ වැටීමත්තෙක්කම මං දනි පනි ගාලා නැගිට ගත්තෙ මහා කේන්තියකින්.. මේකා හයේ හතරෙ නෙමෙයි, අටේ දොළහෙ උනත් දෙන එක දෙනවා කියලා මං හිතාගත්තා..

"චාමික ගහපං.."

චාමිකට ඔලුවෙන් කතා කරන ගමන් මං සුදු මහත මනුස්සයා ඉස්සරහට පැන්නා.. අද තමයි උඹ දැනගන්නෙ, පුංචි උනාට කොච්චර සැරයිද කියලා.. ඒත්..? 

"අප්..ප..ච්චී.."

මහා සද්දෙට කෑගහගෙන එකපාරටම මායි සුදු මහත මනුස්සයයි අතර මැද්දට පැනපු කෙනාව දැක්කම මාව ගැස්සිලා ගියා.. දෙයියන්ටම ඔප්පු වෙන්න, මේ මනුස්සයා එතකොට ශලනිගෙ තාත්තද..? මට මුකුත් හිතාගන්න බැරිවුණා..

"ඔ.. ඔයා මොනවද අප්පච්චි මෙතන කරන්නේ..? ඇයි.. ඇයි මේ චාමිකයි, ලොකු පුතයි එක්ක රණ්ඩු වෙන්නේ..?"

කෙල්ලගෙ කටට සට පට ගාලා වචන ආවා.. ඒකත් හොදයි.. නැත්නම් බන්ටි තවත් අනාගන්නවා..

"කවුරු.. ලොකු පුතා..?"

"ඔව්.. චාමික, මෙයාට කතා කරන්නෙ එහෙම තමයි.."

"එතකොට මෙතන නලින්ද කියන එකා නැද්ද.."

"නලින්ද කොහෙද අප්පච්චි මෙතන..? අනික ඒ සම්බන්ධකම් මං නවත්තලා හුගක් කල්.. අප්පච්චි ඇයි මේ පාර යන ළමයි එක්ක රංඩු කරන්නේ..?"

පාරෙ යන ළමයි..? ඒ වචන තුන නම් බන්ටිට හොදටම වැදුනා.. ඒ කියන්නේ, මේ බන්ටි පාරෙ යන ළමයෙක්.. මදැයි උදව් කරන්න ඇවිත්, කැත නැතුව අහගත්ත දේවල්.. චාමිකගෙ මූණෙත් මහා කුණු හිනාවක් මතුවුණා..

"ඔයා, මේගොල්ලත් එක්ක හුගාක් වෙලා මෙතන කතා කර කර හිටිය හින්දා, මං හිතුවා මෙතන නලින්ද ඇති කියලා.. පහුගිය දවස්වල ඔයා හුගක් දුක් වින්දනේ.. මං ඉතිං බයවුණා, ඔයා ආයෙත් නලින්ද එක්ක පැටලෙයි කියලා.."

"පිස්සුද අප්පච්චි.. මෙයාලා හුගක් හොද අය.. මෙයාලා ඇවිත් තිබුණෙ මට උදව් කරන්න.."

"මම ඉද්දි ඇයි ඔයාට කාගෙන්වත් උදව්..?"

"ඒ ගැන මං ගෙදර ගියාම කියන්නම් අප්පච්චි.. අපි දැන් මෙතනින් යමු.. අනේ.. මං හින්දා ඔයාලට ලොකු කරදරයක් නේද උනේ.. මට සමාවෙන්න.."

"ආ.. ඒක ප්‍රශ්නයක් නෑ.. පාරෙ යන ළමයින්ට ඔය වගේ දේවල් ගානකුත් නෑ.. ඔයා අප්පච්චිත් එක්ක පරිස්සමට ගෙදර යන්නකෝ.."

කැපිල්ලට වගේ මං කියද්දි ශලනිගෙ මූණ කලුවෙලා ගියා.. කරන්න දෙයක් නෑ බබා.. ඔයාගෙ මැලේසියන් අච්චාරු තමයි, ආපිට මං ඔයාට බේදුවේ.. දැන් ඉතිං පාඩුවෙ බත් ටික කන්නකො දෙයියනේ කියලා..

"එහෙනම් අප්පච්චි, අපි ගිහින් එන්නම්.."

මෙච්චර වෙලා කට වහගෙන ඉදපු චාමිකත්, වැදගත් කතාවක් කිව්වා.. ඒත් ශලනිගෙ අප්පච්චි, මූණ අච්චාරු කරගෙන ඔරං ඔටං වගේ හිටියා මිසක අපි දිහා විහිලුවටවත් බැලුවෙ නෑ.. උඹට හොද නම් අපිට මොකෝ බං.. අපේ නම් උඹ ගැන කැතක් නෑ.. දෙකක් දීගන්න බැරිවුණා මිසක..

"අ.. අපි යනවා චාමික.."

ශලනි යනවා කියලා කිව්වෙ චාමිකට.. ඒත් එයාගෙ ඇස් තිබ්බෙ මගෙ මූණ මැද්දේ.. අම්මපා ගෑනු ළමයින්ට පිස්සුද මංදා.. වෙන එකෙක්ගෙ මූණක් දිහා බලාගෙන තව එකෙකුට යනවා කියලා කියන්න.. ඔන්න වපර මනුස්සයෙක් නම් කමක් නෑ.. මේක නිකං පිං වපරයක් බලෙන් ගන්නවා වගේනේ..

"හප්පේ.. ඇයි ඔයින් ගියා.. උඹට තුවාලද බන්ටි..?"

ශලනියි, අප්පච්චියි ටිකක් ඈතට ගියාට පස්සෙ චාමික මට ළංවෙලා ඇහුවා.. පුදුමයි මූට බන්ටි කියලා කියවුණ එක, ලොකු පුතා කියලා නොකියා..

"නෑ.. වැලමිට දෙක ඩිංගක් හීරුනා.. අර පතබරියා වළහෙක් පැන්නා වගේනේ මගේ ඇගට කඩන් පැන්නේ.."

"හැබැයි බන්ටි.. කෙල්ල ආවෙ නැත්නම්, ඔය වළස් නාම්බා පන්සල ඉස්සරහදිම අපෙන් කනවා.."

ඒක ඇත්ත.. මොනව උනත් ඔක්කොම අවමගුල් වෙන්නෙ හොදටලු.. නෑ කියනවද..? නැත්තෙ නෑ.. වැඩේ ඇත්ත..

"ඒකා පටන් ගත්ත වෙලාවෙ ඉදලම ගේම ඉල්ලුවනේ.. මිනිහා හරි නීතිකාරයෙක් වගේ චාමික.. ශලනිගෙයි, නිරෝෂිගෙයි අම්මට මේකව එපා වෙන්න ඇත්තෙත් ඔය වගේ හේතු හින්දා වෙන්නැති.. දැන් උනත් දැක්කෙ නැතෑ රහස් පරික්ෂකයා වගේ අර කෙල්ල පස්සෙන් ඇවිත්, අපි එක්ක අරගත්තේ.. මහ මෝඩ මනුස්සයෙක් බං.. ඩිංගක් හොයලා බලලා, හිතලා මතලා එකා කරන්න එපැයි.. ගඩා ගෙඩි කඩන් කන එකා වගේ නැට්ට පාගන් මැද්දට පැන්නේ..?"

මගේ හිතේ තියෙන තරහා මං පිට කෙරුවෙ වචන වලින්.. ශලනිගෙ අප්පච්චි තියා කවුරු උනත්, මාව තල්ලු කරලා දැම්මට, දෙක තුනක් ඇන ගන්න බැරිවීම ගැන මං හිටියෙ හුගාක් හිතේ අමාරුවෙන්..

"හරියටම හරි බන්ටි.. ඒකා නැට්ට පාගගෙනම තමයි.. හප්පට සිරි.. මේ මොකාද බං මේ..?"

චාමිකගෙ ඇස් තිබ්බෙ, මගේ පිටිපස්සෙ.. මාත් තත්පරේට ඒ දිහාට හැරුණා.. තවත් කුණ්ඩවාලියක්ද දන්නෑනෙ..

"හ්..හ්ග්.. මොකක්ද අර අන්තිමට කිව්ව කතාව..?" 

මායි, චාමිකයි ඉස්සරහට ආයෙත් ආවෙ ශලනි.. මං වටපිට බැලුවෙ එයාගෙ අප්පච්චි කොහෙද කියලා බලන්න.. ඒත් මනුස්සයා පේනතෙක් මානෙක හිටියෙ නෑ..

"මොන කතාවද..?"

"අ.. අර පාරෙ යන ළමයි කියලා කතාවක් කිව්වේ..?"

"ඒ කතාව මං නෙමේනේ කිව්වෙ.. ඔයානේ.."

"ම.. මං ඒක කිව්වෙ අප්පච්චිටනේ.. අනික ඒ අවස්ථාවෙ හැටියට වෙන වචනයක් මගේ කටට ආවෙ නෑ.."

"හරි.. හරි.. ඔයා ඕන විදියට කතා කරන්න.. ඒකට මගේ තහනමක් නෑ.. අනික එහෙම තහනම් කරන්න මං කවුද..?"

"ඇ.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..? ඔයා හදන්නෙ මාව අඩවන්නද..? අප්පච්චි මග දාලා මං ආයෙත් දුවගෙන ආවෙ ඔයා එක්ක කතා කරලා යන්න.. එහෙම නැතුව හිත රිද්දගන්න නෙමෙයි.."

"කතා කරලා යන්න..?"

"ඔව්.. ම.. මං ආයෙ ඔයා එකක් කතා කරලා යන්න.."

"මට ඒක විශ්වාස කරන්න බෑ.."

"ඇ.. ඇයි..?"

"ඇයි කියන්නේ..? ඔයා මේ මං කියපු කතාවක් ගැනනේ අහන්න ඇවිත් තිබුණේ..? ඒක එතකොට කතාවක් වෙනවද..?"

"දෙ.. දෙයියනේ.. මගෙත් එක්ක රංඩුවෙන්න හදන්නෙපා.. අ.. අපි හම්බවෙච්ච පළවෙනි දවසත් අද.. ඔයා හදන්නෙ ඒක අන්තිම දවස කරන්නද..?"

"ඔයා කැමති නම් ඒත් කමක් නෑ.. මං ඕන දේකට කැමතියි.."

"ඔයා.. ඔයා නම් හරිම නරකයි.. හරි කමක් නෑ.. ඔයා ඕන දේකට කැමතියි කිව්වනේ.. මං හෙට හවස දෙකට ජෝයි බෝට් එක ළගට එනවා.. ඔයත් එන්නම ඕන.. මං යනවා.."

මට වචනයක්වත් කියන්න නොදී ඒ ටික කියලා කෙල්ල ආපහු දුවගෙන ගියා.. මැදැයි.. කෙල්ල මගේ වචන වලින් මටම ඇල්ලගෙන ගැහුවනේ.. දැන් මොකද කරන්නේ..?           

"අහිංසකකමට හිටියට කෙල්ල අන්තිමට ඕන තැනට ආවනේ බන්ටි.."

ආපහු ගෙදර එන්න හදද්දි, චාමික මගේ පිටට ගැහුවා..

"ඒ කිව්වේ..?"

"ඇයි උඹව හම්බවෙන්න ඒකි දවසක් දාගත්තනේ.."

"ඒ මං ගියොත්නේ චාමික.."

"පිස්සු හැදෙනවා.. ඒ තරම් ආරාධනාවක් ලැබිලත් උඹ යන්නැද්ද ලොකු පුතේ.. ඒකි උඹට බොක්කෙන්මනේ ආරාධනේ දුන්නේ.. අනේ මංදා.. උඹ මොන තැනකින් උපන් එකෙක්ද කියලා.. උඹේ ඔය ලග්න පලාපලේ කෙල්ලෙක් කියලා නාමයක් නැද්ද..?"

"තාම නෑ චාමික.."

"එතකොට නෙත්මි.. උඹට පැලෙන්න ආදරේනේ.."

"මට තේරෙන්නෑ.."

"බොරු කියන්න විතරක් නම් එපා ලොකු පුතේ.. මේ පහුඋන දවසක් වෙනකන් උඹේ හිතේ ඒකි හිටියා.. දන්නැති වෙන්නෙ කොහොමද..? මට පේන්නෙ, උඹට හරියන කෙල්ලව තාම දෙයියො මවලා නෑ.."

"ඔය පිස්සු කතා නවත්තලා ගෙදර යමං.. නෙත්මි ගැන මගේ හිතේ තියෙනවා තමයි.. ඒත් ඒක ආදරයක්ද කියලා මං දන්නෑ.. මට එහෙම දෙයක් තාම හිතිලා නෑ.."

"මාර කතාවක්නේ ලොකු පුතේ උඹ කියන්නේ.."

"මාර කතාවක් හරි, ඥාන කතාවක් හරි මං කිව්වෙ ඇත්ත.. ආයෙ අපි ඒ ගැන කතා නොකර ඉමු.."

මං කතාවට ෆුල්ස්ටොප් එක තිබ්බා.. ඇත්තනේ අප්පා.. ඔය මළ ඉලව් ආදරේ ගැන කතා කරන්න ගියොත් කොහේ කොහේ ගිහින් නතර වෙයිද දන්නෑනේ..

"ඒ කියන්නෙ උඹ හෙට ශලනිව හම්බවෙන්න යන්නෑ.."

අමම්පා ඔන්න ඕකනේ මුං එක්ක කිසි දෙයක් කරන්න බැරි.. මම කතාව නවත්තලත් ඉවරයි.. මූ ආයෙත් මද කිපිච්ච ඇතා වගේ ඒකම අහනවා.. මුංට කොහොමද දෙයක් උගන්නන්නේ..

"දැන් එක පාරක් කිව්වනේ නෑ කියලා.. මාව මළ යකෙක් කරගන්නැතුව සද්ද වහලා යමං.."

එතන ඉදලා ගලහ පාර ගාවින් චාමික බහිනකල් වචනයක්වත් කතා කලේ නෑ.. ඒත් චැලියෙන් බැහැලා ටික දුරක් පයින් ගිහිල්ලා, ආපහු හැරිලා අත පුරෝලම සැලියුට් පාරක් දැම්මා.. උගේ මූළු මූණම පිරිලා තිබ්බෙ ලොකු හිනාවකින්. ඒ හිනාවත්තෙක්කම එකතුවෙලා මං චැලිය ඉස්සරහට ගත්තා..            



                             

No comments:

Post a Comment