Sunday, April 15, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






චැලියත් හරවගෙන, පාර දිගේ එද්දි, මං නිකමට වගේ ශලනි කියපු ගේ දිහා බැලුවා.. ඇත්තටම ඒක හරි ආටිෆිෂල් විදියට හදපු ගෙයක්.. කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි.. හරියට නකිං ලස්සන කෙල්ලෙක් ටිකක් කොටට ඇදල පාරෙ යනවා වගේ..

"හෝව්.. හෝව්.. හෝව්.. චුට්ටක් නවතිමුද..?"


මට ගේ පහුකරන්න හම්බ වුණේ නෑ.. පැති ගේට්ටුවක් ඇරගෙන ශලනි මතුවුණා.. ඒ ඩිංගකට එයා වෙන ඇදුමක් දාගෙන, හෙයාර් ස්ටයිල් එක වෙනස් කරගෙන.. මොන හැඩේ ඒ මූණට ආවත්, මොන ඇදුම ඇන්දත් ශලනිට ලස්සනයි කියලා මට තේරුණා..

"චුට්ටක් මොකටද..? ඔන්න මං ඔක්කොම නැවතුනා.."

චැලිය නවත්තලා මං පුංචි ස්ටෑන්ඩ් එත් ගැහුවා.. බලන්න එපායෑ.. කෙල්ලගෙ මූණෙ හිනා කෝච්චියයි.. සමහර විට මං මෙහෙම නවත්තයි කියලා හිතන්න නැතුව ඇති..

"මොනව හරි බොමුද බන්ටි..?"

"එපා.. අපි වෙන දවසක බොමු.. ඉතිං ඇයි මාව නැවැත්තුවේ..? අනික මං කරත්තයකුත් නෙමෙයිනේ දක්කගෙන ආවේ.." 

"ඒ.. ඒ කිව්වේ..?"

"ඇයි ඉතිං හෝව්.. හෝව් කියලනේ දුවගෙන ආවේ.."

ශලනිට හිචිස් ගාලා හිනාවක් පැන්නා.. සමහර කෙල්ලො නම් අතින් කට වහගෙන සෝබනේට හිනාවෙනවා බන්ටි දැකලා තියෙනවා.. ඒත් ශලනි එහෙම නෑ.. ඔහේ නිදහසේ පැලෙන්න හිනාවෙනවා.. ඒකයි එයාගෙ තියෙන ගතිය..

"ඔ.. ඔයා හෙට එනවා නේද බන්ටි..?"

"ඔව්.. මං ඔයාට ඉස්සෙල්ලා පොරොන්දු උනානේ..! ඉතිං මට කිව්වෙ නෑනේ ඇයි මේ මාව නැවැත්තුවෙ කියලා.."

"ඒක මමවත් දන්නෑ.."

"එහෙම දන්නැතුව පාරෙ යන මිනිස්සුන්ව නවත්තනවද.? මොකෙක් හරි කාඩයෙකුට අහුවුණොත් එහෙම ඔයාට ඉස්පිරිතාලෙ යන්න වැඩේ කරයි.. තේරුණාද..?"

"මං කාඩයොන්ට අහුවෙන්නෑ.."

"ෂුවර්ද..?"

"ඔව්.. මට, මාව ෂුවර්.. ඇයි බන්ටි ඔයා නිකං සවුත්තුවට වගේ එහෙම ඇහුවේ..?"

"නෑ.. සවුත්තුවට නෙමෙයි.. මට නලින්දව මතක් වුණා.."

"න.. නලින්දව..?"

"ඔව් නලින්ද තමයි.. ඇයි ඔයා නලින්ද කියලා කෙනෙක් දන්නැද්ද..?"

ඇස් දෙක ඩිංගක්වත් අහකට ගන්නැතුව මං ඒ ටීක් බෝල වගේ අව්වට දිලිසෙන, පට්ට ඇස් දෙක දිහා බලන් හිටියා.. ශලනිගෙ රෝස පාට මූණ රතු පාට වේගෙන එන හැටි මං දැක්කා.. එයා කීයටවත් හිතන්නැතුව ඇති මං නලින්දව දන්නවා.. ඒ මදිවට නලින්දගෙයි, ශලනිගෙයි තිබ්බ සම්බන්ධෙ ගැනත් දන්නවා කියලා..

"ද.. දන්නවා.."

"ඔ.. ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නේද..?"

"දැන් එහෙම නෑ.. කලින් නම් එහෙමයි.. ඔයා කොහොමච මෙච්චර විස්තරයක් දන්නේ..?"

"ඒක මෙතෙන්ට අදාලා වෙන්නෑ.."

"හා.. මම දන්නවා.. එදා පන්සල ගාව අප්පව්වි කතා කරපුවා ඔයා අහන් හිටියනේ.. ඒවා අල්ලගෙන තමයි ඔයා මේ කතා කරන්නේ.."

"නෑ ශලනි.. ඔයා හිතනවට වැඩිය ලොකු රෝල් එකක් මං මේ හැමදේම අස්සෙ කරා.. ඒත් ඒ හැමදේම දැන් ආපිටට ලොකු කරදරයක් වෙලා තියෙන්නේ.."

"මට තේරෙන්නෑ බන්ටි.."

"මං ඔයාට කියන්නම්.. මේ හැමදේම ඔයා දැනගෙන ඉන්නෙකත්, ඔයාට හොදයි.. ඒ වගේම හෙට නිරෝෂිව හම්බවෙන එකේ.. ඔයාව අඩුපාඩු සහිතව එතෙන්ට යවලා තේරුමක් නෑ.. ඔයා මාව මෙහෙම නවත්තපු එකත් හොදයි.. මොකද සමහර විට හෙටින් පස්සෙ මේ කතාවෙ මගේ රෝල් එක ඉවරයි.."

"ඔ.. ඔයා කියන මුකුත්ම මට තේරෙන්නෑ.."

"අහගෙන ඉන්න.. එතකොට තේරෙයි.."

එතන ඉදලා, නිරෝෂිවයි, ශලනිවයි මාරුවෙලා ඇටකිච්චට ඉස්පිරිතාලෙ ලගින්න ගහපු කතාව මුල ඉදන්, අද දක්වාම මං විස්තරේ ශලනිත් එක්ක කිව්වා.. කතාව පරණ උනත් ඒකෙ තියෙන ගතිය, ශලනිගෙ ඉරියව්වලින් මට හොදටම දැනුණා.. එයා හැමදේම අහගෙන හිටියෙ, මං දිහා බලාගෙන හිටියෙ ටයිටැනික් නැව ගිලෙන දර්ශනේ කට ඇරන් බලන් ඉන්නවා වගේ..

"දෙයියනේ.. ඔයා යාලුවා වෙනුවෙන් කොයි තරම් දේවල් කරලද..? ඒ යාලුවද අර හැංගි හැංගි ඔයාගෙ හොර අල්ලන්න ආවේ..? එයා නම් හරිම කැතයි බන්ටි.. හරිම කැතයි.. මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක්.."

"එහෙම වෙන්නැති.. ඒත් මං නලින්දට ඇටෑක් කරපු එකෙන් පැත්තක ඉදපු ඔයාටත් ලොකු දුකක් සිද්ධ වුණා.. ඔයාට ඔයාගෙ ආදරේ නැතිවුණා.. අප්පච්චිගෙන් හොදට බැනුම් ඇහුවා.. ඒකට ඉතිං මං ඔයාට සොරි කියලා කියන්නෝන.."

"නෑ බන්ටි නෑ.. එහෙම කියන්නෙපා.. ඔයා කරපු දේ තමයි හොදම දේ.. නලින්දට ලැබෙන්න තිබ්බ හොදම ෆනිෂ්මන්ට් එක තමයි ඔයා එයාට දුන්නේ.. නැත්තං මං අදටත් එයා මත්තෙ නහිනවා, ඔය කිසිම දෙයක් දන්නැතුව.."

"ඔයා ඒ සිද්ධිය ගැන දැනන් හිටියෙ කොහොමද..?"

"මට ආරංචි උනා බන්ටි..! නලින්ද යාලුවෙලා ඉදපු ගර්ල් කෙනෙක්ගෙ අයියා කෙනෙක් එයාට ඇටෑක් කරලා තියෙන්නෙ කියලා.. ඒත් මං ඒක විස්වාස කලේ නෑ.. ඒත් හොස්පිට්ල් එකේදි මං හුගාක් දේවල් දැක්කා.. නලින්ද, ගෑනු ළමයි එයාව වටකරන් හිටපු හැටි.. මට හැමදේම එපාවුණා බන්ටි.. ආදරේ කියන්නෙ මහා බොරුවක් කියලා හිතුණා.. පිරිමි ආදරේ කරන්නෙ ගෑනුන්ගෙ ඇගට විතරයි කියලා මං තෙරුම් ගත්තේ..!  හුගාක් අමාරුවෙන් මං ඒ හැමදේම අමත කරලා දැම්මා.. දැන් නලින්ද කියලා කෙනෙක් මගේ ලෝකෙ නෑ.." 

ශලනි ඒ හැමදේම කියාගෙන ගියේ පුදුමාකාර සැහැල්ලුවකින්.. ඒත් ඔය කියන තරම් ඉක්මනට හිතේ ඇදිච්ච ආදරයක් තමන්ගෙ ලෝකෙන් එළියට ඇදලාදාන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ මගේ හිතට ආවා.. ජීවිතේටම කෙල්ලෙකුට ආදරේ කරලා නැති උනත්, ඒ දේ කරන්න බෑ කියලා මට නිකමට වගේ හිතුණා..

"ඕස්ට්‍රේලියා ඉද්දි මට හුගාක් යාලුවො හිටියා.. මගේ වැකේෂන් වලට, වෙනසකටත් එක්ක තමයි මං අප්පච්චි මාව එක්කරන් මෙහේ ආවේ.. ඒ පුංචි කාලෙදි තමයි, නලින්ද මට ලංවුණේ.. යාලුවො නැතුව, දන්න අදුනන කවුරුවත් නැතුව ගෙවිලා ගියපු මේ ටික කාලෙට නලින්දගෙ බොරු ආදෙර් මට ලොකු ශක්තියක් උනා.. ඒත් දැන් ඒ හැමදෙයක්ම ඉවරයි.. මං අඩලා අඩල හිත හදාගත්තා.. දැන් මට නිවි සැනසිල්ලෙ ආයෙත් මගේ යාලුවො ළගට යන්න පුළුවන්.."

"එතකොට ඔයාගෙ ෆැමිලි එක..?"

"ඒක මායි, නිරෝෂියි ගන්න තීරණ අනුව සෙට්ල් වේවි බන්ටි.. කොහොම උනත් මේ හැම දෙයක්ම හොද පැත්තට හැරුනෙ ඔයා හින්දා.. ඔයා හරිම හොද යාලුවෙක් බන්ටි.. ඔයා වගේ කෙනෙක් ජීවිතේ ළගින් ඉන්නවා නම් කාටවත් තනිකමක් දැනෙන එකක් නම් නෑ.."

ශලනි කියපු අන්තිම වචන ටික මගේ පපුවටම වැදුනා.. ඒත් බන්ටි කරපු හුගාක් හොද දේවල් වලින් අන්තිමට බන්ටිට ලැබුණෙ නරක විතරයි.. ඒක මේ ලස්සන ගෑනු ළමයා දන්නැති එකනේ වැඩේ..

                                            ****************************

කල්පනා කරන්න හුගාක් දේ තිබුණත්, මගේ හිත ඒ කල්පනාවල් ගැන මුකුත්ම හිතුවෙ නෑ.. සරිගමයලා, අමිලලා, බින්දුවට ගැහුවද දන්නෙත් නෑ.. බින්දුවගෙ ජරා කතා වලට මං ඉවසුවත් අමිල ඉවසන්නෑ කියලා මට ෂුවර්.. අමිල වලියකට පැටලෙනවා කියන්නෙ අනිවා රවීනුත් පැටලෙනවා.. එහෙම උනොත් මේ කොහේවත් යන ප්‍රේම කතාවක් හින්දා හොදට හිටපු කොල්ලො සෙට් එක සී සී කඩ යන එක නවත්තන්න කාටවත් බෑ..

වෙනද එකපාරටම මං චැලිය තාර පාරෙන් වැලි පාරට දාන්නෙ වටපිට බලන්නැතුව.. ඒක හරියට වැලෙන්ටිනෝ රෝසි යන ස්පීඩ් එකෙන්ම බෙන්ඩ් එක ගන්නවා වගේ වැඩක් කියලා හිතින් හිතාගෙනයි මං මෙච්චර දවසක්, චැලිය තාර පාරෙන් වැලි පාරට දැම්මේ.. ඒත් අද මට මහා මොකක්දෝ ලොකු තනිකමක් දැනුණා.. ඒ බේන්ට එ ගනිද්දිම.. ඒකයි මං බෙන්ඩ් එක මැදදිම චැලිය කකුල් දෙක බිම ගහලා නවත්ත ගත්තේ.. 

ඊට ඩිංගක් උඩින් තිබ්බෙ මොරීන් අක්කගෙ ගෙදර.. වෙනදට වෙලාවක් කලාවක් නැතුව එයා මේ බෝක්කු පඩිය උඩට වෙලා, ඔහේ බලාන ඉන්නවා.. හැමදාම මට එයා විහිලුවක් උනත්, මොරීන් අක්කා නැතුව ගෙවිල ගියපු මේ දවස් කන්දරාව මට මහා පාලුවක් ගෙනාවා.. සමහර විට මට ඉස්සෙල්ලා දැනුණ තනිකම ඒ පාලුවේම කොටසක් වෙන්නැති.. මේ වෙලාවෙ මොරීන් අක්කවත් හිටියා නම්..

"බන්ටි.."

ගේට්ටුවෙන් චැලිය ඇතුළට දාන්න හම්බවුණේ නෑ.. ගේට්ටු කණුව ගාව ඉදලා අයියා මුතුවුණා.. මේකා මොකද මේ කවදාවත් නැතුවය හොරා පොලිස් සෙල්ලම් කරන්නේ..? මට කිසි දෙයක් හිතාගන්න බැරිවුණා..

"ඇයි අයියේ, අද වැඩ නැද්ද..?"

"නෑ.. නෑ.. වැඩ.. ඒත් මං ෂෝට් ලීව් එක් දාලා ගෙදර ආවා.. ඔෆිස් එකේ ඉන්නත් බෑ.. ඔලුව බරයි.."

නොන්ස්ටොප් යන බඩේ අමාරුවක් හැදුණත් නිවාඩු ගන්නැති එකා, මෙන්න බොලේ අද ෂෝට් ලීව් දාලා.. ඒ කියන්නෙ මොකක් හරි කක්කා පැකට් එකක් ගාවගෙන වගේ..

"ඔලුව බර නම් ගහන්න අයියෙ හොද වෙනිවැල් ගැට, කොත්තමල්ලි කෝප්පයක්.. වැඩේ නිට්ටාවටම සුවයි.."

"ඒ මගුල බිව්වට මේක ඇරෙන්නෑ බන්ටි.."

එව්වා මෙව්වා බිව්වට ඒක ඇරෙන්නැත්නම් අම්මපා ඕක හිතේ ලෙඩක්.. ආය වෙන දෙයක් නෙමෙයි.. මේකට හිටපු ගමන් ආපු හිතේ ලෙඩේ මොකක්ද..? අර කලිනුත් පාරක් කෙල්ලෙකුට බෙහෙත් අරන් දෙන්න ගිහින්, අතින් කයිට් කරගත්තෙ.. අන්න ඒ වගේ අල ගෙඩියක් වත් වෙන්නැති..

"ඒක නෙමේ බන්ටි.."

අයියා කතාව පටන් ගත්තත්, පටන් ගත්තු හැටියෙ මග නතර කරපු හන්දා මං ඒ මූණට එබුණා.. මෙන්න යකෝ ඒ මූණෙ කල්පනා ලෝකයයි.. මං හිතුවා හරි.. මූ මේ තරම් තටමන්නෙ, මොකාක් හරි බාල්දියක් පෙරලගෙන.. අම්මපා ඒකෙ දෙකක් නෑ.. වෙල් වෙද්දු ගාවට ගිහිල්ලා බැරිම තැන දැන් බන්ටි කියන ස්පෙෂලිස්ට් ළගට එන්නැති..

"මොකක්ද ප්‍රශ්නේ..?"

"ප්‍රශ්නෙකුත්ම නෙමේ බන්ටි.."

"එ.. එහෙනම්..?"

"ඔ.. ඔයාගෙ අ. අර යාලුවව හුගාක් දවසකින් දැක්කෙ නෑ නේද..?"

"මොන යාලුවද..?"

මේකා මේ අහන්නෙ නෙත්මි ගැනවත්ද මංදා.. එහෙම උනොත් නම්, ඕන මල ඉලව්වක් වෙන්න ටෙලිෆෝන් නම්බරේ දෙනවා නෙත්මිගේ.. කොහොමටත් නෙත්මි කියලා කියන්නෙ මේකගෙ ඉස් ඉස්සෙල්ලම ට්‍රයි එකනේ.. බන්ටි දන්නැද්ද පහුවුණ දවස්වල නෙත්මි ගැන මේකට තිබ්බ පණුගාය..

"අ.. අර මහත ගර්ල්..?"

"ම.. මහත ගර්ල්..?"

"ඔව්.. ඔව්.. එ.. එයාගෙ නම මොරීන් නේද..?"

හප්පට සිරි... මෙන්න බලාපල්ලකො වැඩේ.. අල වගේද ගෝවා.. කංකුන් වගේද රාබු.. මට මුකුත් කියාගන්න බැරිවුණා.. මේකට මොරීන් අක්කව පේන්න බැරිවනේ හිටියේ.. 

"ඔව්.. මොරීන් තමයි.. ඇයි එයා ඔයාට ආයෙත් කරදර කලාද..?"

"අයියෝ නෑ බන්ටි.. මං ඒ ඉස්සර කෑගැහුවට එයා මට කරදර කලේ නෑ.. එයා හුග දවසකින් දැක්කෙ නැති නිසයි මං මේ ඔයාගෙන් ඇහුවේ.. ඔයයි, එයයි ගජ යාලුවොනේ.. මං දැක්කා එයාගෙ ගේත් වහලා දාලා තියෙනවා.."

ඔව්.. ඔව්.. මායි මොරීන් අක්කයි මලට වැලසේ තමයි හිටියේ.. ඒත් ඉතිං මොරීන් අක්කගෙ අති උතුම් ප්‍රේම කතාව හින්දා එයා නුවර දාලා ගියානේ..

"එයා දැන් මෙහේ නෑ අයියේ.."

"මොනවා..? මෙහේ නෑ.. ඇයි ඒ..? එයා කොහේ හරි ගිහින්ද..? එයාට මුකුත් ප්‍රශ්නයක්ද..? ඇයි ඔයා, මට ඒ ගැන කිව්වෙ නැත්තේ..?"

අම්මප මූට විසබීජයක්වත් පෑගිලද මංදා.. ඔය අපු ප්‍රශ්න තොගේට මං කොහොමද උත්තර දෙන්නේ..? අනිත් එක මේ හිටපු ගමන්, මොරීන් අක්කා ගැන මූට හැදිච්ච කක්කා බර මොකක්ද..? 

"කියන්න ඉතිං, ඔයා ඇහුවෙ නෑනෙ.."

"හරි.. හරි.. බන්ටි.. මගේ හොද කොල්ලා වගේ කියනවකො එයාට මොකද උනේ කියලා.."

අඩෙ අප්පා.. මුගේ බටර් පාරෙ සැර.. හොද කොල්ලා වගේ කියන්නලු.. මං ටිකක් සෝක ජනක මූණක් මවාගත්තා..  මං දන්නවා මේ මූණ දැක්කම කාටවත් බත් කන්න බෑ කියලා.. අඩන එකෙක් නම් පෙරලි පෙරලි අඩනවා කියලා.. 

"ඔයා දන්නවනේ අයියේ.. මොරීන් අක්කා ඔයාගෙ පස්සෙන් ආවා කියලා.."

"ඔව්.. ඉතිං..?"

"ඒත් ඔයා, එයාව ගණන් ගත්තෙවත් නෑනේ.."

"ගණන් නොගත්තෙමත් නෑ බන්ටි.. එයා අර බෝක්කුව ගාව ඉද්දි පස්සෙ පස්සෙ මං එයත් එක්ක හිනා උනානේ.."

"ඕවා මේවා මං දන්නෑ.. කොහොම හරි තව දුරටත් ඔයා ගැන බලාපොරොත්තු තියන් ඉදලා වැඩක් නෑ කියලා එයාට තේරිලා.. ඒකයි මේ හැම දෙයක්ම දාලා එයා කොළඹ ගියේ.."

"ඔයා නම් හරිම කැතයි බන්ටි.."

"ඇයි..?"

"ඇයි තමයි.. ඔය තරම් දේවල් දැනගෙනත් ඔයා. මට කිසි දෙයක් කිව්වෙ නෑනේ.. ඇයි බන්ටි මට එහෙම කලේ..?"

ඔන්න බලපංකො මුගේ අමුනුස්ස කතාවෙ හැටි.. මං හැමදේම දැනගෙන මූට කිව්වෙ නෑල්ලු.. අම්මපා ළග පාතක පොලු කෑල්ලක් හරි තිබ්බ නම් මං මේකට ගහන්නෙ අයියා කියලා බලන්නැතුව..

"මං ඔයාට කිසි දෙයක් කරේ නෑ.. මොරීන් අක්ක මහත වැඩියි කියලා, ඔයාමයි එයාව නෝන්ඩි කරලා කතා කලේ.. මොරීන් අක්කා මළ වදයක් කිව්වෙත් ඔයාමයි.. මොරීන් අක්ක පාරට වෙලා ඇස් රිදෙන කල්, ඔයා එනකල් බලන් ඉද්දි එයාව මගෑරලා හොරෙන්ම ඔෆිස් ගියේ මම නෙමෙයි ඔයා.."

"ඔ.. ඔය ඔක්කොම හරි බන්ටි.. මං එහෙම කලා තමයි.. ඒත්.. ඒත්.. එයා පේන්න නැති උනාම හරි පාලුයි නේද..?"

"ඒක නම් ඇත්ත.. ඔයාට කෙසේ වෙතත් මට නම් පාළුයි.. මොකද මේ ගෙදරින් පිට මට විහිලුවක්වත් කරන්න උනත් හිටියෙ එයා විතරයි.."

"ඔයා මොරීන්ට කැමතිද බන්ටි..?"

"ඔව්.. අමුතුවෙන් කැමති වෙන්න දෙයක් නෑ.. මං ඉස්සර ඉදලම එයාට කැමතියි.."

එතන ඉදලා අයියා වචනයක්වත් කතා නොකර අමුනුස්සයෙක් වගේ ගේ ඇතුළට ගියා.. බලන් ගියාම දුකත් හිතෙනවා අප්පා.. ඒත් ඉතිං මොනවා කරන්නද..? මෙච්චර යසට ටයිල් අල්ලලා, ඇලුමිනියම් ෂවර් දාලා, හොට් වෝටර් සෙට් හයි කරලා තියෙද්දි, පල්ලෙහා කුණු කාණුවෙන් කැත නැතුව ඇදගෙන නෑවෙ අපේ අයියනෙ.. ඒකට මොරීන් අක්කවත්, මමවත් පළි නෑ.. හැබැයි ඉතිං එක වෙලාවකට බන්ටිට හිතෙනවා මොරීන් අක්කා ගත්තු ක්‍රියා මාර්ගය හරි කියලා..

තමන් නැති දුක, පාලුව, අනිත් කෙනාට දැනෙන්න නම්, තමන් එතනින් ඈත් වෙලා යන්න ඕන.. මෙච්චර දවසක් පස්සෙන් ආපු එකා හිටගෙන බ්‍රේක් ගහලා නතර උනාම, ඔන්න ඉස්සරහින් ගණන් දාගනෙ ගියපු එකාට කොකු පණු ගාය හැදෙනවා.. ඊට පස්සෙ ඌ බලනවා මොකක්ද අප්පෙ මගේ පස්සෙන් මේකා එන්නැත්තෙ කියලා.. පස්සෙ, ඉස්සරහින් ගියපු එකා හැම රෙද්දම පැත්තකින් තියලා ආපස්සට එන්න ගන්නවා.. ඕකද මං ආදරේ කියන්නේ..? පිස්සුද, ඕක කොහෙමද ආදරේ වෙන්නේ..? ඕකට කියන්නෙ ස්වභාව ධර්මය කියලනේ.. තව ඕනනම් කියතෑකි කළ කම් පළදේ කියලා..



                                                           

No comments:

Post a Comment