Sunday, April 15, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






"බේබි නැන්දේ.. මුකුත් කන්න නැද්දෝ..?"

මං ගෙට ගොඩ උනේ කුස්සිය පැත්තෙන්.. අම්මප යක්කු දෙන්නෙකුයි, තව පොඩි එකෙකුයි කන්න තරමට බඩගිනියි.. උදේටත් ඒ තරම් හොදට කන්න බැරි උනානේ..

"කන්න නම් ඕන තරම් දේවල් තියෙනවා.."


දැන් ටිකකට කලින් තම්බපු අල වගයක් සුද්ධ කරන ගමන් බේබි නැන්දා කිව්වා.. මොකක්ද යකෝ ඒ කඩප්පුලි කතාව.. කන්න ඕන තරම් දේවල් තියෙනවා කියන්නෙ, අද මොකක් හරි එනවවත්ද..?

"මේ තම්බපු අල ටිකද..?"

"ඔව්.. බන්ටි මහත්තයා කැමති නම් කන්න.."

"බේබි නැන්දෙ මේ.. පිස්සු නටන්නැතුව කියන්නකෝ.. වෙනදට අල කිරි හොදි හදන ගෙදර, අල බදින්න ලෑස්ති කරලා තියෙන්නෙ ඇයි කියලා.. කවුද අද කෑමට එන්නේ..?"

ටයිල් කරපු කුස්සියෙ මේසෙ උඩින් තියලා තිබුණු කුකුල් මස් ගාත් දෙක දිහා බලන ගමනං මං ඇහුවා..

"බන්ටි මහත්තයට නම් අර කාටද වගේ ඉව තියෙනවා.. ඒත් ඉතිං එන කෙනා එන්න දෙයක් නෑ.. ඇවිල්ලයි තියෙන්නේ.."

"කවුද බේබි නැන්දේ..?"

"අර බන්ටි මහත්තයා බොරු කිව්ව ගෑනු ළමයා.."

බේබි නැන්දා ලාවට වගේ  හිනාවෙලා කියද්දි මගේ බඩ පපුව දාලා ගියා.. දෙයියන්ට ඔප්පු වේචචාවි.. එතකොට මේ ඇවිත් තියෙන්නෙ නෙත්මිවත්ද..? එහෙම උනොත් නම් සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුයි කියලා තමයි බන්ටිට හිතන්න වෙන්නෙ.. දැන් කොහොමද නෙත්මිව මගාරින්නේ..?

"ඔය ඇත්තමද..?"

"මං කවදාවත් බේබි මහත්තයට බොරුවක් කියලා තියෙනවද..?"

ඒකත් ඇත්ත තමා.. බේබි නැන්දා කිව්ව තරමක් කිව්වෙ ඇත්තනේ.. බන්ටිනේ පච හිල උනේ.. තවත් බලන්න දෙයක් නෑ.. කෑම එක ෂේප් එකේ උඩ කාමරේට එවන්න කියලා මං හෙමින් සීරුවෙ පඩිපෙල නැග්ගා.. මේ හැංගි මුත්තම නම් ලේසියෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි වගේ.ඤ. මේකෙන් කොයි වෙලාවෙ හරි බන්ටි වලකජ්ජ ගහනවා..

කාමරේට ආපු ගමන් මං නෙත්මි දීපු හෑන්ඩ් ෆෝන් එක අතට ගත්තා. තවත් මිස්ඩ් කෝල් අසූ තුනක් ඒ ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබුණා.. ඒ හැම කෝල් එකක්ම දීලා තිබුණෙ නෙත්මි.. මේ කෙල්ලට නම් පිස්සුද කොහෙද.. කෝකටත් කියලා මං කාමරේ දොරත් වහලා බැල්කනියට ඇවිත්, නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා..

"දෙයියනේ රන්දික.. මං ඔයාට කොච්චර නම් ෆෝන් කලාද../ ඔ්‍ය ෆෝන් එක තියෙන්නෙ ඔයා ළග නෙමෙයිද..? ඇ.. ඇයි රන්දික ඔයා මට මෙහෙම කරන්නේ..?"

පිස්සු හැදෙනවා.. සතුටු සාමිචි මෙලෝ දෙයක් නෑ.. මෙන්න තොරණෙ විස්තරේ කෙලින්ම ප්‍රශ්න පත්තරේට දාලා.. දැන් ඉතිං නොනගතේ වෙලාවෙ තරහකාරයෙක්ගෙ ගෙදරට කියා වගේ තමා..

"මං ඔයාට මුකුත් කලේ නෑ.. ඔයා මොනවද මේ කියන්නේ..?"

"ඔව්.. ඔයා මට ශාරීරිකව මුකුත් කලේ නෑ තමයි.. ඒත් ඔයා මාව මානසික අතින් සෑහෙන්න පහළට තල්ලු කරලා දැම්මා.. අඩුගානෙ ඔයා මං ඉන්නවද, මැරුනද කියලවත් බැලුවද..? ඔයා.. ඔයා දන්නවද රන්දික.. බල්ලෙකුට බත් ටිකක් දැම්මොත් ඌ නැට්ට හරි වනනවා.. ඔයා ඊටත් වඩා පහත් විදියටයි හැසිරෙන්නේ.."

ඒ කියන්නෙ බන්ටි, බල්ලෙක් කියලද මේ නෙත්මි නොකියා කියන්නෙ.. එයා ගොරෝසු හඩින් වචන පැටලි පැටලි කියපු ඒ කතාව, බන්ටිගෙ බොක්ක පලාගෙන ඇතුළටම ගියා.. මොන කරම් කඩප්පුලි කතාවක්ද..? මේ වගේ කතාවක් අහන්න තරමෙ වැරැද්දක් බන්ටිගෙ අතින් උනාද..? නෙත්මිටම තව තවත් කියවන්න දීලා තවදුරටත්  නිහඩ වෙන්න මං තීරණේ කළා.. එයාගෙ හිතේ වේදනාවක්  හරි, ඒ හා සමාන වෙන දෙයක් හරි තියෙනවා නම්, ඔහේ පිට කරලා ඇරපුවාවේ.. ඒත් ඒ වේදනාවට බන්ටි පළිද..?

"ඔ.. ඔයාට යුතුකමක් තිබුණා රන්දික.. මට කෝල් එකක් දෙන්න.. ඔයා මගෙත් එක්ක කතා කරන්න අකමැති නම් ඒකත් කෙලින්ම කියන්න තිබුණා.. එහෙම නැතුව මාව දවස ගානෙ පුච්ච පුච්ච සත පහකටවත් ගණන් ගන්නැතුව හිටියෙ ඇයි..? මට මෙහෙම කරන්න, මං ඔයාට කරපු වරද මොකක්ද..?"

'තවත් කියවන්නෙපා' කියලා අක්කා, නෙත්මිට කියන සද්දෙ ඒ කතාබහ අතරින් මට ඇහුණා.. නෙත්මිට කොහොම උනත් අක්කට තේරෙන්නැති මට තවත් මේවා දරාගන්න බෑ කියලා..

"ඔ.. ඔයාගෙ හුගක් දේවල් මං දැන ගත්තම මං ඔයාට අනුකම්පා කරා.. ඔයා ගැන හුගාක් හිතුවා.. ඔයා කන්නෙ කොහොමද..? ඔයා ජීවත් වෙන්නෙ කොහොමද..? ඔයාට සල්ලි තියෙනවද..? ඔය හැමදේම මං කල්පනා කලා.. ඒ වගේ කල්පනා කරපු මට ඔයා දුන්නු තෑග්ග නම් ඉස්තරම් රන්දික.."

තවත් නම් කට පියන් හිටියොත් බන්ටිට සොරිම තමා.. ඒක හන්දා මං කතාව පටන් ගත්තා..

"ඔයාට මං හින්දා හිතේ අමාරුවක්, කරදරයක් උනා නම් මං අවංකවම ගණගාටු වෙනවා.. මට වෙලා තියෙන්නෙ මොකක්ද..? මට උනේ මොනවද කියලා කියන්න නොදී ඔයාගෙ සබ්බ සකලෙම කිව්වම එක ගැනත් මං ඔයාට ස්තුති වන්ත වෙනවා.."

"මට.. මට ඔයාගෙ කණගාටුවෙන්වත්, අවංකකමෙන්වත්, ස්තුතියෙන්වත් වැඩක් නෑ.. ඒවා ඔයාම තියාගන්න.. මීට පස්සෙවත් කතාවෙන් වගේම වැඩ වලිනුත් හරි විදියට වැඩ කරන්න බලන්න.. ඔයාට මුකුත් ප්‍රශ්නයක් නම්, ඒක ෆෝන් කරලා මට කියන්න තිබුණා.. එහෙම නැතුවය මගේ හිත පුච්චන්න, බිංකුණ්ඩෙක් වගේ හැංගිලා ඉන්නෙක වීරකමක් නෙමෙයි.."

"නෙත්මි.. ප්ලීස්.. ඔය කතාව නවත්තන්න.."

පිස්සුවෙන් වගේ නෙත්මි කියවගෙන යද්දි ඒ අතරින් මට අක්කගෙ කටහඩ ආයෙම ඇහුණා..

"නෑ.. නෑ.. සමුදි.. මට මේක මෙයත් එක්ක අද බේරගන්නම ඕන.. ම.. මං විදවන තරම දන්නෙ මං විතරයි.. ඒ.. ඒක ඔයාවත් දන්නවද..? සමුදි.. ඇත්තමයි මට.. මට දැන් පිස්සු වගේ.. ම.. මං කියන්නෙ මොනවද කියලවත් මට තේරෙන්නෑ.."

"ඔයා, ඔය කොහෙද ඉන්නේ..?"

කතාව ගලාගෙන ගිය පැත්ත ඒ තරම් හොද නැති හින්දා මං වෙන පැත්තකට හැරෙව්වා..

"ඔයාගෙ අම්මා ඉන්න තැන.. එතන ඉදනුයි මං මේ කතා කරන්නේ.. ඔයා කොහෙද ඉන්නේ.."

මං ඉන්නෙ නම්, ඔයා ඉන්න තැනට අඩි පහළොවක් විතර උඩින් කියලා ඔයා දන්නවා නම්, ඔයාගෙ පිස්සුව තවත් වැඩිවෙනවා.. ඒක බුදු ෂුවර්..

"මං කොහේ හිටියත්, ඔයාට ඒකෙන් ඇති වැඩක් නෑ.. ඔයා හුගාක් දේ කිව්වා.. හුගාක් කතා කලා.. මං මෙච්චර වෙලා නිවාඩු පාඩුවෙ අහගෙන හිටියෙ ඔයාව දවසක් හරි ආස්සරේ කරලා තියෙන හින්දා.. ඔයාට ඔය තරම් කියවන්න දෙයක්, මං ඔයාට කරලා නෑ.."

"ඔ.. ඔයා.. එ.. එහෙමද හිතන්නේ..?"

"ඔව්.. මං හිතන්නෙ එහෙම තමයි.. අනික ඔයා හිතනවද මගේ අම්මා ඉන්න තැන වීරයා වගේ, අනිත් අයටත් ඇහෙන්න මහ හයියෙන් කියෙව්වාම ඔක්කොම හරි කියලා.. එතකොට ඔයාගෙ හිතේ මං ගැන තියෙන තරහා ඉවර වේවි කියලා.. ඔයාට සැනසීමක් ලැබේවි කියලා.."

"ඔයා.. ඔයා මොනවද මේ කියවන්නේ..? මං කාට ඇහෙන්නද කතා කලේ..?"

"ඇයි ඔතන සමුදි අක්කා නැද්ද..? දැන් ඊගාවට එයා අහනැද්ද රන්දික කියන්නෙ කවුද කියලා..? මට පේන්නෙ ඔයා මගේ විස්තර හැම දෙයක්ම එයත් එක්ක කියලා වගේ.. බලන් ගියාම ඔයා සෑහෙන්න යුතුකම් දන්න කෙල්ලෙක්නේ..?"

නෙත්මිගෙ කට සම්පූර්ණයෙන්ම වහන්න ඕන උනේ තවත් පුංචි ප්‍රහාරයක් විතරයි.. එයා කීයටවත් හිතන්නැතුව ඇති මං මේ වැගේ පැත්තකට කතාව ඇදගෙන යයි කියලා..

"අනික ඔයා කිව්වා, මං මහා පහත් විදියට හැසිරුණා කියලා.. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද, මං කරපු පහත් වැඩේ මොකක්ද කියලා.. ඔයා මට ෆෝන් එකක් දුන්නා කියාලා, ඒකෙන් මං කතා කලේ නෑ කියලා, ඒක පහත් වැඩක් වෙන්නෙ කොහොමද.? ඇත්තටම කියනවා නම් පහත් වැඩ කරේ මම නෙමෙයි ඔයා.."

"ම.. මම..? මං මොනවද රන්දික ඔයාට කරේ.. හ්ග්.."

කෙල්ල දැන් අඩන්නයි හදන්නේ.. තවදුරටත් මේ ග්‍රැහැම්බෙල් සංවාදෙ අරන් ගියොත් බන්ටිට බබා හම්බවෙනවා..

"ඔයා කරේ මොනවද කියලද ඇහුවේ..? ඔයා මට කරපු අති විශාලම බොරුව කරේ කිසිම කැතක් නැතුව.. ඔයා ඩිංගක්වත් හිතුවද මං ඒක කවද හරි දැනගනීවි කියලා.."

"මා.. මාව පිස්සු වට්ටන්නැතුව කියනවද මං මොකක්ද ඔයාට කරපු බොරුව කියලා..?"

"ඇයි.. ශලනිගෙ ගෙදර කියලා, අර කොහේවත් තියෙන පාලු බංගලාවකට මාව එක්කන් ගියේ..? මට උදව් කරනවා කියලා, ඔයා හැදුවෙ පිටිපස්සෙන් ඉදන් මට පිහියෙන් අන්නින්නේ.."

"දෙයියනේ.."

"දෙයියන්ට කියලා වැඩක් නෑ.. ඔයා මං ගැන හැම දෙයක්ම ඔය සමුදිනී අක්කට කියලා තියෙනවා කියලත් මං දන්නවා.. මං කොහොමද තවත් ඔයාව විශ්වාස කරන්නේ..?"

"අ.. අනේ.."

හිතාගන්න බැරි උගුලකට අහුවෙච්ච සතෙක් වගේ නෙත්මිට අනේ කියලා කියවුණා.. ඇත්තටම මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ..

"එහෙනම් හැම දෙයක්ම හරිනේ.. මං ඔයාට ෆෝන් කලේ නැත්තෙ ඇයි කියලත් ඔයාට දැන් තේරෙනවා ඇතිනේ.. ඔයාගෙ මේ අනර්ඝ තෑග්ගත් මං ආපහු දෙනවා.. ඔයාට මේක ගන්න බැරි නම්, මං ඒක කාගෙ හරි අතේ එවනවා.. මට මේක එපා.."

"ඔ.. ඔයා ඔය කියන්නෙ ෆෝන් එක ගැනද..?"

"ඔව්.. ඔයා මට දුන්නෙ ෆෝන් එකනේ.. මං දැනුවත්ව නම් මට වෙන මුකුත් දීලා නෑනේ.."

"දෙයියනේ ඔය තරම් නපුරු විදියට කතා කරන්නෙපා.."

"නපුරු උනෙ මම නෙමෙයි ඔයයි නෙත්මි.. ඔයාගෙ ඔය පිටින් පේන තරම්, ඔයාගෙ හිත ලස්සන නෑ.. මං ඒක තේරුම් ගත්තා.."

"ඔයා.. ඔයා මොනවද මේ කියන්නේ..?"

"කියන්නෙ මට හිතෙන දේ තමයි.. ඔයා මට ෆෝන් එකක් දුන්නා කියලා, මං ඒක විසි හතර පැයේම කනේ ගහගෙන ඔයාට කතා කරන්න ඕනෙද..? අනික එච්චර දේවල් අපිට කතා කරන්න තියෙනවද..?"

නෙත්මි ගැන මගෙ හිතේ ලොකු කැමැත්තක් තිබුණත් ඒ හැමදේම පැත්තකට දාලා, හිතේ ගොඩ ගැහිලා තිබ්බ හුගාක් දේ මං එළියට දැම්මා..

"ඔයා ඔය විදියට හැසිරෙන්නෙ ඇයි දෙයියනේ.. මං ඔයාට මොනවද කලේ..?"

"ඔයා කරපුවා මං දැන් ඩිංගකට කලින් කිව්වේ.. ඒවා බොරු නෙමේනේ.. ඒ වගේ දේවල් කරන්න, ඔයාගෙ හිත කොයි තරම් හයිය වෙන්න ඕනද..? ඇත්තටම මං ඔයා ගැන හිතන් ඉදපු විදිය නෙමෙයි මේ.. මට උදව් කරනවා කියලා, ඔයා මාව රස්තියාදු කලා.. මගේ යාලුවො ඉස්සරහ මං බොරුකාරයෙක් වෙන තැනට වැඩ කෙරෙව්වා.. කෙනෙක් මාව විහ්වාස කරලා මගෙන් උදව්වක් ඉල්ලුවාම ඒ කෙනා කවුරු උනත් මං උදව් කලා.. එතෙන්දි මං එයා ගෑනුද පිරිමිද කියලා බැලුවෙ නෑ.. ඒත් ඔයා ඒ දිහා බැලුවෙ, මහ අමුතු කෝනෙකින්.."

"ම.. මං බයවුණා රන්දික.."

"ඔයා මොනවටද බයවෙන්නේ..? යාලුවෙක් විදියට හරි ඊට එහා ගියපු කෙනෙක් විදියට හරි මාව විශ්වාස කරනවා නම්, මං ගැන බයවෙන්නෙ ඇයි..? ඒ කියන්නෙ ඔයා මාව අවිශ්වාස කරනවා කියනෙකනේ.. ඇත්තමයි.. ඒ වචනෙ තරම් අකමැති වෙන වචනයක් මගේ ජීවිතේ නෑ.."

"ඔ.. ඔයාට තේරෙන්නෑ රන්දික.."

"ඔ.. ඔව් නෙත්මි.. මට කිසි දෙයක් තේරෙන්නෑ.. ඔයා කියන හැමදේම අහගෙන, ඔයාට විසි හතර පැයේම කතා කලා නම්, ඔයා අර කලින් කිව්වා වගේ කවුරුවත් ආශ්‍රය කරන්නැතුව බිංකුන්ඩා වගේ ගේ ඇතුළට වෙලා හිටිය නම්, ඔයා කියාවි, මට හැමදේම යස අගේට තේරෙනවා කියලා.."

"අ.. අපිට මෙහෙම මේස විසදගන්න බෑ රන්දික.. අපි ඩිංගක් හම්බවෙලා කතා කරමු.. ඔයත්තෙක්ක රණ්ඩුවෙලා මට ජීවත්වෙන්න බෑ.. මට.. මට තේරෙන්නෑ දෙයක් ගැන කතා කරලා, කොහොම ඔයත්තෙක්ක විසදගන්නද කියලා.. ඔයා රණ්ඩුවටමනේ එන්නේ.. ප්ලීස් රන්දික.. එක පාරක් මාව හම්බවෙන්න.."

"බ..ල..මු.."

මං ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා දැම්මා.. ඒ වෙන මොකක් හින්දවත් නෙමෙයි.. කාමරේට කවුදෝ තඩිබාන සද්දෙ ඇහිලා.. කවුද අප්පා මේ වෙලාවෙ, නෙත්මි මගෙත් එක්ක කතා කරන ගමන්, මගේ කාමරේ ළගට ඇවිල්ලද දන්නෑ.. එහෙම උනොත් වීරයා වගේ කතා කරපු මට, වීරයා මැරිලා පාට් එක තමා ඇක්ට් කරන්න වෙන්නේ..

"ක..වු..ද..?"

මට කටහඩ ටිකක් වෙනස් කරලා කතා කලා.. නැතුව බෑනේ අප්පා.. දොරෙන් එහා පැත්තෙ කවුරු ඉන්වද කියලා කවුද දන්නේ.. 

"මේ.. මම හලෝ.. ඉක්මනට දොර අරිනවා.."

ඔන්න දැන් තමා පපුව කූල් උනේ.. අක්කා මොන මගුලක් කරන්න ආවද මංදා.. අරහෙ පල්ලෙහා නෙත්මි ඉන්නවා.. එයත් මෙයාගෙ පස්සෙන් ආව නම් බන්ටිට සොරිම තමා.. මං හෙමීට දොර ඇරියා..

"ඇයි..?"

"හැයි තමයි.. මොනවද බන්ටි මේ කරන විකාර වැඩ.. අරහෙ අර ළමයා හොදටම අඩනවා.. එයා, ඔයාට ෆෝන් එකකුත් අරන් දීලා, තව ඔයාගෙන් බැනුම් අහන්නත් ඕන.. මට.. මට තේරෙන්නෑ මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.."

නැට්ට කඩපු හූනු තඩියෙක් වගේ ඔන්න අක්කත් ඇඹරි ඇඹරි කෑගහන්න ගත්තා.. මෙයාගෙ මේ ලව්ඩ්ස්පීකරේ ඇහුණ නම්, නිදාගෙන ඉන්න ඈයොත් නැගිටලා එනවා.. අම්මපා අපේ අක්කටත් කිසි දෙයක් තේරෙන්නෑ.. 

"කොහෙන් කෙලවර වේවිද කියලා මම නම් දන්නෑ.. ඒත් මට ඕන මේක ඉවරයක් කරලා දාන්න.."

"මොකක්ද ඔයාට ඉවරයක් කරන්න  ඕන..?"

"මේ පටලැවිල්ල.."

"ඉතිං.. ඇයි ඔයා ඒකට මේ තරම් කල් ගන්නේ..? ඇයි අර අහිංසක කෙල්ලට දුක් දෙන්නේ..? ඒ කෙල්ල ඔයා ගැන කොයි තරම් හිතනවද..? අඩු ගානෙ ඔය හැමෝම ගැන අනුකම්පා සහගත වෙන හිතට ඒකවත් තේරෙන්නැද්ද..? ආ බන්ටි.. ඔයාට අර කෙල්ල ගැන පුංචි දුකක්වත් නැද්ද..?"

"දුකක් එන්නෙ කොහොමද අක්කේ.. එයා ඕන දේටයි, එපා දේටයි හැම රෙද්දටම ඇගිල්ල දානවනේ.. අන්තිමට බලන් ගියාම මළ කරදරයක්.."

බලන් ඉද්දිම එයාගෙ මූණ මැලවිලා ගියා.. එයා කීයටවත් හිතන්නැතුව ඇති මං නෙත්මිට එහෙම කතා කරයි කියලා..

"ඔයාට ඕන කරන්නෙ මොනවද කියලා ඇත්තටම මට තේරෙන්නෑ බන්ටි.. හැබැයි තවත් දුරට මටත් මේක ඉවසන් ඉන්න බෑ.. මං මේ හැමදෙයක්ම නෙත්මිට කියනවා.. ඒ අහිංසක කෙල්ල දුක් විදිනවා බලන් ඉන්න මට බෑ.."

"හැම දේම කිව්වේ..? ඔයා මොනවද නෙත්මිට කියන්නේ..?"

"බන්ටි කියන්නෙයි, රන්දික කියන්නෙයි එක්කෙනෙක් කියලා.. එතකොට ඔයාගෙ සියලු කලර්ස් ඉවරයි.. තේරුණාද ඔයාට.. තවත් ඔයාට නටන්න දෙන්න බෑ.."

"ඔයා හිතුවද අක්කෙ ඊට පස්සෙ හැමදේම විසදෙයි කියලා..?"

"ඇයි..?"

"ඇයි කියන්නෙ..? නෙත්මිට පුළුවන් වේවිද ඒ වගේ ලොකු ඇත්තක් දරාගන්න..?"

මං කියපු දේට අක්කා මුකුත්ම කිව්වෙ නෑ.. එයා සද්දයක් බද්දයක් නොකරම දොරත් වහගෙන කාමරෙන් පිටවුණා..

                                          *****************************

දවස් දෙක තුනක් හෙමින් සීරුවෙ ගෙවිලා ගියා.. නෙත්මියි, මායි ෆෝන් එකෙන් රංඩු කරගත්තු දවසෙ, එයා අපේ ගෙදරින් ගිහින් තිබුණෙ කෑමත් නොකා.. බේබි නැන්දා යස අගේට හදලා තිබුණු කෑම ටික, කිසිම කැතක් නැතුව එපා කියලා නෙත්මි ගිහින් තිබුණා.. අක්කා ඒ සංසිද්ධියෙ සම්පූර්ණ වැරැද්ද පැටෙව්වෙ මට..

"බන්ටි.. මොකද අද සද්දෙ වහලා..?"

සරිගමයලගෙ ගෙදර, ගල් බංකුව උඩ වාඩිවෙලා ඉදපු මං ළගට අමිල ආවා.. කොල්ලො සෙට් එකෙන් මෙතන අඩු බින්දු විතරයි.. එදා නිරෝෂි එක්ක අපේ ගෙදර ආවට පස්සෙ බින්දු මාව හම්බවෙන එක පුළුවන් තරම් මගෑරියා කියලා මට තේරුණා.. උඹට හොද නම් මට මොකෝ බින්දු.. මං උඹේ පස්සෙන් එන්නෑ.. ඒ මේ බන්ටිගෙ හැටි..

"මුකුත් නෑ අමිල.."

"ප්‍රශ්නයක් නම් කියපං ලොකු පුතේ.. උඹ දන්නවනේ, උඹ වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා කියලා.."

චාමිකත් ඒ පාර අමිලයගෙ ගායනේට අත්වැල් බැදගෙන ආවා.. පැත්තකින් ඉදපු සරිගමයයි, රවීනුයි තනිකරම බලන් හිටියෙ මගේ කට දිහා.. මොනව උනත්, මං එන්න කලින් මුං අඩුම ගානෙ පැයක්වත් මං ගැන කතා කරන්න ඇති.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..

"ඔයා, ශලනිවත් හම්බවෙන්න ගියේ නෑනේ බන්ටි අයියා.. අරහෙන් නෙත්මි ගල්වෙලා බලන් ඉන්නවා.. ඔයා මොනවා කරන්නද හිතන් ඉන්නේ..?"

"කරන්න නම් හිතේ මුකුත් නෑ රවීන් මල්ලි.. උඹලා ඊට පස්සෙ ශිහාන් කාරයව දැක්කෙ නැද්ද..?"

"දැකීම කෙසේ වෙතත් අපි ඉන්නෙ මේ ඌව හම්බවෙනකන්.. උගේ මිත්‍රද්‍රෝහී බලුකමට දැක්ක තැන නෙලනවා.. ඒකෙ දෙකක් නෑ.. වැඩේ කියන්නෙ ගුටි කන්න වෙනවා කියලා දැනගෙනද කොහෙද මූ පැත්ත පළාතක නෑ.."

"නෑ අමිල.. ඌ කොළඹ ගිහින් මොකක්ද කෝස් එකකට.. මං හිතන්නෙ හොටෙල් කෝස් එකක්.. ඕකා ඒ දවස්වල ඉදලම හොටෙල් සයිඩ් එකටනේ කැමැත්තෙන් හිටියේ.. අපෙන් නොකාපු එකේ ඌ දැන් හොටෙල් එකෙන් කනවා ඇති.."

අපි එදා පේරාදෙණිය ගාඩ්න් එකේ ඇටකිච්චට නෙලපු දවසෙ, ශිහාන් අපේ ගෙදරට වගේම සුරේන්ලගෙ ගෙදරටත් කැත නැතුව ඔත්තුව දීලා තිබුණා.. ඒකෙ වාඩුව ගන්න එදා ඉදලා ඌව හෙව්වත් අද වෙනකන් ඌව, අපිට හම්බ උනේ නෑ.. චාමික කියන විදියට ඌ ගම රට දාලා ගියාවත්ද..? කමක් නෑ.. කමක් නෑ.. ඕන බැතිමතෙක් නුවර මාළිගාව ළගදි හම්බවෙනවා කියලා කතාවක් තියෙනවනේ.. එහෙම උනොත් ඕකව වළාකුලු බැම්මට හේත්තු කරලා හරි නෙලනවා කියලා මං හිතාගත්තා..

"බ..න්..ටී.."

හැමෝගෙම කතා නැවතිලා තිබ්බ වෙලාවක අමිල කට ඇරියා.. උගේ  මූණෙ හැටියෙන් නම් කතා කරන්න යන දේ මොකක් උනත් ඒක  සීරියස් කේස් එකක් කියලා මට තේරුණා..

"උඹ බින්දු ගැන මොකද හිතන්නේ..?"

"මට හිතන්න දෙයක් නෑ අමිල.. හිතන ඒවා ඔක්කොම බින්දු හිතලා ඉවරයි.. මං කරපු හැමදේම ගගට කපපු ඉනි වගේ තමා.."

"උඹ ඕවා ගණන් ගන්නෙපා බන්ටි.. ඌ කවදා හරි හැමදේම තේරුම් ගනියි.."

"තේරුම් ගනියි..? උඹ ඔය කතා කරන්නෙ කටින්ද එහෙමත් නැත්නම් වෙන කොහෙන් හරිද චාමික..? උඹලා මං ගැන හුගාක් දේ බින්දු එක්ක කිව්වා කියලා, මං දන්නෑ කියලද උඹ හිතන්නේ..? එහෙම කියලත් ඌ අද මෙතන නෑ කියලා කියන්නේ, බින්දුගෙ කැත කම ඇරෙන්න වෙන මොකක්ද..? මං, ඌ වෙනුවෙන් කරපු කියපු හැමදේම උඹල ඌත් එක්ක කියන්නැතිනේ.."

මගේ කතාවට හැම එකාම මූණින් මූණ බලා ගත්තා මිසක වෙන මොකවත් කෙරුවෙ නෑ.. කවදාවත් අපි කොල්ලො සෙට් එක අතරට ඇවිල්ලා තිබුණෙ නැති මහා කරදරකාර නිහැඩියාවක් ඉබේම වගේ ඇවිල්ලා තිබුණා.. අඩුම ගානෙ, ගිටාර් එක අතේ තිබ්බ සරිගමයවත්, ඒක සද්ද බද්ද නැතුවම අතේ තියන් හිටියා..

"ලො..කු.. පු..තේ.."

ඒ කටහඩ ආවෙ කොහෙන්ද කියලා මට මුලින්ම හිතාගන්න බැරිවුණා.. මං කොල්ලො සෙට් එක දිහා බැලුවෙ, ගෑනු හඩින් කතා කෙරුවෙ මොන අලුගුත්තේරුවද කියලා බලන්න.. ඒත් කොල්ලො ටිකත් ගල්වෙලා බලන් ඉන්නකොට, කොහේ හරි වැරදිලා තියෙනවා කියලා මට තේරුණා.. කොහේද බන්ටිට වැරදුණේ..?

"ලොකු පුතාට මාව මතක නැද්ද..?"

කොල්ලො හැම එකාගෙම ඇස් තිබ්බෙ අපි ඉදපු තැනට ඩිංගක් එහායින් තිබ්බ සරිගමයලගෙ කලු ගේට්ටුව ළග.. අවුලක් ආබාධයක් නැතිව ගේට්ටුව ඉස්සරහ හිටගෙන හිටියෙ ශලනි.. මේ කෙල්ල කොහොම  මාව හොයාගෙන මෙතෙන්ට ආවද මංදා.. දැන් කොල්ලො ටික මං ගැන මොනවා හිතාවිද..? ඩිංගකට කලින් වීරයා වගේ පොර ටෝක් දීලා, දැන් මට අඩන්න තමා වෙන්නේ..

"ඔයාව නම් මතකයි ශලනි.. ඒත් ඔයා කොහොමද මං ඉන්නෙ මෙතන කියලා දැනගත්තේ..?"

ලොකු පුතා කියලා මට කතා කරපු හන්දම, අවුලක් නැතුව අදුන ගත්තා මිසක, නැත්තම් සෑහෙන ගේමක් දෙන්න වෙනවා නිරෝෂිවයි, ශලනිවයි වෙන් කරලා අදුනගන්න..

"මං කොහොම හරි දැනගත්තනේ.."

"එහෙම බෑ.. මට හරි උත්තරේ ඕන.."

"මං ඔයාව අහම්බෙන් දැක්කේ.."

මේක විශ්වාස කරන්න පුළුවන් කතාවක්ද බං.. කෙල්ලො කියන්නෙ, කියන තරමක් පච නේ.. නෑ කියලද කිව්වේ..? මංදා.. බන්ටිට හම්බවෙච්ච ඈයො නම් එහෙමයි.. කට ඇරියොත් කොහෙන් හරි පචයක්..

"අහම්බෙන් දැක්කා..?"

"ඔව් ලොකු පුතේ.. මං ඉන්නෙත් මේ පාරෙමනේ.."

"මේ පාරෙ කිව්වේ..?"

"මේ පාර කිව්වෙ, මේ පාරට.. කිරි මණ්ඩල පාරට.."

"එතකොට ඔයා ඉන්නේ..?"

"අර ඈත වංගුවෙ තියෙන ලොකු ගේ.."

"ඒ ගෙදර ඉන්නෙ හමුදාවෙ මේජ්ර් කෙනෙක්නේ.."

"ඔව්.. එයා අපේ ළගම නෑදෑයො.. මායි, අප්පච්චියි ඉන්නෙ එහේ තමයි.. ඉතිං තවත් මොනවද ඔයාට අහන්න තියෙන්නේ.. මගෙන් ප්‍රශ්න පත්තරයක්ම ඇහුවනේ.."

ශලනි යාන්තමට හිනාවෙලා මගේ මූණට එබුණා.. ඒ හිනාවෙ තිබ්බෙ අමුතුම ආරාධනාවක්.. ඒ ආරාධනාව මොකක්ද කියලා බන්ටිට තේරුණේ නෑ.. අනික ඔය නොතේරෙන අප්‍රභංශ ගැන බන්ටි හිතන්න යන්නෙත් නෑ..

"අද අප්පච්චි කෝ..?"

"අප්පච්චි නම් ටවුන් එකට ගියා.. ඒක නෙමේ බලන් ගියාම ඔයා මහ බොරුකාරයෙක්නේ.." 

"ඇයි..?"

"පෙරේදා ඔයා මාව හම්බවෙන්න ආවෙ නෑනේ.. අච්චරත් හම්බවෙන්න එන්න කියලා.."

ඔන් බලපං මචෝ ගෑනු ළමයි කතා කරන ලස්සන.. මං ඕවට මොනවා කියන්නද මංදා.. 

"මං ඔයාට එනවා කියලා පොරොන්දු උනේ නෑනේ.."

"ඒකත් ඇත්ත.. මමනේ මෝඩි වගේ වළාකුලු බැම්ම ගාවට වෙලා පැය ගානක් අව්වෙ හිටියේ.. මං අප්පච්චිගෙන් හොදටම බැනුම් ඇහුවා.."

"ඒකට ඉතිං මං මොනවා කරන්නද..?"

"ඒ උනාට ඔයා කිව්වනේ ඕන දේකට කැමතියි කියලා.. ඒ අනිත් නම් ඔයා හුගාක් නරකයි.."

"ඒ කතාව අපි පැත්තකට දාමු ශලනි.. දැන් ඔයා මේ ආවෙ මාව දැකලා ඒ ටික කියලා යන්නද..?"

"ඔව්.. ඒකත් එක දෙයක් තමයි.."

"එතකොට අනිත් දේ.."

"අනිත් දේ තමයි.."

"බ..න්..ටී.."

ශලනිට ඉතුරු ටික කියන්න හම්බවුණේ නෑ.. මගේ පිටිපස්සෙන් බින්දුගෙ කටහඩ ඇහුණා.. මේකා කොයි වෙලාවෙද මෙතෙන්ට ආවේ.. මං ඩිංගක්වත් දැක්කෙ නෑනෙ.. වෙලාවකට මගේ ඇස්වලත් හොටුද මංදා..

"උඹ කොයි වෙලාවෙද ආවේ..?"

ශලනි ගේට්ටුව ළග ඉද්දිම මං කොල්ලො හිටපු තැනට ආයෙත් ආවා.. බින්දුවා ඉස්සරහ ගේට් එක පැත්තෙන් ආවෙ නෑ කියලා මට ෂුවර්.. ඒ කියන්නෙ මේකා ඇවිත් තියේනනෙ සරිගමයලගෙ ගෙදර පිටිපස්සෙන්.. පස්ස දොරෙන් මිනිස්සු එන්නෙ හොද දේකට වෙන්න බෑනේ.. තනිකරම මේකා මේ රහස් පරීක්ෂක වැඩකට ආපු ගමන්.. මට හිතුණෙ එහෙමයි.. නැත්නම් වැදගත් මහත්තයෙක් වගේ ඉස්සරහ දොරෙන් එන්න බැරියෑ..

"බන්ටි..! සුරේන්..!! අමිල..!!! ඊට කලින් මට කියපල්ලා නිරෝෂි මොකද මෙතන කරන්නෙ කියලා..? එයා ඇයි මං ඇවිල්ලා ඉන්නවා කියලා දැක දැකත් අහක බලාගෙන ඉන්නේ..? එයා ඉන්නෙ මගෙත් එක්ක තරහෙන් වෙන්නෝන.. උ.. උඹ දන්නවද බන්ටි මේ හුටපට නිසා නිරෝෂි මගෙත් එක්ක සති ගානක් කතා කලේ නෑ.. එයා මගෙත් එක්ක හොදටම තරහා වෙලා.."

අම්මපා මුගේ මොලේ මැටිද මංදා.. එහෙමත් නැත්නම් ඇස්වල කරගැටද මංදා.. නැත්නම් ඉතිං තමන්ගෙ කෙල්ලව අදුන ගන්න බැරුව වැළපෙන්නෙ මොන හාල් දන්ඩද..? ඔක්කොටම කලින් මූට කණ්නාඩි දෙකක් අරන් දෙද් ඕන.. 

"උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් උඹට දෙකේ දෙකේ පොල්ලකින් හොදට පතබාලා ඉන්න ඕන.. නැත්නම් උඹට තේරෙන එකක් නෑ.."

"ඒ.. ඒ කියන්නෙ උඹලා මට ගහන්නයි  හදන්නේ..?"

"නෑ.. උඹව සාමදානයෙන් සතපවන්න හදන්නේ.. ඩිංගක් ඉදපං මං අර කෙල්ලව යවලා එන්නම්.."

"ම.. මං මෙතන ඉද්දි ඇයි උඹ නිරෝෂිව යවන්න  හදන්නේ..? අඩු ගානෙ මායි, නිරෝෂිවයි එකට එක්කහු කරන්නවත් උඹලට හිතෙන්නැද්ද..? උඹට හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද බන්ටි..? ඇයි.. ඇයි උඹ මාව මෙහෙම මරාගෙන කන්නේ..? ඇයි මට මේ තරම් වද දෙන්නේ..?"

"මං තාම දවල්ට කාලා නැති නිසා.."

තවත් මූත් එක්ක වචන හරඹ කරොත්, ඇත්තටම බින්දුවට දෙක තුනක් අනින්න හිතෙනවා.. මොන තරම් ෆිට් යාලුවෙක් උනත්.. ඇත්තනේ අප්පා.. කොයි මල යකාද කැමති, සංසාර සාගරේ වගේ අදෝ වැඩියාවල් අහන්න.. 

"ආ.. බ..න්..ටී..! හරි අපූරු නමක්නේ.."

ශලනි ළගට ගියා විතරයි, ඔන්න ආයෙත් පටන් ගත්තා.. 

"දැන් මට ලොකු පුතා කියනෙක අයින් කරලා, ඔයාට බන්ටි කියලා කතා කරතැහැකි.. ඒක නෙමේ.. කවුද අර වැට අස්සෙන් හැංගි හැංගි ඔයාගෙ යාලුවො ඉන්න තැනට ආවේ..?"

කෙල්ල මගෙන් අහන්නෙ බින්දු ගැන.. ඒ කියන්නෙ මේ හාල් දන්ඩා ඇවිත් තියෙන්නෙ වැට අස්සෙන්.. බලන් ගියාම මූ මහ පිංගුත්තර නිකායෙ එකෙක්නේ.. මොනව උනත් මේ කෙල්ලගෙ ඇස් දෙක නම් බයිනෝ කියුලර් එකක් කියලා මං අවුලක් නැතුවම තේරුම් ගත්තා..

"ආ.. ඒ තමයි බින්දු.."

"බින්දු කියලා කිව්වේ..?"

අලි පැටියෙක් කියලා කියන්නත් හදලා මං දත කට පියාගත්තා.. ඇයි දැන් පුංචි ඈයොන්ට හදපු ෆිල්ම් එකක් රට වටේ යනවනේ බින්දු කියලා..

"බින්දු කිව්වෙ, නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.."

"එයා, ඔයාගෙ යාලුවෙක්ද..?"

"ඔව්.. ඇයි එහෙම ඇහුවෙ..?"

"ඒ මනුස්සයා ඔයාට අත් දික් කර කර බනිනවනේ.. අර බලන්නකෝ.. මේ පැත්තටත් එන්න හදනවා.. ඔයාගෙ යාලුවො එයාව අල්ලගෙනයි ඉන්නේ.."

"ගණන් ගන්නෙපා.. ඌට ඔය මොකක් හරි විෂබීජයක් පෑගිලා.. ඔයා අර කලින් කියන්න ගියපු අනිත් දේ මට කියන්න.. නැත්නම් මේ මගුල් හින්දා ඒකත් අමතක වෙනවා.."

"ම්.. අනිත් දේ නේද..? මට හෙට නිරෝෂිව හම්බවෙනවා.."

"හෙට..?"

"ඔව්.. ඔයා දීපු නම්බර් එකට මං නිරෝෂිට ගත්තා.. අපි දේනනා එකතු උනාම හුගාක් ප්‍රශ්න විසදගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.. අපේ අම්මයි, තාත්තයි ආයෙ එක්කහු උනොත් ඒකෙ සම්පූර්ණ ගෞරවය ඔයාටයි බන්ටි.. ඔයා තමයි මේ වැඩේට හුගාක් මහන්සි උනේ.."

"මං ගෞරවයක් බලාපොරොත්තු වෙන්නෑ ශලනි.. ඔයාලා හතර දෙනා හොදින් ඉන්නවා නම් ඒක කොයි තරම් හොදද..? ජීවිතේ කොයි තරම් සුන්දරව අරගෙන යන්න පුළුවන්ද..?"

"ඒ ඔක්කොම හරි.. ඔයා මේ හැමදේම කරන්නෙ යාලුකම වෙනුවෙන් කියාල එදා කිව්වනේ..?"

කෙල්ලට එහෙම නම් මං කියපුවා හුගාක් දේවල් මතකයි.. ඒ වෙලාවෙ කෙල්ල ගාව ටේප් රෙකෝඩරයක් තිබ්බද මංදා.. නැත්නම් කොහොමද අප්පා කතා කරපු අකුරුවල හැඩේ පවා තියෙන්නේ..

"ඔව්.. මං එහෙම කිව්වා තමා.."

"එහෙනම් ඒ යාලුකම නිසාම, හෙට ඔයාට මගෙත් එක්ක එන්න බැරිද..?"

"ඔයත්තෙක්ක..?"

"ඔව්.. නිරෝෂි හම්බවෙන්න යන්න.."

මේක නම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වෙයි වගේ.. ශලනියි, නිරෝෂියි මායි එකම තැනක ඉන්නවා කියනෙක පොළොව වටේ හදවල් දෙකක් පෑව්වා වගේ තමයි.. තව ඔතෙන්ට අඩු නෙත්මි විතරයි.. එයත් ආව නම් හදවල් තුනයි.. එතකොට බන්ටිට කියන්න වෙන්නෙ 'චන්ද්‍රයෝ තුන්දෙනෙක්ම ආවා.. හර්දේ පෙමින් නාව නාවා' කියලා තමයි.. 

"බ..ල..මු.."

"අනේ බලමු කියලා බෑ බන්ටි.. ඔයා කොහොම හරි එන්න ඕන.."

"හරි.. මං එන්නම්.."

ඒ වචන තුනට ශලනිගෙ මූණෙ මතුවෙච්ච හිනාවෙ ලස්සන ගැන කියන්න මට වචන ආවෙත් නෑ.. ඒක ඒ තරම් අව්‍යාජ හිනාවක්.. බලන් ගියාම ගෑනු ළමයින්ට කොයි තරම් ලස්සනට හිනාවෙන්න පුළුවන්ද අප්පේ..

"ඔන්න එහෙනම් වරද්දන්න එපා හොදේ.. මං බලාගෙන ඉන්නවා.." 

හෙමින් සීරුවෙ, අත ගුලි කරලා මගේ උරහිසට පාරක් ගහගෙනම ශලනි එයාගෙ ගෙදර පැත්තට ගියා.. මාත් කිසිදු අවුලකින් තොරව ආපහු හැරුණා.. ඒ වසරෙ හොදම විනෝදාත්මක චිත්‍රපටිය නරඹන්න..

"මාව.. මාව අතෑරපල්ලා යකෝ.. ඇ.. ඇයි උඹලා මට නිරෝෂි ගාවට යන්න දෙන්නැත්තේ..? නිරෝෂි කියන්නෙ මගේ කෙල්ල.. නිරෝෂිට බන්ටිත් එක්ක ඔය තරම් කතා කරන්න තියෙන්නෙ මොනවද..?"

බින්දුවා කෑගහන සද්දෙ මට ඈතදිම ඇහුණා.. අම්මපා මූට නම් ජලභිතිකාවට එන්නතක්, තට්ටම් දෙක මැදට ගහන්න වෙයි වගේ.. අර කලිනුත් කිව්වා වගේ මුගේ ඇස්වල කරගැටද මංදා..

"බන්ටි.. උඹට මං කියන ඒවා ඇහෙන්නැද්ද..? උඹලා ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරන්නෙ ඇයි..? මට මගේ ආදරේ ඕන බන්ටි.. ඇත්තමයි.. නිරෝෂි හම්බ උනේ නැත්නම් මං මැරෙනවා.. එතකොට උඹලට සතුටු හිතෙයිනේ.."

බලන්න අප්පා මේ ගදයා කියන අලුගුත්තේරු කතාවල හැටි.. මූ වගේ සහගහන වෙල් කක්කුට්ටෙක් මගේ යාලුවෙක් උනානේ..

"දෙ..යි..ය..නේ.. තොපි එකෙකුටවත් කතා කරන්න බැරිද..? එහෙනම් මාව අතෑරපියව්.. මට නිරෝෂි ළගට යන්න ඕන.. මං ඔය දවස් කීයකින්ද එයාව දැක්කේ..?"

"කට වහං ඉදපං බත්  හරකෝ.. තෝ හදන්නෙ අපේ අම්මටයි, තාත්තටයි තොගේ කෙහෙල්මල් ආදරේ ගැන දැනුම් දෙන්නද..? දෙයි හාමුදුරුවන් පල්ල තෝ තව එක වචනයක් බන්ටිට විරුද්දව කිව්වොත් මං තොගේ කලිසම ඔලුවෙන් ගලවනවා.."

පිස්සු හැදෙනවා.. ඉවසලා, ඉවසලා බැරිම තැනමද කොහෙද සරිගමයා ගිරිය කඩාගෙන කෑගැහුවා.. උගේ කෑගැහිල්ලට බින්දුගෙ ඇස් දෙක ටොම්බා සයිට් එකට ලොකු උනා.. ඌ කීයටවත් හිතන්නැතුව ඇති සරිගමයා ඔහොම කෑගහයි කියලා.. 

"දැන් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?"

අමිලයි, රවීනුයි එපා කියල කියද්දිම මං බින්දු ඉස්සරහට ගියා.. නැතුව බෑනේ අප්පා.. මූ නිකං ජූජක බමුණගෙ පාට් එකනේ ඇක්ට් කරන් යන්නේ..

"ඇ.. ඇයි උඹ මට මෙහෙම කරන්නේ..?"

"මං මොනවද උඹට කලේ..?"

"මං මෙතන ඉද්දි ඇයි උඹ නිරෝෂිට යන්න දුන්නේ..? උඹලා ඔක්කොම එකතුවෙලා මටත් හොරෙන්, මගේ කෙල්ලව මෙතෙන්ට ගෙන්නගෙන, මගෙන් දැන් අහනවා උඹලා මොනවද කරේ කියලා.."

"මැට්ටෝ.. මැටි හරකෝ.. බත්කන වස්සෝ.. තෝ තනිකර හුඹහක්.. තොට කියන්න මට තවත් නම් නෑ.. මං උඹට එදත් කිව්වා.. අදත් කියනවා.. හැබැයි ආයෙ කියන්නෑ.. උඹේ ප්‍රේම කතා උඹ තියාගනිං.. මට ඒවා එපා.. දැන් මෙතන මගෙත් එක්ක හිටියෙ නිරෝෂි නෙමෙයි.."

"මං දන්නවා.. මං දන්නවා.. උඹ ඔය කියන්න හදන්නෙ එතන හිටියෙ ශලනි කියලනේ.. බොරු කියන්නෙපා බන්ටි.. මට මගේ කෙල්ලව අදුනගන්න බැරිද..? ඒ හිනාව මට අදුනගන්න බැරිද..? ඇ.. ඇයි දෙයියනේ උඹල මගේ අවංක ආදරේට මෙහෙම නපුරුකම් කරන්නේ..?"  

"මේ බින්දු.. මං ආයෙ උඹට කියන්නෑ.. මොන මළ කරදරයක්ද යකෝ මේක.. මට තව තද උනොත් උඹේ ඔය අවංක අදරේට මං මල් වඩම් දෙක තුනක් තියලා ලොකු පාංශකූලයක් දෙනවා.. අන්න ඒක මතක තියාගනිං.."

"ඒ.. ඒ.. උනාට.."

"ඒ උනාට මේ උනාට කියලා තටමල වැඩක් නෑ.. උඹට මං කියන ඒවා ෂුවර් නැත්නම්, ඔන්න ඔය පාරෙ ඉස්සරහට ගියහම තියෙන තට්ටු දෙකේද තුනේද ගෙයක් හම්බවෙයි.. අන්න ඒකෙ ශලනි ඉන්නවා.. හම්බවෙලා කතා කරලා සැකේ දුරු කරගනිං.."

"බ.. බන්ටි.."

"උඹ මගේ නම කියලවත් කතා කරන්නෙපා ගස් ගෙම්බා.. තොගේ මෝල් කලන්තෙට මං පලිද යකෝ..?"

"බන්ටි.. ටිකක් කූල් වෙයං මචං.."

"ඔව්.. ඔව්.. ඔය කෑගැහුවා ඇති.."

අමිලයි, සුරේනුයි මගේ ළගට ඇවිත් අත් දෙකෙන්ම ඇදලා අල්ල ගත්තා.. මුං හැමෝම දන්නවා බන්ටිට මල පැන්නොත් පැනන්ම තමා කියන්න.. ආයෙ ඉතිං කේන්තියට භාජනය වෙච්ච එකාට සොරිම තමා.. ඒ වෙලාවට ඌ සමාව භාජනේක දාලා ගෙනාවත් වැඩක් නෑ.. මං භාජනේටත් පයින් ගහනවා.. ඒ බන්ටිගෙ හැටි..

"උඹ දැනගනිං බින්දු.. මගේ හිතේ එකයි.. බඩේ එකයි නෑ.. මගේ කටෙන් පිටවෙන්නෙ එකම දේ තමයි.. උඹ ඔය හැංගි හැංගි එන්න ඇත්තෙ, කාගෙ හරි හොරයක් අල්ලන්නනේ.. හැබැයි.. කාගෙ හොර ඇල්ලුවත් උඹට මගේ හොර අල්ලන්න හම්බවෙන්නෑ.. මොකද මං හොර කරන්නැති නිසා.."

"නෑ.. බන්ටි.. මම.. මේ.."

"මට උඹත්තෙක්ක කතාවක් නෑ.. උඹේ ප්‍රශ්න උඹම විසදගනිං.. ආයෙ මං ඒවට අතදාන්නෑ.. කොටින්ම උඹගෙ ප්‍රේම කතා මට මොකටද..? උඹම ඒවා ඥාණ කතා කරගනිං.. හැබැයි.. මෙන්න මේකත් මතක තියාගනිං බින්දු.. මාව අවිශ්වාස කරපු එකෙකුට මං කවදාවත් සමාව දෙන්නෑ.. මොකද මං උඹට උදව් කරේ බොක්කෙන්ම.. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි.. ඒක තේරුම ගන්න බැරිවෙච්ච එක උඹේ කරුමේ.."

"ම.. මට ඩිංගක් කතා කරන්න දීපං බන්ටි.."

"මං සැරයක් කිව්වනේ.. මගේ නම කියන්නෙපා කියලා.. උඹලගෙ ප්‍රේමෙත් එක්ක මගේ ආයෙ කිසිම සම්බන්ධයක් නෑ.. ඒ මගුල  හින්දා මං කාපු පරිප්පු හොදටම ඇති.. හැබැයි මෙන්න මේකත් මතක තියාගනිං.. මං හෙට නිරෝෂිවයි, ශලනිවයි දෙන්නවම හම්බවෙනවා.. උඹ ඕනනම් එතෙන්ටත් ඇවිත් හැංගිලා බලන් ඉදපං.. මොකද උඹට කෙලින් කාට හරි මූණ දෙන්න අමාරුයිනේ.."

"ඔය.. ඔය කරන්න හදන වැඩේට මං.. මං කැමති නෑ.. බන්ටි.. ප්ලීස්.. ඕක නවත්තපං.."

මෙච්චර වෙලා, මහා වීරයෙක් වගේ කෑගහගෙන ඉදපු බින්දු මගේ ළගට ආවා.. උගේ අසරණ වෙලා තියෙන මූණ දැක්කම මට පව් කියලත් හිතුණා.. ඒත් ඒ පව් ඔක්කොම හේදිලා යන්නෙ මූ කියන අසමජ්ජාති කතා වලින්නේ..

"මොන වැඩේටද උඹ අකමැති..?"

"නිරෝෂිලගෙ පවුල එකතු කරන එකට.."

"ඇයි..?"

"එතකොට මට නිරෝෂි නැතිවෙයිනේ.."

"ඒ කොහොමද..?"

"ඇයි දෙයිහාමුදුරුවනේ.. උඹට හැමදේම තේරෙන එකේ ඕක තේරෙන්නැද්ද..? එයාලා එකතු උනාට පස්සෙ ඒ හැමෝම ලංකාව දාලා යයිනේ.. එතකොට මට මොනවද වෙන්නේ..?"

"උඹටත් ඔය මොනවා හරි වෙයි.. දැන් ඔය වෙනවා වගෙ.. මං ශලනිට පොරොන්දු උනා හෙට එයා හම්බවෙනවා කියලා.. ඒක හින්දා මං යනවා.. උඹ මේ දේ සිද්ධ වෙනවට අකමැති නම්, ඒක නිරෝෂිත් එක්ක කතා කරලා විසදගනිං.. මොකද නිරෝෂිනේ උඹේ අලංකාර ආදරේ.. උඹ කිව්වොත් ඒකි අහයි.."

"අනේ බන්ටි.. උඹ මේකට අත දාන්නැතුව ඉදපං.."

"දැන් පරක්කු වැඩියි.. මං අත විතරක් නෙමෙයි.. කකුලත් දාලයි තියෙන්නේ.."

"අ..නේ.. බන්ටි.."

"අනේ පනේ ගාන්නැතුව පැත්තකට වෙලා ඉදපං.. උඹට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලෝකෙ විනාස වෙලා හරි ඒක ලැබෙයි.. හැබැයි මතක තියාගනිං.. ලෝකෙම තියෙන වටිනම දේ උඹට ලැබුණත් වැඩක් නෑ..! උඹ උඹේ හොදම යාලුවෙක්ව අවිශ්වාස කරනවා නම්..! ඒ යාලුවා උඹේ හැමදේටම ජීවිතේ දුන්නු එකෙක් නම්..! කොයි වෙලාවෙවත් උමව අතෑරලා ගියේ නැති එකෙක් නම්..! මං යනවා මචංලා.."

කාටවත් වචනයක්වත් කියන්න ඉඩ නොදී මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. තවත් මෙතන බන්ටිට කතා කරන්න කිසිම දෙයක් නෑ.. කියන්න තියෙන  හැමදේම බන්ටි කියලා ඉවරයි..



     

No comments:

Post a Comment