Sunday, April 15, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






පහුවෙනිදා උදේ අට වෙන්නත් කලින්ම මං ගෙදරින් පැන්නා.. නැතුව බෑනේ.. නෙත්මි කීයට කඩන් පාත්වෙයිද කියලා කවුද දන්නේ..? එයා එන වෙලාවෙ, මං ගෙදර හිටියා කියන්නෙ, සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කියලා කියනෙකනේ.. ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා, මෙලෝ සිහියක් නැතුව මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. හැබෑට, පහුගිය දවස් ටිකේම මං මොරීන් අක්කව දැක්කෙ නෑනේ.. වෙනදට නම් හැමදාම ඔය මනුස්සයව උදේට දැකලම මට එපාවෙලා.. දැකපු නැති දවසටත් දැක්ක වගේ තමයි.. බලන්න අප්පා.. ඒ තරම් හර්දය වස්තුවෙ එයා තැන්පත් වෙලා..


"හප්පේ.. ඇති යාන්තං.. මං කීයෙ ඉදන්ද මග බලාගෙන ඉන්නේ..?"

මාව දැකපු ගමන් චාමික අතත් උස්සගෙන දුවන් ආවා.. ට්‍රැෆික් සාර්ජන් කෙනෙක් මූව දැක්ක නම්, අම්මපා මේකව ගන්නවා කහ ඉර ගාව හිටෝලා තියන්න..

"හරි.. හරි.. ඩිංගක් ප්‍රමාද උනා තමයි.. කෑනොගහ නැගපං.."

"අපි මේ යන්නෙ කොහෙද ලොකු පුතේ..? ඒ සම්බන්ධයෙන් මාව දැනුවත් කරපං.."

"උඹව අලුතින් දැනුවත් කරන්න දෙයක් නෑ නේ චාමික.. යන්නෙ ශලනිව හම්බවෙන්න.. ඇයි මං මං උඹට ඊයෙ කිව්වේ.. මේ ඩිංගට උඹට ඒක අමතක උනාද..?"

"ඔබට මතක නෑ.. මටත් මතක නෑ.. අපේ බාලවිය.. ඒ වගේ කතාවක්නේ ලොකු පුතේ උඹත් කියන්නේ.."

"ඇයි..?"

"ඇයි අහන්නේ..? අපි ශලනිව හම්බවෙන්න යන එක නෙත්මිට කියන්නැද්ද..? අපි මෙහෙම කරන එක හරිද..?"

ෂිහ්.. මට මේ ගමනත්ට එකතු කරගන්න තිබ්බෙ අමිලයව.. නැත්නම් රවීන්ව.. මූත් එක්ක නම් මෙලෝ දෙයක් කරන්න බෑ.. හැම කරගැටේටම හොම්බ දානවා..

"යන එක හරිද අහන්නේ..? ඇයි බත් කන හරකෝ.. උඹ කියන්නේ, නෙත්මිට කියන්න කියලද අපි ශලනිලහ යනවා කියලා.."

"කිව්වම තියෙන වැරැද්ද මොකක්ද බන්ටි..?"  

"කිසි වැරැද්දක් නෑ.. තියෙන එකම වැරැද්ද තමයි, මං ශලනි එක්ක වචනයක්වත් කතා කරනවට එයා හොදටම අකමැති එක.. උඹ අන්න ඒ දේ තේරුම් ගනිං.."

"ඒක මහ අමුනුස්ස කතාවක්නේ බං.. එයාට ඒකට අකමැති වෙන්න හේතුවක් නෑනේ.. අඩුම ගානේ උඹ, ශලනි එක්ක වචනයක්වත් කතා කරලා නෑනේ.. ඔන්න වැඩිය ඕන්නෑ.. උඹ ශලනිත් එක්ක කොහේ හරි රවුම් ගහල අතටම අහුවුණා නම් කමක් නෑ.."

චාමික කියවන ඒවට දෙන්න තරම් හොද උත්තර මගේ හිතට ආවෙ නෑ.. හැබැයි ඉතිං ඌ කියන්නෙත් ඇත්ත.. මං තාම ශලනිව මූණට මූණ හම්බවෙලාවත් නෑ.. එහෙම තියෙද්දිත් නෙත්මි මට මේ තරම් තහංචි දාන්නෙ ඇයි..?

"මට තේරෙන්නෑ බං.."

"උඹට විතක් නෙමේ ලොකු පුතේ.. මටත් තේරෙන්නෑ.."

"මොනවද..?"

"මොනවද අහන්නේ..? කෙල්ලො කියන ජාතිය,  තඹ සත පහකට ගණන් නොගත්ත අපේ බන්ටි.. චීත්තෙ කෑල්ලක් හන්දා අවුල් වෙලා කියනෙක.."

"පිස්සු කියවන්නෙපා චාමික.."

එතන ඉදලා ෆැෂන් බග් එක පහුවෙනකල්ම, චාමික කට හෙල්ලුවෙ නෑ.. ඌ කතා කෙරුවෙ නැති උනත්, කල්පනා කරනවා කියනෙක මං දැනන් හිටියා.. ඇත්තටම මායි, නෙත්මියි අතරෙ තියෙන්නෙ මොන වගේ දෙයදක්ද කියලා මං කල්පනා කරා.. අපි දෙන්නට, අපි දෙන්නව නොදැක ඉන්න පුළුවන්ද..? අපි, අපිට ආදරෙයිද..? අපි අතරෙ තියෙන්නෙ ක්ෂනිකව ඇතිවෙලා නැතිවෙලා යන මොකක් හරි බැදීමක්ද..?  ඔන්න ඔය වගේ දාහක් දේවල් මගේ ඔලුවට ආවා.. ඒත් ඒ හැම එකක්ම හරි උත්තරේ නෙමෙයි කියන්න මං දැනන් හිටියා..

"මෙතනද තැන..?"

කලින් දවසෙ මායි, නෙත්මියි ඇවිල්ලා චැලිය නතර කරපු තැනම චැලිය නතර කරද්දි චාමික බයික් එකෙන් බැස්සා.. ස්ටෑන්ඩ් එක ගහලා මාත් බහිද්දි, ඌ වටපිටේ සර්ච් කරලත් ඉවරයි..

"බ..න්..ටී.."

"ම්.."

"උඹට හොදටම ෂුවර්ද තැන මෙතන කියලා..?"

"ඔව් බං.. මෙතන තමයි.. නෙත්මියි, මායි එදා ආවෙ මෙතනට තමයි.."

"උඹ මොනවා කිව්වත්, මට නම් හිතෙන්නෙ ලොකු පුතේ, තැන මේක නෙමෙයි කියලා.. බලපංකො තියෙන පාලු මුස්පේන්තු ගතිය.. අවුරුදු ගානකින් සතෙක්වත් ඉදලා නෑ වගේ.."

තාප්පෙට උඩින් එබිලා, මූණත් පුළුටු කරගෙන චාමික කිව්වා.. මූ මේ මොනව කියනවද මංදා.. නෙත්මි මට සීයට සීයක්ම ෂුවර් කරලා පෙන්නුවෙ මේ ගේ තමයි..

"අවුරුදු ගානකින් නම් කවුරුවත් ඉන්නැතුව ඇති තමයි.. ඇයි බං.. ශලනියි, එයාගෙ තාත්තයි අවුරුදු ගානක්ම හිටියෙ රටනේ.. ඔය පුංචි නිවාඩුවකටනේ ඇවිල්ලා තියෙන්නේ.. එයාලා කොහේ හරි ගිහින් ඇති බං.."

තකහනියක්ම ආවත්, අද මෙලෝ වැඩක් වෙන්නෑ කියලා හිතට තේරෙද්දි, ආයෙ කොතනින් මේ වැඩේ පටන් ගන්නවද කියලා මට හිතාගන්න බැරිවුණා..

"කොහේ ගියත් ලොකු, තාත්තයි, දුවයි මෙතන දවසක් හරි ඉදලා තියෙන්න ඕනනේ.. ඒත් මට නම් පේන්නෙ උං විහිලුවකටවත් මෙතන ඉදලා නෑ.."

මූටත් පිස්සු.. ගමන් බිමන් වැඩි, වැඩ රාජකාරි වැඩි මිනිස්සුන්ට අවට පරිසරේ සමාදානයෙන් තියාගන්න වෙලාවක් තියෙනවද..? වැඩිය ඕන්නෑ.. අඩුගානෙ බන්ටිට, තමන්ගෙ කාමරේ පිහිදගන්න කවද නිදහසක් ලැබුණද..?

"මෙතන නැතුව උං වෙල අල ගෙඩියක ඉන්නද..? ඔන්න ඔය ගේට්ටුවවත් හයියෙන් හොලවලා බලපං.."

කියන පරක්කුවට ලොකු පුතා පැනලා ගේට්ටුව හෙලෙව්වා.. යාංතමට මලකඩ කාපු ගේට්ටු පලු දෙක කිරීං, කිරීං ගාලා ඇඹරෙද්දි වටපිටාවෙ පාලුවත්තෙක්ක මහා මූසල ගතියක් මට දැනුණා.. ඒ දැනීම අතරින් මගේ හිත මට කිව්වෙ, ශලනි වගේ කෙල්ලෙක් කීයටවත් මේ වගේ තැනක ඉන්න බෑ කියලා..

"මේක හරියන්නෑ ලොකු පුතේ.. මොකෙක් හරි 119ට කෝල් කරොත් උඹයි, මායි හතරවෙනි තට්ටුවට අරන් යයි.. දෙයියනේ කියලා අපි මෙතනින් යමු.. මේක ඇතුළෙ මෙලෝ හොල්මනක් නෑ.."

තවත් විනාඩි විස්සක් විතර ට්‍රයි කරලා බැරිම තැන ලොකු පුතා මුණ හට්ටිය වගේ කරගත්තා.. ඉතිං හත්තිලව්වේ.. ඕකට මූණ එල්ලගෙන ඉදලා හරියනවද..? වැඩේ අවුල් වෙනවා නම් ෂේප් එකේ මාරුවෙනවා මිසක..

"එහෙනම් යමු ඉතිං.."

නෙත්මි නැතුව මේ වැඩේ කරන්න බෑ කියන සිතුවිල්ල එක්ක මං චැලිය ස්ටාර්ට් කලා.. ඒත්.. එයා ආවත්, මේ වැඩේ කරන්නෙ දාහක් දේ කියව කියව කියලා මං දැනනන් හිටියා.. ලොකු පුතත් වැඩි සද්දයක් නැතුවම චැලියෙ පිටිපස්සෙ වාඩිඋනා.. 

"බ..න්..ටී.."

"ම්.."

"මේක මේ විදියට හරියන්නෑ.."

හරියන්නෑ කියලා මටත් තේරෙනවා.. ඒත් ඉතිං අපට කරන්න දේකුත් නෑනේ.. අඩුම ගානෙ ශලනිගෙ ෆෝන් නම්බර් එකවත් අපි ගාව තියෙනවා නම්..? එහෙනම් වැඩේ අවුලක් නැතුවම ගොඩ දාගන්න තිබුණා..

"බ..බන්ටි අර.."

දාහක් කල්පනා අතරෙ, ගැටඹ පන්සල හරියට එද්දි, ලොකු පුතා එක පාරටම කෑගැහුවා.. මේක නම් කියලවත් කරගන්න බැරි වැඩක්.. හරියට දෙයියො දුන්නා වගේ.. ඇස් දෙක දැකපු දර්ශනේ හින්දා මගේ හිත සංතෝසෙන් පිරුණා.. 

"ඇටකිච්චා නේද..? වරෙන් යමු.."

චැලිය එතනම දාලා, මං කහ ඉර පැන්නා.. ඇටකිච්චා හිටියෙ තවත් සුදු කෙල්ලෙක් එක්ක.. ඌ නිවාඩු පාඩුවේ, නිස්කලංකෙ පන්සල් ඇවිත් වගේ.. එහෙනම් ශලනිව අතෑරලා දාලා මූ යාලු වෙලා ඉන්නෙ මේ කෙල්ල එක්ක වෙන්නැති..

"උගේ අලුත් කෑල්ල තමයි ඔය.."

ලොකු පුතා මගේ කණට කරලා කියද්දි තමයි ඇටකිච්චා මාව දැක්කේ.. ඒ ඇස් දෙක මහා බයකින් වගේ ලොකු වෙනවා මං දැක්කා.. ඒ කියන්නෙ ඌ මාව අදුන ගත්තා කියනෙකනේ.. එදා ගාඩ්න් එකේදි නැව් ගානට කාපු ඒවා ඌට මතක් වෙන්නැති..

"නලින්ද.."

"අ.. අයියේ.."

"මට තමුසෙත් එක්ක ටිකක් කතා කරන්නෝන.."

ළග  හිටපු ගෑනු ළමයගෙ අත තවත් තද කරලා අල්ල ගෙන ඇටකිච්චා මගේ දිහා බැලුවෙ මහා පරාණ බයකින්.. 

"මෙ.. මෙතන කතා කරමු අයියේ.."

"මෙයා හිටියට කමක් නැද්ද..?"

"ක.. කමක් නෑ.."

"ඒක හරියන්නෑ.. අපි ඩිංගක් එහාට යමු.. පන්සල් ඇතුළෙ මේවා කතා කරන්න බෑ.."

ඇටකිච්චා දහ අතේ කල්පනා කරනවා කියලා මට තේරුණා.. ඌ බලනවා ඇති, මේ මරාලෙ මොකක්ද කියලා.. ඇයි අප්පා කලින් පාර ඉස්පිරිතාලෙ ලගින්න ගුටි කෑවෙ මෙහෙම පැත්තකට එක්කං ගිහිල්ලනේ.. මේකත් එහෙම එකක්ද කියලා ඇටකිච්චා හිතනවා ඇති.. ළග  හිටපු ගෑනු ළමයට එහෙම්ම ඉන්න කියලා, ඇටකිච්චා අපි දෙන්නත් එක්ක පාර පැන්නා.. 

"අනේ අයියේ.. මට ගහන්න නම් එපා.."

අත් දෙකෙන්ම මගේ අතක් අල්ලගෙන ඇටකි්චචා කෙදිරි ගෑවා.. මූ මොනවද මේ කියවන්නේ..? බන්ටි ආයෙ ජීවිතේටවත් මූට නෙලනවද අප්පා.. අනික මේ වගේ සීනි බෝල මූණකට..

"ගහන කතාව පැත්තකින් තියමුකෝ.. ඉස්සෙල්ලම මට කියපං කෝ ශලනි කියලා..?"

"ශ..ල..නි..?"

ඇටකිච්චගෙ ඇස් දෙක ආයෙත් ලොකු උනා.. ඌ බලනවා ඇති මොකක්ද මේ අවනඩුව කියලා.. 

"ඔව්.. ඇයි උඹට දැන් ඒ නමත් අමතකද..?"

ඒ පාර පැත්තක ඉදපු ලොකු පුතා මැරයා උනා.. මැරයා නෙමෙයි.. ගදයා හරි වෙන්න බැරිද අප්පා දෙයියො මේ වගේ අවස්ථා දෙනවා නම්.. 

"අනේ අ.. අයියේ.. න.. නම විතරක් නෙමේ.. ම.. මං එයාගෙ මතකයත් අමතක කලා.. ඔ.. ඔයාලට පේනවනේ.. මං දැන් වෙන කෙල්ලෙක් එක්කයි ඉන්නේ.. දෙයි හාමුදුරුවන් පල්ල.. ම.. මං එයා ගැන කිසි දෙයක් දන්නෑ.."

"දන්නැති වෙන්න බෑ.. උඹ අනිවා දන්නවා.."

ඒ පාර ලොකු පුතා, ඇටකිච්චා දන්නැති දෙයක් ඌට කියලා දෙන්න යනවා වගේ.. මෙහෙම ගියොත් වැඩේ අල වෙනවා කියලා මට තේරුණා..

"කිව්වම අහන්නකො බුදු අයියේ.. ම.. මං ඒකි ගැන මෙලෝ දෙයක් දන්නෑ.. මං හැමදේම අමතක කලා.. ඒ.. එදා කාපු ඒවා තාම රිදෙනවා අයියේ.. අයියව දකිනකොටත් මට බඩ රිදෙනවා, රිදෙනවා වගේ.. මං.. මං යන්නද අයියේ..?"

ඇටකිච්චා ලවක් දෙවක් නැතුව බැගෑපත් වෙනවා.. ඔව් ඉතිං.. එදා මං මුගේ යටි බඩටනේ ගැහුවේ..

"යන්න..? කොහෙ යන්නද ඩිංගක් ඔහොට හිටපං.."

"අනේ අයියෙ.. ගහන්න නම් එපා.. කෙල්ලත් බලන් ඉන්නවා.."

"මැරෙන්නැතුව ඉදපං. උඹට ගහනවා නම්, මං මෙච්චර වචන නාස්ති කරන්නෑ.. මට උඹෙන් දෙයක් දැනගන්න තියෙනවා.."

"මො.. මොකක්ද අයියේ..?"

ඇටකිච්චා කලින්ටත් වැඩිය බයවුණා කියලා මට තේරුණා..

"මට, ශලනිගෙ ෆෝන් නම්බර් එක ඕන.."

"ආ.. ඒ.. ඒ.. ඒකද..? දෙන්නම්කො අයියේ.."

ඇටකිච්චගෙ 'ඒ' එක සංතෝසෙ වැඩි කමටද මංදා හුගාක් දික්වුණා.. ඌ හිතන්න ඇත්තේ, අම්බානකට කන්න වේවි කියලා.. මේක නිකං ස්විප් එකක් කියලා ඌට හිතෙන්නැති.. ඇටකිච්චගෙන්, ශලනිගෙ ෆෝන් නම්බර් එක අරගෙන, මායි, චාමිකයි ආපහු හැරුනා.. ඇටකිච්චා පපුව පුරවලා හොද හුස්මක් ගත්තා.. ඒත් ඒ තත්පරේකට විතරයි.. 

"උඹ, ශලනි ඉන්න තැන දන්නවද..?"

මට අහන්න අමතක වෙච්ච එකක් චාමික පටස් ගාලා ඇහුවා.. ඒ ප්‍රශ්නෙ කොයි තරම් වැදගත්ද කියලා මට හිතුණෙ වැරදිලාවත් ෆෝන් නම්බර් එක වැඩ කෙරුවෙ නැත්නම් කියන සිතුවිල්ල හිතට ආවම..

"ඔ.. ඔව්..."

"කොහෙද..?"

"කුණ්ඩසාලේ.."

"කුණ්ඩසාලෙ කොහෙද..?"

ඒ පාර ඇටකිච්චා විදුලි වේගෙන් ඇඩ්‍රස් එක කියවං ගියා.. චාමික, ඌ ගාව තියෙන පුංචි නෝට් බුක් එකේ, ටෙලිෆෝන් නම්බර් එක වගේම, ඇඩ්‍රස් එකත් ලියා ගත්තා..

"එ.. එනෙම් මං යන්නද අයියේ..?"

යන්නද කියලා ඇටකිච්චා ඇහුවේ, පාරෙන් බාගයක් විතර මැදට පැනලා.. අපි ගාවින් ඉවත්වෙන්න, ඌට ඒ තරමටම ලොකු ඕනකමක් තිබිලා.. කතාව ඇත්තනේ අප්පා.. මොකාද දෙවියනේ ගුටිකන්න කැමති..

"ඕ..න්න ලොකු පුතේ.. දෙන දෙයියො කැත නැතුවම දෙන එක දීලා තියෙනවා.. අත් දෙක උඩටම.. දැන් ඉතිං උඹට මාර්ගය සදාකාලිකව විවෘත වෙලා තියෙනවා.. අවුලක් නැතුව යන්නයි තියෙන්නේ.."

"සදාකාලිකව කිව්වේ..?"

වෙලාවකට චාමිකගෙ කතා තේරුම් ගන්න, පුරා විද්‍යා කොමසාරිස්තුමා ගේන්න ඕන.. ඒ තරම් අවිනිශ්චිතයි..

"සදාකාලිකව කිව්වේ, සදාකාලයටම බන්ටි.. දැන් කතාවෙ වැඩක් නෑ.. අපි මේ නම්බර් එකට, නමෝ විත්තියෙන් කතා කරමු.."

හැමදේටම කලින් චාමික කියපු දේ කරන්න මාත් හිතාගෙනයි හිටියේ.. අනික තවත් බල බලා ඉන්න තරමෙ කාලයකුත් තිබ්බෙ නෑ.. ශලනියි, තාත්තයි ආපහු රට යන්න කලින්, මේ හැමදේම ඉවර කරලා දාන්න ලොකු උවමනාවක් මට තිබුණා.. බින්දු උනත් ඔය තරම් උඩ පැන්නෙ මං මේක බාරගත්තු හන්දනේ.. ඒත් මේකෙන් අන්තිමේදි කාට කාටත් හොදක් උනොත්, බින්දු උනත් උගේ කැත හිත පැත්තකින් තියලා හොද විදියට හිතාවි කියලා මට හිතුණා..

ඇටකිච්චගෙන් ඉල්ල ගත්තු නම්බරේ ඩයල් කරද්දි උනත්, මේක රින්ග්ස් යාවි කියලා විශ්වාසයක් මට තිබ්බෙ නෑ.. මොකද මේ තරම් ලේසියෙන් ශලනි ගැන තොරතුරක් මට ලැබේවි කියලා මමවත් හිතලා තිබුණෙ නෑ.. දැන් ඉතිං ෆෝන් එක වැඩ කරා උනත්, නැති උනත් ශලනි ඉන්න තැන ඇඩ්‍රස් එක බන්ටි දන්නවනේ.. ඒ හොදටම ඇති..

"හෙ..ලෝ.."

ඇත්තටම ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුණු ඒ සද්දෙ වචන හුගාක් හෙමීට පාවිච්චි කරන කෙනෙක්ගේ.. හරිම ස්වීට් වොයිස් එකක්..

"මට, ශලනිට කතා කරන්න පුළුවන්ද..?"

"මේ කතා කරන්නෙ ශලනි තමයි.. ඔයා කවුද..?"

"මං කවුද කියලා නම් මේ කතාවට වැදගත් වෙන්නෑ.. මං, ඔයාට කතා කෙරුවෙ පුංචි ආරංචියක් දෙන්න.."

"ඒ මොකක්ද..?"

"ඔයා, නිරෝෂිව දන්නවද..?"

"නිරෝෂි කියලා කිව්වේ..?"

කෙල්ල එහා පැත්තෙන් ම්.. ම්.. ගගා කල්පනා කරන  හඩ මට ඇහුණා.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා..? තමන්ගෙ සහෝදරීගෙ නම අමතක මොන සහෝදරීටද..? කෙල්ල මාව අන්දන්නවත් හදනවද..? 

"නිරෝෂි කියලා කිව්වේ, ඔයාගෙ අනිත් නිවුන්නට.. දැන්වත් මතකද..?"

"ඕ.. මගේ දෙයියනේ.. නිරෝෂි ගැනද ඔයා කිව්වේ..? ඇත්තටම මට ඒ ගැන කල්පනා උනේම නෑ.. ඉතිං මොකක්ද ඔයාගෙ ආරංචිය..?"

"ආරංචිය කියන්න කලින් මට කියන්න, ඔයා දැන්මම ලංකාවෙන් පිටවෙනවද කියලා.."

"ඒ කියන්නේ..?"

"ඔයාගෙ වීසා ඉවර වෙන්න ළගද..?"

"ආ.. නෑ.. නෑ.. මට එහෙම ප්‍රශ්නයක් නෑ.. ඕන කාලයක් ලංකාවෙ ඉන්න පුළුවන්.. ඒක නෙමෙයි.. ඔයා, මං ගැන හුගාක් දේවල් දන්න පාටයි.. ඇත්තටම ඔයා කවුද..?"

"මං කලිනුත් කිව්වනේ, මං කවුද කියලා මෙතෙන්ට අදාල නෑ කියලා.."

"අදාල නැත්නම් ඔයා කතා කරන්නෙ ඇයි..? ඔයා මේ පෙනී හිටින්නෙ කවුරු වෙනුවෙන්ද..?"

"මං පෙනී හිටින්නෙ නිරෝෂි වෙනුවෙන්.."

"ඒ කියන්නෙ ඔයා තමයි නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්..?"

"ඔයා කැමති දෙයක් හිතාගන්න.. ඔයා ඇහුවනේ ආරංචිය මොකක්ද කියලා.. ආරංචිය තමයි, නිරෝෂි කැමැත්තෙන් ඉන්නවා ඔයාව හම්බවෙන්න.. ඔයා මොකද කියන්නේ..?"

"දෙ.. දෙයියනේ.."

"ඇ.. ඇයි..?"

කෙල්ල හොදටම බය උනා කියලා මට තේරුණා.. ඒත්.. එයා බයවෙන්නෙ කාටද..? මොන දේකටද..? මට හිතාගන්න බැරිවුණා..

"ඇ.. ඇයි ශලනි.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

"තා.. තාත්තා ආවා.. ඔ.. ඔයා මට පස්සෙ ගන්න.."

"ආයෙ පස්සක් නෑ.. වැඩි විස්තර කියන්න හෙට දහයට ගැටඹෙ පන්සල ගාවට එන්න.. මං තියනවා.."

මං තියන්නත් කලින් එහා පැත්තෙන් ෆෝන් එක තියන සද්දෙ මට ඇහුණා.. බලන් ගියාම, මේ කෙල්ල තාත්තට පට්ට බයයිනේ.. මොනව උනත් අන්තිමට මං කියපු දේවල් ඇහිලා තිබුණ නම් අවුලක් නෑ.. එහෙම උනොත් ශලනි ගැටඹෙ පන්සල ළගට එයිනේ..

"මොකද දෝසි කැටේ කියන්නේ..?"

ෆෝන් එක තිබ්බා විතරයි චාමික මගේ මූණට එබුණා.. 

"වැඩිය කතා කරන්න උන්නෑ.. ශලනිගෙ තාත්තා කඩන් පාත් උනා.. මොනව උනත් හෙට උදේ දහයට මං එයාට එළියට එන්න කිව්වා.. ඊට පස්සෙ තමා ඉතුරු හරිය බලාගන්න තියෙන්නේ.."

"පස්සෙන් තියා ඉස්සරහින් තියාගෙන බලා ගත්තත් කමක් නෑ.. හැබැයි ඉතිං මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතේ.. කිසි එකගතාවයක් නෑ වැඩේ නම්.."

"ඒ මොකක්ද..?"

"නෙත්මි අපට ලොකු බොරුවක් කරා ලොකු පුතේ.."

"බොරුවක්.."

"ඔව්.. අපිට, එයා කිව්වෙ ශලනි ඉන්නෙ වෙන කොහේවත් කියලනේ.. දැන් ටිකකට කලින් ඇටකිච්චා අපට දුන්නෙ කුණ්ඩසාලෙ ඇඩ්‍රස් එකක් නේ.."

චාමික කිව්වෙ සීයට දෙසීයක්ම ඇත්ත.. ඌ කියනකල්, මේ බන්ටිගෙ ඔලු ගෙඩිය මැදට, ඔය කතන්දරේ අහු වුණේ නෑ කියනෙක විශ්වාස කරන්නත් බෑ අප්පා.. එහෙනම් ඉතිං නෙත්මි මගෙත් එක්ක ශලනිව හොයන්න ආවෙ බොරුවටද..? එතකොට අපි අර කලුපාට යකඩ ගේට්ටුවට තඩි බබා, ශලනිට කතා කරේ ශලනි පැත්ත පළාතකවත් නැති තැනකට ගිහිල්ලද..?

"ඇයි චාමික, නෙත්මි ඒ වගේ බොරුවක් කලේ..? මායි, නෙත්මියි එදා ශලනිව හොයන්න ගිහින් පැය දෙකකටත් වැඩිය රවුම් ගැහුවා.. ඒ කියන්නෙ ඒ මුළු ගමනම මහා බොරුවක් කියලද..? ඒ පැය ගාන පුරාම නෙත්මි, මාව ඇන්දුව කියනෙකද..?"

"මටත් හිතාගන්න බැරි එකම දේ ඒක තමයි ලොකු පුතේ.. අම්මපා මේ කෙල්ලො කියන ජාතිය නම් සත පහකටවත් විශ්වාස කරන්න පුළුවන් ඈයො නෙමෙයි.. හරියට නිකං බඩ සුද්ධ වෙන්න බෙහෙත් බීලා වගේ, ලස්සනට බලන් ඉන්නවා, බඩ යනකන්ම කවුරුවත් දන්නෑ.."

ඔක්කොම හරි.. ලොකු පුතාගෙ ගද ගහන එග්සාම්පල් තමයි මට දිරවන්නැත්තේ..

"වැඩේ කියන්නෙ චාමික.. ඇටකිච්චා, ශලනිගෙ ඇඩ්‍රස් එක කියලත් මට ඔය ගැන හිතුන්නෑනෙ..  ඒ කියන්නෙ මං කොයි තරමක් නෙත්මිව විශ්වාස කරනව කියලද..? ෂිහ්.."

ඇත්තටම මට ආවෙ මං ගැන කේන්තියක්.. මොනව උනත් නෙත්මි මට මේ හැමදේම කරේ මං ගැන, එයාගෙ හිතේ තියෙන ආදරේ හින්දා කියන දේ පිළිගන්න මගේ හිත කැමති උනේ නෑ.. කෙනෙක්ව රවට්ට, රවට්ට ආදරේ කරන්නෙ, හිතේ තියෙන සැක කමට මිසක් වෙන දේකට නෙමෙයි..

"හැබැයි බන්ටි.. මෙහෙම දේකුත් තියෙනවා.."

"ඒ මොකක්ද..?"

"ඇටකිච්චා අපිට කිව්වෙ බොරු එඩ්‍රස් එකක් නම්..?"

"එහෙම වෙන්න බෑ චාමික.. ඌ දිපූ ටෙලිෆෝන් නම්බරේ හරිනේ.. එහෙනම් එඩ්‍රස් එකත් හරියන්නම ඕන.. අනික ඇටකිච්චට බොරුවක් කීමේ අවශ්‍යතාවක් නෑ.. ඌ දැන් ශලනිව අතෑරලා දාලනේ ඉන්නේ.. මං නෙත්මිගෙන්ම මේක දැනගන්නම්කෝ.. එතකොට කතාව ඉවරනේ.."

චාමිකව, මගින් දාලා එන ගමනුත් මං කල්පනා කලේ නෙත්මි ඇයි මට බොරු කිව්වෙ කියලා.. මගේ මූණ දිහා බලාගෙන එයාට ඒ තරම් ලොකු බොරුවක් කරන්න ශක්තියක් තිබුණෙ කොහොමද කියලා.. අනික විනාඩියක් දෙකක් නෙමෙයි පැය ගානක්..

"මොකෝ මේ.. මූණ නරක් කරගෙන..?"

ගෙට ගොඩවෙන්න හම්බ වුණේ නෑ.. අක්කා මගේ ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකල් මහා අමුතු විදියට බැලුවා..

"නරක් වෙන්න, මේක අඹ ගෙඩියක්ද අක්කේ..?"

"ඒක නෙමේ.. මං ඔයාව අද හම්බවෙන්නයි හිටියේ.."

"ඇයි අක්කේ..?"

"ඔයා, නෙත්මිගෙන් තෑගි ගත්තා නේද..?"

"නෑ.."

"නැත්තෙ නෑ.. අර ෆෝන් එක ඔයාට දුන්නෙ නෙත්මි නේද..?"

ඔන්න බලපංකො වැඩේ හැටි.. අක්කා සහසුද්දෙන්ම දන්නවා වගේ, ෆෝන් එක නෙත්මි මට දුන්නා කියලා.. ඒත් එහෙම වෙන්නෙ කොහොමද අප්පා.. මායි, නෙත්මියි මොන තරම් රහසිගතව පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකින් පස්සෙද මේක මට ලැබුණේ.. අක්කා මේ පැත්තක ඉදන් කටත් බලිය වගේ කරන් බිං ඌරෙක් වගේ හිටියට ඕවා දන්න එකක්යෑ.. එනවා මෙතන ෆෝන් ගැන අහන්න..

"ඔයා කොහොමද එහෙම කියන්නේ..?"

"කියන්නෙද..? නෙත්මියි, මමයි ගිහිල්ලා ඕක ගත්ත නිසා.."

අක්කගෙ කතාවට මට හීන් දාඩිය දැම්මා.. එහෙම දේකුත් සිද්ධ වෙලාද..? කලින් කියන්නෙපැයි දෙයිනේ.. 

"හැබැයි කෙල්ලගෙත් හොර කම කියන්නේ, ඔය ෆෝන් එක ගත්තෙ කාටද කියලා මට කිව්වෙ නෑ.."

"ඕක තමා අක්කෙ කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.. කොහෙද ඉතිං අපි වගේ වැදගත් පුද්ගලයො කියන දේවල් ඔයාල අහන්නෙ නෑනේ.."

තවත් මොනවදෝ කියන්න අක්කා කට හැදුවත්, මං තත්පරේට දෙකට පඩිපෙල නැංගා.. කියාගන්න බැරිවුණ සබ්බසකලෙම බදාගෙන, අක්කා ඉණට අත්දෙකත් ගහගත්තා.. එයාට නිකං ජෙලස් වගේ ඇති අප්පා.. ඇයි ඉතිං.. නෙත්මිත් එක්ක පැය ගාණක් ඇවිදලා තොරලගනිපු අල ගෙඩිය මගේ අතේ තියෙනකොට.. අම්මපා.. ඔව් ඕයි.. අල වගේද ගෝවා කියලා එයාට හිතෙන්නැති..



No comments:

Post a Comment