Monday, April 16, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






චාමික ගලහ පාර ගාවින් දාලා මං ගෙදර එන්න ආවා.. ශලනිගෙ අප්පච්චිට ඔය විදියට කතා කරපු එක හොදයි.. නැත්නම් ඔය මනුස්සයා කවදාවත් හැදෙන්නෙ නම් නෑ..

"බන්ටි මහත්තයෝ.."

ගෙදර ඇවිත් කාමරේට ඇතුල්වෙන්න හම්බ වුණේ නෑ.. මෙන්න බේබි නැන්දා මගේ පස්සෙන්ම ඇවිත්..


"ප්‍රශන්යක්ද බේබි නැන්දෙ..?"

හැමෝගෙන්ම අහන සුපුරුදු ප්‍රශ්නෙ මං එයාගෙනුත් ඇහුවා..

"ඔව්.."

"ඒ පාර මොකක්ද..?"

"ගරහම්බෙල්ගෙ කෙහෙල්මලට කලින් ලෙඩේම ආයෙම හැදිලා.."

"ඒ කිව්වෙ..?"

බේබි නැන්දා කිව්වෙ මඤ්ඤං කතාවක්.. හරියට නිකං බන්ටි කියන කතා වගේ තමයි.. අහන් ඉන්න එකා ෆුල් හොල්මං..

"දවසට විසි තිස් ගමනක් වදිනවා.. කනක් ඇහිලා ඉන්න නෑ.. දුවගෙන ඇවිල්ලා ඉස්සුවාම මොකෙක්වත් කතා කරන්නෑ.."

බේබි නැන්දා මේ කියන්නෙ ටෙලිෆෝන් එක ගැන කියලා මට තේරුණේ ටික වෙලාවක් ගිහින්.. අම්මප මගේ මොළෙත් වෙලාවකට වැඩ කරන්නෙ එක පැත්තයි.. හැබැයි ඉතිං බේබි නැන්දා කියන විදියට, මේ වැඩේ කරන්නෙ කවුද..? ඔන්න ඉතිං මොරීන් අක්කවත් මේ ළග පාතක හිටියා නම් මට ඩිංගක් හරි හිතාගන්න තිබුණා.. ඒත් ඉතිං එයා දුර හිටියා කියලා මේ වගේ කුපාඩි වැඩක් නොකර ඉන්නවා කියලා නොහිත ඉන්නත් බෑනේ..

"අ.. ඔන්න.. ඔන්න ආයතේ වදිනවා.. බන්ටි මහත්තයම බලන්න.. මං යනවා.."

බේබි නැන්දා යන්න කලින් මං ෆෝන් එක ළගට ගියා.. කියන්න බෑනේ අප්පා.. සමාජ ආචාර ධර්ම අනුව මට කුණුහබ්බයක්වත් කියන්න උනොත්..? බේබි නැන්දා ළග තියාගෙන ඕවා කියන්න පුළුවන්ද.. කෝකටත් කියලම දැහැමෙන් සෙමෙන් මං ෆෝන් එක ඉස්සුවා..

"බන්ටි.. මං මේ බින්දු.."

කියලා වැඩක් නෑ.. මූද එතකොට බේබි නැන්දව බයිට් කරලා තියෙන්නෙ.. එත් ඉතිං ඇයි මූ කතා නොකර හිටියේ..

"ඇයි..?"

"මං කී සැරයක් නම් ගත්තද..? උඹ ගෙදර නෙමෙයිද හිටියේ..?"

"මං කොහේ හිටියම උඹට මොකද..?"

"ඇයි බන්ටි උඹ ඔහොම කතා කරන්නෙ..? මං උඹට කරපු වැරැද්ද මොකක්ද..?"

"උඹ කරපු කිසිම වැරැද්දක් නෑ.. ආයෙ කරුණාකරලා මෙහෙට කෝල් අරන් මේ ගෙදර මිනිස්සුන්ට අර්ශස් හදවන්න එපා.. කියන දේ තේරුම් ගනිං.."

"කවදාවත් නැතුව උඹ මට ඔහොම කතා කරන්නෙ ඇයි බන්ටි..?"

"ඒකට හේතුව උඹ දන්නවා.. එහෙම දැන දැනත් කොලේ වහල ගහන්න හදන්නෙපා.. මං උඹට උදව් කරන්න හැදුවෙ, උදව් කරේ, උපරිම සද්භාවයෙන්.. ඒත් උඹට ඒක මදි උනා.. උඹ හොදට මතක තියාගනිං බින්දු.. මෙච්චර ළගින් ඉදපු මාව අවිශ්වාස කරන්න උඹට පුළුවන් උනා නම්, මගේ ලෝකෙන් උඹව ඈතට ඇදලා දාන එක මට ඒ තරම් වැඩක් නෙමේ.."

"අ.. අපි හැමදෙයක්ම අමතක කරමු බන්ටි.. උඹ දන්නවනේ.. මං නිරෝෂි හින්දා පිස්සු වැටිලා හිටියෙ කියලා.."

"ඒ හින්ද තමයි යකෝ, මං පාරට බැහැලා මෙච්චර හරියක් කෙරු.. උඹ නිරෝෂිත් එක්ක නාවලපිටියෙ මගුල් නටද්දි, මං අර අහිංසකයෙකුට අල්ලන් තඩිබෑවේ.. උඹට කරපුවා කිය කියා ඇවිදින්න තරම් මං පහත් නෑ.. ඒක හන්දා මේ කතාව මෙතනින් නවත්තමු.. මට උඹේ කටහඩවත් අහන්න ඕන නෑ.."

"බ..න්..ටි.. මං කියන දේ අහපං.."

"උඹ කියන දේ අහපු බන්ටි මලා.. ඒ උඹ බන්ටිව අවිශ්වාස කරපු දවසෙ.. දැන් ඉන්නෙ වෙන බන්ටි කෙනෙක්.. නිකාං ෆෝන් බිල නග්ග ගන්නැතුව ඕක තියපං.. මට උඹත්තෙක්ක කතාවක් නෑ.."

බන්ටි එහෙම තමයි.. එකට ඉන්නකොට ඇගේ කෑල්ලක් ගලවල දීලා  හරි ෆිට් එක පෙන්නනවා වගේම, එපා උනොත් ආයෙ එපාම තමයි.. මොන දහන් ගැටේ ගහගෙන ආවත් ළගට ගන්නෙ නෑ..

"බ..න්..ටී.."

"ෆෝන් එක තියපං.. උඹට මීට පස්සෙ බන්ටි කියලා යාලුවෙක් නෑ.. තේරුණාද..?"

"බ..න්..ටී.."

බින්දු තවත් මොනවදෝ කියද්දිම මං ෆෝන් එක තිබ්බා.. ඇත්තටම මට ඌත්තෙක්ක මලේ මල පැනලයි තිබුණෙ.. ඇයි අප්පා.. මූට සත්‍යය වටහ ගන්න බැරිවුණේ... මට පිස්සුද දෙයියනේ උගේ කෙල්ල පස්සෙ යන්න.. හරියට නිකං ලංකාවෙ කෙල්ලොයි, ගෑනුයි සාගතයක් ඇවිත් වද උනා වගේ.. තවත් ටික වෙලාවක් යද්දි ආයෙම ෆෝන් එක වදින්න ගත්තා.. මේ වහුකුණා නම් හැදෙන පාටක් නෑ.. දැන් එක පාරක් සුද්ද සිංහලෙන් කියලත් මූ අහන්නෑනෙ.. ඉදපංකො ගත්තු ගමන් අමු තිත්ත කුණුහරුපෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න..

"මං උඹට කිව්වා නේද ආයෙත් කතා කරන්නෙපා කියලා.. මොන මල වදයක්ද යකෝ මේ.. තොට සිංහල තේරෙන්නැද්ද බූරුවො මගේ ඇගේ ලේ කෝප කරන්න හදන්නේ..?"

රිසිවර් එක ගත්තු ගමන් මං කියවගෙන කියවගෙන ගියා.. දැන් නම් මට බින්දු එක්ක ටෙලිෆෝන් එක පොලේ ගහන්න තරම් කේන්තියි.. මූ මගේ ඉවසීම චෙක් කරනවද කොහෙද..?

"ර..න්..දි..ක..?"

ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුණු කටහඩින් මං උඩ ගිහින් බිම වැටුණා.. දෙයියනේ.. මේ නෙත්මි නේද..? එයා.. එයා කොහොමද මේ වෙලාවෙ කතා කරන්නෙ..? මට මුකුත්ම හිතාගන්න බැරිවුණා..

"රන්දික, ඔයා කොහෙද ඔහේ..? ඔ.. ඔයා මොනවද කරන්නේ..? ඔයා කොයි වෙලාවෙද ආවේ..?"

කතා කරන්න දෙයක් නෑ.. බන්ටි ටක්කෙටම ඇහුවුණා.. ප්‍රශ්නම පත්තරයයි.. දැන් ඉතිං මොකද කරන්නෙ..? අර බූරු තඩියගෙ අවමගුල් සහගත වැඩ හින්දනේ මම මේ ඉල්ලගෙන කන්නෙ.. ඌ උදේ වරුවම බේබි නැන්දට වද දීලා, ඊට පස්සෙ මගේ බෙල්ල මිරිකන්නයි, අර කිව්වත් වගේ මේ වැඩ සිද්ධ කරන්නෙ.. දෙයි හාමුදුරුවනේ.. ඇස් දෙකට පේන්න ඉදලා නම් තව කමක් නෑ.. මොන තරම් හතුරෙක්ද අප්පා.. මූ..

"ක.. කවුද මේ කතා කරන්නෙ..? ම.. මට ටිකක් ඇහෙනවා මදි.. කවුද මේ..?"

එක්දහස් අටසිය ගණන්වල බොරුවක් මං ගැහුවා.. ෆෝන් එක තියලත් බෑ.. අතේ තියන් ඉන්නත් බෑ.. ෂහ්.. ෂහ්.. මාත් ඉදල ඉදල මාර කොටි වලිගෙකටනේ අහු උනේ.. උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්..

"ඔයාට මාව ඇහෙන්නැද්ද රන්දික.. මං නෙත්මි කතා කරන්නෙ.. ඔයා සමුදිනීලගෙ ගෙදර මොකද කරන්නෙ..? අම්මව බලන්න ආවද..?"

කෙල්ල මගේ කටට යාන්තං උත්තරයක් හොයලා දුන්නා.. නැත්නම් ඉතිං බන්ටි කපෝතියි තමා..

"ආ.. ඔව්.. ඔව්.. ම.. මං අම්මව බලන්න ආවා.."

"ඔයා මොනව කියලද ගේ ඇතුළට ආවේ.. ඔයා එනවට අම්මා කැමති උනාද..?"

"අම්මා නම් කැමති උනා.. ඒත් එන්න මගේ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ.. මේ ගෙදර විජේරත්න මහත්තයලට අම්මා විස්තරේ කියලා.."

"ඉත්..තිං.. එයාල අම්මට හොදටම බැනලද..? මෙච්චර කාලයක් මේ වගේ රහසක් තියන් හිටියා කියලා.."

"අපොයි නෑ.."

"නෑ.. ඒක හරි පුදුමයිනෙ රන්දික.."

"පුදුම වෙන්න දෙයක් නෑනෙ නෙත්මි.. ඒ අය අනුන්ගෙ මල ඉලව් හොයන්නෙ නෑනේ.."

මගේ කතාවෙන් නෙත්මිගෙ පැත්ත තත්පර ගානකට නිශ්ශබ්ද උනා.. ඒත් කෙල්ලට මගෙන් අහන්න නොසෑහෙන්න ප්‍රශ්න පත්තරයක් තියෙනවා කියලා මට තේරුණා..

"ඔ.. ඔයා ඔය හින්ට් එක ගැහුවෙ මටද රන්දික..?"

"තොප්පිය හරි නම් දාගන්න.. අවුලක් නෑ.."

"ඇ.. ඇයි ඔයා තරහෙන් කතා කරන්නෙ..? මං ඔයාට මොනවද කරේ රන්දික..?"

"ඔයා සමුදිනීට මගේ ගැන විස්තර කිව්වෙ නැද්ද..? ඒකනේ අම්මට, මං ගැන කියන්න වෙලා තියෙන්නෙ.. මතකද මං ඒ ගැන කලින් දවසකත් ඔයාගෙන් ඇහුවා.. ඔයා සද්ද නැතුව ඒක මගෑරලා දැම්මා.."

"අ.. අනේ ඒක මම හිතලා කරපු දෙයක් නෙමේ රන්දික.. මං සමුදිනීගෙන් අහන්නම් ඇයි ඒක අම්මටයි, තාත්තටයි කිව්වෙ කියලා.."

"නෑ.. නෑ.. ඕන නෑ.. දැන් ඔය කියපුව ඔහොම්මම තිබුණාවෙ.. මායි, අම්මයි එකතුවෙලා ඒවා බේරගන්නම්.."

"අනේ ඔහොම කතා කරන්නෙපා රන්දික.. මං ඔයාට හිතලා වැරැද්දක් කලේ නෑ.. ඔයා ඔය ගෙදර ෆෝන් එකට ආන්සර් කෙරුවෙ ඔහේ කවුරුවත් නැද්ද..?"

"නෑ.. කවුරුවත් නෑ.. අම්මයි, මායි විතරයි.."

"ඔයාට කියන්න ලොකු ආරංචියක් තියෙනවා.. ඔයාව මෙහෙම හරි හම්බ උන එක ලොකු දෙයක්.. නැත්නම් ඒක කියන්නත් තව දවස් ගානක් බලන් ඉන්න වෙනවා.."

මොන හේතුවටද මංදා, නෙත්මි ආරංචියක් කියලා කියනකොටම මගේ පපුව ඩග ඩග ගාන්න ගත්තා.. මොකක් හරි අවමගුලක්ම තමා.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ..

"ආරංචියක්..?"

"ඔව්.. ඔයා දන්නවද සමුදිනීගෙ බන්ටි මල්ලි.. අර ඔයා මටත් විහිලු කරේ.. මං ඔහේ එන්නෙ එයාව බලන්න කියලා.."

"ඉතිං..?"

"ශලනිගෙ හොදම යාලුවා දැන් බන්ටිලු.."

"ක.. කවුද කියන්නෙ..?"

අම්මප මට ගොත ගැහුණා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේ විකාශනය වෙන්නෙ..? බන්ටිට සැනසීමක් ලැබෙන්නෙම නැද්ද..? දෙයියො හදන්නෙ ඔක්කොම නාට්ටි ටික එක පාර විකාශනේ කරන්නද..?

"කවුද කියන්නෙ අහන්නෙ..? ශලනි තමා කිව්වෙ.. එයාලගෙ ෆැමිලි එක ආයෙත් එක්කහු කරන්න බන්ටි සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. වැඩිය ඕන්නෑ.. අද උදෙත් බන්ටි එහෙ ගිහිල්ලා.."

"ඇත්තද..? ඔයාට නම් හරි සතුටුයි වගේ නේද..?"

"සතුටු නැද්ද රන්දික.. ඔයා දැන් නිරෝෂිගෙ කරදරෙන් නිදහස්නේ.. බන්ටි දන්නෙම නැතුව ඒ බරට කරගහලනේ.. හැබැයි හළනි කියන්නෙ හරිම හොද කෙල්ලෙක්.. බන්ටිට කෙල්ලෙක් නැති උනොත් හොදයි.."

කතාව එන්න එන්නම සිත් ඇද ගන්නා සුළුයි කියලා මට තේරුණා.. නෙත්මි හදන්නෙ දැන් අහම්බෙන් කතාව මැද්දට පැනපු බන්ටිගෙ කරේ ශලනිව එල්ලන්න.. ඒත් අහම්බෙන් කියලා හිතන්නෙ නෙත්මිනේ..

"ඇයි..?"

"නෑ.. එතකොට ශලනියි, බන්ටි එකතු වෙයිනේ.. ඔයාට එතකොට කාගෙන්වත් කරදරයක් නෑ.. ඔයාට නිදහසේ මාව හම්බවෙන්නත්, මට කතා කරන්නත් පුළුවන්.. ඒකම හිතට කොයි තරම් සහනයක්ද රන්දික..?"

ඇත්තටම මට නෙත්මි ගැන ලොකු දුකක් හිත ඇතුලෙන්ම දැනෙන්න පටන් අරන් තිබුණා.. අහම්බයකින් විහිලුවට වගේ කියපු මේ මහ විසාල බොරුව, දැන් දලු දාලා, අතු දාලා මහා විසාල ගහක් විදියට හැදිලා.. දැන් මොනම විදියකටවත් මේක මෙහෙමයි, මං ඔයාට බේබි නැන්දා කියන්නෙ, මගේ අම්මා කියල කිව්වෙ බොරුවක් කියලා කියන්න බෑ.. කිව්වත් නෙත්මි පිළිගන්නෙකකුත් නෑ..

"රන්දික.."

"ම්.."

"මං දැන් ඔහේ එන්නද..?"

"මෙහේ..? ඔ.. ඔයාට පිස්සුද නෙත්මි..?"

"ඇයි ඔයා මට පිස්සුද කියලා අහන්නෙ..? මං ඔහේ ආපු නැති ගෙදරක්ද..?"

"ඒ උනාට ඔයා නිතරම මෙහේ එන්න එපා.."

"ඇයි..?"

"මං කැමති නෑ.. මෙහේ ඉන්න බන්ටි කියන එකා හරිම වසයි.. ඌට ගෑනු ළමයි පේන්න බෑ.. ඔයා ඔය ශලනිව මිනිහට සෙට් වෙනවට කැමති වුණාට, මිනිහා ගැන දන්න කිසිම කෙල්ලෙක් මිනිහට ලංවෙන්නෑ.."

"මං බන්ටිට බය නෑ රන්දික.. මං ඔහේ එන්නෙ සමුදිනී හින්දා මිසක බන්ටි නිසා නෙමෙයි.. ඔයාව මට හම්බවෙන්නත් කලිනුයි මං මිස්ටර් විජේරත්නලහ ආවෙ.. ඒත් පුදුමෙ කියන්නෙ, කවදාවත් මට බන්ටිව හම්බ උනේ නැති එක.. මුලින් මුලින් සමුදිනී මට බන්ටිව අදුන්වලා දෙන්න ලොකු උනන්දුවක් පෙන්නුවා.. ඒත් දැන් එයාගෙ ඒ උනන්දුව බින්දුවක්වත් නෑ.. ඉතිං ඔයා හිතන විදියට මං තාම බන්ටිත් එක්ක කතා කරලවත් නෑ.."

දෙයි හාමුදුරුවනේ.. මෙහෙමත් පට්ට කෙබර කෙලින ගෑනු ළමයෙක්.. වෙන රටක තානාපති කෙනෙක් මෙයාව දැක්කොත් අම්මපා දෙකක් නෑ.. අරගෙන යනවා ඒ රටේ පච හිල විදියට.. මෙච්චර මගෙත් එක්ක කතා කරන ගමන් කියනවා 'මං තාම බන්ටිත් එක්ක කතා කරලවත් නෑල්ලු..' එතකොට මේ කතා කරන්නෙ කාත් එක්කද..? බන්ටිගෙ තාත්තත් එක්කද..? 

"එහෙනම් මං තියන්නම් නෙත්මි.."

"ඇ.. ඇයි රන්දික..?"

"නෑ.. අම්මත් බලන් ඉන්නවා.. ඊළගට උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩක් මගෙන් අහයි.."

"හරි.. එහෙනම් හොද ළමයා වගේ මං එදා කිව්ව දේ ගැන දැන් අම්මත් එක්ක කතා කරලම යන්න.."

"මොන දේද..?"

"ඔය ඩිංගට ඒකත් අමතක උනාද..? ඇයි මං කිව්වෙ අපේ ලොකු අම්මගෙ ගෙදර ඇනෙක්ස් එකක් ගැන.. ඔයාට එහේ ඉන්න පුලුවන්.. මං ලොකු අම්මත්තෙක්ක කතා කරා.."

දැන් නම් මේක මහ වණයක් වෙන්නයි යන්නෙ.. මේ කෙල්ල ඒ ඩිංග ගෙවලුත් හොයලා.. තවත් දුරට මේ බොරුව අරන් ගියොත් බන්ටිට ඇඩ්‍රස් හිටන් නැතිවෙනවා..

"ඔච්චර හදිස්සි වෙන්නෙපා නෙත්මි.. මං ඔයාට ඒ ගැන අම්මත්තෙක්ක කතා කරලම කියන්නම් කිව්වනේ.."

"හරි.. එහෙනම්.. ඔයා මාව හම්බවෙන්නෙ කවදද..?"

"ඇ.. ඇයි නෙත්මි..?"

"ම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."

"දෙයක් කියන්න..?"

"ඔව්.. හැමදාම ඒ දේ මං හිතේ හිර කරන් ඉන්නෙ, අහම්බෙන් හරි ඔයාව හම්බවුණා දාකට කියන්න.. ඇත්තටම ඔයා හම්බ උනත් මට ඒ දේ කියන්න ශක්තියක් තිබුණෙ නෑ.. ඔය මූණ දිහා බලාගෙන ඉන්නකොට මගේ හිතෙන් ඒක එළියට එන්නෙම නෑ රන්දික.."

කෙල්ල ඒ පාර කියන්න හදන්නෙ මොනව ගැනද..? තවත් බල්දියක්ද දන්නෑ.. මුළු ශරීරයම වැහෙන්න වැටෙන..

"ඉතිං මෙහෙම කියන්න.."

"එහෙම බෑ රන්දික.. ඒ වගෙ මුළු හිත පුරාම තියෙන දෙයක්, දැනෙන දෙයක් කියන්න ඕන ඔයා ළගින් තියාගෙන.. මොකද ඔයා හින්ද දැනෙන දෙයක්නේ මං කියන්න යන්නෙ.."

කෙල්ල  හදන්නෙ බන්ටිට ආදරෙයි කියන්නවත්ද..? එහෙම උනොත් බන්ටි මොනවද කියන්නෙ..? ආදරෙයි, ආදරෙන් ලැබෙන වේදනාවයි, බතුයි, පොල් සම්බෝලයි වගේ ජාති ජාතිත් එකට පතන් ඉන්න හන්ද බෑ කියලා කියනවද..? බලමු.. බලමු.. නෙත්මි තාම මුකුත් ඇහුවෙන නෑනේ..

"මටත් තියෙනවා ඔයාට දෙයක් කියන්න.."

ඇත්තටම මගේ හිතටත් හරිම පුදුමයි, ඒ මගෙන් පිටවුණු වචන ටික ගැන බේබි නැන්දා මගෙ අම්මා කියලා කියපු බොරුව පුලුවන් තරම් ඉක්මනට හදා ගන්න මට ඕන උනා..

"මො.. මොකක්ද රන්දික..?"

නෙත්මිගෙ කටහඩේ තිබ්බ හැගීම්බර, ආසාව, කුතුහලය අඩුවක් නැතුවම මගේ හිතට දැනුණා..

"ඔයාව හම්බවෙන ඊළග දවසෙ මං ඒක කියන්නම්.. ඊට පස්සෙ ඔයා තීරණයක් ගන්න, මොනවද කරන්න ඕන කියලා.."

"දෙයියනේ.. ඔයා මාව බය කරනවා රන්දික.."

"නෑ.. නෑ.. බයවෙන්න දෙයක් නෑ.. ඔයා, ඔය මට කියන්න යන දේ, මං මේ දේ කිව්වයින් පස්සෙ මට කියන්න.. එතකොට ඔයාට, තව ටිකක් හිතලා මට ඔය කියන්න යන දේ කියන්න පුළුවන්.. එහෙනම් මං තියන්නම් නෙත්මි.."

"එපා.. එපා.. එපා.. ඔයා ඔය කියන්න හදන්නෙ ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලද රන්දික..? මට ඒකට උත්තරයක් දීලම ෆෝන් එක තියන්න.."

"ඒ ගැන නම් බයවෙන්නෙපා.. මට තාම ගර්ග් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.."

නෙත්මි මහා දිගට ලොකු හුස්මක් අරන්, හයියට පිට කරන සද්දෙ ඊගාවට මට ඇහුණා.. මහා බරක් වගේ ඒ හුස්ම ටික මගේ පපුවෙ තැන්පත් වෙද්දි මං ෆෝන් එක තිබ්බා..

                                          *****************************

"බන්ටී.. අර වැඩේ බැලුවද..?"

හොදටම හවස් වෙලා ගෙදර ආපු අයියා මගේ කාමරේට කඩන් වැදුනා.. ඉයර්ෆෝන් එක දාගෙන ෆෝන් එකෙන් සින්දුවක් අහ අහ හිටපු හින්දා මට මිනිහා කියපු දේ ඇහුණෙ නෑ..

"මොකක්ද අයියෙ..?"

"ඇයි බන්ටි.. මං කිව්වෙ අර මොරීන්ලහට කවුද ඇවිල්ලා කියලා.. ඒ ගැන බැලුවෙ නැද්ද..?"

අම්මට සිරියා.. මේන් බලපල්ලකො මූට හැදිච්ච උණ සන්නිපාතෙ තරම.. කලින් මේ ගෙදර ජීවත්වෙච්ච අයියකාරයමද මේ ඉන්නෙ කියලා බලන්න මං ඇස් දෙකත් පිහදාලා මිනිහා දිහා බැලුවා.. ඔව්.. ඔව්.. මේ ඌම තමයි..

"මං උදේ බැලුවා.. කවුරුවත් හිටියෙ නෑ.."

"ඔයා එහෙනම් හරියට බලලා නෑ.. මේ දැනුත් හිටියේ.."

"දැනුත් හිටියා..?"

"ඔව් බන්ටි.. ලස්සන කෙල්ලෙක්.. ඔයාට බැරිද විස්තර ටිකක් හොයාගන්න..?"

"අපෝ පුළුවන්.."

"මං ඔයාගෙ චැලියට ෆුල් ටෑන්ක් තෙල් ගහන්නම්.."

"මේ මොරීන් අක්කලටහ යන්න..?"

"නෑ.. නෑ.. ඔයා කැමති තැනකට යන්න.."

"ඒක මිසක්.." 

"එහෙනම් ඔයා හෙට උදේම වැඩේට බහිනවනේ..?"

"හෙට මොකද අයියෙ අද මොකද.. මේ දැන්ම වැඩේට බහින්නම්කෝ.." 

අල වගේද ගෝවා.. කන්කුන් වගේද රාබු.. අයියා කට ඇරල් බලන් ඉද්දිම මං ගෙයින් එළියට බැස්සා.. ඊයෙයි, අදයි සම්පූර්ණ දවස් දෙකේම බන්ටි සෑහෙන්න කාර්ය බහුල වුණ හන්දා මේ කතන්දරේ ගැන හොයලා බලන්න බැරි උනානේ.. දැන්වත් බලමුකො බන්ටිගෙ අඩවියට, බන්ටිට නොදන්වා පැමිණි සිරියාවතී කවුද කියලා..

වත්තෙ ගේට්ටුව ඇරගෙන මං පාරට ආවා.. අපේ එකාව මේ තරම් මෝහනය කරන්න, වික්ෂිප්ත කරන්න කොහෙන් ආපු කරවල කෑල්ලක්ද දන්නෑ.. සමහර විට මොරීන් අක්කගෙ නංගි කෙනෙක්වත්ද දන්නෑ.. ඒත් ඉතිං එයාට කොහෙද නංගිලා.. එයා කසාද බැදලා හැදුවොත් තමයි..

ඉස්සෙල්ලම මට හම්බ උනේ, මොරීන් අක්කා ඉස්සර නිතරම වාඩිවෙලා ඉදපු බෝක්කු පඩිය.. කිසිදු අවුලකින් තොරව මේ මනුස්සයා පැය ගණන් මෙතන ඉදන් අයියාකාරයා එනකල් බලන් හිටපු එකනේ වැඩේ කියන්නෙ.. ඕකද බං ආදෙර් කියන්නෙ..? ඒකට හරි උත්තරයක් දෙන්න මං වත් දැනන් හිටියෙ නෑ..

මොකක්දෝ නොතේරෙන අලුත්ම දුක්බර හැගීමක් මගේ හිත පුරාම පාවෙලා ගියා.. ඒ එක්කම තමයි මං දැක්කෙ, මොරීන් අක්කගෙ මිදුලෙ කවුදෝ ඉන්නවා.. මං තවත් ටික් ළංවෙලා බැලුවා.. හිටපු කෙනා කවුරු උනත් හැඩ ගෑනු ළමයෙක් කියලා මට තේරුණා.. ඒත් ඒ කෙල්ල හිටියෙ මට පිටිපස්ස හරවලා.. කවුද බං මේ..? පස්ස පැත්තෙන් ගෑනු ළමයි අදුනා ගැනීමේ කළාව බන්ටි ප්‍රගුණ කරලා තිබ්බෙ නෑ.. ඒකයි ලොකුම ප්‍රශ්නෙ උනේ..

කෝකටත් කියලා මං මොරීන් අක්කගෙ ගෙදර ගේට්ටුව ළගටම තවත් ලංවෙලා බැලුවා.. කොන්ඩෙ ස්ට්‍රේට් කරල, ටිකක් තඹ පාට ද දුඹුරු පාටද මංදා වගේ වෙන පාටකින් පාට කරලා හිටපු කෙල්ල, මිදුලෙ ඉදන් කොහෙදෝ ඈත දිහා බලාගෙන ඉන්නවා.. කෙල්ල ඇදගෙන ඉදපු ඇදුමත් කෙල්ලගෙ ඇගටම තියල මහල වගෙයි.. කිසිදු අවුලක් නෑ.. කොහේ හරි පොෂ් කෙල්ලෙක්.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..

කෙල්ලට මෙතන ඉදන් කතා කරනවද, නැත්නන් ගේට්ටුව ඇරගෙන වීරයා මමයි කියල වගේ වත්ත ඇතුළට යනවද කියලා හිතාගන්න බැරිව මං ඩිංග වෙලාවක් එතනම හිටියා.. ඒත් ඉතිං ඇතුළට ගිහින් මං මොනවද අහන්නෙ..? ඔයා කවුද..? ඔයා කොහෙ ඉදන්ද මෙහෙට මකබෑ උනේ..? කියල වගේ සාම්ප්‍රදායික ප්‍රශ්න, මේ ජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ගෙන් අහන්න පුළුවන්ද..?

ඒත් බන්ටිට ඕවා ප්‍රශ්න නෙමෙයි.. මං ගිහින් අහනවා.. 'මීට කලින් මේ ගෙදර ඉදපු මොරීන් අක්කා දැන් කොහෙද..? මං ආවෙ එයාව හම්බවෙන්න කියලා' ඔය තියෙන්නෙ ප්‍රශ්න..

හිතට ආපු ෆිට් එකටත් එක්ක මං බරාස් ගාලා ගේට්ටුව ඇරගෙන මොරීන් අක්කගෙ වත්ත ඇතුළට ආවා.. මං ගේට්ටුව ඇරගෙන ආපු සද්දෙට මිදුලෙ හිටපු ලස්සන කෙල්ල මගේ පැත්තට හැරුණා.. මොන පුදුමයක්ද මේ..? මගේ ඇස් දැකපු දේ මට අදහගන්නත් බැරිවුණා.. මං.. මං මේ දකින්නෙ හීනයක්ද..? මට මේක විශ්වාස කරන්නත් බෑ..

 "බ..න්..ටි.. මල්ලී..?"

"මොරීන් අක්කේ.."

මිදුලෙ හිටපු ලස්සන කෙල්ල වෙනින් කවුරුවත් නෙමේ.. මගේ යාලු ෆිට් එක මොරීන් අක්කා.. මේ නොදැකපු පහුවේචච මාස ගානට එයා හුගක් වෙනස් වෙලා.. මූණෙ සිරියාව බේරෙනවා.. ඇගපතත් ලාවට ගානට ෂේප් වෙලා.. අම්මපා මං මේ පට්ට දවලෙ දකින හීනයක්වත්ද..? කෝකටත් කියලා මං, මමම කොනිත්ත ගත්තා.. සමහර විට මේ මොරීන් අක්කා වගේ වෙන කෙල්ලෙක්වත්ද දන්නෑ.. යකෝ.. මේ මොරීන් අක්කම තමයි.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. මට, බන්ටි මල්ලි කියලත් කතා කරානේ..

"ඔයා එහෙනම් මං ආවා කියලා දැනගත්තා..?"

අහන්න ප්‍රශ්න කෝටි සීයක් විතර තිබ්බත් අවශ්‍ය ඒවා ටික විතරක් අහනවා කියලා මං හිතාගත්තා..

"දැනගත්තෙ කොහොමද කියලා මං ඔයාට කියන්නම්.. ඇත්තමයි.. ඔයාව ආයෙත් දකින්න ලැබීම ගැන මට හුගාක් සතුටුයි.. ඔයා නැතුව මට හුගාක් පාලු දැනුණා.. වෙනදට අපි මොනවම හරි බාල්දියක් පෙරලනවනේ.."

"ඔයාවයි, රසිකවයි දාලා මං මේ ගමන ගියේ හිතකින් නෙමේ බන්ටි මල්ලි.. ඒත් මට යන්න උනා.. මං කොයි තරම් අමාරුවෙන්ද එහෙට වෙලා හිටියෙ.. ඉන්න බැරිම තැන මං ඊයෙ ආපහු ආවා.."

"එහෙ කියලා කිව්වෙ..?"

"ඔයා හිනාවෙයි මං මේවා කිව්වම.."

"හිනාවෙන්න හරි අඩන්න හරි කතාව කියන්නකො මොරීන් අක්කෙ.. ඔයා නම් හිටියට වැඩිය හුගාක් ලස්සන වෙලා.. ඇත්තමයි.. මට අදුනගන්නත් බැරිවෙනවා තව ඩිංගෙන්.." 

"ඔ.. ඔයාට එහෙම පේනවද බන්ටි මල්ලි.. ඔයා.. ඔයා ඔය විහිලුවක් නෙමේ නේද කරන්නෙ..?"

"පිස්සුද මොරීන් අක්කෙ.. ඔයා ඇත්තටම ලස්සනයි.. ඒකෙ ඇයෙ දෙකක් නෑ.."

"ර.. රසිකටත් මාව ලස්සනට පෙනේවිද බන්ටි..?"

"නැතුව.. ඒකගෙ ඇස්වල පෙනීමෙ දුර්වලතාවයක් නෑ.. ඌ ලස්සන දේට ලස්සනයි කියයි.. ඒ වගේ දේට මිනිහා ලොස් නෑ.. ඉතිං කියන්නකො ඔයාගෙ කතන්දරේ..?"

"මගේ නෑයො වෙන නංගි කෙනෙක් ඉන්නවා, නුගේගොඩ.. එයා බියුටි කල්චර් කෝස් ක්ලාසස් කරන කෙනෙක්.. එයාට සැලෝන් එකකුත් තියනෙවා.. මං එහේ ගියා.."

"ඉතුරු ටික මට හිතාගන්න පුළුවන් මොරීන් අක්කෙ.. ඔයාගෙ නෑයො වෙන නංගි මොනවා නැතත් ලොස් නැතුව ඔයාව ලස්සන කරලා තියෙනවා.. කලින් හිටියට වැඩිය කාලක් විතර ඔයාගෙ ඇගපතත් බැහැලා.. ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි.."

"මටත් හරි පුදුමයි බන්ටි.. මමත් ඇත්තටම මෙච්චර වෙනසක් බලාපොරොත්තු වුණේ නෑ.. ඒත් මගේ වාසනාවට ඒක එහෙම්මම උනා.. ඉතිං මට කියන්නකො මං ආවා කියලා ඔයා දැනගත්තෙ කොහොමද කියලා.. ඔයාට මං ආවා කියලා ඉවෙන් වගේ දැනුනද..?"

"ඔයා මගේ යාලුවනේ මොරීන් අක්කෙ.. වෙනද නම් මට ඔයා  හැරුණත් තේරෙනවා.. ඒ තරමට මං ඔයා ගැන සංවේදී වෙනවා.. ඒත් මෙදා පාරෙ සංවේදී උනේ මම නෙමෙයි.."

"එහෙනම්..?"

"අයියා.."

"මෙ.. මේ.. ර.. රසික..?"

"ඔව්.. රසික තමයි.."

"දෙයියනේ මට විශ්වාස කරන්නත් බෑ.."

"මටත් විශ්වාස කරන්න බෑ.. එහෙනම් මොරීන් අක්කෙ ඔයා ආයෙ පැදුරටත් හොරා කොහේවත් යන්නෑනේ..?"

"නෑ බන්ටි.. මේ සංතෝසජනක අවස්ථාවෙ මං කොහේවත් යන්නෑ.. දැන් මගේ හිත ප්‍රීතියෙන් පිනා ගිහිල්ලයි තියෙන්නෙ.. මගේ මේ දුක්බර ව්‍යායාමය සඵළ වූ බවක් මට දැනෙනවා.."

මොරීන් අක්කා ඉදලා ඉදලා පිනා කියලා කිව්වෙ මටද මංදා.. ඔව්.. ඔව්.. ඒක කියන්න බෑ.. අර එක පාරක් අයියා කාරයත් මට පින්බතා කියලා කිව්වෙ..

"එහෙනම් මොරීන් අක්කෙ මං යනවා.. අපි ආයෙ නැවත හමුවෙමු.."

"හමුවීමක් ගැන මං හිතන්නෑ බන්ටි.. මං දැන් මේ ප්‍රීති ජනක අවස්ථාවෙ සිනා සාගරයෙ කිමිදෙන්නයි යන්නෙ.."

"කිමිදුනාට කමක් නෑ.. වතුර හෙම වැඩිපුර පෙවුනොත් වලකජ්ජ ගහයි.. මං යනවා.."

අන්තිමට අපත කතාවකුත් ගියාගෙන මං ගේට්ටුවෙන් එළියට ආවා.. මොරීන් අක්කා බාහිරින්, පෙනුමෙන් වෙනස් වුණත් හිත නම් කලින් තිබ්බ එකමයි.. ඔය අන්තිමට කියපු දේවල් වගේ ඒවනේ එයා කලිනුත් නිතරම කිව්වෙ..

"බන්ටි.. කවුද ඒ ගෙදර ඉන්න කෙල්ල..? මට නිකං නිකං පුරුදු ගතියකුත් දැනෙනවා.."

වැලිපාරට පය තියන්න හම්බ උනේ නෑ.. මෙන්න අපේ එකා මග රැකගෙනම ඉදලා.. බලන් ගියාම මූටත් ලේසි පාසු කලන්තයක් නෙමෙයි තියෙන්නෙ.. මූට හයි කරන්න වෙන්නෙ, පොල් තෙල් මොලක් වගේ එකක්..

"අයියෝ.. ඔයාට ඔයාගෙ පරණ කෙල්ලව අදුනගන්න බැරිවුණානෙ.. වැඩක් නෑ හලෝ.. ඔයාගෙ සංවේදීතාවය නම් බින්දුවයි.. ඔහොමත් අතීතය අමතක කරනවද..?"

"පරණ කෙල්ල කිව්වෙ..? මං අර බෙහෙත් අරන් දීපු කෙල්ලද..?"

අයියා පුදුම වෙලා වගේ මගෙන් ඇහුවා.. මිනිහගෙ මූණත් මළානික වෙලා.. පව් අප්පා.. දැක්කම සෝකේ බැරුවා..

"ඒ හොලමන නෙමෙයි.. මගේ යාලු ෆිට් එක.. මොරීන් අක්කා.."

"මොනවා.. මො.. මො.. මොරීන්..?"

අයියගෙ ඇස් දෙක ටොම්බා සයිස් එකට ලොකු උනා.. අම්මප.. ඒ දෙකම එළියට ගලවන් වැටෙයි කියලා මට මහා පරාණ බයක් දැනුණා..

"ඔව්.. මොරීන් අක්කා තමයි.."

"පිස්සු හැදෙනවා.. බන්ටි.. එ.. එයා කොහොමද ඔය තරම් ලස්සන උනේ..? අර ඇගපත උනත් සෑහෙන්න අඩු කරගෙනනේ.."

"ඒවා එහෙම තමයි අයියෙ.. ආදරේ වෙනුවෙන් එයා ඔයිට වැඩිය දේවලුත් කරයි.. දැන් නම් ඉතිං ඔයාට එයා ගැන සලකලා බලන්න වෙනවා.. එහෙම නේද..? අනික එයාගෙ ෆිගර් එක උනත්, දකින එකාගෙ ඇග කිලිපොලා යන ආකාරයට තියෙනවනේ.. මොකද කියන්නෙ..?"

ආයෙ එහෙනුත් නෑ.. මෙහෙනුත් නෑ.. මං අයියගෙන් කෙලින්ම ඇහුවා.. හප්පට සිරි.. මේකගෙ මූණට මහා පැනි හිනාවක් ආවෙ නැද්ද.. අවුලක් නෑ.. අවුලක් නෑ.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම් කිව්වලු.. ඒ කියන්නෙ බන්ටිගෙ යාලු ෆිට් එක, සදාදරණිය ටයිටැනික් ප්‍රේමවන්තිය එයාගෙ ප්‍රේමය ජයග්‍රහණය කරා කියනෙකනේ.. බලන් ගියාම ප්‍රේමතී ජායතී සෝකෝ විමලෝ කියලා කවුරු හරි විමලටයි, සුමනටයි කියපු කතාව පට්ටපල් බොරුවක්නේ..



                                     

No comments:

Post a Comment