Sunday, April 15, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






නෙත්මිගෙන් වෙන් වෙලා ආපහු ගෙදර එද්දි මගේ හිතේ ලොකු බරක් තිබුණා.. ඒ බර වෙන මොකක්වත් නෙමෙයි.. එයා මට දීපු හෑන්ඩ් ෆෝන් එක.. මේක බාරගත්තා වගේ නෙමෙයි.. ගෙදර කට්ටියට මං මොකද කියන්නේ..? අනික මේ වගේ ෆෝන් එකක් ගන්න, මං ගාව සල්ලි නෑ කියලා ගෙදර හැමෝම දන්නවා.. එක්කො මට මේක තියාගන්න වෙන්නෙ, වයිබ්‍රේෂන් දාලා සයිලස්න්ස් මෝඩ් එකෙ.. ඒත් ඉතිං එතකොට ෆෝන එක මං ගාව තියෙනකොට විතරයි මට කෝල් එකක් එනවා ඇහෙන්නෙ.. ටොයිලට් එකට ගියත් මේක බෙල්ලෙ ඔතාගෙන යන්න වෙනවා.. ඒක හින්දා ගෙදර අයට හොද ටොම් පචයක් කියන්නම වෙනවා..


"මං හිතුවා බන්ටි මහත්තයා ගියපු තාලෙට එනකොට රෑ වෙයිවත් කියලා.."

"ඒ මොකද බේබි නැන්දෙ..?"

"ඇයි දෙයියනේ.. පුදුමාකාර හදිසියකින්නේ පිටවෙලා ගියේ.. වෙනදට ඔය හුටු හුටු යන්තරේ හොල්ල හොල්ල බලනවා ගමන යන්න කලින් තෙල් තියෙනවද කියලා.. අද ඒ මොකවත් නෑ.. මං මේ බයෙන් හිටියේ, මග ඉදීවිද දන්නෑ කියලා.. පර්ස් එකත් මං දැක්කා කාමරේ මේස උඩ තියෙනවා.."

හප්පොච්චියේ.. බන්ටිගෙ සිහිකල්පනාව දැන් ඒ තරම් අවුල් වෙලාද..? විලි ලැජ්ජාවෙ බෑ.. බලන්න අප්පා.. නෙත්මි කතා කරායින් පස්සෙ එදිනෙදා දින චර්යාවත් වෙනස් වෙන විදිය.. මේක මේ විදියට වෙන්න නම් දෙන්න බෑ..

"ඕවා ඔහොම තමයි බේබි නැන්දේ.. අහේතු කාලේන ක්ජ්ජේන පුහුලන් කියලා කියනවනේ.."

"මගේ අම්මේ.. බන්ටි මහත්තයා දන්න දේවල්.. ඕකෙ තේරුම මොකක්ද හැබෑටම..?"

"ආ.. ඒකෙ  තේරුමද..? තේරුම නම් මේකයි.. අප්සට් කාල වලට, පුහුලමේ තමයි කජු ගෙඩිය හැදෙන්නේ.."

මං කියපු තාලෙට බේබි නැන්දට අපූරු හිනාවක් ගියා.. ඊට පස්සෙ අතින් කට වහගෙන ඇස් වලින් විතරක් හිනාවෙවී මං දිහා බැලුවා..

"ඉතිං බන්ටි මහත්තයෝ.. අප්සට් කාල වලට විතරක් නෙම්, හොද කාලවලටත් කජු ගෙඩිය හැදෙන්නෙ එහෙමනේ.."

"අම්මපා.."

මුකුත් දන්නැති එකා වගේ මං පඩිපෙළ නැග්ගා.. බේබි නැන්දා තාමත් හිනාවෙනවා.. පඩිපෙළ උඩටම නැගලා මං ආයෙත් පල්ලෙහාට බැහැලා බේබි නැන්දා ළගට ආවා..

"ඇයි බන්ටි මහත්තයෝ..?"

"මට බේබි නැන්දත් එක්ක ටිකක් කතා කරන්න ඕන.. පහුවුණු දවස්වල මට හරි හමන් වෙලාවක් ඒකට හම්බවුණේ නෑ.. අපි ඔයාගෙ කාමරේට යමුද..?"

මෙච්චර වෙලා මූණ මැද්දෙ ලස්සනට පිපිලා තිබ්බ බේබි නැන්දගෙ හිනාව එකපාරටම නැතිවෙලා ගියා.. හරියට නිකං මං බය හිතෙන දෙයක් ඇහුවා වගේ..

"ඉතිං කතා කරන්න.. මං අහගෙනයි ඉන්නේ.."

කාමරේට ඇතුල් වෙලත් විනාඩි ගානක් යනකන් මගෙන් වචනයක්වත් පිට නොවුණු තැන බේබි නැන්දා කිව්වා.. ඒ මූණෙ දැන් තිබ්බෙ වෙහෙසට පත්වෙච්ච ගතියක්.. බේබි නැන්දගෙ කතාව ඇහුණෙ නෑ වගේ මං මගෙ ඇස් මුළු කාමරේ පුරාම දිවේවවා.. ඊට පස්සෙයි මං ආපහු බේබි නැන්දා දිහා බැලුවේ..

"ඇයි මේ දේවල් මෙච්චර කාලයක් මගෙන් හංගන් හිටියේ..? එහෙමත් නැත්නම් මේ දේවල් ඇයි එළියට එන්න දුන්නේ..?"

"බ.. බන්ටි මහත්තයෝ..?"

බේබි නැන්දගෙ ඇස් දෙක ලොකු උනා.. එයා හීනෙකින්වත් හිතන්නැතුව ඇති මං මේ වගේ ප්‍රශ්නයක් අහවි කියලා.. අනික මේ කතාව වෙච්ච දවසෙ ඉදලා රෑ කීයක් නම් ගෙවිලා ගියාද..? සමහර විට හැමෝටම හිතෙන්නැති බන්ටි දැන් ඒක අමතක කරලා දාලා කියලා.. බන්ටිට ඕක ගානක්වත් නෑ කියලා..

"මං බේබි නැන්දට මුකුත් කියන්නෑ.. ඒත් ඔයාම හිතන්න බේබි නැන්දේ.. මේ ගෙදර ඉන්නෙ මගේ අම්මා නෙමෙයි කියලා, ඒ අම්මම කියද්දි මගේ පපුවට මොකද වෙන්නෙ කියලා.. මගේ හිතේ තිබ්බ හුගාක් ප්‍රශ්න වලට එදා රෑ උත්තර හම්බවුණා තමයි.. ඒ උත්තරත් එක්ක බැලුවාම, ඔයා මගේ ආච්චි අම්මා.. ඒත් මට ඔයා හැමදාමත් බේබි නැන්දම තමයි.. ඒකෙන් මගේ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවක් වෙන්නෙවත් වැඩියක් වෙන්නෙවත් නෑ.. ඒකනේ අදටත් මං ඔයාට බේබි නැන්ද කියලා කතා කරන්නේ.."

"බන්ටි මහත්තයා මට කියන්නෙ මොනවා කරන්න කියලද..?"

"මුකුත් නෑ බේබි නැන්දේ.. මුකුත් නෑ.. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේවා මේ විදියට සිද්ධ වුණේ කියලා.. මාව වදාපු අම්මගෙ මූණවත් දකින්න බැරි තරමට මං පව් කරලා.. මං මේ ගෙයින් එළියට බැස්සත් මං කොහේ කියලා යන්නද..? අඩුගානෙ ඒ අම්මා ජීවත් වෙලා හිටියා නම්, එයා ළගටවත් යන්න තිබුණා.."

"ඔ.. ඔහොම පපුව කීරි ගැහෙන කතා කියන්නෙපා දෙයියනේ.. අම්මා ළග නැති පාඩුව මං කවදාවත් මහත්තයට දැනෙන්න දුන්නෑනේ.. මං මහත්තයට පුංචි අඩුපාඩුවක්වත් කරේ නෑ.. ඒක මගේ හිත දන්නවා.. අනිත්තෙක මේ ගෙදර කවුරුවත් මහත්තයා පිට කෙනෙක් කියලා හිතලා නෑ.. මං ඒක හොදටම දන්නවා.."

ඇස්වලට කදුළු පුරවගෙන බේබි නැන්දා කතා කරද්දි මට, මං ගැනම ලොකු තරහක් දැනුණා.. ඇයි මං මේ දේවල් මේ අහිංසක මනුස්සයා එක්ක කතා කරන්නේ..? ඇයි මං මේ දුප්පත් පපුව රිද්දන්නේ..? අතීතයෙ වෙච්ච හුගාක් දේවල් ඒ විදියටම හිමිදන් වෙලා තියෙනවා නම් හොදයි.. දිය යට ඔබපු රබර් බෝලයක් මතුවෙනවා වගේ, අතීතය උඩට ආවම හැමෝගෙම හිත් රිදෙනවනේ..

"මං ඉපදෙනකොට මගේ අම්මගෙ වයස කීයද බේබි නැන්දේ..?"

දැන් දැන් ඒ මූණ මැදට ඇවිල්ලා තිබුණෙ, මහා ශෝකාන්තයක්.. මෙතනින් පස්සෙ, මේ කතාව ඉවර උනාට පස්සෙ ආයෙ කවදාවත් මේ කතාව ගැන කතා කරන්නෑ කියලා මං හිතාගත්තා..

"අවුරුද දහ නවයයි.."

මට හීල්ලුණා.. අවුරුදු දහනමය කියන්නෙ, ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ කොයි තරම් නම් ලස්සන කාලයක්ද..? ඒත් මාව බඩට ආපු දවසෙ ඉදලා අම්මගෙ ජීවිතෙ කොයි තරම් දුරකට වෙනස්වෙලා යන්න ඇත්ද..? මොන තරම් දුක් කරදර වලට එයා මූණ දෙන්න ඇතිද..? ජීවිතේ හොදම කාලෙ, තමන්ගෙ දරුවා, තමන්ට නැතිවුණාම, බේබි නැන්දා කොයි තරම් දුක් වෙන්න ඇතිද..? අම්මෙක් නැතුව තනිවේච්ච මාව ළග තියාගෙන කොයි තරම් ප්‍රශ්නවලට මූණ දෙන්න ඇතිද..? වෙන කවදාටවත් දැනුණෙ නැති තරමෙ ආදරයක් මට බේබි නැන්දා ගැන දැනුණා..

"මොනවද මහත්තයො කල්පනා කරන්නේ..?"

මං බේබි නැන්දා දිහා බැලුවා.. ඒ මුළු මූණෙම දැන් තිබ්බෙ, මං මොනවා කියයිද, මොනවා කරයිද කියන බය විතරයි.. ඇත්තටම මට මෙච්චර ආදරේ කරන බේබි නැන්දගෙ හිත රිද්දුවොත් ඒක මට සහගහන අපරාධයක් වෙයි.. මේ කතාව මෙතනින්ම නවත්තලා දාන්න මං හිතාගත්තා.. ආයෙ කවදාවත් මං අම්මා ගැන බේබි නැන්දත් එක්ක වගේම, කා එක්කවත් කතා කරන්නෑ.. ඒක  ඒ හැමෝටම වගේම, මටත් දුකක් කියලා මං දැනගෙන හිටියා..

"අතීතයෙ වෙච්ච දේවල් ආයෙත් කතා කරලා තේරුමක් නෑ බේබි නැන්දේ.. ඇරැත් මං මුකුත්ම දන්නැති අතීතයක් ගැන, ඒවා හාර හාර බලන්න ගියොත් හුගාක් අයගෙ හිත් රිදෙන්න පුළුවන්.. ඔන්න අඩුගානෙ මමත් සම්බන්ධ වෙලා, මටත් ඒ ගැන මතකයක් තිබ්බා නම්, දුකක් වුණත්, ආයෙත් මතක් කරලා හිත සනසගනන්න තිබුණා.."

"මහත්තයට ආයෙ කවදාවත් දුකක් දැනෙන්න මං ඉඩ තියන්නෑ.. ඒක පොරොන්දුවක්.. මේ බේබි නැන්දගෙ ජීවිතේ බිල්ලට දීලා හරි, මං ඒක රකිනවා.."

"මාත් එහෙම තමයි බේබි නැන්දේ.. ඔයාගෙත් හිත රිදෙන දෙයක් මං ආයෙ කවදාවත් අහන්නෑ.. මං ඇත්තටම අද ආවෙ, ඔයත්තෙක්ක මේ ගැන අන්තිම පාරට කතා කරලා තව එකම එක දෙයක් ඔයාගෙන් ඉල්ල 
ගන්න.."

"ඒ.. ඒ.. මොකක්ද බන්ටි මහත්තයෝ..?"

"මගේ අම්මගෙ ෆොටෝ එක.."

"දෙ.. දෙයියනේ.. මං.. මං කොහොමද..?"

"නෑ.. නෑ.. කලබල වෙන්නෙපා.. මං ඒක ඉල්ලන්නෙ නෑ.. ඔයා ළගම, ඔයාගෙ වස්තුව තියාගන්න.. ඒක මං ළග තියෙනවට වැඩිය ඔයා ළග තියෙන එක හොදයි බේබි නැන්දේ.. ඒක ඔයාගෙ හිතට සැනසීමක් වේවි.."

"මගේ වස්තුව ඔයාගේ බන්ටි මහත්තයෝ.."

එතනින් එහාට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. මටත් ඇත්තටම කියන්න දෙයක් තිබුණෙ නෑ.. අතීතයේ හැමදේකටම ඒ තිබ්බ විදියටම, පාඩුවෙ ඉන්න දීලා ජීවිතේ ඉස්සරහට අරන් යනවා කියලා මං හිතාගත්තා..

                                            *****************************

හවස් වෙනකල්ම මං කෙරුවෙ, ඇදට වෙලා කල්පනා ලෝකෙ එහාටයි, මෙහාටයි සැරිසරපු එක.. අම්මපා කිසිම ක්‍රියේටිව් ගතියක් හිතෙන්නෑ.. දැන් බේබි නැන්දා දුම් දාන කෝපි එකක් උස්සන් ආව නම් මරේ මරු.. පස්සෙ ආඩම්බර බලන්න වෙන්නෙ හෙට උදේටනේ.. මං ඇදෙන් නැගිටලා හෙමින් සීරුවෙ තරප්පු පෙල හැබැගෙන බැහැගෙන ආවා..

"බේබි නැන්දේ.."

බේබි නැන්දවයි, කෝපි එකයි දෙකම හොයාගෙන මං කුස්සිය පැත්තටයි යන්න හැදුවේ.. ඒත් අම්මගෙ කාමරේ පැත්තෙන් මට කෙදිරිලි හඩක් ඇහුණා.. කර්ට්න් එක පැත්තකට කරලා මං කාමරේට එබුණා.. දෙයියනේ.. මේ මොකද මේ..? අත්දෙකෙන්ම ඔලුව බදාගෙන අම්මා, ඇදේ ගුලිවෙලා හිටියා.. 

"අ..ම්..මේ.. මොකද මේ..?"

අම්මගෙ ඇගට අත තියන ගමන්, මං අම්මව මගේ පැත්තකට හරව ගත්තා.. ඇස් දෙකේම කදුළු පිරිලා.. මූණත්තෙක්කම ලෙඩ පාට වෙලා.. ඒ මදිවට අද හතර වෙද්දි අම්මා ගෙදරත් ඇවිත්.. වෙනද කොච්චර පරක්කු වෙලා එනවද..? 

"ඇ.. ඇයි අම්මේ.. ඔ.. ඔයාට සනීප නැද්ද..?"

මං අම්මගෙ නළලට අත තියන ගමන් ඇහුවා..

"ඔ.. ඔව් බන්ටි.. මට ටිකක් සනීප නෑ.. මගේ ඔලුව ටිකක් රිදෙනවා.."

මට මතක ඇති කාලකෙ අම්මට ඉහෙන් බහින අසනීපයක් තිබුණෙ නෑ.. මගේ හිතට මහ මොකක්දෝ කාන්සියක් කොහේදෝ ඉදලා ගලාගෙන ආවා..

"අපි බෙහෙත් ටිකක් ගන්න යමු අම්මේ.. ඉන්න මං වීල් එකක් අරන් එන්නම්.."

ආපහු හැරිලා, අම්මා ගාවින් එන්න හදද්දි අම්මා මගේ අතින් තද කරලා අල්ල ගත්තා..

"ම.. මට ඒ තරම් අමාරුවක් නෑ බන්ටි.. ඕක ඇරිලා යයි.."

අම්මා එහෙම කිව්වත්, මගේ හිතට දැනුණෙ ලොකු බියක්.. මෙච්චර හොදට හිටපු අම්මව එක පාරටම අසනීප වෙච්ච එක, මාව කරකවලා අතෑරියා වගේ..

"බෑ.. බෑ.. මං චැලියෙ ගිහින් වීල් එකක් අරන් එන්නම්.. ඔ.. ඔයා අසනීප වෙනවා මට බලන් ඉන්න බෑ.."

"ඕන නෑ බන්ටි.. ඔයාට පුළුවන් නම් ඔලුව ටිකක් අතගාන්න.."

කියන පරක්කුවට, අම්මගෙ කණ්නාඩි මේසෙ උඩ තිබ්බ ඕඩිකොලොන් බෝතලේ අරගෙන, අම්මගෙ ඔලුව මැද්දට දාලා මං හිමින් සීරුවෙ මසාජ් කරන්න ගත්තා.. ලතාවකට උඩ ඉදලා පල්ලෙහාටයි, ආයෙත් පල්ලෙහා ඉදලා උඩටයි, රිදෙන්නෙ නැතිවෙන්න ඇගිලි වලින් මම, අම්මගෙ කොණ්ඩ ගස් අස්සෙ අත ගෑවා, ඔලුවට දැනුණ සනීපෙ නිද්දද මංදා අම්මගෙ ඇස් දෙක පියවෙච්ච හැඩකාර මූණ මැද්දෙ මං දැක්කෙ පුදුමාකාර සන්සුන් බවක් හරියට, මේ ලෝකෙ තියෙන හැම සැනසීමක්ම තමන්ට ලැබුණ වගේ හැගීමක් ඒ මූණෙ පිරිලා තිබුණා..

"ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"

අම්මගෙ කාමරේ ගාවින් මට තේ එකකුත් හදාගෙන උඩට යන්න ගියපු බේබි නැන්දා, අපිව දැකලා ගල් ගැහුණා.. කෑගහන්නෙපා කියලා, සංඥාවක් දීලා ඇදෙන් නැගිටල මං බේබි නැන්දා ළගට ආවා..

"අම්මට සනීප නෑ බේබි නැන්දේ.."

"දෙයියනේ.. මොනවා වෙලාද..? දැන් ටිකකට කලින්නේ ගෙදෙට්ට ආවේ.. එතකොට නම් අමාරු පාටක් තිබ්බෙ නෑ.."

"ඒක තමයි.. ඔලුව රිදෙනවලු.. මං බේත් ගේන්න යමුද කියලා ඇහුවා.. අම්මා කැමති නෑ.. පස්සෙ මට කියලා ඔලුව අත ගාව ගත්තා.. දැන් ඔන්න යාන්තං නින්ද ගිහිල්ලා.."

"දෙයියනේ.. තාම සාරිය පිටින්ම.."

"ඒකනේ.. අපි අම්මට බොන්න මොනවා හරි හදලා, නැගිට්ටවලා චේන්ජ් එකක් දම්මමු.. දැන් ඔහොම්ම නිදාගත්තාවේ.. බේබි නැන්දා ගිහින් කොත්තමල්ලි ටිකක් තම්බන්නකෝ.."

"ඒක හොදයි.. මං පොල් තෙල් ටිකක් රත් කරලා ගේන්නම්කෝ.."

"ඒ මොකටද බේබි නැන්දේ..?"

"ලොකු නෝනගෙ ඔලුවට දාලා අතගාන්න.. එතකොට හුගාක් දුරට හිසේ කැක්කුම අඩුවෙයි.."

බේබි නැන්දා ගියාට පස්සෙ මං ආයෙත් අම්මා ළගට ආවා.. සැනසීමෙන් හුස්ම ඉහළට පහලට දාන ඒ මුදු මූණ දිහා මං හුගාක් වෙලා එක දිගට බලාගනෙ  හිටියා.. අනුන්ගෙ දරුවෙකුට, තමන්නෙ දරුවෙකුට වගේ ආදරේ කරන්න තරම්, අම්මා හිත හදාගත්තෙ කොහොමද කියලා මට ඒ වෙනකොටත් හිතාගන්න බැරිවුණා.. ඒත් හිත ඇතුලෙ පිරිලා තියෙන විවිධ අනුස්මරණ එක්ක, සැරින් සැරේට හිත කඩාගෙන වැටෙද්දි, එදා අම්ම මට සැරවෙන්න ඇති කියලා මට හිතුණා..

"ආ.. බන්ටි මහත්තයෝ.."

තසිමකට දාපු පොල්තෙල් ටික බේබි නැන්දා ඇවිත් මගේ අතට දුන්නා, එයාගෙ අනික් අතේ දුම් දාන කොත්තමල්ලි කෝප්පෙ.. අඩේ.. බලන් ගියාම බේබි නැන්දත් මාර ස්පීඩ්නේ..

හළලෙ ඉදලා දෙපැත්තටයි, ආයෙත් ඔලුව මුදුනටයි වෙන්න, මං ආයෙත් අම්මගෙ ඔලුව අතගාන්න ගත්තා.. බේබි නැන්දා කාමරේ දොර ළගට වෙලා මං දිහා බලන් හිටියෙ මහ විසාල ආදරේකින් ඇස් පුරවගෙන.. ඒ මූණෙ මං කවදත් දකින්න ආස කරපු හිනාවක් රැදිලා තිබුණා.. තවත් පැය බාගයක් විතර අම්මගෙ ඔලුව අත ගගා ඉදලා මං ඇදෙන් නැගිට්ටා.. ඒ එක්කම අම්මගෙ මුදු අතක පහස මට දැනුණා..

"බ..න්..ටී.."

"ආ.. අම්මට ඇහැරුණාද..? ඔයාට දැන් කොහොමද අම්මේ..? අමාරු වැඩිනම් බේත් ගන්න යමු.."

"න්..නෑ.. බන්ටි ඕන නෑ.. දැන් හොදටම හොදයි.. ඔයාගෙ අත් ගුණෙන්ම තමයි මට සනීප වුණේ.. පැයක් විතර මට හොදටම නින්ද ගියා.."

"මං බේබි නැන්දට කියලා කොත්තමල්ලි කෝප්පෙකුත් හදාගත්තා.. හැබැයි දැන් නම් නිවිලා.."

"කමක් නෑ බන්ටි.. මං බේබි නැන්දට කියලා රත් කර ගන්නම්.."

අම්මගෙ මූණ පුරාම ලස්සන හිනාවක් රැදිලා තිබුණා.. කලින් තිබ්බ වෙහෙසකර ගතිය ඩිංගක්වත් දැන් ඒ මුණෙ නෑ.. ඒ ගැන හිතෙනකොටත් මට ලොකු සතුටක් දැනුණා..

"අම්මා එහෙනම් චේන්ජ් එකක් දාගන්න.. මං බේබි නැන්දට කිව්වා වතුර එකක් රත් කරන්න කියලා.. ටිකක් රස්නෙට ඇද හෝදගෙන කොත්තමල්ලි එක බොන්න.."

"බ..න්..ටී.."

කාමරේ දොර ළගට එද්දි මට ආයෙත් අම්මගෙ කටහඩ ඇහුණා..

"ඇයි අම්මේ.. ආ.. ආයෙත් ඔලුව රිදෙනවද..?"

"නෑ.. නෑ.. බන්ටි.."

"එහෙනම්..?"

"ඔ.. ඔයා.. හ.. හරිම හොදයි බන්ටි.."

අම්මගෙ කටහඩේ තිබ්බ ආදරණිය බව, අවංකකම මගේ මුළු හිත පුරාම රැදෙද්දි මං කාමරෙන් පිටවුණා..

                                            ****************************

අම්මගෙ කාමරේ ඉදලා මං කෙලින්ම ආවෙ ෆෝන් එක ළගට.. හැම දෙයක්ම එක සීරුවට ගලාගෙන යද්දි, මේක තවත් පරක්කු කරලා බෑ..

"චාමික.. මං බන්ටි.."

"හප්පට සිරි.. උඹ කොහෙද ලොකු පුතේ උදේ වරුවෙ ගියේ.. බේබි නැන්දට කතා කරාම උඹ එළියට ගියා කිව්වා.. තව අමිලයත් උඹව හොයලා තිබුණා.."

ලොකු පුතාගෙ කියවිල්ල හින්දා මට, ඌට කියන්න ගියපු දේත් අමතක උනා..

"මොකක්ද ප්‍රශ්නේ..?"

"බින්දුගෙම අවුලක් තමයි.. ඌ නිරෝෂිත් එක්ක ඇරගෙන.. දැන් පැත්තකට වෙලා ඉන්නවා.."

"හේතුව..?"

"මොන කොඩිවිනයක්ද මං දන්නෑ ලොකු පුතේ.. මට පේන විදියට නම් ඒ අටමගලෙ හරියන්නෑ.. කාව උනත් ඔහොම අවිශ්වාස කරනවද මං අහන්නේ..?"

"මොකක් ගැනද චාමික උඹ කියන්නේ..?"

"ඌට, නිරෝෂිව විශ්වාස නෑල්ලු.. ඊයෙ ස්ටේෂන් එක ළගදි රවීන්ව හම්බවෙලා කියලා තියෙන්නේ.."

ඒ කතාවට නම් මට එකසිය ගානට තදවුණා.. ඇයි අප්පා.. මෙච්චර ගේමක් දීලා ආරක්ෂා කරලා දුන්නු ප්‍රේෙම්.. මූ නිකාං කැත කුණු ගාගන්න හදනවා..

"ඌට රවීන්ට කියන්න බැරි නම්, ගුඩ් ෂෙඩ් එක ගාව පෝස්ටරයක් ගහන්න කියපං.. ඌ මහ බත් කන හරකෙක්නේ.. හම්බවෙච්ච වෙලාවක බලපං, බින්දුවගෙ ඇස්වල කරගැටද කියලා.."

චාමිකට බකස් ගාලා හිනාවක් ගියා.. ෆෝන් එකට අතින් තට්ටු කර කර ඌ හිනාවනෙ සද්දෙ මට හොදට ඇහුණා..

"මට අහන්නත් බැරිවුණා.. ඇයි උඹ ගත්තෙ කියලා.. උඹ ඉතිං කතා කරන්නෙ මොකක් හරි වැදගත් දේකටනේ.. අපි වගේ පල් හෑලි කියවන්න නෙමේනේ.."

"හරි.. ඒක තමයි ඇත්ත.. මට ඊයෙ නිරෝෂි ෆෝන් කරා.."

"ක.. කවුරු.. නිරෝෂි..?"

"ඔව් යකෝ ඔව්.. උඹට මං කියන ඒවා ඇහෙන්නෙ නැද්ද..?"

"ඇහෙනවා ඕයි.. හොදට ඇහෙනවා.. ඒත් ඇයි අප්පච්චියේ ඒකි උඹට ෆෝන කලේ..? බින්දුවා හෙම දැනගත්තොත්, නයිට් එකක් බුදු ෂුවර්.. ලොකු පුතේ.. ඕකා පපුවෙ අමාරුකාරයා.."

"උඹ ඒ පාර මගුලක් කියවනවා.. උඹට මතකද එදා අපේ ගෙදරදි නිරෝෂි මට කියපු දේවල්.. එයාගෙ අනිත් නිවුන්නා බලන්න ආසයි කියලා.. අන්න ඒ වැඩේට බං.. වෙන මගුලකට නෙමෙයි.."

"ඉතිං..?"

"හෙට උදේ මං ඒ වැඩේට යනවා.. උඹ හතාමාර වෙද්දි ස්ටේෂන් එක ළගට වරෙන්.. මං එතෙන්ට එන්නම්.."

වැඩි විස්තරයක් මුකුත් මං කියන්න ගියේ නෑ.. ඌ ඕන දෙයක් හිතාගත්තාවේ.. ඌ හිතා ගන්න දෙයක් අනිත් ඈයොන්ටත් කියපුවාවේ.. එතකොට ඔක්කොම එක මතේනේ ඉන්නේ.. එහෙම උනාම වැඩේ ගොඩදාගන්න ලේසියි..

මේ වැඩේට නෙත්මිව සම්බන්ෂ කරගන්නැතුව ඉන්න මං කලින්ම තීරණේ කරලයි හිටියේ.. ඒත්.. එයාට කියන්නැතුව ශලනිව හම්බවෙන්න යන එක ගැන නම් මගේ හිතේ ඒ තරම්ම ෆිට් එකක් තිබුණෙ නෑ.. ඒ ගැන තවත් ටිකක් කල්පනා කරලා, හෙට උදේ තීරණයක් ගන්නවා කියලා මං හිතාගත්තා..

                                           *****************************

"බන්ටි මහත්තයෝ.. අන්න හැමෝම කෑම මේසෙට වාඩිවෙලා.. මහත්තයා එනකන් බලන් ඉන්නවා.."

බේබි නැන්දගෙ කටහඩින් මං උඩ ගිහින් බිම වැටුණා.. අම්මපා.. එච්චර ඉක්මනට රෑ උනාද..? මට නම් ඒ ගැන වගේ වගක් නැති උනානේ.. මං දනි පනි ගාලා කාමරෙන් එළියට ආවා.. තරප්පුවෙ ඇන්ද දිගේ පස්ස තියලා පුරුස් ගාලා පල්ලෙහාට යන්න හිතුණත් මං පඩිපෙල දිගේම පල්ලම් බැස්සා.. පඩිපෙල මැද හරියෙදිම අයියයි, අක්කයි මහා සද්දෙට අත්පොඩි ගහන්න ගත්තා.. මේ මොකද බං මේ..? මාව මේ තරම් ආතල් එකට පිළිගන්නේ..?

"කමෝන්, අපේ අලුත් දොස්තර මහත්තයා.."

"හප්පේ.. ඔව්.. කාටද ඉතිං ආඩම්බර.."

ඔන්න දැන් තමයි මට වැඩේ තේරුණේ.. හවස අම්මගෙ අසනීපෙ කතන්දරේ.. අම්මා හරි, බේබි නැන්දා හරි මෙයාලට කියලා.. ඒකයි මේ කාලගෝට්ටිය..

"ආඩම්බර ඉතිං අම්මට තමයි.. නේද අම්මේ..?"

අක්කා ආයෙත් ඇස්වලින් මාව පෙන්නලා අම්මා දිහා බැලුවා.. අම්මගෙ මූණ පුරාම ලොකු හිනාවක් පැලපදියම් වෙලා තිබුණා.. කාලෙකින් දැක්කෙ නැති සැනසීමක් මං තාත්තගෙ මූණෙනුත් දැක්කා.. 

"ඔන්න බන්ටි.. මගෙත් ඔලුව රිදෙනකොට කොයි ලෝකෙ හිටියත් කමක් නෑ.. ඇවිත් අතගාන්න හොදේ.."

අයියා මගේ පිගානට බත් හැන්දක් බෙදන ගමන් කිව්වා.. දෙයියො සාලෙ.. මං කෑම පිගාන ගාව.. මේකා වෙනස් වෙලා තියෙන තරමක්.. බැහැයි ඉතිං හැමදේම වෙන්නෙ හොදටයි කියන කතාවෙ, ඇත්තකුත් තියෙනවා.. සී සීකඩ යන්න ගිහිල්ලත් අපි හැමෝම මේ වගේ එකට ආපහු එකතු වුණේ අම්මගෙ කලින්දා කතාව හින්දනේ.. අයියා කාරයට උනත් මාව පේන්න බැරිවනේ හිටියේ.. මතකනේ, අර මොරීන් අක්කා ඉනිමගෙන් බැල්කනියට, පුංචි සුරංගනාවි වගේ ආපු දවස.. ආවෙ, මට හිටෝලා මැටි ගහන්නනේ.. හප්පේ.. ලෝකෙ වෙනස් වෙලා තියෙන තරමක්.. අනේ කාලේ වනේ වාසේ කෑවලු.. බඩගින්නටද ඇහුවා..ඔව් ඉතිං.. නැත්නම් වෙන අහවල් එකටද..?

"මොකද බන්ටි සද්දෙ වහලා.."

"මුකුත් නෑ අක්කේ.. මං මේ බැලුවේ, බේබි නැන්දා චිකන් ප්‍රයි කරලද, කිරය උයලද, තම්බලද කියලා..?"

"ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"

"කෑම මේසෙ චිකන් නෑනේ බේබි නැන්දේ.."

"ඇයි මහත්තයෝ.. ලොකු නෝනගෙ කාමරේ ඉදලා ගිහින්, මටත් හොරෙන්, හට්ටියම උස්සගෙන ගියේ මහත්තයා නෙමේද..? හට්ටියෙ එක කකුල් අංඩක්වත් නෑ.."

"අම්මපා.. මං එහෙම අරගෙන ගියාද..?"

හැමෝම මූණින් මූණ බලාගනිද්දි මං, බේබි නැන්දගෙන් ඇහුවා.. හැබැයි ඉතිං හොදට බඩගිනි දැනෙන හවස් ජාමේ, හොදට ප්‍රයි කරපු කුකුල් නාම්බෙකුට උනත් බන්ටිට වග කියන්න පුළුවන්.. ඒක මේ ගෙදර හැමෝම සහ සුද්දෙන්ම දන්නවා..

"මේක නම් බඩක් නෙමෙයි.. වෙන මොකක්දෝ එකක්.."

"ඔව්.. ඔව්.. බන්ටිගෙ ආමාශෙ රබර්.. මතකනේ.. දවසක් තාත්තා ගෙනාපු පරාට විස්සම කාලා තිබ්බ හැටි..?"

හපොයි දෙයියනේ.. පරාටා විස්සක් කියන්නෙ ඒ තරම් ලොකු දෙයක්ද..? මෙයාලා ඒ ගැන කතා කරන්නෙ මාව සවුදන් ජෙමා ගානට දාලනේ..

"හරි.. හරි.. ඔය හැම කෑම කතාවක්ම නවත්තලා කෑම කමු.. නැත්නම් අපි කතා කරන අතරෙ බන්ටි මේ ටිකටත් වග කියයි.."

මෙච්චර වෙලා කතා නැතුව ඉදපු තාත්තා අන්තිමට මහම මහ අපත කතාවක් කිව්වා.. මොනවා උනත් මේ ගෙවිලා යන සංතෝස ජනක කාලය අතරේ ඇත්තටම මට නම් බඩගින්නක් තිබුණෙ නෑ.. හැමදාම මේ සංතෝසෙ අපි ගාව තියෙනවා නම්..

"මොකක්ද ඒ සද්දේ..?"

විනාඩි පහළොවක් විතර ගෙවිලා යද්දි අමුතුම තාලෙ සද්දයක්, කොහෙදෝ ඉදලා අපට ඇහුණා.. අපට කියලා කිව්වට ඉස්සෙල්ලම ඒක ඇහුණෙ අයියට..

"මුලින් ඇහුනට වැඩිය දැන් සද්දෙ වැඩියි නේද..?" 

"උඩ තට්ටුව පැත්තෙන් නේද ඇහෙන්නේ..?"

"නෑ.. නෑ.. බන්ටිගෙ කාමරේ පැත්තෙන්.."

මොකක්ද බං මේ වෙන්න යන්නේ..? මේ ඇහෙන සද්දෙ හරියට මියුසික් එකක් වගේ.. ඒත් ඉතිං මගේ කාමරේ ඇතුළෙ කොහෙද මියුසික්..

"චුට්ටක් ඉන්න.. මං බලලා එන්නම්.."

මං හැරෙන්නත් කලින්, ඉදුල් අත පිටින්ම අයියා පුටුවෙන් නැගිට්ටා.. මගේ කාමරේ ඇතුළට මියුසික් එකක් ආවෙ කොහොමද කියලා.. අප්පා.. දැන් කන්න නෙමේ.. නාන්නයි වෙන්නේ..

"බන්ටි.. මොකක් හරි එලාම් එකක් ගෙනාවද..?"

"නෑ අම්මා.. ඉන්න මාත් බලලා එන්නම්.."

"ඕන නෑ.. බන්ටි ඉන්න.. ලොකු අයියා ගියනේ.."

අලියා වගේ පැනගෙන ගියාට, ඊට පස්සෙ අයියාකාරයගෙ සලකුණක්වත් නෑ.. කරුමෙටවත්, මොරීන් අක්කා අප්‍රමාණ වෙර වීරිය දරලා, මගේ බැල්කනි එක උඩට මියුසික් ගෘප් එකක්වත් අරගෙන ඇවිල්ලද දන්නෑ.. ගියපු එකා මෙච්චර පරක්කු, මොරීන් අක්කා, එක්කො අපේ එකාව දමගෙන ඉඹිනව ඇති.. අම්මපා.. මට නම් හිතුනෙ එහෙමයි..

තවත් බලන් ඉදලා බැරිම තැන, මං පඩිපෙල දිහාට යන්නයි හැදුවේ.. මියුසික් එකත් තාම වදිනවා.. මොන අවමගුලක්ද දන්නෑ..

"බ..න්..ටි.. තමයි දවසකටවත් මිනිහා.."

එහෙම කියාගෙන උඩ පඩිපෙළින් මතුවෙච්චි අයියා දැක්කම මට හීන් දාඩිය නෙමේ.. මහ දාඩියත් දැම්මා.. අප්පට සිරි.. යකඩෝ.. මිනිහා අතේ තියෙන්නේ, නෙත්මි දුන්නු ෆෝන් එක නේද..? දැන් ඉතිං කාපංකො රබර්..

"හරිම ස්විට් මියුසික් එකක්.. නෙත්මි කියලා කියන්නෙ කවුද බන්ටි.."

මහ පාර මැද්දෙ රෙදි ගලවලා දැම්මා වගේ කතාවක් මිනිහා මගෙන් අහද්දි, මගේ කටට කියාගන්න දෙයක් ආවෙ නෑ.. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න මේ අලුගුත්තේරුවා කොහොමද දැනගත්තෙ දෙයියනේ නෙත්මිගෙ නම.. දැන් ඉතිං ඉක්මනට මොකක් හරි නොකළොත් මගේ පටි හතම රෝල් තමයි..

"ඕක පල්ලෙහාට අරන් එන්නකො ලොකූ.."

මෙලෝ දෙයක් දන්නැති කිරිසප්පයෙක් වගේ, මං හෙණ අහිංසක මූණක් මවාගෙන කිව්වා.. මේ මූණට ඕන හාල් දන්ඩෙකුට ඇඩෙනවා කියලා මං දන්නවා.. ෂෙහ්.. අම්මපා මේකා, කොඩිවිණේ වගේ මේකත් උස්සගෙන ආවනේ.. 

"කාගෙන බන්ටි ෆෝන් එක..?"

"ඔයාට කවුරු හරි දුන්නද..?"

"කොහෙන්ද ඔයා ෆෝන් එක ගත්තේ..?"

"කවුද බන්ටි, නෙත්මි කියන්නේ..?"

අම්මපා ජීවිතේ සුන්දරද මෙතරම් කියලා කැත නැතුව හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට.. ප්‍රශ්නෙ කියන්නෙ, ප්‍රශ්නම සීයක් විතර.. හරියට නිකං සාරංශෙ ගතොත් අලියට පෑගිලා මොනවද වුණේ කියලා අහනවා වගේ තමයි..

"ආ.. නෙත්මි නේද..? නෙත්මි කියන්නෙ නම් මගේ යාලුවෙක්.. ඒත් ඔය ෆෝන් එක නම්, මං හොදද කියලා බලන්න අරගෙන ආපු එකක්.."

"එතකොට ඔය ෆෝන් එක ඔයාගෙ නෙමෙයිද..?"

"පිස්සුද අම්මේ.. ෆෝන් ගන්න කොයින්ද මට සල්ලි.. අනික ඕක මගේ එකක් නෙමේ.. ඔය කෙහෙල්මල වදිනකොටම මං ගිහිල්ලා ගන්නවනේ.. ඇත්තමයි.. මට ඕක ගැන අමතක වෙලයි තිබුණේ.."

අක්කා දිහා බලන ගමන් මං කියවන් ගියා.. ඇත්තනේ අප්පා.. මොකෝ මං බොරුවක් කිව්වද..? 

"එහෙනම් ඔය ෆෝන් එක නෙත්මිගෙ වෙන්න ඇති.. නේද බන්ටි..?"

කට කොණකට ලාවට හිනාවක් ගන්න ගමන් තාත්තා මගෙන් ඇහුවා.. ෂිහ්.. අම්මපල්ලා.. තාත්තා ඒක අහපු කැත.. ඔයිට වැඩිය හොද නැද්ද තාත්තේ, මං උඹේ හොරේ දන්නවා කියලා කිව්වනම්.. 

"හරි.. හරි.. ෆෝන් එක කාගෙ උනත් කමක් නෑ.. අපිටත් හදිසියකට කෝල් තුන හතරක්ම ගතෑකි.. ඕක ඔයා ළගම තියාගන්න බන්ටි.. ආ.. මෙන්න මේක ආයෙත් වදිනවා.."

හදිසියකට කෝල් තුන හතරක් ගතෑකිලු.. බලන්න අප්පා.. මුගේ ගද කතාවෙ  හැටි.. මං ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා.. නෙත්මි කෝලින් කියලා ස්ක්‍රීන් එකේ හරි අපූරුවට අලි පත අකුරෙන්, මියුසික් එක වදින පාරක් පාරක් ගානෙ මතුවෙලා පෙනුණා.. දැන් ඉතිං මොකදැයි දන් වළදන්නේ..? මෙයාලා ඉස්සරහ කතා කරලත් බෑ.. නොකරත් බෑ.. කතා නොකර හිටියොත් සැකේ වැඩියි.. ඒක හින්දා ඕන අලගොඩුවෙක් දෙකයි පනහයි කියලා හිතාගනෙ මං කතා කරනවා.. වෙන මොනා කරන්නද අප්පේ..

"හලෝ.."

"අනේ.. අනේ.. මං කොයි තරම් වෙලාවක් ගත්තද..? ඔයා කොහෙද හිටියෙ රන්දික..?"

"මේ වෙලාවෙ නම් රෑට කනවා.. ඒකයි ආන්සර් නොකරේ.."

"අ..නේ.. ඔයා කඩෙන්ද කෑම අරන් ගියේ..?"

"නෑ.. නෑ.. ගෙදර හොදට උයනවනේ.. ප්‍රශ්නයක් නෑ.."

"එහෙනම් කමක් නෑ.. ෆෝන් එක හොදයිද රන්දික..?"

"පිටින් නම් හොදටම හොදයි.. තාම ඇතුළ චෙක් කරලා බැලුවෙ නෑ.. මං චෙක් කරලා කියන්නම්.."

"හරි.. එහෙනම් හොද ළමයා වගේ කෑම ටික කන්න.. මං කරදර කරන්නෑ.. මං තව රෑවෙලා ඔයාට ගන්නම්.."

නෙත්මි ෆෝන් එක තිබ්බා.. හප්පේ.. ඔයින් ගියා මැදැයි.. අතක් පයක් නොකැඩි.. මං හෙමින් සීරුවෙ ගෙදර කට්ටිය දිහා බැලුවා.. අම්මපා හොර පූසො රංචුවක් තව හොදයි.. ලස්සනයි.. සිරියාවයි.. මං බලනකොටම හැමෝම තමන්ගෙ කෑම පිගන්වල ඔලුව ඔබාගෙන මෙලෝ රහසක් දන්නෑ වගේ කෑම කනවා.. ඒ වුණාට මගේ ටෙලිෆෝන් කතාවෙ එක අකුරක්වත් ඔය කන්වලින් අහකට හැලුණෙ නෑ කියනෙකට මං මගේ කන් දෙකම ඔට්ටු අල්ලනවා..

හැබැයි ඉතිං මොනවා උනත්, මගේ කතාව විශ්වාස කරන්නැති කෙනෙක් ගෙදර ඇතුළෙ ඉන්නවා කියලා මං දැනන් හිටියා.. ඒ තමයි අක්කා.. මොකද එයා තරම් නෙත්මිගෙයි, මගෙයි සජීවී සර්ශනේ දන්න කෙනෙක් මේ ගෙදර නෑනේ..

හුගාක් රෑ වෙනකල් බලන් හිටියා උනත්, නෙත්මි මට ආපහු කතා කරේ නෑ.. ගෑනු ළමයින්ට මෙහෙමත් බොරු කරන්න දෙන්න පුළුවන්ද අප්පා..? තවත් බලන් ඉදලා වැඩ් නෑ.. මං හා හා පුරා කියලා නෙත්මිට ෆෝන් කලා..

"කෝ ඉතිං.. ඔයා මට කතා කලේ නෑනේ.."

"මං බලන් හිටියා ඔයා ෆෝන් කරන කල්.."

ඔය බලපල්ලකො ඉතිං.. කියන කඩප්පුලි කතාවල තරම.. මාත් එයා කතා කරනකල් බලන් හිටියා නම් අපේ කතාවට සදා සොත්ති බවන්තුතේ..

"ඔයා මොනවද කරන්නේ.."

"ම්.. මේ වෙලාවෙ නම් ඔයා එක්ක කතා කරනවා.."

ඊට ප්සසෙ මට ඇහුණෙ නෙත්මි තනියෙම හිනාවෙන සද්දෙ විතරයි.. තනියම හිනාවෙන්නෙ පිස්සො හන්දා, නෙත්මිට ඕන තරම් හිනාවනේන ඉඩ දීලා මං බලන් හිටියා.. නෙත්මිට කොච්චර කැමති උනත්, මට පිස්සෙක් වෙන්න බෑනේ.. ඇත්තටම හෑන්ඩ් ෆෝන් එකක් ළග තියාගෙන කෙල්ලෙක් එක්ක මුකුළු කරලා මට කිසිම පුරුද්දක් තිබ්බෙ නෑ.. කවුරු හරි එනවද කියලා බල බල, හැම තිස්සෙම, මේක කනේ ගහගෙන කතා කරන එකත්, මේ විනාඩියට මට එපාවෙලයි තිබුණේ.. ඊට වඩා හොදයි අප්පා අර තඩි රිසිවරේ කන අස්සෙ ඔබාගෙන කතා කරන එක.. මොන අවමගුලක්ද මේ.? 

"ඔයා හෙට මොකද කරන්නෙ රන්දික..?"

"ම්.. තාම අදහසක් නෑ.."

"ඔයාට හෙට මාව හම්බවෙන්න එන්න පුළුවන්ද..?"

"ඇයි නෙත්මි..?"

"ඇයි කියලා අහන්නේ..? ඔයාට මාව හම්බවෙන්න ඕන නැද්ද..?"

"අපි අද හම්බ උනානේ..?"

"ඔ.. ඔයා නම් මහම මහ නරකයෙක්.. මාව කේන්ති ගස්සන්න නේද ඔය කියන්නේ.."

"එහෙම හිතාගන්නකෝ.."

ඇත්තමයි.. ළග ඉදගෙන කතා කරනවා වගේ ගතියක් මේ ෆෝන් මගුලෙන් කතා කරනකොට නෑ.. අනික මේක කනේ ඔබන් ඉන්නකොට කනත් රත්වෙනවා.. 

"ඒක නෙමේ.. මං හෙට ඔයාගෙ අම්මව බලන්න යනවා.."

"අ.. අම්මව..?"

තව පොඩ්ඩෙව් මගේ පපුව හිරවෙනවා.. මෙයත් ඉදලා ඉදලා මාර මගුල් තමා කතාකරන්නේ.. 

"ඔව්.. ඇ.. ඇයි ඔයා කලබල වුණේ..?"

"නෑ.. නෑ.. මගේ කිසිම කලබලයක් නෑ.. මං දන්නවා ඔයා, මගේ අම්මා පිටින් දාලා එහේ යන්නෙ ඇයි කියලා.."

"හා.. කියන්න බලන්න.."

"අර බන්ටි කියන මරුමුසාව බලන්න නේද..? ඔයා, එයාට කැමතියි නේද..?"

"ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ රන්දික..?"

"ම.. මං කියන්නෙ මට දැනෙන දේ.. ඔයාට ඕන බන්ටිත් එක්ක යාලුවෙන්න.. නැත්තන් ඔයා මොකටද එහේ යන්නේ..?"

"අනේ.. ඔහොම කැත විදියට කතා කරන්නෙපා.. මං එහේ යන්නෙ සමුදිනී හින්දා.. එයා මගේ හොදම යාළුවා හින්දා.. එහෙම නැතුව වෙන දේකට නෙමේ.."

"හරි.. හරි.. කමක් නෑ.. ඔයාට කැමති දෙයක් කරන්න.."

මං ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරා.. ඇත්තටම මට වෙලා තියෙන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරිවුණා.. මට ඕන කරන්නෙ නෙත්මිව රිද්දන්නද..? ඒත් ඒ ඇයි..? එයාව රිද්දලා මං බලාපොරොත්තු වෙන්නෙ මොනවද..? ඒත් ඕනවට වැඩිය නෙත්මි මගේ ජීවිතේට එබෙන එකට මං කැමති වුණේ නෑ..        



                            

No comments:

Post a Comment