Friday, April 13, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






පහුවෙනිදා උදේම ගෙදර අය එහෙට මෙහෙට වෙනකන් ඉදලා මං ෆෝන් එක ළගට කිට්ටු කරා.. දැන් මොකක් හරි හොර වැඩක් කරන්න කලින් කරාට වැඩිය හුගාක් අමාරුයි.. අර වෙච්ච සිද්ධියෙන් ප්සසෙ ගෙදර හැමෝගෙම අති විශේෂ අවධානය යොමුවෙලා තිබ්බෙ මට.. සමහරවිට මං මොකක් හරි බාල්දියක් පෙරල ගනී කියලා එයාලා හිතන්න ඇති..

"හෙලෝ.."


එහා පැත්තෙන් එක රින්ග් එකක්වත් යන්න හම්බවුණේ නෑ.. මට නෙත්මිගෙ කටහඩ ඇහුණා.. ලොකු පුතා කිච්ච වගේ මගේ කටහඩ ඇහිච්ච ගමන් බැණගෙන බැණගෙන යයිද මංදා.. අදහන දෙයියෙක් සිහි කරගන්න හිතුවත් එක දෙයියෙක්වත් මගේ මතකෙට ආවෙ නෑ..

"මං රන්දික කතා කරන්නේ.."

"කවුද රන්දික කියන්නේ..?" 

නෙත්මි හැරෙන තැපෑලෙන් ඇහුවා.. හප්පට සිරි.. ඒකෙ තියෙන ගනකම.. මේ මොකක්ද බං මේ..? මෙයාට මාව එච්චරටම අමතක වෙලාද..?

"දැන් මාස ගානකට කලින් ටොරින්ටන් පාක් එක ළගදි ඔයත්තෙක්ක මරාගන්න හැදුවා නේද, ටිකක් දඩබ්බර තාලෙ කොල්ලෙක්..?"

"ඔව්.. ඔව්.. මට මතකයි ඒකව.. ඉතිං..?"

"ආ.. ඔය මතක් වෙලා තියෙන්නේ.. ආන්න ඌ තමයි මේ කතා කරන්නේ.."

"ආ.. ඒ ඌද කතා කරන්නේ..? ඌට මොකද දන්නෑ දැන් සතියක් විතර තිස්සෙ උනේ..?"

ෂිහ්.. බලන්න අප්පා.. මේ ගෑනු ළමයි කතා කරන කැත.. කවුරු හරි අහන් හිටියොත් මගේ පිරිමි කමට මොකද වෙන්නේ..?

"අයියෝ.. ඔයා ඒකවත් දන්නැද්ද..? හැබැයි ඉතිං ඌට මොකද වුණේ කියලා කියන්න කලින්, මං, ඔයා කවදු කියලා දැනගන්න ඕන.."

"ආ.. මමද..? මම තමයි අර නැහැදිච්ච කොල්ලා එක්ක ටොරින්ටන් පාක් එකේදි රණ්ඩු වුණ අහිංසක කෙල්ල.."

"අම්මපා.. මං මේක කාටවත් කියන්නෑ.. හැබෑට ඒ නැහැදිච්ච කොල්ලා කවුද ඔයාගේ..?"

"මගේ නම් කවුරුවත් නෙමෙයි.. හැබැයි මං ඒකව හම්බවෙන කල් ඉන්නෙ දෙක තුනක් තඩිබාන්න.."

"හරි.. හරි.. එහෙනම් ඔයා තඩිබාන්නකෝ.. මං ෆෝන් එක තියනවා.."

නෙත්මිට වචනයක්වත් කියන්න නොදී මං ෆෝන් එක තිබ්බා.. ඒ තිබ්බෙ මගේ හිතට ආපු පුංචි සැයක් නිසා.. මගේ පිටිපස්සෙ කවුරු හරි ගැවසෙනවා වගේ හැගීමක් මේ ෆෝන් කතන්දරේ මැද හරියෙදිම මට ඇහුණා.. තත්පරේට දෙකට මං ආපහු කෑම කාමරේ ළගට ආවෙ ඒකයි.. ආයෙ ඉතිං බන්ටිට දැනිච්ච දෙයක් වරදින්න බෑනේ.. ඔය ඉන්නෙ දිලිසි දිලිසි..

"මොකද අක්කෙ මෙතන කරන්නේ..?"

"මුකුත් නෑ.."

"මුකුත් නැතිවෙන්න බෑනේ.. ඔයා මගේ කතාව අහන් හිටියා නේද..? ෂිහ්.. ඇයි අප්පා ඔහොම සවුත්තු වැඩ කරන්නේ..?"

"නෑ.. මං මේ බැලුවෙ මෙච්චර උදේන් කීයටවත් නැගිටින්නෙ නැති ඔයා, මේ තරම් උදේන් නැගිටගෙන, මේ තරම් උනන්දුවෙන් කතා කරන්නෙ කාටද කියලා.. ඇත්තටම බන්ටි.. ඔයා කාටද කතා කරේ..? මට නිකං ඇහුණා නැහැදිච්ච කොල්ලෙක් ගැන කතාවක්.."

"කොල්ලෙක් නෙමෙයි අක්කේ.. නැහැදිච්ච කෙල්ලෙක් ගැන.."

"ආ.. හරි.. හරි.. ඔයා අර මට දවසක් කිව්වේ, ඔයාගෙ පස්සෙන් කෙල්ලෙක් එනවා.. ලියුම්ම අසූ ගානක් ඔයාට දීලා තියෙනවා කියලා.. ඒ කෙල්ල නේද..? ඇයි අනේ බන්ටි ඔයාට මතක නැද්ද..? අර, අම්මා වෙනුවට බේබි නැන්දා එක්කරං ගියේ..? ඒ ළමයව හම්බ වෙන්න නේද..?"

හුටා.. මං එහෙම කතාවක් කිව්වද..? මං ඩිංගක් අතීතය සිහිපත් කරලා බැලුවා.. ඔව්නෙ දෙයියනේ.. මං එහෙම අලුගුත්තේරු ප්‍රකාශයක් කරලා තියෙනවනේ.. දැන් මොකද කරන්නේ..?

"ඔව්.. ඔව්.. එහෙම එකක් උනා තමයි.. ඒවා ඉවරවෙලා කොයි තරම් කල්ද අක්කේ..? අනික ඒකෙයි මේකෙයි කිසිම සම්බන්ධයක් නෑ.."

"කමක් නෑ.. ඒක ඉවර නම් දැන් ප්‍රශ්නෙකුත් නෑනේ.. ඔයා දැන් පිණිමුතුගෙ ප්‍රශ්නෙට මොකද කරන්නේ..?"

මේ නම් මහ අවමංගල සභාවක්ම තමයි.. තියෙන්නෙම මහ නොහොඹිනා ප්‍රශ්න.. 

"කවුද අක්කෙ පිණීමුතු කියන්නේ..?"

"ආ.. ඔයා, එයාට කියන්නෙ නෙත්මි කියලනේ.. මට ඒක අමතක උනා.."

දැන් නම් මේ නම් දෙකේ පටලැවිල්ල හුගාක් වැඩියි.. නම් දෙකෙන් එකක්, ස්ථීර වශයෙන්ම බන්ටිට තෝර ගන්න වෙනවා.. එක්කො නම් වල මුල් අකුරයි, අන්තිම අකුරයි එකතු කරලා 'නෙතූ' කියලවත් කියන්න වෙනවා.. ඔව් අප්පා.. කවුරු කරත් ඒක සෑහෙන්න හොද යෝජනාවක්..

"පහුගිය දවස්වල වෙච්ච ප්‍රශ්නත් එක්ක, ඒක ටිකක් යට ගියා අක්කේ.. අපි තව දවස් ටිකක් යන්න දීලා බලමු.."

"කොහොමටත් පරක්කු කරන්න නම් එපා බන්ටි.. මං කැමති නෑ ඔයා, පිණිමුතුව රවට්ටනවට.. එයා ඇත්තටම හුගාක් හොද ගෑණු ළමයෙක්.. එයාගෙ හිතට කෙනෙක්ව ඇල්ලුවොත්, පිණීමුතු පණ වුණත් දෙයි.."

අම්මපා.. එහනෙම් වෙලාවක ඉලල්ල බලන්න ඕන.. බන්ටිටත් පණ ඩිංගක් දේවිද කියලා.. මොකද දැන් බන්ටිගෙ පණ ගිහිල්ලා ඉන්නේ..

                                            ****************************

තවත් පැයක් විතර ගෙවිලා යද්දි ගෙදර සද්ද බද්ද සියල්ලම නිරවුල් උනා.. ඒ කියන්නෙ හැමෝම තමන්ගෙ දෛනික රාජකාරි කටයුතුවලට ගිහිල්ලා කියනෙකනේ.. මේ වෙලාවෙ ගේ ඇතුළෙ ඉන්නෙ බේබි නැන්දා විතරක් හින්දා අවුලක් නෑ.. මාත්, නොනගතේ වෙලාවෙ, තරහකාරයෙක්ගෙ ගෙදරට යනවා වගේ ටෙලිෆෝන් එක ලගට ළංවෙලා, නෙත්මිගෙ ගෙදර නම්බර් එක ඩයල් කරා.. අම්මපා රින්ග් යන්වවත් මට ඇහුණෙ නෑ.. එයා පැත්තෙන් හිටු කියලා ෆෝන් එක ඉස්සුවා..

"රන්දික නේද..?"

නෙත්මිගෙ කටහඩේ තිබ්බෙ, මොකක්දෝ අදුරු දුකක හෙවනැල්ලක් මට ඒ වචන දෙකෙන් දැනුණා.. ඒක හින්දමද මංදා මට හිතපු තරම් ඉක්මනට කතා කරගන්න බැරිවුණා..

"දෙයියන්ගෙ නාමෙට ඔයා කතා කරන්න.. ෆෝන් එක තියන්නෙපා.. ඔයා රන්දික නේද..?"

නෙත්මිගෙ වචනවල පිරිලා තිබ්බ දුක, ඒ පාර නම් අඩුවක් නැතුවම මට දැනුණා.. දෙයියනේ කෙල්ල අඩනවවත්ද..? නැත්නම් මට මේ දැනෙන හැටිද..?  

"ඇ.. ඇයි නෙත්මි මේ..? ඇ.. ඇයි ඔයා අවුල්වෙලා..?"

"ඇ.. ඇයි රන්දික ඔයා මට මෙහෙම කරන්නේ..? ඔ.. ඔයා ෆෝන් එක තිබ්බට පස්සෙ මං මෙච්චර වෙලා ෆෝන් එක ළගට වෙලා බලන් හිටියා.. ආයෙ කොයි වෙලාවෙ හරි ඔයා ගනීවි කියලා.. මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්නෝන.."

දෙයියන්ට ඔප්පු වේචචාවි.. ඒ කියන්නෙ විනාඩි හතලිස්පහක් විතර නෙත්මි ෆෝන් එක ළගට වෙලා බලාගෙන ඉදලද..? ඔව් වෙන්නැති අප්පා.. ඒකනේ රින්ග්ස් යන්න කලින්ම ඉස්සුවේ.. බලන් ගියාම ගෑනු ළමයිත් මහ පුදුම වැඩනේ කරන්නේ..

"අතේ තිබ්බ සල්ලි ඉවර උනා නෙත්මි.. ඒකයි.. දැන් අයෙත් එළියට ගිහිල්ලා යාලුවෙක්ගෙන් ඉල්ලගෙනයි ආවේ.."

"දෙ.. දෙයියනේ.. මං ඔයා ගැන හිතුවෙ කොයි තරම් වැරදි විදියටද.. අ.. අනේ මට ඔතන නම්බර් එක කියන්න.. මං.. මං ඔතෙන්ට ගන්නම්.. ප්ලීස් රන්දික.."

නෙත්මිගෙ ඒ වචනත් එක්ක මගෙ හිතට මං ගැනම ආවෙ ලොකු තරහක්.. 'මොන තරම් පහත් වැඩක්ද බන්ටි උඹ කරන්නේ..? මේ තරම් අහිංසක කෙල්ලෙක් රවට්ටන්නේ ඇයි..? උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..? උඹ ගැන ඇත්ත, ඇයි උඹ මේ කෙල්ලට නොකියන්නේ..?' මගේ හිත මගෙන් අහද්දි මට කරන්න දෙයක් තිබුණෙ නෑ..

"නෑ.. නෑ.. නෑ.. මං ගාව සල්ලි තියෙනවා.. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්නෙපා.."

"ඇ.. ඇයි රන්දික ඔයා මාව ඔහොම පැත්තකට තල්ලු කරලා දාන්නේ..? අර මුලින් ඔයා ළග තිබ්බ හොද කෝ..? මට ඔයා හම්බවෙන්න ඕන.. එතකොට මං මේ හැමදේම බේරගන්නම්.."

කෙල්ලො, ඔරොප්පුවෙන්ම ඉන්නවා නම් හොදයි කියලා මට එකපාරටම හිතුණා.. මොකද උං සංවේදී වෙන්න ගියාම, අපි සංවේදී වෙලා යනවා මල පැනලම..

"ඔ.. ඔයාට කියන දේ ඇහෙනවද රන්දික..?"

"ඔව්.. කියන්න ඇහෙනවා.."

"ඔයා ඕනෙවට එපාවට නේද මගෙත් එක්ක කතා කරන්නේ.."

"නෑ.. නෙත්මි එහෙම එකක් නෑ.."

"ඔයා අම්මව බලන්න ගියාද..?"

'මොන අම්මද..?' කියලා මහා සද්දෙට අහන්න ගිහින් මං සද්දෙ වහගත්තා.. තව ඩිංගක් එහෙට මෙහෙට උනා නම් බඩුම තමයි..

"වෙලාවක් ලැබුණෙ නෑ නෙත්මි.."

"මට ඒ ගැනත් ඔයා එක්ක කතා කරන්න තියෙනවා.. ඔ.. ඔයාට අද මාව මීට් වෙන්න පුළුවන්ද..? මට තව කියන්න විශේෂ දෙයකුත් තියෙනවා.. ඔයාට දෙන්න දේකුත් තියෙනවා.."

"මොනවද නෙත්මි..?"

"වැඩි විස්තර පසුවට.. දහයට විතර ජෝයි බෝට් එක ගාවට එන්න පුළුවන්ද..?"

"සිම්පල්නේ.. මං එන්නම්.. ඒක නෙමේ.."

කතාව දිගට ගෙනියන්න හැදුවත් නෙත්මි ෆෝන් එක තියන සද්දෙ, මට ඇහුණා.. මොකක්ද බං ඒ උනේ..? මං මගෙන් අහගත්තා.. හරියට නිකං මගේ කණ පුරෝලා පාරක් දුන්නාවගේ වැඩක්නේ එයා කරේ.. අම්මපා මේ ගෑනු ළමයිත් වෙනස් වෙන්නෙ හරියට හුළග වගේ කියලා කියපු එකාගෙ කටේ වැනිලා අයිස්ක්‍රීම් එකක්වත් ඔබන්න ඕන.. මුලින් නෙත්මි කතා කෙරුවෙ කොහොමද..? නිකං අඩන වොයිස් එකෙන්.. හරියට නිකං මෙච්චර දවසක් මං කතා කරනකල් බලන් හිටියා වගේ..

ඇත්තටම නෙත්මිගෙ වචනවල තිබ්බ පරස්පරේ ගැන නුවර ටවුන් එකට එනකල්ම මං කල්පනා කලා.. මුලින්ම එයා කතා කරේ මගෙත් එක්ක ජෝක් එකට.. මං එකපාරටම ෆෝන් එක තිබ්බහම ඒ ජෝක් එක ඉවරයි.. ඊගාවට තමයි දුක හිතෙන හරිය.. අඩන බබාගෙ කටහඩින් එයා කිව්වෙ මං කතා කරනකල් නොකා නොබී හුස්ම ගන්නැතුව හිටියා කියලා.. අම්මපා.. හුස්ම ගන්නෙත් නැතුව හිටියා කියලා කිව්වද..? නෑ.. නෑ.. නෑ.. ඒක මේ බන්ටි අතින් දාලනේ.. හුස්ම ගන්නැතුව හිටියා නම් මට කතා කරන්න නෙත්මි කෙනෙක් ඉතුරු වෙනවද අප්පා..?

ජෝයි බෝට් එක පැත්තට එද්දි ඈතදිම මං නෙත්මිව දැක්කා.. ඒ මූණෙ පිරිලා තියෙන නොසන්සුන්කම එයා ළගට ළංවෙද්දි මට හොදට පෙනුණා.. ඒත් පුංචි හිනාවක් ඒ තොල්පෙති අතරෙ තිබුණා..

"ඇති යාංතන්.. මං හිතුවෙ එන එකකුත් නෑ කියලා.. ඇත්තට ඔයා කොහෙද රන්දික හිටියේ..? හදිසියකටවත් ඔයාව කන්ටැක්ට් කරගන්න විදියක් මට නෑනේ.."

මාව දැකපු ගමන් එයා පේමන්ට් එකෙන් පහළට බැහැලා මගේ අතින් අල්ල ගත්තා.. වැව රුමෙ සුළගෙ තිබ්බ සීතලටත් වැඩිය සීතලක්, මගේ අතට වගෙම හිතටත් දැනුණා.. වළලු දාපු අතකින් නිකං හරි අල්ලන් ඉන්නවා නම්, ගණිතයට තියෙන ආසාවත් නැති කරගන්නවා කියලා 'පයිතගරසුත්' මේ ළගදි කියලා තිබුණා.. ඒත් බන්ටිගෙ අතින් ඇල්ලුවා කියලා, බන්ටිට නැති කරගන්න දෙයක් නෑනේ..

"ඔයාට මොකද වුණේ රන්දික..? ඔයා ඇයි මට ෆෝන් කරේ නැත්තේ..? එදා ශලනිව බලන්න ගියාට පස්සෙ ඔයා මාව අමතක කරලා දැම්මෙ ඇයි..?"

ප්‍රශ්න කෝච්චියයි.. මොනවට උත්තර දෙන්නද මංදා.. හිතේ තිබ්බ හැම සිතුවිල්ලක්ම පැත්තකින් තියලා මට නෙත්මිගෙ ඇස් දිහා බලන්න හිතුණා..

"මං ඔයාව අමතක කලේ නෑ නෙත්මි.."

"නැත්තෙ නෑ.. ඔයා ඒ දේ හොදම විදියට කලා.. ඇයි රන්දික ඔයා ඒ විදියට හැසිරෙන්නේ..? ඔයාට ඕන ඔයාගෙ වැඩේ කරගෙන ඉවර වෙලා, හැමදේම අමතක කරන්නද..?"

"මගේ වැඩේ කරගෙන..? මොකක්ද මගේ වැඩේ..?"

මෙච්චර වෙලා චැලියෙ වාඩිවෙලා ඉදපු මං සීට් එකෙන් උඩට ඉස්සුනා.. යකෝ.. මොන කුඩුකේඩු කතාවක්ද මේ..? මං ජීවිතේටවත් ඔහොම කුප්ප වැඩ කරලා නෑ.. 

"ඇ.. ඇයි ශලනිව හම්බවෙන්න ගියපු එක..? ඊට පස්සෙ ඉතිං මං ඕන නෑනේ.. දැන් ශලනිගෙ ගෙදර තියෙන තැනත් දන්නවනේ.. අඩු ගානෙ එදා මං ගෙදර ගියාදවත් කියලා ඔයා බැලුවද රන්දික..? ඔයා කොයි තරම් හොද කෙනෙක් කියලද මං හිතන් හිටියේ.. මට කියන්න.. මට කියන්න ඔයා ඊට පස්සෙ කීපාරක් ශලනිව හම්බවෙන්න ගියාද..?"

නෙත්මි මුලින් මුලින් කියපු දේවල් හුගාක් ඇත්ත උනත්, පස්සෙ කිව්වෙ නම් අහස පොළව උහුලන්නැති කතාවක්.. වෙන වෙලාවක නම් බන්ටිට ඔහොම කතාවක් කිව්වා නම් මෙතන අවමගුලක් තමයි.. ඒත්.. මෙතන මොකක්දෝ හේතුවකට, මට හීනි දුකක් දැනුණා මිසක වෙන අඩුපාඩුවක් උනේ නෑ..

"මං හම්බවෙන්න ගියපු ශලනියෙක් නෑ.."

"බොරු කියන්නෙපා රන්දික.. ඔයා ශලනි හම්බ වුණු හන්දා තමයි මාව අමතක  කරේ.. අපේ යාලුකම සත පහක්වත් වටින්නෙ නැති විදියට පයින් ගහලා පැත්තකට දැම්මේ.. ගෑනු ළමයෙක් එන ගමනක්ද මං එදා ඔයා එක්ක ආවේ.. ආ.. අනික ඒ වගේ පාලු  පැත්තකට.. මං ඔයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලයි අවේ.."

"දැන් ඒ විශ්වාසෙට මොකද වෙලා තියෙන්නේ..?"

"ඔයාම ඒක විනාශ කරලා දාලා ඉවරයි රන්දික.."

"ඔයා, ඔය කතා කරන විදියට මගේ ඔලුවත් රිදෙනවා.. ඇත්තමයි.. මං අද ආවෙ ඔයා එක්ක රණ්ඩු වෙන්න නෙමෙයි.. ඔයා, ඔය හිතන විදියට, මං ඔයාගෙ විශ්වාසෙ කඩලත් නෑ.. පහුගිය දවස්වල මට කරදර ටිකක් උනා.. ඒත් ඉතිං එවා උනා කියලා ඔයා පලි නෑනේ නේද..? ඇත්තටම මගෙන් වැරැද්දක් උනා නම් මට සමාවෙන්න.. ඔයාට මං ෆෝන් නොකර හිටියෙ, ඔයත්තෙක්ක තරහකටවත්, ගුණමකුකමකටවත් නෙමෙයි.."

"ගුණමකුකමකට..?"

"ඔව්.. ඔවා චාමික එක්ක කියලා තිබුණා මං මහා ගුණමකුවෙක් කියලා.. හැබැයි මං ඒ වචනෙ තේරුම නම් දන්නෑ.. සමහර විට උදව්වක් කරගෙන මුල අමතක කරන අයට කියන්නෙ ඒ වගේ නමක් වෙන්නැති නේද..? ඒත් මං තාම මුල අමතක කරලා නම් නෑ.."

"දෙ.. දෙයියනේ.. චාමික ඒක ඔයත්තෙක්ක කිව්වද..? හරිම නරකයි.."

"නෑ.. නෑ.. නෑ.. ඒක ඔයාට කියන්න හොද නම්, චාමික ඒක මට කීමේ කිසිම වැරැද්දක් නෑ.. ඔයා ඒ නම කිව්වෙ මටනේ.. මීට පස්සෙ ඒ නමෙන්ම කතා කරන්න.. වෙන අනන් මනන් නම් ඕන නෑ.."

"ම.. මං චාමිකත් එක්ක බලාගන්නම්.. ඉ.. ඉන්නකෝ මං චාමිකට හොද වැඩ් කරනවා.."

"ඌට කරන්න දෙයක් නෑ.. ඌ මගෙ යාලුවා.. මට වැරැද්දක් වෙනවා දකින්න ඌ කැමති නෑ.. ඇත්තටම තිබ්බ කරදර අස්සෙ, මං ඔයාට කතා කලොත්, ඌ මට, ඔයාව හම්බවුණා කියලා කිව්ව හන්දා.. නැත්නම් තව ටිකක් කල් ගිහිල්ලයි මං ඔයාට කතා කරන්න හිටියේ.."

"ඒ කියන්නෙ චාමික ඔයාට මං කතා කරා, හම්බ වුණා කියලා කිව්වෙ නැත්නම්, ඔයා මට කතා කරන්නෑ.."

නෙත්මිගෙ රෝස පාට මූණ, දැන් ලා රතු පාටකට හැරිලා තිබුණා.. දැන් නම් හරියට හොදට ඉදුණු පීචස් ගෙඩියක් නරක් වුණා වගේ.. කෙල්ල එන්න එන්නම හොදටම අවුල් වෙනවා කියලා මට තේරුණා.. මොනව වුණත් මේ කතාව අරන් ගිය දුර ටිකක් වැඩියි කියලා මට නිකමට වගේ හිතුණා.. තව ටිකකින් මේ කෙල්ල අඩයිද දන්නෑ..

"මගෙත් එක්ක රණ්ඩුවෙන්න හදන්නෙපා නෙත්මි.. බලන්න මිනිස්සුත් අපි දිහා බල බල යනවා.. සවුත්තුවට වගේ.. ටිකක් හිනාවෙලා කතා කරන්නකෝ.."

මගේ කතාවට නෙත්මි වටපිට බැලුවා.. ඔන්න ඒ පාරද මංදා එයාට හොද සිහිය ආවේ.. ඇස් දෙක උස්සලා නෙත්මි කෙලින්ම මං දිහා බැලුවා..

"හරි.. මෙතන මිනිස්සුත් අපි දිහා බලනවනේ.. එහෙනම් මාව කතා කරන්න පුළුවන් තැනකට එක්ක යන්න.."

නෙත්මි, එකපාරටම ගගක් ගලනවා වගේ කියාගෙන යද්දි මගේ හිතට මොකක්දෝ උනා.. දෙයියනේ.. මේ කෙල්ල මොනවද මේ කරන්න යන්නේ..? මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා.. අනික ඒ මූණ දකිද්දි, එයා කරන්නෙ විහිලුවක් නෙමෙයි කියලා මට තේරුණා.. මං කොහෙද නෙත්මිව අරන් යන්නේ..? 

"ක.. කතා කරන්න පුළුවන් තැනකට කිව්වේ..?"

"ඔයාට මගෙත් එක්ක මෙතන කතා කර කර ඉන්න ලැජ්ජ නම් මාව වෙන තැනකට එක්ක යන්න.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. ඒකයි.."

මූණ පුරවලා කනේ පාරක් ගැහුවා වගේ කතාවක් නෙත්මි කිව්වේ.. මෙයා අද මාව හම්බවෙන්න ආවෙ.. එක්කො උඹ..! එහෙමත් නැත්නම් ඒත් උඹ..! කියලා හිතාගෙනද මංදා.. එහෙම නැත්නම් අද ඇදෙන් බැස්සෙ ඇදේ විට්ටම පැත්තෙන්ද දන්නෑ.. ඒත් අප්පා කාගනේද මං එහෙම අහන්නේ..?  

"මට ඔයා එක්ක මෙතන කතා කරන්න ලැජ්ජ නෑ නෙත්මි.. ඇයි ඔයා එහෙම පටු විදියට හිතන්නේ..? මං කිව්වෙ රණ්ඩු වෙන්නෙපා කියලා නේද..? ඇයි පුංචි වචනයක් අල්ලගෙන මාව රිද්දන්නේ..?"

මං කියපු දේ අදහාගන්න බැරුව වගේ එයා මං දිහා බැලුවා.. ඒ රෝස පාට මූණ පුරාම පිරිලා තිබ්බෙ තරහක්ද, දුකක්ද, කලකිරීමක්ද කියලා මට තේරුම් ගන්න බැරිවුණා..

"ම.. මං ඔයාව රිද්දනවා.. මං.. මං.. ඔයාව රිද්දනවා.. ඇ.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..? ඔයානේ දැකපු දවසෙ ඉදලා මාව රිද්දුවේ.. හ්..ග්.. ඊට පස්සෙ මාව අමතක කරලා දාලා ශලනිව බලන්න ගියේ ඔයානේ.."

අම්මපා.. මෙන්න මේ වෙලාවට තමයි කියන්නෙ.. නයි කයිද සැමන් ටින් කියලා.. මොන අවනඩුවක්ද මේ..? කොහේ තියෙන කුන්ඩවාලිද මංදා මගේ එකවුන්ට එකට මේ බැරවෙන්නේ.. මේ නුවර පළාතෙ මං වගෙ තවත් එකෙක් ඉන්නවද මංදා.. බලන් ඉදලා බෑ.. තවත් බලන් හිටියොත් මේක මහ කක්ක කේස් එකක් වෙනවා.. ඇයි අප්පා.ඤ. එන්න එන්නම ව්‍යාකූල වෙනවා මිසක ශෝකාකූලවත් වෙන්නෑනේ ඩිංගක් අඩන්න..

"මෙන්න මේක ටිකක් අල්ලගන්න.."

කතන්දර හැම එකක්ම පැත්තකට දාලා, මං නෙත්මි දිහා බැලුවා.. එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවේ, මේ ගුණමකුවා මොනවද කරන්න යන්නෙ කියලා හිතාගන්න බැරිව වගේ..

"ඇ.. ඇයි බයික් එක උඩට ගන්නේ..?"

හැන්ඩ්ල් එකෙන්, පේමන්ට් එක උඩට බයික් එක අදින ගමන් නෙත්මි ආයෙත් මගේ මූණට එබුණා.. ඒ දිලිසෙන ඇස්වල කදුළු පිරිලා තියෙනවා මං දැක්කෙ එතකොට..

"වළාකුලු බැම්මෙන් පහළට දාන්න.. මුගෙන් හරි කරදරයි.."

කලු වළාවකින් හද මෑත් වෙනවා වගේ, නෝක්කාඩු මූණ මැද්දෙන් ලස්සන හිනාවක්, නෙත්මිගෙ මූණෙන් මතුවුණා.. ඔය තියෙන්නේ.. ඔන්න ඔය වගේ හිනාවෙලා ඉන්නවා නම්, බන්ටි ජීවිතේ උනත් දෙන්නම්කෝ.. මෙච්චර වෙලා කෙල්ල  හිනා නොවී හිටියේ, හරියට නිකං මාළිගාව ඉස්සරහ ඉන්න ට්‍රැෆික් රාළහාමි, හිනාවුණොත් දඩ කොලයක් ලියයි කියලා වගේ..

"හ්ම්.. එන්න.. මෙතනින් වාඩිවෙමු.."

චැලිය බැම්ම අයිනට හේත්තු කරලා, ඊට එහායින් තිබ්බ බංකු කෑල්ලෙ මං වාඩිවුණා.. නෙත්මි මගේ ළගට ආවා උනත්, එයා වාඩිවුණේ නෑ.. කොහොමටත් නෙත්මි මගේ උරහිස ගානට උසයි.. හිටගෙන ඉන්නෙ මට වැඩිය උස යන්නද දන්නෑ..

"නෑ.. මෙහෙම හොදයි.."

කැපිල්ලට වගේ කියන ගමන් එයා මගේ මූණ මැදට එබුණා.. කදුළු පිරිලා තියෙන හන්දද මංදා ඒ ලස්සන ඇස් මං දැක්කෙ බොද වෙලා වගේ..

"හරි.. හැම ප්‍රශ්නයක්ම පැත්තකින් තියලා, මාව හම්බවෙන්න ඕන කියලා කිව්වෙ ඇයි කියලා මට කියන්න.."

"මං දන්නෑ.."

කටත් උල් කරගෙන, හරියට ආදරේ හිතෙන ඉරියව්වකින් එයා තවත් ටිකක් මගේ දිහාට ලංවුණා..

"දන්නෑ කියන්නේ..ඔයා කිව්වෙ, මට කියන්න විශේෂ දෙයක් තියෙනවා.. තව දෙන්න දේකුත් තියෙනවා කියලා.."

"මං එහෙම කිව්වද රන්දික..?"

කෙල්ල හදන්නෙ හැමදේම පැත්තකින් තියලා මාව බයිට් කරන්න කියලා මට තේරුණා.. ඔයාට, මාව අල්ලන්න බෑ කෙල්ලේ.. මේ බන්ටිට ඕවා හොදට තෙරෙනවා.. 

"ආ.. එහෙනම් ඒක මගේ හිතේ තිබ්බ දෙයක් වෙන්නැති.. ඔයා, මට මොනවා හරි දෙයක් දෙනවා කියලා.. සමහර විට මං මාර හීනයක් දකින්න ඇති.. ඔයා ඒ දෙන දේත් අරගෙන මං වලාකුලු බැම්මෙන් පල්ලෙහාට පනිනවා කියලා.."

"නරකයා.. නරක කතා කියන්නෙපා.."

"නරකයා නෙමෙයි.. ගුණමකුවා කියන්න.. ඒක හොදට මැචින්.."

"ඇත්තමයි.. ඔයා නම් මහ පුදුම රණ්ඩු කෙක්කක්.. මට නම් හිතාගන්න බෑ.. ඔයා කොහොම වචන අල්ලගෙන රණ්ඩු වෙනවද කියලා.. අනේ අපි ඕක නවත්තමු.. මට නම් ඔයත්තෙක්ක රණ්ඩු වෙන්න බෑ.."

අන්න හරි.. ඔහොම එනවා නම්, මොනවද අප්පේ කරන්න බැරි.. හැබැයි ඉතිං බන්ටි කියලා කියන්නෙ, වලි නම් වලි.. සාමෙ නම් ඒත් වලි තමයි.. ඒත් ඉතිං.. මේ දිලිසෙන ඇස් තියෙන බෝනික්කි එක්ක සාමෙට හරි රණ්ඩු කරන්නෙ කොහොමද දෙයියනේ.. එතැන ඉදලා විනාඩි ගානක් යනකල් මායි, නෙත්මියි මූණින් මූණ බලාගෙන හිටියා මිසක වචනයක්වත් කතා කලේ නෑ.. ටික වෙලාවක් ගිහිල්ලා ඒ නිහැඩියාව ඉස්සෙල්ලම බින්දෙ නෙත්මිමයි..

"ඔයා දන්නවද මං ඔයාට ගෙනාවෙ මොනවද කියලා..?"

'දෙන්න දේකුත් තියෙනවා' කියලා කිව්වට ඒ මොකක්ද කියලා කියන අදහස මගේ හිතේ ඩිංගක්වත් තිබ්බෙ නෑ..

"ඔව්.."

"මොකක්ද..?"

නෙත්මිගෙ දිලිසෙන ඇස් දෙක ලොකු උනා.. දැන් ඒ ඇස් වල තිබ්බ කදුළු වියැකිලා ගිහින්..

"ලොසින්ජ්ර් බෝල දෙකක්.."

"ඇත්තමයි.. ඔයාට නම් රිදෙන්න පාරක් දෙන්න ඕන.. ඔයා හිතන්නෙ, මං ඔයාව මෙච්චර අමාරුවෙන් හම්බවුණේ ලොසින්ජරයක් දෙන්න කියලද..?"

"ආ.. එහෙම එකක් නෙමෙයිද..?"

"ඔයා ඔය  හදන්නෙ මාව කේන්ති ගස්සන්න.. ඒත් මං මේ වෙලාවෙ ඕවට අහුවෙන්නෑ.. ඇත්තටම මං මේක ඔයාට දෙන්නෙ, මගේ ආත්මාර්ථකාමීකමට කියලා ඔයාට හිතෙන්න පුලුවන්.. ඒත් ඒ ආත්මාර්ථකාමී කමත්තෙක්කම, මගේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා.. මේක ඔයා ළග තිබුණාම.."

ඒ මොකක්ද අප්පෙ ඒ..? මං දහ අතෙත් කල්පනා කරලා විසි අතෙත් කල්පනා කලත්, නෙත්මි මට දෙන්න යන්නෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. එයාගෙ කරේ දාලා තිබ්බ රෝස පාට බෑග් එකෙ ෂිපර් එක ඇරලා නෙත්මි මට ටිකක් විතර ලොකු පෙට්ටියක් එළියට ගත්තා..

"මං ඔයාට ඉස් ඉස්සෙල්ලාම දෙන දේ තමයි මේ.."

නෙත්මිගෙ අතේ තිබ්බ පෙට්ටිය මගේ අතේ තිබ්බහම හිතේ තිබ්බ හැම සංකාවක්ම නැතිවෙලා ගියා.. රුපියල් ශත වලින් මනිනවා නම්, ඒකෙ වටිනාකම රුපියල් විසිදාහක් විතර වෙනවා කියලා මට හිතුණා.. බොක්ස් එක ඇරලා ඒකෙ ඇතුළෙ තිබ්බ නවීන පන්නයේ හෑන්ඩ්ෆෝන් එක මං අතට ගත්තා.. ඇත්තටම ඒ වෙලාවෙ, මගේ අත විතරක් නෙමෙයි හිතත් වෙව්ලුවා.. දෙයියනේ.. ඇයි මේ කෙල්ල මේ වගේ දෙයක් කරේ..? මාව නෙත්මිට මේ තරම් වටිනවද..? 

"ඇ.. ඇයි නෙත්මි මේ..?"

"මුකුත් හිතන්නෙපා රන්දික.. මගේ මුළු හදවතින්ම මං ඔයාට දෙන ප්‍රසන්ට් එකක් මේක.. මේ ෆෝන් එක ඔයාලෙ ළග තියෙනකොට මට ඕන වෙලාවක ඔයාට කතා කරන්න පුළුවන්නේ.. ඒක කොයි තරම් දෙයක්ද රන්දික.. 

"මේ තරම් වටින දෙයක් මට දෙන්න, ඔයාට මාව විශ්වාසද නෙත්මි..?"

"ඕව්.. මට ඔයාව විශ්වාසයි.. ඒ විශ්වාසෙ හින්දම තමයි මං මේක ඔයාට දුන්නේ.. දැන් ඔයාට බෑ, මට කතා නොකර ඉන්න.. තේරුණාද..? මං මේකට සිම් එකකුත් දාලයි තියෙන්නේ.. මගේ ෆෝන් නම්බර් එකට ගන්න කෝල් සේරම චාර්ජ් ෆ්‍රී වෙන විදියට තමයි මං ඔය පැකේජ් එක සෙට්ල් කරේ.. දැන් ඔයාට මාව මගෑරලා ඉන්න බෑ තේරුණාද..?"

නෙත්මි දිගින් දිගටම කියාගෙන යන දේවල්වලට කියන්න තරමෙ දෙයක් මට තිබ්බෙ නෑ.. මට දැනුණෙ එකම දේ, නිකං හරියට කැලෑ සතෙක්ව යකඩ කූඩුවක හිරවුණාම දැනෙන හැගීම්වලට සමාන දෙයක් විතරයි.. නෙත්මි මෙනා තරම් ආදරේකින්, මේ ප්‍රසන්ට් එක මට දුන්නත්, ඒකෙන් මගේ තියෙන නිදහසත් නැතිවෙනවා කියනෙක මට තේරුණා.. ඇත්තටම ඒ දේම මං කැමති වුණේ නෑ.. ඒත්.. ඒ විත්තිය නෙත්මිට පෙන්නන්න මං ඉක්මන් වුණෙත් නෑ..

"තෑන්ක්ස් නෙත්මි.."

"ඇයි රන්දික ඔයා මට තෑන්ක්ස් කරන්නේ..? ඇත්තමයි ඔයා ගැන මේ දවස් දෙක තුනෙත් මට ආරංචියක් ලැබුණෙ නැත්නම් මං හිතන් හිටියේ, බේබි නැන්දා හම්බවෙන්න.."

"බේබි නැන්දා හම්බවෙන්න..?"

"ඔව්.. ඔයා ඉන්න තැනක් අහගන්න.. ඇත්තමයි.. මේ ගෙවිච්ච දවස්වල මගේ හිත මොන තරම් කරදරයක් වින්දද කියලා දන්නෙ මං විතරයි.. ඔයාට එහෙම දැනුණෙ නැද්ද රන්දික..?"

උත්තර දීගන්න බැරි ප්‍රශ්න ගෑනු ළමයි අහනවට බන්ටි කොහොමත් අකමැතියි.. ඒත් නෙත්මිගෙ හිත රිද්දන්න බැරි කමට මං සද්දෙ වහලා  හිටියා.. මොකද මගෙන් කට කැඩිච්ච වචනයක් දෙකක් පිටවුනොත් එයා අනිවා අඩනවා කියලා මට තේරුණා..

"ඇ.. ඇයි රන්දික ඔයා කතා නොකරන්නේ..? මගෙත් එක්ක ඔයා මේ ඉන්නෙ අකමැත්තෙන්ද..?"

"නෑ නෙත්මි.. එහෙම දෙයක් නෑ.. ඔයා ඔය අහන දේවල් වලට මොනවද කියන්නෙ කියලයි මං කල්පනා කලේ.. ඔයා ඔය හිතන විදියෙ කිසිම දෙයක් මගේ හිතේ නෑ.."

"එහෙනම් මොන විදියෙ දේවල්ද ඔයාගෙ හිතේ තියෙන්නේ..? ඇත්තමයි.. තනියෙන් කල්පනා කරනකොට මට හුගාක් දේවල් ඔයා ගැන හිතෙනවා.. ඔයා ඉන්නෙ කොහේද..? ඔයාට හරියට කන්න බම්බවෙනවද..? ඔයාට ජීවත්වෙන්න සල්ලි තියෙනවද..? ඔය වගේ හුගාක් දේවල්.. ඔයාගෙ ජීවිතේ ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ඒවා මට කියන්නෙ නැත්තෙ ඇයි රන්දික..?"

"මං ගැන ඔහොම හිතනවට ඔයාට හුගාක් පින්.. ඇත්තටම ඔයා හුගාක් හොදයි.. ඒත් ඔයා හිතන තරම් ලොකු ප්‍රශන්යක් මට නෑ.. මං හුගාක් රිලැක්ස් එකේ ජීවත් වෙනවා.."

නෙත්මි, මං ගැන මොන තරම් දුරට හිතනවද කියලා දැනුනාම මට පුදුමත් හිතුණා.. කෙල්ලොත් ඇත්තටම මාරයි.. එයාලාට දෙයක් කරන්න හිතුණොත් කට්ට කාගෙන ඒකෙ උපරිමේටම යනවා.. එතෙන්දි තමන්ට වෙන ලාභ අලාභ ගැන බලන්නෑ.. ඒ වගේ දේකට හොදම උදාහරණය තමයි මොරීන් අක්කයි, නෙත්මියි..

"හොදයි.. මං ඔයාව විශ්වාස කරනවා.. හැබැයි.. මට මෙන්න මේ දේටත් උත්තරයක් දෙන්න ඕන.."

"ඒ මොකක්ද..?"

"ඔයා එක පාරක්වත් පහුගිය දවස්වල ශලනිව හම්බවෙන්න ගියේ නැද්ද..?"

මෙච්චර වෙලා හොදට කතා කරලා ඉවර වෙලා වෙත්මි ආයෙත් පිස්සන් කොටුවෙ, ලොකුම පිස්සගෙ චරිතෙ රගපානන් හදනවා.. ඕකනේ අප්පා කරන්න බැරි.. මට කවදද දෙයියනේ ශලනි හම්බවුණේ..

"මං ඉස්සෙල්ලත් කිව්වනේ නෑ කියලා.."

මං කොහොම කිව්වත් එයාගෙ මූණෙ තියෙන අවිශ්වාසය නැති කරන්න මට බැරිවුණා.. සැකය කියන දේ හරි අපූරුවට ඒ දිලිසෙන ඇස් උඩ රැදිලා තිබුණා..

"එතකොට කවුද ශලනිව හම්බවෙන්න ගිහින් තිබුණේ..?"

"මං දන්නෙ කොහොමද..? මං පහුගිය දවස් ටිකේම හිටියෙ ගේ ඇතුලට වෙලා.. අඩු ගානෙ මං මිදුලටවත් බැස්සෙ නෑ.. ඔන්න අද තමා ඔයාව හම්බවෙන්න එළියට ආවේ.."

එකම ප්‍රශ්නෙ, හතර වටේට කරකව කරකව නෙත්මි අහන විදියෙන් නම් මෙතන මොකක් හරි අවමගුලක් තියෙන පාටයි.. ඒත් ඉතිං පාංශුකූලෙ දෙන් කලින්වත්, වෙලා තියෙන දේ හරියට කියපංකො දෙයියනේ.. 

"ඒක නම් මට පිළිගන්න වෙනාවා.. මොකද පහුවුණු දවස්වල, ඔයාව මං ටවුන් එකේදිවත් දැක්කෙ නෑනේ.."

ඒත් ඉතිං ටවුමෙ දැක්කෙ නැති එකටත් වැඩිය ප්‍රශ්නයක් මගේ හිතේ තිබුණා.. ඒ අද උනේ නිරෝෂි කතා කරලා කියපුවා, නෙත්මිට කියනවද නැද්ද කියලා හිතාගන්න බැරිව.. කිව්වොත් එයා අහයි, නිරෝෂි මොකද බින්දුට නොකියා මට දේවල් කියන්නෙ කියලා.. බින්දු නේද අහයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.. ඉතිං දීපංකො උත්තර..

"ඔයාගෙ කතාවෙන් මට තේරෙන්නෙ, ඔයාට ශලනිව විනාඩි පහකට හරි මීට් වෙලා ඇති කියලා.. එහෙම නේද..? එතකොට එයාද කිව්වෙ මං එයාව මීට් වෙන්න ආව කියලා.."

"මට, ශලනිව හම්බවුණේ නෑ.. එයා මට ෆෝන් කරා.."

නෙත්මි කියන දේවල් වලින් හෙදාට තියෙන ඔලුවත් නරක් වෙනවා.. හම්බවුණේ නෑල්ලු.. ෆෝන් කරාලු.. මොනවද මන්දා..

"එහෙනම් ඔයා එයාට ආයෙත් ෆෝන් කරලා කියන්න මායි, ඔයයි ඉක්මනටම එනවා කියලා එයාව මුණ ගැහෙන්න.. ඒ වගේම ඔයාට කියන්න විශේෂ ආරංචියකුත් තියෙනවා.."

"විශේෂ ආරංචියක්..?"

"ඔ.. ඔව්.. නිරෝෂි ගැන.. ඇයි ශලනි කතා කරපු වෙලාවෙ ඔයා ඒ ගැන කිව්වෙ නැද්ද..?"

නෙත්මි පුදුම වෙලා වගෙ මං දිහා බලන් හිටියා.. ඒත් ඒ ඇයි කියලා මට තේරුණේ නෑ.. 

"ඇ.. ඇයි රන්දික මං ශලනිට ඒ ගැන කියන්නේ..?"

"ඔයා ශලනිගෙ හොද යාලුවෙක් හින්දා.. ඔයාම නේ මට කිව්වෙ ශලනි හොද ළමයෙක් කියලා.."

"ඒ ඔක්කොම ඇත්ත දෙයියනේ.. ඒත් දැන් තත්වෙ වෙනස් වෙලානේ.."

"ඒ කිව්වේ..?"

"මේ හැමදේම මැද්දට ඔයා ඇවිල්ලනේ.. අනේ ඔයාට බැරිද රන්දික මේ හැමදෙයින්ම ඈත්වෙලා, පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න.. ඔයා මේවට ගෑවෙන්නෙ ඇයි..?"

නෙත්මි කියන්නෙ කොයි තරම් හොද ගෑනු ළමයෙක් උනත්, ඒ කතා කරපු වචනවල තිබ්බෙ නම් පැහැදිලි ඉරිසියාව මං අදුනගත්තා.. තව දුරටත් මේ කතාව ඇදගෙන ගියොත් මටයි, නේතමිටයි වෙන්නෙ නිකාං රණ්ඩුවෙන්න කියලා මට තේරුණා..

"යාලුවෙක් ඉල්ලපු උදව්වකට මට බෑ කියන්න බෑනේ නෙත්මි.."

"ඉතිං මේක ඉල්ලුවෙ බින්දු නෙමෙයිනේ.. නිරෝෂිනේ.."

"ඒක තමයි මාත් කියන්නේ.."

"ඒ කියන්නෙ නිරෝෂි ඔයාගෙ හොද යාළුවෙක්ද..?"

"හොද යාලුවෙක්ද නැද්ද කියලා කියන්න මං දන්නෑ.. මේ කතාවෙ මුල ඉදලම මං බැහැලා වැඩ කලේ බින්දු වෙනුවෙන්.. ඒ කතාව ඔයා අයන්නෙ ඉදලම දන්නවා.. ඒක ඉවර කරන්න තියෙන්නෙ තව බොහොම ඩිංගයි.. අන්න ඒ ඩිංග ඉවර වෙනකන් ඔයා, මාව අවිශ්වාස නොකර ඉන්න.."

"මං.. මං ඔයාව අවිශ්වාස කරේ නෑ රන්දික.. නිරෝෂි ඔයාගෙ යාලුවෙක් කියලා කිව්වම මට හුගාක් දුක හිතුණා.. ඔයාට හැම යාලුවෙක් වෙනුවෙන්ම වෙන් කරන්න වෙලාව තිබුණා.. මං වෙනුවෙන්, අපේ යාලුකම වෙනුවෙන් එක විනාඩියක් කෝල් එකක් ගන්න ඔයාට බැරි උනානේ.."

ඔන්න.. ඔන්න ඉතිං.. ආයතේ පරණ තැටියම වදින්න ගන්නවා.. අම්මපල්ල දැන්නම් මට මේ චැලියත් එක්කම ඇත්තටම වලාකුළු බැම්මෙන් පහළට පනින්න හිතෙනවා.. මොන අවනඩුවක්ද මේ..?

"ප්ලීස් නෙත්මි.. ඔයා ඔය කියන දේවල් වලින් මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.. දැන්වත් ඕක නවත්තන්නකෝ.. අපි දැන් හම්බවුණ වෙලාවෙ ඉදලම ඔය ගැනනේ කතා කලේ.. ගෙදර ගියාම අපි දෙන්නටම හිතෙයි අපරාදෙ නිකං ගෙවිච්ච කාලය කියලා.. අපිට කොයි තරම් සතුටින් ඉන්න තිබුණද කියලා.."

මං කිව්ව දේට නෙත්මි වචනයක්වත් කිව්වෙ නෑ.. එයාගෙ මූණ ලොකු කල්පනාවකින් වැහිලා තිබුණා.. කොච්චර උණත් මට කෙල්ල ගැන ලොකු දුකක් ඇතිවුණා.. පේන්න තියෙන රෝග ලක්ෂන අනුව නම් කෙල්ල මට පැලෙන්න ආදරෙයි.. ඒත් ඒකට ඉස්සරහයින් යාලුකම කියලා සරුවාංගලයක් එල්ලගෙන රටේ නැති ඒවා කියවනවා.. ඒක හන්දා අර ආදරේ කියන ලස්සන දේ මට පේන්නෑ.. ඒ වගේම මට හිතෙන්නෙත් නෑ.. ඔන්න බන්ටිට දැනෙන විදිය.. 



 

No comments:

Post a Comment