Monday, April 16, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






"අදවත් කිව්වද..?"

ඕං බලපල්ලකො ඉතිං.. මට තාම ගෙට ගොඩවෙන්නවත් හම්බ වුණේ නෑ.. අක්කා ගමදිම කඩන් පැන්නා.. 

"මොනවද..? කාටද..?"

"මොනවද කියලා අහන්නෙ.. ඔයා තමයි බන්ටි කියලා නෙත්මි පිණිමුතු කියන මගේ යාලුවට කිව්වද..?"


"හම්බවෙන්නෙපායෑ කියන්න.. ඔයා මේ මොනවා කියනවද මංදා.. මගෙත් මොළේ කොලොප්පං වෙනවා ඔයා කියන වචන වලට.. ෂිහ්.."

"බන්ටි.. මගෙත් එක්ක විහිලු කරන්නෙපා.. දෙයියන්ගෙ නාමෙට මේක දුර දිග යන්න කලින් ඉවරයක් කරන්න.. අන්තිමට මගෙයි, පිණීමුතුගෙයි යාලුකමත් ඉවරවෙයි.."

අක්කා ඒ අන්තිම ටික කිව්වෙ සෑහෙන සීරියස් පිට කියලා මට තෙරුණා.. ඒත් කියපු බොරුවක්, කාලයක් ගියාට පස්සෙ ඒ බොරුව මත්තෙම ජීවත් වුණාට පස්සෙ, ආපිටට ඒක බොරුවක් කියලා කියනෙක කොයි තරම් අමාරු වැඩක්ද කියලා අක්කට තේරෙන්නැති එකනේ වැඩේ කියන්නේ..

"බන්ටි මහත්තයට ඔන්න ආපු ගමන්ම ගරහම් බෙල්ගෙන් ඇමතුමක්.."

මගේ වචන අල්ලගෙන දැන් බේබි නැන්දත් පිස්සු කියවනවා.. අක්කගෙ මූණෙ මෙච්චර වෙලා තිබ්බ අවුල් සහගත භාවය, බේබි නැන්දගෙ කතාවෙන් මැකිලා ගියා.. බලන් ගියාම ගරහම් බෙලුත් මේ ගෙරද සාමාජිකයෙක් වෙලා..

"හෙලෝ.."

"උඹ එහෙනම් දැන් තමයි ආවෙ.. නේද..?"

එහා පැත්තෙන් ඇහුණෙ බින්දුගෙ කටහඩ.. ඌ නිකං එගෙන්ස් එකට වගෙයි කතා කරන්නෙ.. මොන තරම් හොද යාළුවෙක් උනත්, යාලුකටම මං බොක්ක ගලවලා දෙනවා උනත්, ඔය වගේ දර්ශන මට දිරවන්නෑ.. මං ආපු වෙලාවක් ඌට මොකටද..? 

"ඔව්.. ඒක උඹට ප්‍රශ්නයක්ද..?"

"ප්‍රශ්නයක් තමයි.. උඹ ඊයෙ කිව්වෙ ශලනියි, නිරෝෂියි දෙන්නවම හම්බවෙන්න යනවා කියලා.. ඒත් අද උම හම්බ උනේ නිරෝෂි විතරයි.. ඇයි බන්ටි උඹ මට මෙහෙම බොරු කරන්නේ..?"

"බින්දු මේ.. මගේ හොදට ඉන්න යකාව අවුස්සගන්නෙපා උඹට පිස්සු හැදුනට මට පිස්සු හැදිලා නෑ.. කතාව තුන් කාලක් විතර ඉවර උනාට පස්සෙ එතෙන්ට ඇවිල්ලා හොරෙන් බලන් ඉදලා වැඩක් නෑ.. උඹට මං එතෙන්ට යන වෙලාව කියලනේ තිබ්බෙ.." 

"මට ඕවා තේරෙන්නෑ බන්ටි.. ඉස්සෙල්ලා මට කියපං මේ වැඩේ තේරුම මොකක්ද කියලා..?"

"මොන වැඩේද..?"

"මගේ කෙල්ලට මං ඉද්දි ඒකි, උඹේ උදව් ඉල්ලන්නෙ ඇයි..? ඒකිට පුළුවනනේ මං ගාවට එන්න.. උඹ ඔය කරන වැඩෙන් නිරෝෂි මටත් ගණන් උස්සනවා බන්ටි.."

"ගණන් ඉස්සිල්ලක් මං දන්නෑ.. අනික නිරෝසි මගෙන් හොර රහසෙ උදව් ඉල්ලුවෙත් නෑ.. උඹල, සරිගමයල හැමෝම ඉස්සරහනේ මගෙන් උදව් ඉල්ලුවෙ.. අනික මායි, නිරෝෂියි හම්බ වුණේ මුළු නුවර ඉන්න ඕන මනුස්සයකුට බලාගන්න පුළුවන් තැනක.. අපි කොහේවත් හෝටලේක හම්බ උනෙත් නෑනේ.."

"මං එහෙම දෙයක් කිව්නෙ නෑනේ බන්ටි.."

"නැත්තෙ නෑ.. උඹ මාව අවිශ්වාස කරනවා.. ඒක උඹ හැමදාටම තියාගනිං.. හැබැයි මෙන්න මේක මතක ගියාගනිං.. මං කවුරුවත් කාපු කිරි ටොපි කන්නෑ කියලා.."

මං ෆෝන් එක තිබ්බා.. එතන ඉදලා දිගින් දිගටම රින්ග්ස් ගියත් මං ආයෙ ෆෝන් එක ඉස්සුවෙ නෑ.. බින්දු දැන් හෝ ගාලා මට ගන්නවා ඇති.. කරන්න දෙයක් නෑ බින්දු.. මේ කතාවෙ මුල ඉදන්ම හැමදේම මං කෙරුවෙ උඹ වෙනුවෙන්.. ඒත් උඹ කැලෑ සතා උනා.. ඒකට මං උඹට සමාවක් දෙන්නෑ..

                                           *****************************

"බ..න්..ටී.."

ලාවට වගේ ඇලට් එකක් දාගෙන හිටපු මං උඩ ගිහින් ඇහැරුණා.. මොකාද බං ඒ පාට දහ අටේ ඕස්ට්‍රේලියන් ගිරවා වගේ කෑගහපු අසමජ්ජාතියා..

"මොනවද බන්ටි මේ හැන්දෑ ජාමෙ වයසක මිනිස්සු වගේ නිදාගන්නේ..? ඇයි මුකුත් අසනීපයක්ද..?"

අයියාකාරයා ඒ පාර දොස්තර වැඩේ කරන්න වගේ හදන්නේ.. දොස්තර වැඩේ නම් ඒත් කමක් නෑ.. මු හදන්නෙ වින්නඹු වැඩේ කරන්න..

"මොන අසනීපයක්ද..? මට නම් පේන්නෙ ඔයා අසනීප වෙලා වගේ.."

"මම..?"

"ඔව්.. ඔයා තමා.. ඒකනේ වැඩ ඇරිලා ආපු ගමන් කවදාවත් නැතුව මගේ කාමරේට රිංගුවෙ.."

"ඔයාටත් අර මොකාටද වගේ  හැමදේම තේරෙනවා බන්ටි.. ඔයා දන්නවද වැඩක්..?"

ඔය කියන්න හදන්නෙ එකදාස් අටසිය බර ගණන් වල ප්‍රවෘත්තියක්.. ඒක බන්ටිට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.. බන්ටි නොදන්න අලුත් නිව්ස් එකක් මේ කාකුබාලයා දන්නෙ කොහොමද අප්පා..?

"මොකක්ද..?"

"අර ඔයාලෙ යාලුවා.. මොරීන්..?"

"ඔව්.. මගේ යාලුවා මොරීන්.. ඉතිං..?"

"අන්න එයා ඉදපු ගෙදරට අලුත් කෙල්ලෙක් ඇවිත්.."

"අලුත් කෙල්ලෙක්..?"

ඒක නම් හොද නිව්ස් එකක් තමයි.. ඒත් ඔය නිව්ස් එක බන්ටිට මිස් උනේ කොහොමද..? මෙතන මොකාක් හරි අවුලක් තියෙනවා.. මට හිතුණෙ එහෙමයි..

"ඔව් බන්ටි.. මං ටිකක් ඈතට වෙන්න දැක්කේ.. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා.. ටිකක් තඹ පාට ගැහිච්ච කෙල්ලෙක්.. හැබැයි ලස්සනයි.. චාම් පාටකුත් තිබ්බා.."

අයියාකාරයා හෝ ගාලා ගියවනවා.. බන්ටි දන්නැතුව මොරීන් අක්කගෙ ගෙදර ඉන්නෙ කවුද අප්පා..? මට මුකුත් හිතාගන්න බැරිවුණා.. මොරීන් අක්කා වෙන කාට හරි ගේ දීලද..?

"මං හිතුවා ඔයා මෙලහකටත් දන්නවා ඇති කියලා.. බලන් ගියාම මං හොදයිනේ.."

කාමරෙන් යන ගමන් අයියාකාරයා මහා අලුගුත්තේරු කතාවක් කිව්වා.. මං මෙලහකටත් දන්නවා ඇති කියලා හිතුවලු.. මුගේ කට කොටියම කන්න එපාද..? හරියට නිකං මේ මුළු නුවරම ඉන්න ගෑනු ළමයින්ගෙ ග්‍රාමසේවක මං වගේනේ මුගේ කතාව.. අඩුගානෙ මේකා සහෝදරකමට හරි හිතන්න එපාද, ඌට තරම් මේනියාවක් මට නෑ කියලා..

                                             ****************************

පහුවෙනිදා උදේ මං එළියට බහිනකොටම මෙන්න චාමික අපේ ගේට්ටුව ඉස්සරහ.. උගේ මූණත් නිකං කක්ක බර හැදිච්ච පොඩි එකෙක්ගෙ වගේ.. මොකක් නමුත් අකුසල කර්මයක් උදේ පාන්දරම පඩිසන් දීලා කියලා මට නිකමට හිතුණා..

"මොකෝ බං..?"

"මට අරූගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා ලොකු පුතේ.."

"මොකාගෙයි..?"

"අපේ බින්දුවගේ.. මං මේ ඒක කරන්න යන්න කලින් උඹව හම්බවෙන්න ආවෙ, ඒක කරාට කමක්නැද්ද කියලා අහන්න.."

මූත් වෙලාවකට අමුම අමු පිස්සු තමයි නටන්නෙ.. මොකෙක් හරි මේ කතාව අහන් හිටියා නම් ඌ ඇගේ හැම හිලකින්ම හිනාවෙයි.. ඇයි අප්පා.. මේකා දේවදත්තයා වගේ උදේ පාන්දරම ඇවිත්, තව එකෙක්ගෙ බෙල්ල මිරිකන්න..

"උඹ අද උදේ ඇදේ කොයි පැත්තෙන්ද බැස්සේ..?"

"ඇයි..?"

"නෑ.. විට්ටම පැත්තෙන් බැහැපු එකෙක් වගේ උඹේ කතාවත්.. කමක් නෑ.. මොකක්ද වෙලා තියෙන්නෙ කියපං.."

"කලින් දවස උඹට මතකනේ.. අපි සරිගමයලහදි සෙට් උනේ.. අර උඹ කලින් තදවෙලා ආවේ..?"

"ඉතිං..?"

"එදා බින්දුවා අපෙන් බේරුනේ උගේ පෙර පිනකට.. අමිලයා තව නූලෙන් ඌට ගහනවා.. බින්දු කියන්නෙ, උඹ නිරෝෂිව සෙට් කරගෙනලු.. ඒකට, ඇස්කිමෝලට ග්‍රීක් උගන්නනවා වගේ කොයි තරම් කිව්වත් තේරෙන්නෑ.. ඌ අහන්නෙම නිරෝෂි ගැන ඌට නැති කැක්කුමක් උඹට ඇතිවෙන්නෙ කොහොමද කියලා.."

"ඉතිං..?"

"ඉතිං කියන්නෙ ලොකු පුතේ.. ඊයෙ ඌ උඹව ෆලෝ කරලා.. උඹයි, නිරෝෂියි විතරයි කිව්වා මාළිගාව ළග හිටියේ.. ඌට දැන් බූට් එක කියලා ඌට හොදටම විශ්වාසයිලු.. උඹ නිරෝෂිව සිරාවටම දාගෙන කියලා ඌ දිවුර දිවුරා කියනවා.."

"තව..?"

"තව කියන්නෙ ලොකු පුතේ.. මේ උණහපුලු පැටියා කියනවා උඹ නිරෝෂිලගෙ ෆැමිලි එක, එකට එක්කහු කරොත් ඌ මැරෙනවලු.. නිකං නෙමේ, උඹ ඉස්සරහට ඇවිල්ලලු මැරෙන්නෙ.. උඹටත් හැමදාම විදවන්න.."

"එච්චරද..?"

"නෑ තව තියෙනවා.."

"ඊයෙ උඹට කතා කරලා ඌ කියන්න තියෙන දේ කිව්වලු.."

"මොනවද..?"

"නිරෝෂිව අතෑරලා ශලනිත් එක්ක ඕන මගුලක් කරගන්න කියලා.."

"මොන බොරුද චාමික.. ඕක පට්ට කෙබරයක්.. ඌ එහෙම දෙයක් මට කිව්වෙ නෑ.. මමයි ඌට කිව්වෙ, කවුරුවත් කාපු කිරි ටොපි මං කන්නෑ කියලා.."

"පස්සෙ ලොකු පුතේ මූ පිස්සු හැදිච්ච බලු නාම්බෙක් වගේ ඔය ගැන කිය කියා කෝල් දෙනවා දෙනවා ඉවරයක් නෑ.. බැරිම තැන මං ෆෝන් එක අයින් කරා.. දැන් අද උදෙත් ආයෙ පටන් ගත්තා.. උදේ මං ආනසර් කලාම ඌ කියනවා වෙනින්ම කතාවක්.."

"ඒ මොකක්ද..?"

"නිරෝෂිව ඌට අහිමි කලොත් ඌ අපි හැමෝවම මරන්නෙ බෙල්ල මිරිකලලු.. ඉතිං මං මේ ඊට කලින් යනවා උගේ බෙල්ල මිරිකන්න.."

කතා කරලා කරලා ඉවරවෙලා චාමික කිව්වෙ තවත් ගෝත කතාවක්..

"මේ පිස්සු නටන්නැතුව ඉදපං බං.. ඔය මගුල් කතාව නවත්තලා දාලා, අපි පොඩි ගතියක් හීනියට ගම්මු.. උඹ ආපු  එකත් හොදයි.. උඹටයි, මටයි පොඩි ගමනක් යන්නත් තියෙනවා.."

"උඹේ පොඩි ගමන් ගැන මං දන්නෙ නැතුවයි ලොකු පුතේ.. අන්තිමට උත්තරද්‍රැවයටත් එහා ගිහිල්ලනේ නතර වෙන්නෙ.. ආ.. ඒ පාර මොකද බං උඹ වට පිට බල බලා බෙල්ල කඩාගන්න යන්නේ..? කවුරු හරි පෝස්ටර් එකක්වත් ගහලද..?"

මොරීන් අක්කගෙ ගේ පැත්තට යන පාර දිහා මං ටිකක් ඕනෑකමින් බැලුවා.. මොකද කියනවා නම් අයියා ඊයෙ හවස දුන්නු ආරංචිය මගේ ඔලුව හිරවෙලා තිබුණ හින්දා.. මිනිහ කිව්වත් වගේ ගෑනු ළමයෙක් දැක්ක නම්, මොරීන් අක්කා කාට හරි ගේ විකුණලා ඇතිවද්දෝ කියලා මට නිකමට හිතුණා.. ඒත් මං කිසිම කෙල්ලෙක් නම් දැක්කෙ නෑ.. ඒ පැත්ත පළාතම මහ මූසල විදියට පාලුවෙලා ගිහින් තිබුණා..

"නෑ බං.. මං මේ බැලුවෙ මොරීන් අක්කා ඉන්නවද කියලා.."

"උඹටත් ඒකි නැතුව මාසයක් හමාරක් ඉන්න බෑ නේද ලොකු පුතේ..? උඹටත් හැදෙනවා කොකු පණු ගාය.."

ඇත්තටම, අන්තිමට මොරීන් අක්කව හම්බවෙලා කොයි තරම් කාලයක් නම් ගෙවිලා ගියාද..? අපේ ගේ ඇතුළෙදි වෙච්ච දේවල් ගැන එළියෙ ඉදන් අහගෙන ඉදලා, මට මොරීන් අක්කා කොයි තරම් දේවල් කිව්වද..? මං පිළිගත්තත් නැතත් එයා ඒ කිව්ව දේවල් අද වෙනකොට හුගාක් ඇත්ත විදියට මගේ ඇස් ඉස්සරහ තියෙනවා..

"අපි මේ කොහෙද යන්නේ..?"

"කෑනොගහ යමං.."

වැලි පාරෙන් තාර පාරට දානකොටම චාමික කට ඇරියා..

"ආයෙ සරිගමයලහ යන්නෙ ඇයි බන්ටි..? ඌ අද ගෙදර නෑ.. ඌට මියුසික් ක්ලාස්නෙ.."

කුන්ඩසාලෙට ඇවිල්ල සුරේනලගෙ ගෙවල් පැත්තට චැලිය දානකොටම චාමික ආයෙත් කෑගහන්න පටන් ගත්තා.. මුගේ ඔක්කොහමත් හොදයි.. ඒත් මේ නන්ස්ටොප් ඇහෙන චක චකේ තමයි ඉවසන්න බැරි.. 

"හප්පොච්චියේ.. උඹ මෙහේටද මේ එන්න ආවේ..?"

ශලනියි, අප්පච්චියි ඉන්න ගේ ඉස්සරහ චැලිය නවත්තලා මං බහින්න හදද්දි, චාමිකගෙ කට ආයෙත් ඇරුණා.. ඌට කෑ නොගහ ඉදපං කියලා සංඥාවක් දෙන ගමන් මං ගේට්ටුව ඇරෙගෙන වත්ත ඇතුලට ඇතුල් වුණා.. පුදුමාකාර සුන්දර විදියට ඒ ගෙදර මිදුල ලස්සනට හදලා තිබුණා.. ආපු වැඩෙත් අමතක වෙලා මං උද්‍යාන අලංකාරයෙන් වශිවෙලයි හිටියේ..

"ඇ..යි..?"                   

ශලනිගෙ අප්පච්චි ළගටම ඇවිල්ලා ඒ ප්‍රශ්නෙ අහනකල් මං එයාව දැක්කෙ නෑ.. මගේ ඇස් තිබ්බෙ, හිටවල තිබ්බ හැම ගහකම වගේ පිපිලා තිබුණ මල් දිහාවට..

"මං ඊයෙ ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.. ඒකට මට උත්තරයක් ලැබුනෙ නෑ.. අදවත් උත්තරයක් හම්බ වේවිද කියලා බලන්නයි මං ආවේ.."

"මේ.. මං ඊයෙ ඉවසුවෙ, මගේ කෙල්ල ළග හිටපු නිසා.. අන්න ඒක මතක තියාගනිං.. එහෙම නොවුණ නම් මං උඹට දෙන්නෙ පොලු පාරක්.."

"බ.. බන්ටි.. මොනවද බං මූ මේ කියවන්නේ..? ඌ අපිට පොලු පාරක් දෙන්න කලින්, අපි ඌට පොලු පාරක් දෙමු.. තට්ටෙන් පැණි බේරෙන්න.. ඒ පැණිත් එක්ක මී කිරි හට්ටියක් ගෙනල්ල කනවද නැත්නම් හොස්පිට්ල් යනවද කියනෙක ඌ බලාගනීවි.."

"තමුසෙලා මෙතනින් යනවද නැත්නම් මං 119ට කතා කරන්නද..?"

මොනව උනත්, මේ මනුස්සයා ගැන මං මෙච්චර වෙලාවක් ඉවසුවෙ ශලනිගෙයි, නිරෝෂිගෙයි අප්පච්චි හින්දා.. ඒත් මේකා ඔරේ රන් කියලා මගෙන් ගේම ඉල්ලනවා.. මං ෂේප් එකේ ගේමට බහිනකොට මූ ඩිමාන්ඩ් කරන එකනේ වැඩේ..

"අංකල්.. තමුසෙට කොන්දක් නෑ කියලා කැත නැතුව ඔප්පු කර එකට තැන්ක්යූ.. තමුසෙ 119ට බැරිනම් 120ට කෝල් කරනවා.. මට මොකෝ.. මගෙ අතින් පයින් යනවද..? හැබැයි ඒ මහත්තුරු මෙතෙන්ට එනකොට මං මෙතන නෑ.. එතකොට ඒකටත් උත්තර දෙන්න, දැන්ම ඉදන් කට හදා ගන්නවා.." 

අංකල් කාරයගෙ මූණ කේන්තියෙන් පුපුරන්න වගේ තිබ්බෙ බොහොම ඩිංගයි.. කරන්න දෙයක් නෑ පුතා.. ඔයයි මෙහෙම ඇදගෙන නෑවෙ.. ඒ එක්කම වගේ ගෙදර බැල්කින්යෙන් ශලනි මතුවුණා.. බංගලි රෝස මලකටත් වැඩිය ලොකු හිනාවක් ඒ මූණෙ පිපිණා..

"හලෝ.. බන්ටි ඔයාලා දැන්ද අවේ..?"

"ඔව්.. මේ දැන් ආවා විතරයි.. අපි අප්පච්චිත් එක්ක ඩිංගක් කතා කරා.. තමුසෙට ලැජ්ජ නැද්ද දූලා දෙන්නෙක් ජාතක කරලා එකෙක් විතරක් ළග තියාගෙන හදන්න.. තමුසෙ හිතන්නෙ නිරෝෂි කියන්නෙ අල්ලපු ගෙදර මිනිහගෙ කියලද..? ඔයා උදේට කාලද ඉන්නෙ..?"

කතාවෙ මුලයි අගයි ශලනිට කියලා මැද කොටසින් මං අංකලයට කතා කලා.. මගේ කතාවට අංකල්කාරයගෙ ඇස් දෙක උඩ ඉන්දුනා.. චාමිකටත් වැඩේ නැගලා යනවා..

"ඔය තියෙන මහන්තත්වකම් අතෑරලා, ගෑනියි ළමයි දෙන්නයි ළං කරගෙන වැදගත් විදියට ජීවිතේ අරගෙන යනවා, ගමට, රටට නෝන්ඩි නොවී.. මං ඇහුවෙ ඔයා උදේට කෑවද කියලා..?"

ඉස්සෙල්ල වගේම මං අප්පච්චියි දූයි දෙන්නම එක්ක කතා කරා.. චාමිකත් ළග ඉදගෙන මගේ කතාවෙන් මාර ගතියක් ගන්නවා.. 

"දැන් තමා කාලා ඉවර උනේ.. ඔයාලත් එන්න.. ප්ලීස්.."

"අපි ගෙදරින් කාලා ආවෙ ශලනි.. හොදට මතක තියා ගන්නවා.. ප්‍රශ්න වලින් පැනලා යන එක නෙමෙයි වීරකම.. ඒ ප්‍රශ්න වලට මූණ දීලා, හරි හමන් උත්තරයක් හොයාගන්නෙක.. බලනවා කොයි තරම් ලස්සනට තමුසෙට ජීවත්වෙන්න පුළුවන්ද කියලා.. ඔහොම ඉන්න ශලනි අපි මේ වත්ත චුට්ටක් බලලා එන්නම්.."

"මං පොලීසියට කියන්න කලින් තමුසෙලා දෙන්නා මෙතනින් යනවද නැද්ද..?"

"අපි මෙතනින් යන එක නෙමේ ප්‍රශ්නෙ අංකල්.. තමුසෙට පිරිමිකමක් නැති එකනේ ප්‍රශ්නේ.."

"මගේ පිරිමිකම ගැන උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද මිනිහෝ..?"

දැන් නම් ශලනිගෙ තාත්තා නියම ගානට ට්‍රැක් එකට ඇවිල්ලා කියලා මට තේරුණා.. කියලා වැඩක් නෑ.. ඔහොම යං.. ඔහොම යං.. ගිහිල්ලා හැප්පෙනකල්ම උඹ දන්නෑ..

"ප්‍රශ්නෙ මේකයි.. වැරදිලාවත් තමුසෙගෙ නෝනා මහත්තයා තමුසෙ ඉස්සරහට ආවොත්, තමුසෙට යන්න පාරක් නැතිවෙනවා ඒකයි.."

"ඒ ගැන තමුසෙලා බයවෙන්නෙපා.. මගේ නෝනා කවදාවත් මං ඉස්සරහට එන්නෑ.. ඒක මට විශ්වාසයි.."

"ෂුවර්ද..?"

"ඔව්.. මගේ නේනා ගැන තමුසෙලට වැඩිය හොදට මං දන්නවා.. එයාගෙ තියෙන මහන්තත්වෙයි, ලොකුකමයි එක්ක එයා කවදාවත් මං ළගට එන්නෑ.. ඒක  හින්දා මගේ පිරිමිකම දැන තමුසෙලා කරදර වෙන්න ඕන නෑ.."

"බලාපංකො බන්ටි මුගේ තියෙන ඝනකම.. දෙන්න හිතෙනවා මූට මේ මල් පොච්චි දෙක තුනක් පෙරලගෙන බිමට වැටෙන්න.."

"කෑ නොගහ ඉදපං.. අන්න ශලනි එනවා.."

චාමික බැලුවෙම, අංකල් එක්ක කොක්ක දාගන්න.. ඒත් කොක්කක් දාගන්නවට වඩා වැඩිය වැඩක් මෙතන කරන්න තියෙනවා කියලා මං දැනගෙන හිටියා.. රංඩුවට හරි අංකල් එක්ක කතාව දිගටම ඇදගෙන යන එකෙත් ලොකු වැදගත්කමක් තිබුණා..

"මගේ දුව එන්න කලින් තමුසෙලා මෙතනින් යනවද නැද්ද..?"

"ඇයි එක දුවෙක් විතරක්.. අපි අනිත් දුවත් ආවහම යන්නම්.. වැඩිය උඩ පනින්නැතුව ඉන්නවා.."

දත් ඇදි දෙක තද කරන් මං තොල්වලින් විතරක් කිව්වා.. ඒ වෙනකොට ශලනි අපි තුන්දෙනාට හුගාක් ලංවෙලා  හිටියා..

"අපි ඉන්න තැන ලස්සනද බන්ටි..?"

"ලස්සනයි.. හැබැයි ඔයා තරම් නෑ.."

මගේ උත්තරේට අංකල්කාරයගෙ මූණ කුණ්ඩ හට්ටියක් වගේ උනා.. ශලනිගෙ මූණෙ නම් හරි අපූරු හිනාවක් පිපුණා..

"ඇයි අප්පච්චි, බන්ටිලට ඇතුළට එන්න කිව්වෙ නැත්තෙ..?"

"මං.. මේ එන්න කිය කියා හිටියේ.. කෝ ඉතිං එන්න බෑලුණේ.."

හප්පට ඩෙන.. මේකගෙ කතාව බලපල්ලකො.. අපිට මෙච්චර වෙලා මූ අම්ම මෝ නැතුව බැනලා.. දැන් කියනවා එන්න කිව්වලු.. මේව හොදයි අම්මපා පාර්ලිමේන්තුවට යවන්න.. මූ  හරියන්නෙ ඒ වගේ තැනකට තමා..

"මං ඊයෙ එනගමනුයි, රෑයි, ඔයාල ගැන අප්පච්චිට හුගාක් විස්තර කිව්වා බන්ටි.. අප්පච්චි ඔයාල එක්ක හොදට කතා කෙරුවෙ ඒක හින්දා.. නැත්නම් ඔයාල බලයිනෙ අප්පච්චි එකපාරටම වෙනස් උනේ කොහොමද කියලා.. නේද අප්පච්චි..?"

"ආ.. ඔ.. ඔව්.. ඔව්.. ඒක තමයි.."

"මගෙ සන්තෝ..! ලොකු පුතේ බලාපං.. මුගේ අමරණිය රගපෑමට මගේ ඇග කිලිපොලා යනවා බං.. මේකා නම් ඔරිජිනල් පොරක්.."

හැම කතාවක්ම අස්සෙ, චාමික මගේ පිටිපස්සෙ ඉදන් මුමුණනවා.. බකස් ගාලා  හිනා යන්න ආවත් මං හිනාව තද කරගත්තා.. මූටත් කට පියන් ඉන්න බැරි හැටි..

"ඉතිං බන්ටි.. අපි යමුකො ගේ ඇතුළට.."

"නෑ ශලනි.. බන්ටිලා කැමතියිලු මෙහෙම්ම ඉන්න.. මොකද මේ වගේ ලස්සන තැනක් මීට කලින් ජීවිතේට දැකලා නෑල්ලුනේ.."

"ආනේ.. ඇත්තද බන්ටි..?"

"ඔව් ශලනි.. අපි මෙහෙමම ඉන්නම්.. අනික අපි මේ සුරේන්ලහට ආපු ගමන්.."

"ඉන්න මං ඔයාලට බොන්න මොනා හරි ගේන්නම්.."

අපිට, තවත් වචනයක්වත් කියන්න දෙන්නැතුවම ශලනි ගේ ඇතුළට දිව්වා.. මං කෙලින්ම බැලුවෙ අංකල් දිහා.. ශලනි ආයෙ එන්න කලින් මට මේ කතාව ඉවර කරන්න ඕන උනා..

"මේ වගේ ලස්සන තැනක් මීට කලින් දැකලා නෑ වගේම, තමුසෙ තරම් කැත මිනිහෙකුත් අපි මීට කලින් දැකලා නෑ.."

"ඇයි..?"

"අවුරුදු ගානකින් ලංකාවට ඇවිත්, තමුසෙගෙ අනිත් දරුවව නොබල ඉන්න තරමෙ, හයියක් ඔය පපුවට තියෙනවා කියන්නෙ, ඒ කැතකම ගැන කියන්න වචන නෑ කියනෙකයි.. අනික තමුසෙයි, නෝනයි මොන අටමගලෙට ඩිවෝස් වුණාද කියලා අපි දන්නෑ.. ඒත් මට නම් පේන්නෙ, තමුසෙ වගේම එයත් මහ කැත හිතක් තියෙන ගෑණියෙක් වෙන්නැති කියලා.."

මගේ කතාවට අංකල් කාරයගෙ හකු පාඩ දෙක තද වෙන හැටි මං දැක්කා.. කමක් නෑ.. බන්ටි, අද මෙතනින් යන්නෙ, උඹේ අර්ශස් අමාරුව චෙක් කරලම තමයි..

"තමුසෙල දෙන්නගෙ කැතකම කොයි තරම්ද කියනවා නම්, මේ කිසි දෙයක් නොදන්න පුංචි ඈයො දෙන්නවත්, අයින් කරලා, ඈත් කරලා දැම්මා.. තමුසෙ වගේම පහත් ගෑණියෙක් තමයි ශලනිගෙ අම්මත්.."

"මේ.. මං මේචචර වෙලා ඉවසුවෙ මේක මගේ තැන හින්දා.. කරුණාකරලා මගෙන් මැරුම් කන්නැතුව මෙතනින් පලයල්ලා.. නැත්නම් මං ශලනි ඉස්සරහයි උඹලගෙ බෙලි දෙක මිරිකන්නෙ.. අනික මගේ නෝනා ගැන ඔහොම කතා කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද පරයෝ..?"

ඔන්න දැන් තමයි නියම සභ්‍ය වචන ඩිංගෙන් ඩිංග එළියට එන්න පටන් ගත්තෙ.. මටත් ඕන වෙලා තිබ්බෙ ඒකමයි.. ඒත් මං කරන්න  හදන දේ ගැන ඩිංගක්වත් දැනීමක් තිබ්බෙ නැති චාමික, අංකල්කාරයා වගේම මල පැනලා ඒක පිට කරගන්න විදියක් නැතුව වැළපුනා..

"උඹේ නෝනා ගැන මං කොහොම කතා කලත් උඹට කැක්කුමක් ඇතිවෙන්න බෑනේ.. ඒ වගේම තමයි, නිරෝෂි ගැනත් උඹට කැක්කුමක් ඇතිවෙන්න බෑ.. ඒ දෙන්නම දැන් උඹට නෙමෙයි, මේ බාහිර ලෝකෙටයි අයිති.. ඒ ලෝකෙ තමයි අපි ඉන්නෙ.. තේරුණාද..? උඹ ගිරිය පුප්පගෙන උඩ පැන්නට වැඩක් නෑ.."

"මොකක්ද යකෝ උඹ කිව්වේ..?"

"එක දරුවෙක් ඕස්ට්‍රේලියාවට අරන් ගිහින් උඹ ආතල් එකේ හිටියට, උඹ අනිත් දරුවයි ඒ දරුවගෙ අම්මයි මෙහේ වෘකයො අතරට දාලයි ගිහින් තිබුණෙ.. මෙහේ මිනිස්සුන්ට ඒ දෙන්නට ඕන හතුරුකමක් කරන්න පුළුවන් වෙන විදියටයි උඹ දාලා ගියේ.. සමහර විට ඒක මහා ලොකු පලිගැනීමක් කියලා උඹට හිතෙන්නැති.. ඒත් ඒක අපිට පේන්නෙ උඹේ කොන්දක් නැතිකම කියලා.. උඹ ගාව අවුරුදු ගානක් ආදරයෙන් හුරතල් වෙච්ච ගෑනු මනුස්සයා, පුංචි දරුවෙකුත් එක්ක මෙහෙම තනි කරලා යන්න කැලෑ සතෙක්ටවත් බෑ.. ඒ අතින් උඹ මහා අන්ත තිරිසනෙක්.. නොදන්නකමට, උඹ මට ඩිංගකට කලින් පරයා කිව්වා.. ඒත් ඇත්ත වශයෙන්ම උඹයි පරයා.. ඒක මතක තියාගනිං.."

බන්ටි කතා කරන්න ගියාම කාටවත් නවත්තන්න බෑ.. ඒක තමයි කටුක උනත් ඇත්ත යථාර්ථය.. මගේ ළග ඉදපු චාමික උනත්, මගේ කතාවෙන් හොදටම හොල්මං වෙලයි හිටියේ.. ඌට උනත් හිතාගන්න බැරි වෙන්නැති මේ වගේ දේවල් බන්ටි කොහොමද කියන්නෙ කියලා.. අනික මොන මල ඉලව් කැක්කුමක්ද කියලා..

"මට වැඩිය වයසින් වැඩි, මගේ තාත්තා වගේ මිනිහෙකුට මේ වගේ කතා කරන්න සිද්ධ වෙච්ච එක ගැන මං ලැජ්ජ වෙනවා.. තමුසෙට තව හුගාක් දේවල් ඉගෙන ගන්න තියෙනව කියලා දැන්වත් තේරුම් ගන්නවා.. තමන්ගෙ දුවගෙ හොර අල්ලන්න පස්සෙන් යන්න කලින් ඒ ළමයත් එක්ක ආදරෙන් කතා කරලා ඒ ප්‍රශ්න බෙදාගන්නවා..එතකොට ඔය තරම් පැට්‍රෝල් පුච්චන්න ඕන නෑ.. තමුසෙගෙ නෝන මහත්තයටත් වෙලා ඇත්තෙ ඔය දේම තමයි.. තමුසෙයි, එයයි දෙන්නම වීර චරිත මවන් ගියාට, තමුසෙලගෙ නිවුන්නු දෙන්නම ඒ අයට ඕන ලෝකෙ හොයන් ගිහින් ඉවරයි.. අඩු ගානෙ, දැන්වත්, මේ මොහොතෙ ඉදලවත්, ඩිංගක් කල්පනා කරනවා.. තමුසෙට ළූණු බිකක් තරම්වත් මොළයක් ඇතිනේ.. අන්න ඒ කළදවත් පාවිච්චි කරනවා.. ඔයිට වැඩිය දේවල් තමුසෙට කියන්න මට තේරෙන්නෑ.. මං යනවා.."

බාගෙට වැහිලා තිබ්බ ගේට්ටු පියන අරින්න මං අත දික්කරා.. මටත් කලින් චාමික එළියට පැනලා තිබුණා..

"ත.. තමුසෙ කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

"මෙච්චර වෙලා සතෙක් වගේ කෑගහලා කෑගහලා තමුසෙ දැනුයි මගෙන් හරි ප්‍රශ්නෙ ඇහුවේ.. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔය මං කියපු දේවල් ඇතුළෙ තියෙනවා.. ඩිංගක් මහන්සි උනොත් හොයා ගැතෑකි.. අපි යමු චාමික.."

"යන්න එපා.. යන්න එපා.. මට ඒ උත්තරෙත් දීලා යනවා.. තමුසෙ කියන විදියට තමුසෙ හැමදේම දන්න කෙනානේ.. තමුසෙ මට ඒකත් කියලම යනවා.."

ආපහු එන්න චාමිකත් එක්ක එලියට අඩිය තියලත් මං ආපහු හැරුණා..

"තමුසෙගෙ නෝනවයි, අනිත් දරුවවයි ළගට අරගෙන මනුස්සයෙක් වගේ ජීවිතේ අරගෙන යනවා.. අඩුගානෙ ඒක තමුන්ගෙ ශරීර සෞඛ්‍යයටත් හොද වේවි.."

"තමුසෙ ඇයි මේ ප්‍රශ්න ගැන මේ තරම් වද වෙන්නේ..? මගේ කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් එක්කවත් තමුසෙ යාලු නැත්නම්, තමුසෙට මොකක්ද තියෙන කැක්කුම..?"

අංකල්කාරයගෙ ඒ වචන සෙට් එකෙන් මට මාර ගතියක් ආවා.. මගේ කෙල්ලො දෙන්නගෙන් කියලා කිව්වම ශලනිගෙ තැන නිරෝෂිටත් තියෙනවා කියලා මගේ පපුවට අවුලක් නැතුවම දැනුණා.. 

"මට කිසිම කැක්කුමක් නෑ.."

"එහෙනම්..?"

"අම්මා කෙනෙක්ගෙ ආදරයයි, තාත්තා කෙනෙක්ගෙ ආදරයයි එකට එකතුවෙලා තියෙන පවුලක ළමයි කොයි තරම් සතුටින් ඉන්නවද කියලා මං දන්නවා..  පුළුවන්කමක් තියෙනවා නම් තමුසෙයි, නෝනයි එකතුවෙලා ජීවිතේ ඉතිරි කාලෙවත් ඔය අහිංසක කෙල්ලො දෙන්නට ඒ ආදරේ ඇති තරම් දීලා දානවා.. එතකොට ඔය ළමයි කවදාවත් පිට යන්නෙ නෑ.. වෙන එකෙක්ගෙ ආදරයක් හොයන් යන්නෑ.. ඒ වගේම මට තවත් දෙයක් කියන්න ඕන.. මං අද මේ කතා කරපු විදිය, මගේ කතා කරන විදිය නෙමෙයි.. ඒක මං කතා කරන අනිත් කෙනාගෙ වචන භාවිතයත් එක්ක සිද්ධ උන දෙයක්.. මට වඩා වැඩිහිටියෙක් හින්දා, මගෙන් නරක වචනයක් කියවුණා නම් මං තමුසෙගෙන් සමාව ඉල්ලනවා.. ඒ දේට මං කවදාවත් ලැජ්ජ වෙන්නෑ.."

අංකල්කාරයා කට ඇරගෙන බලන් ඉද්දි මං චාමිකත් නග්ගගෙන කුණ්ඩසාලෙ හංදියට ආවා.. ඌ තාමත් චුරු චරු ගානවා.. ඉවරයක් නෑ.. 

"මොකක්ද බං ලොකු පුතේ, උඹ ඒ අන්තිමට කරපු කුණුහරුප අසික්කිත වැඩේ..?"

"ඇයි..?"

"හැයි කියලා අහන්නෙ..? එච්චර ලස්සනට උගේ බ්‍රේන් වොෂ් කරලා, ඇයි උඹ එතනින් පැනලා එන්න මේ තරම් හදිස්සි උනේ..? තව ටිකක් ඉදලම අපිට එන්න තිබුණනේ.."

"තව ඩිංගක්වත් ඉන්න බෑ චාමික.. මොකද අද දවසෙ කොයි වෙලාවෙ හරි නිරෝෂියි, අම්මයි ඔතෙන්ට එනවා.. එතකොට අපි එතන ඉන්නෙක හරි නෑ.."

"ඒකත් එහෙමද..? උඹ නම්, මං හිතන් හිටියටත් වැඩිය මාර ඉහළයි ලොකු පුතේ.. අම්මප මං උඹේ කතාව අහන් හිටියෙ කම්පිත වෙලා.. මොලෝ දෙයක්  හිතාගන්න බැරුව.."

"කම්පිත වෙලා කිව්වෙ..?"

"ඒකෙ තේරුම මාත් දන්නෑ ලොකු පුතේ.. උඹ නිකං නොබැදි ජාතීන්ගෙ සමළුව අමතනවා වගේ සිරාම විදියට අර මැටි මෝලට ජාතිය ඇමතුව හැටි බලන් ඉන්න ලස්සනයි.. ෂහ්.. අපේ කොල්ලො ටික මෙතන හිටියා නම්..? ප්‍රශ්නයක් නෑ.. පරිසර වර්ණනාද, සංස්කෘතික සංදර්ශනද, අරවද මේවද ඔක්කොම දාලා මං උංට කියන්නම් ඇගපත කිලිපොලා යන්න.."

"කොහොම හරි මට ඕන උනේ, නිරෝෂි අම්මව එක්කගෙන ශලනි ළගට එනකොට මහ මනුස්සයගෙ ඔලුවට යම් කිසි දෙයක් දාලා තියෙන්න.. ඒක මං හිතුවටත් වැඩිය හොදට ඉෂ්ඨ වුණා කියලා මං හිතනවා.. සමහර විට මෑන් මගෙත්තෙක්ක හොදට කතා කරා නම් ඔය දේ මගෙන් කියවෙන්නැති වෙන්න පවා තිබුණා.. ඒත් මේ කෙල්ලො දෙන්නා දැන්වත් වාසනාවන්ත නම්, මෙතන ඉදන් ජීවිතේ හරි පැත්තට ගලාගෙන යාවි.."

"ඔව් ලොකු පුතේ.. උඹ කියනෙක හරි.. ඒක ආයෙ අවුලක් නැතුවම ආතල් එකට සිද්ධ වුනා.. උඹට අර වචන සෙට් එක කොහෙන් ආවද කියලයි මං මේ තාමත් කල්පනා කරන්නෙ..? උඹ ඊයෙ රෑ 'මානව විපර්යාසයෙ මූල ධර්ම' වගේ පොතක්වත් කියෙව්වද..?" 
  
"පිස්සු කියවන්නෙපා බං.. පොත් කියවලා ඔය වගේ කතා කරන්න පුළුවන්ද..? ඒක ඒ වෙලාවට ඔරිජිනල් විදියට ඇගෙන්ම එන්නෝන.."

"ඒක මං පිළිගන්නවා ලොකු පුතේ.. හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවා.."

"ඒ මොකක්ද..?"

"ශලනිත් එක්ක යාලුවෙලා හරි, මොනව වෙලා හරි, කසාද බදින එකාට නම් දෙයියන්ගෙ පිහිටයි.."

"ඒ මොකද බං..?"

"මොකද අහන්නෙ.. බොන්න මොනව හරි හදාගෙන එන්න ඒකිට ඔය තරම් වෙලා ගියා නම්, කෑම ටිකක් කාලා යන්න ඉන්න කියලා ගියා නම්, උඹටයි මටයි හෙට හැන්දෑවෙ තමයි එන්න වෙන්නෙ.."

හැමදේම කියවලා ඉවරවෙලා චාමික අතන්තිමට මහා කුණු කතාවක් කිව්වා.. කුණු කතාවක් උනත්, ඒ කතාවෙත් ගත යුතු ඇත්තක් තිබුණා.. දැන් ඉතිං අප්පච්චිටයි, දූටයි අවුලක් නැතුවම මටයි, චාමිකටයි ගෙනාපු කූල් ඩ්‍රින්ක් හරි මොනා හරි ගිලලා දාතැහැකි..     



               

No comments:

Post a Comment