Monday, April 16, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






පහුවෙනිදා උදේ පාන්දර දහයට විතර නැගිටින කොට තමයි මට එකපාරටම මතක් උනේ, අද ශලනියි, නිරෝෂියි හම්බවෙන දවස කියලා.. ෂිහ්.. අම්මපා.. මේ මගේ කාඩ නින්ද හින්දා කවද හරි මං නාත පරිප්පුවක් කනවා.. ඒක බුදු ෂුවර්.. සමහර විට මේ පුරුද්ද එන්න ඇත්තෙ එරීනා එකේ ෆිල්ම් බලලම වෙන්න ඇති.. ඉස්කෝලෙ කට් කරලා වීරයා වගේ ෆිල්ම් බැලුවට, ඒකත් ඉන්ටවල් වෙනකන් විතරයි.. ඇයි ඉතිං ඉතුරු බාගෙ බන්ටි සිරාවටම බුදිනේ..


"බන්ටි මහත්තයො මොකෝ මේ කලබලෙන්..?"

"කිසිම කලබලයක් නෑ බේබි නැන්දේ.. අද මට ලන්ච් එපා.."

"මගෙ අප්පොච්චියේ.. කවදාවත් නැතුව අර මොකෝ..?" 

"අද මට ලස්සන ගෑනු ළමයි දෙන්නෙක්ගෙන් ලන්ච් එක හම්බවෙනවා.. සමහර විට මං නවොත්, ඒකෙන් ගම්‍ය වෙන්නේ, මම ඩිනර් එකටත් ඉන්නවා කියනෙක.."

"ගමයා වෙනවා කිව්වේ..?"

"ගමයා කිව්වෙ, තේරුම් ගන්න කියනෙක.. පැහැදිලිද..?"

"බ..න්..ටී.."

බේබි නැන්දගෙයි, මගෙයි අර්ථවත්, සාරධර්ම සාකච්ඡාව මැද්දට පැන්නෙ අක්කා.. ෂහ්.. මෙයත් අද ගෙදරද අප්පා.. දැන් ඉතිං ප්‍රශ්න කෝටියයි..

"ඇයි අක්කා.. අද ඔයාට කොහේවත් ගමනක් බිමනක් යන්න නැද්ද..?"

"මගේ ගමන් බිමන් පැත්තක තිබුණාවේ.. ඩිංගක් මෙහාට එනවකෝ.."

ඒ පාර සෑහෙන්න බොන්න වෙන කේස් එකක් වගේ.. අක්කා කවදාවත් කුණු මාලු කෑල්ලක් වගේ මාව පැත්තකට තල්ලු කරන් මෙහෙම යන්නෑ..

"මොකෝ අවුල..?"

"අවුල මොකක්ද කියලා ඔයා දන්නවනේ බන්ටි.. ඊයෙ හවස් වරුවෙම මං හිටියෙ පිණීමුතුලහ.."

"පිණිමුතු කිව්වේ..?"

"අනේ ඇත්තටම බන්ටි ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ..? ඔයා පිණිමුතුව දන්නැද්ද..? හරියට නිකං අද ඇහිච්ච නමක් වගේ මගේ මූණ දිහා බලන් ඉන්නේ.."

"සොරි අක්කේ.. ඔයා දන්නවනේ, මං එයාට කතා කරන්නෙ නේතමි කියලා.. ඔය පිණිමුතු කිය නම මට ඒ තරම් හුරු පුරුදු නෑ.. අම්මප සහතික ඇත්ත අක්කේ.. මං හිතන්නෙ, එයාට ඔය නම දාන්න ඇත්තෙ, එයාලගෙ ලොකු තරහකාරයෙක් වෙන්න ඇති.."

"ඔයාට මේ කතාව විහිලුවක්ද බන්ටි..? මං මේ සීරියස් කතා කරන්නේ.."

"මාත් සීරියස් බල්බ් තමයි අක්කේ.. ඔයා හිතුවෙ ටියුබ් ලයිට් කියලද..? හරි.. හරි.. මොකක්ද ඔය මල අඩේ කියලා කියන්නකො.."

"නෙත්මි හුගාක් ඇඩුවා.. මට තේරෙන්නෑ මං මොනවයද කරන්න ඕන කියලා.. නෙත්මිට ඕන ඔයාව හම්බවෙන්න.. ඇයි ඔයා, එයාව මගාරින්නේ..?"

"මං එයාව මගෑරියෙ නෑ අක්කේ.. මේ දවස්වල මං ෆුල් බිසී.. අම්බානෙකට වැඩ.. හෙල්ලෙන්න විදියක් නෑ.."

"ඔයාට මොන වැඩේ තිබුණත්, ඉස්සෙල්ල නෙත්මිව හම්බවෙන්න.. නැත්නම් මට බයයි කෙල්ල අඩලම ලෙඩක්වත් හදාගනියි කියලා.. ඔයා, එයාට කැමති නැත්නම් ඒකත් එයාට කෙලින්ම කියන්න.. එහෙම නැතුව ඔයා මේ මහා පව් වැඩක් කරන්නේ.. ඒ කෙල්ල මෙහෙම අඩ අඩ ඉන්න ඕන කෙල්ලෙක් නෙමෙයි.."

"ම.. මං නෙත්මිව හම්බවුණා කියලා, එයාගෙ ඇඩිල්ල නතර වෙයිද අක්කේ..? සමහර වෙලාවට එයාගෙ ඇඩිල්ල නතර වෙලා මට අඩන්න වෙයිද දන්නෑ.."

අක්කා තවත් මොනවා හරි කියන්න කලින් මං ගෙයින් එළියට බැස්සා.. ඇත්තටම නිතරම කදුළු පෙරාගෙන හොට්ට පෙරාගෙන ඉන්න ගෑනු ළමයින්ව බන්ටිට කොහොමත් දිරවන්නෑ.. ඒ අතින් බලන් ගියාම මොරීන් අක්කා කියන්නෙ වීර කාන්තාවක්.. අනික නෙත්මි මොන මගුලකටද මෙහෙම හොට්ට පෙරාගෙන අඩන්නේ..? බන්ටි, නෙත්මිට කැමති එක වෙනම කාරණයක්.. ඒත් හිතට අල්ලන්නෙ නැති දේ නෑ කියලා කෙලින්ම කියන එක ඊට වඩා එහා ගියපු කාරණයක්..

මාළිගාව ඉස්සරහට යනකොටම මං ඈතින්ම දැක්කා ශලනියි, නිරෝෂියි එකට එක්කහු වෙලා බර කතාවක් දාගෙන ඉන්න හැටි.. ඒ අහළින් පහලින් යන හැමෝගෙම වගේ ඇස් යොමුවෙලා තිබ්බෙ, එක ඉත්තෙ පිපුණ ලස්සන මල් දෙක දිහාට.. එයාල ළගට ගිහිල්ලත් ඩිංගක් වෙලා යනකල් නිරෝෂිව, ශලනිගෙන් වෙන් කරලා අදුනගන්න මට ටිකක් අමාරු වුණා.. ඒත් ශලනිගෙ තිබ්බ විදේශික පෙනුම හන්දා මං ඒ අමාරුව ටිකක් ලේසි කරගත්තා..

"මං පරක්කුද..?"

"දෙ.. දෙයියනේ.. බන්ටි ඔයා කොයි වෙලාවෙද ආවේ.. අපි දැක්කෙත් නෑ.."

"මං දැනුයි ආවේ.. කමක් නෑ.. ඔයාලා දිගටම කතා කරන්න.. ලන්ච් වෙලාවට මට කතා කලාම ඇති.."

ලස්සන කිඹුල්ලු දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් මං කිව්වා.. මේකත් මරු වැඩක් තමා අප්පා.. කිඹුල්ලු දෙන්නෙක් දෙපැත්තෙන් තියාගෙන, මාත් කිරි මැටි  ගිලින කිඹුලෙක් වගේ කට ඇරන් බලන් ඉන්නෙක..

"ලන්ච් එක වෙලාවට කිව්වේ..?"

"ඔයාලගෙ ඔය කතා කරන දේවල් ඉවර උනාම, බන්ටිට ඩෙවෝන් එකට එක්කන් ගිහින් හයි ක්ලාස් ලන්ච් එකක් අරන් දෙන්න ඕන හොදද..? මං හිතන විදියට මිනිහා උදේටත් කාලා නෑ.."

මගේ කතාවට ගෑනු ළමයි දෙන්නා කිසි ලෝබකමක් නැතුව හිනා උනා.. ඒ හිනාවල තිබ්බ ලස්සන එක්ක මාත් දන්නෙම නැතුව එක්කහු උනා.. එතන ඉදලා සම්පූර්ණයෙන්ම පැයකුත්විනාඩි හතලිහක් විතර, ශලනියි, නිරෝෂියි කතා කෙරුවෙ එයාලගෙ ෆැමිලි එක ගැන.. බින්කුංඩා වගේ බන්ටි ඒ හැමදේටම හොමබ දැම්ම කියලද උඹලා හිතන්නේ..? පිස්සුවක් ඇතෑ.. බන්ටි ඒ වගේ කැත වැඩ වලට නෑ.. හැමදේම සාවධානව අහගෙන හිටියා විතරයි..

"තාත්තා ඩිංගක්වත් කැමති නෑ නිරෝෂි.. ආයෙ අම්මව හම්බවෙන්න.. ඒ ගැන කතා කරනකොටත් එයාට කේන්ති යනවා.."

ශලනිගෙ කටහඩේ තිබුණෙ ලොකු දුකක්.. නිතරම හිනාවෙලා සිරියාවන්තකමට කතා කරන නිරෝෂිගෙ මූණත් මලානික වෙලා තිබුණා..

"එතකොට ඔයාලා හදන්නෙ අපි දෙන්නව මෙහේ දාලා ආයෙත් රට යන්නද..?"

"මංදා නිරෝෂි.. මට නම් කිසි දෙයක් හිතාගන්න බෑ.. මට දැන් කවුරු ලංකාවෙ දාලා ගියත් ඔයාව දාලා යන්න විදියක් නෑ.. අතීතයේ තිබ්බ හුගාක් දේවල් දැන් ආයෙත් එළියට ඇවිල්ලා අලුත් වෙලා.. ඒ කිසි දෙයක් මට අමතක කරන්න බෑ.."

"මටත් එහෙමයි.. ඔයා නැතුව ගෙවිලා ගියපු ජීවිතේ මොන තරම් පාලු එකක්ද කියලා මට දැනුයි දැනෙන්නේ.. මීටත් කලින් අපි දෙන්නා හම්බ උනා නම්, අපිට කොයි තරම් සංතෝසෙන් ඉන්න තිබ්බද..?"

"අම්මා මොනවද කියන්නේ..? මට එයාව බලන්න හරි ආසයි.. මට මතක තියෙන කාලෙකින් එයාව දැකලා නෑ.."

"අම්මා මුකුත්ම කියන්නෑ ශලනි.. සමහර විට ඒ මට දුක හිතෙයි කියලා වෙන්නැති.. ඒත් හුගක් වෙලාවට අම්මා හරියට කල්පනා කරනවා.."

"අප්පච්චිත් එහෙමයි..  වැරදිලාවත් ඒ ගැන වචනයක්වත් කතා කරන්නෑ..  දැන් ඔන්න ආයෙත් එයාට යන්න හදිස්සි වෙලා.. ටිකට්ස් බුක් කරන්නයි, අනිත් වැඩ වලටයි අප්පච්චි එහෙට මෙහෙට දුවනවා.."

මෙහෙම ගියොත් නම් තවත් පැයට ගානක් මේ දෙන්නා එකම දේ රිවයින් කර කර ඉදියි.. මට වෙන්නෙ, ඩෙවෝන් එකත් ළග තියාගෙන හද්ද බඩගින්නෙ ඉන්න.. අනේ ඇත්තට  ගෑනු ළමයි කියන්නෙ මහා සෝබේරි ජාතියක් අප්පා.. කරන්න තියෙන වැඩේ පැත්තක ගොඩ ගහලා, පරණ අතීතයක් රීමික්ස් කරනවා..

"මේ.. ඔයාලා දෙන්නා දැන් ගත්තු තීරණේ මොකක්ද..?"

ඉවසලා ඉවසලා බැරිම තැන මං කතන්දරේ මැද්දට පැන්නා.. නැතුව බෑනේ අප්පා.. තව කොච්චර කියලා ඉවසන්නද..?

"මොන තීරණේද බන්ටි..?"

"මොන තීරණේද අහන්නේ.. ඔයාලා අද ආවෙ සතුටු සාමිච්චියෙ යෙදිලා, මට දවල්ටත් කන්න අරන් දීලා ආයෙත් ආවා මගේම ගෙදර යන්නද..?"

මගේ ප්‍රශ්නෙට කිඹුල්ලු දෙන්නා මූණෙන් මූණ බලාගත්තා.. ඊට පස්සෙ ඒ මූණු දෙකම මගේ දිහාට  හැරුණා..

"අපිට කරන්න ඕන මොනවද කියලා තේරෙන්නෑ බන්ටි.. අපි කිව්වට අම්මයි, අප්පච්චියි ආයෙ එකතු වේවිද..? එයාලා ඈත්වෙලත් හුගක් කල්නේ.."

"ඔව්.. නිරෝෂිගෙ කතාව හරි.. අප්පච්චි ලංකාවට ඇවිල්ලත්, නුවරට ඇවිල්ලත් අම්මව නිකමට හරි බලන්න ගියේ නෑ.. ඒ කියන්නෙ අප්පච්චි, අම්මව අමතක කරලම දාලා කියනෙක නේද බන්ටි.."

අම්මපා.. මේ දෙන්නම උස්සගෙන ගිහින් දාන්න ඕන වළාකුලු බැම්මෙන් පහළට.. ඇයි බං කිසිම පොසිටිව් තින්කින්ග් එකක් නෑනෙ.. හිතන්නෙම ඇදේටනේ.. බන්ටිට නම් ඕවට මල පනිනවා..

 "ඒක ඉතිං අහන්න වෙන්නෙ අප්පච්චිගෙනුයි, අම්මගෙනුයි තමයි.."

"ඉතින් ඔයා කියන්නෙ අපිට මොනවා කරන්නද බන්ටි..?"

"ඒක තීරණය කරන්න ඕන ඔයාලා දෙන්නා.. මෙතන්දි මං පිටස්තරයෙක් විතරයි.."

"අනේ අපි එහෙම හිතන්නෑනේ.."

"ඔයාලා හිතුවෙ නැතිවුනාට ඒකයි ඇත්ත.."

"නෑ.. නෑ.. බන්ටි ඔයා අපේ කෙනෙක්.. බින්දු වෙනුවෙන් ඔයා කොයි තරම් දේවල් කරාද කියලා මං දන්නවා.. බින්දුට ඒවා අමතක උනාට, මම කවදාවත් ඒවා අමතක කරන්නෑ.."

"ඒක තමයි.. ඔයා අපිත්තෙක්කම ඉන්න බන්ටි.. ඔයා ළග ඉන්නකොට මහා පුදුම හයියක් හිතට දැනෙනවා.."

ඉදලා ඉදලා ශලනි මට කිව්වෙ, මාර කතාවක්.. හොදට හිටියි ලොකු පුතේ..  මෙච්චර ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් එක්ක, බන්ටි ඉන්න ගියොත්, වටපිටේ ඈයොන්ගෙ ඉරිසියාවට භාජනේ වෙලා බන්ටි වලකජ්ජ ගහනවා.. ඒකෙ ආයෙ ඇදයක් කුදයක් නෑ..

"අනේ බන්ටි.. ඔයාම කියන්නකො.. අපි දෙන්නා මොනවද කරන්න ඕන කියලා.. මට හිතෙනවා මායි, ශලනියි ගන්න තීරණේට වඩා හුගාක් හොද අදහසක් ඔයාට ඇති කියලා.."

"හරි.. එහෙනම් ඔයාලා දෙන්නා, එක්කෙනෙක් අනිත් කෙනාව ගෙදරට එක්කගෙන යන්න.. හුගාක් දේවල් ඉබේටම සිද්ධ වෙයි.. මං හිතනවා, ඔයාලට හොද උත්තරයක් ලැබෙයි කියලා.."

"ඒ කිව්වේ..?"

"අනේ අපිට තේරුන්නෑ.. බන්ටි.."

"මෙහෙමයි.. ශලනි, නිරෝෂිව එක්කගෙන යනවා අප්පච්චි ඉස්සරහට.. නිරෝෂි, ශලනිව එක්ක යනවා අම්මා ඉස්සරහට.. තේරුණාද..?  ඊට පස්සෙ සිද්ධ වෙන දේවල් අනුව කතාව ඉබේටම ඉස්සරහට ඇදිලා යයි.."

මගේ කතාවෙන් ගෑණු ළමයි දෙන්නගෙම මූණු එළිය උනා.. පව්.. ඒ අහිංසක මූණු දෙකේම තිබ්බෙ නැතිවෙලා ගියපු මව් පිය සෙනෙහස ගැන මහා මෙරක් තරම් ආසාවක්.. ඒ ආසාව දැක්කම, ශලනිට මේ වැඩේ හරියට කරගන්න බැරි උනොත් බන්ටි බැහැලම වැඩේ කරනවා කියලා මං හිතාගත්තා..

"හප්පට සිරි.. මේ අපේ බන්ටිනේ.."

අපි තුන්දෙනාගෙ සුහද පිළිසදරට හදිසියේ කඩාගෙන පාත්වුණු මැනර්ස් දන්නැති එකා කවුද කියලා බලන්න මං ඔලුව ඉස්සුවා.. දෙයියන්නට ඔප්පු වෙච්චාවි.. මේ පයිතගරස්නේ.. මේකා මොන ප්‍රමේය දාලා මෙතෙන්ට ආවද මංදා.. දැන් ඉතිං මූ ලංකාව විතරක් නෙමෙයි, ඉන්දියාවත් ගිණි තියයි..

"උඹ මොනවද මෙතන කරන්නේ..? පේන්නැද්ද අපි වැදගත් කතාවක් කියලා.."

ශලනියි, නිරෝෂියි ඉස්සරහම මං ඌට කඩන් පැන්නා.. එහෙම කරේ නැත්තම් මූ මුදුනා වෙනවා.. 

"මං මාළිගාවට ආවා බන්ටි.. ඇයි උඹ මේ සීදේවි ළමයි  දෙන්නා ඉස්සරහ මට කෑගහන්නේ.. ඩිංගක් මෙහෙට වරෙන්කෝ වැඩක් අහන්න.."

පයිතගරස් මගේ අතින් ඇද්දා.. ඒකත් හොදයි.. නැත්තං මූ මොන කුණු හරුපෙ නිරෝෂිලා ඉස්සරා අහයිද කවුද දන්නේ..? ගෑනු ළමයි දේනනා එතන ඉද්දි මං පයිතගරස් එක්ක වාහන පාක් එක පැත්තට ඇවිදගෙන ආවා..

"ඇයි..?"

"ඇයි අහන්නේ.. උඹට වටිනවද බන්ටි, බින්දුවගෙ ආදරෙත් එක්ක මාළිගාවට එන්න..?"

"බින්දුවගෙ ආදරේ..?"

"ඔව්.. අර ඉන්නෙ නිරෝෂි නෙමෙයිද..? ඒත් මට තියෙන ප්‍රශ්නෙ එතන නිරෝෂිලා දෙන්නෙක් ඉන්නෙ කොහොමද කියනෙකයි.. කොහෙන්ද උඹ අර අනිත් ෆොටෝ කොපිය හොයාගත්තේ..?"

"උඹ හිතන්නෙ කොහොමද..?"

"මං නම් හිතන්නෙ නිරෝෂිගෙ කලෝනයක් වෙන්නැති.. නැත්තං ඉතිං.. ඈ.ත. කෝ බං ක්ලෝනේ..?"

පයිතගරස්ගෙ ඇස් දෙක ලොකු උනා.. ඌ බලාගෙන හිටියෙ ශලනියි, නිරෝෂියි දිහා.. ඒත් වැඩේ කියන්නෙ දැන් එතන ඉන්නෙ නිරෝෂි විතරයි.. දළදා හාමුදුරුවන්ට කියන්න.. ඒපාර කෝ ශලනි..?

"ක්ලෝනෙ කොහෙද කියලා උඹ පස්සෙ හොයාගනිං.. අර ගෑනු දරුවා තනියම, මං එතෙන්ට යනවා.."

පයිතගරස් තවත් මොනවදෝ කියවන්න යද්දි මං නිරෝෂි ළගට දුවගෙන ආවා.. ඌ ඕන මගුලක් හිතාගත්තාවෙ.. මං මොකෝ..

"නිරෝෂි මුකුත් ප්‍රශ්නයක්ද..?"      

"ඔ.. ඔව්.."

"මොකද ප්‍රශ්නේ..?"

"ශලනිගෙ අප්පච්චි, ශලනිව ෆලෝ කරගෙන ඇවිත්.. එයා අර එහා පැත්තට දිව්වා.."

"ශලනිගෙ අප්පච්චි කියන්නෙ, එයා ඔයාගෙත් අප්පච්චිනේ.. ඔහොම තමන්ගෙ දේවල් පිට විදියට සලකලා කතා කරන්නෙපා.. එතකොට ඒවා පිටම දේවල් වෙනවා.."

"මට තේරෙනවා බන්ටි.. අනේ ඔයා කොයි තරම් හොදද..? ඔයාව ළගින්ම ආස්සරේ කලත්, ඔයාගෙ ඔය හොද ගතිගුණ ටික බින්දු ළංකර ගත්තෙ නෑනේ.."

"අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. බලන් ගියාම ශලනි කරන්නෙත් මහ පිස්සු වැඩනේ.. හරි නම් එයානේ මෙතන ඉන්නෝන.. එහෙම ඉදලා මේ කතාව හෙමින් සීරුවෙ ඉස්සරහට අරගෙන යන්නෝන.. ෂහ්.. මේ කෙල්ල කොහේ ගියාද දන්නෑනේ.. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ අප්පච්චි දැකලා කෙල්ල දිව්වෙ ඇයි කියලා.." 

මං වටපිට බැලුවා.. ඒත් ශලනි පේන තෙක්මානෙක හිටියෙ නෑ.. මේ තත්පරේට දෙකට කෙල්ල අතුරුදන් වෙලානේ..

"එයා කොයි පැත්තටද ගියේ..?"

"මටත් හිතාගන්න බැරිවුණා.. අප්පච්චි කියලා එයා අර වෑන් නවත්තලා තියෙන පැත්තට දිව්වා.."

"එතකොට කෝ දැන් එයා පෙන්නපු අප්පච්චි..?"

එහෙම අහලා මට කට ගන්න හම්බ උනේ නෑ.. මහා බර සාරෙට අතක් මගේ උරහිසට වැදුණා..

"මගේ දරුවා ගාවින් අයින් වෙන්න කියලා මං උඹට දවස් කීයක් කිව්වද..? ඇයි උඹ මේ කිසි දෙයක් අහ්නනැතුව, මාව යකෙක් කරන්න හදන්නේ..?"

කෝ කියල අහපු අප්පච්චි මායි, නිරෝෂියි ඉස්සරහට ඇවිල්ලා තිබුණා.. මුල ඉදලම මනුස්සයා කතාව පටන් අරන් තිබුණෙ වල්ගෙ පාගගෙන උනත් බන්ටිට ඉවසන්න වෙලා තිබුණා.. ඒකට හේතු දෙකක් තිබුණා.. එකක් මෙතන දළදා මාළිගාව හින්දා.. අනික ශලනිගෙයි, නිරෝෂිගෙයි ආසාවට බන්ටි උදව් කරනවා කියලා පොරොන්දු වෙලා හිටපු හින්දා..

"දරුවා කියලා කිව්වේ..?"

මගේ ප්‍රශ්නෙන් ඒ මූණ තවත් රකුසු උනා.. හැබැයි ඒ ඇස් දෙක මගේ මූණෙන් බින්දුවක්වත් අයින් උනේ නෑ.. මෙයා හිතන් ඉන්නවද දන්නෑ මං පැනලා දුවයි කියලා.. එව්වා නම් හදේ අංකල්.. බන්ටි කවදාවත් නිකං පැනලා දුවන්නෑ.. දෙක තුනක් ඇනලම ගතියක් ගන්නවා මිසත..

"ඇයි ඒකත් උඹට කියලා දෙන්නෝනද..? දරුවා කියලා කිව්වෙ මගේ දරුවට.."

මනුස්සයගෙ කතාව කොයි තරම් සැර උනත් බන්ටිට තවත් ඉවසන්න වෙලා තිබුණා.. අනිත්තෙක තමයි, ඔය උඹ කියන වචනෙ සැරෙන් කියනකොට මහා අප්‍රසන්න ගතියක් බන්ටිගෙ හිතට එනවා.. ඒක ඉතිං මේකා දන්නෑනේ..

"මාත් අහන්නෙ කවුද ඒ දරුවා කියලා..?"

"ශ..ල..නී.."

මෙච්චර වෙලා, අනිත් පැත්ත බලාගෙන හිටපු නිරෝෂි අපේ පැත්තට හැරුණා.. එයාගෙ අප්පච්චිගෙ මූණ, නිරෝෂි දැකපු ගමන් මල මිණියක් වගේ සුදුමැලි වේගෙන ආවා.. මිනිහා කීයටවත් හිතන්නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා.. මෙච්චර වෙලා මිනිහා වීරයා වගේ කතා කෙරුවෙ, තෙන ශලනි ඉන්නවා කියලා හිතානනේ..

"නි..රෝ..ෂි.."

ඒක හරිම පුදුම දෙයක්.. අවුරුදු ගාණක් දැකලා හිටියෙ නැති වුණත්, මනුස්සයා තමන්ගෙ අනිත් දුවව එක තත්පරෙන් අදුන ගත්තා.. අපිට නම් මේ ජෝඩුව කී පාරක් නම් පැටලුණාද අප්පා.. වැඩිය ඕන්නෑ.. බින්දුවට තාම මේ දෙන්නව මාරු වෙනවනේ.. ඌ නිරෝෂිව එච්චර ළගින් ආශ්‍රය කරලත්..

"අ..ප්..පච්චී.."

එතන ඉදලා මැවුනෙ හරිම සංවේදී දර්ශන පෙළක්.. බන්ටිත් කොයි තරම් ෆිට් බුවා උනත්, සංවේදි දේවල් දකිනකොට හොට්ට බේරෙන්න ගන්නවා.. ඒකනේ පුෂ්නේ..

"ඇයි අප්පච්චි අපිව බලන්න එන්නැත්තේ..?"

"මම නෙමේ.. අම්මයි, ඔයයිනේ අපිව බලන්න එන්නැත්තේ.."

"අපි කොහොමද එන්නෙ අප්පච්චි.. ඔයාල ලංකාවෙ නැතිකොට.. අනික අම්මයි, ඔයයි ඩිවෝස් වෙලා තියෙද්දි මං මොන තරම් දුකක් වින්දද ඔයා මගේ ළග නෑ කියලා.. මං වගේම ශලනිත් නෙ තරම් දුකක් විදින්න ඇතිද අම්මා එයා ළග නෑ කියලා.. ඒ ගැන ඩිංගක්වත් ඔයා හිතන්නැත්තෙ ඇයි..?"

"අම්මයි, මමයි වෙන් උනත්, අපි දෙන්නා ඔයාලා දෙන්නටම කිසිම අඩු පාඩුවක් වෙන්න නොදී බලාගත්තා නිරෝෂි.. ඒක මගේ පැත්තෙන් වගේම අම්මගෙ පැත්තෙනුත් හරියට කෙරුණා කියන්න මං දන්නවා.. ඒකට චෝදනා කරන්න ඔයාලට බෑ.."

"මො..න බොරුද අංකල්..?"

කතාව ගලාගෙන ගියේ තමන් කරපු දේ සාධාරණයි, ඒ සාධාරණ පදනම ඇතුලෙ ඉදන් තමන් හැමදේම හරියට කලා කියලා.. ඕවා අහගෙන ඉන්නකොට කොයි තරම් සංවේදි වෙලාවක උනත් බන්ටිගෙ ලේ කෝප වෙනවා..  

"බො..රු..?"

"ඔව්.. බොරුවක් නේන්නම්.. ඔයයි, වයිෆුයි මේ කොහේවත් තියෙන ප්‍රශ්නෙකට ඩිවෝස් වෙලා.. ඔයාලගෙ කැමැත්තට ළමයි බෙදාගෙන ඈත්වෙලා ගිහිල්ලා.. දැන් කියනවද හැමදේම හරියට කලා කියලා.. මං ඔයාගෙන් අහන්නෙ අංකල්.. ඔයාට පුලුවන් උනාද අම්මෙක්ගෙ ආදරේ ශලනිට දෙන්න.. මං නම් කීයටවත් හිතන්නෑ, ඒ වගේම නිරෝෂිගෙ අම්මට කවදාවත් බෑ ඔයාගෙන් ලැබෙන ආදරේ නිරෝෂිට දෙන්න.. මොකද.. ඒ ආදරේ වටිනාකම එකම උනත්, ලැබෙන්නෙ දෙවිදියකට.. ඒකයි වෙනස.. අන්න ඒ වෙනස ගැන හිතන්නැතුවයි ඔයා ඔය කතා කරන්නේ.."

අම්මපා.. බන්ටිටත් දෙයක් පපුවට බැදුණොත් ඒක කතා කරල මිසක පස්ස බලන්නෑ.. මගේ කතාවට අංකල්ගෙ මූණ හතරැස් උනා.. ඇත්තනේ අප්පා.. තවත් බලන් ඉන්න පුළුවන්ද මේවා..

"තමුසෙට මේවට අත දාන්න කිසිම අයිතියක් නෑ.. තමුසෙ මොන පුළුවන්කාර කමකටද මේ මැද්දට පනින්නේ..? තමුසෙ හින්ද මගේ කෙල්ල සෑහෙන්න දුක් වින්දා.. දැන්වත් තමුසෙ මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න මකබෑ වෙලා යනවා.."

අවුලක් ආබාධයක් නෑ අංකල් කාරයා කිසිම හිරිකිතයක් නැතුව, මට දෝස් මුරේ දැම්මා.. බන්ටිට මල පැනලා, ඔක්කොම දමල ගහලා සීන් එකෙන් මාරු උනා කියලද හැමෝම හිතන්නෙ..? පිස්සුද යකෝ.. බාරගත්තු වැඩක් මග දාලා, බන්ටි ගියා කියලා කොයි සෙල් ලිපියෙද ලියලා තියෙන්නේ..? මග මැරුණත් ඒක ඉෂ්ඨ කරලා යනවා මිසක..

"අ..ප්..පච්චී.. බන්ටිට ඔහොම කතා කරන්නෙපා.. ඔයා ඇයි එයාට බනින්නේ..? එයා කිසිම වැරැද්දක් කරලා නෑ.."

"බ..න්..ටී..? මොන බන්ටියෙක්ද..? මේ නලින්ද කියන යකානේ.."

අම්මපා මේ මහ මැන්ටලේගෙ නම් කොහේ හරි වයර් ෂෝට් එකක්.. එදා පන්සල ගාවදිත් ශලනි කිව්වා, මං නලින්ද නෙමෙයි කියලා.. බිං ඌරා වගේ එතනදි ඒ කතාව පිළිගත්තට මේ අමුනුස්සයා ආයෙත් පීළි පැනලා වගේ..

"නෑ අප්පච්චි.. මේ බන්ටි.. නලින්ද කියන්නෙ වෙන කෙනෙක්ට.."

"එතකොට මෙයා මොකද ඔයාල යන යන තැන යන්නේ..? මට ඇත්ත කියන්න නිරෝෂි.. මෙයා නලින්ද නෙමෙයි නම්, මෙයා බන්ටිද කවුද නම්, මෙයා ඔයාගෙ බෝයි ෆෙන්ඩ්ද..?"

"නෑ අප්පච්චි නෑ.. බන්ටි කියන්නෙ අපේ හොදම යාලුවෙක්.. ඇත්තම කියනවා නම් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුටත් වඩා ළග යාලුවෙක්.."

අප්පට සිරි.. මොකක්ද බං ඒ කුඩු කේඩු කතාව.. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුටත් වඩා ළග එකෙක්..? ඔලුව අවුල්වෙන හින්දා මං ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නෑ..

"මං කවුරු උනත්, ඒක මෙතෙන්ට අදාල වෙන්නෑ කියලයි මං නම් හිතන්නේ.. මොකද.. මං කවුරු උනත් මගෙන් පිටවෙන දේයි වැදගත් වෙන්නේ.. ඒ කියන දේ අනුව ඔයාට තීරණේ කරන්න පුළුවන් මං මොන දෙයක් හින්දද මේ දේ කියන්නෙ කියලා.."

අප්පච්චිගෙයි, දුවගෙයි කතාව මැද්දට ආයෙත් මං පැන්නා.. මං කියන්න හදන්නෙ මොනවද කියලා බලන්න හොද උවමනාවකින් මනුස්සයා මගේ පැත්තට හැරුණා..

"ඔයා, ශලනිව හරියට බලාගත්තා නම්, රට ඉදලා ලංකාවට ඇවිත් ඔහොම ඩිංග කාලෙකදි, නලින්ද එක්ක යාලු උනේ කොහොමද..? ඔක්කොටම ඉස්සෙල්ලා මට ඒ ගැන කියනවද..?"

මිනිහෙකුට ඇටෑක් කරන්න ඕන නම්, ඒක කරන්න ඕන කළාව බන්ටි දශමෙටම දන්නවා කියන දේට හොදම උදාහරණය තමයි ඒ අහපු ප්‍රශ්නෙ.. බලන් ඉද්දිම අංකලයගෙ මූණ මළ මිනියක් වගේ සුදුමැලි උනා.. මෙච්චර වෙලා කෑලි දහයෙ ටෝච් එළි දෙකක් වගේ,මගේ ඇස්වලට එල්ලවෙලා තිබ්බ, ඇස්වල තිබ්බ දරදඩුකම සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා..

"අ..ප්..පච්චී.."

ශලනි කොහේදෝ ඉදලා ආයෙත් අපි ළගට ඇවිල්ලා තිබුණා.. අපි තුන්දෙනා අතරෙ වෙච්ච කතාබහ එයාට ඇහුණෙ නැති උනත්, හැමදේම බලන් ඉන්න ඇති කියලා ඒ මූණ දිහා බැලුවාම මට හිතුණා..

"අ.. අපි යමු ශලනි.."

මගේ ප්‍රශ්නෙට උත්තර නොදීම අංකල්, ශලනිගෙ අතකින් අල්ලගෙන ඉස්සරහට ගියා.. අප්පච්චි අත අල්ලගෙන හිටියත්, ඉස්සරහට ඇවිදගෙන ගියත්, ශලනිගෙ මූණ හැරවිලා තිබ්බෙ මායි, නිරෝෂියි දිහාට.. ඒ මූණෙ තිබ්බ අසරණකම, අහිංසකකම මගේ හිතට මහ මොකක්දෝ ලොකු දුකක් එක්කහු කරා..

"අනේ බන්ටි.. අප්පච්චි නවත්තන්නකෝ.."

"ඕන නෑ නිරෝෂි.. එයාලා ඔහොම ගියාවේ.. දැන් අප්පච්චිට කල්පනා කරන්න හුගාක් දේ තියෙනවා.. එයා අර මුලින් හිටපු තැනින් පල්ලෙහාට බැහැලා දැන් කල්පනා කරයි.."

"අප්පච්චි එහෙම එක පාරට වෙනස් වෙන කෙනෙක් නෙමෙයි බන්ටි.."

"ඔයා කොහොමද ඒක දන්නේ..?"

"අම්මා කියලා තියෙන කතා වලින් මං දන්නවා.."

"ඒ වුණාට හුගද් තද හිත් තියෙන මිනිස්සු තමන්ට වඩාත් සංවේදී දේකදි, හිතාගන්න බැරි ඉක්මනට වෙනස් වෙනවා.. ඔයාල හැමෝම එක පවුලක් විදියට ඉන්න වාසනාවන්ත නම්, ඒ දේ අප්පච්චි කරයි.."

"මොන දේට උනත් අපිට ඒ තරම් කාලයක් නෑ බන්ටි.."

"ඇයි ඒ..?"

"අප්පච්චි, ශලනිවත් එක්ක ලබන සතියෙ ඕස්ට්‍රේලියා යන්නයි හදන්නේ.."

"එයාල හුග දවසක් ඉන්න නේද ආවේ..?"

"ඔව්.. නලින්දගෙ ප්‍රශ්නෙ හින්දා අප්පච්චි තීරණයක් අරන්.. ශලනිට ඒක වෙනස් කරන්න අමාරුයි.. අනේ අපි මොකද කරන්නෙ බන්ටි..?"

නිරෝෂි ඇහුවෙ හොද ප්‍රශ්නයක්.. ඒත් බන්ටි ගාව ඒ ප්‍රශ්නෙට හොද උත්තරයක් තිබුණා..

"ඔයයි, අම්මයි හෙට උදේම අප්පච්චි හම්බවෙන්න යන්න.. ගිහින් කතා කරන්න.."

"හෙට..? අම්මා මේ ගැන මුකුත්ම දන්නෑ බන්ටි.. මං කොහොමද එක පාරටම අම්මව එක්කගෙන එන්නේ..?"

"ඔයා දැන් ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක කතා කරන්න.. ආයෙ එක පවුලක් විදියට ජීවත් වෙන්න ආසයි කියලා කතාව පටන් ගන්න.."

"අම්මා මට හොදටම බනියි බන්ටි.. මෙච්චර දවසක් ළග ඉදපු එයාට වඩා අප්පච්චි ලොකු උනා කියලා.. ඒක එහෙම නෙමෙයි කියලා මං කොහොමද අම්මට පහදලා දෙන්නේ..?"

"හොදම ප්‍රතිඵලේ ලබාගන්න නම්, හැමදේටම කෙලින් මූණ දෙන්න නිරෝෂි.. ඔයාගෙ අම්මා ළගට ඇවිත් ඔය ගැන කතා කරන්න මට පුලුවන්.. ඒත ඒකට සුදුසු කෙනා මම නෙමෙයි ඔයා.. ඒ හින්දා බෑ කියලා හිතන්නැතුව අම්මත්තෙක්ක කෙලින් කතා කරන්න.. මට විශ්වාසයි ශලනිත් මොනවම හරි තාත්තත් එක්ක කතා කරලා තියේවි කියලා.."

"එතකොට ඔයා මට මෙතනින් එහාට උදව් කරන්නැද්ද බන්ටි..?"

මෙච්චර වෙලා කරපු කතාවෙ හැමදේම පැත්තකින් තියලා නිරෝෂි මගෙන් ඇහුවා..

"ඔයාටයි, ශලනිටයි හොද ආරම්භයක් මං අරන් දන්නා නිරෝෂි.. දැන් ඔයාල මේක ඉස්සරහට ඇදගෙන යන්න.. ඒත් ඔයා බයවෙන්නෙපා.. මේ බන්ටි අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරන තැන ඇති.. මං යාලුවෙක්ව ලේසියෙන් දාලා යන්නෑ.."

"ඒක මාත් පිළිගන්නවා.."

"එහෙනම් ජයවේවා කියලා බන්ටි යන්නයි හදන්නේ.. තව විශේෂ මුකුත් නෑ නේද..?"

"තියෙනවා.."

"ඒ මොනවද..?"

"බින්දු ගැන.."

"බින්දු ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නෙපා නිරෝෂි.. බින්දු උගේ පණටත් වැඩිය ඔයාට ආදරෙයි.. ඒක මං හොදටම දන්නවා.. ආදරේ වැඩිකමටයි  ඔයා පස්සෙ උනත් ඔය තරම් එළවන්නේ.."

"මං හිතන්නෑ බන්ටි.."

"හිතන්නෑ කියන්නේ..?"

"ඔයා හිතන්න.. මගේ අම්මයි, අප්පච්චියි එකට ආපහු එක්කහු කරගන්න මං දගලද්දි මගේ ළගම ඉන්නෝන, මං වැඩියෙන්ම ආදරේ කරන කෙනා නේද..? ඒත් එයා අද මගේ ළග ඉන්නවද..? නෑ බන්ටි.. හුගාක් පිරිමි ළමයි හිතන්නෙ ගෑනු ළමයෙකුට ආදරේ විතරක් තිබ්බම ඇති කියලා.. ඒත් ආදරේ විතරක්ම නෙමේ.. අම්මා, අප්පච්චිගෙන් ලැබෙන ආරක්ෂාව, රැක බලා ගන්නෙක, ලෙඩක් දුකක් කරදරයක් ආවම ඉස්සරහට පැනලා දනි පනි ගාලා හොයලා බලනෙක.. ඒ වගෙ තව හුගාක් දේවල් තියෙනවා.."

නිරෝෂි නන්ස්ටොප් කියවගෙන ගියා.. කියලා වැඩක් නෑ.. එතකොට බින්දු හැමදෙයින්ම ෆේල් කියලද නිරෝෂි මට නොකියා කියන්නේ.?

"මොන දේටවත් ඉක්මන් වෙන්නෙපා.. හැමදේම හරියයි.. අපි ඉස්සෙල්ලම අප්පච්චියි, අම්මයි එකතු කරන්න බලමුකෝ.."

"ඒක ඇත්ත බන්ටි.. හිතේ මොන දේ තිබුණත් ඔයා කියන දේ පිලිගන්න මං කැමතියි.. ඒ නිතරම ඔයා හරි දේ කියන හන්දා.. මං යනවා.."

තව එක පාරක්වත් මං දිහා බලන්නැතුව නිරෝෂි දළදා මාළිගාවට, අපි ඇතුල් උන පැත්තෙන්ම ආපහු ඇවිදගෙන එළියට ගියා.. මෙතනින් එහාට මේ දන්න කියන මිනිස්සු අතරෙ ජීවිතේ කොහොම ගලාගනෙ යාවිද කියලා නිකමට වත් හිතාගන්න බැරුව, මං දළදා මාළිගාව පුද බිමේ තනිවුණා..

                                            ****************************

මැදැයි.. හැමෝටම උදව් කරන්න ඇවිත්, අන්තිමට බන්ටිට දවල්ට කන්නත් නැති උනා.. බන්ටි හිතාගෙන ආවෙ නම් කොහොමද..? ලන්ච් එකට චිකන් එක්ක ෆයිඩ් රයිස්.. දැන් බලන් ගියාම මොන ෆ්‍රයිඩෙක්වත් නෑ.. පට්ට බඩගින්නෙ ගෙදර යන්නයි තියෙන්නෙ.. අම්මපා මොකාද දන්නෑ මං අද උදේ දැකපු නරකාදි සත්වයා..

"රන්දික.."

චැලිය ළගට ඇවිල්ලා ඒකට නගින්න හැදුවා විතරයි, මගේ ඉස්සරහ හිටපු කෙනාව දැකලා මං ගැස්සුණා.. මෙයා කොහොමද දන්නෙ මං අද මාළිගාවට එනවා කියලා.. 

"නෙත්මි.. කොහේ යන ගමන්ද මේ..?"

"දළදා වදින්න ආවමත් ඔයාට පේන්නෙ මං වෙන කොහේවත් යනව වගේද රන්දික..? ඔන්න ඔයා නම් අවිත් තියෙන්නෙ දළදා වදින්න නෙමෙයි වෙන මොකක් හරි දේකට වගේ නේද..?"

කතාව පටන් ගත්තෙම වළියට බර නැකතකින් කියලා මට හිතුණා.. ඕනම කොල්ලෙක්ව පාගල වගේ කතාව ආරම්භ කරහම පටන් ගත්තු තැනම ඒක ලොප් වෙනවා කියලා මේ ළමයින්ට තේරෙන්නෙ නැද්ද මංදා.. මොනවා උනත් ටිකක් සන්සුන් වෙන්න මං හිතාගත්තා.. මොකද අද දවසට සිද්ධ වෙච්ච දේවල් මේ හොදටම ඇති..

"ඔව්.. මම නම් ආවෙ දළදා වදින්න නෙමෙයි.."

"මං ඒක දැක්කා රන්දික.. අච්චර බැගෑපත් වෙලා මං ඔයාව හම්බවෙන්න ඕන කියලා කියද්දි, ඔයා කිව්වෙ බලමු කියලා විතරයි.. ඒත් අද ඔයාට නිරෝෂිව හම්බවෙන්න වෙලාව ඕනෙ තරම් තිබුණා.. මට ඇත්ත කියන්න රන්දික.. මේ අලුත් කතාවෙ තේරුම මොකක්ද..? නිරෝෂි එක්ක යාලු බින්දු නෙමේ නේද..?"

"ඔයා මොනවද නෙත්මි මේ කියවන්නේ..? නිරෝෂි එක්ක යාලු බින්දු නෙමේ නම් වෙන කවුද..?"

"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ..? නිරෝෂි එක්ක බින්දු යාළු නම්, අද මෙතන ඉන්න ඕන බින්දු.. ඒත් ඔයයි, නිරෝෂියි ලංවෙලා කතා කර කර ඉද්දි මං දැක්කා බින්දුත් අර ඈත තියෙන ගේට් එක ළග ඉදන් ඔයාල දිහා බලන් ඉන්නවා.. මේවයෙ තේරුම මොකක්ද රන්දික.. ඔයා හුගක් හොද කෙනෙක් කියලා මං දන්නවා.. ඒත් ඇයි මෙහෙම අවිශ්වාස හිතෙන විදියට හැසිරෙන්නේ..?"

එහෙනම් ඒකත් එහෙමද..? මං ඊයෙ වීරයා වගේ කිව්ව කතාවට, බින්දු එහෙනම් මාළිගාව ළගට ඇවිල්ලා හැමදේම බලන් ඉන්න ඇති.. ඒත් මං වැරදි දෙයක් කෙරුවෙ නෑ.. පිටින් බලන් ඉන්න කෙනෙකුට ඕන අර්ථයකින් දේවල් හිතාගන්න පුළුවන්.. ඒත් මගේ හිතේ තිබ්බෙ මොනවද කියන්න මං දන්නවනේ.. මං කෙලින්ම නෙත්මි දිහා බැලුවා..

"නෙත්මි.. මට ඔයා කියන දේ තේරෙන්නෑ.. මං අවිශ්වාස විදියට හැසිරුනා කියලා කියන්නෙ ඇයි..? මෙතන දෙනෝ දාහක් ගැවසෙන තැන මං නිරෝෂිත් එක්ක කැත විදියට හිටියෙ නෑ.. අපි දෙන්නා කතා කර කර  හිටියා විතරයි.."

"දෙයියන්ගෙ නාමෙට ඔච්චර හයියෙන් කතා කරන්නෙපා රන්දික.. මං මේ ඔයාට හුගාක් ළංවෙලා ඉන්නේ.. හෙමීට කිව්වා නම් මට හොදට ඇහෙනවා.."

"හරි.. දැන් ඔයා මොනවද මට කියන්නේ..?"

"ඔයා ඔය මගෙත්තෙක්ක තරහෙන් නේද කතා කරන්නේ..? ප්ලීස් රන්දික.. අර ඉස්සර වගේ මගෙත්තෙක්ක සැහැල්ලුවෙන් කතා කරන්න.. මං ඔයා ගාවින් ඔහොම සැර නපුරු කෙනෙක් බලාපොරොත්තු වෙන්නෑ.. මං ඔයාගෙන් ඇහුවෙ, බින්දු ඉන්න ඕන තැන ඇයි ඔයා ඉන්නෙ කියලා..? මොකද බින්දු හිටියෙත් අර යකඩ කනුව ගාවනේ.."

"නිරෝෂි මගෙන් උදව් ඉල්ලුවා.. මං මේ ගැන ඔයාට කලිනුත් කිව්වනේ.. ඉතිං මායි, එයයි හම්බ නොවී උදව් කරන්නෙ කොහොමද..?"

"ඔයා මට කලිනි කිව්ව වගේ මාත් ඔයාට කලින්ම කිව්වනේ.."

"මොනවද..?"

"බින්දු ඉද්දි ඇයි නිරෝෂි ඔයාගෙන් උදව් ඉල්ලන්නෙ කියලා.."

නෙත්මි හදන්නෙ කතාව එක තැනකට ගේන්න කියලා මට තේරුණා.. කමක් නෑ.. මේ හැමදේකම අවසානයක් තියෙන්න ඕනනේ.. මාත් කැමැත්තෙන්ම ඒ කතාවට අනුබල දුන්නා..

"ඒක ඉතිං මං දන්නෑ නෙත්මි.. ඒක අහන්න ඕන නිරෝෂිගෙන්ම තමයි.."

"ඉතිං ඇයි ඔයා ඒක ඇහුවෙ නැත්තේ..?"

"මොකක්ද..?"

"බින්දු ඉද්දි මං ගාවට ආවෙ ඇයි කියලා.."

"මං ඇයි එහෙම අහන්නේ..? එයාට උදව් කරන්න බින්දු අකමැති ඇති.. ඒක හින්දා යාලුවෙක් විදියට මං ළගට එන්න ඇති.."

"යාලුවෙක්..? ඒක හොද යාලුකම.. මං දැක්කනේ.."

ඒ වෙනකොට නෙත්මිගෙ මූණ තද රතු පාටට හුරු රෝස පාටකට හැරිලා තිබුණා.. කෙල්ලට ඩෝං යන්න පටන් අරගෙනද, එකසිය ගානට ඩෝං ගිහින්ද මට හිතාගන්න බැරිවුණා.. හැබැයි ඉතිං.. එකසිය ගානට නෙමේ, තුන්සිය ගානට ඩෝං ගියත් මේ බන්ටි නම් සැරෙන්ඩර් නෑ.. ඒක ඔය කොහෙද සෙල් ලිපියකත් කොටලා තිබ්බා..

"නෙත්මි මේ.. ඇත්තටම මට දැන් ඔයා කියන කතා වලට කේන්ති යනවා.. ඔයා ඔය කියන විදියට මට කවුරුවත් ආශ්‍රය කරන් ඉන්න බැරිද..? මං බිංකුන්ඩෙක් වගේ මේ ගේ ඇතුලට වෙලා ඉන්න ඕනද..? ඒක මාර කතාවක්නේ.."

"මට සමාවෙන්න රන්දික.. ඔයාව කේන්ති ගස්සවන්න මං හිතුවෙ නෑ.. මට ඕන සාමදානෙන් ඔයත්තෙක්ක මේ ප්‍රශ්නෙ විසදගන්න.."

"බේරගන්න තරම් ප්‍රශ්නයක් අපිට නෑ නෙත්මි.. ඔයා ඇයි මේ නැති ප්‍රශ්නයක් ඇති කරන්න හදන්නේ..?"

"නැති ප්‍රශ්නයක්..?"

"ඔව්.. ඔයයි, බින්දුයි දෙන්නම කරන්න හදන්නෙ ඒක තමයි.. ඔයිට වැඩිය හොද විදියට මේ කතාව ඉවර කරන්න තිබ්බා මමයි, නිරෝෂියි හිටපු තැනට ඔයයි, බින්දුයි දෙන්නම ආව නම්.. ඒත් ඔයාලා දෙන්නම කෙරේ මොකක්ද.. අපේ තුන් හිතකවත් නැති ඒවා හිතින් මවාගෙන, පිපිරි පිපිරි බලාගෙන ඉදපු එක.. ඔයාම කියන්න නෙත්මි.. ඔයාල ඒ කරපු වැඩේ හරිද..? ඔයා හිටියෙ මුළු හිත ඇතුළෙම කුණු පුරවගෙන.. හරින නම් ඔයාට තිබ්බෙ මගෙත් එක්ක එකතුවෙලා ඒ ළමයගෙ ප්‍රශ්නෙ බේරගන්න උදව් කරනෙක නේද..? ඒත් බින්දු වගේම ඔයත් මේ කතාව පටන්ගත්තු නැත ඉදලම, මාව බ්‍රේක් කරන්නයි හිතා ගත්තේ.."

"බ්‍රේක් කරන්න..?"

"ඔව්.. නිරෝෂි මගෙන් ඉල්ලපු උදව්ව, නොකෙරෙන තැනට වැඩ කටයුතු කරන්න තමයි ඔයාලා හැදුවේ.. ඒත් හොදට මතක තියාගන්න.. මගෙන් හිගන්නෙක් ඇවිත් උදව්වක් ඉල්ලුවත්, මං ඒක කරලා දීලයි පස්ස බලන්නේ..  එතෙන්දි මට වෙන අලාභෙ ගැන මං හිතුවෙ නෑ.."

කතාව දිගින් දිගටම ඇදිලා යද්දි, මට මහා වෙනසක් දැනුණා.. හරියට නිකං වරු තුනක් එකදිගට කුලී වැඩ කලා වගේ.. නෙත්මිත් එතනින් එහාට වචනයක් වත් කතා කෙරුවෙ නෑ.. මගේ මූණ දිහා බලාගනෙම එයා මගේ අතකින් අල්ල ගත්තා.. ඒ අතේ තිබ්බ සිනිදු බව මගේ අතට විතරක් නෙමේ,  හිතටත් දැනුණා.. මෙච්චර මගෙන් බැනුම් අහ අහ, පල නොකියා පළා බෙදද්දිත්, මගේ ළගට වෙලා ඉන්න නෙත්මි ගැන ලොකු අනුකම්පාවක් හීන් සැරේ හිත ඇතුළට ගලාගෙන එන්න පයන් අරන් තිබුණා..

"ඔයා අලාභෙ කියලා හැදින්නුවෙ මගෙත් එක්ක තියෙන ආස්සරේ නම්.. ඔයා කැමති තීරණයක් ගන්න.. මං ආයෙ මේ ගැන ඔයත්තෙක්ක කතා කරන්නෑ රන්දික.. ඔයාට කරදරයක් වෙන්නෙත් නෑ.. ඒ දේ හරි ඔයාගෙ හිතට සැනසීමක් වේවිනේ.. හරි.. අපි ඒ කතාව නවත්තමු.. දැන් මට හොද දරුවා වගේ කියන්න.. ඔයා දවල්ට කාලද ඉන්නෙ කියලා..?"

මොන දේ කිව්වා උනත් නිරෝෂිට, ශලනිට නැති හුගාක් හොද ගතිගුණ නෙත්මිට තියෙනවා කියලා මට හොදටම තේරුණේ එයා ඒ අහපු අන්තිම ප්‍රශ්නෙන්.. ඒ වෙනකොට මං ඇත්තටම බඩගින්නෙ හිටියේ.. ඒ බඩගින්න ගැන විහිලුවට වගේ ඉගි තුන හතරක් අර කිඹුල්ලු දෙන්නට දුන්නා උනත්, එයාලා ඒ ගැන තඹ සත පහක උනන්දුවක් දැක්වුයෙ නෑ.. උඹ සාගින්දරේ ඉදලා හරි අපිට උදව් කරපං කියන හැගීමක් එයාලා ළග තිබ්බේ..

"දවල්ට කනවා කියා ඇත්තටම මං උදේටවත් හරියට කෑවෙ නෑ.."

"දෙයියනේ.. මෙච්චර වෙලා..? ඔයාට පිස්සුද රන්දික මේ කෙහෙල්මල් වැඩ හින්දා බඩගින්නෙ ඉන්න.. එන්න අපි හොද නැතකට ගිහිල්ලා ලන්ච් එක ගනිමු.."

මදැයි.. මං ලන්ච් එක ගන්න ආවෙ කාත් එක්කද..? දැන් ලන්ච් එක ගන්න වෙන්නෙ කාත් එක්කද..? අනේ කාලේ වනේ කෑවා කියන්නෙ ඕවට තමයි..

"එහෙනම් අපි ඩෙවොන් එකෙන් පාර්සල් ඕඩර් කරලා, අර එහා පැත්තෙ නිදහස් තැනකට ගිහිල්ලා කමු.."

කිසිදු අවුලකින් තොරව මං වැඩේ එක හෙලාම අනුමත කරා.. කෑමට බීමට බන්ටි ලෝස් නෑ කියලා හැමෝම දන්නවනේ.. බඩගිනි වෙලාවට ඊරි යකයි, මහසෝනයි එක්ක උනත් බන්ටි ලන්ච් එක ගන්නවා.. ඒකෙ දෙකක් නෑ..

"ඇති යාන්තං.. මං හිතුවා ගත් කටටම බෑ කියයි කියලා.."

මගේ චැලියට ඩිංගක් එහායින් නවත්තලා තිබ්බ ස්කුබි ඩූ සයිකලේ මං දැක්කෙ එතකොට.. හුටා.. මට එතකොට යන්න වෙන්නෙ නෙත්මිගෙ බයික් එකේද..?

"නැගලා  හයියෙන් අල්ල ගන්න.. හොදද..? මං හරියට බ්‍රේක් ගහනවා.. නැත්තං ලන්ච් එක කෙසේ වෙතත්, ඔයා පාර මැද්දෙ වැටිලා ඉදියි.."

අම්මපා මේවට තමා කියන්නෙ පොල් පරාල පයින් යනවා කියලා.. ඔයිට වඩා හොද නැද්ද දෙයියනේ, බයික් එකේ යනකොට ඔයාට වමනෙ යයිද දන්නෑ, ශත පනහක් කටට දාගන්න කිව්වා නම්.. ෂිහ් අම්මපා.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. බන්ටි කියන්නෙ සිරා කොල්ලෙක් නේද..? 

"හරි නේද..?"

කෙල්ල ස්කුබි ඩූ සයිකලේ ස්ටාර්ට් කරලා මගෙන් ඇහුවා.. මාත් කිසිදු අවුලක් නැතුව නෙත්මිගෙ ඉන පැත්තෙන් තද කරලා අල්ල ගත්තා..

"ඒයි.. මට කුචි හොදද..?"

ඒක නම් ඉතිං ඇඹරෙන හැටියෙන්ම තේරෙනවනේ.. වෙන ඉතිං අල්ල ගන්න තැනකුත් නෑනේ මේකේ..

"වැඩිය බ්‍රේක් ගහන්නෙපා.. අන්තිමට මම ඔයාගෙ උකුල උඩ ඉදීවි.."

"ඒකට නම් කමක් නෑ.. මං ඒකට කැමතියි.."

මෙච්ච වෙලා මගේ හිත ඇතුලෙ තිබ්බ, මොකක්දෝ නොතේරෙන නොසන්සුන්කම හෙමින් සීරුවෙ දියවෙලා ගියා.. හුගාක් දේවල් ප්ලෑන් කරලා කරනවට වඩා අහම්බෙන් සිද්ධ වෙද්දි, ඒක එන එන විදියට හැඩ්ල් කරද්දි හිතට මාර ගතියක් දැනෙනවා.. ඒ දේ දන්නෙ ඒ සංසිද්ධීය විදගත්තු අය විතරයි ඈ..

ඩෙවෝන් එකෙන් ලන්ච් එක පාර්සල් කරගෙන, වලාකුළු බැම්ම ළග ලොකු ගහක් යටට වෙලා මායි, නෙත්මියි ඊගාවට කරේ බස බස ගාලා කෑම ටික කාලා දාපු එක..  ඇත්තටම ඒක හරිම මිහිරි අත්දැකීමක් උනා.. සාමාන්‍යයෙන් හිතවත් දෙන්නෙක් හරි, අදුනන දෙන්නෙක් හරි, කෑම කනකොට කෑම පාර්සල්වල තියෙන එළවළු වෑංන මාරු කරගන්නවනේ.. මායි, නෙත්මියි ඒ දේ කරා.. හැබැයි ඉතිං අවුලකට තිබුණෙ අපි දෙන්නගෙම පාර්සල් වල තිබුණෙ එකම ජාතියෙ දේවල් හින්දා.. ඒ ගැන හිනා වෙවී, කතා කර කර කෑම කද්දි නෙත්මිට කෑම ඉස්මොල්ලෙ ගියා.. මං කෙරුවෙ අත් දෙකම උස්සලා එයාගෙ පිටට තඩිබාපු එක.. අම්මප කවුරු හරි බලන් හිටියා නම් ඔලුවෙ අත ගහගන්නවා.. කෙල්ලෙකුට මෙහෙම පාර දෙනවද කියලා..

"ඒක නම් මගෙත් එක්ක තරහටද කොහෙද හිතලමයි ගැහුවෙ..? නේද රන්දික.."

"අපෝ නෑ.. යාලු ෆිට් එකට පොල් කඩන්න වගේ ඩෝං ගාලා පතබෑවේ.."

"ඒක නම් හොද යාලු ෆිට් එක තමා.."

එතන ඉදලා නෙත්මිගෙ මූණට ලොකු කල්පනාකාරී බවක් ඇවිල්ලා තිබුණා.. කෑම කලා ඉවරවෙලා වතුර බෝතලෙන් අත හොද ගනිද්දි ඒ කල්පනාව සුදු මූණෙ එහෙම්ම ඉතුරු වෙලා තිබුණා..

"ඇයි නෙත්මි.. මුකුත් ප්‍රශ්නයක්ද..?"

"නෑ රන්දික.. අපි දැන් යමු.."

"නෑ.. නෑ.. යන්න කලින් මට කියන්න, ප්‍රශ්නෙ මොකක්ද කියලා.. මට පුළුවන් දෙයක් නම් මං කරන්නම්.."

"මං කිව්වනේ රන්දික මුකුත් නෑ කියලා.."

අම්මපා කෙල්ලො කියන්නෙ නම් වැස්ස වගේ.. හුළග වගේ, කොටින්ම කාලගුණේ වගේ වෙනස් වෙන ජාතියක් කියන්නෙ බොරුවක් නෙමෙයි.. ඒ කතාව මුලින්ම ප්‍රකාශ කරපු එකාගෙ කටේ ආනමාලු ගෙඩියක් ඔබන්න ඕන.. ඒක ඒ තරම් සිරා ඇත්ත කතාවක්..

"නැත්නම් ඉතිං කමක් නෑ.. මට ඔයාගෙ වෙනසක් දැනුණ හින්දයි මං ඇහුවේ.."

"මං ඉන්නෙ ඔයාගෙ අම්මව හම්බවෙන්න යන්න.."

"අම්මව..?"

මං උඩ ගිහින් බිම වැටුණා.. ඒ පාර මොකක්ද අප්පෙ මේ වෙන්න යන්නේ.. ස්කුබී ඩූ සයිකලේ, මගේ චැලිය ගාවින් ආයෙත් නවත්තනකල්ම මං හිටියෙ හොල්මන් වෙලා..

"ඔව්.. පුළුවන් තරම් ඉක්මනට, සමුදිනීලගෙ ගෙදරින් අයින් වෙලා, ඔයා ළගට යන්න කියලා කියන්න.."

"ඇයි ඒ..?"

"අම්මා ඉන්න ඕන ඔයා ළග රන්දිතත ඔයා මේ අරමුණක් නැතුව වගේ හැම තැනම පාවෙන්නෙ, ඔයා ළග කවුරුවත්ම නැති හින්දා.. ඔයාට හිතෙන හිතෙන දේවල්   කර කර ඔයා දගලන්නෙ, ඔයාගෙ පිටිපස්සෙ කවුරුවත් නැති හින්දා.."

"අම්මා මං ළගට ඇවිල්ලා කොහොමද..? එයා නවතින්නෙ කොහෙද..? මං කොහොමද අම්මට සලකන්නේ..?"

"ඔයාට ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික ඔච්චරයි නම්, වැඩේ හුගාක් ලේසියි.. මං ඔයාට උදව් කරන්නම් රන්දික.. අපි ඉස්සෙල්ලම රෙන්ට් එකට පුංචි ගෙයක් හොයමු.. ඊට පස්සෙ අම්මව ඒකට එක්කරං එමු.."

"ඔයාට පිස්සුද නෙත්මි.. මේ නුවර රෙන්ට් එකට ගෙවල් වල ගාන කීයක් කියලද ඔයා හිතන්නේ..? අනික අවුරුද්දක දෙකක කීමනි ඉල්ලනවා.. ඒවා කවුද දෙන්නේ..?"

"ඒ හැමදේම මං දන්නවා රන්දික.. අපේ ලොකු අම්මගෙ ගෙයක් තියෙනවා.. අපේ ගෙවල් පාරෙම.. ඒක එච්චර ලොකු නෑ.. ඔයාටයි, අම්මටයි හොදටම ඇති.. ගාන ගැන ලොකු අම්මත් එක්ක කතා කරලා මට බේරුමක් කරගන්න පුළුවන් වෙයි.. ඔයා ඒ ගැන බයවෙන්නෙපා.."

නෙත්මි ගැන මගේ හිතට ලොකු දුකක් ගලාගෙන ආවා.. එයා මොන තරම් මං ගැන හිතනවද කියන දේට ලොකුම උදාහරණය එයා කතා කරපු වචන අතරෙ තිබුණා.. කෙනෙකුට තවත් කෙනෙක් ගැන මේ තරම් දුරට හිතන්න පුළුවන් නම් ඒ හිත කොයි තරම් ලස්සනද කියලා කවුරුවත් මට කියලා දෙන්න උවමනා උනේ නෑ..

"මට හරි  හමන් රස්සාවක් නැතුව, අම්මව අරගෙන ඇවිල්ලා බෑ නෙත්මි.. එයා ඔය ඉන්න තැනම හිටපුවාවෙ.. හුගාක් කල් ඉදලනේ එයා එහේ ඉන්නේ.. අනික මගේ ළගට ඇවිත් අම්මට ඔය ඉන්නවටත් වැඩිය දුක් විදින්න වෙයි.."

"ඒ ගැන ඔයා ඩිංගක්වත්  හිතන්න ඕන නෑ.. මට ඔයාගෙ බයෝඩේටා එකක් ගෙනැල්ල දෙන්න.. සෙන්ට්‍රල් බෑන්ක් එකට මේ දවස්වල කට්ටිය ගන්නවා.. මගේ මාමට කියලා ඔයාට උදව්වක් අරන් දෙන්න මට බැරිකමක් නෑ.. ඔයා ඔය නිකං ඉන්නවට වැඩිය ඔයාගෙම තැනක නැවතිලා රස්සාවක් කරගෙන අම්මත් බලාගනෙ ඉන්නකොට ජීවිතේ ලස්සනට ගෙවිලා යාවි.."

ඇත්තටම නෙත්මිගෙ වචන පිහි පාරවල් තුන හතරකට වඩා දරුණුවට මගේ පපුවට වැදුණා.. මේ බොරුව, මීට හුගාක් කාලෙකට කලින් මගේ අතින් නිකමට වගේ කියවුණ බොරුව, එළි කරලා දාන්න කාලෙ ඇවිත් කියලා මට තේරුණා.. නැත්නම් ඉතිං, වහින්නෙ නැතුවම බන්ටිට හෙණ ගහන දවස වැඩි ඈතක නෑ..

"එතකොට ඔයා කැමති නම් විතරක් මටත් ඒ ගෙදරට ඇවිල්ලා යතෑකි.. ඇයි ඉතිං මාත් ඉන්නෙ ඒ ළගමනේ.."

මේ රත්තරං කෙල්ලට තියෙන්නෙ මොන තරම් අහිංසක බලාපොරොත්තුවක්ද..? මං නෙත්මි ගැන හිතුවෙ මොන තරම් කැත විදියටද..? ෆෝන් එක්ක අරන් දීලා, මගේ නිදහස සීමා කරන්න හදන, මට නිතරම කරදර කරන කෙනෙක් හැටියටයි මං එයා ගැන හිතුවෙ.. ඒත් මං හිතුවෙවත් නැති විදියට නෙත්මි ඒ හැම දෙයක්ම කඩලා බිදලා දැම්මා.. දැන් මටයි මං ගැන කලකිරීමක් එන්නේ..

"කියන්න රන්දික.. මං ඔයාගෙ අම්මත්තෙක්ක කතා කරන්නනද..? ඔයා තවත් අනුන්ගෙන් කකා දුක් විදිනවා බලන් ඉන්න මට බෑ.."

"එහෙම නෙමේ නෙත්මි.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.."

"මුකුත් කියන්නෙපා.. මගේ හිත රිද්දන්නැතුව මේ වැඩේ කරගන්න රන්දික.. ඔයා දන්නවද මං මගේ ජීවිතේට කවුරු වෙනුවෙන්වත් මෙහෙම උදව් කරලා නෑ.. මට කවුරු ගැනවත් මෙහෙම හිතිලත් නෑ.."

"ඔය ඔක්කොම හරි නෙත්මි.. ඒත්.. ඔයා හිතන්නැති විදියෙ දෙයක් මෙතන තියෙවා.."

තවදුරටත්, නෙත්මිට කියපු බොරුව, හිර කරලා තියාගෙන ඉන්න මට බැරිවුණා.. මං හැදුවෙ මේ ළගින්ම පේන දළදා මාළිගාව ඉස්සරහම ඒ හැමදෙයක්ම නෙත්මිට කියන්න.. ඒත්..?

"හිතන්නැති මොනව තිබ්බත් කමක් නෑ.. ඔයා අදම නැත්නම් හෙටම ගිහිල්ලා අම්ම හම්බවෙලා කතා කරන්න.."

"මේකයි නෙත්මි මං කියන්න ගියේ.. මගේ.."

"ඇති රන්දික ඇති.. දෙයියන්ගෙ නාමෙට.. මං කියනවට මේ දේවත් කරන්නකෝ.. මං ඔයාගෙ හොදටනේ මේ හැමදේම කරන්නේ.. එහෙනම් මං යනවා.. හිතුවටත් වැඩිය මට හොදටම පරක්කු වෙලා.. අම්මයි, තාත්තයි මාව හොයනවා ඇති.. වෙලාවක් තිබ්බොත් මට පුංචි කෝල් එකක් දෙන්න.."

මට තවත් එක වචනයක්වත් කියන්න නොදීම නෙත්මි මං ගාවින් ඈත්වෙලා ගියා.. හැමදේම හොදට සිද්ධ උනත්, එයාට ඇත්ත කියන්න තිබුණ හොදම අවස්ථාවක් මගෙන් ගිලිහිලා ගියා කියන පසුතැවීම මගේ හිතේ තිබුණා..   



                      
              

No comments:

Post a Comment