Monday, April 16, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






ඊයෙ නිරෝෂියි, අම්මයි ශලනිලහ ගියාද දන්නෑ.. මං ශලනිගෙ අප්පච්චිට කියල ආපු දේවල් වලට, මිනිහගෙ හිතට ආපු කේන්තිය මේ වෙනකොට කාගෙ පිටින් යවලද දන්නෙත් නෑ.. අඩු ගානෙ උනේ මොකද කියල, මට ෆෝන් කරලා හරි කියන්න යුතුකමක් නිරෝෂිට තිබුණා.. වැඩේ ඉස්තරම් විදියට කරගත්තට පස්සෙ හැමෝටම බන්ටිව අමතක උනාද..? කෝකටත් කියලා මං නිරෝෂිගෙ නම්බර් එක ඩයල් කරා.. හුගාක් වෙලා ගියාට පස්සෙ, එහා පැත්තෙන් හෙලෝ කියලා කිව්වෙ නිරෝෂි කියලා මං අදුනගත්තා..


"මං බන්ටි කතා කරන්නෙ.."

"දෙයියනේ.. මං ඔයාට මේ ගන්නම් කියලා හිතුවා විතරයි.."

"මේ වහින්නැති වෙලාවෙ හෙණ පාත් කරගන්න බොරු කියන්නෙපා.. අපිම ඉතිං අරගෙන මොකද උනේ කියලා අහන්න ඕන.."

"අ.. අනේ බන්ටි.. මාව විශ්වාස කරන්න.. මං ඔයාට දැන් ගන්න කියලා හිතාගෙන තමා කමරේ ඉදලා ආවේ.."

"හරි..  හරි.. කමක් නෑ.. බට්ටිට ඔය වගේ ඒව ඕන තරම් පුරුදුයි.. සමහරු පුදුම වෙන්නත් එක්ක ඔය වගේ දේවල් කරනවා.. ඊයෙ මොකද උනේ..? ඔයාල ශලනිලහ ගියාද..?"

"මගෙන් වැරැද්දක් උනා නම් මට සමාවෙන්න බන්ටි.. මං ඔයාව අමතක කලේ නෑ.. එහෙම නම් මට අර ඔයා කලින් කිව්ව වගේ වැස්සක් නැතුවම හෙණ ගහයි.. මගේ ළගින්ම ඉදුපු බින්දුත් මාව තේරුම් ගත්තෙ නැතුව, ඔයා විතරයි මට උදව් කරේ.. මං ඒක කවදාවත් අමතක කරන්නෑ.. ඒක හැමදාටම එහෙමයි.."

"හරි.. හරි.. ඒ කතාව අපි දැන් නවත්තමු.. දැන් මට කියන්න වෙච්ච දේ.."

"හුගාක් හොද විදියට හැමදේම සිද්ධ වුණා.. මායි, ශලනියි හිතුවටත් වැඩිය හොදට කාලෙත් ගෙවිලා ගියා.. මමයි, අම්මයි එන්නපැය බාගෙකට විතර කලින් තමයි ඔයා එහෙන් පිටවෙලා ගිහින් තියෙන්නෙ.. අපි යනකොට ඔයාලට හදපු බීමත් අතේ තියාගෙන ශලනි හිටියෙ.. ඔයා ඒවවත් බීලා තිබුණෙ නෑ.. කොහොම උනත්, ඔයා අප්පච්චිට හුගාක් දේ කියන්න ඇති කියලා මායි, ශලනියි විශ්වාස කරනවා.. අප්පච්චි හුගාක් වෙනස් වෙලා හිටියෙ බන්ටි හින්දා කියලයි ශලනි කිව්වෙ.."

"ඔව්.. මං ටිකක් බැන්නා, ඔයාලගෙ අප්පච්චිට.. අපි දෙන්නා එළියෙ ගේට්ටුව ළග ඉදන් හොදටම බැන ගත්තා.."

"ඔයා ඔය හැමදෙයක්ම කෙරුවෙ අහිංසක පවුලක් එකතු කරන්නනේ බන්ටි.. ඒ පිනම ඇති ඔයාව හැමදාටම සංතෝසෙන් තියන්න.."

"මං කොහොමත් සංතෝසෙන් තමයි ඉන්නෙ නිරෝෂි.. මට කියන්න.. අම්මයි, තාත්තයි දැන් කැමති උනාද ආයෙත් එකතු වෙන්න.. එයාලා මොකක්ද ගත්තු තීරණේ..?"

"එයාලා දෙන්නා හුගාක් වෙලා කතා කරා.. අවුරුදු ගානකින් හම්බවුණු හන්දා හිතාගන්නත් බැරි තරමෙ කතා ගොඩක් එයාලට තියෙන්න ඇති.. මායි, ශලනියි වෙනම පැත්තකට වෙලා කතා කර කර හිටියා.."

"ඉතිං..?"

"අපි හවස්වෙනකල්ම හිටියෙ එහේ.. අන්තිමේදි අප්පච්චි ශලනිගෙනුයි, මගෙනුයි ඇහුවා අපේ තීරණය මොකක්ද කියලා..? අපි කිව්වා ආයෙත් එකම පවුලක් විදියට ජීවත් වෙන්න ආසයි කියලා.."

"ඊට පස්සෙ..?"

"කොයි තරම් කතා කෙරුවත්, අම්මයි, තාත්තයි අන්තිම තීරණේට ආවෙ නෑ.. මම දැක්ක හැටියට නම් තාමත් දෙන්නට දෙන්නා ගැන හිත්ව කුණු ගොඩක් තියෙනවා.. එක්කෙනෙක්වත් අනිත් කෙනාට සමාවක් දෙන්නෑ.. එහෙම කලොත් ඒක බාල්දුවීමක් කියලා  හිතනවා වගේ.."

"එයාලට දොස් කියන්න අපිට බෑ නිරෝෂි.. අවුරුදු ගානක් ඈත්වෙලා, සමාජෙට තනියෙම මූණ දිලා, ඒ දෙන්නම පදම් වෙලා ඉන්නෙ.. ඉතිං අපිට විනාඩියෙන් පැයෙන් දවසෙන් එයාලගෙ හිත හැදෙයි කියලා අපිට හිතන්න බෑ.. ඒකට ටික කාලයක් යාවි.. එතකන් ඔයාටයි, ශලනිටයි තියෙන්නෙ නිතරම ඒ දෙන්නා මුණ ගස්සවන එක.. මං හිතනවා වැඩි කල් යන්නෙ නැතුවම ඔයාලට ප්‍රීතිමත් පවුලක් විදියට ඉන්න පුළුවන් වේවි කියලා.."

"තැන්ක් යූ බන්ටි තැන්ක් යූ.. ඔයා මේ කරපු උදව්වට, කොහොම ණය ගෙවන්නද  කියල මටයි, ශලනිටයි තේරෙන්නෑ.. අපි දෙන්නම ඉක්මනට එනවා ඔයාව හම්බවෙන්න.. ඊට පස්සෙ ඉතුරු ටික අපි කතා කරමු.. මේ හිටිය වගේම ඔයා, මායි, ශලනියි ළගින් ඉදවි කියලා මං හිතනවා.. ඔයා හුගක් හොද කෙනෙක් බන්ටි.. හුගාක් හොද කෙනෙක්.. ඔයාට කවදාවත් දුක්ක වෙන්නෙපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.."

මගෙයි, නිරෝෂිගෙයි ටෙලිෆෝන් කතාව එතනින් නැවතුණත් එයා කියපු දේවල් දිගේ හිතන්න ඕන තරම් දේවල් තිබුණා.. ඇත්තටම මේ කෙල්ලො කියන දේවල් හිතට අරගෙනත් බෑ.. නොගෙනත් බෑ.. ෆුල් සීරියස් අර ගන්නවද ලාවට සීරියස් අරගන්නවද කියලත් හිතාගන්න බෑ.. කෙල්ලො සම්බන්ධව හැමදේම ඔහොමයි අප්පා.. වැඩිය ඕවා ගැන හිතන්න ගියොත් මේ තියෙන හිතත් නැතිවෙලා බන්ටිට වෙන්නෙ, පොඩිවෙච්ච කමිසයක් ඇදගෙන, විරහ ගී කියන්න.. ඒත් බන්ටි ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා බන්ටිට ෂුවර්..

                                            ****************************

චාමික හම්බ උනත් අනිත් කොල්ලො ටික හුග දවසකින් හම්බ වුණේ නෑ කියලා මතක් උනාම මගේ හිතට මහ මොකක්දෝ වගේ දැනුණා.. පහුගිය දවස්වල තිබ්බ අලකලංචි හන්දා අමිලලා, රවීන්ල මොනවද කරන්නෙ කියලවත් චාමිකගෙන් අහන්න බැරිවුණා.. සරිගමය උනත් එදා ශලනිලහ යන්න කලින් දවසෙ හම්බ උනා මිසක ඊට පස්සෙ ඇහැටවත් දැක්කෙ නෑනෙ.. ඒ කියන්නෙ බන්ටි කාර්ය බහුල වෙලාද..? එහෙමත් නැත්නම් කොල්ලො සෙට් එක කාර්ය බහුල වෙලාද..?

ඒත් කොල්ලො ටික හම්බ වෙන්න කලින් නෙත්මිගෙ කතාව ඉවරයක් කරලා දාන්න මං හිතාගත්තා.. තවදුරටත් මේක ඇදගෙන යන්න ගියොත්, බන්ටිට ඇදගෙනයි නාන්න වෙන්නෙ.. මේක කියල කිව්වෙ, බෙබි නැන්දා අම්මා කියලා කියපු බොරුව.. අන්තිමට නෙත්මි, අක්කව හම්බවෙන්න ආපු දවසක බන්ටි බෙල්ල මුලින්ම අහුවෙන එක බුදු ෂුවර්.. පහුගිය දවස් වලත්, නෙත්මි මෙහේ ආපු වෙලාවල් වල කොයි තරම් ගේමක් දීලද බන්ටි ගේ ඇතුළට වෙලා ශේප් එකේ හිටියෙ.. තවත් නම් මේක කරන්න බෑ.. මං නෙත්මිට ඇත්ත කියනවා.. මං එක හිතින් එක පයින් හිතාගත්තා.. අනික ඒක එයාට ඒ තරම් ගණන් ගන්න දේකුත් නෙමේනේ..

මොනව උනත් නෙත්මි හම්බවෙලාම මේ ගැන කියනවා කියලා මං තීරණේ කර ගත්තා.. දවස් ගානකට පස්සෙ, එයා දීපු ෆෝන් එක මං ඔන් කරගත්තෙ නෙත්මිට කෝල් එකක් ගන්න.. හෙට හරි අනිද්දා හරි දවසක නෙත්මිව හම්බවෙන්න දාගෙන මං එයාට කියපු බොරුවයි, ශලනිලාගෙ අලුත්ම කතාවයි කියලා දානවා.. ඔන්න එතකොට බන්ටිගෙ හිත පිරිසිදුයි.. දෙපාරක් රින්ග්ස් යනකොටම නෙත්මි ෆෝන් එක ඉස්සුවා..

"ම.. මං ඔයා ගැන හිතුවා විතරයි රන්දික.. මට හුගාක් සංතෝසයි ඔයා ෆෝන් එක ආයෙත් පාවිච්චියට ගත්තු එක ගැන.."

"මං ඒක පාවිච්චි කරන්නෙ ඔයාට කෝල් කරන්න විතරනේ.. ඔයා දැන් දන්නවද මං ඔයාට මේ කෝල් එක ගත්තෙ ඇයි කියලා..?"

"ම්.. මට හිතාගන්න බෑ රන්දික.. ඒත් ඔයා මට මෙහෙම කතා කරපු එක ගැන හුගක් සතුටුයි.."

"මට ඔයාව ඉක්මනට හම්බවෙන්න ඕන නෙත්මි.. මං අර දවසක් කිව්වෙ, ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා.. අන්න ඒ ගැන ඔයාට කියන්න.."

"ම.. මං ඕන වෙලාවක ලෑස්තියි රන්දික.. මට දැන් උනත් එන්න පුළුවන්.. ඔයා කොහෙද ඉන්නෙ..?"

"මම නම් ඉන්නෙ ගෙදර.."

එතන ඉදලා තත්පර ගානක නිහැඩියාවක් ගෙවිලා ගියා.. නෙත්මි මොනවා හරි කල්පනා කරනවා කියලා ඉවෙන් වගේ මට තේරුණා..

"ගෙදර කියලා කිව්වෙ..?"

"ගෙදර කියලා කිව්වෙ මං ඉන්න තැනනේ.."

ඒ එක්කම වගේ පල්ලෙහා සාලෙ තියෙන සෙටප් එක දාන සද්දෙ මට ඇහුණා.. ඒ වෙලාවෙ ඉතිං ඔය වගේ වැඩක් කලොත් කරන්නෙ අක්කා තමයි.. එයාගෙ රසාඤ්ඤතාවයත් අපේ සරිගමයගෙ රසවිදීම වගේ තමයි.. උදේ පාන්දරට නන්ස්ටොප් අහනවා.. පට්ට දවාලෙ ක්ලැසික් සහ සෝක ජනක සිංදු.. හැන්දෑවට, රෑට හිපොප් සහ බයිලා මෙලෝ ගැලපීමක් නෑ.. අහන් ඉන්න අප්පිරියයි..

"ඔ.. ඔයාට බැරිද අද මාව හම්බවෙන්න..?" 

තවත් ටිකක් කල්පනා කරලා නෙත්මි මගෙන් ඇහුවා..

"බැරිකමක් නෑ.. ඔයා මොකද දැන් කරන්නෙ..?"

"ම්.. මමද..? මම දැන් ඔයාට කතා කරනවා.."

එතන ඉදලා මට ඇහුණෙ නෙත්මි හීනියට හිනාවෙන සද්දෙ.. අම්මප කෙල්ලොන්ටත් හුගාක් වෙලාවට පිස්සු.. අහන දේට නෙමේ උත්තර දෙන්නෙ..

"ඒක නෙමේ රන්දික.. එදා ඔයා සමුදිනීලහ අර ෆෝන් එක අරගෙන කාටද බැණගෙන බැණගෙන ගියේ..?"

මෙච්චර වෙලා පත ෆුල්ස්ටොප් පන්දු අතෑරපු නෙත්මි, යෝකර් පන්දුවක් එව්වා.. ඕකට ආතල් එකේ නිදැල්ලෙ යන්න ඇරියොත් විකට් කූරු තුන බවුන්රියෙනුත් එළියෙ තියෙයි.. ධර්මරාජෙ ක්‍රිකට් ටීම් එකේ ඉදලත් මට ෆේල් වෙන්න බෑනෙ..

"ආ.. ඒ අපේ බින්දුටනේ.."

"බින්දුට.. බින්දු කොහොමද ඔයා සමුදිනීලහ ඉන්නවා කියලා දන්නෙ..? අනික සමුදිනීලගෙ නම්බර් එක බින්දු දන්නෙ කොහොමද රන්දික..?"

ඒ පාර යෝකර් දෙක තුනක්ම එකපිට වැදුණා..

"මං ඔය හැමදේටම උත්තර ඔයාව හම්බඋනාම දෙන්නම්.."

"ඒ කියන්නෙ, මං අහපු ප්‍රශ්නෙ උත්තර දෙන්න අමාරු එකක්ද..?"

"ඔව්.."

"ඔයා මාව බය කරනවා රන්දික.."

"බයවෙන්නෙපා නෙත්මි.. මං යකෙක් නෙමෙයි.."

"ඔයා යකෙක් නෙමේ කියලා මං දන්නවා.. ඒ වගේම මං ඔයාට බයත් නෑ.. ඒත් ඔයා කියන දේවල් වලට මං හුගාක් බයයි.. අනික මට ප්‍රශ්න දෙක තුනක්ම තියෙනවා.."

"ප්‍රශ්න දෙක තුනක්..?"

"ඔව්.. ඔයා ගැන.. ඒ හැමදේම මං හම්බඋනාම අහන්නම්.. හැබැයි මට ඒ හැමදේටම උත්තර ඕන.."

"ඔයා කැමති විදියක්."

මං කෝල් එක කට් කරලා දැම්මා.. තවත් දුරට කතා කරන්න ගියොත් අර අලගොඩු මාලුවට වෙච්ච දේ තමයි මටත් වෙන්නෙ.. හත්තිලව්වෙ.. ඌට වෙච්ච දේ දන්නැද්ද..? ගෑනියෙක් ඌව කෑලි වෙන්න කපලා හොදට මිරිස් තුනපහ දාලා උයාගෙන ගෙදර ඈයො එක්ක බෙදාගෙන කෑවා..

ෆෝන් එක අතේ තියාගෙනම මං පඩිපෙළ බැස්සා.. සාලෙ දාපු සෙට් එක තාම එහෙමමයි.. මේ යන ශෝක ජනක සිංදුවලින් තේරෙන්නෙ අක්කා මේ ළග පාතක ඉන්නවා කියනෙකයි.. සාලෙට අඩිය තියනකොටම ෆෝන් එක ආයෙත් රින්ග් වෙන්න ගත්තා.. ස්ක්‍රීන් එකේ වැටුනෙ කතා කරන්නෙ නෙත්මි කියලා.. ඒත් මං කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුවම අක්කගෙ කාමරේට ඇවිදගෙන ගියා.. කාමරේ ඇතුළෙ මොකක්දෝ පෙරලෙන සද්දෙකුයි, තවත් පුංචි සද්ද බද්ද වගයකුයි ඇහුණා.. අක්කා කාමරේ ඇතුළෙ බොක්සින් ගහනවද මංදා.. ඒත් ඉතිං එයා කාත්තෙක්ක බොක්සිං ගහන්නද..? බන්ටිත් එළියෙ ඉද්දි..

"අක්කේ.. ඔයාගෙ වන් ඇන්ඩ් ඔල්නි මල්ලි, මිස්ටර් බන්ටි කාමරේට එන්නයි හදන්නෙ.. ඔයා වැදගත් විදියට නේද ඉන්නෙ..?"

වෙනද වගේම මහා සද්දෙට කාමරේ දොර ගාව ඉදන් මං ඇහුවා.. ඒත් කාමරේ ඇතුලෛන් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.. ප්‍රතිචාරෙ හම්බ උනේ මගේ පිටිපස්සෙන්..

"බ..න්..ටී.."

මං හැරිලා බැලුවා.. ඔලුවෙ අත් දෙකත් තියාගනෙ අක්කා මං දිහා බලන් හිටියෙ බයවෙලා වගේ.. මේ මොකද අප්පා.. මෙයා නිකං ජෝන් සීනා දැක්කා වගේ හොල්මන් වෙලා ඉන්නෙ. ඒත් ඒ එක්කම මගේ හිතට ආපු ප්‍රශ්නෙ අක්කත් ඉන්නෙ එළියෙ නම්, කවුද අක්කගෙ කාමරේ ඇතුලෙ ඉන්නෙ කියලා.. ඒ වෙලාවෙ එකපාරටම මගේ හිතට ආපු නම හින්දා මාව හීතල වෙලා ගියා.. දෙයියනේ නෙත්මි වත්ද..? ඒ ප්‍රශ්නෙට උත්තරේ අත ළගටම ඇවිල්ලා තිබුණා.. මට ඩිංගක්වත් වැරදිලා තිබ්බෙ නෑ..

"ර..න්..දි..ක.."

අක්කගෙ කාමරේ දොර ගාවින් ඇහුණෙ නෙත්මිගෙ කටහඩ.. ආයෙ හරිලා බලන්න දෙයක් මට තිබුණෙ නෑ.. මං දේවල් කියන්න කලින්, අහම්බෙන් උදාවෙච්ච මේ අවස්ථාව හින්දා හැමදේම ගගට කපපු ඉනි වගේ වෙනවා කියලා මට දැනුණා..

"නෙ..ත්..මි.."

මං එයා ළගට ලංවුණා.. ඒ සුදු මූණ පුරාම පිරිලා තිබ්බෙ පුදුමය කියන අකුරු  හතරම විතරයි.. වෙන කිසිම දේකට ඉඩක් ඒ මූණෙ තිබ්බෙ නෑ.. එයා මං දිහා බලන් හිටියෙත්, හරියට කැලෑ සතෙක් දිහා බලනව වගේ.. එයාගෙ ඇස්වල උනත් කිසිම ජීවි බවක් තිබුණෙ නෑ..

"ම.. මං ඔයාට මේ හැමදේම කියන්නම්.."

මං ඊගාවට නෙත්මිවත් ඇදගෙන අක්කගෙ කාමරේ ඇතුළට ගියා.. අපි දෙන්නගෙ පිටිපස්සෙන් ආපු අක්කා, කාමරේ දොර ගාව හිටගත්තා..

"ම.. මං මේ හැමදෙයක්ම ඔයාට කියන්නයි හිටියෙ.. මං දැන් කෝල් එකක් අරගෙන ඔයාව හම්බවෙන්න වෙලාවක් දාගත්තෙත් ඒකයි.. ඒත් මං කෝල් දීලා තියෙන්නෙ මේ ගේ ඇතුලෙම ඉදගෙන ඔයාටනේ.. අනිත්තෙක තමයි නෙත්මි.."

එතනින් එහාට මට වචනයක් කතා කරන්න හම්බවුණේ නෑ.. තොල් දෙක මැද්දට දබරැගිල්ල තියලා කතා කරන්නෙපා කියන සංඥාව නෙත්මි දුන්නා.. එයාගෙ මූණ දිහා හොදට බලද්දි කලින් තිබ්බ පුදුම සහගත බව දැන් ඒ මූණෙන් මැකිලා ගිහින් තිබුණා.. ඒ වෙනුවට පිළිකුල, තරහා, වෛරය වගෙ අප්‍රසන්න දේවල් මහ හුගක් රෝස පාට මූණ මැද්දට ඇවිල්ලා තිබුණා..

"ම.. මට කිසි දෙයක් දැනගන්න ඕන නෑ.. මට.. මට ඔයත් එක්ක කතාවකුත් නෑ.."

"වැරදි පැත්තකට යන්න හදන්නෙපා නෙත්මි.. මං මේ හැමදේම හෙට උදේට ඔයාට කියන්නයි හිටියෙ.."

"ඇ.. ඇයි ඔයා හෙට උදේ කියන්න හිටියෙ.. ඔයාට තිබ්බනේ ලබන මාසෙ හරි, ලබන අවුරුද්දෙ හරි කියන්න.. මට තේරුණා.. මට තේරුණා.. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා.. සමුදිනී උනත් මේ හැමදේම මගෙන් හැංගුවා.. අවුරුදු ගානක් තිබ්බ අපේ යාලුකමට, සමුදිනී ඔයා දුන්න තෑග්ග නම් ඉස්තරම්.. මං මෙහෙම අනාථයෙක් වගේ රැවටෙන කොට ඔයාලා හැමදාම මට හිනාවෙන්න ඇති නේද..? මං සමුදිනී හම්බවෙන්න ඇවිත් යන දවස්වල ඔයා ඔයා උඩ තට්ටුවට වෙලා, මට පිටිපස්ස පැත්තෙනුත් හිනාවෙන්න ඇති නේද..? හරිම අපූරුයි ඔයාලා එකතු වෙලා කරපු මේ සෙල්ලම.. ඇත්තටම ඔයාලට ලැජ්ජ නැද්ද මනුස්සයෙක්ව මේ විදියට රවට්ටන්න.. රවට්ටගෙන මරාගෙන කන්න.."

වෙඩි බෙහෙත් ගබඩාවක් පුපුරලා ගියා වගේ, හිතා ගන්නවත් බැරි විදියට නෙත්මි කියවගෙන ගියා.. අක්කගෙ ඇස්වලින් කදුළු බේරෙන්න ගත්තෙ, නෙත්මි, එයාටත් එක එක ඒවා කියනකොට.. මොනවද එයාට කියන්න ඕන කියලවත් මගේ හිතට ආවෙ නෑ..

"නෙත්මි.. අක්කා මේකට ගාව ගන්න එපා.. එයා මේ කිසිම දෙයක් දන්නෑ.. මේ හැමදේම මං තනියෙම කරපු වැඩ.. ඔයා ඒ හැමදේම මගෙත් එක්ක කතා කරන්න.. ඒවට මූණ දෙන්න මට ශක්තිය තියෙනවා.. අක්කගෙ මේකට සම්බන්ධයක් නෑ.. ඔයාලගෙ යාලුකම් මේ මැද්දට පටලව ගන්නත් එපා.."

"ඕන බලු වැඩක් කරලා ඒවට මූණ දෙන්න ඔයාට ශක්තිය ඇති.. ඔයා ඒක දැන් ඔප්පු කරලම පෙන්නුවනේ.. ං ගාව ඉදගෙන බන්ටි ගැන කතා කරනකොට, බන්ටි ගැන ඔයා කියපුවා ටිකක් මතක් කර ගන්න.. බන්ටිගෙන් පරිස්සම් ඉන්න.. ඌ හරිම වසයි.. ඌ ගැනු පෙරේතයෙක්.. වගේ කතන්දර කීයක් නම් කිව්වද..? ඒ කියන්නෙ බන්ටි කියලා කෙනෙක් ගැන මං විහිලුවටවත් හොයන්නැතුව ඉන්නනේ.. එතකොට ඔයාගෙ මේ මාස්ටර් ප්ලෑන් එක මාස කීයන් ඉදන් තිබ්බද..? මාව අන්දන්න හිතාගත්තෙ අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බ උන දවසෙද..?"

"ඔයා හුගක් දේවල් වරද්දගෙන කතා කරනවා නෙත්මි.."

"නෑ මට මුකුත් වැරදිලා නෑ.. නැති වෙලත් නෑ.. දැන් හැමදේම දන්නවා.. මේ ලෝකෙ කිසිම මිනිහෙක් තමන්ගෙ හතුරෙකුටවත් කරන්නැති මහා පහත් වැඩක් ඔයා මට කරේ.. දවස් දෙකක් නම් කමක් නෑ.. මාස කීයක්ද..? ඔයාට මාව හම්බවෙලා කියන්න බැරි නම් ෆෝන් එකෙන් හරි කියන්න තිබුණා.. අඩු ගානෙ මැසේජ් එකක්වත් එවන්න තිබුණා.. මට දැන් තේරෙනවා.. මට දැන් තේරෙනවා, මං සමුදිනී බලන්න ආපු හැම දවසකම බන්ටි කියන මනුස්සයා මේ ගෙදර නැතිවෙන්නෙ ඇයි කියලා.. හිටියා නම්, එහෙම ඉදලා මගේ මූණ ඉස්සරහට ආව නම්, හොරේ අහුවෙනවනේ.. බලන් ගියාම ඔයා.. ඔයා තරම් කැත ඇහිකුණ්ටකයෙක් කොහේවත් නෑ.. අනික එකක් නම් කමක් නෑ.. ඔයා මට බොරු කීයක් නම් කිව්වද..? ෂිහ්.. මට ඔයා දකිනකොටත් දැන් වස අප්පිරියාවයි.."

"මටත් ඩිංගක් කතා කරන්න දෙන්න.. ඔයා විතරක් ඔහොම කියවලා තේරුමක් නෑ නෙත්මි.." 

මහා සද්දෙට කියවගෙන යන මේ කෙල්ලගෙ කටේ සද්දෙ නවත්තන්න මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා මට මතක් උනේ හුගක් වෙලා ගියාට පස්සෙ.. ඒත් එතකොට පෙරහැර ගිහිල්ලා තිබුණා.. හදන්න බැරි තරමට හුගාක් දේ ඈතට ගිහිල්ලා තිබුණා.. මෙච්චර කාලයක් මගේ ජීවිතේ තිබුණෙ ඕනම දෙයක් කරලා සතුටු වෙන්න පුළුවන් අවස්ථා විතරයි.. කරන ඕනම දේක වගකීම ගන්න පුළුවන් ඉස්තරම්ම මානසික තත්වයක මං හිටියා.. ඒත් දැන් මේ උදාවෙලා තියෙන තත්වෙ, ඊට හුගාක් ඈතට ගියපු එකක් උනා.. මං කරපු දේකට පිටිපස්සෙන් ගිහින් බැගෑපත් වෙලා ඒ ගැන නැවත කතා කරන්න සිද්ධවීම මට පුරුදු දෙයක් උනේ නෑ.. ඒකයි මං හුගාක් නොසන්සුන් වෙලා හිටියෙ..

"කියවලා තේරුමක් නෑ කියන්නෙ..? ඔයා තව වචනයක්වත් කතා කරන්නෙපා.. මගේ අහිංසකකම, මගේ ගෑනුකම, ඔයාට දක්වපු කැමැත්ත හැමදේම ඔයාගෙ ඔය කකුල් දෙකෙන් පාගලා දැම්මා.. මං ඔයාට ළංවෙන්න හදපු හැම වෙලාවෙම ඔයා මාව සත පහකටවත් ගණන් ගත්තෙ නැතුව, මාව කාලකණ්නි ලෝකෙකට තල්ලු කරලා දැම්මෙ එහෙනම් මේක හන්දා.. ඔයාට මාව බයිට් එකක් වෙලා තිබ්බ හින්දා.. බයිට් එකක් කවුරුවත් හැමදාටම තියාගන්නෑනේ.. අරක්කු ටිකක් බොනකොට කට ගැස්මට ගන්නවා මිසක.."

"නෙත්මි.. ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ..?"

"ම.. මං කියන්නෙ මට දැනෙන දේ.. මට හිතෙන දේ.. ඔ.. ඔයා මේ මුළු ලෝකෙටම උදව් කරා.. ඔයාගෙ හැම යාලුවෙකුටම ඔයා පන්න පන්න උදව් කරා.. ඔයාගෙ යාලුවොන්ගෙ කෙල්ලන්ටත් ඔයා පැලෙනකල් උදව් කලා.. තාමත් උදව් කරනවා. අදුනන්නෙ නැති මිනිස්සුන්ටත් ඔයා උදව් කරනවා.. ඒත් ඔයා මං ගැන, මෙච්චර වැටි වැටී ඔයා පස්සෙන් ආපු මං ගැන එක තත්පරයක්, එක විනාඩියක්වත්  හිතුවද..? ආ.. ඇ.. ඇයි මට මෙහෙම කරේ..? ඇයි ඹයා මට මෙහෙම කරේ..?"

මගේ ෂර්ට් එක මැද්දෙන් අල්ලලා එහෙට මෙහෙට හොලවන ගමන් නෙත්මි කෑගැහුවා.. එයා ඒ කියපු දේවල් දිගේ මහා වේදනාවකින්, මහා පසුතැවීමකින් හිතන්න ඕන තරම් දේවල් තිබුණා.. අක්කා උනත් දොර ගාවට වෙලා අඩ අඩ හිටියෙ කර කියාගන්න දෙයක් නැතුව..

"බේබි නැන්දා ඔයාගෙ අම්මා කියන මහ විසාල බොරුව මට කිව්වෙ ඇයි..? මං ඒවා කොයි තරම් විශ්වාස කලාද..? අනේ දෙයියනේ.. මං ඔයාටයි, බේබි නැන්දටයි ඉන්න ගෙවල් පවා හෙව්වා.. හ.. හ්ග්.. ඔයා කොහොම ජීවත්වෙනාව ඇතිද..? ඔයාට කන්න කොහොම හම්බවෙනවා ඇතිද..? නැවතිල ඉන්න තැනින් ඔයාට වෙනස්කම් සිද්ධ වෙනවද දන්නෑ කියලා මං මහා මෝඩියෙක් වගේ  හිතුවා.. ඒත් බලපුවාම මගේ, ඔයාට තිබ්බ කැමැත්තට ඔයා පයින් ගැහුවෙ, ඔයා හැම අතින්ම සර්ව සම්පූර්ණ කෙනෙක් හින්දා.. මට ඒක හොදටම හොදටම තේරෙනවා.. අනේ.. අනේ.. ඇයි ඔයා මාව මේ විදියට අසරණ කරලා දැම්මෙ.. ඔ.. ඔයාට පව් දෙයියනේ.. මගේ හැගීම් එක්ක සෙල්ලම් කරපු ඔයාට පව් සිද්ධ වෙනවා.."

"අඩන්නැතුව ඉන්න නෙත්මි.. අපි මේක හිමින් සීරුවෙ විසද ගනිමු.."

"ආයෙ විසදගන්න දෙයක් නෑ.. හ්ග්.. ඔයා මට හම්බවුණා පළවෙනි දවසෙ ඉදලම කරේ බොරු.. මං කිව්ව කිසි දෙයක් ඔයා ඇහුවෙ නෑ.. මටත් හොරෙන් ඔයා ශලනිව කී පාරක් නම් හම්බ වුණාද..? අන්තිමට මට ශලනි කිව්වෙ, බන්ටි එයාට හුගාක් උදව් කරා කියලා.. මං ඒකත් මෝඩි වගේ ඔයත්තෙක්ක කිව්වා.. ඔයා ඒ වෙලාවෙත් මට හිනාවෙන්න ඇති.."

"කියන දේ අහන්න.. මේ රණ්ඩුව නවත්තමු.. මං ඔයාට හිනාවුණේ නෑ.."

"වෙන්න ඇති.. ඔයා මට පේන්න කොයි වෙලාවෙත් හිනාවුණේ නෑ.. ඔයා හැමදේම කරේ හැංගි හොරානේ.. මාව හැරුනාම ඔයා කෙල්ලෙ කී දෙනෙක් නම් ළගින් ආශ්‍රය කරාද..?"

"කෙල්ලො..?"

"ඔව්.. ශලනි, නිරෝෂි.. මොරීන් අක්කා.. ඔය මං දන්න අය විතරයි.. මං දන්නැති අය කී දෙනෙක් නම් ඉන්න ඇතිද..?"

"ඔයාට වැරදිලා නෙත්මි.."

"ඔව්.. මට වැරදිලා.. මගේ මුළු ජීවිතේම වැරදිලා.. ඔයාට ඒකෙන් ඇති ප්‍රශ්නයක් නෑ.. ඔයා හැමදාටම හොදින් ඉන්න.. මං මේ ඉන්නෙ මට කවදාවත් හිමිවෙන තැනක නෙමෙයි.. මං.. මං යනවා.."

"අනේ නෙත්මි.. මං කියනවට ඩිංගක් ඉවසන්න.. ඔයා මගෙත්තෙක්ක තරහින්ද යන්නෙ..?"

මෙච්චර වෙලා වචනයක්වත් කියන්නැතුව හැමදේම දිහා බලාගෙන අඩ අඩ ඉදපු අක්කා අපි අතරට ආවා..

"නෑ සමුදි.. මං ඔයාලා කා එක්කවත් තරහා නෑ.. ඒත් මට හුගාක් දුකයි.. මගේ මුළු ජීවිතේම මං මේ තරම් රැවටුණු පාරක් මට මතක නෑ.. සමහර විට ඔයත් මල්ලිට සපෝට් කරන්නැති.. ඒත් මං තරහා නෑ.."

"දෙයියනේ.. ඔයා මොනවද මේ කියන්නෙ..? මං බන්ටිට මේ කිසිම දේකට සපෝට් කලේ නෑ.. එයා ඉස්සෙල්ලම ඒක කිව්වා.. ඇයි ඔයා මං ගැන ඔහොම හිතන්නෙ..? මගේ හොදම යාලුවා ඔයානේ දෙයියනේ.."

"මගෙත් හොදම යාලුවා ඔයා තමයි සමුදි.. ඒත් ඔයා සමහර විට දැනගෙන ඉන්නත් ඇති.. නොදැන ඉන්නත් ඇති.. ඉස්සරහ හිටගෙන ඉන්න මනුස්සයට මං මගේ ජීවිතේට වැඩියෙන් ආදරේ කලා කියලා.. කාගෙවත් ඇහිපිල්ලමක්වත් වැදෙන්න නොදී ආරක්ෂා කරගන්න හිතුවා කියලා.."

නෙත්මි එහෙම කියාගෙන යද්දි මගේ පපුවට මොකක්දෝ වෙලා ගියා.. එහෙනම් එයා නියම කෙල්ලෙක් වගේ අක්කත් ඉස්සරහ මට ආදරෙයි කිව්වා..

"මං රන්දිකට ආදරෙයි සමුදි.. මං මේ බොරුකාරයට ආදරෙයි.. ඔයාල ඔය බන්ටි කියන නපුරු මායාකාරයට මං ආදරෙයි.. ඒත්.. මගෙ ඒ අහිංසක ආදරේ මෙයා බිමට දාලා පෑගුවා.. මට හැමදාටම මතක හිටින බොරුවක් කලා.. කමක් නෑ.. මේ හැම දේකින්ම ඔයා සතුටු වෙන්න ඇතිනේ.. ඔයා හොදට සතුටු වෙන්න රන්දික.. එහෙමත් නැත්නම් ගෙදර අය, යාලුවො කතා කරන විදියට මාත් බන්ටි කියලා අන්තිමටම කතා කරන්නම්.."

"මට වෙච්ච දේට සමාවෙන්න නෙත්මි.. මං මේ කිසිම දෙයක් හිතලා කරේ නෑ.. ඒ ඒ වෙලාවෙ කටට ආපු දේ කිව්වා විතරයි.. ඒ වෙලාවෙ මං හිතුවෙ නෑ කීයටවත් අපි දෙන්නා මේ විදියට ලංවේවි කියලා.."

"දැන් ඒ හැමදෙයක්ම ඉවරයි.. මං ආයෙ කවදාවත් මෙහේ එන්නෑ.. ඒත් ඔයා මට කරපු දේවල්.. ඔයා මට දුන්නු දුක හැමදාම මගේ හිතේ තියෙනවා.. මට ඒවා කවදාවත් අමතක වෙන්නෑ.. ම..මං යනවා සමුදි.. හ්ග්.."

මහා සද්දෙට අඩාගෙන නෙත්මි කාමරෙන් එළියට දුවලා ගියා.. හිටපු තැනම ගල් ගැහිලා හිටියා මිසක මගේ හිතට මුකුත්ම දෙයක් හිතුණෙ නෑ..

මගේ පිටට හයියෙන් තඩිබාලා අක්කා කෑගැහුවාම තමයි මගේ නිදාගනෙ හිටපු යටි හිත අවදි වුණේ.. කිසිම දෙයක් හිතන්නෙ නැතුව මං නෙත්මිගෙ පිටිපස්සෙන් දුවලා ගියා.. ඒ වෙනකොට එයා අපේ වත්තෙ ගේට්ටුව හරියෙ හිටියෙ..

"නෙ..ත්..මී.."

මගේ කටහඩට එයා එකපාරටම නතර වුණා.. ආපහු හැරිලා එයා මගේ දිහා බලද්දි ඒ ලස්සන ඇස් කදුළු වලින් උතුරලා ගිහින් තියෙන හැටි මං දැක්කා.. මැලවිලා තිබ්බ මූණයි, දුකෙන් හෙම්බත් වෙලා තිබ්බ ඇස් දෙකයි මගේ හිතට නෙත්මි ගැන මහා හුගාක් දේ ගෙනාවා.. ආදරේ කියන දේ ඒ හැමදේම අතරින් ඉස්සරහින්ම හිටියා..

"ය..න්නෙ..පා.."

මගේ කටහඩේ තිබ්බ දුක්බර ගතියටද මංදා නෙත්මි ආයෙත් ඔලුව උස්සලා මං දිහා බැලුවා.. ඒ මූණෙ පිරිලා තිබ්බ අසරණ, අහිංසකකමට මගේ හිත ආදරෙන් පිස්සු වැටුණා..

"මට ඔයා ආදරේ නෑනෙ රන්දික.. ඔයා දැන් මට යන්නෙපා කියලා කිව්වත්, මට දැන් ආදරෙයි කියලා කිව්වත් මං ඒක විශ්වාස කරන්නෑ.."

"ඔයා මොනවද මේ කියන්නෙ.. ම.. මං ඔයාට ආදරෙයි නෙත්මි.. මං මේ ඇත්තමයි කියන්නෙ.."

"ඔයා මට ආදරේ නම් ඇයි මට කලින් නොකිව්වෙ.. මං ඔයාට කොයි තරම් ආදරේද කියලා ඔයාට ඔප්පු කරලම පෙන්නල ඇති.. මං යනවා රන්දික.."

"මං ඔයා ආදරෙයි කියන එකත් අහන්නෙ නැතුව ඔයා යන්නෙ ඇයි..? මං ඔයාට බොරුවක් නෙමෙයි කියන්නෙ.. "

"ඔයා කියන්නෙ ඇත්ත වෙන්නැති.. ඒත් ඒක මගේ හිතට තේරෙන්න ටික දවසක් යයි.. දැන් මම හුගාක් අවුල් වෙලා ඉන්නෙ.. සමහර විට මං මේ ගත්ත තීරණේ හෙට උදේ වෙනකොට වෙනස් වෙයි.. මොකද ඔයාට මට ආදරෙයි කියලා තියෙන හන්දා වගේම, මට කවදාවත් ඔයාව අමතක කරන්න බැරි හින්දා.. මං යනවා රන්දික.."

"නෙ..ත්..මි.."

මගේ  හිතට මහා වේදනාවක් දැනුණෙ ඒ අන්තිම වචන ටිකත් එක්ක..  ඒ කියන්නෙ සමහර විට අපි ආයෙ හම්බ වෙන්නෙම නෑ කියනෙකද..? එහෙමත් නැත්නම් නෙත්මිගෙ තීරණේ වෙනස් වෙනවා කියනෙකද..? 

"හෙට දවස ගැන සංතෝසයෙන් හිතන්න.. ඒ සංතෝසෙ අතරෙ නෙත්මි ඉන්නව කියලත් හිතන්න.."

ගේට්ටු කණුව හයියෙන් අල්ලගෙන හිටපු මට අන්තිමටම ඇහුණෙ නේතමිගෙ ඒ වචන ටික.. ඈතින් ඈතට පුංචි තිතත් වෙලා නෙත්මි පේන්නැති වෙලා යනකන් මං ඔහේ බලන් හිටියා.. හෙට දවසෙ සංතෝසෙ අතරෙ නෙත්මි ඉන්නවා කියලා හිතන්න කිව්වෙ, එයා මට නැතිවෙන්නෑ කියනෙකද..? හුගාක් ප්‍රශ්නවලට උත්තර තිබ්බ මගේ හිතට ඒ ප්‍රශ්නෙට නම් උත්තරයක් තිබ්බෙ නෑ..

"ඇරඹුමම කදුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා..
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.."


[ ඒ මගේ මලයි 3 වෙනි කොටස මෙතනින් අවසන්ය.. බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 කියවීම සදහා ඒ මගේ මලයි 4 ලේබලය කොටන්න ]



                                                                                

No comments:

Post a Comment